Tuesday, July 19, 2022

343: උන්මාද චිත්‍රාදෝ මා 75



හිරාන් මුවට ගත් බත් පිඬ නවතා මදක් කල්පනා කල බව මාලතී ගෝකුලගේ නෙතට හසුවිය.

".. නෑ මම කිව්වෙ.. මොකුත් අසනීපයක්ද මන්ද"

හිරාන්ට නැඟුනු සිනාව ඔහු වසාගෙන බත් පිඬ මුවේ ලා ගත්තේ මේ මව එන්නේ කුමකටද කියා දන්නා බැවිනි. ලේලිට ආදරේ නැතුවත් නෙවෙයි. ඒත් ලොකුකම නම් තියෙනවා. ඉන්නකො කරන්න හොඳ වැඩක්! 

වෙඩින් එක දවසෙත් අපිව වාත කරලා බලනකොට එයා එතන.. මේ පාර නම් මම මේ ලොකුකම ඇරලා තමයි පස්ස බලන්නේ.

" නෑ එහෙම ලෙඩක් නෑහ්.. කම්මැලී හිතෙන්න ඇති"

මාලතීගේ මුහුණ බලා සිටියදී පුංචි වී ගිය මුත් ඈ වීදුරුවට වතුර පුරවා හිරාන් දෙසට තල්ලු කලේ එය සඟවා ගන්නට උත්සහ කරමිනි.

"ඒ දරුව එහෙම කම්මැලී නෑ.. අපේ එකාගෙ අපිලිවෙල මම දන්නවනෙ. ගෙවල් අස්පස් කරන්න පුලුවන්ද ලොකු කොම්පැනි කරන ගමන්. කොල්ලට මැච් එක හින්දා මම කොහොමත් කියල තිබ්බෙ මේ සතියෙ කෑම එපා කියලා... කෝල් කලාමත් මමමයි එපා කිව්වෙ"

මේ නම් ලොකු සීන් එකේ හොඳම එකයි. නිර්මලී දරුවකු ලැබෙන්නට ඉන්නා බව කියන්නට කට පොපියන මුත් හිරාන් කිසිවක් නොකියා වතුර වීදුරුව අතට ගත්තේ මීට දින කීපයකට පෙර සිය දුව කොළඹ රැකියාවකට ආ බවත්, ඈ බලන්නට ආ අතරේ මාලතී මතක් වූ බවත් කියමින් නිවසට ගොඩවූ මාලතී ගෝකුලගේ වැඩිමල්ම සොයුරිය හා කතාවක ඔහුගේ කන වැකුණ කොටස සිහි කරමිනි.

".. අනේ අක්කෙ මේ.. තමන්ගෙ පුතා මරාගෙන වෙන උන් ලව්වා බඩක් හදාගත්තා කියලා නැන්දම්මලා මාව ඒ ගෙවල්වලින් ගත්තෙත් නෑ. මගේම උනුත් මට පිටුපෑව. 

මගේ කොල්ලා වැරහැලි ඇඳගෙන ඉස්කෝලේ ‍යනකොටවත්, ක්‍රිකට් ගහන්න බැට් එකක්වත් නැතුව ගෙදර ආව දවස් ගානේ වත් ඌට උදව් කරන්න මගේම උන් කවුරුත් ආවෙ නෑ. 

මගෙ කොල්ලා කසාද බැන්දේ රාජ කුමාරිකාවක් වගේ ගුණ යහපත් ගෑනියෙක්. උන් ලස්සනට ජීවිත් වෙනව. මගේ අස්සේ නොහිටියාට දෙන්නම මට ඕන හැටියට සලකනවා. 

මම තමයි උන් දෙන්නට පාඩුවේ ඉන්න දීලා මෙහෙට වෙලා ඉන්නෙ. ඒ උනාට ලේලි මට හැමදාම කෑම එක එවනව. කෝල් කරලා දුක සැප අහනව. බේත් ගෙනත් දෙනව.. ඇඳුම් පවා එවනව..

වැඩිමල් උනාට හරිම සීදේවි කෙල්ල. මගේ කොල්ලගෙ වාසනාව..! උඹලට ලැජ්ජ නම් ඉතින් මෙහෙමවත් නෑවිදින් ඉඳහල්ල.. උන් දෙන්න පැනල ගියේ නෑ. කසාද බැඳලා පිලිවෙලට ඉන්නව.."

අනතුරුව කියූ කිසිවක් අසන්නට හිරාන් නොසිටියද මාලතී ගෝකුල වෙනස් වී ඇති තරම ගැන සිතා හිරාන්ගේ සිත සුවපත් විය. 

මාලතී ගෝකුල තුල සිටි දැඩි මතධාරී ගැහැනිය පවා නිර්මලී එතරම් සුමට කලේ කෙසේද? ඈට අවැසි ලෙසටම හැඩගැසුනු නිර්මලී මාලතීගේ රාජධානිය අතික්‍රමණය නොකල මුත් අවසානයේදී කිරුළ හිමි කරගෙන අවසානය.

නිර්මලී ! පුදුම ගැහැණියකි!! 

එදින උපන්දින සාදය අවසානයේ රාත්‍රී වූ බැවින් නව්‍යා නිවසේ රඳවාගත් ඈ කෙසේ හෝ තමා සමඟ කතා කරවන්නට සමත් වූ සැටිත් ඉන් අනතුරුව එතෙක් තිබුනු නෝක්කාඩුව ගිලිහී යාමත් හිරාන් තුල නිර්මලී කෙරෙහි වූ පැහැදීම වැඩි කලේය.

" මෑම්... ගොඩක් ස්තූතියි මම වෙනුවෙන් කතා කලාට"

නිර්මලීට ස්තූති කල හිරාන් දෙස නිර්මලී මද සිනාවකින් බලා සිටියාය.

" හිරාන්.. මම කතාකලේ ඔයා වෙනුවෙන් විතරක් නෙවෙයි. දෙන්නම වෙනුවෙන්. හිරාන් වගේ honest කොල්ලෙක් දුකෙන් ඉන්න ඕනේ නෑ. නව්‍යා එක්ක ඔයා තරහ වෙන්නත් අවශ්‍ය නෑ. ඇත්ත ආදරේ ආවහම ඒකට හදවත නතු වෙනවා හිරාන්.. ඒ ආදරේට නොදෙන්න බැරි දෙයක් නෑ.. 

හිරාන් මට මගේ ඒ ආදරේ හොයාගන්න උදව් කලා. ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ. රශිඳුගේ බෙස්ටා විදියට ඔයා එයාට ගොඩක් උදව් කල බවත් මම දන්නව. 

මේ සල්ලි.. මේ ප්‍රසිද්ධිය අපිට නැතිවෙලා ගියාට, ඒ හොඳ කවදාවත් නැති වෙන්නෙ නෑ. මම නැති කාලෙක... ( අපහසුවෙන් හැඬුම වලකමින්) රශීට ශක්තියක් වෙන්න.."

හිරාන්ගේ සිත ඒ මොහොතේ සිට බර වූයේ වෙනස්ම ලෙසකටය. වහා ඒ මේ අතින් ආරංචි කල විටදී නිර්මලීගේ ගර්භනීභාවය තරමක් අවදානමක් ඇතිබව වැටහුනු නිසා සිතට පැයෙන් පැය කාන්දු වූයේ අනවරත බියකි.

------------------------------------------

අසලංක නොපහන් ලෙසින් දෑස අකුලා ඒ රුව දෙස බැලුවේ සිත තුල තෙරපෙන අප්‍රමාණ කෝපය මදක්වත් අඩු නොකරමිනි.

"..මම දැක්කා ආටිකල් දෙක තුනකම අසලංක එයා එක්ක ඉන්නව.. මේ මෑතක් වෙනකල්ම.. ඔහ්.. අර ලයන්ස් ක්ලබ් එකේ ඉවෙන්ට් එකෙත්"

ඒ හඬ පෙර පරිද්දෙන්ම සෝපහාස බවින් යුක්තය. තමාගේ එරවීම ඈට ගානක්වත් නැතුවා සේය.

" මැර-රි කලාට පස්සෙ.. ම-ගෙ-යි නිර් ගෙයි වැඩි කනෙක්ෂන් එකක් නෑහ්"

අසලංක අපහසුවෙන් මෙන් කියා දැම්මේය. ඇගේ විවාහය තමන් තුවාල කල තරමක් දන්නේ තමන් පමණකි.

" .. ඇයි දැන් මේ හදිස්සියේ? මට.."

ඇගේ මුවේ ඇඳුනේ පුලුල් සිනාවකි. වියපත් වූවද ඒ ඇස්වල පෙරදා මෙන්ම දුශ්ට පෙනුම එලෙසමය.

" ඇයි කියලා කවදාවත් මිස්ට මිහිඳුකුලසූරිය කලින් නම් අහලා නෑ. දැන් අහන්නේ ඇයි කියලා ගෙස් කරන්න ඕන නෑ මට. ඒත් එදිරිමාන්න එක්ක එකතුවෙලා කොවිඩ් පොසිටිව් කරවන්න හදපු කේස් එක නම් ආවෙ අපේ ලෝ ෆර්ම් එකට.. ඒක යටගියානෙ.. නේහ්?"

අසලංකට පුදුම සිතුනද මේ ලෝකය කුඩා තැනකි. එම සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් රශිඳුගේ පාර්ශවය නඩු මගට බට බව ආරංචියක් පැමිණියද එදිරිමාන්න ඒවා හසුරවන්නට කලින් සිටම සූදානම්ව සිටියේය.

අසලංක ගැහැණිය දෙස එක එල්ලේ බැලුවේ මේ පඳුරු තැලිල්ල නිමක් නැති නිසාය. 

".. මිස් නිමන්තිකා! අනූජ ගමනායක දැන් ජීවතුන් අතර නෑ.. රේසිකා කැන්සර් එකකින් මැරිලා.. ආයෙ මැරෙන්න ඉන්නේ නිර්මලී විතරයි... ඇයි.. ම.."

" සොරි මිස්ට මිහිඳුකුලසූරිය ! පොඩි නිවැරැදි කිරීමක්..! ප්ලෑන් එකේ තිබ්බේ අනූජ ගමනායක මරන්න නෙවෙයි... ටාගට් එක උනේ මිස්ටර් මිහිඳුකුලසූරියගේ long term girl friend;  නිර්මලී ගමනායක ; මරන්න.. ටාගට් එක වැරදුනා.. 

තමන්ට අයිති කරගන්න බැරිවෙච්ච කොල්ලා මැරුන දුකට බීලම රේසිකා මැරුනා... ඔච්චර චාන්ස් එකක් ඇවිල්ලත් මිස්ට මිහිඳුකුලසූරිය වෙන ගෑනියෙක් බැන්දා.. ඒත් දැන්!? අර ගෑනි යසට ඒකිට වඩා බාගයක් බාල කොල්ලෙක්ව අල්ලගෙන.. ඔයාටත් කොකා පෙන්නුවා.. හෙහ් හෙහ්.."

වියපත් වුවද රූපලාවණ්‍ය ආනුභාවයෙන් රැකුණු මුහුණේ රැළි ඒ වියරු සිනාවත් සමඟ විකාර පෙනුමක් ගත්තේය. 

තමන්ට එලෙස සිනාවනු ඉවසීම ලේසි නොවුනත් මේ ගැහැනිය භයානකය. ඈ මේ වනවිට ලංකාවේ ප්‍රකටම නීති උපදෙස් සමාගමේ අධ්‍යක්ෂ තනතුරක් දරන්නීය. ඊටත් තමාගේ ඒ රහස් අතීතය ගැන ඈට තුරුම්පුවක් ඇත.

ඒ සියල්ලට වඩා නිර්මලීගේ විවාහය ගැන ඇසීම අමු තුවාලයකට මිරිස් කුඩු ඉසිනවාක් වැනිය.

".. මිස් නිමන්තිකා.. මගෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ?"

අසලංක සිය කතාව දිශානතියකට හරවා ගත්තේ නිර්මලී සහ රශිඳු ගැන ඇගේ මුවින් ඇසීමෙන් සිත වැලිකඩදාසියක අතුල්ලා ගන්නට අවැසි නැති නිසාමය.

නිමන්තිකාගේ මුහුණ මදක් එලිය වැටී කට කොනක් ඉහල ගියේය.

" ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ එක දෙයයි. මම දන්නවා අර වීඩියෝ එක ඔයා ගාව තාමත් තියෙනවා කියලා... මම දිනයක් වේලාවක් දෙන්නම්.  ඒක instagram දාලා කෙලින්ම ‍රශිඳු ගෝකුලව ටැග් වෙන්න ඕන! "

අසලංක තිගැස්සී මේ අරුම පුදුම ගැහැණිය දෙස බැලුවේ මේ කියන දේ ඔහුට ඇසුනේ සැබෑවටමද කියා නිශ්චය කරගන්නටය.

".... වීඩියෝ එක දාන්න අකවුන්ට් එකක් දෙන්නම්. ඕනේ අනික්වාත් දෙන්නම්.. බයවෙන්න දෙයක් නෑ. අර ගෑනි ඕක අයින් කරන්න කියන්න කලින් වයිරල් කරලා මකන්න ඕන. එතකොට ඕනෙ දේ උනා! නඩු කිව්වොත් මම ඉන්නව.. ගෑනි ඊළඟට කරන දේ එදිරිමාන්න බලාගනී... වීඩියෝ එක දාන වැඩේ විතරයි ඕන. "

තමා කරගත් මෝඩකම ගැන සිහිවී අසලංකට මහා පසුතැවීමක් ඇතිවිය. මේ පසුපස සිටින්නේ එදිරිමාන්නය. 

මේ වීඩියෝව ගැන තමාගේ කටින් පිටවූයේ රශිඳු ගෝකුලගේත් නිර්මලීගේත් කොවිඩ් සම්බන්දයෙන් වූ දබරය දුරදිග ගිය මොහොතේය. තමාට නොකියා ඔහු විසින් ඔවුන් දෙදෙනාම කොවිඩ් ආසාදිතයින් බව පවසා කරන්නට ගිය විකාරය නිසා දෙදෙනා බහින්බස් වූ මොහොතේ තමන්ගේ මුවින් ඉබේම එය පිටවූයේ දුර නොසිතාමය.

"... ඔය වගේ මොන්ටිසෝරි වැඩක් නෙවෙයි මම ඌට සෙට් කරන්නේ හොඳ එකක්.. මගේ ගාව තියෙනවා වීඩියෝ එකක්... රශිඳුගේ.. ඒක දැක්ක ගමන් ඌ ටීම් එකෙන් එලියට විසි වෙනව"

එදිරිමාන්න සහ නිමන්තිකාගේ හමුව සිදුවන්නේ ඒ නඩුව නිමන්තිකාගේ නීති ආයතනයට බාරදීමත් සමඟ සහ එය වඩා රහසිගත නිසා නිමන්තිකාගේ අධීක්ෂණයට ලක්වීමේදී නිර්මලීගේ නම සඳහන් වීමෙනි. 

කිසිවක් නොකී අසලංක මදක් කල්පනාවට වැටුනේ දබර ඇඟිල්ලෙන් සිය නළල තෙරපමිනි.

----------------------------------------------

 " නිර් උඹට අමාරු නම් ගිහින් ටිකක් ඉඳපං.. මට පුලුවන් මේ ඊමේල් ඔක්කොම බලාගන්න. ගොඩක්වෙලා වාඩිවෙලා ඉන්නකොට අමාරුයි නේ"

නේහා එසේ කියා නිර්මලී දෙස විමසුම්සහගත බැල්මක් හෙලන්නේ දැන් සෑහෙන වේලාවක සිට ඈ ඒ මේ අත ඇඹරෙනු දුටු නිසාය. නිර්මලී මුව විවර කරමින් හුස්ම අල්ලන බව වැටහුනු සැනින් ඈ ඉඳ සිටි ආසනයෙන් පැන ආසනයේ ඇලවී ගිය නිර්මලී වත්තන්කොට ගත්තේ චම්පාගේ නම කියා කෑ ගසමිනි. 

" ශෂී.. ට.. කෝල්..."

නේහාට යකා වැහෙන්නට ගතවූයේ තත්පරයකි.

" නිර්! උඹට මේ මම ඉන්නේ... යකෝ ශෂීට මීට කලින් බබ්බු හම්බෙලා තියෙනවද? උඹට අමාරුයි කෙල්ල යමු හොස්පිට්ල් !"

නේහා වහා රංගට ඇමතුමක් ගත්තද ඔහුගෙන් ප්‍රතිචාරයක් නැති නිසා නිර්මලී මතක් කරමින් කරදර කල නිසා ශෂීට පණිවිඩයක් තැබුවාය.

රශිඳු ඒ වනවිට සිටියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පාකිස්තානු - ශ්‍රී ලංකා දිවා රාත්‍රී තරඟයේය. 

නිර්මලීට තව සති දෙකක් ඇතත් ඇගේ තත්ත්වය යහපත් නොවූ නිසා නේහා ඒකමතිකව තීරණය කලේ ඈ රෝහල්ගත කලයුතු බවයි. ඇගේ ඒ වනවිටත් ලක ලෑස්ති කොට තිබුනු බඩු බාහිරාදිය සමඟ හැරියර් රථය ලෑස්ති කලද ඒ මොහොතේ නිර්මලී එහි නංවා ගන්නට තරම් අයෙකු නොමැති නිසා නේහා වහා ලිපිගොණුවෙන් ගත් අංකයට වෛද්‍යවරිය ඇමතුවේ කලබලයෙනි.

" එපා.. වෙන වාහනේක ගේන්න එපා. මම ඇම්බියුලන්ස් එක එවන්නම්.. මිසිස් ගෝකුල කියන්නේ බරපතල තත්වෙක ඉන්න කෙනෙක්.. කරුණාකරලා එයාගෙ හස්බන්ඩ්ට එන්න කියන්න "

නේහාගේ කන් අඟුල් වැටී ගියාක් මෙන් දැනුණි. ඈට තමාට ඇසුන දේ නිවැරදි දැයි සිතන්නට ගත් තත්පරයේදී නිර්මලීගේ හඬ වැඩිවූ නිසා ඉබේටම ඈට දුරකතනය අතහැරුනි.

" නේ.. හා..  රං..ගට.. එන්න කි.."

එපමණකි දහදියෙන් නැහැවී උන් නිර්මලී සිහිසුන් වෙද්දී නේහා මහා හය්යෙන් කෑගැසුවේ නිර්මලී වත්තන් කරගනිමිනි.

එතැන් පටන් සියල්ල සිදුවූයේ මහා කලබලයෙනි. ගිලන් රථයෙන් රෝහල කරා පිටවන්නට මොහොතකට පෙර විදුලි වේගයෙන් ආ රංගගේ රථය වේගයෙන් මිදුලේ තිරිංග ලෑ අතර රංග එළියට පැන්නේ උමතුවෙකු පරිද්දෙනි. 

නේහාගෙන් ඇමතුම දුටු සැනින් රංග දෙවරක් නොසිතා වාහනයට නැඟුනේ නේහාගේ දුරකතනයට සම්බන්ධ වන්නට උත්සහ කරමින් වුවද එය කාර්‍යබහුල වී තිබුනේ හේතුවක් ඇතිවය.

ඒ වනවිටත් ඈ පණිවිඩය රශිඳුට යවා තිබුනත් සියල්ලන්ගේම හදවත් නවතාලමින් නිර්මලී සිටියේ සිහිසුන්ව වූ නිසා වහා ඈ ස්වසන යන්ත්‍රයට සම්බන්ධකොට සැර දමාගෙන ගිලන් රථය පිටවූයේ සයිරන් නාදයෙන් පලාතම අවුලවාගෙනය.

' අනේ මගේ කෙල්ල! නිර්මලී!!! උඹ ගැන මට බයයි දෙවියනේ'

නේහා කිසිවක් කතාකරගත නොහැකිව දෝතින්ම සිය ළය තදකොට අල්ලාගෙන , ගිලන් රථයේ කොනේ ගුලි වූයේ හෙදියන් යුහුසුළුව ඈ වෙත සේලයින් ලබා දීමත්, ස්වසන යන්ත්‍ර සවිකිරීමත් කරනා අතර තුරය.

මාර්ගයේ බාධක අතුරෙන් ඒ මේ අත දමමින් රෝහල කරා ඇදෙනා ගිලන් රථය පසුපසින් උමතුවෙන් මෙන් ආ රිය පදවාගෙන ආවේ රංග විසිනි. රථය තුල භීතියෙන් එකිනෙකාට තුරුළුව ඔහුගේ මවත් , නැගණියත් වූහ.

' අනේ නිර්මලී ! සත්තමයි උඹට මොනවාහරි උනොත් මම ඔය දොස්තරයව මරනවා අම්මපා!!'

.

.

.

වසර ගණනාවකට පසුව...

තමන්ගේ ජීවිතේ නැවත සිහියට නඟාගන්නට අකමැතිම දිනයන් වලින් එකක් වූ ඒ දිනයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සිට අග නගරය දක්වා තමන් පැමිණියේ කෙසේදැයි අදටත් රශිඳුට සිහිකරගන්නට නොහැකිය. 

එය එතරම්ම පීඩනයක් සහ වේදනාවකි. පල්ලෙකැලේ සිට අවම කාලයකින් පැමිණි රියදුරෙකු වේනම් ඒ ඔහුගේ රියදුරු ලෙස ලෝක වාර්ථාවක් තබනු ඇත. රිය එකදු මොහොතක් හෝ ඇක්සලේටරය නොපෑගුවේ නම් තමා ගුගුරා සිටියා නම් මතකය.

ඒ ආ වේගයෙන්ම රෝහල් දොරටුව අසළ නතර කරන්නටත් පෙරම පැන්නාත්, අනතුරුව උන්මන්තකයෙකු පරිද්දෙන් ඒ මේ අත දුවද්දී හිරාන් පැමිණ තමා අල්ලා ගන්නවාත් මතකය.

' baby girl..  මම අහන්න අකමැතිම වචනේ ඇහුවේ ඒ වෙලාවේ!! මාව මැරුණා මැණික !'


------------------------- මතු සම්බන්ධයි -------------------------



2 comments:

  1. දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    එතකොටවත් මේකේ පැටලිලි ලිහුනොතින් ඇතී..ඊ....ඊ..ඊ...

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...