Sunday, January 15, 2023

මට ඇහෙන සරින් - තිස් හයවන පරිච්ජේදය



"..  කටවහගෙන ඉන්න නේද කිව්වෙ තමුසෙට? "


කිත්මගේ හඬින් ගැස්සීගිය භූමිකා මුව වසාගෙන බිම බලාගත්තේ වනවිට සිය කණිටු සහෝදරයා සිටියේ සම්පූර්ණයෙන්ම වෙනස් මිනිසෙකු බවට පරිවර්තනය වී බව දැනුන බිය නිසාමය. කිත්ම සැනින් අංජලිකාගේ අතේ ඉහළින් අල්ලාගෙන ඇදගෙන මෙන් ඇගේ කාමරයට ගොස් ඔහුට පසුපසින් දොර අගුළු ලෑවේ අංජලිකාගේ අත වේදනාවෙන් මිරිකෙද්දීය. නමුත් සිටියේ නිර්වින්දනය වී ඇති පරිද්දෙනි


කාමරය මධ්‍යයේ ඇගේ අත අතහැරි කිත්ම , දොර අසළ නළල තෙරපමින් සහ දෑතම ඉනේ තබාගෙන මේ අත ගමන් කරමින් සන්සුන් වන්නට යත්න දරමින් සිටියේය


" කි.. ත්.. .. .. මම.."


අංජලිකා දෑතම එකිනෙක තෙරපමින් සිටියදකඳුළු කැට ඇස්වලින් බිමට වැටුනද ඉකි ගැසුවේ නැත. කිත්ම නොසන්සුන් බවින් අවසානයේ ඈට පිටුපා බිත්තිය දෙසට හැරී අතකින් එයට වාරු වූයේ හුස්මක් අල්ලමිනි.


" දර්ශන් එක්ක affair එක( ප්‍රේම සම්බන්ධය) තාම තියෙනවද?"


හඬ සන්සුන් . නමුත් සිය හදවත පැලී රුධිරය වහනය වන්නාක් මෙන් දැනුන නිසා ඔහුගේ හඬ වෙනදා තරම් ප්‍රතාපවත් නොවීය. අංජලිකා වෙව්ලන්නට වූ බැවින් එකවරම වචන පැමිණියේ නැති නිසා කිත්ම එම පැනයම වඩාත් රුදුරු හඬින් ඇසුවේ තිගස්සවමිනි.


".... Affair එක ( ප්‍රේම සම්බන්ධය) තාම තියෙනවද?"


" නෑ.. අපි.. අපි.. අපි වෙන් උනා.."


කිත්මට දැනුනේ කියත් පටියකින් අමුවෙන්ම සිය හදවත හරහා මේ අත අතුල්ලනවාක් මෙනි. දර්ශන් ඉලෙයිරාජා !! මම උඹව විස්වාස කරපු තරමක්!!!!!!!

තදබල වේදනාව මැඩගනිමින් ඔහු දෑස වසාගෙන තත්පර දෙකක් ගතකල අතර තත්පර දෙක ඇතුලත වසර ගණනාවක් පුරා වූ දහසකුත් එකක් මතක සහ අවස්ථා වේගයෙන් මනස හරහා ගමන් කලේය.


දර්ශන් සමඟ නිවසේ සිටියදී ඔහු ගැන අහිතක් නොසිතූ හැටි, වරින්වර ඔහු ගැන ඇසූ තොරතුරු සහ විදුල්ගේ මුවින් දර්ශන් ගැන කියවුනු අවස්ථා, විවාහ උත්සවයේ දමිළ උරුවට ඇඳ පැළඳ සිටි හැටි, දර්ශන් විශ්ව විද්‍යාල පරිශ්‍රයට කෙල්ලෙක් ගෙනා බව ඇසූ විට අංජලිකා යයි හිත සැක කලත් සොයා නොබැලූ හැටි, දර්ශන් ගැන කියනා විට අංජලිකා ගොළුවී යද්දී 'සර් මට නම් සැකයි' කියා දිසා කියද්දිත් තමා අංජලිකා ගැන එසේ නොසිතූ හැටි, ඇගේ නාසය සිදුරු කර ඇති බව දැක හිත ගැස්සුනු හැටි.. කෝවිලේ නර්තනයෙන් පසුව කුමක් හෝ හේතුවකට හති වැටෙනතුරු හැඬූ සැටි, දර්ශන් සමඟ හදිස්සියේම ජීප් රථයේ සිටිනවා දුටු සැටි.. නමුත් හිත පිලි නොගත්ත හැටි.. ඊටත් පසුව දර්ශන් කුමක් හෝ හේතුවකට සිය ජීවිතයේ ඇති අනතුරුදායක බවද නොසලකා සිය ගුවන් ගමන් අවලංගු කරමින් සිටිය හැටි.. 


' තෝ වගේ ගස් ගෝනෙක්! උඹට ඉතින් ලව් කරන්න ගියාම ඒකිගෙ මෙලෝ ඇදයක් පේනවද ගොං තඩියා!'


භවන්ත ඔහුගේ ඇඟට කඩාපාත් වූ ආකාරය සිහිවී තමා ගැනම ආත්ම අනුකම්පාවක් ඇතිවූවද කිත්ම සිතුවේ අංජලිකා මෙලෙස එවීමෙන් සිදුවූයේ හොඳක්ම නොවේදැයි කියාය. දැන් බොහෝ දේ පැහැදිලිය. ඇත්තේ කාරණා කීපයක් දැනගැනීමට පමණි.


" කොයි කාලෙද?"


"....."


" කොයි කාලෙද වෙන් උනේ? "


කිත්ම ආපසු හැරී අංජලිකා දෙස හෙලූ සෘජු බැල්ම නිසා අංජලිකා කෙල පිඬක් ගිල බිම බලාගත්තාය.


" දැන් අවුරුදු දෙකකට වැඩී.. "


කිත්මගේ පපුවේ කොටසක් වැඩකලේ නැත. හුස්ම ගන්නට නොහැකි නිසා කිත්ම මුව විවර කොට ඇගේ සරාගී දෙතොලේ දැවටෙන නෙත් වැර වෑයමෙන් ගලවා සිවිලිමේ රඳවා ගත්තේ හුස්මක් අල්ලමිනි.


".. කිත්ම.. අනේ සොරි.. මම.. අනේ.. "


" ඒකට කමක් නෑ අංජලිකා.. ආදරයක් බලෙන් ඇතිවෙන්නෙ නෑ.. අනික දර්ශන් කියන්නේ මගේ ජීවිතේ බේරපු දෙවියෙක් වගේ මනුස්සයෙක්ගේ එකම පුතා.. "


අංජලිකා සිය ඇස් බෝල කරමින් කිත්ම දෙස බලා සිටියේ ඔහු කියන්නේ මොනවාද කියා තේරුම්ගත නොහැකිවය.


"... අංජලිකා දැනටමත් දන්නවත් ඇති මම living together හිටියා කැම්පස් කාලෙ. මගේ long term relationship එක ( දිගු කාලීන ආදර සම්බන්ධතාවය ) නැති උනාම මම මුලින්ම ගියේ army intelligence ( හමුදා බුද්ධි අංශයට). මට ජීවිතේ ගැන ආසාවක් තිබ්බෙ නෑ. මම කියන දේ අහන්නෙ නැතුව jaffna ( යාපනේ) ගියා හිතුවක්කාරකමට , මගේ යාළුවෙක්ට වද දීලා.. කාලේ යුද්දේ දරුණුවට යනවා.. මාව එතනදි LTTE එකට අහු වෙන්න ගියා. බේරගත්තේ දර්ශන්ගෙ තාත්තා.. මිස්ටර් ඉලෙයිරාජා.. ඒකටයි , දර්ශන්ව සංවිධානෙට දුන්නෙ නෑ කියලයි හේතු දෙකටම.. එයාව LTTE එකෙන් වෙඩි තියලා මැරුවා.. "


අංජලිකා බිරන්ත වී අසා සිටියේ තමා මේ සවන් දෙන්නේ චිත්‍රපටයක් යයි විමතියෙනි. ඉන් බොහෝ තොරතුරු අසන්නේ ප්‍රථම වතාවටය. භීත වූ දෙස බැල්මක් හෙලා කිත්ම අපහසුවෙන් මුව දෙපසට ඇද සුසුමක් හෙලුවේ ඉතිරිය කියන්නටය.


"... එදා ඉඳලා මම දර්ශන් නොදැන එයාව protect (ආරක්ෂා) කලා.. ඒක ණය ගෙවීමක් නෙවෙයි. දර්ශන් කියන්නේ දක්ෂ එල කොල්ලෙක්. ලංකාවට සෑහෙන්න වැඩක් ගන්න පුලුවන් මොලයක්. ගතිගුණත් හොඳයි. ඌව ත්‍රස්ථවාදියෝ එක්ක පටලවලා මරන්න plan ( සැලසුම්) කරනකොට මම ඌව ලංකාවෙන් යවන්න දතකෑවේ... උගේ මස්සිනා , දේවා කොහොමහරි මම කැනඩා යනකල් ගෙනිච්චා.. ඒත් .. ගියේ නෑ.. "


කිත්ම වේදනාත්මක සිනාවකින් සිය හදවත තුල වූ විලාපය පාලනය කරමින් අංජලිකාගේ දෙනෙත් දෙස එක එල්ලේ බලා සිටියේ සේලයින් අයැදින රෝගියෙකු පරිද්දෙනි


"... දැනං හිටියේ නෑ ඔයා හින්දා කියලා.. "


අංජලිකාට දැනුනේ වටා සියල්ල මහා වේගයෙන් භ්‍රමණය වන්නාක් ලෙසටය. දෝතින්ම හිස බදා ගත්තාය.


" අනේ.. කිත්ම.. I'm... Sorry (මට සමාවෙන්න).. මට.. මට කියන්න බය හිතුනා.. ඔයා.. ඔයාලා දර්ශන්ව හොයන්නේ මරන්න කියලා හිතුනා.. අනේ.. එයා අහිංසකයි.. එයා ත්‍රස්ථවාදියෙක් උනත්... "


කිත්මගේ හදවතට මෙතරම් වේදනාවක් දැනුනේ වාසුකී ඇගේ පෙම්වතා සමඟ අඩ නිරුවතින් දුටු දින වන්නට ඇත. නැත... ඊට වඩා මේ වේදනාව ගැඹුරු සහ වේදනාත්මක වූයේ අංජලිකා වෙල්ලාලගේ ගැන ඔහුගේ ඇට-මස්-නහර තෙක් ගලාගිය නිධන්ගත ප්‍රේමයක් තිබුනු නිසා වන්නට ඇත. තොල් සිපගැනීමකින් එපිටට නොගිය මුත් හදවත තුල වසර ගණනාවක් පුරා පැවති තදබල ඇදහිල්ලක්!


' ඇත්ත ලෝකේ බලා හිඳීම කියන්නේ කාලේ කා දැමීමක්. ඒක ඔයා පිලිගත්ත දවස වැඩි ඈතක නෑ කියලා මම දන්නවා. එදාට ඔයා මුලින්ම ගැන කියන්න මාව අමතන බවත් මම දන්නව.. '


ආලියාගේ සරාගී හඬ සමඟ මුහුණේ වූ සරදම් සිනාව විසින් කිත්මගේ මුහුණ මත තදබල වේදනාත්මක සිනාවක් සටහන් වූයේ ඉබේටම නිසා ඔහු අංජලිකාට පිටුපා සිටගත්තේ හිත සනසාගන්නට වඩා හුස්මක් ගන්නටය.


" අංජලිකා කැමති නම්.. මම එක උපදෙසක් දෙන්නම්.. "


අංජලිකා ඊට හිස සලන්නේ කිත්ම සිට වමතින් නළල තෙරපන බව නිරීක්ෂණය කරමිනි.


"... වෙන කෙනෙක්ට හිතින් ආදරය කරන ගමන් , කවදාවත් තවත් හිතකට වචනයක් දෙන්න එපා. වගේම වචනයක් දෙනවා නම් ඇත්තටම තමන්ට අවංකව අහල බලන්න.."


"කිත්ම අනේහ්.."


" ඉන්න මම තාම කියලා ඉවර නෑ... "


අංජලිකාට දැනුනේ කිත්මට මීට වසර කීපයකට පෙර දුන් වචනය ඔහු වරදවා වටහාගත් බවයි. නෑ කිත්ම! ඔයා උතුම් මනුස්සයෙක් !!


"... මට නොලැබුනත් මම ඔයාට සුබපතනවා.. ඔයාගෙ හිතට ගැලපෙන ආදරයක් ලැබෙන්න කියලා. ඔයා ඒකට ඔය හිතින් දර්ශන්ව අතාරින්න සූදානම් වෙන්න වෙයි.. මේක advice (උපදේසයක්) විතරයි. සමහර වෙලාවට දර්ශක් කුල්කර්ණි කියන්නේ ඔයාගේ ආදරේ වෙන්න ඇති.. 

මොකක් උනත් අංජලිකා..  ඔයා ඔයාම වෙන්න.. ඔයා මේ අවුරුදු දෙක ඇතුලේ ගොඩනගාගත්ත දේවල් කිසි දෙයක් නැතිකරගන්න එපා.. ඔයා ගොඩක් unique (අද්විතීය) චරිතයක්.. "


" අනේ කිත්ම.. අනේ මම කියන දේ ටිකක් අහන්න දෙවියනේ.."


" සොරි අංජලිකා... මම මේ වෙලාවේ හොඳ listener කෙනෙක් (සවන්දෙන්නෙක්) නෙවෙයි. My limits have reached , so please let me be (මගේ සීමාවට දැන් මම ඇවිත්. හින්දා මට ඉන්න දෙන්න)"


අංජලිකාට කතා කරගන්නට නොහැකිව හොළු වූයේ කිත්මගේ මුහුණ එතරම්ම ශෝකයෙන් බරවී තිබෙනු මීට පෙර දැක නොතිබුනු බැවිනි. කිත්මගේ උරයට අත දැබූවද වනවිටත් ආපසු හැරී දොර විවර කොට හමාරය. විවර වූ දොර අභියස භිරන්තව සිටිනා භූමිකා සිදුවූයේ කුමක්දැයි තේරුම් ගන්නට උත්සහ කරමින්, පිටතට ඇවිද එන සිය සොහොයුරාගේ සහ ඊට පසුපසින් අසරණ මුහුණින් බලා සිටිනා අංජලිකා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය.


" මද්දු.. මද්දු.... ඇයි ? මොකද උනේ?? "


ඊට පිලිතුරක් නොදුන් සිය සොහොයුරාගේ මුහුණින් තමා කිසිසේත්ම බලාපොරොත්තුව නොසිටි පිලිතුරක් දකින්නට වූ නිසා භූමිකාගේ මුහුණ එකවරම වෙනස්වී ගියේය. ඇගේ එරවුනු දෑස එක එල්ලේ අංජලිකාගේ වරදකාරි මුහුණ මත කේන්ද්‍රගතවූයේ සැනෙකිනි.


ඊළඟ තත්පරයේදී පියවරක් ඉදිරියට තැබූ භූමිකා අනපේක්ෂිතව අංජලිකාගේ වම් කම්මුලට අත දිගහැර කම්මුල් පහරක් එල්ල කළාය.

.

.

.

ඔබට හරිහැටි නොපෙනෙන මුත් , ඔබ දැනටමත් ගමන් කලයුතු මාර්ගය ඔබ ඉදිරියේ දිස්වනවා වන්නට ඇත. එය පෙනෙන්නට නම් මේ තද මීදුම ඉවත්විය යුතුය.


වීඩියෝ ඇමතුම සම්බන්ධ වන්නට යන්නේ තත්පර පහකටත් අඩු කාලයක් වීමෙන් ඇමතුම අනෙක්පසින් බලා සිටියාක් මෙන් ඔහුට දැනුනි.


" කිටී??"


විශ්මයක් නොවුනද, එහි තැවරී තිබුනේ ඔහු ගැන වූ සැලකිලිමත් බව හා සහකම්පනයයි.


කිත්ම හිස ඉහළ පහළ කරමින් අපහසුවෙන් සිනාවක් මුහුණට නඟා ගත්තද ආලියාට එහි වෙනස සැනින් නෙතට ග්‍රහණය විය. එසේනම් සිතූ පරිදිම එය සිදුවී ඇත!


'කිටී ඔයා හිතනවද අවුරුදු ගණන් බලාගෙන ඉන්නවා කියන සුරංගනා කතා ඇත්තක් කියලා ?'


තමා ඔහුට පැවසුවේ අංජලිකා නම් ඔහුගේ ප්‍රේමය , ඔහුත් නොමැතිව වසර දෙකකට වඩා වෙනත් රටක, තමන් වෙනුවෙන් බලාසිටිනු ඇතැයි සිතීම හිතළුවක් හෝ සුරංගනා සිහිනයක් බවයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමවූ වහාම ඔහු සිය මව් රටටත් නොයා සොයා ඉන්දියාවට ගියේ කෙතරම් බලාපොරොත්තු සහිතවද කියා ආලියා දනී. ඒසා කැපවීමක් පිරිමියෙකුගෙන් දුටු ප්‍රථම වතාවය. තමන් මෙතරම් ඔහුට ශෘංගාරාත්මක ඇරයුම් කරද්දී පවා , යහළුවෙකු ලෙස හිස අතගා පිටව යන පිරිමියෙකු දුටුවේ ඇගේ ජීවිතයේ ප්‍රථම වතාවටය. එබැවින් ඔහුගේ මේ වේදනාව ආලියාට වැටහෙන්නේය.


".. කිටී.. ඔයා හොඳින්ද?"


ආලියා එසේ ඇසුවේ ඔහු හොඳින් නොවන බව දැනගෙනම වුවද කිත්ම ඊට හිස දෙපසට සොලවා 'නැත' කියා කියද්දී ඔහුගේ දෑස්වල තෙත් බව ආලියා අඳුරේ පවා අල්ලා ගත්තාය.


".. කිටී මේ අහන්න... ඔයා අස්වෙලා මෙහෙ එන්න.. මගේ ඩඩාගේ රිසෝට් එක මට දෙනවා කිව්වා සල්ලි ටිකක් දාලා මගේ විදියට හදාගන්න. ඔයාත් එතන වැඩ කරන්න ආසයිනෙ.. මෙහෙ ජොබ් එකක් ගන්න එක ලොකු දෙයක් නෙවෙයි කිටී ඔයා වගේ දක්ෂ නිලධාරියෙකුට.. ඔයා රජයට ගෙවලා ඔතනින් නිදහස් වෙලා එන්න.. මගේ අය්යත් කැමති වෙයි"


ආලියා මෘදු ලෙස කියවාගෙන යද්දී කිත්ම අරමුණකින් තොරව ඔහේ බලාගෙන සිටියේය. ආලියා ඔහුගේ කඩවසම් මුහුණ මෙතරම් දරුණුවට වේදනාවෙන් දකින්නේ ප්‍රථම වතාවටය.


" හැමෝම කිව්වත් මම විස්වාස කලේ නෑ ආලි.. ඒත් ඒක ඇත්තක්.. මට දුක ජූලි වෙන කෙනෙක්ට ආදරේ කරපු එක නෙවෙයි.. ඇයි මට කිව්වෙ නැත්තෙ? මම හිතුවේ එයාට මාව විස්වාසයි කියලා.... "


කිත්ම ඔහේ කියවාගෙන යන්නට වූයේ ඈත ඉමක රැඳුනු බැල්මක් සමඟිනි


" True love hurts ( සත්‍ය ආදරේ රිදෙනවා)"


ආලියාට ඉබේටම කියවුනු නිසා කිත්මට සිනාවක් නැඟුනි.


" ඇත්ත වෙන්න ඇති.. ඔයා කිව්වා හරි වෙන්න ඇති ආලියා.. එයා වෙන කෙනෙක් හොයාගනී. එක අතකට මම එයාව හිරකරගත්තා නම් මම තව මෝඩයෙක් වෙනවා ජූලි මට ඇත්තටම ආදරෙයි කියලා. ඊට වඩා මේ වේදනාව හොදයි..."


ආලියාට නැඟුනේ කඳුළකි. බොහෝ ආදර සබඳතා බිඳවැටීමෙන් පසුව තවදුරටත් සත්‍ය ආදරය මත ජීවිතය තීන්දු කිරීමෙන් වැලකී සිටියාය.


සිය පියාගේ කෝපි අවන්හලට සේවයට පැමිණි කඩවසම් තරුණයා එක්වරම සිය නෙත් වලින් අල්ලාගත්තද, ඔහු හා හාදවීම එතරම් පහසු නොවුනේ තමන් අනුමාන කල පරිද්දෙන් ඔහු මුදලට සහ ස්ත්‍රීන්ට ලොල් වූ බහුතර ඉන්දියානුවෙකු මෙන් නොවූ බැවිනි. ඔහු සරාගී සහ අතිශය ආකර්ෂණීය ගතිගුණ වලින් යුතු වුවත් ඔහුගේ සිත පුරා සිටි 'ජූලි' නම් තරුණිය නිසා කෙතරම් පෙළඹවීම් මැද වුවද ඔහු සිනාසී සුහද ප්‍රතික්ෂේප කිරීමකින් නැවතුනේ මිත්‍රත්වය පළුඳු නොවෙන්නටය. දන්නා පිරිමි එලෙස නොවේ!

ඔහුගේ කතාව ඇසූ පසු සරදමට මෙන් තමා පැවසුවේ මෙ බලාහිඳීම ඔහුට දුකක් එක්කරනු ඇතැයි කියා වුවත් එය ප්‍රාර්ථනා කලා නොවේ!


"... ඔයා දිනුම් ආලි.. ඔයා ඔට්ටුව දිනුම්"


" කිටී කරුණාකරලා ඕක ආයෙ කියන්න එපා.. ඔයා ඉක්මනින් මෙහෙ එන්න.. මම අය්යත් එක්කත් කතා කරලා ඔයාට මෙහෙ settle වෙන්න ( ස්ථීරසාර ලෙස ඉන්නට) හදලා දෙන්නම්.. ඩඩාට පුලුවන් job sponsership (රැකියා අනුග්‍රහයක්) අරගන්න"


කිත්ම සුසුමක් සැලුවේ බර කල්පනාවට වැටෙමිනි. ආපසු ලංකාවට පය තබන තත්පරයෙන් අම්මා යුද්ධ ප්‍රකාශ කරනු ඇත. පෙර වතාවේ ජිල්මාට් එකක් දමා අම්මාගෙන් කණෙන් රිංගා රටින් පැනගත්තද, මෙවර එය පහසු නොවනු ඇත


" බලමු.. මම කෝල් එකක් දෙන්නම්.. ගොඩක් ස්තූතියි මගේ හිත හැදුවට.. ඔයා හොඳ යාළුවෙක් ආලියා.. "


" ඕනෙ වෙලාවක කිටී! ඔයාත් හොඳ යාළුවෙක්.. ආදරෙයි මම"


ඇමතුම විසන්ධි කොට බරැති සුසුමක් සැලූ කිත්ම හෝටල් කාමරයේ කවුළුවෙන් පෙනෙන වීදි ආලෝකයන් දෙස අරමුණකින් තොරව මද වේලාවක් බලා සිටියදී තෙත් වූ දෑසින් කඳුළු පිසදමා ගත්තේ බරවන නාසය ඉහළට අදිමින් සහ තමාටම සිනාසෙමිනි.


ඉතිහාසය නැවත සිදුවෙමින් පවතී. ප්‍රේමය හමුවේ තමාගේ අහිමිවීම දෙවන වරටද ඔහු අත්විඳිමිනි


අංජලිකා වෙල්ලාලගේ..  ඔව්! වාසුකීට වඩා මම ආදරේ කරන්න ඇති අංජලිකාට. ඒක ලස්සන එක්ක ආපු හැඟීමක් නෙවෙයි. හදවත පතුලෙන්ම ආපු හැඟීමක්. තුල රාගික බවක් නැති බව දිවුරා කියන්නට තරම් හැකියාවක් නොමැත්තේ ගැන තමාටද ෆැන්ටසි තිබුනු බැවිනි

'එහෙම නොහිතන්න තරම් උපාසකයෙක් නෙවෙයි මම! ඒක වෙන්න ඇති දර්ශන් ගැන හිතපු ගමන් මාව පිච්චෙනවා වගේ දැනුනේ.. දර්ශන් මට වඩා දක්ශයි, වයසින් අඩුයි.. අනික අංජලිකා සරාගී කෙල්ලෙක්!'


කිත්ම ජනේලය අසළින් මෑත්ව හෝටල් කාමරයේ ඇඳ මත තිනුනු දුරකතනය ගෙන වහා ඇමතුමක් ගත්තේ, මොහොතේ ලංකාවේ වේලාව ගැන එතරම් තැකීමක් නොකරය.


🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸


බරැති සුසුමක් හෙලූ භූමිකා මද වේලාවක් අංජලිකා දෙස බලා සිටියාය


" එළදෙන! "


ඊට අංජලිකාගේ සිත රිදුනේ නැති මුත් භූමිකා පවසන්නේ බොරුවක් නොවන බව වටහා ගත්තාය


".... සතුට හොයලා වැඩක් නෑ මෝඩියේ ඒක නැතිවුනු තැනම! ඔය කියන දර්ශන් ඔයාට ඔච්චර ලව් නම් ඇයි ඔයා කියන දෙයක් එක වතාවක් වත් ඇහුම්කන් දුන්නෙ නැත්තෙ? ඔයාගෙ නිදහසට කරුණු; ඔයාගෙ පැත්තෙන් කතාව අහන්නෙ නැතුව වගේ දෙයක් කියපු එක වැරදියි.. ඔක්කොටම වඩා මට තරහා ඔයා මගේ අය්යට හැමදේම හංගපු එක!"


සියල්ලටම තමා වැරදිකරුය. අංජලිකාට වසර ගණනාවකට පසුව නැවතත් තමා ගැනම තරහක් සහ අපුලක් හටගත්තේය


" භූමි... ඔයාට වගේ පවුලට අයිති බවක් මට කවදාවත් දැනිලා නෑ. මගේ හිත එළියට දාපු හැමවෙලේම මම සෑහෙන්න තුවාල උනා.. "


පරෙස්සමින් වචන අහුලමින් කතාකරන්නට වූවාය.


"... කිත්ම ගැන මට තියෙන special feeling එක ( විශේෂ හැඟීම) හරියම තේරුම් කරන්න තේරෙන්නේ නෑ.. දර්ශන්ට මම ආදරේ 'කලා'.. "


එහි 'කලා' යන්න වඩාත් පැහැදිලිව සහ බරව ඈගේ මුවින් පිටවූ බව භූමිකා ග්‍රහණය කරගත්තාය.


".. මට එයාව හිතින් අයින් කරන්න ඕනෙ.. ඒත් මම දන්නෙ නෑ ඒක කොහොමද කරන්න ඕනෙ කියලා.. "


භුමිකා සිය හොඳම මිතුරිය ; අපරාධ සහායිකාව සිය උරයට වාරු කරගත්තාය. මීට හෝරාවකට පෙර කිත්මගෙ මුහුණේ තිබුනු වේදනාව දැකීමෙන් ආවේගය නිසා ඈට කම්මුල් පහරක් දුන්නද, අංජලිකා ගැන භූමිකා සැබෑ ලෙසම කණගාටු වූවාය.


"... මට නොකිව්වත් කිත්ම දන්නවා දර්ශන් කොහෙද කියලාමට විස්වාසයි එයා කවදාවත් දර්ශන්ට කරදරයක් වෙන්න දෙන්නෙ නෑ.. මට දර්ශන්ව අමතක කරන්න ඕන භූමි.. මම හිතුවා මෙහෙ ගතකරපු කාලෙට මට ඒක කරගන්න පුලුවන් වෙයි කියලා.. ඒත්.. මට තාම ඒක කරගන්න බෑ.. මම ඒක දන්නෙ නෑ.. "


භූමිකා සාවධානව අසා සිටියා පමණි. අංජලිකා හැඬුවේ නැතත් සුසුම්වල බරින් ඇගේ හදවතේ වේදනාව මොනවට පෙන්නුම් කලේය.


".. දර්ශක්ට මම කැමති නෑ.. ඇත්තටම දර්ශන් කියන නම ගෑවුන නමක් ඇහුවත් මාව ස්ටක් වෙනව මිසක් මට ගැන කිසිම හැඟීමක් නෑ... කියන විදියට ළමයි හදන මැශින් එකක් වෙලා ගෙදර ලඩ්ඩු හද හද ඉන්න මම කැමති නෑ.. අතට පයට වැඩකාරයෝ එක්ක කොච්චර සැප දෙනවා කිව්වත් මම එහෙම ඉන්න කැමති නෑ.. මගේ විසල් එක්ක මැරේජ් එකෙන් මම ඒක ඇතිවෙන්න ඉගෙනගත්තා.. "


භූමිකා අංජලිකා දෙස සිනාවක් සමඟ බැලුවද අංජලිකාගේ මුහුණ ඉතා බැරෑරුම් විය. ඇස්වල තිබුනේ නිරුවත් ඇගේ චරිතය හා බැඳුනු දීප්තිමත් පැහැදිලි බවයි.


"... මම කිත්මට ආදරෙයි භූමි! ඒත් දර්ශන්ගෙ මතකය එක්ක මට හරි අමාරුයි ඒක කිත්මට පෙන්නන්න.. මට බයයි.. එයත් මාව වැරදියට තේරුම් ගනී කියලා.. මම කිත්මගෙන් ගත්ත උදව් වලට හිලව්වට එයාට ආදරෙයි නෙවෙයි.. "


භූමිකා අංජලිකාව තරයේ වැළඳගත්තේ ප්‍රීතිය නිසාම නොවේ. අංජලිකාගේ සිත තුල කිත්ම ගැන ; සිය මද්දුම සොහොයුරා ගැන ගැඹුරු හැඟීමක් ඇතිබව ඕ විශ්වාස කලත් වරින්වර වෙනස්වන අංජලිකාගේ සමහර හැසිරීම් නිසා ඈ සිටියේද වික්ශිප්ත භවකිනි.


" Oh my god ( මගේ දෙවියනේ) ජූලී! තමුසෙ වගේ ඩ්‍රාමා ක්වීන් කෙනෙක්.. !! තමුසෙටම හරියන අර පිස්සා.. මෝඩයෙක් වගේ ගියා පොඩ්ඩක් අහන්නේ නැතුව"


අංජලිකා සමඟ සංවාදයෙන් පසුව තමන් කෙතරම් කනිපින්දම් ගාමින් බැගෑපත්ව කියා සිටියත් සිය සොහොයුරා නිවසින් පිටව ගියේ ඇගේ හිස සිඹිමිනි. ඔහු සිටි වේදනාව දර්ශන් සමඟ අංජලිකාගේ ප්‍රේමය දැනගැනීම පමණක්ද?


"... ඒකා ආවේ අනිද්දට තියෙන තමුසෙගෙ graduation එකටත් (උපාධි ප්‍රධානෝත්සවයටත්) එක්ක.. අය්යෝ... තමුසෙ නම් ඇත්තමයි..!"


Whatsapp මාර්ගයෙන් ඔහුට ඇමතුමක් ගන්නට ගත් උත්සහය ව්‍යර්ථව ගිය බැවින් , භූමිකා කෙටි පණිවිඩයක් තබන්නට උත්සහ කලද වනවිට ඔහුගේ whatsapp ගිණුමද, ඊට අමතරව තිබුනු චැට් ගිණුම් සියල්ලමද අවලංගු කොට තිබිණ.

.

.

.

ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තය ඔස්සේ ඇවිද එමින් සිටි කිත්ම සිය බෑගය කරත්තයකට පටවා ගත්තේ අපහසුවකින් තොරවය. අංජලිකා සහ භූමිකා වෙනුවෙන් ගෙනා තෑගි සියල්ලම ඔහු රටින් පිටවෙන්නට පෙර භාණ්ඩ රැගෙන යන ආයතනයකට ලබා දුන්නේ ඔවුන්ට පසුදා එය ලැබෙන පරිද්දෙන් නිසා එතරම් දෙයක් ඉතිරිව තිබුනේ නැත


තව දවස් තුනකින් සිය මව්රට බලා එන බවට කළ දැනුම්දීම අනුව යමින් නිමාලි දොඩංගොඩ තමා බලාපොරොත්තුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට එන බවත්, අනතුරුව  මීට වසර දෙකකට පෙර ඇගේ අණ නොතකා ඇගේ කනෙන් රිංගා ගිය සිය හිතුවක්කාර පුතු වෙනුවෙන් යුද්ධ ප්‍රකාශ කිරීමටත් නියමිතව තිබිණ.


රටට පැමිණීම සඳහා වූ ලියකියවිලි සහ සහතික කිරීම් අවසානයේ, කිත්ම බරැති සුසුමක් සලා ගමන්මළු සහිත කරත්තය තල්ලු කරගනිමින් පිවිසුම් දොරටුවේ ස්වයංක්‍රීයව විවරවන කොටසින් පිටතට අඩියක් තැබුවේ හදවත තදින් මිරිකා ගනිමිනි.


' අළුත් ආරම්භයක් ! අළුත් තැනක්!! සම්පූර්ණයෙන් වෙනස් කිත්ම දොඩංගොඩ කෙනෙක්!!'


ඔහු හිස හරවමින් පර්‍යන්තය ඔස්සේ පැමිණෙන පිරිස පිලිගන්නට බලා සිටිනා මිනිසුන් අතර දෑස් ගෙනගියේය.


‘Mr. K. Dodangoda ‘ 


එනමින් ඔසවාගත් කුඩා බෝඩ් එකක් අතැතිව නාඳුනන මිනිසා වෙතට කිත්ම ඇවිද එන විට , තරුණයා ඔහු දෙස විමසිල්ලෙන් බලා සැකයෙන් මෙන් හිසේ සිට පාදාන්තය දක්වා බැල්මක් හෙළුවේය


" මිස්ටර් කිත්ම දොඩංගොඩ ?"


" ඔව්! මම තමයි"


නව මිතුදමක ආරම්භය සනිටුහන් කරමින් තරුණයාගේ මුහුණ ප්‍රීතියෙන් එළිය වැටුනේය.

-------------------------- මතු සම්බන්ධයි ----------------------------

ඉක්මනින් හමුවෙමු.

ප.ලි: මෙහි එන චරිත සහ සිදුවීම් සියල්ල මනඃකල්පිත බවත් , එය දැනට ජීවත්ව හෝ මියගිය කිසිවෙකුට සම්බන්ධයක් නොමැති බවත් කරුණාවෙන් සලකන්න.

ගොඩාරියක් ස්තූතියි කියවනවාට සහ කමෙන්ට් කරන, ලයික් කරන නොකරන හැමෝටම

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

© ලිඛිතා මංජරී
නිර්මාණයේ සියලු හිමිකම් කතුවරිය සතුවන අතර, ලිඛිත අවසරයකින් තොරව කුමන ආකාරයකින් හෝ උපුටා ගැනීම, Screen Shot ගැනීම හෝ වෙනත් කිසිම මාධ්‍ය‍යක පල කිරීම සපුරා තහනම් වේ.

4 comments:

  1. Waiting for the next episode....

    ReplyDelete
  2. කියවන්න බොහෝ කලක සිට සිටියත් අදයි කියවාගෙන ආවේ 12 සිට 36 වෙන තෙක්. හරිම අපූරුවට මේ කථාව ගොතා ඇති ආකාරය පිළිබඳව කියන්නට වචන නැත. මුහුණු පොතේ වඩාත් දුරට ලියැවී ඇතත් බ්ලොගය තුල කියැවීම වඩාත් හිතට කිට්ටු බවක් ගෙන එනවා. සත්තකින්ම හරිම අරසවත් කථාවක්. "ටෑන් පාට!?"

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...