Thursday, November 3, 2022

මට ඇහෙන සරින් - සයවන පරිච්ජේදය


 

කිත්ම නළල රැළි කරමින් සෙමෙන් සිය නිකට අතගෑවේ යටැ'සින් අංජලිකා දෙස බලමිනි. ඈ කියන්නේ යම් යම් දේ සඟවා බව වැටහුනත් සමහර දේ ගැන ඇතිවූ කුහුලින් ඔහුට මිදෙන්නට හැකි වූයේ නැත. 

" හ්ම්ම්.. හෙට අපි එහෙනම් ඒ කියපු තැනට යමු"

අංජලිකා කලබලයෙන් මෙන් හිස එසවූයේ කිත්මගේ නෙත්වල බරට නැවතත් හැකිලී යද්දීය. 

' මේකි මට මෙච්චර බය මොකද?'

" ම... මට යන්න පුලුවන්.. ම.. තනියෙන් "

" තනියෙන්? ( එක එල්ලේ ඇගේ නෙතු හා ගැටෙමින්) නොදන්න මිනිහෙක් හම්බෙන්න යන්න? තනියෙන්?? හරි ශෝක්!"

අංජලිකා කිසිවක් නොකියා ඇස් පමණක් ඉවත් කරගෙන දෙතොල් මුව තුලට රුවා ගත්තාය. ඈ රූමත් නොවූවත් සරාගී වන්නේ ඒ නිසාද? ඇගේ දෙතොල්වල ඇති ඒ අරුමය ගැන සිතද්දී කිත්ම ඇතුලත සිටිනා කොළුකමක් හිස ඔසවනු පෙනේ.

' හැපීලි නැතත්, she is a married women ( එයා විවාහක ගැහැණියක් )!'

ඔහු තම සිතට තරවටු කරගත්තේය.

අංජලිකාට ඒ වදන් දැනුනේ නැතත් ඈ සිටියේ අධි රංගනයකය. ඔහු නොදන්නවාට තමා මීට වඩා දේවල් තනිවම කරගෙන තිබේ. කොටින්ම මේ ජීවිතයම තනිවම ආ ගමනක් බව කිත්ම දොඩංගොඩ නොදන්නවා ඇත.

නමුත් මේ තර්ජනය ඈ ඉවසා සිටින්නේ හේතු ඇතිවය. 

මීට මොහොතකට පෙර ඔහු තමා පලා යා නොහැකි ලෙස එල්ලකල ප්‍රශ්න වලින් යම් යම් දේ උකහා ගන්නට ඇත. තමා දරුවා අතරමංව සොයනා බවත්, ඔහු සොයන්නට විත් රෑ බෝවූ නිසා හෝටලයේ නතර වූ බවත්, දරුවා හෙට අදාල පුද්ගලයා රැගෙන එන බවත් පැවසූ අතර ඒ අවසානයේ සිය පවුලේ කිසිවෙකුටත් මේ ගැන නොකියන්නට කියා කල ඉල්ලීමට ඔහු එකඟ කරවාගන්නට ඈට අවශ්‍ය විය.

"... පිස්සු කරන්නෙ නැතුව තුනයි හතලිස් පහට ලෑස්ති වෙලා ඉන්න මම ජීප් එක එවනව. දැන් කාමරේ ලොක් කරගෙන නිදාගන්න. "

එකඟතාවය ගැන කිසිදු ප්‍රතිචාරයක් ගණන් නොගෙන කිත්ම එසේ කියමින් ඈට හිසින් සිය කාමරය පෙන්වූ නිසා තවත් කතාකොට පලක් නැති බැවින් අංජලිකා නැඟී සිටියාය. අනතුරුව ඈ කාමරයට ගොස් දොර අගුල දාගන්නා තුරුම එහි රැඳී ආපසු කොරිඩෝවට පිවිසියේ දුරකතනය වෙත පැමිණ ඇති පණිවිඩ පිරික්සමිනි.

' ස්ටේශන් රෝඩ්.. සුදුහුම්පල.. ( නිවසක අංකයක් )'

එහි එක් පණිවිඩයක සටහන් වී තිබෙනු දකිද්දී කිත්මගේ කට කොනට නැඟුනේ සෝපහාස සිනාවකි.

'හ්ම්ම්... ඉංජිනේරු මහත්තයා.. Here I come ( ඔන්න මම එනවා).. අපි මේක පුද්ගලිකව විසඳගම්මු'

අනතුරුව මඟහැරුනු ඇමතුම් අතර ඇති මිසිස් දොඩංගොඩගේ ඇමතුමට ප්‍රති ඇමතුමක් දුන්නේ එසේ නොකලහොත් වන විනම්බෑසිය දන්නා බැවිනි.

" හෙලෝ.. "

නිදිමතේ ඇසෙනා ඇඟේ හඬ නිසා කිත්මගේ සිත ඈ වෙනුවෙන් සැලී දුක සිතින.

" අම්මා.. මේ මම"

අනතුරුව ජර බර ශබ්ද ඇසුනු නිසා ඈ ඇඳෙන් නැගිට හරිබරි ගැසෙනතෙක් කිත්ම කාමරය වෙත ඇවිද ආවේය. දිසා ඈතක සිට අත වනා මහපට ඇඟිල්ල ඔසවා දක්වා සිටියේ ඔහුටද පණිවිඩය ලැබුනු බවට සතුට පලකරන්නටය.

".. මද්දු මේ.. අර යාපාලාගෙ ගෙදර හෙට හවස ඩිනර් එකකට එන්න කිව්වා. ඔහොම්මම කෝල් එකක් දාලා කියන්න ඔයාට එන්න පුලුවන් කියලා "

මිසිස් දොඩංගොඩගේ හැටි එලෙසය. නැතිනම් මේ පුතා සමඟ වැඩක් කරවාගන්නටද ලේසි නැත. යකා වැහෙනවා වෙනුවට කිත්ම ආරක්ෂක පහරක් එල්ල කලේය.

" අම්මා මම ඉන්නේ දියතලාවෙ. හෙට නුවර එන්නෙ නෑ. අම්මලා යන්න.. "

" ඉතින් හෙට ඉතින් බැරිනම් අපි අනිද්දට දාගම්මු ඩඩාගෙ බර්ත්ඩේ එකටත් එක්ක එහෙනං"

මෙය නම් මල වදයකි. පිරිමි ළමයෙකුට අවුරුදු තිහක් පසුවනවා කියන්නෙම කරුමයකි. ඊටත් විවාහ වනවා කියා නිවසට පෙන්නපු කෙල්ලෙක් නැති එක මේ සියල්ලටම මුලය. සිය මව තමා ගැන මෙතරම් වද වන්නේ වරක් වරද්දාගත් තමාගේ ඒ තීන්දුව නිසා බව දන්නා බැවින් ඒ සම්බන්ධයෙන් කිත්ම ඇගේ සිත රිදවන්නට අකමැති විය. 

පියාගේ උපන්දිනයට තමා නිවසට එන්නට පොරොන්දු වූ නිසා ඈ එය පාවිච්චි කරන්නට තැත් කරන්නීය. එය ඇගේ වරදක් නොවේ.

"දැන් මේ මහ රෑ විකාර කරන්නෙ නැතුව නිදාගන්න අම්මා.. හෙට මම කියන්නම්.. බායි."

අම්මාට කිසිවක් කියන්නට ඉඩ නොදී කිත්ම ඇමතුම විසන්ධි කලේ සුසුමක් සලමිනි. ඇගේ මේ උත්සහය වරදක් නොවේ. සිය දරුවාගේ අනාගතය ගැන වද වන මවක් නම් ඒ අතින් ඉහලින්ම සිටින්නේ නිමාලි දොඩංගොඩය. නියෝජ්‍ය පොලිස්පති ධර්මේන්ද්‍ර දොඩංගොඩගේ දෙවන පුතු ලෙස කිත්මට වැටෙන්නට නොදී අල්ලාගෙන සිටියේ ඒ මව් දෑත නොවේද? 

 ජීවිතයේ අන්තයටම වැටුනු ඒ කාලය ඔහුට සිහි වූයේ නිරායාසයෙනි.

ඕනෑම අයෙකුගේ ජීවිතයේ අඳුරු, දුක්බර කාලයක් තිබෙනවා ඇත. ඒ කාලය තුලදී තමා කල කී දේවල් සියල්ලම ඒ අඳුරු මතකයන් සමඟම පෙට්ටගමකට දමා වසාලන්නට හැකිනම් කාටත් වඩා එලෙස කරන්නේ තමාය. නීති විද්‍යාලයේ අවසන් වසර දක්වාම සියල්ල තිබුනේ සඳ-තරු අතරය. සැනෙකින් ඒ තරු අතර සිට ඇද වැටුනේ මරියානා ආගාධයටය.

ඒ අතීතය තවදුරටත් තමා වෙත නොඑන්නට සියළු වැට කඩොලු, තාප්ප පමණක් නොවේ ඉබි යතුරු පවා දමා හමාරය. එය විසින් ජීවිතයේ බොහෝ පාඩම් තමාට ලබා දුන්නේය. කීර්තිය, ප්‍රශංසාවට ඇත්තේ තාවකාලික ආයුෂයකි. ස්ත්‍රිය යනු හුදෙක් සිය වාසිය සහ ඉහළ නැඟීම පතා ඕනෑම ලෙසකට චපල වන සත්ව කොට්ඨාශයක් බවත් , පවුල යනු ඒ සියල්ලේදීම කෙනෙක් දරා සනසවන උණුසුම් ඒකකයක් බවත්‍ ය.

වාසුකී දුණුකේආරච්චි විසින් හදවතේ ඇතිකල ඒ කැපීම කෙතරම් ගැඹුරු වීද යත්, එයින් තමාගේ මුළුමහත් ජීවිතයම අංශක එකසිය අසූවකට කැරකී ගියේය. උසස්පෙළ කරන සමයේදී ප්‍රසිද්ධ බාලිකා පාසලක රූමත් , දක්ෂ තරුණියක් ලෙස තමාගේ ජීවිතයට ආ ඈ, අනතුරුව කොළඹ වෛද්‍ය පීඨයට ඇතුලත් වන්නේ ඒ වනවිටත් ඔහු කොළඹ නීති පීඨයේ ඉගෙනුම් ලබමින් සිටි බැවිනි. දෙදෙනාම කොළඹ පැමිණීමෙන් සියල්ල අධි වේගයෙන් ගමන් කලේ ලැබුනු නිදහස නිසාමය. එක්ව විසීමට තීරණය ගත්තේ කිත්මගේ නිවසින් තදින්ම මේ සම්බන්ධයට විරුද්ධව සිටීම ගණනකට නොගෙනය. වාසුකීගේ දෙමවුපියන් ඈට ඇති තරම් නිදහස ලබාදී තිබීමත් , ඒ වනවිට සිය නිවසට එරෙහිව කැරළි ගසා සිටි සොහොයුරා වෙනුවෙන් කිත්මගේ සහෝදරයා විසින් රහසේ උපකාර කිරීමත් නිසා කිත්ම දොඩංගොඩ අන් සියල්ල දණිස්සෙන් පහලටවත් ගණන් නොගත්තේය. කොටින්ම වාසුකී ගැන විටින් විට ඇසූ කිසිවක්ම කිත්ම විශ්වාස නොකලේය.

තමාගේ ලෝකය කෙතරම් කුඩාද කියා ඔහුට දැනෙන්නේ , වාසුකී පීඨයේ වැඩකට සිරවී සිටි නිසා මිතුරන් හා ඔහු යන්නට ගිය ගමනක් අතරමඟ , අමතක වූ ජැකට්ටුවක් ගන්නට ඔවුන් ඒ වනවිට එක්ව විසූ නිවසට එන්නට සිදුවීමත් සමඟය. ඈ එතෙක් කලක් ඇගේ 'ප්‍රියතම දේශකයා' යයි කියමින් වර්ණනා කල ඇගේ පීඨයේ කණිෂ්ඨ කතිකාචාර්යවරයෙකු සමඟ සාලයේ නිරුවතින් දැකීම කිත්ම දොඩංගොඩගේ ජීවිතයේ දකින්නට ලැබීම අවාසනාවන්තම දර්ශනයයි. 

එතැන් පටන් එතෙක් සිටි ප්‍රීතිමත් ; තරුවක් වූ කිත්ම දොඩංගොඩ වෙනුවට හදවතක් නැති පොලිස් රහස් පරීක්ෂකයෙක් සහ නීතීඥයෙකු බිහිවී තිබිණ. ඉන් පොලිස් දෙපාර්තමේන්තුවට ලත් වාසිය කෙතෙක්දැයි කිව නොහැකි වුවද, මවක් ලෙස නිමාලි දොඩංගොඩගේ හිස මත ටොන් ගණනක බරක් එදින සිට අද දක්වාම තබා තිබේ.

ඉතින් ඉඳහිට මේ පොලා පනින්නේ ඒ ආදරණීය වදවීමයි. බොරුවක් කියා ලිස්සලා යාමක් මිස ඊට විතර්ක කරන්නට කිත්ම දැන් කාලය ගත නොකරයි. 

සුසුමත් සමඟම සිය කාමරයට වැදුනු කිත්ම දවසේ සටහන්පොත සහ විද්‍යුත් තැපෑල පිරික්සමින් ගතකලේ උණුසුම් කෝපි කෝප්පයක්ද අතැ'තිවය. ඒ වරින්වර කිසිදු හේතුවක් නොමැතිව අංජලිකා වෙල්ලාලගේගේ පිරිපුන් දෙතොල් සහ ඒ දෙතොල් මෑත්වී නැඟෙන කෝපිමල් සිනාව හරස් වීම නිසා කිත්ම මදක් නැවතිල්ලේ කල්පනා කළේය.

අංජලිකා ගැන කුමක් හෝ රහසක් පෙනී නොපෙනී තිබෙන්නේ තමා ඉන් නොසන්සුන් කරමිනි. 

ටෑන් පාට දඟකාර සහ හිතුවක්කාර කෙල්ලෙකු ලෙස මිස කිසි දිනෙක අංජලිකා වෙල්ලාලගේ පිරිමි ඇසකට හසුවී නොමැති බවත් , තමා සිටියේද ඒ ඉසව්වේම බවත් ඔහු දනී. පරිණත පිරිමියෙකු ලෙසින් තවදුරටත් බටර් පාට හමත්, බාහිර රුවත් පමණක් නොව ස්ත්‍රී වර්ගයාම අපුල වූ අයෙක් ලෙස මේ සිත නම් මේ සෙලවී ඇත්තේ වෙනස් දෙයකට බව ඔහුගේ මොළය ඔහුට රතු සංඥා නිකුත් කරමින් සිටියේය.

ඔහු උකුල් පරිඝණකයේ සෙවුම් පිටුවක් ගෙන වේගයෙන් වචන කීපයක් එක් කොට සොයන්නට එන බොත්තම එබුවේය.

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

උදෑසන ආහාරයෙන් පසු කිත්ම පිටව ගියේ අංජලිකාට සවස කියූ පරිදි වේලාවට සූදානම් වී සිටින ලෙස නිල නොලත් ලෙස විධානයක් කරමිනි. කිත්ම දොඩංගොඩ යනු වාහන අලෙවි කරනා ආයතනයක අයිතිකරුවකු වන්නට නොහැකි බවත් ඔහු කුමක් හෝ උසස් නිලයක් දරනා පුද්ගලයෙකු බවත් පමණක් අංජලිකා අනුමාන කලේ ඔහු ගැන ජානුලී ඒ දිනවල කියු කරුණු වලින් බොහෝ දේ ඈට මතකයේ නොමැති නිසාමය. ඔහුගේ පියා කුමක් හෝ ආරක්ෂක අංශයක සිටිනා බව පමණයි ඈට සිහි වූයේ.

' මූ මාව ට්‍රේස් කරනවට මම කැමති නෑ. ඉක්මනින් මූව හලාගත්තෙ නැතිනම් උඹ ඉවරයි අංජුවෝ'

ඈ නැවතත් කිත්ම ලබාදුන් නම්පත ගෙන එහි සඳහන් දේ කියවූයේ ප්‍රවේශමෙනි.

'කිත්ම දොඩංගොඩ

අධිපති සහ අධ්‍යක්ෂක 

නිමාලි ට්‍රේඩර්ස් - මහය්යාව '

එහි සඳහන් අංකය බලෙන් මෙන් සිය දුරකතනයට දමා ගිය කිත්ම ගැන අංජලිකා සිය මතකය අවුස්සන්නට වූයේ ඔහුට තමා කියූ අර්ධ සත්‍යට අනුව ඔහුගෙන් ඊට වඩා උපකාරයක් අවශ්‍ය වේදැයි දෙගෙඩියාවෙන් සිතමිනි. 

නැත! කිත්ම විශ්වාස කරන්නට ඉක්මන් විය යුතු නැත. දැනටමත් දරුවාගේ ප්‍රශ්නය විසඳී ඇති නිසා ඔහුගෙන් ඉක්මනින් ගැලවෙන්නට හැකිය.

එකෙනෙහිම ඈට විසල් ආමන්ත පෙරේරාගේ ඔරවන දෑස සිහිවී හිත ගැස්සී ගියේ නිමේෂයෙනි. ඔහු මාස හතරකට සිංගප්පූරුවේ පැවැත්වෙන විශේෂ පුහුණුවීමකට සහභාගි වන්නට පිටත් වූයේ මීට සතියකට පෙරදීය. 

තමා ජානුලීගේ විවාහයට සහභාගි වීමට පැමිණියේ ඉන් අනතුරුව ඈ සිය මහ ගෙදරට යන බවට පොරොන්දු වීමෙන් පසුවය. දරුවා සොයා ගැනීම ඉක්මනින් කළ යුතුය. නැතිනම් ඔහු මේ සිදුවූ සියල්ල ගැන වියරු වැටෙනු ඇත. තමන්ගේ ආරක්ෂාව ගැන කිසි විටෙක වද නොවුනද ඔහු දරුවා ගැන විමසනු ඇත.

විසල් ආමන්ත පෙරේරාගේ හැටි එලෙසය. සැමියෙකු ලෙස කිසිදු මොහොතකදී ඔහුගේ සැලකිල්ල තමාට නොලැබුනද , තමාගේ ඉරණම ඔහු හා වෙන්කල නොහැකි බැඳීමක පැටලී තිබින.

ඈට ඒ ඉරණම් ගමන යන්නට පෙර සිදුවූ සියල්ලම සිහිනයක් මෙනි. ඉන් අනතුරුව කෙතරම් දේ සිදුවූවාද?

' අංජු තමුසෙ මහ මෝඩියෙක්! තමන්ට ආදරේ නොකරන මිනිහෙක් දැන දැනම කසාද බඳින්නෙ?'

විවාහයේ උණුසුම මැද සිය ඇතුලාන්තයේ උන් අංජලිකා බොහෝ කාලයකට පසු එලියට බැස යුද්ධ ප්‍රකාශ කොට සිටියාය.

' මට ආදරේ නොකලත්, විසල්ට මම ආදරෙයි.. මේ ගෙදර ඉන්නවට වඩා ඒක මට සැනසීමක්'

' ඒ මොන සැනසිල්ලක්ද? ඒ මනුස්සයා වෙන කෙනෙක්ට ආදරේ කරනවා බල බල ඉන්න එක මොන තරම් දුකක්ද? අනික පොඩ්ඩක්වත් කරුණාවක් නැති නපුරු මනුස්සයෙක් '

' ඒක නම් වේදනාවක් තමයි. නමුත් මට ඒක අමුත්තක් නෙවෙයි. මිනිස්සු වෙනස් වෙනවා. නපුරු කොල්ලො තමයි වැඩියෙන්ම ආදරේ කරන්නෙ'

අනෙත් අංජලිකා දෙවනත් වන්නට සිනාසුනා මතකය.

' ගොං වැස්සි! නපුරු කොල්ලො වැඩියෙන්ම ආදරේ කරන්නේ නවකතාවල! ඒවා ෆැන්ටසි මිසක් ඇත්ත නෙවෙයි. මේක ඇත්ත ජීවිතේ.. තමුන්ට ආදරේ නැති මිනිහෙක් එක්ක මැරේජ් එකකට යන්න එපා. තනියෙන් හිටපං ' 

තනියෙන්?? ඔව් කොහොමත් තමා සිටියේ තනියෙනි. ජානුලී? දැන් ජානුලීද නැත. ඈට ඈගේම ජීවිතයක් තිබේ. ඈ සමඟ කැනඩා යවන්නට මිඩංගු කීරීමට අවශ්‍ය මුදල් හෝ කාලයටත් වඩා උවමනාවක් පවුලේ කාටත් නොතිබුනු බව අංජලිකා තේරුම්ගෙන සිටියාය. ඉතින් මේ තීන්දුව නිසා වන අවැඩක් පෙනෙන්නට නැත. විසල් තමාට අකමැති බව දනිතත් , මොකක්ද ඉතින් වෙනස?

'ඒක අරෙන්ජ්මන්ට් එකක්.. විසල් වෙලාවට මාව ඩිවෝස් කරයි. එතකොට මම නිදහස්'

වයස විස්සක් පසුවූ තමාට ජීවිතය ගැන හෝ අනාගතයක් ගැන ලොකු සිහින තිබුනේ නැත. කතක් නැටුම් වලට තිබුනු සිහිනය පොඩි වී ගියේ කළඑළි මංගල්‍යය අවසාන වූ දිනයේමය. ඉගෙනීමට සමත් නොවූ ඈට තවදුරටත් උගැන්වීමේ ප්‍රථිපලයක් නොමැති බවත් 'කවුරු හෝ කොල්ලෙක්' සොයා දී පිටත් කලයුතු බවත් සිය සවන් වලින්ම ඇසීමට තරම් තමා පව් කර තිබිණ. 

ඉතින් සිතින් පෙම් කළ විසල් පෙරේරා ඕනෑවටත් වැඩිය! ඔහු විවාහයට අකමැති නම් විරුද්ධව කතා කරන්නට හැකිය. නමුත් එසේ නොකොට තමාට පමණක් සත්තම දමන්නේ ඇයි කියා අංජලිකා සිතුවේ නැත.

හිතුවක්කාරකම කියන්නේ කලාවක් නම් අංජලිකා එහි පිකාසෝ බව ජානුලී නිතර කියනා වැකියකි. ඉතින් විසල් ආමන්ත පෙරේරාට යන්නට නොදී ඒ විසල් ගල බෙල්ලේ බැඳගෙන වැවට පැන්නේ තමාමය. දැන් ඊට කිසිවෙකුට උපකාර කරන්නට නොහැකිය.

දහවල් දවස තිස්සේම බොරු නමකින් අටවාගෙන සිටි මුහුණු පොතේ ගිණුම ඔස්සේ ඒ මේ අත යමින් කාලය ගතකලේ කුඩා විදුල් සිහිවීම වලක්වනු නොහැකි නිසාය. සැමදාම කරනවාසේ විසල් ආමන්ත පෙරේරාගේත් තවත් එක්තරා ගිණුමකත් ඇති පින්තූර සහ බෙදාගත් පෝස්ටු දෙස රිදුම්දෙන හදවතින් බලා අවසානයේ ඉන් හෙම්බත්ව කෙටි නින්දකට වැටුණාය.

හරියටම සවස තුනයි තිහට නාදවූ දුරකතනය ඔස්සේ කිත්මගේ කටහඬින් පැවසුවේ තව විනාඩි පහක් ඇතුලත ලොබියේ සිටිය යුතු බවයි.

කරන්නට දෙයක් නැත. ඈ ඉක්මනින් ලෑස්ති වී පිටතට පැමිණියේ ලොබියේ සිටිනා සේවකයෙකු ඈ දැකීමෙන් සුහද සිනාවක් පෑම ගැන විමතියක් ඇතිකර ගනිමිනි.

" මිස් කා පාක් එකට යන්න.. වාහනේ දැන් එනවා"

අංජලිකාට නැවත අමුත්තක් දැනුණි. කිත්ම දොඩංගොඩ මුහුණු පොතේ නොසිටීමත්, ඔහුට ඇති සැලකිල්ල අනුවත් ඔහු මේ කියනා ආකාරයේ ව්‍යාපාරිකයෙක් වන්නට නොහැකි බව ඈට සිතින. ඔහු මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් ලෙසද සිතිය නොහැක. 

ඉන් මිනිත්තු කීපයකට පසුව වාහන අංගනයේ අන්තයකින් මතුවූ සුදුපාට අවුඩි රථය අංජලිකාගේ දෙපා මුල නතර වී ඇගේ පස වීදුරුව විවර වූයේ ඈට ඉබේටම රියදුරු අසුන වෙත ඇස් යොමුකරවමිනි. 

කිත්ම දොඩංගොඩ සැහැල්ලු තද කොලපාට ටී කමිසයකින් සැරසී තොප්පියක් දමාගෙන සිටි නිසා අංජලිකා මදක් ගැස්සුනේ ඔහුගේ කඩවසම් පෙනුමටය. ඔහුට ඇත්තේ තියුණු සහ රළු පෙනුමකි.

" නගින්න ඉස්සරහිං"

කිත්ම අතිශය සාමාන්‍ය ස්වරයෙන් පැවසූ නිසාත්, දරුවා දකින්නට ඇති නොඉවසිල්ලෙන් ඈ තුල වූ ආතතියත් නිසා අංජලිකා ඉක්මනින් වාහනයට ගොඩවී හිඳගත්තේ ඉදිරියම බලාගෙන ය. 

කිත්ම වාහනය පදවන්නට පෙර මදක් ඈ දෙස බලා උරුවම් බෑවේ අංජලිකා ගැස්සී ඒ දෙස බලද්දී ය.

" අංජලිකා නෝනා සීට් බෙල්ට් දාගන්න.. මේක බ්‍රේක් ගහනකොට හොම්බ සමතල වෙන්න ගහන්නෙ"

අංජලිකා වහා ආසනපටි ඇද ගත්තේ දෙතුන් වරක් එය උත්සහ කරමින් අනතුරුවයි. කිත්ම සිය මුවට නැඟෙනා සිනාව සඟවා ගත්තේය.

".. අංජුට බබාව අරගෙන යන්න ඕනෙ.. ගෙ.."

" අනේ ප්ලීස් අය්යා.. මාව ස්ටේශ්න් එක ගාවින් දාන්නකො. ගොඩක් තෑන්ක්ස් මට උදව් කලාට. මම පුතා එක්ක ජානුගෙ වෙඩින් එකට යන්න බලාගෙන නෙ ආවෙ. I don't want any news suprising my husband ( මගේ සැමියා පුදුම කරවන පුවත් මට අවශ්‍ය නෑ)"

ඔය එන්නේ සුපුරුදු කැරළිකාරි! පළවෙනි වතාවට සැමියා ගැන කතාකරන්නේ.. 

ඉබේටම කිත්මගේ මුවේ දඟකාර සිනාවක් මැවෙන්නේ ඇගේ ඒ ස්වරය නිසාමය. අංජලිකාට යකා වැහෙන්නට දැන් ඇත්තේ එක කෙස් ගහක් බව ඒ පෙනුමෙන්ම කිත්ම අනුමාන කළේය.

" ඕකේ ඕකේ.. දවල්ටත් නොකා බලාගෙන ඉන්නේ ඒක හින්ද වෙන්න ඇති. "

අංජලිකාට තරු පෙනුනි. නමුත් පිලිතුරක් නොදීම ඈ ආරක්ෂාව ලෙස යොදාගත්තේ ගමනේ ඉතිරි කාලය පුරාම දෙදෙනා අතර නිහඬ බවක් ඇති කරමිනි.

අතරමගදී ආ ඉතා වැදගත් ඇමතුමක් නිසා කිත්ම වාහනය විලියම් ගොපල්ලව මාවතේ ගිණි නිවන ඒකකය පෙනෙන මානයේ නතරකොට රථයෙන් බිමට බැස මද දුරක් ඇවිද ගියේය. අංජලිකා වහා දුරකතනය අතට ගෙන ඇමතුමක් ගත්තේ පෙර දිනයේ කෝපිහලේ උන් සේවකයාටය.

" මිස්ට කුමාර මම මේ කතාකලේ ඊයෙ අර බබෙක්.."

" ආ.. ඔව් ඔව් මිස් කියන්න.. "

අංජලිකා වටපිට බලා පැති කණ්නාඩියෙන් යන්තමට පෙනෙන කිත්මගේ කමිස අතේ කොටසින් ඔහු ස්ථානගත කරගෙන හුස්මක් ඉහලට ඇද්දාය.

" මම මේ බබාව ගන්න යන ගමන්.. ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑනෙ. තරහා නැතුව ඒ අය්යට පොඩ්ඩක් කියනවද මම ස්ටේශන් එකට ළඟ කියලා.. මම ඊයේ නම්බර් එක දුන්නෙ"

" ආ හරි හරි මිස් මම පණිවිඩේ කියන්නම්"

" තෑන්ක්ස්"

එසැනින් ඇමතුම විසන්ධි කල ඈ කිසිවක් නොවුනා සේ දුරකතනය යලි සාක්කුවේ දමා ගත්තාය.

.

.

දෙවරක් නාද වත්ම දුරකතනය සවනේ තබාගත් දර්ශන් අනෙක් අතින් අයිස්ක්‍රීම් කන විදුල්ගේ හිස මත සෙමෙන් පිරිමදින්නට විය.

" සර් මම මේ කතාකරන්නෙ අර බබාගෙ..."

" ආ ඔව් ඔව්.. මම මේ එතන ඉන්නෙ"

" ආ.. එහෙමද? අපේ නංගි.. බබාගෙ අම්මාත් ආවා කිව්ව. සර් පොඩ්ඩක් බලනවද? දැං ඇවිත් ඉන්නේ කියලා කිව්ව"

ඇවිත් ඉන්නේ?

දර්ශන් ඔහුට ස්තූති කොට ඇමතුම විසන්ධි කලේ ඒ වනවිට තරමක සෙනඟක් ඇදෙමින් සිටි දුම්රිය ස්ථානය පිවිසුම් වේදිකාව සිසාරා බැල්මක් හෙලමිනි. කොයිවගේ ගැහැණියක්ද මේ කියන්නේ? තලතුනා කෙනෙකු විය හැකිය.

මගනුවර ප්‍රධාන දුම්‍ රිය ස්ථානය පිහිටා ඇත්තේ විලියම් ගොපල්ලව මාවතේ පේරාදෙණිය පස සිට එන විට වම් පසින් මාර්ගයට පහළට වන්නටය. එබැවින් විලියම් ගොපල්ලව මාවතේ සිට මහනුවර බලා යන වාහන දුම් රිය ස්ථානයේ ප්‍රධාන පිවිසුමේ සිට ඉතා හොඳින් දර්ශනය වන අතර දර්ශන් සිටියේ ඒ ඔස්සේ එන අයෙකුට ඔහුව වහා නොපෙනුනත් , තරමකට හඳුනා ගන්නට හැකි පත්තර කවුළුව අසළය.

ඔහු කුඩා විදුල් වඩාගත්තේ මිනිසුන් අතරින් ඒ මේ අතට ඇවිද යාමට පහසු නිසාත් , වඩා හොඳින් ඔහුව දර්ශනය වන්නටත් ය. කළුවට හුරු තද නිල්පාට අත්දිග කමිසයේ අත් වැලමිට දක්වා නමා, ඊට ගැලපෙන ලා කිරිපාට දිග කලිසමක් ඇඳ, ඔහු සිටියේ හිස් පළඳනාවක්ද සමඟින් බැවින් ඔහුගේ ඝනැති රැවුලෙන් සඟවන මුහුණ වඩාත් අඳුරුව පෙනුණි.

වේදිකාවේ ඒ මේ අත දෙතුන් වරක් ගියද දරුවකු සොයනා පෙනුමෙන් යුතු ගැහැණියක් නම් පැමිණියේ නැත. නමුත් කියූ වේලාවට තව වේලා තිබුනු නිසාත් දැනටමත් ඒ කියනා ගැහැණිය පැමිණ ඇති බව කියූ නිසාත් ඇමතුමක් ගන්නට ඉක්මන් වූයේ නැත. 

ඔහු ඉන් අනතුරුව මදක් විදුල් දෙස බලා ඔහුගේ කොපුලක් සිපගත්තේ දරුවා කිරි සිනාවක් නඟද්දීය. විදුල් ඔහුට පුහුණුකල ලෙසටම දර්ශන්ගේ කොපුලක් සිපගෙන හුරතල් වචනයක් කියද්දී දර්ශන්ගේ සිත ලෙහා වැටුනේය.

"දශන්.. ආදලේ.."

හිත දුකින් බරවූයේ මේ කුඩා වුවත් සතුටු පොදිය තව මොහොතකින් වෙන්ව යනු දැනීය. මෙතරම් ඉක්මනින් දරුවකු තමාට සමීප වීම අරුමයක් නොවුනත්, මේ දරුවා ඒ අතරින් සුවිශේෂී වන්නේ එනවිට කතාකල ප්‍රමාණයට වඩා ඔහු යම් යම් දේ කියන්නට වීම නිසා පනණක්ම නොවේ. කුමක් හෝ විශේෂයක් ඔහු තුල වේ. බොහෝවිට ඒ සිනාව වන්නට ඇත!

ඔහු දරුවා සිය ලයට තුරුල් කරගෙනම වේදිකාවේ සමනය වූ සෙනඟ ඔස්සේ නෙත් යවා, අහම්බෙන් මෙන් මාර්ගයේ ඉහලින් නතර වූ රථයක ඔහුගේ නෙත් නතර වන්නේ ඒ වංගුවේ නතර කරන්නේ බොහෝවිට දුම් රිය ස්ථානයට පැමිණෙන අය නිසාමය. 


සුදුපාට අවුඩි රථයෙන් බිමට බට අංජලිකා දෙස යලිත් වරක් බැලූ කිත්ම ඇගේ මේ හිතුවක්කාරකමට ඇති තරම් රවා මදිපාඩුවට ගොරවන්නට වූයේය. 

" ඔහොම ඉන්නවා මම ඇතුලෙන් බස්සනකල්.."

" බෑ බෑ අය්යා යන්න.. ගොඩාරියක් තෑන්ක්ස් කරපු උදව්වට.. "

නමුත් කිත්ම වාහනයෙන් බිමට බැස බර අඩි තබමින් අංජලිකා අසළට ආවේ සැනෙකිනි. ඔහු ඇගේ බාහුවේ ඉහලින් අල්ලා දත්මිටි කනවාක් මෙන් ගොරවන්නට වූයේ මේ හිතුවක්කාර ගැහැණිය උස්සා පොලවේ ගහන්නට එන ආවේගය මැඩ ගනිමිනි.

ඔහු සිටියේ දර්ශන්ට පිටුපා වූ අතර මාර්ගයට ඉහළින් මේ යුවලගේ මේ හැසිරීම දර්ශන්ගේ නෙත ගැටුනේ සැනෙකිනි. ඒ සමඟම අංජලිකා අහම්බෙන් මෙන් පහල බැලූවද එකවරම ඈට කිසිත් අමුත්තක් නොපෙනුනේ මිනිසුන් දෙදෙනෙකුට දර්ශන් වැසී ගිය නිසාය.

" පුදුම ස්ටබර්න් අංජු ඔයා! "

එසැනින් සිය අත ඇදගන්නා පමාවට ඇගේ අත වැදී කිත්මගේ තොප්පිය ගැලවී බිමට වැටෙන්නේත් , ඈත සිටි දර්ශන්ට කිත්ම දොඩංගොඩගේ මුහුණ පැහැදිලි වන්නේත් එක ක්ෂනයෙනි. 


' police intelligence ( පොලිස් බුද්ධි අංශය) ! '

දර්ශන් සැනින් යමක් තේරුම් ගන්නට උත්සහ කරද්දීම තමන් දකින්නේ කුමන සැලැස්මක් දැයි දැනෙන්නට ඔහු වහා එතෙක් ගබඩා කරගෙන සිටි අංකයට ඇමතුමක් ගත්තේ ඈ දෙසම නෙත හෙලාගෙනය. 

බිංගෝ! එසැනින් ඔහුට පෙනෙන දසුනේ කිත්ම දොඩංගොඩ සමඟ සිටිනා ගැහැණිය දුරකතනයට පිළිතුරු දෙන්නට එය අතට ගත්තාය.

එපමණකි! දැනුන අමුත්තට සෙනඟ අතුරින් විදුල් පෙරේරාත් , ඔහු වඩාගෙන සිටි මිනිසාත් අංජලිකාගේ දෑස් ගැටෙනා මොහොත පමණකි. එසැනින් ඒ මිනිසා විදුල්ව වඩාගෙනම දුම්‍ රිය ස්ථානය අසළම වූ ත්‍රීවීල් රථයකට දිව යනවා ඈ දකින්නේ විදහාගත් දෑසිනි.

" අනේ....!"

කිත්ම සිය තොප්පිය ගන්නට නැමෙන්නේත් , අංජලිකා එසැනින් පාර දිගේ දිව යන්නේත් ඒ මොහොතේය. මහත් සැර දමමින් දර්ශන් සහ විදුල් රැගත් ත්‍රීවීල් රථය මාර්ගයට පිවිසෙනවා පමණි, දිවගෙන ආ අංජලිකාට ඉඩක් නොතබාම එය ගුඩ්ශෙඩ් බස් නැවතුම්පලට පිවිසෙන මාර්ගයට හරවනවා ඈ දකී. 

පමාවන්නට මොහොතක් හෝ නැත. මේ කලබලය බලා සිටි ත්‍රීවීල් රියදුරෙකුගේ රථයක ආසනයකට පැන්න අංජලිකා හැකි උපරිමයෙන් කෑ ගැසුවාය.

" මගේ දරුවා.. ඌ මගේ දරුවා අරගෙන යනවා.. අනේ ප්ලීස් අර ත්‍රීවීල් එක ෆලෝ කරන්න..."

රියදුරා හැකි උපරිම වේගයෙන් සිය රථයද ඒ හා සමානවම පදවන්නට වූයේ ඔවුන්ට රථ හතරක් පමණ ඉදිරියෙන් ඇදෙනා ඒ රථය මතම නෙත රඳවා ගනිමිනි.

 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

" නෑ මිස්.. මේ පාරෙ නෙවෙයි මම හිතන්නෙ"

වෙහෙසට පත් රියදුරා අංජලිකාගේ දෙස මදක් නොරිස්සුම් බැල්මක් හෙලා පැවසුවේ හෝරාවකට ආසන්න කාලයක් තිස්සේ මේ කරනා නිශ්ඵල ක්‍රියාව ගැන හටගත් කෝපයෙනි. 

' ළමයා පැහැරගෙන ගියාලු ඒත් පොලිසි යන්නත් බෑලු.. මොන විකාරයක්ද? '

 හැන්දෑ අඳුර සමඟින් වෙනස්වූ පරිසරයේ සීතල නිසාත් , කෝපය සහ ආවේගය නිසාත් අංජලිකා සිටියේ වෙව්ලමිනි. ඈ මදක් කල්පනා කොට අතේ තිබුනු මුදලින් රුපියල් දහසේ නෝට්ටුවක් ගෙන රියදුරු දෙසට දිගු කරද්දී ඔහුගේ මුහුණ මදක් ලැජ්ජාවෙන් ඇඹරී ගියේය.

" සල්ලි නෙවෙයි නෝනා මේ.."

" නෑ නෑ කිසි ප්‍රශ්ණයක් නෑ. මගේ අඳුනන කෙනෙක් ඉන්නව පොලිසියේ. එයාට මම කෝල් කරලා පොලිසියට යන්නම්. ගොඩාරියක් ස්තූතියි මට උදව් කලාට"

පසුව තවත් දේ කීමෙන් අනතුරුව රියදුරු පිටත්කල අංජලිකා හුස්මක් ඉහළට ඇද සන්සුන් වන්නට උත්සහ කළාය. අනතුරුව මේ ක්‍රියාන්විතයෙහි වහ වහා සිදුවූ දේවල් එකින් එක ආවර්ජනා කරන්නට සිතුවාය. 

කුඩා වාහන දෙක තුනක පරතරයෙන් ගමන්ගත් ඒ ත්‍රීවීල් ‍රථය ඔවුන්ට මගහැරෙන්නේ ප්‍රධාන බස් නැවතුම්පල සිට පාර හරහා දමන දිගු ලේලන්ඩ් බස් රථයක් නිසාය. ඒ බස් රථය මගහැර ඔවුන් ඒත් පැමිණියත් දුම් රියපල පාරට හරවනවා පමණි දුටුවේ. රතුපාට ත්‍රීවීල් රථය එයින් ගිය දෙසක් සොයාගන්නට නොහැකි විය. හෝරාවක් පමණ ගතවූ නිසා අංජලිකා සිටියේ අවසිහියට ආසන්න වෙමිනි. 

ඈ කීප වරක්ම දුරකතනයට ඇමතුවත් ප්‍රතිචාරයක් ලැබුනේ නැත. නමුත් දුරකතනය විසන්ධි කොටද නැත්තේය. දුම්‍ රියපල මාවත පටු සහ ජනාකීර්ණ නොවූ නිසා ඈට දැනුනේ අසරණ බවකි. තමන් කිත්මට දැමූ ලොකුකම නිසා ඔහුට අමතන්නටද සිත නොනැමේ. 

' මාව දැකලා ඇයි ඒ මනුස්සයා දරුවත් අරගෙන දිව්වෙ? මේක සැලසුම් සහගත පැහැරගැනීමක්ද? '

' දෙවියනේ විසල් පෙරේරාගෙ ළමයා කියලා හිතලාද ? නෑ වෙන්න බෑ එගෙම දෙයක් වෙන්න බෑනෙ.. විසල් ගැන දරුවගෙන් දැනගන්න එයාට කතාකරන්න බෑනෙ'

' එහෙනං ඇයි විදුල්ව අරගෙන දිව්වේ? මගෙන් සල්ලි ගන්න හිතලද? '

' අංජු.. ඒ මිනිහා දරුවට වරදක් කරන කෙනෙක් නෙවෙයි. ඒත් ඇයි මේ මොකද උනේ?'

අංජලිකා මාර්ගයේ ඔවුන් නොගිය අතුරු පාරක් ඔස්සේ යමින් තර්ක විතර්ක කරන්නට වූයේ දෑතම හිසේ ගසාගෙනය.

එකවරම යමක් සිහිවූවා මෙන් ඈ දුරකතනය ගෙන 'kidnapper’ නමින් ගබඩා කරගෙන උන් අංකයට whatsapp පණිවිඩයක් යොමුකලාය. 

' I'm sorry. Please release my innocent son' ( මට සමාවෙන්න , මගේ අහිංසක දරුවාට යන්න දෙන්න) 

අනතුරුව දෑස් ඇසිපිය නොහෙලා ඒ දෙස බලා සිටියේ මුලදී සටහන්වන අළුපාට හරි සළකුණ, හරි සළකුණු දෙකක් බවට පත්වන අයුරුය.

' මැසේජ් එක ගියා!'

නිහඬ තත්පර දෙකක් ගතවිය. හරි සළකුණු දෙක කොළපාට  හැරුනේ ඇගේ බලාපොරොත්තුව සපල කරමිනි.

' මැසේජ් එක බැලුවා!'

ඈ එසැනින් whatsapp තාක්ෂණය ඔස්සේ ඇමතුමක් ගත්තේ මොහොතක්වත් පමා නොවෙමිනි.

එසැණින් ඈ සිටි මාර්ගයේ යාබද ගොඩනැගිල්ලේ ඇති නිවසකින් ඒ ටෝන් එකටම නාද වන දුරකතනයක ශබ්දයක් කන වැකෙන්නේ අංජලිකා විමතියෙන් ගල්ගැසෙද්දීය.

.

.

" සර්?"

දිසා මදක් ගල්ගැසී මෙන් කිත්ම දෙස බලමින් හිඳ උන් ආසනයෙන් නැඟී සිටින්නට මෙන් සැරසෙද්දී කිත්ම ඔහු වලක්වා ලුයේය.

" එපා දිසා! ඒකි ගියාවෙ.. මොකද වෙන්නෙ කියලා බලාගෙන ඉම්මු. අපිට ඌව මේ වෙලාවෙ අල්ලන්න බෑ පොඩි එකාගෙ ජීවිතේ අවදානමක් ගන්න වෙන හින්දා.."

ඉතිරිය නොකී කිත්මගේ මුහුණේ ඇතිවී ඇති විපර්යාසය දිසා හොඳින් නිරීක්ෂණය කළේය.

' මේ කෙල්ලව දාන්න කියලා කිත්තා උගේ ප්‍රයිවෙට් වාහනේ අරගෙන එනකොට මාත් පස්සෙන් ආව හින්දා හොඳයි. නැතිනම් මූ තාමත් මම කියන දේ විස්වාස කරන්නෙ නෑ. 

ඌ කිත්තාව දැක්ක ගමන් ළමයා එක්ක පැනලා දිව්වා. මේ ගෑනිත් ඒකට සෙට් හින්දා පැනගත්තා.. කිත්තාට ශුවර් කිව්වට මට ඕකි මුල ඉඳලම ඇල්ලුවේම නෑ! මේක කිත්තා අල්ලන්න කරපු ඩ්‍රාමා එකක් වෙන්න පුලුවන්. නැතිනම් ඒකා ඉන්න හැමතැනම කොහොමද ඒකි ඉන්නෙ?'

ඔහුන්ගේ වාහන ලුහුබැඳ පැමිණිය නිසා අදාළ මිනිසා දරුවා සමඟ සිටින්නේ ස්ථීර කල ලිපිනයේ බව දැන් තහවුරු වී හමාරය. කිත්ම දැන් පවසන්නේ මේ ගැහැණිය කුමක් කරනවාදැයි විමසිල්ලෙන් සිටින්නටය. ඈ අතරමං වී ඇති බව පෙන්වූ අතර දිගින් දිගටම ඇමතුමක් ගන්නා බව පෙනුනත් ඒ කිත්මට නම් නොවේ.

තව මොහොතකින් ඔවුන් දකින්නේ ඔවුන් දෙදෙනා සිටින රථයට හොඳින් පෙනෙනා ඒ නිවසේ පිවිසුම අසළට ආ අංජලිකා , විසල් ගේට්ටුව විවර කරන්නට උත්සහ කරන ආකාරයයි.

ගතවූයේ විනාඩි දෙකක් පමණි. අඩි හයක් පමණ වූ ඒ තාප්පයේ කොනක වූ විවරයකට පය තැබූ අංජලිකා අඩියට දෙකට තාප්පයේ ඉහළට බඩගානවාත් ' දඩස්' හඬින් එහා පසට පනිනවාත් දුටු දිසාටත් කිත්මටත් එකිනෙකා දෙස බැලෙන්නේ ඉබේටමය!

' අඩෝ ඒකි තාප්පෙන් ඇතුලට පැන්නා නේද?'

 ------------------------------- මතු සම්බන්ධයි ----------------------------

සමාවෙන්න පරක්කු උනා නම්. දින දෙකකට වතාවක් තමයි කතාව නම් පලකරන්න ඉන්නේ. ඉක්මනි හමුවෙමු.

ප.ලි: මෙහි එන චරිත සහ සිදුවීම් සියල්ල මනඃකල්පිත බවත් , එය දැනට ජීවත්ව හෝ මියගිය කිසිවෙකුට සම්බන්ධයක් නොමැති බවත් කරුණාවෙන් සලකන්න.

ගොඩාරියක් ස්තූතියි කියවනවාට සහ කමෙන්ට් කරන, ලයික් කරන නොකරන හැමෝටම

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

© ලිඛිතා මංජරී
නිර්මාණයේ සියලු හිමිකම් කතුවරිය සතුවන අතර, ලිඛිත අවසරයකින් තොරව කුමන ආකාරයකින් හෝ උපුටා ගැනීම, Screen Shot ගැනීම හෝ වෙනත් කිසිම මාධ්‍ය‍යක පල කිරීම සපුරා තහනම් වේ.

6 comments:

  1. අපොයි අපොයි මේ මොකෑ වෙන්න යන්නෙ

    ReplyDelete
  2. //හිතුවක්කාරකම කියන්නේ කලාවක් නම් තමන් එහි පිකාසෝ බව ජානුලී නිතර කියනා වැකියකි.// මෙතන ජානුලි නෙවෙයි අංජලිකා වෙන්නෝනි.

    තව එකක්.. කිත්ම දිසා ගේ සීනියර් ද ෆෙලෝ ද? වෙලාවක සර් වෙනවා.. වෙලාවක මචන් වෙනවා.. පොලිසි හමුදාවල එහෙම වෙන්න බෑ. සර් නම් සර්.. මචන් නම් මචන්. :))

    ReplyDelete
    Replies
    1. අංජලිකා තමයි... හදන්නම්...


      ඇත්තටම ඕක ලියනකොට ඔබතුමා ඇවිත් නෙළයි කියලාම හිතුවා... ඊට පස්සේ හිතුනා 'සේෆ්ටියා එන්නේ නැහ් ' කියල... කිත්මට සර් තමයි කියන්න ඕනේ... හදන්නම්... එල එල

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...