Sunday, August 7, 2022

350: උන්මාද චිත්‍රාදෝ මා 81


 

" උඹ නම් ඇත්තමයි!"

හිරාන් දත්මිටි කමින් පැවසුවද අවසානයේ ඔහුගේ සිනාවද පුපුරා ගියේ රශිඳු ඔරවා ඔහු දෙස බලද්දීය.

" ඔහොම හිනාවෙනවද @ත්තෝ??.. පලයං යන්ඩ පාප මිත්‍ර මෝඩයා"

ඔහු සිටින්නේ ආතතියෙන් මුත් හිරාන්ට සිනා නොවී සිටිය නොහැකිය. පොඩි කාලයේ සිටම එකටම සිටි සිය අඹ යහළුවෙකු නම් කුමක් හෝ වැරදුන විටදී මුලින්ම කරන්නේ බඩ අල්ලාගෙන සිනාසීමය. 

රශිඳු හිරාන්ගේ අතින් දුම්වැටිය උදුරාගෙන කලබලයෙන් මෙන් ගැඹුරට උගුරක් ඇද්ද සැනින් ඔරවාගත් නිර්මලීගේ මුහුණ සමඟ රෝසපාට චූටි කිරි හිනාවක් මැවුනු නිසා දුම් උහුර වහා පිටතට දැමුනේය.

' එන්නෙ නෑ ඔය ජරාව බීලා කෙල්ලව වඩාගන්න! අප්පච්චී!!!! කෙල්ලට ඉමියුනිටි මදි කියලා දන්නෙ නැද්ද?'

නින්දක් නොමැති බව නිසා පාන්දර දුම් වැටියක් හොරෙන් මෙන් උරා , පොඩි කෙල්ලගේ හුරතල් බලන්නට ඈ කොට් එකෙන් ගන්නා පමාවට ඈ කඩා පැන්නේ ඉනටත් දෑත් තබාගෙනය.

' අම්මෝ මේකි කටු බැල්ලි වගේ දැන්! හම්බෙන්න ඉන්නේ එල්ටීටී කාරයෝද මන්දා!'

දින දෙකක් තිස්සේ වරින් වර ඇවිලෙන රණ්ඩුව නිසා නිර්මලී රශිඳුට කිසිදු බුරුලක් නොදුන්නාය. ගස්සන විදියට නැඟෙන්නේ සිනාවක් වුවද සමහර වේලාවල් වලදී තමාව ගණනකට නොගැනීම නම් ඉවසන්නට නොහැකිය.

ඈ නිදාගන්නට ගොස් බොහෝ වේලාවක් යනතුරු සයනයට නොඑන්නේ අනෙක් පසට හැරී නිදා සිටිනා ඈ දැකීම ආත්මාභිමානයට දරන්නට නොහැකි නිසාය. තරහා උනත් සුපුරුදු පරිදි වම් අතේ අත් ගොබය මත ඈට නිදන්නට හැකි වනසේ තබාගනී. ඈත් ලොකුකමට ඒ මත හිස තබාගෙන වෙනදා මෙන් තුරුල් කරගන්නේ නැතුවම ; ස්පර්ශ වන්නට නොදී ඈතින් හිඳී. 

ඇඟේ ගෑවෙන්නේ නැතිව දෙදෙනාටම නින්දක් නොඑන නිසා අහම්බෙන් මෙන් යාන්තමට කකුලේ ඇඟිලි අයෙක් ගාවයි. අනෙකා නොදන්නවා සේ සිටී. උදෑසන තුරුල්වී ඇහැරුනද හොරාට සයනයෙන් නැඟිට යන්නේ කිසිවක් නොවුනා සේය.

'නෑ නෑ තුරුල්වෙලා හිටියා කියලා එයාට තේරුනේ නෑහ්'

දෙදෙනාම සිතන්නේ එකමය. ඒත් ඔරවන්නේ නිර්මලීය. රණ්ඩුව ඇරඹුනේ රශිඳුගේ කියමන ගැන නිර්මලී යුධ ප්‍රකාශ කිරීමත් සමඟය.

" ඔයා මොන හිතකින්ද කියන්නේ අපේ දරුවා එපා කියලා.. හා?? රශී මට හිතාගන්න බෑ මේ ඔයාමද කියලා! මේ ඉන්නේ අපේ බබා.. කොහොමද එහෙම එපා කියන්නෙ?"

" ආයෙ මගෙන් හේතු අහන්න එපා අපිට දැනටමත් තුන්දෙනෙක් ඉන්නවනෙ.. තව බබෙක් බලන්නෙ කොහොමද ඔයා?"

" ඒක මාර උත්තරයක් නේ.. බලාගන්න මට පුලුවන්! කොහොමද ඔයා බලාගන්න බෑ හින්ද බබා එපා කියන්නේ..? ඔයා දන්නවද ඔයා මොනාද කියන්නේ කියලා "

නිර්මලී සිටියේ ඇඬන්නට ඔන්න මෙන්නය. රශිඳු හැකි උපරිමයෙන් සන්සුන් වන්නට උත්සහ කරමින් වුවද මේ හිතුවක්කාරිය ගැන ඇත්තේ මෙතෙකැයි කියන්නට නොහැකි තරමේ බියකි.

" ඔව් මම හොඳට දන්නවා මම මොනවද කියන්නෙ කියලා.. මගෙන් දැන් හොඳවයින් දෙකක් ඕනෙවෙලා තමයි මේ එකට එක කියන්නෙ.. මම ආයෙ ආයෙ කියන්නෙ නෑ.. තාම සති කීපයයි... මේ"

නිර්මලී ‍රශිඳුගේ අත් බාහුව මිරිකා අල්ලා ගත්තේ නියපොතු පහරට තුවාල වන තරමේ ආවේගයකිනි.

" රශී!!! "

ඇගේ මුහුණ කවරදාකවත් නොදැක්ක තරමට රතුවී යක්ශාවේෂ වී තිබිණ. ඈ සිටියේ රශිඳුට පහර දෙන්නට තරම් ආවේගයකිනි.

".. නිකම්ම නිකං සති දෙක තුනක 'දෙයක්' නෙවෙයි රශී! ඒ අපේ පැටියා.. අපිව තෝරගෙන ආපු පැටියෙක්..  How could you?"

 නිර්මලීට කෑගසා හැඬුනු නිසා රශිඳු කලබලයෙන් වාහනය මාර්ගයේ පසෙකට කර නතර කරනාතුරු ඉන්නට සිදුවිය. 

" baby girl.  කියන දේ අහන්න.. ! කලින්පාර වගේ හිතුවක්කාර වෙන්න එපා.."

නිර්මලී නොනවත්වා හූල්ලන්නට වූවද රශිඳු සිටියේ ඒ මතේමය. එය නිර්මලී තදින් පාරවා තිබුනේ තමන් ගැන වන අවදානම ගැන තකන රශිඳු ගැන වගක්වත් නොමැතිව සිත පොලවේ හැපෙමින් කැරළි ගසයි. බෑ බෑ කොහොමටවත් මම ඒක කරන්නෙ නෑ!

' අනේ ඒ කෙල්ල බර හෑල්ලුවෙලා දවස් කීයද?'

මාලතීට සිනා මුත් ඈ කිසිවක් කියන්නට නොගියේ පුත්‍රයා සිටින්නේ දුම්මල වරමෙන් නිසාය. ඔහු අහේතුකව ගොරවන්නේය ; ක්‍රීඩා භාණ්ඩයක් සොයමින් කාමරය දෙක කරන්නේය ; නිර්මලී එපා කියද්දී තරුකිවත් වාහනයේ ළදරු ආසනයේ තබාගෙන වාහනයේ රවුමක් යන්නේය ; කොල්ලෝ දෙන්නාට පීනට් බටර් වැඩිපුර දමන්නේය ; පොඩි උන් තුන්දෙනා එක්ක ටික් ටොක් වීඩියෝ හදන්නේය. 

ඉතින් ඒවා බලමින් ගිණි මකරියක් සේ පිඹිමින් නිර්මලී ඒ මේ අත යන්නීය. මේ ඉන්දියාවටත් පකිස්තානයටත් මැද පිහිටි ගාසා තීරයේ මාලතී සහ චම්පා ඇවිද්දේ බොහෝ ප්‍රවේශමෙනි.

හදිසියේ වූ හිරාන්ගේ ආගමනය ඔවුන්ට පහසුවක් දැනුනේ ඉන් මද වේලාවකට හෝ මේ සටන් නතර වෙතැයි සිතූ නිසාය. 

රණ්ඩුවේ මූලය මාලතී දැන උන්නේ නැතුවද නිර්මලී දුකින් සිටිනවාට ඈ අකමැතිය. රහසේ හඬන ඈ දැකීමෙන් මාලතීගේ හිත පත්තු වූ අතර දරුවකු ලැබෙන්නට සිටිනා ඈ ගැන කියා සිය පුත්‍රයාට තරවටු කලද රශිඳු ඒ ගැන කිසිවක් නොකීම ඇගේ සිත රිදවූයේය.

" හරි හරි බං.. තෝ හරියට මම කරපු දෙයක් වගේ මට ගොරවන්න එපා බං. ඔය ගෑනිට ටිකක් හුස්ම ගන්න දීපං. ටී ට්වෙන්ටි එකේ වගේ හයේ පාරවල් අරින්නෙ නැතුව! ඇත්තටම උඹට ක්‍රිකට් බෝඩ් එකෙන් කිව්වද ගෙදර ටීම් එකක් හදල දෙන්ඩ කියලා? "

හිරාන් හැකි උපරිමයෙන් රශිඳු වාත කරන්නට වූවත් රශිඳුටද යන්තම් සිනාවක් නැඟුනි. සිදුවූ දේ ගැන ඔහු ප්‍රථම වරට සිනාසුණේ මතකය අළුත් වීමෙනි. 

' පව් ඉතින්.. සීනිබෝල ඉල්ලලා වගේ මෙතන නටනවා. ඇත්තටම මේකිව බබෙක් පෙන්නලා සන්නාසියෙක් කුදලගෙන යයි අප්පා! ඒ උනාට සෙල්ලමක්ද?'

" උඹ දැන් මාව බයිට් කරලා ඉවරද? ඉවරනං කියපං මට උඹත් එක්ක සිරාවට කතාවක් තියෙනවා මචං"

දුම්වැටියක අවශ්‍යතාවය තදින් දැනුනද එය ඉටු කරගන්නට නොහැකි වූයේ නිවසේ තිබුනු දුම්වැටි පෙට්ටිය කවුරුන් හෝ විසින් සඟවා ඇති නිසාය. 

'වෙන කවුද ඉතින් අර බෝම්බෙ තමයි ! අම්මෝ තද උනාම කොච්චි පරාදයි!! පොඩි කෙල්ලගෙ ලොකු වර්ෂන් එකනෙ!!'

ඈ සිහිවීමෙන්ම ඔහුගේ මුවේ ඇඳෙන්නේ සුපුරුදු මල් සිනාව මුත් එය වියැකී යන්නේ නැවතත් කරන්නට යන මේ හිතුවක්කාරකමේ බරපතළම නිසාමය. 

" මෑම් මොකද බං පේන්න නැත්තෙ..? මේක නම් ලෝක පුදුමයක්..! නැතිනම් උඹලා දෙන්නා ගම් දාලා වගේ කොයි වෙලෙත්.. දැන් මීටරේ දුරින් ඉන්න කිව්වද? හෙහ් හෙහ්.  "

රශිඳුගේ වෙනස්වන වත නිසා සරදම් සිනාව මදකට නතර කරගත් හිරාන් සිය මිතුරාගේ වේදනාත්මක ඉරියව් වහා ග්‍රහණය කරගත්තේය.

".. මචං.. මොකක්ද අවුල? උඹ කියන්නේ තොපි දෙන්න ඇත්තටම තරහ වෙලා කියලද? පැණි වරකා ගහට හෙන ගහලා?? Kidding me! "

රශිඳු කට දෙපැත්තෙන් ඇදෙන සේ සිනාසුනේ සාලයේ ඇති ඇගේත් තමාගේත් විසල් මංගලා ජායාරූපය දෙස දෑස සිහින්කොට බලමිනි.

ඇගේ මුහුණේ ඇඳෙන ඒ සිනාව සැමදාම තමාට අවශ්‍යය. ඇගේ ආදරය; කරුණාව ; උණුසුම සහ සැලකිල්ල තමාට අවශ්‍යය. පැටව් තිදෙනා වටකොටගෙන ඈට තුරුල් වී හෙටක් නැති පරිද්දෙන් නිදන්නට තමන්ට අවශ්‍යය. ඇගේ මේ විරසකය තමාගේ හුස්ම හිර කරවයි.

"... මොකක්ද බං අවුල?"

" මගේ ඔලුව අවුල් වෙලා බං.. ගියපාරත් මිරැකල් එකක් වගේ අන්තිම මොහොතේ මුකුත් නොවී බේරුනා. මේපාර එහෙම බෑ බං.. එච්චර ‍රිස්ක් එකක් ගන්න බෑ මට.. උඹට තේරෙන්නේ නෑ මගේ ඇඟම පිච්චෙනවා එදා තියෙටර් එකේදී මේකිට අමාරු වෙනවා දැක්කහම... මගේ පන ගියා බං ඒ වෙලාවෙ.. "

රශිඳු දෑතම සිය දණිස් වලට වාරුකල දෑතින් හිස අවුල් කරගත්තේය. අද දින යොදාගත් විශේෂිත ස්කෑන් එක සඳහා වෛද්‍යවරයා හමුවට ගොස් පැමිණි මොහොතේ සිට දැනෙන්නේ තමා ලාවා මත ඇවිදින්නාක් මෙනි.

"... අද ස්කෑන් එකට ගිය වෙලාවෙ ඉඳලා මේකි මගෙත් එක්ක වලි. පුදුම හිතුවක්කාරකමක්! කිව්වොත් කිව්ව.. බබාලා කිව්වහම මෙතන මැරෙන්න හදනව..! මට තරහයි දුකයි බං.. මගුල!!"

හරිහැටි නොවූවද දෙදෙනාගේ අමනාපය මේ නිසා බව හිරාන් තේරුම් ගත්තද එය බරපතළ දබරක් වන්නට හේතුව? ඔහු තේ කොප්පය අතට ගත්තේ ඒ ගැන සිතමිනි.

" ඇයි මචං.. මොනවත් අවුලක් කිව්වද? "

අනතුරුව ඔහුගේ සවනට වැදෙන වචන නිසා බොමින් සිටි තේ කෝප්පය ඔහුට ඉස්මොල්ලේ ගියේය.

" මේ පාරත් twins ලා බං!"

-------------------------------------------------

අසලංක මේසය මත දෑතම තබා ඇඟිලි රටාවකට ගමන් කරවමින් කල්පනාවට වැටුනේය.

දනුක සිටියේ කෝපයත්, ශෝකයත් මිශ්‍ර හැඟීමෙන් යුතුව සිය බිරිඳ වෙතම නෙත් හෙලාගෙනය. තව මොහොතකින් පාසල් බස්‍ රියෙන් බැස එන සිය දරුවන්ට පෙර මේ කතාව අවසාන කලයුතු නිසා ඔහු පළමුව හඬ අවදි කරන්නට සිතුවේය.

" අසා දැන් මොන ඔප්ශන් එකද කරන්නෙ? කොහොමත් ජේනුකට මෙහෙ හොඳ යාලුවෝ ඉන්නව. ලංකාවේ පන්තියේ ළමයින්ගෙන් ජේනුට කරදර කරන උන් සෙට් එකකුත් ඉන්නවා.. මගේ අදහස නම්..."

" නෑ නෑ ජේනුකව මෙහෙන් ගෙනියන්නෙ නෑ ලොකූ ඔයා!"

නිම්සාරා පැවසුවේ විධානයක් ලෙසින් නිසා අසලංක හිස ඔසවා ඈ දෙස දැඩි බැල්මක් හෙලුවේය.

" අක්කි මේ.. දැන්වත් මගේ ජීවිතේට හොට දාන්නෙ නැතුව ඉන්නවද ප්ලීස්!? මේ ප්‍රශ්න වලින් බාගෙකට ඔයාත් වගකියන්න ඕන.. ඔයා විතරක් නෙවෙයි අම්මත්!!"

නිම්සාරාගේ මුව විවර වූ අතර දනුක වහා ඈට සන්සුන් වන්නට පැවසුවේ මේ මොහොතේ වඩාත්ම ආතතියකට සහ වේදනාවකට පත්ව සිටින්නේ අසලංක නිසාත්, එවන් මානසික තත්වයකදී මිනිසුන් බොහෝවිට කරන්නේ තමන්ට හැකි සෑමදෙනාම රිදවීම බව දන්නාත් නිසාය.

".... කෙලවරක් නැතුව ප්‍රෙශර් කරලා අසේකා මගේ ඇඟේ ගැහුවා. ඊට පස්සේ දාලා ගිහින් boyfriend එක්ක හිටපු ගෑනිව ආයෙත් බාරගන්න කියලා නැටුමක් නැටුවා.. අම්මත් එකයි දුවත් එකයි!"

" අසා.. දැන් ඕවා ගැන කියලා වැඩක් නෑ. ජේනු වෙනුවෙන් ඔයා මෙහෙට මූව් වෙන්න... ඔයාට මෙහෙ ඉඳලා බිස්නස් බලන්න පුලුවන් නේ"

අසලංක කල්පනාවට වැටුනේය. 

අද දින තමා දෙස අනුභව කරන්නට මෙන් බලාසිටි ජේනුක මිහිඳුකුලසූරියගේ කෝපවත් දෑස ඔහුගේ සිහියට නැඟුනි. අවුල්වී ගිය කැරළි කොණ්ඩය සහ ඒ දෙනෙත්! 

' ගෙට් ලොස්ට්!'

ඒ ඔහු තමාට දුන් අවසන් වචනයයි. කෙතරම් කීවද අසලංකට ඔහුව සන්සුන් කරගන්නට හෝ නොහැකි විය. 

' ඩඩා.. ඇයි මට මෙහෙම කලේ? ඇයි මට බොරු කිව්වේ? මට මෙහෙ ඉන්න බෑ. '

අසලංක සිය පුතු බලෙන් මෙන් වැළඳ ගත්තේ හදවත පුපුරන්නට මෙන් විලාපයක් නැඟූ නිසාය. 

' ජේනු.. ඩඩා ලව්ස් යූ.. සොරි මම හිතලා බොරු කිව්වෙ නෑ. ඩඩාට සමාව දෙන්න පුතා... ඔයා මගේ පුතා.. ස්ට්‍රොන්ග් කොල්ලෙක්.. මීට පස්සෙ කවදාවත් ඩඩා ඔයාව කාටවත් දෙන්නෙ නෑ. පුතා මගෙත් එක්ක යන්න එනවද?'

' එන්නම් එක කන්ඩිශන් එකක්'

ජේනුක දෑතම ඉදිරියට බැඳගෙන පුටුවේ හරිබරි ගැහුනේය. අසලංක තමාට ඇති තුරුම්පු හිඟ බව දත්තද අවශ්‍ය පිලිතුරක් සූදානම් කරගත්තේය.

' කියන්න'

' මගේ අම්ම කවුද? කවුද මගේ ඇත්තම අම්මා? නැන්දගෙ අක්කයි මල්ලියි මිකීයි, වීණායි මට විහිලු කරනවා මම ආන්ටි අසේකා වගේ නෙවෙයි කියලා. අන්තිමට බලනකොට ඒක ඇත්ත. මම එයාගෙ පුතා නම් එයා වගේ වෙන්න එපැයි !'

' ඉතින් ඔයා මගේ පුතානෙ.. ඔයා මම වගේ ඇවිදින්නේ, හිනාව මම වගේ.. ඉතින් ඒ ඇතිනෙ..'

' නෑ නෑ නෑ.. ! මගේ අම්ම කවුද ඩඩා?? මට වෙන බයිලා වැඩක් නෑ'

' හ්ම්ම් මෙහෙමයි.. අම්මා වගේ කිසි දෙයක් ඔයාට නැති වෙන්න පුලුවන්. ඔයාට තේරෙන්නේ නැති ටිකක් කම්ප්ලිකේටඩ් විදියකට ඔයාව අපිට ලැබුනේ.. එතනදි.. එතනදි...  '

මේ වයසේ දරුවෙකුට පැහැදිලි කරන්නට අපහසු වන්නේ ඩිම්බ ප්‍රධානය කරන්නියගේ අනන්‍යතාවය නොදන්නා බැවිනි. අසේකා එකඟ වූයේ එය කිසිවෙකුට හෙලි නොකරන නිසාය. 

' ඩඩා ආයෙමත් බොරු කියනවා.. මට ඔයා එක්ක එන්න බෑ. ඔයා බොරු කියනවා.. මාව රවට්ටනවා.. අයි ඩෝන්ට් ලයික් යූ..   ගෙට් ලොස්ට්!'

ජේනුක සමඟ එකඟතාවයකට එන්නට නොහැකි වූයේ ඔහුට ඒ තොරතුර දෙන්නට තමාට නොහැකි නිසාය. නමුත් ඔහු තීන්දුවක් ගත්තේ සියල්ල සලකා බලමිනි.

" ජේනුක මම ගෙනියනව"

" පි...  පිස්සුද ලොකූ..? ම.."

" enough Sara! මට දැන් තිත්ත වෙලා තියෙන්නේ මගේ ජීවිතේ කාටවත් ඕන විදියට කරන්න ගිහින්.. ජේනුක මගේ පුතා. එයාට කරන්න හොඳම දේ නොතේරෙන බබෙක් නෙවෙයි මම.. "

අසලංක පැවසුවේ උපරිම තාරතාවයෙනි. අනතුරුව ඔහු හුස්මක් අල්ලා ලය සැහැල්ලු කරගත්තේ හඬ පාලනය කරගනිමිනි.

"... මම ජේනුකට ආදරෙයි! ගොඩක් ආදරෙයි.. මට දැන් ඉතුරුවෙලා ඉන්න එකම බලාපොරොත්තුව එයා විතරයි! "

ඒ මොහොතේ ළමා මානසික සායනයට ගොස් එමින් සිටි ජේනුකට දොරකොඩදී සිය පියාගේ වචන ඇසෙන්නේ අහම්බෙන් වූ අතර ඔහුගේ දොරවෙත ගිය අත ඉබේම නතර වන්නේ මේ දැන් ඇසුණු වදන් අදහාගන්නට නොහැකිවය.

"... මම ජේනුව හදාගන්නව. මට ඒක කරන්න පුළුවන්"

සාරා මදක් සන්සුන් වන්නට උත්සහ කරමින් අසලංක දෙස බැලුවේ අවිනිශ්චිතවය.

" ඒකට ජේනුක කැමති වෙන්න ඕන" 

පියා ගැන ජේනුකට සැමදාම තිබුනේ නොබිඳෙන කුමක් හෝ බැඳීමකි. කෙතරම් රණ්ඩු කලද ජේනුක ඇතුලාන්තයේ සිය පියා ගැන සංවේදීය. ඔහු තමන්ව දොර තෙක් කැඳවාගෙන ආ නිලධාරියා දෙස බලද්දී ඔහු යමක් වටහා ගත්තාක් මෙන් එතෙක් ඔහුගේ උරයේ රැඳී තිබුනු අත බුරුල් කල බැවින් ජේනුක දොර අගුල කරකවා නිවස තුලට පය තබන්නේ සියල්ලන්ගේම අවධානය තමා වෙත ලබා ගනිමිනි.

" ඩඩා.. මම ඔයත් එක්ක යන්න එනවා!"

වසර ගණනාවකට පසුව පිය පුතු දෙපල එකිනෙකා දෙස මද වේලාවක් නෙත් රඳවාගෙන සිටියහ.

--------------------------------------------------

" බේබි ගර්ල්.. !"

බැල්කනියේ සිට කාමරයට එමින් රශිඳු ඇමතූ නිසා නිර්මලී තිගැස්සී මෙන් නතර වූවද එ සැනින් ඈ නානකාමරයට යන්නට ගිය ගමන ආරම්භ කලාය.

" .... ඇහුනේ නැද්ද මම කතා කරනවා?"

ඒ ගැස්සිල්ලට සිනාවක් ආවද ඊට වඩා රශිඳු සිටියේ හිත රිදීය. මේ හිතුවක්කාරකම වහාම නතර කල යුතුය. නිර්මලී ගමන නතරකොට බිම බලාගත්තාය. සිත රිදී ඇත්තේ ඔහුගේ පමණක් නොවේ. රශිඳු නිර්මලී අසළට පැමිණ දෑතම ඉනේ තබාගෙන සිටගත්තේ ඈ දෙස කෙලින්ම බලමිනි.

මේ විරසකය වේදනාකාරීය. කෙතරම් නොහොඳ නෝක්කාඩු වූවද මෙතරම් දින කීපයක් තරහා වී සිටීම පෙරදී සිදුවී නැට්ග. වැඩිපුරම අමනාපකම් රෑ නින්දට යනතුරු පමණි. තවත් ඒවා නිර්මලී විසින් පය පසුපසට ගැනීමෙන් සහ කුමක් හෝ කවටකමකින් නිවී යයි. මේ කාරණයේදී දෙදෙනාම සිටියේ තුවාල වී නිසා කිසිවෙකු අනෙකාට බුරුලක් දුන්නේ නැත.

".. දැන් මොකද ඔය පුප්පන්නේ?" 

රශිඳු සැරෙන් මෙන් ඇසූ නිසා නිර්මලී ආපසු හැරුනද, රශිඳු ඇගේ අතේ ඉහල කොටසින් තදකොට අල්ලා ගත්තේය.

"... කෙහෙද යන්නෙ? ආ??"

"...."

" තියෙන හිතුවක්කාරකම! බේබි ගර්ල් මගේ යකා අවුස්සන්නේ නැතුව හෙට අර මම කිව්ව ගමන යන්න ලෑස්ති වෙන්න.. !"

නිර්මලී වහා රශිඳුගේ මුහුණ දෙස බැලුවේ හැකි උපරිමයෙන් ඔරවාගෙන ය. ඒ ඇස්වල තිබුනේ ගිනි පිටවන කෝපයයි.

" මම මගේ පැටව් නැතිකරන්නෙ නෑ.. !! අත අරින්න කිව්වෙ අත මගේ!"

නිර්මලී පොරබැදුවද රශිඳු ඊට වඩා සවිමත් නිසා ඔරවාගෙන සිටි ඔහුගෙන් මිදෙන්නට ගත් උත්සහය ව්‍යර්ථව නිර්මලීගේ දෑසින් කඳුළු වැටුනේ ක්ශනයෙනි. 

" බේබි ගර්ල්... ඇත්තටම මොකක්ද මේ පිස්සුව? අපිට මේ ළමයි තුන්දෙනෙක් ඉන්නෙ.. උන් ටික ගැන හිතන්නෙවත් නැද්ද? මං ගැන?? මං ගැන හිතන්නෙ නැද්ද? "

රශිඳු ඇගේ දෑස අල්ලාගන්නට උත්සහ කලද ඈ ඊට සූදානම් නොමැතිව ඉවත බලාගත් නිසා ඔහු නිර්මලීගේ එඋරෙන්ම අල්ලා තමා වෙතට හරවා ගත්තේ බලෙනි. ඈ සිටියේ මුහුණ ඉවතට හරවාගෙනය.

"... උ/ඹට ඕන අපි ඔක්කොම දාලා මැරෙන්නද? "

" අන්...නේ රශී.. !"

දෙදෙනාගේ දෑස් එකිනෙක යාවී ලොක් වී ගියේ සැනෙකිනි. 

" බේබි ගර්ල්.. මට ඕන ඔයාව.. මගේ පැටව් ටිකට ඕනෙ ඔයාව.."

ඒ ඇස්වල ඇත්තේ තර්ජනය මුත් ආයාචනයකි. එතෙක් දිනක් සිරකරගෙන සිටි පීඩනය සහ වේදනාව විසින් නිර්මලීගේ හදවත තදින් සහ ගැඹුරින් තුවාලකොට තිබුනු නිසා එකවරම ඈට වදන් ගිලිහුණි.

"... අපි හෙට ගිහින් හැමදේම හරිගස්සගෙන එමු..  හ්ම්ම්?"

නිර්මලී ගිනි පිටවන දෑසේ නොවියලුනු කඳුළු අතරින් බැලුවේ තිරණාත්මක බැල්මකි. එය දැනුන තරම දන්නේ රශිඳු පමණකි.

" බෑ!"

" මගෙත් දැන් ඉවසීමේ සීමාවක් තියෙනවා.. ඒක ටෙස්ට් කරන්න එපා..! ලෑස්ති වෙන්න කිව්වෙ හෙට යන්න!!"

" මිනීමරුවා..හ්!"

නිර්මලී එකවරම දෑතින් රශිඳුගේ පපුවට ' දිඩි බිඩි' ගාමින් පහරදුන්නද රශිඳු ඈ ක්ශනයෙන් සිය ලයට තදකොට හිස සිප ගත්තේ ආවේගයෙනි. නිර්මලී සිටියේ ඔහුගේ ලයෙහි තදවී හඬමිනි. රශිඳු ඈට රිසිසේ හඬන්නට ඉඩ දුන්නේ වරින් වර ඇගේ හිස මුදුනත සිප ගනිමිනි.

"අනේ රශී මට බෑ! මට බෑ අපේ පැටව් මරන්න.. මට බෑහ්..  මට එහෙම කරන්න බෑ.... අනේ එයාලා අපිවම තෝරගෙන ඇවිත්.. 

හිතන්න රශී.. එයාලා ඇයි අපි දෙන්නවම් තෝරගත්තෙ? විස්වාස කරන්න ඇති නේද එයාලා අපි හොඳට බලාගනී කියලා.. ? අප්පච්චි එයාල එපා කියනවා කියලා දන්නෙවත් නැතුව ඇති.. අනේ පව්!! 

ඔයාට ඇහුනද ඒ දෙන්නගෙ හාට් බීට් දෙක..? අන්නේ... බයෙන්ද දන්නෙ නෑ එච්චර වේගෙන් ගැහුනේ.. අනේ රශී.. ඒ පැටව් අපේ.. මට ඒ පැටව් ඕනෙ රශී..  අනේ.. "

රශිඳුගේ පපුව සිරවෙන්නට මෙන් ආ නිසා ඔහු ඇසට ඉනූ කඳුළු එලෙසම තිබෙන්නට හැර ඈ තවත් තුරුල් කරගත්තේය. දෙදෙනාම එකිනෙකාගේ උණුසුමේ විනාඩි කීපයක්ම නිහඬව ගත කලහ.

" බේබි ගර්ල් මම කියන්නෙ...  මම කියන දේ පොඩ්ඩක් අහන්න.. ගිය පාරත් ඔයා මාර රිස්ක් එකක් ගත්තෙ.. මම කොච්චර ගින්දරකින් පිච්චුනාද කියලා ඔයා යන්නවද? I don't want that again "

ඔහු නිර්මලීගේ හිස මත සිපුමක් තබා ඇසේ කඳුළු මදක් පිස ගත් බව නිර්මලීට වැටහුනු නිසා මදක් ඇගේ සිතද පසුතැවිලි විය. ඔහු කියන්නේ සත්‍යකි. නමුත්..

"... ආයෙ ඒ වගේ දුකක් ඔයාට දෙන්න බෑ බේබි ගර්ල්.. මට බෑ!"

" ඒක හිතන්න තිබ්බෙ එදානෙ! දැං බෑ බෑ ගාන්නෙ!!"

රශිඳුට එකවරම සිනාවක් නැඟී ඈ පපුවෙන් මෑත්කොට ඇගේ උල් වූ මුව දෙස බැලුවේ විශ්මයෙනි.

" කවුද බං හිතුවේ ? ඉතින් උ/ඹට තිබ්බෙ බෑ කියන්නනෙ"

සරදම් සිනාවෙන් ඔපවත්වූ බොරපාට ඇස් යම් යම් දේ සිහිවීමෙන් දෙදෙනාම එකිනෙකා දෙස බැලු සැනින් හිනාවක් පැන්නේය.

" මම මොකටද බෑ කියන්නේ! මේ මහත්තයා දැනගන්න එපැයි ඒව බලාගන්න.. ! "

" උ/ඹ ඉතින් මගේ සිහිය නැති කරනවනෙ..!"

" ආ හරි වැඩේ.. අනිත් එක්කෙනා ගැන..."

වැකියේ ඉතිරි ටික කියන්නට ඇගේ තොල් නිදහස්ව තිබුනේ නැත. ගෙල පාමුලින් අල්ලා ඈ තදින් සිපගත් රශිඳු අවසානයේ ඇගේ නළල සිපගත්තේ හුස්මක් අල්ලමිනි.

' එහෙම තමයි බේබ් ගර්ල්.. මම ඉන්නෙම උ/ඹට පිස්සු වැටිලා'

" ආදරෙයි මම ගොඩක්... තරහ වෙලා ඉන්න එපා මගේ හුස්ම හිර වෙනවා.. "

නිර්මලීගේ සිත උණුවී ගියේ ඈටද දැනෙන්නේ එලෙස නිසාමය. උදෑසන පිබිදුණු මොහොතේ සිට නින්දට යන තුරුත්, නින්දේදීත් සොයන්නේ ඔහුවය. අමනාපයෙන් සිටින්නට නොහැකිය. මේ මුරණ්ඩුකම හේතුවක් ඇතිවය.

" මමත් ආදරෙයි.. සොරි මගෙ අතින් හිත රිදුනා නම්.."

" ගහපු එකට නම් වෙනම අල්ලගන්නව.. දැන් ඔය හාරන්නෙ නැතුව ඉන්නවද?"

නිර්මලී සිටියේ රශිඳුගේ බූල් බූල් පපුවේ ඇඟිල්ලෙන් රටා මවමිනි. ඔහු ඇගේ අතින් අල්ලාගෙන ඒ අත සිපගත්තේ මෘදුව ය. 

ඈට දැනෙන රැකවරණය !

" රශී... බබාලා දෙන්නෙක් මෙතන"

" හ්ම්ම් ඒකනේ.. කොල්ලා වැඩකාරයා!"

" රශී...! මම සීරියස් කියන්නේ!!"

" මාත් සීරියස් කියන්නේ.. කලින් තුනයි.. දැං දෙකයි... ඩොක්ටර් බය වෙලා නේද? "

" රශිඳු !! මම කියන දේ අහගෙන ඉන්න.. මම මේ පැටව් දෙන්නගෙ හාට් බීට් එකත් ඇහුව.. මට.. මට. "

රශිඳු නිර්මලී රැගෙන විත් සයනයේ හිඳුවා ඈ අසළ ඉදිරියේ දණගසාගෙන ඈගේ මුහුණ වෙත එබුනේය.

" කියන දෙයක් අහන්නෙ නැති හිතුවක්කාරි! ඇති දැන් මේ මගෙත් එක්ක වලිය.. "

" රශී.. ඔයා දෙවියන් විස්වාස කරනවද?"

රශිඳුට එකවරම සිහි වූයේ දරු ප්‍රසූතියට පෙර තමන් නොපෙනෙන දෙවියන්ට දෙස දෙවොල් තැබූ හැටිය. තමන් එලෙස පන්සල් පල්ලි වෙත දුවන අයෙකු නොවේ. නමුත්.. එදා කුමක් හෝ බලවේගයක් සිටියා කියා සිතට දැනුනා මෙන් මතකය.

" මට වටින්නේ ඔයාව. සමහර දේවල් කරන්නේ දෙවියන් නෙවෙයි..  ඒකට කියන්නේ විල් පවර් එක කියලා.  මේ මැඩම් මට වඩා ඒක දන්නව ඇතිනෙ.. දෙවියන්ට බාර දෙන්න බෑ මට මගේ කෙල්ලව"

නිර්මලී ඔහුගේ මුහුණ දෝතට ගෙන රැවුල්කොට වලින් කඩවසම්ව දිලෙන ඒ වත දෙස ආදරයෙන් බලා දෑස සිහින් කලාය.

" සම්පූර්ණ වැරැද්ද මේ මහත්තයගෙ.. ඒ හින්දා මම මේ පැටව් හදාගන්නවා.. ඒ තමයි මගේ විල් පවර් එක..!"

එතරම් හිතුවක්කාරකමක්!  කාට කියන්නද? 

.

.

.

ඉන් වසර නවයකට පසුව නවසීලන්තයේ නිවසක ආලින්දයේ.. 

වාහනය පැමිණි බවට ආ හඬ නිසා රශිඳු එතෙක් විසඳමින් උන් නඩුව මදකට නතර කොට සිය කුඩා බෝම්බය වෙත තරවටු බැල්මක් හෙලා දොර වෙත ඇවිද ගියේය.

ගරාජයේ දොර විවර වී අනතුරුව වාහනය ඊට ඇතුළු වනවාත් සමඟ බරාදයෙන් එන දොර විවරකල රශිඳු දකින්නේ වාහනය නතර කරන පමාවෙන් සිදුවන අනෙකුත් කලබැගෑනියයි. 

ඔහු රියදුරුට ස්තූතිපූර්වක බැල්මක් හෙලා පසුපස දොර විවර කරත්ම නිර්මලීගේ ඒ හිතුවක්කාර තීරණයේ ප්‍රතිඵල දෙක එකවරම රශිඳුගේ ගෙලට පැන්නේ ප්‍රීතියෙන් බෙරිහන් දෙමිනි.

" අප්පච්චී!!!!"

" උම්මා කැටේ මගේ... "

ඒ තමයි අනිත් දඟමළු දෙක! අහසි සහ මිහින් උදෑසන පැවති ඔවුන්ගේ සති අන්ත පිහිනුම් සැසියට සහභාගි වී මේ පැමිණෙන්නේ නිවසත් සමඟම තමාව අනුභව කරන්නට තරම් බඩගින්නේ බව දන්නා නිසා දෙපසින් ගෙලේ එල්ලී සිටින ඔවුන්ගේ කොපුල් සිපගත් රශිඳු කෙලින්ම විසිත්ත කාමරයට පිවිසියේ නොනවත්වා කියවන අහසිට හූමිටි තබමිනි.

".. ඉතින් අප්පච්චී..  මම අපේ කෝච්ට පැහැදිලි කරලා දුන්නා අපිට උනත් මහන්සි දැනුනාම පොඩි බ්‍රේක් එකක් ඕනේ කියලා.  මම මේ කියන්නේ.. හෙට තියෙන..."

අහසි මේ කියන්නේ අද දිනයේ සහභාගි වූ නිසා හෙට දිනයේ පිහිනුම් සැසිය ගානට වලක්වාගන්නට බව නොවැටහෙන්නට තරම් රශිඳු මෝඩයෙකු නොවේ.

දෙදෙනාම සාලයේ සිට කෑම කාමරය දක්වා ඇති පැසේජ් එක ආරම්භයේ බිමින් තැබූ රශිඳු තෙතබරිත කැරළි කොණ්ඩය ගස්සා තමන් වශී කරන්නට තනන මේ කපටි අම්මණ්ඩිය දෙස ඇස් බැමි ඔසවා බැලුවේය.

" හියර්.. බන්ටියා..  ඒ ගැන නම් කතාකරන්න එපා.. හෙට ස්විමිං ලෙසන් එකට යන්න ඕන ඒක කට් කරන්න නම් ලෑස්ති වෙන්න එපා.. හරිද?"

පොඩිකමට නෙවෙයි මේකිගෙ කපටිකම. අක්කා වගේ දඟ නැති උනාට කට කියෝලා ; හුරතල්වෙලා වැඩේ කරගන්න හරි දක්ශයි! අම්ම වගේ අනිත් එක ඒ!! අම්මත් ඉතින් අඬල දොඩලා හුරතල්වෙලා අන්තිමේදී මේ පැටව් දෙන්නව තියාගන්න මාව හිරකලානෙ!!!

" ආවද මගේ බට්ටො දෙන්නා..?  අර ඉතින් අදත් හරියට ඔළුව පිහලා නෑනෙ... පුතා ඔයාගෙ පණ්ඩිතකම හරියන්නෙ නෑ.. මීට පස්සෙ ඔයාගෙ චූටි දුවගෙ ඔලුව පිහලා එවන්න කියලා මම ඒ ඇසිස්ටන්ට්ට කියනවා.. සීතලේ ඒසී එකේ ඇවිත් කෙල්ල ලෙඩ වෙනව"

මාලතී ගෝකුල අහසිගේ හිස අල්ලා දොස් කියද්දී සේවිකාවට අණ දුන්නේ තුවායක් රැගෙන එන ලෙසයි. 

" අනේ මේ මිසිස් ගෝකුල පැහෙන්නෙ නැතුව ඉන්න.. මෙයාලට ඔලුව තනියෙන් පිහාගන්න උගන්නන්නෙ නැතුව ඔය එක එකාට ඕව කියන්න එහෙම යන්නෙ නෑ! ඔයත් එක්කනෙ බැරි මෙයාලට ඒවා තනියෙන් කරගන්න දෙන්නෙ නෑ ඊට පස්සෙ මැරෙන්න හදනවා විවේකයක් නෑ කියලා !"

රශිඳු ඔරවාගෙන එසේ පවසද්දී මාලතී ඊට පිලිතුරක් නොදෙන්නේ උදේ සිටම ඇවිලෙන මේ නෝක්කාඩු සහ බැනුම් සියල්ලේ උපත දන්නා නිසාය. 

තුවාය මාලතී අතින් තැබූ සේවිකාව වහ වහා මුලුතැන්ගෙයට පිවිසියේ සැමට කෑම මේසය සකසා ඇති නිසා ඊට අඩුපාඩු බලන්නටය. අහසිගේ බඩගින්න ගැන දන්නා ඈ ඉක්මනින් අවන් එකේ දමා තිබුනු රෝස්කල කුකුල්මස් බන්දේසිය මේසය මැද්දෙන් තබද්දී , සිය පියා පසුපස යමින් දරුවන් සියළු දෙනාම ඒ  වෙත ඇවිද ආහ.

' ගෝකුල බැටෑලියන් '

හිරාන් සහ නේහා රශිඳුව වාත කරවන්නේ එසේ කියමිනි. එක ළඟ උපතලත් පැටවුන් එකා පසුපස එකා විත් දහවල් කෑමට හිඳගනිද්දි අහසි ඇස කරකවමින් ඒ මේ අත ඇඹරෙන හේතුව දන්නා නමුත් රශිඳු එය නොදැක්කා සේ සිටියේය.

" එන්න පැට්ටා මම ඔයාට කවන්නම්.. ඌව වෙලා හින්දා ඩොක්ටර් ගාවට එක්කගෙන යන්නත් එපැයි "

මාලතී තරුකිගේ බේස් බෝල් පිත්තෙන් පහර කා හිසට බෙහෙත් දමාගෙන උන් හිරුක ගෙන පුටුවක් ඇද එහි හිඳවා එසේ කීවේ පොඩි කොල්ලා ගැන දුක සිතීය. 

ඕක තමයි බැරි! තරුකිට පේන්න බැරි මාලතී කොල්ලන් දෙදෙනාට දක්වන වැඩි සැලකිල්ල. පොඩ්ඩ ඇත්තම් මේකි තාත්තාගේ ක්‍රිකට් බැට් එක බැරිගාතේ හරි උස්සගෙන ඇවිත් කෙලලා අරිනවා!! ඉරිසියාකාරි!!! අහසි වගේ කුං කුං ගගා ඉන්නේ නෑ. කෙලින්ම සටනේ..

' ඔව් ඉතින් අප්පච්චිගෙන් කියලා ඇවිත් තියෙන්නෙ ඒක තමයි !'

නිර්මලී වෙනදාට එසේ කියා මේ දඟකාරිය මට්ටු කලත්, අද ? තරුකි පුම්බාගත් මුහුණින් හිරුක දෙස බලා ඔහුට යාබද අසුනේ හිඳගන්නට සැරසෙද්දී රශිඳු ඈට මදක් ඈතක පුටුවක් ඇද දුන්නේය. 

' කටු අත්ත වගේ ඔය ඉඳගන්නේ සම අයිතීන් වලට ෆයිට් කරලා අත්තම්මට කියලා ෂේප් එකේ කවාගන්න'

" අහසි දූ.. මෙතනින් වාඩිවෙන්න එහෙනම්.."

මාලතී හිරුක අසළ පුටුව අහසිට දුන්නේ හේතු ඇතුවය.

" ඔය ඉතින් අම්ම තමයි මේ ළමයි නරක් කරන්නේ. අහසි මම මොනාද ඊයෙ කිව්වෙ?? හ්ම්ම්?? කන්න අතින් අනිත් අය වගේ.. අත්තම්මට බෑ මේ ඔක්කොම තනියෙන් කරන්න"

බෙරි කරගත් මුහුණින් පුටුවේ හිඳගත් අහසි ආයෙත් හිත හදාගෙන ලස්සනට සිනාවී සිය පියා දෙස බැලුවාය. ඒ නම් හොඳකට නෙවෙයි !

" අප්පච්චී... අම්මි ඇයි අපිව දාලා ගියේ?"

-------------------------------- මතු සම්බන්ධයි ---------------------------

4 comments:

  1. මේ රශියට කියන්න දැන්නම් ළමයි ඇති කියල හොඳේ. :)

    ReplyDelete
    Replies
    1. පිච්චු කියන්න එපා සඳ හිරු තරු අහස පොලොව සේරම ඉන්න එකේ වර්ශයි ගඟුලි ඕනෙමනම් ටොනාර්ඩෝ කියලත් තා තුනක් ගොඩදාගමු

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...