Saturday, July 16, 2022

341: උන්මාද චිත්‍රාදෝ මා 73




සටහන : මේ කොටසේ  සහ ඉදිරි කොටස් කිහිපයකම දින වකවානු ඒ මේ අත යන බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කියවන මෙන් ඉල්ලා සිටිමි.

එකවරම විවර වූ මුව එලෙසින්ම තබාගෙන රශිඳු ඇතිවූ කම්පනය දරන්නට මෙන් නිර්මලී දෙස බැලුවේ ය. සියල්ලෝම වෙනත් ග්‍රහලෝකයකින් පැමිණ ඇති ලෙසකින් ඇඳ පැළඳ සිටින්නේ ආරක්ෂාව පතාය.

" ඇන්ටිජෙන් එක පොසිටිව් සර්.. "
" දෙන්නගෙම?"
" නෑ.. ස.. සර්ගෙ විතරයි"
රශිඳුගේ මැර බැල්මට හසුවූ සේවකයාට වචන පැටලුනු සැනින් වෙනත් අයෙකු මැදින් පැන්නේය. 
" නෑ නෑ දෙන්නටම පොසිටිව්.. සර්.. මාස්ක් එක දාගන්න.. මේ ඇතුලේ තියෙන කාමරේට යන්න කරුණාකරලා..  පොසිටිව් අයව අපි ඉක්මනින් මෙතැනින් ඉවත් කරන්න කියලා උපදෙස් ලැබිලා තියෙන්නේ.."

දෙවනි සේවකයා එසේ පැවසුවේ දොර අසළ අවහිර කරමින් වෙනත් කාටවත් එන්නට ඉඩ නොදෙමිනි. කොවිඩ් වැළඳී ඇතිනම් කුටිය යලි ජීවානුහරණය කල යුතුය. 
මුඛවාඩම යලි දමාගත් රශිඳු ගල්ගැසී සිටියේ වාවාගත නොහැකි ලෙසිනි.
" ඉතින් අපිට කිසිම රෝගලක්ෂණයක් නෑනෙ! කොහොමද පොසිටිව් කියන්නෙ??"
නිර්මලී එසේ ඇසුවේ රශිඳු අඩපණ වී ඇති බව හොඳින් නිරීක්ෂණය කරමිනි. ඈ රශිඳුගේ අත වැරෙන් අල්ලා ගත්තේ ඔහුගේ කඩාවැටීම තේරුම් ගනිමිනි.
" අපිත් එක්ක තර්ක කරලා වැඩක් නෑ මහත්මිය. ඊළඟට කරන්න ඕනෙ දේවල්, නිරෝධායනය ගැන ඔක්කොම අපි සැලසුම් කරලා තියෙන්නේ.. කරුණාකරලා අපිට අපේ රාජකාරිය කරන්න දීලා අර කාමරයට යන්න.."
රශිඳුට එය ඇසුනේ සිහිනයෙන් මෙනි.

සියල්ල හමාරය! තමන් හා නිර්මලී වසංගතයේ ගොදුරක් වී ඇත. එහෙම කොහොමද උනේ? 

තමන්ට කොවිඩ් වැළඳී ඇතිනම් IPL සිහිනය මෙතැනින් අහවරය. තමන් මහා ප්‍රපාතයකට වැටෙනවා සේ දැනෙද්දී ඔවුන් සිටි කුටියේ පුටුවකට බරවී රශිඳු කතාවක් නොමැතිවම දෑතම හිස මතට බරකොට දෑස පියා ගත්තේය.

" ඔක්කොම ඉවරයි baby girl.. ( ගැඹුරු හුස්මක් අල්ලමින්) අපි ආපහු යමු. මට බය ඔයා ගැන. බේත් බොන ගමන්.."
නිර්මලී ඔහුගේ නළලත සිප ගත්තේ ආදරයෙනි.

" ෂ්.. ෂ්.. රශී..  මේ අහන්න... බයවෙන්න එපා.. මට කිසි ප්‍රශ්නයක් නෑ. බේත් පස්සෙ බොමු.. මුකුත්ම වෙන්නෙ නෑ මම ඉන්නවා ඔයාට"
රශිඳු වඩාත් බිය වූයේ ඒ වනවිට නිර්මලීට කොවිඩ් වැළඳීම ඈ දුර්වල කරනු ඇතැයි සිතුනු නිසාය.
"හොඳම හොස්පිට්ල් එකට යන්න ඕන ඔයා.. හරිද? පිස්සු නම් කෙලින්න එපා මම ටීම් එකේ උන් එක්ක නම් ඉන්නෙ නෑ"

නිර්මලීටද දැනුනේ පීඩනයකි. කොවිඩ් වැළඳීමෙන් රශිඳු දුර්වල වෙයිද? පොඩ්ඩක් ඉන්න.. මොනාද අර ටෙස්ට් කරපු එක්කෙනා කිව්වෙ?

'මට සැකයි.. එක්කෙනෙක් කිව්වා ඔයා විතරයි පොසිටිව් කියලා, පස්සෙ දෙන්නම කිව්වම අනිත් එක්කෙනා මාරු උනා.. ඉන්න මම දන්නව මොකක්ද කරන්න ඕනේ කියලා '

නිර්මලී වහා වෙව්ලන අතින් දුරකතනය ගත්තේ ඔහුගෙන් මදක් මෑතට වෙමිනි.
" මොකක්??? ඒ මොන කතාවක්ද ඒ? "
පුවත ඇසූ සැනින් දිමුත්ගේ හඬ උස්ව නැඟුන බැවින් නිර්මලී කුටියේ ඈතටම ගියේ රශිඳු සිටි මානසික කඩාවැටීම ගැන සැලකිලිමත් වූ නිසාය.

".. එහෙම වෙන්න බෑනෙ නිර්! ඔයාලා අපිත් එක්කමනේ හිටියේ. මට නෙගටිව්! අනිත් උනුත් නෙගටිව්! ඔයාල දෙන්න විතරක් පොසිටිව් වෙන්න බෑනෙ. මම ඒත් බැලුවා මොකද ඔයාලා පරක්කු කියලා "

අනතුරුව නිර්මලීට ඔවුන් රෝහලට ගිය බව කියන්නට සිදුවූයේ ඔවුන් වෙනත් ගමනක් නොගිය බවට ඔහු පිලිනොගන්නා තැනය.

" හ්ම්ම්ම්.. ඒත් නිර්. ගිහින් දවස් තුනක් වෙනවනෙ. ඒ හොස්පිට්ල් එකේ කිසිම කෙනෙක් පොසිටිව් නෑ. එහෙනම් එහෙට කියන්න වෙයි. ඇහුවද කොහෙද ගියේ කියලා ?"

" නෑ.. කිසි දෙයක් ඇහුවේ නෑ. සෙපරේට් රූම් එකක ඉන්නේ.. එයාලත් එක්ක කතාකරන්න බෑ."
අනතුරුව විනාඩි කිහිපයක සංවාදය අවසාන කල නිර්මලී රශිඳු අසලට පැමිණ ඔහුගේ උරයට බරවී , නිකටෙන් අල්ලා ඔහුගේ මුහුණ තමා වෙත හරවා ගත්තාය.
" රශී... "

කුඩා දරුවකු සනසන්නා සේ නිර්මලී ඔහුට සිය ලය තුල මුහුණ හොවාගන්නට ඉඩහැරියාය.
ඔවුන් එලෙස එකිනෙකාට තුරුළුව සිටියේ පීඩනය දරාගන්නට මෙනි. 
' IPL සුපිරි ක්‍රීඩක රශිඳු ගෝකුල සහ බිරිඳ කොවිඩ් පොසිටිව්. තරඟාවලිය අහිමිවන ළකුණු'

මේ පුවත ඒ වනවිටත් ලැව් ගින්නක් සේ සමාජ මාධ්‍ය ජාලාවල පැතිරී ඇති බවක් ඔවුන් නොදුටු අතර නොදන්නා අංක වලින් ඇමතුම් කීපයක් ආවද දෙදෙනාම ඊට පිලිතුරු නොදී උන්හ.

පැයකට පමණ පසු ඔවුන්ගේ කාමරය අසළින් ඇසුනේ IPL කණ්ඩායමේ නිල ප්‍රධාන වෛද්‍යවරයාගේ හඬයි. ඔහු සහ එතැන සිටි කිහිප දෙනෙක් උස් හඬින් වාග් ප්‍රහාරක නිරතවනු ඇසුනු නිසා නිර්මලී වහා ඒ දෙසට ඇවිද යද්දී තරමක කලබලයක් සේ දැනුන නිසා රශිඳුද ඉඳගෙන සිටි ආසනයෙන් නැගිට ආවේ සැනෙනි.

වෛද්‍යවරයාගේ හඬ උස්ව නැඟී ආවේ නොසරුප් වදන් වලින් දෙදෙරා යමිනි. තත්පරයක් පමණ සියල්ල මීයට පිම්බා සේ නිශ්ශබ්දව ගිය අතර තවත් තත්පර දෙකකට පසුව දොරෙන් ඇතුලට පැමිණියේ දිමුත් ය.

" බල්ලො! ( හුස්මක් අල්ලමින්)  වරෙං මචං යන්න.. බස් එක උඹල එනකල් නතර කරගෙන"

නිර්මලී විශ්මයෙන් මෙන් දිමුත් දෙස බැලුවේ මේ කතාවේ පෙර අපර ගලපන්නට මෙනි.

ඔවුන් එනතුරු සිටි සුඛෝපභෝගී බස් රථය පාමුල සිටි පුද්ගලයා දැකීමෙන් නිර්මලී මෙන්ම රශිඳුද විශ්මයෙන් ඇලලී ගියහ.

-----------------------------------------------------

තරඟාවලිය පුරාම දස්කම් දැක්වූ තුන් ඉරියව් ක්‍රීඩක රශිඳු ගෝකුල අවසන් වටය වන විටදී හොඳම පන්දු යැවීමට වූ දෙවන ස්ථානයත් , වේගවත්ම අර්ධ ශතකයන් අතුරෙන් තුන්වන ස්ථානයත් ලෙස වාර්තා තබා තිබීම නිසා මාධ්‍යවේදීන් සිටියේ ඔහු හා ප්‍රේමයෙන් වෙලෙමිනි. 

සෑම තරඟයක් පාසාම විකට්ටුවක් ලබා ගත් සැනින් ඔහුටම ආවේණික වූ අභිනයක් පා සිය දබර ඇඟිල්ලත් , මැදඟිල්ලත් මුවට ලංකොට ප්‍රේක්ෂකාගාරයේ සුවිශේෂී සුරූපීනිය වෙත පාකර හරිනා හාදුවත් , එය අතින් ගුලිකොට හදවතේ වම්පසට තදකොට ගන්නා දර්ශනයත් වැරදුනේ නැත.
' මගේ ශක්තිය , මගේ හුස්ම සහ මගේ ආදරේ!'

එලෙසයි ඔහුගේ මුවින් ඈ ගැන කියවුනේ.

' 🌎🌈🔥💫 ලෝකේ ලස්සනම වයිෆ් ඉන්නේ මට!'

Instagram ගිණුමේ එලෙසයි ඈ ගැන කියවුනේ.
.
.
.
.

ඉන් වසර ගණනාවකට පසුවත් දරාගත නොහැකි සීතලේ දුම්වැටියක් උරමින් , රශිඳු ගෝකුල ඒ මතකයන් හා එක්වන මොහොතේ මනසේ ඇඳෙන්නෙ ඇගේ ඒ ප්‍රේමණීය බැල්මයි.
' හිටියානම් සිගරට් එක ඇදලා විසි කරයි'

මුවඟට නැගෙන්නේ සිනාවකි. පොඩියට , ලස්සනට හිටියාට ඇගේ දඟකාර සැරවැර දන්නේ තමා පමණක් නොවේද?

නිවස පහළ කාලගෝට්ටිය මදකට නිමාවූ නිසා එතෙක් බලාපොරොත්තුව සිටි අමුත්තන් ඒ වනවිට පැමිණ ඇති බව වැටහුනද, රශිඳු තවදුරටත් සිය කාමරයට වී සිටින්නට තීරණය කළේය.

මේ සීතල; මේ පාළුව වඩ වඩාත් දැනෙන්නේ ඈ තමා අසළ නොමැති නිසාය. ඈ මේ මොහොතේ කුමක් කරනවා ඇතිද? ඊර්ෂ්‍යාවෙන් තමාගේ ගත පෙලා දමන තරම ඈ දන්නේ නම්...  


-----------------------------------------

එක අතකින් රශිඳු ගෝකුල වේගයෙන් තරුණියන්ගේ සිහින කුමරා වෙද්දී අනෙක් අතින් ඔවුන් දෙදෙනාගේ පවුල් ජීවිතය ගැන පලවූ නොයෙකුත් ජුගුප්සාජනක තොරතුරු සමාජ මාධ්‍යජාලා වල ඒ මේ අත සරන්නට වූයේ අසාමාන්‍ය ලෙසයි.
ගොසිප් පිටු වලට හෝ වෙනත් පුවත්පත් වලට පුද්ගලික සම්මුඛ සාකච්ජා ලබාදීම රශිඳු වහා නතර කලේ ඔහු නොකියූ අනවශ්‍ය කතාවක් ලියා තිබීමෙන් පසුවය.
අනතුරුව සිදුවූ සිදුවීම් රැස අතරින් නිර්මලී වේදනාවට පත්කොට තිබුනේ වසර විස්සකට ආසන්න කාලයක් තිස්සේ නැවත නැවතත් අළුත් කරමින් නොනවත්වා ප්‍රදර්ශනය කොට තිබුනු නිර්මලීගේ පින්තූරය සහිත දැන්වීම , CIMA පංති පවත්වාගෙන ‍යන ආයතනය විසින් ඇගේ වත්මන් ක්‍රියාකලාපය ගැන වූ අප්‍රසාදය නිසා ඉවත්කොට දැමූ බව දැනගත් මොහොතයි. 
'මිසිස් ගමනායක අපිට පබ්ලික් ෆිගර් එකකට ගන්න බෑ දැන්. '
ඈට ආරංචි වූයේ එලෙසය. 
අපහසුවෙන් නගාගත් සිනාව සමඟ මගහැර ගිය ඇගෙන් ඒ ගැන නොවිමසන්නට රශිඳු කල්පනාකාරී වුවද ඒ වේදනාව ඈ නානකාමරයේ කරාමය විවෘත කරගෙන ඇති තරම් හඬා පිටකරගත් බව අදටත් ඔහු දන්නේ නැත.

ඉන් වඩ වඩාත් ඔවුන් අතර වූ බැඳීම සහ ප්‍රේමණීය බව තිර වූ බව , වෙනදා මෙන්ම ඔවුන්ගේ ප්‍රසිද්ද ස්ථානවලදී එකිනෙකා වෙත හෙලනා සුවිශේෂී බැල්මෙන් හා හැසිරීමෙන් මොනවට ඔප්පු වෙමින් පැවතුනි.
' baby girl ඔයා තමයි මට වෙච්ච හොඳම දේ! '
' රශී.. මගේ ජීවිතේ සතුට සැනසීම !'

-----------------------------

දබරය වූයේ නිසැකයෙන්ම එන පරම්පරා ගැටුමයි. 
" රශී ඔයා ඔච්චර instagram එකේ පැයෙන් පැයට පින්තූර දාන්නෙ හැබෑටම පිස්සුද?"
ඒ ගැන වගක්වත් නොමැතිව රශිඳු ඒ මොහොතේත් පුහුණුවීම් අතරතුර ගත් ජායාරූපයක් එයට එක්කලේය. සැනින් එයට ලයික් කමෙන්ට් රැසකි. ඔහුගේ වතේ සිනාවට නිර්මලී ඔරවා සිටියේ දෑතම ඉනේ තබාගෙනය.
"..  රශී ඔයාට මම කියන දේ ඇහෙනවද? "
කොටිදෙනක් මෙන් රවාගෙන සිටිනා ඈ පසුකරගෙන යමින් කොපුලක් මිරිකා රශිඳු පාඩුවේ ගොස් ශීතකරණය විවර කළේය. 
".. ඒ මදිවට අර ක්‍රිකට් බෑග් එකේ තියෙන ඔක්කොම කාමරේ මැද්දෙ!"
" ආහ්.. මගේ ටී ශර්ට් එක හෙව්වා.. ඒක ඔයා හෝදන්න දාලා"
ගානක් නැතුව ඔහු කියන විට ඇගේ වත රතුවනු බලා ඉන්නට ආසා හිතෙයි. 
" නැතුව ඉතින්? IPL එකට ඇඳපුවත් නැතිනම් තාම බෑග් එකේ.. රශී මම ඔයාට රූම් එකක් දුන්නනෙ ඒවා දාන්න ! මේවා ඔක්කොම චම්පාට අස් කරන්න බෑ.."
රශිඳු ගානක් නොමැතිව සිටීමම ඈ තවත් තරහා ගස්සයි.
"..මොන කිලුට්ටෙක්ද මන්දා!"

බොමින් සිටි කිරි බෝතලය වහා නතරකොට , රශිඳු හිස හරවා සිටියේය.
" කවුරු?"
" කිලුට්ටා! "
" ආ.. එහෙමද මැඩම්! ආයෙ අල්ලන්නෙ නෑ මගේ ටීශර්ට්..! ටීම් එකේ ටීශර්ට් වලට අත තිබ්බොත් බලාගෙනයි!"

නිර්මලීට සිනාව පනින්නට ආ නිසා ඈ ආපසු හැරුණාය.
" මාත් ඉන්නව instagram එකේ.. හුහ්"
-----------------------------------------------

අකිත්මාගේ ලන්ඩන් උසස්පෙළ නිමවනවාත් සමඟ වීසා බලපත්‍ර ලැබීම නිසා අකිත් මලයාසියාවේ විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට විදෙස්ගත විය. හදවත පුරා දැනෙනා වේදනාවෙන් ඔහුට සමුදුන් නිර්මලී දැක හිමාල්ගේද දෑස තෙත්වී තිබිණ.

අකිත්මා සමඟ ඔහු ඇරලවන්නට හිමාල්ද ගිය නිසා නිවස පාළුවට ගිය මුත් නිර්මලී ඊට හුරුවන්නට උත්සහ කළාය. වරක් සහ දෙකක් දිමුත් හා රාත්‍රී ආහාරයට ඔවුන් එක්වූයේ නිවසම ජීවයෙන් පුරවමිනි. ඉතිරි දිනවලද රශිඳුගේ දඟකාර පෙම්වත් බවින් හැඩ වී තිබුණු නිසා දෙදෙනා සිටියේ ඒ නිදහස ඇති තරම් විඳිමිනි. 
බොහෝ උදෑසනවල් වල මාලතී බලන්නට යන රශිඳු අත ඈට අවශ්‍ය කෑම වේලක් යවන්නට නිර්මලී උත්සුක වූයේ තමා සමඟ කතාබහ නොකලද, රශිඳුගේ තෝරාගැනීම නිහඬව ඉවසූ රශිඳුගේ අම්මාට ඇති හදපිරි ගරුත්වය නිසාමය. නමුත් ලේලිය සමඟ වදනක් හෝ දොඩන්නට මාලතී නොඒම රශිඳු වේදනාවට පත්කල බව නොරහසකි. 
' කොවිඩ් කියලා බොරුවට අපිව හිරකරපු වෙලාවේ, නිර් නොහිටින්න මම මාර විදියට වැටෙනවා අම්මා'

අනතුරුව සිදුවූ ගොඩක් සිදුවීම් වලදීත් නිර්මලී තමාටත් වඩා ශක්තිමත් බව රශිඳු තේරුම්ගෙන තිබිණ. තමාගේ තේරීම නිවැරදි බව ඔහු තව තවත් හද පතුලෙන්ම තහවුරු කොට සිටියේය.

ප්‍රේමය යනු එයද? වඩ වඩාත් තම ප්‍රේමිය වෙනුවෙන් දිනෙන් දින , මොහොතින් මොහොත ඇලී ගැලී සිටීම?? තව තවත් ඈව හදවතින් අල්ලාගෙන සිටීම හා යථාර්ථය ඔස්සේ ඇතිවන මතගැටුම් වලට වැටි වැටී හෝ මුහුණ දෙමින් ඉදිරියටම යාම?

වැඩිහිටියන් බොහෝ දෙනා පැවසුවේ නිර්මලී යනු ඔහු කරනා ලොකුම වැරදි තෝරාගැනීම බවයි. නමුත් හදවතට දැනෙනා ප්‍රේමය , පිටතින් පෙනෙනා හුදු ලිංගික තෝරාගැනීමට අභියෝගයකි. මිනිසුන් මුලදී එවන් දෙයකදී පළමුව පහර දෙති. හැකි සෑම විටෙකම කොනිත්තමින් හිත හූරා යන වචන වලින් දමා ගසති. එයින් වන වේදනාවන් හෝ මානසික කඩාවැටීම් ගැන කිසිදු අනුකම්පාවක් නැත්තේමය.

තමන්ට වඩා කඩු තුඩු මතින් ඇවිද ආ නිර්මලී , සැමදාම ශක්තිමත් ගැහැණියක් ලෙස මෙන්ම තමාගේ සිතුම් පැතුම් ඉවසමින් සහ ඒවාට අනුගත වෙමින් අල්ලාගත් අත අතහරිනු නැති බව ඔහු උදෙක්ම විශ්වාස කළේය.

-----------------------------------------------


" මේ මොනාද මේ?? ඇයි මේ බේත් මෙතන? "
නිර්මලී ගල්ගැසී ගියේ අමතක වූ බෙහෙත් පෙත්ත සයනයේ පැති කබඩ් එක මත දැකීමෙන් රශිඳුගේ උස්ව නැඟුනු හඬ නිසාමය.
' ශික්! මට බැරිම ඔය බේත් බොන එක..! ඈක්කා.. හරි අප්පිරියයි. අනික මට අමතක වෙනව'
එසැනින් ඈට මතකයට ආවේ අද උදෑසනට නියම වූ පෙත්ත තවමත් ඇගේ ගවුම් සාක්කුවේ බවයි. එය මතක් කොට චම්පා තමා අතට ගෙනැවිත් දුන්නද ඈට එය බොන්නට මතක නැතිවිය. ඇය සැනින් එය ගෙන මුවේ ලා ගත්තේ දැන් දැන් එය රශිඳුගේ අතටම හසුවන්නට නියමිත බැවිනි.
ඈ නානකාමරය දෙසට යන රශිඳු දෙස බලා වහා වතුර උගුරක් ගිල්ලාය.

" ආහ්. ඒක රෑ එක.. චම්පා ගෙනත් තිබ්බ"
රශිඳු වරක් ඔරවා මෙන් බලා පසුව ඇගේ හා මුහුණ දැකීමෙන් මෙලෙක් වූ සිතින් මද සිනාවක් පෑවේය.
" බේත් වරද්දගන්න එපා baby girl.. තව සතියකට පස්සේ ඉන්ඩියා යනකොට රිපෝට්ස් ඔක්කොම නෝමල් වෙන්න ඕනෙ"

නිර්මලීගේ හදවත ගැහුනේ අධි වේගයෙනි. තමන් හරිහැටි බෙහෙත් නොබිව් බව හසුවේද? 
' මිසිස් ගෝකුල.. ඔයාගෙ ස්වාමිපුරුෂයා ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා ගැන ගොඩක් සැලකිලිමත්. මේ කෝස් එක කරන්නේ ඔයාගෙම හොඳට. ඒ හින්දා උනන්දුවෙන් බේත් ටික බොන්න. මොකද ඔයා ගර්භනී උනොත් ලොකු අවදානමක් එන්නෙ ඔයාට. '

Zoom තාක්ෂණය ඔස්සේ ඈ ඇමතූ වෛද්‍යවරිය කරුණාවෙන් පෙරදින පැහැදිලි කොට දුන්නේ වරක් හෝ දෙකක් නිර්මලී අතින් බෙහෙත් මහහැරී ගොස් තිබීම ගැන දැනගත් වහාමය.
.
.
.

ඊට වසර ගණනාවකට පසුව තවදුරටත්....

" baby girl.. මම එහෙම හිතලා ඔයාට දුන්නේ සූළුපටු presure එකක් නෙවෙයි කියලා මට ඒ වෙලාවේ දැනුනේ නෑනෙ දෙවියනේ... නැතිනම් ඉන්ඩියා යන්න කලින් මම ඒ වගේ පිස්සුවක් කෙලින්නේ නෑ!"

 දුම්වැටියේ අවසන් කොටස අළු බඳුනේ තදකරමින් කල්පනා කරන රශිඳු ගෝකුල විටෙක නැඟෙන ශෝකයත් ; සිනාවත් යන හැඟීම් මිශ්‍රණය හා සටන් කරන්නේ ඉන්දියානු සංචාරය කටමුල තබාගෙන පැමිණි ඒ සිදුවීම සිහි කරමිනි.

-------------------------------------------

තවදුරටත් වර්තමානයේ.....

දෙතුන් වරක් කතා කලද පිලිතුරක් නොලද නිසා රශිඳු ඔහුගේ ක්‍රීඩා කාමරයේ සිට හිස එළියට දමා බැලුවද කෙලින්ම පෙනෙනා ඔවුන්ගේ ප්‍රධාන නිදන කාමරයේ අඩවල්කොට ඇති දොර තුලින් යන්තමට ඈ පෙනෙන්නේ සයනය මත හිඳගෙන සිටිනා ලෙසටය.
' මෙච්චර බෑග් පැක් කරන්න තියෙද්දි මොකක් කරනවද?'
රශිඳු ඒ වනවිට එදින රාත්‍රියේ පිටත්වීමට නියමිත මාසයක කාලයක් වූ ඉන්දියානු තරඟ සංචාරය සඳහා ගමන්මලු සූදානම් කරමින් සිටියේය.

ඇතිවූ වික්ශිප්තභාවය නිසා රශිඳු කරමින් සිටි වැඩය නතරකොට සෙමෙන් ඇවිද ගොස් නිදන කාමරයේ දොර අසළ සිට දොර විවෘත නොකරම පෙනෙන හිඩැසින් ඇතුල බලද්දී දකින්නේ බිරන්තට්ටුව මෙන් සයනයේ වාඩිවී දෙතුන් වරක් අතට ගත් උණ කටුවක් වන් දෙයක් දෙස බලනා නිර්මලීය.

" baby girl... Are you ok?"
නිර්මලී උඩගොස් වහලයේ වදින්නේ දොර ඇරගෙන එබුනු රශිඳුගේ හඬටය. නිර්මලී බිරාන්තව මෙන් ඔහු දෙස බැලුවේත් රශිඳු වේගයෙන් ඈ වෙත ඇවිද එන්නේත් එක විටෙකය.

".. ඇයි ? ඔයාට සනීප නැද්ද? හා?"
නිර්මලී කෙල පිඬක් ගිල්ලේ හුස්ම ගන්නට ආරම්භ කරමිනි. එසැනින් නිර්මලී අත තිබුනු උණකටුව වැනි උපකරණය දෙස බැලූ රශිඳු එය අතට ගත් සැනින් නිර්මලීට ඉබේටම නැඟිට්ටුනි.
" රශී.. මේ.."
" ඇයි ?? මූණත් සුදුමැලි වෙලා? ඔයාට සනීප නැද්ද? උදේටත් කෑවෙ නෑ හරියට.. "
රශිඳු අතට ගත් උපකරණය වෙත අවධානය යොමුකරත්ම නිර්මලී සිය යටිතොල සපාගෙන වේගයෙන් හුස්ම අල්ලන්නට වුයේ ඔහුගේ දෑස් එහි අදාල තැන නතර වෙද්දීය.
" OH MY GOD! මේ.. මේ.. Holy s&@$!!"
" yes"
නිර්මලී සිරවන උගුරෙන් එන හැඬුම වලක්වාගෙන පැවසුවේ රශිඳු ඈ දෙස දෑස් විසල් කරගෙන බලද්දීය.
" අනේ!! මගේ මැණික !!"
රශිඳු දෝතින්ම ඈ වැළඳගෙන හිස මත සිපුමක් තැබුවේ දෑස වසාගෙන ගැඹුරට හුස්මක් අල්ලමිනි.
".. Baby girl... මගේ පපුව පැලෙයි දෙවියනේ.. අපි එච්චර unlucky නෑ කියලා මම කිව්වේ.. අනේ ඒත්!"
 සිරවන්නට් එන ඉකිය නිසා නතර වූ රශිඳුගේ වචන ගැන වගක්වත් නොමැතිව නිර්මලී සිය මුහුණ ඒ උණුසුම් පපුවේම රඳවාගෙන සිටියේ උතුරායන ප්‍රීතියත් , තේරුම්ගත නොහැකි තරමේ මිශ්‍ර හැඟීමත් අතර දෝලනය වෙමිනි. 
".. මට හරි සතුටුයි මැණික !! මගේ පන ඔයා.. මට මාර සතුටුයි"
රශිඳුගේ දෑසින් වැටෙන කඳුලු නිර්මලී සිය අතින් පිසදමා දෝතින්ම ඔහුගේ කම්මුල් අල්ලාගෙන අපහසුවෙන් මෙන් දඟකාර සිනාවක් පෑවාය. 
" මටත්! Thanks Rashi!! " 
රශිඳුට දැනුනේ සිය ලය පැලී ලේ වහනය වන්නාක් මෙනි. හිස මත ඊයම් බරුවක් වැදුනාක් මෙනි.

'මේ කෙල්ල ඇයි ඒ වගේ ඕනෑනැති දෙයක් කලේ?? ශුවර් එකට බේත් එක බීලත් නෑ! ෂික් විතරක් මාත් කලානෙ ගොං වැඩක්!!'

ඔව්!

නිර්මලී චාරුකා , රශිඳු ගෝකුල නමින් මවක් වන බව සඳහන් වූ පණිවිඩයයි එය!

-------------------------- මතු සම්බන්ධයි ----------------------



4 comments:

  1. වෙලා තියෙන්නේ මේකයි
    මට දැනුයි තේරුනේ
    ලිඛිතා කතාව ලියපු කොළ ටික මේසෙ උඩ තිබිලා හුළඟට ගිහිං
    දැන් එයා ඒක එකතු කරලා අහුවෙන තැනින් දානවා
    නැද්ද මං අහන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි. 71 නම් හංගලා තිබිලා හොයා ගත්තා. කෝ බොලේ 72?

      Delete
    2. මාත් මේ හුළඟේ ගිය කොළ ටික හදන ගමන්......

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...