Tuesday, August 16, 2022

353: උන්මාද චිත්‍රාදෝ මා 84




බැඳීම්....
අප ප්‍රාර්ථනා කලද නොකලද අපේ ජීවිතයේ බැඳීම් විසින් අපව යම් යම් අරමුණු කරා රැගෙන යනවා ඇත. ඒ අරමුණු තමා වෙත ගෙන එන්නේ කවර ආකාරයක හැඟීමක්දැයි අප නොදැන සිටින්නටද හැකිය. 
නිර්මලී ගෝකුල විසින් කීප දෙනෙකුගේම අරමුණු යම් යම් බලපෑම් වලට ලක්වී තිබුනේ ඔවුන් නොදැනුවත්වම නොවේ. 
ඈ වටා සිටිනා කිසිවකුටත් ඇගෙන් බුරුලක් නොලැබුන නිසා හිරාන් පවා ඔහුට කැමති අංශයක උසස් අධ්‍යාපනය ලබා ගත්තේ රශිඳුට පෙරය. ඔහු මේ වනවිට ජර්මානු තාක්ෂණික ආයතනයේ පාඨමාලාවේ ප්‍රතිඵලයක් ලෙස ඈ විසින් ලබාදුන් ටයර් ව්‍යාපාරයට යාබදව රීබෝරිං සේවා ස්ථානයක් පවත්වාගෙන ‍යන්නේය. 
ශෂී සිය මෝස්තර නිර්මාණශිල්පී උපාධියෙන් පසුව ඇගේම ඇඟළුම් කර්මාන්ත ශාලාවක හිමිකාරිය වී ඇගේ දෙවන දරු ප්‍රසුතියට සූදානම් වෙමින් සිටියාය.
' උඹේ ගෑනි තමයි මේවට වගකියන්න ඕන! බලපං මාව මේ ගෑනි බබ්බු ඉල්ලලාම මරනවා තව ඩිංගෙන්.. ඇයි බං ඒම?? උඹට වගේ පූස් පැටව් දාන්න පුලුවන්ද බං මට?'
දිමුත් එසේ කියන්නේ නිර්මලී නැති තැන වුවත් ඔහුගේ සිතේ පවා නිර්මලී ගැන ඇති ගරුත්වය ‍රශිඳු හඳුනයි.

' රශිඳුගේ බේබි ගර්ල්' වූ ඈට සියල්ලෝම පාහේ ප්‍රිය කළද ඉඳහිට මඩක් නොවැදුනා නොවේ. 
පුහුණුවීම් අවසන ක්‍රීඩාගාරයේ මුල්ලක හෙටක් නැත්තාක් මෙන් සිපගන්නා , තවමත් විවාහවත් වී නැත්තාක් මෙන් දෑත් අල්ලාගෙන කොකෝ වැරැන්ඩා අවන්හලේ චොක්ලට් මිල්ක්ෂේක් බොමින් සිනාසෙමින් හැසිරෙන මේ යුවල තවදුරටත් කැමරා කාචවල සටහන් නොවුනේ ඔවුන්ගේ නිදහස් ආදරණීය හැසිරීම ඒවායින් වෙනස් නොවූ නිසා වන්නට ඇත. 

මිනිසුන් එලෙසය.. 

මුලදී ඔවුන් ඔබේ හැසිරීම් වලට නිර්ධය ලෙස පහර දෙනු ඇත. පසුව අළුතින් කතා ලියනු ඇත. ඒ සඳහා ඔබට හිතන්නට බැරි තරම් කාලය සහ ශ්‍රමය වැයකරනු ඇත. ඒ සියල්ල අවසානයේදීත් ඔබ දිවි ගලවාගතහොත් ඔබ ඔවුන්ගේ ආදර්ශපාඨය වනු ඇත.
.
.

" මට බෑ යන්න.. "
රශිඳු ස්ත්‍රික්ක කර තිබෙන කමිසය දෙස ඔරවමින් පැවසුවේ නාන කාමරයේ සිට පැමිණෙන නිර්මලීට ඇසෙන්නටය.
" අනේ රශී.. ඕකට ගිය අවුරුද්දේත් ගියේ නෑ... මම දේවකලාට ප්‍රොමිස් උනා එනවා කියලත්"
" දේවක? අර කොන්සර්ට් දවසෙ හම්බෙච්ච කණ්නාඩි පොළඟාද?"

නිර්මලීට සිනාය. මේක පුදුම විකාරයක්. දේවක රාජනායක යනු නිර්මලීගේ පසුගිය ව්‍යාපාර ප්‍රවර්ධන වලදී ළඟින් වැඩකල අලෙවි ආයතනයේ ප්‍රධානියාය. අද උත්සවයට ඔහු නිර්මලීට ආරාධනා කරන්නේ තෙවන වතාවටය. පැටව් තිදෙනාගේ පෙරපාසල් විවිධ ප්‍රසංගයට ඔහු පැමිණ තිබුනේ එයට අනුග්‍රහය ලබාදී තිබුණ බැවිනි. 

" ඔව් අනේ.. ඒ මනුස්සයා මොන වැරැද්දක් කලාටද ඒපාර ?"

රශිඳු ඈ වෙත නෙත් රඳවාගෙනම ඇගේ කම්මුලක් මෘදුව අතගෑවේය.

" මට උගේ බැල්ම අල්ලන්නෙ නෑ.. මට කොහොමත් ඔය ඇඩ්වටයිසිං කරන යක්කු පේන්න බෑ.. අනිත් එක ( නිර්මලී වෙත ඉඟි මරමින්) අද අපේ ඇනිවසරි දවස.. පොඩ්ඩක් ස්පෙශල් මොනවාහරි ඕන!"
ඇගේ දෙතොල් මත මහපට ඇඟිල්ලෙන් පිරිමදිමින් මේ ඉල්ලන්නේ මොනවාද කියා නොතේරේද?
"අන්නේ..  හ්ම්ම්.. ඇනිවසරි දවසෙ එහෙනම් මොකද උදේ ගෝල්
ගියේ මට කියන්නෙවත් නැතුව? අනිත් එක තමයි ඇයි මට කියන්නෙ නැතුව ළමයි එක්කගෙන ගියේ ඒ වගේ ඒවට යනකොට? කියන්න බලන්න.. ?"
" උන් තුන්දෙනා ඔය යසට ගියේ.. ශූටිං එක ඉවර වෙනකල් උන් ගෝල් ෆෝට් එකේ සේයා එක්ක හොඳට නැටුවා.. අනිත් එක උන් ටික බලාගත්තා කෲ එක.. මේ මැඩම් හිතාගෙන ඉන්නේ පොඩි උන් මෙයා නැතිව හුස්ම හිරවෙලා මැරෙයි කියලානෙ... මල කෝලං! "

සේයා යනු අකිත්ගේ පෙම්වතියයි. තද සම්මුඛ පරීක්ෂණයකට පසුව නිර්මලී ඈද නිවසේ යාවජීව සාමාජිකාවක් කරගත්තාය. ඈ නිර්මලීගේ දරුවන් හා ඉතා තදින් මිතුරු වී සිටි නිසාත් තවත් හේතුවක් නිසාත් රශිඳු ඒ ගමන ඈ සමඟ යන්නට තීරණය කළේය.

නිර්මලී කට ඇදකර එතැනින් ඉවත් වන්නට උත්සහ කලත් රශිඳු ඕනෑනැති වැඩක් කල නිසා ඈ බොරුවට එරෙව්වාය.

" ඔය ඉතින්.. කවුද කිව්වේ මම නැතුව මැරෙයි කියලා..? ඒ උනාට මීට පස්සෙ පොඩි අය එක්කගෙන යනවා නම් මට කලින් කියන්න... මට පාළුයි එයාලා නැතුව.."
ගෙල හරහා ගමන්ගත් ඔහුගේ වමතත්, ඇඳගෙන සිටිනා තුවායෙත් ඇතුලට එන දකුණතත් ඇගේ හඬ දුර්වල කලේය.
" එතකොට එයාලාගෙ තාත්තා නැතුව පාළු නෑ? "
රශිඳු ඇගේ සවන් වලට කොඳුරා ඇගේ ගෙලේ ඉහලින් සිප ගත්තේ ඇගේ සිරුර ඉනෙන් අල්ලා තමාට තෙරපා ගනිමිනි.
"... පාළු නැද්ද ආ?"
" හි හි.. දැන් ලෑස්ති වෙන්න පරක්කු වෙනවා.. "
" හ්ම්ම්ම්.."
තවමත් නැවුම්ව දැනෙන ඇගේ හාදුව... තව තවත් සොයා යන්නට සිතෙන ඇගේ උණුසුම රශිඳුගේ සිහිය විතැන් කරවයි.

" අද ඇඩ් එකට ඇවිත් හිටියේ නොෂිකා නේද?"

නිර්මලී සෙමෙන් ඇසුවේ දෑස පියා ගනිමිනි. ' කොහොමද ඒක'
" හ්ම්ම්ම්"
ඔහුගේ අවධානය වෙනත් දෙයකටය. එපා කිව්වට අහයිද ඉතින්!

" අයිස්ක්‍රීම් ඇඩ් වල අයිස්ක්‍රීම් විතරයි විකුණන්නේ නැත්තෙ නේද? "

රශිඳු මදක් තිගැස්සුනේ එහි ඇති යටි අරුත නිසාය. ඔහුට සුපුරුදු මනමාල සිනාව මුවේ ඇඳෙන්නේ සෑහෙන කාලෙකින් මේ මැඩම්ට ඉරිසියාවක් ඇතිවීදෝ යයි සිතීමෙනි.

අද උදෑසන ඔහු ගාල්ලේ කොටුවේ පැවති වෙළඳ දැන්වීම් රූපගත කිරීමකට සහභාගි වූයේ මේ දිනවල සරාගී නිලියක් ලෙස කිරුළු පලන්ව සිටිනා නොෂිකා සමඟය. දැන්වීම අයිස්ක්‍රීම් වුවත් එහි පිටපත නම් ඕනෑවට වඩා වැඩිය. ඔවුන්ට අවශ්‍යව තිබුනේ සරාගී සිපගැනුමක දර්ශනයකි. රශිඳු ඊට අකමැති වූ නිසා වාදය තරමක් ඉදිරියට ගිය නමුත් එය සමතයකට පත්වූයේ රශිඳු පිටපත් රචකයාගේ ගෙලෙන් අල්ලන්නට ඔන්න මෙන්න තිබියදීය. පොඩි උන් එය දකින්නට විදියක් නැති මුත් තරුකි උන්නේ අවධානයෙන් බව ඈ කී කතා කීපයකින්ම රශිඳුට වැටහී තරු පැන්නේය.

' පච්චී... ඒ ආන්ටි ඇයි පච්චිව කිත් කරන්නෙ?'

සිය මව සමඟ දැඩි බැඳීමක් ඇති දරුවන් තිදෙනා නොෂිකා සමඟ මිතුරු නොවූ අතර රූගත කිරීම් වලින් පසුව කියූ කතන්දර කීපයක් නිසා රශිඳු මේ එන්නේ එහි ප්‍රථිපලයක් බව වහා තේරුම් ගත්තේය.

රිදෙන්නම ඈ සිපගත් රශිඳු ඇගේ දෑස දෙස එක එල්ලේ බැලුවේ විනිවිද යන බැල්මකි.
" ඉරිසියා හිතුනද?"
" හරි වැඩේ! මට මොකද?"
රශිඳුගේ මුහුණේ ඇඳුනේ ඔහුටම ආවේණික; නිර්මලී පමණක් දකිනා ඒ සිනාවයි. ' හොට්නස්!'   
ඇගේ බුහුටි නාසය මත සිපුමක් තැබූ ඔහු ඇගේ නළලට සිය නළල තෙරපා ගත්තේය. දෑත වෙනම ගමනකය.

" හ්ම්ම්.. දන්නවද baby girl.. මම ලෝකේ හොඳම හස්බන්ඩ් නෙවෙයි.. පහුගිය ටිකේම බිසී වෙලා මට ඔයාව මිස් උනා.. පැටව් ටිකත් එක්ක ඔයා ස්ට්‍රගල් කරන එක ගැන හිතල මම ඒ තුන්දෙනා එක්කගෙන ගියේ.... 
මට ඔයාව හැමදාම දැනෙන්නෙ එදා දැනුන විදියටම තමයි. ඔයාට මට වඩා මිනිහෙකුත්, මට ඔයාට වඩා ගෑනියෙකුත් හොයාගන්න බැරි වෙන්නෙ නෑ. ඒත් ඔයාට මම තරම්වත් ; මට ඔයා තරම්වත් වෙන එකක් නෑ.. හ්ම්ම්..  "
කෙටියෙන් හෝ ඒ මොහොත ගන්නට නිර්මලී පසුබට වන්නේ නැත. 

දෙදෙනාගේම කාර්‍යබහුලත්වය නිසාත් දරුවන්ගේ දේවල් වලට වෙහෙසවන නිසාත් එකිනෙකා සමඟ ගත කරන්නට වන වේලාවන් අවම වුවත්.. තමන්ට අවශ්‍ය දේ ගන්නට නිර්මලී පසුබට නොවේ. 

' ඒ තමයි නිර්මලීගේ විශේෂත්වය! එයා දන්නවා මාව ඕනේ වෙලාවට රවුම් කරලා ගන්න... බොරු ඩ්‍රාමා නෑ!.  ඇත්තටම බැලුවාම අපි දෙන්නා සෙක්ශුවලි තනිකරම සමපාතයි. බේබි ගර්ල් මාවත් , මම බේබි ගර්ලුත් ජජ් කරන්නෙ නෑ.. ගොඩක් වෙලාවට මට අභියෝගයක් මේ පිස්සි! ඉතින් මම හැමවෙලේම මාව නැවුම්ව තියාගන්නවා.. ඉඩක් නෑ වෙන කිසි කෙනෙක්ට!'

දෙදෙනාම උත්සව ශාලාවට යනවිට ප්‍රමාදව තිබුනු නිසා ඔවුන්ට වෙන්කල ආසන වලට පැමිණ අසුන්ගත් සැනින් ඈතක සිට දේවක අත වනා නිර්මලීට සිනාසුනේ, හිනාවක්වත් නැති ඇගේ කඩවසම් සැමියාගේ රුදුරු බැල්ම එතරම් ගණන් නොගනිමිනි.

එදින සිනමන් ග්‍රෑන්ඩ් හි පැවැත්වෙමින් තිබුනේ දේවක රාජනායකගේ වෙළඳ ප්‍රචාරක ආයතනයේ වාර්ෂික ප්‍රිය සම්භාෂණයයි. වසර තුනක් තිස්සේම ආරාධනා ලැබුනත් නිර්මලී ඊට සහභාගි වූයේ නැත. උත්සවයේ එක් එක් අංග වලින් සමන්විත වූ අතර රශිඳු නිර්මලී සමඟ වරින්වර සංවාදයේ යෙදෙමින් එය නරඹන අපූරුව දේවක ඈත සිටම නිරීක්ෂණය කළේය.

' F$@ing lucky guy'

රශිඳු ඈ හා ඩේට් කරන බව දැනගත් මොහොතේ ඔහුගේ මුවින් පළමුව පිටවූයේ එම වැකියයි. ඒ දිනවල කෙතෙක් උත්සහ කලද නිර්මලී ගමනායක තම ඉඟි ගැන සැලකිලිමත් නොවූවාය. ඈ මෙලෙස වෙනත් අයෙකුට අයිතිව බබළමින් සිටිනවිට හදවත නොරිදෙන්නේ යයි කීම මුසාවකි. 

උත්සවයේ වරින්වර මේ යුවළ දකිනා ඔහුට දැනෙන්නේ පුදුමයකි. ඇගේ කනට මොනවා හෝ කියමින් ඈ හා සිනාසෙන, ගිය සතියේ විවාහවූවා සේ එකිනෙකා දෙස බලමින් සිටියා යුවළ කුරුළු ජෝඩුවක් මෙනි. 

' අරකිට ඇත්තටම ළමයි පහක් ඉන්නවද බං?'

දේවකගේ මිත්‍රයා වරින්වර ඈ නෙත රඳවන අයුරු බලමින් ඇසුවේ සරදමට මෙනි. ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ගොසිප් වෙබ් අඩවිවල මිස වෙනත් තැනක නැත.

පෙරදාට වඩා රූපලාවණ්‍ය ආලේපන තවරා සිටියද ඇගේ ඇති ආකර්ෂණීය බව ඒ නිසා නොවේ. 
ගැහැණියකගේ නිරුවත් ආත්මය කුමක්දැයි කවරෙකුහෝ විමසුවහොත් ඔවුන් ඔබට ඇගේ සැමියා ඈ අසළ සිටියදී ඇගේ දෙනෙත්වල සටහන්වන බැල්ම දෙස බලන්නට කියනු ඇත. ඇගේ දෑස්වල රැඳී සිටියේම මේ තරුණ සැමියා පමණද? 

උත්සවයේ ලද විවේකයේදී තමන්ගේ ශාලාවට පැමිණ ඇති ක්‍රීඩා තරුව අහම්බෙන් දැකීමෙන් ඔහු වටා එකා දෙන්නා රැස්වන්නට වූ නිසා නිර්මලී මදක් පසෙකට වී මද වේලාවකින් රශිඳු එසේ සිටියදී ගැහැණු විවේකාගාරය සොයා ඇදුනාය.
ඉන් පසුව ආපසු එමින් සිටියේ දේවකගේ දෑසේ ගැටෙමිනි.

" ඔහ්.. නිර්.. සොරි මට ඔයාට කතාකරන්නත් බැරි උනා.. මට ඔයාව වෙල්කම් කරන්න එන්න උනේ නෑ"
දේවක ඈ යන අතරමඟට පැමිණියේ අහම්බෙන් නොවුනද ඒ බවක් අඟවමින් ඈ මදක් නතර කරගත්තේය.
" නෑ ඒකට කමක් නෑ මිස්ට දේවක.. මම එනකොට ටිකක් පරක්කු උනා.. කිසි ප්‍රශ්නයක් නෑ මට සීට් රිසව්ව් කරලා තිබ්බ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නෑ. ගොඩක් ස්තූතියි මට එන්න කිව්වට.. "
තද දම්පාට දිගු ගවුමත්, ඉහලට කොට සරළ ලෙස රඳවා තිබුනු කැරළි කොණ්ඩයත් නිසා ඇගේ රූමත් වාත්තුකල ගෙලත් දෙවුරත් කැපී පෙනුන නිසා, දේවක මද වේලාවක් ඇගේ රූසපුව වින්ඳේය. 

' වයසට යන්නෙ නැති ගෑනියෙක්'

" නිර්.. I want you to meet few people ( මට ඔයාට කීප දෙනෙක් අඳුන්නලා දෙන්න ඕන) යමුද?"
නිර්මලී හිස සළා ඊට එකඟවී දේවක සමඟ යද්දී දකින්නේ රශිඳු වටා තවමත් ඔහුගේ ක්‍රීඩා ලෝලීන් සිටින අයුරුය. 
අනතුරුව දේවක විසින් ඔවුන්ගේ නවතම සන්නාම සඳහා වූ ගිවිසුම් අත්සන්කල විදේශික ආයෝජකයින් කීප දෙනෙකුට ඈව හඳුන්වා දුන්නේ ' වොන්ඩ වුමන්' කෙනෙක් විලසය. ඈ ගැන දේවකගේ මුවින් මීට පෙර අසා තිබුනු නිසාත් නිර්මලීගේ ආකර්ෂණීය කතාබහත් නිසා ඔවුන් ඉක්මනින්ම ව්‍යාපාර සම්බන්ධ වූ කරුණු සම්බන්ධයෙන් සංවාදයක් අරඹති. 

" මම ඇත්තටම විශ්මයට පත්වෙලා හිටියේ ඔබ වගේ අඩු වයසකින් ආසියානු ගැහැණියක් ඉදිරියෙන් ඉන්න එක ගැන. දේවකටත් මම ඒ ගැන කිව්වා.. 
අපි ඔබේ පාසිකුඩා හෝටලය පදනම් කරගත්ත වාර්තා වැඩසටහනක් කලා ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න කියලා.. වැඩේ ටිකක් කල් ගියා එතකොට ඔයාලා හෝටලය විකුණලා.  හෝටලයේ අළුත් කළමනාකරණය අපිත් එක්ක වලියක් දාගත්තා ඒ වැඩසටහන කරනකොට හිටපු අයට ස්තූතියි කියලා දානවට.. අන්තිමට අපි ඒ වැඩේ අතෑරියා.. "

එහි සිටි අයෙක් පවසද්දී නිර්මලී එයට මෘදු සිනාවක් පෑවේ මිලටගත් ආයතනය ගැන ඇසුණු තොරතුරු කිසිවක් යහපත් නොවූ නිසාය. 
අනතුරුව සංවාදය ඇදී ගියේ ඒ හෝටල් ජාලයේ කළමනාකරුවෙකු එතැනට පැමිණීමත් සමඟ ඇතිවූ උද්‍යෝගය නිසාමය. 

" මිසිස් ගෝකුල අපේ උපදේශක විදියට එනවා නම් මට පුලුවන් අනෙක් හැමදේම බලාගන්න. අපි ඒ හෝටලය නැවතත් හොඳ තත්වෙකට ගේමු"

වරක් ඔහු එසේ සඳහන් කළද නිර්මලී හරිහැටි පිලිතුරක් නොදුන්නේ ඒ වනවිට ව්‍යාපාර වැඩ වලට වැය කරන්නට තරම් කාලයක් නොමැති නිසාය.
අනතුරුව ඈ ඉතා ඉවසීමෙන් ඇගෙන් විමසන කරුණු වලට පිලිතුරු දෙමින් ඔවුන්ගේ පූර්ණ අවධානය ලබාගෙන සිටියදී එකවරම ඔවුන්ගේ මුහුණු වෙනස්වී යනවා දැනී නිර්මලී මදක් හිස හරවා බැලුවාය. 
.
.
ඉන් හෝරා දෙකකට පසුව, ගාලු කොටුවේ එක්තරා අවන්හළක..

" මතකද මෙතන? හ්ම්ම්??"
නිර්මලී දෑස කුඩාකොට සිනාසුණාය.
" මොකද මතක නැත්තේ..? මට හොඳට මතකයි.. අපේ ෆස්ට් ඩේට් එක ! අනේ අම්මෝ ඔයා එදා ඇත්තටම මාව මරනවා හාට් ඇටෑක් හදවලා.."

රශිඳු ඇගේ මේසය මත ඇති අල්ලා සෙමෙන් පිරිමැද්දේ සිනාසෙමිනි. උත්සවයට ඇඳි කබාය පුටුවේ එල්ලා ඔහු සිටියේ සුදුපාට කමිසයේ දුගු අත් වැළමිට දක්වා නවාගෙන නිසා නිර්මලී ඒ බූල් අතේ පිරිමැදීම විඳිමින් සිනාසුනාය. 

" හොඳවැඩේ මාව පොළඹවාගන්න හැදුවට! "

නිර්මලී දෙස යටිතොල සපමින් තරවටුවක් ලෙස බැලූ රශිඳු ඇගේ අතින් ඇද පුටුවෙන් නැඟිටුවා තමා අසළට ගත්තේ මත් වූ දෙනෙතින් ඈ දෙස බලමිනි.

"... මාත් හිටියේ ෆුල් නර්වස් වෙලා.. කොහෙද අර මෝඩ යකා මට ලණුවක් දුන්නනෙ ඩේට් එක ඉවර වෙනකල් කිස් එකක්වත් දෙන්නෙපා කියලා.. "
නිර්මලීගේ ඉන වටා සිය දෑත් පටලමින් රශිඳු කියද්දී ඈට සිනා නැඟුනේ ඒ දිනය සිහිවීමෙනි. 
" මම බය උනා අනේ.. මාව දාලා යයි කියලා "
රශිඳු ඈ සිය දෙකකුල් මතින් හිඳුවා ගත්තේ ඇගේ ගෙල මත කෙටි සිපුමක් තබමිනි. ඇසනම් වෙනම තැනකය.
" මේ මැඩම් මොකද එහෙම බය උනේ? ඔන්න දැන් නම් කමක් නෑ.. මගේ පූසි!"
" ආ? ඇයි මට පූසි කියන්නෙ?"

" ආව්.. කොනිත්තන්න එපා බං රිදෙනවා. ඊටත් මේවා ජාතික දේපල උඹ අලාභහානි කරන්නෙ! ( ඈ දෙස දෑස සිහින්කොට බලමින්) පූසි කියන්නෙද? පැටව් දාගෙන දාගෙන ගියපු හින්දා.. මාව උඹ බය කලා..! "
දෙදෙනාම ඊට සිනාසුණහ. ඉන්පසුව මද වේලාවක් එකිනෙකා දෙස බලා සිටින්නේ ආදරයෙනි.
" තෑන්ක්ස් රශී.. මට දෙන මේ සතුටට! "
නිර්මලී ඔහුගේ ලයට තුරුල් වී දෑස පියා ගනිද්දී රශිඳු මද කල්පනාවට වැටුනු නිසා දෙදෙනා අතරම ඇතිවූයේ නිහඬතාවයකි.

" කවුද අර ඔයත් එක්ක අන්තිමට කදේ දාගෙන හිටපු එකා?"

මෙතෙක් වේලාවක් ඒ පැනය ප්‍රමාද වීම ගැන නිර්මලී සිතුවේ එතරම් වේලාවක් මේ කොල්ලා මේක හිතේ තියාගෙන ඉන්න ඇති කියා සිතමිනි. ඈට නැඟුනු සිනාව සඟවාගත් ඈ ඔහුගේ බඳ වටා දෑත යවා ඔහුට තුරුල් වූවාය.
" එයා තමයි... අපේ හොටෙල් එක ගත්ත චේන් එකේ ඒෂියා පැසිෆික් මැනේජර්.. දේවක එක්ක එක ඉස්කෝලේ.. "
"හ්ම්ම්ම්"
" පාසිකුඩා හොටෙල් එක පාඩුයිලු දැන්.. ස්ටාෆ් එක ගොඩක් අස්වෙලා ගිහින්.. "
නිර්මලී රශිඳුගේ පපුව මත පහුරුගාන්නේ කුමන වේලාවටද කියා දන්නා රශිඳු ඇගේ ඊළඟ වැකිය මදක් අනුමාන කළේය.
"හ්ම්ම්ම්"
" එයාලා කැමතියි මම කන්සල්ටේෂන් කරනවට.."
රශිඳු කිසිවක් කීවේ නැත. පිළිතුර පමා නිසා නිර්මලී එය කුමක්දැයි තේරුම් ගත්තාය.
".. එහෙම ගියොත් මට ඔයා වෙනුවෙන්.. පැටව් වෙනුවෙන් කාලය මදි වෙයි.. ඉතින් මම..."

රශිඳු මුහුණ බිමට හරවා තමන්ගේ අත ' හාරන' ඇගේ මුහුණේ ඉරියව් දෙස මද වේලාවක් බලා සිටියේය. අනතුරුව නැඹුරුව ඈ මෘදුව සිපගත්තේය.
" පොඩි අය එක්ක මාත් ගොඩක් නැති නිසා ඔයා වැඩිපුර ඉන්න ඕන නේද? හ්ම්ම්ම්??"
" හ්ම්ම්"
නිර්මලී අපහඩුවෙන් නඟාගත් සිනාවෙන් යුතුව 'ඔව්' කියන්නට හිස සැලුවාය. උගුර සිරවෙන්නා සේ ඈට දැනේ. ඒ හෝටලය විකුණා දැමීම යනු තමා මහත් අපහසුවෙන් ගත් තීරණයකි. 

".. ඒ උනාට.. ඔයා වැඩ්ඩියක් බේබි ගර්ල්.... මට දුකයි ඔයා එහෙම ගෙදර හිරකරගන්න එක.. හ්ම්ම්?  ඒක බාරගන්න.. මම දන්නව ඔයාට පුලුවන් ගානට දවස මැනේජ් කරගන්න.. 
මගේ පැටව් දැන් ලොකුනෙ.. එයාලගෙ වැඩ එයාලා හෙමින් හෙමින් කරගනී.. මම දැක්කා දැන් ලොකු තුන්දෙනා කෑමත් තනියෙන් කනවා... ඉස්කෝලේ වැඩත් කරගන්නවා හෙමීට.. තුන්දෙනා එකතුවෙලානෙ හොරවැඩත් කරන්නෙ.. පොඩි දෙන්නවත් බලාගන්නව.. ඒ හින්ද පැටව් නිසා ඔයා හිරවෙන්න එපා.. 
  වර්කිං ෆ්‍රොම් හෝම් ඉල්ලන්න පුලුවන්ද බලන්න.. "

නිර්මලීගේ දෑස් විසල්වී කළු ඉංගිරියාව දීප්තිමත්ව දැන්වෙනු දැක රශිඳුට නැඟුනේ සතුටකි. ඈ සිය ව්‍යාපාර සියල්ලම පාහේ මන්දගාමී කලේ තමාටත් දරුවන්ටත් කාලය අවශ්‍ය නිසාය. 

".. ඒ උනාට මේ මැඩම් මම ගෙදර ඉන්න දවස් දෙක ෆ්‍රී ඉන්න ඕනෙ.  කොහෙවත් යන්න බෑ... මීටින් ඒව මේවත් බෑ! මගෙත් එක්ක මැච් එකේ පැවිලියන් හිටියෙ නැත්තන් උඹව මරනවා මම!!"

ඒ තරවටුව නම් සුපුරුදු රශිඳුය. නිර්මලී ළදරු සිනාවකින් ඔහු දෙස බලා ඇස කැරකෙව්වේ රශිඳු ඉන් හිරිවට්ටමිනි.
' ඒක නම් ඉතින් ඒ කාලෙ ඉඳල කලානෙ මේ මහත්තයට!'

" ආ.. ඒක මාර රූල් එකක්නෙ! අසාධාරණයි!! හොඳයි එහෙම කලේ නැත්තං?"

" නැත්තං?? නැත්තං ඉතින් ගෙදර ඉන්න විදියට වැඩ සලස්සනව!"

" අන්නේ.. මේ! මිස්ට කෙවින්ට ගුටි අනින්න කොහෙද ඔයා.?. එයා නැෂනල් ටීම් හිටපු රගර් රයිඩර් කෙනෙක්.. හ්ම්ම්"

නිර්මලී කට උල්කොට පවසද්දී රශිඳු දෑස සිහින් කොට මනමාල හිනාවක් නඟා ගත්තේය.

" පිස්සි.. ඔය රගර් ගහපු නාකින්ට ගුටි අනින්න නෙවෙයි. මෙන්න මෙතනට බන්ඩියක් දුන්නම ඊට වඩා ඉෆෙක්ටිව්! "

රශිඳු එරාන් ගෝකුල සිය විවාහ සංවත්සරය සමරණ ප්‍රේමණීය බිරිඳ දෙස තවදුරටත් බලා සිටියේ ඒ රතුවූ ඒ වත මත ඇඳෙන ඒ සිනාවෙන් සිය ජීවිතයම පිරී ඇති බව වටහාගනිමින් සහ අන් කවරදේටත් වඩා මේ තෝරාගැනීම ගැන තමා තුල මතුවන සතුටත් හදවතින්ම විඳිමිනි.
--------------------------------------

සමහර අවස්ථා ජිවිතය විසින් අපට ලබා දෙන්නේ අප ගැනම කල්පනාකරන්නට මගක් ලබා දෙමිනි. 

නිර්මලී හිස් හැඟීමෙන් ඇමතුම විසන්ධි කළාය. නිර්මලීගේ මුහුණේ වූ වෙනස ඈ දෙස වරින් වර බලමින් උන් රශිඳුගේ ඇස ගැටෙන්නේ දෙවන වරට නිසා යහළුවන් අතර උන් ඔහුගේ දෙපා ඈ වෙත ඇදෙන්නේ එසැනෙනි.

" baby girl.. Are you ok?"

නිර්මලී තිගැස්සී මෙන් රශිඳු දෙස බලා , අරමුණකින් තොරව හිස එහෙ මෙහෙ හැරෙව්වේ ස්වයංක්‍රීයව මෙනි.

".. කවුද කෝල් කලේ? හ්ම්ම්?"

ඇගේ මේ වෙස් පෙරලිය ඇමතුම නිසා බව රහසක් නොවේ.
" පච්චි...... අර කේක් මමත් කන්නද?"
තරුකි පැමිණියේ සඳුකගේ අතත් අල්ලාගෙනය. මීට පෙර සඳුකට දුන් කේක් කැබැල්ල වෙනුවෙන් ඈ පැමිණ ඇත්තේ සාක්කියට කෙනෙක්ද සමඟිනි.
' මේකි ඉතින් මමම තමයි..  මගේ කෙලි වර්ෂන් එක!!'
රශිඳු තරුකි ගැන කියන්නේ එලෙසිනි. සඳුකට ඇත්තේ ඉවසීමත් අහිංසක කමත් ය.
" හරි.. හිරාන් අංකල්ට කියලා ඉල්ලගන්න.. "
නිර්මලී වෙනුවෙන් කාලය අවශ්‍ය නිසා ඔවුන් දෙදෙනා එලවාගත් රශිඳු නිර්මලී අසළම හිඳගත්තේ ඈ සිය දෙපා මැදට ගෙන පිට සිය පපුවට හේත්තු කරගනිමිනි.
අද දින ඔහුගේ උපාධි ප්‍රධානෝත්සවය වෙනුවෙන් නිවසේ ළඟම මිතුරන්ට දුන් සාදයේ වැඩ කටයුතු හේතුවෙන් නිර්මලී සිටියේ වෙහෙසට පත්ව නිසා රශිඳු ඒ ගැන වදවිය. 
දරුවන් පස්දෙනා සමඟ ඔට්ටු වෙමින් , ව්‍යාපාර වැඩ වලටත් සිය කාලය වෙන් කරගෙන ඈ මේ චාම් උත්සවය සැළසුම් කලේ තනිවමය. 

නිර්මලීගේ ගෙල මෘදුව සිපගත් රශිඳු ඇගේ බඳවටා ගිය දෑතින් ඈ තුරුල් කරගෙන උරහිසේ නිකට රැඳවූයේ ඇගෙන් වහනය වන දහදිය සුවඳ පපුව පුරා ගනිමිනි.
" එපා රශී දාඩිය..."
" කමක් නෑ මම ආසයි ඒ සුවඳට.. "
නිර්මලී ප්‍රති පිලිතුරක් වෙනුවට සුසුමක් සැලුවාය. ඔහු සුපුරුදු ලෙස ඇගේ ගෙලේ ඉහල කොටස මත ඇති ලුණු රස වින්දේ ඈ සන්සුන් කරවමිනි.

"... කවුද කෝල් කලේ.. ? හ්ම්ම්?? කොහෙන්ද කෝල් එක??"
නොකියා ඉන්නට කොහොමටවත් නොහැකිය. 
" කැනඩා වලින්.."
රශිඳු මදක් කල්පනා කලේ කැනඩා වල නිර්මලී හඳුනන අය අතුරින් ඈ සංවේගයට පත් කරන ආකාරයේ ඇමතුමක් දෙන්නට හැකි කවුදැයි කියා සිතමිනි.
"... මගේ.. අම්මා නැතිවෙලා.. කෝල් කලේ අම්මා ගාව හිටපු සර්වන්ට්. එ-යා.. විතරයි මාව ද-න්-නේ"
රශිඳුගේ සිත ඇවිලී ගිය වේගයට ඔහු නිර්මලී තදකොට බදා ගත්තේය. 
නිර්මලීගේ මව ඒ වනවිට ඇගේ නීත්‍යානුකූල දරුවන්ගේ භාරයේ සිටින බවත් , ඇගේ දරුවන් ඈට තමා හා කතාකරන්නට දුරකතනයට එන්නට පවා නොදෙන බවත් පෙර දිනයක පැවසූ ආකාරය සිහිවූ නිසා රශිඳු මේ තොරතුර ඈ තුල ඇතිකරන්නට ඇති සියුම් රිදීම අනුමාන කලේය. 
' අම්මා කවදාවත් කියලා නෑ මම ගැන එයාලට'
නිර්මලී ඒ ගැන රශිඳුට පැවසූ මොහොතේ දැනුන හැඟීම මහා පිලිස්සීමක් මෙනි. සිය දරුවා ; සාර්ථකම වුවද පිලි නොගන්නා මවක්!

".. නැතිවෙලා තියෙන්නේ ගිය සතියේ.. ඒ නැන්දා මගේ නම්බර් එක හොයාගෙන තියෙන්නේ අද.. "
ඈ වේදනාවෙන් නැඟූ සිනාව විසින් රශිඳු පාරවා දැමුවාක් මෙනි.
' අඬපංකො ටිකක්වත් හිත හරියන්න.. ' නමුත් ඈ හඬන්නේ නැත.

" දුක් වෙන්න එපා baby girl.."
රශිඳු ඇගේ ඉනෙන් අල්ලා දෙපසට පැද්දූවෙ නිකට හිස මත තබමිනි.

"... ඔයාට පන්සල් හරි චර්ච් හරි යන්න ඕන නම් අපි යමු.. තරුකිලාගෙ බර්ත්ඩේ එකට එන මාසෙ දෙන දානෙදිත් පිං දෙමු.. හ්ම්ම්?"
නිර්මලී කිසිවක් නොකියා රශිඳුගේ ශක්තිමත් බාහුව මත අත තබා හිස හරවා ඔහු දෙස වරක් බැලුවේ ස්තූති කරන්නට මෙනි.

" එහෙම ඕන නෑ.. ඔයා දන්නවනෙ.."

කියන්නට ලැබුනේ එපමණකි, පොඩ්ඩන් දෙදෙනෙකු දිවගෙන විත් ඇගේ ඔඩොක්කුවට පැන්නේ කේක් ගෙඩියේ ඉතිරිය ඉල්ලමිනි.
සීනී කෑම සහ ක්ෂනික කෑම පාලනය කර ඇති නිසා ඔවුන් මෙවැනි දිනයන් වලදී ඒවායින් උපරිම ප්‍රයෝජන ගනිති.

" අඩෝ.. හිරානයා... මුංට දාලා දීපංකො කාටුන් එකක්!"

රශිඳු මදක් නොසන්සුන්ව එසේ පවසද්දී දෙදෙනෙක් හිරාන් වෙත ගියද අහසි සහ තරුකි පියාගේ අස්සට රිංගන්නට උත්සහ කරමිනි. ඈත සිට හිස වනා එයට එකඟ වූ හිරාන් මේ යුවලට කරදර නොකරන්නට පැටවුන් වටකොට ගත්තේ යමක් වැටහීමෙන් මෙනි.

සිය ලයට හේත්තුව සිටිනා නිර්මලී ගැන රශිඳුට දැනුනේ ඇටමිදුලු වලට දැනෙනා තරම් සන්තාපයකි. 

නිර්මලීට දැනුනේ තමන් කෙතරම් අසරණද කියාය. තමන්ගේ කියා කියන්නට නොහැකි මවක්!

ඈට එකවරම සිහිවූ යමක් හිස තුල අකුණක් පුපුරා හැරි නිසා ඉබේම ඉඳ සිටි තැනින් නැඟී සිටුනේ ඉබේටමය.

" රශී.. "
ඇමතීමේ අමුත්ත නිසාම රශිඳු ඈ දෙස බැලුවේත් , ඈ ඔහු දෙස එක එල්ලේ බැලුවේත් එකම මොහොතේ නිසා ඔවුන්ගේ දෑස් එකිනෙක ලොක් වී යන්නේ සැනෙකිනි.

.
.
ඉන් හෝරා දෙකකට පසුව...


රශිඳු අවසානයේ අත වූ වීදුරුව බැල්කනියේ මේසය මත හඬ නඟා අතහැරියේ නිර්මලීගේ වචන නිමවනවාත් සමඟිනි. ඒ වනවිට දරුවන් සියල්ලෝම නින්දට වැටී සිටි අතර අමුත්තන් පිටවී ගොස් ගතවී තිබුනේ හෝරාවක් පමණි. 
හෝරා දෙකකට පෙර පැන්ට්‍රි කොටසින් ඇරඹුනු මේ කතාව අනතුරුව සාලයටත්, බැල්කනියටත් යමින් සිටි රශිඳුගේ කන පුරාම අසාගෙන සිටියා මිස කිසිවක් කියන්නට ගියේ නැතත් ඔහුගේ අභිනයෙන්ම සිටිනා ආවේගය නිර්මලීට වැටහී තිබිණ.

නිර්මලී බරැති සුසුමක් සළා ලය සැහැල්ලු කරගන්නට උත්සහ කළාය. 
' දන්නව මේක රශිඳුට ලේසි නෑ කියලා.. ඒ උනාට.. මට බැහැ මට දැනෙන මේ හැඟීම ඒ පොඩි එකාට දැනෙන්න අරින්න'

මේසයෙන් නැඟිට යන්නට ගිය රශිඳුගේ අතින් අල්ලාගත් නිර්මලී ඔහු දෙස ආයාසයෙන් නගාගත් සිනාවකින් බැලුවේ ඔහු වචනයක්වත් නොපැවසූ නිසාය. ඇගේ හිත රිදවන්නට හිත හදාගන්නට ඔහුට නොහැකි මුත් මේ විකාරවලට කැමති වන්නටද නොහැකිය.
" අනේ ඉතින්.. මට බැන්නට කමක් නෑ.. බෑ කියන්න නම් එපා"

රශිඳු ඇගේ අත ගසාදමා නිවස තුලට ගියේ පෑරුණු හදිනි. 

' හිතුවක්කාරකම පොඩ්ඩක් එහෙම නෙවෙයි! නෑ නෑ.. බැහැ... කොහොමටවත් බෑ ඒ වගේ දේකට එකඟ වෙන්න. '

හිත එලෙස කීවද කිසිවක් මුවින් නොකී රශිඳු වේගයෙන් නිදන කාමරයට වදින්නේ නිර්මලී අසරණ කරමිනි.

------------------- මතු සම්බන්ධයි --------------------

2 comments:

  1. ඇති යන්තම් මේ කොලේ තියෙනවා. මෙච්චර වෙලා ඉරිච්ච කොලයක් තමයි බල බල හිටියේ. කොහෙද අර නිර් යන්න හදන්නෙ ජේනු බලන්න නේ?

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...