Sunday, June 5, 2022

331: උන්මාද චිත්‍රාදෝ මා 63


 

තමා මේ ලොව අප්‍රියම කරන පුද්ගලයින් කිහිප දෙනෙක් අතුරෙන් අයෙක් වූ ඒ මිනිසා දෙස නිර්මලී ගමනායක බලා සිටියේ ගිනි දැල්වෙන දැසිනි.

' මොන හය්යකටද ආවෙ මගේ ගෙදරට?'

නිර්මලී පියගැට බැස එන ඔස්සේම අසලංක බලාගෙන සිටියේ බෝනික්කියකු බඳු ඇගේ ඒ රූසපුව වුවද ඒ මොහොතේ හදවත වේගයෙන් ස්පන්ධනය වූයේ ලංවනවිට ඇගේ මුහුණ දුටු පමණින් මය.

" නිර් ආන්ටී.....ඊ ඊ ඊ "

නිර්මලී දුටු සැනින් අසලංකට පසුපසින් සිටි ජේනුක දිවගෙන ආවේ එතෙක් ඔහු අල්ලාගෙන සිටි අසලංකගේ අත ගසා දමමිනි. 

ගින්දර පිටවෙමින් තිබුනු නිර්මලීගේ බැල්ම ජේනුක වෙත යොමුවත්ම ඔහු නිර්මලීගේ ඇඟේ එල්ලෙන්නේ මහ හඬින් හඬමිනි. පොඩි දරුවාගේ කටහඬ තිබුනේම බැරැන්ඩි වී ගොසිනි.

" ජේනු ! මගේ පැටියා..  ඇයි මේ?"

ජේනුක සිටින්නේ සෑහෙන ආතතියකට හසුව දොඩවමින් බව නිර්මලීට දැනුන නිසා ඈ ඔහුව සිය ලයට තදකොටගෙන වඩා ගත්තාය. කුඩා දරුවාට කතා කරගන්නට බැරි තරමකි. ඔහු ඉකි ගසන්නේ කෙටි සහ වේගවත් හුස්ම අල්ලමිනි.

" නිර්... . නිර්.. ප්ලීස් ජේනුක සෙට්ල් කරලා දෙන්න..."

අසලංක පැවසුවේ බිඳුනු හඬින් වුවද, එය නිර්මලීගේ සිත සූරාගෙන ගියාක් මෙන් දැනුනි. 

මේ වනතුරුත් අසලංකට නොකියූවද, තවදුරටත් පවතින අසේකා සහ එරික්ගේ අනියම් සම්බන්දය දනුකගේ අතටම හසුවූ මොහොතේ පටන් දනුක සිටියේ එකම මතයේය. 

ඒ ; අසේකා නම් ගැහැනිය විසින් ජේනුකට කරනා අඩන්තේට්ටම් වහාම නතර කලයුතු බවත් හැකිනම් ජේනුක තමන් සමඟ කැනඩාවට රැගෙන යන්නටත් ය. අසේකාගේ සම්බන්ධය ගැන නොකීවද මේ සියල්ල නිසා වෙහෙසටත් ආතතියටත් පත්ව උන් අසලංකගේ අනුමැතියද , දනුකට ඇති බියටම අසේකාගේ අවසරයද ලැබී සියල්ල සූදානම් වූයේ කඩිනමිනි.

පෙර දවසේ නිර්මලී අහම්බෙන් ජේනුකට හමුවූ පසුව ඔහුගේ හැසිරීම එකවරම පාලනය කල නොහැකි තරම් දරුණු වී තිබුනු නිසා තවදුරටත් ජේනුක සමඟ විදෙස්ගතවීම ගැන පවා සියල්ලෝම නැවත සිතා තිබිණ. 

ඔහු නිර්මලී ඉල්ලා යුද්ධ ප්‍රකාශකොට සිටියේ සියල්ල අවුලට පත් කරමිනි. 

එකම විකල්පය වූයේ ජේනුක සන්සුන් කර ගැනීමය. අසලංකගේ ඒ හඬෙහි තිබුනේ පියෙකුගේ ආයාචනයකි. 

".. එයා අද රෑ ෆ්ලයිට් එකේ කැනඩා යනවා.. අක්කලත් එක්ක "

ඈට ඉබේම දෑස වැසුනේ තමාගේ ගෙලේ එල්ලීගෙන සිටිනා ජේනුක තවත් තුරුළු කර ගනිද්දීය. 

' අනේ මගේ කොල්ලා!'

ඇගේ හදවත ඇතුලාන්තයේ හටගත් විලාපය මහා කුණාටුවක් සේ ඈ වටා සරන්නට විය. 

දොර අසළ සිටගෙන සිටින අසලංක දකින්නේ අසේකා තුලින්වත් මෙතෙක් නොදැකි දාරක ස්නේහයකින් සැනහෙන කුඩා ජේනුකය. සිතුවිලි පිනුම් ගසන්නට පටන් ගත්තේ සැනෙකිනි.

ඒ අතරතුරේ ඔහුගේ ඇස ගැටෙන්නේ සිය සදාකාලික ප්‍රේමය නම් වූ මේ ගැහැණියගේ රූසපුවයි.

' ජේනුට විතරක් නෙවෙයි නිර්.. මටත් ඔයාව මිස් උනා!'

නිර්මලී ජේනුක වඩාගෙන පියවර කීපයක් ඇවිද ගියේ ඈ දෙස දෑස විදාගෙන බලා සිටිනා චම්පා වෙත සන්සුන් වන්නට නෙතින් සන් කරමිනි.

"ම.. මහත්තයා වාඩිවෙන්න"

අසලංක බිමට හැරවුනු ඔහුගේ මුහුණ ඔසවා නිර්මලී දෙස බැලුවද නිර්මලී සිටියේ ඔහුට පිටුපා ජේනුක දෙපසට සෙමෙන් පද්දමිනි.

තමා වඩාත්ම බැඳීගිය ගැහැණිය ! තමන්ගේ දරුවන්ට මවකටත් වඩා සෙනෙහස ලබාදෙන ඈ ගැන තමාට දැනෙන තරම ඈ නොදන්නීය.

හදවත තමාට නගනා චෝදනාව නිසාත් සියල්ලන් ඉදිරියේ නිර්මලී සියල්ල පවසාවි යන බියත් නිසා ජේනුජගේ දබරය ඉවසා සිටියද, අවසානයේ ඔහුගේ අභිමානය පසෙකට ලා ඈ වෙත ජේනුක ගේන්නට කියා බල කලේ දනුකය.

' මට ඇත්ත කියපං මල්ලි! උඹ ඒ ගෑනිව black mail කලා නේද? අර ෆොටෝස්??'

අවසානයේ දනුක ඔහු තනිකොටගෙන නැගූ පැනයට අසලංක කසාය බී සිටි ගොළුවෙකු පරිද්දෙන් සිටීමම දනුකට අවශ්‍ය පිලිතුර ලබා දුනි.

' &රියා! මේ වගේ ගෑනියෙක්ට උඹ මොකක්ද කලේ බල්ලෝ?'

හුරතල් දරුවකු වූ ජේනුක නම් නොදරුවාට දෙමව්පියන් දෙදෙනා විසින් මේ දෙන මානසික වදයන් දනුකට ඉවසාගෙන සිටින්නට නොහැකි තරමකි. ජේනුක දඟකාර වුවද සංවේදී චරිතයක් බවත් ඔහුගේ මව ගැන දනුකට ඇති නොරිස්සුම කෙසේ වෙතත් ඇගෙන්ද ලැබෙන්නේ අනාදරයක් පමණි.

' මුන් දෙන්නටම මේ කොල්ලව වැඩක් නෑ. ජේනුව අපි ගම්මු සාරා.. මට තුන් දෙනෙක් වැඩි නෑ. තමුසෙගෙ අය්යා ඒ ළමයව විනාස කරනව'

අසලංක ගැන වගක් හෝ නොමැතිව නිර්මලී ජේනුක සමඟ රහස් සංවාදයකි. ජේනු ඇගේ බෙල්ල බදාගෙන මොනවාදෝ කනට මුමුණයි. නිර්මලී තරමක් සන්සුන් වූ ජේනුක දෙස බලා ඔහුගේ කොපුලක් සිපගත්තාය. 

" මගේ චෑම්ප්.. "

අසලංක නිහඬව දෙදෙනා දෙසම මද වේලාවක් බලා සිට දෑතම සාක්කුවේ යොමා ගනිමින් ඒ මේ අත සක්මන් කලේය. අනතුරුව සෙමෙන් පෝටිකෝව අසළට ඇවිද ගියේ සුසුමක් හෙලමිනි. සිතට දැනෙන්නේ සුළුපටු පීඩාවක් නොවේ. එය පසුතැවීමද, ලැජ්ජාවද කියා හරිහැටි නිශ්චය කරගන්නට නොහැකිය.

නිර්මලී හැඳ පැලඳ සිටිනා අයුරට ඈ කොහේ හෝ යන්නට විය හැකිය. ඈ එතරම් කොට ඇඳුමක් ඇඳ දුටුවාමය. සිත මත පතිත වන්නේම පරණ මතකයන්‍ ය. අන්සතු මලක්!

ඔහුට යලි යලිත් ඇගේත් රශිඳුගේත් ප්‍රේම ආලිංගනය සිහිවී සියොලඟම ගිනිගන්නාක් මෙන් දැනුනි. ඈ අතිශය ආකර්ෂණීය පෙම්වතියකි. දශක දෙකකටත් වඩා තමන් ඉවසා සිටි ඒ මොහොත කොහේවත් සිටි කොල්ලෙකු විසින් සම්පූර්ණයෙන් අයිතිකරගෙන නොවේද? ඈ මුලාකොට බලෙන් ලද පහස සිහිවීම ඔහුට වලක්වනු නොහැකි විය. 

කාලය ගතවූයේ අඩහෝරාවක් පමණ ගෙවා දමමිනි. එකවරම යමක් තීන්දු කලාක් මෙන් ඔහු වහා නිවස තුලට පියවරක් තැබුවේ යමක් තරයේ සිතට ගනිමිනි.

ඔහු එනවිට ජේනුක සමඟ සෝෆාවේ ඉඳගෙන යමක් කියමින් තුරුල් වී සිටි නිර්මලී ,  ඔහුගේ හිස ප්‍රවේශමෙන් මෑත්කොට නැගී සිටියේ ඇපල් යුෂ වීදුරුව කෝපි මේසය මත තබමිනි. ජේනුක සිටින්නේ නින්දේය. 

ඇගේ බැල්ම කෙලින්ම අසලංකගේ මුහුණ වෙත එල්ලවී තිබිණ.

"කරුණාකරලා මේ නොදරුවට මෙහෙම සලකන්න එපා මිස්ට මිහිඳුකුලසූරිය.. "

' මිස්ට මිහිඳුකුලසූරිය.! කෙතරම් ඈතද ඒ ඇමතුම? පපුව පලාගෙන යන්න වගේ'

" සොරි නිර්.. මගේ අතින් එයාව මගෑරුනා වෙන්න ඇති. අසේකා එක්ක මෙයා යාලු වෙන්නෙම නෑ.. මම helpless නිර්! "

නිර්මලීට ජේනුක ගැන දැනුනේ ලය උණුවී වැගිරෙන තරම් වේදනාවකි. අසලංක ඇගේ මුහුණ දෙස බලාගෙන සිටියේ හැඟීම් ගොන්නක් සමඟ පොර බදිමිනි.

" මිස්ට මිහිඳුකුලසූරියගෙන් ඈතට යනවා නම් ජේනු ඉක්මනින් හීල් වෙයි. ඕනේ උනොත් අක්කට කියන්න මට කෝල් එකක් දෙන්න කියලා. ජේනු,  නැන්දට ආදරෙයි "

නිර්මලී පැවසුවේ නිදා සිටි ජේනුක දෝතට ගත් අසලංක දෙසවත් නොබලාය. ඇගේ වචන ඔහුට දැනුනේ පිහි තුඩවල් දහසක් මෙනි. වාහනයේ දොර චම්පා විසින් විවර කරද්දී අසලංක ජේනුකව එහි පසුපස ආසනයේ සෙමෙන් තබා , වායු සමීකරණය ක්‍රියාත්මක කොට,  ආපසු හැරෙද්දී නිර්මලී දොර අසළ සිටියේ එය වසා දමන්නට ඉතා ආසන්නයේය.

" නිර් ප්ලීස්... විනාඩියක්.. එක විනාඩියක් !"

අසලංකගේ හඬ ආයාචනාත්මකය. චම්පා බියවී නිර්මලී දෙස බැලුවේ මේ කිසිවක් වටහාගත නොහැකිවය.

වන්නාටය! අසලංක දොර වසන්නට ඉඩක් නොදී ඉන් ඇතුලට ආවේ ඉදිරියට තැබූ පියවරින්ම නිර්මලී පියවර දෙකක්ම පසුපසට තැබුවේ දැවෙන දෑසින් ඈ දෙස බලාගෙනමය.

".. උසාවියේ මිනීමැරුමක් කලත් කරපු එකාට කතාකරන්න දෙනව. ඇයි මට කතාකරන්න නොදෙන්නේ නිර්??"

නිර්මලී වෙව්ලන දොතොල් පියවා ගත්තේ කෝපය වාවාගත නොහැකිවය.

"... නිර්.. මට ඔයා ගැන තියෙන හැඟීම කවදාවත් ; කිසිම විදියට වෙනස් වෙලා නෑ.. මට සමාවෙන්න මගේ කන්ට්‍රොල් එක එදා නැතිවෙලා ගියාට..."

නිර්මලී දෝතින්ම සිය දෙකන් වසා ගත්තේ කිසිවක් අසන්නට සූදානම් නොමැති නිසාය.

"... ඒ උනාට මම ඇත්තටම ඔයාට ආදරෙයි baby!"

නිර්මලී වරක් චම්පා දෙස බැලූ නිසා ඈ පියවර කීපයක් පසුපසට ගියද සිය ස්වාමි දියණිය ඇතිවූ බිය නිසා ආසන්නයේම නතර වූවාය. නිර්මලී හුස්ම ගත්තේ ආයාසයෙනි.

"... අපි දෙන්නගෙ පින්තූර.. ඒවා ඔක්කොම මම මැකුවා. මම එහෙම පින්තූර ගත්ත එක වැරදියි තමයි. ඒ උනාට මට ඒ මතකෙ කවදාවත් අමතක කරන්න බෑ baby"

නිර්මලීගේ සියොලඟම මහත් අපුලකින් හිරිවැටී ගියේ එදින සිහි වීමෙනි. ඔහු විසින් ස්පර්ශ කල තමන් කෙතරම් අපිරිසිදු වී සිටියාද?

"... ඔයා හොඳටම දන්නව නිර්.. මම ඔයා හින්දා කොච්චර කාලයක් හිටියාද කියලා. අම්මලා අක්කලා මොනවා කිව්වත්.. අසේකාව මැරි කලත් මම හැමදාම ආදරේ කලේ ඔයාට.. මට ඔයාව හැමදාටම හොඳින් බලාගන්න පුළුවන්. ඉමෝශනල් වෙලා තීර්ණ ගන්න එපා නිර්.. I'm sorry for what happened. I'll sware it won't happen again... මට මට.. මට ඔයාව නැතිකරගන්න බෑ"

ඔහු කියනා සමහර කරුණු ප්‍රතික්ෂේප කරන්නට නොහැකිය. ඒවා සත්‍ය බව ඈ දනී. නමුත් සමාවක් දිය නොහැකිය. ඊටත් මේ ප්‍රේම ආරාධනාව නම් කෙසේවත් හිත පිලිගන්නේ නම් නැත. නිර්මලී ඒ මේ අත ඇවිද්දේ ආවේගය නිසාමය. 

".. Baby.. අපි කොච්චර කාලයක් දන්නවද? කොච්චර දේවල් අපි දෙන්නා එකතුවෙලා සක්සස් කරගෙන තියෙනවද? ඔව් මගේ අතින් වරදක් උනා.. ඒත් මම ඔයාගෙන් ඒකට සමාව ඉල්ලනව. ඔයා ඒ වෙලාවෙ මට දක්වපු reaction එක හින්දා එහෙම උනේ.. "

අනතුරුව ඔහු කෙලවරක් නොමැතිව පැවසුවේ නිර්මලීගේ ව්‍යාපාර වලදීත් , සමහර ජයග්‍රහණයන් වලදීත් ඔහු ඈගේ පසුපසින්ම සිට කල උපකාරයි. නිර්මලීගේ සිත ඉන් තරමකට වික්ශිප්ත වී ගියේය. අතීතය පුරාම ඔහු සැබෑ මිතුරෙකු විය. ඇගේ දුකේදී ඈ අසළ සිට හිත හදා ඇත. 

අසේකා හැරයාමෙන් පසුව ජේනුක හා තනිවූ මොහොතේ ඔහු ඈ තමා අසළ අසරණව ජේනුක බදාගෙන වැලපුන හැටි ඈට සිහිකැඳවූ සැනින් නිර්මලී තවත් අවුල් සහගත වූවාය. නමුත් නිර්මලී සිය මුහුණ ඉවතට හරවා ගත්තේ එය අසලංක නොදැකිය යුතු නිසාය.

අසලංක පියවරක් ඉදිරියට තබා නිර්මලී පසුපසින් සිටගත්තේ ඈ තමාට තුරුල් කරගන්නට එන හැඟීම තදින් තෙරපා වලකා ගනිමිනි.

"...නිර්.. ඔයාට මෙහෙ ඉන්න බැරිනම් අපි වෙන රටකට යමු. Newzeland වල මගේ property තියෙනවා. අපි එහෙ ගිහින් ජීවත් වෙමු. ජේනුත් අපි ගෙනියමු. ජේනු ඔයා නැතුව දුකෙන් ඉන්නේ.. එයාව අක්කලා එක්ක යවන්නේ ඒකයි. ඔයා ඉන්නවා නම් ඒ මොනවත් නෑ.. අපිට තව බබාලා ලැබෙයි.. අපිට ලස්සනට ජීවත් වෙන්න පුලුවන් නිර්.. ඔයා මෙහෙම අපහාස විඳ විඳ ජීවත් වෙන්න ඕන කෙනෙක් නෙවෙයි... I love you Nir!”

නිර්මලීගේ හදවත පුපුරා ලේ වහනය වනවා මෙන් දැනුණි. 

' දරුවන්! විවාහය? මේ දෙකම මට අවිනිශ්චිතයි. රශිඳුගේ ජීවිතේ මම නිසා විනාස වෙයි! ආදරේ තමයි.. ඒත්???'

නිර්මලී සිටි ගැඹුරු කල්පනාව නිසා තමන්ගේ වචන ඈ තුල යම් කම්පනයක් ඇති කරන්නට සමත් වී බව වැටහී ගිය නිසා අසලංක තුල ඇතිවූයේ විස්වාසයකි.

".... රශිඳු ගෝකුල එක්ක ඔයාගෙ අෆෙයර් එකක් තියෙන බව මම දන්නව baby . ඒව මට අමතක කරන්න පුළුවන්. ගෝකුලට බෑ කවදාවත් ඔයාව මැරි කරන්න. ඔය ගින්දරට පනින්න එපා නිර්..! "

නිර්මලීගේ හදවත මහා විලාපයකින් හඬා වැටෙන්නට විය. අසන්නට අපහසු වුවත් කටුක සත්‍ය එයද? 

නිර්මලීගේ උරයට අත තැබූ සැනින් නිර්මලී සර්පයෙකු ගෑවුනා සේ පිලිකුලෙන් විදුලි වේගයෙන් ආපසු හැරී පියවරක් පසුපසට තැබුවාය. ඇගේ නෙත්වල තිබුනු කෝපය ; ශෝකය සහ පිලිකුල විසින් අසලංක ගල් ගස්සවා දැමුවේය.

" bastard ! "

නිර්මලී අසුරු සැනෙකින් අනපේක්ෂිත ලෙස අසලංකගේ වම් කම්මුල හරහා පහරක් එල්ල කලද, අසලංක ඒ පහරත් කාගෙනම නිර්මලීගේ අතින් අල්ලා ගත්තේය.

" Nir please stop this!"

එසැනින් මෙතෙක් විවරකොට තිබුනු දොර අසළින් නැඟුනු ඇමතුමට දෙදෙනාම තිගැස්සී ඒ දෙස බැලුවෝය 

" අසලංක!?"

-----------------------------------------------------------------

හිමාල් නිර්මලී දෙස බලා සුසුමක් සැලුවේ වේදනාවෙනි.

" ඌ එච්චර චාටර් කියලා මම හිතුවේ නෑ නිර්.. හොදයි ඔයා ඌගෙ කන අතගාපු එකත්.. ජේනුව ඉස්සර කරගෙනනෙ ඌ ඉස්සරත් ඔයාව හිර කලේ.. "

නිර්මලී හිස සලා එය පිලිගත්තද හිත තිබුනේ තදබල ලෙස පෑරී ගොස්‍ ය. ඒ අසලංක වෙනුවෙන් නොව අසරණ ජේනුක වෙනුවෙනි. හෝරාවකට ආසන්න කාලයක් තිස්සේ ජේනුක සෙව්වේ මවකගේ උණුසුම් ආදරයයි. අසලංක ඔහු ගැන මිසක දරුවකු ගැන සිතන මිනිසෙකු නොවේ. 

ඔහු කෙතරම් තමාට සමීප වුවද කිසිදින තරණය කරගන්නට නොහැකි වූ අගල් වලින් එකකි එය!

හිමාල්ගේ ආගමනයෙන් වහා පසුබැසි ඔහු ජේනුක සමඟ පිටව ගියේ කුමන හැඟීමකින්දැයි නිර්මලීට එකවරම සිතුනි. ඔහු සතුව හොඩනැගුනු සෑහෙන දැන හැඳුනුම්කම් රැසක් ව්‍යාපාර ප්‍රජාව තුල තිබිණ. තමන්ගේ ව්‍යාපාර වලදී අසලංකගේ ඉදිකිරීම් සමාගම හරහා ඒවා කලේ ගැහැනියක් වූ නිසාම මිනිසුන් ඒ ව්‍යාපාර ගණුදෙනු සෑම විටකදීම වාගේ සයනයකින් කෙලවර කරගැනීමට උත්සහ කරනා බැවිනි. අසලංක ඒවායින් තමා ආරක්ෂා කල බව නිර්මලී පිලිගත්තාය. නමුත් එය හුදෙක්ම සිය වාසිය තකා කල වැඩක්ද? 

".. මොකක් උනත් නිර්.. ජේනු එහෙම රට යන එක හොදයි. නැතිනම් ඔයාගෙ soft spot එක ඌ weak point එක කරගන්නව"

හිමාල් එසේ පැවසුවේ නිර්මලී දරුවන් විෂයෙහි කොන්දේසි විරහිතව නම්‍යශීලී වන දුර්වලකම නිසාය. ඇගේ කුසට ආ දරුවන් එහි වැඩෙන්නට පිං කොට නොතිබුනහ. ඒවා සියල්ලම අවාසනාවන්ත බව නිසාද? ඈ දුක් වින්දා හොඳටම ඇතිය.

".... රශිඳු... "

නිර්මලී බිම බලාගෙන හිඳගෙන සිටි තැනින් නැගී සිටියේ ඔහුගේ මම ඇසූ සැනිනි. අනූජගේ හොඳම මිතුරා ලෙස තමාට ඔහු පියෙකු මෙන් සිටි නිසා රශිඳු ගැන මාතෘකාව ඈට මදක් නුහුරුය.

" අය්යා... මට.. "

හිමාල් ඇගේ කෙඳිරියක් වන් ප්‍රතිචාරය වහා තේරුම් ගත් නිසා මුහුණට යන්තම් සිනාවක් නැගුනි.

" නිර්.. මම ඔයාව ජජ් කරන්නෙ නෑ. අවුරුදු දාසයක කෙල්ලෙක් ගැන අනූජයා කියනකොට මම ඌට ඒ කාලේ හිනා උනා. ඇති තරම් බයිට් කලා. ඒවා විහිලුවට කියන දේවල්. ඔයාගෙ ආදරේ හින්දා අනූජ ඇත්තටම ජීවත් වෙන්න ගත්ත. 

ඔයා දන්නවත් ඇතිනෙ උගේ අතීතෙ එච්චර හොඳ එකක් නෙවෙයි. ලොකුවට හිටියට ඌ බිත්තරේ වගේ fragile. ඔයා පිටින් සොෆ්ට් උනාට පුදුම හය්ය චරිතයක් නිර්. රශිඳු ගැන මගේ අහිතක් නෑ නිර්. ඌ ඔයාට පැලෙන්න ආදරෙයි.. Age is just a number "

නිර්මලීගේ රතුවූ වත බිමට නැඹුරුව ගියේ හිමාල්ගේ අඩ බැල්මට හසුවෙමිනි.

".. අසා එක්ක අද වෙච්ච කතාව මම හරියටම දන්නෙ නෑ. ඒත් අසා එක්ක රශිඳු පැටලෙනවට මගේ කැමැත්තක් නෑ නිර්. දෙන්නා රණ්ඩු උනා කියලත් ඔයා දන්නවනෙ? අසා කියන්නේ තරහ කරගත්තොත් සර්පයෙක්.. අනූජ වගේ නෙවෙයි රශිඳු,  ඒක ඔයාත් දන්නව ඇතිනෙ"

නිර්මලී සිය තෙත් වූ දෑස පිසගෙන වහා ඔරලෝසුවේ වේලාව බැලුවාය. සවස හයට ඇත්තේ විනාඩි විස්සකි. සිදුවූ සියල්ල වසාලමින් ඇගේ සිත මිහිරියාවකින් පිරී ගියේය. රශිඳු !! ඔහු අතරමඟ වන්නට ඇත.

' රශිඳු..... දන්නේ නෑ මම මොනවා කරන්නද කියලා. ඒත් මම මේ ආදරේ මාව ගෙනියන තැනට යනවා'

තවත් විනාඩි කිහිපයක් නිර්මලී හා සංවාදයේ යෙදුනු හිමාල් පිටවී ගියේ පසුදින දහවල් වනවිට අකිත් සහ අකිත්මා සමඟ එන බවට පොරොන්දු වෙමිනි. ගුවන්‍ යානයෙන් බට වහාම ඔහු මෙහි පැමිණියේ දුරකතනයෙන් කල සොඳුරු තර්ජනය නිසාමය. 

අසුනෙන් නැගී සිටි සැනින්, මීට පෙර නිර්මලීගේත් අනූජගේත් මංගල ජායාරූපය එල්ලා තිබුනු තැන ඒ හා සමාන විශාලත්වයෙන් ‍යුතුව එල්ලා තිබුනු රූපය දැක හිමාල්‍ට නැගුනේ දීප්තිමත් සිනාවකි. එය නිර්මලීට දෙතුන් වරක් ගොරවා බලෙන් මෙන් එල්ලූ බවක් ඔහු නොදත්තද එම පින්තූරයේ රශිඳු සහ නිර්මලී එකිනෙකාට තුරුල් වී සිටියේ ආදරණීය බවකිනි. 

'අන්නේ.. රශී..  ඕක ඕනෙ නම් අපි ටීවී ලොන්ජ් එක ලඟ තියමුකෝ..'

නිර්මලී එම පින්තූරය මුලින්ම දැකීමෙන්ම කෙඳිරි ගෑවේ පින්තූරය ඔහු තමාගේ කොපුලක් සිපගනිමින් සිටින මොහොතක් නිසාය. එය ගත්තේ ඈ සිතන්නටත් පෙර ඔහුගේ දුරකතනයෙනි. නිර්මලීගේ මුහුණ පෙම්වත් සිනාවකින් ඔපවත් වී තිබේ.

' ඒ මොකද ඒ? '

රශිඳු ගොරවන්නේ ඉනිමග ඔස්සේ ඉහලට නගිමිනි. 

'.. එතනට හරියන්නෙ නෑ ඒක. මේක ලස්සනයි මෙතනට'

ඔහුට පින්තූරය එල්ලන්නට උපකාර කරන චම්පා දෙස වරක් බලා නිහඬ වූ නිර්මලී ඊට වඩා කියන්නට නොගියේ ඒ ගෙරවිල්ල ගැන දන්නා නිසාය. 

පින්තූරය එතැනට පැමිණියේ එලෙසිනි.

' perfect couple '

හිමාල් සුසුමක් සලා ලය සැහැල්ලු කරගත්තේ සිය අඹ යහළුවා සිහිවී සිත තුල ඇදුනු තන්තුව වේදනාවක් ඇතිකල නිසාය.

----------------------------------------

නිර්මලීට දැනුනේ අමුතු කෝල බවකි. ඈ දොර අසළින් මෑත්ව රශිඳුට එන්නට ඉඩහලේ දෙදෙනාගේ දෑස් එකිනෙක හා පැටලී ලොක් වී යද්දී ය.

" හායි "

ඔහු දැකීමෙන්ම හදවතට සිදුවන අකරතැබ්බය විඳිමින් නිර්මලී පැවසුවේ රශිඳුගේ මුහුණේ ඇඳෙන ඒ සුවිශේෂී සිනාව සමඟ දැනෙන මත්බව අමතකව මෙනි. රශිඳුගේ දෑස් වෙනදාට වඩා අමුතු පෙනුමක් ගෙන තිබුනු මුත් නිර්මලී ඒ ගැන දෙවරක් සිතුවේ නැත.

" hay baby girl" 

රශිඳු සියතෙහි වූ මල් පොකුර නිර්මලී වෙත පා ඉදිරියට පියවරක් තබා ඇගේ නළලත සිප ගත්තේ ඈ කුඩා කෙල්ලක සේ රතුවී යද්දීය. 

රතුපාට රෝස මල් පොකුර මදක් සිය නැහැයට ලංකල නිර්මලී ඇස කරකවා සිනාසුනාය. 

" thanks"

තද දම්පාට ගවුම හැඳ සිටින නිර්මලී දෙස මද වෙලාවක් බලා සිටි රශිඳුගේ හදවත වේගයෙන් ස්පන්ධනය වන්නට විය. ඈ ග්‍රීක ප්‍රතිමාවක් වැනිය. හිත තවත් බරවී යයි.

අනතුරුව දෙදෙනාම සිටියේ රශිඳුගේ harrier රථය තුල වූ අතර එය අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල දක්වා වූ මාර්ගයට පිවිස තිබින. මෘදු ඉංග්‍රීසී ගීත වාදනයක් පසුබිමේ ඇසෙද්දී නිර්මලීගේ දකුණු අත තිබුනේ ඔහුගේ වම් අතේ පැටලෙමිනි. ඔහු ඒ අත මෘදුව පිරිමදිමින් දකුණු අතින් රිය හැසිරෙව්වේ ඉපිලී යන සිතිනි.

වෙනදාට වඩා දෙදෙනාගේම වදන් වලට වඩා දෑස්වල කතාව වැඩිය. 

" මොකද ඇඹරෙන්නෙ?"

වරින්වර නිර්මලී වෙත ඇස රඳවමින් උන් රශිඳු තත්පරයකට ඈ දෙස බලා විමසද්දී නිර්මලී සිනාසුනාය.

" නෑ මම එහෙම නෑ.. "

" කොහොම නෑද?"

" ඇඹරෙන්නේ නෑ කියලා කිව්වෙ අනේ.."

හෝරා බාගයකට පසුව රථය නතර වුයේ ගාලු කොටුව තුල වූ එක්තරා වින්ටේජ් පෙනුම සහිත අවන්හලකිනි. එහි ඉපැරැණි ක්‍රමයට සැකසූ ගෘහභාණ්ඩ සහ ලන්තෑරුම් සමඟ මන්ද්‍ර ආලෝකය සහිත පසුබිමත්, ඈතින් පෙනෙන ගාළු කොටුවේ සුන්දර දර්ශනයත් නිසා ඇතිකොට තිබුනේ අමුතුම රොමාන්තික පසුබිමකි. දෙදෙනාම ඔහුට වෙන්කොට තිබුනු බැල්කනියේ වෙනම සකස්කල මේසය කරා යද්දී රශිඳු හඳුනාගත් කිහිප දෙනෙක්ම නිර්මලී දෙස උවමනාවෙන් බැලුවහ.

වෙනදා මෙන් නොව රශිඳු සිටියේ ඇගෙන් මදක් ඈතට වෙමිනි. තේරුම් ගන්නට නොහැකි සසළ බවක් ඒ දෑසෙහි නිර්මලී දුටුවද ඈ ඒ ගැන විමසන්නට උත්සුක වූයේ නැත. 

මේසය මත රඳවා තිබුනු මෙනූ පත අතට ගත් රශිඳු නිර්මලී දෙස බලා ඇසෙන් පැවසුවේ කැමති දෙයක් ගන්නටය. 

' අද මොකද මේ කටට ඉබ්බො වැටිලා'

නිර්මලී දෙදෙනා වෙනුවෙන්ම ඇනවුම බාර දෙද්දී රශිඳු වරින්වර සිය ජංගම දුරකතනය වෙත එබෙමින් මොනවාදෝ කියවන බව ඈ දුටුවාය. 

"රශී.. ඇයි මේ ෆෝන් එකේ?"

රශිඳු වහා දුරකතනය පසෙකට තැබුවද ඔහුගේ කැළඹීම නිර්මලීට ඒ වනවිට වැටහී හමාරය. 

අසලංකගේ සිදුවීම නිසා නිර්මලී සිටියේද සඟවාගත් සසළ බවකිනි. මේ මොහොතේ ඔහු එන්නට පෙර සිදුවූ එවැන්නක් පවසා අද මේ සුන්දර හෝරා කිහිපය විනාශ කරගන්නට නිර්මලී නොසිතුවාය. අසලංක සිය නිවසට ආවා යයි කීමම රශිඳු යක්ශාවේශයට පත්වන්නට ප්‍රමාණවත් වනු ඇත. එකම හොඳ වූයේ ඔහුට කන රත්වන්නට දෙන්නට හැකිවීම පමණි.

දෙදෙනාම ආහාර එන තුරු අඩ අඳුර විසින් නෙක පැහැයට හරවමින් අහසේ අඳින රටාවන් සමඟ ඒ මේ අත යමින් දඟ කරනා මුහුදු රළ දෙස නිහඬව බලා සිටියේ අවන්හලේ විසල් බැල්කනියේ සිසිල් මුහුදු සුළඟ විඳිමිනි.

මෙය තරමක් අමුතුය. ඔහු තමාව තුරුල් කරගන්නේ නැත. සෑහෙන්නට වෙනස් හැසිරීමකි. අමනාපයක් හෝ කෝපයක් නොවේ; කුමක් හෝ දෙගිඩියාවක් මෙනි.

අවන්හලේ සජීවී සංගීත වාදනයක් ඇසේ. ඔවුන් එතෙක් ගයමින් සිටි ගීතය අවසන්ව නව ගීතයකට මුල පුරමින් ගිටාර් වාදනය ඇරඹිනි.

රෑ අහසේ තරු තිබුණට...
නෑ එළියා.ක්. හඳ වාගේ...
ජීවිතයට මොනවා තිබුණද...
නෑ කිසිවක් නුඹ වාගේ...

සැනසෙන්නම් මා...

එතෙක් වෙලාවක් ඈත ඉමක රැඳී තිබුනු රශිඳුගේ නෙත මෑත සිටිනා තමන්ගේ පෙම්වතියගේ මුහුණ මත සෙමින් රැඳුනි. ඇගේ ආභරණයක් හෝ නොමැති වාත්තුකලාක් මෙන් පෙනෙන රූමත් ගෙලෙන් ඇරඹී සෙමෙන් ඉහලට ගමන් ගත් ඒ බැල්මට තමාගේ ප්‍රියතම දෙතොල් , කොපුල් සහ සුවිශේෂී නෙත් සඟල හසුවී ගියේය. 

නුඹ ළඟනම් හැම මොහොතෙම - හඳුනාගන්නට - ජීවිතයට
සරලයි නම් මා.
නුඹ හා ගෙවනා කාලය...
සෙනෙහස විඳ ඉපිලෙයි සිත...
රශිඳු ඈ දෙස බලාගෙනම සිටියේ ඈතක නෙත රඳවාගෙන සිටිනා සිය පෙම්වතිය දෙසයි. ඈ කෙතරම් සුවිශේෂී ගැහැණියක්ද? සිත සැලෙන්නේ ඒ නිසාම නොවේද? 
පාට ඉතිරෙන දේදුන්නක හැඩ...
පාවී යන්නෑ සුළඟේ බොඳවී...
ලෝකය ගැන නුඹ දකිනා සිත...
පාට පාට දේදුන්නක් වාගේ...
සැනසෙන්නම් මා...

නිර්මලීට දැනුන අමුත්ත නිසා ඈ හිස හරවද්දී දකින්නේ තමා දෙසම නෙත රඳවාගෙන සිටිනා රශිඳු ගෝකුලගේ දැක්මයි. සුප්‍රසිද්ධ සන්නාම සහිත කළුපැහැ යුරෝපීය ඇඳුමක් smart casual ලෙස හැඳ ; තමා හැමදා වශී කරනා සිහින් බොරපාට දෙනෙතින් සහ ඕනානැති සිනාවෙන් බලා සිටිනා ඒ ටෑන් පැහැ දඟකාර පිරිමියා දකිත්ම සිත සැමවිටම තිගැස්සෙනු වලක්වනු බැරිය. තමන් ගින්දරට වැටෙන පුළුන් රොදක් සේ අවුලවන්නට ඔහුට හැකිය.
දෑස් පැටලී ගියේ හදවත් මොහොතකට ඒකාත්මික කරමිනි.

නුඹ ළඟනම් හැම මොහොතෙම - හඳුනාගන්නට - ජීවිතයට
සරලයි නම් මා.
නුඹ හා ගෙවනා කාලය...
සෙනෙහස විඳ ඉපිලෙයි සිත...
සැනසෙන්නම් මා...
සැනසෙන්නම් මා...
සැනසෙන්නම් මා...
සැනසෙන්නම් මා...

ගීතය අවසානයේ දෙදෙනාටම සිනා නැගුනි. 

" ලස්සනයි"

" හ්ම්ම්ම්.. ආසයි ඒ සිංදුවට"

රශිඳු සිනාසුනේ හිස දෙපසට හරවමිනි. ඔහු ඇගේ මේසය මත වූ අත මිරිකා අල්ලා ගත්තේය.

" පිස්සි!"

' ලස්සනයි කිව්වේ සිංදුව නෙවෙයි මෝඩි!'

වේටර්වරයා කෑම රැගෙන ආ නිසා කතාව වෙනතකට හැරුනි. කෑම ගන්නා අතරතුර දෙවරක් පමණ ඔහු සිය ජංගම දුරකතනය පරීක්ෂා කරනුත් අවසානයේ යමක් මතක් වී මෙන් එය ඔහු විසින්ම නතර කරනුත් නිර්මලී නිරීක්ෂණය කළාය. ඔහු අද නොසන්සුන්ය! ඊටත් වඩා ආගන්තුකය.

දෙදෙනාම ආහාර ගත්තේ එකිනෙකා දෙස සුවිශේෂ ලෙස බලමින් සහ බැල්මන් පාකරමිනි. නිර්මලී බලාපොරොත්තුව සිටි වැලඳගැනීම නම් තාමත් ප්‍රමාදය. සිරුරට තෙරපා මිරිකා ගන්නා ඒ වැඳගැනීම තුල ඇති අධි වෝල්ටීයතාවයෙන් තමා සැමවිටම මන්මත් වී යයි. 

ගායක කණ්ඩායම වෙනත් ගීතයකට මුල පුරනු ඇසේ.

ලෙංගතු පෙම මැසිවිලි නැගුවා ඇති 

අපමණ සිතුවිලි දයාබරයි

ඉටු නොවනා බව දැන සිටිනා මුත්

ඔබම පතා සිත පෙරුම් පුරයි

රශිඳුගේ මතකය වේගයෙන් පාඩිකුඩා වෙත ඇදී ගියේය. 

" ඔය සිංදුව.... මම.."

නිර්මලී ඊටත් වේගයෙන් එතැනය.

" මම ඔය සිංදුව ලස්සනටම ඇහුවෙ සෑහෙන කලෙකට කලින් දවසක් පාසිකුඩා හොටෙල් එකේදි.. ලයන්ස් ක්ලබ් පාටි එකට ගිහින් ඉන්නකොට"

රශිඳු කියන්නට ආ දේ ගිලගත්තේ හිත රිදුන නිසාය. ඔහු කියන්නට ගියේ අර ගල් මූසලයා සිටි පාසිකුඩා හෝටලය තුලදී තමන් ඈ වෙනුවෙන් කල ගායනය ගැනයි. ඒ ඈ වෙනුවෙන් හොඳටම හිත රිදවාගෙන සිටි මොහොතකයි.

"හ්ම්ම්.. මටත් පුලුවන් සිංදු කියන්න "

ඔරවාගෙන රශිඳු එය කියූ අයුරට නිර්මලී කිංකිණි හඬින් සිනාසුනාය.

" ඇත්තද?"

"ගොඩක් බෑ.. චුට්ටක් තාලෙට කියන්න පුලුවන් "

හොස්ස දික්කරගෙන රශිඳු එසේ පැවසුවේ නිර්මලී සිනාසුන අයුරටය. අනූජට තාලයට අත්පුඩියක්වත් ගසන්නට නොහැකි නිසා ඔහුගේ නැවත උපත වූ රශිඳු ඊට වඩා මදක් හොඳ වීමට හැකිය.

" හා හා.. තාලෙට නේද? හ්ම්ම්ම් අනේ එදා ඒ වොයිස් එක නම් මාරයි.. හරිම රොමෑන්ටික් ."

රශිඳු ඔරවා ගත්තේ සැනෙකිනි. තමා ඉදිරියේ තබාගෙන වෙන පිරිමියෙක් රොමෑන්ටික් කියනවා?? වෙන දවසක නම් ලේසියෙන් අරින්නට හැකි දෙයක් නොවේ!

ඇස හැර බැලුවද නිදිලොව සැරුවද

මා නෙතු විමසන එකම රුවයි

ළය මත පිබිදුණු උණුසුම දනවන

සෙනෙහස පිරි ඔබ නවාතැනයි

තමන් එදා ගායනා කලේ හදවත පතුලෙන්ම ආ සැබෑ හැඟීමෙන් සහ වේදනාවෙනි. තමන්ට අහිමි වී ගිය ඈ අද තමන් ඉදිරියේ සිටී. ඊටත් වඩා ආත්මයන් එකිනෙක හා බදා මිශ්‍රව ගොසිනි. ඇගේ සෑම රෝමකූපයක් පාසා තමාගේ නොවේද?

"... මම අහගෙන හිටියේ ඒ වොයිස් එක. මාරම මාරයි! ඔයාට සිංදු කියන්න පුලුවන් කිව්වනේ ? එහෙනම් ටිකක් ක්ලාස් එකකට ගියාම එයාලා කියලා දෙනව"

හිත රිදුනේ නම් එකසිය ගානට වුවත් රශිඳු මද සිනාවකින් එය වසා ගත්තේය. එදින තමන්ගේ ගායනයෙන් වශීකෘතව උන් සූරියප්පෙරුම කියූ කතාව ඔහුට සිහි කැඳවුනි.

' උඹ සිරාවට කිව්ව හින්දා සිරාවට වැදුනා කොල්ලා.. '

අසලංක මිහිඳුකුලසූරිය නම් ඒ තිරිසනා දැකීමෙන් එදාත් තමා වේදනාවට පත්ව සිටියේ ඈට ඒ මිනිසා සමඟ යම් යම් අතීත සිදුවීම් ඇති නිසාය. සෑහෙන කාලෙකට කලින් නම් ඒ කියනා කාලයේදී තමා සිටින්නට නොහැක. පාසිකුඩා හෝටලයේ නිර්මලී සහ අසලංක ගැන ඇසූ කාරණා වලට අනුව ඒ ගායනය ඇසුවේ ඔහු සමඟද? 

'මරාගෙන කන්න හිතෙනවා ඔය ගස් බල්ලව!'

ලොව ගැරහුම් සැඩපහරක් වූවද

අසම්මතේ රුව මල් පූදියි

වෙන්වීමක් ගැන සිත අහලක නැති

මගෙ සිත ඔබ හා ගමන් කරයි

මේ සිටින්නේ ඉරිසියාවෙන් කළුවී ගිය සිය කුකුල් කේන්තිකාර පෙම්වතා බව වැටහී නිර්මලීට සිනාවක් නැගුනි. තමන් කීවේ මුසාවක් නොවේ. පෙරදා ඇසූ ඒ හඬ මනමෝහනීයය. ඒ ගීතය ඇසීමෙන් පසුව තමන්ට කුමක් හෝ පෙරලියක් සිදුවූ බව මතකය. 

දැනුත් එවන් පෙරළියක් සිදුවීමට නියමිතද?

තමන් මේ පැමිණ සිටින්නේ රශිඳු ගෝකුල හා 'ඩේට්' එකකටය. එක්ව නිවසක් සහ සයනයක් කිසිදු සීමාවකින් තොරව බෙදා ගනිමින් වේගයෙන් ගමන් කල ජිවිතය කුමක් හෝ වෙනස් දිසාවකට හැරෙන්නට යනවාද? 

එකවරම නිර්මලීගේ හිස හරහා පැරණි මතකයක් අකුණක් මෙන් මොහොතකට දැල්විණ.

ඒ පෙර දිනයක මහල් නිවාසය තමාගේ නමට ලියූ අනූජ ගමනායක හා බැඳුනු අවස්ථාවකි. ඔහු පැවසුවේ තමා මිය ගියද ඈ අසරණ නොවනු ඇති බවයි. එසේම ඔහු ඊට මාස ගණනකින් පසුව තමාට අහිමි වී ගියේය.

' හරියට අනූජ දැනගෙන හිටියා වගේ එයාගෙ ආයුෂ අඩුයි කියලා..'

"නිර්.."

නිර්මලී තැගැස්සී හිස එසවූයේ රශිඳු කිසි විටෙක ඒ නමින් තමා අමතා නොමැති නිසාය. ආහාර ගෙන නිමකොට තිබුනු බවට සළකුණු තිබුනද ඔහුගේ කෑම පිඟාන තවමත් ඉතුරුය. තමන් ඇනවුම් කලේ ඔහුගේ ප්‍රියතම ඉස්සන් සහිත කෑමකි. සාමාන්‍යයෙන් රශිඳු එලෙස කෑම පාලනය කරන්නෙකු නොවේ.

රශිඳු නිර්මලීගේ මේසය මත අත මෘදුව අල්ලා ගත්තේ ඇගේ දෑස දෙසම බලාගෙනය. දෑස අමුතුය. කුමක් හෝ නොසන්සුන් බවක්!

"... ඇයි ගැස්සුනේ.. ? මම ඒ නමින් කතා කරනවාට අකමැතිද?"

" අනේ නෑ.. ඒ උනාට ඔයා.. කවදාවත් "

රශිඳු අපහසුවෙන් මෙන් සිනාවක් නගාගෙන ඈ දෙස එක එල්ලේ බැලුවේය.

" baby girl.. ඔයා දන්නවද මම ඔයාට කොච්චර ආදරේද කියලා? හ්ම්ම්? "

නිර්මලී මදකට ඒ දෑසේ අතරමංව සිටියේ දෙකොපුල් රත් පැහැ කරගනිමිනි.

"... දන්නවද? "

" දන්නව"

රශිඳු ඇගේ දෑතම සිය දෑතින්ම උණුසුම් ලෙස අල්ලා ගත්තේ ඇගේ මෘදු සම සහිත පිටි අල්ල සෙමෙන් පිරිමදිමිනි.

" ඔයා මුලින්ම දැක්ක දවසෙ මට හීනයක් වගේ. මට මොකක් උනාද මන්දා මම ඔයාව අඳුනගත්ත එකපාරටම. ඔයා ස්පොන්සර් කියලා දැනගෙන නෙවෙයි , කොටින්ම ඔයාගෙ නමවත් දන්නෙ නෑ... ආපහු ආවහම චාමික මගේ බෙල්ල කෑවා. ඌ සහතික කරලා කිව්වා ඔයා පොලිසියට ගිහින් ඇති කියලා.. ඌ කියවපු කියවිල්ලට මමත් අන්තිමට එහෙම වෙලා ඇති කියලා හිතලා පොලිසියෙන් කෝල් එකක් එනකම් බලාගෙන හිටියා"

නිර්මලීට එයට නම් හොඳටම සිනා ගියද ඇගේ වත ඉන් අනතුරුව මිශ්‍ර හැඟීම් ගොන්නකින් පිරී ගිය නිසා රශිඳුගේ කඩවසම් මුහුණ ඔස්සේ අකීකරුව ඒ මේ අත ගියේය. කපා නැති රැවුල නිසා ඔහු තරමක් මේරූ සරාගී බවකින් යුතු විය. 

සාමාන්‍යයෙන් පිරිමින්ගේ දෙතොල් ගැන වැඩි අවධානයක් යොමු නොවුනද, ඇගේ ප්‍රියතම අත්බාහු සහ අකීකරු බොරපාට ඇස් වලට අමතරව රශිඳුගේ සරාගී දෙතොල් වල මැවෙන ඕනානැති සිනාවට නිර්මලී ලොබ බැඳ සිටියාය. මේ දැන් පවා එහි ඇත්තේ අසීමිත ආසක්ත බවකි.

" පිස්සු කොල්ලා! ඇත්තටම පොලිසියට යන්න තරම් තමයි මෙයාගෙ වැඩ! ඇයි දෙවියනේ එකපාරටම හම්බෙච්ච කෙල්ලව අරෙහෙම emotionally black mail කරනවද?"

රශිඳු දඟකාර ලෙස සිනාසුනේය.

" මම කිව්වෙ මගේ හිතේ තිබ්බ දේ. මේ මැඩම් නම් කලේම බොරුව! මට දැස් දෙකෙන් පෙනුනා මම කිස් කරනකල්ම බොරුවට බෑහ් බෑහ් ගගා හිටියේ කියලා "

නිර්මලී ඇතුලාන්තයේ එයට එකඟ බව රශිඳු දන්නේය. කෙතරම් බෑ කීවද ඈ සිටියේ තමාට අයිතිවය.

".... බෑහ් බෑහ් ගගා ඉඳලා අනේහ් අනේහ් ගෑවනෙ"

ඇගේ මුහුණ රතුවන විලාසයට ඈ සිප නොගෙන බැරිය ; තමන් වගේ අයෙකුට කෙසේවත් නොහැකිය. නමුත්.. වාරණය තබාගත යුතු නිසා රශිඳු සිය බැල්ම මදකට සයුර දෙසට යොමු කලේය. හාත්පස ඇති අඳුර සහ මුහුදු සුළඟ විසින් ඇතිකරනා හැඟීම් පාලනයකින් තොරය. ඔහුගේ හදවත ගිඩි ගිඩියේ ගැහෙයි!

අද සියල්ල තීන්දු වනු ඇත! එබැවින් ඈ කලබල කරන්නට අවැසි නොවේ.

රශිඳු දෙස බලා උන් නිර්මලී මදක් ව්‍යාකූලත්වයට පත්වූයේ ඔහුගේ මේ දුරස්ථභාවය නිසාය. තමාට පුරුදු ඔහුගේ ඇඟේ වෙලී සිටින්නටය.  ඔහු සිටින්නේ අමනාපයෙන් නම් නොවේ, එසේනම්?

" ලේසි උනේ නෑ රශී ඒ තීරණේ. ඔයා දන්නවනෙ මම හිටිය ප්‍රෙශර් එක. ඔයා එදා මගේ අපාර්ට්මන්ට් එකට ආවේ නැතිනම් , ඇත්තටම මොකක් වෙයිද කියලා මමත් දැනගෙන හිටියෙ නෑ."

" මොකද නැත්තෙ? එහෙනම් මේ මැඩම් අපේ හොස්ටල් එකේ බැල්කනියට පැනලා මාව අවුස්සයි!"

" අන්නේ ඉතින්.. "

නිර්මලී තමාගේ දුර්වලකම දැන් හොඳින් දනී. රශිඳුගේ උණුසුම් ආදරය නොමැතිව තමාට හුස්ම ගන්නට නොහැකි වන්නේය. වෙනදාට වඩා තමන් ඒ හැඟීම් වලට විවෘත වන්නට ඉඩදී නොවේද? දැන් මේ දැනෙන්නේත් ඒ අඩුවය. 

" මගේනෙ ඉතින්"

රශිඳු ඇගේ වමත ගෙන ඔහුගේ රැවුල් කොට මත රිදෙන්නටම අතුල්ලා දැමුවේ ඕනෑ නැති බැල්මද සමඟිනි. 

".. අපි යමුද දැන්?"

නිර්මලීගේ සිත හැකිලිනි. රාත්‍රී ආහාරයට රැගෙන ආ අවන්හල නම් සුවිශේෂී වුවද ඔහුගේ දඟකාරකම් කිසිවක් නැත. ඊටත් තාම රාත්‍රී අටට පමණය. ඈ සිටියේ මද කල්පනාවකට වැටෙමින් වුවද නැවතත් දුරකතනය පරීක්ෂා කරනා රශිඳුට එය හසුවූයේ නැත.

" ඩිනර් එක හොඳද?"

" හ්ම්ම් හොදයි"

ඈ සැමවිටම තමා දෙස බලන්නේ ඒ ප්‍රේමය වැගිරෙන දෑසිනි. 

"... Thanks for the dinner Mr. Rashindu "

රශිඳු අපහසුවෙන් තමාව පාලනය කොටගත්තේ ඇගේ අල්ලාගත් වමත දෙතොලට තද කරමිනි.

ඔහු සමඟ එක පෙලට දෑත් පටලවාගෙන වාහනයට පැමිණි නිර්මලීට ඉදිරි දොර හැරඳුන් රශිඳු දෙස මොහොතක් නතරව නිර්මලී හැරී බලද්දී ඔහු බලාගෙන සිටියේ ඇඳුමට කැපී පෙනෙනා තමන්ගේ ලැම බව දැනුනු සැනින් සිනා ගියේ කියන්නට ආ වචන අමතක කරවමිනි. 

" මොකද ?"

" මොකද කියලා තමයි මාත් මේ බැලුවෙ."

රශිඳු දඟකාර ලෙස සිනාසී දොර වසා දමා විත් රියදුරු අසුනට පැමිණියේ දිවගෙන මෙනි.

" what does that mean? Mr. Rashindu Gokula?"

නිර්මලී වඩා ගැඹුරු හඬකින් ඇසුවේ රශිඳු කට අඹරවමින් ඈට ආසන පටි මතක් කරද්දීය.

" නෑ මුකුත් නෑහ්"

කටට ආ නොසන්ඩාල වචන ගිල ගනිමින් රශිඳු එසේ පැවසුවේ වාහනය පනගන්වමිනි. ඔහුගේ වත රත් පැහැවී තිබුනේ සිතට ආ හැඟීමේ තරමට වුවත් නිර්මලී පුදුම වී නිහඬ වූවාය. මේ නම් අමුතුම කොල්ලෙකි!

අනතුරුව ඔවුන් මෘදු සංගීතයක් වාදනය කරමින් නැවත අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ කරා ගමන් ගන්නා අතරතුර රශිඳු සිටියේ අනුග්‍රාහක සමාගමක් සම්බන්ධයෙන් වූ දිගු ඇමතුමකයි. 

රශිඳුගේ රුවින් ඔවුන්ගේ සමාගම දැන්වීම් පුවරු රැසක් කොළඹ නගරය ආවරණය කරමින් තිබිණ. එයින් රශිඳුට තරමක ආදායමක් ලැබෙන බව නිර්මලී දනී. අනූජගේ මරණයෙන් පසුව ඔහුගේ මිතුරා ඔහුගේ සිමා ආයතනය සඳහා දැන්වීම් පුවරුවට තමාගේ රුව යොදාගන්නට ඉහල මිලක් නියම කලද, අද වනතුරු ඒ සඳහා නිර්මලී ගාස්තුවක් අය නොකලාය. රශිඳු ඊට වඩා දහස් ගුණයක් වටිනාකමක් ඇති අයෙකි.

" sorry baby girl.. මට ඒකට ආන්සර් නොකර බෑ"

රශිඳු එසේ පැවසුවේ ඇමතුම අවසන් වී ප්‍රධාන මාර්ගයෙන් වෙනත් මාර්ගයකට රථය හරවමිනි. එය නිර්මලීගේ නිවස හෝ නිර්මලී දන්නා කිසිවකු ඉන්නා තැනක් නොවීය.

" it's ok Kiki... හ්ම්ම් මේ කොහෙද යන්නෙ?"

නිර්මලී විමසුවේ රශිඳුගේ මුහුණ බලා සිටියදී කල්පනා බර වෙද්දීය.

" ඒව අහන්න බෑ ඩේට් එකකදි... මේ මැඩම් රූල්ස් කඩනව"

නිර්මලීට සිනා නැගුනද රශිඳු සිටිනා ආතතිය ඈට තේරුම් ගියේ නැත. අමුතු බියක් දැනෙන්නේ ඇයි ?

" ඔව් ඔව්... අනිත් එක්කෙනා රූල්ස් වලටමනේ වැඩ!"

මාර්ගය වෙත රැඳවූ නෙතින් පැවසූ නිසා රශිඳුගේ මුහුණේ මතුවූ හැඟීම් නිර්මලී දුටුවේ නැත.

" ... මුලින්ම ඇවිත් ගෙදර පදිංචි උනේ..!"

නොකිව්වාට රශිඳු ඉන් මදක් තිගැස්සී ගියද මුහුණ සඟවා ගත්තේය. ඈ තාමත් එලෙස සිතනවාද?

' යකෝ ඔය ගෑනි අස්සෙ බින්න බහින්ඩ යන්න එපා ඒකි රටේ වැදගත් විදියට ජීවත් වෙච්ච කෙනෙක්'

' ඇයි දැන් තෝ ඔය රෑට එහෙ ලගින්නෙ මැරි කරන්නද? අනේ මේහ් පලයං යන්න මාව රවට්ටන්නෙ නැතුව.. '

' යකෝ මේක ලංකාව! උඹ සුළුපටු වැරැද්දක් නෙවෙයි ඒ අහිංසක ලේඩිට කරන්නෙ. කසාද බඳින්නෙ නැතුව උඹ ඔතන රිංගන්න යන එක හරියන්නෙ නෑ බං. හරියට තින්දුවක් ගනින්'

චාමික වෙනත් අය ඉදිරියේ තමන්ගේ පැත්තට කතා කලද, තනිවූ නොයෙක් අවස්තාවල් වලදී නොසෑහෙන්න දෙහි කැපුවේ අහේතුකව නොවේ. 

හිරාන් පවා තමාට කීවේ එය නොවේද? අම්මා ?? ඈ තවමත් සිටින්නේ තද තීන්දුවේය.

මිනිස්සු කුමන කතා කීවද, තමන්ගේ පාඩුවේ ජීවත් වීම පහසු කාරියක් නොවන බව තමා දැන් දැන් තේරුම් ගනිමින් පවතී. 

සමාජ මාධ්‍යජාලා වල එකම ජුගුප්සාජනක කතාවම මසකට වරක් ඉදිරියට අදිමින් පවත්වාගෙන යන්නේ වෙන වැඩක් නැත්තාක් මෙනි. ඒ සෑම තැනකදීම නිර්මලී ගමනායකට කියා ඇත්තේ කිසිවිට ඈට දරන්නට හැකි දේ නොවේ. Instagram ගිණුමක් නැති ඈට ඉන් ගිණුමක් සාදා දුන්නේ තමන් මුත් මේ ජුගුප්සාජනක කතා වලට දැන් දැන් ඈව ටැග් වී ඇත. ඈ ප්‍රතිචාර නොදක්වන නිසා වඩ වඩාත් ටැග් කරමින් පිස්සු නටති. ඒවා කියවනවිට සිතට දැනෙන්නේ සුළුපටු වේදනාවක් නොවේ.

මේ අපහාස වලට මුල තමන්‍ ය. මානසික රෝගීන්ට ඈ රසවත් කෑමකි. කොටින්ම ඈ සහ තමන් සිටිනා යයි කියනා අසැබි වීඩියෝ පවා අන්තර්ජාලය පුරා සැරිසරයි. 

සෙමෙන් ආ රථය ස්වයංක්‍රීයව විවෘත වන ගේට්ටුවෙන් ඇතුලට ධාවනය කරද්දී නිර්මලී එහි සිටි මුරකරු රශිඳු හා හුවමාරු කරගත් අභිනයෙන් ඔහු සෑහෙන්න හිතවත් බව තේරුම් ගත්තාය. 

ඈ තමන්ගේ ඉදිරියේ ඇති සුඛෝපභෝගී නිවස දෙස බැලුවේ විදුලි බල්බ ස්වල්පයක් දල්වා ඇති ආකාරයෙන්ම එය නව නිවසක් බව තේරුම් ගනිමිනි.

ඈ රශිඳුගේ මුහුණ බැලුවද ඔහු එය මගහැර වාහනය තවමත් සාදමින් තිබෙන උද්‍යානය පසෙක ගාල් කළේය.

අනතුරුව නිර්මලීට බිමට බසින්නට දොර විවර කලේ ඈ තරමක් අනුමාන කල බව තේරුම් ගෙනය.

" මේ ඔයාගෙ ගේ නේද? හරි ලස්සනයි!"

නිර්මලී දැසින් කාන්තිමත් බැල්මක් රශිඳු වෙත හෙලමින් ඔහුගේ දෙතොලේ එල්ලුනේ තවත් ඉවසා සිටින්නට නොහැකිවය.

" හෝව් හෝව් මැඩම්!! මොනාද මේ කරන්නෙ?"

පුදුමයකි! ඔහු නිර්මලී ප්‍රවේශමෙන් ඈත්කොට ගත්තද ඒ ඇස් ඇගේ වෙන වෙන තැන්වල හැපෙමිනි. 

'what the ..!'

ඔහු ඈ වෙතින් ඉවත්ව ගොස් විසල් දොරටුවේ අගුලට සිය සාක්කුවේ තිබුනු යතුරක් දමා කරකවා , ආපසු හැරුනේය. නිර්මලී දෑතම ලය ඉදිරියේ බැඳගෙන සිටියේ කෝපවත් වූ බළල් පැටියෙකු පරිද්දෙනි.

' මේ මොන කෝලමක්ද? '

" baby girl.. එන්න"

සාලය තිබුනේ අඩ අඳුරකය. අමනාපය තිබුනද ඔහුට හොඳ වැඩක් පසුව කරන්නට සිතා ඈ ඉදිරියට පයක් තබනවිට රශිඳු දොර වඩාත් විවර කලේ සඟවාගත් සිනාවෙනි. 

පියකරු නිවසක් වූ එය පසෙක සැප පහසු සෝෆාවක් මිස කිසිවක් නොවූ අතර විදුලි පහන් දැල්වූ රශිඳු ගැහෙන හදින් යුතුව ඇගේ අවධානය ඈට මදක් ඉදිරියේ ඇති පෙට්ටිය වෙත යොමුවනතුරු බලා සිටියේය.

" ලස්සන ගෙයක් රශී.. හරිම ලස්සනයි.. කවදද මෙහෙට මූව් ඉන් වෙන්නෙ ඔයාලා?"

රශිඳු හොර හිනාව වලකාගෙන හිස ඒ මේ අත හැරවූයේ නොදන්නා බවට පෙන්වන්නට මෙනි.

"ම්ම් ම්ම් තාම හිතුවෙ නෑ. තාම ගෙදරට බඩු ගත්තෙ නෑනෙ. එන වීක් එකේ අම්මා එක්ක යනව"

" ඔහ්"

එවර නිර්මලී පසෙක තිබෙන දනක් මත්තට පමණ වූ රතුපාට පෙට්ටිය දුටු වනම සැකයෙන් මෙන් රශිඳු දෙස බැලුවාය. ඒ පෙට්ටිය මත ස්වර්ණාභරණ මංජුසාවක් වැනි පෙට්ටියකි. නිර්මලීගේ හුස්ම සිරවී ගියේය. 

' දෙවියනේ.. නෑ.. රශී?? ඔයා??'

" ගන්න.. ඒක ඔයාට"

රශිඳු ඈ අසළින්ම හිඳ ඇගේ කනට මිමිණුවේ ඇගේ ගත සලිත කරවන ප්‍රේමාතුර හඬකිනි. නිර්මලී වෙව්ලන අතින් එම මන්ජුසාව ගෙන කෙල පිඬක් ගිල්ලේ තමා මේ දකින සිහිනය වාවා ගන්නට මෙනි. රශිඳු නම් සිටියේ මෙලොව නොවේ. වඩාත්ම භයානක මොහොතට ඔහු මුහුණ දෙමින් සිටී! ඉරණම වෙනස් කරනා තීරණයක්!!

මංජුසාව විවෘත කල සැනින් නිර්මලීගේ මුහුණ සුදුමැලිව ගියේ මොහොතිනි. අවට සියල්ල තමා වටා භ්‍රමණය වන්නාක් මෙනි. 

මුදුවක් බහාලන ඒ මංජුසාව තුල ඔබ්බවා තිබුනේ පෝලෝ එකකි!!

ඈ අපහසුවෙන් සිනාවක් නගා ගත්තාය.

".. Go on.. Open the other box baby girl"

ඇගේ කම්පනය දරා ගනිමින්ම රශිඳු එසේ පවසනවා සිහිනයෙන් මෙන් ඇසුනු නිසා නිර්මලී සිතට දිරි ගෙන අනෙක් පෙට්ටිය විවර කල සැනින් ඈ යටි ගිරියෙන් කෑ ගැසුවාය.

" අන්නේ..... රශී......!!"

පෙට්ටිය මධ්‍යයේ සිට ඈ පියන විවර කල සැනින් ඈ වෙත පනින්නට වලිකන ටෙරියර් වර්ගයේ සුරතල් බලු පැටියෙකි. ඈ පැන ඒ කුඩා සුරතල් බෝලය ගෙන සිය ලයට තදකොට ගත්තාය. ලාරා මිය යාමෙන් පසුව ඈට තවත් සුරතලෙක් ගෙනෙන්නට හිත හදාගන්නට නොහැකි වූ නිසාත් මේ බලු පැටියා ඒ හා සමානම පැහැයෙන් යුතු නිසාත් ඈ වඩාත් සංවේදී වූවාය. සතුටට ඈගේ දෑසින් කඳුළු කඩා හැලුනු අතර රශිඳු ඈ ඔහුගේ පපුවට තුරුල් කරගත්තේ ඈ මෙතරම් එයින් තුටු වේයැයි අපේක්ෂා නොකල නිසාය.

" අඬන්න එපා baby girl... ස්... ස්ස්.. ඇති දැන්"

විනාඩියක් ඇවෑමෙන් පවා සන්සුන් නොවූ නිසා රශිඳු එලෙස පැවසුවේ සුරතලා එකසිය ගානට ඈ ලෙවකනවා බලා සිටින්නටත් නොහැකිවය. 

" තෑන්ක්ස් රශී... මෙයාගෙ නම?"

" කාරා! "

" ලස්සනයි අනේ ගොඩක් තෑන්ක්ස්... "

ඈ රශිඳුගේ කොපුලක් සිප ගත්තාය. නොසන්ඩාල සිනාව ඒ මුව මත නිසා දැනුන අමුත්ත නිසාත් බලු පැටියාගේ ගෙලේ යමක් හසුවූ නිසාත් නිර්මලී වහා කාරා ඔසවා තමාගේ මුහුණ මට්ටමට ගත්තාය.

පුදුමයකි! කාරාගේ ගෙලේ පැළඳි පටිය සමඟ අමුනා තිබුණු ඇගේ නම සහිත කුඩා ටැග් එක සමඟ වූයේ දියමන්ති මුදුවකි.

එයින් නෙත් ඉවත් කරගත් සැනින් නිර්මලී දකින්නේ තමා ඉදිරියේ දණක් නවා හිඳගෙන සිටිනා රශිඳු ගෝකුලය. ඔහුගේ දෑස තිබුනේ ඇ වෙත එක එල්ලේය.

" baby girl.. My angel... මේ ලෝකේ ආදරේ කරන අය ඇති ඕන තරම්. ඒ මොකක් උනත් baby girl ඔයාට මම තරම් කාටවත් ආදරේ කරන්න බෑ. එහෙම වෙන්නෙත් නෑ. හදවතට තට්ටු කරලා බලන්න.. මේ ආදරේ දැනෙන්නේ කොතනටද කියලා. ඒක ආත්ම ගානක් පරණයි, ඒ වගේම අළුත්. අර කොළපාට ගවුම ඇඳගෙන මුලින්ම දුවල ඇවිත් මගේ අතේ එල්ලුනාම දැනුන හුරුපුරුදු සුවඳ..  තාමත් ඒ විදියටම මට දැනෙනවා baby girl..ඔයාට මම දැන් ඇබ්බැහි වෙලා.. ඒක තනිකරම හොඳ වෙන්නෙ නැති ලස්සන ලෙඩක්! So tell me.. මගේ ජීවිතේ හැමදාමත් මේ විදියට මගෙත් එක්ක ඉන්නවද? මට ආදරේ කරනවද? Will you marry me? "

නිර්මලීට කෑ ගැසුනේ ඉබේටමය. අමුනා තිබුනු මුද්ද ගෙන ඈ සුරතලා බිමින් තබා, රශිඳුගේ ඉදිරියට දික්ව තිබුනු පාදයේ කලවය මත හිඳගෙන ඔහුගේ දෙතොල් තදින් සිප ගත්තාය. ඇගේ දැසින් කඩා වැටුනු කඳුළු වලට වැට බඳින්නට ඈට අවැසි නොවීය. 

" yes baby.. I do"

එපමණකි!

මහත් ආවේගයෙන් නිර්මලී ඔසවාගත් රශිඳු ඇගේ දෙපා තම බඳ වටා යන්නට හැර ඇගේ දෙතොල් අල්ලා ගත්තේ හුස්මක් පවා අල්ලන්නට නොදීය. ඔහුගේ කලබල රළු අත් ඒ වනවිට මහා වේගයකින් නිර්මලීගේ සිරුර ආක්‍රමණය කොට තිබිණ. 

" අලුතින්ම සෝෆා එක ගත්තෙ.. මේකටම තමයි "

ඈ සැප පහසු සෝෆාවේ පෙරලාගෙන ඈට ඉහලින් එබුනු රශිඳුගේ සරාගී බැල්ම නිසා නිර්මලීගේ වත රතු වූයේ ඒ වචනත් සමඟිනි. 

' දෙවියනේ මෙහෙම පිස්සෙක්!'

----------------------------- මතු සම්බන්ධයි ---------------------

4 comments:

  1. 💘💘💘💘💘 වෙන කියන්න දෙයක් නැති නිසා කුමුදුගෙන් කොප්පක් ගැහුවා.

    ReplyDelete
  2. කෝ ඊගාව කොටස තාමත් නැද්ද අයියො🙄

    ReplyDelete
  3. මොකද අනේ පරක්කු?....බලා ඉඳලා ඇතිවෙලා.

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...