Tuesday, September 6, 2022

359: උන්මාද චිත්‍රාදෝ මා 90 ( අවසාන කොටස)

 



ක්‍රීඩා පිටිය පුරා පැතිර ගිය ඔල්වරසන් හඬ සමඟ පිටිය මැද හුන් පිතිකරුවාගේ අමුතු අභිනය සුපුරුදු පරිදි අවසන් වූයේ ප්‍රේක්ෂකාගාරයේ එක්තරා තැනකට පාකළ හාදුවක් සමඟිනි. ඒ හාදුව උකහාගත් ගැහැණිය එය සුපුරුදු පරිදි වම්පස ලයට තදකොට ගත්තා ය.

" වෙල් ඩන් කොල්ලා..! උඹ ඒක කලා"

ඔහුගේ ඊළඟ බැල්මේ හිමිකරුගේ මුවින් එසේ මිමිනෙන්නේ තරඟ ජයග්‍රහණය සඳහා සියළු දෙනා සිය අසුන් වලින් නැඟිට ආචාර කරද්දී පිතිකරුවාගේ බැල්මට හිස ඉහළ පහළ හරවමිනි.

පිටියට කඩා වැදුනු ක්‍රීඩකයින් විසින් ඔසවන ලදුව පිතිකරුවා ඉහළ පහළ විසිවූයේ ඔහුට ඉස්පාසුවක් නොදීමය.

නව ක්‍රිකට් තරුවක් පායා තිබුණේ එදින අවසානය සටහන් කරමිනි. 

ඒ වනවිට ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරනා සිය පියාගේ අඩිපාරේ යමින් පුතු තුන් ඉරියව්වෙන්ම දස්කම් පානා ක්‍රිකට් තරුවක් වීම රශිඳු ආඩම්බර කොට තිබිණ. ඔහුගේම ජායා පිටපතක් වූ හිරුක ඒ වනවිට මහත් උනන්දුවෙන් සිටියේ ඔහුගේ වාරය පැමිණෙන තෙක්‍ ය.

තරඟ භූමියේ ඉදිවූ තාවකාලික වේදිකාව මත ශූරතාවය ලබාගත් පිලේ ක්‍රීඩකයින් ඇගයූ පසුව ඇසෙන්නේ තරඟයේ වීරයාගේ නමයි..

".. අද තරඟයේ වීරයා වන්නේ **** පාසලේ ඩේනුඛාහ් මිහින්ඩුකුලශූරියාහ්.."

ඔල්වරසන් මැද පිටිය මත ඇති පීඨිකාව වෙත ඇවිද ආ ජේනුක සිය කුසලානය අතට ගෙන අනෙක් අතින් ඇඟිල්ල දික්කරන්නේ ඔහු වෙතයි.

" පච්චී... දිස් ඊස් ෆො යූ..! ඇන්ඩ් මයි නිර්..."

නිර්මලීගේ දෑසින් වැගිරෙන කඳුළට එතරම් ඉඩක් ලැබුනේ බොහෝ කාලයකට පසුවය. එපමණක් නොවේ.. සිය පුත්‍රයාගේ ක්‍රිකට් ජීවිතයට සාධාරණයක් කරනුවස් ඔහු වෙනත් පාසලක පුහුණුවීම් ආරම්භ කරන්නේ පාසලේ කණ්ඩායම ඔහුට වරක් අහිමි වන්නේ සිය සුළුපියා එහි පුහුණුකරු වූ හේතුව නිසාය. ඉතින් මේ සතුටු කඳුළු එය සමරනුවස්‍ ය.

ජේනුක මිහිඳුකුලසූරිය..  ඔහු එලෙසම විය..

තලෙළු දැඩි බාහු සහිත සිරුර, බොකුටු කොණ්ඩය සහ මන බඳිනා දෑස් යුගල ඔහු දැනටමත් කෙල්ලන්ගේ හයිස්කූල් මස්කට් එක වන්නට අවශ්‍ය සියල්ල සපයමින් වුවද , ඔහු පෙරදාටත් වඩා නිවුණු තැන්පත් ආඩම්බරකාරයාමය. කෙල්ලන් වෙනුවෙන් මිඩංගු කරන්නට ඔහුට වෙලාවක් නැත. 

' ජෙම් අද මට ලන්ච් එක අමතක උනා.. අනේ අම්මට කියන්න නම් එපා.. මොනාහරි කරනවකො'

' අය්යා.. අද මගේ බැලේ ප්‍රැක්ටිස් වෙලාවට අප්පච්චිට එන්න බෑ කිව්ව. අනේ මාත් එක්ක එතනට ඇවිදං යන්න එන්නකො'

' මතං මේ.. මම අද ඔෆිස් එකට ආපු එකක් කියන්න එපා අප්පච්චි එක්ක හරිද? අම්මි එක්ක ශේප් කරලා දෙන්නකො'

' අය්යා.. අද මගේ කකුල් රිදෙනවා. මාව සයිකලෙන් දාන්නකො හවස..'

ඒ සියල්ලටම වඩා කැරළි කොණ්ඩේ ඇති හුරතල් කෙල්ලක් ඔහුව සම්පූර්ණයෙන් අයිතිකරගෙනය.

' ජෙම්.. උයාට බෑ ඒ ගර්ල් එක්ක එච්චර වෙලා කතා කර කර ඉන්න! එයා ඔයා දිහා බලනවටවත් මම කැමති නෑ.. දන්නවනෙ මේ ඒන්ජල් තලා උනොත් යාළු නෝ හරී??'

ඉතින් එතැනින් ඒ යාළුකම අහවරය. 

ඔහුගේ මේ ක්‍රිකට් තරඟයේද සිය මවට පසෙකින් හිඳ, ඈ අනුගමනය කරමින් ඔහුගෙන් පාවී එන හාදුව ඈත් සිය ලයට තදකොට ගන්නීය. ඔහු දස්කම් පාද්දී සිය කැරළි කොණ්ඩය වනමින් උඩපනින්නීය. ඔහුව දවාගන්නට උත්සහ කරනා උන්ට දත්මිටි කමින් බනින්නීය.  අනතුරුව ඇගේ තරු ඇස් කරකවමින් පොරකන පිරිස අතරින් මෑත්වී තමාව සොයා එනතුරුම ඈ නොවෙයි එතැනින් නැඟිටින්නේ! 

අද දින පැවති අන්තර් පාසල් ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේ දැක්වූ විශිෂ්ඨ දස්කම් නිසා ඔහුගේ ඊළඟ පාසල සඳහා ක්‍රීඩා අංශයෙන් ශිෂ්‍යත්වයක් විශ්වාස නිසා වඩාත්ම සතුටින් සිටියේ ජේනුකය. 

සියලු සුබපැතුම්, ආශිර්වාදකිරීම් සහ දිරිගැන්වීම් සියල්ල අවසානයේ ජේනුක සිය කණ්ඩායමෙන් මිදී ඔහු අයිති 'බැටෑලියන්' එකට එන්නේ මුහුණ පුරා නඟාගත් සිනාවෙන් දෑතම විදහාගෙනයි. ඊට මැදිවූ පළමුවැන්නිය නිර්මලී වූ අතර නිර්මලී තරම්ම උස මේ කොල්ලාගේ හිස සිඹින්නට ඈට දැන් නම් නොහැකි වුවත් සුපුරුදු පරිදි ඈ වැළඳගෙන දෙපසට පද්දන්නේ 'මයි චෑම්ප්' කියනා අතරතුරේය. ඈට පිටුපසින් තරු ඇස් දෙකක් , රෝස කොපුල් දෙකක් නෝක්කාඩු කතාවකට ආරම්භයක් ගෙන ඇති හැඩකි. 

ඇස් කුඩා කොට ඈ සනසන්නට බැල්මක් දැම්මද ඈ ඊට අනුගත නොවුණාය.

සැනෙකින් පසෙක සිට ආ බූල් අතක් ඔහුගේ හිස මුදුනේ කෙස් අවුල් කල සැනින් ඒ සුවඳ හොඳින් හඳුනන ජේනුක ඒ විසල් මිනිසාද කවයට එක්කාසු කරගත්තේය.

" කොහෙද ගියේ මම හැමතැනම හෙව්ව.. බේබි ගර්ල්!"

හෝරාවකට පෙර තරඟයට පැමිණි දරුවන් අතර උන් දෙමව්පියන් කීපදෙනෙක් නිර්මලී හා සුහද කතාබහට වැටුනේ ඈ එහි මදක් පමා කරමිනි. ඉතිරි වේලාව ඔහුගේ පාසලේ පුහුණුකරු සමඟ සුභපැතුම් වලටය. කොහේ තියෙන ඇස්ද මන්දා. සුපුරුදු ගෙරවිල්ල ඒ ටික 'මිස්' උනාටය. 

පිලිතුරක් දැන් දුන්නාට නම් පලක් නොවූ මුත් නිර්මලී මදක් සිනාසී එය මඟහැර ගියාය. ඔරවන්නේ නම් හොඳකට නොවේ.

"... ඔන්න කොල්ලා ප්‍රොමිස් එක තිබ්බ. දැන් එහෙනම් අපේ බෝයිස් ට්‍රිප් එක සෙට්!"

මේ කියන්නේ ඈ අවුස්සන්නට වුවත් කට පියාගෙන ඉන්නට පුලුවන් කාටද?

" පච්චී....  ඕනේ නම් ලේක් එකේ කෑම්පින් ‍යනව විතරයි.. මම එහෙම එකක් ප්‍රොමිස් උනේ නෑ.. "

තැනක් නොතැනක් නැති ඒ රණ්ඩු වලට ජේනුක කවදත් සහභාගි වන්නේ අඩුවෙනි. මේ නිවසේ වැඩකටයුතු ඔහු හොඳින් හඳුනයි.

එදින අනෙකුත් වැඩ සඳහා ඒ ඒ තැන් වලට යැවූ දරුවන් දෙදෙනා එක්කාසු කරමින් සහ සතියේ අඩුවැඩිය පුරවාලන මිලදීගැනීම් වලට කාලය මිඩංගු කරමින් ඔවුන් නිවසට එද්දී මදක් රෑ බෝවී තිබිණ.

නිවසට පිවිසෙත්ම සිය ප්‍රියතම සහෝදරයා පිලිගන්නට හිරුක දිව ආවේ ඒ වනවිටත් ඔහුට ආරංචිය ලැබී තිබුනු නිසාය. ඔහුට සැමවිටම අවශ්‍යම වූ වැඩිමල් සහෝදරයාගේ භූමිකාව ඉතා සාර්ථකව රඟනා ඔහුගේ දෙවන වීරයා වූ ජෙම් හා ඉතා සමීප මිතුරන් වූහ.  

" බුදුසරණයි පුතේ.. මට හරි සතුටුයි ඇහුවාමත්.. "

මාලතීගේ කාමරයෙන් ඒ ඇසෙන්නේ ජේනුක ඈට කතාකල පසුව ඇසෙනා ඇගේ ආශිර්වාදයයි. මේ දිනවල ඈ සීතල නිසා උත්සන්න වූ හන්දි රුදාවකින් පෙලෙන නිසා නිතරම සිටින්නේ ජේනුකත් ඈත් සිටිනා කාමරයේය. 

මේ නව නිවස රශිඳු ගොඩනගන්නේ ඒ වනවිට ඔවුන් සිටි නිවස ඔවුනට ප්‍රමාණවත් නොවූ නිසාත් , ආර්ථික තත්ත්වය ‍තරමක් යහපත් වූ නිසාත්‍ ය. මිහිඳුකුලසූරිය පවුලෙන් පැමිණි ධනය ඒ සඳහා නොයොදවන්නට රශිඳු සිටි දැඩි තීරණයට නිර්මලී අභියෝග නොකල නිසා නිර්මලීට සිය ව්‍යාපාරයේ හැලහැප්පීම් මැද වුවද වෙනස්කම් කිහිපයක් කරන්නට සිදුවූයේ ලාභය ගැන සිතමිනි. 

කොවිඩ් වසංගතය නිසා හෝටල් මෙන්ම රූපලාවණ්‍ය ක්ශේත්‍රයද අවදානමකට ලක්වී තිබිණු බැවින් එකම විකල්පය වූයේ විදෙස්ගත අධ්‍යාපනය සඳහා වූ ආයතනයකි. එම අධ්‍යාපන ආයතනයට සම්බන්ධව උපකාර කරන අකිත්මා ඒ වනවිට ඇමරිකාවේ ස්ථීර පදිංචියට ගොස් සිටි අතර හදිසි හෘදයාබාධයකින් මියගිය හිමාල් නිසා තනිවූ දුලීකා සමඟ අකිත් සිය බිරිඳ හා ලංකාවේ සිට නිර්මලීගේ ව්‍යාපාරයට අමතරව ජීප් සඳහා වන ගරාජයක් පවත්වාගෙන යයි.

ඊට අමතරව ඔවුන් ශ්‍රී ලාංකික ප්‍රජාව ගැවසෙන ආසන්නයේ කුඩාවට පවත්වාගෙන ‍යන කෑම කඩයක්ද තරමක ආදායමක් ගෙන දුන්නේය. ඒ සියල්ලම කළමනාකරණය කරන්නේ රශිඳුගේ පාසල් කාලයේ මිතුරන් ය. 

ඉතින් මේ සියල්ලම එකම ජාලයකි.. සහෝදරත්වය , නෑකම් වලට මෙන්ම හිතවත්කම් වලටද ඒ ජාලය තුල ඇත්තේ නොමද වටිනාකමකි.

රාත්‍රී ආහාරයට මේසය සූදානම් කරන අතරතුර නිර්මලී දකින්නේ සාලය මුල්ලේ කුටු කුටු ගානා කෙල්ලන් දෙදෙනාය. නමුත් ඈ ප්‍රශ්න කරන්නට ගියේ නැත. 

" දැන් ඔය වැඩ නතර කරලා එන්න රෑට කන්න!"

ඒ කැඳවීම ගෝකුල ප්‍රධානියාගෙනි.

" මිහින් ඔයාගෙ අද බේස්බෝල් බැට් එක නැතිකරගත්ත හින්දා අද ඩෙසර්ට් හම්බෙන්නෙ නෑ! ඔයා හෙට ඒක හොයාගන්න ඕන"

" බන්ටියා ඔයා බොරුවට බෙදාගෙන විසික් කරන්න එපා කෑම අපතෙ යනව.. ටෝස්ට් එකක් විතරක් ගන්න මුලින්"

" සඳුක.. ඇති දැන් ඔය හුරතල් උනා අත්තම්මා එක්ක.. අම්මා එයාට කන්න පුලුවන් බටර් ගාගෙන නතියෙන්!"

" ලොකූ... අද මොකද උදේ ස්විමිං ගියේ නැත්තෙ? තරුකිට හෙම්බිරිස්සාව තිබ්බ හින්දා යැව්වෙ නැත්තෙ.. මම කා එක ලෑස්ති කරලා එව්වම ඇයි නොගියෙ?? අත්තම්මා තමයි මේ හුරතල් කරන්නෙ. "

තරුකිගේ මුහුණ හොර පෙනුමක් ගත්තේ ඇයිදැයි දන්නේ ඈ පමණි. හෙම්බිරිස්සාව නම් බොරුවක් නොවේ. පිහිනුම් පුහුණුවීම් සඳහා නම් නොගියේ ක්‍රිකට් තරඟයට යාම අත්‍යවශ්‍ය නිසාමය. සිය වීරකම සිහිවී ඈ සිය තරු ඇස් වලින් ජේනුකට සිනාවෙද්දීම තරහා බව මතක් වී ඔරවා ගත්තාය.

' හෙහ්.. එයා කොහොමද මාව ගණන් නොගෙන හිටියෙ?'

රෑ කෑම මේසය වෙනදාට වඩා කළබලකාරී වූයේ සති අන්තයේ සියල්ලෝම ඒකරාශි වන මොහොත නිසාය. එලෙසම නිර්මලී විසින් ජේනුකගේ ජයග්‍රහණය සමරණුවස් විශේෂ චොක්ලට් පුඩිමක් සාදා තිබුණේ එය ජේනුකගේ කැමතිම අතුරුපස නිසාය.

" තෑන්ක් නිර්!"

ජේනුක සිය කෝප්පය සෝදන්නට සින්ක් එක අසළට යද්දී ඒ අසළ හැඳි සෝදමින් උන් නිර්මලීට පැවසුවේ ඔහුගේ සුපුරුදු ආදරණීය, නිවුනු බැල්මෙනි. නිර්මලී ඔහු සිය උරයට තදකොට හිස සිම්බාය.

" ලව් යූ ජේනු.. මගේ කීකරු කොල්ලා"

නිර්මලීගේ මුවින් පිටවූයේ බරැති සුසුමකි.

ජේනුක මිහිඳුකුලසූරිය ගෝකුල බැටෑලියන් එකට එක්කාසු කරන්නට කිසිදු වෑයමක් ගතයුතු වූයේ නැත. ඔහුව ඉතා සාදරයෙන් දරුවන් සිය වැඩිමහල් සහෝදරයා ලෙස පිලිගත්තද සඳුක පමණක් අමනාප සිතක් ඇතිකරගත්තේ ඔහුගේ වීරයා හිරුක නිසා පමණි. නමුත් සඳුක සාමකාමී දරුවෙකු නිසා එය එතරම් දිගට ගියේ නැත.

ජේනුක මිහිඳුකුලසූරිය , ගෝකුල කරන්නට රශිඳුට විශේෂ අවශ්‍යතාවයක් වූයේ නැත.

' ඌට ඒ නම ලස්සනයි බේබි ගර්ල්... ජේනුක ගෝකුල කියනවට වඩා ගැම්මක් තියෙනවා ජේනුක මිහිඳුකුලසූරිය කිව්වහම.. අනික ඌ උගේ තාත්තගෙ නම වෙනස් කරනවට මගේ කැමැත්තක් නෑ. නම මොකක් උනත් ඌ මගේ ලොකු කොල්ලා '

' මම උගේ තාත්තා නෙවෙයි කියලා හිතන එකටත් මම කැමතියි. එතකොට ඌ මාත් එක්ක ගොඩක් ක්ලෝස්... ජේනුකට උඹ විතරක් නෙවෙයි.. මාත් වශී වෙලාද කොහෙද.'

රශිඳු එලෙස පවසනු ඇතැයි නිර්මලී අපේක්ෂා නොකලා නොවේ. මෙතරම් ඉක්මනින් පවසනු ඇතැයි නම් සිතුවේම නැත. නමුත් රශිඳු දුරදිග නොසිතා ගත් ඒ තීන්දුව අනාගතයේ ඇතිකළහැකි කලබැගෑනියක් ගැන කිසිවිටෙක නිර්මලී තබා ඔහුද නොසිතන්නට ඇත.

'.. ඒ උනාට මේ මැඩම් එදා ඒ කරපු වැඩේට නම් කවදාවත් සමාවක් දෙන්නෙම නෑ මම.. '

ඇස් කරකවා තමාව අඩපණ කරන්නට ඉඩක් නොදෙමින් රශිඳු එලෙස පැවසුවේ ඕනෑ නැති බැල්මක් දමමිනි.

' අන්නේ ඉතින්...  එහෙම කලේ නැතිනම් මේ කොල්ලා කොහෙද.. ඔයාගෙ කරගෙන දැන් හිටියට මහලොකුවට..'

රශිඳු ඇගේ ගෙල මත සිපුමක් තබා හිස මුදුනේ නිකට තද කරන්නේ සිනාවත් සිරකරගෙනය.

' ඉරිසියයි බං.. ඉවසගන්න බැරුව හිටියෙ... කවුද දන්නෙ එතන ගිහිල්ල උම්ම දිදී නැලෙව්වද කියලා....'

ඔහුගේ පපුව ඇගේ දසන් වලට මැදි වුවද ඒ ශක්තිමත් මස්පිඬු වලට ඒවා දැනෙන්නේ නැති තරමකි. 

'.. හපන්න එපා බං මේවා ජාතික වස්තු... පොදු දේපල.. දඩ ගහනවා අලාභහානි කලාම'

ඒ වනවිට රශිඳු ගෝකුල යනු ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනා මුල් පෙලේ පන්දු යවන්නෙකි. මේ ලොකුකම ඒ හින්දාය.

නිර්මලීට සිනාවක් නැඟී එකවරම එක මිලිනව ගියේය. ඒ බව රශිඳුට වැටහුනු නිසාදෝ ඔහු සයනයේ කෙලින් වී හිඳගෙන ඈ සිය දෙපා මතට ඇදගත්තේය.

'... අසා ගැන මට දැන් එහෙම තරහක් නෑ බේබි ගර්ල්.. මම රහත් වෙලා නෑනෙ. ජේනුකට මම ආදරෙයි.. ඌට තියෙන්නෙ ඔයාට තියෙනවා වගේ සොෆ්ට් හදවතක්.. එදා මාව තල්ලු කරලා ඔයාව ඉල්ලලා කැරළි කරපු විදියට දාලා යන්න හිත දුන්නෙම නෑ... උඹ එදා බේරුනේ ඒ කොල්ලා හින්දා.. අන්න ඒක මතක තියාගත්තොත් හොඳයි '

ඒ කතාබහ නොයෙකුත් ආකාර වලින් සත්‍ය බව නිර්මලී තේරුම්ගෙන සිටියාය. නමුත් ඒ හිත තවමත් සිටින්නේම ඒ මතයේමය.

' ඌගෙ හිත ඔයාගෙන් ගලවගන්න අසාට බැරි වෙන්න ඇති. මටම හිතාගන්න බෑ අසා මෙච්චර සෙන්ටිමෙන්ටල් කියලා'

නේහා එසේ පැවසුවේ අසලංක විසින් ලියූ දිනපොත් රැසක් නිම්සාරා ගෙනැවිත් දුන් පසුව ඒවා උඩින් පල්ලෙන් කියවාය.

' ඔන්න ඔය ටික ගිනිතියපං මෝඩි නැතිනම් රශී මෙතන නාඩගමක් නටයි'

' හැමතැනම අසා උඹ ගැන ලියල තියෙන්නෙ උන්මාද චිත්‍රා කියලා.... '

දෙදෙනාම සුසුමක් සලා ඒ පොත් ගිණිබත් කළේ නිවසේ ගිණි උඳුනට දැමීමෙනි. 

ඒ අතරතුර නේහාගේ සිත වේගයෙන් ගමන් කලේ මීට වසර ගණනාවකට පෙර අසලංක රෝහල්ගත කර නිවසට පැමිණි නිර්මලී දුටු සැනින් රංගට වූ විපර්යාසය සිහියට නැඟීය.

" නිර්! මොකද මේ බෙල්ල රතුවෙලා..? "

තමා ඒ මොහොතේ සිටියේ ඉහළ මාලයේ ඇඳුම් මාරු කරන්නට ගොසින් වුවද අමතක වූ බෑගයක් ගන්නට තමන් ආපසු එද්දී ඈට රංගගේ ඒ කලබල හඬ ඇසුනේ දරුවන්ගේ ප්‍රීති නාද අතරිනි. 

අනතුරුව නිර්මලී කියූ වචන නෑසුනද රංගගේ හඬ වරින් වර ඇසුනේ තමා වික්ශිප්ත කරවමිනි.

' ඉන්න මම ඌට කෝල් එකක් දෙන්න.. ( පැහැදිලි නැත) නෑ නෑ එහෙම බෑ'

' ඔයා හැම එකකටම බුරුල වැඩී නිර්! '

' ( පැහැදිලි නැත) එච්චර සැරට? ඌට මම අද නම්... ( නිර්මලී මොනවා හෝ කියන මුත් පැහැදිලි නැත) නිර්.. ඔයා දන්නෙ නෑ.. චඃ.. '

රංග එතරම් කලබල වන්නේ කුමක් සඳහාද? හේතුව සහ සියල්ල එකිනෙක ඇමිණී යන්නට එතරම් කාලයක් ගත නොවුනේ ඊට දවස් කීපයකට පෙර සෑහෙන කාලයකට පසුව ඔහුගේ සමුගැනීමේ සාදයේදී , කලෙක සමීප පාසල් මිතුරෙකුව සිට පසුව කාර්‍යාල සගයෙකු බවට පත්වූ මිලින්ද හමුවූ මොහොතේ, ඔවුන් මධුවිත තොලගාන තැනින් ඉවතට ඇවිද යනවාත් සමඟම ඇතිවූ කතාබහ අහම්බෙන් ඇගේ සවන් වැකෙද්දීය.

' විද්දෙ හාවට.. වැදුනේ පඳුරට නේද මචං?'

' හෙහ්.. හිතුවේ වත් නෑ බං ඒකිට ඒ වෙනකොට කොල්ලෙක් ඇති කියලා.. හා පැටියෙක් වගේ ඒ කාලෙ'

තමා ගමන අතරමඟ නවතා සිටි තැනම මුවා වූයේ කුමන අදහසින්ද? එය දෙවියන් පමණක් දනී..

'.. ඒකි උන්මාද චිත්‍රා වගේ එක්ටැම්ගේක හිටියේ බං.. මට අච්චර උදව්ව් කරපු අනූජ අය්යට බලු වැඩක් කරන්න මට බෑනෙ. ඊටත්.. ඒකි අනූජ මත්තෙමයි'

එපමණකි! 

තමා වටා බොහෝ දේ අළුපාට වී යනවා දැනුණ බවක් මතකය. තමාගේ ප්‍රාණසම මිතුරියට සිය සැමියාගේ හිත පළමුව ගිය බව දැනගන්නා විට විවාහ දිවියට වසර විසි දෙකක් ගතවී හමාරය. 

'උඹ ඉතින් නේහාගෙ කැමැත්ත අරගෙන දෙන්න කිව්වෙ නිර්මලීට ටෝක් කරන්න ඕන නිසානෙ. ( මද සිනාවක් සමඟින්) ඒ උනත් මේ ගෑනි උඹට ලක් එක ගෙනාව බං.. අංකල් කාරයා බරයිනෙ'

සුසුමක් සළා හිරාන් සිය කඩ ඉම් ප්‍රකාශය නිකුත් කළේය.

' නේහා හොඳ වයිෆ් කෙනෙක් මචං. කවදාවත් නිර් ගැන මාත් එක්ක සැක කලේ වත් නෑ. මාත් කවදාවත් නිර්මලී ගැන මගේ ෆීලිංස් පෙන්නලා නෑ. නේහාගෙ විස්වාසය නැති කරගන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි. අංකල්ගෙ බර නෙවෙයි මචං.. මම මෙතන ඉන්නේ අනූජ ගමනායක හින්දා.. ඒ අතිනුත් මම විශ්වාසය කඩන්නෙ නෑ'

එදින රාත්‍රිය ඉතා දිගු වූවත් ස්වභාවයෙන්ම කිසිවක් සිතේ තබාගෙන හිඳ පුරුද්දක් නොමැති වුවත් ඈ ඒ රහස සදාකාලිකව සිය ලයේ රඳවා ගත්තේ කිසිදිනෙක ඒ ගැන නිර්මලීගෙන් නොවිමසන්නටමය.

පුදුමය කියන්නේ ඈ ඔහුටද උන්මාද චිත්‍රාවක් වීමය!

------------------------------------------------------

ප්‍රේමය.. අවධානය සහ රැකවරණය යන තුනම ලබන්නන් ලොව සිටින්නේ ඉතා අල්ප වශයෙනි. ඔබ කෙතරම් වැඩිහිටිද හෝ කුඩාද කියා නිර්නායකයන් ඒවාට අදාළ නොවේ. 

ත්‍රිකෝණයක පාද තුනක් සේ ඒවා එකිනෙක හා යාවී තිබුණද එකිනෙක හා ගැටෙන්නේය. පෙරළි කරන්නේය. වැඩියෙන්ම ඒ ගතිය ගෝකුල ලේ වලම ලියා ඇති ලෙසකි.

නේහාද සිය පවුල සමඟ නවසීලන්තයේ පදිංචියට පැමිණියේ දරුවන් දෙදෙනා ඔවුන්ගේ උසස් අධ්‍යාපනය සඳහා එය පළමු කැමැත්ත ලෙස තෝරාගැනීමත් සමඟය. රංගගේ මව ඔවුන් හා එක්වන්නේ ඒ වනවිට ඈ තනිවම සිටිනා බැවිනි.

නිර්මලීගේ ව්‍යාපාර ඈ සුපුරුදු පරිදි දුරස්ථව පාලනය කල අතර ඒවා රටේ ආර්ථික තත්ත්වය මත යාන්තම් ඇදගෙන ගියා පමණක් වුවද නිර්මලී ඒ සඳහා කැපවී සිටියාය.

' බේබි ගර්ල් ඔය ඇති අද ඩෙබිඩ් ක්‍රෙඩිට් හැදුව.. අද මගේ නිවාඩු දවස.. බීච් යන්න ඕන!'

' අම්මි අද මගේ මැච් එක බලන්න එනව නේ?'

' දුව අපේ එකාට කියන්න එපා මම අද පන්සලේ අද විසි බෝධිපූජාවට යන්න ඕන.. කමක් නෑ නේ?'

ඉතින් ඒ අලාබ වලට වඩා ඈ අවශ්‍ය වෙනත් ගිණුම් ඇත. ඒවා මදිපාඩු වුවහොත් තාත්තාට හපන් වූ තවත් හයක් එකවාගේම ගේමට සෙට් වෙයි. 

නමුත් එක පොදියට වැටී එකිනෙකාට කෝලිත්තම් කරමින් හෝරාවක් හෝ ගෙවන්නට නොමැති වුවහොත් ඈටද යකා වැහෙයි.

එවිට ඒ ආතුරයාට ප්‍රතිකාර කරන්නට නම් පහසු නොවේ.

-------------------------------------------------

බණ වරය අවසානයේ මාලතී සහ රංගගේ මව එකිනෙකා දෙස බැලුවේ එතැනින් පලා යන්නට එකිනෙකා සමඟ නිහඬවම එකඟ වූවා සේය.

දෙමිතුරියන් සෙමෙන් සෙමෙන් බෝ මළුවේ සිට මාර්ගය දක්වා ඇවිද ආවේ කිසිදු වචනයක් කතා නොකරමය. ඔවුන් දෙදෙනා මේ හමුවන්නේ වසර ගණනාවකට පසුව නිසා අටවිසි බෝධිපූජාවට අනතුරුව කතා කරන්නට ආ දේවල් එමටය.

" රෝසි ඔයා මෙහෙ ආව එක ලොකු දෙයක්... පන්සලේ වැඩවලට මට හරියට යන්න කෙනෙක් නැතුව හරි අමාරුවෙන් මාත් හිටියේ.."

රොසෙටා සිනාසෙන්නේ සිය පැරණි මිතුරිය හවුවේ තමාගේ කටකාරකම යලි ඉස්මතුවීම ගැන සිනාසෙමිනි. සමහර බිජු කාන්තාරයේ වසර ගණන් තැබූවද මියෙන්නේ නැත. අවශ්‍ය වන්නේ එක ජල බිංදුවක් පමණි. 

මීට වසර ගණනාවකට පෙර තරුණ කොල්ලෙකුගේ මවක් ලෙස ඈට කියූ දේවල්! ඔවුන් දෙදෙනා අසල්වාසීන් ලෙස කාලයක් ආශ්‍රය කර තිබුනු අතර වසර දහතුනක පරතරයක් තිබුණද එය ඉතා සමීප මිතුදමක් වූයේ දෙදෙනාගේම හිත බැඳුනේ හමුදා නිලධාරින් සමඟ නිසා පමණක් නොවේ. දෙදෙනාටම ලැබුනේ පුතුන් වීම නිසාත්ය. 

මාලතී ගෝකුල සිය පුත්‍රයාට උපත දෙනවිට ලෝකයෙන් වසන්වී සිටියද, ඉන් වසර කීපයකට පසුව දෙදෙනා නැවත හමුවන්නේ මාලතී රැකියාව කල කුඩා පොත් සාප්පුවට ඈ අහම්බෙන් යාමත් සමඟය. ඒ වනවිට රොසෙටා සිය පුතා විසින් නොනවත්වා වර්ණනා කරනා කැරළි කොණ්ඩයක් සහිත බෝනික්කි කෙල්ල ගැන මාලතී හා දොඩවන්නේ ඒ පැරණි සමීප ලෙංගතු බවටය. 

නමුත් සිදුවී තිබුණේ, සිය පුත්‍රයාගේ හිත ගත් යුවතිය ඒ වනවිටත් විවාපත් වී ඇති බව දැනගැනීමත් ; ඊටත් වඩා ඇගේ යෙහෙළිය රංගට ප්‍රේමය ප්‍රකාශ කිරීමත් යන අපබ්‍රංසය සිදුවීමය.

' ඒකි ශෝක් කෙල්ල මාලි.. මට පුතා පින්තූරත් පෙන්නුවා.. ඉටි රූපයක් වගේ. අපේ ගෙදර ආවා දවසක් පාඩම් වැඩ වලට ඕන නෝට්ස් ඉල්ලගන්න කියලා. හරි හොඳ ගතිගුණ.. ඒත් ඉතින් හරි ගියේ නෑනෙ..  අපේ කොල්ලා ෆුල් අප්සෙට් ගියා.. ඒත් මොකක් කරන්නද... පතාගෙන ආපු හැටිනේ..'

දෙදෙනා හමුවූ අවසන් දිනයේ කතා වූයේ එලෙසයි. මාලතී සිය පුත්‍රයා සමඟ පදිංචිය මාරු කරන්නේ ඔහුගේ නව පාසල සහ පුහුණුවීම් නිසා වූ අතර මිතුරියන් දෙදෙනා එකිනෙකා යලිත් දකින්නේ රශිඳුගේ විවාහ උත්සවය දිනයේ දඟකාර රශිඳු ඈව කරමතින් ගෙනැවිත් බිමින් තබද්දීය.

' මාලි?? ඔයා.. ??? මේ??'

මාලතී ගෝකුල විසල් වූ දැසින් මදක් වික්ශිප්තව බලා සිටියේ තමන් එතෙක් කිසි විටෙක අපේක්ෂා නොකල රුවකි.

'රෝසි?? ඔයා??'

' අනේ දෙවියනේ.. මේ ඔයාගෙ පුතාද මාලි?'

තමාගේ පුතුගේ සිහින කුමරිය තමාගේ හොඳම මිතුරියකගේ පුතු ලබා ගැනීම දෛවයේ කුමන අහම්බයක්ද?

තැල්ල තියන්නට මවක් නොමැතිව ඈගේ මුහුණේ ඇඳුනු දුක්බර පෙනුම දරාගන්නට තමාට නොහැකි වූ අයුරු! තැල්ල තබා තනිවම පසෙකට වී තමා හැඬූ අයුරු කා සමඟ බෙදාගන්නද? 

" ඇත්තටම ‍රෝසි.. උඹව කලින් හම්බුනා නම් මේ කසාදෙ කරන්න දෙන්නෙම නෑ මම"

රොසෙටා සිය වියපත් මුහුණ සිනාවකින් ඔපවත් කරන්නේ මාලතී එලෙස කියන්නේ නිකමට වන්නට නොහැකි බව දැන දැනමය.

"ඒ ඇයි ?  "

" අපේ කොල්ලා උඹේ එකා එක්ක රණ්ඩු කරගන්නවා නැතිනම්.. මූ තනිකරම රොහාන් තමයි එතකොට.. මතකනේ ඔයාගෙ හස්බන්ඩ් සිංහල අවුරුද්දේ ඉසතෙල් ගාලා වෙච්ච දේ"

වියපත් වුවද ඒ මතක බොහෝ සුන්දරය. 

" නෑ මාලි.. ඉස්සර කොල්ලො වගේ නෙවෙයි දැන්.. පොඩ්ඩ ඇතිනම් මරාගන්නෙ නෑ. රංග කොච්චර ඒ ගෙදර ආපු ගියපු කෙනෙක්ද? ඒ කෙල්ලගෙ හැම දුකක්ම දැක්ක කෙනෙක්නෙ... නරක හිතක් නෑ උගේ.. නේහා දුවත් නරක නෑ. එකම දේ හිතට එන හැම එකම කියනවා. හැබැයි හිතේ තියාගෙන නෑ. අපේ පුතාට එදා වගේම ආදරෙයි.  ඒ ඇතිනෙ කියලා මම හිත හදාගත්තා මාලි.. "

මාලතීට සුසුමක් සැලුනේ ඉබේටමය.

" නිර්මලී  දුව නම් රත්තරන් තමයි.. ඒත් අපේ කොල්ලගෙ හොඳම කාලේ.. වයස නොපෙනුනාට.. "

මාලතී ඉතිරිය සම්පූර්ණ නොකලාට රොසෙටා එය දනී.

බැඳීම්... 

බැඳීම්වල ස්වභාවය එලෙසය. ඒවා සමහර සමාජ සීමා අතික්‍රමණය කරනු ඇත. නමුත් ස්වභාවධර්මය අතික්‍රමණය කළ නොහැකි වනු ඇත. 

තම පුතු එම ස්වභාවධර්මය හමුවේ දිනෙක අසරණ වනු ඇතිද?

ඒවා කාටනම් කිවහැකිද?

-------------------------------------------------

' අද මොකද මේ ඇඳුම් හැමතැනම දාලා ? තාත්තත් එකයි පුතත් එකයි.. ක්‍රිකට් බඩු දානවද බෙඩ් රූම් එකේ!!?? '

මේ නම් වෙන හේතුවකටය. තරඟය අවසානයේ අද ඉන්දියානු කෙල්ලක් රශිඳු සමඟ සෙල්ෆියක් ගෙන  දුන් තරහා පිරිමහන්නට නොහැකිවය.

" ආ හරි හරි මැඩම්.. එන්න බලන්න බෙඩ් රූම් එකේ දාන ඒව පෙන්නන්න"

ගස්සාගෙන දොර අසළින් යද්දී රශිඳු ඇගේ බඳ වටා අත යවා කාමරයට අදින්නේ සිනාසෙමිනි.

" එපා ඕන නෑ! මට දැන් වැඩ තියෙනවා "

" මේ රෑ දහයට මොනාද මේ මැඩම්ට තියෙන වැඩ?"

ගෙල ඔස්සේ එන සුසුම් සර වලට නතු නොවෙන්නට නිර්මලී ඒ මේ අත දැඟලුවාය. 

' කෙට්ටුවෙලා මගේ කෙල්ල ආයෙත්! ශුවර් එකට විටමින් එක බොන්න නැතුව ඇති පණ්ඩිතකමට'

" අනේ රශී එපා දැන් ජේනුක පාඩම් කරන වෙලාව.. ඔයාගෙ මේහ්.."

" කවුද කිව්වෙ මෙහෙ කරනවා කියලා.... "

කියන්නටත් පෙර රශිඳු ඇගේ අතත් අල්ලාගෙන නිදන කාමරයේ ඇතුලත දොරෙන් මැද මිදුලට පිවිස දිව ගියේ ඈ නොසිතූ තැනකටයි. 

ජීප් රථයේ පසුපස ආසනයට පැන වහා අගුල දැමූ රශිඳු ඈ ආසනයේ කොනටම කොට තදකලේ දඟකාර ලෙස සිනාසෙමින් යටිතොල සපමිනි.

".. අද J.S"

නිර්මලීට ඊට මහ හඬින් සිනාවක් නැඟුනේ මේ ජීප් රථය මිලට ගන්නට ගිය සැනින් මේ පිස්සා කියූ ඕනානැති කතාව සිහිවීමෙනි.

' ලංකාවෙන් ආවට පස්සෙම හම්බුනේ නැනෙ බං එහෙම ඉඩ තියෙන වාහනයක්'

ඒ කියන්නේ මොනාදැයි ඈට ඒ මොහොතේ එකවරම සිහියට ආවේ නැති බැවින් ඔහු මුල් කොටස කියා ඉතිරිය කනට කොට මිමිණුවේ නිර්මලී ජම්බු ගෙඩියක් සේ රතුවී යද්දීය.

' ඒ කියන්නෙ බං මෙන්න මෙතන හොඳට ඉඩ තියෙන්න ඕන මට... ******* ******'

ඒ පරීක්ෂණය සමත් වූ මේ ජීප් රථය රශිඳුගේ ප්‍රියතම වාහනය වන්නේ එලෙසය.

"ලංකාවෙ වාහනේ නම් ඒ ඒ ආකාරයට අකිතයා හොඳට පාවිච්චි කරනව කියලා ආරංචියි!"

" අන්නේ රශී.. මොනාද මේ කියන කතා ඒ පොඩි එකාට?? "

නිර්මලී ඔහුව කොනිත්තා කෑ ගැසුවේ රශිඳු ඇගේ දෑතම අල්ලාගෙන සිනාසෙද්දීය.

" පොඩි?? හොඳ පොඩි! ඔයාගෙ කුක්කු බබා වෙවී හිටියා නම් හුලං තමයි ඌට.. උඹ මේ ළමයි ටික ඔක්කොම නරක් කරලා තියෙන්නෙ.. "

" අන්නේ.. මම මොනාද කලේ..  මෙයානෙ මේ ඕන නැති ඒව පොඩි උන්ට කියන්නෙ"

" ඇති දැන් රණ්ඩු උනා.. "

ඉතින් ඇවිලෙන්නේ එතැනින් ඇරඹෙන ප්‍රේමය පමණකි. 

------------------------------------------

උල්පතකින් කිසිදා ඔබ අසා තිබෙනවාද ඔබ මීට කලින් ගලාගොස් අහසින් වැටුණාද කියා? 

එලෙසම ජීවිතය හැම තත්පරයම වෙනස් දේ අපකරා රැගෙන එනු ඇත. මේ නිවසේ අද මේ තිබෙන කාලගෝට්ටිය දැවැන්ත දබර බවට පත්වනු හෝ කම්මුල් හිරි වැටෙනතුරු සිනාසෙන මොහොතවල් බවට පරිවර්තනය වනු ඇත. 

අප වෙනුවෙන් ලියවී ඇත්තේ කුමක්දැයි කිසිවෙකුට කිසිම ඉඟියක් නොලැබෙනු ඇත. මේසා දිගු ගමනක් එන්නට තරම් දිරියක් සහ උවමනාවක් තමාට තිබුනාද කියා නිර්මලී ගමනායක දැන උන්නේ නැත. අනූජගේ අහිමිවීමෙන් පසුව තමා තවදුරටත් ජීවිතේ වූයේ ඇයිද පවා ඈ තමාගෙන්ම විමසූ අවස්ථා එමට තිබිණ. පිරිමින්ගේ ඇසට හසුවන ගැහණියක් ලෙස කොල්ලෑව අහිමිව තෙරක් නොපෙනෙන ගඟක අතරමංව සිටි තමා දැන් සිටිනා කෙම්බිම කරා ආ අයුරු සිහිකිරීම පවා විමතිය දනවයි.

මගේ ජීවිතේ පහන් තරුව උනේ ඔයයි රශී....

නමුත්.. තවමත් ඈ නොදත් හෝ ඈට නොදැනෙන බොහෝ දේ සිදුවෙමින් පවතින්නට හැක. 

ආදරය ජීවිතයට අවශ්‍ය වන්නේ එනිසාය. සර්වසම්පූර්ණ මිනිසුන් හෝ ගැහැණුන් සිටින්නේ කොහින්ද? එකිනෙකා කෙරෙහි වූ ආකර්ෂණීය බව ශක්තිමත් පදනමක් වන්නට හැකි නමුත් ඒ මත මන්දිර තැනිය හැකි නොවේ. 

සැන්දෑ අහසේ තරු ගනිමින් සිය පෙම්මුල්ලේ සිට ඇගේ උණුසුම විඳින රශිඳු ගෝකුලට පතන්නට ඇත්තේ එකම පැතුමක් පමණි. එය ඔහු ඇගේ දෙනෙතට එබී ඔහු සැමදා මත් කරවන ඇගේ දෑස් හා දෙතොල් අතර එහා මෙහා වන බැල්ම අවසානයේ දෙන බඩගිනි හාදුවේ අවසන් පොරොන්දුවයි.

' බේබි ගර්ල්... මගේ නේද? '

~~~~~~~~~~~~~~~~~~~ සමාප්තයි ~~~~~~~~~~~~~~~~~~~

අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක
අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න
නුඹ නැතිදාට මේ ජීවන මඟ යන්න
මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න

මුහුකුරු සෙනෙහසින් අද සරසන දිවිය
පෙම්ලොව දුටුව නුඹ දැයි සිතෙනා තරම
රිදුනත් නුඹට හසරැල් පුදලා මෙමට
මුව මත ඇඳෙන නුඹෙ පෙම්වත් බව අරුම

පැතුවත් තනිව නික්මෙන්නට නුඹට පෙර
මම නැති දාක නපුරක් නුඹ හට වේද
තුන්සිත දැවි හළුවෙයි එය සිතන සද
හැකිනම් එක්ව යන්නට පෙර පිනකි එය



ප.ලි : කොටස් 90 කින් යුතු උන්මාද චිත්‍රාදෝ මා කතාව මේ කොටසින් නිමවෙනවා. මෙතෙක් දිනක් එය කියවූ සැමට ගොඩක් ස්තූතියි. 

පසුවදන සමඟ හමුවෙමු. 


4 comments:

  1. දුකයි........ඉවර වුනාට
    සතුටුයි......... මෙහෙම ඉවර වුනාට
    ඔයාට පිං.......අපි වෙනුවෙන් නොවරද්දා ලිව්වට
    ගොඩාක් ස්තුතියි අපේ comments වලට තරහ වෙලා නොලියා නොහිටියට
    අපේ කියවන පවස නිවන එකට වෙනම පිං ඈ
    මටත් පිටපතක් ඕනෑ...මුල ඉඳන් ආයෙ කියවන්ට

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මගේ කතාව මුල සිට අගටම කියෙව්වට. සමහරු හැලුනා; හේතුව කුමක් උනත් මාව විස්වාස කරමින් කියෙව්වාට ගොඩක් ස්තුතියි. පොතක් කරනකොට දැනුවත් කරන්නම්. හමුවෙමු.

      Delete
  2. හැමදාම කමෙන්ට් නොකරට මුල ඉඳන් කියෙව්වා මමත් නොවරදවාම, ඉවර උන එකට දුකයි තමයි.... එත් ලබන පොත් ප්‍රදර්ශනය දිහාවේ පොත කියවන්න පුලුවන් වෙයි නේද අපට???

    සමහර කොටස් කියවන අපේ හාට් බීට් එක නවත්තන්න තරම් ප්‍රබලයි... තවත් ඒවා ට අපේ ඇස් වලට කඳුලු ගේන්නත් පුලුවන් උණා.... ඒ වගේම ඈලි මෑලි කොටසුත් තිබ්බා... ඒ ඔක්කොම එකතු වෙලා තමයි මේ කතාව මේතරම් ලස්සන උණේ කියල මට හිතෙන්නේ....

    කතාවෙ නම් වෙනස් කරපු වෙලාවෙ මට මාර අවුල් ගියා, කියවන මට එහෙම නම් ලියපු ඔයාට කොහොම ඇති ද, මම නම් චරිත මවා ගන්නේ නමත් එක්ක.....

    ඔයාගේ මහන්සියට ස්තූති කරන්න විදියක් මට හිතා ගන්න බැහැ....

    තවත් අලුත් කතාවකින් හම්බවෙමු නේද ලිඛී??

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අවසානය වෙනකල් රැඳිලා හිටපු එකට වගේම.. කමෙන්ට් එකක් දාපු එකට. මාතාව මොකක් උනත් මගෙත් එක්ක හිටපු කීප දෙනාගෙන් කෙනෙක් ඔයා. කමෙන්ට් නැති උනාම නම් දුක හිතුනා තමයි. නමුත් මම දිගටම ලිව්වා. ඔව් මම දන්නවා සමහර කොටස් කම්මැලි කියල. අභව්‍ය වෙනවානේ පිටුවෙන් පිටුව බෝම්බ ගහන්න ගියාම. නම් වෙනස් කිරීම නම් මටත් තදබල shock එකක්... පොත බලමු යන විදියට කරන්න

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...