Tuesday, July 12, 2022

338: උන්මාද චිත්‍රාදෝ මා 70




ඔවුන් නැවතත් අග නගරයට එන අතර හදිසියේ එල්ලවූ ත්‍රස්ථ ප්‍රහාරයක් මෙන් සමාජ මාධ්‍ය හරහා රශිඳු ගෝකුලගේ සහ නිර්මලී චාරුකාගේ හදිස්සි විවාහය කුණාටුවක් මෙන් පෝස්ටු වැසි වසින්නට විය. 
' හොර රහසේ මඟුල් කෑ තරුණියන්ගේ සිහින කුමරා - රශිඳු ගෝකුල - පින්තූර සහිතයි' ( පින්තූර වූයේ යුවලගේ සාමාන්‍ය පින්තූර සහ නිර්මලීගේ පින්තූර ‍රැසකි)
' කෝටිපතිනිය හා හදිසියේ විවාහ වූ ක්‍රිකට් තරුව - වීඩියෝ සහිතයි' ( වීඩියෝ ලෙස තිබුනේ රශිඳු ක්‍රීඩා කරන අයුරුයි)
' තමන්ට වඩා දෙගුණයක් වැඩිමල් බිරිඳ සමඟ රශිඳු ගත් සරාගී පින්තූර ' ( වාහන අංගනයේ දෙදෙනා සිටින පින්තූර කිහිපයක් සහ නිර්මලීගේ පැහැදිලි පින්තූර කීපයක්)
' ලංකාවේ තරුණියන්ගේ සිහින කුමරා හොරෙන්ම බැඳලා - බිරිඳ හිටපු කෝටිපතියෙකුගේ බිරිඳක්'
' රශිඳු ගෝකුල හදිස්සියේ යුගදිවියට'
' සැමියාගේ මරණයෙන් වසර විස්සකට පසුව නැවතත් මංගල සීනු හැඬවුනු කෝටිපතිය'

ඒ හා සමඟම නිර්මලීගේ සහ රශිඳුගේ instagram ගිණුම් දහස් ගණනින් වූ පණිවිඩ වලින් උතුරා යන්නටත් දන්නා නොදන්නා අයගෙන් එන දුරකතන ඇමතුම් වලින් දුරකතනය කාර්‍යබහුල වන්නටත් පටන් ගත්තේ රශිඳු කලින්ම නිර්මලීට දැනුම් දී තිබුනු පරිද්දෙනි. 
වැඩි දෙනෙක් රශිඳු ගෝකුලට අනුකම්පා කළ අතර අතරින් පතර අසලංක හා තිබුනු ඇයි හොඳය්ය ගැනත් වැන්දඹුවන්ගෙන් බේරාගතයුතු සමාජ සාරධර්ම ගැනත් මතක් කොට තිබිණ.

පළමු පැය ගතවන්නට ප්‍රථම රශිඳු සිදුකලේ සිය instagram ගිනුමේ නිර්මලී සහ තමන්ගේ මංගල ජායාරූප අතුරින් ඈ බදා සිපගන්නා පින්තූරයක් ගෙන පෝස්ටුවක් දැමීමයි.

' 🌎💫🌈🔥❤️ මගේ ලෝකය, ඉරබටු තරුව, දේදුන්න, ගිණිසිළුව සහ ආදරය.. ලෝකේ ලස්සනම වයිෆ් ඉන්නේ මට... ආදරෙයි baby girl'

එසැනින්ම අඩපණව උන් නිර්මලී අතින් ජංගම දුරකතනය උදුරාගෙන එම පින්තූරයම instagram හි පල කලේ රශිඳු ටැග් කරමිනි.

"හරි... එච්චරයි! උන්ට ඕනේ බම්බුවක් ගහගන්න කියමු!"
ලයට තුරුල් කරගත් නිර්මලීගේ හිස සිඹිමින් රශිඳු පැවසුවේ ඉන් මත්තට ඈට ඒ ගැන කතාකිරීමද තහනම් කරමිනි.
----------------------------------------------------------------------
ජීවිතයේ තමන්ගේ තේරිම් සමඟ සහ තමන්ට හිමි දේ අතර ඇති ගැටුම සැමවිටම සිත් තලා දමන්නේය. නිර්මලී චාරුකා ලෙස තමාට තිබුනු ඉරණම ඒ ඒ තැන්හිදී තමාගේ තීන්දු හා කෙතරම් දුරට සාධාරණ වූවාදැයි ඈ නොසිතන්නට ඇත. 

රශිඳු ගෝකුල තරම් තමන් සිතින් අල්ලාගත් දෙයක් තවත් නොවූ තරම්‍ ය. එය මත්ද්‍රව්‍යයක් මෙන් සිය සන්තානයම එකම පාලනයකට නතු කරමින් එතෙක් ගමන්කල මාර්ගය පවා වෙනස් කරවන්නට සමත්ව තිබේ. 

සිහිනයෙන් සැබෑ ලෝකයට පය තැබිය යුතු විය. නැවතත් අග නගරයට එනවිට නිර්මලීට වෙනස්කම් කීපයකටම අනුගත වන්නට සිදුවිය. 

එකක් නම් ඈ නිර්මලී ගෝකුල වීමයි. ' මිසිස් ගෝකුල'ට සුභ පතා නිර්මලී විසූ නිවසට ආ රෝසමල් පොකුරු අතරට එක්තරා සුවිශේෂ නමක් විය. නිර්මලීගේ මුහුණ මල් පොකුරේ සඳහන් වූ නමත් සමඟ හැකිලී ගිය ආකාරය ඒ මොහොතේ රශිඳු නොදුටුවේ ඔහු සිටියේ උදෑසන පුහුණුවීම් සඳහා යාමට සූදානම් වෙමින් වීම නිසාය. රශිඳු පිටත්වූ සැනින් නිර්මලී එම මල් පොකුර ගෙන නිහඬවම නිවසේ පසුපස වූ විසල් කුණු බාල්දියට දමා හොඳින් පියන වසා දැමුවේ සුසුමක්ද සමඟිනි.

දෙවැන්න පැමිණියේ සතියේ මැද ඇගේ කාර්‍යාලයට ‍යාමත් සමඟය. ඇගේ මධුසමයට සතියකට පෙර කොවිඩ් වසංගතයට අදාළ විදේශිකයින් දෙදෙනෙකුගේ පැමිණීම නිසා හෝටල් සංකීර්ණය සති දෙකකට සීල් තබා තැබීමටත් වඩා එතෙක් මෙතෙක් ඇගේ පාසිකුඩා හෝටලයට ලැබුනු දැවැන්තම සෘණ ශ්‍රේණිගතකිරීම නිසා තවත් සතියක්ම කිසිදු සංචාරකයෙක් නොමැතිවම ගෙවන්නට වීමයි. ඒ වන විටත් අසලංකගේ ඉදිකිරීම් සමාගමට ගෙවීම් කිරීම නිසා ගමනායක සමූහ ව්‍යාපාරයේ මූල්‍ය සමතුලිතතාවයට එල්ලවී තිබුනු තර්ජනය , මේ සිදුවීම සමඟ මරණීය පහරක් ලබාදී තිබිණ. 

තෙවැන්න ; රශිඳු ගෝකුල ලෝක කුසලානය සඳහා සංචිතයට තේරී පත්වී ගතවූ තුන්වන දිනයෙදීම පන්දු රකින්නට ගොස් වම් අතේ මැද ඇඟිල්ල දරුණු ලෙස තුවාල කරගෙන පැමිණි නිසා වූ කලබගෑනියයි. 

කොපමණ සනසන්නට උත්සහ කළද නිර්මලී සිටියේ තුන් වැන්න ගැන හිස ගිණිගත් බවිනි. 
' අය්යෝ baby girl මේක ඉක්මනින් හොඳ වෙයි.. නහින්න ඕන නැ'
' ඒ උනාට අනේ රිදෙනවා ඇති. ඇයි මට කිව්වෙ නැත්තෙ ආ? '
එවන් අනතුරු සාමාන්‍ය බව කෙතරම් කීවද ඈ කුඩා එකියක මෙන් ඔහු වෙත දක්වන සෙනෙහස බලන්නට රශිඳු තව තවත් ඈ අවුස්සා සිටියේය.
" ඔය ඇඟිල්ලේ සීන් එක ගැන ඔච්චරම වොරි වෙන එක නම් වෙන මොකක්ද එකක්"
නිර්මලී මිතුරන් සියලු දෙනාට චම්පා විසින් පිලිගන්නවන ලද තේ එකින් එක පිලිගනිද්දී චාමික පැවසුවේ ඒ සැනින් දිමුත් සහ අනෙක් මිතුරා හූ කියමින් අත්ලෙන් අත්ල ගසමින් සිනාසෙද්දීය.
" අඩෝ මේ.. වයිෆ් ඉස්සරහ කුණුහරුප කියන්න එපා $ල්ලෝ!"
නිර්මලී තදින් දෙතොල්පෙති එකිනෙක තෙරපා ගද්දී ශෂී ඇගේ අතින් අල්ලා සිනාසී ඈ සමඟ තේ කෝප්ප හැදිල්ලට එක්වූයේ මිතුරන්ගේ කටවල් වලට තිරිංග නොමැති බව දන්නා නිසාමය.
රශිඳු නිර්මලී දෙස බලා ඉඟිමරා සිනාසුනේ ශෂී බලා සිටියදී ඈ රතු කරවමිනි. රශිඳු නිර්මලී වෙත පා කරනා සුවිශේෂී බැල්මවල් සහ දෙදෙනාගේ කෝලම් සැමදාම ශෂීගේ සතුට වඩවයි.
' such a sweet couple'
ඈ සැමවිටම ඔවුන් දෙදෙනා ගැන දිමුත් හා සඳහන් කරනාවිට කියන්නේ එලෙසය.

ඔවුන් එදින නිර්මලීගේ නිවසට රැස්ව සිටියේ ශෂීගේ නව මෝස්තර නිර්මාණකරන පාඨමාලාවේ සාර්ථකත්වය සමරනුවස්‍ ය. මෝස්තර නිර්මාණකරනයට ඈ දක්වන ලැදියාව නිසා නිර්මලී විසින් උනන්දුකරන ලදුව ඈ සාර්ථක ලෙස පළමු අධ්‍යන වර්ෂයේ මුල් සෙමෙස්ටරය අවසන්කොට සිටියාය.
" නිර් හින්දා තමයි මෙයා ඕක කලේ... මම කොච්චර කිව්වත් බෑ බෑ ගගා කම්මැලී කලා"
දිමුත් එසේ කියද්දී ශෂීගේ දෑස් කෘතඥපූර්වකව නිර්මලී දෙස රැඳුනද ඈ ඒ ගැන වගක්වක් නොමැතිව රශිඳුගේ උරයේ එල්ලී ඔහුට කෑම බෙදමින් උන්නාය.
' මේකි නම් මැජික් එකක්!'

"නිර්මලීද?  අම්මෝ කතාකරන්න එපා.. දවසයි අපේ අම්මව සෙට් උනේ.. ඊගාව දවසේ ඉඳලා මට ඩිග්‍රි එකක් කරන්න කියලා අම්මව කුලප්පු කරලා එවලා මම ගෙදරින් ආව පහුවදා පාන්දරම"
චාමික එසේ කියන්නේද නිර්මලී කෙරෙහි ගෞරවයෙනි. 
රශිඳු එතෙක් වේලාවක් තමා අසළ ගෑවෙමින් සිටගෙන උන් නිර්මලී සිය එක කලවයක් මත හිඳුවා ඇගේ කොපුලක් සිපගත්තේ ගානක්වත් නැතිවය. රශිඳුගේ එවන් වැඩ දැන් මේ පිරිසට සාමාන්‍යය.
" මෙයා කොහොමත් හැමෝටම ඒ වගේ ටොපී තමයි සෙට් කරන්නෙ.. "
ඒ බැල්මේ ඇත්තේ ආදරණීය තරවටුවකි. රශිඳු නීති විද්‍යාලයේ තෝරාගැනීමේ විභාගයට වන පාඨමාලාවේ ලියාපදිංචි වූයේ දැන් සතියකට ප්‍රථමය. ඒ සෑහෙන දබරයකින් පසුව බව දන්නෝ දනිති!

එදින රාත්‍රියේ රශිඳු සමඟ බැල්කනියේ ඇති සෝෆාවේ ගුලිවූ නිර්මලීගේ දෙපා අසළ සිටි කාරාගේ හිස අතගාමින් රශිඳු සිව්වන කාරණය සැළකලේය.
" එන සතියේ IPL වලට ඉන්ඩියා යනව. මැඩම්ට ටිකට් දාලා තියෙන්නෙ"

නිර්මලීගේ හිස වහා ඔහුගේ පපුවෙන් ඉහලට එසවෙද්දී රශිඳු ඇගේ කොපුලක් දසන් වලට තද කලේ සැණිනි.
".... වෙන එව්වා කියාගෙන එන්න එපා මම කලින් කියලානෙ තිබ්බෙ! පැවිලියන් එකේ නොහිටියොත් මරනවා මම!"

-------------------------------------------
" මොකද්ද බං උඹ මේ කෙලින පිස්සුවේ තේරුම?"
රශිඳු ඔරවාගෙන හිරාන් දෙස බලා සිටියේ ඔහුගෙන් පිලිතුරක් අවශ්‍යම බව ඉඟි කරමිනි. හිමාල් සාමාන්‍ය වන්නට එතෙක් ගත් උත්සහයන් සියල්ල ව්‍යර්ථ කරමින් සිය හොඳම මිතුරාගේ බැල්මට හසුවී බිම බලාගත්තේය.
" ඒක පොඩි සීන් එකක් විතරයි බං"
" පොඩි සීන් එකක්?? තොපි දෙන්න මගේ වෙඩින් හෝල් එකේ ගුටි ඇනගත්ත එක පොඩියි කියලා අයින් කලා කියමුකෝ.. එතකොට මොනාව මේ අළුත් ශොප් එක ගන්න බෑ කියනවා කියන්නේ?"
හිරාන් කාමරයේ ඒ මේ අත ඇවිද්දේ මදක් සහනයක් සලසා ගන්නට මෙනි. රශිඳු මේ පැනය තමන්ගෙන් විමසන බව ඔහුද දැන සිටියේ නිර්මලී විසින් ලබාදුන් නියෝජිත ආයතනය සමඟ වූ නව මෝටර් බයිසිකල් වෙළඳසළ ප්‍රතික්ශේප කරන මොහොතේය. ඈ සිය පොරොන්දුව ඉටු කළාය. නමුත්...
" මට.. මට මෙහෙ ඉන්න බෑ බං. මම ආයෙත් නාවලපිටියේ යනව.. කොරියා යන්න එකෙක් කතාකලා. ඒක ගොඩදාගන්න පුලුවන් "
රශිඳුගේ යකා ඇවිස්සෙන්නට තත්පර බාගයක් වත් ගතවූයේ නැත.
" කොරියා යන්න??? ඇයි උඹේ ගෑනි හොයන්ඩද?"
රශිඳු ගිනියම් දෑසින් සිය මිතුරා දෙස අනුකම්පා විරහිතව බැලුවේ දවා හළු කරනා බැල්මකි.
"... මම උඹට කිව්වා. නව්‍යා හරි fragile. උඹට තීරණයක් ගන්න බැරිනම් ඇයි උඹ ඒ කෙල්ලට වද දෙන්නේ? උඹ හරි unfair "
හිරාන් අසරණ ලෙස රශිඳු දෙස බැලුවේ කිවයුත්ත එකවරම සිතාගත නොහැකිවය. තමා හැසිරුනේ මෝඩයෙකු ලෙස බව මේ වනවිට මොනවාට ඔප්පු වී හමාර මුත් හිතේ ඇති දේ කියන්නට වෙන කිසිවෙකුට නොහැකිය.
ඔහුගේ බැල්මෙන්ම හිත මදක් උණුවී ගිය නිසා රශිඳු සිය මිතුරාගේ උරයට අතක් දමා ඔහුගේ හිස මත වමත තැබුවේය.
" උඹ දන්නවනෙ... අම්මයි තාත්තයි නැති හින්දා මම ආච්චි ගාව ඉන්නකොට උඹත් එක්ක අනන්ත කියලා ඇති, යාළුවෙනවා නම් මම හොයන්නේ මම මම විදියටම බාරගන්න කෙල්ලෙක්ව කියලා. මම වෙනුවෙන් බලාගෙන ඉන්න.. කෙල්ලෙක්... 
උඹ විතරයි මට ඒ කාලෙත් හිනා නොවුන එකම එකා... මොකද උඹ විස්වාස කලා එහෙම කෙල්ලෝ ඉන්නවා කියලා. 
පස්සෙ පස්සේ මටත් ශුවර් නැති උනා මගේ ඒ රූල් එක වැලීඩ් නෑ කියලා. නිර්මලී මෑම් දකිනකල් මම විස්වාස කලේ නෑ බං ඒක ඇත්ත කියලා! "
රශිඳුට කට කොනට සිනාවක් නැඟුනේ මිතුරා සිය උරයට තද කරගද්දීය. 
".. ඒ උනත් අපි ආදරේ කරන උන්ම අපිට ආදරේ කරන්නෙ නෑ බං. මට ඒකි වෙන කොල්ලෙක්ට ලංවෙලා හිටියාම ඉවසගන්න බැරි උනා. අයිතියක් නැති උනත් හිත රිදුනා. මට ඒක බල බල එතන රස්සාවක් කරන්න බෑ බං. මට ඇත්තටම ආදරේ කලානම්, ඌ එක්ක එහෙම ඉන්න බෑනෙ! "
රශිඳුට සිය මිතුරා ගැන දැනුනේ සංවේගයකි. ඔහුගේ බිඳුනු පවුල නිසා විඳි මානසික පීඩනය හොඳින් දන්නා නිසාත් ඔහු කලබලකාරී තරුණයෙකු නොවන නිසාත් ඔහුගේ රිදුම ගැඹුරු බව ඔහුට වැටහුණි.

"හ්ම්ම්ම්... ඒකට ඕක නෙවෙයි බං කරන්න තියෙන්නෙ.. උඹ මගේ ගෑනිගෙන් කඩාගත්ත කුට්ටිය එක්ක පාඩුවේ කරගෙන හිටපං. මම අහගෙන baby girl  ඒ ඔක්කොම උඹට දෙන්න documents හදනවා දාබරේ එක්ක. ගනිං.. ආයෙ කොරියාවක් කියෝනවා තකතීරුවා වගේ. මගේ ගෑනි ඔය ඒජන්සි එක උඹට ගන්න කාපු කට්ට මම දන්නව."

තවත් නොයෙක් තොරතුරු කීමෙන් පසුව හිරාන් තරමක් එකඟ කරගන්නට රශිඳුට හැකිවූයේ ස්වභාවයෙන්ම ඔහු නම්‍යශීලී පුද්ගලයෙකු නිසාමය.

" ඒකිට ක්‍රශ් එකක් තියෙන්න ඇත්තෙ බං. උඹ වගේ වලස්සුන්ට කැමති ඒ වගේ හා පැටව් තමයි. මොකද මන්ද!"
හිරාන් සුපුරුදු සිනාවෙන් ඊට පිලිතුරක් දුන්නේ රශිඳු කවරදාටත් වඩා සංසුන්ව ඒ දෙස බලන්නට පුරුදුව ඇති බවට ඇතිවන පුදුමය සමඟය.

" උඹට හනිමූන් එකේදී නම් මොනාද වෙලා තියෙනවා බං! උඹ පට්ටම වයිස් වෙලා"

" හෙහ්.. ඇයි උඹට මට දැන් වෙච්ච දේ කියන්න ඕනෙද බල්ලෝ! අඩෝ මේ මම උඹට කිව්වය කියලා හිතාගනින්!! "

ඒ සති අන්තයේ නිර්මලීගේ නිවසේ පැවති රාත්‍රී භෝජනයට පැමිණි තමන්ට අකිත් එහා මෙහා වනතුරු සිට විහිළු කල චාමික වෙත කඩාපැන්න රශිඳු කියූ දෙයට කෑම මේසය රස සාගරයක් විය. ඔවුන් දිගට හරහට රශිඳුට නොයෙකුත් දේ කියමින් කොලොප්පන් කරන්නට වූයේ අවසානයේ නිර්මලී එතැනින් ඉවත්වනතුරු සිටය. 

".. තොපි එකතුවෙලා මගේ හනිමූන් එක කෑවට උඹලට ගෑනු දෙක දෙක සෙට් වෙන්ඩෝන අම්මප!"

-------------------------------------------

පාඩු ලැබූ පාසිකුඩා හෝටලය විදෙස් හෝටල් සමාගමකට විකුණා දැමූ පසු ඈ අනූජ ගමනායක නමින් එතෙක් පටිගතකල සියලු හඬපට බැංකුවේ සේප්පුවකට ලබා දුන්නේ කිසිදු පැකිලීමකින් තොරවය. 

තම ජීවන සහකාරිය හෝ සහකරුවා වෙතින් අපේක්ෂා කරන්නේ ප්‍රේමය පමණක්මද? එලෙස වනවා නම් ජීවිතය එතරම් හැලහැප්පීම් ගහණ නොවනු ඇත. ප්‍රේමය , රැකවරණය සහ අයිතියක් ඇති බව හැඟීම විසින් ලබාදෙන මානසික සහනය ඒ වනවිට නිර්මලී වෙත තිබිණ.එනමුත් යම් දෙයක් ඈගේ මනස සැමවිටම විමසූ බව සැබෑය! 

උදෑසන ක්‍රීඩා පුහුණුවීම් සඳහා පිටත්ව යන රශිඳු සඳහාත් කලාප වොලිබෝල් කණ්ඩායමේ උන් අකිත් සඳහාත් පිලියෙලවන කලබල උදෑසන ආහාරය සැමවිටම නිවසේ ලොකුම කාලගෝට්ටියයි. ඔවුන්ගේ පිටවීමෙන් පසුව නිර්මලී සහ හිමාල් එක්ව රූපලාවණ්‍ය ව්‍යාපාරයේ සම කොටස්කරුවන් ලෙස වැඩ කරන්නට ආරම්භ කල නිසා හෝරවක් දෙකක් කාර්‍යාල කාමරයේ ගතවෙන අතර ඉඳහිට අකිත්මාගේ උපකාරක පන්ති සඳහා එහි පසෙක වූ මේසය යෙදවෙන්නේ ඒ අතරය. ක්‍රමයෙන් සුවය ලබමින් උන් අකිත්මා ඒ වනවිට ලන්ඩන් උසස්පෙළ සඳහා හොඳින් සූදානම් වී සිටියාය. 

පාඩු වූ හෝටලයත්, ඉස්සන් වගාවත් එලෙසම විකුණා දැමූ හිමාල් අසලංකට ඇති ණය වලින් කොටසක් ගෙවා දමා තිබුනු නිසා ඔහුගේ සම්පූර්ණ අවධානය නිර්මලී සමඟ සිදුකරන ව්‍යාපාර වලට යෙදවීය. 

කෙතරම් ඇවිටිලි කලත් මාලතී ගෝකුල සිය පුත්‍රයාට ත්‍යාගයක් වශයෙන් ලැබුන නිවසට යන්නට කැමති වීම පමණක් සිදුවූ නිසා රශිඳු උදෑසන ඈ සිටිනා නිවසට යන්නේ පුහුණුවීම් යන අතරතුයි. 

---------------------------------
ඊට වසර ගණනාවකට පසු සුසුමක් හෙලමින් වුවද වේදනාවක් දරාගෙන නිර්මලී මාලතී ගෝකුල ගැන නේහා ආරියබංදු සමඟ ප්‍රකාශයක් කරන්නේ එබැවිනි.

".. තමන්ගෙ පුතාගෙ ලස්සන තරුණ ජීවිතේ ගැන අම්මා කෙනෙක් එහෙම කම්පා වෙන එකත්, තද තීරණේ ඉන්න එකත් ගැන මට අදත් පුදුම නෑ නේහා... අම්මා කියපු දේවල් බොරු නෙවෙයි !

නේහා ඇගේ අත අල්ලා සිය දෝතටම මැදි කරගෙන අපහසුවෙන් සිනාවක් නගන්නේ කිසිවක් නොකියාමය.
' කොහොමද නිර් මේ ඔක්කොම උඹ දරාගන්නෙ? මම නම් මැරෙයි'

*************** මතු සම්බන්ධයි ************



4 comments:

  1. අදත් මේක නොතිබ්බනම් මරාගෙන මැරෙන්න බලාගෙනයි හිටියේ ඕo.

    ReplyDelete
  2. ඒකනේ. ඇති යන්තම්. වර්තමානයට ඇවිල්ල. මම බයවෙලා හිටියේ වසර 12 කෙලින්ම පස්සට යවලද දන්නෙ නෑ කියල. කොහෙද මේ ලියන නෝනා සුවර් නැහැනේ. මොනවා උනත් මේක ලියනවට බොහොම ස්තුතියි ඈ. අර කුමුදු කිව්වා වගේ ලිව්වෙ නැති උනොත් බලාගමු.

    ReplyDelete
  3. කතාව ටිකක් ලෙහීගෙන එනවා වගේ... ඒත් තාම සමහර තැන් පැහැදිළි මදි

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...