Wednesday, August 17, 2022

354: උන්මාද චිත්‍රාදෝ මා 85



සැමවිටෙකම ජීවිතයේ සතුටම ප්‍රාර්ථනා කලද, කිසිවෙකු දුකක් ප්‍රාර්ථනා කරන්නේ නැත. නමුත් සමහර සතුටු කාරණා මෙන්ම දුක්බර කාරණාද පැමිණෙන්නේ අනාරාධිතවමය.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය නිමවන්නේ රශිඳු ගෝකුල තවදුරටත් පිටියේ ආකර්ෂණීය ක්‍රීඩකයා වෙමිනි. ඒ සියල්ල රශිඳු සිය පිටිය මධ්‍යයේ සිට අතින් කරනා අපූරු අභිනයෙන් සහ පාවන හාදුවෙන් සිය පෙම්වතිය සහ බිරිඳ වෙත පුදකිරීම වැරදුනේ නැත.

ජීවිතයේ ඊළඟ මොහොතේ සිදුවන දේද එසේම වරදින්නේ නැත.

ඊට සති කීපයක් ඇවෑමෙන් පළමු ඇමතුම එන්නේ හිරාන් වෙතය. ආරංචිය ලැබුන වහාම ඔහුගේ වේගවත් රිය ධාවනය යෙදුනු අතරතුර ඔහු විසින් රංගට පණිවිඩය ලැබුනද ඔහුට එන්නට නොහැකි නිසා ඇමතුම දෙන්නට සිදුවූයේ නේහාටය.

"... දැන් කෑගහන්න එපා ඕක හෙමීට මෑම්ට කියන්න.. "

පණිවිඩය කියා දෙතුන් විටක් සෙමෙන්, අවධාරණය කොට හිරාන් පැවසුවේ මේ මොහොතේ නිර්මලීට පණිවිඩය යා යුතුම නිසාය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හෙවත් ජාතික පිල සඳහා නව ගිවිසුම් අත්සන් කිරීමට දින කීපයකට පෙර පුහුණුවීම් කටයුතු අතරතුර රශිඳු ගෝකුල සිදුවූ අනතුරක් නිසා ඔහුව රෝහල්‍ගත කර ඇති පුවත නිර්මලී ගෝකුල වෙත සැලකිරීමේ භාරදූර රාජකාරිය නේහා වෙත ඇතිකොට තිබුනේ සුළුපටු පීඩනයක් නොවේ.

ඒ වනවිට දෙදෙනාම හෝරාවකට ආසන්න කාලයක් තිස්සේ ඉදිරි වසරට අදාළ ව්‍යාපාර පිඹුරුපත් වලට අවශ්‍ය කටයුතු අරඹා තිබුනු අතර වැඩිමල් දරුවන් තිදෙනා පෙර පාසලෙන් පැමිණි බව ඇසී නිර්මලී පහළ මාලයට ගියේ ඔවුන් පිලිගන්නටය. එක ළඟ උපතලත් ඔවුන් පස් දෙනාටම එකම පෙර පාසල ලබාගත්තේ රශුදුගේ හැඳුනුම්කමක් නිසා බැවින් ඔවුන් ගෙන ඒම සහ ගෙනයාම මදක් පහසු විය.

නේහාගේ දෙපා වෙව්ලන නිසා නිර්මලී දරුවන් පස් දෙනා සුරතල් කරන හඬ අසමින් ඉහළ මාලයේ මද වේලාවක් ගතකලේ තමන් මුලින්ම කිවයුත්ත ගැන සිතමිනි.

 කුඩා දරුවන්ගේ සුරතල් කතා කෙලවරක් නොවූවද ඔවුන් තිදෙනා ඇඟ සෝදවන්නට බාරදුන් නිර්මලී සෙමෙන් පියගැට නඟිමින් එන්නේ කුඩා උන්ගේ කතා සිහිකරමින් සිනාසෙමින් වුවද ඇගේ සිනාව වියැකෙන්නේ නේහාගේ අඳුරු මුහුණ දැකීමෙනි. 

" නේහා? ඇයි ?? මොකක්ද ප්‍රශ්නෙ.. ?"

තමා පගළට යන අතරතුර ඈට ඇමතුමක් ආ බව නිර්මලීට හොඳටම මතක නිසාත් කුමක් හෝ අමුත්තක් දැනුන නිසාත් නිර්මලී නේහාගේ උරයකින් අල්ලා ගත්තේ ඈ අපහසුවෙන් ඇගේ මුහුණේ හැඟීම් වසන්නට උත්සහ කරන අතරතුරේය.

".. නේහා?? ඇයි ?? කවුද කෝල් කලේ??? රංගද???? මොකක්ද වෙලා තියෙන්නෙ?"

" නිර්.. මේ හිරාන් මල්ලි කතාකලේ... මේ..... ටිකක් අපි එළියට ගිහිං එමුද බබාලා ටික ආන්ටි බලයිනෙ.. "

නිර්මලී මදක් සැකයෙන් මුත් කිසිවක් නොඅසාම නේහා පසුකරමින් කාමරයට යන්නට හැරුණාය.

" හ්ම්ම් ඉන්න මම ඇඳුමක්.."

" නෑ නෑ.. ඕක හොදයි... ටිකක් ඉක්මනින් ‍යමුකො.. මේ..  ආන්ටිට කියන්න ඕන නෑ"

නිර්මලීට ඒ කතාබහ නම් ඇල්ලුවේම නැතත් , අම්මාට කියා වාහනයට නඟිනතුරු ඉවසාගෙන සිටියද නේහාගේ අඳුරු වතත් , ආතතියෙන් යුතු හැසිරීමත් යම් ඉඟියක් ලබාදෙමිනි.

ඈ වහාම රශිඳුගේ දුරකතනයට ඇමතුමක් ගත්තේ රථය පාරට දමමිනි. නමුත් එය නද දුන්නා මිස පිලිතුරක් ලැබුනේ නැත. නේහා නිර්මලී දෙස බලත්ම ප්‍රධාන පාරට ගත් වාහනය පසෙකට කරමින් නතර කළාය.

" නේහා... රශීට මොකද? මට කියන්න !"

නේහා හැකි උපරිමයෙන් සන්සුන් වන්නට උත්සහ කලේ හිරාන් දෙතුන් විටක්ම අවධාරණය කල බැවිනි.

" ර.. රශීට ග්‍රවුන්ඩ් එකේදි... පොඩි ඇක්සිඩන්ට් එකක්.. වෙලා.. මේ.. ආසිරි එකේ.. ඇඩ්මිට්.."

එපමණකි! නිර්මලීගේ හිස මත කුළුගෙඩි පහරක් වැදුනාක් මෙන් දෑස නිලංකාර වී ගියේය.

---------------------------------------

පැය ගණනාවක් තිස්සේ ඇදීගිය ශල්‍යකර්මය අවසානයේ රශිඳු රැගෙන කාමරයට ආ ට්‍රොලිය අසළට නිර්මලී දිව්වේ අවසිහියෙන් මෙනි. නේහා ඈ වාරු කරගන්නට උත්සහ කලද ඈ සිටියේ ඒවා කිසිවකට ඇහුම්කන්දෙන තත්වයක නොවේ.

සිහිසුන් රශිඳු දැකීමෙන් ආ කම්පනය නිසා නිර්මලී ඇඳේ පසෙක එල්ලී තත්පර කිහිපයක් සිහිඑළවාගැනීමට තැත් කරමින් ගෙවූ අතර හිරාන් කාමරයේ කොනක සිට ඉවත බලාගත්තේ ඔහුගේ හදවත ඒ දැක්ම දරාගන්නට නොහැකි තරම් ආතතියකට පත්වූ බැවිනි.

' නෑ.. නිර්මලී උඹ දුර්වල නෑ... '

නිර්මලීගේ සිත පැවසුවේ වේදනාවෙන් මිරිකෙන හදවත වාවා ගනිමිනි. වෛද්‍යවරුන් විසින් මීට හෝරා ගණනකට පෙර ඈට පැහැදිලි කොට දුන් කරුණු එකින් එක මොළයට ගනිමින් ඈ සංසුන් වන්නට උත්සහ කළාය.

නැඹුරු වී තවමත් සිහි නොලද රශිඳුගේ දෙතොල් සිපගත් ඈ වැටෙන කඳුළු වලට වැට බඳින්නට ගියේ නැත. ශල්‍යකර්මයට ලක්කල ඔහුගේ වම් අත දෙස බැලූ නිර්මලී බරැති සුසුමක් වාතලයට යොමුකලේ සිහිය පැමිණි විටදී ඔහුට දැක්වියයුතු ප්‍රතිචාරය ගැන ප්‍රවේශමෙන් සිතමිනි.

අනතුරුව හෙදියන් විසින් නිසි පරිදි ඔහුගේ ඇඳ සකස් කොට දෙන අතරතුර ඈ නිවස අමතා ලස්සනට සියල්ල තුලනය කරන අයුරු නේහා බලා සිටියේ වේදනාත්මක සිතිනි. 

ඈ සියල්ල උසුලයි ; ඈ සියල්ල දරාගනී ; ඒ තමයි නිර්මලී !

නිර්මලීටත් රශිඳුටත් අවශ්‍ය ඇඳුම් සහ අනෙක් දේවල් සියල්ල චම්පාට කියා සූදානම් කරවූ නිර්මලී රියදුරු ලවා ඒවා ගෙන්වා ගත්තේ දරුවන් එකිනෙකාට වෙන වෙනම ඇමතුම් දී ඔවුන් සන්සුන් කිරීමෙන් අනතුරුවයි.

" පච්චී ඌව වෙලා?? ලොකු බැන්ඩේජ් දාලද?"

" අප්පච්චි ස්ට්‍රොන්ග් පැටියෝ... ඌව එක අඩු වෙනකල් ඉඳලා එන්නම්.. මගේ පැටව් ආච්චම්මිට කරදර කරන්න එහෙම එපා කෑම කාලා නිදාගන්න හරිද?"

" අම්මී.... මම ගොඩක් දුකෙන් දුකෙන් ඉන්නේ..."

" අන්නේ පැටියෝ.. දුකෙන් ඉන්න එපා.. අම්මි ඉක්මනින් එනවානෙ.  සේයා අක්කි එක්ක උදේ ඉස්කෝලේ ‍යන්න හොඳද?"

දරුවන්ට නොදැනෙන්නට ඈ සියල්ල දරා ගනිද්දී රංග, නේහා, ශෂී සහ හිරාන් ඇගේ ශක්තිය වී ඈ අසළම රැඳුනහ.

වටපිටාවෙන් නැඟෙන නුහුරු ශබ්ද සමඟ රශිඳු අපහසුවෙන් මෙන් දෑස් විවර කරත්ම ඔහු දකින්නේ අසළම උන් නිර්මලීගේ මුහුණයි.

" රශී.. කොහොමද පැටියා? හ්ම්ම්??"

ඒ සමඟ ඔහුගේ නෙත ගැටෙන්නේ වෙලුම්පටි වලින් වැසීගොස් මහා ලොකුවට පෙනෙන , ලය මත හොවා ඇති ඔහුගේ වමතයි. ඒ ඔස්සේ ඔහුගේ මතකය සිදුවූ දේ ගැන මතකය කරා වේගයෙන් ඇදී යන්නේ මුහුණ වෙනස් කරමිනි.

පුහුණුවීම් අතරතුර අනපේක්ෂිතව සිදුවූ අනතුර නිසා තමාගේ වම් අත හිරිවැටී ගියාක් මෙන් දැනී හාත්පස කළුවර වූවා මතකය. තමන් සිටින්නේ රෝහලේ බව තේරුම්ගත් සැනින් හිසට ඉහළින් පෙනෙන ඇගේ සිනාවෙන් පිරි මුව නිසා යන්තම් සිතට සහනයක් දැනුනි.

පොඩ්ඩක් ඉන්න! අතට මොකද උනේ? 

" ...රශී?? කොහොමද ඔයාට හ්ම්ම්??"

රශිඳු වම් අත සොලවන්නට උත්සහ කලද එය කළ නොහැකි වෙද්දී වික්ශිප්ත බවින් පිරීගිය නිසා නිර්මලී ඔහුගේ නළල සිපගත්තේ සීරුවෙනි.

" බේබි ගර්ල්.. මට.."

" හරි දැන් දඟලන්නේ නැතුව ඉන්න. ඔයාට අමාරුවක් නෑ. මම ඉන්නව මෙතනම.. "

ඒ මොහොතේ හෙදියත් සමඟ වෛද්‍යවරයා කාමරයට පැමිණි නිසා රශිඳුට ඊට වඩා කතාකරන්නට නොලැබිනි. 

" මිස්ට ගෝකුල.. ඔයා මාර බේරිල්ලක් බේරුනේ.. "

රශිඳුගේ මුහුණ වෙනස් වී ඔහුගේ බැල්ම වෛද්‍යවරයා සහ නිර්මලී අතර වේගයෙන් ගමන් කරන්නට විය.

-----------------------------------------------------

අනතුර නිසා ඒ වසරේ තරඟ සඳහා වූ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම රශිඳුට අහිමි වී ගිය නිසා ඔහු සිටියේ මහත් සිත් තැවුලින් බව නිර්මලී දත්තාය. වම් බාහුවේ වැලමිටෙන් පහල කොටසේ ඇටකටු පුපුරා ගොස් තිබුනු බැවින් ඔහුට කාලයක් යනතුරු ක්‍රීඩා කිරීම ගැන සිතන්නට හෝ නොහැකි බව ඇසීමෙන් රශිඳු වෙනස්ම මිනිසෙකු බවට පරිවර්තනය වෙමින් පැවතුනි. වමත් පිතිකරුවකු වූ රශිඳුට එය ලොකු බලපෑමකි.

නිර්මලී සිටියේ නව ව්‍යාපාර වගකීම් සහ දරුවන් සමඟ ඔට්ටු වෙමින් වුවද රශිඳු ගැන සොයා බැලුවාය. දින දෙකක්ම පිට පිට සිදුවූ සිදුවීමක් නිසා ඇගේ මනසේ රතු එළියක් දැල්වූනේ අනතුරින් මාස හයක් ඉක්මවා ගිය පසුවය. 

' දැන් බෑ.. අත රිදෙනවා බේබි ගර්ල්..'

ඒ ප්‍රතිචාරය දරුණුවට දැනුනා ඇත්තටම !! නෑ.. කොහොමටවත් ඒ මගේ රශී නෙවෙයි.. එයාට මොනවද වෙලා. මට ඒ ගැන බයයි..!

ඈට එලෙස කියන්නට සිත නොදුන්නද සිතින් නැඟුනු විලාපය එයයි.

රශිඳු වේගයෙන් තමන් වෙතින් ඈතට යන බව දැනීම කෙතරම් වේදනාකාරීද? නමුත් ඔහු සංවාදයකට ඉඩක් ලබානොදුන් නිසා නිර්මලී තුල ඇතිවූ බිය විසින් ඇගේ දෛනික චර්‍යාව වඩා අවුල් සහගත වෙමින් තිබින. ඕනෑවට වඩා රශිඳු ගැන සැලකිලිමත් වෙමින් ඔහුගේ දුක සැප සොයන්නට යාම රශිඳු නිතර කෝප ගැන්වූයේය. වඩ වඩාත් instagram හි කාලය ගතකරන්නේ නිර්මලී කාර්‍යබහුල නිසා කියමිනි.

සිකුරාදා දිනයක් වු එදින වෙනදාට වඩා මදක් කලින් නිර්මලී නිවසට පැමිණියේ සවස් වරුවේ යෙදුනු වැඩ සියල්ල අවලංගු වූ බැවිනි. පාසිකුඩා හෝටලය නව පිඹුරුපත් ඔස්සේ වේගයෙන් පසුගිය පාඩු වලින් මිදෙමින් පැවතුනේ නිර්මලීගේ මැදිහත්වීමෙන් ඩිලෝන් ඇතුළු කීප දෙනෙක්ම නැවත කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීම් කල නිසාත් , සේවය හැරගිය පුද්ගලයින් නැවත ගෙන්වාගැනීමටත් හැකිවූ නිසාත් ය. 

එදින නේහා දරුවන් සියල්ලෝම චිත්‍රපටයක් නැරඹීමට රැගෙන ගියේ නිර්මලීගේ ඉල්ලීමකටය. රශිඳු ඔවුන් හා සෙල්ලම් නොකරන නිසා පොඩ්ඩන් සිටියේද නොසන්සුන් බවින් වීම තත්වය වඩා අයහපත් කොට තිබේ.

".. නෑ නෑ.. මම ඒකට කැමති නෑ. මට තව අවුරුද්දක් තියෙනවා... "

රශිඳුගේ හඬ නිර්මලීට ඇසුනේ පහළ ඇති කුඩා සාලයේ කොනකිනි. එය විවෘත වන්නේ බුහුටි මැද මිදුලකටය. ඔහු සිටින්නේ තමාට පිටුපා දුරකතන ඇමතුමක බව වැටහුනු නිර්මලී , එය නරක වැඩක් වුවත් එහි නතර වී එයට කන් දුන්නාය. වාහනය පැමිණි බව මෙතැනට ඇසෙන්නේ නැත.

"... බෑ.. බිරිඳ මම කිව්ව හින්දා ආයෙත් ව්‍යාපාර වැඩ වලට යන්නෙ.. එයා නැතුව ඔය වගේ ගමනක් තනියෙන් මට යන්න බෑ.. උඹ දන්නවනෙ මේපාර ගිවිසුම් අත්සන් කලේ නැති හින්දා මට විස්වාස නෑ ඊළඟ අවුරුද්ද ගැන.. පොඩි උන් පස්දෙනෙක් එක්ක ලේසි නෑ බං"

මේ ඇමතුම නවසීලන්තය මිතුරා සමඟ බව නිර්මලී වහා අනුමාන කළාය. 

ඇත්ත! දරුවන් පස් දෙනෙකුත් සමඟ විසල් පවුලක් වූ ගෝකුල පවුල බලාගැනීම ලේසි වගකීමක් නොවේ. වියදමට සාපේක්ෂව ආදායම අඩුවෙමින් යයි. වෙනදා ජාතික කණ්ඩායමේ සිටියදී හඹා එන දැන්වීම් සහ නොයෙකුත් අනුග්‍රහයන් සියල්ල නව ජනප්‍රිය තරු පසුපසය. ජනප්‍රියතාවය යනු එයයි! මාස හයෙන් රශිඳු ගෝකුල නම් තරුව ඔවුන්ට අමතකව ගොස්‍ ය. 

නිර්මලීගේ නව රැකියාව එම හිඩැස පිරවූවද , ස්වභාවයෙන්ම ආඩම්බරකාරයෙකු වූ රශිඳු එයට එතරම් කැමති වූයේ නැති බව දැනුනත් කරන්නට වෙනත් විකල්පයක් තිබුනේ නැත. 

' මම දීපු ජීප් එක ගත්තෙ නැති ලොකු සීන් නෙ මෙයා!'

".... පුහුණුකරුවෙක් කියන්නෙ ලොකු වගකීමක් බං.. උඹ එහෙම කිව්වට.. "

එහා පසින් කුමක් කියන්නේදැයි ඇසෙන්නේ නැත.

"....මට ඕක මගේ බිරිඳට කියන්න බෑ බං.. එයාගෙ සිහින හෝටලය ගොඩ ගත්තා විතරයි.. අනික එහෙම එකපාරටම යන්න බෑනෙ"

නිර්මලී වහා මේ වචන අල්ලා ගත්තේ යමක් තේරුම් ගන්නටය. රශිඳු තමා ගැන සිතන්නේ එලෙසද? 

එදින රාත්‍රීයේ දරුවන්ට රාත්‍රී ආහාරයද රැගෙන දෙන බවත් පසුවදා සෙනසුරාදා බැවින් ඔවුන් මදක් ප්‍රමාද වන බවත් නේහා දැනුම්දුන් නිසා නිර්මලී කල්පනාකාරීව යමක් තීරණය කලාය.

සුපුරුදු පරිදි වැඩි කතාබහක් නොමැතිව රාත්‍රීයට යන්තම් ආහාර ගත් රශිඳු ඉහළ මාලයට ගියේ හදිසියේය. නිර්මලීද අම්මා සමඟ ඕපාදූප සහ නොයෙකුත් කතා වලට මද වේලාවක් වැයකොට ඉහළ මාලයට යනවිට රශිඳු සිය ලැප්ටොප් පරිඝනකය ඉදිරියේ හිඳගෙන zoom තාක්ෂණය ඔස්සේ වීඩියෝ ඇමතුමකට සම්බන්ධ වී සිටියේය. 

ඈට වහා සිහි වූ instagram හි ඈ දුටු යමක් නිසා නැඟුනු අපූරු සිනාව රශිඳු නොදුටුවේ ඔහුගේ පූර්ණ අවධානය ඇමතුම සඳහා වූ බැවිනි.

රශිඳු රැස්වීම තුලදී කතාබහ කරමින් සිටියේ පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කණ්ඩායම සමඟ වූ විශේෂ සාකච්ජාවක වූ අතර එහි කළමණාකරු රශිඳුගේ ආබාධය ගැන නොසලකා ඔහුව ඊළඟ වරටත් මිලදී ගන්නට තීරණය කළ බව ඇසීම ඔහුගේ සිත තරමක් සුවපත්කොට තිබිණ.

" අපිට ලොකු බලාපොරොත්තු තියෙනවා රශිඳු ගෝකුල ගැන. මම හිතනවා ඔබ ආයෙත් පරණ දක්ෂතා අතරට එයි කියලා"

රශිඳුට කට කොනට සිනාවක් නැඟුනේ තමාට ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිචාරයක් ලබාදුන් ලාංකීය ක්‍රිකට් පාලක මණ්ඩලය සිහි වීමෙනි. බරැති හුස්මක් වාතලයට පාකර හරිත්ම ඔඩොක්කුවට වැටුනු සුදුපාට තුවායක් නිසා රශිඳුගේ ඇස මදක් ඒ දෙස බලා එය පැමිණි දොර දෙසට යොමුවත්ම ඔහුගේ දෙනෙත් නවතින්නේ නළලතිනි.

දොර අසළ සිය කෙස් වැටිය ඉහළට කොට ගැටගසාගෙන සිටි නිර්මලී එක් අතකින් සිය ඇඟිල්ලෙන් ඔහුට එන්නට කියමින් සිටියේ ඇඟලුම් කිසිවක් නොමැතිව බව පෙනුන ඔහුට උන් හිටි තැන් මතක නොමැතිව තත්පරයක් පමණ ගල් ගැසී; එසැනින් තමා සිටින වීඩියෝ ඇමතුම සිහිවී හැකි උපරිමයෙන් සාමාන්‍ය වන්නට උත්සහ කරද්දී නිර්මලී සිනාසුනේ මහා හපන්කමක් කලාක් මෙනි. කලබලයට ඔහුට ලැප්ටොප් පරිඝනකය අතහැරෙන්නට පවා ගියේය.

රතුවී අපහසුතාවයෙන් ඒ මේ අත ඇඹරෙන රශිඳු ඈ තුල ඇතිකලේ විනෝදයකි. වහා ඇමතුම විසන්ධි කල රශිඳු ඈ තම සමීපයට ඇදගත්තේ ඇගේ දඟකාරකම ගැන ඇතිවූ සිනාවද සමඟිනි.

" මොකක්ද ඒ කලේ පිස්සි! තව ඩිංගෙන් උන් ඔක්කොම දකිනවා!!! "

ඈ ඊට දඟකාරව සිනාසුනාය. රශිඳුගේ 'බඩගිනි හාදුව' ට රුකුල් දෙමින් ඈ සිය පෙම්වතා ක්‍රමයෙන් ඇගේ උණුසුමට නතු කරගත්තේ රශිඳුගේ පාලනය තවදුරටත් ඔහුට අහිමි කරමිනි. තෙරපෙන උණුසුම් හැඟීම් සමඟ ගිය අපූරු අලංකාර වර්ණවත් ගමනකි එය!

" ඉන්ස්ටග්‍රෑම් එකේ ට්‍රෙන්ඩ් උන එකක්.. ෆ්ලෑශිං යුවර් හස්බන්ඩ්.. හොදයි නේ?"

නිර්මලී පසුව පවසන්නේ රශිඳු ඊට උස් හඬින් සිනාවක් නංවන විටය.

' හොට්නස්! කීයද බං උඹේ වයස?' 

" උඹට නම් පිස්සු.. ! තව ඩිංගෙන් මම ඉවරයි!!"

නිර්මලී සිය නෙළුම් පොහොට්ටු වැනි දෑස විදහා ඇයටම ආවේණික බැල්මෙන් රශිඳු දෙස බලා සිටීමම දෙවන වටයකට කළ ආරාධනාවක්ම විය. 

එදින රාත්‍රියේ බොහෝ කාලයකට පසුව දෙදෙනාම එකිනෙකාගේ උණුසුම සොයමින් බැල්කනියේ ගතකරන අතර නිර්මලී සෙමෙන් ඔහු ස්පර්ශ කරන අතරතුර වඩා සැලකිලිමත් ලෙස ඔහුගේ මුහුණේ හැඟීම් කියවන්නේ කහපාට අඩ අඳුර අතරිනි.

" රශී... "

"හ්මම්මම්ම්"

" මම කැමතියි ඔයා ඩෙරික්ගෙ ඔෆර් එක ගන්නවා නම්"

රශිඳු මදක් තිගැස්සී මෙන් හිස හරවා නිර්මලීගේ මුහුණ දෙස එක එල්ලේ බලා කල්පනාවට වැටෙන්නේ ඈ බලා සිටියදීමය.

------------------------------ මතු සම්බන්ධයි --------------------------


No comments:

Post a Comment

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...