Sunday, July 17, 2022

342: උන්මාද චිත්‍රාදෝ මා 74



සටහන : මේ කොටසේ  සහ ඉදිරි කොටස් කිහිපයකම දින වකවානු ඒ මේ අත යන බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කියවන මෙන් ඉල්ලා සිටිමි.


පුහුණුවීම් අතරතුර ලද නිමේශයේම නිර්මලී ඇමතූ රශිඳුගේ කතාබහ නිමවූයේ මුහුණ පුරා ඇඳුනු සිනාවකින් මුත්, දුරකතනය නිවා දැමූ සැනින් බැරෑරුම් බවකින් හදවත කීරිගැහී ගියේය.

 වෛද්‍යවරොයගේ දෙහි කැපීම පසෙක තැබුවත් නිර්මලී ගැන ඔහුගේ සිතේ ඇති බිය එලෙසමය. ඈ සාමාන්‍යයෙන් හිතුවක්කාර චරිතයක් නොවන මුත් මේ කල හිතුවක්කාරකමට ගුටි දෙන්නට සිතුනත් සිත ඉපිලෙයි!

අපේ දරුවා අපිව හොයාගෙන ආයෙත් ඇවිත්?

සිත මතුරන්නේම එයයි. මොකක්දෝ විස්තර කරන්නට නොහැකි කොළුකමක් ; ලොකුකමක් සිතට දැනෙයි. ඊටත් අමතරව ඕනෑනැති දේවල් දෙන්නාම හරි හරියට කරපු බව මතක් වී සිනාද නැඟේ. ඈට දොස් කියන්නට සිත නොනැමේ.

' පිස්සු කෙල්ල ඉතින් මාවත් පිස්සු වට්ටලානෙ නතර වෙන්නෙ. ' 

රටක් නියෝජනය කරමින් යා යුතුම ගමනක් නිසා මිස ඈ ඒ මොහොතේ දමා එන්නට සිත ඉඩක් දෙන්නේම නැත. 

' මගේ කෙල්ලට ආදරේ පෙන්නුවා මදි! මම කොච්චර සතුටින්ද කියලා කිව්වා මදි!!'

හිත නොනවත්වා කැරළි ගසයි. 

" oh my god! ඇත්තටමද උඹ කියන්නෙ? තෝ අපිව ප්‍රෑන්ක් කරනවා නෙවෙයි නේද?"

පණිවිඩය අසා එසැනින් නිවසට ආ රංග තමා බදා වැළඳ ගද්දී , විදුලි වේගයෙන් පැමිණ ඒ වන විටත් ඔරවමින් සිටි හිරාන්ගේ මුවින් පිටවූයේ ඊට වෙනස් වචනයකි.

" බොට තිබ්බ ගායට ඇති මේ මාසෙ වත් හිටියා! ගොං තඩියා.. "

රංග ඊට සිනාසුනද රශිඳුගේ සිත අහේතුකව සැලී ගියේය. සියල්ල සිදුවනවා වේගවත් වැඩිද? 

".. මම ආන්ටිට කිව්වෙ නෑ මේ දවස් ටික නේහා මිස් ඉන්නවා කිව්ව නිසා. "

" අපි ටිකක් ඉම්මු මචං. "

කෙතරම් සිප සැනසූවද සිත කියන්නේම තවත් මොනවාහෝ කරන්නය. ඉන් හෝරා ගණනාවකට පසුව ගුවන්තොටුපළට ගිය මොහොතේ හදවත නොවිරූ තරමින් දියවී ගියේ දෑස් ඔස්සේය.

"... Baby girl පිස්සු කෙලින්නෙ නැතුව මම එනකල් පරෙස්සමින් ඉන්න මැණික. අපි දෙන්නගෙ පැටියා පරෙස්සමින් එන්න ඕනෙ. හ්ම්ම්? ස්කෑන් එකට නේහා එක්ක යන්න. මතක ඇතුව බේත් විටමින් ඔක්කොම වරද්දගන්න එපා දැන්වත්.. මරනවා ඇත්තමයි කියන දේ අහන්නෙ නැති බකපණ්ඩිතකමට!! "

ආදර බැනුම් අතරින් දෑස පිසිමින් ඈට සමු දුන්නේ සෑහෙන අපහසුවකිනි. 

ඊටත් වඩා දැනෙන පාලුව මකන්නට වෙනත් මගක් නොපෙනෙන නිසා ලැබෙන හැම තත්පරයේම ඈට ඇමතුම් ගැනීම පුරුද්දක්ව ගොස්‍ ය.

" රශී.. නිර් මේ වෙලාවෙ නිදි.. "

" ඇයි ඒ? ඇඟට අමාරුයි කිව්වද?"

" නෑ නෑ එහෙම එකක් නෑ. ඊයෙ රෑ නින්ද ගිහින් නෑ"

නේහා සිනාසෙන්නේ හේතුව දන්නා නිසා බව නොදත් රශිඳු තවත් කුමක් හෝ භයානක හේතුවක් සිතමින් පත්තු වෙයි.

" ඒකනෙ කිව්වෙ ඩොක්ටර් ගාවට යන්න කියලා.. ඔයාලා පිස්සුනෙ කෙලින්නෙ. උඹල එකෙක්වත් මගේ කෙල්ලව හරියට බලන්නෙ නෑ.. "

නේහාට සිනා මුත් මේ චෝදනාව ඉවසිය නොහැක.

" අනේ මේ! පුදුම වැඩක්නෙ මේක. කොච්චර කලත් බනිනවා.. නිර්ට නින්ද ‍යන්නෙ නෑ කියලා ඩොක්ටර් ගාවට ගිහින් වැඩක් නෑ. ගොඩ වෙදකමක් කරන්න වෙන්නෙ.. අපි මේ ලොකු පිලෝ එකක් ගන්න යන්න ඉන්නෙ"

අග කොටස ඇසූ සැනින් නිර්මලී කියූ දෙයක් හා එය ගැලපී ගිය නිසා රශිඳුගේ අමනාපය හිරු දුටු පිනි මෙන් අතුරුදහන් වී ගියේය. ඈට නින්දට තමන්ට තුරුල් වන්නට අවැසි බව කියූ විට හදවත නැඟූ වේදනාත්මක හඬ නැවත ඇසී රශිඳුගේ නෙත් මදක් තෙත්වී සුසුමක් සැළුනි.

' තව ටික දවසයි baby girl.. ඉවසන්න'

දිමුත්ගේ බිරිද ශෂී සමඟ පළමුව ගොස් හමුවූ වෛද්‍යවරිය නිර්මලීට තරවටු කලේ බෙහෙත් හරිහැටි නොගන්නා අතරතුර නොසැලකිලිමත් වීම නිසා වුවත් කඳුළු පුරවාගත් නිර්මලී එයට දුන් පිලිතුරෙන් හදවත මදකට නතර වූවාක් මෙන් දැනුනි.

"  මගේ වයසත් එක්ක මට තව කල් අරින්න බෑ. රිස්ක් එක තියෙන්නේ අම්මටනෙ ඩොක්ටර්.. මේක මගේ යුතුකම, රශීගේ අයිතිය. නැතිනම් පව්!"

රශිඳුගේත් , නිර්මලීගේත් අහිමි වූ දරුවා ගැන ශෂී පලමු වරට දැනගත් ඒ මොහොතේ ඈට නිර්මලී බදා හඬන්නට තරම් දුකක් දැනුණි. 

' මෙච්චර හිතේ හය්යක්?? තමන්ගේ ජීවිතේ පරදුවට තියන්න? '

ඒ හේතුව නිසාම මොන වැඩක් තිබුණක් ශෂී ඈ සමඟ පළමු ස්කෑන් එකට යන්නට පැමිණි නිසා නිර්මලීට දැනුනේ පහසුවකි. පොඩි දේටත් කලබල වන නේහාට වඩා කල්පනාවෙන් සහ පරෙස්සමින් වැඩ කරනා ශෂී සමඟ ඒ ගමන යනවාට රංග පවා කැමති විය. ඒ වෙනුවට නිර්මලීගේ කාර්‍යාල කටයුතු වලට සහය වන්නට ඈ එකඟ වූයේ ඒ වනවිට ඈ රැකියාවට සමු දෙන්නට තීරණය කොට තිබුනු නිසාය.

පළමු ස්කෑන් එක සඳහා නිර්මලී සිටියේ මදක් තැතිගැන්මකින් වුවද එය පාලනය කරගත්තේ මේ සියල්ලටම තමා පුරුදු වී සිටිය යුතු නිසාය. 

ස්කෑන් එක කරන මොහොතේ රශිඳු සිටියේ තරඟයක් අතරතුරය.

යටි උදරය මත ආලේපකල සීතල ජෙලිමය ආලේපය මතින් ඒ මේ අත ගමන් කරනා යන්ත්‍රය පෙන්වන දර්ශනය දෙස නිර්මලී බලා සිටියේ ගැහෙනා හදෙනි. 

".. ආ මේ ඉන්නේ.. මේ මෙයා හොඳට ඉන්නව.. හ්ම්ම්.. අපිට හාට් බීට් එකත් ඇහෙනව.. හ්ම්ම්.. ඇහෙනවද.. කිසිම ප්‍රශ්නයක් නෑ මිසිස් ගෝකුල බබා හොඳටම ඉන්නවා.. හ්ම්ම් අපිට.. හ්ම්ම් පොඩ්ඩක් ඉන්න.. "

වෛද්‍යවරියගේ මුහුණ සැනින් වෙනස්ව ගිය අතර ඇගේ අත එකම තැන ඒ මේ අත ගියේ කලබලයෙනි. 

"ඇයි ඩොක්ටර් ?? ඇයි ?"

කිසිවක් කතා කරගත නොහැකි නිර්මලී වෙනුවෙන් හඬ අවදි කලේ ශෂීය. නිර්මලී ඇගේ අත තදකොට අල්ලා ගත්තේ තැතිගැන්ම නිසාමය.

" oh my god.. මිසිස් ගෝකුල.. I have a news for you.." 

නිර්මලීගේ හිස බමණවා සේ දැනුනද ඈ දෑස දල්වා, දෙකන් විදහා වෛද්‍යවරිය දෙස බලා සිටියාය.

------------------------------------------------------

ඉන් හෝරාවකට අනතුරුව නිර්මලීගේ නිවස දක්වා ඉතා ප්‍රවේශමෙන් රිය පදවමින් උන් ශෂී සියවන වරටත් නිර්මලී දෙස බලා හඬ අවධි කළාය.

".. නිර්.. ප්ලීස්.. අපි මේක රශීට "

" නෑ..නෑ.. එයාට කියන්නෙ නෑ!"

නිර්මලී නැවතත් මුරණ්ඩු හඬින් පැවසුවේ දෑසින් උතුරා යන කඳුළු ගංගාව මදක් පිස දමමිනි.

" නිර්! තේරුම් ගන්න පැටියෝ.. ඔයා ඉමෝශනල් වෙලා බෑ.. අපි මේක රශිඳුට කියලා තීරණයක් ගන්න ඕන.. "

" බෑ! බෑ! බෑ!!"

නිර්මලී මහා හය්යෙන් කෑ ගැසුවේ ආවේගයෙනි. ඈ මේ මොහොතේ හැකි උපරිමයෙන් සංසුන් සහ චිත්ත විවේකයෙන් සිටිය යුතුය. ඈ හඬන්නේ වෛද්‍යවරිය ලියූ දේවල් වලට පමණක් නොවේ. 

කෙතරම් කීවද නිර්මලී මේ පුවත රශිඳුට කියන්නට සූදානම් වූයේ නැත. එහි ඇති අවදානම ගැන වගක්වත් ඈ කනකට ගත්තේ නැතුවා පමණක් නොවේ හඬමින් ඉල්ලා සිටියේ මේ රහස වෙන කිසිවෙකුට නොපවසන ලෙසයි.

" එහෙම කරන්නෙ කොහොමද නිර්.. ඇත්තටම පිස්සුද? ඔයා දන්නවද ඔයා මේ කරන්නේ අන්තිම පිස්සු වැඩක් කියලා "

" රශිඳු එන්නේ තව මාසෙකින්. ඒ වෙනකොට ඔක්කොම හොඳ වෙලා තියෙයි.  අනික තව මාසෙකින් පස්සේ මොකක් උනත් ඇබෝට් කරන්න බෑ! මම දෙන්නෙ නෑ එහෙම කරන්න !!"

නිර්මලීගේ ඒ වදන් ශෂීගේ හදවත පසාරු කරගෙන ගියාක් මෙනි. දෙවියනේ මේ හිතුවක්කාරි හිතන්නේ කුස තුල සිටිනා ජීවියා ගැන පමණි. එතකොට ඇගේ ජීවිතේ ??

" හොඳ වෙන්න? නිර් ඔයාට පිස්සුද නිර් මේක අනවශ්‍ය රිස්ක් එකක්.. ඇහුනේ නැද්ද ඩොක්ටර් කියනවා. සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. එයා උනත් කිව්වේ නැතුව වගකීමක් ගන්න බෑ කියලා. අනේ නිර් පොඩ්ඩක් මම කියන දේ අහන්නකො"

කෙතරම් ඇවිටිලි කලද නිර්මලී ඒ ගැන වගක්වත් නොමැතිව තමාගේ මතයේම සිටියේ අතිශය හිතුවක්කාර ලෙසිනි. ශෂීට දැනුනේ මහත් පීඩනයකි.

".. ශෂී.. මම ගැන ඔයා විශ්වාස කරනවා නේද? මමත් ඔයාව විශ්වාස කරනවා. ඒකයි මම ඔයාගෙන් මෙහෙම ඉල්ලන්නෙ.. මේක දන්නෙ ඔයයි මායි විතරයි ! රශිඳු ගැන මම බලාගන්නම්.. ඔයා දිමුත්ට වත් කියන්න එපා.. ප්ලීස්.. මට මේ උදව්ව කරන්න.. ප්ලීස්"

තමාගේ දෑතම අල්ලාගෙන ඈ කල ඉල්ලිම ඉවත දමා ගන්නට නොහැකිව කෙතරම් අසරණ උනාද?

" නිර්... අනේ ළමයෝ.. ඇයි මේ මෙහෙම දෙයක් තමන්ට කරගන්නෙ? අනේ කෙල්ල මගේ පපුවත් රිදෙනවා"

" ශෂී.. මේ අහන්න.. රශිඳු මම වෙනුවෙන් කරපු දේවල් එක්ක බැලුවාම මේක බොහොම පොඩි දෙයක්. මේ ඉන්නේ රශිඳුගේ ලේ.  ඒ ඉන්නේ කවුරු ; කොහොම උනත් මට එයාව ආයෙමත් නැතිකරගන්න බෑ. ඔයාට හේතුව නොකිව්වට කලින් ඒ හැමදේම උනේ මගේ වරදින්. මේ රිස්ක් එක මගේ වරදට මම දෙන දඬුවම. දෙවියන් විස්වාස කරනවා මම.. දෙවියන් මට උත්තර දෙයි. 

රශිඳු වගේ කෙනෙක් එක්ක ජීවිතේ බෙදාගන්න ලැබුන එක මම කීයටවත් නැතිකරගන්නේ නෑ. මම එයාව බලාගන්නම්.  ඔයා මේ ගැන කාටවත් කියන්නෙ නෑ කියලා පොරොන්දු වෙන්න!"

වෙන යමක් කරගන්නට නොහැකි නිසා ඒ රහස එලෙසින් දෙමිතුරියන් දෙදෙනා අතර ඒ ලෙස සැඟව ගියේ එලෙසිනි.

නොඉවසිල්ලෙන් බලා හිඳ සිය තරඟයේ ඉසිඹුවක් ලද සැනින් ඈ ඇමතූ රශිඳුට , තෝරාගත් පින්තූර කිහිපයක් ඈ පෙන්වද්දී බොරපාට ඇස්වල රතු පැහැය බොඳවී යනු දැක නිර්මලී තමා ගත් තීරණය නිවැරැදි බව තීරණය කළාය. 

" ඒ ඉන්නේ කොල්ලෙක්! මට හොඳටම විශ්වාසයි!"

අරුමය නම් ඔහුගේ පියාගේ වදන් එලෙසින්ම රශිඳුගේ මුවින්ද පිටවීමයි. 

ඇමතුම නිමා කොට නිදහසේ ඔවුන්ගේ බැල්කනියේ සිට රාත්‍රී අහස දෙස බලාගෙන , රශිඳු නොමැති සෝෆාවේ අන්තය සෙමෙන් පිරිමදිමින් නිර්මලී සැනසුම් සුසුමක් පිටකලේ රශිඳුගේ කඩවසම් මුහුණ සිය දෑස් ඉදිරියේ අහසේ ඇඳී - මැකී යද්දීය. 

' කිකී.. ඔයා වෙනුවෙන් ඉතුරු කරලා යන්න දෙයක් මගේ ගාව දැන් තියෙනවා'

.

.

.

ඊට වසර ගණනාවකට පසුව තමා ඉදිරියේ විමතියෙන් මෙන් බලා සිටිනා ටීනේජ් ජේකේ වෙත වේදනාත්මක සිනාවක් පා කරමින් නිර්මලී ඔහුගේ දෑත සිය දෑතට මැදිකරගත්තේය.

".. එහෙම තමයි.. තමන්ට ආදරේ කරන කෙනෙක්ට හදවතින්ම බැඳුනාම. ඒ බැඳීම වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න සූදානම්.."

" ඩඩා එහෙම නෑ කියලාද නිර් කියන්නේ? ඩඩාගෙන් වෙච්ච වැරදි වලට නිර්ට සමාවක් දෙන්න බෑ කියලාද එහෙම කියන්නෙ?"

ඔවුන් ඒ වනවිට සිටියේ සංචාරකයින් අතර ජනප්‍රිය වූ Otaihanga Domain හි සුන්දර දර්ශනයක් සහිත බංකුවක සිට සිය දුරකතනයෙන් ලබාගත් ජායාරූප නරඹමිනි.

".. නිර්ට විතරක් නෙවෙයි. මටත් සමාවක් දෙන්න හිතෙන්නෙ නෑ. එයා මට මගේ අම්මව නැතිකලා. ඊට පස්සෙ.. ඊට පස්සෙ.."

නිර්මලී කුඩා විප්ලවකාරයාගේ අතක් සෙමෙන් ගෙන පිරිමදින්නට වූවාය.

" ජේකේ... ඩඩා පව්.. "

" එයා ඔයාට ආදරේ කලේ නෑ නිර්. මට දැන් ඒක හොඳටම පැහැදිලියි ඒක. ඔයා ආදරේදි කරන කැපවීම් එක්ක බැලුවාම ඩඩා කියන්නේ තනිකරම ආත්මාර්ථකාමී කෙනෙක්.. He deserve what he is now!" 

නිර්මලීට සිත නොරිදුනා කියන්නට නොහැකිය. මේ විප්ලවකාරී කොල්ලා තනිකරම පියා මෙන් කිව්වොත් කිව්වා බව ඈ හොඳින් දනී. අද මේ ගමන යොදාගෙන මුළු දවසම ඔහු හා ගතකරන්නට තීරණය කලේ ඔහුගේ ඒ අසීමිත මුරණ්ඩුකම පහසුවෙන් මේ සියල්ල තේරුම් නොගන්නා නිසාමය. 

' මුරණ්ඩු ජාන වලට එකතු වෙච්ච තවත් මුරණ්ඩු ජානයක්'

එලෙස තමයි ජේකේ ගැන ඔහුගේ පියා තමා සමඟ පැවසුවේ. ඒ මොහොතේ ඔහුගේ වියපත් මුහුණේ ඇඳුනු අසරණ සිනාව සිහිවී නිර්මලී විපිලිසර වූවාය. 

"ඩඩා selfish කියන එකට මට උත්තරයක් නෑ ජේකේ. අපි හැමෝම තමන් වඩාත්ම ආදරේ කරන දේවල් වලදී ආත්මාර්ථකාමීයි. බලන්න.. ඔයත් දැන් ඔය කරන්න හදන්නේ ඒ වගේ දෙයක්නෙ. ඩඩාව දාලා එහෙම move out වෙන්න එපා. එයා තනි වෙයි"

ජේකේ එක එල්ලේ නිර්මලී දෙස බලා සිටියේ සිත තුල තෙරපෙන ඒ වචන වලින් මුලින්ම පිට කරන්නේ කුමක්දැයි සිතමිනි. 

" ඩඩාට මගෙන් සමාවක් ලැබෙන්නෙ නෑ නිර්.. "

ඒ හඬ ස්ථීරසාරය; ඔහුගේ පියා තරමටම මුරණ්ඩුය. එසැනින් ඒ ඇස්වල ඇඳුනේ නිර්මලී වෙනුවෙන් ඉපදුනු සුපුරුදු දාරක ස්නේහයයි.

".. නිර්.. Can i ask you something ?"

නිර්මලීගේ හිස තුල රතු එළියක් දැල්වුනේ ඒ මොහොතේය. ඉතිහාසය නැවත සිදුවන්නට යනවාද? රශිඳුගේ ඔරවාගත් මුහුණ ඈ ඉදිරියේ නැවත දර්ශනය විය.

"..  Baby girl.. ඔයා අද ඔය ගමන යනවානම්..  ආයෙ මේ ගෙදර එන්න හිතන්නවත් එපා. අඩියක් එළියට තියන්නවත් එපා!"

රශිඳු විසින් තමාට එල්ලකල අභියෝගාත්මක කඩඉම් පැනය විසින් සිය දෙපා මදක් නතර වූවද, එසැනින් නිර්මලී සිය දෙපා නොනවත්වා ප්‍රධාන දොරටුවෙන් පිටතට තැබුවා ය. 

' එයා දැනගෙන හිටියා මේ ගමනේ අවසානය මොකක්ද කියලා... '

නිර්මලී එලෙස සිතද්දීම ඇගේ සවන් වැකෙන්නේ රශිඳු අනුමාන කල ; තමාත් හොඳින්ම අනුමාන කරනා වැකියයි. 

--------------------------------------------

නැවතත් වර්තමානයේ.. 

කණ්ඩායමේ මෙන්ම රටේද ක්‍රිකට් සඳහා වූ නොයෙකුත් කැළැඹිලි සහගත පුවත් නිසා රශිඳු මෙන්ම දිමුත්ද සිටියේ සෑහෙන ආතතියකට ලක්වෙමිනි.

පිට පිටම වූ තරඟ පරාජයන් හමුවේ දිමුත්ගේ නායකත්වය ප්‍රශ්න කෙරුනි නිසා ඔහුට නායකත්වය අහිමිවී ගිය අතර එතෙක් නොපැවති පීඩනයක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සඳහා සහ ක්‍රීඩකයින්ගේ ක්‍රියාකලාපයන් ගැන තැන් තැන් වලින් පැන නඟින්නට විය. 

අසාර්ථක පිතිකරුවන් දෙදෙනෙකු දිගින් දිගටම කණ්ඩායම තුල තබා ගැනීම නිසා එදිරිමාන්න ඇතුළු පාලක මණ්ඩලය කාගේත් අප්‍රසාදයට පත්ව තිබුණු මුත් එදිරිමාන්න ඒ ගැන කිසිදු තැකීමක් කලේ නැත. ඔහුට මුදල් මෙන්ම දේශපාලන ශක්තියක් ඇති බව නොරහසක් වුවද ඔහුගේ හෙංචය්යන් සෑමතැනම ඇති බව රහසක් වූ නිසා සැවොම සිටියේ අවිනිශ්චිත බවකිනි.

මේ කලබල නිසා ඉන්දියානු සංචාරයෙන් පසුව රශිඳු සිටියේ සෑහෙන ආතතියකට ලක් වෙමිනි. සිය වෘත්තීය අවදානමකට පත්ව සිටීමත් සිය බිරිඳ සිය ප්‍රථම දරු ප්‍රසූතියට සූදානම් වීමත් යන දෙකම පමණට වඩා පීඩනයකි.

".. කිකී.. මගේ ගැන බලන්න ශෂී, නේහා, රංග , හිරාන්... මේ ඔක්කොම ඉන්නවනෙ.. ඔයා ඔයාගෙ කැරියර් එක ගැන බලාගන්න.. හැමදේම හොඳින්!"

සිය දෙවන ස්කෑන් පරීක්ෂණය සඳහා වූ දිනයත් මගහැරෙන බව දැනීමෙන් දඟලන රශිඳු දෙස බලා නිර්මලී පැවසුවේ ආදරයෙන් හිස අතගාමිනි.

රශිඳු ඈ සිය ලයට තද කරගත්තේ ගැහෙන හදෙනි.

" ඒ උනාට baby girl මට හරි බයයි.. ඔයා මේ පණ්ඩිතයා වගේ බණ්ඩියක් ලෑස්ති කරගත්තට.. මම ඉන්නෙ හරි බයෙන්. මට මතක් වෙන්නෙම අර ඉන්ඩියන් ඩොකී කිව්ව දේවල්.. ඔයා එතනටත් යන්න බැ කියන්නේ තියෙන හිතුවක්කාරකමට !"

නිර්මලීගේ ගැහෙන සිත දහස් වාරයක් ඔහුගෙන් සමාව ඉල්ලමිනි.

" අනේ රශී.. එහෙම නෑ මම මේ හොඳට ඉන්නේ.. මම ඇප් එකක් දාගෙන බෙහෙත් ; විටමින් වෙලාවට බොනවා.. හොඳ ළමයෙක් මං"

හිස මත සිපුමක් තැබූ රශිඳු ඇගේ කුස මතද සිපුමක් තබා ඈ අසළ දණගසා ගත්තේය.

" ආදරෙයි baby girl.. "

අනතුරුව ඈ තමාගේ කලවයක් මත වාඩිකරවා මෘදුව තුරුල් කරගත්තේ ආදරයෙන් ඇගේ දෙතොල් සිපගනිමිනි.

"..රෑ තිස්සේ ඔයා කෙඳිරි ගානවා.. මට බයයි දෙවියනේ.. ඩොක්ටර් ට කියන්නකො අපි වෙන පිලෝස් ගන්න ඕනෙද අහන්න අදත්! ඔයාගෙ බණ්ඩිය ඔච්චර ලොකු ඇයි අහන්නකො.. අර ටීම් එකේ මෙන්ඩාගෙ වයිෆ්ගෙ බඩ ඔච්චර ලොකුවට තිබ්බෙ නෑ කියලා ඌ ඊයෙ මට කිව්ව.. වෝට බෑග් කතාවක් කිව්ව මට තේරුනේ නෑ. ඔයා අහනවද එහෙනම්.. ඔයාගෙ මහලොකු ඩොකීට කෝල් කරනවට මේ මැඩම් කැමති නෑනෙ!"

"හ්ම්ම්.."

රශිඳුගේ කකුල හිරිවැටෙන්නට ආසන්න වූයේ නිර්මලී දැන් බරින් වැඩි නිසාමය.

" බරයි නේද? "

නිර්මලී නැඟිට රශිඳු දෙස ආදරයෙන් බලා ඔහුට රිසි සේ ඇගෙ ලැම තුල සිය හිස සඟවා ගන්නට ඉඩක් ලබා දුන්නේ ආදරයෙනි.

" කිරි සුවඳයි baby girl.. ඔයා ගාව අම්ම සුවඳයි දැන්.. රස්නෙයි; සනීපයි..."

නිර්මලීගේ කඳුළු වලකා ගනිමින් ඈ සිනාවක් නගා ගත්තේ සුසුමට ඉඩක් ලබා නොදෙමිනි.

" බයවෙන්න එපා රශී... අපිට දෙවියන් වරදක් කරන්නෙ නෑ. අද මම ශෂී එක්ක යන්නම්කො.. "

මෙතරම් දෛවය තමා සමඟ භයානක සෙල්ලම් කොට තිබියදීත් නිර්මලී එලෙස පැවසුවේ ඒ විශ්වාසය දෙවියන්ටත් වඩා ඇතුලාන්තය තුලින් ආ බැවිනි.

' මේක රශිඳුගේ අයිතිය. අනූජගේ හීනය.. මගේ ගැන හිතපු රශිඳු වෙනුවෙන් මට පුලුවන් මේ ඔක්කොම ඉවසන්න. ඇඟට දැනෙන්නේ ලේසි පාසු අමාරුවක් නෙවෙයි. රශීට පෙන්නුවේ නැති උනාට හීනෙන් කෙඳිරි ගෑවෙන්නේ ඒ හින්දා වෙන්න ඇති'

එදින ස්කෑන් පරික්ෂණයෙන් පසුව ශෂී හොඳටම නිර්මලීට දෙහි කැපුවේ ඇගේ අවදානම ගැන වෛද්‍යවරිය කියූ කාරණා වලට අනුව ඇගේ සැබෑ තත්වය රශිඳු විසින් වහාම දැනගතයුතු බවට දෙස් දෙවොල් තබමිනි 

" නිර්.. ඔයා ඔච්චර හිතුවක්කාර වෙන්නෙ ඇයි ? රශිඳු දැනගත්තොත් එයාගෙ පපුව පැලෙයි. රශිඳු කොච්චර ආදරේද ඔයාට"

නිර්මලීට ඊට පිලිතුරක් නොතිබුනු නිසා බිම බලාගත්තේ යටිතොල සපමිණි.

" රශී ඉන්නේ ලොකු ප්‍රෙශර් එකක ශෂී. ඔයාටත් තේරෙනව ඇතිනෙ කැප්ටන්සි නැති උනාම දිමුත්ට කොච්චර අමාරු උනාද කියලා. මට මේකත් රශීගෙ ඔලුවට දාලා අවුල් කරන්න ඕන නෑ. අර එදිරිමාන්න රශීගෙ වැරැද්දක් හොය හොය ඉන්නෙ. පිරිමි අපි වගේ නෙවෙයි , ගොඩක් දේවල් වලට ෆෝකස් කරන්න බෑ. මට ඕනේ රශීගේ හීනෙ ඉටු කරන්න. ඒකට මම කැරියර් එක දීලා ඉවරයි. ජීවිතේ උනත් දෙන්න සූදානම් "

ශෂීගේ හිත පත්තු වූ තරමක්!

" ඒ උනාට කවුරුහරි මේ ගැන දැනගන්න ඕන.ඔයා අකමැති උනත් මම කියනවා.. චඃ වෙලාවට හිමාල් අය්යාත් නෑනෙ... "

" අනේ ප්ලීස් මේ ගැන රශීට කියන්න එපා !! එයා තෝරගන්නෙ මාව කියලා මම දන්නව.. අනේ මට මගේ දරුවව ඕන ශෂී!! ඒ දරුවා මොන විදියට ආවත් මට එයාව ඕන!!!! මට පොරොන්දු වෙන්න ඔයා ඒ ගැන කාටවත් කියන්නෙ නෑ කියලා !"

නිර්මලීගේ ආයාචනය ශෂීගේ සිත පාරයි. තවත් නොයෙකුත් කරුණු කියා ඈ බිය කරන්නට ගත් තැතද ව්‍යර්ථ වී ගියද අවසානයේ බලාපොරොත්තුවක් පැමිණියේය.

"ඔයාට ඕනෙම නම් මම රංගට මේ ගැන කියලා තියන්නම්. රංග එහෙම කලබල වෙන කෙනෙකුත් නෙවෙයි. නේහා ගොඩක් කලබලයි. රංගට තේරුම් කරවන්න මට පුළුවන් වෙයි"

එය යම් සහනයකි. 

එදින රශිඳු නිවසට පැමිණියේ බොහෝ රෑ බෝවීය. ඒ වනවිට අපහසුවෙන් සිට ඈ කෙරෙහි නින්ද පැමිණියා පමණි. නමුත් ඈ නින්දේම සිටියේ රශිඳු වෙතින් සඟවන කරුණු ගැන ඇති වරදකාරි බව නිසාමය.

ඇඟ සෝදා පිරිසිදුව පැමිණි රශිඳු සයනයේ විවෘත පැත්තට හැරී නිදනා නිර්මලී අසළින් බිම හිඳගෙන මද වේලාවක් නිර්මලීගේ පිරිපුන් මුහුණ දෙස ආදරයෙන් බලා සිට මෘදුව ඈගේ දෙතොල් සිප ගත්තේය.

' ආදරෙයි baby girl.. මේ ඔක්කොම ඔයා නිසා.. මගේ ජීවිතේ මොන කරදරය ආවත් මම ඔයාව නැති කරගන්නේ නෑ. මගේ ප්‍රින්සස්! මට ලස්සන බෝල පුතෙක් දෙනවා කියලා ශුවර්.. නෑ නෑ ඔයා වගේම කොණ්ඩේ කැරළි ගැහිච්ච ලස්සන කෙල්ලෙක්! ඔය වගේම ලස්සන ඇස් තියෙන, හුරතල් කෙල්ලෙක්!! ඒකද මැණික මට ජෙන්ඩර් එක බලන්න එපා කිව්වෙ..  මට ඕනෙ කොල්ලෙක්.. නෑ කෙල්ලෙකුත් ඕන.. අපි තව බබාලා හදමු.. තුනක්ම හදමු... ඔයා මට ලස්සන බෝල බබාලා දෙයි.  මගේ ජීවිතේ සතුටින් පුරවයි!'

රශිඳු මෘදුව ඒ කුස මත අත තබද්දී ඒ තුලින් ආ තෙරපුම නිසා නිර්මලීද ගැස්සුනද ඈ නොසෙල්වී නින්දේ මෙන් උන්නේ රශිඳුගේ ප්‍රතිචාරය බලන්නටය.

" අම්මෝ.. පයින් ගැහුව නේ ඩඩාට?? "

එසැනින් තවත් තැනකින් ආ පයින් පහර ඔහුට දැනුනි.

" ඔහ්.. කැරකි කැරකි පයින් ගහන්නෙ.. එක්කො විශ්නු දෙය්යො වගේ අත් ගොඩක් තියෙනවද ආ??"

නිර්මලීගේ හදවත ඇවිලී ගිය නිසා ඈ නින්දෙන් මෙන් අනෙක් පසට හැරෙන්නට උත්සහ කරද්දී රශිඳු ඇගේ හිස අතගා ඈ අසළම සයනයට නැඟ ආදරයෙන් ඈ තුරුල් කරගත්තේය.

".. මගේ සුරංගනාවී!! ආදරෙයි මහ ගොඩක්. උඹ නැතුව හුස්ම ගන්න බෑ baby girl.. "

ඇගේ ගෙලත් උරයත් ඔස්සේ පල්ලම් බසින ඒ උණුසුම් හාදුව ඇගේ දැල්වෙන ලාවා සිත තව තවත් ගිනියම් කරමිනි.

.

.

.

ඉන් වසර ගණනාවකට පසුව තවදුරටත් සඳළුතලයේ පුටුවකට බරවී උන් රශිඳු සුසුමක් සලා සිහි කරන්නේ ඒ මොහොතේ වත් නිර්මලී තමාගෙන් සැඟවූ රහස ගැන සිත තුල ඇතිවූ ඉච්ජාභන්ගත්වය සිහිපත් කරමිනි

' ඇයි ඒ වගේ සෙල්ලමක් කලේ baby girl..!? දන්නෙ නැද්ද මම ඔක්කොම විනාස කරනවා කියලා ඕක දන්නවා නම්!'

---------------------------------------------

" නිර් ඇත්තටම පිස්සුද?"

රංගට එසේ ඇසුනේ ඉබේටම සිය අසුනෙන් නැඟිට්ටවෙමිනි. රංගට තමන් සිටින්නේ කොහිදැයි ඒ මොහොතේ අමතකව ගියාක් මෙන් බර අඩි තබමින් පැමිණ නිර්මලීගේ දෙවුරෙන් අල්ලා ගෙන ඇගේ මුහුණට එබෙද්දී ඒ දෑසේ තිබුනු හැඟීම කුමක්දැයි එකවරම වැටහුනේ නැත. 

මොකක්දෝ අමුත්තක්!

" රංග.. රිලැක්ස්.. මේක මම ඔයාට විතරයි කියන්නේ... ඒ කියන්නෙත් රශිඳු ඔයාට ගොඩක් රෙස්පෙක්ට් කරන හින්දා. ඔයාට මාව තේරුම් ගන්න පුලුවන් කියලා හිතුන නිසා.. දැන් අනිත් අයට නෝට් වෙනව ඔයා පිස්සු කරන්න ගියොත්"

නිර්මලී එසේ පැවසුවේ පිරිස අතරේ සිටිමින් වරින්වර තමා දෙස බලා හාදු පාකර එවනා රශිඳු දෙස සාමාන්‍ය පරිදි සිනාසෙමිනි. 

ඔවුන් ඒ වනවිට සිටියේ නිර්මලීගේ හතලිස් එක්වන උපන්දිනය වෙනුවෙන් ලබාදෙන සුපුරුදු අනාථ නිවාසයේ දානය අවසානයේ , රශිඳුගේ බලවත් පෙරැත්තය නිසා නිවසේ පැවැත්වෙන ‍කුඩා චාම් සාදය තුලයි. හිමාල් හැරුණුවිට හිරාන්, නේහා හා රංග ඇතුලු පවුලේ අයත්, දිමුත් , ශෂී මෙන්ම තුශාරා සහ නව්‍යාද , අසල්වැසියන් කීප දෙනෙක්ද ඒ අතර වූ අතර කාලයකට පසුව හමුවූ ඔවුන්ට කතා කරන්නට නොයෙකුත් දේ තිබුනු නිසා නිර්මලී ඒ ඇසිල්ලේ රංගට කතා කරන්නට සිතා ඔහු පැන්ට්‍රියේ රැඳෙන මොහොතකට හොරගල් අහුලමින් සිටියාය. 

ගිටාර් වාදනයට සැරසෙන රශිඳු වෙනුවෙන් මහා හඬින් ඔල්වරසන් ඇසෙද්දී නිර්මලී දෙස බැලූ රශිඳු ඈට එන්නට කියා සන් කලද නිර්මලී හිස වනා එය ප්‍රතික්ශේප කලේ විවේකයක් අවශ්‍ය බව කියමිනි.

නිර්මලී වෙනුවෙන් එය රශිඳු කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ලබා දුන්නද ඈට තමාගේ ඇස් මානයෙන් යාමට ඉඩක් නැති නිසා ඈත් පැන්ට්‍රි කොටසට ඇවිද ආවේ එහි පනවා ඇති ඇගේ පහසු පුටුව වෙතය.

"නිර්.. මොන තරම් පිස්සු වැඩක්ද මේ? සොරි මෙහෙම කියනවට.. ඉපදිලා වත් නැති කෙනෙක් වෙනුවෙන් ඇයි මෙහෙම මෝඩ වැඩක් කරන්න හිතුවේ ?? මම ඒත් නේහාටත් කිව්වා ඔයා ප්‍රෙග්නන්ට් වෙච්ච එක ගැන බයයි කියලත්.."

රංග එලෙස පවසන්නේ එදින එම සංවාදය කෙලවර වූයේ නේහා ඔහු කෙරෙහි යම් අමනාපයක් සමඟ බව සුසුමක් හෙලා සිහි කරමිනි. 

" එහෙම එකක් නෙවෙයි රංග. ජීවිත අවදානම තියෙන්නේ මට.. ඊටත්.. බබාටත් complications ති-යෙ-න"

නිර්මලීගේ උගුර සිරවීගෙන එද්දී දෙඋරේ තිබුනු රංගගේ දෑත් වඩා තද විය.

" what do you mean"

" රංග.. ඔයා මට පොරොන්දුවක් වෙන්න ඕන.. මේක ලේසි පොරොන්දුවක් නෙවෙයි මම දන්නව.. නමුත්..  මේක මට ඕනම ජාතියේ පොරොන්දුවක්!"

" කියන්න නිර්! ඔයා වෙනුවෙන් මට කරන්න පුලුවන් ඕනෙ දෙයක් මම කරනවා!! You have my word"

මීට පෙරද ඔහු එලෙස ඉටුකොට ඇති නිසා ඒ ගැන සැකයක් නැත.

"ඩිලිවරි එකට තව මාස දෙකක්වත් නෑ..  වෙන්න පුලුවන් දේවල් දෙකයි.. එකක් තමයි ඩිලිවරි එකේදි මම මැරෙන එක.."

රංග තරයේ නිර්මලීගේ අතක් අල්ලා ගනිද්දී ඇගේ හඬ මදක් කැඩී ගියේය. නමුත් ඈ හුස්ම අල්ලා නැවතත් හඬ අවදි කළාය.

".. අනික් දේ තමයි.. හම්බවෙන දරුවා ආබාධිත වෙන්න පුලුවන්. ඩවුන් සින්ඩ්‍රෝම්.. නැතිනම් ඔටිසම්.. ඒත් නැතුව.. වෙන මොනවාහරි.. ඒත් මට එයාව ඕන... 

එහෙම උනොත් මම රශිඳුගෙන් වෙන් වෙලා ඒ බබාව හදා ගන්නවා. එයාට පුලුවන් වෙන කෙනෙක්ව මැරි කරන්න. මම එයාට චීට් කලා කියලා.. ඒක.."

ඒ මොහොතේ රශිඳු සිය ගිටාර් වාදනය අතරතුර රංග හා පැන්ට්‍රි කොටසේ කතා කරමින් උන් නිර්මලී දෙස බලමින් සිය ගායනය ආරම්භ කලේ සිත තුල උතුරා යන ප්‍රේමයෙනි.

ගෙ ජීවිතේ සතුට රැඳී තිබුණේ - තව කෙනෙකුන්ගේ නෙතු සඟලේ

හසරැල්ලේ යැයි සිතුනේ නෑ..... - දැණුනේ නෑ ඔබ දකින තුරා....

සුන්දරයි සිතූ සියලුම දෙයට වඩා - සුන්දරයි ඔබ....
අහිංසකයි කී හැමදේකටම වඩා - අහිංසකයි ඔබ....
මටම හිමිවෙලා... මා ලඟ ඉන්න සදා... මගෙ ජීවිතේ සතුට රැඳී තිබුණේ - තව කෙනෙකුන්ගේ නෙතු සඟලේ යැයි
හසරැල්ලේ යැයි සිතුනේ නෑ..... - දැණුනේ නෑ ඔබ දකින තුරා....'


" ඔය වැඩේ කරන්න එපා නිර්මලී.. ඔය දෙකෙන් මොකක් උනත් මූව පිස්සෙක් වෙලා නතර වෙන්නේ.. "

රංග සාමාන්‍ය වන්නට උත්සහ කරමින් සහ අපහසුවෙන් හැඟීම් හංගා ගනිමින් එලෙස පැවසුවේ ඈත සිට ඔවුන් සියල්ලන්ටම ඔවුන් දෙදෙනා පෙනෙන නිසාමය. 

නිර්මලී ශීතකරණය විවර කොට ඔරෙන්ජ් ජූස් බෝතලය පිටතට ගත්තාය. 

විසල් උදරයක් ඇති නිර්මලී ගර්භනී සමයේ තවත් පැහැපත්ව උන්නා මිස අතපය එතරම් තරබාරු වී නොතිබුනු නිසා වඩා රූමත්ව සිටියාය. පෙරදින රාත්‍රියේ සිට දෙපා ඉදිමී තිබුනු නිසා නිර්මලී සැමවිටම එය වැසෙන්නට නිදනකාමර සපත්තු පයලාගෙන සිටියේ පසුව චම්පාට කියා සම්භාහනය කරගන්නට සිතමිනි. 

වෙනදාට වඩා හුස්ම ගන්නට අපහසුය. මුලු ගතම මහා පීඩාවකින් පෙලෙද්දී ඈ නේහා විසින් දුන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරමින් සිතින් සන්සුන් වන්නට උත්සහ කළාය. 

' ඔව්.. බබා ගැන සැකයක් තියෙනවා නම් රශීට ඒ බර දෙන්න බෑ. මේක මගේ වරද.. මට පුලුවන් දරුවව හදන්න.. එයාට බොරුවක් කලා කියලා හිතුනාම අතාරින්න ලේසි වෙයි.'

අස්තිරයි සිතූ සියලු දෙයම බොරු වී - ස්තිරයි ඔබ...... කවි සිතකයි කී මගෙ ලොව පාලු මැකී - හිනැහෙනවා ඔබ... මටම හිමිවෙලා... මා ලඟ ඉන්න සදා... මගෙ ජීවිතේ සතුට රැඳී තිබුණේ - තව කෙනෙකුන්ගේ නෙතු සඟලේ යැයි හසරැල්ලේ යැයි සිතුනේ නෑ..... - දැණුනේ නෑ ඔබ දකින තුරා....


රශිඳුගේ හඬ පාවී විත් නිර්මලීගේ සවන්පත්වල වදිද්දී ඇගේ දෑස් රශිඳුගේ පෙම්වත් දෑස් හා ලොක්වී යන්නේ සැනෙකිනි. 

----------------------- මතු සම්බන්ධයි-------------------------

ප.ලි: කාලය අනාගතයේත් තියෙන නිසා සමහර වෙලාවට පැටලෙන්න ඉඩ තියෙනවා. ඉවසීමෙන් කියවන්න ඒවා ගොඩක් ලෙහෙයි ඉදිරියට 

4 comments:

  1. කරකවල අත ඇරලත් තියෙනවා. මෙහෙම එකක් නම් කවදාවත් වෙලා නැහැ.

    ReplyDelete
  2. මේ කතාකාරිගෙ හොබී එකද කොහෙද කියවන අපේ මොලේ කොලොප්පන් කරන එක. ඒ වුනාට ඉතින් අපි සැලෙයිද ඕවයින්.

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...