Monday, August 15, 2022

352: උන්මාද චිත්‍රාදෝ මා 83





සැලකිය යුතුය: මේ කොටසේ සහ ඉදිරි කොටස් කීපයකම කාලය ඒ මේ අත වෙනස්වන නිසා ඒ ගැන සැලකිලිමත් වන්න.

LPL තරඟාවලිය සඳහා සියල්ල සූදානම් වූ අතර රශිඳු ගෝකුල ඒ වනවිට බලාපොරොත්තුසහගත කණ්ඩායම් තරුවක් ලෙස යාපනය නියෝජනය කරන කණ්ඩායම සඳහා වූ සුවිශේෂී පුහුණුවීම් වල නිරත වී සිටියේය. 

චාමික සහ දිමුත් වෙනත් කණ්ඩායම් වලට තෝරාගෙන තිබුනු නිසා බොහෝවිට ඔවුනොවුන් හමු නොවූ මුත් නවසීලන්ත ජාතික තරුණ ක්‍රීඩකයෙකු රශිඳු හා කුළුපඟව සිටියේය. කාල වර්ණ කැරළි කොණ්ඩය නිසාම ඔහුගේ පෙනුම වඩා කඩවසම් වූ අතර රශිඳු හා සම වයසේ පසුවූ නිසා මිත්‍රත්වය වඩා ඉක්මන් විය.

හිතට දැනෙනා නොසන්සුන්කම නිසා රශිඳු අරමුණකින් තොරවම බෑගයේ ඇති ඇඟලුම් අතර අත යවමින් එය අවුස්සා දැමුවේය. අහසි අසනීප වීම සිතට ඇතිකොට තිබුනේ පීඩනයක් බව සැබෑය. නමුත් කුමක් හෝ නොසන්සුන්කමක් සිත විපිලිසර කර ඇත. 

" මොකද රශී අවුලෙන් වගේ?"

කමිසය ගලවමින් එසේ පැවසූ ඩෙරික් ඇඳුම් කාමරයේ බංකුව මත හිඳිනා රශිඳුගේ උරයට තට්ටුවක් දැමුවේය. සැහැල්ලු සහ මිත්‍රශීලී රශිඳු ඔහු ඉක්මනින්ම සිය මිතුරු කවයට ගන්නට ඩෙරික් සිම්ප්සන් කටයුතු කලේ රශිඳු එක්තරා ආකාරයට තරුවක්ව සිටින නිසාය. 

" නෑ අවුලක් නෑ... හවස ෆිසිකල් සෙෂන් එක කට් කලාට අවුලක් වෙයිද බැලුවෙ"

ඔහු දුරකතනය ගෙන නිර්මලී එවා තිබෙන කෙටි පණිවිඩය දෙස නැවත වරක් බලද්දී ඩෙරික් මද සිනාවෙන් ඔහු දෙස බැලුවේ මීට පෙර රශිඳු ගැන අසා ඇති තොරතුරක් සිහි වීමෙනි.

" උඹ නම් මහ පිස්සු පොරක් බං"

රශිඳු ඔහුගේ සුපුරුදු කට කොනට නැඟුනු සිනාව සමඟින් ඩෙරික් දෙස බැලුවේ 'ඇයි' කියා අසන්නට මෙනි.

"... මම උඹට හරි කැමතියි මචං. කවදාවත් හිතුවේ නෑ ඔච්චර කලින් කසාද බඳින එක හොඳයි කියලා. ඊටත් උඹ නම් මට හිතාගන්න බෑ ළමයි පස්දෙනෙක් එක්ක කොහොම කරනවද කියලා."

රශිඳු දෙවුර සොලවා සිනාසුනේය.

 ".. මම මගේ පාට්නර් එක්ක කතා වෙලා තියෙන්නේ අවුරුදු තිස්පහක් වෙනකල්වත් ළමයි හදන්නෙ නෑ කියලා. ඒ උනාට උඹ දැක්කම හිතෙනවා ඒකත් එක්තරා ජොලියක් කියලා "

රශිඳු සිය කමිසය ගලවා අලුත් කමිසයක් හැඳගත්තේ ඒ අතරතුරය. හිතේ කරදරය අහේතුක නිසා ඔහු නැවත නිවසට යන්නට තීරණය කොට තිබින.

" හ්ම්ම්.. ඒවා පේන තරම් ලේසි නෑ ඩෙරික්.. ඇත්ත..  මම මගේ පවුල් ජීවිතේ ගැන ඉන්නෙ සතුටින් තමයි. ළමයි ගොඩක් ඉන්න ඕන කියලා කවදාවත් මම හිතුවේ නෑ. ඔක්කොම මිස් වෙච්ච ඒවා බං ( දෙදෙනාම මහ හඬින් සිනාසෙමින් සහ පසුව කල්පනාවට වැටී) ඒ උනාට මගේ බිරිඳ ගොඩක් ආසයි බබාලාට.. "

නිර්මලී සිහිවීමෙන් පවා වෙනස්වන රශිඳුගේ වත ඩෙරික් තුල ඇතිකලේ ප්‍රීතියකි.

".... එයා ගොඩක් නිර්භීත කෙනෙක්. මගේ ශක්තිය ‍තමයි මගේ බිරිඳ. මට වැටෙන්න දීලා නෑ. ගොඩක් පරිනත අත්දැකීම් තියෙනවා එයාට. තව මාස තුනකින් මම නීති විද්‍යාලයෙන් එලියට එන්නේ එයාගෙ ඒ උනන්දුකිරීමේ ප්‍රතිඵලයක් විදියට. කොටින්ම එයා නැතිනම් මම ඇත්තටම මෙතන නෑ.. ගොඩක් ආදරෙයි මම මගේ බේබි ගර්ල්ට"

රශිඳුගේ මුහුණ මත ඇඳෙන සුවිශේෂී සිනාව ඈ වෙනුවෙන් බව ඩෙරික්ට පැවසීමට නොඋවමනාය. 

" උඹට කියන්න.. ආසියානු පිරිමි කවදාවත් තමන්ගේ බිරිඳ ගැන හොඳක් නොකියන ජාතියක් කියලා මට ඉන්දියාවේ මගේ හිතවත්ම ගෑණු ළමයෙක් කිව්වා. ඇත්තටම.. ඔව්.. මම උඹෙන් අහපු දේවල් වලට උත්තර දුන්නු ගොඩක් සැමියන් ඒක ඇත්ත කියලා ඔප්පු කලා.. නමුත් උඹ එහෙම නෙවෙයි... තමන්ගේ ගෑනි ගැන ඔහොම උත්තර දුන්නු දෙවෙනියා උඹ... ඒ ගැන මම පට්ට ආදරෙයි උඹට!"

රශිඳු මද සිනාවක් පා ඔහු කියූ දේවල් ගැන එතරම් කණකට නොගත්තද හිත රැඳුනේම තෙරපෙන සිතුවිලි වල නිසා ඔහු වහා නිර්මලීගේ දුරකතනයට ඇමතුමක් ගත්තද එය ක්‍රියා විරහිත කොට තිබුනු බැවින් වහා ඔහු නිවසේ දුරකතනයට ඇමතුවේය.

"... නෑ පුතා.. චම්පා අතේ අහසිව ගෙදර එව්වා හවස බෙහෙත් එක ඉක්මනින් දෙන්න ඕන නිසා. "

මාලතී රශිඳුට පිලිතුරු දෙමින් පවසද්දී රශිඳුට තත්පරයට යකා වැහුනේය.

" දරුවව එවලා බේබි ගර්ල් කොහෙද ගියේ???"

" ඔෆිස් එකේ වැඩක් තියෙනවා කිව්වා"

මාලතී වැඩිදුර නොසිතා කීවේ හිතලුවකි. ඈට සිය පුත්‍රයාගේ පුපුරාහැලීම එතරම් නොදැනුනේ ඒ වනවිට හිරුක සමඟ බලුපැටියා වූ කාරා සමඟ සෙල්ලමකට හිත යොදවාගෙන සිටි නිසාය.

ඇමතුම දඩෝං ගා විසන්ධිව ගිය අතර නිර්මලීගේ දුරකතනයට එක දිගට ඇමතුම් රැසක් රශිඳු ගත්තේ ඔරවාගෙන ක්‍රීඩා පිටියෙන් පිටතට රථය ධාවනය අරඹමිනි.

--------------------------------------------

නිර්මලීට දැනුනේ තමන් හෙලකින් පහලට වැටෙනවාක් මෙනි. වෙඩිවැදී අසාධ්‍යව සිටිනා සොල්දාදුවකු පරිද්දෙන් ඈ පියවර කීපයක් ඒ මේ අත වැනෙමින් ඉදිරියට තැබුවාය.

" නිර්! ඔයාට ඔහොම යන්න බෑ.. පොඩ්ඩක් ඉඳලා යන්න"

තමාට පසුපසින් ඇසුනු හඬ ගණනකට වත් නොගත් නිර්මලී තවත් පියවර කීපයක් ඇවිද ආවද තමා සතු සියළු ශක්තිය හීන වී ඇත්තාක් මෙන් දැනීමෙන් බිත්තියට වාරු වූවාය.

".. නිර්! ප්ලීස් කියන දේ අහන්න"

බිත්තිය දිගේ රූරා වැටෙන ඈ යන්තම් වත්තන් කර අසලංක ඈ සිය උරයේ පසෙකට වාරු කරගත්තේ තෙරපෙන සිතුවිලි සමඟ පොරබදමිනි.

ඔහුට ඈ වැළඳගන්නට අවැසි විය; ඈ සමඟ ඇති සියළු මතකයන් එකින් එක පවසමින් තමා ඒ ඒ මොහොතවල් වලදී ඈට නොනවත්වාම අද වනතුරු ආදරය කල අයුරු පවසන්නට අවැසි විය. ඈ අහිමි වූ ජීවිතය කෙතරම් අවුල්සහගතදැයි කියන්නට අවැසි විය. දෑසින් පනින කඳුළු වල සැබෑ අර්ථය පවසන්නට අවැසිය. අද මේ පැවසූ සියල්ලේ පසුබිම පවසන්නට අවැසි විය.

" ලීව් මී අලෝන්!"

නිර්මලී වෙව්ලන දොතොල් වලින් යන්තම් කියා ගනිද්දී එය ගල් බෝරයක් සේ අසලංක මත පතිත විය. ඈ ඔහුගේ අත ගසා දැම්මාය.

" නිර් මේක හොස්පිට්ල් එකක්. ඔයා මෙහෙම ඉන්න එපා. අපි නිදහසේ කතාකරන්න පුලුවන් තැනකට යමු. මට සමාවෙන්න නිර්!"

" How could you?????? ( මොන හිතකින්ද ඔයා?)"

නිර්මලීට කඳුළු පැන්නේ ඒ මොහොතේය. තවදුරටත් තමා තමන්වම හඳුනන්නේ නැති බව ඈට දැනුණි. සියල්ල නතර වී ඇත්තාක් මෙනි. 

අතීතය...

විටෙක අතීතයේ තමන්ගේ ක්‍රියාකාරකම් නොසිතූ මොහොතවල් වලදී තමන් ඉදිරියේ අවි අමෝරා ගන්නවා ඇත. ඒවා විසින් ඇති කරනා බලපෑම් ජීවිත උඩු යටිකුරු කරනවා ඇත.

අසලංක මිහිඳුකුලසූරිය...

අවුරුදු බර ගානක් තිස්සේ ඔහු තමාගේ ජීවිතයේ විවිධ අවස්ථා වලදී සතුරෙකු, මිතුරෙකු, දුශ්ඨයෙකු සහ සහෘදයෙකු වශයෙන් පෙනී සිටිමින් කෙතරම් බලපෑමක් එල්ල කලාද? මේ දැනෙන්නේ කුමන හැඟීමක්ද? 

සතුටක් ; දරාගන්න බැරි දුකක් සහ පුපුරායන කෝපයක් මිශ්‍ර ඒ හැඟීම කුමක්දැයි හරිහැටි නිර්මලීට වැටහීමක් තිබුනේ නැත. කොටින්ම ඇගේ මොළය ඒ මොහොතේ කිසිවක් ග්‍රහණය නොකර එකතැන රේස් කරනා වාහනයක් මෙන් ශබ්දයක් නගමින් සිටියේය.

මීට හෝරාවකට පෙර අසලංක මිහිඳුකුලසූරිය සහ සිය හිතවත් වෛද්‍යවරයාගේ සම්බන්ධය වටහාගැනුමට කල උත්සහයේ ප්‍රථිපලයක් වශයෙන් තමන්ට ලැබුනු ඒ තොරතුර විසින් ඈ අතරමංකොට තිබිණ.

බොහෝ කරුණු කාරනා සහ දේවල් සලකා බලමින් දෙතුන් වරක් හසික පෝරගේ නම් විශේෂඥ වෛද්‍යවරයා හමුවීමෙන් පසුව ඈ අවසානයේ තීරණය කලේ ඇගේ ඩිම්බකෝෂ තුලින් කාටහෝ උපකාරයක් කරන්නට මුත් කිසිවෙකුට ඒ ගැන නොකියන්නට ඈ වගබලා ගත්තාය.

ඩිම්බකෝෂ ලබාදෙන්නට සූදානම් වූ දිනය උදෑසනම මහල් සංකීර්ණයේ උන් නිර්මලීගේ වාහනයේ රෝදයක හුලං නොමැතිව සිටියදී, ප්‍රමාදව උන් ඈ අසලංක විසින් රෝහලෙන් බස්සවා ගියේ අහම්බෙන්මය. ඈ සිටි කලබලයත් , අමුතු හැසිරීමත් නිසා අසලංක ඈ පසුපස පැමිණි බවට හාංකවිස්සියක් වත් ඈ දැන නොසිටියාය.

එම අංශයේ උන් හසික පෝරගේ යනු අසලංක මිහිඳුකුලසූරියගේ පාසල් මිතුරෙකු බවත් ඈ දැන උන්නේ නැත. එය ගැන විමසීම අසලංකත් , පැවසීම නිර්මලීත් ඒ ඒ හිත්වල සුරක්ෂිතව තබාගත් රහස්ම විය.

" මම බය උනා නිර් ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් කියලා. සොරි මම එහෙම ෆලෝ කලාට.. පෝරා එක්ක ඔයා කතාකරනවා දැක්කා. පස්සෙ විස්තර හොයාගත්තා"

අසලංක ඒ ගැන පැවසුවේ තමා කෙතරම් අසරණද කියා නිර්මලීට සිතෙද්දීය.

 අසලංක මිහිඳුකුලසූරිය විසින් සිය බිරිඳගේ ඩිම්බකෝෂවල ඇති දුර්වලකම ගැන දැනගත් වහා මහා සංග්‍රාමයක් සහ කෙලවරක් නැති කනිපින්දම්ගෑමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු හසික හරහා තමන්ට අවශ්‍ය දේ සිදුකරගැනීමට සමත් විය.

"... මට සමාවෙන්න නිර්.. ඒක අහම්බයක් කියලා හිතන්න!"

නැත.. නිර්මලීට එය එලෙස සිතෙන්නේ නැත. මෙය තනිකරම වංචාවකි.

" අසේකාට එහෙම දෙයක් කරන්න කැමති කරගන්නවා ඇරුනාම විකල්පයක් තිබ්බෙ නෑ. නොදන්නම කෙනෙක්ට වඩා.. ඇත්තටම.. ඇත්තටම මම ගොඩක් ආදරේ කරන ඔයාගෙන් ඒ වගේ උපකාරයක් ගන්න තිබ්බනම්.. ඒක වරදක් නෙවෙයි නේද? ඔයා මට ඒ වගේ උදව්වක් නොකර ඉන්නේ නෑ කියලා හිතුනත් මට ඕනේ කලේ නෑ ඔයාව අපහසුතාවට පත්කරන්න..  "

නිර්මලී අපහසුවෙන් හුස්ම ඉහලට පහලට ඇද්දා ‍ය.

"... ඒක හරි අහිංසක වැඩක් නිර්! අසේකාටවත් දැනගන්න ඉඩක් තිබ්බේ නෑ මම.."

මේ දැනෙන්නේ ලෝදිය හැලියක පැසෙනවා වැනි වේදනාවකි.

 " ...ජේනුක මිහිඳුකුලසූරිය කියන්නේ ඔයාගෙයි මගෙයි පුතා!!"

ලය පසාරු කරගෙන යන ඒ පුවත සමඟ ඈ ඉදිරියේ තමන්ගේත් ජේනුකගේත් මොහොතවල් එකින් එක දිග හැරෙන්නට පටන් ගත්තේ චිත්‍රපටයක දර්ශන මෙනි. 

මාස කිහිපයක් වයසැති ජේනුක සමඟ එක්තරා පියෙක් තම නිවසේ දොර අසළ අසරණව බලා සිටි අයුරු, නොනවත්වා හඬන කුඩා දරුවකු නලවාගන්නට තමන් කිරි බෝතල් සමඟ ඔට්ටු වූ අයුරු, දින ගණනාවක් පුරා සිය ඇඳේ පසෙක තබාගෙන සිය උණුහුමේ නින්දට වැටුනු කිරි දරුවෙකුගේ නින්දේ නැඟුනු සිනාවක් සිය දෑසට කඳුළු නැංවූ අයුරු පමණක් නොවේ.. ඔහුගේ ජීවිතයේ නොයෙකුත් විශේෂ අවස්තා සියල්ලේදීම ඔහුගේ අත අල්ලාගෙන ඔහු සමඟ ඒ අවස්ථා හදවතින්ම විඳි අයුරු පවා ඈට ඇතිකලේ ආගන්තුක හැඟීමකි. 

' දෙවියනේ ඒ මගේ දරුවාද? නෑ.. !'

' ජේනු... මගේ වගේ කැරළි කොණ්ඩේ?'

සියල්ල බිම දමා පොඩිකොට දමන්නට තරම් ආවේගයක් පැමිණියද, නිර්මලී අවසඟව ගියේය. 

' ඇයි ??? Why me? '

අසලංක මිහිඳුකුලසූරිය අතින් සිදුවූ අකටයුත්ත නිසා තමාට එකහෙලා දැනුන අපුල නැවතත් ඇගේ සියොළඟ පුරා දැනෙන්නට වූ නමුත් ජේනුක?? ජේනුකට තමන් ආදරය කළ තරමක්! කිසිවක් නොදැන පවා දෙදෙනා අතර තිබුනු වචනයෙන් විස්තර කළ නොහැකි බැඳීම එසේ නම් ඒ නිසාද? 

" නිර්.. ඔයා දන්නවා හැමදාම ඔයා මගේ හිතේ හිටපු කෙල්ල කියලා. ජේනුක කියන්නේ අපේ පුතා.. ඒක මම මගේ ජීවිතේ ගත්ත හොඳම තීන්දුවක්.. මේක කවදාවත් කාටවත් කියන්න හිතපු දෙයක් නෙවෙයි. ඔයා කවදාහරි දවසක මගේම උනොත් මිසක් ඔයාටවත් කියන්න හිතුවේ නෑ."

නිර්මලී හුස්මක් ඇල්ලුවේ ඇගේ වදන් මුව තුල සිරවී ඇති ලෙසටය. අසලංක පියවරක් ඉදිරියට තබා අඩපණව උන් නිර්මලීගේ උරය මෘදුව ස්පර්ශ කලේ ඇගේ මුවින් ඉකි බිඳුමක් පිටවෙද්දීය.

".. මම හරිම අවාසනාවන්ත මිනිහෙක්.. නරක තාත්තෙක්... ඔයාට නොදැනුන මගේ ආදරේ වෙනුවෙන්... මම ජේනුකව බලාගන්නවා. ඔයාට කැමති ඕනේ වෙලාවක.. ඔයාට ඕනෙ හිතුන විදියකට ජේනුක හම්බෙන්න, කතාකරන්න මම ඉඩ දෙනවා.. 

ජේනුක තාම දන්නෙ නෑ එයාගෙ ඇත්ත අම්මා කවුද කියලා.. නමුත් මම එයාට පොරොන්දු උනා ඒක දවසක එයාට කියනවා කියලා. එයා ගොඩක් සතුටු වෙයි ඒ ඔයා කියලා දැනගත්තම"

එසැනින් නිර්මලීට තමන් පසුකොට ගිය ජේනුකගේ අහම්බෙන් ඇස ගැටුන දෑස සිහියට නැඟුනි.

' කොල්ලා හොඳින් නෙවෙයි.. මට ඒක දැනෙනවා.. මට කොල්ලගෙ ඇස් කියවන්න පුලුවන්.  අනේ පව්!'

ඇත්තටම මට අමු කැවිලාද? 

".. නිර්..අපි එන සතියේ Newzeland යනවා.. මමයි ජේනුකයි.. මම දන්නව මේක අසාධාරණ ඉල්ලිමක් කියලා.. නමුත් මම කැමතියි ජේනුක බලන්න එකපාරක් ඔයා එනවා නම්"

නිර්මලී සිටියේ කුඩා කැබලි වලට කැඩුන සිය හදවත වැරෙන් අල්ලාගෙන නිසා එය වටහාගත් අසලංක ඇගේ උරයෙන් යන්තමට අතක් තැබුවා පමණකි....

කොහෙන්දෝ ආ යකඩ අතක් විසින් ඔහුගේ ඒ අත අඹරවා දමා මුහුණ හරහා මිටිකල අතකින් එල්ලකල වේගවත් පහර සමඟ අනපේක්ෂිතව අසලංක විසිවී ගොස් බිත්තියේ වැදුනේ අසළ සිටි කිහිප දෙනෙක්ම හුස්ම ඉහළට අදිද්දීය.

තත්පරයක් හෝ ගත නොවී විශ්මයෙන් ඇස් විසල්කරමින් හිස එසවු නිර්මලීගේ අත අඬුවකින් මෙන් තදවී ගොස් ඒ බොරපාට ගිනි පිටවන ඇස්වල ඇමිනී ගියේය.

.

.

සතියක් පුරා තමා සිටියේ කුමන මානසික තත්ත්වයකද කියා නිනව්වක් නොමැති වුවද රශිඳු නම් සිටියේ වඩා ආදරණීය ලෙස නිර්මලී හා නෝක්කාඩු වෙමිනි.

" ඔය බ-ල්ලා ඔයවගේ වැඩක් නොකලා නම් තමයි පුදුමෙ... දැන් ඕක හිතින් අතෑරලා දාන්න baby girl.. " 

නමුත් රාත්‍රීය පුරා සුසුම් සලන ඈගේ ලය පුරා සිපුම් තබමින් සනසවන්නට නොහැකි පසුතැවීමකි එය!

".. උඹත් අර පූසියෙක් වගේ... දැන් මම එකපාරක් කිව්වානෙ.. යන්නෙ නෑ එහෙ කකුල් කඩනවා මම! "

පිලිතුරක් නොදුන්නද ඈගේ විඳවීම රශිඳු නොදන්නවා නොවේ. ජේනුක හා නිර්මලීගේ බැඳීම සුවිශේෂී එකක් බව රශිඳු දැන උන්නද මේ තොරතුර නිසා ඇතිවී තිබෙන තත්වය එතරම් යහපත් නොවීය.

' ඒ උනාට මේකි ඉතින් අතාරිනවාද ඒ පොඩි එකාව?? අර බ-ලාගේ නොවෙන්න මම එපා කියන්න්නෙ නෑ. මොන තරම් බලු වැඩක්ද කලේ ඌ?'

රශිඳු ගොරවා , තවත් මදිපාඩුවට අඩි පොලවේ හප්පා පැවසුවේ නොයන ලෙසයි. ඒ පහත් තිරිසනාගේ මුහුණ දකින්නටවත් අකමැති නිසාත් ජේනුක යොදා ගනිමින් මෙවර කරන්නට යන විකාරය ගැන කිසිදු විශ්වාසයක් නොමැති නිසාත් ඈව ඔහු වෙතට යවන්නට ඔහුට හිත හදාගන්නට නොහැකි විය. 

ඉතින් ඒ දෙසතිය ගතවූයේ ඇගේ සුසුම් එසේම ගතවෙමිනි. නමුත්.. දෙසතිය අවසානයේ වූ ඇසිල්ලකින් සියල්ල පෙරලී ගියේය. අසලංක සහ ජේනුක ගුවන්තොටුපළට ගොස් ඇතුල්වීමේ පර්‍යන්තය අසළදී පමාවන ඒ මොහොතේ..

තමන්ගේ ප්‍රියතම ගැහැණිය කොගේ හෝ සිට දිව ආවාත් , තමා ඇගේ තුරුල්ලේ අතරමං වූ බවත් අමතක වන්නේ කෙසේද? 

'.. නිර් ආන්ටී.. මම දන්නවද රහසක්.. මගේ ඇත්තම අම්මා අසේකා නොවුනු එක ගැන මම සතුටුයි..'

කුඩා ජේනුකගේ ඒ වදන් වලින් නිර්මලී නොහඬා සිටියේ ආයාසයෙනි. 

'.. මම කැමතියි ඒ අම්මා ඔයා වෙනවානම්.. '

එපමණකි! නිර්මලී සිය වැඩිමල්ම පුත්‍රයා බදාගෙන විනාඩි කිහිපයක්ම හුස්මක් නොමැතිව හඬා වැලපුනාය. නමුත් ජීවිතය එලෙසය.. ඇගේ කුසින් නොඉපදුනද, ජේනුක සමඟ ඇති බැඳීමේ සීමාව එලෙසය. 

" ජේනු බලන්න ආවට ගොඩක් තෑන්ස්... "

අසලංක සැබෑ ස්තූතිපූර්වක හැඟීමෙන් පවසද්දී ඈ තුල යම් පරිවර්තනයක් වෙමින් පැවතිනි. එතෙක් සිය ජීවිතයේ විවිධ චරිත වලින් බලපෑම් කල අසලංක මිහිඳුකුලසූරිය නම් පුද්ගලයා පියෙකු ලෙස රූපාන්තරණය වී ඇති බවත්, තවදුරටත් ඔහුව තමා නාඳුනන බවත් සපථ කරගත්තාය.

.

.

.

ඉන් වසර ගණනාවකට පසුව තවදුරටත් නවසීලන්තයේ සිනමාහළේ වූ ආපනශාලා සංකීර්ණයේදී...

".. ඔයාට මතකද ජෙම්?.. ඔයා ෆ්ලයිට් එකට නගින්න ටිකකට කලින් මම දුවගෙන ආපු වෙලාවේ මගේ දිහා බලපු විදිය?"

ජේනුක මිහිඳුකුලසූරිය හෙවත් ජෙම්ගේ සිතේ ඒ දිනය සුවිශේෂී වූ බව ඔහුටද මතකය. අදද ඔහුගේ මුහුණේ ඇත්තේ ඒ බැල්මමය.

".. ඔයා යමක් මට පොරොන්දු වෙනකොට තමයි ඔහොම මගේ දිහා බලන්නේ.. ඒ හින්දා මම දන්නවා ඔයා මට අද ඒ පොරොන්දුව උනා කියලා "


නැවතත් වර්තමානයේ....

ගුවන්තොටුපළ තුලට යන ජේනුක පොරොන්දු වූයේ ඔහු නිර්මලී නැවත දකිනාතුරු ඈ අමතක නොකරන බවයි. 

එය නොකැඩු පොරොන්දුවක් වූයේ විද්‍යුත් ලිපිනයන් හරහා නොනවතින සංවාදයක් ඔවුන් දෙදෙනා අතර ගොඩනැඟුනු නිසාමය. 

ඊට අමතරව ඔහුගේ ජීවිතයේ නොයෙකුත් සංධිස්ථානයන් වලදී ඈ හා whatsapp මාර්ගයෙන් සම්බන්ධ වූ නිසා කෙමෙන් වැඩෙන ජේනුකගේ ජීවිතයේ පරිවර්තන සියල්ලම ඈ දැන සිටියාය.

ඒ වනවිට රශිඳු ගෝකුල දෙවරක්ම ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයාගේ සම්මානයට නිර්දේශ වී වරක් ඒ සම්මානයට හිමිකම් කී අති සාර්ථක තරුවක්ව සිටියේය. 

කාලය...

සමහර හදවතේ තුවාල වලට ඇති එකම විසඳුම කිසිවක් නොකොට බලා සිටීම පමණි. අවාසනාවට එයින් යම් යම් තුවාල සිතනවාට වඩා ගැඹුරට විහිදීගිය මරණීය කැපුම් ඇති බවක් නොදැනීම ගැන ජීවිතය ඔබව ප්‍රශ්න කරනවා ඇත.

--------------------- මතු සම්බන්ධයි------------------

සමාව ඉල්ලනවා ගොඩක් පරක්කු උනාට. ඇත්තටම කියන්න මේ කොටස මම හතර පාරක් ලියලාත් මට ඕනේ විදියට ආවා කියලා සතුටු වෙන්න බෑ. නමුත් මගේ ලිවීම ගැන මමම දන්නා දෙයක් තමයි මම අද නොදැම්මොත් තවත් පරක්කු වෙනවා. ඒ නිසා සමාවෙන්න කොලිටි එක හොඳ මදි නම්.


ඉතිරිය ඉක්මනින් දෙන්න ඕනේ මටත්. ලයික් කරන, කමෙන්ට් එකක් දාන සහ කියෙව්වත් මුකුත් නොදාන හැමෝටම ගොඩක් ස්තූතියි. ආදරෙයි මේ දෙන ආදරේට! ❤️❤️


2 comments:

  1. සිහිය නැතුව හිටියේ ඉතිං .....අවුලක් දැනුනේ නැහැ ......ඉවර වෙන්න ළඟ බව දැනෙනවා.......ඇයි අම්මි අපිව දාල ගියේ කියල අහසි ඇහුවට ඒ පොඩි වෙලාවකට වෙන්න ඕන.

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...