Monday, August 22, 2022

355: උන්මාද චිත්‍රාදෝ මා 86



" ... හැපි බර්ත්ඩේ ඩිය.. රශිඳ...ඳු........ හැපි බර්ත්ඩේ ටූ යූ..."

ගායනය අවසානයේ නැඟුනු අත්පොලසන් නාදය සමඟ 'පොප්' හඬින් බිඳීගිය මල් වෙඩිල්ලේ කඩදාසි විසිරී යද්දී රශිඳු කේක් ගෙඩිය මත වූ ඉටිපන්දම් නිවා කුඩා කේක් කැබැල්ලක් කපාගෙන හිස හැරෙන්නේ වම්පසටය. 

ලේ රතුපාට ගවුමක් ඇඳගෙන සිනාසෙමින් උන් නිර්මලී අතින් ඇද බලෙන් මෙන් ඇගේ මුවේ කේක් කැබැල්ල තිබූ ඔහුට කම්මුලට දෙන්නට ගිය හාදුව දෙතොල් මතට ගත්තේ සියල්ලන්ම සිනා ගන්වමිනි. අනතුරුව පිලිවෙලින් 'ගෝකුල බැටෑලියන්' එකට එකා පසුපස එකා පැමිණ කේක් කට බැගින් කන්නටත් අද දින උපන්දිනය සමරණ සිය පියාට සුබපතන්නටත් වූහ.

නිර්මලී යුහුසුළුව කේක් කැබලි කපා නොඉවසිල්ලෙන් බලා සිටිනා කුඩා උන් හට කඩදාසි පිඟන් වලට බෙදා දුන්නේ හිස මත උලක් මෙන් පෙනෙනා තොප්පියක්ද සමඟයි.

" තාම ඩෙරික් ආවෙ නැද්ද?"

රශිඳු අමුත්තන් අතරින් ඇවිද ආවේ කේක් අයිසින් ගෑවුනු ඇඟිලි කටේ දමා උරමිනි.

" නෑ.. එයා නාඩියා ගන්න යන ගමන් කිව්වා...  පරක්කු වෙන හින්දා කේක් එක කපන්න කිව්ව.  එයි තව ටිකකින්.. "

ඒ වනවිට රශිඳුගේ වඩාත් සමීපම සගයා වූ ඩෙරික් සිම්ප්සන් ‍ගෝකුල පවුලේ නිත්‍ය මිතුරෙකු විය. රුසියානු සම්භවයක් ඇති නාඩියා යනු ඔහුගේ කාලයක් තිස්සේ සහකාරිය ලෙසින් එකට ජීවත් වී මීට මාස කිහිපයකට පෙර විවාහ කරගත් ඔහුගේ බිරිඳයි.

ආබාධය නිසා ජාතික කණ්ඩායමෙන් විතැන්වු රශිඳු ගෝකුලට ඩෙරික් විසින් නවසීලන්තය කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තනතුර ලබාදීමට මැදිහත් වූ නිසා ඒ වනවිට සියලු දෙනාම නවසීලන්තයේ වෙලිංටන් ප්‍රාන්තය වෙත සංක්‍රමණය වී වසර පහකට වඩා වැඩි විය.

ඊට අමතරව ඉන් වසර එකහමාරකට පසුව රශිඳු ගෝකුල විසින් පෞද්ගලිකව පවත්වාගෙන ‍යන ක්‍රිකට් පුහුණුවීම් පාසල මේ වනවිට දරුවන්ගේ සහ වෙනත් පාසල්වල ජනප්‍රිය වී තිබුනු නිසා ඔහු සිටියේ සතුටිනි. 

'මම ආයෙත් ජීවත් වෙනව දැනෙන්නෙ දැනුයි'

 ආබාධය විසින් රශිඳුගේ ක්‍රිකට් කිරුළ අහිමිව යාම ඔහුගේ ජීවිතයේ ලොකුම පහරක් බව අදටත් ඔහු සිහිකරමින් ඒ ගැන සිය මිතුරන්ට සඳහන් කරන්නේ එලෙසය.

නිර්මලී ඒ වසර මුලදී නව හෝටල් සමාගමේ අධ්‍යක්ෂ තනතුරක් දක්වා පැමිණ තිබුනු අතර ඈ දුරස්ථව ඒවා පාලනය කලේ ඒ වනවිට ඩේමියන් සහ නව්‍යා විසින් ලංකාවේ අනෙක් ව්‍යාපාර නේහා සමඟ ඉදිරියට ගෙනයමින් තිබුනු නිසාය. ඩේමියන්ගේ හෝටල් පාසල ඔවුන්ගේ පුහුණුවීම් සඳහා යොදාගත් නිසා ඉන් ඩේමියන්ට වඩාත් ආර්ථිකව ශක්තිමත් බවක් ලැබුනි.

' ඔයාගෙ මෑම් නම් පුදුම කෙනෙක්... මට හිතුනෙම නෑ ඔයාගෙ නංගි ගැන උනත් මෑම් එහෙම හිතන එකට. රශිඳු සර් ගැන ඔයා කිව්වහම මට පුදුම හිතුනේ ඒකයි'

නිර්මලී ගැන ඩිලෝන් එලෙස පවසන්නේ සිය ලාබාල බිරිඳගේ සිනාව අතරිනි.

' මගේ මෑම් එහෙම තමයි. ඒකනෙ අපි මෑම්ට පණ උනත් දෙන්නෙ.. රශිඳු සර් නරක මනුස්සයෙක් නෙවෙයි ඩිලෝ. එයා උනත් ඔහොම උනේ අපේ මෝඩිගෙ මෝඩ වැඩ හින්දා'

ඊට නව්‍යාගේ පිලිතුර වූයේ එයයි. 

නිර්මලීගේ බලවත් පෙරැත්තය ඔස්සේ ඇගේ රූපලාවණ්‍යගාරයකට එක්වූ වන්‍යා ඒ වනවිට ඈටම ආවේණික පාරිභෝගිකයින් සමඟ දක්ෂ හිස සැකසුම් ශිල්පිනියක බවට පත්වී සිටියාය. ඊට අමතරව ඈ පරිවාස නිවාසවල දැරියන්ට චිත්‍ර පන්ති පවත්වන්නට සිය සති අන්තය වැයකළාය. 

ඒ කුමක් කලත් ඈ දුටු සැනින් රශිඳු ඔරවා සිටින්නට පැකිලීමක් නොකල නිසා වන්‍යා නොරිදන්නට නිර්මලී සෑම විටෙකම zoom තාක්ෂණය ඔස්සේ කරනා සංවාද රශිඳු නිවසේ නැති වේලාවල් යොදාගත්තාය.

' නැතිනම් මේ නපුරාගෙ හැටි ඒ මිනිස්සුන්ට කියන්නද?'

තමන්ගේ පැරණි පෙම්වතියන් හට වෛර කිරීම නියම පෙම්වතෙකුගේ ලක්ෂණයක් නොවන බවට කියමනක් තිබේ. රශිඳු සම්බන්ධයෙන් ඒ කාරණය කෙතරම් වලංගුද?

' පරණ කෙල්ලො මට විස්තර කියයි කියලා බය වෙලාද කොහෙද මේ මහත්තය මේ වෙනම ඇක්ට් එකක් ගෙනියන්නෙ'

නිර්මලීගේ ඒ වදන් සමඟ ඔහුගේ සුපුරුදු කට කොනට නැඟෙන හිනාව සහ සිහින්වන බොරපාට ඇස්වල බැල්මේ ඇත්තේ වෙනම කතාවකි.

' ඩිමාන්ඩ් එක තියෙනවා මැඩම්! කොල්ලගෙ වැඩ ගැන දන්නවනෙ ඉතින්'

ඉන් අනතුරුව කියන දේවල් අසාගෙන ඉන්නට නම් බැරිය! මුසාවක් නොවේ... ඒ වනවිට ඔහුගේ ක්‍රිකට් පුහුණු පාසලේ සුදු මව්වරුන් අතරේ මේ තරුණ ;කාලවර්ණ ;ආසියානු ; කඩවසම්; පුහුණුකරුට ඇත්තේ සෑහෙන ඉල්ලුමකි.

' ඇහැ ගහගෙන ඉන්න ඕනෙ ඉතින් මට නම් ඔය සුද්දියො ෂුවර් නෑ'

දුරකතනයට පැමිණි ඇමතුම වෙත සම්බන්ධ වෙමින් රශිඳු නිර්මලී පසුකොට සාලයෙන් විවෘත වන කුඩා ඇතුල් මිදුල වෙත ගියේ ඇගේ ඇඟේ හැපී තට්ටමක් කොනිත්තමිනි.

' ඇත්තමයි පුදුම පිස්සුවක් තියෙන්නෙ!'

නිර්මලී එසේ සිතමින් ඔරවද්දී රශිඳු ඇතුල් මිදුලට යමින් සිනාසුනේය.

"..ආ තෑන්ස් හිමාල් අය්යා.. අකිතයා නැද්ද ඉතින්?"

හිමාල්ගේ සුබපැතුම පිලිගනිමින් රශිඳු මිදුලේ සෙල්ලමක නිරතව උන් තරුකිගේ හිස සිපගත්තේ ඈ ඔහුගේ ගෙලේ එල්ලෙන්නට උත්සහ කරද්දීය. 

" අකිත් ගියා එළියට.. වෙඩින් එකේ වැඩ වලට ඌ දුවනවා.. උඹට රෑ වෙලා ගනී.. අකිත්මාත් රෑ වෙලා ගන්නම් කිව්ව.."

අකිත්ගේ සහ සේයාගේ විවාහ ලියාපදිංචියට ඇත්තේ තව මසකට වඩා අඩු කාලයකි. ඒ වනවිට සිය ආචාර්ය උපාධිය සඳහා අධ්‍යන නිවාඩුවේ උන් අකිත්මා ලංකාවට ගියේ පෙර දිනයේ නිසා තවමත් නින්දේය. විවාහයෙන් පසුව අකිත් සිය පියා සමඟ ව්‍යාපාර වලට සහයෝගය දෙන්නට කැමති වූ නිසා ලංකාවේ ස්ථීර පදිංචියට සියල්ල සූදානම් කොට තිබුනු අතර රශිඳුට කාලයකට ඉහත ලබාදුන් නව නිවස රශිඳු ඔහුගේ නමට ලියා දුන්නේ මංගල තිලිණය වශයෙනි.

'ඔය ගෙදර සාලේ තියෙනවා මචං සෝෆා එකක්! ඒක සිරා එකක් උඹට බය නැතුව කියන්න පුලුවන් ලෙසටම බම්ප් වෙනව.. ගැරන්ටීඩ්!'

නිර්මලීගේ නියපොතු පහර කාගෙන රශිඳු එසේ කියා මහ හඬින් සිනාසෙන හේතුව අකිත් අසා සිටියේ ඔහුගේ හැටි දන්නා නිසාය. ඔහුගේ මිතුරාත් ; වීරයාත් රශිඳු නිසා දෙදෙනාගේ බැඳීම හිමාල්ටත් වඩා ප්‍රභල වූ අතර මෙවන් විහිලු තහළු ඔහුට පුරුදුය. 

".... හරි එහෙනම් මම දැන් යනවා ජොගිං වලට..  "

ඇමතුම විසන්ධි කර මද වේලාවක් නැඟුනු සිනාවෙන්ම තත්පර කීපයක් ගතකල හිමාල්ට ඉබේම බරැති සුසුමක් සැලුනේය. 

නිර්මලී...

ඈට මේ සතුට සහ ජීවිතයත්, නොනවතින ආදරයත් උරුමය. වරින්වර නැඟෙනා අපහසු කාලයන් වලදී පවා වැටි වැටී නැඟී සිටිමින් ඈ සිය ආදරය බෙදන්නීය. 

අකිත් තමන්ගේ ව්‍යාපාර වලට සම්බන්ධ වූයේ තමන්ටත් වඩා නිර්මලී දෙස බලමිනි. අකිත්මා ඇගේ අධ්‍යාපනය මෙතෙක් දුරක් ආවේ ඇගේ දිරිමත් කිරීම සමඟිනි. ශක්තිමත් ; ආදරණීය ගැහැණියක් යනු හොටු පෙරමින් පිරිමින් මත යැපෙනා හෝ අමුතු සම අයිතීන් ගැන කියමින් පිරිමින්ට නිගරු කරන්නියන් නොවේ. විවාහය ; දරුවන් හා බැඳීම් සමඟ අවංකවම ඉදිරියට යන්නට නොහැකි නැත. 

නැවත නැවතත් නදදෙන දුරකතනය මදක් නිහඬ කල රශිඳු මැද මිදුලේ පසෙකින් පෙනෙන පරතරයෙන් ඒ මොහොතේ ඔහුගේ නිවස ඉදිරියේ නතර වූ සුපුරුදු රථය දැක හිරුකට හිසින් සන් කරමින් දොරටුව අසළට ගියේ සිය මිතුරා පිලිගන්නටය.

" හලෝ ඩෙරික්... බේබි ගර්ල් මාව වාත කලා උඹට කරදර කලා කියලා. කොහොමද නාඩියා.. ඔයාගෙ හීනෙ මූ නැති නාස්ති කලා නේ!"

රශිඳු ඩෙරික් හා නාඩියා වැලඳගනිමින් පිලිගත්තේ නාඩියාගේ උස් සිනාව නැගෙද්දීය.

" ඒකනෙ රශීඩු... මගේ බැලේ එක අවුරුද්දකින් එහාට දාන්න වෙනව.. ඒ උනාට ඒ සප්‍රයිස් එකට මම කැමතියි!"

නාඩියා සිටියේ ඇගේ පළමු දරු ප්‍රසූතියට සූදානම් වෙමිනි. රශුදුගේ ' ගෝකුල බැටෑලියන්' එකට පින්සිදු වන්නට දරුවන් ගැන තිබුනු සැලසුම් ඔවුන් ඉදිරියට ගෙන තිබුනු නිසා ප්‍රකට බැලේ පුහුණුකාරියක වූ නාඩියා ඇගේ වාර්ෂික බැලේ සංදර්ශනය පසුවට කල්තබා සිටියාය.

නාඩියාගේ ප්‍රියතම දරුවා වූ හිරුක දැක ඇගේ මුහුණ පිපී ආවේ ඒ සැනින් ඔහුට පසුපසින් සිටිනා ඒ සිනාවේම ජායාපිටපතක් දෙස බැල්ම විතැන් වනවාත් සමඟය.

" නිර්!! ඔයා තවත් ලස්සන වෙලා.. අන්තිමට මම දකිනකොට ( කල්පනා කරමින්) හ්ම්ම් පොඩ්ඩක් ඉන්න.. දැන් මාස හතරක්ම මට මිස් උනානේ ඔයාලගේ සති අන්ත සාද... මම හිතන්නේ ඔයාගෙ සිංදු අහලා මමත් ඉන්දියාවේ හින්දි ක්ලැසික් වලට පිස්සු වැටිලා කියලා.. "

නිර්මලීගේ උණුසුම් වැළඳගැනීම අතරතුර නාඩියා සුපුරුදු පරිදි කෙලවරක් නොමැතිව කියවාගෙන ගියාය. 

" සුබපැතුම් නාඩියා.. ඔයාගෙ චූටි බඩ නම් තාමත් පේන්නෙ නෑ.. යමු යමු මම ඔයාට අද ස්පෙශල් කෑමක් අරං තියලා ඇති.. "

දෙදෙනාම ගෙතුලට යන අතරතුර දෙමිතුරෝ මදක් මිදුලේ රැඳුනේ නිර්මලීගේ උපදෙස් පරිදි අහසි ඔවුන් වෙත කෙටි කෑම පිලිගැන්වූ නිසාය. පසුව දෙදෙනාම නිවසේ මිනි බා එක වෙත ඇවිද යන්නට වූහ.

' the lucky guy'

රශිඳු ගැන සඳහන් කරන සෑම විටෙකම ඩෙරික් පවසන්නේ ඒ වැකියයි.

'ලකී කියලා දෙයක් නෑ බං. හැමදේම තියෙන්නේ කැපවීම මත. මගේ ජීවිතේ එකම එක ලකී දෙයයි. මගේ කෙල්ල මට හම්බුන එක. අහම්බෙන් මගේ ජීවිතේට ආපු මගේ බේබි ගර්ල්.. '

" කෝ උඹ එදා එක්කගෙන එනවා කියපු යාලුවා? මම එදත් බලාගෙන හිටියා"

රශිඳු දෙදෙනාටම ස්කොච් වීදුරු දෙකක් සූදානම් කරමින් ඇසුවේ ඩෙරික් මීටපෙර දිනයකදී වර්ණනා කල ඔහුගේ අසල්වැසි නිවසේ මිනිසා ගැන සිහිවීමෙනි.

ඉන්දියානු සම්භවයක් ඇතැයි කියූ ඔහු එතරම් මිතුරු සමාගම් ප්‍රිය නොකලත් ඩෙරික් හා මිතුරු වන්නේ ඔහුගේ පුතා සහ ඩෙරික්ගේ පියාගේ හැඳුනුම්කමක් නිසාය. පියාගේ අවමංගල්‍යය සඳහා ඔහු ප්‍රථම වතාවට ඔහුගේ නිවසට පැමිණි දින සිට ඇතිවූ කතාබහ ඉතා සෙමෙන් මිත්‍රත්වයකට හැරෙන්නට වසර ගණනාවක් ගියේ දෙදෙනාම කාර්‍යබහුල නිසා පමණක් නොවේ. 

බිරිඳ මියගොස් සිය පුතු සමඟ ඔහු ගෙවූ ගුප්ත ජීවිතය කුමක් හෝ හේතුවකට ඩෙරික්ගේ සිත ගත්තේ ඉඳහිට ඔහුගෙන් ලැබෙන ආරාධනා මත මධුවිත තොලගාන මොහොතවල් නිසා වන්නට ඇත. 

රශිඳු හැරුනුවිට සිය බිරිඳ වීරවරියක් ලෙස සඳහන්කල ඔහුට හමුවූ දෙවනි ආසියානු පිරිමියා ඔහු විය. සිය මියගිය බිරිඳ ගැන සඳහන් කරන්නට ඔහු ඉතා අකමැති වුවත් ඒ ගැන කතා කල අහම්බයක් වූ මොහොතකදී ඔහුගේ මුහුණ අපූරු සිනාවකින් ඔපවත් වනවාත් , එසැනින් ඒ මුහුණ අඳුරු වී යනවාත් ඔහුට මතකය.

රශිඳු හා ඔහු ගැන සඳහන් කරන්නට හේතුව වූයේ මේ ඉන්දියානුවාගේ ගුප්ත බව නිසාමය. වෙනත් ඉන්දියානුවන් මෙන් කියවමින් නොඑන ඔහුට මුදල් යහමින් තිබුනද ඒවා එන විදියක් ගැන කිසිවකුත් දැන උන්නේද නැති අතර රශිඳුට නොකියූ හේතුවක්ද ඒ අතර විය.

" ඌ ඉන්ඩියා ගිහින්ද කොහෙද බං... හිටපු ගමන් ඌ මාසයක් විතර එහෙම අතුරුදහන් වෙලා ඉන්නව... මට එන්නං කිව්වට ශුවර් එකක් තිබ්බෙත් නැ ඌ එහෙම පාටි වලට යන එකෙක් නෙවෙයි "

රශිඳු ඊට හිස සලා එකඟව සිනාසී ශාලාව ඔස්සේ නෙත යවමින් රැවුමක් පාකර හැරියේ සිය නැඟණියගේ කොණ්ඩයෙන් අල්ලාගෙන සිටිනා හිරුක වෙතයි. හිරුක සෙමෙන් මාරු වී ගියේ අහසි සිය ඇදවූ කොණ්ඩ කටු සකස් කරද්දීය.

".. ඒක නෙවෙයි.. හෙඩ් කෝච් මොකද ඊයේ උඹට ගේම ඇද්දෙ?"

ඩෙරික්ගේ පැනයත් සමඟම රශිඳුගේ මුහුණ බැරෑරුම් බවකට පරිවර්තනය වෙනු ඩෙරික් නිරීක්ෂණය කලේය.

--------------------------------------------

අසලංක හැඟීමකින් තොරව බලා සිටියේය. විනාඩියක පමණ ඇවෑමෙන් ඔහුගේ මුහුණේ වෛද්‍යවරයා කිසිසේත් බලාපොරොත්තු නොවන ; මොහු වන් කෙනෙකුගෙන් අපේක්ෂා නොකරන වර්ගයේ සරදම් සිනාවක් මැවෙයි.

ඉතිරි සියල්ල ඔහු අසා සිටියේද ඒ සිනාව මුවේ තබාගෙනය.

හෝරාවකට පමණ පසුව වේගයෙන් ඇදෙන රියේ සුක්කානම මත තෙරපන සිය දෑත් වෙව්ලන බව දැන අසලංක රිය මදක් මාර්ගයෙන් ඉවත් කොට අයිනකට නතර කර මද වේලාවක් හුස්ම ඇල්ලුවේය. 

ඔහුට පළමුව සිහියට නැඟුනේ ජේනුකගේ විසල් දෑසයි. දෑස් අයා ඔහු තමා දෙස බලාගෙන සිටිනවාක් මෙන් දැනුනු නිසා අසලංක තදකොට සිය දෑස පියා ගත්තේ හිස රියදුරු ආසනයට තද කරමිනි.

'ඩඩා... '

ජේනුකගේ හඬ සවන්පත්වල වැදී සිත තුල දෝංකාරයක් නඟනවාක් මෙනි. ඒ සමඟම ඒ දෑසම ඇති රූමත් යුවතියක් දම්පාට මල් වැටුනු ගවුමක් ඇඳගෙන තමාගේ පපුවේ තුරුල්වී සිටිනවාක් මෙන් දැනී හදවත තන්තුවකින් තදකරන තරමේ වේදනාවකින් මිරිකී ගියේය.

' නිර්!'

දෑසට කඳුළු ඉනුවේ උල්පතකට ජලය උරනවාක් මෙන් වේගයෙනි. මෙතෙක් වේලාවක් තිස්සේ උන් ශක්තිමත් ; ආදර්ශමත් සහ අධිෂ්ඨානශීලී ව්‍යාපාරිකයා පරදවමින් පියෙක් සහ පරාජිත පෙම්වතෙක් හිස ඔසවමිනි.

ඔව්! තමන්ගේ ලෝකයෙන් නිර්මලී ඉවත් වූ දා සිට සියල්ලම ක්‍රමයෙන් සායම් සෝදාගිය සිතුවමක් සේ අවර්ණ වෙමින් පැවතුනු අතර තවදුරටත් හෙට දිනය ගැන බලාපොරොත්තුවක් නොමැති විය. මෙය එහිම දිගුවක් නොවේද?

' ඒක තවදුරටත් මාව දුර්වල කරන එකක් නෑ නිර්! මම දන්නවා.. ඔයා මම ගැන හිතන විදිය..  මට සමාවක් නොදුන්න වග... ඒක මට දැනෙන්නට අරින්නේ නැතුවම තමන්ට පුලුවන් උපරිමෙන් මට හිතවත්කම දුන්න වග.. '

අසලංකගේ දැහැන බිඳුනේ දුරකතන තිරයේ පෙනෙන සිය සොයුරියගේ අංකය දැකීමත් සමඟය. මද වේලාවක් ඒ දෙස බලා සිට අවසානයේ ඔහු තීරණයක් ගෙන එයට පිලිතුරක් සපයන්නේ වහා සුපුරුදු කටහඬ ලබා ගනිමිනි.

" යෙස්?"

" යෙස් නෙවෙයි.. ජේනුක කිව්වේ ලොකූ හොස්පිට්ල් ගියා කියලා කකුලෙ මොකක්ද අමාරුවක් හින්දා.. කොහෙද ඉන්නෙ?"

අසලංකට නැඟුනේ සිනාවකි. කෙතරම් දබර කලත් ඒ තමාගේ සොයුරියයි. ඈ මවක් සේ තමා ගැන සොයා බලන්නීය. මීට වසර ගණනාවකට පෙර මවගේ හදිසි වියෝවෙන් පසුව ඈ පෙරදාට වඩා තමාට සමීපව ගොසිනි.

" එක වෙලාවකට එක ප්‍රශ්නයක් අහනවා හලෝ.. මම මේ ආපහු ජේනු පික් කරන්න යන ගමන්"

" ලොකූ ඒක හරි.. මම ඇහුවෙ මොකටද ඔයා හොස්පිට්ල් ගියේ? ගිය සතියෙත් ගියා කියලා මට නාලිකා කිව්වා.. මොකක්ද වෙලා තියෙන්නෙ?"

අසලංකගේ නළල රැලි ගැසුනේ ඈ දැනටමත් දන්නා තොරතුරු ගැන හිත නොහොඳිනි. නාලිකා ඇගේ මිතුරියක් වූවත් මේ බවක් කියනු ඇතැයි ඔහු නොසිතුවේය.

" අප්පෝ.. තමුසෙ වගේම ඕපයක්නෙ තමුසෙගෙ යාලුවත්! මම බබෙක් නෙවෙයි සාරා.. මම යන එන තැන් ඔක්කොම කියන්න තරම් වයසක නෙවෙයි නේ ඉන්නේ.. මට තාම පුදුමයි අර දනුකයා තමුසෙත් එක්ක පවුල් කනවට.."

අසලංක අපහසුවෙන් සිනාවක් නැඟූවද නිම්සාරා ඊට හසුවූයේ නැත.

" ලොකූ... මම අහපු කිසි දේකට උත්තරේ නෙවෙයි ඔයා ඔය දුන්නේ.. ඔයාගෙ ඔය බිස්නස් ට්‍රික්ස් දාන්න එන්න එපා මට..  යන එනතැන් හොයනවට ආසා නැතිනම් අර ධාරා එක්ක යන ඒවත් හොයන්නේ නැතුව ඉන්නවනෙ. ලෙඩක් නම් ධාරා එක්ක යන්න එයාට පුලුවන් ඔයාව බලාගන්න.. 

අනේ මන්දා ලොකූ ඔයා මේ ගෙවන පිස්සු ජීවිතේ කවදා කෙලවර වෙයිද කියලා. අර කොල්ලා පව්.."

අසලංකගේ සිත බරවිය. ඈ කියන දේවල් අසත්‍ය නොවේ. ධාරා ස්ථීරසාර සබඳකමක් සඳහා ඕනෑවටත් වඩා ඉඟි ලබාදෙමින් සිටියද තමාට ඈ අවශ්‍යතාවයක් පිරිමසනවා පමණකි. ශාරීරික අවශ්‍යතාවය සහ ජීවන සහකාරිය යනු තමාට අනුව දෙකකි. 

දැන් එයටද තිත තැබීමේ කාලය එළඹ ඇත! 

" අය්යෝ සාරා ඔයාගෙ වැල් බයිලා අහන්න මට වෙලාවක් නෑ. ජේනුය ජෝල් කරන්න ඕනෙ නම් තව පැය බාගෙකින් ගන්න.."

ඇමතුම බලෙන් මෙන් විසන්ධි කළ අසලංක , දුරකතනය තිරයෙන් වෙනත් අංකයක් සොයා ඇමතුමට සම්බන්ධ වූයේ බරැති සුසුමක් සලමිනි.

" හෙලෝ.. ප්‍රොක්ටර් ගෝමස්? මම මිහිඳුකුලසූරිය කතාකරන්නේ.. මට හදිස්සි වැඩක් අදම කරගන්න තියෙනවා.. මම කෙලින්ම ගෙදරට එන්නද? "

-------------------------------------------------

රශිඳු සිය ප්‍රමාදය ගැන දෙතුන් වරක් තමාටම දොස් පවරාගනිමින් වේගයෙන් පාසල් ගේට්ටුවේ සිට විදුහල්පතිනියගේ කාර්‍යාලය වෙත ඇවිද යන්නේ පසුගිය සතියේ ඩෙරික්ට පැවසූ කාරණාව මෙතරම් බරපතලයට ඔහු ගන්නවා යයි නොසිතූ නිසාය. 

නවසීලන්ත ජාතිකයින් එලෙසය. සැමවිටම එකිනෙකා කෙරෙහි සැලකිලිමත් සහ අවංකය. පහසුවෙන් සිය සමීප මිත්‍රයින් අතරට සාමාජිකයන් බඳවා නොගන්නා රශිඳුට,  දිමුත්ගෙන් සහ චාමිකගෙන් දුරස්වූ පසුව ඩෙරික් එතරම් හිතවත් වන්නේ එහෙයිනි. 

උදෑසන පන්ති ආරම්භව තිබුණු බැවින් පාසල තිබුනේ නිහැඬියාවක ගිලෙමිනි. ප්‍රමාදය නිසා රශිඳු වහා ඔහුගේ සුපුරුදු දිගු මාර්ගය වෙනුවට පැසිපන්දු ක්‍රීඩාංගණය ඔස්සේ වැටී ඇති කෙටි මාර්ගය තෝරා ගනිමින් පසෙක ඇති මල් පාත්ති පැන කොලපාට දැල් අතරින් පිටියට පිවිසෙත්ම දකින්නේ එහි ළමයින් කිහිප දෙනෙක් සිටින බවයි.

ඔවුන් රශිඳුගේ ආගමනය නිසා ගල්ගැසී ගියේ මේ මොහොතේ පැසිපන්දු ක්‍රීඩාංගණය තුල ඔවුන් කරමින් සිටි නීතිවිරෝධී ක්‍රියාව නිසා වුවත් රශිඳුගේ ආගමනයත් සමඟම සියල්ලන්ම ගල් ගැසෙන්නේ ඒ මොහොතේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් උන් ඔවුන්ගෙන් පිතිකරුවා එල්ලකල ලෙදර් බෝලය කෙලින්ම රශිඳු වෙතම වේගයෙන් ඇදී එමින් තිබුනු නිසාය.

සැනෙකින් පසෙක උන් කෙට්ටු තරුණයෙක් වේගයෙන් ඒ වෙත පනින්නේත් සියල්ලන්ගේම දෑත් හිස මත රැඳෙන්නේත් එක විටෙකය. රශිඳුගේ බසින් කිවහොත් එය ' පට්ටම කැච් එකක්' වූ අතර සිය දෑත් විදහා පැත්තට පැන ඩයිව් කරමින් ඔහු ඉතා දක්ෂ ලෙස එම උඩ පන්දුව රැකගත්තේ සියල්ලන්ම හුස්ම ඉහලට අදිද්දීය.

ඔහුගේ පන්දු රැකීමත් සමඟම පැසිපන්දු පිටියේ රළු බිමේ වැදී හොඳහැටි හඬක් නැඟුනා වුවත් කිසිවෙකු ඔහු වෙත පැමිණියේ නැත. සියල්ලෝම ගල් ගැසී බලා සිටියද, අතරින් එක කොල්ලෙකු රශිඳු වහා හඳුනා ගත්තේය.

කොල්ලා තදින්ම ක්‍රිකට් උණ ඇති; නොටෝරියස්ම වර්ගයේ වූ මුත් ඒ වනවිට රශිඳුගේ ක්‍රීඩා පාසලේ දක්ෂ පිතිකරුවෙක්ව සිටි දහ හතර හැවිරිදි ඔලිවර් වූ අතර පිත්ත අත තිබුණු ඔහුගේ මුහුණ බිමට නැඹුරු වූයේ නිතැතිනි.

රශිඳු පළමුව බිම වැටුනු පිරිමි ළමයා අසළට වේගයෙන් ඇවිදගෙන යන මොහොතේ ඔහු දනි පනි ගා නැඟී සිටි පමාවෙන් එතෙක් රැඳී සිටි කොල්ලන් සියල්ලෝම අතුරුදහන් වූයේ මැජික් බලයකින් මෙනි. අඳුරු සමක් ඇති ඔහු බියෙන් මෙන් රශිඳු දෙස බලද්දී ඔහු ආසියානු සම්භවයක් ඇතැයි රශිඳු අනුමාන කල නමුත් කුමක් හෝ හේතුවකට ඒ බැල්ම ඔහු තිගස්සවා හැරියේය.

" ඔයා හොඳින්ද? තුවාලයි නේද? "

කොල්ලාගේ වම් වැලමිටේ සිට මැණික් කටුව දක්වාම වූ දිගු කමිස අත බිම වැදී ඇතිල්ලී යාමෙන් ඉරී ගොස් අත සෑහෙන පමණකට තුවාල වී තිබිණ. 

" නෑ නෑ මම හොඳින්!"

කතාවෙන් ඔහු ඉන්දියානු ඇක්සන්ට් එකක් නිසා රශිඳු දෑස දල්වා බලා සිටියදී කොලුවා වහා ආපසු හැරී පිවිසුම් දොරටුවෙන් පිටතට දිවගෙන ගියේ විමතියක් දමවමිනි.

' දැකලා නෑ මේ කොල්ලාව මීට කලින්! ඒ කැච් එක නම් හිතට ඇල්ලුවා කොල්ලා... '

පාසලේ ක්‍රිකට් පුහුණුවීම් වලට උපදෙස් දීම සඳහා වරින්වර පැමිණ ඇති බැවින් අළුත් මුහුණු ඔහු හඳුනන මුත් මේ දරුවා මීට පෙර හමුවී නැත.

ඒ වනවිටත් ප්‍රමාදව සිටි නිසා රශිඳු වහාම කාර්‍යාලයට පිවිසෙන කොරිඩෝවේ දොරටුව වෙත වේගයෙන් ඇවිද ගියේ හිස දෙපසට වනමින් සිනාසෙමින් වූ අතර, එහි දොරටුව විවර කොට අල්ලාගෙන දැනුන කුමක් හෝ හැඟීමකින් ආපසු හැරී බලද්දී දකින්නේ තමා දෙස එලෙසම දොරටුව අල්ලාගෙන බලා සිට , වහාම ආපසු හැරී අතුරුදහන් වූ ඒ කොළුගැටයාය.


-------------------------- මතු සම්බන්ධයි --------------------------

7 comments:

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...