Wednesday, May 25, 2022

329: උන්මාද චිත්‍රාදෝ මා 61

රශිඳු එරෙව්වේය; නමුත් සිය කාමරයේ තිබෙන දර්පනයෙන් ඔහු තමාටම ඔරවා සිටින බවක් පෙනුනි.

තවත් කරුණු කිහිපයක් ගැන කතාකල පසුව ඔහු ඇමතුම විසන්ධි කොට කාමරයේ ඒ මේ අත ඇවිද්දේ ආතතියෙනි. ඊළඟ ඇමතුම ගත්තේ නිර්මලීටය.

" හෙලෝව්.. රශි...?"

ඇගේ හඬ ගලා ආ දුරකතනය තවත් සවනට තදකොට ගනිමින් රශිඳු සුසුමක් හෙලා සයනයේ පසෙක හිඳගත්තේ අවුල් වූ මනසිනි. හිතට දැනෙන්නේ විස්තර කල නොහැකි ආතතියකි.

" baby girl කොහෙද?"

" නේහා එක්ක ෆිල්ම් එකක් බලන්න ආව. උදේ ෂෝ එක. ඇයි මම කිව්වෙ? ඊට පස්සෙ අපි මේ ඇඳුම් ටිකක් ගන්න ශොපින් මෝල් එකට ආව.. ඇයි රශි.. ඔයාගෙ වොයිස් එකත් අමුතුයි? Are you ok?"

“ Yes I’m ok. හ්ම්ම්ම් දැන් ඇඳුම් ගත්තද?"

" තාම නෑ.. නේහා ෆිටොන් එකේ.. මම ඊළඟට.. ඇයි මේ?"

රශිඳු එක අතකින් සිට කෙස් තදින් අල්ලා අදිමින් සැනසුම් සුසුමක් හෙළුවේය. 

" I miss you. පාළු හිතුනා... "

" අන්නේ.... ඉතින් හෙට එනවනේ.. අම්මත් එක්ක චුට්ටක් එළියට යන්න ඉතින්. පව්නෙ එයා. "

රශිඳුගේ සිත අහේතුකව රිදුනි. ඈට එතරම් අම්මා අකමැති වන්නේ වැඩිමල් නිසා මිස ගතිගුණ අතින් ඈ රාජ කුමාරියකි. 

".. පන්සලට යන්න ඕනෙ කිව්ව නේද? අම්ම මොකද කිව්වෙ ගෙදරට? කැමති උනාද?"

සුසුමක් මිස රශිඳු කිසිදු පිලිතුරක් නොදුන් නිසා , මේ පිස්සාගේ සිත කුමකට හෝ මහා පරිමාණයෙන් රිදී ඇති බව පමණක් නිර්මලී හඳුනා ගත්තාය. 

".... කිකී....? ඇයි ? ඇයි බබා ඔයා දුකෙන්?"

" මට පාළු හිතුනා.. ඉක්මනින් ගෙදර යන්න.. බායි. "

" ඒයි ඒයි..  අනේ.. එහෙම බායි කියන්නෙ නෑ! කෝ මගේ මැජික් වර්ඩ් එක?"

රශිඳුගෙ මුවට නැඟුනේ මද සිනාවකි.

" ආදරෙයි "

" මමත්! හෙට එන්න එහෙනම්.  හ්ම්ම්?"

" හ්ම්ම්"

ඇමතුමෙන් පඩුව නිර්මලීට තවදුරටත් ඇඳුම් ගන්නට තිබුනු උනන්දුව නැතිවී ගියාක් මෙන් දැනුනි. රශිඳු කුමක් හෝ දෙයකට හිත රිදවාගෙනය. අම්ම සම්බන්ධයෙන්ද? 

කෝප ගත්විට යකෙක් වන මේ තරුණයා ; හිත රිදුන විට පූස් පැටියෙකු සේ තමා ළඟ උණුසුම සොයයි. 

" නේහා මම ජෙන්ට්ස් සෙක්ශන් යනවා"

එසේ කියමින් නිර්මලී ආපසු හැරුනේ රශිඳුට තමා ගත් ඇඳුම් වලට අමතරව තවත් දෙයක් සිහිවීමෙනි. සෝපානයෙන් නොයා එක මහළක් ඈ පියගැට ඔස්සේ පහළ මහළට බැස්සේ ඔරලෝසු තිබෙන කොටස නැවත සිතින් ආවර්ජනා කරමිනි. 

සෝපානය තිබෙන කොටස පසුකරත්ම නිර්මලීගේ ඉන අසළින් තදවූ දෑත් සමඟ ඇසුනු කටහඬ නිර්මලී ඈතට විසිකරවා දැමින.

"නිර් ආන්ටී......!"

කුඩා ජේනුක තමන්ට නැතිවී තිබූ ප්‍රියතම සෙල්ලම් බඩුවක් නැවත හිමි වූවා සේ ඉතා තදින් නිර්මලී බදාගෙන සිටියේ නිර්මලීගේ මුලින් පුදුමයෙන්ද දෙවනුව දාරක ප්‍රේමයෙන් දෑසද තෙත් කරමිනි. ඈ පහලට නැමී ජේනුක තවත් තදින් වැලඳ ගත්තාය.

".. I missed you my cutie pie.."

නිර්මලීගේ කඳුළු අතරින් නැගුනේ සිනාවකි. ඈ ඔහුව සුරතල් කරන්නේ එලෙස කියමිනි.

" Me too my cokie "

දෑස වසාගෙන සිටි නිර්මලීගේ දෑස විවර කරනවාත් සමඟ ඈ අසළ වූ ඇඳුම් රැක් අතරින් මතුවූ රුවේ දෙදණින් පහළ කොටස දුටු වහාම නිර්මලී නැගී සිටියේ ජේනුක නොතකමින් මෙනි. ඈ සිටගත්තේ ඒ රුවට පිටුපාය.

".. කොහොමද මගේ කුකී. අනේ මගේ කොල්ලා ලස්සන වෙලා , උස ගිහිල්ලා.. හැන්ඩ්සම් වෙලා.. "

නිර්මලී කියවාගෙන ගියේ බෝලගෙඩියක් වී සිටි ජේනුක තරමක් කෙට්ටු වී සිටි නිසාදෝ දැනුන දුක සඟවා ගනිමිනි. නමුත් ඔහුගේ තරුකැට වන් කුඩා දෑස දිලිසේ.

" ආන්ටි නැතුව ජේනු දුකෙන් දුකෙන් හිටියා.. ඩඩා නෝටි මාව ආන්ටි ගාවට ගෙනාවෙ නෑ.. ඩඩා නෝටි.. ඩඩා නෝටි.. Mama calling me brat.. She's naughty too.. "

ඔහු පසුපසින් දෑත් සිය කලිසම් සාක්කු වලට රුවාගෙන බලා සිටිනා සිය පියා පෙන්වමින් චෝදනා කරද්දී නිර්මලීගේ පපුව පිලිස්සී ගියේ ජේනුකගේ ගතවූ සමය ගැන පලවූ ඉඟිය නිසා වේදනාවට පත්වෙමිනි. නැඟුනු කඳුලු නිර්මලී වහා පිසගෙන ජේනුකගේ දෑතින්ම අල්ලා ඔහුගේ බෙරිවූ මුහුණ තමා දෙස හරවා ගත්තාය.

" ජේනු මේ අහන්න.. ආන්ටි ගොඩක් දුර හිටියේ.. ඒකයි එන්න බැරි උනේ.. ආන්ටි ඒකට සොරි කියනවා.. මගේ චෑම්ප් රණ්ඩු කරන්නෙ නෑ කියලා ප්‍රොමිස් උනා නේද ආන්ටිට? හ්ම්ම්.. "

ඈ නැවතත් ජේනුව වැළඳගත්තේ ආදරයෙන් නිසා ජේනුක සන්සුන් වූයේ සැනෙකිනි.

" ප්‍රොමිස්! සොරි ආන්ටි!!"

" දැන් මගේ බිග් බෝයි ඇඳුම් ගත්තද? "

" අපි වින්ට ක්ලොද්ස් ගත්ත. තව සපත්තු ගත්ත.. අර බූල් බූල් ඒව ගත්තා.."

ජේනුක කියන්නක් ඈට එතරම් වැටහුනේ නැත. නමුත් ඈ ඊට පිලිතුරක් නොදී ජේනුකගේ හුරතල් කට දෙස බලා හිස අතගෑවේ ඔහුගේ අතේ ග්‍රහණය තවත් තීව්‍ර කරමිනි. 

"... ඩඩා.. අපි ආන්ටි අරගෙන යමු?"

කියවිල්ල අතර එකවරම යමක් සිහිවී මෙන් කියූ ජේනුක නිර්මලීට පසුපසින් උන් රුවට පැවසීමත් සමඟ ඈ හුස්මක් අල්ලා ජේනුක දෙස බැලුවේ මවාගත් සිනාවකිනි. 

" කමලා.. ජේනුට අර frozen yogurt අරගෙන දීලා එතන ඉන්න මම එනකල් .... වන් අවර්"

" යේයි!"

පසුපසින් ඇසුනු හඬ සමඟ නිර්මලීගේ කොපුලක් සිපගත් ජේනුක සේවිකාව සමඟ නික්මයන නිසා නිර්මලී එලෙසින්ම ආපසු නොහැරී ඉදිරියට පයක් තැබූවද , ඇගේ මාර්ගය හරස්කොට අයෙක් සිටගත්තේ නමුත් නිර්මලී හිස ඔසවාවත් බැලුවේ නැත. හදවත ගැහෙන්නේ කෝපයේ ආවේගයෙනි.

" Nir.. I want to talk to you"

" There’s nothing to talk. Get lost” 

ඇගේ උරහිස වෙත එන අත දුටු පමණින් ඈ ඇඟිල්ල උරුක් කරවා පසුපසට අඩියක් තැබුවේ වේගයෙනි.

" Don't you dare touch me!"

කෙලින්ම තමාගේ නෙත් වෙත එල්ලවී තිබුනු ඒ දෑස්වල ඇති ක්‍රෝධයයේ සිළුව විසින් ප්‍රථම වරට අසලංක බියපත් කර තිබිණ.

" නෑ... සොරි.. ටච් කරන්නෙ නෑ. ප්ලීස් නිර්.. මට ඔයාට කතාකරන්න ඕන"

" කතාකරන්න දෙයක් නෑ."

" I'm sorry Nir. වෙච්ච දේවල් වලට සමාවෙන්න.. "

නිර්මලී ඉවත බලාගත්තේ වේගයෙන් ඇසිපිය සළමිනි. ඒ සමඟම ඇඳුම් රැක් අතරින් මතුවූ නේහා ඔවුන් දෙදෙනා දැක ගල්ගැසුනාය.

" let's go Neha!"

නිර්මලී වහා නේහා සමඟ ඉක්මනින් සෝපානය අසළවූ පියගැට අසළින් පහලට බැස ගියේ අසලංක ඒ දෙස බලා සිටියදීමය.

ඈ එන්න එන්නම හැඩවන අපූරුව!

නේහා ආපසු නොහැරී වුවත් වේගයෙන් යන නිර්මලීට මදක් ප්‍රමාදව  සිය දකුණතේ මැද ඇඟිල්ල ඔසවා අසලංකට හොඳින් පෙනෙන පරිද්දෙන් එසවූයේ අසලංකගේ මුහුණ කළුවී යද්දීය.

" මොනාද අරූ කිව්වෙ?"

නේහා වාහන අංගනයට පැමිණි වහා ඇසුවේ එතෙක් ගන්නට සිටි සියල්ල ඔවුන් දෙදෙනා එතැන දමා පැමිණි බවට කිසිවක් නොකියමිනි. නිර්මලී සිටියේ වෙව්ලමිනි.

" මුකුත් නෑ.. "

" මුකුත් නෑ? නිර්මලී මේ!"

නිර්මලී කලබලයෙන් මෙන් නේහාගේ දෑත් අල්ලා ගත්තාය.

" නේහා.. රශිට කියන්න එපා.. එයා දුක්වෙයි "

නේහාට ඒ ඉල්ලිම ගැන අහිතක් නොසිතුනත් ඈ සිටියේ අසලංකට හොඳවයින් දෙකක් කියන්නට නොහැකි වූ ආවේගයට වෙව්ලමිනි. 

"... මම අසලංකට බය නෑ. ජේනු ගැන දුකයි ; ගොඩක් දුකයි.. මට හිතෙන්නෙ ජේනුව රට ගෙනියනව වගේ"

නේහාගේ හුස්ම සිරවන්නේ එවිටයි. ඈ වහා කෙටි පණිවිඩයක් රංගට යවන්නේ නිර්මලී වාහනය තුලට නගින අවසරයෙනි.

" මම ඩ්‍රයිව් කරන්නෙ!"

නේහා රියදුරු අසුන පැත්තේ උන් නිර්මලී දෙස බැලුවේ සරදමට මෙනි.

----------------------------------------

ආපසු එන ගමනේ සිය මව වූ මීනා හමුවී ඇගේ දුක සැප විමසූ නිර්මලී  ඒ වනවිට සිය සැමියා මිය යාමෙන් සන්තාපයේ උන් ඇගේ සිත හැදුවේ එළැඹෙන සති අන්තයේ ඈ ඒ වනවිට ඉතිරි කාලයේ ඩුබායිහි පදිංචිව සිටිනා ඇගේ පුතෙකු වෙත යාමට සුදානම් වී සිටි නිසාය. 

" අම්මා මම ගැන දුක් වෙන්න දෙයක් නෑනෙ. මම හොඳින් ඉන්නව. "

රශිඳු ගැන හෝ වෙනත් ආරංචියක් ගැන ඈ දැන නොසිටීම ගැන නිර්මලීට දැනුනේ මිශ්‍ර හැඟීමකි. තමා එනතුරු වාහනයේ ඉන්නට නේහා එකඟවූයේ දුරකතන ඇමතුම් කිහිපයක් නිසා වුවත් තවමත් ඈ තමාගේ මව බව දන්නේ නැත. 

දෛවය කෙතරම් සරදම් කරනවාද? පියා විසින් විකිණී ගිය; මවක් සිටියද ඒ ගැන ලොවට රහසේ තබාගන්නට සිදුවූ තමන්ට, රශිඳු ගැනද එල්ලවන්නේ අන්තිම පහත් චෝදනාය. 

Instagram ගිණුම සාදා දුන් පසුව ඉඳහිට ගොස් බලන්නේ තමාගේ සන්තකය වූ රශිඳුගේ ගිණුමේ සැමදාම යාවත්කාලීන වන ඔහුගේ කඩවසම් රුවයි. 

' ඔයා වගේ කොල්ලෙක් මොකද අනේ අර නාකි ආච්චියෙක්ට රැවටුනේ රශිඳු?'

' @ස ඇන්ටි' 

එවන් අදහස් පසුවදා වනවිට අතුරුදහන් වනවා කියා පමණක් නිරීක්ෂණය කල ඈ සිතුවේ රශිඳු තමන්ට වඩා කෙතරම් ශක්තිමත්ද කියාය.

සවස් වරුවම නිර්මලී සමඟ සිටින්නට නේහා තීරනය කලේ දරුවන්ගේ පාසල් නිවාඩුව නිසා ඔවුන් සිටියේ මහගෙදර බැවින් හා රංග ලබාදුන් උපදෙස් නිසාය.

රශිඳු නැති පාළුව නිර්මලීට දැනුනත් ඔහු සිය මව සමඟ සිටිනා බව හිමාල් හරහා තහවුරු කරගත් පසුව තරමක සැනසෙන්නට සිතා දෙදෙනාම බැල්කනියේ වූ සෝෆාවේ වැතිර කඩචෝරු කමින් නොයෙකුත් ඕපාදූප කතාකලේ අසලංක යන මාතෘකාව හිතාමතා මගහරිමිනි.

 " මොකක්?? "

නිර්මලී විසල් කරගත් දෑසින් යුතුව නේහා දෙස බැලුවේ පුදුමයෙන් අහසට විසිවෙමිනි. හිමාල්ගේ තත්වය කියූ නේහා මෙවන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුව සිටියාය.

නේහා තමන් කියූ දෙය තහවුරු කරන්නට මෙන් හිස ඉහල පහල හෙලුවේ ඈ අත වූ කෝපි කෝප්පය කෝපි මේසය මත තබමිනි.

" හිමාල් අය්යා පව් නිර්! මට නම් හිතාගන්න බෑ"

නිර්මලී වේගයෙන් සිය නළලත පිරිමදින්නේ සිත සන්සුන් කරගන්නට උත්සහ කරමිනි. නේහා පවසන්නේ හිමාල් සහ දුලීකා දෙපල වෙන්වූ බවත් හිමාල් දරු දෙදෙනා සමඟ තාවකාලිකව ඔවුන් හා සිටින බවත්‍ ය.

" අනේ නේහා.. මට දුලීකා අක්කට කතාකරන්න ඕනෙ. Definitely මේක misunderstanding එකක්.. මම කතාකරන්නම්.. ඉන්නකො"

ඈ සිය දුරකතනය අතට ගනිමින් පවසද්දී නේහාට ඈ ගැන දැනුනේ සානුකම්පිත හැඟීමකි.

" නිර්... වැඩක් නෑ. අපිත් කතාකලා... Misunderstanding එකක් නෙවෙයි , ටිකක් complicated වැඩක්.. දුලීකා අක්කාට කතාකරන්න බෑ එයා මාර විදියට වෙනස් වෙලා"

නිර්මලීට මෙය අදහාගත නොහැකිය. හිමාල් මෙන්ම දුලීකාද ඈට මවක් මෙන්ද යෙහෙළියක් මෙන්ද ඉතා ආදරය කළාය. රැකවරණය ලබාදුන්නාය. මෙවන් දෙයක් වී ඇතිනම් තමන්ගේ විපතේදී උපකාර කල පරිද්දෙන්ම තමන්ද මැදිහත් විය යුතු නොවේද?

" අනේ ඒ උනාට.."

" නිර්! උඹ එහෙම යන්නෙ නෑ ඕක මැද්දට!! හිමාල් අය්යා කියන්නේ ඩිවෝස් එක දෙනවා කියලා. ළමයි දෙන්න එයා ගාවට ගනී. අකිත් නම් දුලී අක්කා එක්ක තරහෙන් ඉන්නෙ. කොල්ලා දුලීකාට බැනලා තියෙනවා රංගත් අහගෙන"

" අනේ මගේ කොල්ලා.. පව් අනේ ඌ ගොඩක් ආදරේ හොයනවා.. අනේ නේහා ඌව අපේ ගෙදර ගෙනාවෙ නැත්තෙ ඇයි? ඇයි මට නොකිව්වෙ? ඇයි නේහා මාව මෙච්චරම පිට කෙනෙක් කලේ.. ? මම රශි අසලංක එක්ක රණ්ඩු උන බවක් දන්නෙත් නෑ, මේක දන්නෙත් නෑ.. වෙන මොනාද නේහා මගෙන් ඔයාලා හංගන්නෙ?"

ආවේගය නිසා නිර්මලී කියවාගෙන ගියේ නේහාගේ සිත තිගස්සවා දමමිනි. නිර්මලීගේ පළමු අනතුරේදී සිදුවූ කරදරය ඈ නොදනිතත් කුමක් හෝ යමක් හිමාල් සහ දුලීකා සැඟවූ බවට මතකයක් ඇත. 

" එහෙම නෑ බං පිස්සුද ? උඹට කරදර වල කෙලවරක් නෑනෙ. ඒ හින්දා කියන්න හිත දුන්නෙ නෑ. අනික.. මේ සීන් එකේදි ඔයාට තියා අපි දෙන්නටවත් හිමාල් අය්යාට උපදෙස් දෙන්න බෑ. එතන වෙන කේස් එකක් තියෙනවා දුලීකා අක්කගෙ. අකිත් දැකලත් තියෙනවා "

නිර්මලීගේ දෑස නතර වූයේ නළලතයි. ඒ සමඟම අකිත් පෙර දවසක කී කතාවක් වහා ඈඳී ගියේය.

' නිර් ආන්ටි.. අම්මව මම ඉස්කෝලේට එක්කගෙන යන්න ආසා නෑ'

අකිත් එසේ පැවසුවේ පෙර දිනයක හිමාල්ගේ නිවසට ගොස් ඔවුන්ගේ සේවක ප්‍රශ්නය විසඳා , රාත්‍රී ආහාර වේල අවසන හිමාල් හා දුලීකා එහා මෙහා වනතුරු සිටය.

තමන් ඒ මොහොතේ අකිත්ට අම්මා කෙනෙකුගේ ඇති වටිනාකම ගැන තරමක දේශනයක් දුන්නා සිහියට නැගී හීල්ලිනි. 

' අනේ මට කොල්ලා කියපු දේ තේරුනේ නෑනෙ! කීයටවත් හිතනවද එහෙම දෙයක් දුලීකා අක්කා කරයි කියලා ?'

" අනේ පව් නේහා.. මම හිමාල් අය්යට කතා කරන්නම්. ඒ දෙන්නව මෙහෙ ගෙනත් බස්සන්න. මට පුලුවන් දෙන්නව බලාගන්න. අකිත් මැලේශියාවේ යුනි එකක් බල බල හිටියේ මගෙත් එක්ක. අකිත්මා ඒ ලෙවල් කරයි මෙහෙ ඉඳලා"

නේහා දෙබැම හකුලා ඈ දෙස බැලුවාය.

" අම්මෝ ඔව් උඹේ කොල්ලනෙ.. කට ඇරියොත් නිර් ආන්ටි... නිර් ආන්ටි. අපි කොච්චර කලත් උටත් ඕනෙ උඹවම තමයි. කෙල්ල උඹ වගේ ඇඳුම් තෝරනවා මම අහගෙන.. නිර් ආන්ටි එදා ඇඳගෙන හිටියා වගේ ගවුමක් ගගා.. අම්මප කිසි වැඩක් නෑ අපි කරන ඒව මුංට!"

නේහා කට හදමින් කියවාගෙන යද්දී නිර්මලී ඇගේ ගෙලේ එල්ලුනේ සිනාසෙමිනි.

" අන්නේ.. නෑ පැටියෝ..  ඌ ඉතින් මගේ first baby නේ. තරහා ගන්න එපා අනේ.. ඔයාට ඉන්නේ ඔය දෙකක්ම ගෙඩි පිටින් හුරතල් කරන්න "

නේහාට සැබෑ ලෙසම දුක සිතින. නිර්මලී දරුවන්ට කෙතරම් ආදරේද? තමන්ගේ දරුවන් දෙදෙනාද නිර්මලීට දක්වන්නේ අසීමිත ආදරයකි. 

".. නේහා ඔයයි රංගයි දෙන්නා නම් මාරම හොඳයි. ඔයා කරන උදව් වලට මට කවදා වන්දි ගෙවන්න වෙයිද දන්නෙ නෑ නේහා!"

නිර්මලීගේ සංවේදී වචන වලට නේහා ඈ පිලිතුරු වැලඳගැනීමක් කලේ හදවත නගන පැනය ඇගෙන් ඇත්තටම විමසනවාද කියා තෝරාගන්නට කාලය ගනිමිනි.

" නිර්.. උඹ මගේ බෙස්ටා.. මට උඹයි අනූජයි කරපු උදව් මට මීට වඩා වැඩී. ඊටත් නිර්.. උඹ වගේ යාළුවෙක් මගේ ජීවිතේ කවදාවත් හම්බවෙන එකක් නෑ. අනික් එකා අර පිස්සා රශියා.. ඌටත් මම හරි ආදරෙයි "

නිර්මලීගේ සිත උණුසුම් සහෝදරත්වයෙන් පිරී යද්දී අවසන් වැකිය සමඟම වහා නේහා දෙස අමුතු බැල්මක් පාකර හරින්නේ නේහා මහ හඬින් සිනාසෙද්දීය.

" මේ මේ මේ... අනූජ නම් කමක් නෑ. රශි නම් අතෑරපං මම නොකිව්වයි කියන්න එපා!"

" ඒ මොකෝ ඒ? "

" ඒක මේක ඕන නෑ එහෙම තමයි! මම බලාගෙන එදා හෙන කයිවාරුව රශි එක්ක හිකි හිකි ගගා... ඉඳපං මම රංගට කියන්න!"

නේහා ඇස් කරකවා සිනාසුනේ පුදුමය පලකරන පෙනුමක් ආරූඪ කරගනිමිනි.

" මගෙ අම්මෝ මේකිගෙ සැර! අනූජ ඉන්න කාලෙ හාවා වගේ ඉඳල දැන් විතරක් මොකෝ මේ? මම විතරක් නෙවෙයි හරිද.. මුලු ලංකාවෙන්ම කෙල්ලො සීයට පනහක් රශියාට වැටිල ඉන්නෙ. හොඳම යාළුවා හින්දා මම පොඩි ඩිස්කවුන්ට් එකක් දෙන්නම්"

නේහා ඉඟි මරමින් කියද්දී දෙදෙනාම ඇති වෙන්නට ඊට සිනාසුනේ සෑහෙන කාලයකිනි. 

".. ඇත්තටම උඹල දෙන්නට ඇස්වහ නම් වදින්න එපා දෙවියනේ.. හරි ලස්සන කපල් එක. "

නිර්මලී සිනාසුනේ සතුටිනි. 'සැමදා නියං එකදා වැහි වලාවේ' මෙන් ජීවිතයේ යම් යම් කාලවල් වලදී තමා ලද ගැහැට කෙමෙන් වියැකී යමින් ඇති බවට ඈද තරමක් විශ්වාස කළාය. 

"... එකම දේ ඉතින් කොයි වෙලේ බැලුවත් make out කරනව"

නේහා නිවස දෙදෙරා යන්නට තරම් හඬින් සිනාසෙද්දී නිර්මලී ‍රතුවූ වතින් සිටියා විනා කියන්නට යමක් නොවිනි.

" අනේ..  !"

තම සිනාව නතර කල නේහා නිර්මලී දෙස බැලුවේ සැබෑ ආදරයෙනි. ඇත්තටම ඈද නැවත ඉපදී ඇති බවකි. මුහුණේ මතුවූයේ බැරෑරුම් බවකි.

"මට නම් හිතාගන්න බෑ ඇත්තටම ඒ උඹද කියලා! You two are so cute! ඇත්තටම නිර් මට මාර සතුටුයි!! උඹට උරුමයි ඒ වගේ ආදරයක්.. අනූජවත්.."

" නේහා.. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා "

නිර්මලීගේ හඬ සහ වත පැවසුවේ කුමක් හෝ බරපතල යමක් බව නිසා නේහා සිය පුටුවේ හිඳගෙන මදක් ඉදිරියට නැමී ඈ දෙස මෘදුව බලා සිටියාය.

" මොකක්ද ?"

" මෙහෙම කිව්වට සමාවෙන්න.. අනූජවයි රශිවයි කම්පෙයාර් කරන්න එපා. අනූජ ගොඩක් වෙනස්."

නිර්මලී හුස්මක් ඉහලට ඇද බිම බලාගත්තාය. නේහා ඇගේ ඉරියව් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරමින් උවමනාවෙන් අසා සිටියේ සිය මිතුරියගේ පාපොච්චාරණයයි.

 "..  අනූජ තමයි දෙවියෙක් වගේ මාව හිටපු අපායෙන් බේරගෙන මේ තැනට ගෙනාවේ. එයා ගැන මගේ හිතේ තිබ්බේ සීමාවක් නැති ගෞරවයක්. අනූජට මම ආදරේ කරන්න පටන්ගන්නකොට මම පොඩි කෙල්ලෙක්.. එයා හරි ඉවසීමෙන් මාව ආරක්ෂා කලා. මට හිතෙනවා අනූජව හිතේ තියාගෙන හිටපු කාලේ දැන් මගේ ඉවරයි කියලා. එයාට යුතුකම් කරලා හිත සැහැල්ලු කරගත්තා මම"

නේහා ඇගේ අත මෘදුව අල්ලා ගත්තාය.

"...  අනූජව හිටපු තැනට රශි ගන්න බැරුව මම සෑහෙන්න එයාට රිද්දුවා නේහා. මම හිටියේ confuse වෙලා.. මගේ අතින් රශිඳුට සෑහෙන්න වැරදි උනා. වෙන කෙනෙක් නම්... ( නාසය උඩට අදිමින්) වෙන කෙනෙක් නම් මාව එක්කෝ මරලා.. නැතිනම් දාලා ගිහින්.. රශි වෙනුවෙන් මම අනූජ එක්ක තිබ්බ අතීතය මකලා දානවා නේහා.. පව් එයා ගොඩක් විඳෙව්වා ඒ හින්දා"

නේහාගේ හදවත උණු වී වැගිරුනේ උණු කඳුළු ලෙසින් වුවද පුදුමයකට නිර්මලී හැඬුවේ නැත.

"..... පෙනුමෙන් එකවගේ උනාට අනූජට වඩා රශි ගොඩක් වෙනස්.. ගොඩක්ම වෙනස්.. "

නේහා ඈ සිය උරයට වාරු කරගත්තේ ඈ තේරුම් ගත්තාක් මෙනි. 

ඈ පවසන්නේ සත්‍යකි. අනූජ නිසා ඈ තනාගෙන සිටි ශක්තිමත් බැමි කෙතරම්ද යත්, රශිඳු දැකීමෙන් පුපුරා ගිය ඒ බැම්මේ ඇති හිඩැස් අතරින් රිංගූ අවස්ථාවාදී අසලංක විසින් ඈ හෙලනු ලැබුවේ සුළුපටු අනතුරක නොවේ. එයින් අහිමි වූයේ දෙදෙනාගේ ප්‍රේමය සනිටුහන්කල දරුවෙකි!

" සොරි නිර්.. ආයෙ එහෙම වෙන්නෙ නෑ. රංගත් මට ඔය කතාව කිව්ව. රංග තවත් දෙයක් කිව්ව.."

නිර්මලී අපහසුවෙන් නගාගත් සිනාව සමඟ මේසය මත සීතලව ගිය කෝපි කෝප්පය අණ්ඩෙන් ඇද්දාය.

"මොකක්ද? "

" අපි පොලිසියට යනවා අසලංක මිහිඳුකුලසූරියට විරුද්ධව.. උඹ ඒකට කොහොමහරි කැමති වෙන්න ඕන"

නිර්මලීගේ මුව විවර වූයේත් අතේ පැටලුනු කෝප්පය නොවැටී බේරුනෙත් එක විටෙකය. 

---------------------------------------------------

සුසුම්වල හඬ වෙනදාට වඩා දැඩිව ඇසුනු නිසා නිර්මලීගේ මුවේ ඇඳුනේ සිනාවකි.

" මොකෝ මේ දැන්?"

රශිඳු ගත් කටටම කියූ දඟකාර ; නොහික්මුන කතාවට නිර්මලීට පැන්නේ සිනාවකි. ඈතින් බැල්කනියේ කා සමඟ හෝ දුරකතනයේ සංවාදයක උන් නේහා ' ඇයි' කියා ඇසුවේ ඒ සමඟය. 

" අනේ.. පුදුම කටක් මේක නම්! ඇත්තටම රශි... "

" හ්ම්ම්ම් හ්ම්ම්ම් එදත් ඔයා කිව්ව. අනේහ්.. අනේහ් ගගා.. "

මොහු සමඟ නම් කතාකරන්නට ලේසි නැත. ඈ අදහස අතහැර ගත්තේ රතුවූ වත නිසා පමණක් නොවේ. 

" මොකද මේ රෑ? "

" මට ඔයාව බලන්න ඕන"

" අන්නේ... ඉතින් ඔයා හෙට එනවනේ.. "

ඇමතුම විසන්ධිව ගිය අතර එසැනින් face time ඇමතුමකි. නිර්මලී එයට පිලිතුරු දුන්නේ මදක් වටපිට බලමිනි. නේහා බැල්කනියේ නැත.

දුරකතනය මත වැටුනු රශිඳුගේ රුව දුටු සැනින් ඇගේ නෙත්වල සටහන් වන දීප්තිය රශිඳුට වහා හඳුනාගත හැකිය. ඔහු මද වේලාවක් තමාගේ ප්‍රේමිය දෙස බලාගෙනම සිටියේ සුපුරුදු මනමාල බැල්මෙනි.

"මොකෝ මේ රැවුල කපලා නැත්තෙ?"

නිර්මලී අසන්නේ ඔහුගේ දෑස දෙසම බලාගෙනය. ඔහු දෑස සිහින් කලේය. ලාවට වැඩෙන රැවුල නිසා ඔහුගේ පෙනුම තවත් සරාගී කරමිනි.

'හොට්නස්!'

සුදුත් නැති කලුත් නැති ඒ වත පුරාම ඇත්තේ අධිමාත්‍ර ප්‍රේමයයි. 

" රැවුල ටිකක් වවනවා.. ලස්සනයි නේ?"

" හ්ම්ම් හ්ම්ම් ඔව් මම දැක්ක කෙල්ලොන්ට පේන්න පින්තූරත් දාලා"

" කෝ ඉතින් ලයික් කරලා නෑනෙ! "

" හරි හරි කරන්නම්"

පොඩි එකෙකු සේ හුරතල් වන ඈට ඇත්තේම තමන් අවුළුවන ලතාවන් ය. තවත් මොහොතක් ඔහු ඒ රූ සපුව වින්දේ ඇවිලෙන සිතුවිලි වලට වැට නොබඳිමිනි.

" baby girl.. හෙට මම එන්නේ.. හවස් වෙලා... හවස ගමනක් තියෙනවා.. "

නිර්මලී දෙබැම හකුලවා ඇසුවේ එම කතාව තරමක් අමුතු නිසාය. උදෑසන ඔහු පැමිණේයයි සිතු සිතට දැනුනේද දුකකි. 

" ගමනක්?"

" ඔව්.. ස්පෙශල් එකක්.. I am having a date "

නිර්මලී පුදුමයෙන් මෙන් තමාට ඇසුන දේ නිවැරදි දැයි නැවතත් ආවර්ජනය කොට බැලුවාය. 

" a d-a-t-e? What do you mean? Date with whom ?"

" Date with whom ගාන්නෙ. ඩේට් එකකට යන්නෙ කෙල්ලෙක් එක්කනෙ"

නිර්මලීගේ මුහුණ වෙනස් වූ තරම රශිඳුට නොපෙනුනා නොවේ. 

" හ්ම්ම්.. ඇත්තද? ෆෑන් කෙනෙක් වෙන්න ඇති"

" ආ.. ඔව් සෑහෙන්න ලොකු ෆෑන් කෙනෙක්"

" රශි.. "

" ඩේට් කරන්නෙ එහෙම ලොකු සීන් එකකට නෙවෙයි baby girl. It's just a meet up.. ගොඩක් රෑ වෙන්නෙ නෑ. "

" රශි! ඇති ඇති මම දන්නව ඩේටින් ගැන"

නිර්මලී මුහුණ ඉවතට හරවාගෙන පැවසුවේ ඔරවාගෙන ය. 

" ඒ කෙල්ලට එහෙනම් මම confirm කරනව"

නිර්මලී ඇමතුම විසන්ධි කලේ වේදනාවෙනි. රශිඳු ඇයි වෙන කෙනෙක්ව ඩේට් කරන්නෙ? ඒකද රශිඳු උදේ ඉඳලා අමුතු?

නැවත ආ ඇමතුම වහා සවනේ තබාගත් නිර්මලී හුස්මක් අල්ලනවාත් සමඟ සවනත වැකෙන්නේ ඒ ප්‍රේමනීය හඬය.

" baby girl... Congratulations! You won yourself a date with me!"


------------------------------ මතු සම්බන්ධයි ---------------------

4 comments:

  1. දැන් වනිදු ගේ ප්‍රශ්නේ හිත හිත ඉදපල්ලකො ඉතින්

    ReplyDelete
    Replies
    1. වනිඳු හැබැයි කරන දෙයක් තමයි හිතන්න බැරි... කියෙව්වට ස්තුතියි

      Delete
  2. අනේ සාදු. දෙන්නටම ජයසිරි මංගලම් එහෙනං. ජේනු නම් පවු. කාගේ උනත් දරුවෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. හි හි.... බලමු නේද? ඉක්මන් කොටයි කියනවානේ. ජේනු ගැන නම් දුකයි තමයි

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...