Thursday, September 8, 2022

361: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන


 


උන්මාද චිත්‍රාදෝ මා කතාව කොටස් 90 කින් පස්සේ මම නිමාකලා. ඒ කතාව පුරාම තිබුනේ මම ප්‍රස්තූතය කරගත්ත කතාවම විතරක් නොවෙයි.

කතාවේ සැකිල්ල අනුව මම අවශ්‍ය කල මාතෘකාව ටිකක් ටැබූ ආකාරයේ නිසා මම ගොඩක් පාරක් හිතලා ගත්ත හිතුවක්කාර තීරණයක ප්‍රතිඵලයක් විදියට තමයි ' උන්මාද චිත්‍රාදෝ මා' කතාව උපත ලබන්නේ. මේ ආකාරයේ ටැබූ කතාවක් ලියපු ( දීර්ඝ) පළමු වතාව හින්දා මගේ සාර්ථක අසාර්ථක බව කියවන්නා තීරනය කරයි.

මේ කතාව පුරාම දිවෙන ප්‍රධාන චරිතය වන්නේ නිර්මලී චාරුකා. ඈ උපතින්ම ආපු gifted child උනත් අවාසනාවන්ත පරිසරයක හැදෙන්නේ. ඇගේ ජීවිතයේ සිදුවූ සිදුවීම් වලින් 80% ක්ම සත්‍ය සිදුවීම්. අනූජ කියන චරිතයේ සිදුවීම් නම් 60% ක් ඇත්ත සහ අනෙක් සියල්ල ප්‍රභන්ධය. මොකද ඒ චරිතය ව්‍යාපාරිකයෙක් නොවෙයි.

ඉතිරි ප්‍රධාන චරිතය වන රශිඳු..

ඔහු හා සම්බන්ධ සිදුවීම් 90% වගේ සත්‍ය සිදුවීම් අලලා තමයි ලිව්වෙ. ඔහු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවෙයි සහ නිර්මලීගේ ක්ශේත්‍රයත් ඒක නෙවෙයි. ඒ නිසා ඒ ගැන හොයන්න දඟලන්න එපා. ඔවුන්ගේ අනන්‍යතාවය අවශ්‍ය වෙන්නෙ නෑ කතාවේ විඳීමට.

ඒ දෙන්නා අදටත් හොඳින් ඉන්නවා. දරුවන් හොඳින් ඉන්නවා. 

අසලංක ගැනත් යමක් කියන්නම ඕන. ඔහුගේ ක්ශේත්‍රයත් ව්‍යාපාර උනත් අනෙක් සියල්ලම මම වෙනස් කලා.


ඒ වාගේම මේ කතාවේ එන සියළු පුද්ගලයින්ගේ නම් සහ ස්ථානයන් , වේලාවන් සියල්ල මනඃකල්පිත බව සලකන්න. 


කතාව තුල කිසියම් කෙනෙක් හෝ පුද්ගලයෙක් අපහසුතාවට පත් උනා නම් මම සමාව ඉල්ලනවා. 


කිව යුතුම දෙයක් තියෙනවා.. 

ඒ තමයි ප්‍රේමය කියන දේ බාහිරව අපි දකිනවාට වඩා ගොඩක් වෙනස්. කෙනෙකුගේ වයසින් හෝ පෙනුමෙන් ඔවුන්ව මනින්න ඔබට සාධාරණ අයිතියක් හෝ හැකියාවක් නැහැ. ඔවුන්ට ඔවුන්ගේම කතාවක් තියෙනවා. 

මේ කතාව කියවපු කීප දෙනෙක්ම මට කියපු දෙයක් තමයි , කතාව කියවූ පසු ඔවුන් මීට පෙර යම් යම් පුද්ගලයින්ගේ යම් යම් ජීවිත ගෙවන ආකාරය ගැන පෙර සිතුවාට වඩා වෙනස් ඇසකින් බලන්න පුලුවන් උනා කියන එක. ඒ කතාවෙන් මට ලොකු සැනසීමක් දැනුනේ, මගේ මේ ලිවීමේ එක් අරමුණක් එය නිසා.

සමාජයට ලොකු පණිවිඩයක් දෙන කතා කියලා මම කතා ලියන්නේ නෑ. නමුත් සරල රසවින්දනයට වඩා යමක් දෙන්න තමයි කැමැත්ත. ඒ හින්දා මේ උත්සහය ඒ තරමට තියනවා නම් මට ඒක ලොකු දෙයක්.

නිර්මලී චාරුකා කියන චරිතය සර්ව සම්පූර්ණ කරන්න මම උත්සහ කලේ නෑ වගේම අනෙක් කිසිම චරිතයක් තනි සුදු හෝ තනි කළු නොකලේ හිතාමතාමයි. අපි හැමෝම අළු මිනිසුන් නිසා. හැකි උපරිමයෙන් තාත්විකව ලියන්න කල උත්සහය අසාර්ථක වෙන්න ඇති. මම තාමත් මගේ ලිවීම අත් හදා බලමින් ඉන්නේ.

ගොඩක් ස්තූතියි මගේ ලිවීම කියෙව්වට. වචනයකින් හරි දිරිමත් කලාට. 


ජය!

- ලිඛිතා මංජරී

No comments:

Post a Comment

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...