Thursday, December 8, 2022

මට ඇහෙන සරින් - දහසයවන පරිච්ඡේදය



දිසා බියෙන් මෙන් අඩියක් පස්සට තැබුවේ ඒ මුහුණේ ඇඳුනු කෝපය කෙතරම්දැයි දන්නා නිසාමය. ඔහු වහා ඇසෙන් අනෙක් දෙදෙනාට එතැනින් ඉවත් වන්නට සංඥා කලේ දැන් දැන් පුපුරන්නට යන කාල බෝම්බයට ඔවුන් හසුවුවහොත් ඇති පදමට ගුටි කන්නට වන නිසාය. 

" උඹ පොල් ගෑවද එතකල්? ආ ??? "

මේ කෝපය තමා වෙත එල්ලවන බව දිසා දැන සිටියේ මුත් එකවරම පිලිතුරක් නොදුන්නේ හේතු ඇතිවය.

" ඉහළින් ආව ඕඩර් එකක් සර්.. අපිට කරන්න දෙයක් නෑ"

යමින් සිටි දෙදෙනාගෙන් අයෙක් පහත් ස්වරයෙන් ක්ෂණිකව පැවසුවේ කිත්මගේ දෙනෙත් සිහින් කරමිනි. සැලකිල්ලෙන් ඔවුන් දෙස බැලූ කිත්ම දෙදෙනාම පොලිසියේ නොවන බව හඳුනාගත් සැනින් දෑසින් ගිනි පිටවෙන්නට ගතවූයේ තත්පරයෙන් අරික්කාලකි.

අලකලන්චියට මැදිවූ ඔවුහු එතැනින් මදක් නිහඬ වූයේ මේ සිටින්නේ තද පොලිස් බල කණුවක ශාඛාවක් නිසා වුවද සම්පූර්ණයෙන් පසුබසින්නට සූදානම් නොවූහ. 

" ඉහළින්? ඇයි උඹලට ඉහළින් පියාඹන කාක්කොත් ඕඩර්ස් දෙනවද? ආ?? කවුද යකෝ මගේ මිෂන් වලට හොටදාන්නේ? මේක පොලිස් මිෂන් එකක්!!!"

ඉතිරිය නොසරුප් වදන්‍ ය.

" සර්.. මේ"

දිසා ගොතගසන්නට වූයේ කිත්ම වේගයෙන් දුරකතනයේ සොයනා අංකය අනුමානයෙන් දැනගෙනය.

".. සර්.. මේ දොඩංගොඩ ලොකු සර් තමයි සර්.. මුං දෙන්නව එවල තියෙන්නෙ.. STF එකේ.. ඔෆිසර් බණ්ඩාර "

දිසාසේකර තැනින් තැනින් ඇහිලූ වැකි වලින් පැවසුවේ සම්පූර්ණ වැකියක් කියන්නට වේලාවත් , සම්පූර්ණ වැකියක් අසන්නට ඉවසීමත් නොතිබුනු බැවිනි.

දවා හළු කරනා බැල්මක් දිසා වෙත යොමුකල කිත්ම තත්පරයක් ලොකු හුස්මක් ඇල්ලුවේය.

 ' දොඩංගොඩ ලොකු සර්!'  

සිය පියාට තමන්ගේ වැඩ වලට අත දමන්නට නොහැකි බව ඔහුගෙන් තමාගත් පළමු පොරොන්දුවයි. හමුදාවේ බුද්ධි අංශයට යන්නට දඟලද්දී ඔහු ඒ පොරොන්දුව දී තමා පොලිස් බුද්ධි අංශයට ගත්තේ මීට වසර ගණනාවකට පෙරය. 

මෙතෙක් ඔහුගේ අතපෙවීමක් හෝ බලපෑමක් නොමැතිව සියල්ල සිදුවී , හදිසියේම මේ සඳහා මැදිහත් වන්නේ මොන පිස්සුවක් හැදිලාද? ඊටත් මොවුන් එවා ඇත්තේ විශේෂ කාර්‍ය බලකායෙනි.

ඇමතුම කෙලින්ම සිය පියාටය. පළමු වර ඇමතුමට පිළිතුරු නොදුන් නිසා ඔහු නැවතත් ඇමතුවේ ඒ මේ අත ඇවිදිමින් සහ නාසයෙන් ගිනි පිඹිමිනි. ඒ අවසරයෙන් දිසාසේකර එතෙක් එතැන රැඳී උන් නිලධාරින් දෙදෙනා පිටත්කොට යවන්නට උත්සහ කලේ මේ පිය-පුතු රණ්ඩුව ඇවිලී යන බව දන්නා නිසාය. නමුත් ඔවුන් මදක් ඈතට වුවා මිස පිටව නොගියහ.

" අප්පච්චි මොකටද මගේ මිශන් වලට ඩඩාගේ උං එවන්නෙ?"

ඇමතුම සම්බන්ධ වූ සැනින් ගුගුරා හැලුනු කිත්ම දොඩංගොඩගේ හඬ ධර්මේන්ද්‍ර දොඩංගොඩගේ කාර්‍යාල කාමරය පුරා දෝංකාර දුන්නේය. ඔහු මේ ඇමතුම බලාපොරොත්තුව සිටි නිසා මුවේ ඇඳුනේ සෝපහාස සිනාවක් පමණි. 

" කිත්ම! තමුන්ගෙ අප්පච්චිට හරියට කතාකරන්න ඉගෙනගන්නව!! ඔහොම විතරක් නෙවෙයි මට ඕන නම් තමුන්ව ඔය මිෂන් එකෙන් අයින් කරලා දාන්න උනත් පුලුවන්.. "

කිත්ම දත්කූරු සපන බව ධර්මේන්ද්‍ර දොඩංගොඩ අනුමාන කලේය. හිතුවක්කාර ; කේන්තිකාරයා තම මද්දුම දරුවා වුවත් සාලින්දට එය අදාළ නොවීය.

".. තමුන් ඔය මිෂන් එක හින්දා පැටලෙන්න යන තැන් ගැන මගේ පැහැදීමක් නෑ. කොල්ලව අපි ලොකේට් කරලා තියෙන්නෙ. ඌ රට පනින්න හිටියේ.. ඒක අදින් ඉවරයි. දැන් තමුන් අම්මගෙ හිත රිද්දන්නේ නැතුව ගෙදර ආවොත් හොදයි!"

පියෙක් සහ නියෝජ්‍ය පොලිස් අධිකාරී ලෙස කිත්මට වඩා සිය දහස් වරක් අධිකාරියක් තමාට පවුල තුල පමණක් නොව රාජකාරියේද ඇති බව හඟවන ඒ වදන් කිත්මගේ කෝපය තවත් අවුල්කොට දැමුවේ මුත්, ඇසුනු දේ ගැන ඔහු දෙවරක් සිතුවේය.

"අ.. අප්පච්චි...! අදින් ඉවරයි කියන එකේ තේරුම මොකක්ද? දර්ශන්ට මොකද උනේ?"

" He was shot ( ඔහුට වෙඩි තිබ්බා ) තාම මිනිය මෝචරියට ගෙනාවෙ නෑ. උං ඒක ආපහු ගෙනියන්නත් ඉඩ තියෙනවා"

කිත්මගේ දෙපා පන නැති වූ නිසා වහා ජීප් රථයේ බඳට අත තබා වාරු වූයේ දුරකතනය තදින් සවනට තදකර ගනිමිනි. අකුණක් පුපුරුවාක් මෙන් මනසට පැමිණියේ මෙතෙක් සිටි දෙදෙනාගෙන් එක් අයෙක් නමගිය වෙඩික්කරුවෙක් නොවේද යන්නයි. දෙවියනේ!

" අප්පච්චි? ක- කවුද වෙඩි තිබ්බෙ? ඇයි ඌට වෙඩි තිබ්බෙ?? මොකක්ද ඒ කලේ?"

" මමයි ඕඩර් එක දුන්නෙ. ඌ ටෙරාලත් එක්ක ඉන්නෙ. ඌ රට පනින්න ගියේ තව ටික දවසකින්. මේක මිලිටරි තීරණයක්.. තමුන් පැත්තකට වෙලා හිටියොත් හොඳයි"

" අප්පච්චී!!!!!!!! ඒක මගේ මිෂන් එක? ඔයා මොන බම්බුවක්ද ඒ කලේ? ඌට වෙඩි තිබ්බෙ කාගෙන්... " 

ඔහුගේ හඬ සිරවී ගිය නිසා තවත් මුකුත් කියවෙන්නට පෙර කිත්ම දුරකතනය විසන්ධි කොට , නළල මද වේලාවක් ජීප් බඳ මත තබාගෙන,  වෙව්ලන ශරීරය මදක් සන්සුන් කරන්නට උත්සහ ගත්තේය. 

.

.

' ඔය ඇති.. ඔතනින් අයින් වෙයල්ලා'

සෙබළුන් දෙදෙනාට එසැනින් ලැබුනු කෙටි පණිවිඩයට අනුව දෙදෙනාම සිය රථය ආපසු හරවාගත්හ. 

.

.

' ඒ අහිංසකයට එහෙම දෙයක් කලේ කාගෙන් අහලද @@@ ' කියා කෑගසන්නට කිත්මට අවශ්‍ය වූ මුත් ඔහු හැඟීම් පාලනය කොට ගත්තේය. සිය පියා කෙබඳු පුද්ගලයෙකුදැයි කිත්ම දොඩංගොඩ නොදන්නේ නැත. 

එහෙත්.. එහෙත් මෙය අපරාධයකි!

" සර්? "

දිසා ඔහු අසළට එත්ම දුන්නෙන් මුදාහල හීයක් මෙන් කිත්ම සිය ගිණි අවිය කලිසම පසුපස වූ දාරයේ හොවා ගනිමින් වේගයෙන් ඉදිරියට ඇවිද යද්දී ඔහුගේ දෑසේ තිබුනු ආවේගය දිසා තුල ඇතිකලේ තැතිගැන්මකි.

"... සර්.. අර ලේඩි.."

කිත්ම එය නෑසුනා සේ නිවස තුලට ඇවිද ගියේ බරැති අඩි තබමිනි. ඈතින් පෙනෙන මිදුලේ වැලි වල කළු පැහැයෙන් ඇති පැල්ලම් කිත්මගේ හදවත කීතු කර දැමීය. ඒ රුධිර පැල්ලම් තමා වරදකරුවකු කොට හමාරය. දිසා ඔහු පසුපස හැල්මේ දිවගෙන ගියේ තමන්ගේ ස්වාමියා ආරක්ෂා කලයුතු නිසා වුවත් මෙය හොඳ කෑමක ආරම්භයක් බව දැන දැනමය.

අඩවල් කොට තිබුනු නිවසේ දොර ශබ්දයෙන් පයින් ගසා විවර කරමින් නිවසට ඇතුළුවත්ම කිත්මගේ ඇස ගැටෙන්නේ සාලය මධ්‍යයේ දුරස්ථ පාලකයකින් වැඩ කරනා විසල් සෙල්ලම් වාහනයක් බදාගෙන සිටිනා අංජලිකා වෙල්ලාලගේය.

" අංජලිකා ! මොකද මෙහෙ කරන්නේ? එනව යන්න මගෙන් මැරුම් නොකා!!"

 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

සෝෆාවේ ඉදිරිපස ආසනයේ සිට එක එල්ලේ තමා දෙස බලා සිටිනා කිත්මගේ දෑස් මගහරිමින් අංජලිකා ඒ මේ අත බලමින් හිඳ අවසානයේ බිම බලාගත්තාය. ඇතිවූ නිහඬතාවය නිසා ඈට දැනුනේ හුස්ම හිරවන්නට ආසන්න බවකි.

" තව ටිකකින් ජානු දුව එනවා කිව්වා පුතා.. දන්නෙ නැද්ද.. වෙඩින් එකට එහෙ මෙහෙ දුවනවා ඉවරයක් නෑනෙ... තේ බීලා ඉම්මු"

සාලයට තේ බන්දේසිය ගෙන එන සේවිකාව පසුපස එමින් සේපාලිකා ඉලංගරත්න පවසන්නේ සිය දියණියගේ ප්‍රමාදය ගැන කිත්මගේ දෙවන වරටද සමාව ඉල්ලමිනි. ඒ මොහොතේ ඒ අවසරයෙන් එතැනින් ලිස්සා යන්නට සැරසී සෙමින් නැඟී සිටි අංජලිකා කිත්ම දෑසින් අල්ලාගෙන වාඩිවෙන්නට අණ කලේ ජානුලීගේ මවගේ දෑස් මඟහරිමිනි. අංජලිකා කරකියාගතහැකි දෙයක් නොමැතිව හිඳගත්තේ කිත්මගේ තර්ජනය සිහිවීය.

' තමුන්ගෙ හස්බන්ඩ් දන්නවද තමුන් පිරිමි ඉන්න ගෙදරකට ඇවිත් මෙහෙම ඉන්නවා කියලා? ආ?? '

ඉන් පසුව පූසියක මෙන් වාහනයට නැඟී ජානුලීගේ නිවසට පැමිණියේ යන්ත්‍රානුසාරයෙන් මෙනි. හදවත ගල්ගැසී හඬන්නටවත් එයට පණක් තිබුනේ නැති අතර එකවරම තමා ග්ලැසියර කුහරයකට වැටුනාක් මෙනි.

දර්ශන් ත්‍රස්ථවාදී කල්ලියකට සම්බන්ධයක් ඇති බවක් තමාට කිසිවිටෙක නොසිතුනේ ඇයි? ඊටත් සිංහල මිනිසුන් කුරිරු ලෙස මරා දමන ; තමන් අප්‍රිය කරන මතක රැසක් ඇතිකල එවන් සංවිධානයකට උපකාර කරන්නට තරම් දරුණු සිතක් ඔහුට තිබෙනවා කියා සිතුනේවත් නැත. සිතුවිලි රෝලකෝස්ටරයක සිටි ඈට හඬන්නට අවශ්‍ය මුත් එවන් කම්පිත වෙනත් අවස්ථා වලදී මෙන් ඈ සිටියේ කිසිවක් නොදැනෙන්නා සේය.

' විදුල්ගෙ සෙල්ලම් බඩු දාලා ගිහින් තිබ්බා. ඒවා ගෙනියන්න ආවෙ'

තමාගේ පැමිණීමට හේතුව ලෙස පැවසූ දෙය කිත්ම විශ්වාස කලාද කියා ඈට වගක් නොවුනි. ඈ සිටියේ මුහුණ සඟවාගෙනය. ඇදගෙන මෙන් රැගෙන විත් ජීප් රථයට නංවාගෙන ආපසු එනකල්ම කිත්ම ඇති පදමට දෙහි කැපුවේය.

' දන්නවද මේ ගෙදර හිටියේ කවුද කියලා ?'

' දන්නවද දරුවට මුකුත් නූනේ වාසනාවට කියලා?'

' දන්නවද මුං L-T-T-E කියලා ? '

' මෙලෝ දෙයක් හොයන්නෙ නැතුව ගාල කඩාගෙන වගේ එනවා.. මොලේ උඩද ඉඳගන්නෙ?'

' මේ මිනිහව හොයාගෙන තනියම ආවේ ඔලුව අවුල් වෙලාද? රොමෝට් කාර් ! හුහ්.. රොමෝට් කාර් පෙන්නනවා මම.. '

ඉතිරිය ඔහු ගිල්ලේය. ඔහු නොඑන්නට වෙඩික්කරුවාගේ ඊළඟ ඉලක්කය වූයේ අංජලිකා බව ඈ නොදන්නා බව ඔහුට ස්ථිරය. නැතිනම් නිවස තුල සෙල්ලම් බඩු සොයන්නට ඒද? ඊටත් වඩා ඇගෙන් දැනගතයුතු දේවල් රැසක් ඇත.

" තෑන්ක්ස් ආන්ටි..  මම ජනේශ් හම්බුන වෙලාවෙත් ඌ කිව්වෙ නෑනෙ ආන්ටිලා එහෙ නැති කතාවක්. එතකොට අංකල්ගෙ බිස්නස්?"

කිත්ම තේ කෝප්පය අතට ගනිමින් ජානුලීගේ මවට සිනාසී එසැනින් අංජලිකාට ඔරවා තේ බොන්නට කියා දෑස් ලොකු කලේය. පසෙක සිටි දිසාට කිත්මගේ මේ ගිණි පිඹිල්ලට සිනා මුත් හිත තුල කැළඹීම නිසා වෙනදා මෙන් කවටකමක් කරන්නට සිත් නොදේ. 

කිත්මගේත් ඔහුගේ පියාගේත් සංවාදය හරිහැටි නෑසුනද, දර්ශන්ට කුමක් හෝ අනතුරක් වී ඇති බව ස්ථීරය. දර්ශන් සම්බන්ධයෙන් කිත්ම දොඩංගොඩගේ ප්‍රතිපත්තිය වඩාත් හොඳින් දත් දිසාසේකර වඩාත් ඒ ගැන තැවුනේය.

" අපේ දුවගේ ඉන් ලෝස්ලා ගේ නංගි කෙනෙක්ට කරදරයක් වෙලා අපි ඔක්කොම එහෙ ගියා. පුතාට එන්න බෑ මේ ඔක්කොම බලන්නෙ එයානෙ. මට කෝල් එකක් දීපු වෙලෙත් කිව්වා වෙඩින් එකට ඉන්වයිට් කලා කියලා.. 

සොරි පුතා මේක හරි හදිස්සියේ ගන්නේ.. අපේ දුවට වැකේශන් අස්සේ දාගත්තෙ වීසා වැඩ වලට කල් යන හින්දා.. ඒ උනාට පුතා එන්න වෙඩින් එකට අපේ ගෙස්ට් ලිස්ට් එක අප්ඩේට් කරන්න පුලුවන් ඉවෙන්ට් ඕගනයිසර් ට.. පුතා යූඑස් ගියා කියලනෙ මට අපේ පුතා කිව්වෙ.. මම හිතුවේ.."

ඔරවමින් සහ කට අඹරවමින් අංජලිකාට තේ එක බොන්නට බල කරනා කිත්ම ගැන වැඩි අවධානයකින් තොරව සේපාලිකා ඉලංගරත්න කියවාගෙන යන්නීයා. 

'දුවට ඉතින් ලෙඩේ ආවේ කොහෙන්ද කියලා අහන්නත් දෙයක්ද?'

කිත්ම ඉස්සර සිය මිතුරාගේ මවගේත් සොයුරියගේත් කට ගැන සරදම් කරන්නේ එලෙසය. අංජලිකා හැකිලීගෙන තේ කෝප්පය බොන්නට ගත්තේ නිහඬවමය.

".... පුතාට කොහෙන්ද මෙයාව සෙට් උනේ? මට නම් අඳුනගන්නත් බැරි උනා මේ දඟකාරිව.. ඉස්සර කලිසම් කොටයක් ගහගෙන වහලෙ ඉඳලා බයිට් කන්නේ... දැන් ඒකට දරුවෙකුත් එක්ක තැන්පත් වෙලා"

සේපාලිකාගේ වචන සමඟ වේගයෙන් වෙනස්වන අංජලිකාගේ වත එසැනින් ඈ වහා වෙනස් කරගන්නවා කිත්ම ඔහුගේ තියුණු දෑසින් අල්ලා ගත්තේය.

' හිතාගෙන ඇති මම මෝඩයෙක් කියලා! '

ඔහුගේ සිත ඇතුලතින් පාරම් බාමින් සිටින අතරතුර කුමක් හෝ හේතුවකට හිස එසවූ අංජලිකාගේ දෑස් මොහොතකට ඔහුගේ දෑස් හා පැටලී ගියේය.

'සරස්.. සර.. සර.. සරස්!'

එය විදුලි කාන්දුවකදී නැඟන හඬක් ලෙස කිත්මගේ හදවත තුල පොලා පැන්නේ කොහෙන්හෝ පැමිණි අමුතු හැඟීමකින් සිත පුරවාලමිනි. 

ඒ සමඟම භවන්ත විසින් කියූ කාරණා එකින් එක හදවත තුලින් පොලාපනින්නට වූ නිසා තදින් සිය යටිතොල සපාගත්තේ දෑස ඉබේටම වැසෙද්දීය.

ඒ මොහොතේ නිවසට පිවිසියේ ජානුලී සහ දේශක යුවල සමඟ ඔවුන්ගේ විවාහ මංගලෝත්සවයේ සංවිධායක ආයතනයේ නියෝජිතයාය.

" ආ.. කිත්ම අය්යා..  සොරි ඔයා ගොඩක් වෙලා බලාගෙන හිටියද? ලොකු ට්‍රැෆික් එකක් තිබ්බනෙ එන පාරේ.. මේ නුවර මිනිස්සුන්ට ගානක් නෑ පාරට බැස්සම... ජොලියේ නැලවි නැලවි යන්නෙ.. ඉතින් ට්‍රැෆික්"

ජානුලී එලෙස කියමින් අංජලිකා දෙස හොර බැල්මක් දමා සිය මවගේ ගෙලේ එල්ලෙන්නේ ඇගේ කොපුලක් සිපගනිමිනි.

".. කොහොමද මගේ බටකොල ආච්චියේ... ඔන්න ඔයාගෙ දුවව එලෝගන්න සැලසුම් කරන්න ගිහින් මට දැන් ගොඩක් මහන්සියි... අපිටත් දෙන්නකෝ තේ එකක් මේ වගේ මූඩ් ෆික්ස් කරන ඉඟුරු බිස්කට් එක්ක"

" ඇත්තටම මේකිගේ කට !"

අම්මා ජානුලීගේ මුව මිරිකන්නේ ආදරයෙනි. අංජලිකා ඒ දෙස නොබලා ඒ අවසරයෙන් නැඟිට යන්නට හැදුවා පමණි. කිත්මද ඒ ලෙසටම නැඟී සිටියේය.

" ජානු එහෙනං මම ඔයාගෙ යාළුවව ඉක්මනින් ගෙනත් බස්සන්නම්කො.. එයාගෙ හස්බන්ඩ්ට වාහනයක් ඕනේ කියලා අපේ සේල් එකට යන්න ඕනෙ කිව්ව හින්ද ඔයා එනකල් නැවතුනේ.. නේද අංජලිකා ?"

කිත්ම අඩක් නිමකල තේ කෝප්පය කෝපි මේසය මත තබමින් එලෙස පැවසුවේ එක එල්ලේ අංජලිකා දෙස බලාගෙනමය.

ජානුලීගේ දෙනෙත් නතර වූයේ නළලතයි. අංජලිකා අද දින දර්ශන් හමුවීමට ගිය බව ඈ දනී. ඊටත් මීට ටික මොහොතකට පෙර සිය මව ඈ අමතා කියා සිටියේ කිත්ම අංජලිකා සමඟ නිවසට පැමිණ ඇති නිසා ඉක්මනින් ‍එන ලෙසයි. 

' මොකක්ද මෙතන වෙන්නේ?'

ජානුලීගේ මුහුණ මගහරිමින් අංජලිකා ආපසු හැරුනේ ඉහළ මාලයට යන්නටය. 

එකෙනෙහිම කුඩා විදුල් ඇතුල් මිදුලේ සෙල්ලම් කරමින් සිට තවත් දරුවන් දෙදෙනෙකු සමඟ නිවස තුලට කඩාගෙන විත් අංජලිකා අසළ ඉද්ද ගැසුවා සේ නතර විය.

" දශන්...! රිමෝ කා..  ය්යේ..."

කොලු පැටියා මුලින්ම දුටුවේ අංජලිකාගේ පය පාමුල තබා තිබෙන දර්ශන් ඔහුට ලබාදුන් දුරස්ථ පාලක මෝටර් රථයයි. 

ඔහු එය දැක ප්‍රීතියෙන් උඩ පැන්නේය. එහි පරිපථය දර්ශන් වෙනස්කොට තිබුනේ අළුතින් වැඩකෑලි රැසක් සමඟ නිසා විදුල්ගේ ප්‍රියතම සෙල්ලම් බඩුව වූයේ එයයි. 

ඔවුන් විවාහ ගිවිසගැනීමට කෙලින්ම ගිය නිසා සෙල්ලම් බඩුව මඟහැරුණ මුත් ඔහු දින කීපයක්ම එය විමසා හැඬූ බව ජානුලීද දන්නා කරුණකි.

අංජලිකාගේ හදවත ගිනිගෙන දැවෙන්නට විය. 

" විදුල්..  යං අපි"

ඈ වහා රථය ඔහුගේ අතට දී ඔහුව ආපසු හරවා යැවූවද විදුල් අංජලිකාගේ අත යටින් රිංගා විත් කිත්මගේ මුහුණ දෙසත් දිසාගේ මුහුණ දෙසත් මාරුවෙන් මාරුවට බලා ආපසු හැරී අංජලිකා දෙස බැලුවේය. සෙල්ලම් බඩුව ඇතත් බලාපොරොත්තු වූ දර්ශන් මෙතැන නැත. මුහුණ බෙරිවී ගියේ ඉබේටමය.

".. දශන්.. කෝ? I want him ( මට එයාව ඕනෙ)"

ඒ වචන කිත්මගේ ලය හරහා කඩු පහරක් සේ ඇදී ගියේය. අංජලිකාගේ දෙපා වාරු නැතිව ගිය බැවින් මුවින් පිටවූයේ 'ගොර ගොර' ශබ්දයක් පමණි. දෙදෙනාගේ විස්සෝපයට හේතුව එකිනෙකට වෙනස් වූවත් එකිනෙක ස්වායත්තද නොවුන නිසා අංජලිකාගේත් කිත්මගේත් නෙතු එකට යාවී ගියේය.

" පුතා එහෙනං අපි එනකල් කා එකෙන් සෙල්ලම් කරන්නකො. අංකල් ඕකට බැට්‍රි දෙකකුත් අළුතෙන් දාලා ගෙනාවේ"

කිත්ම වහා හඬ අවදි කලේ ඒ මොහොතේ කලයුතු හොඳම දෙය එය නිසාමය. අනෙකුත් සියල්ලන්ගේම දෑස් තිබුනේ විදුල් මත බැවින් අංජලිකාගේ මුහුණ වෙනස් වූ අයුරු දකින්නේ කිත්ම පමණකි.

ඇතිවූ තත්වය නිසා අංජලිකාගේ හිස අවුල් ජාලයක් වී ගියේය. කිත්ම දර්ශන් ගැන තමාට වඩා දන්නා බව අංජලිකා දනී. එබැවින් ඔහු හා කතා කිරීම යනු මේ මොහොතේ කළහැකි එකම දෙයට වඩා හොඳම දෙය වන්නට ඇත.

' මගේ දර්ශන්! ඔයා ඇයි මට මේ කිසි දෙයක් නොකිව්වේ? ඔයාව කිත්ම හොයනව නම් කිත්ම කියන්නෙත් මේකට සම්බන්ධයක් තියෙන කෙනෙක්ද? 

දර්ශන්.. මම මේක ලෙහාගන්න ඕනෙ..  කිත්ම උදව් කරයි නේද? '

අංජලිකාගේ හදවත ලතෝනියක් දෙද්දී ඈ වේගයෙන් ඇසිපිය සළමින් මුහුණ වෙනස් කරගත්තාය.

" එ.. ඒකනෙ විදුල්.. ඔයා මේකෙන් සෙල්ලම් කරන්න මම ඉක්මනින් එන්නම්.. ( කට බලියාගෙන සිටින ජානුලී දෙසට හැරී) ජානු මම වෙහිකල් එක බලලා එන්නම් මෙතන මහය්යාවෙනේ... "

අනතුරුව කිත්ම පසුපසින් ඇවිද යන අංජලිකා දෙස ජානුලී බලා සිටියේ දේශක ඈගේ උරයට තට්ටු කරනා අතරය. දිසාසේකර ජීප් රථයේ රියදුරු ආසනයේ හිඳගත්තේ අංජලිකාට පසුපස ආසනයට දොර විවරකොට , පසුව එය වසා ඉදිරිපස අනෙක් ආසනය මත කිත්ම හිඳගත් වහාමය.

මද වේලාවකින් අනිවත්ත මාර්ගය ඔස්සේ ආ ජීප් රථය ප්‍රධාන මාර්ගයට පිවිසෙන ස්ථානයේදී මදක් නතර කල දිසා කිත්ම දෙස බැල්මක් හෙලුවේය.

" දිසා උඹ බැහැපං මෙතනින්.. තව පැය තුනකින් ක්වීන්ස් එකට වරෙං කැබ් එකක් දාගෙන.. දවල් කෑම කාලම වරෙං"

කිත්ම සිය පසුම්බියෙන් නෝට්ටු කොල කීපයක් දිසා අත තබා පවසද්දී යමක් කියන්නට මෙන් උත්සහ කල දිසාව දැස පියා නතරකල කිත්ම , දිසා බැසගිය පසු හිස්වූ රියදුරු ආසනයට නැඟගත්තේය. අනතුරුව ජිප් රථය සැර දමාගෙන මහනුවර නගරය දෙසට දිවෙන මාර්ගයේ වූ වංගුවෙන් නොපෙනී ගියේය.

-------------------------- මතු සම්බන්ධයි ----------------------------

ඉක්මනින් හමුවෙමු.

ප.ලි: මෙහි එන චරිත සහ සිදුවීම් සියල්ල මනඃකල්පිත බවත් , එය දැනට ජීවත්ව හෝ මියගිය කිසිවෙකුට සම්බන්ධයක් නොමැති බවත් කරුණාවෙන් සලකන්න.

ගොඩාරියක් ස්තූතියි කියවනවාට සහ කමෙන්ට් කරන, ලයික් කරන නොකරන හැමෝටම

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

© ලිඛිතා මංජරී
නිර්මාණයේ සියලු හිමිකම් කතුවරිය සතුවන අතර, ලිඛිත අවසරයකින් තොරව කුමන ආකාරයකින් හෝ උපුටා ගැනීම, Screen Shot ගැනීම හෝ වෙනත් කිසිම මාධ්‍ය‍යක පල කිරීම සපුරා තහනම් වේ.

4 comments:

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...