Tuesday, November 1, 2022

මට ඇහෙන සරින් - පස්වන පරිච්ජේදය



දර්ශන් මද වේලාවක් සයනයේ නිදා සිටිනා දරුවා දෙස බලා සිටිමින් , සුසුමක් හෙලා සිය කාලවර්ණ රැවුලෙන් වැසුනු මුහුණේ කම්මුල් තරමක් සෙමෙන් පිරිමැද්දේය.

මුහුණ පුරා වැවුනු ඝන රැවුල විසින් ඔහුගේ තියුනු මුත් කාන්තිමත් දෙනෙතේ ඇති තාරුණ්‍ය වඩාත් ගොරහැඩිව පෙනේ. මදක් පිරුණු කම්මුල්ද, රැවුල වටකොට ඇති පිරුණු දෙතොල්වල ඇති දුලබ සිනාවද එයින් සැඟවී ඇත්තාක් මෙනි. පටු නළලට වැටෙනා අකීකරු කොණ්ඩය පසුපසට කරමින් ඔහු පසෙක ඇති මේසයේ පුටුවක් ඇද හිඳ ගනිද්දීම දුරකතනයේ තිරය මත ඇමතුමක සේයාවක් සටහන් වෙයි.

' Roja is calling..' 

නොරිස්සුම නිසා 'චක්' ගෑවුනද ඔහු තත්පර කීපයකින් එය සවනේ තබාගත්තේ නොසැලකිල්ලෙන් හිස ඉහලට හරවා සිවිලිම දෙස නෙත රඳවාගෙනමය.

" කියන්න"

" අන්නා... "

රෝජා ඈට හැකි උපරිමයෙන්ම ඇගේ හඬ සුසර කොට කීවේ මේ ශෛලමය හදවතට ජල බිඳුවක් ලෙස පතිත වන්නටය. නමුත් නිශ්ශබ්ද බවින් වැටහෙන්නේ දර්ශන් ඔරවාගෙන සිටින බවයි. ඈ ඉන් උකටලී නොවූවාය.

".. අන්නා.. ඇයි මට කෝල් එකක්වත් නොදුන්නෙ? මම බලාගෙන හිටියනේ හවස් වරුවෙම.. අම්මා එක්ක මම ඔන්න තේරු එනවා. අපේ මල්ලි අන්නා එනකල් ඉන්නේ තේරු බලන්න යන්න"

දර්ශන් කිසිඳු හැඟීමක් නොමැතිව අසා සිටියේ වහලයේ ඇති සිවිලිමේ පැල්ලම දෙස බලාගෙනමය. එය නැට්ටුවෙක් වාගේය ; කාවඩි නැට්ටුවෙක්?

"... අන්නා? හලෝ.. මාව ඇහෙනවද?"

" ඔව් ඔව්. ඇහෙනව. මට හෙට එන්න වෙන්නෙ නෑ. දේවා එක්ක ජැෆ්නා යන්න තියෙනවා. තේරු වලට එන එකක් නෑ එහෙම ගියොත්"

ඒ හඬෙහි ඇති නොසැලකිල්ල නිසා රෝජාගේ සිත රිදුනු බව දනිතත් දර්ශන් එය කලේ හිතාමතාම නිසා ඔහුගේ හදවතට තෙතක් දැනුනේ නැත. අද උදෑසන සිදුවීමෙන් පසුව රෝජා මේ සූදානම් වන්නේ තමා සමඟ සමීප වීමටය.

" අන්නා..."

ඈ හැකි උපරිම මෘදු ස්වරයකට ආරෝපණය වූවාය. දර්ශන් දෙබැම හකුලා ඔරවා ගත්තේ ඈට ඔහුගේ මුහුණ පෙනෙනවා යයි සිතුවාක් මෙනි. ඔහුගේ කෝපවත් සුසුම් දුරකතනයේ වැදුනේ කුණාටුවක සුළං පරිද්දෙනි.

"... සොරි අන්නා... මම.."

" සොරි කියන්න ඕන නෑ!"

එය ගිගිරුමක් මෙන් නිසා යුවතිය දෙඋර හකුලන තරමට ගැස්සී ගියාය. ඔහුගේ රැවුම් මුහුණ ඇගේ ඉදිරියේ මැවුනේ ඉබේටමය.

"... අද උදේ වගේ මට කෝල් කරලා මම හිටිය තැන් ගැන එක එක ඒවා කියාගෙන ආවොත් මම ඔයාලගෙ අප්පා ගැන හිතන්නෙ නැතුවම කටට එකක් දෙනවා. 

අනිත් එක තමයි.. මේක හොඳට කන්දෙක ඇරලා අහගන්න රෝජා!

මම කෙල්ලො එක්ක ටයිම් පාස් කරන කොල්ලෙක් නෙවෙයි. ඔයාගෙ අප්පට කියන්න ආයෙමත් ඔයාව මගේ පස්සෙන් එවන්න එපා කියලා... තමනුත් බොරුවට විකාර කරන්නේ නැතුව වැඩක් ඇති වැඩක් කරනවා රෝජා!. "

ඒ හීසර වන් වචන වලට හිත රිදෙන්නේ හොඳම තැන් වලින් ය. රෝජා වහාම ඇමතුම විසන්ධි කලේ මුවින් නැඟෙන හැඬුම වාවා ගන්නට නොහැකි නිසාමය. උදෑසන තමාට ලැබුනු මිතුරෙකුගේ තොරතුරකට අනුව , දර්ශන් දරුවෙකු වඩාගෙන කඩුගන්නාව ප්‍රදේශයේ සිටි බවට කන වැකීමෙන් කලබලයට පත්ව ඔහු අමතා කියවාගෙන ගියේ හිතෙහි වූ වේදනාවටමය. 

ඔහු තමාගේ මස්සිනාය. කොටින්ම ඔහුගේත් තමාගේත් විවාහය නිල නොලත් පරිද්දෙන් තීන්දු වී තිබුනේ සිය පියාගේ බලවත් බලපෑම නිසාමය. පියා අහිමි දර්ශන්ගේ පවුලේ පියෙක් මෙන් සියල්ල ඉටුකලේ සිය පියා නිසා දර්ශන් ඊට සෘජුව අකමැති නොවුනත් , තමාව ගණන් නොගන්නා බව රෝජා හොඳින්ම තේරුම්ගෙන සිටියාය. නමුත් දර්ශන් වන් තරුණයෙකු අතහැරගන්නට කැමති යුවතිය කවරෙක්ද? 

කොටින්ම කිවහොත් දකුණු ඉන්දීය ක්‍රියාදාම නළුවකුගේ මෙන් පෙනුමක් සහ ආඩම්බරකමක් තිබුනු දර්ශන් ඉලෙයිරාජා තමාගේ මස්සිනා වීමම තමා පියවර ගණනාවක්ම ඉහලින් ගමන් කරන්නට හේතුවක්ව තිබිණ. ලස්සන සුදු කෙල්ලන්ගේ සිහින කුමාරයා වුවද දර්ශන් කිසි විටෙකත් පෙමක පැටළුනේ නම් නැත. පියෙකු නොමැති පවුලක , සිය සොයුරිය විවාහ වනතුරුම ඔහු සිටියේ සොහොයුරාගේ භූමිකාව රඟමින් වූ අතර හිටපු දිසාපති කෙනෙක් වූ ඔහුගේ පියාගේ ආභාශයෙන් ඔහු ඒ තරම්ම ආඩම්බරකාරයෙක් වූයේය.

' මට විතරයි ඔක්කොම රවන්නේ බනින්නෙ.. අනිත් කෙල්ලො ඔක්කොටම හොඳට කතා කරනවා'

සයනයේ වැලපෙමින් උන් රෝජා සිය හැඬුම අළුත් කරගත්තේ එසේ සිතමිනි.

' සුවර් එකට මෙයාට පවුලක් ඇති. ඒ එයාගෙ බබාද දන්නෙත් නෑ.. ඒකනෙ එච්චර තරහ ගත්තෙ'

ඈ තව තරහ පුරන්නට වූයේ දුක අමතක කරමිනි. 

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

කුඩා කාමරය පුරා නෙත් ගෙනගිය අංජලිකාගේ සිත අහේතුකව තැති ගත්තේ ඈ මෙවන් ආකාරයේ වැසුනු තැන් වලට ඇති භීතිය හිස ඔසවමිනි.

' අද රෑට විතරයි.. අද විතරයි අංජු බයවෙන්න එපා ඒ ඔක්කොම දැන් ඉවරයි'

ඈ තමාටම දහ දොලොස් වතාවක් කියාගත්තේ ඇගේ මනෝ චිකිත්සකවරයාගේ උපදෙස් සිහි කැඳවා ගනිමිනි. පසුව ගැඹුරු හුස්මක් ගත් ඈ මහනුවර නගරයේ සාප්පුවකින් ගත් ඇඟලුම් සහ තුවාය ගෙන නානකාමරයට වැදුනේ අද දවස ඇතුලතම දරුවා සොයාගැනීම නිසා ලද මානසික නිදහස රිසි පරිදි විඳින්නටය.

වතුර මල යට සීතල ජල ධාරා සමඟම ඈ සිය තැවුල් සියල්ල ගලා හැරෙන්නට ඉඩ හල නිසාදෝ එකවරම ඈට සිය මහගෙදර ; ප්‍රිම්‍ රෝස් උද්‍යානයේ පිහිටි ඇගේ මුල් නිවස ; එකවරම සිහියට නැඟුනි.

ඔවුන් මොනවා කරනවා ඇතිද? අද පැමිණි බව කිවහොත් වෙනදා මෙන්ම ' හ්ම්ම් අද තාත්තා නෑ' වැනි දෙයක් කියයිද? අය්යාගේ දරුවන් කොහොමද ? ඔහුගේ යාබද නිවස තවමත් තියෙනවාද? ජානුලී නම් පැවසුවේ ඔහුගේ නව ව්‍යාපාර සියල්ලම අති සාර්ථක නිසා මැණික් පිටරට යැවීම ඔස්සේ සෑහෙන්න දියුනු වී ඇති බවකි.

' ඔක්කොම සාර්ථක.. ලස්සන.. පෝසත්.. මම විතරයි මෙහෙම'

ඈට එසේ සිතීම අරුමයක් නොවන මුත් සෑහෙන කාලයකට පසුව ඇය ඒ ගැන ගැඹුරට කල්පනා කරන්නට සිතුවාය. 

මේ සියල්ල ඇරඹුනේ සිය සොයුරියගේ අවාසනාවන්ත මරණය සමඟද? නැත.. මේ සමහරක් තමාට තදින්ම දැනෙන්නේ ඇගේ වියෝව සමඟ නිවසේ සියල්ලෝම තමා වෙත අවධානය යොමුවූ මොහොතේ පටන්ය. 

ජානුලීත් , ඇගේ පවුලත් නොවන්නට බොහෝ දේවල් වෙනස් වන්නට තිබිණ. ඇත්තටම වූයේ එය නොවේද? ඔවුන්ගේ රැකවරණය අහිමි වූ සැනින් සියල්ල වෙනස් වී ගිය ඉක්මන!  ජානුලී විදෙස්ගත වූ පළමු සතියේම විසල් ආමන්ත පෙරේරාගේ විවාහ යෝජනාවත්, ඉන් සතියකින් ඔහු හා විවාහ වීමත් සිදුවූයේ සුරංගනා කතාවක මෙනි. වයස විස්සකට ආසන්න තරුණියක් වූ තමා එලෙස විසල්ගේ 'ඇඟේ ගසා' එතෙක් වෙල්ලාලගේ පවුලට නොමැති වූ දේශපාලන හස්තය ලබාගත් සිය පියා ගැන අංජලිකාට ඇත්තේ පිලිකුලක් හෝ කෝපයක්ම නොවේ.

ඒ සියල්ල පසෙක ලමින් විසල් ආමන්ත පෙරේරාගේ සමච්චල්සහගත සිනාව සමඟ ඇති බැල්ම ඈ ඉදිරියේ මැවෙද්දී ඈ වතුර මල වසා දමා මදක් නිසොල්මනේ සිටියාය.

ඈට එකවරම ඈ වටා ඔහුගේත් , ඔහුගේ පෙම්වතියගේත් සිනා හඬ දෝංකාර දෙන්නට විය. අනතුරුව චිත්‍රපටයක් මෙන් විවාහයේ සිට මෙතෙක් සිදුවූ සිදුවීම් එකින් එක සිහියට එන්නේ නිරායාසයෙනි.

.

.

" උන් දෙන්නා වෙන් වෙලා ගිහින් තියෙන්නෙ.. අපිට ඕනේ එකා තාම ඉන්නේ නුවරමයි දිසා"

අත ඇති කඩදාසි කිහිපය මේසය මත අතහැරි කිත්ම දිසා දෙස බලා අහේතුකව එරෙව්වේය. එසේ කරන්නේ තදබල කල්පනාවකදී බව දිසා දන්නා නිසා එය නොසලකා ඔහු වාහනයේ යතුර ගෙන හිඳගෙන සිටි ආසනයෙන් නැඟී සිටියේ නළල මත ඇඟිලි තෙරපමිනි.

"... ළමයෙක් අරගෙන ඌ මොකද එහෙ මෙහෙ යන්නෙ? ඌ මේ හදන්නෙ සුවිසයිඩ් ඇටෑක් එකකට කියලා මට සැක නම් නෑ. මොකද උගේ බැක්ග්‍රවුඩ් එක අනුව ඌ එහෙම කරන්නෙ නෑ. ඊටත් අවුරුදු දෙක තුනක ළමයෙක් කියන්නෙ එහෙමදේකට ගන්න වයසෙත් නෙවෙයි "

තමන් මේ සොයනා පුද්ගලයා ගැන දැනගත් තොරතුරු මත කිත්ම පැවසුවේ විශ්වාසයෙනි. ඔහු විවාහකයෙක් නොවේ. එබැවින් මේ ඔහුගේ දරුවා වන්නට ඇති ඉඩකඩ අවමය. එකම දේ මේ දරුවා කොහෙන් පැමිණියාද කියා දැනගැනීමය. ඔහුගේ හෝ ඔවුන්ගේ ඊළඟ පියවර ඒ අනුව දැනගතහැකි වනු ඇත. 

දවස පුරාම වෙහෙසකර කරුණු කීපයක් ගැනම සාකච්ජාවල නිරතව සිටීමෙන් කිත්ම සිටියේ වෙහෙසට පත්ව නිසා හිත තුල කුමක් හෝ වෙනසක් ඔහුට ඉල්ලයි. දිසා වාහනයට පිටත්කොට යැවූ කිත්ම, ඔහුගේ මිතුරෙකු වූ හෝටල් කළමනාකරු විමසා එම කවුන්ටරය වෙතට බරවෙමින් ආපසු හැරුනේ නිරායාසයෙන් ඇස් හෝටල් පරිශ්‍රයේ බටෆ් ආහාර ලබාදෙන ආපනශාලාවේ පිවිසුම වෙත යොමුවෙද්දීය. 

ඔහුගේ දෑස් නළලත රඳවමින් එහි පියගැට බසිමින් සිටියේ අන් කවරෙකුත් නොව අංජලිකා වෙල්ලාලගේය.

' මොකක්? අංජු මොකද මේ ක්වීන්ස් එකේ කරන්නෙ? දැන් කී පාරක් මේකි මගේ ඇස් ඉස්සරහට ආවද?'

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

" දිසා මම චුට්ටක් පරක්කු වෙයි"

ඇමතුම විසන්ධි කලේ එහා පසින් දිසාගේ හඬ නැඟෙද්දීමය. අංජලිකාගේ රවුම් දෑස වඩාත් විශාලව කිත්ම වෙත යොමුව තිබුනේ ඔහුගේ මුව තදින් පියවී හිත තුලින් කුමක් හෝ මිමිනිල්ලක් ඇසෙද්දීය. ඇස රැඳෙන්නේම ඇගේ ඒ පිරිපුන් දෙතොල් අතරය.

කිත්ම සාමාන්‍ය වන්නට උත්සහ කරමින් දෑස් ඉන් ගලවා ගත්තේ ඇගේ පසුපසින් ඈත බලමිනි.

"..  ඉතින් අංජු.. ඔයා කිව්වෙ නෑනෙ මෙහෙ මොකද කරන්නෙ කියල"

නැවතත් කිත්ම ඇසුවේ බොරු හිනාවක් දා මෙතැනින් මාරු වන්නට ගිය ඈ වෙත සරදම් සිනාවක් දමමිනි.

" පොලේ ආපු ගමන් අංජිලාවො තියෙනවද බලන්න ආවෙ"

කැලේ මාරු උනාට පුල්ලි මාරු වී නැති හැඩකි. ඈ කියූ දෙයට කිත්මට ආවේද එවැනිම දඟකාර අදහසක් වුවද , අවාසනාවට ඒ මොහොතේම කළමනාකරු කිත්ම අසළින් මතුවූයේ සැකමුසු බැල්මක්ද සමඟිනි.

' කිත්තා? කෙල්ලෙක් උස්සං ක්වීන්ස් එකේ?? වෙන්න බෑහ්!!'

" ආ මචං මොකෝ මේ පැත්තෙ?"

කිත්මට සිනා ගියේ ඔහුටත් මීට මොහොතකට පෙර අංජලිකා දුන් පිලිතුර දෙන්නට සිතුනු නිසා බැවින් අංජලිකාටද එකවරම සිනාවක් පැන්නේ එය වැටහීමෙනි.

' මේ මොන නාඩගමක්ද?'

" මුනේ... මම මේ උඹට කතාකරන්න කියලා ආවෙ.. මේ මගේ යාළුවෙක්ගෙ නංගි. මට විනාඩියක් දියං මම එන්නම්"

අංජලිකා ඉතා උවමනාවෙන් කිත්මගේ මුහුණේ ඇඳෙන හැඟීම් කියවන්නට උත්සහ කළාය. 

කිත්ම දොඩංගොඩ!!! සිටියාට වඩා පිරිපුන්ව සහ වඩා කඩවසම්ව , ඉතා පිලිවෙලට සිටින්නේ වැදගත් රැකියාවක් කරනා බව හඟවමිනි. ඊටත් ඔහුගේ ඇස් කිසි දිනෙක මේ තරම් තියුණුවට තමා විනිවිද ගොස්ද නැත. ඔහු දැන් දින දෙකකට පෙරද තමා ඉදිරියට ආ මොහොතේ තමාව ස්කෑන් කරනා බව ඈට නොදැනුනා නොවේ. 

' විසල්ට කියයිද?'

විසල් පෙරේරා සිටින්නේ කොළඹ බවත්, ඔහු කිත්මගේ මිතුරෙක් තබා ඔහුගේ නම කිත්ම අසාවත් නොමැති බව පවා ඒ මොහොතේ අංජලිකාට සිහි වූයේ නැත. චණ්ඩිකම් ඔක්කෝම ඒ මොහොතට ඈට අමතකව ඉබේම කිත්මගේ අතක් අල්ලා ගත්තේ සිතට ආ කාරණය කියන්නටය. 

ඒ රෝම පිරුණු බාහු යකඩයක් මෙන් සවිමත් බව දැනෙත්ම සිය අත අල්ලා ගත් පුදුමයට කිත්ම වහා හිස හරවා අංජලිකා දෙස බැලුවේ දෙබැම හකුලවාගෙන නිසා ඈට ඉබේටම ඒ අත එසැනින් අතහැරින.

" කි.. කිත්ම අය්යා.. මේ"

ඈට එකවර සිදුවූ මේ පරිවර්තනය නොවැටහුනු නිසා කිත්ම වහා ඇගෙන් සිය දැඩි බැල්ම ඉවත් කරගෙන කළමනාකරුට සමුදී ආපසු හැරුනේය.

" අංජලිකා... ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ?"

අංජලිකා එකවරම ගොළුවූ නිසා කිත්ම මද සිනාවක් මුවට නඟාගන්නට උත්සහ කළේ ඈ පත්ව ඇති ආතතිය සමනය කරන්නටය. ඈට ප්‍රශ්නයක් නැතිනම් මහනුවර නගරයේ ඇති ඔවුන්ගේ නිවසට නොගොස් ඈ ක්වීන්ස් හෝටලයේ මෙසේ සිටින්නේ නැත.

පොඩ්ඩක් ඉන්න!

එතන හිටපු අර උස මහත මිනිහා අංජලිකා දිහා ඇස තියාගෙන හිටියා කියන එක ඇස් වලට අහු උනේ එතරම්ම පුහුණු කල මිනිස් හැසිරීම් නිරීක්ෂණය නිසාමයි. 

'අංජලිකා ඒ මිනිහා එක්ක මොකක් හරි? '

එවර ඇගේ අත්ගොබයේ ඉහලින් අල්ලා ගත්තේ කිත්ම දොඩංගොඩය.

".... අංජු ඔයා එන්න ඕන මගෙත් එක්ක යන්න. මෙහෙ ඉන්න එපා"

" කිත්ම අය්.. "

කිත්මගේ ග්‍රහණය ලිහිල් වූයේ නැති අතර ඒ බැල්මෙන් පැවසුනේ ඈ ඔහුට පැහැදිලිකිරීමක් ලබාදීමෙන් මිස මෙය සමථයකට පත් නොවන බවකි.

".. මට.. ලෙට් මී එක්ස්ප්ලේන්"

ඔහුට ඒ ස්වරය කිසිලෙසක ඇල්ලුවේම නැත. දෑස ඇගේ නෙත් වල කෙලින්ම එල්බගෙනය. 

" you may explain while driving back ( ඔයාට පැහැදිලි කරන්න පුළුවන් යන ගමන්)"

එය නියෝගයකි. ඒ මොහොතේ අභියෝගයක් එල්ලකල නොහැකි තරමේ විධානයකි. 

" වි.. විසල්ට කියන්න එපාහ්"

ඇගේ මුවින් එලෙස ගිලිහුනේ අනායාසයෙනි. කිත්ම පුදුම වූවද, ඈ දෙස එකඟතාවයක බැල්මක් හෙලා අත අතහැරියේ හිසින් සන් කරමිනි.

" මෙහෙද අද ඉන්න හැදුවෙ? තනියෙං"

අංජලිකාගේ මුහුණ බිමට බරවිය. 

' විසල්? මොන විසල්ද? ආ.. විසල් කියන්නෙ මෙයාගෙ හබීද?'

දෙවියනේ පුදුම වෙනසක්! පෙර දිනයක ජීප් රථයක් තමාගෙ ඇඟට කපා ගිය කෙල්ලෙක් තමා ඉදිරියේ බිම බලාගෙන සිටී. කුමක් හෝ දෙයක් සිදුවී ඇත. ඇගේ මිතුරිය පෙනෙන්නට නැත.

".... තනියෙං නොවුනත් අද මෙහෙ ඉන්න බෑ. යමු මගෙත් එක්ක.. ගිහිං බඩු අරගෙන එන්න"

මේ කුමන අයිතියක්ද කියා කිත්මට වැටහුනේ නැත. අංජලිකා ඇසුවේද නැත. ඈ මදක් පැකිලෙනු දුටු කිත්ම නැවතත් ඒ සීතලව ගිය අත්ගොබයේ ඉහලින් අල්ලා දොර පසෙට කලේය.

"... මේ දැන් ගිහින් අරගෙන එන්න. මාව දැන් කේන්ති ගස්සන්නෙ නැතුව! අමල්ට කියනවද නැද්ද කියලා මම පස්සෙ තීරණය කරන්නම්"

එය තර්ජනයක් බව කිත්ම දනී. තම නැගණිය මහනුවර බව ඔහු දන්නේ නැති බව කිත්ම හොඳාකාරවම දනී. පෙර දිනයකදී උන් ජානුලීද නැත. මෙවන් හෝටලයක ඈ වැනි අයෙක් තනිවම කරන්නේ කුමක්ද? තවත් පැනයක් ඉතිරිව තිබේ. එය විසඳාගන්නට ඈ මෙතැනින් රැගෙන යා යුතුය.

තව විනාඩි පහකින් පසුව කාමරයේ වූ ඇඳුම් දෙක තුන බෑගයට දමාගන,  හෙමින් ඔහු පසුපස වැටී ඇවිද ආ අංජලිකා සිටියේ කිත්ම දොඩංගොඩගේ ජීප් රථයේ පසුපස ආසනයේ අඳුරටම ගුලිවීගෙනය. රියදුරු අසුනේ උන් දිසා දෙතොල්පෙති ආයාසයෙන් මුව තුලට රුවාගෙන සිනාව වලක්වා ගනිමින් වාහනය පාරට ගනිද්දී කිත්ම ඔහුට හැකි උපරිමයෙන් ඔරවා දෙතොල් වලින් නොසරුප් වදනක් කීවේ දත්මිටි කමිනි.

කිසිවෙක් කිසිවක් කතා නොකල නිසා තිදෙනා අතරම පැවතියේ දැඩි නිහඬතාවයකි.

මද දුරක් යද්දී නිහඬතාවය බිඳිමින් කිත්ම කාටහෝ ඇමතුමක් දී තනි කාමරයක් වෙන් කරන්නට උපදෙස් ලබා දෙනු ඇසුණි. අනතුරුව ඔහු වාහනයේ රේඩියෝව ක්‍රියාත්මක කලේ නිහඬබව තුල වූ අපහසුතාවය මකන්නට මෙනි.

වාහනය ඇගේ මහගෙදර පසුකරමින් පේරාදෙණිය දෙසට ඇදී යද්දී ඈ මදක් වික්ශිප්ත වූවාය. එසේනම් ඔහු තමාගේ සහෝදරයාට තමාව බාරදෙන්නට උත්සහ නොකරයි. නමුත් කොහේද? ගැටඹේ පන්සල පසුකරමින් ගොස් එය පේරාදෙණිය ගිමන් හලේ නතර කරද්දී අංජලිකා මදක් තැති ගත්තද ඈ සිටියේ කිසිවක් කරකියාගතහැකි තත්වයක නොවේ.

" මචං ගිහින් කී එක ගෙනත් දියං මේ මිස්ට"

දිසා හිස සලා පිටත් වෙද්දී කිත්ම වාහනයෙන් බැස අනෙක් පසින් පැමිණියේ අංජලිකා තවමත් ගුලිවී සිටි පැත්තේ දොර අසළටයි.

"..  බහින්න. ඔයාට තනි රූම් එකක් දාලා ඇති. කී එක ගෙනත් දෙයි"

කිත්ම පසුපස දොර විවර කරද්දී අංජලිකාගේත් ඔහුගේත් දෙනෙත් එකිනෙක යාවී ගියේ නිරායාසයෙනි. ඇගේ එවන් අසරණකමක් මීට පෙර කිත්ම දැක තිබුනේම නැත. 

එහි වූයේ 'කාටවත් කියන්න එපා' වැනි බැල්මකි. චණ්ඩිකම් කල කෙල්ලෙකු මෙලෙස සිටීම පුදුමාකාරය. 

' ඇඳුමක්වත් නෑ හරියකට, තනි ශොපිං බෑග් එකක ඔක්කොම රෙදි දාගෙන. මේකි මේ කොහේ හරි පැනලා යන ගමන්ද? ඩෙනිමක් ගහලා , කුර්තාවක් ඇඳලා.. කොණ්ඩෙත් උඩට බැඳලා.. '

පිලිගැනීමේ කවුන්ටරයෙන් අංජලිකාගේ යතුර ගේන පමාවට කිත්ම වහා ඇගෙන් කඩඉම් පැනය ඇසුවේය.

".. අංජු කෝ ඔයාගෙ බබා?"

------------------------------- මතු සම්බන්ධයි ----------------------------

සමාවෙන්න පරක්කු උනාට පොඩි වැඩ වගේකට හිර උන නිසා. ඊටත් වඩා උනේ දකුණු ඉන්දීය චන්ඩි වගයක් පැනලා මට මරණ තර්ජනය කලා. ඉතින් ඔය තියෙන එකක් දුන්න. බනින්ඩ එපා අඩුපාඩු ඇති. මේක තනිකර භීසනේ!! ඉක්මනි හමුවෙමු.

ප.ලි: මෙහි එන චරිත සහ සිදුවීම් සියල්ල මනඃකල්පිත බවත් , එය දැනට ජීවත්ව හෝ මියගිය කිසිවෙකුට සම්බන්ධයක් නොමැති බවත් කරුණාවෙන් සලකන්න.

ගොඩාරියක් ස්තූතියි කියවනවාට සහ කමෙන්ට් කරන, ලයික් කරන නොකරන හැමෝටම

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

© ලිඛිතා මංජරී
නිර්මාණයේ සියලු හිමිකම් කතුවරිය සතුවන අතර, ලිඛිත අවසරයකින් තොරව කුමන ආකාරයකින් හෝ උපුටා ගැනීම, Screen Shot ගැනීම හෝ වෙනත් කිසිම මාධ්‍ය‍යක පල කිරීම සපුරා තහනම් වේ.

9 comments:

  1. ඔයාගෙ හෑම කතාවක් වාගෙම මෙම් කතාවත් ගොඩක් ලස්සනයි. all the best.

    ReplyDelete
  2. ඔයාගෙ හෑම කතාවක් වාගෙම මෙම් කතාවත් ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  3. මේ වෙනකල් සම්පූර්න කතාවම කියෙව්වා. ඔය දකුණු ඉන්දියානුවන්ගේ තර්ජනවලට බය වෙන්නෙපා. එක හුස්මට ලියාගෙන යන්න.

    ReplyDelete
  4. අපිම ඉන්නෝන ඉතින් කඩදාසි කොළෙත් පෙරලගෙන යන්න....ලස්සනයි කතාව

    ReplyDelete
  5. මෙතනට එනකම් කියෙව්වා.. දැන් අනිත් වැඩ ඔක්කොම අත ඇරලා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න වෙයි වගේ.. :))

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...