Monday, November 14, 2022

මට ඇහෙන සරින් - දසවන පරිච්ජේදය


 

නොසන්සුන් මනස විසින් එලැඹෙන තත්පරයක් පාසා සිය මනස අවුලෙන් වියවුලට පත් කරනා වග වැටහුණු නිසා කිත්ම නිවසේ පසෙක තිබෙන දොරටුවෙන් පිටතට ඇවිද , අඳුර ඔස්සේම තණකොල බිස්සේ මද දුරක් ඇවිද ගියේ දෑතම කලිසම් සාක්කුවල ලාගනිමිනි. ඔහු ඇඳ සිටි සුදුපාට කපු කමිසය පසාරු කරගෙන සිරුරට දැනෙනා සීතල විසින් දුම්වැටියක අවශ්‍යතාවය වඩ වඩාත් තීව්‍ර කොට තිබුණද එයට මෙය තැනක් නොවේ.

මේ සිටියාට ඔහුට දැනෙන්නේ තමා යමහලක් මත සිටිනවාක් වැනිය. දෙවරක්ම ජානුලී අමතා විස්තර ඇසූවද හිත සැනසෙන්නේ නැත. මෙය කවර ආකාරයක නොසන්සුන් කමක්ද?

තමාට වැරදුනාද? එසේ වන්නේ කෙසේද? දර්ශන් ඉලෙයිරාජා එවන් අයෙකු නොවේ. ඔහුගේ පියා රජයේ පිලිගත් නිලධාරියෙකුව සිටියේය. මව යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කරමින් උන්නාය. ඔහුට සිදුවූ දේවල් කුමක් වුවද ඔහු තරුණියක්ට බලහත්කාරකමක් කරනු ඇතැයි සිත පිලිගන්නේ නැතත් , මේ කතාකරන්නේ අංජලිකා වෙල්ලාලගේ ගැනය. වසර ගණනාවකට පසුව හදිසියේ අහසින් කඩාපාත් වූ ඈ මෙතරම් තමාගේ හිත පුරා ඇවිදින්නේ කෙලෙසකද? 

පාසල් කාලයේදී කොටට කැපූ කොණ්ඩය නිසාත් නිතර අඳින බාච්චු පිරිමි ඇඳුම් නිසාත් ඇගේ ඒ පෙනුම වැසී ගියා වන්නට ඇත. 

ජීවිතයේ තමන්ට අවශ්‍ය මොනවාදැයි යම් මොහොතකදී විමසුවහොත් මේ යැයි පවසන්නට තරම් තමන් නැවතිල්ලේ කල්පනාකොට තිබුනේ නැතිය. වාසුකී විසින් අරක්ගත් ජීවිතය සහ අරමුණු විසින් තමාගේ ස්වයං අගයන් සහ ආශාවන් යටපත් වූවාද? දෛවය සමහර වේලාවට අපේ අත්වලින් අල්ලා ගන්නා අයවලුන් සමඟ යන ගමන් අතරමඟදී මංසන්ධි වලට ගොස් වෙනත් දිශානති සඳහා විමසීමක් කරනවා ඇත. වාසුකී එවන් මංසන්ධියකින් තමාගේ රථයෙන් බැසගියේ තමා කාන්තාරයක් මැදක සිටියදීය. එතැන් පටන් නොසැලුනු සිතක් මේ ටෑන් පාට ගැහැණියක් වෙනුවෙන් සැලුනා යයි කීම අතිශෝක්තියක් නොවේද?

' ඇයි අය්යා අංජු ගැන ඔච්චර පස්සෙන් පන්නන්නෙ?'

තෙවන වර ජානුලීට ඇමතූ මොහොතේ ඈ කෙලින්ම මාතෘකාවට බැස්සේ ඇගේ සිතැඟි ඈ කොහොමත් නොසඟවා පවසන නිසා පමණක්ම නොවන බව ඔහු දනී.

' නෑ.. මම එයාව අහම්බෙන් ටවුන් එකේ දැක්කා.. ඒත් කතාකරන්න බැරි උනා..  '

එවන් බොළඳ පිලිතුරක් කිත්ම දොඩංගොඩගේ මුවින් ඇසීමම ජානුලීගේ මුහුණේ සෝපහාස සිනාවක් ජනිත කල බව ඇගේ වෙනස් වූ හුස්ම සරින් කිත්මට වැටහී, තරමක ලැජ්ජාවක් ඇතිකලේය. 

" මද්දු.. "

නිමාලි දොඩංගොඩගේ හඬින් ආපසු හැරුනු කිත්ම බෙල්ලේ පසුපස කසන්නට වූයේ නලල රැළි ගන්වමිනි.

"... අපි මේ කෑම කන්න හොයනවා.. එන්න ගෙට"

ඇගේ මුහුණ එතරම් හොඳ නැති බව ඔහු දනී. නමුත් කරන්නට දෙයක් නැත. 

" අම්ම.."

සිය කණිටු පුත්‍රයාගේ හඬ සමඟම මේ එන්නේ මොකාටදැයි ඈ දනී. ඈ සෙමෙන් ඇවිද විත් සිය උසැති පුතුගේ ශක්තිමත් බාහුවකට සිය වියපත් කම්මුලක් තද කළාය.

" බෑ කියන්න නම් එපා මද්දු.. මම මොන ගින්දරකින්ද ඉන්නෙ කියලා දන්නවද පුතා? කසාද බඳින්න ආශ්‍රය කරලා බලන්න එපැයි. අපේ කාලේ වගේ දැක්කා කැමති උනා කියලා බඳින්න කියන්නෙ නෑනෙ මම! ඔය මනස්ගාත හින්දා දැන් භූමිත් බහුබූත කියෝනවා.."

ඈ සුපුරුදු ඇගේ මව් ප්‍රහාරය එල්ල කලේ මෘදු වචන ලෙසටය. භූමිකා ඔවුන්ගෙ පවුලේ බඩපිස්සීය; ඔහුගේ එකම නැගණියයි. කිත්මගේ මුහුණ දුටු නිමාලි දොඩංගොඩ එහි ඇති හැඟීම් කියවන්නට උත්සහ කරමින් තත්පර කීපයක් ගත්තාය.

".... හිත ගියපු කෙනෙක් ඉන්නවා නම් මගෙත් එක්කවත් කියන්න. තාත්තා ගැනම ලොකුවට වදවෙන්න එපා. ලස්සන වෙන්න ඕනෙ වගේ ඒවා අපි බලන්නෙ නෑ කියලා මද්දු දන්නවනෙ. "

අනතුරුව එක එල්ලේ කිත්මගේ වෙනස්වන වත දෙස බලාගෙනම සිටි නිසා කිත්ම ඒ ඇස් මගහැරියේය. වෙනදා මෙන් ඇයට එකට එක නොකියන සිය හිතුවක්කාර මද්දුම පුතා ගැන නිමාලි දොඩංගොඩ නොදන්නවා නොවේ.

" ... මේ දරුවා ලස්සන උනාට නුවර යමක් කමක් තියෙන මිනිස්සු. ලෝ එන්ට්‍රන්ස් කරන හින්දා ඔයාගෙ ෆීල්ඩ් එකටත් ලොකු උදව්වක්.. "

මේ කියන්නේ යාපා බණ්ඩාරගේ වැඩිමල් දියණිය ගැන බව කිත්ම දනී. ඔහුගේ මුහුණේ වෙනස්කම් නිමාලි දොඩංගොඩගේ ඇස් වලින් වසන් නොවුයේය.

".. මද්දු.. කවුද ඔය කෙල්ල.. ? කවුරු උනත් කමක් නෑ මට විස්තර කියන්න !"

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

" ජානු.."

අංජලිකාට කියන්නට ලැබුනේ එපමණකි! ජානුලී ඉහලට ඇදි හුස්ම පහලට ගන්නටවත් පමා නොවී එක දිගටම වක්කඩක් සේ කියවාගෙන ගියාය.

" අංජු! මට ඇත්ත කියපං කොහෙද ඉන්නේ? දරුවා හම්බුනා නේද? මට ඇත්ත කියපං අංජු උඹ මොනාද මේ කරන්නෙ? ඇයි මේ ගෙදර එන්නේ නැත්තේ? කාගෙද මේ නම්බර් එක ඇයි උඹේ නම්බර් එක වැඩකරන්නේ නැත්තේ???????????? "

අංජලිකාට වේගයෙන් ඇසිපිය සැලෙද්දී ඉබේටම දර්ශන්ගේ මුහුණ බැලුනි. එහි කිසිදු කලබලයක් හෝ කෝපයක් නැත්තේය. ඔහු ඇසින් පැවසුවේ බියවන්නට කිසිවක් නොවෙන බවය. පුදුමය නම් ඈටද බියක් නොදැනීමය. 

" ජානු... මේ.. මම විස්තර ඇවිත් කියන්නම්.. මම.. මේ.. කතාකලේ එන්ගේජ්මන්ට් එකට මම හෙට... කෙලින්ම එන්නද අහන්න"

ජානුලීගේ මුව විවර විය. කිත්මගේත් සිය සොහොයුරාගේත් වචන වලින් ඇගේ හිස පිරී ගියේ සැනෙකිනි.

" අංජු! උඹ මොකක් හරි කරදරේක පැටලිලාද? "

" නෑ නෑ ජානු I'm perfectly fine ( මම ඉතාම හොඳින්).. පුතා එක්ක අද මාළිගාවට ගිහින් හෙට උදෙන්ම එන්නම්.. "

ජානුලීට ඊට වඩා යමක් අසාගන්නට හැකි නොවූයේ දේශකගෙන් ඇමතුමක් ආ බැවින් එයට අනිවාර්යයෙන් පිලිතුරු දිය යුතු නිසාය. 

ඇමතුම අවසානයේ අංජලිකා හොරෙක් මෙන් දුරකතනය දර්ශන් වෙත දිගු කළාය. ඈට ඇමතුම් රැසක් ලබාදුන් ජානුලී ඈ ගැන වදවන බව අංජලිකා දනී. 

' වෙන කවුද ඉතින් මම ගැන හොයන්න ඉන්නෙ?'

ඈට ඉබේටම බරැති සුසුමක් සැලුනි.

" අ-ං-ජු"

දර්ශන් තාලයට මෙන් ප්‍රතිරාවය කරද්දී ඔහුගේ දමිළ උරුව නිසා එය වඩාත් සිත්ගන්නා ස්වරයක් ගත්තේය. ඇගේ ගත පුරාම ඒ ස්වරය හිරියක් ඇතිකලාක් මෙනි. ඇත්තය, දර්ශන් තමාගේ නමක්වත් හරිහැටි දන්නේ නැත. 

අනවරත ලෙස ඇගේ දෑස් ඔහු හා පැටලුන සැනින් දර්ශන්ගේ මුවේ මෘදු සිනාවක් මතුවූ නිසා ඔහු දුරකතනය ගෙන ආපසු හැරුනේ ඒ සිනාව සඟවමින් වුවද, අංජලිකාගේ නෙත් එය අල්ලාගනිද්දී දෙකන් රත්වී යනවාක් මෙන් දැනුණි.

"... ලස්සන නම"

ඔහු ඇසෙන නෑසෙන ස්වරයෙන් පැවසුවේ තමාටම මෙනි.

'.. ටැමිල් වලින් අංජු කියන්නේ the one who lives in the heart ( හදවත තුල සිටිනා කෙනා) '

ඔහුගේ සිනාව බිමට හරවාගෙනම ඔහු සාලයේ චිත්‍රයක් හා ඔට්ටුවෙමින් උන් විදුල් වෙත ඇවිද ගියේ පාවෙමින් මෙනි. බඩ පුරා සමනළයින් දඟලන්නා සේ මේ දැනෙන හැඟීම් බොහෝ අමුතුය. කෙතරම් හිතට තරවටු කලද ඔහුගේ සිත කවරදාටත් වඩා මුරණ්ඩු වී ඇති සැටියකි. හරිහැටි කාගේ කවුදැයි නොදැන මෙලෙස ඈ සිතින් අල්ලාගන්නට කවදා සිට ආ හය්යක්ද?  

අද දින ඇගේ මිතුරියට ඇමතුමක් දී බලන්නට කියා කියුවේ තමාය. නැතිනම් මේ පිස්සීට නම් කිසිම ගාණක් නැතුවාක් මෙනි. විදුල්ගේ චිත්‍රයට ප්‍රතිචාර දක්වමින් ඔහු විදුල් අසළින්ම හිඳගත්තේ හොරෙන් මෙන් හිස ඔසවා අංජලිකා සිටි දෙසට නෙත පා කරමිනි. මේ ඇස් සෙල්ලම නම් දැන් හොඳටම වැඩිය.

දිනයේ ඉතිරි කොටස ගෙවුනේද එලෙසිනි. නිවෙසක් තුලදී තමාගෙන් ලැබෙන තේ කෝප්පයට , තටම තටමා උයන බත් එකට ලැබෙනා සුළු ප්‍රතිචාරය එතරම් ආනන්දයක් ඇති කරනා බවක් අංජලිකා මීටපෙර අත්විඳ තිබුනේ නැත.

අගනුවර ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිටිනා දර්ශන් තමාට වඩා වසරකුත් මාස අටක් වැඩිමල් බවත්,  ඔහු නිර්මාංශික බවත්, ඉඟුරු ප්ලේන්ටි පෙරේතයෙක් බවත් , ගෙදරට අඳින ටීශර්ට් ඇතුලු කමිස සියල්ලම තද කළු අත්දිග කමිස බවත් අංජලිකා මේ වනවිට තේරුම්ගෙන සිටියාය. ඇඳුම් ඉතා සැලකිල්ලෙන් සහ පිලිවෙලින් සෝදා ඉස්තිරික්ක කරනා තරුණයෙකු ඈට හමුවූ මුල්ම වතාවය. තමාටද දොස් කියමින් ඔහු විදුල්ගේ ඇඳුම් පවා සෝදා පිලිවෙල කරනු අංජලිකා බලා සිටියේ ඔහුට ඉඟුරු ප්ලේන්ටි සපයමිනි.

" you look so happy ( ඔයා ගොඩක් සතුටින් වගේ)"

විදුල් සමඟ විශ්වවිද්‍යාලයීය සිසුන් විසින් ගෙනා පුස්නාම්බු වලට පොරකා එයින් එකක් ජයග්‍රාහී ලෙස මුවේ ලා ගනිමින් සාලයට දුව ආ අංජලිකාට ඇසෙන නෑසෙන ගානට දර්ශන් පැවසුවේ එතෙක් උකුල් පරිඝණකය වෙත යොමුව තිබුනු දෑස ඉවත් කරමිනි.

ඈගෙ ඒ සිනාව පිච්චමල් පොකූරක් වැනිය. ඔහුගේ සිතට ආ හැඟීම එතරම් සංවර එකක් නොවුනේ ඒ ඇස්වල පැටලීමේ ආනිසංස ලෙසටය. 

' මොකක්දෝ කාන්දමක් ඇති බැල්මක්!'

අංජලිකා සිනාව නවතා ඇගේ අවුල් වූ කෙස් මදක් පිලිවෙලක් කරමින් එතැනින් ඇවිද යන්නට හැරුනද ඇගේ දඟකාර සිත කියන්නේම අනෙකකි. 

තමාට මේ සිදුවී ඇත්තේ කුමක්ද? දන්නෙවත් නැති දෙමළ කොල්ලෙකු සමඟ විසල් පෙරේරාගේ විවාහක බිරිඳ කුමක්ද මේ කරන්නේ? 

විසල් ආමන්ත පෙරේරා ගැන සෙමෙන් කතාකල යුතුව ඇත.

.

.

විසල්.. විවාහක සැමියා.. නීත්‍යානුකූල සැමියා.. ආමන්ත පෙරේරා නමින් රටක් දන්නා 'හිත හොඳ දොස්තර මහත්තයා'.. ඔව්.  එයා තමයි.. කවුරුත් විශ්වාස කරන්නේ නැති ඔහුගේ අඳුරු අගාධයක් වන් ඒ ජීවිතය ගැන දන්නේ තමා පමණි.

ඔහුගේ කතාවේ නපුරු මන්තරකාරිය තමාය. ඒ මන්තරකාරියට දෙන්නට ආදරය හෝ කරුණාව තබා එකදු බැල්මක්වත් ඔහු තුල තිබුනේ නැත. තමාගේත් , සුරඟනක් වන් පෙම්වතියගේත් ප්‍රේමය එතරම් අගතියකට පත්වන්නට හේතුව වූයේ තමා බැවින් විසල් පෙරේරාගේ නිවසේ සිර අඩස්සියට පත්වූයේ දැනගෙනම නොවේද?

' මට ඩිවෝස් එක දීපං බැ&ලි! '

පහරක් දීගත නොහැකිව ඔහු නිවස දෙදරා යන්නට බෙරිහන් දුන්නේ වරක් දෙවරක් නොවේ. ජීවිතයේ එක වරකදී හෝ තමා අතට ලැබුනු වරයක් වේනම් එය අංජලිකා භාවිතා කරමින් උන්නාය. විසල් පෙරේරා තමාගේ නීත්‍යානුකූල සැමියා බැවින් ඒ හැන්ද ඒ මොහොතේ තිබුනේ තමා අතය. 

දෛවය විසින් දුටුවන් වශීකෘතව යන පෙනුමක් නැති, ප්‍රතික්ෂේපවීම පමණක් ජීවිතය කොටගත් බිඳුනු හදවතක හිමිකාරිය වූ තමාට කුමක් හෝ හේතුවක් නිසා හිමිවූ යමක් තිබින. ඒ විසල් ආමන්ත පෙරේරාගේ බිරිඳ යන තනතුරයි. ඔහු තමා ළඟ දණින් වැටී ඉල්ලන්නේ ඒ නීතිමය බලය නිසා පමණකි.

' විසල්.. මම එහෙම යන්න දෙන්නෙ නෑ ඔයාට.. ඔයා හිතුවාද මම මගේ අතට ආපු කුරුල්ලාව කොහේවත් යන සුරංගනාවියකට දීලා අත්දෙක පිහාගනී කියලා? මට එච්චර පිස්සු නෑ විසල්. No.. Never..'

ඉතින් එය විසල් පෙරේරා, අංජලිකා සමඟ දිනපතා අළුත්වන යුධ පිටියක් විය. විවාහය ඔස්සේ සිය පියාට උරුම වූ ධනයට වඩා විසල් සිය පෙම්වතියගේ ප්‍රේමය ගැන තැවීම තුලින් අංජලිකා යම් සතුටක් වින්දාය.

' ලස්සන කෙල්ලන්ට විතරද තමන් කැමති සතුට උරුම වෙන්නෙ? ලස්සන උනාම ඇයි හැමදේම ලැබෙන්නේ? එයාලා ප්‍රින්සස්ලා කියන්නෙ?'

අංජලිකා එලෙස තමා සිරකරනු ඇතැයි විසල් කිසිසේත්ම බලාපොරොත්තුව නොසිටියේය. බුලිං සහ හිරිහැර විඳගෙන සිටි කාලයේදී සිය හදවත වටා වඩාත් ඝණකම් කටුවක් තනා තිබීමේ ආදීනවය අංජලිකා විඳිමින් උන්නාය. 

.

.

මෙවන් පසුබිමක, විසල් පෙරේරා.. තමාගෙන් දික්කසාද වන්නට හේතුවක් සොයමින් සිටිනා ඔහුට මෙය කදිම අවස්ථාවක් නොවේද? 

" තමුසෙට ඕනෙ මගුලක ගිහින් ඕනෙ මිනිහෙක් එක්ක බුදියනව.. මම අල්ලගෙන නෑ! "

ඔහුගේ කර්කෂ වචන ඈ රිදවූ තරම්! ඔහු කියන්නක් නොකරන්නට තමන් වගබලාගත්තේම ඒ නිසාය. ඔහුගේ පෙම්වතිය අඳින පළඳින ආකාරය කොපි කරන්නට ඈට දිරියක් ආවේ එබැවිනි. 

'මගේ හැන්ඩ්සම්; ආඩම්බරකාර රළු සැමියා!'

ආඩම්බරකාර රළු පිරිමින් වඩාත් හොඳින් ආදරය කරනා බවට පැවති මිත්‍යාව කෙතරම් දරුණු ලෙස තමාට පාඩමක් ඉගැන්වූවාද? ඔහුත් ඔහුගේ පෙම්වතියත් අතර මතගැටුම් වලට මුල පිරෙන්නේ ඒ තීරණාත්මක පණිවිඩය සමඟිනි. 

" නෑ.. මම ඔයාව ඩිවෝස් කරන්නෙ නෑ.. විසල්.. ප්ලීස් මට මෙහෙම ඉන්න දෙන්න.. මම ඔයාල ගැන කාටවත් කියන්නෙත් නෑ.. මුකුත්ම කරන්නෙත් නෑ.. "

එය ඇරඹියේ ඒ වචන ඇගෙන් පිටවීමත් සමඟය.

 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

" බාවා.. මම කිත්තා කතාකරන්නේ.. පොඩි හදිස්සියක් මට උඹව මීට් වෙන්න ඕනේ"

ඇමතුමට පිලිතුරක් දුන් සැනින් සවන් ඔස්සේ ගලාගෙන ආවේ භවන්තගේ දිගුකාලීන මිතුරෙකුගේ හඬයි. ඔහු එතරම්ම කලබල වූ දිනයක් මෑත කාලයේදී දකින්නට නොවූ නිසා භවන්ත තරමක් ගැස්සී ගියද, කිත්මට ඔහුව මුණගැසෙන්නට තැනක් සහ වේලාවක් පැවසුවේ නිවසින් පිටවෙමිනි.

හෝරාවකට අඩුවෙන් කාලය ගතවිය.

වේලාව රාත්‍රී අටට ආසන්නය. මේසය මත සුසරකල මත්පැන් වඩියක් සහ දෙදෙනාගේම දකුණු අතේ ඇඟිලි අතර රැඳවුනු දැල්වෙන දුම්වැටි දෙකකි. 

මේ දැන් ඇති නිහඬතාවය මීට විනාඩි දෙකකට පෙර ආරම්භ වූවකි. එය බිඳින්නට භවන්ත ඉදිරිපත් නොවුනේ දුම්වැටියෙන් පෙරෙන දුම මුවට පුරවමින් ඈතක නෙත රඳවා ඇති කිත්ම දොඩංගොඩ නම් සිය අඹ යහළුවාට අවැසි ඉඩ ලබාදෙන්නටය.

" මචං මට කියපං අර.. අමල් වෙල්ලාලගේගේ නංගිගේ මොකක්ද සීන් එක කියලා ?"

" අමල් වෙල්ලාලගේ ?"

" ඔව්.. රාජන්ස් ටූ තවුසන්ඩ් ටූ වල එච් පී... අමල් වෙල්ලාලගේ..  උඹ ඒ වෙඩින් එකට ගියානෙ?"

භවන්ත ඔහුගේ මිතුරාගේ මුවේ මැවෙන ඉරියව් බලන්නට තත්පර කීපයක් ගත්තේය. අනතුරුව ඔහුගේ දැන් පසමිතුරෙකු බවට පරිවර්තනය වූ අමල් වෙල්ලාලගේ ගැන අවසන් මතකය දක්වා සිය මතකය අවධි කරන්නට විය.

"ඔව්.. ඒ වෙඩින් එකෙන් පස්සේ ඌ මගෙත් එක්ක හේතුවක් නැතුව වලියක් දාගත්ත. අමල්ගෙ නංගි ගැනද උඹ අහන්නෙ? අක්කා නම් මැරුණනේ බං"

" මට මතකයි. අපි ෆියුනරල් ගියා ඌ අපේ රූට්‍රැක් ක්ලබ් හිටපු හින්දා. මම අහන්නේ නංගි ගැන.. අංජලිකා "

" අර පලා බබෙක්ගෙ පුතෙක් බැන්දෙ..? ඌ ඩොකෙක්ද කොහෙද.. කොළඹනේ ඉන්නෙ"

" ඩොකෙක්? මොකක්ද උගේ නම?"

" මතක නෑ බං.. පෙරේරා කෙනෙක්. අර රෝහිත පෙරේරාගෙ එකම පුතානෙ බං. ඌ ප්‍රසිඩන්ට්ගෙ දකුණු අත. වෙඩින් එකට අත්සන් කලෙත් ප්‍රසිඩන්ට්. පට්ට වෙඩින් එකක් ඒක... "

කිත්ම නොසන්සුන් ලෙස නැවතත් දුම් උගුරක් ඇද්දේය. අනතුරුව මත්පැන් උගුරක් බී වීදුරුව මේසය මත තබා මේසයට තට්ටු දැමුවේ දබර ඇඟිල්ලෙනි.

" බාවා.. ඒකිව මම ළඟදි දැක්කා.. ගොඩක් වෙනස් වෙලා. ඒකිට මොකක් හරි අවුලක් තියෙනවා.. මට ඒක හොයාගන්න ඕන"

කිත්ම දොඩංගොඩගේ හැටි දන්නා භවන්ත ඊට එකවරම ප්‍රතිචාර දක්වා සිටීමෙන් වැලකුනේය. පාසල් මිතුරෙක් ලෙස සිට එයින් ඔබ්බට ගොස් විශ්වවිද්‍යාලයීය සගයෙකු ලෙසට සිටි භවන්තට සඟවන්නට රහසක් කිත්මට තිබී නැත. කොටින්ම පවුලේ කීපදෙනෙක් හැරුනුවිට කිත්ම දොඩංගොඩගේ රැකියාව ගැන හරියටම දන්නේ භවන්ත සෝමපාල නම් නීතීඥයා පමණි. 

".... ඒකි මගේ සස්පෙක්ට් එකෙක් එක්ක මේ දවස්වල... "

" වට්???? "

" නෑ හු&@! අහගනින් මුලින්ම... ඒකි ඒකිගෙ බබාව සස්පෙක්ට් එකාගෙ වාහනේ මාරුවෙලා ඌත් එක්ක ගෙනියනවා. මේ කෙල්ල ළමයා ගන්න ගියේ. ඌ එක්කෝ ළමයව හිරකරගෙන මේකිත් එක්කම"

භවන්ත බිරන්තව මෙන් මොහොතක් ඉඳ දුම් වැටියේ අළු ගසා දමා දෙබැම රැලිකොට කිත්ම දෙස රැව්වේය.

" හින්දි ෆිල්ම් එකක්ද?"

දෙදෙනාටම ඊට සිනා ගියේ නැත. 

"..  මොන හු$$ කටද එතකොට උඹ එහෙනං ඒකට පොලිස් ඇක්ශන් එකක් නොගන්නෙ? ළමයා ගන්න ගියේ කියන්නේ උඹ එතකොට එතකල් ආච්චිට හාල් ගැරුවද?"

කිත්ම තවත් නොසන්සුන් වූයේය.

" තෝ ඒපාර මගෙන් හරස් ප්‍රශ්න අහන්න තියාගත්තද? එතන පොඩි එකෙක් ඉන්නව. ඊටත් ඒ සස්පෙක්ට් කොල්ලව එහෙම ඇරෙස්ට් කරන්න බැරි අවදානමක් තියෙනවා.. ඌ ගාව මේ දෙන්නා තියාගෙන ඉන්නේ ඒ හින්දා වෙන්න ඇති... ජනේශ්ගෙ නංගිගේ හොඳම යාළුවා මේකි... වෙඩින් එකට අනිවාර්යයෙන් ඕකි එන්නම ඕන.. මට ඊට කලින් උඹ ලව්වා වැඩක් කරගන්න ඕන"

කිත්මගේ හඬේ ඇති වෙනස්ම ස්වරය විසින් භවන්ත තරමක් පුදුමකොට තිබින. කිත්මගේ රාජකාරියට එහා ගිය පුද්ගලික බැඳීම් ඇත්තේ ඉතා සීමිත ගණනකටය. කෙල්ලන් නම් මායිම් කරන්නේද නැත. වාසුකීගෙන් පසුව ඔහුගේ ජීවිතයේ මෙතරම් දුරට තරුණියක් ගැන කතාකරනවා ඇහුනාමය.

" පොඩ්ඩක් හිටපං.. බබෙක් ගැන කිව්වෙ?"

කිත්ම වමතින් සිය නලලේ පැත්තක් තෙරපුවේ බිම බලාගෙනය.

" හ්ම්ම්.. අවුරුදු දෙකක විතර... කොල්ලෙක්"

" හ්ම්ම්.. දැං කියපං උඹට හැදිල තියෙන කුලප්පුව මොකක්ද කියල?"

කිත්ම සිය මුහුණ සඟවන්නට උත්සහ නොකලේය. භවන්තට මෙය කිව යුතුය.

" අංජලිකා...  I have feelings for her ( මට ඈ ගැන හැඟීමක් තියෙනවා ) "

භවන්ත සිය මුවට ආ පළමු නොසරුප් වදන වැලැක්වීමත් නොකලේය. නමුත් ඉතිරිය ගිල්ලේය. කිත්ම කරන්නේ විහිලුවක් නොවන බව ඔහු දන්නා නිසාත් මේ කියන්නේ කවරෙක් ගැනදැයි තේරුම් කරවන වයසක ඔහු නොමැති නිසාත් වඩා සැලකිලිමත් විය.

" ඒකි බැඳලා ළමයෙකුත් ඉන්නව. උඹ ඕක මට කිව්ව එක හොඳයි , නැතිනම් උඹගෙ තරුත් ගලෝලා හිරේ දානව.. "

කිත්ම බර කල්පනාවට වැටුනේ ඊට පිලිතුරක් නොදීමය. භවන්ත සිය අවසන් දුම් උගුරද ඇඳ දුම්වැටියේ කොටය අළු බඳුනේ තදකලේ කිත්මගේ උරයට තට්ටුවක් දමමිනි.

"... මගෙන් මොකක්ද කෙරෙන්න ඕන?"

කිත්ම මේසය මත ඇති වීදුරුවේ ඇති අවසන් මත්පැන් වඩිය දෙස වරක් බැලුවේය. භවන්තට කීයන්නට නොහැකි දෙයක් නැතුවාම නොවේ. 

කිත්ම දොඩංගොඩට ඒ මොහොතේ සිදුවී ඇති දේ තේරුම් ගන්නට උවමනාවක් නොවූ අතර භවන්ත සෝමපාල තේරුම් ගත් එකම දෙයක් පමණක් තිබිණ.

' මූට ඇත්තටම පිස්සු හැදිල!'

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

හදවත තදින් ස්පන්ධනය වන වේලාවල් වලදී අපේ හැඟීම් කිසිම මොහොතක ඒකාත්මික නොවේ. අංජලිකා වෙල්ලාලගේ විඳිමින් සිටි හැඟීම කිසිදු හැඟීමකට වෙන්කොට ගන්නට නොහැකිය. 

එකවරම ආ හැඟීමකට අංජලිකා සමඟ යටිනුවර වීදියේ සාරි කින්ග්ඩම් වෙත ගිය දර්ශන් ඈට දමිළ ළමා සාරියක්ද , විදුල්ට කහපාට ඇඳුමක්ද මිලටගෙන දුන්නේ අංජලිකා එපා කියද්දීය. එහි වූ හැට්ටය කලින් මසා තිබුනු අතර අය අංජලිකාට මදක් ලොකු වූවත් , අලෙවි සහායකවරයා දර්ශන් හඳුනන බැවින් වහා මැහුම් දමා දෙන්නට එකඟ වූ නිසා සියල්ල සිදුවූයේ හදිසියේය.

රතු සහ කහ මිශ්‍ර ඒ ඇඳුම ෆිට්-ඔන් ගොස් පිටතට පැමිනෙන මොහොතේ දර්ශන්ගේ රවුම් විසල් නෙත්වල දැල්වුනු කාන්තිය මකා ඊට විරුද්ධව ප්‍රතික්ශේප කරන්නට අංජලිකාට නොහැකි විය.

'කවදා ඉඳලද මම ඔහොම සොෆ්ට් හාටඩ් උනේ?'

ඈ දැන සිටියේ නැත. 

" ඒක ඔඳයි.. "

මද වේලාවක් ගල්ගැසී මෙන් බලා සිටි දර්ශන් , දෑස් වහා ඉවත්කොටගෙන අලෙවි සහායකවරයාට පැවසුවේය. ඈ ඇඳුම් මාරු කරගෙන එන්නටත් පෙර දර්ශන් මුදල් ගෙවා අවසානය.

" දර්ශන්.. ඔයා ගාව සල්ලි ?"

" අංජු..! මගේ ගාව සල්ලි තියෙනෙව.. ඔය්යා ඉන්නකො පණ්ඩිතයා නොවී"

ඔරවාගෙන ඔහු මුදල් ගෙවද්දී මුදල් අයකැමිව උන් පුද්ගලයා දෙමළෙන් දර්ශන්ට මොනවාදෝ කියූ නිසා ඔහු සිනාසුනේය.

නිතරම ඔරවාගෙන ඉන්නා දර්ශන්ගේ මුහුණ මත ඇඳෙන ඒ සිනාව අංජලිකා දකින්නේ වශීකෘතව යන පරිද්දෙනි. ඔහුගේ පෙරදා තිබුනු ඝණකම් රැවුල අද උදෑසන සිට කොටවී තිබුනු බවත් ඒ ඔස්සේ ඔහුගේ රවුම් ඇස්වල සහ පිරුනු තොල්වල හදිසියේ තමාගේ නෙත් නතරවන බවත් අංජලිකා දැන් දනී.

ඉතින් මේ හදවත තුලින් වොට් බර ගණනාවක විදුලි දහරාවක් ගමන් ගන්නේ සර්වාංගයම අප්‍රාණික කරමිනි. කෙතරම් තරවටු කලද සිත ඒ සියළු රතු එළි නොතකා අධිවේගී ගමනකි.

' හෙට මම යනවනෙ.. හෙටින් හැමදේම ඉවරයි'

ඈ සිය සිතට තරවටු කරමින් සියවන වතාවටද පැවසුවාය.


-------------------------- මතු සම්බන්ධයි ----------------------------

සමාවෙන්න පරක්කු උනාට පොඩි කරදර වගේකට මූණදෙන්න උන නිසා. ඉක්මනි හමුවෙමු.

ප.ලි: මෙහි එන චරිත සහ සිදුවීම් සියල්ල මනඃකල්පිත බවත් , එය දැනට ජීවත්ව හෝ මියගිය කිසිවෙකුට සම්බන්ධයක් නොමැති බවත් කරුණාවෙන් සලකන්න.

ගොඩාරියක් ස්තූතියි කියවනවාට සහ කමෙන්ට් කරන, ලයික් කරන නොකරන හැමෝටම

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

© ලිඛිතා මංජරී
නිර්මාණයේ සියලු හිමිකම් කතුවරිය සතුවන අතර, ලිඛිත අවසරයකින් තොරව කුමන ආකාරයකින් හෝ උපුටා ගැනීම, Screen Shot ගැනීම හෝ වෙනත් කිසිම මාධ්‍ය‍යක පල කිරීම සපුරා තහනම් වේ.

6 comments:

  1. I lost Sinhala in my PC.. sorry for that. But still this same question is in..
    ' නෑ.. මම එයාව අහම්බෙන් ටවුන් එකේ දැක්කා.. ඒත් කතාකරන්න බැරි උනා.. ' weren't all they met on the way to Kandy? (first episode)

    ReplyDelete
    Replies
    1. හම්බුනා හම්බුනා.. ඒත් ඉතින් කිත්මයා යාළුවාට ඒක කිව්වේ නැහැ හැංගුවා හේතුවක් ඇතුව... ( කිත්මයා අංකුරා.. ඌ ඇත්ත කියන්නේ නැහැනේ තමන්ගේ කිල්ලොටේ හුණු තියාගෙන) :D

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...