Sunday, November 27, 2022

මට ඇහෙන සරින් - දහ හතරවන පරිච්ජේදය


 

" නෑ එහෙම එකක් නෙවෙයි.. උඹට තේරෙන්නේ නෑ"

පැයක් පමණ වේලාවක පටන් තමාගේ කන දෙදරවමින් ඇති පමණට දෙහි කැපීම අසා සිටි අවසානයේ දර්ශන් එසේ පවසන්නේ කජන්ට හුස්ම අල්ලන්නට ඉඩදෙමිනි.

" ඔව් ඔව්.. මට තේරෙන්නේ නෑ තමයි උඹේ ඔය සර්කිට් ලොජික්.. උඹ සිහිය විකල් වෙලා වගේ හුරතල් වෙවී යනකොට මම දැනගත්ත එහෙම එකකුත් නෙවෙයි කියලා.. බූරූ නයිදෙ.."

කජන්ගේ බැනුම් වලට ප්‍රතිචාර නොදක්වමින්ම සිටි දර්ශන්ට ඊට සිනාවක් පැන්නේ පෙර දිනයේ ඔහු විසින් බෝඩිම් කාමරය ඉල්ලූ හේතුවට රාත්‍රිය පුරාම වාත කරමින් කියූ කතා සිහිවෙමිනි. 

" කජන් උඹ මට කියෝගෙනම ඉන්නෙ මොන මගුලක්ද මේ? උඹට කිව්වේ විස්වාස හින්දා.. මේක සීරියස් "

" ඇහ්! ආයෙමත් කියපං බලන්න ? මොකක් කිව්ව? "

දර්ශන් හුස්මක් ගත්තේය.

" I love her and this is serious ( මම ඈට ආදරෙයි , ඒවගේම මේක ඇත්තටම )"

කජන්ගේ බැරෑරුම් වත නොපෙනුනද ඔහු ඒ වචනයෙන් මදක් මෙල්ල වූ බවක් දර්ශන්ට දැනුණි. එසේ වුවද මෙය සරළ කාරණයක් නොවේ.

" මචා.. උඹ ඔය කරන්න හදන්නෙ ආයෙමත් කරදරේක පැටලෙන එක. මම දන්නව උඹව.. මගේ සහෝදරයා උඹ , වෙන අම්මෙක්ගෙ උනාට. මේ එව්වා අස්සේ සිංහල කෙල්ලෙක් දාගත්තෙ ඇයි බං? තව සති කීපෙකින් උඹ යන්ඩ ඕන.. අන්න උඹේ යුනිවර්සිටි වැඩේ කෙරිලා කියලා මට අන්නා කිව්වා.. "

දර්ශන්ගේ හදවත මත දරුණු නියපහරක් ගමන් කලාක් මෙන් දැනුනද ඔහු ඒ හැඟීම මැඩගත්තේ මේ මොහොතේ කජන්ගේ උපකාරය අවශ්‍යම නිසාය. 

" graduation එකෙන් ( උපාධි ප්‍රධානයෙන්) පස්සෙ මම ඒකිවත් අරගෙන යනව"

තමන්ගේ මුවින් එවැන්නක් පිටවේයැයි කජන් තබා දර්ශන් වත් බලාපොරොත්තු වූයේ නැති බැවින් කජන් එතෙක් වැතිර උන් සයනයෙන් ඉබේටම කෙලින් වී හිඳගත්තේ දුරකතනය සවනට තදින් මිරිකා ගනිමිනි.

" what the f$&k ! මොන මගුලක්ද උඹ මේ කියවන්නෙ? එතකොට උඹ දැන් පාස්පෝට් හදලත් ඉවරද? "

ගමන් බලපත්‍රයක් හදනවා තබා ඇගේ සම්පූර්ණ නමක්වත් තමා හරියට නොදන්නා බව කියන්නද? දර්ශන්ට පළමු වතාවට තම මුවින් ලිස්සාගිය වචන පෙල ගැන පසුතැවීමක් ඇතිවිය. 

" කජන්.. මචා මට මේ වෙලාවෙ උඹේ උදව් ඕන..  මට උදව් කරපං. මම මේ වගේ උදව්වක් මීට කලින් ඉල්ලලා නෑනෙ? ඒ හින්දා මට උදව් කරපං. ප්ලීස්!"

එවන් ඉල්ලීමක් ඉවත නොලන්නට කජන් සතුව හේතු කීපයක්ම තිබින. පළමුවැන්න නම් තමන්ගේ පවුල යුද්ධයෙන් අවතැන් වූ පසුව වැල්ලවත්තේ තිබෙන සිය නිවසේ තබාගෙන සැලකුවේ දර්ශන්ගේ පියාය. පසුව ඇතිවූ සියළු මුදල් අවශ්‍යතාවන් වලදී දර්ශන්ගේ මව සිය රන් භාණ්ඩ පවා කිසිදු ලෝබකමකින් තොරව ලබාදුන්නේත් , හමුදාවේ නොයෙකුත් අඩත්තේට්ටම් වලදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේත් කිසිදු පැකිලීමකින් තොරවය. 

ඒ සැමටත් වඩා දර්ශන් තමාව ඒ විපතින් ගලවා නොගත්තේ නම්, අද වනවිට තමා සිටින්නේ සිර කඳවුරක වන්නට බොහෝවිට ඉඩ තිබිණ. ඔහුගේ විපතේදී තමාට ඔහු වෙනුවෙන් ඉදිරියට එන්නට නොහැකිවීම පිලිබඳව දැනෙන පශ්චාත්තාපය තවමත් එලෙසමය.

ඉතින් මේ ඔහු ඉල්ලන්නේ එවන් උපකාරයක් නොවේද? ඒත්..

" මචා.. උඹ දන්නවනෙ මම උඹ වෙනුවෙන් පන උනත් දෙනව. උඹ මේ ඉන්නෙ හොඳ සිහියෙන්ද කියලා විතරයි මම ඇහුවෙ... උඹ ඔය කෙල්ලට සිරාවටම නම්.. මම උඹ එක්ක ඉන්නව මැරෙන්න උනත්."

දර්ශන්ට දැනුනේ නොමද සැනසිල්ලක් නිසා ඉබේම මුව'ඟට මනමාල සිනාවක් නැඟුනේය. කජන් විශ්වාසවන්තය. එබැවින් සිත තරමක් සැනසිල්ලේ සීතල පනිට්ටුවකට වැටීමෙන් තරමක් නිවී ගිය මුත් කොහෙන් පටන් ගන්නදැයි සිත තාවර වන්නට විය.

' අංජු මට කැමතියි.. වචනයෙන් ආදරෙයි නොකිව්වට, එයාගෙ ආදරේ දැනෙනවා මට. අංජු එක්ක කතාකරන්න ; කාලය ගතකරන්න ආසයි. එයා එක්ක ඉන්නකොට මට දැනෙන්නේ ලොකු සැනසිල්ලක්.. අංජුටත් එහෙමද? නැතිනම් එයා ටයිම් පාස් කරන්නද මාව හොයන්නෙ? 

අංජු රිච් ෆැමිලි එකක කෙනෙක් කියලා ඇඳුම් වලින්, හැසිරෙන විදියෙන් පේනවා. එයා ළඟින් එන්නේ හරිම වින්ටේජ් සුවඳක්... එයා මම වගේ සාමාන්‍ය කෙනෙක්ට කැමති වෙයිද? එදා එයාගෙ යාළුවාගෙ අළුත්ම බෙන්ස් එකෙන් බැහැල ඇවිත් මගේ බයික් එකට නැග්ගේ... මම ගැන මොනවත්ම නොදැන එහෙම එන්න තරම්?? 

අංජු අහිංසක කෙල්ලෙක්.. දන්නෙත් නෑ මෙලෝ දෙයක්. මමත් බෝධිසත්වයෙක් නෙවෙයි නේ.. පව් ඉතින්... මට අතාරින්න ලෝබයි.. හිතට අල්ලලා නෑ කවදාවත් එච්චරම කෙල්ලෙක්... ලස්සනයි, සෙක්සි.. මට ඕන දේවල් හැමදේම ගානට තියෙනවා..  ඉතින් මට බෑ අතාරින්න.. සිංහල උනත්.. මට හිතෙන්නම අංජු මගේ කියලා'

"..   උඹගෙ අර නෑනගෙ සීන් එක මොකද වෙන්නෙ එතකොට ?"

නැවතිල්ලක් නැතිව දිවූ සිතුවිලි ගංගාව අතරින් කජන් අසද්දී ඔහුට දියයුතු පිළිතුරට පෙර යමක් කියයුතු බව දර්ශන් තීරණය කරමින් හුස්මක් ඇල්ලුවේය.

 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

"ආ බං..  දර්ශන්ද දර්ශනද?"

අංජලිකා මේ පැනය අපේක්ෂා කල බැවින් කලබල වූයේ නැත. 

" දර්ශන්.. එයා.. ටැ-මි-ල්"

" ද.. දර්ශන් ? අර අර.. අර දර්ශන් ?? නෑහ්.. මේ අර.. මගේ ක්‍රශ් එක දර්ශන් ? මේ අර.. "

ජානුලී කියන්නේ මොනවාදැයි අංජලිකා අසා සිටියේ දෑස දල්වාගෙනය. දර්ශන් එතරම් ප්‍රසිද්ධ චරිතයක්ද? නෑ! එහෙම වෙන්න බෑනෙ.. ලංකාවේ විශ්වවිද්‍යාලයක අවසන් වසරේ සිසුවෙකු , කැනඩාවේ හෝටල් කළමනාකරණ උපාධියක් කරනා ජානුලීට ක්‍රශ් වන්නට තරම් ? ඇත්තටම මේකිගෙන් බේරෙලා නැති කොල්ලෙක් නැද්ද මේ සක්වලේ?

" ජානු.... ඔයා.. කොහොමද එයාව දන්නෙ?"

" දන්නෙ.. දන්නෙ ඉතින් ඇක්ටර් කෙනෙක් හින්දනෙ.."

" මොකක්? පිස්සුද ?? දර්ශන් ඇක්ටර් කෙනෙක් නෙවෙයි එයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්.."

" ඈ! Wait.. What? ( පොඩ්ඩක් ඉන්න.. මොකක්?)"

" එයා මොරටුවේ ට්‍රොනික්.. ෆයිනල් ඉයර්.. දර්ශන් ඉලෙයිරාජා එයාගෙ නම. ජැෆ්නා එයාගෙ ගම.. "

" අම්මටසිරි ! මම මේ හිතුවේ තමුසෙ අර නලුවා දර්ශන් ගැන කියනවා කියලානේ.. අම්මෝ.. උඹ තව ඩිංගෙන් මාව මරනවා.  ඒත්.  පොඩ්ඩක් ඉන්න.. උඹ මොකක්ද කිව්වේ.. ජැෆ්නා ගෙවල්? මොරටුවේ යුනි කිව්වා.. ?"

ජානුලී අංජලිකාගේ සීතල වූ දෑතින්ම අල්ලා ඈ වෙත හරවා ගත්තේ කෑගැසෙන්නට එන ආවේගය වලකා ගනිමිනි.

".. අංජු උඹ දැන් මාව පිස්සු වට්ටනවා හාට් ඇටෑක්ම දීලා.. යකෝ මම තව මාසෙකින් වෙඩින් එක ගන්න ඉන්නේ මැරෙන්න බෑ හනිමූන් එකට කලින්..! උඹගෙ මේ රහස් මාව වෙලාවකට පිස්සෙක් කරනව හලෝ.. "

අනතුරුව එලැඹුනු විනාඩි කිහිපය තුල විනාඩියට වචන පන්සීයක වේගයෙන් සිය හොඳම මිතුරියගේ දෙහි කැපිල්ල අසා සිටි අංජලිකා ප්‍රවේශමෙන් නළුවෙක් නොවන දර්ශන් සිය ජීවිතයට පැමිණි ආකාරය ගැන හැකි උපරිම සංක්ෂිප්තව පවසන්නේ සමහර කොටස් හිතා මතා හලා දමමිනි.

එම විස්තරය අවසානයේ ගොළුවූ වතින් ජානුලී මද වේලාවක් අංජලිකා දෙස බලා සිටියේ කඩ ඉම් පැනය ඉදිරිපත් කරන්නටය.

" විදුල් උඹේ දරුවෙක් නෙවෙයි නම්, උඹ ඔය තිරිසනා එක්ක මොන බම්බුවක්ද කරන්නෙ? කවුද විදුල්ව මරන්න හැදුවේ? ඒ ඔක්කොමත් හරි... මේ දෙමළ කොල්ලා.."

" නෑ එයාව ආයෙ හම්බෙන්නෙ නෑ.. මට මගේ හිත හදාගන්න පුලුවන්..  "

" අංජු! මට උඹේ ඔය තර්ක තේරෙන්නේ නෑ.. හිතට එකඟව කතාකරලා බලපං ඔය හිත ඇතුලෙන් දැනෙන්නේ මොකක්ද කියලා "

අංජලිකා මදක් උගුර සිරවී ගිය බැවින් තටමන්නට වූවාය. හිත ඇතුලෙන් දැනෙන දේ? එවැනි දෙයකට මීටපෙර තමා සවන් දී තිබුනාද? ප්‍රතික්ෂේප වීම, කොන්වීම සහ තනිවීම විසින් හදවතේ සංවේදී කලාප වසාදමා බොහෝ කල් ගත වී තිබිණ. දර්ශන් ඇවිද ආවේ ඒ සිතුවිලි පහසක් හෝ නොලද ඒ කොටසේ නොවේද?

' නෑ! වඩාත් ප්‍රැක්ටිකල් ( ප්‍රායෝගික ) වෙයං අංජලිකා. හදවත කියලා දෙයක් නෑ. දවස් කීපයක මතකයක් කොහොමත් මැකිලා යාවි. දර්ශන් කොහොමත් කැනඩා යාවි. ඔහු දක්ශ කෙනෙක්. මම වාගේ විවාහය එකම පටලැවිල්ලක් උන ; කිසිම රූමත් කමක් නැති කෙනෙක් එයාට මොකටද? ඉක්මනින් එපා වෙයි. ටයිම් පාස් කරන්න මාව ආශ්‍රය කලා කියලා නොහිතුනත් , දර්ශන්ට උනත් ඉක්මනින් මාව අමතක වෙයි. '

" මගේ හිත ඇතුලේ conversations (සංවාද) වලට මම කාලය වැයකරන්නේ නෑ ජානු. දර්ශන් ගොඩක් හොඳ කෙනෙක්.. ඒත් මගේ ජීවිතේ එහෙම කෙනෙක්ට ගන්න දෙයක් නෑ... "

ජානුලී පුදුම වූයේ නැත්තේද නොවේ. මීට වසර ගණනාවකට පෙර නිවසින් වන අඩත්තේට්ටම් වලදී සිනාසී ඒවාට මුහුණ දුන් ඈ මේ වනවිට සහකම්පනයන් තොරව සිටීම පුදුමයක් නොවේ. නමුත් ඇගේ මුහුණෙන් සහ හැසිරීමෙන් දර්ශන් කෙරෙහි කෙටි කාලයකදී වුවත් ඇතිවී ඇති කැළඹීම ගැන ඈ පුදුම වූවාය. 

තවමත් ඈ විසල් ගැන විවෘත නොවූ නිසා ඒ ගැන ඇසීමෙන් පලක් නොවේ. කොටින්ම අංජලිකාට මේ සංවාදය ඉදිරියට ගෙනයන්නට අවශ්‍ය නොවූ නිසා ජානුලී සිය මිතුරිය දෙස එක එල්ලේ බලා සිටිමින් හිඳගෙන උන් තැනින් නැඟී සිටියාය.

".. හිතට දැනෙන සමහර දේවල් තියෙනවා. ඒවා කාටවත් තේරුම් කරන්න බෑ. මටවත් තේරුම් ගන්න බෑ.. "

අංජලිකා කියූ කාරණාව ගැන ජානුලීට හරිහැටි තේරුම් නොගියත් ඈ එක් දෙයක් සපථ කරගත්තාය. අංජලිකා හදවත තුවාල වී ඇති අයුරට එය පිලිසකර කිරීම පහසු දෙයක් නොවන බවයි. 

අනතුරුව අංජලිකා වෙල්ලාලගේ ඇගේ ජීවිතයේ අපහසුවෙන්ම ගත් තීන්දු වල පළමු පියවර තබමින්, දර්ශන් නමින් දුරකතනයේ ගබඩාකොට තිබුණු අංකය අවහිර කර දමා සුපුරුදු පරිදි කඳුළක් හෝ නොසොල්වා ඇගේ ඊළඟ කාර්‍යයට සිත යොමුකරන්නට සිතට ගත්තාය.

එදිනට පසුව ඇයට එවන් තීරණ වඩා වැඩි ප්‍රමාණයක් ගන්නට සිදුවේයැයි ඈ නොසිතන්නට ඇත.

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

එළැඹුනු සතිය ඉතාමත් කාර්‍යබහුල බව පෙන්වමින් දවසේ කලයුතු කාර්‍යයන් එකින් එක සැළසුම් කරමින් තමා අසළ සිටිනා දිසා වෙත සිය ලිපිගොනුව ලබාදුන් කිත්ම, භවන්තගෙන් ආ ඇමතුමට සම්බන්ධ වෙමින් දිසාගෙන් ඉවතට ඇවිද ගියේය.

විනාඩි කිහිපයක් ඇතුලත වේගයෙන් වෙනස්වන කිත්ම දොඩංගොඩගේ මුහුණේ ඉරියව් දෙස ඈත සිට ඇස දමාගෙන උන් දිසා ලිපිගොණුව සහ ඇඳුම් බෑග සියල්ලම ජීප් රථයට පැටවූයේ කිත්ම බලාපොරොත්තුව සිටි ඇමතුම එය බව දන්නා නිසාමය.  

විනාඩි විස්සකට වඩා ඇදීගිය ඇමතුම අවසානයේ කිත්ම දොඩංගොඩ කඳවුරු බිමට පිවිසුමේ තිබුනු උසැති තාප්පයට අත තබා බරවී සිහිය එළවාගන්නවාක් මෙන් තත්පර දෙකක් ගතකල අතර එය අවසාන වනවාත් සමඟම මිටිකල අතින් බිත්තියට එල්ලකල පහර තුනක් නිසා 'තග්' 'තහ්' 'තග්' හඬ කිහිපයක් නිකුත් විය. නවතා තිබුනු ජීප් රථය පසුපස සිටි නිසා ඔහුගේ ක්‍රියාව දර්ශනය වූයේ දිසාට පමණි. ආපසු හැරුනු කිත්ම ජීප් රථයේ උසැති රෝදයටද පයින් පහරක් ගසද්දී දිසා ඔහු දෙසට ඇවිද ආවේය.

" සර්"

කිත්ම සිය මුහුණ හරවා දිසාගෙන් සඟවා ගත්තද එහි තිබුනු බිඳීම සහ ව්‍යාකූලත්වය දිසාගේ තියුණු දෑසට හසුවිය. 

" වාහනේ ගනින්.. අපි ඉක්මනින් නුවර යන්න ඕනෙ!"

 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මුරලි සිටින්නේ එතරම් හොඳ මුහුණකින් නොවන බව දේවාට වැටහුණු නිසා ඔහුගේ හදවත වේගයෙන් ගැහුනේ අවසන් මොහොතේ මෙතෙක් කල-කී දේවල් සියල්ල ගඟට කැපූ ඉණි වේදෝ සිතමිනි. මේ කිසි දෙයක් ගැන මෙලෝ වගක් නොමැතිව මෙන් සිය ඇඳුම් ඉස්තිරික්ක කරනා දර්ශන් ගැන ඔහුට කෝපයක් නැඟී ආවේය.

" එදා එවපු ඔක්කොම අපේ කොල්ලෝ ටික යවලා තිබ්බා 'කුලියන්'ට.. "

දේවාගේ මුහුණ පිපී ආවද සිනාව එසැනින් මැකී යන්නට වූයේ මුරලිගේ ඇස් ඒ ලෙසටම දර්ශන් වෙත හැරෙද්දීය. 

"මෙයා හරි උනන්දුවෙන් ඒ ටික ඉවර කලේ අසනීපත් තියාගෙන. කැම්පස් එකේ කොල්ලො යනව එනව හින්දා ටිකක් අමාරුයි.."

මුරලිගේ බැල්මට හසුවූවද දර්ශන් පාඩුවේ කමිසයේ ඉස්තිරික්ක වූ කොටස ඔසවා බලමින් සිටියේ දේවා බියපත් කරමිනි.

'ඇත්තටම මුගේ අලි ඔළුව නම් අඩුවෙන්නෙ නෑ මොකක් කලත්. මැරුං කන්නද මන්දා මූ මුගේ තාත්තා වගේ'

"හ්ම්ම්ම්"

මුරලි බැරෑරුම් ලෙස පැවසුවේය. මේ තරුණයා නාහෙට නාහන බවත්, තමන් සමඟ සම්පූර්ණයෙන් එකඟ නොවන බවත් ඔහු දන්නා මුත් මේ මොහිතේ ඉත්තා සිටින්නේ 'චෙක් මේට්' වී බව ස්ථීරය. ඔහුගේ මාමණ්ඩිය විසින් කියනා පරිදි ඒ ගැහැණු ළමයාට අකමැති වන්නට කාරණයක් නැත. 

'ලස්සන සුදු පෝසත් කෙල්ලෙකුට අකමැති වෙන කොල්ලා කවුද? ඒකිගේ තාත්තා අපිටත් විශ්වාසවන්තයි. මූව අපිට පස්සේ කාලෙක උනත් වැඩකට ගන්න ලේසි ඒ වගේ පවුලකට සම්බන්ධ උනාම'

මුරලි එසේ සිතමින් දර්ශන්ගේ මේසය වෙත ඇවිද ගියේ නිකට අතගාමිනි. දර්ශන් සමඟ තිබුනු එකඟතාවයට අනුව ඔහුගේ ඉතිරි වී ඇති රාජකාරිය හෙටින් අවසන් වනු ඇත. අනතුරුව ඔහුව වැල්ලවත්තේ පිහිටි ඔවුන්ගේ නිවසට ඇරලවා , පොරොන්දු වූ පරිදි කැනඩාවේ විශ්වවිද්‍යාලය දක්වා යැවිය යුතුය. එසේ ඔහුට යන්නට පෙර කුරුල්ලාගේ පයට රිදී දම්වැලක් දැමිය යුතුය. නැතිනම් ඌ ඉගිල යනු ඇත.

" දර්ශන් උඹට එහෙ accomodation ( නවාතැන්) වලට මීනාක්ෂි උදව් කරන්නම් කිව්වා. ඇයි උඹ එපා කිව්වෙ?"

මෘදු හඬින් ඇසුවද එහි අති අධිකාරී හඬ වලක්වනු නොහැකි වූ නිසා දර්ශන් එය නොදැනුනා සේ දිගටම ඉස්තිරික්කය කමිසය මත ඒ මේ අත ගෙනගියේය. 

" ආහ්.. ඕන නෑ.. මම හොයාගත්ත"

එතැන ඇතිවූයේ තරමක නිහැඬියාවක් නිසා දේවා හොරෙන් මෙන් මුරලි දෙස බැලුවේ ඔහුගේ හැඟීම් කියවන්නට මෙනි. මුරලිගේ මුහුණ හිස් කඩදාසියක සේයාවක් මිස ඔහුට කෝපයක් තිබේදැයි තේරුම් ගන්නට නොහැකිය. කොයි මොහොතෙත් විශාලව බොර පැහැයෙන් පෙනෙන ඔහුගේ දෙනෙත්වල ඇත්තේ තියුණු බැල්මකි. මුහුණ පුරා ඇති රැවුලෙන් අනෙක් සියළු හැඟීම් සැඟවී ගොස් ය.

" ම.. මුරලි මම තේ එකක් හදන්නද?"

" හ්ම්ම් හා.. "

දේවා එසේ පැවසුවේ දර්ශන් සමඟ මුරලිට තනිවම කතාකිරීමට අවශ්‍ය බව තේරුම් ගත් නිසා බව මුරලි දනී. එබැවින් දේවා කාමරයෙජ් පිටවූ වහාම ඉස්තිරික්ක කල කමිසම පිලිවෙලට එල්ලන දර්ශන් වෙතට හැරුනු මුරලි ඔහුගෙන් කඩඉම් පැනය ඇසුවේය.

" දර්ශන් අර රෝජා සෙල්වනායකම්ව කසාද බඳින්ඩ ඕන.. අපේ කට්ටිය ඒකට ඕනෙ දේවල් ඔක්කොම ලෑස්ති කරනවා. කැනඩා වල තියෙන ප්‍රොපටි (දේපල) මේ සතිය වෙනකොට ක්ලීන් (නිරවුල්) කරලා දෙයි. 

වෙඩින් එකක් ඕනෙ නෑ කෝවිලේ බැන්ඳම ඇති. කෙල්ලව පස්සෙ ගෙනියන්න එහෙ university එකේ ( විශ්වවිද්‍යාලයේ ) දේවල් ෂේප් උනාම. මාස කීපයක් යයි වීසා වැඩේට. ඒක දේවා එක්ක මම බලාගන්නම්. "

තමාට පසුපස හරවාගෙන සිටිනා දර්ශන්ගේ කමිස එල්ලීම මුරලිගේ වචන මැදක් වන විටදී නතර වූ අතර කියවා අවසාන වූ මුරලි බලා සිටියේ දර්ශන්ගේ කිසිදු ප්‍රතිචාරයක් නොමැති නිසාය. හේතුව ඔහු අනුමාන කල නිසා දෑස් තවත් බොරපාටට මේ හිතුවක්කාරයා වෙතම එල්ලවී තිබින. තත්පර කීපයක් ගතවූයේ ඇල්පෙනිත්තක් හෝ වැටෙන හඬක් නොමැතිවය. 

"... දර්ශන් දන්නවනෙ මට ඊට වඩා දේවල් කරන්න පුලුවන් කියල... කැම්පස් එකේ කෑලි දාගත්තට ඒවා බඳින්නෙ නෑනෙ.. දැන් උඹේ අක්කත් ඒ කාලේ යාලුවෙලා හිටිය එකා නෙවෙයි නේ කසාද බැන්දේ.. දේවාට කතාකරනකොට ඌ රටෙත් හිටියේ නෑනෙ.. "

මිට මෙලවුනු අත වඩාත් තදකොට ගනිමින් දර්ශන් මේ යවුල් වන් වචන දරාගත්තේ ආයාසයෙනි.

' ඔව්! තොපි එකතුවෙලා තමයි මේ ඔක්කොම කලේ.. තොපි හදන්නේ මාවත් ඒ වගේ හිර කරලා මරල දාන්න වෙන්න ඇති. මිනීමරුවෝ තොපි..'

ඔහුට එසේ කියා කෑගසන්නට අවශ්‍ය වූවද වෙව්ලන අත මිටි මොලවා ගත්තා මිස ඉවසුවේ ලෙඩ ඇඳේ සිට ඊයේ තමා ඇමතූ අම්මාගේ මුහුණ සිහිවීමෙනි.

" හෙටින් පස්සෙ මගෙ වැඩ ඉවරනෙ. අම්මව මව discharge කරවගෙන ( ටිකට් කපාගෙන) එක්කගෙන යනවා"

තමන්ගේ කතාවට කිසිසේත්ම අදාළ නොවන පිලිතුරක් දුන් දර්ශන් දෙස දැඩි බැල්මක් මුරලි හෙලද්දී තේ භාජනයද අතැතිව දේවා කාමරයේ දොරෙන් මතුවූයේ වාසනාවට මෙනි.

" උඹ කියන්න ඕන නෑ.. වැඩ ඉවරද කියන්නේ අපි ! ඒත් අපි වචන දෙකේ මිනිස්සු නෙවෙයි... ඒක හින්දා මිසක් උඹේ ඔය ලොකුකමට බය වෙන මිනිහෙක් නෙවෙයි මම.. ඒක.."

" මුරලි අය්යා තේ බීලා ඉන්න.. "

දේවා වහා එලෙස පැවසුවේ තත්වය සමනය කිරීමට වුවත් මුරලි හෙලූ දැඩි බැල්ම සමඟ ඔහුගේ වදන් වියැකී ගියේය.

" උඹේ මස්සිනාට කියපං එන සතියේ කසාද බඳින්ඩ ලෑස්ති වෙන්ඩ කියලා.. තියාගනින් උඹේ මල ඉලව් තේ එක.. "

කලුසමේ පසුපස ගසාගෙන උන් රිවෝල්වරය අතට ගත් මුරලි අසළ වූ පුටුවට පයින් ගැසුවේ එය කැරකී බිම වැටෙන්නටය.

"... දර්ශන්.. උඹට මතක නෑ උඹ වගේම ලොකු ජාති දාන්ඩ ගියපු උඹේ තාත්තට මොකද උනේ කියලා! මතක් කරල දෙන්න ඕනෙද මහලොකු ආණ්ඩු බත් බැලයා වෙච්ච පංචලිංගම් ඉලෙයිරාජා බල්ලෙක් වගේ පාරෙ මැරිලා හිටපු හැටි? ආ?? "

කවුරුන්දෝ අයෙකු විත් සිය පපු කුහරය මැද මොට ආයුධයකින් තලා දමනවාක් මෙන් දැනුනු නිසා දර්ශන්ට ඉබේම දෑස වැසුනි. තමා සිටියේ පිටුපා නිසා අත්වූ වාසියක් නැතත් මුරලිගේ මුහුණට මිටිකරගත් අතින් පහර දෙන්නට තරම් සිතුනද ඔහු එලෙසම සිටියේ දත්කූරු කමිනි.

මුරලි දොරටත් පහරක් ගසාගෙන පිටව යනවා ඇසුනේ මිදුලෙන් සැර දමමින් පිටවූ කැබ් රථයකිනි. දේවාගේ හුස්ම වැටෙන්නට ගත්තේ වාහනය නොපෙනී ගියාටත් පසුව මුත් ඔහු නැවත කාමරයට දෙද්දී දර්ශන් සිටියේ දුරකතනය කනේ තබාගෙන කාටදෝ අමතමිනි. ඔහුගේ මුහුණ විරූපී වී දෙතොල් තදින් පියවී තිබිණ. 

" දර්ශන්.. උඹ.."

දේවාට දර්ශන් ගැන දුක සිතින. තමාගේ නොසැලකිලිමත් කමක් නිසා වූ මූල්‍යමය තොණ්ඩුවට ඔහුට බිල්ලට දෙන්නට සිදුවූයේ සිය මස්සිනාය. ඒ වනවිට ලේ මාරු කරමින් සිටි දර්ශනීගේ මවගේ වියදම අධික වූ නිසා වෙන විකල්පයක් නොවීය. මේ වනවිට දර්ශනීත් , මවත් සිටිනා තත්වය මෙතරම් සෝචනීය වනු ඇතැයි තමා සිතුවේම නැත. 

" අන්නා...! මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න.. උන්ට ඕනෙ වැඩ ටික කලාට පස්සේ උන් මගේ මගුල් තීන්දු කරන්න එන්නෙ @&: ටද? මේක නම් කොහොමත් ඕනෙවට වැඩී.. "

තමන් නොකඩවා අමතන අංකය ලබාගත නොහැකිව ඒ මේ අත දර්ශන් ඇවිද ගියේ වෙඩි කෑ වලසෙක් පරිද්දෙන් කෑ ගසමිනි. දේවාට එකවරම වෙනසක් දැනුණි.

" උඹට වැඩ දුන්නෙ නෑනෙ. උන් උන්ගෙ වචනෙ තිබ්බ... පොඩ්ඩක් හිටපං මොකද උඹ මේ ගිරිය පුප්පන්නෙ? රෝජාගෙ කසාදෙ අද ඊයෙ එකක් නෙවෙයි නේ! අනිත් එක උඹ රට යන්න කලින් බඳින එකට අම්මත් කැමතියි , මට ඊයෙත් කිව්ව කෝල් කරපු වෙලාවෙ..."

දර්ශන් පිඹිමින් වේගයෙන් හුස්ම අල්ලමින් කාමරයෙන් සාලයට ඇවිද ආවේ බර අඩි තබමිනි. ඔහු අමතන අංකය නිවා දමාය. දේවා සිටින නිසා කියාවත් ඔහුට නොදැනෙන තරමට නොසන්සුන් බවින් උමතු වන්නට ආසන්නව ඔහු හිසකේ අතරින් සිය ඇඟිලි ඒ මේ අත දිවෙව්වේය.

ඈට කතාකල යුතුය. පලා යාමට හෝ මේ සියල්ලම නොකීවත් කොටසක් හෝ කිව යුතුය. ඒ සියල්ලට වඩා ඈ දකින්නට අවශ්‍යය. ඇගේ දුරකතනය පෙරදා රාත්‍රියේ සිටම ක්‍රියා විරහිතව ගොස්‍ ය. වෙනත් අංකයකින් අමතන්නට නොහැකි වන්නේ ඇගේ අංකය වෙනත් කාගේහෝ අතට පත් වේ යැයි ඇතිවූ බියටමය.

' කජන්, මෙන්න මේ අංකයට පොඩ්ඩක් කතාකරලා බලලා මට ඉක්මනින් පණිවිඩයක් කියපං ලොකු හදිස්සියක්'

දර්ශන් කෙටි පණිවිඩය සමඟ අංජලිකාගේ දුරකතන අංකය ඒ සමඟ්ස් අමුණා යවන පමාවට දේවා ඔරවාගෙන ඔහු දෙසම බලා සිටිනවා දැනුණි.

"... දර්ශන්.. ! මට ඇත්ත කියපං.. ඇයි දැන් රෝජාව කසාද බඳින්න බෑ කියන්නෙ??"

එතෙක් තිබුනු හැගීම පරයා දේවාගේ සැකය නිවැරදි ලෙසම දර්ශන්ගේ බොටුවෙන් අල්ලාගත් බව විශ්වාස කරන තරමට ඒ මුහුණ වෙනස් වී තිබිණ.

-------------------------- මතු සම්බන්ධයි ----------------------------

සමාවෙන්න ගොඩක්  පරක්කු උනාට පොඩි කරදර වගේකට මූණදෙන්න උන නිසා. ඉක්මනින් හමුවෙමු.

ප.ලි: මෙහි එන චරිත සහ සිදුවීම් සියල්ල මනඃකල්පිත බවත් , එය දැනට ජීවත්ව හෝ මියගිය කිසිවෙකුට සම්බන්ධයක් නොමැති බවත් කරුණාවෙන් සලකන්න.

ගොඩාරියක් ස්තූතියි කියවනවාට සහ කමෙන්ට් කරන, ලයික් කරන නොකරන හැමෝටම

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

© ලිඛිතා මංජරී
නිර්මාණයේ සියලු හිමිකම් කතුවරිය සතුවන අතර, ලිඛිත අවසරයකින් තොරව කුමන ආකාරයකින් හෝ උපුටා ගැනීම, Screen Shot ගැනීම හෝ වෙනත් කිසිම මාධ්‍ය‍යක පල කිරීම සපුරා තහනම් වේ.

4 comments:

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...