Sunday, July 24, 2022

344: උන්මාද චිත්‍රාදෝ මා 76



බොඳවූ දෑස් අතරින් නිර්මලී සිය දම්පාට සහ සුදුපාට මිශ්‍ර චාම් ගවුමින් සැරසී සිනාසී ඇවිද එන්නාක් මෙන් පෙනුන නිසා, අසලංක සිය තෙත් දෑස් මදකට ඉවතට හරවා ගත්තේය.

මෙය නම් මහත් වේදනාවකි. තවදුරටත් මේ වේදනාව දැරිය හැකි නොවේ. 

අද දින ලබාදුන් නඩු තීන්දුවට අනුව ඔහු දැන් නිදහස් මිනිසෙකි. අසේකා සහ තමා දැන් නීතියෙන් වෙන්වී හමාරය. කොලයක ලියා අත්සන්කල බැඳීමකට වඩා හදවතින් අල්ලාගත් බැඳීමක් කිසි විටෙක ගිලිහී නොයයි. 

' ලොකූ... ඔය ගෑනි ගැන හිත හිත මුළු ජීවිතේම විනාස කරගන්න එපා. ඔයාට ඒ වගේ විඩෝ කෙනෙක්ට වඩා ලස්සන චූටි ගර්ල් කෙනෙක් මැරි කරන්න පුලුවන්. 

අසේකා අපි හිතුවට වඩා කපටි අම්මණ්ඩියෙක්.. ඔයා වගේ ගුඩ් ලුකිං මැචුවර් පිරිමින්ට ගොඩක් ගර්ල්ස්ලා කැමතියි'

නඩුවේ තීන්දුව දැනගන්නට තමා ඇමතූ සොයුරිය ; නිම්සාරා ; සුපුරුදු තැටිය වාදනය කරන්නට වීම පුදුමයක් නොවන මුත් මොවුන්ගේ මේ විකාර කල්පනා අසලංක තුල ඇති කරන්නේ කෝපයකි.

නිර්මලී සහ තමන් අතර වූ ඒ මෘදු බැඳීමට තමන් කෙතරම් ලෝබව සිටියාද යත් ඈ තමාට විවාහයක් සඳහා අකමැති බව දැන දැනත් ඈ කෙරෙහිම සිතින් පසුවූයේ , එසේ හෝ ඈ සමඟ ගැවසෙන්නට නිසාමය. 

නොයෙකුත් උත්සව සහ ප්‍රියසම්භාෂණ සඳහා ඈ සමඟ ඇවිද ගියේ මෙතෙකැයි කියා නිමකල නොහැකි සතුටකිනි. වදනකින් හෝ බැල්මකින් ඈ තමාට අවකාශයක් නොදුන්නද, සැනින් ඒ සියල්ලෙන් තමා දුර ඈතකට විසිවී යාම තමා යක්ශයෙකු කලාද?

රශිඳු ගෝකුල නොවන්නට , ඈ තමා සමඟම සිටිනවා නොවේද? 

' ඔව්! මම එදා එහෙම නොකර ඉන්න තිබ්බා.. එහෙම නොකල කියලාත් මට උඹව ලැබෙන්නෙ නෑනෙ නිර්! ඒ හින්දා එහෙම කරපු එකට මම දැන් සතුටු වෙනවා. 

රේප් කරන්න ඕනේ නම් මට ඒක කරන්න තිබ්බා.. මම එහෙම කලේ නෑ! දීපු කම්මුල්පාර රිදුනේ නෑ ඒ හින්දා. උඹ දන්නෙ නෑ නිර්මලී මම උඹට කොච්චර ආදරේද කියලා.. කවදාහරි දවසක ඒක තේරුම් ගත්ත දවසක මම දන්නවා උඹ මාව හොයාගෙන එනවා.. එදාට මම උඹව කාටවත් දෙන්නෙ නෑ'

බරැති සුසුම් අතරින් අසලංක සිය මත්පැන් වඩිය තනුක කළේය.

නිර්මලී හා කිවයුතු යමක් ඇත. නමුත් එය දැනගතහොත් ඇතිවන තත්ත්වය නිසා එතරම් අවදානමක් ගන්නට හැකිද?

.

.

.

ඊට වසර ගණනාවකට පසුව නවසීලන්තයේ එක්තරා ප්‍රාන්තයක ඇති සිය නිවසේ ආලින්දයේ සිට ඈත අහසේ හිරු බැසයන අපූරුව බලමින් අසලංක ඒ මතකය ආවර්ජනා කරමින් , මීට හෝරාවකට පෙර ඈ රඳවාගිය ඇගේ විලවුන් සුවඳ ඇති සෝෆාවේ පසෙක අසුන් ගත්තේය.

' මගේ උන්මාද චිත්‍රා... මගේ හිත දැන් නිදහස්.. මගේ සදාකාලික ආදරේ නිර්!'

-----------------------------------

තවදුරටත් වර්තමානයේ... 


 " මිසිස් ගෝකුලට ටිකක් අමාරුයි , අපි එයාව තියෙටර් ගන්නවා.. "

ඒ තමයි රශිඳු අහන්නට අකමැතිම වූ වැකිය!

එතැන් පටන් සියල්ල ඔටෝ පයිලට් විය. ලියකියවිලි වලට අත්සන් තැබුවේ වන්නාටය. වෛද්‍යවරුන් කියූ කිසි දෙයක් ඔහුට වැටහුනේ නැත. ප්‍රධාන වෛද්‍යවරිය සමඟ තවත් වෛද්‍යවරුන් දෙතුන් දෙනෙක්ම ඒ මේ අත දුවමින් හා මුණු මුණු හඬින් කතා කරමිනි සහ වාර්ථා පිරික්සමිනි.

' ලෝ ප්‍රෙශර්..'

' සිහිය ගන්න බෑ..'

' සිසේරියන් වලට ගන්න හිටියෙත් ලබන සතියේ..'

' බබාගෙ හාට් බීට් අමුතුයි '

' මේක රිස්ක් කේස් එකක්.. අපේ ෆෝකස් එක අම්මව බේරගන්න එක..'

අනේ ඒ හීනය! රශිඳු දෝතම හිසේ තබාගෙන උන් තැනම හිඳ ගත්තේ මේ පීඩනය දරන්නට නොහැකිවය. හිරාන් ඔහුව වත්තන් කරගත්තේ සිය මිත්‍රයාගේ කම්පනය තේරුම් ගනිමිනි.

" මිස්ට ගෝකුල තියෙටර් එකට එන්න.."

එයත් ඔටෝ පයිලට් ය. 

බැහැ.. මට ඈ වේදනා විඳිනවා බලන්න බෑ.. අනේ දෙවියනේ මට බෑ! මගේ හුස්මටික ඒ කෙල්ල.. මට මගේ පන රැකලා දෙන්න දෙවියනේ.. මගේ කෙල්ල වරදක් කරලා නෑ කාටවත්.. ඒ වෙනුවට මගේ ජීවිතේ ගන්න..

දෙවියනේ.. දෙවියන් කියලා කෙනෙක් මේ ලෝකෙ නැද්ද? මගේ කෙල්ල විඳෙව්වා ඇති වෙන්න! හස්බන්ඩ් ගත්තා..  දරුවො දෙන්නෙක් ගත්තා.. හොඳම යාලුවෙක්ගෙ අතින් abuse උනා.. මම නිසා නොයෙකුත් නින්දා වින්දා.. ඇති නේද මගේ කෙල්ලට කරපු දෙවියන්ගේ අකාරුණික කම්! අද මගේ කෙල්ලට මොනවාහරි උනොත් දෙවියනේ සත්තයි මම තවදුරටත් දෙවියෙක් අදහන්නෙ නෑ.. උඹලා පවතින්නෙත් නෑ.. උඹලාට සාප වෙන්න ඕන!

හදවත පලි ගසන්නේ හැකි උපරිම තාරතාවයෙනි. 

ගැහෙන හදින් යුතුව ශල්‍යාගාරයට ඇතුලුවූ රශිඳු ඒ මැද කොලපාට ඇඳුමින් සැරසී සයනයේ උන් නිර්මලී දැක වේගයෙන් අඩි තබමින් යද්දී , අඩ සිහියෙන් මෙන් සිටිනා නිර්මලී ඇගේ බොඳවූ දෑස් තුලින් රශිඳු හඳුනාගෙන අසරණ මෙන්ම ආයාසයෙන් නගාගත් නිසාවක් සමඟ දැකීමෙන් හදවත පැලී ලේ වහනය වනවා සේ දැනුණි.

' අනේ මගේ සුරංගනාවී මේ මොහොතේත් සටන් කරනවා'

" baby girl.. බයවෙන්න එපා මැණික මම ඉන්නවා.. "

ඇගේ සේලයින් ගැසූ අත මෘදුව අල්ලා , කෘතිම ස්වසනය දෙන්නට ආවරණය කල මුහුණේ වෙව්ලන සුදුමැලි දෙතොල් දෙස බලා රශිඳු ඇගේ හිස සිප ගත්තේ වෙව්ලන හඬ පාලනය කරගනිමිනි.

' නෑ.. මම දුර්වල නෑ.. මේ වෙලාවේ මම වැටෙන්නෙ නෑ. ෆයිට් එක අතාරින්නේ නෑ මම. මගේ කෙල්ල වෙනුවෙන් මම නොනවත්වා සටන් කරන්න සූදානම්! ඔයත් එහෙමයි.. Stay with me baby girl' 

ආයාසයෙන් පියවි සිහියට එළඹෙන්නට උත්සහ කරමින් රශිඳු නිර්මලීගේ සයනයේ පසෙක සිටගත්තේ ඈට තමන්ගේ දෑසේ කඳුළු නොපෙනන ලෙසිනි.

නිර්මලීට දැනුනේ ඈ පාවී යන්නාක් මෙනි. කුමක් හෝ බරැති යමක් තමා තදින් අල්ලාගෙනය.

'ආපු කෙනෙක් ආයෙත් යන්න ඕනෙ කොයි වෙලේක හරි. දැන් තමයි ඒ දවස රශී...  ජීවිතේ කවදාවත් නොදන්න සතුටකින්; ආදරේකින් මාව පුරවලා දැම්මට මම තාමත් ණයයි ඔයාට. මම ආපු විදියට නෙවෙයි ආයෙත් යන්නෙ.  ඔයාගෙම වෙලා, ඔයාටම කැපවෙලා ගෙවපු පොඩි කාලෙත් මතකයේ ගුලි කරගෙන.. 

ඒවා පොත්වල නෑ රශී.. ඒවා ලියවෙන්නේ මේ විශ්වයේ! ආදරෙයි රශී.. හැමදාම!'

හිත සිතින් මුමුණද්දී වටපිට ඝෝෂාවන් සියල්ල අමුතුම ආරක් ගත්තේය.

" hurry up! අම්මගෙ හාට් බීට් ඩ්‍රොප් වෙනවා.. "

ඉතිරිය නිර්මලීට නෑසී ගියද සංවෘත භාජනයකින් එක දෝංකාරයක් මෙන් පැහැදිලි කටහඬක් ඈ අසළය.

' baby girl.. Stay with me! මැණික... '

ඒ වනවිට කිරිකැටි හදවත්වල වේගය සහ රිද්මය වෙනස් වූ නිසාත් , නිර්මලී අඩ සිහියෙන් සිටි නිසාත් , මවගේ ජීවිතයට ඇති අවදානම ගැන තීරණය කරමින් වෛද්‍යවරුන් සිසේරියන් සැත්කම ඒ මොහොතේ සිදුකරන්නට එකරවම තීන්දුවක් ගත් බවට ඔවුන් එකිනෙකා හා කලබලයෙන් කරනා සංවාදය අසා සිටි රශිඳුට වැටහෙන්නට වූ අතර ඔහු මදක් පියවි සිහියට ආසන්න බව ඉන් හැඟවිනි.

පොඩ්ඩක් ඉන්න! මොකක්ද එයාලා කිව්වේ?? හදවත්වල වේගය හා රිද්මය?? ඒ මොකක්ද ඒකෙ තේරුම??? ඔහුට ඊට වඩා මොළය වෙහෙසන්නට කාලයක් නොවීය.

ඔහු සිය මුහුණ නිර්මලීගේ ගෙලත් මුහුණත් අතර රඳවාගෙන නොනවත්වා ඈ අමතන්නට වූයේ උමතුවෙන් මෙනි.

' ... Stay with me! මැණික... '

හෙදියන් සහ වෛද්‍යවරුන් වටවී කරනා දෙය බලන්නට නොහැකි වුවද, ඔවුන් ඒ මොහොතේ කුස තුල සිටිනා ප්‍රාණයන්ට වඩා නිර්මලීගේ හදවතේ ගැස්ම ගැන වද වෙමින් සිටියද, එකවරම රශිඳුගේ හුස්ම සිර කරමින් ඇසුනේ අමුතුම හඬකි.

ඔව්! එය කිරිකැටි බිලිඳෙකුගේ මොරගෑමකි. ළමාරෝග වෛද්‍යවරයා අත සිටිනා ඒ හඬ ඇසුනු සැනින් අඩ සිහියෙන් උන් නිර්මලීගේ දෑස් වඩා විවරව ගියේය.

".. මගේ දරුවා.  මගේහ්.. මගේ දරුවා!"

ඈට එකවරම තමාගේ බර දැනෙන්නට විය. 

" congratulations Mr. Gokula.. පුතා ඉන්නව සනීපෙන්.. "

රශිඳු මුලින්ම ඔක්සිජන් මුඛවාඩම නිසා නෑසෙන නමුත් නොනවත්වා සිය දරුවා ඉල්ලන නිර්මලීගේ නළල සිපගත්තේත් දරුවා පිරිසිදු කරන්නට හෙදියට බාර දුන්නේත් එක විටෙකය.

"පැටියා හොඳින් ඉන්නවා මගේ මැණික!!! ආදරෙයි ගොඩාරියක් "

නමුත් එසැනින් තවත් එලෙසම හඬක් නැඟිනි.

" ආහ්.. මේන් ඉන්නවා.. Mr. Gokula ඔයාගෙ අනිත් කොල්ලා "

රශිඳු විසල් කරගත් දෑසින් වෛද්‍යවරයා දෙස බලද්දී නිර්මලී ඔහුගේ අත තරයේ අල්ලා ගත්තාය. නිය පහරට තුවාල වී ගියද පියවි සිහියටත් වඩා වෙනමම මානයකට තමා විසිවී යන බවක් දැනී ඔහු සිටියේ ගල්භීතවය.

ඒ වනවිට නැටූ නැටුම හේතුවෙන් නිර්මලී ගෝකුලගේ හදවතේ රිද්මය සෙමෙන් යථා තත්ත්වයට පත්වෙමිනි.

" ආ... ඒ තමයි මිසිස් ගෝකුලගෙ suprize එක! ඔයාගෙ වයිෆ් නම් සප්‍රයිස් එකක්ම තමයි දුන්නේ"

එතැන ඇතිවී තිබුනු පීඩනය සමනය කරමින් වෛද්‍ය කණ්ඩායම සිනාසෙනවිට රශිඳු නිර්මලී දෙස බලද්දී කඳුළු ඉතිරීගිය දෑසින් නිර්මලී හිස ඉහළ පහළ යැව්වෙ ' ඔව් රශී.. ' කියන්නට මෙනි.

".. ඔයාගෙ වයිෆ් ඔයාට විතරක් නෙවෙයි අපිටත් සප්‍රයිස් දීල එහෙනම්.. ඩොක්ටර් මධූකා..  ඔයා එහෙනම් මේපාර ගොඩ! ඔයා හිතුවා හරියටම හරි.. 

ඔන්න Mr. Gokula මේන් ඔයාගෙ නිර්මලී ජූනියර්!"

" congratulations ! You've got triplets !!"

රශිඳු දෝතින්ම හිස බදාගෙන එතැනම බිම හිඳගන්නේ ප්‍රීතිය දරාගත නොහැකිව නිසා බව හඳුනාගත් පිරිස මේ අලුත් පියාට රිසිසේ සිය හිතුවක්කාර බිරිඳ විසින් ලබාදුන් සප්‍රයිස් එක විඳින්නට ඉඩ හලහ. 

' දෙවියනේ මම මැරෙයි සතුටට! උඹ මගෙන් මැරුම් කනවා ඇත්තටම මේ කරපු හිතුවක්කාර වැඩේට baby girl... උඹ මහා එපාකරපු එකියක්!! '

විනාඩි ගණනාවකින් අනතුරුව නිර්මලීගේ මුහුණ අසළින් ඈ ස්පර්ශ කරමින් තබා තිබුනු කුඩා කොලපාට රෙදි පොට්ටනි තුන දෙස බලමින් නිර්මලී කඳුළු වගුරවන්නට වූවාය.

' පුත්තු දෙන්නෙක් එක්ක රෝසපාට පුංචි කෙලි පැටියෙක්! 

ඒ මොහොතේ මෙලෝ සිහියක් නොමැතිව උන් මේ අලුත් පියා වෙනුවෙන් හෙදියක් ඇගේ දුරකතනයෙන් ජායාරූපයක් ගත්තේ ඒ පොට්ටනි තුනත් සමඟ සිය බිරිඳ තුරුල් කරගනිමින් සිටි ආදරණීය අයුරුව දැක තෙත්වූ නෙතිනි.

" ලොකු අවදානමක් ගත්තේ මිසිස් ගෝකුල.. බබාලා තුන් දෙනාම නිරෝගීව ඉන්නවා. ගෑණු ළමයා නම් බේබිරූම් දාමු පොඩ්ඩක් හුස්ම ගන්න අමාරු හින්දා.. ඒත් බයවෙන්න දෙයක් නෑ දැන්.. Everything is under control "

 දරුවන් තිදෙනා දෙසත් සිය බිරිඳ දෙසත් බලමින් උන් රශිඳුගේ අතින් කිරිකැටි දැරිය ගනිමින් ප්‍රධාන වෛද්‍යවරයා පැවසුවේ රශිඳුගේ උරයට තට්ටුවක් දමමිනි.

".. මිස්ට ගෝකුල රූම් එකේ ඉන්න අපි ඔයාගෙ සප්‍රයිස් ටික ඔතල එවන්නම්කො.. හ්ම්ම්.. ?"

"අනේ ඩොක්ටර් , මට කියාගන්න තේරෙන්නේ නෑ! වයිෆ් මට කිව්වෙත් නෑ "

ඉන් පැය ගණනාවකට පමණ පසු වෛද්‍යවරයා රශිඳු හමුවේ සියල්ල පැවසුවේ , වරින්වර සිය හිතුවක්කාර ආදරිය වෙත ඔරවන නෙත් දැක ඇතුලතින් සිනාසෙමිනි.

" මිස්ට ගෝකුලට කියන්න.. ට්‍රිප්ලට් කතාවක් නෙවෙයි , ස්කෑන් එකේ අවුලක් තිබ්බා කියලා කිව්වම අපි හිතුවේ වෙන නරක ආරංචියක් කියලා.. මිසිස් ගෝකුල කලේ නම් අන්තිම හිතුවක්කාර වැඩක්!"

ඉතින් රවන්නට නොහැකිය. පුංචි රෝසපාට ගුලි තුනක්ම දුන් ඈට බනින්නට නොසිතුන නිසා රශිඳු ඇගේ දෙතොල් සිපගත්තේ ආදරයෙනි.

' මගේ මැජික් එක! මගේ ජීවිතේ !! තව ඩිංගෙන් උඹ මාව මිනීමැරුවෙක් කරනවා '

"පොඩ්ඩො තුන්දෙනා කොහොමත් චෙකප් එකක් දාන්න ඕනෙ. අම්මගෙ හපන්කම හින්ද.. කොහොම උනත් මට හරි සතුටක් පුතා.. හතර දෙනාටම කරදරයක් නොවී බේරුන එක. "

නමුත් වරක් නිර්මලීගේ ප්‍රාණය එක කෙස් ගසකින් බේරුනු බවක් දන්නේ රශිඳුත් උඩ සිටිනා දෙවියනුත් පමණි.

.

.

.

වසර ගණනාවකට පසුව ඒ අතිශය බිහිසුනු සහ ප්‍රීතිමත් මොහොත සිහිකල රශිඳු ගෝකුලගේ මුවට නැඟෙන්නේ සිය දරුවන්ගේ මව සිහිවීමෙන් එන සුපුරුදු මනමාල සිනාවයි.

' ගොඩක් නිර්භීතයි මගේ නිර්මලී. මම වෙනුවෙන් එතරම් ජීවිතේ අවදානමක් ගන්න තරම්ම හිතුවක්කාර නිර්භීත ගෑනියෙක්! ජීවිතේ කොච්චර වැටුනත් මගේ කෙල්ල give up කරන්නේ නෑ. කොච්චර මුරණ්ඩුද කියලා හිතිලා එදා ගුටි නොකෑවේ අර චූටි රෝසමල හින්දා තමයි '

එලෙස සිතා නිමවන්නටත් ප්‍රථම ලපටි දෑතක් රශිඳුගේ ගෙල වටා පිටුපසින් පැමිණ ඔහුගේ පිටට වෙල්වට් පහසක් දැනුනේ ඒ රෝසමල තමා අසළ බවට එන ඕඩිකොලෝන් සුවඳ දනවමිනි.

"පච්චී... මම පහළ දුකෙන් දුකෙන් ඉන්නවා.. පච්චා මොකද මෙතන කරන්නී.."

ඒ හුරතල් හඬට උණු නොවන සිතක් වේද? රශිඳු මුවට නැඟුනු සිනාව සමඟම අත පිටුපසට හරවා ඒ පුංචි රෝසමල සිය දැස් ඉදිරියට ගත්තේය.

"..   ආ හොර ගෙඩියා අම්මීට අහුවෙයි කියලා ඔලෙන් සිගරට් බොනෝ නේ?? "

කම්මුල් දෙපැත්තෙන් අල්ලාගෙන මහා ලොකු ගෑනියෙක් වාගේ තමාගේ පියාට තරවටු කරනා ජූනියර් නිර්මලීගේ කතාවට රශිඳු කට ඇද කොට සිනාසුනේය. 

".. ජලාව! ගඳයි පච්චී... මම අම්මිට නම් කියනෝ.. "

නිර්මලී වාගේම ඈ දෑත් ඉනට තබාගෙන ඔරවන්නේ කට උල් කරමිනි.

" අන්නේ ඉතින් පැංචි අප්පච්චිගේනේ.. එකම එකයි බිව්වෙ.   එහෙම අප්පච්චි ගැන කිව්වොත් අම්මි අප්පච්චිට ගහයි කෝටුවෙන්.. පව් නැද්ද?"

රශිඳු ඈ තව සුරතල් කරමින් පැවසූ නිසා ඈ කල්පනාවක නිග්මනව සිටියේ ඇගේ කැරළි කොණ්ඩය ඒ මේ අත වනමිනි. මේ නම් නිර්මලීගේ ජායා පිටපතමය! ඒ කැරළි කොණ්ඩය, හමේ පාට සහ ඒ රවුම් විසල් ඇස් දෙකමය. ඊටත් වඩා නිවසේ ලොකුම කැරළිකාරියයි! 

" හ්ම්ම්.. අම්මිට මම කියන්නම් චූටි කෝටුවකින් ගහන්න කියලා.  වැරැද්දක් කලා නම් ඉතින් පනිශ්මන්ට් එකක් තියෙනවා නේ පච්චී..  "

මේ ඉතින් මගේම වචන ඔහුටම කියනා කපටි කෙල්ලයි! අම්මා වාගේම ලේසි නෑ බේරෙන්න!! කැරළි ගැහුණු කොණ්ඩේට සුකුරුත්තම් සීයක් විතර දාලා , ඕඩිකොලෝන් බෝතලේම හලාගෙන, ඇඳුමට ගැලපෙන්න වලලුත් දාලා ගෙදර ඉන්න මේ බෝම්බෙට බය නැත්තෙ එයාගෙ අම්මා විතරයි ඉතින්!

ඉපදෙනකොට ආපු සංකූලතාවයක් විදියට සමහර වචන කියන්න බෑ මේ චූටි කෙල්ලට. ඒත් දැන් කථන පුහුණුවීම් වල උපකාරයෙන් තරුකි ලොකු ප්‍රගතියක් පෙන්නුව නිසා ඉක්මනින්ම ඈ සාමාන්‍ය ලෙස කතා කරාවි.

' මගේ චූටි සුරංගනාවී! '

තරුකීගේ මුහුණ සිඹ ඈ වඩාගෙන රශිඳු එසේ සිතද්දී ඉබේටම ඔහුගේ සුරංගනාවී සිහිවී සුසුමක් සැලෙයි.

" පච්චී..  අම්මි නැත්තෙ ඇයි ?"

ගැස්සී මෙන් ඒ පැනයට නිරුත්තර වූ රශිඳු ඈ තවත් සිය ලයට තදකොටගෙන පියගැට ඔස්සේ පහලට බසින්නේ පහළ මාලයේ අලුතින් ආරම්භකොට ඇති යුද්ධය මැද සිටිනා සිය කුඩා බෝම්බ දෙක තමා දැකීමෙන් ගල් ගැසෙද්දීය.

තත්පර කීපයකට වැඩිමල් වූ හිරුක සිය පියාගේ දැක්මෙන්ම එතෙක් අත දරා සිටි 'තෝර්' මිටිය පහත හෙලූ අතර ඒ වනතුරු ඉන් ගුටිකමින් උන් සඳුක වහා සිය පියාට කේලම් කියන්නට යැවූ නියෝජිතයාගේ පාවාදීම ගැන විස්සෝපයෙන් මුව විවර කරගත්තේය.

" අප්පච්චි... නංගි මට බැට් එකෙන් ගැහුව"

ඔක්කෝම පසෙක තබා හිරුක පැවසුවේ රශිඳු අත සිටිනා තාරුකීගේ මුහුණ ඇදවී යද්දීය.

අදනම් සිය පියාගේ මූඩ් එක හොඳ නැති නිසා වෙනදාට මෙන් ' නංගි පොඩී' කියා ගැලවෙන්නට නොහැකි බව තේරුම්ගත් නිසාදෝ තාරුකී සිය කපටි ආදර සිනාව ලෑස්ති කරගත්තාය.

" එන්ජල්!..."

වඩාගෙන සිටි ඈ බිමින් තැබූ සැනින් උස්ව නැඟුනු රශිඳුගේ හඬ ඇසී ඒ මොහොතේ සාලයට එබුනේ ඒ ඒන්ජල්ගේ පරම හතුරාය!

------------------------ මතු සම්බන්ධයි -------------------------

2 comments:

  1. බුදාම්ම්මෝ ...රෙදි පොට්ටනි තුනක්ද? හැබෑටම මේකි අපිටත් සප්‍රයිස් දීල එහෙනම්. අනේ අද ෂෝයි හලෝ. ඔළුව බදාගෙන බිම ඉඳගන්න නෙවෙයි බිම පෙරළෙන්න තිබුනෙ. හොඳ වැඩේ අලුත් පියාට. :D

    ReplyDelete
  2. goodness gracious .....!....this is my favourite episode

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...