Sunday, September 4, 2022

358: උන්මාද චිත්‍රාදෝ මා 89

 


" සුදුපුතා..  කොහෙද යන්නෙ?? මේ කෙල්ලත් අඬනවා"

පසුපසින් ඇසෙන සිය මවගේ හඬ ගණනකට නොගෙන රශිඳු වේගයෙන් අඩි තබමින් ගොස් රථයට නඟිද්දී නිවස තුලින් තරුකිගේ හඬ වඩා උස්ව නැඟුනේ ඔහු දුර්වල කරමිනි.

" පච්චී..... යන්නෙපා..."

ඉතින් කොහොමද යන්නේ? මද වේලාවක් දෑස වසාගෙන හදවත තදකොටගත් රශිඳු වහා රිය පනගන්වා වේගයෙන් එය පසුපසට ගත්තේ නිවසේ දොරටුව දෙසවත් නොබලමිනි. තරුකිගේ හැඬීම හදවත මධ්‍යයේ පිහි පාරක්ව පතිතවද්දී පවා ඔහු රථය පාරට ගෙන වේගයෙන් පදවාගෙන ගියේ සැර දමමිනි.

වාහනයට වඩා වේගයෙන් සැර දමනා සිත කෙතරම් වේගයක් ගෙනගියාදැයි ඔහුටම නිනන්වක් නැතිවද සිය නිවසට කිලෝමීටර් බාගයක් දුරින් වූ නිවසක මාර්ගය අසළ නතර වූයේ යාන්ත්‍රිකවමය. 

මෑතකදී තීන්ත ගා , මිදුල සකසා තිබුනු ඒ නිවසේ පසෙක තිබුනු ගසක පමණක් මල් පිපී තිබුනු අතර එහි සෙවනේ කඳුකර පාපැදියක් ගාල්කොට තිබිණ. නිවස තුල කවුරුන් හෝ එහා මෙහා යනු තිර රෙදි වලින් ආවරණය කොට නොතිබුනු සාලයේ කොටසකින් දුටු නිසා රශිඳු ඒ වේගයෙන්ම රථයෙන් බැස වේගයෙන් පියවර තබමින් ලී පියගැට තරණය කර ගොස් දොර සීනුව නාද කලේ කලබලයෙනි.

එතෙක් නිවස තුලින් ආ කතා බහ තත්පර කීපයක් නිහඬව ගොස් , ඉනිදු තත්පර කීපයකට පසුව දොර විවර වෙද්දී රශිඳු ඉදිරියේ සිටගෙන සිටියේ ඔහු අපේක්ෂා කල රුව නොවේ.

" H@lly s&it!!..."

දනුකගේ විවර වූ මුවින් ඉබේම එසේ පිටවූයේ තමාගේ ප්‍රියතම වූ ක්‍රිකට් තරුව රකුසු මුහුණක් මවාගෙන සිය මස්සිනාගේ නිවසේ දොරකඩ අසළින් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ නිසාමය.

" මම රශිඳු.. රශිඳු ගෝකුල.. මට කතාකරන්න ඕන අසලංකට!"

ස්වංක්‍රීය තුවක්කුවකින් පිටවන වෙඩි උණ්ඩ මෙන් සිය හිටපු ක්‍රීඩා තරුව එසේ පවසද්දී දනුකට දැනෙන්නේ මේ නම් සිය මස්සිනාගේ නරකම දවස බවයි.

------------------------------------------------------

ජේනුක හෙවත් ජෙම් තීරණාත්මක බැල්මකින් යුතුව නිර්මලී දෙස බලා සිටියේ පිලිතුරක් අපේක්ෂාවෙනි. 

" ජේනු.. " 

" මට ජෙම් කියන්න ! මම තවදුරටත් ජේනු නෙවෙයි නිර්!! "

ජේනුකගේ වචන එන්න එන්නම රළු වී ඇති සෙයකි. ඔහු ඉල්ලන්නේ තමාට ඉටුකලහැකි දෙයක් නොවේ. ආසනයෙන් නැඟිට ඉදිරියට යන්නට හදන ජේනුක අල්ලාගන්නට උත්සහ කළද ඔහු ඒ අත ගසා දමා සාප්පු සංකීර්ණයේ මැද පිහිටි බිත්තියෙන් පහළ පෙනෙන දැකුම්කළු ජල රටාව දෙස බලා සිටියේ දෑතම සාක්කුවේ ලාගනිමිනි.

" ජෙම්.. මේ අහන්න දරුවෝ.."

" ඒ ගැන ආයෙ කියන්න දෙයක් නෑ නිර්.. ඔයාට මාව ගෙනියන්න බැරිනම් මම හොස්ටල් ‍යනවා. හෙට කොහොමත් මම යන්න ඉන්නෙ"

" ජෙම්! හෙට ඔයාගෙ ඩඩා හොස්පිට්ල් ඇඩ්මිට් කරනවා.. ඔයා.. "

" නෑ.. බැහැ.. මට ඉන්න බෑ.. මට ඩඩා එක්ක ඉන්න ඕනෙකමක් නැහැ. මම එයාට වෛර කරනවා. කවදාවත් සමාවක් දෙන්නෙ නෑ. එයා දන්නව මගේ අම්මා කවුද කියලා.  මට ඒක කියන්නෙ නෑ.. එයා මට මගේ අම්මව නැතිකලා. මම හොඳටම දන්නව මගේ අම්ම අසේකා නෙවෙයි කියලා.  එයා මට බොරු කිව්ව. හැමදාම බොරු කිව්ව. දැනුත් කියන්නෙ බොරු..! වංචාකාරයෙක් මගේ ඩඩා!! මට එයාව පේන්න බෑ"

හුස්මක් ගන්නේවත් නොමැතිව කියවාගෙන ගිය ජේනුක සිය ලයට තදකොට ගත් නිර්මලී සුපුරුදු පරිදි ' ෂ්...' කියමින් ඔහු දෙපසට වනමින් නලවන සැනින් ජේනුකට එක්තරා මුහුණක් හදවත තුල ඇඳී - මැකී ගියේය. ඈටද ඇත්තේ ඒ සුවපත් කරවන ගුණයයි.

එකවරම සිය මුවට ආ වදන් ජේනුක වලකා ගත්තේ මේ එයට සුදුසු නොවන නිසාය. පෙර දිනයේදී නිර්මලීගේ දරුවන් කෙතරම් සතුටින් සිටියාද? තමාගේ සිත එකවරම සතුටින්ද දුකින්ද බරවී ගිය බව සිහිවී ඔහුගේ දෑස් එකවරම තෙත්වී ගියේය.

' ඇයි බැරි නිර්ට මාව ගෙනියන්න? ඒ වගේ මාත් එක්ක සෙල්ලම් කරන තාත්තෙක්! ඒ අංකල් ඒ මල්ලිලා එක්ක සෙල්ලම් කරනව.. ඒ ඔක්කොටම වඩා අර තරුකිගෙ තරු ඇස්! ලස්සන කොණ්ඩේ.. හැමවෙලේම මට එයා ගාව ගැවසෙන්නම හිතෙන තරම් හුරතල් නංගියෙක් එයා.. මට පුලුවන් එයාව බලාගන්න..'

" ජෙම්.. ඔයා දන්නවට වඩා ගොඩාරියක් ඔයාගෙ ඩඩා ඔයාට ආදරෙයි.. එයා ඒක පෙන්නන්න දන්නෙ නෑ..  ඒක එයාගෙ වරදක් නෙවෙයි. එයා ඉන්නේ අසනීපෙන්. එයාට ඔයාගෙ ආදරේ ඕන.. මට ඔයා පොරොන්දු උනා සතියක් ඉන්නවා කියලා ඔය ගෙදර.. ඔයා ඒ පොරොන්දුව කඩන්නෙ නෑ කියලා මම දන්නව.. ජෙම්! යුව ඩඩා නීඩ්ස් යූ..."

මොහොතකට දෙදෙනාගේම ඇස් එකිනෙක යාවී ගියේ නිර්මලීගේ ඉල්ලීම තම සිත තුල ඊයම් බරුවක් සේ දැනෙන බව ජේනුකගේ මොළය විසින් රතු එළි දල්වද්දීය.

"..... ඔයා හොස්ටල් ‍යන්න එපා. ඒක ලොකු වේදනාවක් ඩඩාට.. එයා.. එයා ගොඩක් දේවල්.."

" නිර්.."

නිර්මලීගේ කියවිල්ලට බාධා කරමින් ජේනුක මිහිඳුකුලසූරිය සිය කඩඉම් පැනය ඉදිරිපත් කළේය.

".... ඩඩා ඒ හැමදේටම වඩා ඔයාට නේද නිර් ආදරේ කලේ?"

තමා ඊට දියයුතු පිලිතුරක් ගැන එකවරම මොළයට නොපැමිණීම නිසා නිර්මලී මදක් කල්පනාවට වැටුණාය.

---------------------------------------------

"  අක්කා..... ඒකට කමක් නෑ.. අපි දෙන්නට ටිකක් කතාකරන්න ඕන.. රශිඳු මම හොඳටම දන්නව.."

තවදුරටත් සැකසහිත බැල්මෙන් යුතුව සිය සොයුරාට ඔරවාගෙන සිටිනා දේහධාරී තරුණයා දෙස බලාසිටිනා නිම්සාරා දෙස බැලූ අසලංක පැටලෙන දිවෙන් යුතුව පවසද්දී දනුක ඇගේ අතින් ඇද හිසින් ඉවත් වන ලෙස පැවසුවේය.

නිම්සාරා තවමත් සිටියේ සිය සොහොයුරා ගැන ඇසූ පුවතින් කම්පිතවය. ඔහු කිසිවක් ඈට නොපවසා සියල්ල තීරණය කොට ඇත. මේ සියල්ලට හේතුව අසලංක උමතුවෙන් මෙන් අදහන මේ ගැහැණියයි. ඊටත් මේ දැන් හෙනයක් සේ කඩාපාත්වී සිටින්නේ ඇගේ සැමියායි!

' ඒ ගෑණිව ඉස්සරහට කරගෙන ඔක්කොම අරගෙන... දැන් එනව අපිට ගොරවන්න! මල්ලිගෙ මේ පිස්සු වැඩ තමයි මේ ඔක්කොටම හේතුව!! '

ඇගේ එක අර්ධයක් කෝපයෙන් වෙව්ලයි. 

' පිස්සු නැතුව ඉන්න සාරා.. මිසිස් ගෝකුලගෙ හොටෙල් එකත් පාඩු වෙලා විකිණෙන ගානට ආවා. අසාගෙන් සල්ලි ගත්තා නම් එහෙම වෙනවද? ජේනුගෙ කස්ටඩි එක එයාට දෙන එකේ කිසි වැරැද්දක් පේන්න නෑ. 

ඔයාම දැක්කනෙ කොල්ලා නිර්ට තියෙන ඇටෑච්මන්ට් එක!   ඔයාගෙ අම්මගෙ බහුබූත වගේ මේ කොල්ලට මොන ඉනාවක් දෙන්නද? ඉනාව තමයි ආදරේ.. පොඩි එකෙක් උනත් ඒක ඌට දැනෙනවා.. ඔයාගෙ මල්ලි ඒ ගෑනි පස්සෙන් හිටියා කියලා ඒ ගෑනි මොකක් කරන්නද? අසා කියන්නෙත් උපාසකයෙක් නෙවෙයි නේ'

දනුක කියූ වචන වලින් කිසිවක් අසත්‍ය නොවන බව ඈට සිතේ. තමන්ගේ සොහොයුරාගේ හපන්කම් ගැන ඈ දන්නේ නැත. දනුක ඒ ගැන දනිතත් ඒවා ගෑනුන්ට කීමෙන් අපහසුතාවට පත්වන්නේ තවත් ගැහැණියක් පමණක් යයි සිතා ඒ ගැන ඈට පැවසුවේ නැත. ඈට ඇත්තේ ජේනුකගේ මුවින් නිර්මලීගේ වර්ණනාව ඇසීමට සිදුවූ ඊර්ශ්‍යාවක් වන්නට ඇත. 

නිම්සාරා බලෙන් මෙන් පිටත කොරිඩෝවට රැගෙන ගිය දනුක ඈ සිය උරයට බර වෙමින් හොටු පෙරාගෙන කියනා දුක අසා සිටියේ සුපුරුදු ඉවසීමෙනි. අසලංක යනු පවුලේ කොඳුනාරටියයි. නිම්සාරා ශිෂ්‍යත්ව වලින් අධ්‍යාපනය සඳහා විදෙස් ගතවූවද ඇගේ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය තනිකරම දුක්බර වූයේ පියාගේ අභාවය නිසා ඇතුවූ ආර්ථික සහ මානසික පීඩා නිසාය. 

අසලංක සිය අධ්‍යාපනය අහිමි කරගනිමින් පවුලේ බර කරටගෙන ඔවුන් අද මේ සිටින තත්ත්වයට එන්නට දැරූ වෙහෙස ගැන ඔහුද අසලංකට ගෞරව කලේය. දියුණුවීමේ පිපාසයෙන් පෙළුනු, අනුකම්පාවිරහිත ස්වාමියෙකු වූ ඔහු අද සියල්ල අතහැර දමා ඇත. 

ජීවිතය සහ දෛවය යනු එවන් සූදු ක්‍රීඩාවකි. විටෙක නොසිතූ නොවිරූ සම්පත් මවා හදිසියේ බිමට ඇද දමා පාගා දමන්නේය.

නමුත් නිර්මලී නම් මේ ගැහැණිය මත්තේ ඔහු හැපුනු තරමක්! එය එක්තරා අන්දමක සුරංගනා කතාවකි. ගැහැණියක් නොලැබීම වෙනුවෙන් ජීවිතය පුරා දුක් විඳින පිරිමි හිතක්! 

ඔව්! එවන් කතා ඇත්තේ කතන්දර පොත්වල නොවේ. නමුත් ඒ සැබෑ කතන්දර වලදී එම පෙම්වතුන් සිය ඒකපාර්ශ්වික ප්‍රේමය වෙනුවෙන් දිවි තොර කරගන්නේ නැත. ඔවුන් ඒ වේදනාව සිය ඇඟිලි වලින් තදින් ගුලිකොට සිය හදවතේ නාරින දොරටුවක් ඇති කුටීරයක සදාකාලිකව සඟවා තබනු ඇත. 

තමන් උසස් අධ්‍යාපනය හැදෑරූ කාලයේදී එවන් හිමිකරගත නොහැකි රුධිරගත ප්‍රේමයක වේදනාවක් විඳ ඇති බැවින් අසලංකගේ මේ වේදනාව දනුක මදක් තේරුම් ගෙන තිබීමට හේතුවයි. 

' උඹ මාර පව් අසා.. මම උඹට අනුකම්පා කරනවා. ඒත් උඹ කරපු දේවල් හරි කියලා මම කවදාවත් කියන්නේ නෑ. උඹට එහෙම නොකර ඉන්න තිබ්බා.. උඹේ වීක්නස් එක උඹගෙ ඒ ආදරේ... '

ඈ ලැබුනානම් සත්‍ය වශයෙන්ම අසලංක කිසිවෙකුට ළඟාවිය නොහැකි දුරක් යන්නට තිබිණ. එසේ නොවන්නටද හැකිය. කවුරුන්ද දන්නේ දෛවය කුමන පිටපතක් අප වෙනුවෙන් ලියන්නට සිටියාද කියා? 

නමුත් ඈ හිමිකරගත් පුද්ගලයා අද ඔහුට සම්මුඛව සිටින්නේය. එය ලියූ දෛවයක් නොව සිදුවූ දේවල් නිසාමය.

කලින් වතාවක ගුස්ති ඇල්ලීම් ගැන නොදැන සිටියද, අද උදෑසන ඔවුන් එන්නට පෙර මෙහි නිර්මලී පැමිණ ඇති බවත්, ජේනුක ඈ සමඟ පිටතට ගොස් ඇති බවත් දැනගත් නිසා ඇගේ විවාහක සැමියා රකුසු මුහුණින් මෙහි පැමිණි කාරණය එතරම් සුභ විය නොහැකි බව දනුකට හොඳින් වැටහී තිබිණ. 

ඔහු දන්නා රශිඳු ගෝකුල මරණය පෙනෙමින් සිටිනා අසලංක වැනි අයෙකුට පහර දෙන තරම් පහත් මිනිසෙකු නොවන බව විශ්වාසය. නමුත්.. 

" සාරා.. මම පොඩ්ඩක් අසාව බලන්නම්.. ඔයා එන්න ඕන නෑ.. බයවෙන්න එපා ඒ ඇවිත් ඉන්න එකා අසාට කරදරයක් කරන්නෙ නෑ"

ක්‍රිකට් ගැන හෝ වෙනත් කිසිදු ක්‍රීඩාවක් ගැන මෙලෝ හසරක් නොදන්නා බැවින් නිම්සාරා මේ කවුදැයි කියා හඳුනන්නේ නැති නිසා දනුක ඈ කොරිඩෝවේ තනිකොට නිවස තුලට ඇතුළු වූවා පමණි.

' දඩාං!'

මේසය මත තිබුණු යමක් පොලවේ වැදුනේ අහේතුකව නොව රශිඳු එය උසවා පොලවේ ගැසූ නිසාය. බිම වැටී කැබලි වලට කැඩී ගිය හඬින් නිවස තුල සිටි සාත්තු සේවකයා භීතියෙන් එබිකම් කල අතර වහා දොරටුවට ඇතුලතින් අගුළු දැමූ දනුක, කෝපයෙන් වෙව්ලමින් උන් රශිඳුත් , ඉවත බලාගෙන සිටිනා අසලංකත් අතර සිටගත්තේය.

" මචං.. අසා ඉන්නේ.."

" උඹ එන්න ඕනේ නෑ මට මේකා ඉන්න විදිය කියන්න. මූ හිටපු විදියත් මම දන්නව.. මම ආවේ ඒ බයිලා අහන්න නෙවෙයි. මචං මේ! පැත්තකට වෙලා හිටපං මම කතාකලේ මූට!!"

දත්මිටි කමින් සිටිනා රශිඳු ගෝකුල දෙසත් අසලංක දෙසත් මාරුවෙන් මාරුවට බැලූ දනුක අසලංකගේ මුහුණෙන් බැල්ම නතර කලේ මේ මකරාගේ ගෙරවිල්ල තේරුම් ගනිමිනි.

"... කියපං මට! මොකටද මගේ ගෑනි ගෙන්නගත්තෙ? මාව මොකෙක් වගේද පේන්නේ ??  මගේ යකා අවුස්සගන්නෙ නැතුව කතාකරපං බ&ලා!"

" උඹට පිස්සුද? මම ගෙන්නගත්තෙ නෑ.. ඒකි තමයි ආවෙ.. "

රශිඳුගේ පයින් පහරට අසළවූ පුටුව කැරකී ගොස් බිත්තියේ වැදුනේය. ඉත්තෑකූරු කොණ්ඩය තවත් ඉලිප්පී, ඔහුගේ කඩවසම් තලෙළු මුහුණ රකුසු වෙස්ගෙන තිබුනේ අත මිට මෙලවී යමිනි.

" මගේ ගෑනි එහෙම ගෑනියෙක් නෙවෙයි මිනිහෝ.. උඹ මොකෙක්ද වගේ අර ළමයව යූස් කරල ඒ ගෑනිව අසරණ කරල..! මට උඹේ බොරු සීන් දාන්ඩ එන්ඩ එපා.. "

 දනුක ඉදිරියට පය තැබූ රශිඳු හරස්කොට හිටගත්තේ කරන්නට වෙන යමක් නොවූ නිසාය. 

" මචං.. පොඩ්ඩක් ඉඳපං මම කියන දේ ටිකක් අහලා.. මම මුගේ මස්සිනා.. රශිඳු මචං මට උඹ කියන දේ තේරෙනව..  ඒත් මේ වෙලාවේ කලබල කරලා බෑ..."

" පරය දැනගනින්.. උඹට කවදාවත් කරගන්න බැරිවෙච්ච දේවල් වලට ඒකිගෙන් පලිගන්න ඉඩ තියලා බලාගෙන ඉන්න එකෙක් නෙවෙයි මේ රශිඳු ගෝකුල කියන්නෙ! මේ අනූජ ගමනායක නෙවෙයි.. මම රශිඳු ගෝකුල යකෝ..!!! දැනගනින්... තෝ දවස් ගණන් ඔත්තු බලල... අනූජ ගමනායක මරපු ලේ උඹේ අත්වල තියෙනවා.. "

දනුක දෑස් විදහා අසලංක දෙස බැලූ සැනින් අසලංලගේ මුහුණ බිමට බරවිය. 

".... දෙවියන් පල්ල උඹව මගේ ඇස් දෙකට දැකපු දවසෙම මට අනික් දේවල් පැහැදිලි උනා.. ඔෆිසර් විනෝද් දුණුකාර උඹ ගැන ඔක්කොම හොයාගෙන තිබ්බෙ.. "

රශිඳු සිය දෑතම රෝද පුටුවට තබා එක එල්ලේ අසලංක දෙස ගිනි පිටකරනා බැල්මෙන් බලා සිටියේය. ඔහුගේ දෙතොල් වෙව්ලන්නේ ආවේගයටය. 

".... මේකත් දැනගනින්. මම තමයි ඒ උඹ මරවපු අනූජ ගමනායක! මේ බලපං මගේ ඇහිබැමේ තියෙන ලපේ.. ඇක්සිඩන්ට් එකෙන් වෙච්ච කැලැල්.. බලපං හොඳට මගේ දිහා.. මූණ මතකනෙ.."

රශිඳු හතිලෑවේය. ඇල්පෙනෙත්තක් පවා බිම වැටුනද දැනෙන තරමේ නිහඬතාවය මැද ඔහුගේ බරැති සුසුම් මහා හඬින් ඇසුනේ දනුක පවා හුස්ම ඉහළට අල්ලාගෙන සිටියදීය. 

' දෙවියනේ ඔව් තමයි.. මූ අනූජ ගමනායක වගේ තමයි! මම හිතුවා!! ඒත් මෙහෙම දෙයක් හිතුවෙම නෑ.. මම හිතුවේ මූ නිකං කොළුකමට මේ ගෑනිට කොක්ක ගහල කියලා.. යකෝ මූ අදහන්න වටින පොරක්නෙ'

රශිඳු දෙස බලාගෙන වේගයෙන් මොළය විසින් සිදුකරනා ක්‍රියාදාමය වන්නට ඉඩ දුන් දනුකගේ මුහුණ ආලෝකමත් වූයේ , මේ තර්ජනය සිය මස්සිනාට බව පවා අමතක කරමිනි.

"... මගේ කෙල්ලව මගෙන් ගන්න උඹ වගේ හින්දි ෆිල්ම් වල වැඩ කරන එකෙක්ට කොහොමත් බෑ.. ඒකට උඹ එකපාරක් නෙවෙයි.. දහපාරක් මැරිලා ආවත් බෑ.. "

තිගැස්ම නිසා මදක් ප්‍රමාද වූවද දනුක වහා රශිඳු එතැනින් මෑත් කරන්නට උත්සහ කලද රශිඳුගේ ශක්තිමත් දෑත් වලට ඔහු පැරදුනි. අසලංක ඇතුලාන්තයේ වූ පරාජය කිසිදු බාධාවකින් තොරවම පෙන්වමින් සිටියේ දනුක පුදුමයට පත්කරමිනි.

ඔහුට රිසි වේලාවේ අසලංකගේ රෝද පුටුවෙන් දෑත් ගත් රශිඳු මහත් ආවේගයෙන් අසළ වූ දොර පළුවට අත මිටිකර පහරක් එල්ල කලේ එහි පැල්මක් සමඟ ඔහුගේ අත තුවාල කරගනිමිනි.

" ර.. රශිඳු... මචං!"

රශිඳු සිය ගිනි පිටවන බැල්ම දනුක මත විතැන් කරද්දී ඔහුද මදක් තැති ගත්තේ මොහු සමඟ අතින් පයින් දබරය නුවණක්කාර නොවන බව තේරුම් ගනිමිනි.

" .. මචං මම අසාගෙ අක්කගෙ හස්බන්ඩ්.. අක්කා තමයි එළියේ ඉන්නේ.. මම කැමති නෑ මෙතන සීන් එකක් මැවෙනවට. එහෙම දෙයක් ඕන නෑ. අපිට පුලුවන් මේ හැම දෙයක්ම කතාකරලා විසඳගන්න.."

රශිඳුගේ දෑස්වල යම් එකඟතාවක් මෙන් පෙනුන නිසා දනුක දිගටම කතා කරන්නට වූයේ තැන්පත් ස්වරයෙනි.

".. මචං මම ලොක්කෙක් නෙවෙයි... මම උඹේ පරණ සීන් දන්නෙත් නෑ අදාලත් නෑ.. අපි මැචුවර් මිනිස්සු.. මට තේරෙනවා උඹේ පේන් එක.. නමුත් අපි ඔක්කොම වැඩිහිටියන් හින්දා මේ සිටුවේශන් එක මීට වඩා හොඳට විසඳගම්මු.. මම අසා හරියි කියලා කියන්නෙ නෑ.."

දමනය නොවූවද දනුකගේ සන්සුන් ස්වරය රශිඳුගේ ආවේගය තරමක් තනුක කළේය. 

නිවස තුල සිදුවන කිසිවක් ගැන නොදැනෙන නිසාත් හිතේ ඇති වේදනාව නිසාත් නිම්සාරා ඒ වනවිට සිටියේ නිවසේ වසා දැමූ දොරට මෑතින් වූ ජනේලය වෙත ඇවිද යමිනි. 

ඇගේ දෙපා එකවරම නතර වන්නේ මද වේගයකින් පැමිණ නිවස අසළ නතර කල මෝටර් රථය දැක දෑස් නළලත තබමිනි. 

එහි රියදුරු අසුනේ සිටියේ මේ මොහොතේ මෙතැනට නොආ යුතුම චරිතයක් බව ඈට ඉවෙන් මෙන් දැනුණි. 

-------------------------------------------------

නේහා දැතින්ම හිස අල්ලාගෙන සෝෆාවට බර වූයේ රංග කල්පනාබරව දෙතොල් පියා ගනිද්දීය. මාලතී දෑසේ කඳුළු පිසගනිමින් දෙදෙනාගේම මුහුණු මාරුවෙන් මාරුවට බලන්නේ දෙදෙනාම ගොළු වී සිටි නිසාය.

ඔවුන්ගේ දරුවන් දෙදෙනා සමඟ නිවාඩුවකට නවසීලන්තයට පැමිණියේ සති දෙකක් සඳහා වුවද නිර්මලීට හෝ රශිඳුට එය නොපැවසූයේ ඔවුන් පුදුම කරන්නටය.

දැන් පුදුම වී ඇත්තේ ඔවුන්ය!

" මොනාද රංග මේ කියන්නෙ? රශී එහෙම බබාලා දාලා යන කෙනෙක් නෙවෙයි. නිර් ෆෝන් ආන්සර් කරන්නෙ නෑ. මුං දෙන්නා තරහ වෙලා උනත්.. මෙහෙම එකක්??"

නිවස අමු සොහොනක් මෙන් නිශ්ශබ්ද වී ඇත. රශිඳු පිටවී ගිය පසුව හෙම්බත් වනතුරු ඉකිබිඳි තරුකිට එක්වූ අහසි අවසානයේ සවස කෙටි ආහාරද නොගෙන නින්දට වැටී සිටියහ. හේබා ගොස් සිටි දරුවන් දෙස බලා සිටිය නොහැකි නිසා ඔවුන්ට කාටූන් චිත්‍රපටයක් දමා දුන්නද මිහින් ඇඟිලි බොමින් ආච්චි අම්මා තුරුලට වී සිටියේය. 

'පොඩ්ඩොන්ට මොනවා තේරෙනවද? තෝන්තුවෙන් වගේ දෙන්නව අහනව. කවුරුත් කෝල් ආන්සර් කරන්නෙ නෑ දුවේ.. මම දන්නෙ නෑ මොකක් කරන්නද කියලා '

මාලතී සුසුමක් සැලුවේ වෙන කියන්නට කෙනෙක් නැති නිසාය. නේහාගේ දරුවන් පැමිණි නිසා හිරුක සහ සඳුක ඔවුන් සමඟ ඉහල මාලයේ මොනවාදෝ කරනු ඇසේ. ඔවුන්ගේ ශබ්දයට නින්දෙන් අවදි වූ තරුකි නිදිගැට කඩමින් පහළට පැමිණෙන්නේ ඒ ඇසිල්ලේය.

" තරුකි රත්තරන්... කොහොමද පුතේ? චම්ම කිව්වෙ පුතා නිදි කියලා "

තරුකිට ඔවුන් කවුදැයි හඳුනා ගන්නට මද වේලාවක් ගතවූ මුත් හඳුනාගත් සැනින් ඈගේ මුහුණ බෙරි විය.

" පච්චි තලා වෙලා ගියා..."

නේහා වහා තරුකි තුරුලට ගත්තේ ඈ සාමාන්‍යයෙන් හඬන දරුවකු නොවන නිසා මේ නම් තදබල රිදුමක් බව වැටහීමෙනි. ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිතර ඔවුන් හා කතාකරන නිසා ආන්ටි නේහා තරුකිගේ ප්‍රියතම නැන්දා වන්නේ ඈ කියනා දේවල් වලට වඩාත්ම හය්යෙන් සිනාසෙන්නේ ඈ නිසාය.

" නෑ පැටියෝ අප්පච්චි ගියේ ළඟටනේ.. ඉක්මනින් එයි.. අපි ආවෙ එයාලව ස්ප්‍රයිස් කරන්න! ඉතින් අප්පච්චි එනකොටම අපි ලෑස්ති කරලා තියමු."

තරුකි සිය තරු ඇස් විදහා විමතියෙන් මෙන් නේහා දෙස බලා දැසින් සිනාසුණාය. රංගට ඈව පෙනුනේ තනිකරම නිර්මලීගේ කුඩා පිටපතක් මෙන් ය. හුරතල් බෝනික්කි!

" ඕ.. ආන්ටි කියන්නෙ එයා ජෙම්ගෙ ගෙදර ගියා කියලද? ඕ.... ඕ.... දැන්නෙ මට තේරුනේ එයා ජෙම්ගේ ඩඩාගෙ ලෙඩ බලන්න ගිහින්.."

තමාටම මෙන් එසේ කියූ තරුකි සෙමින් නේහාගේ කනට ලං වූවාය.

".. ආන්ටි දන්නවද ජෙම්ගෙ ඩඩා ලංකාවේ.. අපේ අම්මිට ක්‍රශ් එකක් තිබ්බලු එයා.. "

නේහාට තරු පැන්නේ සිනාවක්ද සමඟිනි. මේ කටකාරිය එය කියූ අයුරින්ම ඈට දැනුනේ නුහුරකි.

".. එයා ඉන්නේ මේ ළඟ.. "

තරුකිගේ දිලිසෙන ඇස්වල මතුවී ආ ආලෝකය ඇගේ මිතුරු ජෙම් සිහිවූ නිසා බව දන්නේ ඈ පමණකි. බොහෝ දිනකට පසුව හමුවූ බැවින් නේහා නැන්දාට කියන්නට රහස් රැසක් තරුකිට තිබිණ.

".. ආන්ටි දන්නවද... එයාගෙ ඩඩා ලෙඩවෙලා.. ඉතින් එයාව බෝඩිං ස්කූල් දාන්න යන්නෙ. ඒකට අපේ අම්මි අප්පච්චිට බැන්න.. අම්මි ඇඬුවා.. ජෙම් හරි හොඳ අය්යෙක් නේහා ආන්ටි.. එයා මට ප්‍රොමිස් උනා මාව හැමදාම බලාගන්නවා කියලා මට වද දෙන අයගෙන්"

තරුකිගේ සුරතල් කතා අතරින් පතර ඇසෙනා සියල්ල නේහාට වැටහුනේ නැතත් එතෙක් වේලා දුරකතනය පිරික්සමින් උන් රංගගේ දෙනෙන් තරුකි වෙත යොමුවන්නේ සැනෙකිනි.

" වට්? තරුකි බේබ්ස්... කවුද ජෙම් කියන්නෙ?"

" ජෙම් අනේ ජෙම්..  ජේ.. එම්... ජේනුක මිහිඩුකුලසූරිය අනේ.. එයාගෙ ඩඩා ලංකාවේ!"

නේහාටත් රංගටත් එකිනෙකා දෙස බැලෙන්නේ දෑස් නිලංකාර වෙද්දීය.

-------------------------------------------

රථයේ දොර වැසුනේත් විවර වූ නිවසේ දොර වැසුනේත් එකම මොහොතකය. අඩියට දෙකට රශිඳු දොර අසළ සිට කෙලෙස එතැනට ගියේ දැයි සිතාගත නොහැකි වූවද රශිඳුගේ වාහනයට පැත්තකට වන්නට නතර කළ නිර්මලීගේ වාහනයේ බඳ මත මහා හය්යෙන් ඔහු අත මිට මොලවා පහරක් එල්ල කලේ සියල්ලෝම උඩ විසි කරවමිනි.

" උඹ කොහෙද මේ ආවෙ? ආ?? "

නිර්මලී ඊට පිළිතුරු නොදුන්නද රශිඳුගේ දෑස දෙස එක එල්ලේ බලා ඔහුගේ බාහුවේ ඉහලින් අල්ලන්නට අත ගෙනා පමාවෙන් රශිඳු එය ගසා දැමුවේය. ආලවක යක්ෂයා ඇති පදමට වැසී ඒ ඇස්වල බොරපාට පරයා ගිනි රතුපාට දෑස් වලින් ඈ දවා හලුකරනා තරමකි. නැවතත් ඔහු වාහනයේ බඳට අත මිටිකර පහරක් එල්ල කර සැනින් නිර්මලීගේ ගෙලෙන් තදකොට අල්ලා ගත්තේය. ඈට හුස්ම සිරවූයේ මූණ රතු කරමිනි.

"උඹ දන්නවද හිතුවක්කාරි උඹ මොකක්ද අද කලේ කියලා ?පොඩ්ඩක්වත් හිතුවද රශිඳු ගෝකුල මොකක්ද කරන්නේ කියලා එතකොට?? චුට්ටක්වත් හිතුවද ??? ආ.. 

උඹේ ඔය මහලොකු ව්‍යාපාර මොළේට තේරෙන්නේ නෑ රශිඳු ගෝකුලට මේ ඔක්කොම දැනෙන හැටි! උඹ හිතාගෙන ඉන්නේ හැමදාම වගේ ඕනේ මගුලක් කලත් හැමදේම හොඳින් විසඳෙයි කියලා නම්... දැනගනින් මේක නවකතාවක්වත් චිත්‍රපටියක්වත් නෙවෙයි කියලා..!!

උඹ ඔය ටෙස්ට් කලේ රශිඳු ගෝකුලව! "

මහත් වේගයෙන් දත්මිටිකමින් කියා රශිඳු ඇගේ ගෙල අත්හැරියේ නිර්මලී කිසිදු දැඟලීමක් නොමැතිව ඔහු දෙසම බලා සිටියදී හදවතේ පැත්තක් පිලිස්සී යනු දැනුන නිසාය. හිරවූ හුස්ම අල්ලා ඈ මදක් කැස්සාය. සැමදාම තමා නිවන ඒ ආදරණීය බැල්ම!

යන්තම් සිය හුස්ම ලැබූ නිර්මලී ‍රශිඳුගේ පපුවට තුරුල් වූයේ කිසිදු පිලිතුරක් නොදීමය. රශිඳුගේ හදවත ලෙහා වැටුනද ඔහු ඇගේ වමතේ ඉහලින් තදකොට අල්ලා ඈ තමා වෙතින් ඈතට කලේ තියුණු ඇස් වලින් ඈ හලු කරමිනි. තමා ඇගේ ගෙල ඇල්ලූ වේගයට එහි ඇඟිලි තුනක රතුපාට සළකුණක් ඇති බව දුටු සැනින් ඔහුගේ ඇතුලාන්තයේ කුමක් හෝ අකුණක් පිපිරී ගියේය.

ඇටකටු පොඩිවී යන තරම් තදින් අල්ලාගෙන සිටි අත නිර්මලීට පණ නැතිවාක් මෙන් දැනුනද ඈ ඒ බැල්ම එලෙසම තබාගෙනය.

' රශී... මගේ පණ!'

"... උඹ දන්නෙ නැද්ද මම මේ ඔක්කොම බිමට සමතලා කරලා දානව කියලා.. ආ?? උඹ දන්නෙ නැද්ද? කියපං මට.. මාව දාලා යනවද මෙහෙම ආ???? මීට කලින් එහෙම කරනවා කියලා අහල තියෙනවද? අහලා නෑ නේද? දැන් බලාගනින් මොකක්ද වෙන්නේ කියලා. දැන් බලාගෙන හිටපං!!

දෙපසට සොලවමින් ආවේගයෙන් කියා අවසානයේ, ගස්සා දමාක් මෙන් නිර්මලීගේ බාහුව අතහැර දැමූ රශිඳු නැවත වරක් වාහනයේ බඳට පහර දුන්නේය. නිර්මලී මදක් පසුපසට විසිවී ගියද, ඒ අවසරයෙන් රශිඳු තදින් වැළඳගන්නට ඉදිරියට ආවේ සිය දෑසම පියාගෙනය. 

" සොරි.."

එසැනින් රශිඳුගේ ඉන පෙදෙසින් ඔහු පිටුපසට තල්ලු වී ගියේ කුඩා කෝපවත් හඬක් සමඟිනි.

" පලයං!"

රශිඳු නිර්මලී වෙතින් ඉවතට තල්ලුකල කුඩා කොල්ලා තමා සිංහලෙන් දන්නා නරකම වචනය කියා නිර්මලී තදකොට බදා ගත්තේය. ජේනුකගේ එරවිල්ලට රශිඳුගේ මුහුණ සැනින් වෙනස් වී ගියේය. 

".... රිද්දන්නෑ නිර්ට! ගහනවා මම චප්ප වෙන්න"

ඔරවාගෙන ජේනුක පැවසුවේ රශිඳුගේ කෝපයට අයිස් වතුර බාල්දියක් වත්කරමිනි. ඒ ඇස්!

නිර්මලීට හැඬුම් ආ නිසා ඈ සිය දෑත ජේනුක වටා ගෙනයද්දී තත්පර කීපයක් රශිඳු ඒ දෙස බලා සිටියේය. අනතුරුව ඔහු සිය දණිස්සට බරදී ජේනුක අසළින්ම බිමට පාත්වී ඒ ඇස්වල ඇති ආදරය රිසිසේ බලාගත්තේය. ඔහුගේ කට කොනට නැඟුනේ සුපුරුදු සිනාවයි.

කාගේ කවුද කියා නොදැන වුවද මේ කුඩා කොල්ලා තමාගේ සිත ආක්‍රමණය කළ අයුරු පුදුමය. තැන්පත් නිහඬ ඔහුගේ දෑස්වල ඇති අවංක බැල්මෙන් දුටුමතින්ම තමා දපනේ දමාගත් ඔහු නිර්මලී අල්ලා ගැනීම අරුමයක් නොවේ. 

".. ඇයි නිර්ට බනින්නෙ? එයා හිටියේ මගෙත් එක්ක! එයා වැරැද්දක් කලේ නෑ.."

මද වේලාවක් රශිඳුගේ සහ ජේනුකගේ දෑස් එකිනෙක යාවී තිබිණ.

"... ඔයාට එයා එපානම් මට දෙන්න.. ඔයා නරකම නරක කෙනෙක්.. මගේ නිර්ට රිද්දුවා.. එන්න එපා ඔයා මීට පස්සෙ මෙහෙ!!"

රශිඳුට ඒ වචනවල ඇති අවංක බව නොදැනුනා නොවේ. ඔහු ජේනුකගේ නිදහස් කොපුල මදක් අල්ලා පියෙකු මෙන් දයාර්ද සිනාවක් පෑවේය. 

" සොරි.. ආයෙ කරන්නෙ නෑ..!"

නිර්මලී හඬමින් පහත්වී ජේනුක සිය ළයට තදකොට ගත්තාය. දෙදන බිම තැබූ රශිඳු ඒ දෙදෙනාම තමාගේ පපුවට තදින් තුරුල් කරගත්තේ බරැති සුසුමක් පා කරමිනි.

එතෙක් වේලා භීතියෙන් උන් දනුකත් සාරාත් මුහුණෙන් මුහුණ බලාගන්නේ මේ විකල් පුදුමය විශ්වාස කරගත නොහැකිවය. රා බී මත්වූ නාලාගිරියෙකු මෙන් පැමිණි ඔහු නිර්මලීට මොනවා කිව්වදැයි හරිහැටි නෑසුනද, ජේනුක හා වූ සංවාදය මදක් ඔවුන්ගේ කන වැකුණද මෙතරම් ඉක්මනින් ඔහු නිවෙනු ඇතැයි ඔවුන් සිතුවේම නැත. 

' මේ ගෑනි නම් පුදුම ඉවසීමකින් ඉන්නවාත් ඇත්තේ මේ පිස්සා එක්ක.. ලව්ලි කපල්'

දනුකගේ සිත කියද්දී ඔහු සාරාට ඉඟි කලේ නිවස තුලට යන ලෙසයි. ඔවුන් පැමිණියේ අද සිට මසක කාලයක් මෙහි රැඳී සිට අසලංකගේ සෞඛ්‍ය තත්වය පිරික්සා ඔහුව ඔවුන් සමඟ හෝ රැගෙන යන අපේක්ෂාවෙනි.

ඔහුට ආපසු හැරෙන්නට ලැබුනේ නැත. සාරා ඔහුගේ නම හඬගාන ශබ්දය ඇසී දනුක වහා නිවස තුලට යන විටත් සාත්තු සේවකයා හදිසි ගිලන් රථ සේවය අමතමින් සිටි අතර රෝද පුටුවේ උන් අසලංක සිටියේ අඩ සිහියෙන් මෙනි.

.

.

.

හෝරාවක් යන්නට මත්තෙන් අසලංක මිහිඳුකුලසූරිය රැගත් ගිලන් රථය සයිරන් හඬ නංවාගෙන වහාම රෝහල කරා ඇඳුනු අතර ඊට පිටුපසින් රශිඳු නිර්මලී සහ ජේනුක සමඟ රථය හසුරවමින් ගමන් කලේ ඒ හා සමානම වේගයකිනි.

රෝහල්ගතකල අසලංකගේ සෞඛ්‍ය තත්වය සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබුනු නිසා වෛද්‍යවරුන් තීරණය කලේ ඔහුගේ සැත්කම ඉක්මන් කළයුතු බවයි. 

නිම්සාරා සිටියේ නොනවත්වා හඬමින් නිසා දනුක වික්ශිප්තව ගොස් සිටියේය. කුලී රථයක ජේනුක සහ නිර්මලී නිවසට පිටත්කල රශිඳු වහ වහා අවශ්‍ය ලියකියවිලි වලට දනුකට සහය දුන්නේය.

පිටත් වන්නට පෙර ඇගේ කම්මුල් දෙපසින් දෑත තබා මොනවාදෝ දත්මිටි කමින් කියනවාත් ඉන් පසුව ඈ සිපගන්නවාත් දනුක දකින්නේ ඔහුගේ සිත තුල පහන් හැඟීමක් ඇති කරමිනි. නිර්මලී හාවෙකු මෙන් ඔහුට තුරුල් වී හිඳ පිටත්ව ගියාය.

' මේ පවුකාරයා මෙච්චර ලස්සන කපල් එකකටනෙ මේ උදැල්ල දාන්නෙ'

අනතුරුව ඔහුගේ සිත අසලංක ගැන ශෝකයෙන්ද බර වූයේය.

" අක්කා.. ඔයා ගිහින් රෙස්ට් කරන්න.. මම මිස්ටර් දනුක එක්ක මෙතන ඉන්නම්.. කොහොමත් මේක දිග ඔපරේෂන් එකක් පැය ගානක.. මෙතන ඉඳලා තේරුමක් නෑ.. අපේ ගෙදර යන්න එහෙ නිර්මලී ඉන්නවනෙ"

රියදුරු සමඟ වාහනයක් ගෙන්වා අසලංකගේ නිවසේ තිබෙන ඇගේ ඇඳුම් සමඟ ඈ නිවසට පිටත්කළ අතර දනුක මේ කොල්ලා ගැන නැවත වතාවක් පුදුම වූයේය.

රාත්‍රිය පුරා ඔවුනට දොඩමළු වන්නට මාතෘකා එමට වූයේය. රශිඳු තමාගේ ප්‍රියතම ක්‍රිකට් තරුවක් වීමත් , අනූජ ගමනායක ඔහුගේ පැරණි මිතුරෙකු වීමත් යන කාරණා දෙක පමණක් නොවේ.. රශිඳු ගෝකුල ඉතා ලෙංගතු හදවතක් ඇත්තෙක් විය.

".. උඹ කොහොමද බං නිර්මලීව හොයාගත්තෙ? ඒක මාරසිරා වැඩක් නෙ බං"

යන්ත්‍රයෙන් ගත් කෝපි කොප්පය රශිඳු අතට දී දනුක ඔහු අසළින් හිඳ ගත්තේ එසේ කියමිනි. රශිඳු සිනාසුනා මිස කිසිවක් කීවේ නැත. ඒ අතීතය.. ලස්සනද දුක්බරද කියා කිව නොහැකි තරම් ඒ ගමන වල ගොඩැලි ගහන වූයේය.

".. ඒ මොකක් උනත් උඹට මම රෙස්පෙක්ට් කරනවා මචං.. අසලංක මගේ මස්සිනා උනත් ඌ කරපු දේවල් මම අනුමත කරන්නෙ නෑ. නිර්මලී ගොඩක් හිත හොඳ කෙනෙක්.. අසා ඒ.."

" ඒවා දැන් වැඩක් නෑ මිස්ටර් දනුක. අසාට මම එහෙම කෑගහපු එක වැරදී. බේබි ගර්ල් දැනගත්තොත් මට බනී.. ඕකි පට්ට සැරයි හාවා වගේ හිටියට"

රශිඳුට නිර්මලී සිහිවී නැඟුනේ මනමාල සිනාවකි. මද වේලාවකින් එය ඉබේම වියැකී ගොස් ඔහුගේ දෑස් ඈත ඉමක රැඳී තිබිණ"

"....පහුගිය දේවල් ගැන කතාකරන්න මම කැමති නෑ. මම මෙහෙ ආවෙත් ලංකාවේ මිනිස්සු එක්ක ජීවත් වෙලා එපා වෙලා.. "

රශිඳු පැවසූයේ සත්‍ය තත්වයයි. ඉඳහිට ඔවුන් ප්‍රසිද්ධියේ පෙනී සිටිය පින්තූරයක් සමාජ ජාලා වල සරන්නේ හේතුවක් ඇතිව නොවේ. තමාගේ බිරිඳ සමඟ ආදරයෙන් සිටිනවාට වැඩිදෙනෙක් දරන්නේ අමුතුම මතයකි. ඔවුන්ට අනුව තමාට පෑදී ඇත්තේ ඉල්ලමකි.

' බඳිනව නම් මචං බැඳපං බර අත්තක්. අනික් මිනිස්සුන්ට හීක් ගෑවෙන්න'

' වයිෆ්ට හතලිහයි, මට විස්සයි.. බයවෙන්න දෙයක් නෑ උඹේ කොල්ලා තාම ඉපදිලා නෑ බං'

ඔවුන් දෙදෙනාගේ පින්තූරයක් සමඟ එවන් වැකියක් සංසරණය නොවන මාසයක් නැති තරමකි. තමන් අතින් හෝ නිර්මලී අතින් ඔවුන් කිසිවෙකුට වරදක් සිදුවී නොමැත. නමුත් දිගින් දිගටම එවන් කැත විහිලු සිතාමතා හෝ නොසිතා වයිරල් වී ශෙයා වෙයි. 

ඒ අතින් බැලූවිට මේ රටවල මිනිසුන්ගේ මනස විවෘත බවින් යුක්තය. එය මානසික සහනයකි. නැතිනම් මොන තරම් ගිනියම් බවක්ද තිබුණේ?

දනුකත් රශිඳුත් ඉන් අනතුරුව ඔවුන්ගේ මාතෘකාව වෙනස් කරන්නේ කෝපි කෝප්පයක් තොලගාමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට රශිඳු ගෝකුල අහිමිවීම තවමත් පියවී තිබුනේ නැත. පිට පිටම තරඟ පරාජය වෙමින් සහ දක්ෂ ක්‍රීඩකයින් කළකිරීමට පත්ව ඉවත්ව යාම් නිසා කණ්ඩායම අස්ථාවර මානසිකත්වයකට පත්කොට තිබිණ. එය ලෝකය වටා විසිරී සිටින ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ හදවත් පාරවා තිබුනද, කුමක් කරන්නද? දේශපාලනය සහ නිලධාරීවාදය ඇතිතාක් අවංක සේවයක් පැතීම උගහටය.

'මචං.. උඹ ඕනෙ වෙලාවක කැනඩා එනවා නම් කියපං.. අපේ ගෙදර ඉන්න පුලුවන්. '

වරෙක දනුක රශිඳුට ආරාධනා කරන්නේ එලෙසය. 

' අඩෝ උඹට පහක් ඉන්නවද? අම්මටසිරි මට තව ඩිංගෙන් ඉස්මොල්ලෙත් යනවා.. '

රශිඳුගේ තවත් තොරතුරු අසද්දී දනුක ඔහුගේ පිටට ගසමින් කියවන්නේ ය. නමුත් දෙදෙනාගේම සිත බරැති ගලක් ගැටගැසුවාක් මෙන් තිබුනු හේතුව නොපැහැදිලි නොවේ.

එදින රාත්‍රී එළිවනතුරු එවන් හදවත් හතරක්ම නොනිදා පහන් කරන්නේ අසලංකගේ සැත්කම නිමවනතුරුය.

-----------------------------------------------------

"බෑ බෑ බෑ.. ඒක කොහොමටවත් කරන්න බෑ"

නිම්සාරා දෝතින්ම මුහුණ වසාගෙන නිර්මලීට තුරුල් වූයේ හදවත කඩා හැලෙමිනි. 

ඒ වනවිට අසලංකගේ සැත්කම නිමවී ඔහු සමඟ රෝහලේ ගතකරන දෙවන සතිය එය වූ අතර සැත්කම සාර්ථක වූවද අසලංක දෑස් විවර නොකල අතර ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් යන්ත්‍ර ඔස්සේ රැඳී තිබිණ. වෛද්‍යවරුන් දැන් මේ නිම්සාරාගෙන් විමසන්නේ අසලංකගේ සොයුරිය වශයෙන් එම යන්ත්‍ර ගැලවීමේ තීරණය ඈ සතුවන බවත් ඔහු ගැන තවදුරටත් බලාපොරොත්තුව සිටීම ඵල රහිත වනබවත් ය.

ඉතින් සොයුරියකට එය කරන්නට හැකිද?

" මේ අහන්නකො බේබී.. මල්ලි මැශින් එකේ හිටියත් ආයෙ හෝප්ස් තියාගන්න බෑ කියලා කියලා තියෙන එකේ.. අපි මල්ලිට වද දෙන එක තේරුමක් නෑ සාරා.. මට තේරෙනවා ඔයාගෙ පේන් එක.. ඒත් මේ වෙලාවේ අපිට කරන්න වෙන දෙයක් නෑනෙ බේබි!"

දනුක ඈ සනසමින් පැවසුවද නිම්සාරා හඬමින් කැරලි කරන්නට වූ නිසා නිර්මලී ඈ සමඟ මදක් ඈත තිබෙන මිදුල් කොටසට ගොස් ඈ සමඟ බංකුවේ හිඳගත්තේ ඈට රිසි සේ ඇගේ උරයට වාරුවී හඬන්නට ඉඩ දෙමිනි.

" මල්ලි තමයි දුක් විඳලා මට ඉගෙනගන්න උදව් කලේ.. පව් එයා කවදාවත් සතුටින් හිටියේ නෑ.. "

නිම්සාරා සුසුම් හෙලමින් කියද්දී නිර්මලී ඇගේ අතක් උණුසුම් ලෙස අල්ලා ගත්තේ අපහසුවෙන් සිනාසෙමිනි.

".. අසේකා කියන ගෑනිත් කලේ මල්ලිව රවට්ටපු එක. එයාට ඕනෙ කලේ සල්ලි විතරයි මල්ලිගෙ.. පව් මල්ලි.. අපි හින්දා ඒ ගෑණිව බැඳලා  අන්තිමට ජේනු දුක් විඳිනවා.."

ඈ නොනවත්වා කියවන්නේ හිතේ අමාරුවට බව නිර්මලී දනී. උරහිසෙන් මෑත් වූ නිම්සාරා නිර්මලී දෙස එක එල්ලේ බැලුවාය 

"... සොරි නිර්මලී... අපි හරි අසාධාරණ උනා.. මල්ලි ඔයාට එච්චර ආදරේ කලා කියලා මම තේරුම් ගත්තේ ගොඩක් පහුවෙලා.."

නිර්මලීගේ මුහුණ අඳුරු වී ගිය මුත් මේ මොහොතේ එවන් සංවාදයකට අවස්ථාව හෝ තැන මෙය නොවේ. 

".. ඔයා ලැබුනානම්.."

" සාරා අක්කා.. දැන් ඒ දේවල් හිතන්න එපා. අපි දන්නෙ නෑ අපේ ජීවිතේ කොහොමද ලියවිලා තියෙන්නෙ කියලා. අසා කියන්නේ මගේ හිතවත් යාළුවෙක් විතරයි. කවදාවත් අපි දෙන්නා එකතුවෙන්න හිටපු දෙන්නෙකුත් නෙවෙයි. හැමදේම වෙන්නේ හොඳට.. 

මේ වෙලාවේ ජේනුක ගැන හිතලා හොඳ තීරණයක් ගන්න අක්කා.. අසා ඔහොම මැෂින් එකක දාගෙන වද දෙන්න එපා නේද? එයා හැමදේම ලෑස්ති කලේ මෙහෙම වෙයි කියලා දැනගෙන වෙන්න ඇති. හිත ශක්තිමත් කරගෙන අක්කා.."

නිර්මලී මෘදු හඬින් පැවසුවේ නිම්සාරාගේ පිටි අල්ල සෙමෙන් පිරිමදිමිනි. 

දෛවය යනු කුමන් විහිලුවක්ද? මීට කලෙකට පෙර ඈට අපහාස කළ නිම්සාරා ඇගේ උරයේ හිස තබාගෙන අසරණව හඬන්නීය. කිසිවිටෙක අපේක්ෂා නොකල ලෙස අසලංක මිහිඳුකුලසූරිය ගැඹුරු නින්දකය.

සදාකාලිකව පවතින දෙයක් වෙතොත් එය වෙනස්වීම පමණකි. ඒ වෙනස්වීම් වලට අනුගත වන්නා නොනැසී පවතිද්දී අනෙක් සියල්ල සොබාදහමට අවනතව යන්නේය.

එදින සන්ධ්‍යාව අවසානයේ එළැඹුනු හෝරාවක නිම්සාරාගේ ලිඛිත අවසරය ලැබූ නිසා අසලංක මිහිඳුකුලසූරියගේ ස්වසන ආධාරකය ඉවත් කලේ ඔහුගේ අවසන් හුස්ම වාතලයට මුසුකරමිනි.

රශිඳු සිය පස මිතුරාගේ නිසල සිරුර දෙස බලා බරැති සුසුමක් වාතලයට මුසුකලේ තවදුරටත් ඔහු ගැන සිතේ වූ අමනාපය පිස හරින්නට මෙනි.

' ගුඩ් ලක් බ්‍රදර්.. වී මයිට් මීට් අගේන්'

රශිඳු සිය පසමිතුරාගේ වැසුනු දෙනෙත් ඇති නිසල දේහය අසළින් ඉවත්වන්නට මොහොතකට පෙර මිමිණුවේ ය.

ආත්ම දෙකක් තිස්සේ ඇදී ගිය ඒ අමනාපය මෙලෙස කෙලවර වනු ඇතැයි කිසිවෙකුත් සිතන්නට නැත. දෛවය යනු එවන් ඉන්ද්‍රජාලික ක්‍රියාවලියකි. 


--------------------------- මතු සම්බන්ධයි -------------------------

8 comments:

  1. මගේ දෙවියනේ........කොනිත්තාපල්ලා මාව බිමට වැටෙන්න.

    ReplyDelete
  2. පව්. අසලන්කටත් මොකක්ම හරි සාධාරණයක් කරන්න තිබ්බෙ මැරෙන්න කලින්. වෙලාවකට මට මේක කතාවක් කියලත් අමතක වෙනව. නියමයි හොඳේ අද. මං මේ තාම කඳුළු පිහින ගමන්.

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...