Sunday, August 28, 2022

357: උන්මාද චිත්‍රාදෝ මා 88




නිර්මලීට ඉබේටම සිය යටි තොල්පට විකුනේ හදවතේ ශබ්දය පිටතට ඇසෙන තරම් වද්දීය. 
රශිඳු සෙමෙන් ඇවිද විත් ඈ සිය ළයට තදකොට ගත්තේ ඒ දැක්ම විසින් ඔහුව පාරවා දැමූ බැවින් වුවද නිර්මලී ඔහුගෙන් මිදුනේ ඒ සැනෙකිනි.
".. ඒ මගෙ දරුවෙක් රශී.. මම.. මම අකමැත්තෙන් උනත් පිලිගන්නවා ඒක. මට ඒක රිජෙක්ට් කරන්න බෑ.. ඒ නොදරුවා මේ කිසි දෙයක් දන්නෙ නෑ.. එයාව රිද්දන්න එපා ප්ලීස්"

රශිඳුගේ හදවත වේදනාවෙන් මිරිකෙන්නා සේය. පසුගිය දිනවල සිය ඇකඩමියට පැමිණ මහත් අභිරුචියෙන් ක්‍රිකට් ක්‍රීඩා කල අයුරු.. ඉන් පසුව සිය පියා නිවසට එන්නට පෙර හොරෙන් නිවස කරා යන ඒ කීකරු කොළුවාගේ හිස තමා අතගෑ අයුරු.. නිවසින් ගෙනයන බත් එක දැක ඔහුගේ දෑස්වල දැල්වූ එළිය නිසා පසුදින ඔහුටත් එක්ක කෑම ගෙනගිය මොහොතේ ඔහුට එය බලෙන් මෙන් කවන්නට සිදුවූ අයුරු... ඊටත් වඩා.. එදින සාදයට පැමිණි දරුවන් අතරින් ඉන්දියානු සම්භවයක් තිබුනු කොළුවකු ඔහු දැක සැඟවූ සැනින් තරුකි කියූ කරුණත් සමඟ ඔහු තමා දෙස බලා සිටි අයුරු.. මේ සියල්ල චිත්‍රපටයක් මෙන් ඔහුගේ දෑස් ඉදිරියේ ඇඳෙන්නට විය. 

" පච්චී.. මෙන්න මේ තමයි මාව කිත් කල එක්කෙනා... "
ඇගේ ඇඟිල්ල කෙලින්ම ඉන්දියානු කොළුගැටයා දෙසටය.

"...  පච්චි කිව්වනෙ ආයෙ කිත් කරන්න දෙන්න එපා කියලා. ඉතිං මං එපා කිව්ව..  ඒ උනාට බාස්කට්බෝල් ගහන්කොට එයා ආයෙ කිත් කලාම මේ අය්යා තමයි එයාට ගැහුවෙ"

ඒ තමයි තරුකිගේ යාළුකමේ රහස! 

අහම්බයන්...

ජීවිතය කෙතරම් සැලසුම්කල දෙයක් වුවත් ඒ සියළු සැලසුම් මත්තට ගල් ගෙඩියක් පරිද්දෙන් අහම්බ කඩා වැටෙනු ඇත. තමාට නිර්මලී හමුවූයේ එය සත්‍ය නිසා නොවේද? 

ජේනුක මිහිඳුකුලසූරිය , තමා ජෙම්.. ( ජේ සහ එම් ලෙස කියවෙන) ලෙස දන්නා මේ කීකරු බුහුටි දරුවා තමාගේ සිත පැහැර නොගත්තේ නම් කතාව මීට වඩා තරමක් හෝ පහසුය. ඔහුගේ ඒ ඇස්වල සටහන්වන පුරුදු බැල්ම විසින් තමන් කියන්නට යන සියල්ල හකුලවා දමන්නේ මොහොතිනි.

' Nir.. I missed you' 

නිර්මලී තදින් බදාගෙන ජේනුක එසේ පවසද්දී තමා ලාවා වල ගිලී යන්නා සේ දැනේ. තමාගේ නොවන කියා සිතෙනා දරුවෙකු වෙනුවෙන් පවා තමාගේ හදවත මෙතරම් උනුවන්නේ කවදා සිටදැයි ඔහු දැන සිටියේ නැත. 

" නෑ මම එහෙම හිතන්නෙ නෑ බේබි ගර්ල්.. මම එහෙම තිරිසනෙක් නෙවෙයි.. ඒ ජේනුක කියලා දැනගෙන හිටියේ නැති එකට මට සතුටුයි.. "
රශිඳු නිර්මලීගේ දෑතම අල්ලාගෙන තමා දෙසට හරවා ගත්තේ ඒ ඇස්වල බැල්මේ කිමිදෙමිනි.
".. ඒත් මට ඒ මිනිහට සමාව දෙන්න බෑ. සැරින් සැරේ ඔයාගෙ ඉස්සරහට ඇවිත් ඔයාව වීක් කරනවට මම කැමති නෑ.. "

ඔහු කියන්නේ මුසාවක් නොවේ. අසලංක දකිනා සෑම විටකම තමා වෙතින් කුමක් හෝ නරක බලවේගයක් මතුව එනවාක් මෙන් නොසන්සුන් වෙයි. 

".. ඌ ආයෙ මගේ ඇස්දෙකටවත් දකින්න කැමති නෑ බේබි ගර්ල්.. එච්චරයි. "
රශිඳු ඇගේ නළලත සිපගන්නේ ඇගේ වැසෙන දෑස්වලින් පිටාර ගැලූ කඳුළු දෙස නොබලාමය. 

සාදය මැද සිදුවූ දෙයක් නිසා අමුත්තන්ට නොදැනෙන්නට එකිනෙකා දෙස අහේතුකව බලමින් එකඟව, ඔවුනට මද වේලාවක් රැඳෙන්නට ඉඩ දුන්නද වරින්වර රවමින් සිටිනා රශිඳු ගෝකුල නිසා අසලංක මිහිඳුකුලසූරිය හෝරාවකින්ම ජේනුක ඇස්වල කඳුළු පුරවාගෙන සිටියදීම එතැනින් රැගෙන ඉවත් විය.

" I hate you Dada!"
ආපසු යන අතරමගදී , බොහෝ කාලයකට පසුව ජේනුක එසේ කියන්නේ අසලංකගේ හද මත කිණිසි පහරක් එල්ල කරමිනි. බොහෝ කාලයකට පසුව සිය පියා එදින රාත්‍රිය පුරාම අසාමාන්‍ය ලෙස බීමත්ව සිටිනවා දුටුවද ඔහුගේ සිත උණු නොවන තරමට සිත තිබුනේ තුවාල වී ඇදුම් කමිනි.

' ඩඩා මට අම්මෙක් නැතිකලා... මට ඔයාව පේන්න බෑ!! මමත් ඔයාව දාලා යනවා දවසක.. '
' ඔයා නවතින්න කියලා මගේ කකුල් අල්ලලා වඳිනකොට මම දාලා යනවා..'
' කවදාවත්  සමාවක් නෑ මේ දේවල් වලට'

දරුවකුගේ හදවතකින් නැගෙන ඒ වේදනාත්මක කෝපය වඩාත්ම අසලංක තුවාල කොට තිබිණ. නිහඬ ජේනුක සිය දුරකතනය අක්‍රිය කොට කාමරයටම වැදී සිටියේ ඒ තුවාලද සමඟිනි.

දින දෙකක් බේබදු ජීවිතයක් ගතකළ අසලංක නිදාවැටී සිටි සෝෆාවෙන් නැගිට තවමත් අස් නොකල සිය නව නිවසේ බඩුමුට්ටු දෙස හිස් බැල්මෙන් බලා සිටියේය. අඩක් විවරව තිබුනු ජේනුකගේ කාමරයේ දොරෙන් බිම දැමූ මෙට්ටය මත ඉබේටම නින්දට වැටී සිටි ජේනුකගේ සිරුරෙන් අඩක් පෙනේ.

තවදුරටත් බලන්නට සිහිනයක් හෝ ජීවිතයක් තමන්ට ඇතැයි හැඟෙන්නේ නැත. අරමුණක් හෝ බලාපොරොත්තුවක් ගැන අංශුවක් හෝ දැනෙන්නේද නැත. ජේනුක තමාට මේ දැනෙන ශුන්‍ය වේදනාවේ වින්දිතයෙකු විය යුතු නොවේ. නමුත්... වෙන අන් මගක් වේද? 

ඇදුම්කන පය අද්දමින් ඔහු සිය දුරකතනය වෙත ඇවිද ගොස් එහි ගබඩා කොටගත් එක්තරා දුරකතනය අංකයක් වහා සිය තිරයට ගෙන ඒ දෙස මද වේලාවක් බලා සිටියේ කල්පනාවට වැටෙමිනි.

මිනිත්තු කිහිපයක් අවසානයේ ඔහු ඒ අංකය පහළ ඇති කොලපාට බොත්තම මත සිය ඇඟිල්ල තද කළේය.

--------------------------------------------------------------

දුරකතනය දෙතුන් වරක්ම නාද වූවද නිර්මලී ඒ දෙස නොබැලුවේ නව්‍යා සමඟ වූ සංවාදය ඉක්මනින් නිමකර ඈට නිවසට යන්නට ඉඩදිය යුතු නිසාය. ඒ වනවිට ඈ සිටියේ ඇගේ ප්‍රසූත නිවාඩු සඳහා දින ගනිමින් නිසා සෑම දිනයක්ම සහ පැයක්ම නිර්මලී ඇගේ වගකීම් වලින් බැහැර කරන්නට අවශ්‍ය දේවල් සැලසුම් කරමින් සිටියාය.

" මෑම් මම ඉතිරි ටික ගෙදර ගිහින් කරන්නම්.. මෑම් දැන් නිදාගන්න "

" නෑ නෑ නව්‍යා පිස්සුද? ඔයා මම මේ අන්තිමට එවන ඩොක් එක අමුණලා ඕක දැන් වහලා දාලා සැනසිල්ලේ ගෙදර යන්න.. ඩිලෝන් බනී මම ඔයාව මරෝනවා කියලා "

නව්‍යා සිය පිරිපුන් මුහුණ මත ඇඳෙන සිනාවෙන් සිය ස්වාමි දියණියගේ වදන් පිලිගත්තාය. 

අනතුරුව නිර්මලී අවශ්‍ය අනෙකුත් ලිපි ලේඛන සියල්ල අමුණා ඈට විද්‍යුත් ලිපිය යවා නිමකලේ එතෙක් නදදී නිමවූ දුරකතනය අතට ගනිමිනි. ඈට නුහුරු විදෙස් අංකයක් නිසා ඈ සිතුවේ මේ වේලාවේ ලංකාවෙන් කවුරුන් ඈ අමතන්නද කියාය. 

ඈ එසැනින් පසු ඇමතුම ලබාගන්නේ whatsapp තාක්ෂණය ඔස්සේ වූ අතර දෙවරක් නාද වත්ම එහා පසින් ගැඹුරු කටහඬක් ඇසුණි.

----------------------------------------------

".. පොඩ්ඩක් ඉන්න... මට මේක හරි කන්ෆියුසින්.. ඇයි? ඇයි මේ විදියට.."

නිර්මලී එක් අතකින් සිය කැරළි කොණ්ඩය තුලින් සිය ඇඟිලි ගෙනයමින් සහ වේගයෙන් බැල්කනියේ ඒ මේ අත යමින් පවසන්නේ හැකි උපරිමයෙන් සන්සුන් වන්නට උත්සහ කරමිනි.

එවිට නැවතත් තමන් කලින් සඳහන් කල හේතුව ඉතා පැහැදිලි හඬින් නැවත වරක් පැවසූ ගෝමස් මහතාගේ හඬ නිර්මලීට ඇසුනේ ඈතකින් ඇසෙනා දෝංකාරයක් මෙනි.

"... මම හිතන්නෙ.. හ්ම්ම් ( මදක් කල්පනාවට වැටෙමින්) මට තේරෙන්නේ නෑ මිස්ට ගෝමස් මේ වගේ දෙයක් එකපාරටම උනාම ඒක එතරම් හොඳ වෙන්නෙ නෑ.. මේ කම්පැනි එක වැඩකරන විදියක් මම දන්නෙ නෑ.. එහෙම එකපාරටම...."

" නෑ මිසිස් ගෝකුල.. අවශ්‍ය නීතිමය දේවල් ඔක්කොම කෙරිලා තියෙන්නෙ. ඒ හින්දා ඒ ගැන මුකුත් මිසිස් ගෝකුලට කරන්න නෑ. කොහොමත් ඩිරෙක්ටර් වෙනස් වෙන එක විතරයි , ඒ අවශ්‍ය අනෙක් දේවල් ඔක්කොමත් බලලා තියෙන්නෙ.. මේක මාස ගානකට කලින් ගත්ත තින්දුවක්. මිසිස් ගෝකුලව දැනුවත් කරලා තියන එක මගේ යුතුකම"

ගෝමස් මහතා සමඟ ඉතිරි විස්තර සහ වගකීම් ගැන දැනුවත් වී නිර්මලී ඇමතුම විසන්ධි කලේ ඈ මේ ගැන තවදුරටත් සිතා බලා ඔහුව අමතන පොරොන්දුව පිටය. 

ඇමතුම විසන්ධි වනවාත් සමඟම ඇගේ බඳ වටා එතුනු බූල් අතත් ගෙල පාමුලට ලැබුනු උණුසුම් හාදුවක පහසත් නිසා නිර්මලී තිගැස්සී
ගියේ ඒ කවුදැයි හඳුනා ගනිමිනි.

" නිදාගන්නෙ නැද්ද මැඩම් මේ රෑ හොල්මන් කරන්නෙ? මටත් නිදාගන්න බෑහ්.. "

ඔහුට තවමත් ඈ නැතිව හරිහැටි නින්දක් ලැබෙන්නේ නැත. පොඩ්ඩක්වත් ඇඟේ ගෑවෙන්නට අවශ්‍යය. ඉතින් මේ නෝනා රෑ තිස්සේ බිස්නස් කිරිල්ල ළඟදීම උදහසට ලක්වීමට නියමිතය.

ගෙලමත හාදුව විතැන්වීගෙන යන අතරේ අත්වල ගමන නිර්මලී දෑතින්ම අල්ලා වලක්වා ගත්තාය.

" ...කවුද කෝල් කලේ? හ්ම්ම්??"

මේ මැඩම්ට ඕනේ විදියට බෑ හැමදේම! දැන් නම් හොඳටම වැඩී..

" හ්ම්ම්ම්.. රශී.. මේ..."

මේ තටමන්නේ නම් හොඳකට වන්නට නොහැකිය. නමුත් ඔහු කරමින් සිටි කිසිවක් නතර නොකලේ හේතු ඇතිවය. ඈ දැන් රිලැක්ස් විය යුතුය.. 

" ම්ම්ම්ම්?"

" හ්ම්ම්ම්ම්.. මේ අහන්නකො.. මේ..."

" හ්ම්ම්ම්? කියන්න "

" අනේ ඉතින් චුට්ටක් ඉන්නකො.. "

" ඉතින් කියන එකනෙ.. මම එපා කිව්වද?"

නිර්මලී හිස හරවා ඔහු දෙස බලන්නේ සිය සිරුරට තෙරපෙමින් කරන ඕනෑනැති වැඩේ ගැන ඔරවන්නට පවා අමතකවය. ඇගේ කැළඹීම නොතේරුනා සේ රශිඳු දෑස සිහින්කොට ඇගේ නෙතත් දෙතොල්පෙති අතරත් ඒ මේ අත නෙත් යවා මදක් කල්පනාවට වැටුනේය.

" කවුද කෝල් කලේ මේ මහ රෑ?"

" රශී... මේ.. මටත් චුට්ටක් මේක කන්ෆියුස්.. හෙට කෝල් කරන්න ඕනේ ඒ ගැන... මම හිතන්නෙ.. මමත් හිතන්න ඕනෙ මේ ගැන.. මේ.."

රශිඳුගේ මුහුණ වෙනස්වන්නට ගියේ තත්පරයෙන් අරික්කාලකි. ගෙල දිගේ ආ දකුණත නතරවූයේ ගෙලේ ඉහල කෙලවරේ කන ආසන්නයේය.

" කවුද කෝල් කලේ කියනව.. වෙන වැල් බයිල කියන්නෙ???!"

ඒ දෑස්වල ඇති ආවේගය දැනුනද දැන් නම් ගැලවීමක් නැත.

" අ.. අසලංකගෙ ලෝයර් කතාකලේ..."

රශිඳුගේ දෙබැම හැකිලී මුහුණ රකුසු වූයේ දෙතොල් එකිනෙක තෙරපමිනි. එම මැර බැල්ම කියන්නේ එතැනින් ඈට නතරවිය හැකිබව නොවේ. 

"..... අ.. අසලංක එයාගෙ කම්පැනි එකේ ශෙයාස් ඔක්කොම මගේ නමට හරවලා.. ම.... මට... ජේ.. ණුකගෙ කස්ටඩි එක දීලා.."

රශිඳුගේ මුහුණ මත සිදුවූ දහසකුත් වෙනස්කම් වලින් තමාට ඇති අභියෝගයේ තරම ගැන කුඩා හෝ වටහාගැනීමක් නිර්මලී ලබාගත්තේ වේගයෙන් සැලෙන හුස්ම වලට ඉඩක් දෙමිනි.

-----------------------------------------------

එළැඹෙන දෙවන දිනටත් ඇදී ගිය සංවාදය , අවසානයේ තරමක උණුසුම් වාදයක් වූයේ රශිඳු කවරදාටත් වඩා කේන්තියෙන් ගුගුරන්නට වූ නිසාය.

"... ආයෙ ආයෙ කියන්නෙ නෑ මම! ඔය @ල්ලට ඕනෙ මගුලක් කරගන්න ඇරලා ඔයා ඉන්න මෙන්න මෙහෙට වෙලා.. "

" රශී.. පොඩ්ඩක් අහන්නකො.. මම පොඩ්ඩක් කතා.."

" ඌ එක්ක මොකක් කතාකරන්නද? මාව මොකෙක් වගේද පේන්නෙ? හැමදාම ඌ කලේ ඒ දරුවා ඉස්සර කරගෙන ඔයාව රවට්ටපු එක.. කොටින්ම දරුවා ගැනත් කලේ රැවටිල්ලක්.. @ල්ලෙක් ඌ!! "

නිර්මලී මදක් ගොලුවී ගියාය. රශිඳු කියන්නේ මුසාවක් නොවේ. 

" රශී.. ප්ලීස්.. මාව තව මොනව රවට්ටන්නද? හ්ම්ම්?? මාව රවට්ටගෙන මොකක් ගන්නද දැන්? මම ඔයාගෙනෙ රශී.. ඔයා මට දීපු පැටව් තමයි මගේ ජීවිතේ.. "

නිර්මලී ඒ රැවුල්කොට පිරුනු කඩවසම් මුහුණ සිය අත්ලෙන් වසමින් පැවසුවේ ඔහු සන්සුන් කරන්නටය. මේ රණ්ඩුව ඵල රහිතය.

"... එච්චර ලොකු කම්පැනි එකක් එකපාරටම මට දෙනවා කිව්වහම මගෙත් කැමැත්තක් නෑ. මට පොඩ්ඩක් ඒ ගැන කතාකරන්න ඕන අසලංක එක්ක. ජේනුකගෙ කස්ටඩි එකත්.. ඔයාගෙන් අහන්න.."

නිර්මලීගේ උගුර පැටලී ගියේ වැකිය සම්පූර්ණ කරගත නොහැකිවය. එය අසාදාරණ ඉල්ලීමකි. නමුත් පියා ලෙස අසලංකට කැමැත්තක් කළ හැකි අතර ජේනුකගේ වයස අනුව ඔහුගේ කැමැත්තද විමසුවත් එය නිර්මලීට වඩා වෙනසක් වේද? එය විය නොහැක්කකි!

".. රශී.. මම එදා ගියපු කැන්සර් සෙන්ටර් එකේදි මම අසලංකව දැක්ක.. සමහරවිට අසලංක..."

නිර්මලී සිය වම් කොපුල ඔහුගේ ලයට තදකොට සෙමෙන් පවසද්දී රශිඳුගේ දෑත් ඇගේ උරයේ රැඳුනි. අසලංකට පිලිකාවක්ද? මේ රටේ පිලිකාවක් සෑදීම යනු ජීවිතයේ අවසානය නොවේ. පිළිකා සෑදී ප්‍රතිකාර වලින් සුවවී සාමාන්‍ය ජීවිතයක් ගතකරන මිනිසුන් රශිඳු දැක තිබේ. 

ඔහුට අවසාන වතාවට අසලංක දුටු මොහොතේ ඔහුගේ පෙනුම සිහියට නැඟුනේ නිරායාසයෙනි. ඔහු එතරම් නිරෝගී බවක් නොපෙන්නුවාද කියාවත් මතකයක් නැත.

' උඹ විඳවල මැරෙන්න ඕන ජාතියේ @ල්ලෙක්.. කාලකණ්ණිකමටද මන්දා මට කුරිරු සතුටක් දැනෙනවා..  ඒත් උඹ තාම මේ කෙල්ලත් එක්ක කරන තුප්පහි සෙල්ලම නතර කරලා නෑ.. කොහොමද උඹ වගේ එකෙක්ට අර වගේ හොඳ කොල්ලෙක් තාත්තා කියන්නෙ??'

".. ඔය තරහ ඇති කිකී.. "

" උගේ $ද්දේ බිස්නස් ඕන නෑ.. ඒ ගැන අමතක කරන්න"

" මම අසලංක මීට් වෙන්න ඕන. ඊයේ දවල් ඔක්කොම ඩොකියුම්ස්න්ට්ස් ටිකේ කොපීස් හම්බෙලා මිස්ට දාබරේට.. බාරගන්නේ නැතිනම් ලොකු ප්‍රෝසෙස් එකක් තියෙනවා.. මම ඒ ගැන කතාකරන්න ඕන"

"......."

පිලිතුරක් නොමැත්තේ ඇයිදැයි ඈ දනී. මේ මොහොතේ හදවතට වඩා බුද්ධියට ඇමතිය යුතුය. මෙය මිලියන ගණනක් වටිනා ව්‍යාපාරයක් වූ නිසාත් එයින් යැපෙනා සේවකයින් අතරමං කල නොහැකි නිසාත් මෙට විහිලුවක් ලෙස හෝ ප්‍රමාද නොකල යුතුය.

"... ඕනෙම නම් කෝල් එකක් දෙන්න.  හම්බෙන්න ගියොත් කකුල් කඩනවා මම"

රශිඳු අවසානයේ එලෙස පැවසුවේ මේ රණ්ඩුව ඔහුටද සෑහෙන මානසික වෙහෙසක් නිසාය. ඊට අමතරව ඔහු යුහුසුළුව ඔහුගේ ඇකඩමියේ සම්බන්ධතා කිහිපයකට කතාකොට ජේනුක වෙනුවෙන් නේවාසික පාසලක් සූදානම් කරද්දී නිර්මලී නිහඬව සිටියේ ඇතුලතින් පිලිස්සෙමිනි.

අනතුරුව ගතවූ හෝරා කිහිපයම ඈ සිටියේ සැබෑ යුද්ධයකට මැදිවීය. ආරංචිය ලැබී අසලංකගේ ආයතනයේ ඉහළ නිල දරනා දෙදෙනෙක්ම ඔවුන්ගේ අස්වීමේ ලිපි බාරදී තිබුනු අතර තවත් පිරිසක් උද්දාමයෙන් මුසපත්ව නොනවත්වා නිර්මලී වෙත සිය සතුට පලකොට තිබිණ. දෙවැනි කොටසේ උඩින්ම සිටියේ අසලංකගේ දිගුකාලීන ලේකම්වරිය වන වේදිකාය. 

ඒ අතර ආ ඇමතුම තවත් බෝම්බයක් අතහැරියේය.

" තෝ &සි! තාමත් අසා එක්ක බු&යන හින්දද ඔක්කොම දේපල ලියාගත්තෙ? ආ?? උඹ දැනගනින් මම උඹේ ඔය අනාථ නිවාසෙ බිමට සමතලා කරනව... තියෙන ගායට තමන්ගෙ ළමයෙක්ගෙ වයසෙ මිනිහෙක්ව අල්ලගෙන මදි උනාද තව මගේ අසාවත් තියාගත්තෙ.."

නිර්මලී ඇමතුම විසන්ධි කොට වහා එම අංකය අවහිරකොට දැමුවාය. 

අසලංකගේත් රාධිකාගේත් සම්බන්ධය ගැන වැඩිදුර නොදනිතත් ඇගේ හඬේ ඇති තර්ජනය සහ වේදනාව ගැන නිර්මලී සිතට ගත්තේ නැත. 
දහවල් නිර්මලී ඈ නිතර යන පොදු කාර්‍යාල පරිශ්‍රයට ගොස් ලැබුනු පලමු ඉසිඹුවෙන්ම කෝපි කෝප්පයක් තොලගාමින්, ගැඹුරු හුස්මක් ගෙන , ගෝමස් මහතා විසින් ලබාදුන් අසලංකගේ දුරකතනයට ඇමතුමක් ගත්තේ සන්සුන් වන්නට උත්සහ කරමිනි.

සෑහෙන වරක් නාද වූ පසුව අවසානයේ නිර්මලීට අසලංකගේ හඬ ඇසෙත්ම හදවත වේදනාවෙන් බර වනවා දැනුණි.

" අ.. සලංක.. මම නිර්මලී ගෝකුල "

ඈ හඬ වෙනස් නොකරම පැවසුවේ ඔහුට වෙනසක් නොපෙන්විය යුතු නිසාය. අසලංකගේ මුවේ නැඟුනු සිනාව නිර්මලී දුටුවානම්... 

කොච්චර කාලකට පස්සෙද මේ කටහඬ ඇහෙන්නෙ..?

" යෙස් නිර්මලී.. මගේ ලෝයර් කෝල් කලා කියලා මට කිව්වා.. කියන්න "

" හ්ම්ම්.. මෙහෙමයි මිස්ට මිහිඳුකුලසූරිය... මට මේ ගැන.. "

" ඔව්.. මම දන්නව... අපි කතාකරමු. ඔයා දැන් කොහෙද ඉන්නෙ?"

" Regus එකේ.. එතන පොඩි ඔෆිස් එපේස් එකක් තියෙනවා මම වැඩ කරන"

" ආහ්.. වාව් නියමයි.. මොන බ්ලොක් එකේද?"
නිර්මලීට ඉබේටම පිලිතුර පිටවී හමාරය.

"..  මම ඉන්නෙත් දැන් එතන... විනාඩි දෙකෙන් මම ඔතන.. ලිෆ්ට් එකට නගිනවා"

ඇමතුම විසන්ධි වූයේ නිර්මලී සිතන්නටත් පෙරය. දැන් කරන්නට දෙයක් නැත. තමන් කරන්නේ වරදක් නොවේ යයි ඈ තමාටම සැනසිලිබස් දොඩන්නට වූවාය. 

නිර්මලී මේ කුඩා කාර්‍යාල පරිශ්‍රය කුලී පදනම මත යොදාගන්නේ රූපලාවණ්‍ය ව්‍යාපාරය සඳහාත් අනෙකුත් ව්‍යාපාර සඳහාත් වන සැපයුම්කරුවන් සහ ගැනුම්කරුවන් සමඟ කටයුතු සඳහා බැවින් එය කාර්‍යාලයට වඩා සමීප වූයේ බුහුටි කාමරයකටය.

" හායි"

" හායි"

අසලංක පැමිණි පසු ඔහුට කෝපි කෝප්පයක් ලබාදුන් පසුව දෙදෙනාම එහි වූ සෝෆාවේ මද වේලාවක් නිහඬව හිඳගෙන උන්හ. 

" අ... ස.. ලංක.. "

" මට තේරුම් ගන්න පුලුවන් ඔයා ඉන්න ශොක් එක.. මම ඔහොම නෙවෙයි මේ ගැන කියන්න හිටියේ.. නමුත් අනික් දේවල් එක්ක මට වෙලාවක් නැති උනා නිර් එක්ක නිවිහැනහිල්ලේ ඒ ගැන කතාකරන්න.  අනික.. මම දන්නව රශිඳු කැමති වෙන එකක් නෑ මම ඔයාව ඔයාගෙ ගෙදර ඇවිත් මුණගැහෙනවට"

නිර්මලී බිම බලාගෙන සිට එකවරම අසලංක දෙස බැලුවේ ඒ මුහුණේ ඇඳෙන හැඟීම් කියවන්නට මෙනි.

" අසලංක...  ඔයා මේ තීරණය ගන්න ඇත්තේ ගොඩක් හිතලා වෙන්න පුලුවන්.  ඒ උනාට මට හිතෙන්නෙ.. ඔයා තව ටිකක් හිතන්න ඕන.. අනික.. එහෙම පවරන්න තරම් ඔයාට... මම කිව්වෙ.. බිස්නස් වලින් අයින් වෙන්න තරම්.."

අසලංක හුස්මක් ඉහලට ඇද්දේ මුව මත අපහසුවෙන් සිනාවක් නගා ගනිමිනි.

" නිර්... මගේ බිස්නස් එක.. ඔයා දන්නව මම ඒක බිල්ඩ් කලේ කොහොමද කියලා.. ඒක වැටි වැටි ඉස්සරහට යනකොට ඔයා මට සෑහෙන්න උදව් කරලා තියෙනවා.. මේක ඒකට කරන පේ බැක් එකක් නෙවෙයි. 
මේ බිස්නස් එක අපේ තාත්තා නැති වෙනකොට අපිට ඒක කරගෙන යන්න දන්නෙ නැතුව බාප්පට විකුණන්න ගියා. ඒත් ඔයා දන්නව.. ඔයාගෙ කතාවක් අහගෙන ඉඳල අවුරුදු දහ අටක් වෙච්ච මම එකපාරටම ඒ තීරණේ වෙනස් කරලා මේක බාරගත්තා. 
සක්සස් උනේ නෑ.. පළවෙනි අවුරුද්දේ අපි බංකොලොත් උනා දෙපාරක්.. අන්තිමට අක්කගෙ කරාඹු කුට්ටම උකස් කරලා පටන් ගත්ත වැඩ ටික කොහොමහරි ඉවර කලා... ඒවා එකින් එක කියන්න බෑ දැන්.. "

අසලංක බරැති හුස්මක් පා කලේ ඒ අතීතය දෙස උපේක්ෂාවෙන් බලමිනි. නිර්මලීට මෙය අලුත් කතාවක් නොවේ. ඒ ගමන්මග පුරා ඈද සිටි නිසාය. 

".. ඒත් මම මේක හැදුවේ මගේ දරුවෙක් වගේ. බිස්නස් එක කියන්නෙම මගේ බ්ලඩ් වල තිබ්බ දෙයක්.. ඉතින් ඒ මගේ බ්ලඩ් තමයි !  මගේ දරුවෙක් නම් මම ඒක දෙන්නෙ මගේ දරුවෙක්ව බලාගන්න කෙනෙක්ට.. ඔයයි ජේනුකයි අතර ඔච්චර බැඳීමක් තියෙන්නෙ ඇයි දන්නවද? ඒත් මගේ බ්ලඩ්.. ඔයා ගැන තිබ්බ ආදරෙත් තිබ්බෙ ඒ බ්ලඩ් වලම තමයි නිර්මලී..."

තත්පර කිහිපයක නිහඬතාවක් ඇතිවූ නිසා නිර්මලී සෝෆාවෙන් නැඟී සිටියේ සංවාදය වෙනතකට යන බැවිනි.

"... සොරි.. මම ආවේ ඒ ගැන කියලා ඔයාව ඕක්වර්ඩ් කරන්න නෙවෙයි.. Let me get back to the point...  ජේනුක.. එයා මගේ ගාව දැන් ඉන්න බෑ කියනවා. එහෙම උනත් ජේනුක මගේ අක්කා ගාව ඉන්න ආසා නෑ. එහෙදි ලොකු ප්‍රශ්න වගයක් වෙලා අක්කා තව ඩිංගෙන් හිරෙත් වැටෙනව. අම්මාත් දැන් නෑ, හිටියත් ජේනුක වැඩිහිටියෙක් වෙනකල් තියන්න බෑ.. 
ඒ මොකක් උනත් ජේනුක ඔයාට ආදරෙයි.. අම්මා කියලා නොදැනත් ආදරෙයි.. බිස්නස් එක මම දෙන්නේ ඒක කොහොමත් මගෙන් පස්සෙ ජේනුකට අයිති වෙන නිසා.. ජේනුක කියන්නේ ගොඩක් හොඳ කොල්ලෙක්.. මම නිසා ඒ අහිංසකයා ගොඩක් දුක් වින්දා. මම ඒ දේවල් හිතලා කලේ නෑ.. නමුත්.."

අසලංකගේ උගුර සිරවෙද්දී නිර්මලී ඔහුට පිටුපා හැරුනේ ඇගේ නෙතින් ගලන කඳුළු ඔහුට පෙන්වන්නට අවශ්‍ය නොමැති නිසාය. 

"... මම නැති කාලෙක ජේනුක අසරණ වෙන්න හොඳ නෑ.. මම දන්නව ඔයා ජේනුකව මට වඩා හොඳට බලාගන්නව කියලා.. ඒ හින්දා.. මම ඔයාගෙන් බැගෑපත්ව ඉල්ලනවා... ජේනුකව බාරගන්න නිර්! ප්ලීස්.. "

නිර්මලීට කඳුළු වලක්වාගන්නට නොහැකි විය. නමුත් ඈ ආපසු හැරෙද්දී සෝෆාවෙන් නැඟී තමා දෙසම බලාගෙන දෑත එක් කොට වඳිමින් සිටිනා අසලංක දැකීමෙන් ගල්ගැසී ගියාය.

" අසා...? අනේ ඇයි මේ?? "

අකාරුණික ව්‍යාපාරික, සූක්ෂම හීන් නූල් සූත්තර කාරයෙකු සේ සැවොම දනිතත්; තමාගේ පසුකාලීන ජීවිතයේ තමා අසළින්ම සිටි පෞර්ෂවත් අසලංක මිහිඳුකුලසූරිය මෙලෙස දෑසේ කඳුළු සමඟින් තමා ඉදිරියේ වැඳවැටෙන්නට තරම් අසරණ වීම දෛවයේ සරදමක් මෙනි.

මේ දැන් දකිනා අසලංක මිහිඳුකුලසූරිය ඈ තවදුරටත් හඳුනන්නේ නැත!

ඇගේ සුපුරුදු 'අසා’ ඇමතීමෙන් ඉතිරිව තිබුනු ධෛර්‍යක් වී නම් එයද උඩු සුළඟට ගියාක් මෙන් දැනී, අසලංක අනාරාධිතවම ඇගේ මුහුණේ නිකට මත සිය මහපට ඇඟිල්ලෙන් යන්තම් ස්පර්ශ කොට අත ඉවතට ගත්තේ හදවත මත ලාවා ගලද්දීය.

" මේ ලෝකේ මට දාලා යන්න බැරි දේවල් තියෙන්නෙ දෙකයි.  පළවෙනිම දේ ඔයා! දෙවෙනි දේ ජේනුක.. මේ ආත්මේ නැතත්.. මට එන ආත්මෙකදි හරි.. "

ඔහුගේ හඬ බිඳී යද්දී නිර්මලී පැන අසලංකගේ දෙවුරෙන් අල්ලා වේගයෙන් සෙලවූයේ ආවේගයටමය.

" දෙය්යන්ගෙ නාමට විකාර නොකියා කියන්නකො අසා.. ඇයි ඔයා මට ජේනුක බාරගන්න කියන්නෙ? ආ..? ඔයාට.. ඔයාට මොකක් හරි අසනීපයක්ද? 
මම එදා ඔයාව වෙලින්ටන් කැන්සර් සෙන්ටර් එකේ දැක්කා.. ඇත්ත කියන්න අසා.. ඔයාට කැන්සර් එකක්ද? පිස්සුද අසා.. කැන්සර් හැදුනා කියලා එහෙම ජීවිතේ ගිව් අප් කරන්න ඕන නෑ. මේ රටවල්වල ඒවාට ඕනෙ තරම් ට්‍රීට්මන්ට් තියෙනවා.. පිස්සු නැතුව ඒ ට්‍රීට්මන්ට් වලට යන්න.. ඔයාට තනියට ඕනෙ නම් මම එන්නම්.. මොනාද මේ කියන කතා?? මම දන්න අසා ඔහොම ගිව් අප් කරන කෙනෙක් නෙවෙයි!"

තමා වෙත වේගයෙන් සිය වචන එල්ල කරමින් පහර දෙන සුපුරුදු කටකාර ආදරිය දෙස අසලංක හැලහොල්මනක් නොමැතිව බලා සිටියේය. අනතුරුව කියවාගෙන ගිය වේගයට හති හරින ඇගේ මුහුණ දෙස බලා මදක් සිනාසුනේය. එය වියරු සිනාවකි!

" මට කැන්සර් එකක් නෑ නිර්.. මම.. ගියා තමයි කැන්සර් සෙන්ටර් එකට යාළුවෙක්ගෙ රිපෝට්ස් වගයක් කලෙක්ට් කරන්න.. "

" එහෙනම් මොකක්ද මේ කතාවල තේරුම අසා?!"

" I have a brain tumor Nir.  My days are numbered ( මට මොළයේ ගෙඩියක් නිර්. මට ඇත්තේ සීමිත කාලයක්)"

එපමණකි! නිර්මලී දෑස් අයාගෙන අසලංක දෙස බලා සිටියේ තමන් කිව යුත්තේ කුමක්දැයි නිශ්චිතවම තෝරාගත නොහැකිවය.

---------------------------------------------------

නිර්මලීට ඒ කියනා කිසිවක් ඇහුනේ නැත. ඈ සිටින්නේ සම්පූර්ණයෙන් නිර්වින්දනය වී ඇත්තාක් මෙනි.

පසුගිය සතිය පුරාම ඇවිලී යන දබරය කුමක්දැයි මාලතී දැන නොසිටියද ඒ ගැන විමසන්නට පවා නොහැකිය. රශිඳු සිටිනා විට යකඩියක් මෙන් සිටියද , උදෑසන ආහාරයද ප්‍රතික්ශේප කරමින් රශිඳු නිවසින් පිටවූ වහාම නිර්මලී ඇති පමණ කඳුළු වගුරවන බව දකිතත් රශිඳු තර්ජනය කල බැවින් ඒ ගැන අසන්නට මාලතී පැකිලුනාය. නැතිනම් ලේලිය ගැන සිත උනු නොවන්නේද? 

' මේ පෝරිසාදයා එක්ක ඉන්නවට ඒකිට මල් තියන්න ඕන'

ඈ සැමවිටම සිතන්නේ එලෙසිනි. රණ්ඩු සියල්ල දොර වසාගෙනය. 

රශිඳු දැන් දින කීපයකින්ම නිවසින් ආහාර ගන්නේ නැත. සුපුරුදු හිස සහ දෙතොල් සිප සමුගැනීමක් හෝ නොමැතිව කෑම පාර්සලය ඔහු දමා ගියපසු හඬමින් නිර්මලී පොඩි උන්ගේ බත් වලට බෙදා දමා; නිහඬව ඉහළ මාලයට යන්නීය. 

නිර්මලීද කෑම කන බවක් පෙනෙන්නට නැත. පහළ කාර්‍යාල කාමරයට වැදී දවසම නිමා වනතුරු වැඩෙහි ඇලී සිටින්නීය. බලෙන් මෙන් ඈ කිරි තේ දෙකක් ඈට යවන්නේ නිර්මලී එය බොනතුරු එතැනින් ඉවත් නොවෙමිනි. ඉඳහිට ඈට මේසය මතම නින්ද ගොස් තිබෙනු දැක ඇගේ ලය ඇවිලේ.

' සුදුපුතා මොකක්ද මේ වෙලා තියෙන්නෙ උඹල දෙන්නට..? ප්‍රශ්නයක් තියෙනවා නම් කතාබහ කරලා බේරගනිල්ලකො මේ පොඩි උනුත් බයවෙලා.. අර කෙල්ල දවසම අඬනවා... '

බැරිමතැන එසේ පැවසූ සැනින් මාලතී එතෙක් සිය පුත්‍රයා වෙතින් ලැබුනු දරුණුම මැර බැල්මට ලක්වන්නේ සැනෙකිනි.

' පාඩුවෙ ඉන්නවද? නැතිනම් බැරි තමුන්ටත් පුලුවන් මෙහෙන් යන්න!'

එලෙස ගතවූ දෙසතියෙන් පසුව දවස ඇරඹුනේ සති අන්තය ආරම්භයේම නිවසේ ඉහළ මාලයෙන් උස් හඬින් ඇසෙනා කුමක් හෝ වාදයක දෙබසක් සමඟිනි.

මුළු නිවසම තිබුණේ මුදා නොගත් කළාපයක් සේ තැති ගැන්වීය. සිය මවත් පියාත් පැටලී ඇති දබරය තේරුම්ගත නොහැකිව දරුවන් අත්ත්ම්මාගේත් සේවිකාවගේත් කකුල් බදාගෙන සිටියේ හා පැටවුන් සේ ගැහෙමිනි. 

ඉහළ මාලයේ කුමක් හෝ බරැති දෙයක් බිම වැටෙනවා ඇසෙනු සැනින් හිරුක මහ හඬින් හඬන්නට වූයේ එයට අහසිද එක් වෙද්දීය. සාලයේ දුරකතනය නාදවූ නිසා හඬන හිරුක අපහසුවෙන් වඩාගෙන මාලතී ඊට පිලිතුරු සැපයූවාය. 

" හලෝ?"

" හෙලෝ ආන්ටි.. නිර්මලී ඉන්නවද ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑනෙ.."

හඬන හිරුක නිසා මාලතීට එය නෑසුන නිසා එකවරම පිලිතුරක් ආවේ නැති පමාවට නේහාට දැනුනේ අමුත්තකි.

".. ආන්ටි.. මොකක් හරි ප්‍රශ්නයක්ද? ඇයි ඔය පුතා අඬන්නෙ.. ? ආන්ටි.. !"

මාලතීටද හැඬුනේ කිසිවක් කියාගන්නට නොහැකිවය. කිසිවක් නෑසී ගොස් ඇමතුම සැනින් විසන්ධිව ගියේ මාලතී රිසීවරය නැවත තබා හඬන තරුකව බදාගෙන කඳුළු සැලුවේ හේතුවක් ඇතිව නොවේ. 

දරුවන් හඬන ශබ්දය ඇසුනු සැනින් නිර්මලී ඉහළ මාලයේ සිට දිවගෙන විත් අහසිව වඩාගත්තේ මහත් ආදරයෙනි. 

" ඇයි මගේ බන්ටියෝ.. ඇයි මේ අඬන්නෙ?"

ඒ සැනින් මාලතීගේ නෙත ගැටෙන්නේ නිර්මලී කොහේ හෝ යන්නට සූදානම් වී ඇති බවකි. නොයෙකුත් දේ කියමින් අහසි නලවාගත් නිර්මලී උදෑසන ආහාරයට සූදානම් වී ඇති මේසය දෙස බලා සුසුමක් හෙළුවාය. 

" අම්මා.. අද අහසිගෙයි මිහින්ගෙයි ස්විමිං ලෙසන් එකට යවන්න ඕන. මම උදේම බෑග් දෙකම ලෑස්ති කලා.  ඩ්‍රයිවර් තව ටිකකින් එයි.."

මාලතීගේ මුහුණ මගහරිමින් නිර්මලී එසේ කියමින් අහසිව මේසයට හිඳුවා දරුවන්ට කෑම බෙදන්නට වූයේ අවට ගැන කිසි ගානක් නැතුවා සේය. සඳුක සහ තරුකි එලිනෙකාගේ දෑත් අල්ලාගෙන සෙමෙන් සෙමෙන් කෑම මේසයට ගෑටුවේ අවිස්වාසයෙනි. ඔවුන්ට සිය පියාගේ අඩුව තදින්ම දැනේ.

" අම්මි..."

තරුකි වෙව්ලන හඬින් ඇසුවේ නිර්මලී හිස ඔසවා ඈ දෙස බලද්දීය. 

" ... why are you fighting over Gem? I heard his name.. and why are you crying ? It is because of he hit that boy? ( ඇයි ඔයා ජෙම් ගැන රණ්ඩු වෙන්නෙ? මට එයාගෙ නම කියනවා ඇහුනා.. ඇයි එතකොට අම්මි අඬන්නෙ? අර කොල්ලාට ගහපු හින්දද)"

නිර්මලීගේ හදවත හිරවී ගියේය. ඈ තරුකි වෙත නැවී බිම දණ ගසා ගනිද්දී පැටවුන් පස්දෙනාම ඈ වටකොට ඈ වැලඳගත්තේ නිර්මලී ඔවුන්ට වැලඳගැනීම සෑම මොහොතකදීම , නොබියව සහ හදවතින්ම සිදුකළයුතු බව කියා දීම නිසාය. දරුවන් සිටින්නේ තමන්ගේ ආතතිය දැනෙනා වයසක බව ඈ නොදන්නවා නොවේ.

".. ජෙම්.. ජෙම් හොඳ අය්යා කෙනෙක් නේද තරුකි? හ්ම්ම්"

තරුකි නිර්මලීගේ ගෙල බදාගෙනම හිස ඉහළ පහළ කරන්නේ විශ්වාසයෙනි. දින කීපයකට ජෙම් පාසලේ දකින්නට නොලැබීමත් ඔහුගේ පියා අසනීප බව ඇසීමත් ඈ නිවසට රපෝර්තු කරන්නට අමතක නොකලාය. 

".. සමහරවිට අපි එයාට උදව් කරන්න පුලුවන් වෙයි එයාගෙ ඩඩා අසනීපෙන් නිසා.."

එය තරුකිට මෙන්ම අහසිටත් අලුත් සහ ප්‍රීතිමත් ආරංචියක් වූ අතර සඳුකගේ මුහුණ පමණක් අඳුරු විය. ඔහුට හිරුකට වඩා අය්යෙක් නැත. 

සෙනසුරාදා දින වෙනදානම් උදෑසන හය වනවිට රශිඳු ඇකඩමිය සඳහා පිටත්ව යන්නේය. මේ කෑම මේසය විහිලු තහලු වලින් සහ සුරතල් තෙපුලින් උතුරා යන්නේය. දරුවන්ගේ සිනා වලින් සහ දඟකාරකම් වලින් මුළු නිවසම ජීවයෙන් පිරී යන්නේය. ඒ අතර කුරුලු ජෝඩුවේ හොරෙන් හුවමාරු කරගන්නා හාදුය.. කොනිතිගෑම්ය.. මොකක් හෝ දෙයකට නිර්මලී අල්ලාගෙන ඇගේ මූණ රතුවනතුරු හෝ ඔරවා බොරුවට තරහා වනතුරු විහිලු කරනා රශිඳුගේ කතාය..

ඒ කිසිවක් නැති මළාණික උදෑසනකි. වැඩිහිටියන්ට දැනෙන ප්‍රමාණය මෙතරම් නම් , කුඩා උන්ට ඊට සිය ගුණයක් දැනේ!

පියගැට ඔස්සේ එන අඩි ශබ්දය සමඟ තරුකි ඉගිලී ඇගේ ප්‍රියතම තුරුල්ල වෙත දිව්වද සිය පියාගේ මුහුණ දුටු සැනින් ඈ රශිඳු දෙසත් නිර්මලී දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය.

" පච්චී... අද ක්‍රිකට් ගහන්න යන්නෙ නෑද?"

රශිඳු නිර්මලී පසුකරගෙන පැන්ට්‍රියට පිවිස අත තිබුනු බෝතලය සින්ක් එකට විසිකල ශබ්දයට සියල්ලෝම උඩගොස් බිම වැටුනහ.

" අම්මා.. ම.. හරියට අටට කා එකේ මේ දෙන්නව ස්විමිං යවන්න.."

මාලතී විදහාගත් දැසින් සිය ලේලිය කොහි යන්නේදැයි සිතමින් ඉක්මනින් කඳුළු පිසගත්තේ දැන් දැන් විධාරනය වන්නට ආසන්න ගිණි කන්දක් අසළ සිටගෙන සිටින්නාක් මෙන් දැනෙද්දීය.

" දුව.. එළියට යන්නද?"

" නෑ එයා කොහෙවත් යන්නෙ නෑ!"

රශිඳුගේ හඬින් නිවසේ වීදුරු පවා සෙලවුණා සේ කම්පනයක් ඇතිවූ අතර ගැස්සී ගිය නිර්මලී එකවරම හැරී ඔහු දෙස බලා , වේගයෙන් හුස්ම සලමින් තත්පර කීපයක් එකිනෙකාගේ දෑස්වල පැටලී සිටියාය. මුලින්ම දෑස ඉවත් කරගත්තේ රශිඳුය. බොරපාට ඇස් රතුපාට වී ඇත.

නිර්මලී අම්මා දෙසට හැරුණාය.

" මම එනකොට ටිකක් රෑවෙයි අම්මා.. ලොකු තුන්දෙනාගෙ ඔක්කොම ඉස්කෝලේ වැඩ මාක් කරලා තියෙන්නෙ. ( දරුවන් දෙසට හැරෙමින්) පැටව් ටික අත්තම්මිට කරදර කරන්නෙ නැතුව ඉන්නෝන.."

රශිඳු මේසය මත තිබුනු අත්පිස්නාව මිටිකොට අල්ලා ගත්තේ දත්මිටි කමිනි.

" නිර්මලී..  !"

රශිඳු ප්‍රථම වතාවට ඇගේ නමින් කතාකරන්නේය. දරුවන් දෑස දල්වා බලා සිටිනා නිසා නිර්මලී ඉක්මනින් ඔවුන්ගේ හිස් සිඹ සාලය හරහා යන්නේ යතුරු රඳවනයෙන් රථයේ යතුර අතට ගනිමිනි.

" නිර්මලී... ඔය ගමන යනව නම්.. ආයෙ නාවට කමක් නෑ... මේ ගෙදරින්.. ඔය උළුවස්සෙන් එළියට අඩියක්වත් තිබ්බොත්... "

ඒ වචනය ඇසෙන මොහොතේ නිර්මලී සිය කඳුළු පිසගෙන ඇගේ පය ප්‍රධාන දොරටුවෙන් පිටතට තබන්නේ මාලතී ගෝකුලගේ හුස්ම හිර කරවමිනි.

දෙවන කොටසට.... 

--------------------------

දින තුනකට පෙර....

වෛද්‍යවරයා දෙස බලා අසලංක මද සිනාවක් පෑවේය. ඔහුගේ ඒ සිනාව වෙනදා මෙන් ආඩම්බරකාර වූයේ නැතත් අසරණ බවක් ගත්තේද නැත. 

" තව දවස් තුනක් දෙන්න ඩොක්ට.. මේ ඔපරේෂන් එකෙන් පස්සෙ මට මොකක් උනත් මට ප්‍රශ්නයක් නැති වෙන්න මගේ පුතාව මම ආරක්ෂිත තැනකට යවන්න ඕන"

" එහෙම කියලා මේ ඔපරේෂන් එක පරක්කු කරන එකෙන් වෙන්නේ මිස්ට මිහිඳුකුලසූරියගේ සිරුරේ අනෙත් තැන් වලට ඒක නරකට බලපාන එක.. ඔපරේෂන් එකට රෝගියා අකමැති නම් අපිට කරන්න අමාරු නිසා ඇරුනාම.. මම නම් කියන්නේ..."

" තව දවස් තුනයි ඩොක්ට... "

එදින අසලංක මිහිඳුකුලසූරිය නිවසට පැමිණියේ රෝද පුටුවකය. ඔහුගේ කකුල් අකර්මණ්‍යව තිබිණ. නිවසට පැමිණි සිය පියා දෙස නිහඬවම බලා සිටි ජේනුක සුපුරුදු පරිදි පාසල් ගියේය. තරුකි ඔහු සොයා ඒම ඔහුගේ සිත සුවපත් කරයි.

" ජෙම්... ඇත්තටම ඔයාගෙ ඩඩා ලංකාවෙද? අපේ අම්මිව දන්නව?"

ඇගේ මුහුදු රැළි මෙන් දිදුලන කොණ්ඩයට ජේනුක කැමතිය. අනෙක් ගැහැණු ළමයින් මෙන් ඈ ඇනොයින් නැත ; නිතර අඬමින් විකාර කරන්නේ නැත ; සිය පියා ගැන කියා හිතේ වූ පීඩනය මකා දමද්දී ' it's ok Gem' කියමින් ඈ ඔහුව වැළඳ ගනිමින් දෙපසට පද්දා සිය වේදනාව සමනය කරන්නීය. 

" ඔව්.. ඩඩා දැන් ඉන්නෙ රෝද පුටුවේ. "

ජේනුක සුසුමක් සලා ඔහේ බලා සිටියේය. තරුකි ඔහුගේ උරහිසෙන් අල්ලා ඔහුව සනසමිනි.

".. I wish I had a Dady like you do ( මට ඔයාට ඉන්නවා වගේ තාත්තා කෙනෙක් හිටියා නම් කියලා හිතෙනවා)" 

ඒවනවිට නිවසේ තිබුනු තත්වය නිසා තරුකිට ඇගේ 'ඩැඩී ටයිම්' මිස් උනත් අත්තම්මා සමඟ ඈ ඒ බව කියද්දී අහම්බෙන් සාලය ඔස්සේ යමින් උන් රශිඳුට ඇගේ වැකිය හොඳින් ඇසුණි. හඬ ඇසුනේ තරුකිගේ සහ අහසිගේ කාමරයෙනි. කෙල්ලන් දෙදෙනා සමඟ මාලතී නිදන්නේ එම කාමරයේය.

' ජෙම් කියනවා එයාට එයාගෙ තාත්තා නැතිවෙනවා කියලා. ඇත්තටම චම්මා  (ආච්චි අම්මා) එතකොට එයාව බෝඩින් ස්කූල් දානවද?'

මාලතී ගෝකුල ඊට දුන් පිලිතුර ඔහුට නෑසුනද එය ' මම දන්නෑ' වාගේ කෙටි යමක් වන්නට ඇත.

' චම්මා... ඒක හරි පව්නෙ... ජෙම් වගේ අය්යෙක්ට එහෙම වෙන එක ගොඩක් පව්.. I wish I could marry him, එතකොට මට එයාව මෙහෙ ගේන්න පුලුවන් නේ'

රශිඳුට තරු පැන්නේ එතැනදීය. මාලතී මේ හුටපට කිසිවක් දන්නේ නැත. එබැවින් ඈට සිනාය.

' එහෙම නෙවෙයි නේ ලොකූ.. කසාද බැඳලා ගෑණුළමය යන්නේ පිරිමි ළමයගෙ ගෙදර.. '

ඊට වඩා පිලිතුරක් දෙන්නට ඈට හැකි නොවූයේ සාලයේ පසෙකින් මතුව කාමරයේ දොර අසළ මෝටාර් එකක් පිපිරී ගිය නිසාය.

' තරුකී.... !!!!!!!!!! මොකද මේ රෑ ඇහැරගෙන කරන්නේ?? දුවන්න නේද කිව්වෙ බෙඩ් එකට! ආයෙ කතාකරනවා ඇහුනොත් අල්ලලා දෙනව හොඳවයින් ගුටියක්!'

එපමණකි! සියල්ලෝම එකවරම නිශ්ශබ්ද වූහ.

රශිඳු නිර්මලීට නොදන්වා යම් යම් දේ කලද පාසලේදී හමුවන ඒ කීකරු බුහුටි කොළුවා ඒ සියල්ල උඩු යටිකුරු කරන්නේය. රශිඳු සිටියේ ඒවා අතර දෝලනය වෙමිනි. ඊටත් මේ හිතුවක්කාරිගේ වැඩ!

දින දෙකක්ම ඔහු ක්‍රිකට් පුහුණුවීම් අවලංගු කොට පබ් එකේ වරුවක් කාලය නාස්ති කරමින් හෝ නගරයේ ඉබාගාතේ යමින් ගතකලේ නිර්මලී විරසක වූ නිවස තුල ඔහුට හුස්ම සිරවෙනවා සේ දැනෙන නිසාය.

' හිතුවක්කාරී.. උඹගෙ හිතුවක්කාරකම් ඔක්කොම මම ඉවසුවා මේක නම් ඉවසන්න කියන්න එපා මම ඇත්තටම උඹවත් මරලා පැටව් ටිකත් එක්ක මාත් මැරෙනවා! ඔය ගස් @ල්ලා එක්ක උඹට මොකක්ද දැන් තියෙන කතාව.. ? '

නමුත් මේ වනවිට ඈ ඔහු වෙනුවෙන් තමාගේ බස නොසළකා නිවසින් පිටත්වී ගොසිනි. එය තම ආත්මාභිමානයට එල්ලකල දරුණු පහරකි. අසලංක මරණ මංචකයේ ඇති බව ඈ දිගින් දිගටම පැවසුවත් ඔහු ගැන අනුකම්පා නොසිතෙන්නට තමාටම වලංගු හේතු ඇත.

බරැති සුසුමක් සැලූ රශිඳු අත්තම්මා සමඟ පේලියට බිම දිගාවී පොත්වල මොනවාදෝ කුරුටු ගාන දරුවන් දෙස නොබලාම ඉහළ මාලයට ගියේ හිස කම්මලක් මෙන් දැනුන නිසාය.

මේ අතර...

" නිර්! ගොඩක් ස්තූතියි අද ආවාට.. මම.. මම ඇත්තටම හිතුවෙ නෑ ඔයා එයි කියලා "

අසලංක තමා ඉදිරියේ සිටගෙන සිටිනා නිර්මලී ගෝකුල ලෙස එක එල්ලේ බලා සිටියේ, ලීවරය භාවිතයෙන් ක්‍රියාත්මක වන රෝද පුටුව මත , සාලයේ අනෙක් කෙලවර සිටය. නිර්මලී දුර්වල සිනාවක් පා නිවස පුරා මදක් ඒ මේ අත බලමින් සොයන්නේ කුමක්දැයි අනුමාන කල අසලංක මදක් ඉදිරියට රෝද පුටුව ගෙන ආවේය.

" ... ජේනු පාන්දර ඉඳලා ලෑස්ති වෙනවා.. දැන් එයි..  මිනිහා ෆුල් එක්සයිටඩ්"

නිර්මලී අද දිනයම ජේනුක සමඟින් ගතකරන්නට එන බවත් ඉන් අනතුරුව සිය තීන්දුව ගැන ගැඹුරට සිතන්නට අවකාශය දෙන බවත් නිර්මලී පෙරදින පැවසූ නිසා ජේනුක සිටියේ උද්දාමයෙනි. නිර්මලී ඔහුගේ ප්‍රියතම ගැහැණියයි. 

"... එන්න නිර්.. පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න ජේනු එයි"

නමුත් නිර්මලී හිස සළා ඊට කමක් නෑ කියා පවසා තවදුරටත් දොරටුව අසළ රැඳුනාය. ඈට දැනුනේ හදවත ඈට දොස් නගන බවකි.

තනි මහලේ නිවසේ අසලංක වෙනුවෙන් සාත්තු සේවයේ යෙදී සිටින සේවකයා පැමිණ අසලංකගෙන් යමක් අසනවාත් සමඟ නිර්මලී ප්‍රථම වරට සිය හඬ අවදි කරන්නීය.

" එපා.. මට මොනවත් බොන්න බැහැ. සමාවෙන්න මම කාලා ආවේ.. ස්තූතියි "

අසලංක මද වේලාවක් ඈ දෙස ඇසිපිය නොහෙලා බලා සිටියදී නිර්මලීද මදක් නිසොල්මනේ කිසිඳු හැඟීමකින් තොරව ඔහු දෙස තත්පරයක් නෙත් රඳවා ඉවත බලාගත්තාය.

තත්පර වලින් හැඬවෙන තරමේ නිහඬතාවයක් දෙදෙනා අතර වූ නමුත් අසලංකගේ හදවත ඊට මිලියන ගණනක් සිතුවිලි පොම්ප කරමින් නිහඬව උන්නේය. ඒ හා සමව අසලංක වෙතින් දැනගතයුතු දේ අටෝරාශියක් ඇගේ සිතේද විය.

"අසලං..."

" නිර්.."

දෙදෙනාම එකවරම එකිනෙකාගේ නම් කියූ සැනින් අතරමඟ නතරව නැවතත් දෑස් පැටලී ගියෙන් නිර්මලී වහා ඇගේ ඇස් ඉන් ඉවත් කරගත්තාය. 

".... සොරි නිර්.. මට මේක කියන්න අයිතියක් නෑ. නමුත්.. මට.. පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද ඔයා එක්ක"

අසලංක තමාගේ හඬ වෙව්ලා ගිය බවත් ඔහුගේ හඬ මදක් ගොතගැසෙන බවත් නිර්මලීට දැනුන බව වැටහුනද වෙනදා මෙන් අපහසුවක් දැනුනේ නැත. නිර්මලී ඉදිරියේ තමා තවදුරටත් පවත්වාගෙන ‍යා යුතු විශේෂ තත්ත්වයක් නැත.

නිර්මලී මද වේලාවක් බිම බලාගෙන සිට සෙමෙන් දොර තුලින් ගෙතුලට පය තබා පියවර කිහිපයක් අසලංක වෙත ඇවිද ආවාය. 

ඈ දුටු මුල්ම දිනයේ පටන් සිදුවූ සිදුවීම් ඔහුගේ දෑස ඉදිරියේ චිත්‍රපටයක් ලෙස දිගහැරෙද්දී ඈ එලෙස ඇවිද විත් තමා ඉදිරියේ සිටගැනීම වියපත් වුවත් අසලංක තුල උන් පරාජිත පෙම්වතා ලය පැලී රුධිරය වහනය වෙමින් විලාප දෙනවාක් මෙන් දැණින.

".. ජේනුට.. කියන්න.. ඕන නෑ ඔයා එයාගෙ බයොලොජිකල් අම්මා කියලා.. ඒක එයාට ලොකු ශොක් එකක් වෙයි. මට.. එයා තනියෙන් හොස්ටල් ඉන්න යන තීරණේ විතරක් වෙනස් කරලා දෙන්න.. ඒක ජේනුට හොඳ නෑ.. මොකද.. එයා.. එයාට ඇට්‍රෑක්ට් වෙච්ච කෙල්ලෙක් හින්දා ඒක කරන්නෙ.. මට මේක කියන්න පුලුවන් ඔයාට විතරයි නිර්.. "
නිර්මලී ඈ ගෙලේ පැළඳ සිටි ස්කාර්ෆ් එක අතට ගනිමින් එය තදින් අත්ල මත ගුලිකොට ගත්තාය. අනතුරුව අපහසුවෙන් නඟාගත් ඉනාවෙන් හිස සළා අසලංක කියූ දෙයට එකඟ බව හැඟෙන්නට හැරියාය. 

".. සොරි.. මට දැන් එකදිගට කතාකරන්න බෑ දිව පැටලෙනවා. ( මදක් වේදනාත්මක සිනාවක් නඟමින්) වචනත් ගොත ගැහෙනවා.. සමහර වෙලාවට.. ඔපරේෂන් එකෙන් පස්සෙ කවදාවත් කතාකරන්න බැරි වෙයි"

" අසා.. ප්ලීස්!"

අසලංක අපහසුවෙන් මෙන් සිනාසී ඈත ඉමක දෑස් රඳවා ගත්තේය.

" සාරාට මම කිව්වෙ ඊයෙ.. නැතිනම් එයාලා ආවාම මේ කිසි දෙයක් මට ඔලුව තියාගෙන කරන්න වෙන්නෙ නෑ. මට ඇත්ත දකින්න බැරි තරම් මෝඩයෙක් නෙවෙයි. මගේ ලෙඩේ Glioblastoma. වයසත් එක්ක ඔපරේෂන් එකේ සක්සස් රේට් එක සීයට හයයි.. මම ආයෙ ඔයාව දකින එකක් නෑ නිර්.. "

නිර්මලී අසලංක අසළම රෝද පුටුව අසල හිඳගත්තේ ඔහුගේ අතට මදක් එහාට වන්නට අත තබාය. ඈ වෙතින් හමා එන විලවුන් වලින් ඒ මොහොතේ අසලංකගේ පෙනහලු පිරී ගොස් දෑසම මදක් වැසී ගියේය.

" අසා.. You were a good friend..  Thanks a lot for that.  ( ඔයා හොඳ මිත්‍රයෙක්.. ඒකට ගොඩක් ස්තූතියි..  අනූජ ගැන.. අනුජ ගැන මට මුලින්ම කිව්වෙ ඔයා.. මම ඒ දේවල් විස්වාස කරන තත්වෙක හිටියේ නෑ.. නමුත්.. ( අසලංක දෙස එක එල්ලේ බලා) මම අනූජ ගැන ඔක්කොම දන්නවා... සොරි මට.. ඇත්තටම මට ඔයාට සමාව දෙන්න බැරි උනාට..
මාව ටාගට් කරපු ඇක්සිඩන්ට් එක අනූජ වෙනුවෙන් කියලා දැනගෙන හිටිය එකට මම ඔයාට සමාව දෙන්න බැරි උනා... ඒකයි මට කවදාවත් ඔයා ගැන හිතන්න බැරි වුනු හේතුව.. නමුත්... රශිඳු හම්බුනේ ඒ හින්දා කියන හේතුවට මම පස්සේ කාලෙක ඔයාට සමාව දෙනවා අසා.... 
අනික් හැමදේම හිතින් අමතක කරන්න.. ඔයා ඒ සීයට හය ඇතුලේ ඉන්නවා කියලා මට විස්වාසයි.. ඔව්.. මම ඔයා කියපු දේවල් ගැන ජේනු එක්ක කතාකරන්නම්.. මට පොරොන්දු වෙන්න බෑ ඒ උනාට.. එක දෙයක් ඇරුනාම.. ජේනුව මම කවදාවත් අතාරින්නේ නෑ.. අද මම ආවේ මුළු දවසම ජේනු එක්ක ගතකරන්න.. "

තමා දෑසේ කඳුළු සිරකරගෙන එසේ පැවසුවේ කෙසේදැයි නිර්මලී දැන නොසිටියාය. නමුත් මුල් කොටස ඇහෙද්දී අසලංකගේ මුහුණේ ඇඳුනු දුක්බර සිනාව අවසානයේ බරැති හුස්මක් ලෙස ලය තුලින් පිටවී යනවාත් සමඟ කොරිඩෝව ඔස්සේ වේගයෙන් එන පියවර හඬක් ඇසුනු නිසා නිර්මලී උන් තැනින් නැඟී සිටියදී ඇගේ අතේ ගුලිවී තිබුනු ස්කාර්ෆ් එක ඈ නොදැනුවත්වම සෝෆාව මත වැටෙනු අසලංක නිහඬව බලා සිටියේය.

" නිර්!! ඔයා ආවද?? මට ඇහුනේවත් නෑනෙ!!!! "

ජේනුක දිවගෙන විත් නිර්මලී බදා ගන්නේ අසලංකගේ හිත දෙකට පලා දමමිණි. 

' මට සමාවෙයං කොල්ලා! උඹ මාව අසරණ කරවනවා'


------------------------- මතු සම්බන්ධයි  -------------------




4 comments:

  1. බලාගෙන හිටියා........හිටියා........හිටියා........හිටියා........
    ඔයා මතක් වෙලා තියෙන්නේ ඉතිං
    thanks අනේ.

    ReplyDelete
  2. අනේ අද කතාව ලාස්සනයි........ ❤️❤️❤️❤️❤️

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...