Monday, June 27, 2022

335: උන්මාද චිත්‍රාදෝ මා 67



සැලකිය යුතුයි: මේ කොටසේ සහ ඉදිරි කොටස් දෙක තුනක දින වකවානු වෙනස් වන බවට සැලකිලිමත් වන්න.

 සුදුපැහැ යුරෝපීය ඇඳුමට රශිඳුගේ පෙනුම අතිශය කඩවසම් විය. ශ්වේත වර්ණ ගවුමක් ඇඳ සිටිනා මනාලියගේ අතින් අල්ලාගෙන ඔහු සිටියේ සිනාසෙමිනි. 

' මගේ දරුවව මට නැති කරපු සාපෙ වදිනවා!'

රශිඳු මොහොතින් තමා දෙස හෙලූ බැල්මෙන්ම මාලතී ගෝකුලගේ ඇතුලාන්තය මදක් සෙලවී ගියද දෙසවන් අසළ දෝංකාරයක් ලෙස තමන්ගේම වදන් ඇසුනේ නිරායාසයෙනි.

" අම්මා.... නඟින්න දැන් යමු"

තමා කෙලෙසින් මේ විසිතුරු සාරිය ඇඳගත්තාද කියා මතකයක් නැතත්, එය රොහාන් ගෝකුල; සිය සැමියාගේ ප්‍රියතම පැහැයයි. මාලතී ගෝකුල පසුපසට අඩියක් තබා සිය පුත්‍රයාගේ මුහුණ දෙස අනුකම්පා විරහිත බැල්මක් හෙලුවාය.

" නෑ.. මම එන්නෙ නෑ!"

" අම්මා! නිර්මලී අද මම බඳිනවා.. අම්මා ඒකට එන්නම ඕන. මට අම්මව දාලා යන්න බෑ. පිස්සු නැතුව වාහනේට නඟින්න"

" බෑ.. මම එන්නෙ නෑ. උඹට මට වඩා මේ වැඩිමල් ගෑනි ලොකු උනා.. උඹව දහ දුක් විඳලා හදපු අම්මට වඩා කොහෙවත් යන ගෑණියෙක් ලොකු උනා. මේ අම්මා මැරුණා කියලා හිතපං.. මම එන්නේ නෑ"

වේදනාත්මක මුහුණින් රථයට නැඟුනු රශිඳු වේගයෙන් එය පදවාගෙන ඇගේ දර්ශන පථයෙන් ඉවත්ව ගියේ අසුරු සැනෙකිනි.

' පුතේ පරෙස්සමින්! උඹට වාහන එළවන්න කිව්වෙ කවුද ?'

හිත මුරගෑවේ එලෙසිනි. 

' උපාසකම්මා නහින්න හදලා වැඩක් නෑ. ඌට නැත්තෙ ආයුෂ ඉතරනේ.. අම්මකෙනෙක් විදියට දරුවට දෙන්න බැරි දෙයක් නෑ කිව්වට, ආයුෂ කොයින් දෙන්නද? නිකං සසර ගණුදෙනු වලට හරස්වෙලා කොල්ලගෙ තියෙන ආයුෂත් නැති කොරන්ඩ එපා, ඔන්න මම නොකිව්වය කියන්ට එපා!'

මීවලපලානේ හාමුදුරුවන්ගේ ගැඹුරු හඬින් වූ තරවටුව ඇගේ සවනේ එක පැත්තක රැව්දී ගිය අතර ඉතා පැහැදිලිව රොහාන් ගෝකුල ඇගේ අනෙක් සවන් අසල ගුගුරා හැලුනේය.

'උඹ මගේ කොල්ලගේ සතුට නේද උදුර ගන්නේ?'

ඈට නිර්මලී ගමනායකගේ මුහුණ මැවී පෙනුණි.

'ආදරේ එහෙම තමයි අම්මා.  ඔයා තාත්තාට මැරිලත් කොච්චර ආදරේද? ඒ කෙල්ලත් මට එහෙම ආදරේ කරන කෙනෙක්.. ඔයාට කවදාහරි තේරෙයි ඔයාගෙ පුතා ඔයා වගේ අම්මෙක් ලබන්නත් , ඒ වගේ වයිෆ් කෙනෙක් ලබන්නත් කොච්චර ලකීද කියල..'

රශිඳුගේ පෙරකී වදන් ඈ තුල අතිශය කම්පනයක් ඇති කලේය.

'මගෙන් කිසිම බලපෑමක් රශිඳුට නෑ. රශිඳුට පුලුවන් ඕනම වෙලාවක මගෙන් වෙන්වෙන්න. හැබැයි අම්මා... රශිඳු කියන්නේ මගේ ආදරේ.. එයා අම්මාට ගොඩාක් ආදරෙයි.. අම්මා එයා වෙනුවෙන් කරපු කැපකිරීම් ගැන ගොඩක් හිතන කෙනෙක්..  '

නිර්මලීගේ හඬ ඒ හා සමව මෘදු ලෙස ඇගේ සවන් මත මළබෙරයක් ලෙස වැයෙන්නට විය.

එසැනින් ආ ඇමතුමට මාලතී පිලිතුරු දෙන්නේ අඩමානයටය.

" මාලතී නේද? "

" සූරි! "

" ඇයි මාලි ඒ කොල්ලාට යන්න දුන්නේ? ඌට එදා මම කියපු දේවල් ඔක්කොම වතුරේ නේද? මාලි ඔයා කලේ ලොකු වැරැද්දක් "

" සූරි.. ඌ ඇහුවෙ නෑ!"

" ඔක්කොම ඉවරයි! ඔක්කොම ඉවරයි"

" ඇයි මොකද වෙලා තියෙන්නෙ?"

" කොල්ලා ඇක්සිඩන්ට් වෙලා! කලින් වතාවෙ වගේම වාහනේ චප්ප වෙලා! "

මාලතීට දැනුනේ ක්ලාන්ත ගතියක් වුවද ඈ අල්ලාගත් හුස්ම එලෙසම නතරකොට ගත්තාය. 

"... කපල් එකම මැරිලා.. මාලි! අපේ කොල්ලා මැරිලා!! "

' උඹ මොකක්ද ඒ කලේ?? මගේ කොල්ලව මරාගත්ත නේද? උඹ මට දීපු පොරොන්දුව බොරුවක්!'

ඉදින් සියල්ල අහවරය! තමාගේ හුස්ම ටික අහිමිව ගොස්‍ ය. රශිඳු ගෝකුල... 

' අනේ දුවේ මගේ කොල්ලා...'

විලාපය නැඟුනේ උගුරේ ඇතුලින් නිසා හඬක් පිටවූයේ නැත. ඈට දුරකතනය අතහැරුනු අතර බිත්තිය අල්ලාගෙන එලෙසින්ම බිම හිඳගත්තේ සියල්ල තමා වටා භ්‍රමණය වන්නා සේ දැනුන නිසාය.

' මගේ දරුවව මට නැති කරපු සාපෙ වදිනවා!' 

ඒ සාපය අවසානයේ තමාටම සාපයක් වූවාද? අනේ දෙවියනේ.. මම එහෙම හිතුවේ නෑ. නිර්මලී කියන දරුවා එක්ක ඇයි මම එහෙම වෛරයක් ? පුතා මට නැතිකරගත්තේ මමම නෙවෙයිද? කොල්ලා කොච්චර කතා කලත් මමනෙ කතා නොකලේ.. අය්යෝ.. මම කරපු අපරාධයක්!

මහා වැස්සක් කඩා වැටෙන්නට අහස අර අදිනවාක් මෙන් ගිගිරුම් හඬක් නැඟිණි. නමුත් එය වැස්සකට වඩා කුණාටුවක් මෙන් දසත සීතල සුළං දහරා වලින් ඇලලී ගත්තේය. සුළඟ නඟන විලාපය සමඟ වැහි බිඳු ඊතල මෙන් මුහුණ වසා ඇද වැටෙන්නට විය.

" නෝනා... නෝනා.. "

ඈතින් ඇසුනු හඬ වඩ වඩාත් ලංව ඇසුණි. මාලතී භීතියෙන් මෙන් දෑස හරිද්දී ඈ අසල ඈට ඉහලින් ඇගේ වතට එබී සිටියේ වතුර වීදුරුවක් අතැ'ති සේවිකාවයි. 

".. නෝනා.. බය උනාද?? ඊයෙත් හරිහැටි නින්දක් නෑනෙ. ඇයි නෝනා මේ?"

මාලතී දෝතින්ම සිය පපුව අල්ලාගෙන සයනයෙන් නැඟී සිටියාය. එය සිහිනයක්ද?

" මගෙ පුතා?? කෝ මගේ පුතා???!"

සේවිකාවගේ අතේ එල්ලුන වේගයට ඈ අත තිබුනු වතුර වීදුරුවෙන් කොටසක්ද ඉහිරී ගියේය. 

" ඇයි නෝනේ.. පුංචි මහත්තය මගුල් ගෙදර ගියානෙ!"

එසේනම් එය සිහිනයකි. හදවතට දැනුනේ පුදුමාකාර සහනයකි. නිමකල නොහැකි පසුතැවීමක් සෙමෙන් සෙමෙන් සිය මනස පාමුලින් ඇරඹෙනවා දැනෙද්දී සේවිකාවගේ මුහුණ බැලූ මාලතී මදක් කල්පනා කළාය.

" නෝනා හීනෙන් කෑගැහුවනෙ... ඊයෙත් හරිහැටි නින්දක් නෑනෙ. ඒකයි ඔය. අන්න නෝනව හම්බෙන්න කවුදෝ ජෝඩුවක් ඇවිත්"

------------------------------------------------------------------

වර්තමානයේ.. එනම් අග නගරයේ හෝටල් පරිශ්‍රයේ....

" අම්මා!"

අදහාගන්නට නොහැකි බවින් තත්පරයක් ගතකල රශිඳු නිර්මලී අල්ලාගෙන සිටි වම'ත එසේම තිබියදී වහා පැන සිය මව අල්ලා බදා ගත්තේ මාලතී ගෝකුලගේ දෙනෙත්වල කඳුළු පිටාර ගලවමිනි.

"අම්මේ... මට සමා.."

නිර්මලීට කියන්නට ලැබුනේ එපමණකි. 

" ඔයාගෙ වරදක් නෑ දුවේ... "

නිර්මලී සිය අනෙක් උරයට තදකොටගෙන පිලිවෙලින් මවගේත් , සිය බිරිඳගේත් හිස සිප සැනසූ රශිඳු , දෙදෙනාම මදක් නිදහස්කොට සිය දෑස් පිස ගත්තේ සිනාසෙමිනි.

" තෑන්ක්ස් අම්මා.. ආවට ගොඩක් පිං.. කොහොමද.. මේ?"

නිර්මලීටත් ඇතිවූ පැනය අසමින් ඔවුන් දෙදෙනාම ඉරේෂාගේත් , මාලතී ගෝකුලගේත් මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලූහ. ඉරේෂා සිය අව්‍යාජ සිනාවෙන් සිය සැමියා දෙස බැලුවාය.

"දුණුකාර සර් ඇවිත් අපිට කිව්වා.. සර්ගෙ අම්ම හිත නොහොඳින් කියලා. අනූජ සර් දෙවියෙක් වගේ ඇවිත් මගේ ජීවිතේ ගොඩදැම්මා.. මට පුලුවන්ද මේ නෝනාට; මේ සර්ට මෙහෙම උදව්වක් වත් නොකර ඉන්ට? උදේ ඉඳලා මම දන්න ඔක්කෝම කිව්වාම.. ඉතින් මේ නෝනගෙ හිත උණු වෙන්ට ඇති.. ඒ තරම් පිං කඳක්නෙ අපේ නිර්මලී නෝනා"

" අනේ ඉරේෂා !!!"

නිර්මලීගේ සිත ඇවිලුනේ හදවත පැලී යන තරම් ආවේගයකිනි. දෙවියන් තමා දෙස බැලුවාද? ඈ මාලතී ගෝකුලගේ දෙපා අසළ වැටුනේ ආශිර්වාදය පතා වූ අතර සිය පුත්‍රයාගේ හිස සිඹ අනතුරුව ඔහුගේ රූමත් මනාලිය දෙවුරෙන් අල්ලා නැගී සිටුවා ඈ දෙස දාරක ප්‍රේමයෙන් බලා සැනසුනාය.

" තුනුරුවන්ගෙ සරණයි.. සතුටින් ඉන්න මගෙ පැටවුනේ.."

සැනින් රශිඳු පැන ඇගේ කකුලේ ඉහල කොටසින් අල්ලා ඉහලට වඩා ගත්තේ ඈ කෑ ගසද්දීය.

"යමු දැන් හෝල් එකට.. ආයෙ දුවන්නෙ එහෙම නෑ!"

" ඒහ් කොල්ලා මාව බිමින් තියන්ඩ කොන්ද කඩන්නද හදන්නෙ? ඔය.... බෑ බෑ මම මගුල් මුද්දවත් දාලා නෙවෙයි ආවෙ"

මාලතී සිය දඟකාර පුත්‍රයාගේ උරහිස් වලට දෑතින් ගසමින් කීවේ ඒවා ගණනකටවත් නොගන්නා ඔහුගෙන් ගැලවීමක් නැති තැනය.

" ආ බලපල්ලකො මෙයාගෙ මගුල් මුද්ද මොකද මෙතනින් සෙකියුරිටි චෙක් කරනවද?"

මේ නම් තමාගේ දඩබ්බර ; පිස්සු කොලුපැටියාමය! නිර්මලී එක් අතකින් මුව වසාගෙන සිනාසෙමින් මේ කෝලම් බලා සිටියාය.

රශිඳු ඈ වඩාගෙනම ගොස් ශාලාව තුලින් බිම තබද්දී මාලතී  මුලින්ම සිය දඟකාර පුත්‍රයාට පහරක් ගැසූ අතර හිරාන් දුවවිත් ඇගේ අතින් අල්ලා ගත්තේ ප්‍රීතියෙන් උද්දාම වෙමිනි.

" බුදු අම්මෝ ආන්ටි!! කොහොමද ආවෙ? අපිට මාර ශොක්ස් නේ දෙන්නේ.. "

සිය සාරිය වහා සකස් කරමින් උන් මාලතී හිරාන්ගේ ආගමනයෙන් මදක් ලැජ්ජාවට පත් වූවාය. ඔහු කෙතරම් තමා ළඟ බැගෑපත්ව අයැද සිටියාද? 

" අනේ පුතා මේ.. "

සමාව අයදින්නට මෙන් මාලතී හිරාන් දෙස බලද්දී හිරාන් මුව විදහා සිනාසී ඇගේ උණුසුම් දෑතම සිය දෑතින් අල්ලා ගත්තේය.

" ආන්ටි... කවුරු කියලා කොහොම ආවත් කමක් නෑ. රශියාගෙ අද දවසට ආන්ටි ඉන්නම එපැයි !"

එවිටම පිරිස අතරින් එබුනු රුවක් විසල් කරගත් දෙනෙතින් යුතුව මාලතී දෙස බලා සිටියේ විවර වූ මුව එක් අතකින් වසා ගනිමිනි.

" මාලි??? ඔයා..?????? මේ????"

මාලතී ගෝකුලත් විසල් වූ දෑසින් මදක් වික්ශිප්තව බලා සිටියේ තමන් එතෙක් කිසි විටෙක අපේක්ෂා නොකල රුවකි. 

" රෝසි?? ඔයා??"

" අනේ දෙවියනේ... මේ ඔයාගෙ පුතාද මාලි??"

------------------------------------------------

දින පහකට පෙර.. අග නගරයේ එක්තරා සමාජ ශාලාවක කවුන්ටරය අසළ...

" තමුසෙ බය නැතුව මම කියපු විදියට කරනවා.. "

මත්බව නිසාත් , කලබලය නිසාත් තෙල් පැහැයට හැරී තිබුනු ඔහුගේ මුහුණ මත ඇති හැඟීම් කියවන්නට උත්සහ කරමින් මේසය මතට ඇඟිලි වලින් තට්ටුවක් දැමූ කසුන් හොරැහින් මෙන් තමට පියවර කීපයක් එපිටින් සිටිනා සිය මිතුරා දෙස බැල්මක් පා කලේය.

ඒ සමඟම කසුන් අත වූ ජංගම දුරකතනය මේසය මත තබා එහි තිබුනු යම් දෙයක් ; තරබාරු මිනිසාගේ දෑසට හසුවන්නට ලං කල අතර, ඒ මුහුණේ මස්පිඬු ඒ මේ අත නලියන්නට ගත්තේ වියරුවෙන් මෙනි.

-------------------------------------------------

දින හතරකට පෙර.. ගමනායක සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්‍යාලයේ..

දුරකතන ඇමතුම නිම කිරීමත් සමඟ පුටුව මතට කඩා වැටුනු නව්‍යා මද වේලාවක් සිහි එලවා ගන්නට මෙන් වේගයෙන් හුස්ම ඉහළට හා පහලට ගත්තේ දියෙන් ගොඩට ගත් මත්ස්‍යයෙකු පරෙද්දෙනි.

' තුශාරා මිස් කිව්වෙ.. අපේ ලෙවල් එකෙන් හැන්ඩ්ල් කරන්න බැරිනම් විතරයි අපි මෑම්ට කියන්න ඕන කියලා... මෑම්ගෙ වෙඩින් එක තව දවස් තුනකින්.. මම දැන් මොකද කරන්නේ?'

ඈ වහා ගිණුම් අංශයේ ප්‍රධානියාට ඇමතුමක් ගෙන පණිවිඩයේ ඔහුගෙන් ලබාගතහැකි තොරතුරු වහ වහා සිය සටහන් පොතේ ලියා ගත්තාය. 

ඊටත් පසුව පාසිකුඩා හි කළමණාකරුවාට අමතා ඔහුගේ සහය ඇතිව පලාත් සෞඛ්‍ය නිලධාරියා අමතා හැකි උපරිම යහපත් ලෙස එය විසඳා ගන්නට උත්සහ කළාය. රාජකාරිය ඉටුකොට හැකි වුවද සෞඛ්‍ය නිලධාරියා වැඩි වගකීමක් ගන්නට කැමති වූයේ නැත.

" කරන්න දෙයක් නෑ මිස්... මම කිව්වත් නොකිව්වත් කැමරා උස්සගත්ත නඩේ පස්සෙන් එනවා.. හොරෙන් කරන්න ගියොත් තවත් කේස් වෙනවා.. "

" ඒ උනාට එහෙම කියන්න එපා මිස්ටර්.. සීල් කලාට කමක් නෑ. අපේ ස්ටාෆ් එක එතන කොරන්ටයින් වෙනවා කිසි ප්‍රශ්නයක් නෑ. ඒවා කිසි දෙයක් අපි වයලේට් කරන්නෙ නෑ. ඉල්ලන එකම දේ මීඩියා වලට එක්ස්පෝස් කරන්න එපා"

තවත් නොයෙකුත් දේ කියමින් කනිපින්දම්ගෑමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුව යම් එකඟතාවයකට පත්කරගන්නට නව්‍යා සමත් වූ සැනින් ඈ පාසිකුඩා හෝටලයේ කළමනාකරු අමතා එය පැවසුවේ ඔහුටද සැනසුම් සුසුමක් එක් කරමිනි.

".. ඒකනෙ නව්‍යා මම කිව්වේ.. ලස්සන විතරක් නෙවෙයි, ඔයා මාර දක්ෂ කෙල්ලෙක්"

එතෙක් වේලාවක් රාජකාරි මට්ටමෙන් ඇදීගිය සංවාදය හරහා එකවරම කොටයක් පෙරලුනාක් වැනි වුවද, එය මන්ද ස්වරයෙන් පැවසූ ඩිලෝන් , අනෙක් පසින් ඇසෙනා හඬ නතර වූ බව තේරුම් ගත් සැනින් ඉබේටම මද සිනාවක් නැඟුනි.

".. නව්‍යා?? කෙල්ල.. කෝ ඇයි එකපාරටම සද්දයක් නැති උනේ? "

කුමක් කියන්නද කියා එකවර සිතාගත නොහැකි වුවද, සිතට දැනුනේ අමුතු හැඟීමකි.

"..මම ඔයාව බය කලාද එදා වගේ?"

නව්‍යාගේ මුව'ඟට සිනාවක් නැඟුනේ 'එදා' සිහිවීමෙන් වූ අතර ඇගේ ඒ සිනාව ඩිලෝන් පැහැදිලිව හුස්මේ හඬින්ම තේරුම් ගනිමිනි.

" නෑහ්... "

" එදා බයකලාට පාඩුවක් උනේ නෑනෙ ඉතින්.. නැත්තං ඔයා මට ආයෙ කෝල් කරන්න නම්බර් එකවත් නෑනෙ"

නව්‍යාට මද සිනාවක් නැඟුනේ එතෙක් සිටි ආතතිය මදකට දුරු කරලමිනි. ඩිලෝන් ඈ බියපත් කරමින් බලෙන්ම සිය දුරකතන අංකය ලබාගත්තේ පාසිකුඩාහි පැවති විවෘතකිරීමේ දිනයේදීය. ඔවුන් ආපසු එනතුරුම ඔහු නොනවත්වා කෙටි පණිවිඩ එවමින් සිටි අතර අනතුරෙන් පසුව ඒවා කෙටි දුරකතන ඇමතුම් දක්වා ගියද තමන් උවමනාවෙන්ම එය මගහැර ගියා මතකය.

"... අලියා ගැහුවට පස්සෙ කට වැහිලද කොහෙද. එක්කො රාජකාරි වලට විතරද මන්දා කතාකරන්නෙ.. දැන් ටිකකට කලින් හුස්මක් ගන්නෙ නැතුව කියෙව්වේ..? "

" නෑ එහෙම නෑ"

" එක්කෝ මාව මෙහෙ හිරවෙයි කියලා බයවෙලාද?"

" එහෙම එකක් නෙවෙයි "

" දැන් මේ ප්‍රශ්න හිතන්න එපා ළමයෝ.. මම බලාගන්නම් මෙහෙ.. කොහොමත් මම වෙඩින් එකට එනවනෙ. එහෙදි කතාකරමු"

නව්‍යා කිසිවක් පැවසුවේ නැත.

" .. මම හවසට ගන්නම් සත්‍යා..? හ්ම්ම් ?"

ඔහුගේ ඇමතීමෙන් නේහා හිරිවැටී ගියේ ඒ ප්‍රියතම වුවත් අඩුවෙන්ම භාවිතා කරන  ඇගේ නම ඔහුගේ මුවින් ඇසීමෙනි. 

එදින රාත්‍රී හත පසුවී විනාඩි විසි එකක් වෙද්දී ඒ කියු පරිද්දෙන්ම ඇමතුම ලැබුනේ නව්‍යාගේ සිතුවිලි නවතාලමිනි.

--------------------------------------

තවදුරටත් වර්තමානයේ....

මංගල ශාලාව මදක් නොසන්සුන් වූයේ ඒ වනවිට නව මනාල යුවල පිටත් වීමට සූදානම්ව සිටි බැවිනි. හෝරා කිහිපයකට පමණ සීමාවූ චාම් උත්සවයේ සිටි අමුත්තන් අතරින් සමහරු රශිඳු ගෝකුලගේ මව දකින්නේ ප්‍රථම වතාවට වුවත්, ඇගේ දෙකන් පිරෙන්නට සිය පුත්‍රයාගේ කීර්තිය ඇසීමටත් වඩා ඔහුගේ මනාලියගේ හිතවතුන්ගෙන් ලද තෙපුල් වලින් මාලතී ගෝකුල සිටියේ උද්දාමයට පත්වෙමිනි.

මෙය චිත්‍රපටයක කොටසක් වේ නම්, සියල්ල මින් පසුව යහපත් විය යුතු වුවත් දැන් පා නැගිය යුත්තේ යථාර්ථයටය. 

උදෑසන තමා හමුවට පැමිණි යුවල විසින් අනූජ ගමනායක ගැනත් ඔහුගේ බිරිඳ ගැනත් කියූ දේවල් වලින් හිත තිබුණාට වඩා හැඩිවී ගියේ තමාට සමාවක් නොදෙමිනි. ඈ තේරුම්ගත් එකම සත්‍ය වනුයේ; තම පුත්‍රයා මේ ගැහැණිය සමඟ ඇත්තේ වෙන්කල නොහැකි කර්මානුරූපී බැඳීමක් බවය.

මීවලපලානේ හාමුදුරුවන්ගේ තරවටුවට පසුවත් හිත හදාගන්නට නොහැකි වූ මුත් අනූජ ගමනායක නම් මිනිසාගේ කතාවටත් වඩා තමා මෙන්ම සිය මියගිය සැමියා මත්තේම උන් ඈ ගැන කුමක් හෝ බර මුද්‍රාවක් සිත තුල සටහන් වූ බව නම් ඉඳුරාම ස්ථීරය.

' නිර්මලී නෝනා නරක කෙනෙක් නෙවෙයි ලොකු නෝනා.. පුදුමාකාර දුකක් වින්ද කෙනෙක්. තමුන්ගේ මහත්තයා වෙනුවෙන් එහෙම පේ වෙන කෙනෙක් දැක්කමයි'

තමන් ද එසේ නොවේද? නිර්මලී ගමනායක වරදක් කර නැතුවාට ඈට දඬුවමක් දිය යුතුද?

සසර බැඳීම් වලට අභියෝග කිරීමෙන් තමන් තවත් වෙහෙසට පත්වනවා මිස වෙනස් දෙයක් වනු නොවේ. පුත්‍රයාගේ සතුට එය නම්...!

අද පැමිණීමෙන් තමන් සිදුකලේ , සිය පුත්‍රයා තනිවම හදාගන්නවා යයි තීන්දුවක් ගත්තා වැනි රැඩිකල් තීරණයකි. රශිඳු ගෝකුල එලෙසින්ම ‍රැඩිකල් තීරණයක් ගෙන ඒ තමාගේ ලේ බව ඔප්පුකොට හමාරය!

යුවල පිටත්වෙන්නට සූදානම් වන විට මාලතී සිය පුතුගේ හිස සිඹ නිර්මලී දෙසට හැරී සුහද ලෙස සිනාසුනේ සිය ලේලියගේ රූසපුව දෙස මදක් විමසිල්ලේ බලමිනි.

" වාහනේ නම් එලවන්න දෙන්න එපා දුවේ... "

නිර්මලී හිස සලා සිනාසී එකඟ වූවද, රශිඳු එය ගණනකට ගත් බවක් පෙනෙන්නට නොවීය. 

දෙපල පිටත් වනවිට කෙතරම් පැවසූවත් මාලතී ඉදිරියට එන්නට ප්‍රතික්ශේප කලේ ඈ වැන්දඹුවක නිසා බව දත් රංගගේ මව පෙර පරිදිම නිරායාසයෙන් නිර්මලීගේ මවගේ භූමිකාවට අවතීර්ණ වූවාය.

" මේ කෙල්ල අපේ මැණික ! "

දෑසේ පුරවාගත් කඳුළු සහිතව ඈ නිර්මලීගේ දෝතම ගෙන රශිඳුගේ දෑත් මත තබද්දී ඔහුගේ මුවේ ඇඳුන සිනාව නිර්මලී මත්කොට හැරියාක් මෙනි.

------------------------------------------ මතු සම්බන්ධයි --------------------------------------

4 comments:

  1. //මෙය චිත්‍රපටයක කොටසක් වේ නම්, සියල්ල මින් පසුව යහපත් විය යුතු වුවත් දැන් පා නැගිය යුත්තේ යථාර්ථයටය.//

    තව ප්‍රශ්න එනවද ඒ කියන්නේ??
    පව් නැද්ද අයියො?

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...