Wednesday, November 16, 2022

මට ඇහෙනසරින් - එකොලොස්වන පරිච්ඡේදය



එදින රාත්‍රිය මහා දිගු එකක් බව දැනුනු හදවත් කිහිපයක්ම විය.

එකම නිවසේ යාබද කාමර දෙකකින් එකිනෙකාට නෑසෙන බරැති සුසුම් ඇසුනේ එලෙසටය.

.

.

ඈ හෙටින් පසුව පිටත්ව යනු ඇත. ඈ වෙසෙන නිවසක් හෝ වෙනත් කිසියම් තොරතුරක් අසන්නට තරම් හිත දිරිමත් නොවේ. තමාට එය නුහුරුය. කුඩා දරුවා සිය ගෙලේ එල්ලී කරනා කෝලම් වලටත් වඩා ඔරවමින්, ඇස් කරකවමින් නිවසේ ඒ මේ අත වේගයෙන් යන ඈ නැතැයි සිතීමෙන්ම හදවත පාළු කාන්තාරයක්ව දැනෙන්නේය. එතෙක් තමා සිටියේ කොහිදැයි සිතෙන තරමට මේ දින කීපය ඈ සිතින් අල්ලාගෙන හමාරය. 

ඈ විවාහ ගිවිසුමට යනවා කියූ මොහොතේ සිටම සිතට වද දුන්නේ අංජලිකාව දෙමළ ඇඳුමකින් එහි යනවාට ඇති කැමැත්තයි. ෆිට්-ඔන් කරනලද ළමා සාරිය තුලින් තමා දුටුවේ ගිණිසිළුවක් වන් තරුණියකි. හිත පයින් ගැසූ අළු ගොඩක් වූයේත්, වදවන සිත බලවත් ලෝබකමකින් වැසී ගියේත් එසැනිනි.

මේ නිවසේ නතර වී සිටි පළමු සහ එකම තරුණිය ඇය නොවේ. විශ්වවිද්‍යාලයීය සිසුවියන් කීප වරක්ම මෙහි නතරව දින දෙක තුන ගතකොට ඇත. ඔවුන් බොහෝදෙනා අතර තමන්ට ආකර්ෂණය වූ තරුණියන්ද වූහ. නමුත් සිත නම් නැමුනේම නැත. මේ සිදුව ඇත්තේ කුමක්ද?

ඈ ගැන තොරතුරක් නොදන්නා මුත් විමසන්නේ කෙසේද? ඈ තමාව ප්‍රතික්ෂේප කරාවිද? දමිළ නිසා හෝ ඊටත් තමා ගැන ඇත්ත දැනගතහොත්? ඊටත් වඩා ඒ ඇස් කරකවන්නේ තමාට අකමැති නිසාද?

දර්ශන්ගේ නිදිවර්ජිත රාත්‍රිය පුරාම අංජලිකා ඔහුගේ කාමරය පුරා ඇවිද්දාය. තේ කෝප්පය දී හොරෙන් මෙන් බලන බැල්මෙන්ම සයනයේ පසෙක සිටියාය. මෘදු ස්පර්ශය ලය පුරා ගොස් එතෙක් ඔහු ගමන් නොකල මාවතක සළකුණු ඔහු තුල දල්වමින් විය.

.

.

නිදා සිටි විදුල්ගේ සුසුම් හඬ පරයා අංජලිකා සිටියේ පිටතට ඇසෙනා තරම් වූ ඇගේ හදවතේ වේගය පාලනය කරන්නට යත්න දරමිනි. සවස් වරුව පුරාම තමා සිටියේ මුහුණ සඟවාගෙනය. ඇස් පිහාටු දිග, ලොකු ඇස් තමා වෙත ඇතිකරන්නේ බියක් නොව නර්වස් බවකි. මුව කොනේ ඇති සිනාව විසින් කවදාවත් ඈට නොදැනෙන ලැජ්ජාවක් සහ තේරුම් ගන්නට නොහැකි හැඟීමක් ඇතිකොට හදවත පුරා වොට් බර ගානක විදුලි දහරාවක් ගලා යනවා දැනේ. 

එය ප්‍රේමයද? ආකර්ෂණයද? ක්‍රශ් එකක්ද?

විසල් පෙරේරා සම්බන්ධයෙන් ඈ හැසිරුනේ මීට වෙනස් ආකාරයකට බව ඇයට ස්ථීරය. ඔහුගේ සුදු ; ලස්සන මුහුණ, ඒ මත ඇති රැවුල් කොට, තමාව ගණන් නොගන්නා ආඩම්බරකම, සිහින් උස සිරුර , නපුරු එරවිල්ල සහ තමාව ගණන් නොගන්නා ආඩම්බරකම.. මේ සියල්ල විසින් තම සිත තුල ඇති දඩබ්බර තරුණිය කුලප්පු කර තිබුනි.

දර්ශන් එසේ නොවේ, ඔහු අසළ දැනෙන්නේ ඇවිලීමක් සමඟ එන නිවීමකි. ඔහු සමඟ අසළම ගැවසෙන්නටම සිත ඉල්ලයි. රැකවරණය දැනෙන ඒ ටෑන් පාට බූල් පිරුනු අත්බාහු තමා වටා උණුසුමක් ඇතිකරයි. කෙතරම් තරවටු කලද ඔහුගේ දෑස් හා ගැටෙන්නේ නොතේරෙන කතාවකය. සිරුර පුරා යන විදුලිය පාලනයෙන් තොරය. දෙමළ උරුවට ඈට 'අංජු' කියනා විට සියොලඟ කිලිපොලා යයි. කොටින්ම ඔහු කුඩා විදුල් සුරතල් කිරීමම සරාගීය . 

තමා මේ හදන්නේ නොදන්නා පිරිමියෙකු හා වරදේ බැඳෙන්නද? හිත තමාගෙන්ම මොරගසා අසයි.

' නැහැ.. ආදරේ කියලා දෙයක් නෑ. ඒක අවශ්‍යතාවය විතරයි. I don't believe im love ( මම සැබෑ ආදරය ගැන විස්වාස කරන්නෙ නෑ)'

ඔහු තමා ගැන නොදන්නා බව අංජලිකාට ස්ථීරය. කළු කොට කැත තමා වන් අයෙකුට ආකර්ෂණය වෙන්නේ බොරුවටද? තමා විවාහක බව දැනගතහොත් මේ සියල්ලම වෙනස් වේද? 

' දර්ශන්ට ඇත්ත කියපං අංජු.. බොරුවට හෝප්ස් දෙන්න එපා'

' දර්ශන් නපුරු කෙනෙක් නෙවෙයි. එයා කාටත් හරි කෙයාරින්. මට කියලා විශේෂයෙන් කරනවා නෙවෙයි වෙන්න ඇති'

' එතකොට ඌ අර ඇඳුම් අරගෙන දුන්නෙ පිස්සුවටද? යකෝ ඌ උඹට ලව්'

' නෑ නෑ එයා එහෙම දෙයක් මට කියලා නෑනෙ.. '

' හැමදේම වචනෙන් කියන්න ඕනෙද එළදෙන? '

' හෙට ගියාම හරි.. ආයෙ අපි හම්බෙන එකක් නෑනෙ'

හදවත කියන්නේ අනෙකකි. හදවතට සවන්දුන් කාලයක් මතක නැතත් දැන් දැන් ඇතුලාන්තයේ වූ අංජලිකා හරි හරියට ඈ හා කැරළි කරන්නේ කෙලවරක් නොමැතිවය.

'එහෙම මුකුත් නෑ මට පිස්සු. හෙට මම ගියාම දර්ශන්ට මේ හැමදේම මතක නැතිවෙයි. එයා කැම්පස් කොල්ලෙක්.. කැම්පස් එකේ ඕනෙතරම් කෙල්ලො ඉන්නෙ. විසල් වගේම ලස්සන කෙල්ලෙක් ඇති. පිස්සු නැතුව නිදාගනින් අංජු! උඹට තියෙන ප්‍රශ්න මදිවටද?'

.

.

එක දිගටම පානයකල දුම්වැටි තුන නිසා කිත්ම දොඩංගොඩ තරමක් සන්සුන් වී සිටියද , දිසාගෙන් සඟවාගන්නට නොහැකි හැඟීම් නිසා තරමක් නොසන්සුන් බවක් ඉතිරිව තිබින. 

ඊළඟට කලයුතු කාර්‍යයන් එකින් එක විස්තර කොට සටහන් පොතේ සඳහන් කල දිසා එතැනින් නික්ම නොයාම නිසා කිත්ම ඔහු දෙස නොබලාම දබර ඇඟිල්ලෙන් සිය නළල තෙරපන්නට වූයේ සූදානමින්ය.

"කිත්තා.. උඹ ඒකිට ලව් කියලා මම දන්නව. හැබැයි ඕක මහ පටලැවිල්ලක් බං. අනිත් එක අර දර්ශන් කාරයා.."

" නෑ ඌ එහෙම එකෙක් නෙවෙයි. ඌ ජැෆ්නා ටැමිල් හින්දු කොල්ලෙක්. උගේ රෙකෝඩ් ඔක්කොම ක්ලීන් බං. කවදාවත් ඌ අංජුට අතක්වත් තියෙන ජාතියේ නෙවෙයි..."

දිසා ඒ වචනවල ඇති තීව්‍රතාවය නිසා එකවරම ඊට පිලිතුරක් නොදුන්නේය. මුල සිටම කිත්ම දොඩංගොඩගේ ප්‍රතිපත්තියක් තිබින. දර්ශන් ඉලෙයිරාජා ගැන ඔහුට මුල සිටම විශේෂත්වයක් තිබින. ඒ බව දන්නේ දිසා පමණකි.

".. එහෙම උනත් මගේ තීරණේ වෙනසක් නෑ. මොකක් උනත් අංජලිකා මේ equation ( සමීකරණයෙන්) අයින් කරන්න ඕන. දර්ශන් විතරක් අපිට ඇති"

එය එසේමය. පිඹුරුපත් සැකසුනේ ඒ ආකාරයටය. මේ වනවිට ඔහු සිටින්නේ අංජලිකා සමඟ බව ඔවුන් සොයාගන්නේ දෙදෙනාම දරුවා සමඟ නගරයේ ප්‍රසිද්ධ රෙදි සාප්පුවකට ගොස් ඇඳුම් මිලටගත් නිසාය. අංජලිකා ඉක්මනින්ම මෙතැනින් ඉවත් කර නොගතහොත් ඈ වැටෙන්නේ දර්ශන්ට උපකාර කරනා සැකකරුවන් ලැයිස්තුවටමය. 

' අංජුගේ ලයිෆ් එක මෙස් එකක්.. ඒ උනාට ඒකි මාස්ටර් පීස් එකක්.. ඒක මට තේරුම් කරන්න තේරෙන්නේ නෑ'

ඔහු අවසාන වැකිය ලෙස භවන්තට පැවසුවේ ඔහුගේ ප්‍රභල ප්‍රශ්න කිරීම් හමුවේය. 

" කිත්තා උඹ පරෙස්සමින් වැඩ කරපං. අනිද්දා මිශන් එකෙන් පස්සේ අපි නුවරින් withdraw ( පසුබැසීම) වෙන්න ඕනෙ.. "

දිසා නැවතත් ඔවුන්ගේ සැලැස්මේ කොටසක් කිත්මට සිහි කැඳවූයේ එය මේ මොහොතේ සිදුවීම අත්‍යවශ්‍ය නිසාමය.

රාත්‍රිය දිගු වූයේ මෙහෙයුමේ මැද සිටගෙන සිටිනා අංජලිකා වෙල්ලාලගේ වෙනුවෙන් ඔහුගේ වදවීම නිසා පමණක්ම නොවේ.

 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

අංජලිකා ගල්ගැසී මෙන් බලා සිටියේ මේසය මත තිබෙන පිච්ච වැල දෙසය. නිදිවර්ජිත ‍රාත්‍රියේ යන්තම් හෝ ඇස පියවුනේ පාන්දර යාමයේ නිසා උදෑසනම මෙතැනට පිච්ච වැලක් පැමිණි ආකාරය ගැන ඈ දැන සිටියේ නැත. උදෑසනම කෝවිලට ගොස් ඈ වෙනුවෙන් පිච්ච වැලක් ගෙන ආ දර්ශන් එය මේසය මත තබා ගියේ අද දින අඳින්නට නියමිත ඇඳුමට එය හොඳින් ගැලපෙන නිසාමය.

" යං මම සැලෝන් එක ගාවින් දාන්නම්"

උදෑසන දර්ශන් විසින් උයා තිබුනු බත් බිම බලාගෙනම කෑ අංජලිකාට දර්ශන් පැවසුවේ ඇගේ ඇස් මගහරිමිනි. එපා කියද්දී ඈට රූපලාවණ්‍යගාරයක්ද සොයා දුන්නේ සහෝදර සිසුවියන්ගේ මාර්ගයෙනි. 

දෙදෙනාම එකිනෙකාගේ දෑස් මගහරිමින් ඒ මේ අත යමින් අවශ්‍ය දේවල් ලෑස්ති කරගත් අතර , උදෑසන කෑමෙන් පසුව විදුල් සෝදා ඔහුට ඇඳුම අන්දවා තිබුනේද දර්ශන් විසින්මය. තමාට මේ දැනෙන වියෝව කුමක්දැයි අංජලිකාට වැටහුනේ නැත.

'අංජු කාම් ඩවුන්... හැමදෙයක්ම නෝමල් වෙයි අදින් පස්සේ. බොරුවට සෙන්ටිමෙන්ටල් වෙන්න එපා. '

ඈ ඇගේ හිතට තරවටු කරමින් පැවසුවේ තමන් මගහරිමින් සිටිනා දර්ශන් වෙත නොබලන්නට උත්සහ කරමිනි. ඔහු සම්පූර්ණයෙන් නිශ්ශබ්දව සිටින්නේ ඇයි?

උදෑසන නවය වනවිට ඈ රූපලාවණ්‍යගාරය වෙත ඇරලවා දර්ශන් ඈට යන්නට කුලී රථයක්ද සූදානම් කොට, එකදු බැල්මක්වත් නොදී ඉවත්ව ගියේ අංජලිකා රිදවමිනි. සියල්ල යන්ත්‍රානුසාරයෙන් සිදුවූවාක් වැනිය.

' දර්ශන්ට එහෙම දෙයක් නෑ. එයාට ඕන මාව යවාගන්න '

අංජලිකා හෝරාවකට පසුව දමිළ ලෙස හැඳ පැලඳගෙන , දර්ශන් පාන්දර කෝවිලෙන් ගෙනා පිච්ච වැලෙන් සිය කාලවර්ණ කේශකලාපය සරසාගෙන , කුලී රියකින් පිටත්ව ගියේ වාවාගත් දුකකිනි. 

කුලී රථය ජානුලීගේ විවාහ ගිවිසුම පැවැත්වෙන අර්ල්ස් රීජන්සි හෝටලයට පිවිසෙන විට උත්සවය ආරම්භ වී තිබුනු බැවින් අංජලිකා වැඩි අවධානයක් නොලබා ඇතුල් වන්නට ගියේ කුඩා විදුල් වඩාගෙනමය.

"දශන්.. කෝ?"

විදුල් එසේ අසද්දී අංජලිකා රවාගෙන මෙන් ඔහු දෙස බැලුවාය. 

" ශ්! විදුල්... මම කිව්වෙ ඉස්සරවෙලාත්.... දර්ශන් අංකල් දුර ගමනක් ගියා. ටික දවසකට එන්නෙ නෑ. කාටවත් කියන්න එපා ඒක සීක්‍රට් එකක්"

ඈ ශාලාව සිසාරා බැල්මක් හෙලන පමාවෙන් තුලිනගේ නෙත් අසළ නතර වත්ම ඔහුගේ දෙනෙත් ඉබේම විසල් වී ගියේය. 

ඈ දකුණු ඉන්දීය සුරුවමක් වැනිය. හිසේ ඇති පිච්චමල් නිසාත්, ඉතා මෘදුවට තවරාගෙන සිටිනා ආලේපන නිසාත් ඇගේ ඒ වින්ටේජ් රුව අන් සැමගෙන් කැපී පෙනෙන්නේ අනායාසයෙනි.

" ඔහ් මයි ගෝඩ් අංජු!! උඹ එහෙනම් ආවද?"

ජානුලී ඈ ප්‍රීතියෙන් බදා වැලඳ ගන්නේ අංජලිකා වෙත තවත් කීපදෙනෙකුගේ අවධානය ලබාදෙමිනි.

 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මේ නොසන්සුන් බව දරාගන්නට නොහැකි තරමකි. මුරලි උපදෙස් දුන් පරිදි ඔහු කියූ පුද්ගලයින් දෙදෙනා දුම්‍ රියපල පාරේ නිවසට ඇරලවා එහි හෝරා දෙකක් පමණ ගතකලේ එදිනට නියමිතව තිබුනු රාජකාරී කීපයක්ම නිමකරන්නට උත්සහ කරමිනි. 

දහවල් වනවිට දර්ශන් සිටියේ මානසිකව තෙහෙට්ටුවට පත්වී තවදුරටත් කිසිම වැඩකට අවධානය යොමුකරන්නට හැකි තත්වයක නොවේ. 

උදෑසන රූපලාවණ්‍යගාරය තෙක් ඈ රැගෙන ගොස් ඈ ඉන් පිටතට විත් කුලී රථයට නගිනා තුරුම එතැනින් ඉවත් නොවී ඈතක පිහිටි මැයි ගස අසළට වී රැඳී සිටියේ හිතාමතාමය. දෙමළ ඇඳුමට ඈ හැඩකාර බව දන්නා වුවත් ඔහු ගෙනා මල් වැල හිස රඳවා සිටිනවා දකින සිත කුමක් හෝ ලෙසකට ඊර්ෂ්‍යාව මුසු හැඟීමකින් පෙලා දමයි.

' ලස්සනයි අංජු!'

ඈට එලෙස කියන්නට ඇතිනම්!!! 

අභරණයක් වත් නැති ඇගේ ගෙල තමා නොසන්සුන් කරවන තරමක්! පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සිසුවියන් නිතර යන රූපලාවණ්‍යගාරයක් වූ නිසා ඔවුන් ඈට ගැලපෙන තෝඩු දෙකක් දී තිබිණ. ඒ තෝඩු ඇගේ බුහුටි දෙකන්පෙති වලින් එල්ලා වැටී ඇගේ කම්මුලේ හා ගෙලේ වදින්නේ හිස ගස්සන රටාවටය. ඈට තමා නොපෙනෙන තැනකට පැමිණියේ ඈ බියකලයුතු නොවන නිසාය.

'මෙතරම් ලස්සනට ඇඳගෙන ගිහින් වෙඩින් එකේ කොල්ලෙක්වත් සෙට් වෙයිද? කියන්න බෑ.. '

ඈ පිටත්ව ගිය පසුව ඉක්මනින් නිවසට පැමිණ මුරලිගේ උපදෙස් අනුව සියල්ල සූදානම් කල දර්ශන් , දමිළ මිතුරන් දෙදෙනාට අවශ්‍ය උපදෙස් ලබාදී, ලොරියට ඒවා නියමිත පරිදි අසුරා නිමකරද්දීම දේවාගෙන් ඇමතුමක් ලැබුනේ ඔහුගේ සිත කියවා මෙනි.

" උඹ අද වැඩ ටික පරක්කු කලොත් නම් පුතා..  දෙන්නම අමාරුවේ වැටෙනවා"

" නෑ අන්නා.. ඔක්කොම ටික ඉවරයි. එන සතියට ඕනෙ ටික මම අද රෑම හොස්ටල් එකට දෙනවා. "

දර්ශන්ගේ හඬ අසා සිටි දේවාට දැනුනේ දොම්නසකි. ඔහුව මෙතරම් අමාරුවක දමන්නට තමා සිතා සිටියේ නැත. එක් සුළු අතපසුවීමක් මේ සියල්ලටම මුලය.

".. අන්නා..."

මේ අසන්නට යන්නේ කුමක්දැයි දේවේන්ද්‍ර දන්නේය. ඔහුට ඉබේටම දෑස වැසුනේ වේදනාවටමය. 

".. අම්මව බලන්න ගියාද? අක්කා..?"

ඉතිරිය ඔහුගේ උගුරේම සිරවිය. දේවේන්ද්‍රට ඉකියක් පැන්නද ඔහු ආයාසයෙන් එය නවත්වා ගත්තේ මේ මොහොතේ දර්ශන් දැන නොගතයුතු දේවල්ද තිබෙන නිසාය.

" ඔව්.. ඔක්කොම හොඳින්"

දේවා එලෙස කියා දැමුවේ හිතක් නැතුවාක් මෙනි. 

" අන්නා...  මාසයක් නෙවෙයි , මට හෙටම මුරලිට කතාකරන්න ඕන. ඕනෙ නම් මම සිවා එක්කත් කියන්නම්"

" එපා උඹට පිස්සුද? උන් වචන දෙකේ මිනිස්සු නෙවෙයි. උඹ දීපු වැඩේ ඉවර කරලා මුරලිට ඒ ටික යවපං. මම ඉතුරු ටික බලාගන්නම්. පණ්ඩිතයා වගේ කියවන්න යන්න ඕන නෑ. මම ඒවා ගානට බැලන්ස් කරලා දෙන්නම්.. කවදද උඹේ graduation ( උපාධි ප්‍රධානෝත්සවය )?"

" තව සති දෙකක් තියෙනවා."

" මම කිව්වා වගේ උඹ කැනඩා ඇප්ලයි කරපං. උඹට ස්කොල් එකක් ශුවර්. කොහොමත් උඹ මේ පාරත් බැච් ටොප් නේ? "

දර්ශන්ට ඒවා නොදැනුනා සේ අවිනිශ්චිත බවක් දැනුනි. ඔහුගේ නැන්දණිය ඇතුලු වැඩිදෙනා සිටින්නේ කැනඩාවේය. 

"... අර රෝජාගෙ වැඩෙත් එකලාසයක් කරල දැම්මම.."

" රෝජාගෙ වැඩේ ?"

" ඕක ඉතින් කොහොමත් වෙන්න තිබ්බ එකනෙ.. ඒ කෙල්ලව බැඳලා උඹ කැනඩා ගියාම එහෙ higher studies ( උසස් අධ්‍යාපනය ) කරනකොට වීසා ගහලා ගෙන්නගන්න ලේසි... මේවා ඉක්මනින් පිලිවෙලක් වෙන්න ඕන දර්ශු"

දර්ශන්ගේ සිත වේදනාවෙන් මිරිකී ගිය නිසා පළමුව කුමක් කියන්නදැයි සිතාගත නොහැකි වූවද දේවා සිතුවේ වෙනදා මෙන්ම දර්ශන් මුණිවත රකින බවකි. එබැවින් ඔහු කියවාගෙන ගියේ දර්ශන්ගේ නිහඬ බව නොතකමිනි.

"..... රෝජා කොහොමත් උඹේ නෑනා. ඒකි ඉගෙනගන්න දක්ෂ නැති උනාට උයන්න පිහන්න දන්නව. ගෙයක් රන් කරන්න දන්නව. උඹට හරියන්නෙ එහෙම කෙල්ලෙක්. පෙනුමත් හොඳනෙ... ( හුස්මක් අල්ලා) අර ගෑනියි ළමයයි ගෙනිච්චද? ඒ ගෑනි ඔත්තු දෙයිද පොලිසියට ?"

" හ්ම්ම් යැව්වා. ඔත්තු දෙන්න මොනවත් දන්නෙ නෑනෙ. "

" චඃ! ඉතින් උඹ නිකන්ම ගෙනිහින් දැම්මද මෝඩයා වගේ? යකෝ උඹට තියෙන මොලේට තේරෙන්නේ ඉංජිනේරු වැඩ විතරද බූරුවෝ?"

ඔහුගේ මුරගෑම දර්ශන්ට දැනුනේ වත් නැත්තේ ඊට වඩා ගැඹුරු රිදීමක් හදවත තුල නලියන්නට වූ නිසාය. 

" පිස්සු කියවන්නෙ නැතුව ඉන්න අන්නා.. ඒ කෙල්ල මේව දන්නෙ නෑ, අහිංසක කෙල්ලෙක්. මට දැන් මාතලේ යන්න තියෙනවා.  තියන්නම් එහෙනං"

පිලිතුරක් එන්නට ප්‍රථම ඔහු ඇමතුම විසන්ධි කොට , හදිසියේ දැනුනු හැඟීමට නැවතත් දුරකතනය පිරික්සුවේය. 

ඈට උදෑසන දමා දුන් කැබ් රථය ඇනවුම් කලේ ඔහුගේ දුරකතනයයේ වූ කුලීරථ සේවාවකිනි. තමා උදෑසන බලෙන් මෙන් ඈ අත තැබූ රුපියල් දහසේ නෝට්ටුව මගින් ඈ රථයේ කුලිය ගෙවන්නට ඇත. ඇගේ ගමනාන්තය තිබුනු ස්ථානය දෙස නෙත් නොදල්වා බලා සිටි දර්ශන් වහා සිය බෝටර් බයිසිකලය හරවාගත්තේ වැසිබර අහස ගැන නොතකමිනි.

.

.

" අම්මෝ අංජු.. උඹ සිරාවටම මේකට හැඩයි බං දැනටමත් මගේ කසින්ස්ලා දෙකක්ම උඹ ගැන ඇහුව. දේකශගෙ බෙස්ට්මන් හිටං ඇහුව හලෝ.. උඹ කොහොමද යකෝ ඔච්චර ගින්දර වගේ උනේ?"

අංජලිකා ඊට ඈට හැකි උපරිම සන්සුන් බවින් සිනාසුනා පමණි. 

එහි පිටුපස වූ කතාව අසන්නට මෙය තැන නොවේ. ජානුලී නොදත් බොහෝ දේ පසුගිය වසර කීපය තුල සිදුවී හමාරය. දින කීපයකට පෙර නැවත හමුවනතාක් කල් සිටි අංජලිකා වෙල්ලාලගේ තමා තවදුරටත් හඳුනන්නේ නැති තරමකි. පසුගිය දවස් කිහිපයේ සිටියේ සුපුරුදු සැහැල්ලු ; දඟකාර අංජලිකා ද? නැතිනම් පොඩි දේටත් බ්ලෂ් වන තරුණියක්ද? අංජලිකා නොනැවතිල්ලේ සිතමින් ඉද්දී අතරින් පතර ඒ ඇහි පිහාටු දිගු ඇස්වල ඇති කාන්දම් බැල්ම මනසේ ඇඳී-මැකී ගියේය.

'දර්ශන් ඔයා මොකක්ද මේ මට කලේ?'

විදුල් උත්සවයට ආ අමුත්තන්ගේ දරුවන් හා සෙල්ලමට වැටී සිටී. ඔහු පෙර මෙන් පැත්තකට වී සිටින්නේ නැත. එය අංජලිකාට පුදුම වන්නට කාරණාවක් වූවද දර්ශන් නිසා පුදුම වන්නට දෙයක් නොවේ. ඒ දින කීපයට විදුල්ගේ කථනය සහ හැසිරීම බොහෝ දියුනුව පැවතිනි.

' බබා බලාගන්නව කිව්වට සෙල්ලම් වත් කරන්නෙ නෑ නෙ. එතකොට ළමයි කතාකරන්න පරක්කු වෙනව. අපි කෝවිල් ගිහිල්ල සාමිට කියලා ශාන්තියක් කරමු.. එතෝට අරි'

ඔහු එසේ පැවසුවේ ඈ දෙස නොබලාමය. ඒ දර්ශන්ගේ හැටිය. මුහුණ දෙස එක එල්ලේ බලන්නේ එහෙමත් වෙලාවකය. ඒ බැලුවොත් තමාගේ සර්වාංගයම අප්‍රාණික වන්නේය.

විදුල් ගැන අංජලිකාගේ සිතේ නැවතත් දොම්නස්සහගත බවක් හටගත්තේය. ඔහු දෝතට ගත් මුල්ම දිනයෙදීම දැනුනු ඒ හැඟීම ඈ තුල නැවතත් හිස ඔසවා එන්නා සේය. 

උත්සව කටයුතු නිමවීමෙන් අනතුරුව අංජලිකාගේ නෑදෑයින් එකා දෙන්නා ඉවත්ව යද්දී තුලිනගේ මව අංජලිකා වෙත පැමිණියේ විදුල් වාහනයේ තැබූ මාමාද සමඟිනි.

" ආනේ ළමයො.. දරුවාව හොයාගත්තද? "

" අනේ ඔව් ආන්ටි.. අපේ වගේම වෙන වාහනයක් තිබිලා ඒකෙන් වැරදිලා තියලද කොගෙද.. ඔක්කොම හරි"

" ආ ඒකනෙ ගුණේ මේ මාත් කිව්වෙ.. ඔච්චර නටන්න දෙයක් වෙල නෑ කියල. කොහෙද අන්තිමට අපිව වැරදිකාරයෝ වෙනවා තව ඩිංගෙන්.. කොහේද හිටියේ ඉතින්?"

" බබාව පහුවදාම මට කෝල් කරලා එක්කගෙන යන්න කිව්ව.. "

ඈ දුන්නේ කොහේටවත් නැති පිළිතුරක් බැවින් නැන්දා මදක් අන්ද මන්ද වූවාය.

" ගෑණියෙක්ද පිරිමියෙක්ද? දරුවට මොකක්වත් කරදරයක් කරල එහෙම තිබ්බෙ නෑනෙ?"

අංජලිකා ඊට පිලිතුරක් දෙන්නට ප්‍රථම නැවතත් නැන්දා දොඩවන්නට වූවාය 

".. අම්මල උනාම ළමයි ගැන ඔයිට වඩා සැලකිලිමත් වෙන්ඩ ඕන. කොල්ලෙක් වෙලත් අපි දේශක පුතාව කොච්චර ප්‍රොටෙක්ට් කලාද? නේද ගුණේ? ඔයාලට උනත් ඒ දවස්වල මම කිව්වෙ.. දැන් කාලෙ හැදෙන කෙල්ලො නම්.. අඩුම ගානෙ ලස්සනක්වත් නෑ. ලොකුකම විතරයි "

රතු කට්ට පැන්න බව දැනෙද්දීම ඇගේ වාසනාවට එතැනට ජානුලී කඩාපාත් වූවාය. 

" අංජු දේශකලාගෙ කොළඹ මාමලා ළමයි එක්ක ෆිල්ම් එකකට යනවලු. පොඩි එකාව යවමු නේ පව් ඌ උඹ එපා කියයි කියලද කොහෙද සද්ද නැතුව හිටියා.."

අංජලිකා රැගෙන් එතැනින් ඉවත් වූ ජානුලී එසේ කියූවේ ඇගේ වත පුරා ඇඳි වෙනස තේරුම් ගනිමිනි.

".. උඹට මොකක් හරි කුප්ප කතාවක් කිව්වද අර ගෑනි? ආ?? ඒ ගෑනිගෙ පුතෙක් බැන්ද උනාට මට ඕකිගෙ හොම්බට අනින්න ඕනෙ වෙලා තියෙන්නෙ දැන් නම්.. උඹ ඕව ගණන් ගන්න එපා අංජු.. හ්ම්ම්?"

" එහෙම අවුලක් නෑ ජානු.. ගානක් නෑ"

ජානුලීට සුසුමක් නැඟුනි. සිය පවුල වෙතින් වන සියළු වේදනාත්මක සැලකීම් හමුවේ අංජලිකා සැමදාම පැවසුවේ 'ගානක් නෑ බං' කියාමය. 

අනතුරුව ඈ අංජලිකාගේ මූඩ් එක වෙනස් කරවන්නටම සිනාසුනාය.

" උඹ කවද ඉඳන්ද මේ හොට් විදියට අඳින්න ගත්තෙ ආ? විසල් දැක්කොත් උස්සගෙන යාවි. උඹ නම් සිරාවටම ටැමිල් ඇක්ට්‍රස් කෙනෙක් වගේ.. කොහෙන්ද බං මේ ඇඳුම්? කවුද තේරුවේ?"

ඒ ජානුලීගේ හැටිය. නොනවත්වා කියවන්නීය. අද දිනයේ ඈ සිටිනා මූඩ් එක අනුව එය දෙගුණ වී ඇත්තා සේය.

" එහෙම නෑ හලෝ.. මේ..."

අංජලිකා ගොත ගැසුවේ කුමක් පළමුව කියන්නදැයි සිතමින් වුවද, එසැනින් ජානුලීව පසුපසින් වැළඳගත් දේශක පැමිණියේ දෙමිතුරියන්ගේ කතාවට බාධා කරමිනි.

" හෝව් හෝව්.. මේ ගෑල්ලමය මට හරියට අඳුන්නලා දුන්නෙ නෑනෙ මේ අපේ ගෑනි! මම පමා උනා වැඩිද මන්දා"

ජානුලී ඔරවා සිටියදී අනෙක් දෙදෙනා සිනාසුණහ. 

" ගෑනි??"

" ඔව් ගෑනි තමයි. අද ඉඳලා ගෑනි.. ඇයි මොකද දැන් බෑ කියලද කියන්නෙ? හෙහ්.. එව්ව කොහෙද නංගි දැන් මාසයක් බලාගෙන ඉන්න ඕනත් නෑ ඒකට"

ජානුලී දේශකගේ බාහුව කොනිත්තා දැමුවාය. නමුත් ඔහු සිය අභිනව බිරිඳ සිය උරයට තදකොට හිස සිම්බේ ආදරයෙනි. අහේතුකව අංජලිකාට දර්ශන් සිහිවිය. 

" ජානු මේ.."

" යං යං දැන් මෙතන ඉඳලා මොකක් කරන්නද? අංජු උඹ වරෙං අපිත් එක්ක කා එකේ යන්න "

ශාලාවෙන් පිටත් වනවිටදී තරමක වැස්සක් ඇදහැලෙමින් තිබුණි. විදුල් චිත්‍රපටයක් බැලීමට බාර දී , ජානුලී සහ දේශක සමඟ වාහන අංගනයට ඇවිද එද්දී අංජලිකා සිටියේ සිහිනයක මෙන් පාවෙමිනි.

ඈට නොනවත්වා සිහිවන දර්ශන් සහ ඔහුගේ මතකය නිසා හදවත තුලින් කුමක්දෝ වේදනාවක් නැඟෙනවාක් මෙන් දැනේ.

' මට පිස්සු.  ඒ කොල්ලා මම ගැන මොනවද දන්නෙ? අංජු උඹට පිස්සු! ඌ හිත හොඳ කොල්ලෙක්..'

' හිත හොඳ විතරද? මොනවත්ම තිබ්බෙ නැද්ද?'

' ඌ ඔයාටවත් දරුවටවත් කරදරයක් කලේ නෑ. පරෙස්සමින් බලාගත්ත. ඒක වරදවා වටහාගන්න එපා. දැන් ඕක අමතක කරන්න'

' ආයෙමත් දවසක ගිහින් මුණගැහිලා ස්තූති කරලා එන්න'

' නෑ උඹේ මූණවත් නොබලා ගෙනිහින් දැම්මෙ ආයෙමත් මොකටද? අංජු උඹ පිරිමියෙක්ට නැමෙන දෙකයි පනහේ ගෑණියෙක් නෙවෙයි! සත්‍යට මූණ දියං.. ඕක අමතක කරපං. දර්ශන්ව සම්පූර්ණයෙන් අමතක කරපං'

කවදාවත් නැති තරමට සංවාදය උණුසුම් ලෙස ඇදී යද්දී ඈ දේශකගේ වාහනයේ පසුපස ආසණයට නැංඟේ නිහඬවමය. දේශකත් ජානුලීත් තොරතෝංචියක් නැතිව කියවයි. 

වාහන අංගනයෙන් පිටතට පැමිණ එය ප්‍රධාන පාරට දමන්නට මදක් වේගය අඩු කරද්දී, අංජලිකා බරැති හුස්මක් සලා ළය සැහැල්ලු කරන්නට උත්සහ කරමින් වීදුරුවෙන් පිටත පෙනෙන පොද වැස්ස දෙසත් පාරේ අනෙක්පස ඇති මැයිමාර ගස් පේළිය දෙසත් ඔහේ බලා සිටියාය.

එකවරම ඇගේ දෑස් විසල්ව ගියේ ඈ නොසිතූ රුවක් දැකීමෙනි. 

ඔව්! සුපුරුදු තද නිල්පාට අත්දිග කමිසය ඇඳ, පොද වැස්සේ තෙමෙමින් ,  සිය බයිසිකලයට පිටදීගෙන සිටි රුවේ දෑස් තමා හා යාවී යද්දී ඔහුට ඉබේටම පියවරක් ඉදිරියට තැබිණ.

" ජා.. ජානූ.. ජානු.. ස්ටොප්.. ස්ටොප්!"

ඈ කෙතරම් ආවේගයෙන් කෑගැසුවාද යත් , දේශකට ඉබේටම තිරිංග තද වූයේ සියල්ලන්ම ඉදිරියට තල්ලු වෙමිනි.

-------------------------- මතු සම්බන්ධයි ----------------------------

 ඉක්මනින් හමුවෙමු.

ප.ලි: මෙහි එන චරිත සහ සිදුවීම් සියල්ල මනඃකල්පිත බවත් , එය දැනට ජීවත්ව හෝ මියගිය කිසිවෙකුට සම්බන්ධයක් නොමැති බවත් කරුණාවෙන් සලකන්න.

ගොඩාරියක් ස්තූතියි කියවනවාට සහ කමෙන්ට් කරන, ලයික් කරන නොකරන හැමෝටම

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

© ලිඛිතා මංජරී
නිර්මාණයේ සියලු හිමිකම් කතුවරිය සතුවන අතර, ලිඛිත අවසරයකින් තොරව කුමන ආකාරයකින් හෝ උපුටා ගැනීම, Screen Shot ගැනීම හෝ වෙනත් කිසිම මාධ්‍ය‍යක පල කිරීම සපුරා තහනම් වේ.

5 comments:

  1. කථාව ලස්සනයි,, කුතුහලය රැකගෙන ලියන විදිහ සුපිරි,, දර්ශන් එල් ටි ටි ඊ එකට වාහන බෝම්බ හදනවා කියල මම හිතන්නේ...

    ReplyDelete
  2. මං ඉතින් අතනත් කියවනවා..මෙතනත් කියවනවා...ඒකත් මරු වැඩේ

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...