Tuesday, July 12, 2022

339: උන්මාද චිත්‍රාදෝ මා 71


 


සීතල හෝටල් කාමරයේ වීදුරුව තුලින් පෙනෙනා ගොඩනැගිලිවල උස් මුදුන් වෙත ඇස රඳවාගෙන උන් නිර්මලීගේ දැහැන බිඳෙන්නේ අතපත ගාමින් සයනයේ ඒ මේ අත ගිය බූල් අත ඇගේ බඳ වටා එතෙද්දීය. ඈට ඉබේටම නැගෙන්නේ සුපුරුදු මද සිනාවයි. 

' පිස්සුවක් රශී ඔයා නම්!'

ඔවුන් ඒ වනවිට IPL සඳහා සූදානම් වන්නට ඉන්දියාවට පැමිණ දින කීපයක් ගතවී තිබිණ. ගුවන් යානයෙන් බට මොහොතේ පටන් රශිඳු ගෝකුලට විවේකයක් තිබුනේම නැත. ඔහු පස්සෙන්ම ගොස් නිර්මලී සිටියේද සැහෙන පදමට වෙහෙසවීය. නිදහසේ හුස්මක් ගන්නට ලැබෙනා ප්‍රථම දිනය අදයි. 

නිර්මලී ඔහු සිටි පසෙට හැරී එහෙ මෙහෙ වී තිබුනු පොරවනය සකසන්නටවත් උනන්දු නොවී ඔහුට තුරුල් වූයේ නැඟී ආ මන්දහාසය එලෙසම විසිරී යන්නට ඉඩ හරිමිනි. ඇගේ වම'ත ඔහුගේ පපුව ඔස්සේ සෙමෙන් ගමනකය.

" හ්ම්ම්ම්.. මොකද මැඩම් මොනවද හොයන්නෙ? ආ?"

නිදිබර වුවත් ඒ හඬ ප්‍රේමණීය බවින් නම් මදකුදු අඩු නොවීය. ඈ ප්‍රියකරන ඒ අත්බාහු වලට තවත් තදවන්නට ඉඩදී නිර්මලී ඇගේ කොපුලක් තදින් එම උණුසුම් පපුවේ තදකොට සිටියාය. රශිඳු එක් ඇසක් විවර කොට බැලුවේ මද සිනාවක් සමඟිනි. 

"... මට නිදාගන්න දීපං! අද මීටින් එක දහයට.. "

" හරි වැඩේ.. ඉතින් නිදාගන්න.. අද මට ඒ වෙලාවට ශොපින් යන්න කතා කලා ඔයාලගෙ කැප්ටන්ගේ girl friend "

රශිඳුගේ ඇස් දෙකම විවර වී ඔහු මදක් හිස ඔසවා නිර්මලී දෙස විමතියෙන් මෙන් බැලුවේය.

" මොකා?"

" ඇයි ? ඔයාලගෙ කැප්ටන් අර ..."

" ටීජේ??"

" ආහ් ඔව්.. එයාගෙ තමයි "

රශිඳු ඔරවා බැලුවේ අමනාපයෙන් මෙනි.

" ඕන නෑ.( යමක් එකවරම මතක් වූවාක් මෙන් ) අම්මටසිරි! ටීම් මීටින් එකට කලින් යන්න ගමනක් තියෙනවා. "

නිර්මලී ඔහුගේ මුහුණ දෙස බලාගත්වනම උන්නේ මේ වෙස් පෙරලිය ගැන තේරුම් ගන්නට මෙනි.

".. ඊට කලින් කෝ එන්න මගේ හොට් වයිෆ්ට පොඩක් ආදරේ කරන්න.. "

ඒ යකඩ අත්වලට පොඩිවෙන්නට ඈ කොහොමත් ආසා මුත් ඔරවන්නේ බොරුවට බව රශිඳු දනී. 

" අනේ යන්න බොරුවට! ඊයේ මට ගෙරෙව්වෙ "

"මගුලක් කරන්න එපා මම ආසා නෑ ඔයා ඒ ගෑනු එක්ක නටන්න ලෑස්ති වෙනවට. ශෂී නැතිනම් යන්න එපා උං එක්ක. අනිත් එක අර බල්ලා ,මෙහෙතා! උගෙන් ඈතට වෙලා ඉන්න වෙලාවක මම උගේ මූණ සමතලා කරනව"

නිර්මලීට සිනාය. 

පෙරදින රශිඳුගේ පුහුණුවීම් අතරතුරදී කණ්ඩායමේ අනෙක් සාමාජිකයන්ගේ පෙම්වතියන් සහ බිරින්දෑවරුන් සමඟ සුහද කතාබහ මැද රශිඳු වරින්වර ඔරවා සිටිනු දැනුන නිර්මලී එයට හේතුව සැනින් තේරුම් ගත්තද මෙහෙතා විසින් කියූ දේවල් ඔහු දන්නේ නම් ඔහුගේ මුහුණ මත පතිතවන පහර ගැන සිතා නිර්මලී සිනාසී නිහඬ වූවාය. 

පුදුමයක් නොවේ! ඊට දින කිහිපයකට පෙර මහා හදිස්සියේ මෙන් zoom තාක්ෂණය ඔස්සේ පැවති සඟරා සම්මුඛ පරීක්ෂණයද කෙලවර වූයේ එවැනිම පැනයකිනි. 

ඔවුන් සියළුදෙනා අසන්නේ කුමන ආකාරයේ පැනයක්ද? තමන් ව්‍යාපාරික කාන්තාවක් බවත් , රශිඳු ගෝකුල තරුණ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවත් සැවොම දනී. ඊටත් විවාහ වී ඇතිනම් , කිසිවකුට තමන් කරදරයක් නොකරයි නම් ඔවුන්ගේ ඇති අමාරුව කුමක්ද? 

' කොහොමද ෆැමිලි ලයිෆ් එක? එන්ජෝයි කරනවද?'

මේ අසන්නේ මොනවාද කියා නොතේරෙන්නට තරම් තමන් බබෙකු නොවේ. ඊට සිනාසී ලබාදිය හැකි වඩා සාධනීය පිලිතුරක් දැන් තමා සතුව ඇත.

" රශිඳු එක්ක ජීවිතේ හරිම ආදරණීයයි. එයා ගොඩක් හොඳ සැමියෙක්. අපි දෙන්නා ගොඩක් සතුටින් ඉන්නවා"

එවිට ඒ සැමගේ මුහුණුවල නැගෙනා සෝපහාස සිනාව දැන් ඈ රිදවන්නේ නැත. 

දෑත් වලට සිරවූ නිර්මලී තව තවත් සිය සිරුරට තදකොට ගනිමින් රශිඳු සිය අපූරු ආදරවන්තිය වෙත ඔහුගේ සුවිශේෂී බැල්ම පා කරමින් ඇරඹුමක් ලබා ගත්තේය.

' මේ තමයි මගේ ජීවිතේ! මගේ සැනසීම!! මගේ සියල්ලම!!!'

රශිඳුට දැනෙන්නේ තමාගේ සිහින සියල්ල සැබෑවී ඇති බවකි.

හුරුපුරුදු ප්‍රේමණීය හාදුවෙන් ඇරඹෙන දවස , ඒ ආකාරයෙන්ම නිම කරන්නට රශිඳුට අවැසිය. ඔහුට නිර්මලී සෑම විටම ළඟ ගැවසෙන්නට උවමනාය. ඈ තුරුල් කරගෙන ආදරය පලකරන්නට උවමනාය. හැකි හැම විටෙකදීම ඇගේ උණුසුම ලබන්නට උවමනාය. එය තරමක් උමතුවක් මෙන් දැනෙන්නේ උදෑසන දිනක් හෝ දෙකක් ඈ සමඟ වූ උණුසුම මඟහැරී ගිය මොහොතේය.

තමන් මෙතෙක් කලක් හුස්මක් නොගෙන සිටියා පරිද්දෙන් ඈ මිස් වන්නට පටන්ගෙන දහවල් වනවිට හිස අවුල්ව යන්නේය. එසේ වූ දින දෙකේම දහවල් විවේකයේ අතුරුදහන් වන රශිඳු , නැවතත් අවුල්වූ කපුටුකූඩ කොණ්ඩය සහිත නිර්මලී සමඟ ඇඳුම් කාමරයෙන් පිටතට එනවා කිහිප දෙනෙක් දැක තිබුනු නිසා , කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයින් මෙන්ම පුහුණුකරු පවා රශිඳුට නොයෙකුත් විහිළු තහළු කරද්දී ඔහු ඒවා සිනාසී බාරගන්නට හුරුවී සිටියේය.

' such a romantic couple '

වැඩිදෙනා ඔවුන් හඳුන්වන්නේ එලෙසය.

ඔවුන් එකිනෙකා වෙත දක්වන සැලකිල්ල, බැල්ම සහ ප්‍රේමය හුවා දැක්වීම ඉන්දියානු ක්‍රීඩකයින්ගේත් මාධ්‍යවේදීන් තුලත් ඇතිකොට තිබුනු ආනන්දය නිසාම තරුණියන් අතර ' IPL තරඟාවලියේ වඩාත්ම  සරාගී ක්‍රීඩකයා' ලෙස රශිඳු ගෝකුල වේගයෙන් ජනප්‍රිය වී තිබිණ.

----------------------------------------------------------- 

ඉන් වසර ගණනාවකට පසුව සිය නිවසේ නිදන කාමරයේ සයනයේ නිර්මලී නොමැති අන්තය දෙස බලා බරැති සුසුමක් සළමින් රශිඳු ගෝකුල එදින සිහියට නගන්නේ අපහසුවෙන් නගාගත් සිනාවක් සමඟිනි.

' I miss you baby girl.. ගොඩක් මිස් වෙනවා මට මගේ කෙල්ලව.. මේ දැනුත් මේ මොහොතේත්..'

අනතුරුව රශිඳු සිහි කරන්නේ ඈ සමඟ එදින ගිය තීරණාත්මක ගමන ගැනය.

' baby girl..  ඒ ගමන ගැන මම දවස් ගානක් තිස්සේ හිතුවා. හිතලා හිතලා මම ඒක කලේ මට වෙන කරන්න දෙයක් නැති නිසා'

-----------------------------------------------------------

වෛද්‍යවරිය දෙසත් රශිඳු දෙසත් මදක් වික්ශිප්තව බැලූ නිර්මලී නැවතත් රශිඳු දෙස ඇස් ලොකුකොට බලද්දී ඔහු සිනාව සඟවාගෙන ඈට සන්සුන් වන්නට කීවේ ඇසෙනි.

".. මේ කියපු විටමින් ටික වෙලාවට බිව්ව ඩොක්ටර්.. අද රිපෝට්ස් තමයි ගන්න තියෙන්නෙ"

රශිඳු දෙස එවර නම් නිර්මලී බැලුවේ ඔරවාය. මීට සති ගණනාවකට පෙර ඈට ගෙනැවිත් දුන් විටමින් බෝතල් සහ පෙති නොයෙක් ලෙස ගොරවමින් වෙලාවට පෙවූ බව නම් ඇත්ත මුත් එයට රශිඳු කීවේ වයස හතරවන දශකයේ ගැහැණුන්ට ‍ඒවා නිර්දේශිත බව නොවේද?

' මගේ වයිෆ් ලස්සනට ඉන්න ඕනෙ! '

කියන්නත් බෑනෙ මේ කොල්ලාට වහ වැටිච්ච කෙල්ලෝ බුරුතු පිටින්! ඇහැ ගහගෙන ඉන්නවා උනත් විස්වාස නෑ මගේ හැන්ඩි සෙක්සි කොල්ලා ඉතින්. 

ඈ සම්පූර්ණ ශරීර පරීක්ෂණයකට ලක්වූ අතර තවත් පරීක්ෂණ කිහිපයක් සඳහා වෙනත් දිනයක් ලබා දුන්නේය.

" ඔව් මිස්ට ගෝකුල.. රිපෝට්ස් මම ඔක්කොම මේල් කරනවා. මේ ඔක්කොම ටික ඉවර වෙනකල් වයිෆ්ව ප්‍රෙග්නන්ට් නොකර තියාගත්තොත් හොඳයි "

සිනාසෙමින් පැවසූ විශේෂඥ වෛද්‍යවරිය ඇඹරෙන නිර්මලී දෙස බලා සිනාසුනාය. ඈ අනතුරුව දෙදෙනාම සිය මේසය ඉදිරියේ හිඳුවාගෙන වඩා පැහැදිලිව සහ කරුණාවන්තව හඬ අවධි කලාය.

" මිසිස් ගෝකුලට කලින් මිස්කැරේජස් දෙකක් වෙලා තියෙන නිසා පොඩි අවදානමක් තියෙනවා. ඊට අමතරව මිසිස්ව කන්සල්ට් කරපු කලින් ඩොක්ටර් කියලා තියෙනවා වගේ මේ වයසට ප්‍රෙග්නන්ට් වෙන එකේත් complications  නැත්තෙමත් නෑ..."

රශිඳු ඇගේ උරය වටා අත දමා තමාගේ පපුවට තදකොට ගත්තේ ඇගේ වෙව්ලන දෑත් සිය බඳ වටා වෙලෙන්නට හරිමිනි.

" අම්මට එන complications වලට අධි රුධිර පීඩනය,  preeclampsia, and gestational diabetes වෙන්නත් පුලුවන්. බබාලාට  birth abnormalities or genetic conditions  සමහරුන්ට ලැබෙන දරුවන් මන්ද මානසික.. ඔය.. Autism වගේ වෙන්න පුලුවන්.. "

රශිඳුගේ බඳ වටා තිබුනු අත තද වනු ඔහුට දැනුන නිසා ඈ සන්සුන් කරන්නට රශිඳු සිය දෙතොල් හිස් මුදුන මත සෙමෙන් තද කළේය. වෛද්‍යවරිය පියකරු සිනාවක් සමඟ හුස්මක් ඇල්ලුවා ය.

"... නමුත් එහෙම වෙලත් ෆෝටීස් වලදී ප්‍රෙග්නන්ට් වෙලා නීරෝගී දරුවන් දෙතුන්දෙනා ලබන අයත් ඉන්නව..  අහලත් ඇතිනේ ඉන්දියානු ප්‍රසිද්ද නිලියන් වගේම හොලිවුඩ් නිලියන් පවා එහෙම ඉන්නවා.. ඒ හින්දා ඒ අවස්ථාව බිංදුව නෙවෙයි කියලා මතක තියාගන්න.. ඒත් අපි පරෙස්සමින් කරන්න ඕන මේ හැමදේම.. මිසිස් ගෝකුලට ප්‍රශ්න තියෙනවා ද?"

නිර්මලී නැතැයි කියා හිස සැලුවේ තමාගේ හුස්ම සිරවී යනු දැනුන නිසා මෙතැනින් ඉක්මනින් පිටවීමේ හදිසිය නිසාමය. 

".. ඒ මොනවා උනත් කිසිම විදියකින් අපි අම්මාව අනතුරේ දාන කිසිම දේකට එකඟ වෙන්නේ නෑ."

අවසාන වශයෙන් එසේ කියූ වෛද්‍යවරිය ඉදිරි දින කීපය සඳහා වූ වෛද්‍ය  හමුවකට දින නියම කරගන්නට සූදානම් වෙද්දී නිර්මලීට ආ ඇමතුමක් නිසා ඈ මදක් ඈතට ඇවිද යන්නේ එයට පිලිතුරක් දෙන්නටය.

" ඩොක්ටර්.. මගේ වයිෆ් බබාලාට හරි ආසයි. එයාගෙ හිත හැදුවට ගොඩක් ස්තූතියි "

රශිඳු වහා පැවසුවේ නිර්මලී එය නෑසෙන තරමේ දුරක සිටි නිසාය.

" මිස්ට ගෝකුල.. හොඳම දේ තමයි ප්‍රෙග්නන්ට් නොවී ඉන්න එක. ඊළගට හොඳම දේ තමයි ප්‍රෙග්නන්ට් වෙන එක. අපේ මේ කෝස් එක ඉවර වෙනකල් ටිකක් අවදානමක් තියෙනවා. මිසිස් ගෝකුලගෙ blood presure low. "

රශිඳුගේ හිස ගිනි ගත්තේය. තමා මේ ගන්නේ අවදානම් තීරණයක්ද? නිර්මලීගේ ජීවිතය අවදානමට හෙලා තමන්ට දරුවන් අවැසි නැත.

ආපසු එන ගමනේදී නිර්මලී සිටියේ ගැඹුරු කල්පනාවක නිග්මනව වුවද රශිඳු ඊට බාධාවක් නොකර සිටියේ ඈට මේ තත්ත්වය ජීර්ණය කරගන්නටත් යම් යම් දේවල් තේරුම් ගන්නටත් අවස්තාව ලබාදියයුතු බව නිසාය. 

'ඒ කියන්නේ.. රශිඳු මගෙත් එක්ක බබෙක් හදන්න ලෑස්තියි කියන එකද? දෙවියනේ අපි බැඳලා මාසයක්වත් නෑනෙ! ඇත්තටම ඇයි එහෙම හිතුවෙ?? ඉන්ඩියා එන්න දවසකට කලින් අනාථ නිවාසයට ගිය වෙලාවේ රශිඳු කවදාවත් නැතුව පොඩි එකෙක් වඩාගෙන හුරතල් කරනවා දැකලා මාත් පුදුම උනා. ඒ වෙලාවේ පින්තූරයක් ගත්තේ මේ වෙස් පෙරලිය ගැන විහිලුවක් කරන්න උනත්.. ඒක දැන් විහිලුවක් නෙවෙයි !'

නිර්මලී නොනවත්වා සිය සිත සමඟ සංවාදයේ යෙදෙන්නේ අරගලයක් වන් එකිනෙකට ගැටෙනා අදහස් ඒ මේ අත හරවමිනි.

ඒ ගැන වැඩිදුර කතා කරන්නට නොලැබෙන්නේ ආ සැනින් රශිඳු කණ්ඩායමේ රැස්වීමට සහභාගි වන්නට සිදුවූ නිසාය. 

හෝටල් කාමරයට ආ සැනින් නේහා ඇමතූ නිර්මලී එදින ගමන් ගැන කිසිවක් සඳහන් නොකලද යම් යම් තොරතුරු නේහාගේ මුවින් අල්ලාගන්නට සමත් වූවාය.

"... රශියා දාබරේට ඊයේ කෝල් කරපු වෙලේ කියලා තියෙනවා adoption ගැන විස්තර ඔක්කොම එවන්න කියලා "

නිර්මලී මදක් කල්පනා කළාය.

" මම රශීව මැරි කරපු නිසා මට එහෙම ඇඩැප්ට් කරන්න බෑ නේහා. ඒකට age gap එකක් තියෙන්න ඕන.."

" නිර්.. උඹට පිස්සුද? අතෑරපං උඹේ ඔය මනස්ගාත. මට උඹේ ප්‍රයිවෙට් ජීවිතේ ඕන නෑ.( සිනාසෙමින්) ඒවා උඹලා ගානට කරගන්නවා ඇතිනෙ. රශිඳු කවදාවත් බබෙක් නෑ කියලා ඔයාව අතාරින්නෙ නෑ බං. බබෙක් ඕන නම් ඒක කෙලින්ම කතාකරලා විසඳගනින්. "

" මට ඒ විශ් එක අනූජටත් දෙන්න බැරි උනා. රශිඳු පව් නේහා"

" නිර්! "

" ජීවිත අවදානමක් තිබ්බත් මම ඒක කරනවා නේහා. නැතිනම් මට සැනසිල්ලක් දැනෙන එකක් නෑ"

" රශියා දැනගත්තොත් නම් කීයටවත් එහෙම දේකට එකඟ වෙන්නෙ නෑ කෙල්ල. මෝඩ වැඩ නම් කරන්න ලෑස්ති වෙන්න එපා."

IPL ඇරඹීමට තව ඇත්තේ දින කීපයක් නිසා සියල්ල උණුසුම් වී තිබිණ. කණ්ඩායමට දිමුත් ඇතුලත්වී සිටි නිසා රශිඳු වෙත එල්ලවී තිබුනේ වෙනම අවධානයකි. 

වඩා ලාබාල වූ ඔහුගෙන් කණ්ඩායම විසල් සැලසුමක ප්‍රතිඵල බලාපොරොත්තුව සිටියහ. ඒ අතර වරින්වර කණ්ඩායම් කළමනාකරණය සමඟ වූ තීරණ වලදී මෙහෙතාගේ හිවල් ඇස් තමා කෙතරම් කෝපවත් කලත් නිර්මලී විසින් ලබාදුන් ඒ සවිය නිසා ඔහු ඊට වෙනදාට වඩා ශක්තිමත්ව මුහුණ දුන්නේය.

'කිකී.. ඌ එක්ක නෙවෙයි , ඔයාට ෆයිට් එක තියෙන්නෙ ඔයා එක්කමයි. උන්ගෙ ඇජෙන්ඩා වලට ඉදිරියෙන් ඉන්න. ඔයාට පුලුවන් !'

මවක් සේ තම හිස සිප සනසා සිය උකුලේ නිදන තමා නිවන්නට ඈට හැකිය. 

නමුත් ජීවිතයේ තමන් සිතන සැලසුම් එලෙසම සිදුවන්නේ නැත. දැනුවත්ව හෝ නොදැනුවත්ව අප කර්මය සමඟ දාදු කෙලියක නිරත වන්නෙමු. 

කර්මය විසින් අනියත ලෙස එකිනෙකාගෙන් වෙන්කල ප්‍රේමයක් ඒ දෛවය විසින්ම නැවතත් ලංවීම කෙතරම් අපූරුද? එලෙසින්ම තමන්ට අහිමිව ගිය මොහොතවල් කෙතෙක් අනාගතයට තිබිය හැකිද? 

----------------------- මතු සම්බන්දයි ------------------

2 comments:

  1. හත්තිලව්වේ.....මට මේක miss වුනේ කොහොමද......

    ReplyDelete
  2. මාත් මේ 73 කියවලා තමයි ආවේ 71ට.

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...