Monday, November 7, 2022

මට ඇහෙන සරින් - හත්වන පරිච්ඡේදය



දර්ශන්ට පිටට පනින්නට එන සිනාව වලක්වාගන්නට ඔහු මදක් හිස හරවා ඉවතට හැරුණේ, එක අතක් ඉදිරියට යවා තමා වෙත කඩා පනින්නට දඟලන කුඩා බූවළු පැටියෙකු පරිදි වූ අංජලිකාගේ උරයෙන් අල්ලාගෙනය.

මේ මොන විහිලුවක්ද? තමා බලාපොරොත්තුව සිටියේ අඩුම තරමේ හරිහැටි තුවක්කුවක් හෝ අතැති පුහුණු නිලධාරිනියකි. මේ නම් මොන්ටිසෝරියක් අසළ අතරමංවී සිටිනා කැළෑ වෙලඹකි!

" යන්ඩ දෙන්ඩ නේද කිව්වෙ මට? මෝඩයා.. දෙනව මගේ දරුවව"

දැන් නම් හොඳටම ඇතිය. දර්ශන් කිසිදු ආයාසයක් නොමැතිව ඈ එක අතකින් ගෙන සිය උරයේ තබා ගත්තේ ඈ දඟලන්නට තැත් කරද්දීය. පුළුන් බෝලයක් සේ ඈ සැහැල්ලුය. අඩුම තරමේ හරිහැටි ගුටියක් ඇනගන්නට තරම්වත් හැකියාවක් නැති කාටූනයක් කොහොමද තාප්පෙන් පැන්නෙ?

ඈ රැගෙන ගොස් කාමරයේ බිමට අතහැරි දර්ශන් වහා ඔහුට පසුපසින් වූ දොර අගුළු ලෑවේය. අංජලිකාට තරු පෙනුනේ එවිටය. මුහුණ පුරා ගණ රැවුලක් ඇති මේ උස මහත ටෑන් පාට පිරිමියා තමාට වඩා බොහෝ ශක්තිමත් බව ඈට දැන් වැටහී හමාරය. කල මෝඩකමේ මහත දැනෙන්නේ දැන්‍ ය. 

කිත්ම කියූවක් කලා නම් මේ ලෙස සිදුවන්නේ නැත. ඔහුගේ තියුණු නෙත් තමාගේ සිරුර පුරා වේගයෙන් එහෙ මෙහෙ දුවන්නට වූ නිසා අංජලිකා වැටුනු ලෙසටම බිම ගුලිවී දෝතින්ම සිය ලය ආවරණය කරගත්තේ බියෙන් ගැහෙමිනි.

මේ වලස් තඩියා හදන්නේ තමාව කෙලෙසන්නද? ඒකට ඌ හැන්ඩ්සම් වැඩි නැද්ද?

".. සොරි බැන්නට.. අපිට.. අපිට යන්න දෙන්න"

ඇය හැකි උපරිම මෘදු ස්වරයෙන් පවසද්දී ඒ අඩ අඳුරු කාමරයේ කොහෙන්දෝ සොයාගත් කුඩා ප්ලාස්ටික් බංකුවක් ගෙන ඔහු ඇ ඉදිරියේ හිඳගත්තේ විනිවිද පෙනෙන ලෙස දැසින් ඈ අල්ලාගනිමිනි.

" ඔත්තු බලාන්න ආව නේ?"

අංජලිකා ඇස් ලොකු කරගෙන බලාසිටි අන්දමට දර්ශන්ගේ හදවත තුල කුමක් හෝ වයරයක් ගැලවී වොට් බර ගානක විදුලි ධාරාවක් ගියාක් මෙන් දැනුණි. 

අංජලිකාට නම් 'බලාන්න' කියපු තාලයට ඒ අස්සේ සිනා නැඟේ.

දර්ශන් සිය පුටුවෙන් නැඟිට අඩ අඳුරු කාමරයේ වේගයෙන් ඒ මේ අත ඇවිද්දේය. දේවා දැනගතහොත් විසුමක් වෙන්නේ නැත. ඔහු එතරම් තර්ජනය කලත් අත නොහැරි මේ පොඩි එකා නිසා තමා දැන් ඔහුවද අනතුරේ දමා ඇත. 

ඊටත් මේ කෙල්ල කවුද? ඔහු කිත්ම දොඩංගොඩගේ ඔත්තුකාරියක් නොවේද? ඈ මේ කරන්නේ රඟපෑමක්ද? ඔත්තුකාරියක් හෝ පොලිස් නිලධාරිනියක් සතු කිසිදු හැකියාවක් ඈට නැති බව ඔහුට පෙනි පෙනී වුවද පිලිගන්නට ඔහු අකමැති විය.

".... ඇත්ත කියනවා මගේ යකා අවුස්සන්නේ නැතුව. කවුද උඹව එව්වෙ?"

අංජලිකා පිලිතුරක් දීගත නොහැකිව දෑස දල්වාම බලා සිටියාය. මේ කියන්නේ මොන හරුපයක්ද? තමා කාගේ ඔත්තු බලන්නද? ඊටත් මේ හොරා නොවේද තමාගේ දරුවා රඳවාගෙන ඉන්නෙ? දෙමළ උරුවට කියන වචන ඇහුවම හිනත් යනව.

" පිස්සුද? මගේ ළමය උස්සගෙන ඇවිත් මේ මොනාද මේ කියන්නෙ? "

ඈ කතා කරන්නේ කාටූනයක් මෙනි. දර්ශන්ට කෝපය සහ සැකය කෙසේ වෙතත් දැන් නැඟෙන්නේ නම් සිනාවකි. ඔහු අඳුරට පින් දෙමින් ඈට පිටුපා එය සඟවා ගත්තේය.

" කාගෙ ළමයද? "

" ම.. මගේ ළමය"

දර්ශන් වඩාත්ම සැලකිල්ලෙන් අංජලිකාගේ මුහුණ දෙස බැලුවේ ඈගේ ආත්මයම උකහා ගන්නා තරමේ බැල්මක් සමඟින් නිසා ඈ වෙව්ලා ගියාය.

"..  ම.. මට.. තමයි එයා අම්ම කියන්නෙ"

අම්මකුගේ කිසිම ලක්ශණයක් නැති මේ ගැහැණිය මේ කියන්නේ බොරුවක් වන්නට ඇති ඉඩ අවමය. වහා සිය අත් ඔරලෝසුව දෙස බැලූ දර්ශන් මුව ඒ මේ අත කරකවා ඔරවාගෙන මෙන් අංජලිකා දෙස බැලුවේය.

" ඒක අපි බබා ඇහැරුනාම බලාගම්මු! එතකල් මෙන්න මේ ෆෝන් එක අරගෙන මම කියන දේ කරනවා"

' ඇත්තටම මෙය නම් විකාරයකි. එක මිනිහෙක් එක පැත්තකින් මට විධානය කරනවා. ඒපාර මේ වලහා! ඒ මොකටද මම එහෙම කරන්නේ'

ඈට සිතන්නට ලැබුනේ එපමණකි! සිය කලිසමේ පසුපස දාරයේ ගසාගෙන උන් පිස්තෝලය අතට ගත් දර්ශන් අනෙක් අතින් ඈගේ ජංගම දුරකතනය ගෙන ඈ වෙත විසිකලේ මහත් වෑයමෙන් ඈ එය අල්ලා ගනිද්දීය.

" ගන්නවා ඕකෙන් කෝල් එකක්! අර එක්කගෙන ආපු මහලොකු වීරයට"

අංජලිකාට එකවරම වැටහුනේ නැත. 

'හැම මගුලටම ඇස්දෙක ලොකු කරගෙන අයිස් ඒජ් එකේ සිඩ් වගේ බලාගෙන ඉන්නව..'

"... තේරුනේ නැද්ද? ගන්නව ෆෝන් එක හරියට අතට"

ගිණි අවිය සෙල්ලම් එකක්දැයි ඈට විහිලුවට මෙන් සිතුනි. ඒ සමඟින් දරුවා රැගෙන යාම සැලසුමක්දෝ යයි කියා සිතෙන පමාවෙන් ඈ විසින්ම එය නොවන බව ස්ථීර කර ගනිමින් අල්ලාගත් දුරකතනය ගෙන නැවතත් ඇගේ 'සිඩ්' බැල්මෙන් දර්ශන් දෙස බැලුවාය. 

".. දැන් ඕකෙන් ගන්නවා කෝල් එකක් තමුන් එක්ක ස්ටේශන් එකට ආපු තමුන්ගෙ හස්බන්ඩ්ට"

" ඈහ්! කාට?? "

" ඇයි අද ස්ටේශන් එකට ආවෙ? ඇවිත් වාහනෙන්ම බැස්සෙ. කිත්ම.. මිස්ටර් කිත්ම දොඩංගොඩට"

කිත්මගේ නම දර්ශන්ගේ මුවින් පිටවූයේ දෙමළ උරුවෙන් නිසා මේ අව් අස්සේ අංජලිකාට ඇසුනේ හුරතලයටය. ඈ නලළ රැළි කරගන්නේ ඒ සිනාවට අනතුරුවය.

" පි.. පිස්සුද? කිත්ම මගේ හස්බන්ඩ් නෙවෙයි.. "

දර්ශන් මදක් ඔරවා මෙන් සැකයෙන් බැලුවේ අංජලිකා දෙසය. ගිනි අවියක් තිබෙනා බවට වගක්වත් ඈට නැත. මේකිට ඇත්තටම පිස්සුද?

"හරි කවුරු උනත් කමක් නෑ ගන්නවා දැන් කෝල් එකක්! ගන්නවා ඉක්මනින් "

දර්ශන් ගිනි අවියේ පතුරොම් සුසර කරනා ශබ්දය නිසා එය සෙල්ලම් අවියක් නොවන බව වැටහී අංජලිකා බිය වී වහා කිත්මගේ නමින් ගබඩාකල අංකය වහා තිරයට ගත්තාය.

".. කෝල් එකක් අරගෙන කියනවා දරුවත් එක්ක ගෙදර යනවා කියලා.. දැන් කිසි ප්‍රශ්නයක් නෑ කියලත්"

ඈ අක්‍රියව බලා සිටිනා විදියට සිනා යන මුත් මවාගත් කෝපයෙන් දර්ශන් තුවක්කුව ඈ වෙත එල්ල කළේය. 

" ඈහ්.. වෙඩි තියන්න එපාහ්.. අනේහ්"

" නේ නේ.. ශූට් කරන්නෙ නෑ.. කියන දේ කරනවා.. කෝ ඉක්මනින් "

අංජලිකා කිත්මට ගත් ඇමතුමෙන් ඈ කියූ ලෙසටම තමන් කරදරයක් නොමැතිව සිටිනා බවත්, දරුවා හමුවූ නිසා ආපසු නිවසට යන බවත් පැවසූයේ දර්ශන් සිය තුවක්කුව ඈ වෙත හරවාගෙන සිටියදීමය. ඇමතුම අවසානයේදී ඔහු දුරකතනය නැවත උදුරා ගත්තේය.

එසැනින් දොර අසළ ශබ්දයක් ඇසුනි.

" දශන්.. න්... බබා..."

දර්ශන් වහා සිය ගිණි අවිය නැවතත් කලිසමේ පසුපස රඳවා ගත්තේ මදක් කලබල වෙමිනි.

යාබද කාමරයේ නින්දේ සිටි විදුල් ඇහැරෙන්නට ඇත්තේ දැන්‍ වන්නට හැකිය. දර්ශන් දොර විවර කලේ අංජලිකා දෙස තරවටු බැල්මක් හෙලමිනි.

" දශ.."

දරුවා නිදිමත සමඟ විත් දර්ශන්ට වඩාගන්නට දෑත පානවා අංජලිකා විමතියෙන් බලා සිටියාය. ඈ එලෙසම පියවරක් ඉදිරියට තබත්ම විදුල් අහම්බෙන් මෙන් ඈ දැක තත්පර කිහිපයක් එක එල්ලේ ඈ දෙස බලා සිටියේ අංජලිකාගේ හදවත පිටතට ඇසෙනා තරම් වේගයෙන් ගැහෙද්දීය.

"බේබි ඔයාට ඈරුනාද? "

විදුල් සිටියේ විදාගත් දෑසිනි. දර්ශන්ට දරුවා අංජලිකා දුටු බව දැනුනද ඔහුගේ ප්‍රතිචාරය කුමක්දැයි දැනගැනීම තදින් අවශ්‍යව තිබුනේ මේ ගැහැණිය දරුවාගේ මව ලෙස ඔහුට එකවරම පිලිගන්නට නොහැකි නිසාමය.

ඒ තත්පර කිහිපය අංජලිකා සිටියේ ඉහලට ඇදගත් හුස්ම හිරකරගෙනය. දරුවා තමා හඳුනා නොගතහොත් මේ මිනිසා තමාට කුමක් කරනු ඇතිද?

" න්ජුහ්?"

විදුල්ගේ මුවින් පිටවූයේ සුන්දර සිනාවක්ද සමඟිනි. අංජලිකා වහා පියවර කීපයක් ඉදිරියට ආවේ දරුවා ගන්නට මුත් දර්ශන් ඔරවා මදක් පසෙකට හැරී කුඩා විදුල්ගේ මුහුණ පසෙකින් සිපගෙන ආදරයෙන් ඔහු දෙස බැලුවේය.

" කවුද බබා මේ?"

" න්ජුහ්.."

දර්ශන් සරදම් සිනාවකින් අංජලිකා දෙස බැලුවේය. අනතුරුව දරුවා සමඟ පියවරක් ඈට ඈතින් තැබුවේය.

" අම්ම නෙවෙයිද?"

" නෑ.  න්ජුහ්.."

' ඉවරයි!!! '

අංජලිකාට දෙවියන් සිහි වූයේ විදුල්ගේ ඒ වචනත් සමඟ වූ අතර දර්ශන් වහා සිය දකුණු අතේ දබර ඇඟිල්ල උලුක් කරවා අංජලිකා වෙතට එල්ල කලේ රුදුරු බැල්මක් සමඟිනි.

" දැක්කනෙ! තමුන් මේ දරුවගෙ අම්ම නෙවෙයි !! "

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

" දිසා හොටෙල් එකට යන්න. මට අද මෙතන ඉන්න පුළුවන්. මගේ කා එක ගෙනියන්න"

කිත්ම අත ඇති උණුසුම් කෝපි කෝප්පය අවසන් කොට එය අසළ තබා තිබෙන බෑගයට දමා එහි කට ගැටගැසුවේ දිසා දෙසවත් නොබලාය. 

" සර් එක්කම මාත් ඉන්නම්.. මට දැන් යන්න බෑ සර්ව මෙතන දාලා. ඩගීට ඇයි එන්න එපා කිව්වෙ..? කියන දෙයක් අහන්නෙ නැතුව දැන් එකක් ඇනගත්තා මදිවෙලාද?"

දිසාගේ අමනාප වචන වලට කිත්ම කට කොනින් සිනාසුනේ පැයක් තිස්සේ ලැබුනු දේශනාව නැවත අසන්නට අවැසි නොවූ නිසාය.

".. ඒකිගෙත් මොනවාහරි තියෙනවා කනෙක්ෂන් එකක්. නැතිනම් මුගේ ගෙදර ඉන්නෙ නෑනෙ. ඒකිගෙ හොර සීන් එකක්ද දන්නෙ නෑ"

කිත්මගේ මුහුණ වෙනස්වනු බල බලා , දිසා නොදන්නා සේ කියා දැමුවේය. දර්ශන් ඉලෙයිරාජා අත්අඩංගුවට ගන්නට මෙතරම් ආසන්නයට පැමිණි පසු ඒ සියල්ල අවුල් කලේ මේ වැදගැම්මකට නැති ගෑනියෙක් විසිනි. 

" අද රෑට මේකෙ දෙන්නෙක්ට නිදාගන්න බෑ බං."

" එහෙනං සර් යන්න හොටෙල් එකට. මෙතන ඉඳල පිනිබාලා ලෙඩ උනොත් ඒකටත් මම එපැයි කරගහන්න"

කිත්මට ඊට සිනාය. දැන් දිසා නම් මෙතනින් සොලවන්නට බැරි බව ඔහු දනී. දැනට වෙන කරන්නට දෙයක් නැත. 

 " හ්ම්ම් මම එහෙනං කා එක අරගෙන ඩගී එක්ක හොටෙල් එකට යන්නං. එහෙන් මේකිගේ හොටෙල් එකේ ඔක්කොම ෆුටේජස් ගත්තම හරි. සැකයක් තියෙනවා නම් කෝල් එකක් දීපන් මම ආන්සර් කරන්නම්"

දිසා බැන බැන හා කියූවේ එතැනින් පිටත් වූ කිත්ම බර කල්පනාවට වැටී සිටියදීය. අංජලිකා කුමක් හෝ රහසක් සඟවාගෙන සිටිනා බව ඔහුට දැනේ. ඈ මේ පුද්ගලයා සමඟ සබඳකමක් ඇති බවට විස්වාස නොකලද කුමක් හෝ හේතුවකට ඊට ඇගේ සම්බන්දයක් පෙනේ.

.

.

එකේ කනිසම වදිද්දී අංජලිකා උඩගොස් බිම වැටෙන්නේ කාමරයේ වැසූ දොර මත පතිතවන නෑසෙන තරමේ තට්ටුවක් නිසාය.

" ඇහැරෙන්න.. අපි යන්ඩෝන"

දර්ශන්ගේ හඬ දොර අසළින්ම ඇසෙද්දී මහන්සිය නිසාම, දරුවාද තුරුල් කරගෙන තද නින්දේ පසුවූ අංජලිකා සිහි එලවාගන්නට උත්සහ කරමින් අඩක් බොඳවූ වීදුරු වලින් නිමවූ කාමරයේ දොර අසළ සිටිනා රුව කලබලයෙන් ඒ මේ අත යනු දකින්නීය.

නැවතත් දොරට තට්ටුවකි.

" .. අරින්ඩ නේද කිව්වෙ දොර"

එපමණකි! කෙලෙසද මන්දා ඔහු දොරේ අගුල 'ක්ලික්' හඬින් විවර කොට බර අඩි තබමින් කාමරයට ආවේ හැකි උපරිම ලෙස අංජලිකාට රවමිනි.

".. මොකක් කරනවද එකපාරක් කිව්වහම කන්දෙක බීරි වෙලාද? නැඟිටලා එනවා... යන්න ඕන දැන් මෙතනින්"

මේක හරි වැඩක්නේ! බනින්නේ හරියට මගේ මිනිහා වගේ. මේ රෑ මැද්දේ කොහේ යන්නද මේ කුලප්පු වෙලා?

තමා දෙස හෝන්දු මාන්දු වී බලා සිටිනා අංජලිකා දෙස තැකීමක් නොකල දර්ශන් නින්දේ සිටි දරුවා වඩා ගනිද්දී අංජලිකා ඉබේටම ඇඳෙන් පැන්නුනි.

" අනේයි..  කොහෙද දරුවව ගෙනියන්නෙ!?"

දර්ශන් තුවක්කුව ඇය වෙත යොමුකලේ ඔරවාගෙනමය.

" කට වාගෙන ගිහිං පිටිපස්සෙ තියෙන කා එකට නඟිනවා මැරුම් කන්නෙ නැතුව. තමුසෙ ගිහින් පොලිසියට ඔත්තු දෙනකල් මෝඩයෙක් වගේ දාලා යන්නද කියන්නෙ? එනව යන්න.. "

කිත්ම දොඩංගොඩ යනු පොලිස් නිලධාරියෙකු බවත්, නම නොදන්නා මේ මිනිසා ඔහු විසින් කිසියම් හේතුවකට ලුහුබඳිනා බවත් පමණක් ඈට දැන් වැටහේ. තමා ඔහුගේ විස්තර දන්නා නිසාත් , කිත්ම තමාව සොයනා නිසාත් මේ මිනිසා තමන් සහ දරුවා ප්‍රාණ ඇපයට මෙන් තබාගෙන සිටී. එබැවින් ඔහුට පලායන්නට උපකාර කිරීම හැර වෙන මඟක් ඈට නැත. 

අවාසනාවට ඒ අතරතුර නාදවූ දුරකතන තිරයේ වූ විසල් පෙරේරාගේ නම නිසා ඈට ගල් පැලෙනා බේගල් අතහරින්නට සිදුවූයේ අන් විකල්පයක් නොතිබූ නිසාය. තමා මෙහෙහාරියක ලෙස සේවය කරන්නේ ප්‍රසිද්ධ දේශපාලන චරිතයක් වූ අයෙකුගේ පුත්‍රයාගේ නිවසේ බවත් දරුවා තමන්ගේ සහෝදරයාගේ බවත් ඈ ඇඟට පතට නොදැනී කිවාය.

බුලින් සහ ප්‍රෑන්කිං වලට කප් ගසා සිටි පාසල් යුවතිය ඒ වනවිට ඇගේ රංගන හැකියාවද හොඳින් උරගා බලමින් උන්නාය.

දෙතුන් වරක් ඒ මේ අත යමින් සිය බෑගය සූදානම් කරගත් දර්ශන් දරුවාද කරපින්නාගෙන නිවසේ පැත්තක වූ දොරකින් අඳුරේම එළියට බසිද්දී පොද වැස්සක් ඇදවැටෙමින් තිබිණ.

" යං යං.. ගිහින් අර කා එකට නගිනවා ඉක්මනින්"

දර්ශන් කුඩා විදුල්ගේ හිස ආවරණය කරගනිමින් අංජලිකා ඉදිරියට දැක්කුවේ අසළම නවතා තිබුනු කුමක් හෝ කළුපාට වාහනයකටයි. 

' පුදුමෙ කියන්නේ මූ දරුව තුරුල් කරගෙන ඔක්කොටම වඩා. කොල්ලත් ලස්සනට ඌට තුරුල්වෙලා ඉන්නව. යකෝ දරුව මගේද උගේද?'

අංජලිකා මෝටර් රථයේ පසුපස හිඳගත් වහාම රියදුරු අසුනේ උන් අයෙක් දෙමළ බසින් දර්ශන්ට සැරෙන් මෙන් මොනවාදෝ කියනවා අංජලිකාට ඇසුනද ඈට එය වැටහුනේ නැත. 

අඩ අඳුරේ ඈ දකින්නේ ඔහු දරුවාගේ හිස ආදරයෙන් සිප ඉදිරි අසුනේ හිඳගන්නවාත්, අනතුරුව රියදුරා වාහනය ඉතා සෙමෙන් ඉදිරියට ගෙන අඳුර අතරින් ප්‍රධාන මාර්ගයට පිවිසෙනවාත් පමණි.

" ඒපාර ගෑනියෙකුත් අල්ලගත්තද? ඇත්තටම දර්ශන් උඹට පිස්සුද? මේකි ඔත්තුකාරියක් වෙන්න ඇති. දැන් ඉතින් උඹ ඉල්ලගෙන කාපන්! "

දර්ශන් කිසිවක් නොකියා යන්තම් හිස හරවා පසුපස ආසනයේ උන් අංජලිකා දෙස බලා දේවාට ඔරවා සිටියේය.

' දර්ශන්? මෙයාගෙ නම දර්ශන්ද?'

".. ඒ මදිවට සිංහල නේද? අමු කැවිලද ඇත්තටම ?? බැඳපං ඔය ගෑනිගෙ ඇස්දෙක"

දර්ශන් වරක් ඈ දෙස හැරී බලා 'චඃ' ගා අවශ්‍ය නැතැයි පැවසූයේ දේවා එකසිය ගානට ඔරවද්දීය.

අංජලිකා බිම බලාගෙන හොර මුහුණ සඟවා ගත්තාය. මේ මිනිසා ; දර්ශන් නේද නම කිව්ව?;  කෙතරම් එරවූවද එහි කෝපයක් නැති බවත් තමාට බියක් දැනෙන්නේ නැති බවත් පමණකි ඈට දැනෙන්නේ. පැහැරගත් මොහොතක වින්දිතයෙකුට දැනෙන අන්දමේ ආතතියක් තමාට නැත්තේ දරුවා ඔහු සමඟ සිටිනා නිසාද? නැතිනම් තමාගේ ඔලුව විකාර වීද? 

" නෑ අන්නා.. මේ කෙල්ල එහෙම එකියක් නෙවෙයි. මේ බබාගෙ බාරකාරයා. පොලිසියෙන් මේ කෙල්ලට කරදරයක් කරයි මගේ විස්තර අහල. ඒකයි එක්කගෙන යමු කිව්වෙ.. ඊටත්.. ඊටත් මේ කෙල්ල කොළඹ ගෙදරක නැනී කෙනෙක් ! "

දේවා පුදුමයෙන් මෙන් දර්ශන් දෙස බලා රථයේ වේගය වැඩිකලේ පසුපස ආසනයේ සිටිනා අංජලිකා දෙස වරක් බලමිනි.

" මොකක්? කාගෙ කවුද බං මේ? අම්මෝ.. අන්තිමට අහක ඉඳලා කිඩ්නැප් කේස් එකකට අහුවෙයිද දන්නෙ නෑ.. "

"මේ ඉන්නේ රෝහිත පෙරේරාගේ ගෙදර සර්වන්ට් කෙනෙක්.. බබා එයාගෙ අය්යගෙ. ඌ කෝල් කලා "

දේවේන්ද්‍රට සුක්කානම අතහැරෙන්නට ගිය නමුත් වහා සිහි එලවාගත් ඔහු රථය පාරමැදට ගත්තේ දර්ශන් දෙස විමතියෙන් බලමිනි. රෝහිත පෙරේරා සමඟ ඔවුන්ගේ ඇති ගණුදෙනු ගැන දන්නා නිසා එතෙක් සිතේ තිබුනු ටොන් ගණනාවක බර බිමින් තැබුවාක් මෙන් දැනුනද හිත සම්පූර්ණයෙන් නිදහස් නොවුනේ දරුවෙකුට අමතරව ගැහැණියකගේත් වගකීම දරන්නට සිදුවූ නිසාය.

" මොකක් උනත් හෙට උඹ මේකිගේ කට වහලා ගෙදරින් දාන්න ඕන. වැල්ලවත්තෙ ෆ්ලැට් එකේ මම අනික් බඩු සේරම ගෙනත් දාන්න කිව්ව. උඹට ශුවර්ද මේකි අර මිනිහට ඔත්තුව දුන්නෙ නෑ කියලා ?"

" නෑ නෑ අන්නා.. මේකි කිසි දෙයක් දන්නෙ නෑ. කොටින්ම මගේ නමවත් දන්නෙ නෑ. මම කලිනුත් කිව්වෙ.. තාප්පෙන් පැන්නෙ දරුවා ගෙනියන්න වෙන්න ඇති. පොඩි එකා එයාගෙ නෙෆියු."

අංජලිකාගේ හිස මතින් මකර දත් ටිකක් පැන නැඟී සිත තුල පිනුම් ගැසුවේ අතරින් පතර වැටහුනු වචන නිසාය.

 'හොඳ වැඩේ මේ මෝඩ වලහා මගේ ලණුව ගිල්ලා.. හෙහ් ආවා මෙතන අංජුව බයකරන්ඩ! '

ඈ මනසින් දර්ශන්ට බනිමින් සිටියදීම නිදා වැටෙන්නේ නිදිමත පැමිණි විට ඈට දියමත පවා නිදාගැනීමට ඇති හැකියාව පෙන්වමිනි.

"... නැතිනම් පොල්ලක්වත් නැතුව එනවද ඔහොම මෝඩියෙක් වගේ"

රථය වේගයෙන් අඳුර කපාගෙන නොයෙකුත් කඳු පල්ලම් සහ අතුරු පාරවල් ඔස්සේ ඇදී ගියේ තවදුරටත් තවෙකෙකුට ලුහුබැඳ එන්නට ඉඩක් නොදෙන්නට මෙනි.

දර්ශන්ට ඈ සමඟ කල විකාර පොරය සිහිවිය. ඈ මවක් කියා හිතන්නටවත් බැරි තරම් විකාරයකි. තමා සමඟ පොරකෑවේ කුඩා දරුවෙකු පරිද්දෙනි. වඩාත්ම විහිලුවක් වූයේ දරුවා ඈට අම්මා කියා ඇමතුවේ නැති මොහොතේය. ඒ මොහොතේ ඒ රවුම් ඇස්වල ඇඳුනේ අමුතුම පෙනුමකි. භරත නැට්ටුක්කාරියක් වගේ ඇස් කරකන්නෙ!

' ඔහ්! දර්ශු උඹේ පපුව ඔතරම් ගැහෙන්න මොකද?'

ඈ පොරබදද්දී තදකොට අල්ලාගෙන සිය සිරුරට තෙරපාගත් මොහොත දර්ශන්ට ඉබේම සිහිපත් වී ඇගේ පිරුනු ලැම සහ තට්ටම් වල පහස මනසේ ඇඳී මැකී ගියේ දර්ශන්ගේ සිත විසිරුවමිනි.

' සොෆ්ට් ඇන්ඩ් හොට් (උණුසුම් සහ සරාගී)'

' අඩෝ දර්ශු උඹ මේ නොදන්න ගෑනියෙක් ගැන මොනවද මේ හිතන්නෙ ආ? ගෑනු දැකල නෑ වගේ'

කවුදෝ හිත තුල මොර දෙද්දී දර්ශන් තිගැස්සී මෙන් බලද්දී දේවා ඔහු දෙස එක එල්ලේ බලාගෙනය.

" උඹ මොන ලෝකෙද ඉන්නෙ ? දැන් මම කී පාරක් කතා කලාද?"

" ආ.. මේ.. මට නින්ද ගියා"

" නින්ද ගියා? ඇස් ඇරගෙන?? හෙහ්.. බැහැපං අපි ආවා"

ඒ සෝපහාස සිනාවට දර්ශන් අහේතුකව රතුවී ඔහුගේ මුහුණේ පැහැය අමුතුම දුඹුරු බවකට පත්ව යාම දේවාට නම් පෙනුනේ නැත. ඒ අවසරයෙන් තම උකුලේ නිදා සිටිනා දරුවාද කරපින්නාගෙන ඔහු වාහනයෙන් බිමට බැස්සේ ඔවුන්ගේ ඊළඟ නවාතැන වෙතයි.

" අන්නා යන්න මම හවසට කෝල් එකක් දෙන්නම්.. "

නව නවාතැනේ දොර විවරකොට ඇතුලට එන්නට ඉඩදෙන දේවා දෙස නොබලාම ඔහු පැවසුවේ දෝතේ නිදා සිටිනා දරුවා දෙස අවධානය යොමු කරමිනි. දේවා දෑතම ඉනේ රඳවාගෙන දොර හරහා සිටගත්තේය.

" ඈ! ඒ මොකක්ද ඒ හරුපෙ? උඹට මම මේ දෙන්නව යවන්න වාහනයක් දෙන්නම්. හෙට උදෙන්ම මුන් දෙන්නා ගිහින් වැල්ලවත්තේ නාලිනීට බාරදීපං. "

දරුවා රැගෙන ගෙතුලට ගොස් ඔහු සයනයේ තබා නැවත සාලයට ආ දර්ශන්ට දේවාගේ මුහුණේ ඇති අමනාපය නොවැටහුනා නොවේ.

".. ඊයෙ ජැෆ්න වැඩෙත් මගෑරුනා.. අද මෙහෙ උන්ගෙ වැඩේටවත් ඉඳලා ඕනෙ යන්න. උඹව දැන් අර $&&@ හොයනවා ඇති මේ නුවර පීරලා.. ඒ අස්සේ මේ ගෑනියි ළමයයි ගේ අස්සෙ ගහගෙන ඉන්නෙ පිස්සුද? දැන් අනිත් උන් ආවහම උන්ට මොකක්ද දෙන උත්තරේ?"

" ඉතින් උන්ට අනික් ගෙදරට එන්න කියපං. මුරලි දන්නවනෙ"

දර්ශන් ගණනක් නැතිව පවසද්දී දේවාගේ බැල්ම එක එල්ලේ දර්ශන් විනිවිද යන හීයක් මෙනි.

" දර්ශන්!"

දර්ශන් තත්පරයකට පසුව බරැති හුස්මක් සැලුවේ ඒ ඇස් මගහරිමිනි.

" අන්නා.. මම අන්නාට කිව්වනෙ මේක මට ඉක්මනින් අතාරින්න ඕන කියලා..  අන්නා ඒ වෙලේ හා කිව්ව නිසයි මම මේ තරම් දේවල් කලේ..  මේකෙන් පස්සේ මම ආයේ ගමේ යනව.."

දර්ශන් එසේ කියමින් දේවා පසුකර ගොස් වාහනයේ පසුපස දොර විවර කලේ අංජලිකාට බහින්නටය. ඈට හොඳටම නින්ද ගොස් නිසා දර්ශන් ‍යන්තමට ඇගේ උරයෙන් අල්ලා සෙලවූයේය.

' ඇස් බඳින්න ඕන නෑ. කටත් ඇරගෙන බුදි! මහ ලොකුවට තාප්පෙන් පැන්න'

" අංජලී... නැඟිටින්න.. ගිහින් ගේ ඇතුලෙන් නිදාගන්න "

අංජලිකාට සිහිනයෙන් මෙන් ඇසුනු ඒ ඇමතීම ඇගේ මුවේ මදහසක් ඇතිකලේ නිරායාසයෙනි. දර්ශන් ඒ දෙස බලා සිට ඉබේම විතැන් වන ඔහුගේ දෙනෙත් අපහසුවෙන් එක්තැන් කරන්නට උත්සහ කළද එය පහසු නොවේ. කුර්තා ඇඳුමට ඇගේ ඒ ඒ තැන් පෙනෙන්නේ ඕනෑවටත් වඩා රවුමටය.

".. මේ.. මේ.. නැඟිටිනවා දැන්.."

එවර අංජලිකා උඩගොස් බිම වැටෙන්නේ නුපුරුදු බව නිසාමය. තමා දෙස ඔරවාගෙන සිටිනවා වෙනුවට දෑසින් සිනාසෙන රුව දැක ඈ මදක් තිගැස්සී කෙලින් වද්දී හිස වැදුනේ වාහනයේ වහලයේය.

".. යනව ගිහිං නිදාගන්නවා.."

ඈ දනි පනි ගා බිමට බසින්නේ සිටිනා තැනක් නිශ්චය කරගන්නට නොහැකිවය. දර්ශන් ඇගේ අතකින් අල්ලාගෙන ඇදගෙන මෙන් නිවස තුලට ගොස්, දරුවා නිදාසිටි කාමරයේ දොර තුලින් ඇතුලට අතහැර දොර වසා අගුල පිටතින් දැම්මේ ඒ සියල්ල දේවා විසින් ප්‍රවේශමෙන් බලා සිටිනා බව දැනෙද්දීය.

" අන්නා දැන් යන්න.. වෙහිකල් එක ට්‍රේස් වෙයි නැතිනම්. බයවෙන්න එපා මේකි හින්දා මට ආරක්ෂාවක් ලැබෙනවා."

දේවා කියන්නට ගිය වැකිය ගිලගෙන ආපසු හැරුනේ එතරම් හොඳ හිතින් නොවන බව දනිතත් දර්ශන් ඒ බව නොදන්නා සේ ගොස් , වාහනය පිටත්වූ පසුව ගේට්ටුවත්, අනතුරුව දොරත් වශයෙන් අගුළු ලෑවේය.

හිත ගැහෙන්නේ එකසිය ගානටය. හදවත මතින් ගල් රෝලක් යන්නාක් මෙන් හුස්ම හිරවෙයි. අන්නා එලවාගත්තේ හිතේ හොරය වලකාගන්නටය. නැතිනම් ඔහු තමාට පළු යන්නට දොස් කියනා බව ඔහු දනී.

නම අංජලිකාය. මන්ත්‍රී තුමාගේ නිවසේ මෙහෙකාරියක් වූ ඈ සිය සොහොයුරාගේ දරුවා සමඟ මිතුරියකගේ නිවසට එන ගමනේදී වැරදීමකින් දරුවා වෙනත් වාහනයකට මාරු වී ගොස් ය. ඔවුන්ගේ පැහැතිම වාහනය නිසා වරදින්නට හැකිය. 

කියන්නට නොහැකි හුරුපුරුදු බවක් ඒ පෙනුමෙහි ; බැල්මෙහි වෙයි. කුමක් හෝ හේතුවක් නිසා ඈට යන්නට දෙන්නට සිතෙන්නෙද නැත.

 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

කුමක් හෝ බරැති යමක් වැටී බිඳෙන ශබ්දයක් නිසා උඩගොස් බිම වැටුනු අංජලිකා වහා කෙලින් වී සයනයේ ඉඳගන්නේ තමා මේ සිටින්නේ කොහිදැයි නිශ්චය කරගන්නට උත්සහ කරමිනි. යාන්තමට සිහියට ආවේ තමා දරුවා සමඟ වෙනත් නවාතැනකට ආ බවකි. 

ඈ වහා හිස හරවා දරුවා නිදා සිටි ඇඳ දෙස බලද්දී දකින්නේ සයනයේ ඒ අන්තය හිස්ව තිබෙනා ආකාරයත් කාමරයේ තමා පමණක් සිටිනා බවත්‍ ය. සයනයට ඉඳුරා පිටුපසින් වූ තිරරෙදි රහිත ජනේලයේ විනිවිද නොපෙනෙන වීදුරුවෙන් පෙරී එන ආලෝකය අනුව දැන් වේලාව උදෑසන හතට ආසන්න යැයි ඈ අනුමාන කළාය.

' අනේ කෝ දරුවා!?'

ඈ ඇඳෙන් බිමට පැන්නේ ඒ ආවේගයෙන්ම මුත් ඒත් සමඟම වම් අත කුමකදෝ පැටලී ගොස් ඇඳෙන් බිමට වැටුනේ ගෙම්බෙක් පොලවේ ගැසුවාක් මෙනි.

වම් අතට දැනෙන වේදනාව සහ ග්‍රහණය ඔස්සේ බැලූ ඈ දකින්නේ ඇගේ අත මාංචු යොදා කාමරයේ සවිමත් ජනෙල් කූරකට ඈඳා යතුරුදමා ඇති අන්දමය.

ඒ සැනින් ඈට ඇසෙන්නේ ටිකිරි සිනාවක් සමඟ කාමරයට කඩා පනිනා විදුල් හා ඔහුට පිටුපසින් පැමිණෙන අර ඔරං ඔටාය!

" යේ... න්ජුහ් ගොට් අප්"

අංජලිකාගේ නෙත් පළමුව ප්‍රීතියෙන් දිව එන විදුල්ගේ මුහුණ මතත්, ඉන් අනතුරුව අනුභව කරන්නට මෙන් දර්ශන්ගේ මුහුණ මතත් නතර වන්නේ, එතෙක් ඔහුගේ මුහුණේ තිබුනු ලස්සන සිනාව හකුලා දමමිනි.

------------------------------ මතු සම්බන්ධයි ---------------------------- 

 පොඩි දරුවෙක් අදාල කොටසක් නිසා ටිකක් ආතතියක් දෙන බවක් පෙනුනා. සමාවෙන්න. එකම දේ මට හැකි ඉක්මනින් දෙන එක. ඒ නිසා හැකි ඉක්මනින් මේ ටික පාස් කරගම්මු.

සිහිකැඳවන්න කැමතියි, ටිකක් වෙනස් emotional rollacouster එකක් වෙන කතාවක් වෙයි.

ප.ලි: මෙහි එන චරිත සහ සිදුවීම් සියල්ල මනඃකල්පිත බවත් , එය දැනට ජීවත්ව හෝ මියගිය කිසිවෙකුට සම්බන්ධයක් නොමැති බවත් කරුණාවෙන් සලකන්න.

ගොඩාරියක් ස්තූතියි කියවනවාට සහ කමෙන්ට් කරන, ලයික් කරන නොකරන හැමෝටම

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

© ලිඛිතා මංජරී
නිර්මාණයේ සියලු හිමිකම් කතුවරිය සතුවන අතර, ලිඛිත අවසරයකින් තොරව කුමන ආකාරයකින් හෝ උපුටා ගැනීම, Screen Shot ගැනීම හෝ වෙනත් කිසිම මාධ්‍ය‍යක පල කිරීම සපුරා තහනම් වේ.

4 comments:

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...