Sunday, November 20, 2022

මට ඇහෙන සරින් - දොළොස්වන පරිච්ජේදය



තමන්ට මෙය අදහා ගන්නට නොහැකිය. ඔහු සිහි එලවාගන්නට මෙන් තමා ඉදිරියෙන් ඇවිද යන ඒ යුවතිය දෙස බලා සිටියේය. 

පාරේ අයිනකට වී හෝරාවකට ආසන්න කාලයක් වැස්සේ තෙමෙමින් ඈගේ දර්ශන මාත්‍රයක් දකින්නට සිටීම ; හදිසියේ පිටතට ගමන් කරනා වාහනයකින් ඇගේ රුව දැකීම ; මොහොතකින් පාර මාරුවී ඈ තමා ඉදිරියට ඒම ; කලින් කථිකා කරගත්තාක් මෙන් ඈට සයිකල් හෙල්මට් එක පාද්දී ඈ එය කිසිත් නොවිමසා පැළඳ ගැනීම ; එක හුස්මට ඈව සයිකලයේ පසුපසින් තබාගෙන වැස්සේම මහනුවර නගරයට ඒම ; අනතුරුව කැන්ඩි සිටි සෙන්ටර්හි ඇඳුම් සාප්පුවකට ගොස් ඈගේ තෙමුනු ඇඳුම් වෙනුවට අළුත් ඇඳුම් ඇඳගැනීම...

ඒ අතරතුර එකඳු වචනයක් හෝ හුවමාරු වූවා නම් ඒ මීට විනාඩි කීපයකට පෙරය.

" ඔයාත්.. තෙමිලා..  "

අංජලිකා යන්තම් සිනාසෙන්නට උත්සහ කරමින් පැවසූ සැනින් ඔහුගේ මුවේ ඇඳෙන්නේ ඈ වෙව්ලායන ඒ සිනාවයි. ඉතින් ඒ ඇස් එකිනෙක තත්පර කීපයක් පැටලීගෙනය. අනතුරුව දර්ශන්ගේ නෙත් ඇගේ නාසයට පහලින් වූ තැනක සීත්ලෙන් වෙව්ලන දෙතොලක් අසළ මදක් නැංගුරම් ලෑවේය. 

" උණුවෙන් කෝපි බොමු"

කැන්ඩි සිටි සෙන්ටර් හි ඉහළම මහළේ ඇති කෝපිහළ ඉස්තරම් කෝපි සාදන බව ඔහු දනී. ඈට ඉදිරියෙන් යන්නට දී ඔහු පසුපසින් යන අතර වහ වහා කෙටි පණිවිඩයක් යවාගත්තේ තමාගේ විශ්වාසවන්ත මිතුරාටය. 

සෝපානයේ සෙනඟ එතරම් නොවූවත් ඈ හා දර්ශන් අතරින් මැදිවියේ කාන්තාවන් දෙදෙනෙකු වූ නිසා ඇසෙන් ඇස පා කරනා බැල්ම අඩුවක් නොවූයේය. අවසානයේ අදාළ මහලට එන්නට මොහොතකට පෙර දෙදෙනාගේම ඇස් එකිනෙක ලොක්ව යන්නේ එහි ප්‍රථිපලයක් ලෙසිනි. 

උගුරෙන් පැමිණෙන කුමක්දෝ වොට් බර ගානක විදුලි දහරාවක් විසින් සීතල කමිසයෙන් එන හිරිගඬු පරදවා සිත උණුසුම් කොට ඇත්තේය. දර්ශන් සිය කොට කොණ්ඩය ඔස්සේ ඇඟිලි ඒ මේ අත යවා තරමක් නොසන්සුන් සිත වාවාගන්නට උත්සහ කළේය. අංජලිකා හතර අතේ ඇඹරෙමින් සෝපානයෙන් බැස ඔහුට ඉස්සර වී කෑම කලාපය වෙත ඇවිද යද්දී දර්ශන්ගේ දුරකතනයට පැමිණි කෙටි පණිවිඩය බැලූ ඔහුගේ මුහුණ අමුතුම වෙසක් ගත් බව අංජලිකා දුටුවාය.

'අම්මාද? '

ඈට සිතන්නට හදවත ඉඩක් දුන්නේ නැත. මොළයේ කලාපයක්ම තිබුනේ හිරිවැටුනාක් මෙනි. බුද්ධිය දල්වන රතු එළි කිසිවක්ම දෙදෙනාගෙන් එක් අයෙකුටවත් දැනුනේ නැත.

දෙදෙනෙකුට වෙන්කල මේසයක් වෙත ගිය දර්ශන් ඉන් එක් පුටුවක් අංජලිකා වෙත පෑ නිසා ඈ එහි හිඳගත්තේ බිම බලාගනිමිනි. දර්ශන් ඒ කෝල බවට තවත් කැමති බව ඈ දන්නේ නැත. කොටින්ම තමා මේ මොනවා කරනවාදැයි පවා ඈ දැන සිටියේ නැත. සයිකලයේ පසුපස ආසනයේ හිඳගත් තමාගේ අත ඔහු ආපසු හැරී ඔහුගේ උරහිසේ රැඳවූවා පමණි ඈට මතක!

" යාළුවා හොයයිද?"

ඒ හඬ මෘදු සහ සරදම් සහගත නිසා ඈට ඉබේම හිස ඉහළ-පහළ වැනුවේ 'ඔව්' කියන්නටය.

"... කෝල් එකක් දෙන්න එහෙනම්.. තව ටිකක් පරක්කු වෙනව කියල"

එයට දෙන්නට පිළිතුරක් ඈ දැන නොසිටි නිසා එතෙක් සිය කුඩා බෑගයේ දමාගෙන සිටි අංජලිකාගේ දුරකතනය දර්ශන් ඈ වෙත පෑවේය. එය ඔහු අතට ගෙන නොතෙමෙන බෑගයට දමාගත්තේ බයිසිකලයට නඟින විටදීය. 

දුරකතනයේ තිරය මත ජානුලී නමින් මඟහැරුණු ඇමතුම් තුනක් වූ බැවින් අංජලිකා වහා එය අතට ගත්තද ප්‍රති ඇමතුමක් දෙන්නට තරම් දිරියක් නොමැති වූවාය. තමා දර්ශන්ගේ බයිසිකලයට නඟිනවා ඈ දකින්නට ඇත. ඈට කුමක්ද කියන්නේ?

'ජානු, මම එන්න ටිකක් වෙලා යයි. විදුල්ව ගන්නවද?'

ඈ කෙටි පණිවිඩයක් ලියා යවනවා දර්ශන් දුටුවේ එය ලියූවේ ඉංග්‍රීසීයෙන් නිසාය. ඔවුන්ගේ කෝපි ඇනවුම පැමිණියේ ඒ මොහොතේ නිසා දර්ශන් නැඟිට යන්නට මත්තෙන් අංජලිකා දෙස වරක් බැලුවේ වෙනස්ම බැල්මකිනි.

" පරක්කු වෙන්න එපා බබා පව්නෙ"

අංජලිකා නියපොතු කන්නට වූ නිසා දර්ශන් කෝපි ගෙන එන්නට යද්දී අංජලිකා ඈටම මුමුණන්නට වූවාය.

'උඹට මොන යකෙක් වැහිලද දර්ශන් එක්ක මෙහෙම ආවෙ? බැඳපු ගෑනියෙක් කරන..'

ඇගේ සිතුවිල්ල එකවරම නැවතී ගියේ ඇතුලාන්තයෙන් ආ හඬකිනි.

' අංජු.. Have a life. Fall in love ( ජීවිතේ විඳපං, ආදරෙන් බැඳියං)'

මේවා සියල්ල තමාගේ සිතලුද? දර්ශන් මොනවා නොසිතාවිද? ඊටත් තමා ගැන නොදැන?

දර්ශන් කෝපි ඇණවුම සමඟ චොක්ලට් චිප්ස් රැගෙන ආ නිසා අංජලිකා පුදුමයෙන් මෙන් ඔහු දෙස බැලුවාය.

' කොහොමද එයා දන්නේ?'

අනතුරුව හෝරාවක් යනතුරුම අංජලිකාගේ හෝ දර්ශන්ගේ ඇතුලාන්තයේ නැඟුනු රතු එළි වලට ඉඩක් නොවීය. ඔවුනොවුන් කුමක් කරන්නේද කියා දර්ශන් අංජලිකාගෙන් හෝ අංජලිකා දර්ශන්ගෙන් ඇසුවේ නැත. ඒ වෙනුවට වැස්ස දෙස බලාගෙන නෙත් එකිනෙක පටලවා ගන්නා යුවල මධ්‍යයේ පිහිටි කෝපි හලේ හිමිකරුගේ මුහුණේ ඇතිකලේ පහන් හැඟීමකි.


 මේ අතර...

" WHAT WAS THAT? (ඒ මොකක්ද ඒ උනේ? )"

බයිසිකලය වංගුවෙන් නොපෙනී යනවාත් සමඟම දේශක දෙස බලමින් ජානුලී කෑගැසුවේ මුව විවර කරගනිමිනි. ඇගේ හොඳම මිතුරිය කවුරුන් හෝ නොදන්නා කොල්ලෙකු සමඟ වැස්සේම බයිසිකලයක නැඟී මේ දැන් මහනුවර දෙසට ගියේ විදුලි වේගයෙනි.

ඒ දෙස ගල්ගැසී බලා ඉන්නවා විනා කිසිවක් කරන්නට කාලයක් ලැබුනේ නැත. ඊටත් එය පැහැරගැනීමක් නොවේ!

" ඇයි දැන් ඔයා ඌව අඳුනන්නෙ නෑද? යං යං අපි එහෙනං පස්සෙන්"

දේශක සුක්කානම කරවන්නට ගත් උත්සහය ජානුලී නතර කලේ අතින් අල්ලා ගනිමිනි.

" එපා.. ඕන නෑ දේශ්.. අංජුව කිඩ්නැප් කලා නෙවෙයි නේ.. ඒ කොල්ලා.. කවුරු උනත් අංජු දැනගෙනනෙ ගියේ"

දේශකගේ මුහුණේ ඇඳුනේ සෝපහාස සිනාවකි.

" කොටුවක් පනින්න යන්න ඇති. උදැල්ල නොදා ඉන්න ජාන්.. කවද හම්බෙන චාන්ස්ද?"

ජානුලී දේශක දෙස ඔරවා බලද්දී ඊටද සිනාසෙමින් දේශක වාහනය පාරට ගෙන එදින සවස පැවැත්වෙන මිතුරු සාදය තිබෙනා දිගන දෙසට හැරවූයේය.

" දේශ්! අංජු එහෙම කෙල්ලෙක් නෙවෙයි.. "

" ඔය කොයි ගෑනිත් එකයි වස්තුවේ අවශ්‍යතාවයට. ( රවනා ජානුලී දෙස බලමින්) ඔයාමනෙ කිව්වේ ආමන්ත කාරයාගෙත් එක්ක තියෙන මැරේජ් එක වර්ක් අවුට් වෙන්නේ ( හරියන්නේ) නැහැ කියල.. ඉතින් අංජලිකා boyfriend හොයාගෙන ඇති"

ජානුලීගේ සිත ඉන් සැනසුනේ නැත. 

අංජලිකා පෙම්වතෙක් සොයාගත්තා? වෙන්නට නම් බැරිය! ඊටත් තමාට නොකියන රහසක් ඈට නොවූවද, එකකට පසුව එකක් ආ සිදුවීම් නිසා තමාටත් ඈටත් කතා කරන්නට ලැබුනේ නැත.

"මට ඌට හරියට කතාකරන්න බැරි උනා.. අංජු පව්"

ඈ අංජලිකාගේ දුරකතනයට ඇමතුම් දෙකක් ගත්තද ඊට ප්‍රතිචාරයක් තිබුනේ නැත. ඈ කුමක් හෝ කරදරයක පැටලීදැයි ජානුලී තුල බියක් හටගත්තේ අහේතුකව නොවේ.

අසංවේදී පරිසරයක සිටීම නිසාම අංජලිකා බොහෝවිට දඟකාර චරිතයක් වුවද ඇගේ ඇතුලාන්තයේ සිටින්නේ වහා කැඩී බිඳෙනසුළු කුඩා සියුමැලි දැරියකි. ආදරයක් නොලැබුනු බවින් මුකුලිතව ගිය ඈ රහස් රැසක් තවමත් තමාගෙන් සඟවාගෙන සිටින්නීය.

" හරි දැන් අප්සෙට් ගහන්න එපා. කෝල් එකක් දෙයිනෙ ගිය තැනක ඉඳලා.. එයාගෙ අය්යා නෙවෙයි නේද ඒ?"

" හෙහ්! අමල්?? අමල් වෙල්ලාලගේ කවදද අංජුව බයිසිකලයක පිටිපස්සෙන් තියාගෙන ගියේ? ලෝකෙට පේන්න බොරුවට මිනිස්සුන්ට මාර හොඳට සළකනවා උනාට තමන්ගෙ නංගිගෙ කිසි වැඩකට ආවෙ නෑ ඌ.. මට පේන්න බෑ මූසළය!"

අංජලිකාට නිවසේ තිබුනේම අඩුම ප්‍රමුඛත්වයකි. ඒ ගැන හොඳටම දන්නේ තමාය. සිය දියණියගේ ශිෂ්‍යභට පදක්කම පළඳවන්නට නොආ  කෝසල වෙල්ලාලගේ එදිනට වෙනත් පාසලක ශිෂ්‍ය නායකයින්ගේ පදක්කම් පළඳවන්නට ගොස් සිටියා ඈට මතකය. කෑම්පිං යන සැමදිනෙකම අනෙක් ළමයින්ගේ අය්යලා ඔවුන්ව ඇරලවන්නේ බෑග සියල්ලම අත දරමින් වුවද, අංජලිකා සැමදාම පැමිණියේ සිය සොහොයුරා නිවසේ සිටියදී කුළී රියකිනි. 

එසේ ගොස් ඈ වරක් හොඳම සෙබළිය ලෙස තේරී පත්වෙද්දී ලබාදුන් ලී කුසලානය 'දර කොටයක්' කියා සිනාසී තිබුනේ ඔවුන්ගේ මිතුරන් සමඟ ප්‍රසිද්ධියේය. ඒ සිදුවීමෙන් පසුව අංජලිකා ඇගේ එවන් බාහිර ක්‍රියාකාරකම් සිය පවුලේ අය සමඟ බෙදා නොගත්තාය. එතැන් පටන් ඇගේ එවන් ගමන් වලදීත්, අනෙකුත් වැඩ වලදීත් ඈට සොහොයුරාගේ භූමිකාව ඉටුවූයේ සිය සොහොයුරා අතිනි. 

ඈට ඒවා සිහිවී බරැති සුසුමක් සැලුනේය.

දේශකට සැබෑවටම ජානුලිගේ වේදනාව වැටහුනු නිසා ඇගේ දකුණු උරය අල්ලා තමා වෙත ඇදගත්තේ සිය අභිනව මනාලිය දොම්නස්ව සිටිනවාට අකමැති නිසාමය.

" අංජලිකා ආවහම අපි එයත් එක්ක ටිකක් කතාකරමු. හ්ම්ම්? ඔයා කිව්වෙ එයා වෙඩින් එක වෙනකල්ම ඉන්නවා කියලානේ ඔයාගෙ ගෙදර ? දැන් මගේ මනාලි ටිකක් හිනාවෙලා ඉන්න නැතිනම් අපේ උන් මාව වාත කරයි අද"

ජානුලී අපහසුවෙන් සිනාවක් නඟා ගනිමින් නැවත වරක් ඇගේ අංකය ඇමතූවද ඉන් පිලිතුරක් ලැබුනේ නැත. ඔවුන් සාදය පැවැත්වෙන නිවසට ළඟා වූ සැනින් අංජලිකා එවා තිබුනු කෙටි පණිවිඩය නිසා ඇගේ කැළඹීම තවත් වැඩි වූවා පමණි. 

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

ජීවිතයේ එක්තරා කාර්තුවකදී ඔබ මෙතෙක් අදහන සියල්ල උඩු යටුකුරු කරනා යමක් සිදුවනු ඇත. ඒ සිදුවීමෙන් පසුව සිදුවන කිසිදු දෙයක් සම්බන්ධයෙන් ඔබේ පාලනය සම්පූර්ණයෙන් ඔබෙන් මිදී හදවත විසින් උදුරා ගන්නවා ඇත.

එක්තරා සමයකදී ඉතා ලස්සනට සැලසුම් කල අනාගතයක් ඇස පෙනෙන මානයේ තිබියදී , එතෙක් කල කී දෑ සියල්ලම සමඟින් පතුලක් නැති කළු කුහරයකට වැටෙද්දී, කිත්ම දොඩංගොඩගේ ජීවිතය එලෙසින්ම හදවත ඉක්මවා මොළයට බාරදුන් තීන්දු තීරණ මේ වනවිට ඉබාගාතේ ගොස් තිබේ.

මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ කල සාකච්ජාව අනුව හෙට දවස වනවිට කලයුතු දෙයක්ද අනතුරුව ත්‍රීකුණාමලයට වාර්තා කලයුතුවද තිබේ. 

ඉක්මනින්ම අංජලිකා හමුවිය යුතුය. තමන් මෙතෙක් දැනගත් තොරතුරු ඇගෙන්ම අසා දැනගත යුතුය. ගැහැණුන් ගැන ; විශේෂයෙන් විවාහක ගැහැණුන් ගැන පැතිර යන කතා හෝ ඇසෙනා කතාවල සම්පූර්ණයෙන් අසත්‍යක් තිබිය නොහැකි මුත් ඒ තුල කතාවක් ඇතිය. පෙනෙනා අයුරට ජානුලී ඒ ගැන නොදන්නවා හෝ තමාගෙන් වසන් කරනවා වන්නට හැකිය.

' ඔව් ඉතින් ඒ ඒකිගෙ බෙස්ටානේ! ඒ කාලෙත් ජාඩියයි මූඩියයි වගේ'

කිත්මගේ මතකයට අපහසුවෙන් නඟා ගත් අංජලිකා ශරීර ප්‍රමාණයට වඩා ලොකු කලිසම් කමිස අඳිනා, කොටින්ම පාසල් නිල ඇඳුමටත් ලොකු ජැකට් එකක් දමාගෙන කොල්ලෙක් මෙන් කොණ්ඩය කොටට කැපූ තනිකරම 'ටොම් බෝයි' කෙනෙකි. භවන්ත එවූ ඇගේ මංගල ජායාරූපයේ නම් ඈ ඇඳ සිටියේ ගවුමකි. ඇගේ කෙසඟ සිරුර හැඩැති වුවත් එකවරම දෑස යන්නේ ඇගේ කැපී පෙනෙන වෙනත් ලතාවන් වෙතටය.

' මේ මිනිහා සල්ලිවලට වෙන්න ඇති ඒකිව බැන්ඳේ. ඌට කමිටඩ් කෙල්ලෙක් හිටියලු ඩොක්ටර් කෙනෙක්'

භවන්ත තවදුරටත් පැවසුවේ අංජලිකාගේ සැමියා යයි කියනා මිනිසා ඔහුගේ නීති ආයතනයට උපදෙස් පතා පැමිණි බව සඳහන් කරමිනි.

' ඌට ඕන උනේ ඩිවෝස් වෙන්න. මේකි බෑ කියන හින්දා ඌ හිටියේ බාගෙට පිස්සෙක් වෙලා කියලා මගෙත් එක්ක කිව්වෙ අපේ එකෙක්. '

' ඩිවෝස් වෙන්න? ඇයි ඉතින් අංජු බෑ කියලා තියෙන්නෙ?'

තමා ඇසුවේ කුතුහලයෙන් ඇවිස්සුනු නිසාය.

' ඒක දන්නෙ නෑ. උං බැන්ඳෙ උඩරට නීතියටනෙ. ඒකෙදි ගෑණිට වැඩි වාසි. වෙලාවට පෙරේරා කාරයාට මාව මීටර් නෑ. මම ඔය කේස් එකේ මුල ටිකේ විතරයි හිටියේ. '

හිත කියූවේම එහි කුමක් හෝ දෙයක් ඇතිවා කියාමය. භවන්ත සිය මිතුරාගේ ඉරියව් ගණන් නොගෙන කියවාගෙන ගියේය. 

'.. ඌ පස්සෙ මේකිත් එක්කම ඉන්ඩියා ගිහින් තිබ්බ. අමල් මගෙත් එක්ක අවුල් උනාට මාසෙකට විතර පස්සෙ පෙරේරා කාරයා කියලා තියෙනවා ඩිවෝස් අදහස අතෑරියා කියල. අපි හිතුවෙ ඉන්දියාවෙදි මුන්ට දරුවෙකුත් හම්බෙලානෙ, සමාදාන වෙලා කියලා '

එසේ කියා අවසානයේ භවන්තගේ ස්වරය නිසා කිත්මගේ බිමට නැඹුරු වූ හිස කෙලින් විය.

'... උඹට මතකද අර කේරළ ගංජා සීන් එක? උඹ එතකොට ට්‍රේනින් එකකට යූඑස් ගිහින් මම හිතන්නෙ. මීඩියා වලිං යටගැහුවට ඒක තමයි හම්බුන ලොකුම කේජී තොගේ. සීන් එකට අමල් අහුවෙන්න ගිහින් ලීගල් ඇඩ්වයිස් ගත්තෙ අපෙන්. සල්ලි දීලා වැඩේ ගොඩදැම්මේ පෙරේරාගෙ තාත්තා.. එදා ඔය කියන පෙරේරා ඇවිත් හිටියේ වෙන ගෑණියෙක් එක්ක.. '

කිත්මගේ බැල්මේ තියුණුකම නිසාම භවන්ත මදක් නැවතුනේය.

'.. එතකොට මට තේරුනා මේ ඩිවෝස් කේස් එක අයින් කරගත්තෙ වෙන ප්ලෑන් එකක් හින්දා කියලා. ඒත් අපිට හොයන්න ඕනෙකමක් තිබ්බෙ නෑනෙ.'

කිත්මගේ වමත ඉබේම මෙලවී ගියේ භවන්ත වෙතින් ඉවත් වූ දෑස ඈත ඉමක රැඳෙද්දීය. 

'අංජු ඉන්නේ මොකක් හරි අවුලක බං. '

භවන්ත සුසුමක් හෙලා සිය මිතුරා දෙස අනුකම්පාසහගත බැල්මක් හෙලුවේය.

'මචං.. බැඳපු ගෑනියෙක් දුකෙන්ද සැපෙන්ද අහන්ඩ යන එක අතිශය භයානයයි බං. මුලින්ම ඒ ගෑනි ඒ ගැන කැමැත්තෙන් කියන්න යනවා නම් ඇරෙන්න ඕක අහන්න යන්නෙත් ඒකිට කොටන්න බලාගෙන තමයි.. ( තමාට ඔරවනා කිත්ම දෙස සෝපහාස බැල්මෙන් බලා ) ඇයි උඹ මට දැන් කියන්නේ උඹ මේ කරන්නේ මොකක් කියලද?'

' තොට මම කිව්වය කියලා හිතාගනින්'

' උඹ මට නොකිව්ව ටික තමයි මාත් මේ කියන්නෙ. උඹ ඔය අතදාන්න යන්නෙ දාර හුඹහකට. ඊටත් උඹම කියනවා වගේ ඒකි යකඩ උනත් කන ටයිප්නෙ.. අර පෙරේරා කාරයා එක්ක බැලුවම ඒකි එහෙමටම ලස්සන එකියකුත් නෙවෙයි නෙ. සල්ලි වලට යටයි බං ඔය ඔක්කොම. ඒකි ඩිවෝස් එක නොදෙන්නෙත් ඌට ලව් නිසා වෙන්න ඇතිනෙ.. උඹේ මනස්ගාත'

භවන්ත එසේ කීවේ කිත්මගේ ඇස් අරවන්නට වුවද ඔහු සිය මිතුරා හොඳින් හඳුනයි.

' I want her ( මට ඒකිව ඕන) මචං. බලපං මොකද වෙන්නෙ කියල'

කිත්ම දොඩංගොඩගේ හිතුවක්කාරකම් ගැන භවන්ත තරම් දන්නේ කවුරුන්ද? නමුත් මේ වතාවේ නම් හොඳම ලෙස ඔහු කන්නට යන බව නම් දැන සිටියේ නැත.

 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

" ම.. මම ටැක්සි එකක් දාගෙන යන්නං"

අංජලිකා ඈට දර්ශන් පෑ හෙල්මට් එක දෙස බලා පැටලිල්ලේ කියාගත්තාය. ඒ වනවිට වර්ෂාව තුරල් වී හාත්පස ජල බිඳු වැටෙමින් හති හලනා හඬ පරයමින් දෙදෙනාගේ හදවත් දිඩි-බිඩියේ ගැහෙමිනි. 

දර්ශන්ගේ මුවේ ඇඳුනු වේදනාත්මක සිනාව දුටුවද අංජලිකා අත වූ ඇඳුම් බෑගය අනෙක් අතට මාරු කලේ නොසන්සුන් බව වලක්වා ගන්නටය. දර්ශන්ගේ දුරකතනය මත පතිත වූ කෙටි පණිවිඩය ඔහුගේ සිත වරදකාරි හැඟීමකින් පුරවා දැම්මේය. එසැනින් ආ ඇමතුම නොකර බැරිකමට ඔහු ලබාගත්තේ ඈට පිටුපා මදක් ඈතට යමිනි.

"එපා බං. ප්ලෑන් එක වෙනස් උනා"

එහාපස සිනා හඬකි.

" අන්නා.... උඹ මේ මොකාටද එන්නේ? ආ? "

" කතාකරන්න බෑ මචා. පස්සෙ කියන්නම්"

" බෑ බෑ කියපං උඹ කවදාවත් බෝඩිමේ යතුර ඉල්ලලා නෑ මීට කලින්! යකෝ ඇයි ඒකි බෑ කිව්වද?"

" කතාකරන්න බෑ $&&@ ! පස්සෙ කියන්නං"

බලෙන් මෙන් දුරකතනය විසන්ධි කල දර්ශන් වේගයෙන් අංජලිකා වෙත ඇවිද එද්දී ඈ දුරකතනය ඔස්සේ කුලී රථයක් සොයමින් සිටියාය. 

" අංජු සොරි"

අංජලිකා හිස ඔසවා විමතියෙන් දර්ශන් කියූ දෙය ගැන තේරුම් ගන්නට නොහැකිව ඇස් දල්වා බලා සිටියාය. 

" Sorry for what ( සොරි කියන්නෙ මොකටද )?"

දර්ශන්ගේ ලොකු ; පැහැදිලි ඇස්වල ඇති වේදනාව ඈට වැටහුනේ නැත. එකෙනෙහිම ඇගේ රථය පැමිණි බවට සංඥාවක් පැමිණි නිසා දර්ශන් වහා ඈ ඉදිරියේ සිටගත්තේ ඇගේ හිස මුදුනේ සිය උණුසුම් අත තබමින් වූ අතර අංජලිකාට ඉබේටම ඒ ස්පර්ශයට දෑස් පියවී හුස්ම ඉහලට ඇදුනි. 

සිපගන්නට සිතෙන ඇගේ දෙතොල් දෙස තත්පරයක් බැලූ දර්ශන් සෙමෙන් ඔහුගේ අත අංජලිකාගේ හිස ඔස්සේ පසුපසට යන්නට හැර ඈ සෙමෙන් ඔහුගේ පපුවට තුරුල් කරගත්තේ ඈ වෙව්ලන බව දැනෙද්දීමය.

" සොරි ඔයාව මෙහෙම එක්කගෙන ආවට"

අංජලිකාගේ ලය පුරා නැඟුනු සුසුම ඔහුගේ පපුව පුරා සැතකින් කපා දමන්නා සේ ඇදී ගියේ, ඔහුගේ වමත අංජලිකාගේ හිස පසුපසින් තවත් තද කරවමිනි. 

" තෑන්ක්ස් මාව මෙහෙම එක්කගෙන ආවට"

ප්‍රසිද්ධ නගරයක රථ ගාලේ,  එතරම් ජනාකීර්ණ නොවූ මොහොතක සිදුවූ ඒ වැළඳගැනීම අංජලිකා වෙල්ලාලගේගේ ජීවිතයේ අතිශය වෙනස් කරවන්නට සමත් වූ බව ඈ දැන සිටියේ නැතත් , දර්ශන් ඉලෙයිරාජාගේ සිතේ නම් නොසැඟවිය හැකි සළකුණක් තැබුනු බව ඔහු දත්තේය.

කුලී රථයට ඈ නැඟ එය ශ්‍රී වික්‍රම රාජසිංහ මාවත ඔස්සේ පහළට නොපෙනී යන සැනින් ඔහු වහා ඇමතුමක් ගත්තේ ඔහුගේ දුරකතනයේ ' Anju' කියා ගබඩාකොට තිබුනු අංකයටයි.

" අංජු..?"

" හ්ම්ම්?"

ඇගේ හුස්ම හඬ ඔහුට ඇසෙන්නේ සියල්ලෙන්ම වෙන් කරනා කුණාටුවක් ලෙසටය.

" ගිහින් මැසේජ් එකක් දානවද පරෙස්සමින් ගියා කියලා"

" හ්ම්ම්"

ජානුලී ඇරුනුවිට කිසි දිනෙක එලෙස ඈට එවන් ඉල්ලීමක් පිරිමියෙකුගෙන් ලැබී නැත. හදවත තුල තවිල් බෙරයක් වැයෙන්නාක් මෙනි. නමුත් මුව ගොළුවී ගියෙන් තත්පර කිහිපයක නිහඬතාවයකි. 

" තෑන්ක්ස්.."

" ඇයි තෑන්ක් කරන්නෙ?"

" මාව විශ්වාස කලාට.. තෑන්ක්ස්.."

අංජලිකාගේ පපුව තුල ඊයම් බරුවක් සේ ඒ වචන වැදී ඒ තුල ගිලී ගියාක් මෙනි.

' දෙවියනේ දර්ශු.. උඹ මාව පණපිටින් මරනවා වගේ..'

"... අයෙ දවසක එන්න කිව්වත් එනවත මේ විදියටම"

වචන කියන්නේම හදවත කීතු කරනා පිහි පාරවල් ය. ඔහුගේ දෙමළ උරුවේ සිංහල වචන වලට ඈට සිනාවක්ද නැඟේ.

" ඔව්! මාව පේරාදෙණිය කැම්පස් එකට එක්කගෙන යනවද හෙට?"


 -------------------------- මතු සම්බන්ධයි ----------------------------

ඉක්මනින් හමුවෙමු.

ප.ලි: මෙහි එන චරිත සහ සිදුවීම් සියල්ල මනඃකල්පිත බවත් , එය දැනට ජීවත්ව හෝ මියගිය කිසිවෙකුට සම්බන්ධයක් නොමැති බවත් කරුණාවෙන් සලකන්න.

ගොඩාරියක් ස්තූතියි කියවනවාට සහ කමෙන්ට් කරන, ලයික් කරන නොකරන හැමෝටම

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

© ලිඛිතා මංජරී
නිර්මාණයේ සියලු හිමිකම් කතුවරිය සතුවන අතර, ලිඛිත අවසරයකින් තොරව කුමන ආකාරයකින් හෝ උපුටා ගැනීම, Screen Shot ගැනීම හෝ වෙනත් කිසිම මාධ්‍ය‍යක පල කිරීම සපුරා තහනම් වේ.

6 comments:

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...