Monday, June 20, 2022

334: උන්මාද චිත්‍රාදෝ මා 66


 


සැලකිය යුතුයි: මේ කොටසේ සහ ඉදිරි කොටස් දෙක තුනක දින වකවානු වෙනස් වන බවට සැලකිලිමත් වන්න.


දින දොලහකට පසුව , එක්තරා ප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පියෙකුගේ කාර්‍යාලයේදී..

" පිස්සු නම් කෙලින්න එපා... සුදු අඳින්න බෑ.. වෙන පාටක් ගන්න.."

රශිඳුගේ ගෙරවිල්ල සමඟ අසරණව ගිය ඇඳුම් නිර්මාණ ශිල්පිනිය පිලිවෙලින් නිර්මලී දෙසත් නේහා දෙසත් බැලුවේ රශිඳුගේ මැර බැල්මට පිලිස්සී ගොසිනි.

නිර්මලී ඇස කරකවා ඈ දෙස බලා දෑසින් සන්සුන් වන්නට ඉඟිකොට ඇඳුම රැගෙන යන්නට කියූ නිසා නේහා ඒ සමඟ නැගී සිටියාය.

".. පිස්සුද baby girl මම මුලින්ම කිව්වනෙ සුදුපාට හරියන්නෙ නෑ.. අර එදා තිබ්බ පාට ලස්සනයි. "

රශිඳු නිර්මලීගේ අතින් ඇද ඔහු අසළට ලං කර ගනිමින් පැවසුවේ නොරොක් වූ මුහුණෙනි.

"අන්නේ ඉතින්.... මේක සුදු නෙවෙයි අයිවරි"

" අයිවරි හරි කිරිවෙරි හරි.. මොකක් උනත් මට පේන්නේ සුදු.. ඒව හරියන්නෙ නෑ.. මම දැන් නිල්හාන්ට කම්ප්ලේන් කරනව මට ඕනෙ දේ නැතිනම්.. නටන්න ලෑස්ති වෙන්න එපා ඔයා සුදු අඳින්නේ නෑ! මම කිව්වොත් කිව්වා ආයෙ කියන්න තියන්න එපා.. බැරිනම් එදා මම ගෙනාව ගවුම අඳින්න.. ඒ ඇති!"

මේ ඉතින් ලේසියෙන් නිවෙනා කේන්තියක් නොවන බව දන්නා නිසා නේහා වහා මගහැර ගියේ ඒ සියල්ල කෙලවර වන්නේ ' මෙන්න මෙයා තමයි මගේ කෙල්ලව නරක් කරන්නෙ' කියා තමාව අල්ලාගන්නට පෙරය.

මෙය ලේසි කෙරුවාවක් නොවේ. මේ ඈ වෙනුවෙන් කල තුන්වන සාරියයි. පළමුවැන්න සිරුර පේනවා වැඩි යැයි කියා බුරා පැන්නේ එහි ෆිටොන් එක දිනයේ පින්තූරයක් ‍යැවූ සැනිනි. 

' මම නැතුව යන්නෙ නෑ!'

ඒ නීතිය ආවේ එලෙසිනි. දෙවැන්නට මධ්‍යම රාත්‍රියේ වේලාවක් ගත්තේ රශිඳු පුහුණුවීම් නිමවීමෙන් පසුව එන්නට ප්‍රමාද වූ නිසාත් ආයතනය කාර්‍යබහුල වීම නිසාත්‍ ය. ඒ සාරියට හේතුවක් නොමැතිවම රශිඳු කැමති වූයේ නැත. තුන්වැන්න චාම් සාරියක් වූ නිසාත් නිර්මලී විශේෂයෙන් කියවා හැට්ටය වෙනස්කොට තිබූ නිසාත් ඈට ඉතා හොඳින් ගැලපුන මුත් දැන් පාටට රණ්ඩු අල්ලන්නේ කුඩා දරුවෙකු පරිද්දෙනි. 

"අන්නේ.. ඉතින් ඔයාගෙ ඇඳුමට මැච් වෙන්නෙ නෑනෙ වෙන පාටක්.. පින්තූර වලටත් ලස්සනයි.. ඔයා පින්තූර ගත්තම බලන්නකො.."

නිර්මලී රශිඳුෆේ කොපුලක් සිය වමතේ අල්ලෙන් උණුසුම් කොට පැවසුවේ ඇසින් ඒ දෑස අල්ලා ගනිමිනි. රශිඳු ඇගේ අත මතින් සිය අත තබා දෑස වසා ගත්තේය.

" එහෙනං මම මගේ ඇඳුම මාරු කරන්නම්..  සුදු එපා!"

"අන්නේ..  ඒ සූට් එක හරිම එලිගන්ට්... මාරු කරන්න එපා..මම ආසයි ඒකට.."

නිර්මලී රශිඳුගේ උරයට බරවී කම්මුල ඒ යකඩ අත්බාහුවට තෙරපා සුසුමක් හෙලූ සැනින් රශිඳුගේ හද උණුවී ගියේය.

"ඔයා ආසද ඒ සාරියේ පාටට?"

ඔහු ඒ හිස ඔසවා දෑසට එබී ඇසුවේ බොරපාට ඇස්වල නැගී එන රතු පැහැය නිර්මලීගේ නිරීක්ෂණයට හසුවෙද්දී ‍ය. 

' අනේ.. ඇයි මේ?'

".... ඇයි සුදුපාටම? ඔයාට ඕනෙ පාටක් ලස්සනනෙ baby girl.. ඇයි මේ සුදුම බදාගත්තෙ, ආ??"

" ඔයාගෙ ඇඳුමට මැච් වෙන හින්දා... තව... ඒක චාම්.. "

" අනේ baby girl..  ඒක නිකංම නිකං සාරියක් වගේනෙ.. මදි වගේ"

නිර්මලී අවිහිංසකව සිනාසුනේ ඇගේ නෙළුම් පොහොට්ටු වන් දෑස් විදහා ඒ සිනාව නිදහසේ පැතිරෙන්නට හරිමිනි.

" විච්චූරණ වලට මම ආසා නෑ රශී.. ඔයාට ඕන නිසා මිසක්.. මට කිසිම ෆන්ක්ශන් එකක් ඕනෙත් නෑ."

දුකින් බරවේගන යන නිර්මලීගේ දෑස දෙස බලාගෙනම රශිඳු ඇගේ හිස මත සිපුමෙකින් සැනසුවේ මුදු මදහසක් සමඟිනි.

එතකින් කල් තැබුනු ඒ රණ්ඩුව, නැවත ආරම්භ වන්නේ ආපසු යන ගමනේදී නේහා සමඟ වූ සංවාදය අතරතුරයි. 

" එහෙම බෑ! Baby girl ට අන්දන්න මොකටද කොල්ලෙක්? කවුද ඕකා හොයාගත්තෙ? "

නේහා ඔරවා සිටියේ නිර්මලී මේ මොහොතේ ඒ ගැන මොකට කීවාදැයි හිතින් දෙහි කපමිනි. 

".. මෙයාද හොයලා දුන්නෙ..?( නේහා දෙස බලමින්) මැඩම් මේ... ඔයාට ඕනෙ නම් යන්න ඌ ගාවට.. කෙල්ලෙක් ඉන්න සැලුන් නැද්ද දෙවියනේ මේ ලංකාවෙ?? ආ??"

පසුපස වීදුරුවෙන් බලා ඔරවාගෙන සිටි නේහාට කියූ සැනින් නේහා පුපුරා හැලුනාය.

" හුහ්.. මේ.. මම කියපු කෙහෙල්මලක් නෑ ඕක රංග තමයි කතාකරලා දුන්නෙ. ධනූ කියන්නෙ දැනට ඉන්න ටොප්ම beautician.. ගොඩයින්ට කොහෙද ඒව තේරෙන්නෙ.. අනික රංග සෑහෙන්න මහන්සි වෙලා කැමති කරවගෙන තියෙන්නෙත් මොකද මොන හදිස්සියක් වෙලාද මේ සතියෙන් වෙඩින් ගන්නෙ"

ඒ වචන ආ වේගයට නිර්මලී සිය මුව අතින් මුවා කරගත්තද, රශිඳු උස් හඬින් සිනාසුනේ නේහාගේ වත රතු කරවමිනි.

"..  නිර්.. මේ.. ආයෙ නම් මේ ගමන් වලට මාව පටලවගන්න එන්න එපා. මම එන්නෙ නෑ.. යන එකයි.."

" baby girl මොනවහරි කරවෙන ගඳක් එනවද? "

නිර්මලී හොරෙන් රශිඳු දෙස බලා සෙමෙන් අත කෙනිත්තුවේ නේහා ගැන දුක සිතීමෙනි.

' එපා අනේ.. නිකං ඉන්නකො'

 අද දවස පුරාම ඔවුන් හා ගමනේ යෙදෙමින් ඈ සිටියේද රශිඳුගේ කවටකම් ඉවසමිනි. 

"... මොන හදිස්සියක්ද අහන්නෙ දන්නෙ නෑ වගේ! "

නේහාට සිනා ගියේ එය කියනා අයුරටය. 

' මූටම හරියන කෙල්ල තමයි ! '

" රශී..  ඇති දැන් ඔය.. "

රතුවී ගිය දෙකොපුල් වලින් තමා දෙස බලා , වම් අත මත මෘදු ස්පර්ශයක් දුන් නිර්මලී දෙස බලා රශිඳු ඉඟි මැරුවේ ඕනානැති හිනාවක්ද සමඟිනි. 

තව දිනකින් පසුව ඈ තමාගේය!

කෙතරම් සිනාසී සිටියද, මීට දින දහයකට එපිටින් සිටි තත්ත්වය හාත්පසින්ම වෙනස් නිසා රශිඳුගේ ඇතුලාන්තයේ ඇවිලෙන ගින්දර සුළුපටු නොවීය. 

නිර්මලී වෙත දෛවය විසින් උරුම කරදුන් කියා ලඝුකොට සැලකිය නොහැකි තරම් පරීක්ෂණ තොගයක් ඔස්සේ හැඟීම් රෝලකෝස්ටරයක සිටි ඈ වෙත තමන් ඉටුකල නොහැකි පොරොන්දුවක් ලබා දුන්නාද? 

එතැන ගතවූ හෝරා ගණනටම ඈ කතා කලේ වැකි දෙකක් පමණි.

' එයා අනූජ වගේ ඉන්න ඇති නේද? '

' මට උරුම නැතුව ඇති නේද? '

ඒ වැකි දෙක කෙලින්ම ඉලක්ක කලේ රශිඳුගේ හදවතයි. එය වේදනාවට හැකිලී හද කුහර මිරිකා දමා තිබුනේ ඈ කෙරෙහි වූ ප්‍රේමය නැවත නැවතත් පිරික්සන්නට මෙනි. 

තමන්ගේ දෑතට මැදිවී හෝරා ගණනාවක් ගතවුනද සුසුම් සැලීමක් මිස වචනයක් හෝ නොදොඩා සිටිනා ඈ වෙනුවෙන් හැකිනම් උරය පලා රුහිරය පවා දෙන්නට හැකිය. හිස පුරාම ඇති තරම් සිපුමන් තබා, ඈ තදකොට සිය සිරුරට තෙරපා ගත්තේ ඒ ආවේගයෙන්මය.

' අඬන්න එපා baby girl.. අපි බබෙක් හදමු'

ඒ වැකියත් සමඟ ඇගේ දෑසේ ලියවුනු බැල්ම රශිඳු ජීවත්ව සිටිනා තුරුමත් , මතු ජීවිතය පුරාමත් පවතිනු නොඅනුමානය.

-------------------------------------------------

ඉන් දිනකට පසුව එළැඹෙන සුන්දර දිනයක, කොළඹ නගර මධ්‍යයේ පිහිටි තරුපහේ හෝටලයක සංවිධානය වී තිබුණු චාම් මුත් ගාම්භීර සැමරුමකි.

හෝටලයේ ඉහළ මාලයේ වූ කාමර දෙකකින් එකක් උදෑසන සිට තිබුනේ මහා කාලගෝට්ටියකින් පිරී වූ අතර අනෙක මෘදු කසුකුසු වලින් සහ සිනාවන්ගෙන් සැරසී තිබිණ.

කාලගෝට්ටිය තිබුනු කාමරයේ සිට දොර විවර කරගෙන පිටතට ආ රුවක් කලබලයෙන් දුරකතනයට පිලිතුරු සපයමිනි.

"... ඔක්කොම ටික බාරදෙන්න event organizer ට. කිසි දෙයක් මිස් වෙලා නෑ නේද? ආ.. ෆොටෝස් පස්සෙ ගන්න පුලුවන්.. පෝරුව නෑනෙ.. වෙලාව තියෙනවා.. මම කිව්වනෙ මචං.. කිසිම පෝසිං එකක් නෑ. නැචුරල් ගනිං.. හරි.. තෑන්ක්ස්"

එසැනින් ඒ දොරෙන් පිටතට පැමිණි හිරාන් දෑතම ඉනේ තබාගෙන කැත හිනාවක් දැම්මේය.

" බලහල්ලකො සෙවල පාට!"

" ඇයි උඹට ඉරිසියද?"

මිතුරන් දෙදෙනා සිනාසුනේ එකිනෙකා වෙත උරහිස් වලින් තෙරපෙමිනි. වියැකී ගිය සිනාව සමඟම ඉතිරි වූ කුමක් හෝ වේදනාව සමනය වන්නට මෙන් ඔවුන් දෙදෙනාම එකිනෙකා වැළඳ ගත්තෝය.

" ඔව් බං.. මට ඉරිසියයි.. උඹ වගේ සිරා වෙන්න බැරි එක ගැන මට ඉරිසියයි.. ඒ වගේ කෙල්ලෙක් උඹේම වෙනවට මට ඉරිසියයි "

" අඩෝ.. අඬන්න එපා බං.. "

රශිඳු හිරාන්ගේ දෙවුරෙන් අල්ලා සෙලවූයේ සිය අඹ මිතුරාගේ මුහුණ දෙස බැල්මක් පා කරමිනි. 

"..  උඹ මගේ බෙස්ටා.. උඹට මම ණයයි බං.. තෑන්ක්ස් මචං"

"සොරි මචං ආන්ටි.."

රශිඳු හිස දෙපසට වැනුවේ ඒ ගැන සංවාදය වහා නතර කරන්නට අවැසි නිසා බව වැටහී හිරාන් වැකිය නතර කරගත්තේය. මාලතී අද දිනයට එක්කාසු කරගෙන එන්නට හිරාන් නොගත් තැතක් නැති වුවත් එය අසාර්ථක ප්‍රයත්නයක් විය.

" අම්මාට කල් දෙමු..  Baby girl වෙනුවෙන්. She will apparently forgive me.. "

බරැති සුසුමක් සැලූ රශිඳු වැකිය අවසන් කලේ ආයාසයෙන් නගාගත් සිනාවක්ද සමඟිනි.

කසුකුසු හා සිනා හඬ ඇති යාබද කාමරය වෙත බැල්මක් හෙලා ඒ දෙසට පියවරක් තැබූ සැනින් හිරාන් සිය මිතුරාගේ උරයෙන් අල්ලා ගත්තේ සිනාසෙමිනි.

" එයි එයි.. තව වෙලාව තියෙනවා.. මෙහෙ යමං ඇතුලට! "

තමන් සිටින්නේ සිහිනයකද? 

මුවේ නැඟුනු මනමාල මන්දහාසය සමඟින් හිරාන් දෙස පාකල බැල්මෙන් සිය මිතුරාගේ සිත දත් හිරාන් උරය මත ඇති අතේ ග්‍රහණය දැඩි කළේය.

"... හැමදේම හොඳින් වෙයි මචං.. උඹ ගත්තෙ හොඳම තීරණේ.. "

සිතට දැනුණු පීඩනය පරයා කුමක් හෝ කුල්මත් බවකින් උඩපනිමින් රශිඳු සිය කාමරයට වැදුනේ එහි පිරී සිටි සිය මිතුරන්ගේ කෝලාහලය මැද්දටය. 

හිරාන් සහ කසුන් දෙමිතුරෝ රශිඳුගේ පාසල් කාලයේ සිට ආ මිතුරන් ලෙසත් , චාමික සහ යුපුන් සිය කණ්ඩායමේ මිතුරන් ලෙසත්, තවත් විස්සක් පමණ වූ හිතවතුන් කොටසකුත් රශිඳුගේ අද දිනය වෙනුවෙන් පැමිණීමට නියමිතය. නිර්මලීගේ අමුත්තන් වූයේ හිමාල් සහ නේහාගේ පවුලත් , නව්‍යා සහ තව සමීප මිතුරු මිතුරියන් විස්සකට අඩුවෙනි. 

කිචිබිචි සිනා ඇති කාමරයේ අන්තයක නිර්මලී චාරුකා කැටපත ඉදිරියේ පෙනෙන සිය රුව දෙස නැවත වරක් බැලුවාය. සරළ නළල්පට මීට මොහොතකට කලින් තැබුවේ සිය මව විසින් නොවේ. 

මීට දින පහකට පෙර මීනා නම් සිය මව දුරකතනයෙන් අමතා සම්බන්ධ කරගන්නට උත්සහ කළද, ඇගේ දරුවන් එය කුමක් හෝ හේතුවකට ඈට දුරකතනයට එන්නට දුන්නේම නැත. ඒ මොහොතේ නිර්මලීට තමා අනාථ දරුවකු බව ඕනෑවටත් වඩා දැනුනද, එතෙක් මේ සංවාදයත්, නිර්මලීගේ දුක්බර මුහුණත් දෙස බලමින් සාලයේ උන් චරිතයක් එකවරම නිර්මලී ඉදිරියේ පෙනී සිටියාය.

" දුවේ... ඔය කවුරුත් ඕන නෑ. මට පුලුවන් දූට තැල්ල තියන්න!"

සියල්ලෝම දෑස් දල්වා; මුව විවර කරගෙන රංගගේ මව දෙස බැලුවේ ඈ එතරම් දෙයක් කියන්නට තරම් නිර්මලීට සමීප වූයේ කෙලෙසදැයි සිතාගත නොහැකිවය. නමුත් රංගට එය රහසක් නොවූ නිසා වහා සිය මවගෙන් අවධානය ඉවතට යොමු කරගන්නට සාර්ථක උත්සහයක නිරත වූවත් රශිඳුගේ තියුණු ඉවට එය වහා ග්‍රහණය විය. එය ගැන විමසන්නට එවේලේ ඔහු නොසිතුවේ හේතු ඇතිවය.

කඳුළු වලින් දිලිසෙන දෑසින් නිර්මලී දෙස බැලූ නේහා මුවගට ආ සිනාවෙන්ම නිර්මලීගේ දෑතින්ම අල්ලා ගත්තාය.

" perfect elegant bride! පුදුම ලස්සනක් කෙල්ල...  අර කොල්ලා උඹට පිස්සු වැටුන එක පුදුමයක් නෙවෙයි ඉතින්!"

නිර්මලී අවිනිශ්චිත ලෙස සිනාවක් පෑවාය. 

" මේක හීනයක්ද නේහා? "

නේහාට දැනුනේ ප්‍රීතිය මුසු වේදනාවකි. 

" ඔව්! උඹේ ජීවිතේ මීට පස්සේ මේ හීනෙ තමයි.. ඇස්වහක් වදින්න නම් එපා කෙල්ල උඹල දෙන්නට!"

යෙහෙළියන් දෙදෙනාගේ කතාබහ අතුරින් රූපලාවණ්‍ය ශිල්පියා සිය අවසන් ටච් එකත් නිර්මලීට ලබාදී තෘප්තිමත් සිතින් සිනාසුනේය.

' හරිම චාම්! '

ඒ වනවිට හෝටලයේ පිවිසුම අභියස ඇති මලින් සැරසූ රතුපාට වෙල්වට් පුවරුවේ සුදුපාට අකුරින් සඳහන් වූ වැකියක් දිස්වන්නට විය.

' Nirmalee weds Rashindu'

ශාලාව නැවුම් සුදුපාට මල් වලින් චාම් ලෙස අලංකාරත්වත් කොට තිබිණ. එහි මල් වලින් සැරසූ මේසයක් අභියස නොඉවසිල්ලෙන් බලා සිටිනා දඩබ්බර කඩවසම් තරුණයාගේ නෙත් එකවරම ඇලී ගියේ නේහාත් රංගත් මැදි කොටගෙන ශාලාවට ඇවිද එන ඔහුගේ හුස්ම වන් ගැහැණු රුවක් වෙතයි. ඔහු පමණක් නොව ශාලාවේ සියළු දෙනාගේ ඉහලට ගත් හුස්ම ඈ සොරා ගත්තේ දවසේ මනාලිය නිසා පමණක් නොවේ.

මදක් චකිතයෙන් මෙන් බිම බලාගෙන ඇවිද එන නිර්මලීගේ අත තිබෙනා කුඩා සුදුපැහැ රෝස මල් පොකුරටත් වඩා , ඇගේ පෙනුම මටසිළුටු බැවින්, රශිඳුට ඉබේටම පියවර කීපයක් ඉදිරියට තැබුනු අතර හිරාන් ඔලුවේ අත ගසා ගත්තේ ' මූට නම් කියලා වැඩක් නෑ' කියා සිතින් සිතෙද්දීය. 

සිය පෙම්වතිය එන මගට නොඉවසිල්ලෙන් පියවර කීපයක් ඇවිද ගිය රශිඳු මදක් විමතියෙන් තමන්ගේ මගට කඩා වැදුනු සිය දඩබ්බර පෙම්වතා දෙස බැලූ සැනින් ඈ වෙත නැඹුරුව ඇගේ නළලත සිපගත්තේ ; මේ ඩ්‍රාමා එක දෙස බලා සිටි සැමගේ මුව'ඟ සිනාවකින් ඔපවත් කරමිනි. 

" අන්නේ... රශී එපා අර මිනිස්සු ඔක්කොම බලාගෙන "

ඔහුගෙන් මෑත්ව නිර්මලී ඒ මේ අත හොරැහින් බලමින් පැවසුවේ රතුවූ කොපුල් වලින් සහ තරවටු බැල්මෙනි. රශිඳු සිනාසුනේ ඔහුගේ සුපුරුදු දඟකාර සිනාව සමඟින් ඇගේ වමත උදුරාගෙනය.

" මැඩම් මේ! මෙතන නෙවෙයි කොතනත් මම එහෙම තමයි.."

අනතුරුව හිස හරවා වලක්වා ගත් සිනාව මතින් ඔරවාගෙන සිටිනා නේහා දෙසත් , මිටි කරගත් අතින් සිය මුව වසාගෙන සිනාසෙන රංග දෙසත් සෘජු බැල්මක් හෙලුවේය.

"..  හරි හරි දැන් පලයල්ල.. උඹලගෙන් තමයි මගේ කෙල්ලව බේරගන්නම බැරි !"

කටට ආ දේ කියා ගන්නට නොහැකිව කට උල්කල නේහාගේ අතින් ඇල්ලූ රංග සිනාව තද කොට ගත්තේත් රශිඳු ආපසු හැරී නිර්මලීගේ අතින් අල්ලාගෙන මේසය වෙත ඇවිද ගියේත් එක විටෙකය. 

අනතුරුව ගතවූ අඩ පැයේදී රශිඳු ගෝකුලගේ නමින් නිර්මලී චාරුකා නම් ගැහැණිය සිය ජීවිතයේ නීත්‍යානුකූල බිරිඳක්ව දිවුරුම් දුන් අතර දිමුත් සහ රංගගේ මව ඒ සඳහා ලියවිලි වලට අත්සන් කළ අතර, තිහකට ආසන්න වූ අමුත්තන් ඊට සුභපැතුම් එක්කලහ. 

ලියකියවිලි අවසානයේ නැගී සිට විවාහ ලේකම්වරියට ආචාර කර නිමවූ සැනින් රශිඳු නිර්මලී තදින් වැළඳ ගත්තේ තමන් සිටින්නේ කොහිදැයි පවා අමතකව මෙනි.

" තෑන්ක්ස් baby girl..  ඔයාට පිං! මාව දරාගන්නවට ගොඩක් පිං.. මට අද හරි සතුටුයි.. ගොඩක් තෑන්ක්ස්.. "

රශිඳුගේ හදවතේ දඩිබිඩි ශබ්දය පවා ඇසෙන තරමට ඔහු සිටියේ ආවේගයෙන් තමා බදාගෙන බවත් දැන් දැන් ඔහුගේ තෙත්වූ දෑස් ලෙහා වැටෙනු ඇතැයි සිතට නැඟුනු හැඟීමෙන් නිර්මලී සිය කම්මුල ඔහුගේ පපුවට තෙරපා තදකොට දෑස් වසා ගත්තේ සෙමෙන් මුමුණමිනි.

" හැමදාම ඔයාගෙ තමයි කිකී... කවදාවත් වෙන කාගෙවත් වෙන්නෙ නෑ"

තෙත්වූ දෑසින් පැමිණි නේහා හඬමින් නව යුවල බදා ගත්තේ රංග, චාමික, හිරාන්, හිමාල් සහ දුලීකා ඈ හා එක්වන අතරය.

" මචං... උඹ ඔය ගත්තේ අපේ මැණික ! මට විස්වාසයි අපි හැමෝටම වඩා උඹ අපේ කෙල්ලව රකිනවා කියලා.. "

ගොරහැඩි පෙනුමක් තිබුනු හිමාල් සිය තෙත් දෑස පිසිමින් පවසද්දී, මිතුරන් සියළු දෙනා එකිනෙකා දෙස බලා සිටියේ සහෝදර බැඳීමෙනි.

"..  උඹ.. මගේ කොල්ලා! උඹ ආයෙම ආවා මචං.. "

හිමාල් රශිඳු බදා වැළඳගත්තේ පසෙකින් නිර්මලී සිය උරයට තද කරගනිමිනි. අනතුරුව ඔහු රශිඳුගේ උරයට තට්ටුවක් දමද්දී නෙත් තෙමා ගිය පිරිමි කඳුළු දැක රශිඳු තරමක් කලබල වුවද හිමාල් ඔහුට සංසුන් වන්නට හිසින් පැවසුවේය.

".. මචං.. උඹ කලින් ජීවිතේ මගේ බෙස්ටා.. මම උඹව දන්නව.. උඹ අද හැරෙව්වේ වංගු වැඩිම පාරට. ඒ හැම වංගුවකම මේ හිමාල් ඉන්නව... අද නිර්ව මම දෙන්නෙ ඒකිගෙ අයිතිකාරයාට.. දුකක් දෙන්න එපා මචං මේකි ඇති තරම් දුක් විඳලා ඉන්නේ"

" හිමාල් අය්යා..!"

සියල්ලෝම තෙත්වූ දෑසින් නැවතත් එකිනෙකා බදාගත්තේ රැස්වූ පිරිසගේ දෑස් සංවේදීව තෙත් කරමිනි.

ඔවුනොවුන් සිප වැළඳ ඉවත්ව ගිය පසුව රශිඳු ඇගේ මල් පොකුර අතට දී හිස ඇලකොට ආදරණීය බැල්මක් නිර්මලී වෙත හෙලා ඈ සමඟ ඔවුන්ට වෙන්කොට තිබුනු ආසනය වෙත එක්ව පිය නැගුවේය. 

" අඬන්න එපා baby girl.. "

ඈ දෙස බලා සිනාවක් නගා ගනිමින් ඔහු පැවසුවේ නැවතත් හිස මත සිපුමක් තබමිනි. ඒ වනවිට ප්‍රමාදව පැමිණි කිහිප දෙනෙක් පිලිගන්නට හිමාල් සහ දුලීකා පිවිසුම අසළටත් , අනෙකුත් දේවල් ගැන සොයා බලන්නට නේහා සහ රංගත් විසිරී ගොස් තිබුනු අතර මෘදු සංගීත රාවයක් පැතිර යමින් තිබිණ.

උත්සවය සරළ සහ චාම් වූ නිසාත් පැමිණි සියල්ලෝම දෙදෙනාගේම ළඟම හිතවතුන් නිසාත් නව යුවළ අමුත්තන්ට ඒ ඒ තැන් වලට ගොස් කතා කළහ.

දිවා ආහාරය ඇරඹීමෙන් පසුව නිදහසේ එකිනෙකා හා විකාර දොඩමින් උන් යහළුවන් නව යුවල වටා රොක්වී දෙදෙනා ඇති තරම් බයිට් කරන්නට වූහ. වැඩියෙන්ම බයිට් වූයේ රශිඳුය. 

" මූ.. මොන්ටිසෝරියක් ගාවින් යවන්න බෑ ඉස්සර.. කෑලි ටෝක් කරනව.. "

" නෑ නෑ මචං කැරළි කොණ්ඩේ හෙව්වෙ"

ඊට අමතරව සෙව්වේ කුමක්දැයි දන්නා නිසා නිර්මලීගේ වත ඉබේම රතුවූ අතර රහස දන්නා හිරාන් සහ රශිඳු එකිනෙකා දෙස බලා හොර හිනාවක් හුවමාරු කරගත්හ. 

" අර ග්‍රවුඩ් එකේ කා පාක් එක වටේට ටකරං ගැහුව බං.. හේතුව ඉතින් අපි නොදන්නවෑ.."

" මට කෝල් කරල ගේම ඉල්ලුවේ.. එයාගෙ baby girl ගෙ හිත රිදෙනවා කියලා.. පුදුම කැටයම් තමයි ඉතින්.. අම්මප පුදුම බැනුම් ටිකක් ඇහුවෙ මේ සති දෙකට.. නිර් මේ! ආයෙ නම් මට කියන්න එපා අනී නේහා ගගා.. එන්නේ නම් නෑ මෙයා එනවා නම්!"

නේහාද අතහැරියේ නැත. නිර්මලී ඒවාට දෑස රතු වනතුරු සිනාසුනාය.

" පලයව් යන්ඩ දැන් ඇති.. කාපල්ල බත්.. මගේ නම්බුව නොකා"

රශිඳු සියල්ලන්ම එළවා දැමුවද ඉන් පසුව අකිත් සහ අකිත්මා පැමිණියේ නේහාගේ දරුවන් දෙදෙනාම සමඟිනි. 

" නිර් ආන්ටි මැණික වෙලා.."

නේහාගේ කුඩා පුතු කී වචනයට සිනාසී ඔහු ගෙන සිය උකුලේ තබාගත් නිර්මලී ඔහුට හාද්දක් දී රශිඳු වෙත බැල්මක් පා කලද, දරුවන් නුහුරු රශිඳු අකමැත්තෙන් මෙන් කොල්ලාගේ හිස අතගාද්දී නිර්මලීට සිනාය. කුඩා දරුවා සිටියේ ඔහුගේ වීරයා හිස අතගෑමෙන්ම අහසට විසිවෙමිනි. 

දරුවන් කැලගේම ක්‍රීඩා තරුව වූ රශිඳු ගෝකුල වටා රොක්වූ ඔවුන්ගෙන් මිදී වදෙන් පොරෙන් මෙන් ඔහු ගියේ වැසිකිළියට යන්නට අවශ්‍ය බව කියමිනි. පොඩ්ඩන් මැද්දට වන් කල නිර්මලීටද සිහියක් නොවීය. ඈට ජේනුක සිහි නොවුනා කිවහොත් එය මුසාවක් වුවද, හදවත ඒ වෙනුවෙන් හඬන්නට ඉඩක් තිබිනේ නැත.

වාදනය වෙමින් තිබුනු ගීතය මාරු වී පසුබිමෙන් ගිටාර් වාදනයක් ඇසෙන්නට විය. නිර්මලීගේ හදවත නතර වූයේ සැනිනි.

ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා - ඔබේ කතා ළඟ සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ 

( මෘදු ගිටාර් වාදනය)

කුමටද උපමා ඉතිහාසයේ උන් -  ප්‍රේමවන්තයින්ගෙන් ..
කුමටද ආදරයේ පෙම් සැමරුම් -  පෙම් පාරාදීසේ ..

( මෘදු ගිටාර් වාදනය) 


ඉමක් කොනක් නැති ආකාසේ - තරු පායා එන සේමා ..
ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ - පෙම් සිතුවිලි බෝමා...

නිර්මලීගේ මතකය සැනින් පාසිකුඩා හෝටල් සංකීර්ණයේ රශිඳු ගැන තැවෙමින් ගතකල රාත්‍රියේ ඇසුනු ශෘංගාරාත්මක කටහඬ හා යා වී ගියේය. ඇගේ නෙත් වලට කඳුළු ඉනුවද, ඈ හිස හරව හරවා සෙව්වේ රශිඳුය. ඔහුට තමා පැවසුවේ ඒ කටහඬ ගැනයි. ඔහු තමා පුදුම කරන්නට ඒ ගායකයාට එන්න කිව්වාද? 

ගීතය අවසාන වනතුරුම ඔහු පෙනෙන්නට නොවූ අතර එකවරම විදුලිය විසංධි වූවාක් මෙන් ශාලාවේ විදුලි පහන් නිවී ගිය අතර , නිශ්ශබ්ද තත්පර කිහිපකයට පසුව නිර්මලී හිඳගෙන උන් ආසනයට ඉඳුරාම අනෙක්පස රවුම් ආලෝකයකින් ආලෝකමත් වී ගියේය. එහි හිඳගෙන සිටියේ ගිටාරයක් අතින් ගත් රශිඳු ගෝකුලය. ඔහුට පසෙකින් හිරාන් කුමක් හෝ තාල වාද්‍ය භාණ්ඩයක් ඇතැ'තිව සිටි අතට රශිඳුගේ මුව අසළටම වූ මයික්‍රෝෆෝනය වෙත සෙමෙන් ගීයක් ඇසුනි.

Would you dance, if I asked you to dance?
Would you run, and never look back?
Would you cry, if you saw me cryin'?
And would you save my soul tonight?
නිර්මලීගේ දෙපා පන නැතිවී ගියේය. අනේ දෙවියනේ රශිඳු !
Would you tremble, if I touched your lips?
Would you laugh?
Oh, please, tell me this
Now, would you die for the one you loved?
Hold me in your arms tonight
නිර්මලීගේ සිරවූ හුස්ම යලි පැමිණියේ රශිඳුගේ දෑස් හා එය ලොක්වී ගිය සැනිනි. දෙවියනේ මෙය විය හැක්කක්ද?
I can be your hero, baby
I can kiss away the pain
I will stand by you forever
You can take my very breath away
ඒ හඬ තවදුරටත් ආගන්තුකයෙක්ගේ නොවීය. පාසිකුඩාහිදී තමාට ඇසුනේ රශිඳුගේ ගායනයක්ද? එසේ වූයේ කෙලෙසකද? ඊටත් මේ ගීතය??
Would you swear that you'll always be mine?
Or would you lie?
Would you run and hide?
Am I in too deep?
Have I lost my mind?
I don't care, you're here tonight
I can be your hero, baby
I can kiss away the pain
I will stand by you forever
You can take my breath away
තවදුරටත් එතැන සිටින්නට නොහැකිව නිර්මලී වශීකෘතව රශිඳු වෙත ඇවිද යන අයුරු සියල්ලෝම බලා සිටියේ සතුටු කඳුළු වගුරවමිනි. ඒ අතර රහසේ ඉකි ගසා හඬන දුලීකාගේ රුව අකිත්ගේ දෑසේ පැටලෙන්නේ අහම්බෙන් මෙනි. 
Oh, I just wanna hold you
I just want to hold you, oh, yeah
Am I in too deep?
Have I lost my mind?
Well, I don't care, you're here tonight
I can be your hero, baby
I can kiss away the pain, oh, yeah
I will stand by you forever
You can take my breath away
And I can be your hero
I can kiss away the pain
And I will stand by you forever
You can take my breath away
You can take my breath away
සෙමෙන් නිමාවූ ගීතය සමඟ නිර්මලී අතින් ඇද සිය ළඟට ගත් රශිඳු ඈ දෙස හෙලන්නේ ඔහුගේ ඒ සුවිශේෂී වූ පෙම්වත් බැල්මයි.
".. ඒ සිංදුව මම ආදරයෙන් පුදන්නේ මගේ ලස්සනම පෙම්වතිය ; ආදරණීය බිරිඳ ; නිර්මලීට.. Love you baby girl.."
සියළු දෙනාම සිය ආසන වලින් නැඟිට දෑස් පිසිමින් අත්පොලසන් දෙන්නට වෙද්දී , නිර්මලීගේ දෑසට එබුනු රශිඳු ඇගේ දෙතොල් මත මෘදු සිපුමෙකින් පසුව ඈ සිය ලයට තදකොට ගත්තේ ඇගේ ඉකිබිඳීම සමනය කරමිනි.
" රශී.. අනේ... "
" ෂ්.. ෂ්... රෑට අනේ අනේ ගාන්න.. මෙතන එපා කෙල්ල"
නිර්මලීට සිනාවක් පැන්නේත් ඒ සමඟම රශිඳුගේ උරය කෙනිත්තුවේත් එකටය. 
".. ඔහොම ඉන්න.. තව එක සිංදුවක් තියෙනවා.. මගේ ගාව ඉන්න ඒක කියන්න"
" අන්නේ... "
රශිඳු හිස සලා හිමාල්ට ලබාදුන් ඉඟියෙන් වෙනත් ගීතයක වාදනයක් ඇසුනු අතර ගිටාරය පසෙක තබා රශිඳු ඒ මේ අත ඇඹරෙන නිර්මලීගේ අතින් අල්ලාගෙන ඈ දෙස බලා ගයන්නට පටන් ගත්තේය.
ඉතිං හිනාවෙමු දෑත් වෙලාගෙන සටන අහවරයි කුමාරියේ හෙමින් ඇවිද යමු මලින් සැරසි බිම ප්‍රේම ගායනා නිමා නොවේ දහස් ගණන් කරනා පහන් කැට අහස් තලේ දිවයයි ඔහේ සදක් හොරෙන් මම අරන් ආව වග ඔවුන් දකීවිද රාත්‍රියේ දුහුල් සලුව මුමුණයි කතන්දර හෙටින් උදාවන වසන්තයේ ඔබත් සිනාසෙයි මමත් සිනාසෙයි ලොවක ඇස් වැසෙන විරාමයේ
අද මෙතරම් හඬන දවසක් වනු ඇතැයි නිර්මලී සිතන්නට නැත. නමුත් ඊටත් වඩා ඈ සිටියේ සිහිනයක පාවෙමිනි. 
"අනේ රශී.."
නිර්මලී උරහිසට වාරු වෙද්දී සියලු ආරාධිතයින් එකම පැතුමකින් දෙදෙනාම ආශිර්වාද පූජාවකට ලක් කරන්නට ඇතැයි සිතෙන පරිද්දෙන් සෑම මුහුණක්ම ප්‍රීතියෙන් ඉපිල ගොසිනි. 

හිමාල් තෙමෙන දෑස් පිස දමමින් සැනසුම් සුසුමක් හෙලුවේ, නිර්මලී වෙත ලැබෙන ආදරය ගැන සිතමිනි. ඈට එය උරුමය. දහවල් ආහාරයට පසුව නැවටත් මුදු සංගීත වාදනයට උත්සව ශාලාව නිදහස් වූ අතර අතරින් පතර ඇසෙන කාගේ හෝ උස් සිනාවක් හෝ කතාවක් හැරුනුවිට සියල්ල යහපත් ලෙස සිදුවෙමින් පවත්ද්දී, රශිඳුට සිය මව සිහි නොවුනා නොවේ. නමුත් කරන්නට යමක් නැත..

සම්භාවනීය පිරිස අතරින් සෙමෙන් ඇවිද ආ රුවක් නිර්මලී අභිසයට ආ සැනින් ඈ හඳුනාගත් නිර්මලී ප්‍රීතියෙන් ඉපිල ගියාය.

" අන්නේ... ඉරේශා! ඔයා එයි කියලා හිතුනෙත් නෑ"

ගැහැනිය සිනාසුනේ හදවතිනි. ඉරේෂා යනු, අනූජ ගමනායක විසින් ළමා ගණිකාවක ලෙස සිට බේරාගත් අනෙක් යුවතියයි. මේ වනවිට ඈ සිය සැමියාත් දරුවනුත් සමඟ සාර්ථක වෙළඳ ව්‍යාපාරයක් කරගෙන යන්නීය.

රශිඳු දුටු සැනින් ඈ ඔහුගේ දෙපා මුල ඇද වැටුනේ ඔහු අනපේක්ෂිතව ය. 

" ඔහ්.. මේ මොකද?"

ඈ දෙවුරෙන් අල්ලා කෙලින් කල නිර්මලී දයාර්ද හදවතින් වැළඳ ගත්තාය.

" රශී.. මේ ඉන්නේ ඉරේෂා.. ඔයා කලින් ආත්මෙදි මට කලින් පිහිටවෙච්ච කෙල්ල.. එයා දැන් හොඳ පවුලක් එක්ක ලස්සනට ඉන්නවා. අද මම එන්න කිව්වෙ ඉරේෂාට ඕන කිව්වා ඔයාට තෑග්ගක් දෙන්න. "

මීට පෙර ඉරේෂා ගැන අසා තිබුනු නිසා රශිඳු සුහද සිනාවක් පා ගැහැනිය දෙස බැලුවේ කුතුහලයෙනි. 

" සර්.. අපි දුප්පත් මිනිස්සු... මට දෙන්න ලොකු තෑග්ගක් නෑ සර්.. මට පුලුවන් දේ තමයි කලේ"

එවර කුතුහලයෙන් දැවුනේ නිර්මලීය. ඉරේෂා අනතුරුව දෙදෙනාම කැටුව ශාලාවේ පසෙක තිබෙන දොරටුවක් වෙත ඇවිද ගියාය. රශිඳු සිටියේ නිර්මලීගේ අත තරයේ අල්ලාගෙන ; නිර්මලී මෙන්ම බලවත් කුතුහලයෙනි.

ශාලාවට පිවිසෙන දොරටුව අසළ නතර වූ ඉරේෂා , දෑතම එක්කොට රශිඳු වෙස බලද්දී දොරටුව අසළ සිටගෙන උන් ඇගේ සැමියා නිර්මලී හඳුනාගත් අතර, ඒ අසළම සිටගෙන උන් රුව දැකීමෙන් දෙදෙනාගේම දෑස් නතර වන්නේ නළලතයි.

---------------------------------- මතු සම්බන්ධයි ----------------------------------

ප.ලි: ගීතවල අයිතිය මුල් අයිතිකරුවන් සතුය. 

10 comments:

  1. ඒ නම් අම්මා තමයි. මට හිතුන එයා ඒවීම කියල

    ReplyDelete
    Replies
    1. බලමු නේද කවුද කියලා.....

      Delete
  2. ආව්ව්... අද නියමයි. ඇත්තටම අම්මාද අවේ? මට නම් හිතාගන්න බැහැ.

    ReplyDelete
  3. ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා ...... one of my favorites too.......

    ReplyDelete
  4. සුහදිනියේ? තෙල් පෝලිමේද ඉන්නෙ ? මොකෝ කතාව පරක්කු ?

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...