Thursday, July 7, 2022

337: උන්මාද චිත්‍රාදෝ මා 69


 

රතුවූ දෙනෙත් වහා ඉවතට හරවා අසලංක දුරකතනය වෙත නෙත රඳවා ගත්තේ සංවාදය එතරම් ගණනකට නොගත්තාක් මෙනි. තමාගේ ගත අහසේ පා වෙනවා සේ දැනී තමන් සැමදාම වැඩිපුර හිතන්නට ගොස් සියල්ල අහිමි කරගත්තා නොවේදැයි දැනෙනා හැඟීම මැඬගන්නට ඔහු සමත් නොවීය.

' අනූජයා ගැන ඊට වඩා ඇත්ත කියලා මට නිර්ව බේරගන්න තිබ්බ. එහෙම උනානම් ඒකි කවදාවත් වැන්දඹු ගෑනියෙක් වෙන්නෙ නෑ!'

' එහෙම උනානම් නිර් මට අයිතිවෙලාත් අවුරුදු විස්සකට වැඩී'

' අනූජයා මැරුනම කෙල්ලව මගේ අත් දෙකට වැටුනේ. ඇයි මම ඉක්මන් උනේ නැත්තේ? ඇයි මම ඊළඟ පියවරට නොගියේ?? මම නිර්ට ආදරේ කරන්නේ හරිම පරෙස්සමින්, ඒක හින්දද?'

' අසේකාව මැරි කලේ ඒ කේන්තියට තමයි. අසේකාගෙන් දරුවෙක් ඕන කියලා ප්‍රෙෂර් කලේ අසේකා ඒකට සූදානම් නැති වෙලාවක ; මට ඕන හිතුනාම.. මම ඒ කලේ අසේකාගෙන් පලිගන්න එක.. මට ඕන කලේ නිර්ගෙන් බබෙක්.. උඹ මගේ කියලා කියන්න පුලුවන් විදියක්. වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.'

අසලංක පන්ච් එකක් සාදා ගත්තේ මෙතැන සිය සුපුරුදු ස්කොච් වඩියට නොගැලපෙන නිසාය. හිත පෙලන සිතුවිලි නිසා මේ ගතවන්නේ තුන්වන වේදනාකාරී දවසයි. නිර්මලී මේ තරම්ම තමා අල්ලාගෙන සිටියාද?

".. මචං.. උඹ හිතනවද ඔය හුටපටේ මාසයක් අවුරුද්දක් තියෙයි කියලා ? මචං ඌ මේ විස්සක කොල්ලෙක්.. කුලප්පුව තදවෙලා බැන්දට.... අනික ඌ නැෂනල් ටීම් එකේ එකා.. ටුවර් සෙට් වෙනකොට තව අමාරුයි හෙහ් හෙහ්...  අපි නොදන්න චෙස්! "

සිය බැංකු සගයා තාරුක එසේ පවසමින් අසලංකගේ උරයට තට්ටුවක් දැම්මේය.

" ඔය ගෑනි උඹෙන් ගන්න පුලුවන් ඔක්කොම ගත්ත. $&@ නළලේ තියාගෙන බොරුවට පත්තිනි අම්මලා වගේ ඉන්නේ ඔය වගේ පිමි පනින්න තමයි. උඹ බේරුනා කියලා හිත හදාගනින්"

අසලංක ව්‍යාජ සිනාවක් පා ඉවත බලාගත්තේ එයට එකඟ නොවන නිසා පමණක්ම නොවේ. 

අනතුරුව ඔවුන් නිර්මලී ගැන දෑසින් දුටුවාක් මෙන් කියූ කතා වලට අසලංක මදක් සැලී ගියේය. ඈ එවන් ගැහැණියක් නොවේ. තමා දුටු රුව සිතින් මකාලිය නොහැක්කා සේම, තමා දුටු ඒ ආදරණීය ගැහැණියද සිතින් බැස නොයයි. එදා එතරම් දුරක් තමාට යාගන්නට නොහැකි වූයේ ඒ නිසාම වන්නට හැකිය. නමුත් ඈ පොලවේ හැපෙමින් ඒ ගැනත් දුක්වූ හැටි!!! 

' නිර් ඇයි උඹ මට මගේ අන්තිම තුරුම්පුව අදින තැනට ගෙනාවෙ? ඔය කොල්ලා කරන්නේ බොරුවක් !'

'ඒ රහස මම කියන්නට හිටියේ මෙහෙම නෙවෙයි නිර්! ඔයා මගේම උන දවසකට'

--------------------------------------------------

බැල්කනියේ වූ වැටට රශිඳු පයින් ගැසූ වේගයට වසා තිබුනු දොර දෙදුරුම් කෑ නිසා එතෙක් රැඳී සිටි දුරකතන ඇමතුම විසන්ධි කොට වහා කබානාව තුලට පිවිසියේ කැළඹීමෙනි. ඈ දකින්නේ වීදුරු දොරෙන් එපිට වූ කොටසේ කඩියෙක් කෑ පරිද්දෙන් දුරකතනය කනේ රුවාගෙන ඒ මේ අත වේගයෙන් ඇවිදින රශිඳුය. 

' යකා වැහිලා!'

නිර්මලී සෙමෙන් අඩි තබමින් ඒ අසළට ගොස් හඬක් නොනැඟෙන සේ වීදුරු දොර විවර කලේ ඒ වනවිට ඔහු සිටියේ දොරට පිටුපා බැවිනි.

".... මගුලක් කතා කරනවා! උන්ට එහෙම කරන්න බෑ.. මම කොහොමද නිවාඩු කැන්සල් කරලා එන්නෙ? අනික.. අනික.."

සංවාදයේ එහාපස අයෙක් කළ විහිලුවට රශිඳු තවත් කෝප ගත්තේය.

"... @ද්ද තමයි ! අර @ල්ලායි තට්ටයායි ඕක පිටිපස්සෙ ඉන්නෙ! "

රශිඳු දත්මිටි කමින් කියන්නේ කවුරු ගැනද කියා දිමුත් දනී. නමුත් වඩාත් බුද්ධිමත් වන්නේ ඒ නීති වලදී හැකි තරම් සාමාන්‍ය ලෙස ප්‍රතිචාර දැක්වීමයි. 

" මේ අහපං යකෝ.. දැන් මෙතන ගිරිය පුප්පගෙන බෙරිහන් දෙන්න ඕන නෑ. තෝ බැන්දා කියලා කියන්නම වෙනවනෙ කොහොමත්. මෙන්න මෙහෙ වර අද හවස.. මම ඉතුරු ටික බලාගන්නම්.."

කුළු හරකෙක් මෙන් නාසයෙන් පිඹ ඇමතුම විසන්ධි කරද්දීම පපුව හරහා පසුපස සිට දෑතක් විත් පපුව ඉදිරියේ ගැටගැසුනේ පිට සහ ඉන පෙදෙස මෘදු උණුහුමකට නතුවෙමිනි. රශිඳුගේ දෑස ඉබේටම පියවී හිස පසුපසට නැමී අහසට බරැති සුසුමක් පාකොට හැරියේ ඉබේටමය. 

" කාටද මේ බස බස ගගා බනින්නේ ආ?"

එසැනින් නැවතත් ඇමතුමකි. එය සවන් මත තබා ගන්නේම ආපසු හැරී පුපුරා හැලෙමින් , නිර්මලී වැලඳගනිමිනි.

" අඩෝ මේ.. කවුද ඔය @රි වැඩේට අත ඉස්සුවෙ? යකෝ..   World cup එක හත් ගව්ව්වක් තියාගෙනවත් මෙහෙම නැටුවෙ නෑනෙ. හදිස්සියේ මොකද මේ? "

චාමික මදක් චකිතයෙන් හුස්මක් ගත්තේය. රශිඳු නිර්මලීගේ බඳ වටා ගිය අත ඒ මේ අත යවමින් සිටියේ දෑසම අහසේ ඉහළට හරවාගෙනය.

" දිමුත් අය්යා කෝල් කලාද? "

නිර්මලී හොර පූසියක සේ කමිසයේ බොත්තම් කිහිපයක් ගලවා නිරුවත් පපුව පාදාගෙන හිතේ හැටියට එහි සිය හිස තබා ගත්තේ ඔහුට තුරුල් වෙමිනි.

" ඔව් බං... මම කලින් ෆිට්නස් දුන්නනෙ බං.. ආයෙත් මොන මගුලටද මේ ෆිසිකල් ෆිට්නස් ටෙස්ට් එකක් දාලා තියෙන්නෙ?"

" ආ.. ඒක නම් මචං උඹ හින්දම දාපු එකක්. දැන් දවස් දෙකට උඹගෙ T twenty එක ටෙස්ට් මැච් එකක් උන හින්දා වෙන්න ඇති.. යකෝ ඕකි මැරෙයි"

රශිඳුගේ මුහුණ අනපේක්ෂිතව රතුවී ගියේ නිර්මලී බලා සිටියදීය. ඔහු සිනාසුනේ යටිතොල සපාගෙනය. තලෙලු ඔහුගේ මුහුණ රතුවීම නිසා අපූරු පැහැයක් ගෙන තිබිණ.

" මෙතන මගේ කෙල්ල නැතිනම් මම උඹට දෙනවා උත්තරයක් ! යකෝ.. අහපු එකට උත්තර දීපං"

" අද හවස 6 වෙනකොට වරෙං.. ඒක මගෑරගන්න එපා බූරුවා.. දැන් ඉතින් නහින්න දෙයක් නෑනෙ බං ගෙදර ගෙනාවනෙ.. ආ අමතක උනා කොහොමත් උඹ.."

" කට වහපං ඉරිසියාකාර $ල්ලා.. හ්ම්ම්.. 6 ට ඔහේට එන්න නම් එන්න එපැයි.  හරි හරි.. මම පිටත් වෙනව"

රශිඳු මහා හදිස්සියෙන් මෙන් දුරකතනය විසන්ධි කොට තමන්ගෙ ලය පහුරුගානා නිර්මලී දෙස බැලුවේ දීප්තිමත් දෑසිනි.

"... මොකද හාරන්නෙ?"

නිර්මලීට යමක් සිහි වූවද ඈ සැනින් ඒ ගැන අමතක කොට ඇස කරකවා බැලුවේ එතෙක් තිබුනු ඒ රුදුරු පෙනුම ඒ මුහුණේ සොයන්නට මෙනි.

" අද යන්න වෙනව නේද? "

" හ්ම්ම්.."

එය නෑසුනා සේ රශිඳු වෙනත් වැඩක් ආරම්භ කොට තිබුනු නිසා නිර්මලී දෑස වසාගෙන ඒ මේ අත ඇඹරුණාය. 

"... යන්න කලින් ඕන ස්පෙශල් මොනවාහරි "

නිර්මලීගේ දෑස ඉබේම විවර වූයේ සිනාවක් පනිමිනි. 

" අන්නේ... මම ඊයෙ කිව්වේ විහිළුවට.."

රශිඳු ඇගේ සඟවාගත් මුහුණ ඇගේ නිකටින් අල්ලා තමා වෙත හරවාගෙන සිය සුවිශේෂී වූ බැල්මෙන් ඈ අඩපණ කොට ගත්තේය.

" මට ඒක ඕන! "

නිර්මලීගේ දෙනෙත් තරු කැට මෙන් දිලිසෙනු බලා රශිඳුගේ මුව අගට නැඟුනේ ඔහුගේ ඕනානැති සිනාවමය. 

".... මගේ නේද? හ්ම්ම්ම්????"

රශිඳු ගෝකුල යනු එකම මත්ද්‍රව්‍යයකි. තමා එයට ඇබ්බැහි වී ඇති තරමක්!!

---------------------------------------------------------------

වසර දොලහකට පසුව...

ඊට වසර දොලහකට පසුව නවසීලන්තයේ එකතරා අවන්හලකදී නිර්මලී බරැති සුසුමක් සළමින් ඒ මොහොත ආවර්ජනා කරනා විට නැඟෙන කඳුළු දෑස ඔස්සේ ඉබේම පල්ලම් බසිද්දී එතැනට පැමිණි පිරිමි දරුවා අත තිබුනු චොක්ලට් පානය මේසය මත තබමින් ඈ දෙස තරවටු බැල්මක් හෙළුවේය.

"... නිර්.. ප්‍රොමිස් උනානේ අඬන්නේ නෑ කියලා. එහෙනම් මේ කතාව ඇති!"

නිර්මලී අපහසුවෙන් නඟාගත් සිනාවත් සමඟ මේසට මත තැබූ චොක්ලට් පානයේ වූ සීතල වතුර බිංදු එකිනෙක යා කරමින් බිම බලාගත්තේ මේ සැරවැර ගැන සිතින් සිනාසෙමිනි.

" නෑ නෑ මම අඬන්නෙ නෑ.. I miss him a lot. එහෙම තමයි කොල්ලා ආදරේ උනාම.. මුලු හිතින්ම ; ආත්මයෙන්ම ආදරේ උනාම හැම තත්පරේම මිස් වෙනවා.."

ජෙම් තවදුරටත් නිර්මලී දෙස බලා සිටියේ සිතට ආ පැනය අසන්නට සුදුසු මොහොතද කියා නිශ්චය කරගත නොහැකිවය. නිර්මලී හිස ඔසවා ඔහු දෙස බලන්නේ ඔහුගේ සිත කියවාගෙනමය.

" .. ඉතින් අහන්න"

ජෙම් මද විරාමක් ගත්තේ වැකිය ගලපාගනිමිනි.

" එතකොට ඩඩාව කවදාවත් නිර් මිස් කලේ නැද්ද ?"

පැනය සෘජුවූ නිසාම නිර්මලී ඉන් ගැස්සී ගොස් බැල්ම විතැන්ව ඒ මේ අත ගියේ ඉබේටමය. 

එය සිදුවූ අයුරු කියන්නට නම් තවත් බොහෝ දේ ඔහුට කිව යුතුය. තවමත් පහලොස් හැවිරිදි වුවද යමක් තේරුම් ගන්නට හැකි පමණ වැඩී සිටිමුත් කතාවේ ඇතැම් කොටස් ඔහු නොදැන ඉන්නවා නම් යහපත් ය.

" ඒකට මගේ ගාව උත්තරයක් නෑ ජෙම්.. ඒ උනාට එක දෙයක් කියන්න පුලුවන් , ඔයාගෙ ඩඩා ඔයා හිතන තරම් නරක මනුස්සයෙක් නෙවෙයි"

ජෙම් ගේ හිත රිදුනු බව නිර්මලී හැඳින්නාය. කුඩා කාලයේදී මෙන් වේගයෙන් ඇසිපිය සළමින් සහ හුස්ම අල්ලමින් ඔහු දක්වන අභිනය ඊට සාක්ෂිය.

" ඒකද ඩඩාව අතහැරියේ? "

" ජේ... එහෙම නෙ.."

" නිර්! මට බොරු කියන්න එපා.. ඔයාට ගොඩක් ආදරේ කලා මගේ ඩඩා!! ගොඩාරියක්.. ඔයා ඒ හැමදේටම පයින් ගැහුවා.. ඩඩා නරක නිසානේ මේ හැමදේම උනේ?"

නිර්මලීගේ වදන් මදකට සිරවී යද්දී ඈ යලිත් අවුරුදු ගණනාවක් අතීතයට ඇදී ගියේ නිරායාසයෙනි.


--------------------------------------------------------------

තවදුරටත් වර්ථමානයේ.. 

බිමට බරවූ නෙතින් සිටි දුලීකා හිස නොඋස්සාම හුස්මක් හෙලුවාය.

" ෆ්ලයිට් එක එන සතියේ.. වීසාත් ඔක්කොම හරි.. ඒවා මට ඩිලේ කරන්න පුලුවන් "

හිමාල් නොසෙල්වී ඔහු බලා සිටි ඈත ඉම දෙසම බලා සිටියේ කිසිඳු හැඟීමක් නැතුවාක් මෙනි.

" අකිත්මාව දෙන්නෙ නෑ දුලී. ඔයාගෙ ගමන ඔයා යන්න. මට පුලුවන් දරුවො දෙන්නා බලාගන්න තියෙන විදියට. අනික එයාලා කොහොමත් higher studies වලට මැලේශියා යනව"

දුලීකාට දැනුනේ හිස් බවකි. බිඳී ගිය වීදුරු බඳුන නැවතත් පිලිසකර කරන්නට හැකි මුත් හිමාල් එයට අකමැති බව පසක් වී හමාරය. දෙදෙනා අතර තත්පර ගණනාවක නිහඬතාවය බිඳගෙන දුලීකා කතා කලේ මිමිණුමක් ලෙසිනි.

" සොරි... මම..."

" මගේ අතිනුත් අඩුපාඩු උනා. මම නෑ කියන්නෙ නෑ. ඒ මොනවා උනත් ඔයා මගේ දරුවන්ගෙ අම්මා.. ඒක වෙනස් වෙන්නේ නෑ. අපි අතර ප්‍රශ්න එයාලට ප්‍රශ්නයක් වෙන විදියට වැඩ කරන්න මම කැමති නෑ. "

දුලීකා සුසුමක් සමඟ හිස සලා එය පිලිගත්තාය.

" මම..  ඔයාට.. ව-ර-ද-ක් කලේ නෑ හිමා.. මම.. "

හිමාල් එක එල්ලේ දුලීකා දෙස බැලු ඒ තියුණු බැල්මට ඇගේ උගුර සිරවුණි. 

" කලත් එකයි හිතින් හිතුවත් එකයි!"

දුලීකාට දැනුනේ එය සැත්කම් පිහියකින් එල්ලකල පහරක් ලෙසයි. තමන් ඔහුට කියූ වචනම තමන්ට කීම දෛවයේ සරදමකි.

" හිමා... ඔයා නිර්මලීට ආදරේ කරපු එක මම තේරුම් ගත්ත කාලයත් එක්ක. ඔයාම හිතන්න.. දවස තිස්සෙම ගේ අස්සේ ඉන්න තනිකඩ කෙල්ලෙක් ගැනයි ඒ කෙල්ලට හිතින් ලව් කරන තමන්ගේ හස්බන්ඩ් ගැනයි වයිෆ් කෙනෙක් ඊට වඩා හොඳ ප්‍රතිචාරයක් දක්වයිද කියලා .. ආ? මම තේරුම් ගත්තේ නැද්ද ?"

හිමාල්ගේ මුවේ නැඟුනේ සෝපහාස සිනාවකි. ඔහු සිය යටි රැවුල පිරිමදිමින් අසළ වූ පුටුවට බර වූයේ දුලීකාටද අසුනක් හිසින් පෙන්වමිනි. නමුත් ඈ හිඳගත්තේ නැත.

" එදා මම අකිත්මා එක්ක කිව්ව වචන ටික ඇහුනා ඇරුනාම කොයිම මොහොතක වත් නිර් දිහා වැරදි විදියට බලනවා දැකලා තිබ්බෙත් නැතුව ඔයා ඒ චෝදනාව කලේ. මම තිබ්බ අවංක කමට ඒක පිලිගත්තේ ඒ වගේ තුට්ටු දෙකේ කතාවක් අහන්න නෙවෙයි. 

ඔව්! මම අදත් කියනවා නිර් ගැන මගේ හිතේ ආදරයක් තිබ්බා.. දැනටත් තියෙනවා. ඒක ඒ කෙල්ලව ඇඳේ දාගන්න ඕනෙකමක් නෙවෙයි. එහෙම ඕනෙ නම් මට ඕනේ තරම් කරන්න තිබ්බා.. මම රහත්වෙලා නෑනෙ. ඔයා කලේ මගේ ඒ අවංකකම යූස් කරලා මාව හිර කරපු එක. ඒ කෙල්ල මේ කිසි දෙයක් නොදැන තමුසෙට පන දෙන්න ඉඳලා... ඉරිසියාවට අන්තිමට තමුසේ ඒ කෙල්ල ගැන පතුරවපු නරක කතා ගැන දැන් දුක් උනාට වැඩක් නෑ දුලීකා! "

හිමාල් හුස්මක් ඇල්ලුවේ විරාමයක් ගන්නට මෙනි. දුලීකාගේ නෙත් නැවතත් තෙත් වූයේ නිරායාසයෙනි. රෝහලට අකිත්මා බලන්නට ඈ එන මොහොතේදී තමා දුටු පුවතින් කම්පනයකට පත්ව සිහිසුන්ව සිටි නිර්මලී දැකීමෙන් මවක් වූ තමන් අධිවේගී දුම්රියකින් විසිකොට දැමුවාක් මෙන් දැනුනේ , සිහිය ආ සැනින් තමාගේ අතේ එල්ලී කී වචන නිසාමය.

' එයා අනූජ වගේ ඉන්න ඇති නේද? '

දෙවියනේ එහෙම ලය හූරගෙන යන වේදනාවක්! 

ඈ කිසි විටෙක තමන්ට හෝ හිමාල්ට චෝදනා නොකලාය.

' මට උරුම නැතුව ඇති නේද? '

නිර්මලී !!! ඔයා කොහොමද දෙවියනේ එතරම් ලොකු හදවතත් ඇති කෙනෙක් උනේ? මම ඔයා ගැන කිව්වේ මොනවාද? 

එය සවන් වැකෙත්ම එතෙක් පසුගිය දින කීපය තුලදී තමාගේ ජීවිතයේ සිදුවූ සිදුවීම් එකින් එක හරි අපූරුවට පෙලගැසී ගියේය. හිමාල් නිවසින් බැහැරවීමත් සමඟ එදිරිමාන්න ඇමතූ ඈට ලැබුනේ අපූරු පිලිතුරකි. 

" එලවන්න නෙවෙයි කිව්වේ වන්දියක් ගන්න කියලා. බේබි මම ඉන්නේ මීටින් එකක.. මම හවස එන්නම්කො අපි කතාකරමු"

එදින හවස නිවසට ආ ඔහු හැසිරුනේ වියරුවෙන් මෙනි.

" ළමයි එක්ක යැව්වෙ ඇයි ? පිස්සුද ?? ඌට financial support එකක් නෑ. ළමයි ගෙන්නගන්න "

තමාට එය සාර්ථක කරගන්නට නොහැකි වූයේ අකිත් තදින්ම තමා ප්‍රතික්ශේප කිරීම නිසාය. දිනෙන් දින සිදුවූයේ ඔහුගේ යටි අරමුණ තමා අභිබවා හිමාල් වෙත එල්ලවී ඇති බවත් නිර්මලී නම් ගැහැණිය හා යම් පලිගැනීමක් ඇති බවත් යම් යම් ඉඟි වලින් ස්ථීර වීමය. 

හිමාල් වෙතින් පැන නැගී නිර්මලී හා සම්බන්ධ වූ ඊර්ෂ්‍යාව මහා රුකක් සේ වැඩුනේ කවරදාදැයි ඈ නොදැන සිටියේ එතරම්ම තමා සිහින ලොවක සිටි නිසාය. 

' නිර් කියන්නෙ පැංචිගෙ අම්මි නම් මම කොච්චර කැමතිද?'

ළදරු අකිත්මා ' අම්මා' කියමින් නිර්මලී වෙත දෝත පාද්දී හිමාල්ගේ මුවින් අහම්බෙන් මෙන් වැටුන ඒ වචනයෙන් තමා එය අල්ලාගත් මොහොතේදීටත් වඩා තමන් මානසිකව වැටුනේ ඒ මොහොතේය. 

තමා සිය කැබින් එක තුල සිටිනා බව නොදැන එදිරිමාන්න විසින් ගත් ඒ ඇමතුම නිම වනවාත් සමඟ සියල්ල කඩා හැලුනේ නිමේශයෙනි. අකිත්මා අසනීප වී රෝහල්ගත කර ඇති බවට හිමාල් ඇමතුම නොදෙන්නට තමන් සිටියේ දිවිනසාගැනීමට ක්‍රමයක් සොයමිනි.

දෑසින්ම දුටුවේ මිය යන්නට හේතු කෝටියක් තිබියදී, ජීවත් වන්නට එක හේතුවක් සොයාගෙන සිටිනා නිර්මලී නම් ගැහැණියයි. ඇගේ ඒ life line එක ඈ සිය ළයට තුරුල් කරගෙන නොනවත්වා ඈ සනසමිනි. 

" baby girl.. අඬන්න එපා... මම ඉන්නවා ඔයාට.. අපි බබෙක් හදමු"

ලය පලා යන වේදනාවෙන් තමාගේ ආත්මය ඈ ඉදිරියේ අබ ඇටයක තරමට කුඩාවී ගියේ ඒ මොහොතේ ය.

" හිමා... නිර්ව අපි ඒ කොල්ලටම දෙන්න ඕන! මම තමයි නිර්ගෙ ඔක්කොටම වියදම් කරන්නේ. ඒ ගැන එයා දැනගන්න ඕන නෑ."

ඇගේ සමාව තමාට නොලැබුනද හෘදසාක්ෂිය විසින් තමාට ඊළඟට කලයුත්ත වහා පාදා දුන් බැවින් , අකිත්මා නිවසට ඇරලූ සැනින් දුලීකා කෙලින්ම නතර වූයේ ඒ අවස්ථාවාදී මිනිසාගේ කාර්‍යාලය ඉදිරියේය.

ඉතිරිය සිදුවූයේ වේගයෙනි. අද මෙලෙස හිමාල් වෙත තමන් දන්වා සිටින්නේ ඒ ගත් පියවරේ අවසාන කරුණයි. 



******************** මතු සම්බන්ධයි *****************


4 comments:

  1. අද නම් ටැපලිලා ටැපලිලා ටැපලිලා. කවුද අනේ මේ ජෙම්. ජෙනුක ද?

    ReplyDelete
  2. මොකද වදේ මේ පටලලා ටපලවන්නේ අර කිව්වත් වගේ.......

    ReplyDelete
  3. නිර් ට පුතෙක් ඉන්නවා. ක්‍රිකට් මෑන් දාල ගිහින්. ඒ ටික තේරුම් ගත්ත

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...