Monday, July 25, 2022

345: උන්මාද චිත්‍රාදෝ මා 77


 

'There is such a special sweetness in being able to participate in creation. My sun, moon and star. Thank you baby girl...'

Instagram ගිණුමේ රශිඳු ගෝකුලගේ බූල් සහිත අත , පැහැපත් මටසිළුටු අතක් මතත්, එක් ඇඟිල්ලක ලපටි අත් තුනක් එක පෙලටත් පැටලී තිබුනු පින්තූරය යටින් සටහන් වී තිබුනු වැකිය නැවත කියවූ වන්‍යා නැවතී තිබුනු ඉකියට නිදහස් වන්නට ඉඩ ලබා දුන්නේ අකීකරු ලෙසය.

රශිඳු ගෝකුල ! 

ඔහුව අමතක කරන්නට නොහැකි තරමක්! ප්‍රේමය මෙතරම් වේදනාවක් ගෙනදෙන වග දන්නවානම් කිසිදින ප්‍රේම නොකරන්නට තමා ගත් තීන්දුව කිසිදා වෙනස් කරන්නේ නැත. 

නැත! එය තමන් ගත් තීන්දුවක් නොවේ. එය සිදුවූයේ කවරදාදැයි කියාවත් තමා දන්නේ නැත. රශිඳු ගෝකුල තරුණියන්ගේ සිහින කුමරා වීමටත් වඩා ඔහුගේ ඒ උණුසුම් ප්‍රේමයේ ඇති නොදැමෙන රළු ගතියට තමා ඇදී ගියාද?

පලමුව ඔහුගේ සරාගී බවට, දෙවනුව වෙනත් තරුණයින් සේ සුදු නෝනා ගාමින් වැලලෙන්නේ නැතිකම, ඔව්! තුන්වනුව ඔහුගේ ඒ පිරිමිකමට!!

ඒ ගැහැනියට තමාට නැති මොනවාද ඇත්තේ මුදල් හැරුනාම? ඉතින් වරදක්ද මාත් එහෙම කෙනෙක් වෙන්න හදන එක? 

ඒ ගෑනි ලස්සනයි. ඒ උනාට වයසයි. රශිඳු රැවටිලාද? 

ඕනෑම තැනකදී ඔවුන් දෙදෙනා එකිනෙකා දෙස පා කරන බැල්ම; නෙත්වලින් කතාකරන හැටි; රශිඳුගේ සුවිශේෂී සිනාව... මේ සියල්ල පවසන්නේ ඔවුන්ගේ ආදරයද? ඊටත් අවුරුදු 20 දී, තමන් දන්නා ඒ දඟකාර කොල්ලා පියෙක් වෙන්නට තීන්දු කිරීමත් අද ඒ කඩමෙන් පසුව එය හදවතින්ම විඳින ආකාරය ?

' ඌ ඔය ඉන්නේ ගෑනිගේ සල්ලි වලට. ඒ කාලේ ඇතිවෙන්න කෙල්ලො එක්ක රූම් ගිහින් දැන් lifetime fortune එකක් සෙට් කරගෙන. ඒ හින්දා ඔයා ඕකට පැනික් වෙන්න එපා. '

' ඌව ඔයා ඔච්චර කරේ තියාගන්න එපා නව්‍යා. ඌ කොහොමත් playboy type. එක තැනක රැඳෙන එවුන් නෙවෙයි. ඔය මගුල මාසයක් තියෙන්නෙ නෑ.. මෙන්න කැට!'

ඒවා සත්‍ය නොවේ. 

ආයාසයෙන් කාර්‍යබහුල වෙමින් අමතක කරන්නට උත්සහ කරන රශිඳු ගෝකුල දකින්නට තමා කුමකට එදින තරඟය බලන්නට ක්‍රීඩාංගණයට ගියාද? සිටියාටත් වඩා කඩවසම්ව සහ ආඩම්බරව සිටි ඔහු ක්‍රීඩාංගණය මධ්‍යයට යන අතරතුරදී අහම්බෙන් දැක නතරවනු ඇතැයි සිතුවේම නැත.

වෙනදා මෙන් ගොරවා එලවා නොගත්තේ පිරිස සිටි නිසා වන්නට විය හැකි නමුදු ඒ කඩවසම් තරුණයා දුටුමතින්ම තමා වැටුනේ මරියානා අගාධයේ පතුලටයි.

" හායි.. කොහොමද වන්‍යා?"

මදකට නතර වී එසේ අසද්දී හදවත ගැහුන වේගය..? 

අහිමිවීමේ කුණාටුව විසින් එතෙක් තනාගෙන සිටි බංකර සියල්ල උදුරා විසිකොට දැමුවේත් , අද මේ පෙලන අසමතුලිත වේදනාව හදවත මැද්දෙන් ඇරඹුනේත් ඒ මොහොතේය.

' රශී බබා.... පොඩ්ඩක්වත් ආදරේ කලේ නැද්ද මේ හිඟන්නිට? '

අප්‍රාණික සිරුර බිත්තියට වාරු කරගනිමින් සිටි ඈ අසළ වූ පැකට්ටුවේ ඇති යමක් පිටතට ගනිද්දී රශිඳු ගෝකුල ඈ දෙස බැලූ බැල්මත් , නිර්මලී නම් ගැහැනිය දෙස බලා පා කරනා සුවිශේෂී බැල්මත් මනසේ ඇඳී මැකී ගිය අතර වම් අතේ මැණික් කටුව අසළ වූ බල නහරය දකුණත ඒ හරහා ගමන් කලේ සැත්කම් බ්ලේඩ් එක තෙරපීමෙන් කපා දමමිනි.

-------------------------------------------

එකවරම දොරටුව විවර වීමෙන් ආ හඬ නිසා කාමරයේ උන් සැවොමගේ ඇස් විතැන්වී ගොස් නතර වන්නේ ඒ වනවිට දොරටුව විවර කරගෙන , සිය හිතුවක්කාර එකම පුත්‍රයා අනුභව කරන්නට මෙන් බලා සිටිනා මාලතී ගෝකුල වෙතටයි. 

ඈට පසුපසින් දොරත් අල්ලාගෙන ' මම නම් නෙවෙයි ඔන්න' ජාතියේ මුහුණක් සහිතව සිටි හිරාන්ගේ මුහුණ දුටු සැනින් රශිඳු සුපුරුදු දඟකාර සිනාව මවා ගත්තේය.

" හායි ස්වීට් හාට් ආත්තම්මේ... "

නමුත් එය හොඳටම ප්‍රමාණවත් නොවූ බව වැටහෙද්දී ප්‍රමාද වැඩිය. මාලතී හීයක වේගයෙන් පැමිණ ඔහුගේ හෝරා තුනක් වයසැති කිරිකැටියා අත දරාගෙන , කොල්ලා කොච්චර තමන් වාගේද යැයි වහසිබස් දොඩමින් ඉන්නා රශිඳුගේ කන තදකොට අල්ලා ගත්තේ කිසිවෙකු නොසිතූ පරිද්දෙනි.

" උඹ හිතුවද මම මැරිලය කියලා ? ආ?? වරෙංකො අද ගෙදර උඹ මට මේ කිසි දෙයක් නොකිව්ව එකට එකට හොඳ පාඩමක් උගන්නනව"

" ඌයි... ඌයි.. අම්මේ අම්මෝ... මගේ කන කන..( අත උන් දරුවා දෙස බලමින්)  මගෙ අම්මේ බලන්ඩ පුතේ උඹලගෙ ආත්තම්මා ගිනි බෝම්බයක්නෙ.. අපි දෙන්නා ෆිට් වෙලා දෙන්ඩෝන ලොකු ගේමක් ඔය චීන පටස් එකට!"

මාලතී අත මිටිකර ඔහුගේ බාහුවකටද පහරක් ගසද්දී පොඩි එකා අඬන්නට මෙන් ඒ මේ අත ඇඹරෙන්නට වූ නිසා සියල්ල අමතක වූවාක් මෙන් ඈ වහා නානකාමරය දෙසට දිව්වා ය. 

රංගගේ මවත්, ඔහුගේ නැඟනියත් හිරාන් දෙස බලා සිනාසුනේ ගිය වේගයෙන්ම සිය දෑත් පිරිසිඳුකොටගෙන පැමිණි මාලතී ගෝකුල සිය පුත්‍රයාගේ අතින් උදුරාගෙන මෙන් අඬන්නට තතනන කිරිකැටියා අතට ගනිමිනි.

" අන්නේ... බුදුසරණයි ඇස්වහක් නෑ අපේ පුතා පොඩිකාලේ වගෙමයි..  "

අනතුරුව ආපසු හැරී සයනයේ වැතිර උන් නිර්මලී අසළින් ඔහු තබා ආදරයෙන් ඇගේ හිස අතගාද්දී වැටුණු කඳුළු නිසා රශිඳු පසුපසින් පැමිණ ඈ වැළඳ ගත්තේය.

" ... දෙවියෝ බලන්න ඕන දුවේ.. මට ගොඩක් සතුටුයි. ( කර වටා යන අත ගසා දමමින්) එපා කිව්වෙ එන්නවත් එපා..  උඹ තමයි මේ දරුවවත් නරක් කරන්නෙ. මට එක බත් කටක් දෙන්න බැරි උනානෙ.. මේ කිසි දෙයක් මම දන්නෙවත් නෑ දුවේ.. මට සමාවෙන්න "

කිරි සොයමින් ඇඹරෙන දරුවා තවත් නිර්මලී වෙත ලංකල මාලතී දෑසේ කඳුළු පිසිමින් නිර්මලීගේ කම්මුල් සෙමෙන් අතගෑවාය. 

" අනේ නෑ අම්මේ.. එහෙම එකක් නෑ.. අම්මට කරදර කරන්න එපා කියලා මමමයි කිව්වේ.. කට්ටිය හිටියනේ.."

අම්මාගේ උරයට සිය නිකට තබාගෙන තමා දෙස උතුරායන ආදරයෙන් බලා සිටිනා ඒ දඟකාරයාට සමාව දෙන්නට ඒ වචන ටිකම ඇතිය. රශිඳු වහා තිරය ඇද සයනය ආවරණය කලේ කුරුලු කට උල් කරමින් කිරි සොයනා දරුවා දෙසට නිර්මලී හැරෙද්දීය. 

" අපේ පුතාම තමයි.. ! "

අනතුරුව ඇගේ නෙත් නළලත නතර වන්නේ එවැනිම තවත් පොට්ටනියක් ඔහෑ ගාමින් ගෙනෙනු දැකීමෙනි.  ප්‍රීතියෙන් ගොළුවී ගිය ඈට මේ වනවිට තිදෙනෙකුට මිත්තණිය කියන්නට සිදුවී ඇතිබව කීමෙන් හුස්ම සිර නොවුනා පුදුමය. 

සිහිය ආ මොහිතේම රශිඳුගේ වමතේ මස් ගොබයට අත මිටිකර පහරක් වැදුනි.

" උඹ.. උඹ නම් එපාම කරපු පුතෙක්.. මේ පැටව් බලාගන්න මට බැරිද? "

මාලතී ගෝකුල අනවසරයෙන්ම නිවසේ පදිංචි වන්නේ ඒ වැකිය සමඟිනි. 

දරුවන් තිදෙනෙකුට සූදානමින් නොසිටියා වුවද, මිතුරන් සියළු දෙනා ඒ මේ අත දුවමින් අවශ්‍ය දේවල් සැපයූවේ නිර්මලී අසළින් රශිඳු සෙලවෙන්නට හෝ අකමැති වූ බැවිනි. පහළ ඇති එකිනෙකට යාබද කාමර දෙක සමඟ අලුතෙන් වැඩ බාරගත් ආත්තම්මාගේ කාමරය පහළ සූදානම් විය. නිවස එකම කාලගෝට්ටියක් වී තිබිණ.

දින කීපයක් නොමේරූ ළදරු ඒකකයේ උන් තරුකි නිසා සතියක ඇවෑමෙන් නව දෙමව්පියෝ නිවසට පැමිණියේ උත්සවශ්‍රීයෙනි. නිවස සරසා ඔවුන් පිලිගන්නට කුඩා සාදයක් සංවිධානය කොට තිබුනේ නේහා සහ ශෂී එක්වය. 

ඒ වනවිට නේහා සිටියේ සිය මිතුරිය උදුරාගන්නට ආ ප්‍රතිවාදියා සමඟ සීතල යුද්ධයක වුවද , රංග සෑම විටම අයිස් බාල්දියක් සමඟ උන් නිසා ඒවා එතරම් දුරදිග ගියේ නැත. 

කුඩා සාදය අවසානයේ වෙහෙස නිසා නින්දට වැටී උන් නිර්මලී අසළ සයනයේ ඇලවූ රශිඳු ඈ මෘදුව වැළඳ ගත්තේ ඈ අසළින් එන කිරි සුවඳට සිනාසෙමිනි.

' මේ තමයි මගේ ජීවිතේ! මගේ හැමදේම !! හිතාගන්න බෑ උඹ ඔහොම යකඩියක් උනේ කොහොමද කියලා. '

.

.

.

අනාගතයේ එකතරා දවසක , වෙනත් රටක නිවසේ විසිත්ත කාමරයේ තවදුරටත්...

සාලයට එබුන සිය මිත්තණිය දෙස ඔරවා බැලූ තරුකි සිය කැරළි කොණ්ඩය ගස්සාගෙන එතැනින් ඉවත්ව යන්නේ දෙවරක්ම සිය පියා තමාගේ නම අමතනු ගානකටවත් නොමැති පරිද්දෙනි. 

" ඒන්ජ... ල්?? ඇහුනෙ නෑ වගේ යන්නෙ?"

මාලතීට සිනාය. මේ පුංචි බෝම්බය පොඩ්ඩ ඇතිනම් පුපුරා හැලෙන්නේ ඒ තම මිත්තණිය කියාවත් නොසලකමිනි. හිරුකගේ දඟකාර හිනාව ජයග්‍රාහී වන්නේ පිත්තෙන් වැදුනු පාර තරමක් රිදුනු නිසාය. 

" ... ඇයි අය්යට බැට් එකෙන් ගැහුවෙ? අනික මම කී පාරක් කියලා තියෙනවද අප්පච්චිගෙ ක්‍රිකට් බඩු අල්ලන්න එපා කියලා ? ආ? මොකද හිනාවෙන්නෙ"

" මම ගැහුවෙ අප්පච්චිගෙ බැත්( bat) එකෙන් නෙවෙයි ! "

" එහෙනං?"

" එදා ගෙනත් තිබ්බ බේත් බෝල් බැත්(base ball bat) එකෙන්"

රශිඳුට හුස්ම ගන්නට අමතක වු අතර මාලතීගේ හුස්ම නතර වී දෑතම පපුවේ රැඳුනි.

" මොකක්?? ලොකූ... ඇත්තද මේ කියන්නෙ? කොහෙටද ගැහුවෙ? කෝ??"

ඉතිහාසය දන්නා නිසා රශිඳු වහා හිරුක අසලට යද්දී වැඩේ වැරදී ඇති බව වැටහුනු නිසාදෝ තරුකිගේ මුහුණ බෙරිවී අඬන්නට සූදානම්ව පැවතුනි. 

" අන්නේ පච්චී මම් ප්ලාස්ටර් ඩාලා ඇලෙව්වා... "

එතෙක් දමාගෙන සිටි තොප්පිය වහා හිරුකගේ හිසින් ඉවත්කල සැනින් රශිඳුට දවල් තරු පෙනුණි. කොල්ලාගේ හිස පැත්තකින් ගෙඩිගැසී තිබුනු අතර ඒ මත ඇලවූ ඩෙටෝල් ප්ලාස්ටර් එකකි. 

කොල්ලන් දෙදෙනා විසින් ඇරඹූ avengers සෙල්ලම වඩා පුළුල්කර ගන්නට සිය සොයුරිය ගත් මොහොතේම 'තෝර්' ලෙස එල්ලකල මිටි පහරට පිලිතුරක් වශයෙන් සිය පියා ගෙනා අලුත්ම බේස්බෝල් පිත්තෙන් පිලිතුරක් ලබාදුන් තරුකි ඊට පැලැස්තරයක් අලවා හෙමින්ම මාරු වී ඇති බව වටහාගත් රශිඳු ඒ වනවිට කෝප නොගන්නට පුහුණු වී සිටි නිසා වහාම අවශ්‍ය ප්‍රථමාධාර ලබා දුන්නේ සිය මවට ඇති වන්නට දෙහි කපමිනි. 

" පොඩ්ඩක් බලන්න එපාද? මහ ලොකුවට ආවෙ නම් බලාගන්න බෑද කියලා ටෝක්ස් දීලා.. "

අනතුරුව පේලියට සිටගෙන සිටිනා මේ දඟකාරයින්ට හොඳ හැටි ඔරවන්නට විය.

" අම්මි ඕනේ...."

තිදෙනාම හොරණෑ තුනක් මෙන් බෙරිහන් දී හඬන්නට වූයේ රශිඳු අන්ත අසරණ කරමිනි.

' මාවයි මේ පැටවුනුයි දාලා උඹ දැන් ඔහොම ඉන්නෙ කොහොමද කියපං baby girl??'

-------------------------------------------

තවදුරටත් වර්තමානයේ....

සිවිලිම දෙස බලාගෙන කිසිදු ප්‍රතිචාරයක් නොදන්වා සිටිනා සිය ප්‍රාණ සම එක කුස උපන් සොයුරිය දෙස හඬමින් බලා උන් නව්‍යාගේ හිස තමාගේ ඉනට වාරු කරගත් ඩිලෝන් ඇගේ හිස සෙමෙන් අතගෑවේය.

සැත්කම් පිහියකින් අත කපාගෙන සියදිවි නසාගන්නට තැත්කලා වුවද වාසනාවට එදින ඇගේ මව සිටි නිසා ඉක්මනින් ‍රෝහල්ගත කරන්නට හැකි වීමෙන් ජීවිතය ගලවාගන්නට හැකිවී තිබිණ. 

මේ මොහොතේ ඈට අවශ්‍ය විවේකය සලසා දෙමින් , සුසුම් සලමින් උන් නව්‍යා වත්තන් කරගෙන වාට්ටුවෙන් පිටතට ඇවිද ආ ඩිලෝන් ඈ අත කිරි පැකට්ටුවක් තැබුවේ හිස අතගාමිනි.

" දැන්වත් මගෙන් ගුටිනොකා ඕක බොන්න.. "

මේ තරවටුව පවා ඈට දැනෙන්නේ මහත් බරටය. ආරංචිය ලද සැනින් කම්පනයෙන් සිහි විකල්වී උන් සිය පෙම්වතිය සමඟ කොළඹින් පිටත් වූ මොහිතේ පටන් සිදුවූ දේවල් නිසා, ඈ සිය නැගණියට ඇති ආදරය ගැන අලුතින් කියන්නට අවශ්‍ය නොවීය. 

' උඹ හරි පව් කෙල්ල!'

ඒ වනවිට නව්‍යාගේ පියා ඔවුන්ව හැරදා වෙනත් ගැහැණියක හා ජීවත් වීම පටන්ගෙන තිබිණ. හරිහැටි පියෙකුගේ රැකරවණයක් නොලද ගැහැණු දරුවන් දෙදෙනෙකු හා ඔට්ටුවන ඒ මව දැකීමෙන් ඔහුගේ සිත කවදාවත් නැති තරමට නව්‍යා කෙරෙහි බැඳී ගියේය. 

පාඩිකුඩා හෝටලය වෙනත් සමාගමකට පවරද්දී ඔහුත් තව සේවකයින් කීප දෙනෙකුත් එයින් ඉල්ලා අස් වූ නිසා නිර්මලී ගමනායක ඔවුන්ට බලෙන් මෙන් ලබාදුන් මුදල ආයෝජනය කොට ඔවුන් තිදෙනා ඇරඹූ හෝටල් පාසල මේ වනවිට සෙමෙන් හිස ඔසවමිනි. දරුවන් හතරක තුන්වැන්නා වූ නිසා පවුලේ බරක් නොමැති තරමකි. එබැවින් තීන්දුවක් ගතයුතු බව ඩිලෝන් හදිසියේම සිතුවේය.

".. සත්‍යා..."

නව්‍යා හිස ඔසවා බැලුවේ කිරි පැකට්ටුවෙන් එන කිරි බටයෙන් උරා බොන අතරය. මුහුණේ ප්‍රශ්නාර්ථයකි.

".. ඔයා දන්නවනෙ අපි කැතලික් කියලා.  "

" ඔව්"

" අපි යන ගමන් පොඩ්ඩක් පල්ලියට යමුද? "

එය සිතට සහනයකි. නමුත් ඈට සිය නැගණිය දමා අදම කොළඹ යන්නට සිතක් නැත.

" නං..ගි.."

" අපි නංගිවත් එක්කගෙන යමු.. හොටෙල් ස්කූල් එකට ගත්ත ගේ පරණ රෙසිඩන්ස් එකක්. ඒකෙ ඇනෙක්ස් එකේ මම ඉන්නෙ. කාමර දෙකක් එක්ක තියෙන ගෙයක්.. අම්මයි ඔයයි නංගියි move in වෙමු එහෙට. මම ඉන්නවනෙ බලාගන්න.. "

නව්‍යා දෑස් පියන් වේගයෙන් සැලුවේ කියූ වචනවල තේරුම මොළයට ගන්නට මෙනි. 

" එහෙම ඉන්න ඉඩ?"

" ඉඩ තියෙන්නෙ කාමර දෙකක්.. අම්මයි නංගියි එකක.. අපි දෙන්නා එකක.."

නව්‍යාගේ දෙතොල් සැලුනි.

".. අපි මැරි කරමු. "

නව්‍යාගේ දෙනෙත් විසල් විය. මේක අදහන්න හැකිද? 

" අනේ ඩිලෝන්.."

" දැන් මේ නෝනා මට බෑ කියන්නද හදන්නෙ? "

ඉස්මොල්ලේ යන්නට ගිය කිරි පැකට්ටුව සිය අතට ගත් ඩිලෝන් නව්‍යාගේ දෙඋර මත දෑත් තබා කෙලින්ම මුහුණට එබුනේය.

".... මෙයාගෙ මැඩම් වගේ ලොකු වෙඩින් එකක් ගන්න නම් බෑ. අපි පල්ලියේ බඳිමු. අම්පිටිය පල්ලියේ ෆාදර් මගේ මාමා කෙනෙක්. එයාට මම අද කතා කරන්නම්.. ඔය නෝනා දැන් වෙව්ලන්නේ මොකද කියනවද?"

" අනේ  ඩිලෝන්.."

" බෑ කියලා කිව්වොත් වන්‍යා වගේ අත කපාගන්න බෑ. බ්ලඩ් දැක්කම මට කලන්තේ හැදෙනවා"

නව්‍යාට සිනාවක් නැඟිනි. නමුත් මෙතරම් ඉක්මනින් ??

" ම..ම.. "

" මට ඔයාව බලාගන්න පුලුවන්. ලොකුවට සැප නොදුන්නට ඔයා මාව දාලා යන්නෙ නෑ කියලත් දන්නව. මට ඔය තුන්දෙනාව බලාගන්න ඕන. අපේ අම්මලා ඔයා ගැන දන්නවනෙ කොහොමත්. ඒවා ඔක්කොම මම බලාගන්නම්. මැරි කරන්නෙ නැතුව ගෙදර ගෙනියන්න මම කැමති නෑ. හ්ම්ම්... මොකද කියන්නෙ? හ්ම්ම්ම්?"

නව්‍යා ඉබේටම ඒ පපුවට බරවී බරැති සුසුමක් සැළුවේය. මෙතරම් අඩු වසයකදී විවාහයකට යන්නට නොපැතුවද ඩිලෝන්ගෙන් ලැබෙන රැකවරණයට අලඟු තබන්නට වෙනත් දෙයක් නොමැත.

"... නෝනා.. එදා වගේ දුරදිග යන්න කලින් උත්තර දෙන්න. මේක මේ හදිසි අනතුරු වාට්ටුවක්.  මාව ඇඩ්මිට් කරයි!"

නව්‍යාට නැඟුන සිනාව සමඟ ඈ මිටිකල දෑතින් ඔහුගේ පපුවට පහරක් ගසා මෑතට වූවාය.

" මගේ පවුල ඔයා බරක් කරගෙන ඕන නෑ ඩිලෝන්"

" හරි ඉතින් එහෙම නැතිනම් ඒත් යමු. හැබැයි කාමර මාරුවෙන වගේ වැඩ ආයෙත් වෙයි. පස්සෙ ඒවා මේව කියන්න එහෙම එපා"

එයට නැවතත් සිනාව අලුත් විය. 

" හරි නරකයි.. "

පාසිකුඩා හෝටලයේදී පැවති උත්සවයේදී සිදුවූ අකරතැබ්බය සිහිවී දෙදෙනාම එක්ව සිනාසුනහ. 

එදින උත්සවයේ වූ අධික කාර්‍යබහුල බව නිසා හෝටල් කළමනාකරුගේ බැල්මට හසුවී සිටි නව්‍යා එතරම් එය තැකුවේ නැත. ඊටත් ඒ වනවිට සිත හිරාන්ගේ ප්‍රතිචාරය සහ වන්‍යාගේ කරදර සමඟ තිබුනේ වෙනම ලතැවීමක් සමඟය. 

දවස පුරාම ඇඟලාගෙන උන් සාරිය එපාම වී සිටි නිසා එය තරමක් මාරු කරගන්නට ඈ ශාලාව අසළ සංවෘත කාමරයට වැදුනේ කලබලයෙනි. 

බිමට වැටුනු ලිපිගොනු ගන්නට මේසය තුලට රිංගා සිටි ඩිලෝන් පිටතට එන විට දකින්නේ දවස පුරා තමන් ඇස දමාගෙන සිටි ඒ කෙට්ටු පොඩි තරුණිය සිය කාමරයේ ඔහුට පිටුපා සිය ඇඟලුම් ඉවත් කරනා අයුරුය. ඒ මදිවාට ඇරදමා තිබුණු දොරද වසා දමාය.

' ඒ වගේ චාන්ස් එකක් මිස් කරගන්න තරම් කොල්ලෙක් මෝඩ වෙයිද ඉතින්'

ඩිලෝන් ඒ ගැන කියමින් ඈට සරදම් කලේ පසුව දිනෙකයි. 

තත්වය දරුණු බව වැටහුනේ ඈ යට සායටද අත තබන විටයි. තරුණියකගේ නිරුවත ඩිලෝන්ට අමුත්තක් නොවුනාට ඈ ඔහුට විශේෂයෙන් දැනෙනා නිසාත් ඇත්තටම ඒ මොහොතේ දොර මතට ආ තට්ටුව නිසාත් හොඳම කොටස මිස් විය.

" ෂ්.. ෂ්.."

ඒ මොහොතේ කරන්නට තිබුනු හොඳම දෙය එය නිසා ඔහු දොරට වැටුන තට්ටුව හේතුවෙන් උඩ ගිය තරුණිය තමාගේ දැක්මෙන් බෙරිහන් නොදීමට මුව වසා බිත්තියට තදකොට ගත්තේ ඈ එතරම් කුඩා සිරුරක් තිබුනු නිසාය.

අනතුරුව ඇගේ පින්තූර ගත් බව කියා බොරුවට බියකොට බලෙන් ඇගෙන් දුරකතන අංකය ගත් හැටි සිහිවී ඔහුට නැවත සිනාවක් නැඟුනි. ඈ ආපසු කොළඹට එනතුරුම නොනවත්වා කෙටි පණිවිඩ යවමින් ඇති තරම් ඈ බයිට් කලේ ඈ අහිංසක බව දන්නා නිසාමය.

එදින සිද්ධියෙන් පසුව තමාගේ සිත දෙස තමාම බැලුවා නොවේදැයි නව්‍යා යලි සිහි කැඳවූවාය. 

එතරම් දෙයක් වෙලත් ඩිලෝන් මහත්මයෙකු සේ හැසිරීම ඈ අගය කළේය. 

" ආදරේ කියන්නේ සමහර වෙලාවට first sight වෙන්න පුලුවන්. අපිට උරුම කෙනා දෙවියන් වහන්සේ අපේ ඉස්සරහට එවනකොට පණිවිඩයක් එක්ක එවන්නේ. අපි ඒ පණිවිඩය හරියට තේරුම් ගන්න ඕන. මට ඔයාව දැක්කම ඒ පණිවිඩය තේරුනා සත්‍යා.. "

නව්‍යාට එකවරම සිහිවූයේ නිර්මලී - රශිඳු ගැන තුශාරා පැවසූ වචනයි.

' ඒක සංසාර ආදරයක් නව්‍යා... ඔයා විස්වාස නොකලත්'

" ... හරි.. අපි බඳිමු එහෙනම්.."

නව්‍යා මුව උල්කොට පැවසූ සැනින් ඩිලෝන් ඈ සිය ලයට තදකොට ගත්තේ සුසුමක් සලමිනි.

-------------------------------------

තිරය මත ධාවනය වීඩියෝව වෙත නෙත රඳවාගෙන උන් අසලංකගේ මුහුණ මදින් මද වෙනස් වන්නට විය. ඔහු වරෙක එය නතරකොට ඒ දෙස දැවෙන දෑසින් බලා සිටියේය. අනතුරුව එය නැවත ධාවනය වන්නට ඉඩ හැර ශබ්දය වැඩි කොට බැලුවේය.

විනාඩි හතලිස් දෙකක් දිගු වීඩියෝව අවසානයේ ඔහුගේ මුහුණේ මස්පිඬු නලියන්නට වූයේ වේදනාව නිසාමය.

' @ල්ලා උඹ! ඒ කෙල්ලව රැවැට්ටුවා. උඹගෙ වෙස්මූණ ගලවන්න තරම් මට වෙලාවක් නැති උනා ඒකි උඹ මත්තෙම හිටපු නිසා. අපායට පලයං &රියා!'

හති හලමින් උන් අසලංක දුරකතනය ඇඳ මතට විසිකොට දමා දෝතින්ම සිය හිස බදාගෙන මදක් නිසොල්මනේ සිටියේය. 

වීඩියෝව එතෙක් සුරැකිව තිබූ තැනින් ගන්නට මෙතෙක් අවැසි නොවුනේ එයින් නිර්මලී කඩා වැටෙන තරම දන්නා නිසා පමණක් නොවේ. ඒ තුරුම්පුව මෙලෙස තමාට එරෙහිව ඒ යයි නොසිතූ නිසාය. 

ඉතිහාසය නැවත සිදුවෙමිනි. ආරංචිය සත්‍ය බවට කැට තබන්නට අවශ්‍ය නැත. 

පැමිණි අලුත් වීඩියෝව දෙස බලාසිටි අසලංක ගිනි පිටවෙන දෑසින් එම වීඩියෝවේ ධාවනය වන එකොලොස්වන විනාඩිය මත නවතා ගත්තේය. 

ඒ මුහුණ ! ඒ පෙනුම!! එතරම් වෛර කරන වෙනත් මුහුණක් නොමැති තරමකි. 

නිර්මලීගේ හිත සොරාගන්නට තරම්ම ඔහු කඩවසම් බව සැබෑය. නමුත් ඈට චපල වන්නට ඒ තිරිසනාට ඇත්තේ කුමන හැකියාවක්ද? පෙර දිනයකදී තමාට තර්ජනය කොට , ගුටිත් ඇන ගියේ මෙලෙස රහසේ ඈට චපල වන්නද?

'වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන &රියා!'


මේ අතර.......

ක්‍රීඩා සංගමයේ විශේෂ හමුවීම් පවත්වන කාර්‍යාල පරිශ්‍රයේ රැස්වීම් ශාලාව අසළ වූ පුටුවේ හිඳගෙන සිටිනා රශිඳු ගෝකුල , ඈතින් ඇවිද එන දිමුත්ගේ දැක්මෙන්ම මදක් හිත සනසාගෙන නැඟී සිටියේ ආතතියෙනි.

ඒ වන විටත් ඔහු හඳුනන කිහිප දෙනෙක්ම සාඩම්බර නව පියාට සුභපැතුම් එක්කරමින් අතට අත දෙමින් ඔහු පසුකර ගියද, මෙතැනට එන්නට හේතුව දැන සිටියේ නැත.

ඔවුන් තබා රශිඳු ගෝකුල පවා දැන සිටියේ නැත!

"මචං මොකෝ වෙන්නෙ?"

දිමුත්ගේ මුනිවත තේරුම්ගත නොහැකිව රශිඳු ඇසුවේ ඔහුගේ මුහුණේ ඇඳී ඇති ආතතියට හේතුව නිර්නය කරගත නොහැකිව ය. 

දිමුත් රශිඳුගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටියදී ඔහුගේ මේ කියනා දෙයට සම්බන්දයක් ඇති දිනයේ දෙබසක් එකවරම සිහියට නැඟෙන්නේ නිරායාසයෙනි.

' මට එහෙම බෑ බං. නින්ද ‍යන්නෙත් නෑ'

තමන් එයට කටකාර යමක් කීවා මතකය. අනතුරුව දින කීපයක් ඇසට නුහුරු දසුනක් දුටු මුත් කීයටවත් ඔහු රශිඳු සැක කලේ නැත. ඔහුගේ හඬ දත්මිටිකෑමක් සේ එකවරම දමා ගැසුනේ ඒ සමඟිනි.

" decepline action එකක්. තෝ මොකටද අර තෙරපිස්ට් ගෙ රූම් එකට ගියේ?"

ඒ වැකියත් සමඟම මතුවූ රශිඳුගේ මුහුණේ හැඟීම දිමුත්ට අවශ්‍ය පිලිතුර ලබා දුන්නේය.

-------------------------- මතු සම්බන්ධයි -----------------

4 comments:

  1. මේක මට මිස් වෙලානෙ. හොර ගෙඩියා එක දවසේ කොටස්දෙකක් දාල තිබිල නේ?

    ReplyDelete
  2. ඔන්න කියවන්න කියලා ආවේ නවත්තපු තැන ඉඳලා.. කෝ 15 ඉඳලා 60 වෙනකම් කොටස් ටික? කොහෙද හැංඟුව

    ReplyDelete
    Replies
    1. දෙන්නේ නෑ ! බැංකුවේ දැම්මා

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...