Wednesday, August 24, 2022

356: උන්මාද චිත්‍රාදෝ මා 87

 



බිමට හිස බාගෙන සිටින මේ අපූරු කොළුගැටයා දෙස යලිත් වරක් බැලූ රශිඳු ඉබේම නැඟෙන සිනාව වලකාගත්තේ ඔහුගේ ඉරියව් දෙස බලමිනි. පොඩි එකා සිටින්නේ ලැජ්ජාවෙන් නොවුනත් තරමක චකිතයෙන් බව ඒ ඉරියව් පවසයි. 

" ඇයි ඒ?"

පිලිතුර ප්‍රමාද වූ අතර ඔහු සෙමෙන් පිට හේත්තු කරගෙන උන් බිත්තිය එක අතකින් කොනහන්නට විය. 

" ඩ.. ඩා.. කැමති නෑ ක්‍රිකට් ගහනවට. මම බාස්කට්බෝල් ගහනව"

එසැනින් අවැසි පිලිතුර රශිඳු ගොතාගත්තේය. මීට දින කීපයකට පෙර පාසලට පැමිණි ඔහු සෙට් වී ඇත්තේ පාසලේ නොටෝරියස්ම කණ්ඩායමටයි. නමුත් ඒ කණ්ඩායම සමඟ රශිඳුගේ බැඳීම මදක් සෞඛ්‍යසම්පන්න විය. එබැවින් ක්‍රිකට් කණ්ඩායමේ ඔලිවර් හරහා මේ පණ්ඩිතයා සොයාගන්නට ඔහුට හැකිවිය.

" නම මොකක්ද ?"

එවරද පිලිතුර ප්‍රමාදය. මේ ඇත්තේ කුලෑටිකමක් නොවන බව රශිඳු හඳුනාගෙන හමාරය. එබැවින් ඔහුට කාලය දෙන්නට තීරණය කල රශිඳු කොල්ලාගේ උරහිසට තට්ටුවක් දමා සිනාසුනේය.

".. මම ඔයාගෙ තාත්තාට.. නෑ.. ඩඩාට කතා කරන්නම්.. හෙට එන්න ක්‍රිකට් ගහන්න.. ඇකඩමි එකට මේ මාසෙට නොමිලේ කාඩ් එකකුත් දෙන්නම්.. "

කොල්ලාගේ බිමට නැඹුරුව තිබුනු මුහුණ එකවරම එසවී දෑස දැල්වී දීප්තිමත්ව ගියේය. රශිඳු ඒ බැල්මෙන් මදක් ගැස්සී ගියේ පෙර වතාවේ  මෙන්මය. අහේතුකව ඔහුට නිර්මලී සිහිවී සිනාවක් නැඟුනි.

' නෑ නෑ.. දැන්ම කියන්නෙ නෑ මේ කොල්ලා ගැන. නැතිනම් මුලින්ම ගෙනත් ගේ අස්සෙ තියගනී මේ මැඩම්! ළමයෙක් කිව්වොත් ඇති ඒ පිස්සිට!!'

සවස් වරුවේ ක්‍රිකට් පාසලේ සිට නිවසට එනවිට නිර්මලී ඔහුට පෙර පැමිණ ඇති බව දැකීමෙන් රශිඳුගේ මුවට නැගෙන්නේ සිනාවකි. ඇගේ වාහනයට පසුපසින් වාහනය ගාල්කල ඔහු බෑගයද අතැතිව නිවසට පිවිසෙද්දී සේවිකාව පැමිණ ගමන් මල්ල අතට ගත්තේ ඊට පසුපසින් සුදු පැහැ වතින් සැරසී සිටින මව නිරාවරණය කරමිනි.

" අම්ම කොහේහරි යන්නද?"

" ඔව් පුතා.. අද අපේ පන්සලේ කඨිනේ.. උදේ ගිහින් ආවා.. ඇඟ හෝදගෙන ආයෙ මේ යන්න කියලා "

රශිඳු නළල රැළි කලේය. දන්නා තරමින් අද රියදුරු සේවයට වාර්තා නොකලා නම් ඈ එහෙ මෙහෙ ගියේ කෙලෙසද?

" හ්ම්ම්ම්.. උදේ ගියේ? අනිත් එක ආයෙ යන්නෙ මොකටද ඔය කඨින දවල් වෙනකොට ඉවරයිනෙ"

" දුව ආවා යන්න.. ආ.. එහෙම කියන්නෙ මොන පවුකාරකමක්ද පුතා? දවල්ට ගිහින් බලන්න ඕන සැරසිලි එහෙමත් වෙනස් කරන්න එපැයි! හරි ලස්සනට තිබ්බා කඨිනේ.. ගියපාර අනිත් කාණ්ඩෙට බැරි උනාට අපි කලා පෙරහැරත්.."

මාලතීගේ මුහුණ ඔපවත් වූයේ ප්‍රීතිය නිසාමය. කලින් වතාවට වඩා මෙවර ඔවුන් සංවිධානය කල උත්සවය වඩා ගාම්භීර බව හාමුදුරුවන් වහන්සේ පවා අගය කරමින් දෙතුන් වතාවක්ම සඳහන් කළ නිසා ඈට මහත් ආඩම්බරයක් නැඟී තිබින.

එවිටම වාගේ දුරකතනයට පිලිතුරු දෙමින් නිර්මලී ඔහු වෙත ඇවිද විත් ස්වයංක්‍රීයව මෙන් ඔහුගේ 'වෙල්කම් කිස්' එක ලබාදෙන්නේ රශිඳු නිහඬව බලා සිටියදීය. ඈ සිටියේ රාජකාරි ඇමතුමක් සමඟ ඔට්ටු වෙමින් නිසා රශිඳු ඇගේ ප්‍රතිචාරය ගැන වූ නොසතුට මදක් කල් තැබුවේය. 

ඔව්! අමතක කලා නොව කල් තැබුවේය.

".. යංද දුව එහෙනං?"

නිර්මලී ඇමතුම අතරම ඊට පිලිතුරු දෙමින් හිස සලද්දී රශිඳු ශීතකරණය වෙත ඇවිද ගොස් ඉන් බීම බෝතලයක් ගත්තේ මේසය මත වූ දවසේ ලියුම් අතට ගනිමින් හා නිර්මලීගේ දෙස බලමිනි. ඈගේ කතාබහේ හැටියට එය තරමක් තීරණාත්මක ඇමතුමක් බව ඔහු දනී.

" අම්මා.. බේබි ගර්ල්ට යන්න බෑ එයා කෝල් එකකනෙ.. දැන් ඕක යන්න ඕනෙම ගමනක්ද?"

මාලතී නොසතුටෙන් මෙන් මුහුණ හකුලාගෙන සිය පුත්‍රයා දෙස බැලුවේ සංවාදය ආරම්භ වූ බවක් නොදැන නිවසින් පිටවන නිර්මලී පසුපස යාම නවතාය.

".. එයා අද වැඩට ගියේ නැද්ද? "

" නෑ මාව ගෙනියන්න හිටියානෙ"

සෑහෙන දවසකින් පසුව රශිඳුට යකා වැහෙන්නේ ඒ සැනෙනි.

" ඇයි අම්මා ඕනෙ නම් කලින් කියලා තිබ්බනම් මම ඩ්‍රයිවර් ඇරෙන්ජ් කරලා දෙනවනෙ.. ඇයි මෙයාට කරදර කලේ? මම එදත් ඔයාට කිව්වා පන්සලේ විකාර වැඩ වලට කාලේ නාස්ති කරන්න එපා කියලා.. "

රශිඳු ගොරවන්නේ සිය මවගේ විකාර වැඩ නිසා නිර්මලී වදවන නිසාමය. 

' මේකිත් හැම එකක්ම බෑ කියන්නෙ නෑ කොහොමහරි කර ගහල අදින්න යනව.. අම්මත් ඉතින් හුරතල් වෙනව මෙතන'

වතුර බෝතලය අතැතිව සිය මවටත් ඔරවාගෙන ගරාජය දෙසට ගිය රශිඳු දකින්නේ ඇමතුම විසන්ධි කල වහාම සිය වාහනයේ බොනට්ටුව මතට වාරුවන නිර්මලීය. ඇගේ මුහුණ සුදුමැලිව ගොසිනි.

" බේබි ගර්ල්?? ඇයි ?? What's wrong?" 

තිගැස්සී මෙන් රශිඳු දෙස බැලූ නිර්මලී ඔහුට දියයුතු පිලිතුරක් සිතමින් අරමුණකින් තොරව මෙන් බලා සිටියේ ඔහුගේ තැති ගැන්වුන මුහුණ දෙසයි.

-----------------------------------------------

ලියවිල්ල අතටගත් අසලංක මද වේලාවක් දෑස නොදල්වා එහි එක පේළියක් ඔස්සේ සිය දෑස නැවත නැවතත් රැගෙන ගියේ උමතුවෙන් මෙනි.

අනතුරුව ප්‍රවේශමෙන් සිය දුරකතනය ගෙන ඇමතුමක් ගත්තේ මේසය මතට වාරු වෙමිනි.

" කියන්න මිස්ට මිහිඳුකුලසූරිය"

අනෙක් පසින් ඇසුනේ ඉන්දියානු උරුවකින් තමන්ගේ නම ඇමතූ පිරිමි හඬකි.

" මුකුත් ආරංචියක් තියෙනවාද ගෞතම්?"

ගෞතම් තමන් දන්නා කරුණු ගොණු කරගන්නට මද වේලාවක් ගත්තේය.

" ඔව් මිස්ට මිහිඳුකුලසූරිය.. හොයාගන්න අමාරු උනේ නෑ. මම ගෙදර ලිපිනය දෙන්නද? නැතිනම් කෙලින්ම ඒ ලේඩිගේ දුරකතන අංකය දෙන්නද?"

" හ්ම්ම්ම්"

අසලංක මදක් කල්පනා කළේය. 

" දෙකම එවලා තියන්නකො. මේ දවස්වල ගෙවල් මාරු කරපු නිසා තාම මගේ වැඩ වලට කාර්‍යබහුලයි. ගොඩක් ස්තූතියි ගෞතම්"

තවත් ආගිය තොරතුරු කිහිපයක් ගැන කතාකොට අසලංක ඇමතුම විසන්ධි කළේ බරවූ සිතිනි.

මද වේලාවකින් ගෞතම්ගේ අංකයෙන් පැමිණි කෙටි පණිවිඩය විවෘත කල අසලංකගේ දෙනෙත් නතර වූයේ නළලතයි.

-----------------------------------------------------

රථයේ වේගයට වඩා වේගයෙන් ඒ මේ අත ගමන් ගන්නා සිතුවිලි නවතාලන්නට මෙන් රශිඳු ඒ මේ අත බලමින් හිස ගස්සමින් සිටිනා අයුරු දැක නිර්මලීට සිනාය. මේ ගමනට පෙර නිවසේ ඇතිවූ කතාබහ සිහිවී පනින්නට ආ සිනාව ඈ වලක්වා ගත්තේ ඔහුගේ ගෙරවිල්ල නැවත අසන්නට වෙතැයි සිතුනු නිසාය.

' බේබි ගර්ල් මගේ යකා අවුස්සන්න එපා.. විහිලුවක් නෙවෙයි!'

ඒ ගෙරවිල්ල කවදා අඩුවෙයිද ඉතින්? පිස්සෙක් වගේ ඉඳලා ඕනා නැති දේවල් වලට සීරියස් වෙලා දැන් මේ නැටුම.

සංවාදයේ මූලය සවස මේ ගමන පිටත් වන්නට පෙර තරුකි විසින් අතහැරි පරමාණු බෝම්බයයි. ඔවුන් සිටියේ සවස තේ සඳහා මේස වලට ලංවී උණු කිරි කෝපි සහ ඉඟුරු තේ වලින් සප්පායම් වෙමිනි. ඔවුන් එලෙස හමුවන්නේ ඉඳහිට නිසා එකිනෙකාගේ තොරතුරු හුවමාරු වන්නේ උනන්දුවෙනි.

" පච්චී.... අද මගේ පන්තියේ කොල්ලෙක් මගේ මූණ කිත් කලා"

රශිඳු කමින් සිටි ඉඟුරු ඇඟිලි ඔහුට පිට ඉගුරේ ගියේ නිර්මලී 'බකස්' ගා සිනාවෙද්දීය. රශිඳු වහා බැලුවේ බැටෑලියන් එක කොතැනද කියාය. ඒ වනවිට අහසිත් සඳුකත් තේ සමඟ අත්තම්මාගේ උකුලට වී කුමක් හෝ කතාවකි. හිරුක මිහින් සමඟ එතැන රැදී සිට නිර්මලී මෙන් සිනාව නතර කරගන්නට නොහැකිව හිකි හිකි ගාන්නට වූහ. 

" මොකක්? මොකක් කලා කිව්වා?"

" කිත් කලා.. අර පච්චි කරන්නෙ.. අන්නෙ ඒම"

සැනින් දරුවන්ගේ සිනාව අළුත් වූ අතර නිර්මලීටද හිකිස් ගෑවුනු සැනින් බොරපාට ඇස් වලින් රැවුමක් ආවේ අසිපත් පහරක් මෙනි. 

" බේබි ගර්ල්.. හිකිස් ගාන්නේ?? දන්නෙ නැද්ද දැන් ළමයි ගෙදර ඇවිත් කොච්චර වෙලාද?"

නිර්මලී දෙතොල් මුව තුලට ලාගෙන දෑස් හැකි පමණ ලොකු කොට බැලුවේ ඇයි අසන්නට මෙනි. කොල්ලන් දෙදෙනා සමඟ තරුකි කැකිරි පලන්නේ මේ තාත්තාගේ හැටි නොදැනය. ඔවුන්ට රශිඳුගේ මේ හැසිරීම විනෝදයක් වී ඇති සැටියකි.

"... ඇස් කරකවන හැටි!? මම අහන්නෙ මොනාද මේ තරුකි කියන්නේ? ඇත්තද මේ කතාව?? දන්නෙ නැද්ද මේ කියනකල්"

" ආ.. ඔව්.. ගෙදර ආවහම මට කිව්ව"

රශිඳු මේසයෙන් නැඟී සිටියේ විදුලි වේගයෙන් වූ අතර දෑසම තිබ්බේ තරුකි වෙතය.

" ඒන්ජල්.. මට කියන්න කවුද ඒ? කවුද ඔයාව කිස් කලේ? කොතනද? ඇයි ඔයා ටීචට කිව්වෙ නැත්තෙ? කවුද ඒ කොල්ලා.. "

රශිඳු හුස්මක් නොගෙන අසාගෙන ගියේ එයටත් තරුකි සිනාසෙද්දීය.

" මෙන්න මෙතන ( වම් කම්මුල පෙන්වමින්).. දන්නෙ නෑ පච්චි මම අඳුනන්නෙ නෑහ්.. "

ඔන්න ඉතින් යකා වැහෙනවා රශිඳු ගෝකුලට. ඔහු නිර්මලී වෙත ඔරවමින් නැඟී සිට අසළ වූ මේස ලාච්චුව විවෘත කරමින් මොනවාදෝ කලබලෙන් සොයයි.

" කෝ මෙතන තිබ්බ ඔයාගෙ ක්ලාස් පික්චර් එක? ඒන්ජල්?? මට දෙන්න ඔයාගෙ ටීචගෙ නම්බර් එක මේ දැන්.."

" පච්චි ඒක රිදුනෙ නෑ.. චූටියට කිත් කලේ... ඔන්න ඔයා මාව එම්බැරස් කරන්නද යන්නෙ අපේ ටීචට කෝල් කරලා..?"

රශිඳු ඒ මේ අත ඇවිද්දේ ආතතියෙන් වූ අතර නිර්මලීගෙන් සහයෝගයක් නොමැති නිසාත් කලබල වී ඇති සිය පියාගේ ඉරියව් බලමින් සිනාසෙන දරුවන් තිදෙනා නිසාත් රශිඳුගේ මුහුණ අමුතු රතු පැහැයක් ගෙන තිබිණ. ඔහු කොහෙන්දෝ ගත් කොලයක් ගෙන මොනවාදෝ ලියන්නට ගනී.

" කෝ කියන්න මට උගේ හැඩරුව.. කොයි වගේද කොණ්ඩේ?? මුලින්ම කියන්න සුද්දෙක්ද? ආ?"

" නෑහ්.."

" කළු එකෙක්ද? මම කියන්නෙ බ්ලැක් හම තියෙන්නෙ.."

" පච්චී... ඔයත් බ්ලැක්ද?"

" ඒන්ජල් මම අහන එකට උත්තර දෙන්න. මම ඇහුවෙ අප්පච්චිගෙ පාටද?"

තරුකි හුරතරලට සිනාසෙද්දී අනෙක් කොල්ලන් දෙදෙනාද ඊට අත්වැල් දෙද්දී නිර්මලී සිනා නොවී සිටින්නේ කෙලෙසද? තරුකිට මෙය විනෝදයක් වුවත් රශිඳු නිර්මලීට ඔරවන්නේ තරුකි වෙත ලං වෙමිනි.

".. තරුකී.. කියන්න ඌ කොයි වගේද? උසද? කළුද? කොණ්ඩේ.. ක්‍රේල්ද?"

" ඌ කියන්න එපා පච්චී.. එයා ස්වීට්.. හ්ම්ම්ම් ( කල්පනා කරමින්) හ්ම්ම් ඔව්.. කොණ්ඩේ ක්‍රේල්.. බාස්කට්බෝල් ගහනවා.. "

ආයෙත් මේ තාත්තාගේ මුහුණ ඇඹුල් වෙයි. නිර්මලී නැගිට ආවේ රශිඳුගේ එරවිල්ල ගණන් නොගෙනය.

"රශී ඔය ඇති දැන්!"

" බේබි ගර්ල්.. ඔයා අම්මා නේද?? ආ!! මේ කෙල්ල කියනවා එයාව කවුද ඉම්බා කියලා.. ගානක්වත් නැතුව ඉන්න හැටි?"

" රශී...."

නිර්මලී රශිඳු බාගයට කෑ ඉඟුරු ඇඟිලි කොටසක් කටේ දමාගෙන ඔහු දෙස තරවටුවට බලා කොල්ලන් දෙදෙනාගේ මග් දෙක අතට ගත්තේ ඔවුන් නැඟිට බයිසිකල් පදින්නට දිවූ නිසාය.

".. රිලැක්ස්! ( රහසින් මෙන්) ඒක ලොකුවට ගන්න එපා.. ( තරුකි දෙසට හැරී) ඒන්ජල් ඔයා ඊළඟ දවසෙ අප්පච්චිට ඒ බෝයිව මීට් කරන්න. එයා කැමති වෙයි අප්පච්චිගෙන් ක්‍රිකට් ගහන්න ඉගෙනගන්න"

ඉන් පසුව ඈ තරුකිට වෙනත් දේවල් කිහිපයක් කියා අනෙක් අයගේ මග් රැගෙන එන්නට කියා පිටත්කොට හැරියාය.

" හරි ශෝක්! මගේ කෙල්ලව ඉඹලා ඌට තව ක්‍රිකට් උගන්නන්න මම?? අනේ මේහ්.. මගේ යකා අවුස්සන්න එපා බේබිගර්ල්.. "

" ෂ්.. ෂ්.. ඇති දැන්.. මේ තාත්තට දැන් හාට් ඇටෑක් එනව.. දැන් යමු අපිට එතනට එන්න කිව්වෙ හයට කලින්.. ඩොක්ටර් අපි එනකල් බලාගෙන ඉන්නව.. "

අනතුරුව ගොරවමින් සිටි රශිඳු සමඟ රෝහලට යන්නට පිටත්වූයේ වරින්වර ඔහුගෙන් එන ගෙරවිල්ලට සිත තුලින් සිනාසෙමිනි. 

' මේ ළමයි මරාගෙන කයි ලොකු උනාම අප්පා..! ලේසි නෑ මේ පිස්සු අප්පච්චි එක්ක'

රථගාලේ කොනට වන්නට වාහනය ගාල්කල රශිඳු එහි රඳවා නිර්මලී එහි පිවිසුනේ ප්‍රමාදව තිබුනු බැවිනි. 

අද දින මෙම පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත පැමිණියේ එතෙක් නිර්මලී සමඟ සේවය කළ ඉහළ නිලධාරියෙකු හදිසියේ ලය පිළිකාවකට ගොදුරුව ඇති බව පසුගිය සතියේ දැනගත් නිසාය. 

නිර්මලී ඔහුගේ ප්‍රතිකාර සඳහා උපදෙස් සහ බෙහෙත් සඳහා ප්‍රකට වෙලිංටන්හි ඇති පිලිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය හරහා උපකාර කරනට පොරොන්දු වූ අතර එහි උසස් නිලයක් දරන විද්‍යාඥයෙකු හමුවීම සඳහා අද පැමිණියේ ඒ සඳහා වූ දුරකතනය ඇමතුම් කිහිපයකින් පසුවය.

මධ්‍යස්ථානය වෙත වේගයෙන් ඇවිද ආ ඈ දිගු කොරොඩෝවේ ඇවිද යන්නේ පිලිගැනීමේ නිලධාරිනිය වෙතයි. ඇගෙන් දැනගත් උපදෙස් අනුව ඈ වම්පස ඇති මාවත වෙතට පය තැබුවා පමණි! ඇගේ දර්ශන පථයට හසුවූ රුව නිසා මදක් ගැස්සුනු නිර්මලී වහා එහි වූ බිත්ති කොටසට මුවා වූයේ අනිච්චානුගවමය.

අසලංක මිහිඳුකුලසූරිය , නිල්පාට කබායක් ඇඳගත් නිලධාරියෙකු සමඟ ගැඹුරු සංවාදයක නිරතව සිටියේය. ඔවුන් කියන්නේ කුමක්දැයි නොඇසුනද අසලංක නිලධාරියා සමඟ තරමක වාදයක පැටලී ඇති බව හොඳින් පෙනේ. තමන්ට අවශ්‍ය ගමන යන්නට ඔවුන් පසුකල යායුතු නිසාත්, අසලංක මෙහි කුමක් කරනවාදැයි දැනුණු අහේතුක සිතුවිල්ල නිසාත් නිර්මලී මදක් එහි රැඳුනේ වරින්වර ඒ මුහුණේ ඇඳෙන ඉරියව් බලමිනි.

අසලංක පෙරදාට වඩා කෙට්ටුව , කම්මුල් වලගැසී තිබිණ. අසලංක මිහිඳුකුලසූරිය යනු ඔහුටම ආවේණික රටාවක් ඇති තරුණියක් කැමති වන වර්ගයේ දුඹුරු පැහැ සමක් ඇති කඩවසම් මිනිසෙකි. උස් සිරුරත්, කැපී පෙනෙන නාසයත්, නොසන්සුන් දෑසත් ඔහු වෙත තරුණියන්ගේ උනන්දුව තබා ගත්තේ තරුණ අවධියේමය. අසේකා එතරම්ම ඔහු හා බැඳුනේ ඔහුගේ ඒ මිල අධික පෙනුම නිසාමය.

දැන් මේ පෙනෙන අසලංක නිර්මලීගේ හදවත සන්තාපයට පත් කළේය. තවමත් ඔහු සන්නාම සහිත ඇඳුම් ඇන්දද ඔහු දුශ්කර කාලයක් ගෙවනවා මෙන් හේබා ගොසිනි. වෙනදා තිබුනු දීප්තිමත් බවක් පෙනුමේ නැත. 

නිර්මලීට ජේනුක සිහිවී හදවත පත්තු වී ගියේය. ඔහු මෑතකදී සිට වීඩියෝ ඇමතුම් ලබාදීම නතරකොට දමාය. ඉඳහිට එවන කෙටි පණිවිඩයක අග ' miss you Nir' කියා තිබුනද ඊට වඩා යමක් ඔහුට කළ හැකි නොවේ. ඔහු පාසලේ එතරම් දීප්තිමත් සිසුවෙක් නොවන , සාමාන්‍ය පරිදි අධ්‍යාපනය හදාරණ බව පමණක් දන්නා මුත් කොහේ සිටිනවාද කියාවත් නොදනී.

ඈට බරැති සුසුමක් පාවී යන්නේ ඉබේටමය.

' ජේනු.. සමාවෙන්න පැටියෝ.. සමහරවිට කවදාවත් අපි ආයෙ හමුවෙන එකක් නෑ'

එකවරම නිර්මලීගේ මොළය හරහා අකුණක් මෙන් යමක් සිහිවී ඈ අසලංක දෙස නැවත බැලුවාය.

' අසා මොකද මෙහෙ කරන්නෙ? කැන්සර් පේශන්ට් කෙනෙක්ට උදව් කරනවා වෙන්නත් පුලුවන්.. නැතිනම්.. ? නැතිනම්?? නෑ ඒක වෙන්න බෑ... ඒක වෙන්න පුලුවන්ද ? '

නිර්මලීගේ හදවත මිතුරෙකුද පස මිතුරෙකුද කියා හරියටම කියන්නට නොහැකි මිනිසා වෙනුවෙන් වේදනාවෙන් බර වෙන්නේ නොනවත්වා නැඟන සිතුවිලි පරදාගෙනය.

එවිටම නිර්මලී දකින්නේ ඔහුගේ අතට කුමක් හෝ ලිපි ගොනුවක් ලබාදෙන හෙදියක් හා ඉන් අනතුරුව ඔහු ඈ පසුපස ගමන් කරන අයුරුය. අසලංක එතැනින් ඉවත් වනවාත් සමඟම නිර්මලී සිය අවසඟ වූ දෙපා සොලවාගත නොහැකිව තවදුරටත් එතැන රැඳී සිටින්නේ හිස මත මහා කළු ගලක් තැබුනාක් මෙනි.

--------------------------------------------

තරුකිත් , හිරුකත් , සඳුකත් යන තිදෙනාම සියල්ලන්ගේම අත්පොලසන් මැද ඉටිපන්දම් නිවා දමන්නේ කට උල් කරගෙන සිටිනා අහසි සිය පියාගේ ගෙලේ එල්ලෙද්දීය. 

රශිඳු දෙපසින් අහසිත් මිහිනුත් වඩාගෙන දෙදෙනාටම හාදුවක් දී තරුකි විසින් ලබාදෙන කේක් කට ගන්නට නැමුනේය.

" උම්ම්ම්ම්ම්ම්මාහ්..! මගේනේ..."

නිර්මලීගේ ඇස් උඩ ඉන්ද වී රශිඳුත් ඈත් එකිනෙකා දෙස බැලුනේත් එකටය. රශිඳු කේක් කැබැල්ල මුවේ ලාගෙන ඕනානැති හිනාවකින් නිර්මලීට ඉඟි කරද්දී දෙදෙනාටම සිනාය.

' මේකි පැහිල වැඩී! අපි මෙයාලගෙ රූම්ස් පහල අරෙන්ජ් කරන්න ඕන රශී.'

එසේ කියුවේ පෙරදාය. ඒත් ඉතින් ගහේ කටු උල් කරන්නද?

' මම කැමතියි එයාලා ආදරේ විඳිනවා දකිනවට. එහෙම හැංගෙන්න ඕන නෑ ඉතින්. ළමයි දකින්න ඕනෙ අපි දෙන්නා රණ්ඩු වෙනවා විතරක් නෙවෙයි. ආදරෙන් ඉන්නවාත් දකින්න ඕනෙ.. '

ඊට රශිඳු පිලිතුරක් දුන්නේ එලෙසය. නමුත් තාමත් පංතියේ කොල්ලා ගැන නම් තරහිනි.

තිදෙනාගේ උපන්දිනයන් වෙනදාට සමරන්නේ පවුලේ අය සමඟ පමණක් වුවද මේ වසරේ කුඩාවට හෝ සාදයක් සැලසුම් කලේ හිරුකගේ යුද්ධ ප්‍රකාශ කිරීම නිසාය. 

ලේසි නෑ ඉතින් මේ බැටෑලියන් එකත් එක්ක!

තිදෙනා සිටියේ පාසලේ පන්ති තුනක නිසා පංති තුනේම දරුවන්ට ආරාධනා කරන්නට සිදුවූ නිසා සාදය පැවතියේ කුඩා අවන්හලකයි. දරුවන්ගෙන් පිරී ඉතිරීගිය නිසා එතැන එකම යුදපිටියක සිරි ගත්තේය. සිය දරු ප්‍රසූතියට සූදානම්ව සිටි නාඩියාට එදින එන්නට නොහැකි වුවද සිය ප්‍රියතම දරුවා වූ හිරුකට ඈ හොඳම වර්ගයේ ක්‍රිකට් ක්‍රීඩා කට්ටලයක් තෑගි ලෙස එවා තිබිණ. හිරුක තනිකරම ක්‍රිකට් ලෝලියෙක් නිසා සිටියේ උද්‍යෝගයෙන්ය.

සාදය අතරතුර පැමිණෙන අමුත්තන් වැඩිදෙනා දරුවන්ගේ මිතුරු මිතුරියන් වූ නිසා තරුකි සිය සොහොයුරන් දෙදෙනා සමඟ පිවිසුම ආසන්නයේ සිට ඔවුන් පිලිගත් නිසා නිර්මලී සංග්‍රහ කටයුතු වලට යොමුව සිටියාය.

' දැන් ඇති ඔය සීනි බිව්වා.. අම්මා!'

' ඔය තෙල් ජාති ඔච්චර කන්න එපා.. ඇහුනෙ නැද්ද මම කීපාරක් කිව්වද?'

' ඔය කැන්ඩීස් පොඩි උන්ට.... යන්න නේද කිව්වෙ අර ඉස්සරහට '

රශිඳු වරින්වර විත් මාලතීට ගොරවද්දී නිර්මලීට දුක සිතුනි. පව්! අම්මා ගොඩක් වෙහෙස වෙනවා දරුවොත් එක්ක ඔට්ටු වෙවී.. මේ පුතාගෙ නීති!! ඉතින් ඈ ඉඳහිට මොනවා හරි ඇගේ මිට මොලවන්නේ ඒ වයසට කන්නට ආසා සිතෙන බව දන්නා බැවිනි.

" ඕ.. මයි ගෝඩ්!"

නිර්මලී බීම පුරවමින් සිටියදී දොරටුව අසළින් තරුකිගේ හඬ මදක් උස්ව ඇසුනු නිසා ඈ හිස ඔසවා බැලුවද තරුකි පෙනෙන්නට නැත.

".... ඔයා කොහෙද මෙහේ?? "

තරුකි කතා කරන්නේ කාටදැයි නොපෙනුනද, පිලිතුර නෑසුනද නිර්මලී මේ ඩ්‍රාමා ක්වීන් ගැන දන්නා නිසා ඇගේ පන්තියේ දරුවකුට යයි අනුමාන කර, ඔවුන් පිලිගන්නට යා යුතු නිසා අත ඉක්මන් කළාය.

".. ඕ.. අපේ පච්චී?? ඇත්ත්ද? වාව් ඔයාලා යාළුවෝද?"

ඈ කතා කරන්නේ සිංහලෙන් නිසා නිර්මලී එකවරම සිතුවේ ඈ නොදන්නා සිංහල දරුවා කවුරුන්ද කියාය.

".... ඊස් දිස් යුව ඩඩා?? හලෝ අංකල්.. නයිස් ටු මීට් යූ... "

තරුකිගේ සංවාදය දිගටම ඇසුනු නිසා නිර්මලී වහා බීම සැකසීම පසෙකට තබා කුතුහලයෙන් ඇගේ කටහඬ ඇසුනු ඉසව්ව වෙත යුහුසුළුව ඇවිද යන්නීය.

".. මේ බලන්න අම්මි.. මේ අපේ ස්කූල් එකේ මගේ යාළුවෙක්.. අපේ පච්චිගෙත් යාළුවෙක්.. "

එසේ කියමින් තමන් අසළට ආ සිය මවට තරුකි ඇගේ මිතුරා දක්වා සිටියේ ප්‍රීතියෙන් ඉපිලෙමිනි. ඈ ඔස්සේ බලන නිර්මලී , එතෙක් තරුකිට මුවා වී සිටිනා කැරළි කොණ්ඩයක් සහිත , හීන්දෑරි , තලෙලු කොල්ලෙකු දැක දෑස නතරවන්නේ නළලතයි.

ඒ සමඟම , ඔහුට ඉඳුරා පිටුපසින් සිටගෙන එතෙක් තරුකි වෙත යොමුවු සිනාවෙන් යුතුව සිටිනා රුව සමඟ දෑස ගැටීමත් සමඟ නිර්මලීගේ දෙපා ගල්වී ගියාක් මෙන් දැනිණි. 

" අ.. ස.. ලංක?"

නිර්මලීගේ මුවින් පිටවූයේ දුර්වල හඬින් වුවද තරුකිට ඇසෙන්නට තරම් එය ප්‍රමාණවත්‍ විය.

" ඕ..  මාරයිනෙ!! You guys know each other!! This is going to be an awesome day.."

තරුකිගේ හඬ අසලංකගේත් , නිර්මලීගේත් දෙසවන් තුල දෝංකාර දෙන්නට විය. 

" Nir! Finally I found you!"

අත තිබුනු තෑගි පාර්සලයද බිමට අතහැරෙද්දී කිසිදු පමාවකින් තොරව ජේනුක පැන නිර්මලීගේ ඉඟටියෙන් අල්ලා බදා සිය කම්මුල ඇගේ කුසට තෙරපා ගත්තේ දෑසම වසා ගනිමින් පිටකල කඳුළු පවා නොතකාය.

-------------------------------- මතු සම්බන්ධයි --------------------

ගොඩක් ස්තූතියි මේ ලැබෙන ආදරේට. හැම කමෙන්ට් එකක්ම වහ වහාම කියවනවා සහ මට ඒ හැම වචනයක්ම වටිනවා. 

9 comments:

  1. අනේ අසලන්කට කැන්සර් එකක් හැදෙව්වේ මොකෝ?

    ReplyDelete
  2. අර යටගිය දවසක ලිය ලිය හිටපු කතාවට මොකද උනේ ... මදුනිකා ළමය ගේ කතාව

    ReplyDelete
    Replies
    1. අනේ දෙවියනේ.. ඒ කතාව ලියල ඉවර වෙලත් දශකයක් විතර වෙනවා.. මොකද ටයිම් ට්‍රැවල් කලාද මේ හිටපු ගමන් ශිශිර නිද්‍රාවෙන් නැගිටලා ඇවිත්? අනික මධුනිකා නෙවෙයි මධුලිකා... ග්ර්ර්ර්ර්..

      Delete
    2. නිකා මොකද ලිකා මොකද .. හෙහ් හෙහ් .. හැබෑට උන් දෙන්නට මොකද උනේ

      Delete
    3. උන් දෙන්නා රටින් පැන්නා!

      Delete
  3. ටිකෙන් ටික ඔක්කෝම කොටස් කියෙව්වා. ඔයා අපිව කරකවල අතාරිනවනෙ.... Really interesting.

    ReplyDelete
    Replies
    1. ඔහ්.. ඔයත් කියෙව්වද... අනේ සොරි මම අද දැක්කේ... ගොඩක් ස්තුතියි...

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...