Thursday, November 24, 2022

මට ඇහෙන සරින් - දහතුන්වන පරිච්ජේදය


හදවතේ ගැස්ම සහ රිද්මය පෙනවන යන්‍ත්‍රයේ 'බීප්' හඬ රෝහල් කාමරය පුරා ඇසෙද්දී කිත්ම දොඩංගොඩ බරැති සුසුමක් සළමින් එතෙක් හිඳගෙන සිටි ආසනයෙන් නැඟී සිටියේ කාමරයට ඇතුළු වු වෛද්‍යවරයා සහ හෙදිය නිසාය. ඔවුන් පසුපසින් කිත්මගේ සොහොයුරා මෙත්මද වූයේය.

" ආහ්.. කොහොමද ඉලන්දාරියා? සෑහෙන කාලෙකට පස්සෙ දැක්කෙ"

කාගේත් මුහුණුවල ඇති ආතතිය තුරන් කිරීමට මෙන් වෛද්‍ය අශෝක මුදලිගේ එසේ පැවසුවේ මැලවී ඇති කිත්මගේ මුහුණ දෙස බලා හෙදිය දුන් වෛද්‍ය වාර්ථා පිරික්සන්නට පටන් ගනිමිනි. කිත්ම අපහසුවෙන් සිනාසුනා පමණකි. වෙහෙසකර වේගවත් රිය ධාවනයකින් පැමිණියාටත් වඩා සිය මව අසනීප වී තිබීම ඔහුගේ ඒ මැලවුණු වතට හේතුව බව මෙත්ම දනී.

".. හ්ම්ම්.. බයවෙන්න දෙයක් නෑ. පොඩි බ්ලොක් වගයක් තියෙනවා. අපි මුලින්ම බලමු ඒ බ්ලොක් ක්ලියර් කරන්න පුලුවන්ද කියලා. මයිල්ඩ් ඇටෑක්
එකක් ඇවිත් තියෙන්නේ.. කෝකටත් අද මෙහෙ ඉන්න එක සේෆ්.. හ්ම්ම්?"

මෙත්ම දොඩංගොඩ වෛද්‍යවරයා කියන දෙයට හිස සළමින් එකඟත්වය පලකරද්දී කිත්ම වේගයෙන් ඇසිපිය සළමින් උන්නේ කුමක් කියන්නද කියා සිතමිනි.

අශෝක මුදලිගේ ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරයාට අමතරව පියාගේ හොඳ මිතුරෙකි. මේ මොහොතේත් සිය බිරිඳගේ අසනීපය හමුවේ පවා රාජකාරියෙන් මිදෙන්නට නොහැකිව සිටි ඔහු වෙනුවෙන් වෛද්‍ය මුදලිගේ මේ ඉටු කරන්නේ ඒ මිත්‍රත්වයේ යුතුකමයි. ඒ වනවිට විදෙස්ගතව අධ්‍යාපනය ලබන භූමිකා දොඩංගොඩ හැරුනුවිට , කරදඬු උස් මහත් වූ ඇතුන් වන් පුතුන් දෙදෙනෙකු සිටිනා නිමාලි දොඩංගොඩ ගැන ඔහු බෙහෙවින්ම සතුටු විය. 

" මෙත් අද ඉන්නවද? මම ඉන්නද?"

වසුන්දරා සිය සැමියාගේ බැරෑරුම් වත දෙස බලා ඇසුවේ ඔහුගේ සොහොයුරාගේ වතේ ඇඳී ඇති ආතතිය සලකමිනි.

" අක්කෙ මම..."

" අවුලක් නෑ උඹ පලයං.. අද වසූ අම්ම ගාව ඉඳී. නැන්දලා රෑ වෙනකොට එනවා කිව්වනෙ. උඹට කියලා කරන්න එහෙම්මම දෙයක් නැහැ. "

කිත්මගේ සිත එයින් සැනහුනේ නැති හේතුව දන්නේ ඔහුත් නිමාලිත් පමණක් වන්නට ඇත. තමා යාපා බණ්ඩාරගේ දියණිය ප්‍රතික්ෂේප කිරීමත් එයින් මතුව සිදුවූ සංවාදයත් සිය මවගේ දොම්නසට හේතු වන්නට ඇති බව කිත්ම අනුමාන කළේය. ඈට කුඩාවට හෝ පැමිණි හෘදයාබාධය නිසා රෝහල්ගත කළ බව ඇසූ සැනින්ම කොළඹ බලා ධාවනය කල අධිවේගී වාහනයට වඩා තමන්ගේ සිත රේස් කරන්නට විය. 

' මද්දු.. කලින් වතාවෙත් උඹ කලේම මම එපා කිව්ව දේ.. ඇයි මට මෙහෙම ගින්දර දෙන්නෙ?'

ඒ මවකගේ කඳුළු වලින් ආ තර්ජනයක් බව ඔහු දැනගත්තද එය ගණනකට නොගෙන එතැනින් පිටත් වී ගියේ ඒ ගැන නොතකමිනි. මෙත්ම තමා වෙත දක්වා සිටින බැල්මට අනුව ඔහුට යමක් කිවයුතුව තිබුණත් කිත්ම දෙවරක් ඒ ගැන සිතුවේය.

" ... එළියට වරෙං මට උඹට කතාකරන්න ඕන"

' හරි! ඔය තියෙන්නෙ!! මේ වෙලාවේ මට ඕනෙම නැති දේ තමයි මුගේ උපදෙස්'

කිත්ම ඇතුලතින් මුමුණමින් මෙත්ම පසුපස වැටෙද්දී වසුන්දරාට සිනාවක් නැඟුනේ මේ සොහොයුරන් දෙදෙනාගේ වලි වල ස්වභාවය දන්නා බැවිනි.

" .... හා.. කියපං දැන් මට ඇත්තම කතාව"

රෝහල් කාමරයෙන් පිටත්ව දොර වැසූ සැනින් මෙත්ම සිය ළය ඉදිරියේ දෑත් බැඳගෙන පැවසුවේ මදක් තරවටු ස්වරයෙනි. සිය මව රාජකාරි අතරතුර තමාට ඇමතුමක් දී මොනවාදෝ දොඩවමින් හැඬූ බවත්, කාරණාව මේ නොසණ්ඩාලයා ගැන බවත් මෙත්ම දන්නා නමුත් මෙය ඔහුගෙන්ම අසා දැනගන්නට ඔහුට අවශ්‍ය විය. 

කිත්ම සිය දකුණතින් බෙල්ල පසුපස මදක් කසා බිම බලාගත්තේ මද විරාමය ඇතුලත වචන තෝරා ගන්නටය.

" අම්මට පිස්සු බං.. එච්චර දෙයක් උනේ නෑ"

මෙත්ම සිය සොහොයුරා ගැන හොඳින් දනී. පෙර දවසකදී ඔහුගේ ප්‍රේම සිහින මාළිගා කඩා ඉහිරෙද්දී වියරුව ගොස් සියල්ල අතහරිනා මොහොතේ ගොඩගත්තේ තමා සහ ඔහුගේ මිතුරෙකු වූ භවන්ත නිසාමය. 

එදා පටන් වසර ගණනාවක්ම පොලිස් සේවයේ ඉතාම කැපවීමෙන් රාජකාරි කලා මිස වදනකින්වත් අම්මා රිදවන වචනයක් කියා නැත්තේය. වාසුකී විසින් ඇතිකොට ගිය හදවත් ආගාධයේ අඳුරු සෙවනැලි පවා ඔහුගෙන් මැකී ගියේ මේ නිසාමය. 

' ඒකිගෙ ලස්සනට මම පිස්සු හැදුනා ලොක්කය්යා.. මට හිතුනේ ඒ සුදු ලස්සන මූණේ මම හොයපු හැමදේම තියෙනවා කියලා'

එතැන් පටන් සිය බිඳුනු හදවත තුලින් වහනය වන රුධිරය පිසදමන්නට වත් කිත්මට අවැසි නොවීය. ඔහු සිටියේ රාජකාරියේ එල්බගෙන වුවත් මීට හෝරා ගණනාවකට පෙර සිය මව හඬමින් කියවාගෙන ගියේ වෙනම කතාවකි.  

" හා හරි. අම්මට තමයි පිස්සු.. උඹට තියෙන්නෙ එතකොට කැසිල්ලක්ද? තොට ඕක අම්මට කියන්න තිබ්බෙ "

කිත්ම ඔරවා ගත්තේය. දැන් නම් ගැලවිල්ලක් නැත.

" නෑ බං මේ.. එහෙම නෙවෙයි.. අම්ම ඕනෙවට වඩා සීරියස් අරගෙන... අර යාපාලගෙ පිස්සු හෝන්තුවක් සෙට් කරන්න යනව මට මගේ පාඩුවෙ ඉන්න නොදී"

" ආ.. උඹ එතකොට බබා! ඕව කියපං දෙකයි පනහෙ ෆිල්ම් එකකට. මට කමක් නෑ උඹ මේපාරත් ගිහින් ගල් රෝලකින් තලාගෙන ආවත්. එහෙනං අම්මට කියපං ඒ කියපුවා බොරුයි කියල"

කිත්ම තදකොට දෙතොල් පියාගත්තේය. අනතුරුව සිය සොහොයුරා දෙස එකඑල්ලේ බලා ගැඹුරු හුස්මක් ගත්තේය.

 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

තමන්ට දැනෙන මේ හැඟීම කුමක්දැයි අංජලිකා දැන සිටියේ නැති බවට ඈටම සහතික වූ තුන්වන වතාවේදී ඇගේ දුරකතනය නාද වූයේ එතෙක් සයනයේ පෙරලී සිටි ඈ හිස ඔසවා බලන්නට පොළඹවාලමිනි.

' Visal is calling..'

අංජලිකාගේ උදරයෙන් ඇරඹුනු කුමක් දෝ දැනීමක් හිස දක්වා ගමන්කල අතර ඈ ඒ ඇමතුම දෙස බලාසිටියා විනා පිලිතුරු සපයන්නට උත්සුක නොවූවාය. වෙනදාට දැනෙන දෙගෙඩියාවෙන් අංශුවක්වත් තමන්ට නොදැනෙන්නේ මන්ද?

' දර්ශන්.. විසල්ගෙ මූණටම කියන්න හිතයි මට.. ඔව්! එතකොට එයාගේ මූණ බලන්න ආසයි මම.. ඔව් විසල් ආමන්ත පෙරේරාගේ ලස්සන සුදු මූණ..'

දුරකතනය නාදවන පසුබිම ගැන වගක්වත් නොමැතිව ඇගේ සිත මීට හෝරාවකට පෙර සිදුවීම් පෙල එකින් එක සිහියට නඟාගන්නට උත්සහ කළාය.

නිවසට ආ සැනින් තමා යැවූ කෙටි පණිවිඩයට තත්පරයක් වත් පමා නොවී ඇමතුමක් පැමිණියේය.

" අංජු"

ඔහු තමාගේ නම අමතන විටම හදවතේ රිද්මය අධි වෝල්ටීයතාවයෙන් එළි දල්වන්නේ තවදුරටත් තමාගේ පාලනය නැති වන්නටය.

" මම ගෙදර ආවා"

ඔහුගේ සුසුම් හඬ පමණක් ඇසෙන තත්පර කිහිපයක් ගතවිය.

" හ්ම්ම්.. හෙට කෙම්පස් එකට ‍යෙන්න ඕන කිවේ එත්තටමද?"

ඔහුගේ සිංහල කියද්දී පිරුනු දෙතොල් ඒ මේ අත යන අයුරු සිහිවී අංජලිකාට සිනා නැඟුණි.

" එත්තටම තමයි.."

" අංජු මගේ එක්සන්ට් එකට හිනාඑනව නේ?"

" අනේ නෑ..  "

' අනේ නෑ හරි කියුට්' අංජලිකා සිතින් පැවසුවා පමණි. 

" හ්ම්ම්ම්.. ඒනම් හෙට ගලා ජන්ක්ෂන් එන්න උදේ දායට (10 ට)?"

අංජලිකාගේ හදවත අඳුරු විය. ගලහ හන්දිය.. ඒ ඔස්සේ මැයි මාරගස් අතරින් ගොස් වමට හැරුණු විට... ඔව්... වෛද්‍ය පීඨය.. විසල් පෙරේරා ඔහුගේ සුරූපී ආදරිය.. කුරිරු සතුටක් වැනි යමකින් හිත තුල සැරවා පිරෙනවාක් මෙන් දැනිණ. 

".. එතන දන්නව නේද? "

" ඔව්.."

" මම නැතිනම් එන්නද යාළුවාගෙ ගෙදරට?"

" එපා!"

නැවතත් නිහඬතාවයකි. 

"... මම එන්නම්"

පසුබිමෙන් නාදවන දුරකතනය නිහඬවත්ම අංජලිකාගේ මතක දම්වැල බිඳී ගොස් නැවතත් පියවි ලොවට කඩා වැටුනේය. පෙරදින රාත්‍රියේ ජානුලී පැමිණියේ රාත්‍රී මධ්‍යයේ බවත් ඈ තම කාමරයට පැමිණ තමා සමඟ සංවාදයක් ආරම්භ කරන්නට උත්සහ කළද නින්දේ සිටිනවා සේ මඟහැර සිටීම හොඳට ගියේය.

උදෑසන කෑම මේසයෙන් පසුව දේශකගේ මාමා කෙනෙකුගේ දරුවෙක් අසනීප වී රෝහල්ගත කොට තිබුණු නිසා එහි යන්නටම සිදුවූයේ ඒ මාමා දේශකගේ කැපකරු පියා නිසාය. 

' අංජු මට උඹ එක්ක කතාකරන්න ඕන.. '

නමුත් ජානුලීට ඊට අවස්ථාවක් ලැබුනේ නැති බවට අංජලිකා සතුටු වූවාය. හදිසියේ හදවත තුල පිපී වැනෙනා මේ මල් යාය ඈට කිසිවෙකුත් සමඟ බෙදාගන්නට නොහැකි බවක් දැනුණි. ඊටත් දර්ශන් හමුවූ අයුරු පැවසීමෙන් ජානුලී තමාට හොඳටම දෙහි කපනු ඇත. මෙවන් සෙන්ටිමෙන්ටල් ගති වලට පෙර දිනවලදී සිනාසුනේ තමන් ය. 

ජානුලී පාසල් කාලයේදී ඇතිකරගත් පෙම් සබඳතා සියල්ලේම පැවතියේ මේ අහසේ පාවෙන ස්වභාවයයි. චොක්ලට් , මල් , අතින් ඇල්ලීම වන් දේවල් ගැන ඈ දොඩවනවිට ඇස් උඩුකුරු කරමින් තමා ඒවාට 'ජව්සන්' කී බව මතක මුත් හදවත තුලින් එවන් ප්‍රේමයක් සහ ප්‍රේම විඳීමක බලාපොරොත්තුවක් පොදි බැන්ඳා මතකය. නමුත් පාටින් අඩු , කොලුපැටියෙකු වන් තමා දෙස කිසිවිටෙක එවන් බැල්මක් ලැබුනේ නැත. 

ඉතින් මේ හැඟීම සුවිශේෂීය; සිදුවීම් සියල්ල මතකයේ රඳවයි.. නැතිකරගන්නට ලෝබය. දර්ශන්... ඔහුව නම් හිතින් බදා අල්ලාගෙන හමාරය. හිතුවක්කාර ලෙස තදකොට ලොවෙන් සඟවාගන්නටම සිතෙයි. ඉතින් ඒ ගැන ජානුලී සමඟ කතාරන්නට ඈ කැමතිම නැතිවීම අරුමයක් නොවේ.

කුඩා විදුල් දරුවන් සමඟ සෙල්ලමට වැටී සිටි අතර නිවැසියෝ ඔහුගේ සියළු අවශ්‍යතා සපුරාලීමට පෙරදැරිව සිටියේ විදුල් සුරතල් දරුවකු නිසාමය. තමාත් විදුල් අතරත් තිබුණු සබඳතාවයේ ස්වභාවය අනුව විදුල් තමා අසළ නොමැති බවට එතරම් පැනික් නොවන බව ඈ දත්තාය.

අංජලිකා ඈ ප්‍රියතම කහපාට කුර්තා ටොප් එකට ගැලපෙන මෙරූන් පැහැ කලිසමක් ඇඳ පහළ මාලයට ආවේ කුලී රථය පැමිණි බවට සංඥාව පැමිණි බැවිනි.

' on your way ( එන ගමන්ද)? '

දුරකතනය මත පතිත වූ කෙටි පණිවිඩය ඇගේ පිරුණු දෙතොල්පෙති මත මන්දහාසයක් ඇති කලේ නිරායාසයෙනි.

.

.

අංජලිකා හාත්පස බැලුවේ ඇගේ දෑස් උපරිමයෙන් විවර කරමිනි. 

'සරචන්ද්‍ර එළිමහන් රංගපීඨය' හෙවත් 'වල' ගැන ඈ අසා තිබුණා පමණකි. වසර විස්සකට ආසන්න කාලයක් මහනුවර ජීවිත් වී සිටියද මේ 'වලේ' නාට්‍යයක් බලන්නට එන සිහිනය සැබෑ වූයේ නැත. ඉගෙනීමට තමාගේ දක්ෂකමක් තිබුනේ නැති බැවින් පේරාදෙණිය සරසවිය සිහිනයක් පමණි. 

අක්කර ගණනාවක් පුරා විහිදී ඇති සරසවි බිමේ තැනින් තැනින් මතුවන තරුණ තරුණියන් අතරින් පෙම්වතුන් එකිනෙකා හා දෑත් පටලමින් යද්දී අංජලිකා පිවිසුම අසළින් රංගපීඨයේ පඩිපෙල් කිහිපයක් බැස යමින් හාත්පස බැලුවේ වශීකෘතවය. එක කොණක ඇති ගසින් වැටුණු රෝසපාට රොබරෝසියා මලින් ඒ වටා බිම පලසක් මෙන් පෙනුණු අතර පඩිපෙල් අතර ඇති තණකොළ පඳුරු වලින් 'වල' තවදුරටත් සොබාදහමේ කොටසක් කොටගෙන තිබිණ.

ඇගේ දෙපා ඉදිරියට ඇදී ගියේ ඉබේටම පඩිපෙල් බැස යමිනි.

" නෝ.. ඒ පෙත්තට (පැත්තට) යන්න එපා"

දර්ශන් ඉදිරියට තැබූ පය යන්නට නොදී අතින් ඇද්දේ ඇයිදැයි අංජලිකාට වැටහුනේ නැත. දර්ශන්ගේ මුවේ ඒ අපූරු සිනාවයි. 

" ඇයි ?"

" එයි කියලා පස්සෙ කියන්නම්.. යං.. අපි "

දර්ශන් ඈ හරවා ගත්තේ මේ බොළඳ කෙල්ල නොදන්නා දේ ගැන ඇතුලතින් සිනාසෙමිනි. එතරම් විස්වාසයකින් ආ ඈට වරදක් කරන්නට තමාට නොහැකි වුවත් තරුණ සිත නම් දමනයක් ඇත්තේම නැත.

".. බයික් එක තියලා පයින් යෙමු. එතකොට තමයි බලන්න පුලුවන් "

හෙල්මට් බයිසිකලයේම තැබුවේ මෙහි එලෙස සොරකමක් නොකෙරෙන බව ඔහු දන්නා නිසාය. අංජලිකාට නොදැනුනත් දෙදෙනා සිටියේ අත් අල්ලාගෙනය. ශාස්ත්‍ර පීඨයේ ප්‍රසිද්ධ ගස කහපාට මල් වලින් වැසී හාත්පස මල් ඉහා එතැන සුර පුරයක් කොට තිබීම නිසා තමාගේ අත අල්ලාගෙන සිටිනා දර්ශන් ගැන සිහියක් ඈට නොවීය. 

" හරිම ලස්සනයි දර්ශු"

ඈ 'දර්ශු' කියනා විට හදවත මත කිතියක් ඇතිවන්නේ මුව මත සිනාවක්ද ගෙන එමිනි. ඈගෙන් අත මුදවාගන්නට ලෝබ වුවද ඔහු ඒ අත මදක් ලිහිල් කල නිසා අංජලිකා කුඩා දැරියක සේ ඒ මල් ඇතිරිල්ල වෙත දුවගොස් ඔහු සිතන්නටත් පෙර බිම දිගාවූයේ අහස දෙස සිය පියවූ දෑස් යොමුකරමින් සිනාසෙමිනි. දර්ශන් මොහොතින් ඇගෙ රුව සිය දුරකතනයේ සටහන් කරගත්තේ ඒ ගැන මෙලෝ සිහියක් නැති ඈ දෑත් දෙපා විහිදුවාගෙන සිටිය නිසාය. වටපිට බැලූ දර්ශන්ද එසැනින් එතැන දිගාවී සෙල්ෆියක් ගන්නා පමාවට අංජලිකා ඇස් ඇරියාය.

" ඔයා?"

" ෂ්.... "

දර්ශන්ට තමාට වී ඇත්තේ කුමක්දැයි පුදුම සිතුනි. ඈ සමඟ ගැවසෙන්නට ඇති උවමනාව දැන් දැන් ඈ හා පිස්සු වැඩ කරන්නට දක්වා දරුණු වී ඇත්තාද?

".. යං දැන්.. එති.. ස්ටුඩන්ට්ස්ල එනව"

" ආ..ඔව් නේද? සර් මල් ගොඩේ පෙරලිලා ඉන්නකොට මාර සවුත්තුව නේහ්?"

දර්ශන්ට සිනාවක් ගියද ඔහු නැඟිට දෙපයින් සිටගත්තේ ඈ දෑස් විවර කරද්දීය.

" නේ... Engineering faculty ( ඉංජිනේරු පීඨය) තියෙන්නේ තව ඒත (ඈත). මේ මල් පෙන්නන්න ඕන හින්දා මෙතනට ආවෙ. මෙහෙ මාව දන්න අය නේ.. ඒකට ඔයා මොරටුව එන්න ඕන.. "

අංජලිකා දැල්වුනු දෑසින් නැඟී සිටියේ ඔහුගේ කමිසයේ එල්ලෙමිනි.

" මොරටුවෙ? කටුබැද්දෙද? ඔයා මාව එහෙත් එක්කගෙන යනවද? එහෙත් මේ වගේ ලස්සනද? "

දර්ශන් ඇගේ දඟකාර හැසිරීමට මදක් වටපිට බැලුවේ කවුරුන්හෝ බලා සිටිනවාද කියාය. ඔහු ඇඳගෙන සිටි විශ්වවිද්‍යාලයීය කළුපාට ටී කමිසය නිසා කවුරුත් ඒ ගැන සැලකිල්ලක් නැත. වඩාත්ම කිසිවෙකු මෙහි ඈ හඳුනන්නේද නැත. 

" හ්ම්ම්.. ඔව්.. මේ තරම් නම් ලස්සන නේ.. ඒ උනාට කජු කෙලේ (කැලේ) තියෙනවා  "

ඔහුගේ අමුතු සිනාව ඈට වැටහුනේම නැත.

" වාව්... කැලේකුත් තියෙනවද? මාව එක්කගෙන යන්නකො එහෙනම්.. ප්ලීස්.. ප්ලීස්"

දර්ශන් හඬනඟා සිනාසුනේ මන්දැයි තේරුම්ගත නොහැකිව අංජලිකා ඔහුගේ කමිසයේ එල්ලුනාය. ඇත්තටම පුදුම ගායක් තියෙන්නෙ!

" පස්සෙ බේ බේ කියන්න එහෙම බේ හරිත? හ්ම්ම් හරි මම කජු කෙලේ (කැළේ) එක්කගෙන යන්නම්කො"

මේ ගමන් කරත්තය එක්ක බේරෙන්නට නම් නොහැකි බවත් තමාට බේරෙන්නට ඕනානැති බවත් දර්ශන් හොඳින් දනී. සිත තුල පැනනගිනා සැලසුම් කෝටි ගණනකි.

දෙදෙනා අනතුරුව එකිනෙකාට ඉතා සමීපයෙන් සනාතන මන්දිරයට යාබද මාවත ඔස්සේ ඇවිද යමින් සිටියේ අවට පරිසරය විඳිමිනි. උදෑසන සෞම්‍ය හිරු කිරණ කොළපාට පරිසරය පුරාම ඇතිකොට තිබුනේ සැහැල්ලු සහ නිදහස් පරිසරයකි. 

හැමදාම ඇවිදින්නට ආසා තිබුනු විශ්ව විද්‍යාලය ගැන මතකය අළුත් වූයේ දර්ශන්ගේ 'කුප්පිය' දවසේ පේරාදෙණිය සිසුන්ගේ කතාබහ අසාගෙන සිටි නිසාය. 

" .. අංජුගෙ ගෙවල් මෙහෙ නෙවෙයි නේ... කලම්බු නේ? "

" හ්ම්ම්"

"කෙදර (ගෙදර) ගියාම මම කියන්නම්කො. ( හුස්මක් අල්ලමින්) ඔයා මම ගැන මොකවත්ම දන්නෙ නැතුව මෙහෙම ආපු එකට තෑන්ක්ස්.. "

අංජලිකා අහිංසකව සිනාසුනේ අවංකව වුවත් ඇගේ ඇතුලාන්තයේ මහත් ගින්නක පුළිඟුවක් ආරම්භ වූයේ ඉබේටමය. දර්ශන් ගමන නතරකොට සනාතන මන්දිරය පෙනෙන මානයේ ඇති ගල් බංකුව ඈට පෙන්වු බැවින් ඈ සැකයෙන් මෙන් එහි හිඳ ගත්තේ ඇගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටිනා දර්ශන්ගෙන් දෑස මුදාගන්නට තැත් කරමිනි.

".. අංජු.. මම මොරටුව යුනිවර්සිටි එකේ ෆයිනල් ඉයර් ඉවර කලේ ගිය අවුරුද්දේ. මගේ කම (ගම).. ජැෆ්නා.. ටවුන් එකේ... මගේ අප්පා නෑ.. අම්මයි අක්කයි ඉන්නව මට.. "

ඒ වචනවල කුමක් හෝ දුකක් වේදනාවක් තදවී ඇති බව අංජලිකාට දැනුණි. කෙතරම් එක්කාසු කොට පාලනය කරන්නට උත්සහ කලද ඈ නැවත නැවතත් අසාර්ථක වූවාය.

".. ඔයාගෙ අය්යගෙ බබා.. වගේ බබෙක් මගේ අක්කට හිටියා.. ඒ වගේමයි. ඒ හින්දද දන්නෙ නෑ ඔයාගෙ අය්යගෙ බබා මාත් එක්ක එච්චර ක්ලෝස් උනේ..  "

දර්ශන්ගේ වත වේදනාවෙන් බිමට හැරී තිබිණ. කෝටියක් ප්‍රශ්න අංජලිකාගේ සිත තුල පොරකන්නට විය.

' බබෙක් හිටියා? එයාට මොකද උනේ?'

'පිස්තෝලයක් තියාගෙන ඉන්නේ ඇයි ?'

' ඔයා එක්ක හිටපු අනිත් මනුස්සයා කවුද?'

' ඇයි කිත්ම දොඩංගොඩගෙන් හැංගිලා ඉන්නේ?'

නමුත් ඈ එක පැනයක්වත් අසනු වෙනුවට දර්ශන්ගේ බඳට සිය හිස හේත්තු කළාය. සිටගෙන උන් දර්ශන් ඇගේ හිස මත සිය කොට්ට අත තබද්දී දැනෙන සැනසිලිදායක සුවයෙන් ඈ තත්පරයක් ගතකලේ දෑස පියාගෙනමය.

දැන් තමාගේ වාරයද? තමාගේ ගම මහනුවර බවත්, විසල් පෙරේරා නම් වෛද්‍යවරයාට බිරිඳව කොළඹ සිටිනා බවත් , මෙතෙක් ජීවිතයේ කවදාවත් නොලද තරම් සතුටකින් තමා සිටින බවත් කියන්නද?

".... සොරි මම ඔයාව බය කලාට. මම.. මම හිතුවෙ ඔයා අර ඔෆිසර්ගේ..."

" දර්ශු.."

අංජලිකා දර්ශන්ගේ හඬ අහුරවාලමින් පැවසුවේ ඈට ඒ කතාව ඉදිරියට ගෙන යන්නට අවශ්‍ය නොවූ නිසාය. ඈ අසළම බංකුවේ හිඳගත් දර්ශන් ඈ සිය උරයේ පසෙකට තදකොට ගත්තේ අංජලිකා සිතන්නටත් පෙරය.

" ෂ්.. ඔහොම ඉන්න.. මෙහෙ කවුරුත් ඔයාව ජජ් කරන්නෙ නෑ "

ඈ මදක් ඇඹරුනු නිසා එසේ කියූ සැනින් අංජලිකාගේ වේගයෙන් සැලෙන සුසුම් දර්ශන්ගේ තද කලු පැහැ ටී කමිසය විනිවිද හදවත තුලටම දැනෙන්නට හරිමින් දෙදෙනාම නිහඬව මද වේලාවක් සිටියහ. සිතුවිලි සමනයට ඉන් මදක් ඉඩ සැලසූ නිසා දෙදෙනා අපහසුවෙන් මෙන් දෙපසට වූයේ දර්ශන්ට පැමිණි දුරකතන ඇමතුමක් සමඟය.

ඔහු ඊට පිළිතුරු දුන්නේ අංජලිකා දෙස බලමින්, වටපිට බලමින් සහ සිනාසෙමිනි. දමිළ භාෂාවෙන් සිදුවූ නමුත් ඒ ඇමතුමට තමාගේ සම්බන්ධයක් ඇතිබව දැනී අංජලිකාගේ මොළය දැවිල්ලක් හටගත්තේය.

".. ජිම් එක පැත්තට ‍යනවද? එතනින් එහාටත් තියෙනවා ඇවිදින්න.. කකුල්දෙක ‍රිදෙනවද?"

මේ අසන්නේ කාගෙන්ද? පැය ගණන් ප්ලැටූන් එකක හිටගෙන හිඳ ඊටත් වඩා ක්‍රියාකාරකම් කොට පදක්කම් දිනූ කෙඩෙට් නිලධාරිනියකටය.

" නෑහ්"

දෙදෙනාම අනතුරුව එකිනෙකාට ඉතා ළඟින් ඇවිද යද්දී මදකට නතර වූයේ දර්ශන් දන්නා කාට හෝ කතාකරන්නටය. ඔවුන් සැම දර්ශන් වෙත දැක්වූයේ ගරුත්වයක් වුවත් එයින් කීප දෙනෙක්ම අංජලිකා හඳුනාගත් බව දර්ශන්ට වැටහුනි.

' මතක තියෙන්නෙ නැති වෙයිද අරෙහෙම මඟුලක් ඇඳලා ඉන්නව දැක්කම'

හෝරා කීපයක් ගතවූයේ කෙසේදැයි කිසිවෙක් දැන සිටියේ නැත. තමා ගැන දර්ශන් කිසිවක් නෑසුවද ඔහුගේ පසුබිම තේරුම් ගන්නට ඔහු කියූ කරුණු ප්‍රමාණවත් විය. තව සති කිහිපයකින් පැවැත්වෙන ඔහුගේ උපාධි ප්‍රධානෝත්සවයෙන් පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගතවීමට බලාපොරොත්තුව සිටිනා බව කියද්දී ඇගේ මුහුණේ ඇඳුනු හැගීම දර්ශන් වේදනාවට පත්කළේය.

" අංජු higher studies ( උසස් අධ්‍යාපනය ) කලේ නැද්ද?"

" මම ඒලෙවල් ෆේල්"

අංජලිකා බිම බලාගෙන පවසද්දී දර්ශන් ඇගේ හිසමත සිය අල්ල තදකොට සහෝදරයෙකුගේ මෙන් සෙනෙහසින් ඈ දෙස බැලුවේය.

" කමක් නෑ... ආයෙත් ඕනෙ නම් ඒලෙවල් කරන්න. . External degree ( බාහිර උපාධි) වලට යන්න පුලුවන්.. ( ඇගේ දෑස් වලට එබෙමින්) ඔයා හරි අහිංසක කෙනෙක් අංජු.. පව් ඔයා... "

අංජලිකාට දෑස් විමතියෙන් විවර වනවා වලක්වා ගන්නට නොහැකි විය. 

' මම? අහිංසක ? මේක ඇත්තටම හීනයක්ද? මම කාටවත් අහිංසක වෙලා නෑ.. ඊටත්.. මේ කියන්නේ ඇත්තද?'

ඇගේ මුහුණ පුරා දෑස් ගෙනගිය දර්ශන් ඇගේ බුහුටි නැහැයට පහළින් ඇති දෙතොල් පසුකොට යාගත නොහැකිව හුස්මක් ඇල්ලුවේය. සිතේ තිබුනේ නම් ඕනානැති සැළසුමක් වුවද ඇගේ හැසිරීම නිසා අදත් එය ඔහු පස්සට ඇද්දේය. හිත තුල සංග්‍රාමය පහසු එකක් නොවේ.

".. මතක තියාගන්න... කවදාවත් ඉගෙනගන්න එක නතර කරන්න එපා.. ඒක තමයි තියෙන ඔඳම (හොඳම) විංග්ස් ගර්ල් කෙනෙක්ට"

ඉගෙනගත්තා නම් තටු ලැබෙනවා වන්නට ඇත. නමුත්... නමුත් කවුද ඈට වියදම් කරන්නෙ?

".. අපි දැං යමු.. පරක්කු උනොත් ඔයාගෙ යාළුවා ඔයාව හොයයි"

වරක් දෙවරක් ජානුලීගෙන් පැමිණ තිබුනු කෙටි පණිවිඩ නොකියවාම මගහරිනවා දුටු බැවින් දර්ශන් පැවසුවේ ලෝබකම නැතුවාම නොවේ. 

ඉතිරිය ස්වංක්‍රීය ලෙස සිදුවූයේ දෙදෙනාම සිටියේ හදවත් තුල සංග්‍රාමයට මැදිවී නිසාය. නැවත වරක් ඈ තුරුල් කරගන්නට ඕනෑය; හිස මත අත්ල තබා ඈ දැස පියාගන්නවා බලන්නට ඕනෑය; නැටුමකට වාගේ නැටවෙන ඇගේ දෑස් කරකවමින් කතාකරනවා අහන්නට ඕනෑය ; ඒ සැමට වඩා ඇගේ පිරුණු දෙතොල් මත හාදුවක් තවරන්නට ඕනෑය... නමුත් ඒ කිසිවක් සිදුවූයේ නැත. ඈ තමාට ප්‍රේම කරනවාදෝ නොදැන එලෙස කලහොත් ඈ සදහටම අහිමිවී යාද?

අංජලිකා කුලී රථයට නංවා පිටත්කල සැනින් නාදවූ දුරකතනයට දර්ශන් පිලිතුරක් සපයන්නට පෙරම දෙතොල් පියවී දෑස් වල දීප්තිමත් බවක් ඇතිවිය.

" කියපං මචා?"

" කියපං තමයි..  අඩෝ මේ.. කවුද ඒ?"

දර්ශන් මදක් තාවර විය. ඔහුට තරමක් හෝ සත්‍ය පවසා සිටීම අනාගතයේ සිදුවියහැකි දේවල් වලට උපකාරයක් වනු ඇත. 

" අංචලිකා.. "

" නම නෙවෙයි $&@! කැම්පස් එකේ මම එහෙම එකියක් දැකලා නෑනෙ.. උඹේ නෑනාද?"

" නෑ බං.. මෙයා.. මේ... සිංහල කෙල්ලෙක්"

එපමණකි! කජමුගන් හෙවත් කජන් විසින් කන හරහා යන්නට කියවාගෙන ගිය ජේද තුන හතර දර්ශන් ඉලෙයිරාජා විසින් අසා සිටියා පමණි.

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

ජානුලී කාමරයට කඩාගෙන නොපැන්නේ තමාට දහස් වරක් තරවටු කල දේශක නිසාමය. එබැවින් ඈ ඒ වෙනුවට අංජලිකාගේ කාමරයේ දොරට තට්ටු කරමින් එතුලට පය තබනා විට අංජලිකා ඈ බලාපොරොත්තුව කාමරයේ වූ සයනය මත හිඳගෙන සිටියාය.

" අංජු... උඹට කතාකරන්න ඕන"

අංජලිකා හිස නොඋස්සාම ජානුලීට අසළ වූ පුටුව පෑවද ජානුලී එහි වාඩි නොවී කෙලින්ම අංජලිකාට ඉදිරියේ සිටගත්තාය. අනතුරුව ඈ නැවී අංජලිකා තදින් සිය ළයට තුරුළු කරගනිද්දී, අහේතුකව අංජලිකාගේ නෙතින් කඳුළු බෝල දෙකක් කඩාගෙන වැටුනද අංජලිකා ඉකිබින්ඳේ නැත.

"ජානු... මට... "

සිය හොඳම මිතුරිය මෙතරම් සංවේදීව සිටි මොහොතක් ජානුලීට මතකයේ ඇත්තේම නැත. ඈට කියන්නට තියෙන දෙයකට වඩා තමාට දැනගන්නට ඇති දේවල් රැසක් ඇති නමුත් සියල්ලම එක මොහොතේ කල නොහැකිය. පළමුව ඇගේ මේ අළුත් හැසිරීම ලෙහාගත යුතුය.

" අංජු මේ අහපං.. උඹ මම ගැන දන්නවනෙ.. මට තාම තේරෙන්නේ නෑ මෝඩියේ උඹ මේ කරන වැඩේ හරිද වැරදිද කියලා.. ඒත් දෙවියම්පා මම උඹ නම් මේක මේ විදියට විසඳෙනකල් බලාගෙන ඉන්නෙ නෑ"

අංජලිකාගේ මුහුණ දෙස අඩ අඳුරේ බලමින් ජානුලී ඇගේ දෙවුරෙන් අල්ලා කෙලින්ම මුහුණ බැලූවද අංජලිකා සිටියේ බිම බලාගෙනය.

".. විසල්.."

" විසල් මේකට ගාවගන්න එපා!"

ජානුලී අංජලිකා අසළටම පුටුව ඇදගෙන ඈට ඉදිරියෙන් හිඳගත්තේ දීර්ඝ සංවාදයකට මුල පුරන්නට මෙනි.

"... විසල්.. විසල් මාව හේට් කරන්න හේතු තියෙනවා ඇති ජානු. මම එයාට ඩිවෝස් එක දුන්නෙ නෑ. එයාට.. එයාට එයාගෙ ආදරේ ලබාගන්න දුන්නෙ නෑ.. ඒක.. ඒකට මම.. ඊටත් වඩා.. "

" අංජු.. දැන් ඒවා ගියාවෙ... මම දන්න අංජු හැමදේම දරාගෙන හිටපු කෙනෙක්.. උඹට පුලුවන් ඔය විකාර මැරේජ් එක ලෙට් ගෝ කරන්න. උඹ හිතනවා නම් ඔය බෝයි උඹට ලව් කියලා.."

" ජානු... එහෙම.. එකක්"

" එහෙම නැතුව උඹ මොන මගුලටද ඌ එක්ක රවුම් ගහන්නෙ හරකියෙ? මේ උඹේ ගම.. නුවර හැමතැනම උඹෙ පවුලෙ අය දන්න අය විතරක් නෙවෙයි , උඹව දන්න අයත් ඉන්නව. උඹ අද කැම්පස් එකේ ජෝඩු දාගෙන ගියපු එක මට අපේ අය්යා කිව්වෙ කියලා දන්නවද? "

අංජලිකා නියපොතු කන්නට වූ නිසා ජානුලී මදක් හුස්මක් අල්ලන්නට නතර වූයේ ඇගේ ඉහළ නැංවුනු ස්වරය පාලනය කරන්නටය. අංජලිකාගේ සයනයේ පසෙක දහවල් සෙල්ලම් කොට තෙහෙට්ටුවටම තද නින්දේ සිටි විදුල් ඇහැරවන්නට දෙදෙනාටම අවශ්‍ය නොවීය.

" ජානු.. මාව හිරවෙලා.. "

" මොකක් ගැනද උඹ කියන්නේ? උඹ කියන්නේ උඹේ වැඩකට නැති පවුලෙ අය ගැනනම්.. අංජු උඹ තවදුරටත් ඒ මිනිස්සුන්ට යටවෙන්න ඕන නෑ. උඹේ ඔය මහලොකු හස්බන්ඩ් මත්තෙ ඉන්නවා නම් මේ දේවල් වෙන්නෙත් නෑනෙ.. උඹට තියෙන්නේ ඩිවෝස් වෙන්න. විදුල් ගැන නම් උඹ මට මුකුත්ම කියලා නෑනෙ.. "

අංජලිකා හිස දෙපසට සලන්නට වුයේ ඇගේ ව්‍යාකූලත්වය දක්වමිනි. 

" විදුල්.. විදුල්... විදුල්ට මම මැරෙන්න දුන්නෙ නෑ ජානු... එයා මරන්න හැදුවම මම ඒක කරන්න දුන්නෙ නෑ. ඒ හින්දා විසල් මට සමාවක් දෙන්නෙම නෑ.. "

අංජලිකා මුමුණමින් එක හුස්මට කියවන්නට වූයේ උමතුවකින් මෙනි.

"...  ඩිවෝස් එකක් ? ඒක වෙන්නෙ නෑ ජානු... ඒක වෙන්නෙ නෑ"

ඈ දෝතින්ම හිස බදාගනිද්දී හිසකෙස් අවුල්වී ගොස් අංජලිකා වෙත විකාර පෙනුමක් ආරූඪ වී ගියේ ජානුලී පුදුම කරමිනි.

"... අනේහ්.. පව් දර්ශන්! එයා හරි හොඳ කෙනෙක් ජානු.. මගේ ජීවිතේ කවුරුත් මං ගැන එහෙම කෙයා කරලා නෑ.. එයා ගොඩක් හොඳ කෙනෙක්.. එයාව මම ඉන්න මේ අපායට ඇදලා දාන්න බෑ ජානු.. පව් එයා... ගොඩක් පව්.. ආයෙ මම එයාව හම්බෙන්න යන්නෙ නෑ.. ආයෙ යන්නෙ නෑ.. මට බෑ ඒ වගේ පව්කාර වැඩක් කරන්න..."

අතරින් පතර අංජලිකා කියනා දෙයක් අල්ලා ගත්තද ජානුලීගේ දෙපා සීතල වී ගියේ ඒ නම ඇසීමත් සමඟයි.

' දර්ශන් !?!'

-------------------------- මතු සම්බන්ධයි ----------------------------

ඉක්මනින් හමුවෙමු.

ප.ලි: මෙහි එන චරිත සහ සිදුවීම් සියල්ල මනඃකල්පිත බවත් , එය දැනට ජීවත්ව හෝ මියගිය කිසිවෙකුට සම්බන්ධයක් නොමැති බවත් කරුණාවෙන් සලකන්න.

ගොඩාරියක් ස්තූතියි කියවනවාට සහ කමෙන්ට් කරන, ලයික් කරන නොකරන හැමෝටම

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

© ලිඛිතා මංජරී
නිර්මාණයේ සියලු හිමිකම් කතුවරිය සතුවන අතර, ලිඛිත අවසරයකින් තොරව කුමන ආකාරයකින් හෝ උපුටා ගැනීම, Screen Shot ගැනීම හෝ වෙනත් කිසිම මාධ්‍ය‍යක පල කිරීම සපුරා තහනම් වේ.

2 comments:

  1. කථාව ලස්සනට ගලාගෙන යනවා, දර්ශන් LTTE ekata සම්භාන්දයි කියල මට හිතෙන්නේ..

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...