Monday, November 28, 2022

මට ඇහෙන සරින් - පහළොස්වන පරිච්ජේදය


අවසන් කාඩ්බෝඩ් පෙට්ටියද අසුරා එහි හරහට කිරි තේ පැහැති ටේප් පටියෙන් ඇලවුමක් යෙදූ දර්ශන් වෙහෙසකර දෑසින් පුටුවට කඩා වැටුනේය. ඔහු අසළම බිම ඇති මෙට්ටයේ දේවා තද නින්දකය. සාලයේ නිදා සිටිනා දෙදෙනාගේ ගෙරවුම් හඬ ඇසෙන්නේ ලී මෝලක ඇසෙන ශබ්ද රැසක් විලසිනි. දහදිය නිසාත් , එකදිගට ඔට්ටුවීම නිසාත් දර්ශන්ගේ වතේ තිබුනු තෙහෙට්ටුවට වඩා හිතේ තෙහෙට්ටුව වැඩිය. 

මේසය මත වූ දුරකතනය ගත් දර්ශන් එය ඈතට කොට මේසය යටට අත යවා එතෙක් වේලාවක් එහි පියනේ යටි පැත්තේ අලවා තිබුනු ජංගම දුරකතනය අතට ගෙන වේගයෙන් whatsapp සහ අනෙකුත් සියල්ල පරීක්ෂා කලේ ගොදුරක් සොයනා බඩහිනි ව්‍යාග්‍රයෙකු මෙනි.

සිත කඩා වැටුනේ තමන් යැවූ කිසිම පණිවිඩයක් ඈට නොලැබී ඇති බව දැනීමෙනි. ඈ සතුව තිබුනු ඇපල් වර්ගයේ දුරකතනය කොටින්ම තිබුනේ අන්තර්ජාලය හා සම්බන්ධව නොවේ. ඉඳහිට එවන 'හායි' වැනි වචනයක් මිස වෙනත් කිසිවක් නොතිබුනු දෙදෙනාගේ whatsapp සංවාදය තුල තමා යවා ඈ නොබැලූ පණිවිඩ ගණන මේ වනවිට පනස් තුනකි. 

' අංජු මට ඔයාව දකින්න ඕනේ ( Anju, I want to see you )'

තමන් අවසන් වතාවට ලියූ ඒ වචනවල සිංහල වචනාර්ථය ඈට වැටහේද? දමිළ බසින් කිව්වා නම්? 

අංජලිකා.. ඈ කවරෙක් වුවද මේ වනවිට තමා සිටිනා මේ වියවුල මැදට ඇද දමන්නට හැකිද? බසකින් කියවන්නට නොහැකි හැඟීම් ඒ බැල්මේ තිබුනා නොවේද? 

ඔහුගේ හදවත වේදනාවෙන් බර වූයේ සිය පියා සිහිවීමෙනි. ඒ වනවිට උසස්පෙළ ප්‍රථිපල පිටවී ගතවී තිබුනේ මසක කාලයක් පමණි. තමා මොරටුව විශ්වවිද්‍යාලයට තෝරාගත් බව පැවසූ ඒ තීරණාත්මක ලිපිය පැමිණි දිනය මෙතරම් අඳුරු වනු ඇතැයි තමා නොසිතූ හැටි! 

ලිපිය බාරදුන් ලියුම් කරුවාගේ ආරංචියට සසීදරන් ඇතුළු තිදෙනෙක් නිවසට කඩාපාත් වූයේ මැදියමට ආසන්නයේය.

" ඇයි උඹ දර්ශන්ව යාපනේ විශ්වවිද්‍යාලයට නොදැම්මෙ? ඌට ඒකට ළකුණු තිබ්බනෙ!"

තාත්තා ඊට පිලිතුරක් නොදුන් නිසා වැදුනු පහරට තමා ඉදිරියට පැන්නද දෙදෙනෙක් කෙසඟ තමාව අල්ලා ගත්තහ. 

".. හදා ගනිං ඕක.. හෙටම ලියපං.. "

තාත්තාගේ පිලිතුර ඔවුනට වැදගත් නොවීය. ඔවුන් පිටව ගියපසු තාත්තා කිසිදු කතාබහක් නොමැතිව නින්දට ගියද බොහෝ රෑ බෝවනතුරු අම්මාගේත් තාත්තාගේත් අපැහැදිලි සංවාදයක් ඇසුණි. 

පසුවදාම තමාව වැල්ලවත්තේ පිහිටි නිවසට පිටත්කොට එව්වේ තාත්තා හඳුනන මිතුරෙකු හරහාය. තාත්තා දුටු අවසන් වතාව එයයි. වැල්ලවත්තේ පිහිටි නිවසේ රැය එළි වනවිට තමන්ගේ ජීවිතයේ ආලෝකය නිවීගොස් තිබිණ. පංචලිංගම් ඉලෙයිරාජා ඔහුගේ නිවස ඉදිරියේදීම වෙඩිතබා ඝාතනය කොට තිබින. පවුලක කොඳුනාරටිය අහිමි වූ පසු ඉතිරිය ඉබේම කඩා හැලුනි. 

දර්ශන්ගේ නෙත් කඳුළින් බර වූයේ ඉබේටමය. 

' හින්දු අපි හරි සාමකාමී මිනිස්සු දර්ශු.. බලන්න මේ වටපිටාව දිහා.. අපි කොච්චර ලස්සනට ජීවත් වෙනවද? උඹ කවදාවත් දෙවියන්ට විරුද්ධව යන්න එපා. දෙවියන් එතකොට උඹව බලාගන්නවා '

තාත්තා පැවසුවේ එසේය. 

' එහෙම නෑ අප්පා.. දෙවියෙක් වගේ හිටපු අප්පාව දෙවියෝ බලාගත්තේ නෑ.. උන් එක්ක හිටපු උන් විතරයි ඉතුරු උනේ... උන් දෙවියන්ටත් වඩා ඉහළයි.. මට සමාවෙන්න අප්පා.. මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.. අම්මා වෙනුවෙන් මට ඒක කරන්න උනා.. අක්කා වෙනුවෙන් ඒක කරන්න උනා.. ඒත් තවදුරටත් ඒක එහෙම වෙන්නේ නෑ.. '

ඔහු තෙත් දෑස පිසදමා අසළ බිම තබා තිබුනු බ්‍රීෆ් කේස් එක සෙමෙන් විවර කල දර්ශන් තමා අවසානයට නිමකල ව්‍යාපෘතියට අදාළ කොල මිටිය ගෙන මේසය මත දිගහැරියේය. සති පහක මහන්සිය!

එකෙනෙහිම සාලයේ උන් අයෙකුගේ අසළ වූ කුමක් හෝ ඉලෙක්ට්‍රොනික උපාංගයක් මර හඬ තැලූ අතර ඒ ශබ්දයට දර්ශන් පවා උඩ විසිවී ගියේ එසැනින් දෙපළු වූ දොර පියන්පත් නිසාය. දර්ශන් අත වූ දුරකතනය එසැනින් මේසය යටට විසි කළේ එය හසු නොවන පිණිසය.

" යමල්ල යමල්ල.. මෙතැනින් යමල්ලා.."

නින්දේ උන් දේවා බිම දිගේ ඇදගෙන එද්දී ඔහු සිටියේ අන්ද මන්දවය. අනෙකා පැන දර්ශන් පය පාමුල තිබුනු විශාල පෙට්ටිය ගන්නට නැමුනේය.

" අල්ලපං මේක කැබ් එකට..! ඉක්මනින් !! ඉක්මනින් යකෝ.."

ඔහු ගිගිරුවේ දර්ශන්ට මුත් දර්ශන් හැල හොල්මනක් නොමැතිව බලා සිටියේය.

" දර්ශන්.. ඕක අල්ලපං යකෝ අපි මෙහෙන් යන්න ඕනෙ..  අරුං එනව"

නින්දෙන් පිබිදී යන්තම් සිහි එළවාගන්නට සමත් වූ දේවා එසේ කියමින් ඉතිරි දෙදෙනාට පෙට්ටිය පටවා ගන්නට උපකාර කළ නමුත් දර්ශන් කිසිවක් නොකොට ඔහේ බලා සිටි නිසා මහා කලබලයෙන් වාහනයට නඟිමින් උන් තිදෙනා එක මොහොතකට දර්ශන් මත නෙත රැඳෙව්වේ පුදුමයෙනි.

" වරෙං නැඟපං"

දේවා කෑගැසුවේ ආවේගයෙනි.

" නෑ මම එන්නෙ නෑ!"

තිදෙනාම ගල් ගැසුනහ. නමුත් එසැනින් එතැන උන් අයෙකුගේ කලිසම පසුපසට අත යාමත් සමඟම එළියට ආ ගිනි අවිය දකිත්ම දේවා ඔහුගේ අතේ එල්ලුනේය.

" එපා.. අන්නා එපා!"

එසැනින් නිකුත් වූ වෙඩි උණ්ඩයේ හඬ පලාතේ දැඩි නිහඬතාවය බිඳගෙන මහා දෝංකාරයක්ව ඇසුණි.

🌸🌸🌸🌸 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

දුරකතනය සයනය මතට අතහැර දැමූ අංජලිකා මදක් හතිලෑවාය. අනතුරුව කාමරයේ ඒ මේ අත ඇවිද්දේ ආතතිය සමනය කරගන්නට මෙන් වුවද නොනවත්වා සිත තුල පෙරළි කරනා හැඟීම් වලට එය ප්‍රමාණවත් නොවීය.

' මේ අංචු නේද කතා කරනවා? දර්ශන්ගෙ ෆ්‍රෙන්ඩ් මම.. දර්ශන් ඔයාව හොයනවා'

එපමණකි! ඇමතුමට එකදු වදනකින් වත් පිලිතුරක් නොදුන් බවටත් වඩා ඇසුණු පුවතින් දැනුනු වේදනාව මෙතෙකැයි කියා නිමකල හැකි නොවේ.

අවසන් වරට දර්ශන් හමුවී අදට ගතවී ඇත්තේ පැය විසි හතරක් පමණි. සිහිනයකින් ගෑ මුදු සුවඳක් සේ ඒ මතකය තමා තුල ගැඹුරට විහිදෙන රුධිර නාලිකා ඔස්සේ සම්ප්‍රේශනය වී නම නොදන්නා ඉසව්වක තැන්පත් වී ඇති බවක් හැඟේ. 

'මිනිස්සු බය ආදරය කරන්න නෙවෙයි.. මිනිස්සු බය වැරදි කෙනාට ආදරය කරන්න.. '

ඇගේ සිත ඈට මුමුණා කියද්දී සිත තුල නැඟුනේ පෙර වසර ගණනාවක නපුරු සිහිනයක් වන් මතකයන් සේනාවකි. 

ආදරය... ඕනෑම අයෙකුට පැටිවියේ සිට පැමිණෙන සිහිනයක් වෙයි. ඒවා එකිනෙකට වෙනස් වුවද නොතිත් වර්ණවත් බවකින් යුක්තය. ජීවිතේ එක් අයෙක් සමඟින් හෝ උමතුවෙන් මෙන් ආදරයෙන් බැඳෙන්නට තමා තුලද සිහිනයක් විය. එක් අයෙක්ට එය වරක්වත් තම ජීවිතයේදී එවන් බැඳීමක් ඇතිවන්නට හැකිය. තවත් බොහෝ දෙනෙක් එවැන්නක් නොලබාම සිය සිහිනය අඳුරු කුටීරය තුල ඉර එළියක් නොලබාම මිය යන සූරිය කාන්ත මලක් වී යනු ඇත.

වරක් තමාට ඒ සිහිනය පෙනි පෙනීම අත පොවන මානයේ මීදුමක්ව ගියේය. විසල් පෙරේරා වෙනුවෙන් ඒ ආදර සිහිනය දකිනු වස් බලාපොරොත්තු සහගතව ජීවිතය උඩු යටිකුරු කරනා තීන්දුවකට එළැඹුනේය. 

' ඇත්තටම මම විසල්ට ආදරය කලාද? ඔහු සමඟ ගැවසෙන්න, ඔහුගේ ඉරියව් දෙස නිහඬව බලා සිටිමින් විඳින්න මට අවශ්‍ය කලාද? නැතිනම් මට ආසාවෙන් හිටපු දෙයක් ලැබුන නිසාම ඒකට කෲර ලෙස අයිතිය කියාපෑවාද? 

ඔව්.. සමහර වෙලාවට එහෙම වෙන්නත් පුළුවන්.. මට අනුකම්පාවක් දැනුනේ නෑ. විසල් පෙරේරාගේ අසරණ ඇස්වල ඇති බැල්මට මගේ හිත ඇතුලේ නැඟුනු වියරු සිනාවන් නිසා ලැබුනු කුරිරු සතුට තාවකාලික උනත් මම ඒකට ඇබ්බැහි උනා.. ඔව්! පලිගන්න ගියාම ගෑනු ඒකට ඇබ්බැහි වෙනවා.. ඒ වගේමයි ආදරේ කරන්න ගියාමත්.. දෙවියනේ මම දර්ශන්ට බලාපොරොත්තු දුන්නද?'

දර්ශන් තමාගේ විවාහක බව දන්නේ නැත. එලෙස තිබියදී අනියම් ඇසුරකට සූදානම් බවක් හෝ නොතිබුනු පිවිතුරු ලෙසකින් තමාට සැලකූ හැටි!

අංජලිකා වෙල්ලාලගේ ; සුපුරුදු පරිදි හිතුවක්කාර තීන්දුවක් ගත්තේ පහළ මාලයේ සිටිනා ජානුලිගේ නම හඬගාමිනි.

 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

අංජලිකා මදක් කල්පනා කලේ තමාට වැරදුනාද කියාය. කිසිදු හැලහොල්මනක් පෙනෙන්නට නැතිවාක් මෙන්ම නිවසේ දොරවල් හැරදමා තිබින. ඈ ඉක්මන් ගමනින් නිවස වටා ගොස් දර්ශන් සිටි කාමරයේ පිටතින් බලන්නට උත්සහ කලද, ජනේලය තදින් පියවා අගුළු දමා තිබිණ. 

සිය දුරකතනය අතට ගත්තද එය භාවිතා කරන්නට සිත හදාගන්නට නොහැකි නිසා මදක් තාවර වූ අංජලිකා වන්නාටය කියා එයින් දර්ශන් ලෙස ගබඩාකොට තිබුනු අංකය අවහිර කිරීම ඉවත් කලාය. එකෙනෙහිම නොනවත්වා whatsapp පණිවිඩ ගොන්නක් දුරකතනයට කඩා පාත් වූයේ ඇගේ හදගැස්ම තීව්‍ර කරමිනි.

' අංජු ඔයාට කරදරයක් නැහැ නේද?'

' අංජු ඔයා තරහ වෙලාද? '

' සොරි මම ඔයාව ගොඩක් වෙලා තියාගත්තට. මොරටුවේ ගොඩක් වෙලා ඉන්නේ නැතුව එමු'

එකම පණිවිඩය දෙතුන් වරත්, එකිනෙකට වෙනස් පණිවිඩ හැටක් පමණත් පිරී තිබුනු අතර අවසානයට තිබුනු පණිවිඩය ඈට පෙනුණේ බොඳවූ දෑස් අතරිනි.

' අංජු මට ඔයාව දකින්න ඕනේ'

කෙතරම් අහිංසක ඉල්ලීමක්ද? 

Waiting is painful. Forgetting is painful. But not knowing which to do is the worst kind of suffering.
Paulo Coelho, By the River Piedra I Sat Down and Wept

බලා සිටීමත් , මතක අමතක කිරීමත් යන දෙකම වේදනාකාරීය. නමුත් කුමක් කරන්නදැයි නොතේරෙන බව ඒ සැමටම වඩා විඳවීමකි.

තමා අද මෙහි පැමිණියේ තමාගේ සත්‍ය තත්වය දර්ශන්ට පවසා සියල්ල නිමකරන්නටය. දර්ශන් හෝ වෙනත් කිසිවකු මේ නිවසේ නැති බවට සළකුණු එමට ඇතත් ඈ නිවස තුලට පය තැබුවේ ඇතුලාන්තයෙන් දැනෙනා කුමක් හෝ හේතුවක් නිසාය. 

නිවසට පය තබත්ම එහි ඇති අවුල්සහගත බව අංජලිකා මදක් තැතිගන්වන්නට සමත් විය. ඒ මේ අත විසිරී තිබුනු බඩු බාහිරාදිය අතරින් අංජලිකා කෙලින්ම පිවිසියේ දර්ශන්ගේ කාමරය වෙතයි. එය එකම අවුල් ජාලයක් මෙනි. අංජලිකා ඉන් පය පිටතට ගෙන ඈ පෙර සිටි කාමරයට ගියද එය පිටතින් ඉබ්බෙකු දමා අගුළු දමා තිබින. 

තත්පරයක් පමා නොවී ඈ සිය දුරකතනයෙන් 'දර්ශන්' නමට තිබුනු අංකයට ඇමතුමක් ගනිද්දී ඈ පුදුම කරවමින් දර්ශන්ගේ දුරකතනය ඔහුගේ කාමරයෙන් නාදවනවා ඇසුණි.

අංජලිකා ඒ ඔස්සේ යමින් දුරකතනය සිය සවනේම තබාගෙන, දර්ශන්ගේ කාමරයට පිවිසෙද්දී මේසය යටට වන්නට නාදවෙමින් තිබුනු ජංගම දුරකතනය අතට ගනිද්දී එහි තිරය මත සටහන්වන දේ දැක එතැනම ඉන්දවුනේ දෙපා පන නැතිව ගිය නිසාමය.

' love of my life is calling.. '

" අනේ දර්ශන් !"

අංජලිකා බිම වැතිරී කෑගසා හැඬුවාය. 

මෙතෙක් කාලයකට නාඳුනන පිරිමින් සම්බන්ධයෙන් යහපත් ආකල්පයක් තබා පවුලේ සිටිනා පියාගෙන් හෝ සොහොයුරාගෙන් කිසිදා නොලද සැලකිල්ලක් ලද එකම මිනිසා ඔහුය. ඉගෙනීමට වත් දක්ෂ නැති; කිසිදු විශේෂත්වයක් නැති ; කළු කෙල්ලක වූ තමා කාගේවත් ජීවිතයක ආදරයක් වී සිටියේද නැත. 

ලබාගැනීම ; අයිතිය සහ අධිකාරිය මිස ආදරණීය බැල්මක් හෝ වදනක් නොලද තමා වන් අයෙකුට ඒ ඇමතීම අතිශය වේදනාදනවන සුළුය. තමා ගැන කිසිදු තොරතුරක් වත් නොදැන එලෙස සිය හදවත විවර කරන්නට තරම් ඔහුගේ සිත කෙතරම් දයාර්ධද? හදවත පතුලෙන්ම පැමිණෙන සියළු රුධිරය කැකෑරෙන වේදනාවෙන් සිරුර පුරා පිලිස්සීමක් ලෙස ගලා යන්නා පරිදිය. ඔහු තමාට ආදරය කරනවා යයි සිතීමත් සිහිනයක් මෙනි. 

සීතල පොලව මත වැතිරී සිය ලය පැලී ගලනා රුධිරය වේදනාවෙන් මිරිකා ගනිමින් අංජලිකා මද වේලාවක් ගතකළාය. 

'පොඩ්ඩක් ඉන්න! දර්ශන්ගෙ ෆෝන් එක කොහොමද මෙතන තියෙන්නේ? කෝ එතකොට දර්ශන් ?? ඇයි මේ ගෙදර අවුස්සලා දාලා වගේ? මොකද වෙලා තියෙන්නේ? දර්ශන්ට කරදරයක් කලාද? නෑ!'

දනි-පනි ගා නැගී සිටි අංජලිකා කාමරය සිසාරා බැල්මක් හෙලුවේ නමුත් ඒ මේ අත විසිරුනු ඇඳුම් සහ පෙට්ටි කීපයක් හැරුනුවිට ඔහුට අනතුරක් වූ බවට වෙනත් සළකුණක් නොදුටුවාය. බිම දමා තිබුනු මෙට්ටයේ ඇතිරිල්ල මද දුරක් ඇදී ගොස් තිබුනේ එහි උන් අයෙකු ඇදගෙන ගොස් ඇති බවට සැකයක් ඇති කරමිනි. එසැනින් ඇගේ නෙත් වලට හසුවන්නේ මේසයේ ඇතුල් පැත්තට වන්නට විසිරී තිබුනු කඩදාසි ගොන්නකි.

දර්ශන්ගේ ඉගැන්වීම් ගැන දන්නා නිසා අංජලිකා සිතුවේ ඒවා ඔහුගේ සටහන් කියා බැවින් ඈ නැමී ඒවා එක්කාසු කරන්නට වූවාය. ඒ අතරින් හදිසියේ ඇගේ ඇස ගැටුනු දේ දැක ඈ මදක් ත්‍රස්ථව ගිය නිසා එතෙක් බිම අහුලමින් උන් ඉතිරි කඩදාසි වල ඇත්තේ කුමක්දැයි ඈ විසල් කරගත් නෙතින් බලා සිටියාය.

එහි තිබුනේ යම් ආකාරයක ගුවන් යානයක හැඩහුරුකම් ඇති චිත්‍ර සහ සැකසුම් රැසකි. එහි දෙපස සහ ඇතුලත සටහන් වඩ වඩාත් සවිස්තරව ඇඳ තිබුනු අතර ඒවා මිසයිල සහ බෝම්බ ගෙනයන නියමුවන් රහිත ගුවන්යානා බව දැනුනු සැනින් අංජලිකා කඩදාසි මිටිය තරයේ අල්ලා ගත් සැනින් ඒ අතරින් ගිලිහුණු රතුපාට යමක් සිමෙන්තිය මත පතිත විය.

එය අන් කිසිවක් නොව, ලංකාව තුල කුරිරු යුද්ධයක අඳුරු මතක සටහන් සහිත මිනීමරු අතීතයක් ඇති ත්‍රස්ථ සංවිධානයක ප්‍රසිද්ධ සන්නාමයක් සහිත රතුපාට ලාංජනයකි!

" ද.. දර්ශන් ???? නෑ.... !!! වෙන්න බෑ.. "

අංජලිකා අතින් කඩදාසිත් , දුරකතනයත් ගිලිහී සීතල සිමෙන්තිය පුරා සියල්ල විසිරී ගියේ අනායාසයෙනි.

.

.

" නෑ! කෙල්ල තාම එළියට ආවෙ නෑ. අපි ඇතුලට යන්නද?"

වෝකිටෝකියේ එහාපස අන්තයෙන් එසැනින් පිළිතුරු ලැබිණ.

" එපා! එළියට ආවොත් වෙඩිතියන්න බලාගෙන ඉන්න"

" හරි සර්"

 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

වේගයෙන් ආ කැබ් රථය නිවස ඉදිරියේ වූ බොරළු මත තිරිංග තදකල වේගයට හිමිදිරි පාන්දර වූ සන්සුන් භාවය අතුරුදහන්ව ගියාක් මෙනි. නිවාස සංකීර්ණය අවසානයේම පිහිටි හුදකලා නිවසක් වු එහි පැරණි සහ අබලන් බවට නොගැලපෙන ලෙස ' Dispansary and Surgery ' ලෙස නව පෙනුමකින් යුතු නාම පුවරුවකින් සැරසී තිබිණ.

රථයේ රියදුරුගේ පස දොර විවර වෙද්දී දමිළ බසින් නොසරුප් වදන් වැලක් පසුපස ආසනය දෙසින් නොනවත්වා ඇහෙන්නට වූයේ අතරින් පතර වේදනාවෙන් කෑ ගසන හඬක්ද සමඟිනි. 

" ගනින් ඉක්මනට මූ මැරෙයි ලේ ගිහිල්ල.."

එක් හඬක් විලාපයක් සේ ඇසෙද්දී කලබලයෙන් නිවසේ දොර අසළට දිව ගිය අයෙකු දොරට තඩිබාන්නට වූයේ 'ඩොක්ටර්.. ' ලෙස නොනවත්වා කෑගසමිනි.

විනාඩියකට පමන පසුව නිවස ඉදිරියේ වූ බල්බය දැල්වුනු අතර එතෙක් දොරට ගසමින් උන් මිනිසා දොර විවර වනවාත් සමඟ ආවේගයෙන් කෑ ගැසුවේය.

".. පේශන්ට් කෙනෙක් ගෙනාවා! බ්ලීඩ් වෙනවා.. ඉක්මනින් ගන්න.."

නමුත් අඬ අඳුරේ නිවසේ දොර විවර කල පුද්ගලයාගෙන් පිලිතුරක් නොලැබීමෙන් දොර අසළ උන් දේවා වියරු වැටුනේය.

"... යකෝ වරෙං මෙතන කොල්ලෙක් වෙඩි වැදිලා ගෙනාව! "

දේවාගේ අතපය පුරාමත් ; අළුපාට කමිසය පුරාමත් තිබුනේ රුධිරයෙන් නැහැවී නිසාත් , හිසකෙස් අවුල් වී තිබුනු නිසාත් ඔහුගේ පෙනුම වඩාත් විකෘතියට පෙනුණි.

" අන්නාහ්... ඉක්මනින් !"

කැබ් රථයේ පෙට්ටිය දෙසින් ඇසුණු විලාපය නිසා දේවා හුස්ම අල්ලා ගත්තේය.

" ඩොක්ටර් නෑ ඔන් කෝල් ගිහින්.. කෝ.. කෝ කොහෙද පේශන්ට්?"

දොර අසළ සිටි මහලු ස්ත්‍රිය පැවසුවේ දොර වඩාත් පළල්ව විවර කරමිනි.

" අන්නාහ්...!"

කැබ් රථය දෙසින් ඇසුනු විලාපය කුමක්දැයි තේරුම්ගත් දේවා එතැනට දිවගෙන යද්දී , යන්තම් ඇති වීදි ලාම්පුවල එළියෙන් ඔහු දකින්නේ ලය පසාරු කරගෙන ගිය උණ්ඩය විසින් ඇතිකල අධික රුධිර වහනයෙන් සිය කමිසයම පෙඟුනු ඔහුගේ දෑස් අහසට යොමුවී , බෙල්ල පසෙකට කඩා වැටී ඇති අයුරුය.

-------------------------- මතු සම්බන්ධයි ----------------------------

ඔන්න දැන් මට බනින්න එපා මට කරන්න කිසිම දෙයක් නෑ. පරක්කු කරලා බෑ වෙඩි වැදුනු නිසා ඉක්මනින් ගෙනාවත් 😔 වැඩේ කේස්!  ඉක්මනින් හමුවෙමු.

ප.ලි: මෙහි එන චරිත සහ සිදුවීම් සියල්ල මනඃකල්පිත බවත් , එය දැනට ජීවත්ව හෝ මියගිය කිසිවෙකුට සම්බන්ධයක් නොමැති බවත් කරුණාවෙන් සලකන්න.

ගොඩාරියක් ස්තූතියි කියවනවාට සහ කමෙන්ට් කරන, ලයික් කරන නොකරන හැමෝටම

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

© ලිඛිතා මංජරී
නිර්මාණයේ සියලු හිමිකම් කතුවරිය සතුවන අතර, ලිඛිත අවසරයකින් තොරව කුමන ආකාරයකින් හෝ උපුටා ගැනීම, Screen Shot ගැනීම හෝ වෙනත් කිසිම මාධ්‍ය‍යක පල කිරීම සපුරා තහනම් වේ.

10 comments:

  1. you are going to kill us too........

    ReplyDelete
  2. මේවා කියවල ඉවර කරන්ඩ අර Matrix එකේ වගේ බටයක් ඔළුවට ගහගන්ඩ වෙනවා . කෙටි කතා නැද්ද?

    ReplyDelete
    Replies
    1. අම්මෝ පැතුමා.. ආවද...

      හෙමින් කියවපන්.. හෙමින්... හදිස්සි නම් උඩින් යන්න

      Delete
  3. මගේ අනුමානය 90% විතර හරියගෙන එන්නේ...

    ReplyDelete
  4. මොකෑ පරක්කු

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...