Wednesday, June 15, 2022

332: උන්මාද චිත්‍රාදෝ මා 64


 

රශිඳු වේගයෙන් ඒ මේ අත ඇවිද්දේ හිරාන් ඒ දෙස බලා සිටීම මදකට නවතා බිම බලාගන්නවාත් සමඟය. හිමාල් සිය දෑත් ඉනේ තබාගෙන මදක් හිස ඔසවා බැලුවේය.

" ඊළඟ මාසෙ IPL මචං.. ඊයෙ මාව සෙල් වෙලා තිබ්බ "

රශිඳු දැනටත් හිරාන් සහ හිමාල් යන දෙදෙනාම දන්නා කරුණක් මතක් කොට සිටියේ තමන්ට අවශ්‍ය ප්‍රවේශය ලබාගන්නටය. හිරාන් එයට හිස සලා ප්‍රතිචාර ලබා දුන්නේ සිය මිත්‍රයාගේ කැළඹීම සාධාරණ නිසාමය.

".... මේ වෙලාවෙ කරන්න පුලුවන් කුප්පම වැඩේ තමයි කරලා තියෙන්නෙ. ආපු එකා මම හොයා ගන්නම්. අම්මත් දන්න එකෙක්නෙ. මටත් වෙන ඔප්ශන් එකක් නෑ බං. මට මේ කෙල්ලව අනාථ කරන්න බෑ දැන්! "

 රශිඳු කියවාගෙන ගියේ දුරකතනයට ආ ඇමතුම විසන්ධි කරමිනි. ඇමතුම දුන් දිමුත්ට කෙටි පණිවිඩයක් යැවූ ඔහු නැවතත් තමා කියමින් සිටි කරුණට සිය අවධානය ගන්නට තත්පරයක් පමණ ගත්තේය.

"අවුලක් නෑ මචං. මම ආන්ටිව බලාගන්නම්. ශොක් එක වගේ තිබ්බට ආන්ටි මෝඩ වැඩ කරන කෙනෙක් නෙවෙයි"

හිරාන් තරමක් සන්සුන් හඬින් මුත් ස්ථීරසාර ලෙස පැවසුවේය.

" අම්මා ලොකුවට ලෝකෙ දැකපු කෙනෙක් නෙවෙයි මචං. මට තේරෙනව. Baby girlට අකමැත්තක් නෙවෙයි තියෙන්නෙ. මේ වයස සීන් එක විතරයි. මචං ඉතින් මම, මම වෙනුවෙන් හිටපු ඒ කෙල්ලව මරලා උපද්දවන්නද? ඇක්සිඩන්ට් එකකින් තරුණ කාලෙම හස්බන්ඩ් නැති වෙලා ආයේ මැරේජ් එකකට යන එකම විඩෝ ඒකි නෙවෙයි නේ බං. අනික... හැම වෙලේම ඒකිට කියන කුණු කතා!"

හිරාන්ට සිය ප්‍රාණ සම මිතුරාගේ වේදනාව තේරුම් ගතහැකිය. පිටස්තර ලෝකය ඉදිරියේ ඔහු නොසැලී සිටියද විස පෙවූ ඊතල නිසා ඔහු සිටින වේදනාව හිරාන් සුළුකොට නොතැකූ නිසා ඒ පිරිමි කඳුළු වල බර විහිලුවක් ලෙස නොගත්තේය.

හිමාල් ඒ වචන වලට වශීකෘතව මෙන් තත්පර කිහිපයක් නිසොල්මනේ සිට බරැති සුසුමක් සැලුවේය. පෙර ජීවිතයේ තමාගේ හොඳම යහළුවාත් , මේ ජීවිතයේ හොඳම යහළුවාත් සමඟ ඔහුගේ මේ සංවාදය ඇරඹීමට හේතුව හිමාල් සතුටට පත්කොට තිබේ. 

".. මැරි කරන එකෙ නෙවෙයි මචං අවසානෙ. එතනින් තමයි සමහර දේවල් පටන් ගන්නෙ. උඹ දන්නව ඇතිනෙ හිරාන් ඉස්සර අපේ අම්මා තනියෙන් මාව හදාගන්න පිරිමියෙක් වගේ සමහර තැන් වලදී ඉස්සරහට එනකොට, මම හැමදාම හිතුවා මගේ වයිෆ්ට මම ඒ ඉරණම දෙන්නෙ නෑ කියලා. 

එක්කෝ මම ඒ ගෑනිව ළමයෙක් එක්ක තනි නොකර ඉන්නව. නැතිනම් ඒ ගෑනිට වෙන මනුස්සයෙක් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න ඉඩක් තියලා මැරෙනවා කියලා. ඒවා බොරු කතන්දර බං! "

රශිඳු බිත්තියට බරවී ඈත ඉමක දෙනෙත් රඳවා ගත්තේය. 

"..  ලයිෆ් එක ප්ලෑන් කරන්න ලේසි නෑ. අපි නොදන්න දේවල් ගොඩක් අස්සෙ අපි ජීවත් වෙන්නේ. Baby girl කියන්නෙ මම වෙනුවෙන්ම හිටපු කෙනෙක්. ඒකි තනියෙන් හිටියේ ලේසි ගේමක් දීලා නෙවෙයි. මට ඒක වාවන්නෙ නෑ බං. ඒවාට වයසක් නෑ.. හැඟීම් වලට වයසක් නෑ.."

බිඳෙන්නට එන සිය වදන් තරකොට අල්ලාගෙන රශිඳු එසේ පැවසුවේ මද සිනාවක් අපහසුවෙන් නගා ගනිමිනි. රශිඳු සිය සංවාදය තවමත් හිරාන් සමඟ කරගෙන යනවාට හිමාල්ගේ විරෝධයක් නොමැති වුවත් තමන් කුමක් හෝ කිව යුතු බව සිතා රශිඳුගේ උරයට අතක් තැබුවේය.

" නිර්ට ඒ සතුට උරුමයි මචං. තෑන්ක්ස් ඒ දෙන සතුටට. උඹල දෙන්නට හැමදාම මම ඉන්නව"

" තෑන්ක්ස් අය්යා. ඒ වචනෙත් මට හය්යක්!"

" මචං.. උඹේ කලින් ජීවිතේ බෙස්ටා මම. ඒ පාරත් උඹ නිර්ට ආදරේ කරලා මැරි කලේ ලේසියෙන් නෙවෙයි. නිර් වෙනුවෙන් විතරක් නෙවෙයි, අපි උඹ වෙනුවෙනුත් අපේ උපරිම සප් එක දෙනවා"

හිරාන් සහ හිමාල් එකිනෙකා දෙස බලාගත්තේ අවසාන වැකියේ අගට දෙදෙනාගේම එකඟතාවයක් ඇත්තාක් මෙනි.

'.. ගෑනියෙක්ට ආදරේ උනහම ඒ ගෑනිව මිරිකලා අල්ලගෙන තියාගන්න හදන පිරිමි ගැන මට තේරුම් ගන්න පුලුවන්. Baby girl ගැන මට තියෙන්නේ ඒ වගේ දෙයක්. මගේ අතට හරියන විදියට පුංචි වෙලා රවුම්වෙලා මේ කෙල්ල බිංකුණ්ඩෙක් වගේ ඉන්නකොට.. කියපං මම කොහොමද අතාරින්නේ කියලා ? මොනාද ඒකිට නැත්තෙ? ඒ උනත් මම හින්දා මාර දුකක් ඒ කෙල්ල විඳින්නෙ...'

රශිඳු ගෝකුල විසින් තමාට පෙරදී කියූ ඒ වදන්වල තිබුනු සුවිශේෂී භාවය නිසා හිමාල් සිටියේ ඔහුට වශීකෘතව මෙනි.

එක දිගට කියවාගෙන යාම නිසා රශිඳු හුස්මක් අල්ලද්දී හිරාන් ඔහුගේ උරයට අතක් තබා සිය මිතුරාගේ හදවතට අවැසි ඔක්සිජන් ලබා දුන්නේය.

අද මේ තරම් ඔහු දොඩමළු වන්නේ හේතුවක් ඇතුවය.

"නේහා,  නිර්ට ඕනේ දේවල් බලලා කරයි. උඹට තියෙන්නෙ වෙන්න ඕනේ දේවල් අපිට කියන එක. ඉතිරි ටික අපි බලාගන්නම්"

හිමාල් පැවසුවේ ස්ථීරසාර ලෙසිනි.

"... අපි කොහොමත් ටික දවසක් ඉන්නනෙ ආවෙ. එන මාසේ අකිත් මැලේශියා යනව ඩිග්‍රි එකට. අකිත්මාගෙ සර්ජරි එකෙන් පස්සේ මම එයා ගැනත් පිලිවෙලක් කරනව ඉක්මනින්. නිර්ගෙන් බේරෙන්න බැරි නිසා මචං ආවෙ. නැතිනම් උඹලගේ freedom එකට බාල්දියක් දාන්න බෑනෙ"

අවසානයේ හිමාල් කියූ දෙයට හිරාන් හඬ නඟා සිනාසුනේ එතෙක් පැවති බැරෑරුම් කතිකාව අමතක කරවමින් මෙන්‍ ය.

" ළමයි දෙන්නට කියපං කාමරේ දොරෙන් එලියට ඔලුව දාන්න කලින් බෙල් එකක් ගහන්න කියලා. මූට කිසි චාරයක් නෑ. එදත් මම ඇවිත් විනාඩි පහක් එළියට ගිහින් ඉඳලා ආවෙ මේ ජව්සං බලන්න බැරි නිසා. යකෝ අර චම්පා බැඳලත් නෑ, ඒකි කුස්සියේම ඉන්නෙ ඒකද මන්ද!"

" පල පල.. උඹ මගෙන් අහගන්න එපා ඉතින්"

අනතුරුව තිදෙනාම සිය කොල්ලන්ගේ කතා වලට මාරුවූ නමුත් විසිර ගියේ අවශ්‍යම දේ සැලසුම් කරගෙනය.

-------------------------------------------------------

නේහා රවුමක් නැටුවේ නිර්මලී ඒ දෙස සිනාසෙමින් බලා සිටියදීය.

".. How romantic !"

කතාව ඇසූ නේහා නිර්මලීගේ මුදුව දෙස නැවතත් බලා ඇගේ කොපුලක් අල්ලා ඈ දෙස කඳුළු පිරි දෑසින් බැලුවාය. 'කාරා' සිටියේ නිර්මලීගේ ඔඩොක්කුවේ සැපට ගුලිවීගෙනය.

".. මම කිව්වෙ! රශිඳු ඔයාව එහෙම අතාරින්න කීයටවත් හිතන්නෙ නෑ කෙල්ල. උඹේ කරදර ඔක්කොම හෙමින් අඩුවෙලා යයි. මට කියන්න බැරි තරම් සතුටුයි අම්මෝ!"

නිර්මලී සිය දිලිසෙන දෑස කරකවා සිනාසුනේ රශිඳු සිහිවීමෙනි. නිවසේ පහල හිමාල් සහ හිරාන් සමඟ සංවාදයේ යෙදෙමින් සිටිනා රශිඳු ගැන ඈට ඇත්තේ වචනයට හරවාගත නොහැකි තරමේ ප්‍රේමයකි. නමුත් කුමක් හෝ දෙයක් විසින් සිත තුල ඇතිකොට ඇත්තේ තරමක ආතතියකි. ඈ සුසුමක් හෙලා කාරාගේ හිස සිපගනිද්දී ඈ තවත් නිර්මලීට තුරුළු වූවාය.

".. ඔන්න ඉතින් ආතල් කඩන්න කෝල් කරනවා.. "

නේහා කට උල්කොට ඇමතුමට පිලිතුරු දුන්නේ එය රංග ගෙන් නිසාය.

".. ඇයි ඇයි අප්පා මේ? අද මම නිවාඩු දැම්මෙත් නෑ. Working from home දාගෙන ඉන්නෙ.. "

අනෙක් පසින් රංග ඇගේ මේ කියවිල්ල ගණනකට ගත්තේ නැත.

" මේ... නිර් ඉන්නවද ඔතන?"

රංගගේ හඬේ තිබුනු වෙනස් බව නිසා නේහා හිඳගෙන සිටි ඇඳෙන් නැගී සිට පසෙකට ඇවිද ගියේ නිර්මලී වෙතින් මුහුණ හරවා ගනිමිනි.

" හ්ම්ම්"

ඒ සමඟම ඇගේ සවන් මත ඔහු තබන්නේ ඈ පුදුම කරවන පුවතකි.

" අසලංකයා අද මෙහෙ ආවනෙ!"

------------------------------------------------------------------

ක්‍රීඩා විවේකාගාරයේ ඝෝෂාව නිසා දිමුත් , රශිඳුට හිසින් සන් කලේ ඔහු හා පැමිණෙන ලෙසයි. චාමික අතට සිය වතුර බෝතලය දුන් රශිඳු හිස සලා දිමුත් පසුපස වැටෙදී උපනායකගේ ඇස ඒ වෙත ඉබේම යොමුවිය.

" ලොක්කව අල්ලගෙන ඉන්නෙ මූ"

" අනේ මේ පලයං යන්ඩ. රශිඳු allrounder කියලා උඹ පිලිගන්නෙ නෑද? යකෝ ඌ කොහොමත් පොරක්. දිමුත් අය්යා අපි කාටත් එකවගේනෙ බං. නිකං බොරුවට කුප්ප කතා හදන්න එපා"

මැදපෙල පිතිකරුවකු වුවද ඔහු කණ්ඩායමේ පැරණි ක්‍රීඩකයෙක් නිසා හදවත පිලි නොගත්තද උපනායකයා ඊට පිලිතුරක් නොදී ඔහුගේ මිතුරා දෙස අවඥාසහගත සිනාවක් පෑවේය.

".. ඌ IPL ගිහින් මෙහෙ කරගන්න බැරි ටිකවත් කරනවා බලන්න කැමතියි මම. "

එතැනින් ඉවත් වන්නට පෙර එසේ පැවසූ ඔහුට දෙන්නට පිලිතුරක් කිසිවෙනු ළඟ නොවිනි. 

දිමුත් ලොබි කොටසේ වූ ආසනයකට බර වෙද්දී රශිඳු ඔහු අසළ සිටගත්තේ දෑතම ඉනේ තබාගෙනය.

" අපේ ගෑනිගෙන් බේරෙන්න බෑ බං උඹල දෙන්නට ඩිනර් එන්න කියන්න කියලා. එයාට නිර්මලීව සෑහෙන්න හිතට අල්ලලා"

දිමුත් පැවසුවේ සිනාසෙමිනි. නිර්මලී කොහොමත් ප්‍රියමනාප චරිතයක් සහ නිහතමානී කතාබහක් ඇත්තියකි. රශිඳු ඔහුගේ සුපුරුදු ආඩම්බර මැර හිනාවෙන් දිමුත් දෙස බලා සිටියේය. 

".. අද හවස වරෙං එහෙනම් ඩිනර් එකට අපේ ගෙදර. පොඩ්ඩක් උඹට කතාකරන්නත් තියෙනවා "

" හරි අය්යා.."

දිමුත් මදක් විමසිල්ලෙන් රශිඳු දෙස බැලුවේ ඔහු ආපසු හැරී යන්නට මොහොතකට පෙරය.

" මචං... මේ.."

රශිඳු මදකට ප්‍රමාදව දිමුත් දෙස බැලුවේය.

"... මේ දවස්වල ෆෝකස් එක දියං ටිකක් වැඩියෙන්. IPL වලට කලින් අපි world cup ටීම් එකේ පූල් එක හදනවා. ඕක කලින් කරන්නේ ඇයි කියලා මම උඹට අලුතෙන් කියන්න ඕන නෑනෙ.. උඹේ කිසිම දෙයක් පත්තරේට ලීක් වෙන්න දෙන්න එපා මචං.. "

රශිඳු එයට හිස සලා එකඟව මදක් කල්පනාවට වැටුනේ මෙතරම් හදිස්සියේ එලෙස ඔහු කියන්නේ අහේතුකව නොවන නිසාය. 

තමන් නිර්මලීට විවාහ යෝජනාවක් ගෙනා බව ඔහු දන්නේ ගූගල් කරමින් ඒ ගැන සොයමින් සහ නොයෙකුත් අන්දමින් ඒ සඳහා ශෂීගේ උපකාර ගත් නිසාය. කොටින්ම සුරතල් බලු පැටවා රශිඳුගේ තදබල රසිකාවියක් වූ ශෂීගේ නංගිගෙන් ලද ත්‍යාගයක් විය. 

තමන් එය සැලසුම් කරන්නට ගත් උත්සහය සිහිවී රශිඳුට තමා ගැනම සිනා නැගිනි. 

දිමුත් කෙසේ කීවද තමා සිටියේ ආතතියකිනි. සිදුවූ සියල්ලම බැලූ විට නිර්මලී තමාට ආදරය කරන බව නිසැක වුවත් දාබරේ මහතාගෙන් ලද තොරතුරු වලට අනුව තමා දරුවන් සම්බන්ධයෙන් ඈට දුන් ප්‍රතිචාරයෙන් පසුව ඈ මදක් අමුතු වී සිටියාය. එසේ පැවසුවේ ඈට ඇති ආදරය නිසාමය. සාමාන්‍යයෙන් මුරණ්ඩු චරිතයක් නොවන නිර්මලී  මුරණ්ඩු වන්නේ එතැනදීය. 

ඒ ගැන කතාව මදක් පසෙකට තැබූ මුත් එය ඈ අමතක කොට නොසිටි නිසා තමා සමඟ විවාහ වන්නට දෙවරක් සිතනු ඇතැයි සිත තුල විකාර බියක් තිබුනි. ඊටත් අර මෝඩ තකතීරු බූරුවාගේ දරුවාට ඈ පුදුම ආදරයකි! 

' ටොපියක් පෙන්නලා ළමයි උස්සනව වගේ ළමයෙක් පෙන්නලා මේකිව ගෙනියයි'

ඔහුගේ යටි හිත නොයෙක් වර පවසන්නේ ඇගේ ඒ දුර්වලකම හඳුනාගෙනය. ඈ තමා සමඟ සැබෑවටම සතුටින් විවාහයක් ගතකරයිද?

ඒ සමඟම ඔහුට සිහිවූයේ නිර්මලී දරුවකු හදාගන්නට උත්සහ කල අවස්ථාවේ දරුවා බලන්නට කල සැලසුම , දාබරේ මහතා වරින්වර හමුවී හෝරා ගණනාවක් තිස්සේ නොයෙකුත් දේ කියමින් තමා සාර්ථක ලෙස මැඩපැවැත්වීමේ වරදකාරි හැඟීමය. 

' මේ කෙල්ල කවදාහරි පසුතැවෙයිද?'

-------------------------------------------------------------------

සතිය ගෙවී ගියේ රශිඳුගේ පුහුණුවීම් සඳහා ඔහුගේ අවධානය සම්පූර්ණයෙන් යොමු කරමින් නිසා ඒ අවසරයෙන් නිර්මලී සිය ව්‍යාපාර කටයුතුවල නියුතු වූයේ මගහැරී ගිය බොහෝ දේ වහ වහා යථා තත්ත්වයට පත් කරමිනි. 

නමුත් සැමදාම සවස 5 වනවිට වාහන අංගනයට ගාල්වන හැරියර් රථයත්, ඉඳහිට ප්‍රේක්ෂකාගාරයේ ක්‍රීඩකයින්ට වෙන්වූ කොනේ පඩියක එකිනෙකාට ළඟින් වාඩිවී එකිනෙකාට මොනවාහෝ කෝලම් කරගන්නා යුවල නොවැරදුනි. 

" අඩෝ.. දෙකේ පන්තියේ වගේ ෆොටෝ ගන්න එපා බං. උඹලගෙ අහවල් එකේ වදිනවද? ඉන්න දීපං උන් දෙන්නට"

ඉඳහිට මෑනෙන කැමරාවකට කණ්ඩායමේම අයෙක් එසේ කියයි. නමුත් සැමදෙනාම ඊට අවනත නොවන බව අරුමයක් නොවේ.

තවත් නොවරදින දෙයකි.

" තුඃ විතරක්.. මෙන්න මේ මගුල ගනින්!!"

රශිඳු සිය වතුර බෝතලයෙන් ගත් වතුර උගුර පිටතට විදිමින් බෙරිහන් දෙන්නේ පුළුටු කරගත් මුහුණෙනි. චාමිකට එයට සිනාය.

" ඉතින් උඹ කියපංකො ජීවනී දාලා බොන්නෙ නෑ කියලා. දීපං ඕක මෙහාට. තොට පින නෑ සිරා ඩ්‍රින්ක් එකක් බොන්න"

" ඈක්ක! මට පෙන්නන්න බෑ ජීවනී. කොච්චර කිව්වත් දානවනෙ මගුල!! "

අනතුරුව ඔහුට සිහි වන්නේ එවන් දබරයකදී නිර්මලීගේ මුහුණයි. 

' ඒව හරියන්නෙ නෑ ජීවනී හොඳයි ඔයාට. බෝතලේ හිස්කරන්නෙ නැතුව එන්නෙ නෑ ගෙදර !'

දෑතම ඉනේ ගසාගෙන ඈ කියන ලෙසට සිතෙන්නේම ඕනෑනැති දෙයක් කරන්නට වුවත් ඈ පසුබසින්නේ නැත. බොහෝ දිනවල අකිත්ටද මේ කරුමයට මුහුණ දෙන්නට වන නිසා දෙදෙනාම එය විඳගන්නට එකඟ වූහ.

පිලිතුර සරළය. ජීවනී පෙරේත චාමික එය හිස් කරද්දී හවස බෝතලය හිස් වීම පමණක් ප්‍රමාණවත්‍ ය. 

' පව් අනේ මේකි මට බොරුවට රැවටෙනව'

හිමාල් අකිත් සහ අකිත්මා සමඟ පදිංචියට ආවද, ඔහු හැකි හැමවිටෙකම ඔවුන් දෙදෙනා සමඟ රාත්‍රී ආහාරයට පිටතට ගියේ නිර්මලී සහ රශිඳු බොහෝවිට එකිනෙකා හමුවන්නේ එම වේලාවේ පමණක් නිසාය. 

නමුත් අකිත් සහ අකිත්මා දෙදෙනාම රශිඳු සමඟ වහා කුළුපඟ වූ නිසාත් වෙනත් හේතුවක් නිසාත් එය පහසු නොවීය. ඒ වනවිට පළාත් කණ්ඩායමට තේරී සිටි අකිත්ට සමහර රාත්‍රී වල නිර්මලී හොඳ පරිප්පුවක් සෙට් කරන්නීය.

" කන්න නේද කිව්වෙ ඔය ඔක්කොම ටික! පොඩ්ඩක්වත් ඉතුරු කරන්නෙ එහෙම නෑ ඔන්න"

හවස කලින් ආ සැනින් අකිත් සහ රශිඳු පේලියට මේසයේ පුටු වලට හිර කරන ඈ මේසය මධ්‍යයේ ඇති ශක්තිය වඩවන ස්වභාවික කෑමක් කවන්නට උත්සහ කරන්නීය. දෙදෙනාම හොරැහින් එකිනෙකා දෙස බලන්නේ හිමාල් සහ අකිත්මා සෙමෙන් ඔවුන් මගහැර යද්දීය.

නමුත් ඒ අධිකාරිය පවතින්නේ ඉහළ මාලයේ පියගැට අන්තය තෙක් පමණි.

" මොකක්ද අර පොඩි එකා ඉස්සරහ මට කිව්වෙ? තොත්ත බබා වෙනව කියල? ඉඳපං උඹට මම තොත්ත බබා පෙන්නන්න!"

ඈ ඒ දෑතේ අඬුවට හසුවී මිරිකී ගියත් සිනාසෙන්නේ මුහුණේ ඇතිල්ලෙන රැවුල්කොට වලින් බේරෙන්නට හිස හරවන්නට උත්සහ කරමිනි.

" අන්නේ... ඒක කිව්වෙ අකිත්ට! ඔයා එක්ක ඉඳල කොල්ල නරක් වෙලා.. කියන කිසි දෙයක් අහන්නෙ නෑ"

" අප්පටසිරි.. මමද දැන් ඒ දිගාව නරක් කලේ? ඔය ගෑනු ළමයා ඌට උගෙ වැඩ කරගන්න දුන්න නම් ඉවරනෙ. මොකටද උගේ හැම එකම පාලනේ කරන්න එන්නෙ?"

"අනේ යන්න! ඌ මම පොඩි කාලේ ඉඳලා හදපු එකා.. මට පන උනත් දෙනව... මගේ best kid!"

රශිඳු ඉන් මත්තට කතා කරන්නට දෙන්නේ නැත. ඉරිසියාවට වුවත් ඒ සියල්ලේ ඇත්තේ ඈ තුල ඇති ආදරයමය.

තුශාරාගේ විශ්‍රාම ගැනීමේ චාම් උත්සවයෙන් පසුව සුළු සුළු මගහැරීම් තිබුනද නව්‍යා ඉතා ඉක්මනින් ඇගේ තනතුරේ වගකීම් කරට ගෙන ක්‍රියා කළාය. 

අසලංක මිහිඳුකුලසූරියගේ ආයතනයෙන් ඔවුන් පෙර කියූ ගෙවීම් පැහැරහැරීම් නැවත ගෙවීම දැනට අවශ්‍ය නොවන බව කියූවද නිර්මලී එකඟ නොවූ නිසා අසලංකගේ සහ නිර්මලීගේ සහයිකාවන් පත්ව සිටියේ උගතෝඨික ප්‍රශ්නයකටයි. 

ගාසා තීරයට ආසන්න ලෙස වූ එකිනෙකට පරස්පර ගැටීම් අතරට මැදිවූ දෙදෙනා අවසානයේ උන් උන් අතර එකඟතාවයකට පත්වූහ.

' වැඩත් නෑ ; ගෙවන්නෙත් නෑ'

-------------------------------------------------------------

රිදුනු සිතින් නිවසින් පිටත්වූ රශිඳු , මදක් දුර පදවාගෙන ආ රථය පාරේ පසෙකට කොට නතර කලේ දුරකතනය නාදවන පුද්ගලයාගේ නම නිසාමය.

" හෙලෝ.. "

" හෙලෝ කොල්ලා.. උඹ කොහෙද ඉන්නෙ? ප්‍රැක්ටිස් තිබ්බද අද?"

සූරියප්පෙරුම මහතාගේ හඬ පෙරදා නොවූ තරම් වෙව්ලීමකින් යුතු බව රශිඳුගේ හිතට නොදැනුනේ ඔහු ගැන විශේෂයක් නොවූ නිසාය. 

" නෑ සර්.. මම මේ... ටිකක්.. එළියට ආවා"

තමා සහ මව අතර ඇතිවී ඇති තත්ත්වය ඒ මොහොතේ ජානක සූරියප්පෙරුමට කියන්නට අවැසි නොවීය. එදින නිවසේ නතර වන්නට නොසිටියද මාලතී ගෝකුල සිය පුතු නොදැකම කාමරයේ දොරඟුලු ලාගෙන සිටීම ඔහු සෑහෙන්න වේදනාවට පත්කොට තිබින. 

හිරාන් සිටියේ මධ්‍යස්ථව නමුත් ඒ මොහොතේ රශිඳුගේ සිත හදන්නට නොගියේ කාරණය බරපතල නිසාමය. ඈ වෙනුවෙන් ගත් ඇඳුම් සහ පලතුරු සේවිකාව අතට දී , නිවසේ අනෙකුත් කටයුතු වලට මුදල් ඔහු කෑම මේසය මතින් තැබුවේ , ඒ මත ඇගේ අළුත් දුරකතනය තබමිනි. ඒ දුරකතනය හෝ ඊට පෙර එහි තැබූ මුදල් කිසිවක් මාලතී ගෝකුල ගෙන තිබුනේ නැත.

සමහර විටෙක සිය මව සදහටම තමා අතහැර දමනු ඇත! 

" හ්ම්ම්ම් කොල්ලා.. හෙට හවස අපේ ගෙවල් පැත්තෙ පොඩ්ඩක් එනවද? අපේ දුවගෙ තමයි invitation එක. හවස පොඩි පාටියක් තියෙනවා. උඹට එන්න කියන්න කියලා වයිෆ් කියලත් දැන් ටික දවසක්. උඹ ඉතින් මැච් එකේන"

රශිඳු කිසිවක් නොකියා අසා සිටියේ හැඟීම් විරහිතව මෙනි.

"හ්ම්ම්.. ස.."

" පුතා උඹ මම කියන දෙයක් අහක දාන්නේ නෑ කියලා දන්නව"

රශිඳු ගොලුවී ගියේය. නිර්මලී සමඟ සිටිනා විනාඩියත් ඔහුට වටී. ඊටත් විවාහය ගැන කිසිවක් හරිහැටි කතාකර නොමැත. ඊටත් මොහු තමාට බැරි කාලයේ උපකාර කල මිනිසාය.

"හ්ම්ම්.. "

රශිඳු මදක් කල්පනා කළේය. කුමක් කියන්නද?

" හරි එහෙනම් කොල්ලා උඹ අම්මවත් එක්කගෙනම වරෙං. අම්මත් එක්ක කතාකරන්න පුලුවන් එතකොට. උදව්කරපුවා කියන්න ඕන නෑ. රෙජිමන්ට් එක එකක්නෙ! අමුතුවෙන් කියන්න ඕනෙ නෑහ්"

රශිඳුට කියන්නට ආ වචන මුව තුලම සිරවී ගියේ නිරායාසයෙනි. මව රැගෙන යන්නේ කෙලෙසද? 

" සර්.. අම්මව නම්.. ශුවර් නෑ එච්චර. එයා කොහොමත් පාටි වලට කැමති කෙනෙක් නෙවෙයි "

ජානක සූරියප්පෙරුමගේ සිතට ආ වැකිය වචන වූයේ නැත.

' උඹේ අම්මා තරම් පාටි පිස්සියක් කවදාවත් හම්බෙලා නෑ කොල්ලෝ. උඹ මොනවද දන්නෙ?'

ඔහුට අතීතයේ අඹ යහළුවන් දෙදෙනාට මේ සොඳුරු තරුණිය හමුවූ සංගීත සංදර්ශනය සිහිවී සිනාවක් සමඟ දුකක් හටගත්තේය. ඔවුන් සිටියේ දවස් හතේ නිවාඩුවට ආ ගමන් වුවද, ඒ සතියම නිවසේ නොරැඳී රස්තියාදුවේ ගතකරමිනි. සෙනඟ අතරේ පිස්සුවෙන් මෙන් නටමින් උන් දිගු වරලසක් හිමි ඈ නෙත ගැටුනේම ඒ දඟකාර බවටය.

ඒ පුන්සඳක් වැනි වතෙහි අමතක නොවන රේඛා ඈ ඉදිරියට වසර විස්සකට පසුව පැමිණි විටත් එලෙසම හවදත පුරා විසිරී යන හිරිවැටීමකි. 

ජීවිතයේ තමන් ප්‍රේමයෙන් බැඳෙන කෙනා වෙනුවෙන් විවාහයක් ලියවී නොතිබුණත්, ඒ ප්‍රේමයට ඉන් බාධාවක් නොවේ. එය නමක් ඇති බැඳීමක් නොවේ.

' මට රොහාන්ගෙන් ඒකට සමාවක් ලැබෙන්නෙ නෑ සූරී! එයා දැනගෙන හිටියා ඔයා මට මනාප විත්තිය'

දෑසින් වැටෙන කඳුළු බෝල වලට ඉඩ හරිමින් ඈ පැවසුවේ ඇගේ පස කතාවයි. එදා තමා හිසින් ටොන් ගණනාවක බරක් බිම තැබිණ. 

'ඒකයි මම මගෑරියේ. සූරි කසාද බැන්ඳා කිව්ව හැටියේ මම ඒ හැමදේම හිතලා හිත හදාගත්තා. පුතා මේවා දැනගන්නවට මගේ කැමැත්තක් නෑ. සූරි කැමති දෙයක් කරන්න'

සැමියාගේ සිත නොරිදවන්නට ඈ රැකි වෘතය තුල තමාටද යම් ලෙංගතු බවක් තිබුනු බව දැනීමෙන් ඇතිවූ සහනය මිළකළ හැකි නොවේ.

' මාලි..  මට කොල්ලො නෑ.. මේ කොල්ලා දිහා පොඩිකාලේ ඉඳලා හිතුවේ මගේ කියලා.. ඇත්තටම ඌ මගේ තමයි. කවදාවත් ඌට වැරැද්දක් කරන්න ඉඩක් දෙන්නෙ නෑ මම'

මාලතීගේ පුත්‍රයා වෙනුවෙන් හදවතේ පතුලෙන්ම එන ලෙංගතු බව නිසා පමණක් නොව සිත ඇතුලේ වූ වරදකාරි බව නිසා ඈ භීත කරවන පුවත පැවසුවද, සිත සැනසුනේම නැත. රශිඳු හමුවී කතාකරන්නට ඉටාගත්තේ එබැවිනි.

' නියපොත්තෙන් කඩන්න තියෙන දේ ඒ වෙලාවට නොකලොත්! ඊටත් මූ මැරි කරනවා කියලා කියන පිස්සු කතා??'

" හරි කොල්ලා එහෙනම් හයට විතර මම උඹව ග්‍රවුන්ඩ් එකෙන් ගන්නම්. පුතාගෙ අම්මට මම කාර් එකක් යවන්නම්"

වෙනත් යමක් කියන්නට පෙර ඇමතුම නිමවී ගියේ රශිඳුගේ මුහුණ පුලුටු කරමිනි. ඔහු සුසුමක් හෙලා ඈත අඳුරේ නියෝන් එළියෙන් බැබළෙන වීදිය දෙස අරමුණකින් තොරව බලා සිටියේය.

විනාඩියකින් පමණ නැවත දුරකතනය නද දුන්නේ සිත මදක් පුබුදු කරවමිනි. මේ නම් ප්‍රමාදය බලන්නට එන ප්‍රේමණීය ගෙරවිල්ලයි. ඔහු වහා එය සවනේ තබා ගත්තේ වාහනයේ සංඥා එළිය දල්වමිනි.

" baby girl.. I'm on my.."

" අනේහ්.. රශී..."

එහාපසින් ඇසුනේ කෑගැසීමකි. රශිඳුගේ දෙපා වෙව්ලා ගියේය.


--------------------------------------------- මතු සම්බන්ධයි ------------------------------------

6 comments:

  1. මේක මේ තරම් පහු කලාට කිසිම සමාවක් නැහැ ඕo

    ReplyDelete
  2. මට ඒත් නිකමට වගේ හිතුනා ඊ ලඟට සූරී උදැල්ල දායි කියලා. කොල්ලා මොනවා කර ගනීද දන්නේ නැහැ. පවු.

    ReplyDelete
    Replies
    1. ඉන්නකෝ බලන්න නේද Thanks for the comment

      Delete
  3. වැඩිය සද්ද බද්ද දැම්මේ නැති උණාට අපි කියවනව හොඳේ......

    තාම නම් අවුල තියෙනව මෙයා මගේ ඔලුවේ......

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ එහෙම කියන්නේ.. ඇවිත් වළඳක් දෙකක් පොලවේ ගහල.. ගේමක් ඉල්ලලා යන්න එපැයි.... ගොඩක් අය මේක කියවන එක නතර කරලා වගේ මට වැටහුනා... සමහරවිට මෙතන පළකිරීම ගැන මම දෙපාරක් හිතන්න තියෙනවා ඉදිරියට.. විසිල් සහ බල්ටි වලට හෝ බොරු අගයකිරීම් වලට ලියන්නේ නැහැ මම. නමුත් සිල් ඇත්තන්ගේ සිල් බිඳින්නේ මොකටද

      ගොඩක් ස්තුතියි ආවාට.. කියෙව්වාට සහ කමෙන්ට් කලාට. ඔය අවුල ඉවත් වෙන්න කාලයක් යයි.. සමාවෙන්න ඉතින්

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...