Thursday, June 16, 2022

333: උන්මාද චිත්‍රාදෝ මා 65



දීර්ඝ දුරකතන සංවාදයෙන් පසුව වෙහෙසට පත් අසලංක සිය කමිසයේ උඩු බොත්තම් දෙකක් විවරකොට , වාහන රියදුරු අසුන පහතට කඩා එහි වැතිරුණේය. ව්‍යාපාර වැඩ වලට හිත එකඟ කරගන්නට නොහැකි තරමට සියල්ල අවුල්වී ඇති සෙයකි. 

රංග හමුවීමෙන් පසුව තමන් සිටිනා තත්ත්වය ගැන තමාටම ඇතිවූයේ තදබල කෝපයකි. නිර්මලී කිසිදාක තමා අසළකටවත් නොඑන පරිද්දෙන් අහිමිව ගොසිනි. නමුත් ඈ කෙරෙහි වඩාත්ම අයිතිය ඇත්තේ තමාටය.

ඈ සමඟ ඇති මතකයන් අතුරින් වඩාත්ම බලපෑමක් ඇතිකල ඒ මුහුණ කිසි දිනෙක නැති තරමේ වෛරයක් සිත තුල පුපුරා හැලෙන තරමට ප්‍රභලය. අනූජ ගමනායක වාගේම වූ ඒ මුහුණ නිර්මලී වසඟයට ගන්නට තරම් ප්‍රමාණවත් බව ඔහු දන්නේ, අනූජ ගමනායක විසින් සෑදූ කූඩුවේ ඒ කිරිල්ලිය ගැයූ පදවැල් තම සිත සිදුරුකල වේදනාව යලි යලිත් සිහි කැඳවමිනි. 

".... @රි වැඩ කරන්න එපා මනුස්සයෝ! අනික තමුසෙ මැරීඩ් විත් අ කිඩ්.. !! Let her be!!!!!"

රංග හිමාල් සේම තමා වෙත දමා ගැසුවේ තමන් ඒ වනවිටත් සූදානම්ව පැමිණි කාරණාවන්‍ ය.

" Ranga.. We all are adults.  මම කියන්න ඕන නෑනෙ බැඳපු මිනිස්සු කවදාවත් වෙන ගෑනියෙක්ට ලව් කරන එක සිරාවටම ඔච්චර උඩපනින්න දෙයක්ද කියලා? අනිත් එක නිර්ගෙ best friend ගෙ හස්බන්ඩ් විදියට මට තේරෙන්නේ නෑ නිර්ව ඔය වගේ පිස්සු relationship එකකට ඔයාලා කොහොමද encourage කරන්නෙ කියලා" 

රංග සිය එරවිල්ල එලෙසම තබාගෙන අසා සිටියේ මේසය මතට සිය ඇඟිලි වලින් සෙමෙන් තට්ටු කරමිනි.

".. නිර්ව කවදාවත් ඒ කොල්ලා මැරි කරන්නෙ නැ. ඌට එහෙම කරන්න බෑ ඌ තාම විස්සක පොඩි එකෙක්! එහෙම කලත් උඹ හිතන්නෙ උන්ට පවුලක් ගෙනියන්න පුලුවන්ද කියලා ? බබාලට..."

" මචං මේහ්.."

අසලංක කියාගෙන යන්නට ආ වැකිය රංග නතර කලේ සිය අසුනෙන් නැගිටිමිනි.

".. උන්ගෙ කසාදෙයි.. කසාදෙන් පස්සෙ ළමයි හදන එකයි.. අහවල් එක කරන හැටියි.. හිතුවද මම $&$&@ @$$)$ කියලා ?? මොනවද උඹ මේ කියවන්නෙ? "

අසලංක කට කොනට සිනාවක් නගා ගත්තේය.

" උඹල කාටවත් තේරෙන්නේ නෑ නිර් හිතන විදිය.. මම තමයි ඒකි එක්ක පස්සෙන්ම හිටියේ.. ඒකිගෙ සක්සස් එකේ කොටසක් මම.. මම තමයි ඒ හැමදේටම සපෝට් කලේ.. යකෝ.. නැතිනම් මම අවුරුදු විස්සක් යනකල් හිටියේ මොකක් හින්ද කියලද උඹ හිතන්නෙ?"

රංග දැඩි බැල්මෙන් අසලංක දෙස බැලුවේ ස්ථීර වශයෙන්ම මේ කියන්නේ කුමක්දැයි ග්‍රහණය කරගන්නට මෙනි.

".... අනූජ ගමනායක.. ඌ හොඳ මිනිහෙක් නෙවෙයි කියලා නිර් දැනගෙන හිටියේ නෑ. ඒ ඔක්කොම නිර් ගෙන් හැංගුවා.. හිමාල් උගේ ගෑනිත් එක්ක එකතුවෙලා ඒවා ඔක්කොම වැහුවා. කේස් එක වැහුවේ ඒකයි. නිර්මලී ඒවා දැනගන්නකොට ගොඩක් පරක්කුයි. හැරෙන්න බැරි තරම් පරක්කුයි... 

ඒ කෙල්ල විඳෙව්වා ඒකට සෑහෙන්න. History repeats.... මේ පාර වෙන්න යන්නෙත් ඒකමයි.  මම කියන්නෙ බොරු නම් උඹ නිර්මලී තනි කරලා අහලා බලපං.. ඒ කෙල්ල ඒවා කාටවත් කියන්නෙ නෑ. මාව විස්වාස නැතිනම් එකපාරක් අහලා බලපං"

රංග මදක් වික්ශිප්ත වූ බව ඔහුගේ දෑස්වල චලනයෙන් ඔහුට වැටහුනු නමුත් රංග දක්ෂ ලෙස යථා තත්ත්වයට පත්වී දෑතම කලිසම් සාක්කුවල හුවාගෙන අසලංක වෙත බැල්මක් හෙලුවේය.

" අනූජ අය්යා කොහොම චරිතයක්ද කියලා චරිත සහතික දෙන්නේ , තමන්ගෙ ළමයට අම්මෙක් වගේ හිටපු යාළුවාව ට්‍රික් කරලා ඒ ගෑනිගෙ nudes අරගෙන , පස්සෙ black mail කරපු @රියෙක්ද?"

ඔහු හුස්මක් ඇල්ලුවේ ය.

"..දෙවියෙක් උනත් යකෙක් උනත්, අනූජ ගමනායක දැන් මැරිලා, නෙවෙයි මරලා. ඒ කේස් එක වැහුවෙ මැරිච්ච මනුස්සයා මැරිලා ගියාට , ජීවත් වෙලා ඉන්න මිනිස්සුට ඒකෙන් වෙන impact එක හිතලා.. අනික තමුසෙගෙ නමත් එතන තියෙන හින්දා. ඒ හැම එකකටම වඩා, නිර්මලී කියන්නේ එහෙම පලිගන්න ටයිප් කෙල්ලෙක් නොවෙන හින්දා මිසක්.. නැතිනම් තමුසෙත් මේ වෙනකොට රිමාන්ඩ්! අන්න ඒක මතක තියාගන්නව!!"

අසලංකගේ මුහුණ නැඹුරු වූයේ බිමටය. නමුත් සිත තවමත් විතර්කයේය.

" රංග! මචං... මම දන්නව එදා මගේ අතින් වරදක් උනා තමයි. ඒක සම්පූර්ණයෙන් මගේම වරදක් කියලා කියන එක අසාධාරණ කතාවක්. උඹම කියපං.. තමන් ආදරේ කරන කෙල්ල එක්ක ළඟින්ම ඉඳලා.. හැම දේකදිම එයාට strength එක වෙලා; හොද්දේ කරපිංචා වගේ විසික්කරලා දානකොට උඹ මොකක්ද මුලින්ම කරන්නෙ? එකපාරක් වත් උත්සහ කරන්නෙ නැද්ද ඒකිව තමන්ගේ කරගන්න?"

අසලංක සිය පුටුවෙන් නැගිට ගොස් විසල් වීදුරුවෙන් පිටත පෙනෙන කාර්‍යාල උද්‍යානය දෙස බලා සුසුමක් හෙලුවේය. 

".. මම කරපු වරද පින්තූර තියාගත්ත එක වෙන්න ඇති. කොහොමත් දැන් මගේ ගාව නෑ ; ඔක්කොම මැකුවා... ඒවා නොතිබ්බොත් උඹලා එකෙක්වත් විස්වාස කරයිද නිර් අර රශිඳුට චීට් කලා කියලා? "

" උඹ මහ තිරිසන් මිනිහෙක්.. දන්නවද උඹ ඒ කරපු තිරිසන් වැඩෙන් වෙච්ච දේ??? රශිඳු හොඳ හින්දා හොඳයි.. උන් දෙන්නා..  "

අසලංක ආපසු නොහැරීම ගෙල දෙපසට පද්දා අමුතු අභිනයක් පෑවේ රංග කියන්නක් ගැන නොසලකාය.

"රශිඳුගෙ හොඳ! රෙද්ද තමයි!! තමුසෙලගෙ ඔය මහ ලොකු රශිඳු ගෝකුල හින්දා නිර් වැටෙන්න යන අමාරුව ගැන කියන්න ආවා මිසක්, උන් දෙන්නගෙ ලව් සීන් අහන්න ආපු ගමනක් නෙවෙයි. "

අවශ්‍ය කොටස තමන් කියාගත් නිසා ඉක්මනින් ‍රංගගේ කාර්‍යාලයෙන් පිටත් වූ තමා ඉන් කිලෝමීටර් ගණනාවක් යනතුරුම පැමිණියේ අවසිහියෙන් රිය පදවමිනි. 

අවසානයේ වේදිකාගේ ඇමතුමෙන් පිටවි සිහියට ආ ඔහුට දැනෙන්නේ තිබුනාටත් වඩා පීඩනයකි. නිර්මලී පෙර දිනයකදී එල්ලකල කම්මුල් පහර , ඊට වසර විසි එකකට පෙර සිමා ආයතනයේ භෝජනාගාරයේදී ඈ දුන් කම්මුල් පහරට අතිශය සමානය. දෙවතාවේදීම ඈ සිය පෙම්වතා නොදැන සිටියාය.

තමා මේ විඳින පීඩනය සැබෑ ලෙසටම විඳිය යුත්තේ කවුදැයි අසලංක ඒ මොහොතේ වහා තීරණය කළේය. 

----------------------------------------------------------------

"... මේ හලෝ.. තමුසෙ මම කියන එක අහගෙනද ඉන්නෙ?"

නව්‍යා සිය සවනේ ඇති දුරකතනයේ තිරය දෙස බලා , එය නැවත කනට තදකොට ඇසුවේ එහාපස කිසිදු හැලහොල්මනක් නොමැති බැවිනි. 

" හ්ම්ම්.."

කෙඳිරියක් මෙන් ඇසුනේ වන්‍යාගේ හඬක් පමණි.

" මම මේ කියන දේ කන්දෙක ඇරලා හොඳට අහගන්නවා.. පිරිමි තමන්ට චාන්ස් එකක් ලැබුනොත් බෑහ් බෑහ් ගාන්නෙ නැති දේවල් තියෙනවා. තමුසෙ ඔය කොල්ලට බැනල වැඩක් නෑ. ඌ දැන් මෑම්ගෙන් අයින් වෙන්නෙ නෑ. ඇහැරෙනවා ඔය විකාර හීනෙන්! ඔය මෝඩකම හින්දා තමයි අර රුමෙත් සර් තමුසෙව යූස් කරන්න හදන්නෙ"

වන්‍යාගේ සිත තලා දැමූ තක්කාලි මල්ලක් සේ සුණුවිසුණු වී හමාරය. සැබෑ ප්‍රේමය මෙතරම් වේදනාකාරීද? එසේනම් එය තමාට තවදුරටත් අවශ්‍ය නොවේ.

" නෑ හලෝ.. එහෙම එකක් නෑ. මම දැන් කෝස් එකේ අළුත් සෙමෙස්ටර් එකටත් ජොයින් උනා. එවල තිබ්බ සල්ලි වලට තෑන්ස්"

නමුත් ඇගේ හඬින්ම සිය සොයුරියගේ හදවත පෙන්වන තරමට පිලිසකර වී නොමැති බව නව්‍යා වටහා ගත්තද , මේ මොහොතේ තමාට ඒ වෙනුවෙන් කලහැකි බලපෑම අවම බව ඈ දනී. ඈ මේවනවිටත් තමන් ආදරේ කරන පුද්ගලයා අතින් ප්‍රතික්ශේප වීමේ වේදනාව අත්දකිමින් සිටින නිසා නව්‍යා සිය සොයුරිය ගැන පෙරදාට වඩා සානුකම්පිතව සිතුවාය. 

"ස්ටඩීස් වලට බිසී වෙන්න. රශිඳු ගැන හිතන්න වෙලාවක් නැති තරමට බිසී වෙන්න. එහෙම උනාම දුක් වෙන්න වෙලාවක් නෑනෙ. අම්ම අපි දෙන්නව හැදුවෙ ගොඩක් අමාරුවෙන් පොඩී.. තාත්තා හැමදාම කලේ ගෑනු පස්සෙ යන එක විතරයි. අම්මට ඒකට එරෙහි වෙන්න බැරි උනේ අපි දෙන්නාට කන්න දෙන්න වෙන විදියක් නැති නිසා. දැන් අපි ලොකුයි, අපිට පුලුවන් අම්මව ඒ අපායෙන් ගලව ගන්න. බයවෙන්න එපා.. තමුසෙට මම ඉන්නව. අපි කොහොමහරි ගොඩ එමු"

එහි තිබුනු ශක්තියටත් වඩා නව්‍යාගේ සිත හඳුනා ගත්තේ සිය සොයුරියගේ සිත වෙනදාට වඩා සැලෙන බවයි. ඇගේ සැහැල්ලු වචන වලට බරක් එක්වී ඇත.

" අක්කි මේ හලෝ.. තමුසෙ අඬනවද?"

ඊට පිලිතුරක් වෙනුවට ඇමතුම විසංධි කල නව්‍යා බර සුසුමක් හෙලා හිරාන් දල්පදාදු විසින් එවා තිබුනු කෙටි පණිවිඩය දෙස නැවතත් බැලුවාය. 

අතිශය දක්ශ ලෙස ඔහු තමාව ප්‍රතික්ෂේප කොට තිබේ. නමුත් ඔහුගේද වරදක් නැත. ඔහු කියනා පරිද්දෙන් ප්‍රේමය වැඩෙන්නට සහ අවබෝධ වන්නට කාලය අවශ්‍යය. කාලයට ඉඩදී බලා සිටීම අවශ්‍යය. නමුත් රුමෙත් අසලංක මිහිඳුකුලසූරිය කෙතරම් කලක් සිටියද ඒ කඩ ඉම සමත් නොවී ; තත්පරයකින් හමුවූ රශිඳු ගෝකුල එලෙස සමත් වූයේ??

ආදරය; ප්‍රේමය ; ආකර්ෂණය සහ බැඳීම් පිටින් පෙනෙනවාට වඩා සංකීර්ණය. හදවතට දැනෙන බැඳීමක් නම් කාලය සමඟ අත් නොහැරී තිබිය හැකිය. හිරාන් දල්පදාදු කෙරෙහි තමා තුල ඇතිවූ ආකර්ෂණය , ප්‍රේමයක් යයි වරදවා වටහාගත්තාද?

හදවතට දැනෙන ලෙස ප්‍රේමය ලබන්නෝ ඒ සාම වේදනා උහුලන්නෝද? නිර්මලී ගමනායක වෙත පිදෙන ඒ ප්‍රේමය ගැන ඉරිසියා කරන්නට අයිතියක් නැතද, තමාද සිතින් ඉල්ලන්නේ එයද? රශිඳු ගැන සිය සොයුරිය එතරම් නහින්නේ හේතුවක් ඇතිවය. 

නිර්මලී ගමනායක ගැන පෙර දිනයේ වේදිකා කියූ කරුණක් ගැන එකවරම සිහිවී , නව්‍යා සිය පරිඝණක තිරයේ වූ සෙවුම් යන්ත්‍රයේ ඉඩ මත යමක් ටයිප් කොට සෙවුම් බොත්තම තද කළාය. 

---------------------------------------------------------------

කලබලයෙන් ඒ මේ අත ඇවිදින නිර්මලී අතින් අල්ලා නවතාලූ රශිඳු ඈ තමාගේ උරයට ලංකර ගත්තේ සන්සුන් කරන්නට උත්සහ කරමිනි. කල්පනාබර මුහුණින් යුතුව හිමාල් රෝහල් පරිශ්‍රයේ කොරිඩෝවෙන් මතු වෙද්දී නිර්මලී හිස ඔසවා බැලුවද රශිඳුගේ උරයෙන් මෑත් නොවුනාය.

" නිර්... තෑන්ක්ස් කෙල්ලව ගෙනාවට.. කෝ දැන්.."

" nebulize කරනවා. සර්ජරි එක කරන්න වෙයි අය්යා..."

රශිඳු එසේ පැවසුවේ හිමාල්ගේ නළල තරමක් රැළි ගැසෙද්දීය. හේතුව දත්තද රශිඳු ඒ ගැන කිසිදු ලෙසකින් නොපෙන්වා සිටියේ නිර්මලී හිමාල් වෙත හෙලූ මද සිනාව නොදැක්කා මෙනි.

".. ගිහින් පේපර්ස් ටික සයින් කරන්න අය්යා.. අනිත්වා ඔක්කොම කරලා තියෙන්නෙ.. අපිට සයින් කරන්න පුලුවන්කම තිබ්බ නම් උඹට කරදර කරන්නෙත් නෑ."

පියෙකුගේ කඳුලින් බරවූ හිමාල් සිය මුහුණ බිමට හරවා ගත්තේ ඔහු සතු වදන් ප්‍රමාණවත් නොවන නිසාය. ඇත්තටම තමන් අතේ එතරම් මුදලක් නොමැති බව ඔවුන් දන්නවා ඇත. 

හිමාල් සමඟ අවශ්‍ය ලියකියවිලි වලට අත්සන් කරන්නට රශිඳු පිටත් වූයේ නිර්මලී ඔහු සමඟම රැගෙන යමිනි. අකිත්මාගේ රෝගය හදිසියේ උත්සන්න වී ඈ පන්තියේ සිහිසුන් වූ සැනින් ආ පණිවිඩය ආවේ ඈ වෙත නිසාත් අකිත්මා සමඟ ඇති බැඳීම නිසාත් නිර්මලී සිටියේ මදක් තැතිගෙන නිසා ඈට තනිවන්නට ඔහු අවස්ථාවක් දුන්නේ නැත.

ක්‍රීඩා තරුව නිසා ඔවුන් අසළ කීප දෙනෙක්ම ඒ මේ අත බැලුම් හෙලුවද , දඬු අඬුවට මෙන් නිර්මලීගේ අත රශිඳු අල්ලාගෙන සිටියේ ඒ ගැන වගක්වත් නොමැතිවය.

" රිපෝට්ස් ඔක්කොම ගෙදර.. ගිහින් ගේන්න ඕන"

හිමාල් එලෙස පැවසුවේ අකිත්මාගේ රෝග නිධානය ගැන තොරතුරු සියල්ල ශල්‍යකර්මයට පෙර අවශ්‍ය බැවිනි. ඒ වනවිට නිවසේ සිට එන්නට පොරකන අකිත්ට ඒවා ඇති ස්ථානය ගැන අනුමාන කොට පැවසූ හිමාල් වෙත කෝපි කෝප්පයක් පිරිනමමින් රශිඳු ඒ අසළම පුටුවට බරවිය. 

" ඔක්කොම හරිනෙ බං.. බයවෙන්න දෙයක් නෑ. කොල්ලා ආවහම මෙන්න මේ මෙන්ටලෙත් එක්ක ගෙදර යවපං... "

රශිඳු එසේ පැවසුවේ කම්මුල් රතු කරගෙන සහ මූණ බෙරි කරගෙන සිටිනා නිර්මලී ඇසෙන් පෙන්වමිනි. නිර්මලී එරෙව්වාය. හිමාල් මද සිනාවක් පෑවේය. 

" අනේ මේහ්.. මාව ජෝක් එකට ගත්තද ඒපාර?  ඒ මගේ එකම කෙල්ල..."

ගස්සන ඈ ගෙන සිය එක් කකුලේ කලවයක් මත හිඳුවාගත් රශිඳු ඇගේ කම්මුල මෘදුව පිරිමැද්දේ ඒ එරවිල්ලට සිනාසෙමිනි. හිමාල්ද මද සිනාවකින් ඔවුන්ගෙන් නෙත් ඉවතට ගත්තේය.

' මුං දෙන්න කොහේ ගියත් කුරුළු ජෝඩුව වගේ'

" දුලී එනවා කිව්ව.. එයා කොහොමත් ඉඳී.. රශිඳු උඹ ටිකක් කොල්ල එක්ක හිටපං.. ඌ දුලී එක්ක තියන්න බෑ"

හිමාල්ට වී ඇති අකරතැබ්බය තේරුම්ගත හැකි නිසා රශිඳු හිස සළා එකඟ වූ අතර ඔහු හිරාන්ට පණිවිඩයක් තැබුවේ මේ මොහොතේ හිමාල්ට සවියක් සිටිය යුතු නිසාය. අකිත් සිටියේ ඔහුගේ මව හා අමනාපයෙනි. 

ඒ වනවිටත් හිමාල්ගේ හිතවතුන් කිහිපදෙනෙක්ම එහි පැමිණ සිටි නිසා ඔහු ඔවුන් හා සංවාදයට වැටුනේ රශිඳුට සිය පෙම්වතිය රිසි සේ සනසන්නට ඉඩ හරිමිනි.

'පිස්සි මගේ.. දරුවගෙ අම්මටවත් නෑ මෙයාට තරම් ගායක්! '

එසේ කීවද හදවත පතුලෙන් දැනෙන වෙනස රශිඳුගේ සිත මදින් මද පෙලමිනි. නිර්මලී ඒ උණුසුම් පපුවට තුරුල්වී ඔහුගේ කමිසයේ බොත්තම් පහුරගාන්නට වූවාය.

" අකිත්මා ඉපදුණු දවසේ දුලී අක්කාට Postpartum Depression ආවා. මාස ගානක් මම තමයි ෆෝමියුලා දුන්නේ, නැපි මාරු කලේ ඔක්කොම.. "

"හ්ම්ම්"

බඳ වටා ගිය අත ඇගේ ඉන අසළින් සෙමෙන් පිරිමදිමින් රශිඳු සිටියේ බර කල්පනාවක නිග්මනවය.

".. ෆෝමියුලා දීපු නිසයි අකිත්මා එච්චර වීක් කියලා හිමාල් අය්යගේ ගෙදරින් වලිත් ඇද්දා. අනේ කෙල්ලට ඔහොම හෝල් එකක් තියෙනවා කියලා දැනගත්ත දවසෙ ඩොක්ටර් කිව්වෙ කාලෙත් එක්ක ඒක වැහිලා යයි කියලා..  පව් අනේ"

"හ්ම්ම්ම්.."

" අකිත් වගේ නෙවෙයි පොඩිකාලේ රණ්ඩු කෙක්ක.. මට දුකේ බෑ එහෙම ඉන්නව දැක්කම.. මම පැනික් උනා වැඩී තමයි.. ඒත් ඉතින් බය හිතුනානෙ.."

" හ්ම්ම්"

"අකිත් කොහොමත් මගේ පස්සෙමයි.. මට ඒ ළමයි දෙන්නම සෑහෙන්න ස්පෙශල් කිකී.."

" හ්ම්ම්ම්"

" සොරි ඉතින් ඔයාව බය කලාට.. "

" හ්ම්ම්ම්"

"ඒ උනාට  ඔයා ආපු එක හොඳයි..."

නිර්මලී පුසියක මෙන් රශිඳුගේ පපුවට තුරුල් වුවාය.

"හ්ම්ම්ම්.."

එකවරම නිර්මලී හිස ඔසවා රශිඳුගේ මුහුණේ ඇති ගැඹුරු කල්පනාව දෙස මද වේලාවක් බලා සිටියාය. 

"රශී.. "

ඈ සිය වමතින් රශිඳුගේ බාගෙට වැඩුනු රැවුල්කොට ඇති කොපුලට සිය අල්ල තදකලේ ඒ කල්පනාව බිඳිමිනි. රශිඳු තිගැස්සී ඈ දෙස බැලූවද නගාගත් සිනාව එතරම් සාර්ථක වූයේ නැත.

".... ඔයා ඉන්නේ දුකෙන්.. මම දන්නව ඒ අකිත්මා හින්දා නෙවෙයි කියලා"

ඉවතට හරවන්නට ගිය රශිඳුගේ මුහුණ නිර්මලී වලක්වා ගත්තාය.

".... මට ඔයාව කියවන්න පුලුවන්. අම්මා මොනවහරි කිව්වද?"

රශිඳු සිනාවෙන්නට ගත් උත්සහය කෙලවර වූයේ විරිත්තිල්ලකටය. නිර්මලී මහහරින ඇස් වෙත එබුනාය.

"..  ළඟකදි ඉඳලා ඔයා අම්මාට කෝල් කරනව ඇහුනෙත් නෑ. මම දන්නව ඔයා අම්මට කොච්චර ආදරේද කියලත්"

වැටුන සුසුමේ බර එලෙසම තිබෙන්නට හැර රශිඳු ඇගේ දීප්තිමත් දෑස දෙස තත්පරයක් බලා සිටියේය.

"... අම්ම නේද?"

රශිඳු ඇගේ ගෙල පාමුල සිය හිස සඟවා ගැඹුරට හුස්මක් ඇල්ලුවේ ඇගේ සුගන්ධයෙන් මත්වී මේ සියල්ල අමතක කරවන්නට මෙනි.

ඈ සිය දෑතම ඔහු වටා ගෙනගොස් එයට අත්වැල් සැපයූවේ මේ මොහොතේ රශිඳු සනසාලන එකම මග එය බව තේරුම් ගනිමිනි.

".. You don't have to do it baby... "

රශිඳු ඇගේ ගෙල මත තද සිපුමක් තබා හිස කෙලින් කොට සිය මැර බැල්මෙන් නිර්මලී පුලුස්සා හරින්නට මෙන් බැල්මක් හෙලුවේය. 

"ආව් !"

" මේ මැඩම් දැන් මොනාද මේ කියන්නෙ?"

දැන් මේ මැරයා මෙතන පුපුරා හැලෙන්නට ආසන්නය. නිර්මලී ළදරු හිනාවක් දා උකුලෙන් නැගී සිටියේ ඈතින් අකිත්ගේ රුව පෙනුන බැවිනි. 

" අන්න කොල්ලා එනව.. කෝ අතාරින්න මට ලැජ්ජයි"

"චඃ! මගුල!! "

වේගයෙන් ආ අකිත් කෙලින්ම නතර වූයේ නිර්මලීගේ උරයෙහිය. කුඩා තරුණයා සිය සොයුරිය වෙනුවෙන් හඩද්දී ඒ වනවිට සන්සුන්ව උන් නිර්මලී ඔහුව දරාගෙන සන්සුන් කරගන්නට සමත් වූ බව පියවර කීපයක් ඈත සිට රශිඳු සිය විමසිලිමත් දැසින් බලා සිටියේය. 

අත තිබුනු අකිත්මාගේ වෛද්‍ය වාර්ථා සහිත බෑගය ඔහු අසළට ආ හිමාල් අත තැබූ අකිත් තමාට අතවැනූ රශිඳු වෙත දෑස යොමුකලේ මද සිනාවක් මුවට නගාගන්නට උත්සහ කරමිනි. 

" ඩඩා.. මම එතන තිබ්බ ඔක්කොම ටික ගෙනාවා.. පොඩ්ඩක් බලන්න හරිද කියලා "

" ඉට්ස් ඕකේ කොල්ලා.. බලන්නම්.. නිර් මේ ටික පොඩ්ඩක් බලන්න මට බෙහෙත් වගයක් ගෙන්නගන්න තියෙනවා..."

ඔහු ඉඟිමරා පැවසූ දේ නිර්මලී වහා තේරුම් ගත්තේ දුලීකා සහ අකිත් එකිනෙකා හමුවීම වැලැක්වීමට හිමාල් රෝහලේ පිවිසුම දෙසට යන්නට සූදානම් බව වැටහීමෙනි. 

" හරි අය්යා.. මම බලන්නම්...  දැන් රශිඳු අය්යා එක්ක කැන්ටින් ගිහින් ඩිනර් ගන්න.. මම මේ ටික දීලා ඉක්මනින් එනව.. හරි?"

තමන් වෙත හැරී නිර්මලී කියූවට හිස සලා පිලිගත් අකිත් ඒ දෙසට යන්නට හැරෙද්දී, නිර්මලී ඒ අසළම තිබුනු පුටුවට බර දුන්නේ බෑගයේ තිබෙනා ලිපිගොනු; වෛද්‍ය වාර්ථා එකින් එක තෝරා ගැනීම අරඹමිනි. 

අකිත් ඔහු වෙත එන්නට පෙර නිර්මලී වෙත ඇවිද ගිය රශිඳු නිසා නිර්මලී මදක් හිස හරවා නැවතත් ළඳරු සිනාවක් පෑවේ කපටිකමටමය.

" තව සති දෙකෙන් වෙඩින් එක ගන්නව. ලෑස්ති වෙයං බෑව් බෑව් කිව්වොත් මරනව"

අනේ දෙවියනේ මීට දවස් කීපයකට පෙර මගේ පන කියල මගෙන් බඳිනවද අහල අච්චර රොමෑන්ටික් විදියට මුද්දක් දාපු කොල්ලද මේ මැරයෙක් වගේ මෙහෙම කියන්නෙ? ඊටත් කියන විදිය??

නිර්මලී මුවට ආ සිනාව වලකාගෙන දෙතොල් පියවා ගත්තේ ඇසින් අකිත් පෙන්වමිනි. ඔරවාගෙන ආපසු හැරුනු රශිඳු අකිත්ගේ උරයට අතක් දමාගෙන ඇවිද ගියේ අකිත්ගේ කනට යමක් මුමුණමිනි.

" වරෙන් යන්න ඇති හුරතල් උනා මගේ කෙල්ල එක්ක"

අකිත්ගේ මුහුණ මත සිනාවක් නැගුනේ බොහෝ වේලාවකට පසුවය. ඈතට ඇවිද යන දෙදෙනා දෙස බලා සිටි නිර්මලී නැවතත් වෛද්‍ය වාර්ථා එකිනෙක පිලිවෙලින් අසුරන්නට වූයේ අකිත්මාගේ ඒ වාර්ථා බොහොමයක් ගත්තේ තමා සමඟ ගොස් බවත්, ඒවා පිලිවෙලින් දින හා අංකනය කලේ තමාම බවත් සිහි කැඳවමිනි. එකවරම අතට ආ ලිපිගොණුව තමන්ට පුරුදු එකක් නොවේ.

එය පසෙකින් තැබූ නමුත් නොසැලකිලිමත් බව නිසා ලිපිගොණුව ආසනයෙන් බිමට ඇලවී ගොස් එහි මධ්‍යයේ තිබුනු කඩදාසි බිම හැලී ගියේය. ඈ ඒ අතර වූ කොලය දැක පහතට නැමී එය අහුලා ගත්තාය.

' Mrs. Nirmalee Charuka Gamanayaka

Admitted date : xx-xx-xxxx

20 years old

Medical report on ....

Acute problem : miscarriage [P]'

කියවාගන්නට හැකිවූයේ එපමණකි. හිස පොලවේ හැපුනාක් මෙන් දෑස නිලංකාර වී ගියේය. ඈට ඉබේටම ආසනය අසළ බිම ඉන්දුනි.

' දෙවියනේ.... මේ... මේ මොකක්ද ? අනූජ.. අනූජගෙයි මගෙයි දරුවෙක්??? නෑ! මට අනූජගෙන් දරුවෙක් හිටියාද? එයා.. එයා.. නෑ.. නෑ... මේක බොරුවක්! මට එහෙම කවුරුත් කිව්වෙ නෑ... අනූජගෙ ඉටු කරන්න බැරුවෙච්ච පොරොන්දුව! නෑ.. කලිනුත් මට?? '

නිර්මලී දෑතින්ම සිය හිස බදාගෙන පිස්සුවෙන් මෙන් සිය හිසේ කෙස් සිය දෑතින් ඇද්දේ වියරු ලෙසටය. ඈට දැනුනේ තමා එකවරම පාවී යනවාක් මෙනි.

දෑස මත බැඳුනු පටලයෙන් ඇස්වල දර්ශනය වියැකෙන්නට මොහොතකට පෙර ඈ විඳින්නේ ඈත සිට තමා වෙතට වේගයෙන් දිවගෙන එන හිමාල් මොල්ලිගොඩගේ දෙපාවල ගිඩි ගිඩි ශබ්දයත්, බියපත් මුහුණත් පමණකි.

------------------------------ මතු සම්බන්ධයි --------------------------

8 comments:

  1. //තව සති දෙකෙන් වෙඩින් එක ගන්නව. ලෑස්ති වෙයං බෑව් බෑව් කිව්වොත් මරනව//
    ආන්න කෙලින් කොල්ලො. නියමයි.

    ReplyDelete
  2. මේකට නම් සමාව දුන්න ඕo

    ReplyDelete
  3. මට තේරුනා නම් වෙනස් කලේ ඇයි කියල.

    ReplyDelete
  4. නවත්තන්න එපා අපි කියවනෝ............

    ඔයා ලඟ පොඩි අත් බෝම්බ ෆැක්ටරි එකක් වත් තියෙනවද අනේ.... කතාව යන්තම් හුස්මක් කටක් ගන්න මට්ටමකට ඇවිත් අපේ හද ගැස්ම සන්සුන් උන ගමන් පොඩි බෝම්බයක් දීල අදින්න හැමදාම????

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...