Wednesday, May 18, 2022

327: උන්මාද චිත්‍රාදෝ මා 59



රශිඳු දෙස ඈතින් බලා සිටිනා නිර්මලීගේ සිතට දැනෙනේ තරමක පීඩනයකි. රශිඳු සහ මේ නාඳුනන මිනිසා අතර කතාබහ එතරම් සුහද නොවන බව ඈට කිව හැකිය. 

ඔහුගේ මුහුණේ ඇති පෙනුමෙන්ම මේ දැන් දැන් පුපුරා යන්නට ආසන්න තරමට කෝපය තිබුණද, උඩු රැවුලක් ඇති ඒ ෆුල් සූට් කාරයා නම් කතාකරන්නේ සැහැල්ලුවෙනි. ඔහු ලාංකිකයෙකු නොවේද?

සිය උරයට ගෙනයමින් තිබුනු ඔහුගේ අත, රශිඳු සිය උරය පසෙකට කරගනිමින් වලක්වාලූයේය.

"... මේ මිස්ටර් මෙහෙතා... මම දැන් එකපාරකුත් කිව්වනෙ.. පලවෙනි දේ මාව මෙහෙම ෆලෝ කරන්න එපා. මම අද ප්ලේ කරන දවසක් නෙවෙයි. මම ආවේ පාඩුවෙ ඉඳලා යන්න මිසක් තමුසෙ වගේ ඩීල් කාරයෝ එක්ක මැච් ෆික්ස් කරන්න නෙවෙයි !"

රශිඳු දත්මිටි කමින් පහත් හඬින් පැවසුවේ සිය තොල් ඈත සිටිනා කිසිවකුට කියවාගන්නට නොහැකිවන පරිද්දෙනි. ඔහුගේ ඉංග්‍රීසී පැහැදිලිය; චතුරය.

මෙහෙතා මවාගත් සිනාවෙන් යුතුවම ඔහු දෙස බලා සිට ඔහුගේ උසැති ආරෝහපරිනාහ දේහයට වැසුනු දර්ශනය වෙත මදක් මෑත් වී බැලුවේය. රූමත් තරුණියක්! ඔහුව දිනාගන්නට එසේනම් එම ප්‍රයෝගය එතරම් ප්‍රභල නොවෙනු ඇත්තේ ඒ වනවිටත් තරුණියක් ඔහු සතු නිසාය. නමුත්.. ඒ වැන්දඹු ගැහැණියක් නොවේද? 

තමා මේ කාරණයට අවතීර්ණ වන්නට පෙර රශිඳු ගෝකුල නම් මේ තරුණයා ගැන සියළු තොරතුරු සොයාගත් අතර සාමාන්‍යයෙන් තරුණයෙකු වෙත එලඹෙද්දී සොයනා පලමු දුර්වලකම වූ ස්ත්‍රී ලොල් බවට අපූරු සොයාගැනීමක් විය.

' ඌ ඌට වඩා දෙගුණයක් වැඩිමල් ගෑනියෙක් තියාගෙන ඉන්නෙ'

ඊට අමතරව සොයාගත් කරුණු සමඟ මේ කාරණයට එන්නට මෙහෙතාට ධෛර්‍ය ලබා දුන් අනෙක් පුද්ගලයා සතුව තවත් රහසක් විය. තමන්ගේ අවසන් තුරුම්පුව ලෙස මෙහෙතා එය තබාගත්තේය.

" නෑ නෑ මිස්ට රශිඩු... එහෙම වැරදියට අර්ථකතනය කරන්න එපා. ඔබගේ පෙම්වතියගේත් ඔබගේත් කාලය නාස්ති කරන්න නෙවෙයි මම ආවේ.. මම මතක් කරන්න ආවේ හෙට බෝඩ් එකේ අනුමැතිය ලැබෙන්න නම් රශිඩු මම කියන කොන්දේසි වලට කැමති වෙන්න වෙයි. 

මොකද කිව්වොත්.. IPL එකේ අපි ඔබව දාන්න යන්නේ තියෙන මිල අධිකම කණ්ඩායමට. එතනට යන්න නිකන්ම බෑ කියන එක මතක් කරන එක මගේ යුතුකම.. බිඩින් කරන්නේ අපි කියන ලොජික් එකට! ඒ හින්දා මෝඩ වෙන්න එපා, අද රෑම මට තීරණය කියන්න.. "

" මම කිව්වනෙ.. හෙට වෙනකල් මට වෙලාව ඕනෙ"

" අපිට හෙට වෙනකල් වෙලාව නෑ මිස්ට රශිඩු..  අද රෑ වෙනකොට බෝඩ් එක උත්තර දෙන්න එපැයි "

" තමුසෙ කියන්නෙ බෝඩ් එක මට හා කියන්නේ තමුසෙලට හා කිව්වොත් විතරයි කියලද?"

රශිඳු දෑතම ඉනේ තබාගෙන මෙහෙතා දෙස එක එල්ලේ බැලුවේ අභියෝගයට මෙනි. ඔහුට මෙවන් බැලුම් පුරුදු නිසා සිය කෛරාටික සිනාවෙන් රශිඳු දෙස බලාගෙන සිටියේය.

" රශිඩුට දැන් නම් ක්‍රිස්ටල් ක්ලියර් මම හිතන්නෙ"

ඔහුගේ හිස අවුල්වී ගොස් සුසුමක් නැගුනේ ඉබේටමය.

" මම රෑ නවයට උත්තරයක් දෙන්නම්. හැබැයි තමුසෙ ආයෙ මම යන යන තැන පස්සෙන් එන්නෙ නෑ.. එහෙම උනොත් මම පොලිසියට පැමිණිලි කරනව"

මෙහෙතාගේ මුවේ ඇඳුනේ සෝපහාස සිනාවකි.

" මිස්ට ගෝකුල තමන්ගෙ ක්‍රීඩා වෘතිමය ජීවිතේ ගොඩාක් කෙටි කෙනෙක් වෙනවට මම පුද්ගලිකව කැමති නෑ. රැලි වලට විරුද්ධව පීනන්න ගිහින් නොගැඹුරු මුහුදේ ගිලෙන්නෙ මොකටද? ඒවා වෙනස් කරන්න ගියාම වෙන්නේ නිකංම තමුන් නැතිවෙලා යන එකනෙ.."

එය එක්තරා ආකාරයෙන් තර්ජනයක් බව රශිඳුට නොවැටහුනා නොවේ. 

ජීවිතේ සෑහෙන කාලයක් පුරා නිදිවරමින් සහ කුසට අහරක් හෝ පවා නොමැතිව ආ ගමනේ ජාතික සංචිතය යනු අග්‍ර ඵලය යැයි සිතුවද, එම පඩියට ආ සැනින් විවර වූ ලෝකය තමාට කියාපෑවේ තව ලොකු ගමණක් තමන්ට යා හැකි බව නොවේද? 

කොහෙන්වත් ආ මේ හාල්පාරුවා මේ කරන්නේ අතරමැද සිට අයථා ලෙස එය මුදල් කර ගැනීමටය.

" මම තමුසෙට කිව්වෙ! රෑ නවයට..!! මතක තියාගන්නවා.. තමුසෙ හිතන ජාතියේ පෙන්දෙක් නෙවෙයි මම! මට බොරුවට තර්ජනය කරන්න එන්න එපා.. මම දැන් යන්න ඕන"

" අනිවාර්යයෙන් ! යන්න යන්න... ඔයාගෙ හොට් පෙම්වතිය බලාගෙන ඉන්නවනෙ.. වයස නම් හතලිහක් කියලා කියන්න බෑ කොල්ලා.. "

රශිඳුගේ යකඩ අත් මෙහෙතාගේ කොලරය වෙත යන්නේ අසුරු සැනෙකිනි.

" තොගෙ හොම්බ තලනව මම! @&$)$& !!"

මැර ඇස්වල ඇති මිනීමරු බැල්ම විසින් මෙහෙතා තරමක් බියට පත්කොට තිබුනද ඔහු විමතියට පත්වූයේ රශිඳු එලෙස කරාවි යයි කිසි විටෙකත් නොසිතූ නිසාමය. 

" රශි!"

මෙහෙතාගේ කොලරයෙන් අල්ලනු දුටු සැනින්, නිර්මලී සිය පුටුව වේගයෙන් මෑත්කොට රශිඳු වෙත දිව විත් ඔහුගේ මෙහෙතාගේ කොලරය අල්ලා ගත් අතේ එල්ලුනේ බියෙන් වෙව්ලමිනි. 

"... මොකද මෙතන වෙන්නෙ? Who are you? Rashi.. ?? "

නිර්මලීගේ නෙත් මේ රැවුල්කාරයාත් රශිඳුත් අතර මාරුවෙන් මාරුවට යද්දී රශිඳු වහා සන්සුන් වන්නට උත්සහ කලේය. 

රශිඳු මෙහෙතාව මදක් පසුපසට විසිවන්නට මෙන් අතහැරි අතර නිර්මලීට ඔහුව වැසී යන පරිද්දෙන් ආපසු හැරී සිටගත්තේ ඈද ආපසු හරවමිනි.

" baby girl... කිසි ප්‍රශ්නයක් නෑ.. අපි යමු"

සිය ආවේගය පාලනය කරගන්නට මෙන් ඔහු නිර්මලී සිය ලයට තදකොට හිස මත දෙතොල් තදකලේ ඉතා තදිනි.

ආපසු හැරී යන රශිඳු දෙස බලා සිටිනා මෙහෙතා සිය දුරකතනය වහා ගෙන ඇමතුමකට සම්බන්ධ විය.

".. නෑ සර්! අමාරුකාරයෙක්... ඔව් සර්.. නවයට සර්.. දහය වෙනකල් ඉන්න වෙයි සර්.. ඕකේ සර්... "

 -------------------------------------------------------------

දීර්ඝ දුරකතනය ඇමතුම අවසානයේ රශිඳු තමා වෙතම ප්‍රශ්නාර්ථයෙන් බලා සිටිනා නිර්මලී මගහැර සෝෆාවේ වෙනත් තනි පුටුවකට බර වූයේ හිතාමතාමය. 

නිර්මලී වහා නැගිට විත් ඔහු ඉදිරියේ බිම සිය දෙපාවල ඇඟිලිතුඩු වලින් හිදගෙන ඔහුගේ මුහුණ දෙස බැලුවේ හැඟීම් කියවන්නට උත්සහ කරමිනි. රශිඳු සිය සාක්කුවට යවන අත ඈ දෝතින්ම අල්ලා ගත්තාය.

රශිඳු ඈ දෙස බලා ඇගේ කොපුලක් මෘදුව ස්පර්ශ කලේ සුසුමක් සමඟිනි.

" මම කියන්නේ ඔයා මේ වෙලාවෙ දිමුත්ට කතාකරන එක හොඳ නෑ.. චාමිකයා කිව්ව විදියට එතන ඉන්නවා එකෙක් මේක තද කරන.. මට මැච් ෆික්සින් කරන්න බෑ මොනවා උනත් 

මම ප්ලේ කරන්නෙ රටට.. මුං කියන්නේ IPL performance තියාගන්න.. මට එහෙම කරන්න බෑ. මම මේ රටේ කොල්ලෙක්.. කොහොමද රට පාවලා දෙන්නෙ.. ?"

රශිඳු පැවසුවේ වේදනාවෙනි. අනතුරුව ඔහු සුපුරුදු පරිදි ඈ සිය පුටුවේ පසෙක හිඳුවා තමාට හේත්තු කරගත්තේය.

නිර්මලී සිටියේ කල්පනා බරවය. 

රැවුල් කාරයා පැමිණි හේතුව ඇසූ මොහොතේ නොව ඔහු දැක්මෙන්ම නිර්මලීගේ සිතේ නැගුනු එක නමක් විය. මේ මොහොතේ ඔහු රශිඳු මෙලෙස බිත්තියේ තබා අපහසුතාවට පත් කරන්නේ තමා නිසාද? 

ඔවුන් ඉල්ලන්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන විටදී සිය උපරිම දක්ෂතා නොදක්වා , ඉන්දියානු ප්‍රිමියර් ලීග් වලදී උපරිමයෙන් ක්‍රීඩා කරන ලෙසට සහතික වන්නටය. එසේ සහතික වනවා නම් පමණක් රශිඳුට එම තරඟාවලිය සඳහා ඉදිරිපත් වීමට තේරීම්කාරක මණ්ඩලය අවසර ලබාදෙන බව ඔවුන් පවසති.

මෙය අසාධාරණය! රටක සිටිනා ක්‍රීඩකයින් මෙලෙස මුදල් වලට පාලනය කරන්නට තරම් ඔවුන් තක්කඩින්ද? ඉන් රටට සිදුවන්නේ නැවත පිලිසකර කළ නොහැකි පාඩුවක් නොවේද? රශිඳු ගෝකුල නම් අති දක්ෂ ක්‍රිකට් තරුවට සිය රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නට මොවුන් ඉඩක් නොදෙන්නේද?

" රශි.. අපිට පොලිසියට යන්නත් බෑ. මට බෑ ඒ රිස්ක් එක ගන්න. අපි දන්නෙ නෑ උන් එහෙම කිව්වෙ ඇත්තටමද කියලා.. ඔයාගෙ career එක නැතිකරගන්න එපා රශි.. "

නිර්මලී රශිඳුගේ තලෙළු මුහුණේ රැවුල්කොට මෘදුව අතගා ඔහුව සන්සුන් කරන්නට උත්සහ කළාය. 

".. ඒ හින්දා.. Let me call Shashi.. එයාව විශ්වාස කරන්න පුලුවන්. දිමුත් බයර්ස් වෙලා හිටියත්.. ශෂී උදව් නොකර ඉන්න එකක් නෑ"

රශිඳු ඊට අකමැති වුවද තවත් බොහෝ කරුණු කීමෙන් අනතුරුව මේ ගැන ශෂී සමඟ කියන්නට එකඟකරවා ගන්නට හැකිවිය. අනතුරුව ඈට ඇමතුම ලබාගන්නේ චකිතයෙනි.

දෙවරක් නාද වූ සැනින් ශෂී එයට පිලිතුරු සැපයූවාය.

" කෙල්ල! මොකක්ද මේ වෙලා තියෙන්නෙ? රශි මොනාද මේ කරගන්න හදන්නෙ?"

නිර්මලී එකවරම ගල්ගැසී ගියේ මේ කියන්නේ කුමක් ගැනද යයි සිතාගත නොහැකි නිසාය.

--------------------------------------------

දුරකතන ඇමතුම නිමවීමත් සමඟම නොසන්සුන් ලෙස කාමරයේ ඒ මේ අත ඇවිද්ද අසලංකගේ වමත මිට මෙලවුනේ ඉබේටමය. 

කොකෝ වැරැන්ඩා හිදී අහම්බෙන් මෙන් ඇස ගැටුනු යුවල පසුපස ගොස් කොතරම් කැත වැඩක් වුවද ඔවුන්ගේ ආලිංගනය බලා සිටීමෙන් තමා තුල මෙතෙක් දිනක් හෝ ඉතිරිව සිටි අවසන් ප්‍රාණයක් වේ නම් එයද අහිමිව ගිය බවත්, එතැන් පටන් ධාරා සමඟ කතාබහෙන් පසුව සයනයේ උන් ඈ එලවාගන්නා තෙක්ම සිටි උන්මන්තකයා නැවත හිස ඔසවා ඇති බවත් අසලංකට පැහැදිලි වූයේ නැත. 

' කෙල්ලො දැකලා නෑ වගේනෙ උඹ මේ නටන්නෙ?!'

ඔහුගේ පාසල් මිතුරෙකු විසින් සාදයකදී නිර්මලී ගැන විමසූ සංවාදය නිමවූයේ එලෙසයි.

ඒ දිනවල ඈ සිටියේ ඔහුගෙන් ඈතය. ඔහු සෙව්වද නමක් හෝ සොයාගත නොහැකි විය. අහම්බෙන් දෛවය විසින් ඈ සිටියාටත් වඩා රූමත්ව සිය සිමා පන්තියේ පිපී සිටියාය. නමුත් අන්සතු මල් උයනකය. නරක කාලයකට පසුව ඈ වැන්දඹුව යලිත් තමා අසළම සුවඳ විහිදුවද, නෙලා ගන්නට නොහැකි උඩවැඩියාවක්ව උන්නාය.

දැන් ඈ වෙනත් පරසතු උයනකය!

දෛවය මෙතරම් තමා සමඟ කැත විහිලු කරන්නේ ඇයි? 

ඔබට යම් දෙයක් අයිතිනම් යන්නට හරින්න, එය නැවත නැවතත් ඔබකරා එන්නේ නම් එය ඔබේය.. 

දෛවය විසින් නැවත නැවතත් තමා අභිසය ඈ තබන්නේ නිර්මලී තමන්ගේ නිසා නොවේද? තරුණ රශිඳුගේ තුරුලට වී සිටින ඈ කෙතරම් අනුරාගීද? නොයෙකුත් විකාර කල්පනා නිසා අසලංක සිටියේ උමතු මිනිසෙකු ලෙසටය. 

එදිරිමාන්න තමාගේ කාර්‍යාලයට එන්නේ මේ සියල්ල අතරය. කෙතරම් පුදුම හමුවක්ද?

' ඕකිගෙ &@$ තිබ්බෙ කොහොමත් නළලෙ! දැන් ඔය අල්ලගෙන හිටියට! You take the *itch.. Leave the $ucker to me!'

එදිරිමාන්න එසේ කියූවද , අසලංක නෑසූ පැනය ඔහුට මගහැරී ගියේය.

පළමු වතාවට තමා මකා දැමූ පින්තූර ගැන අසලංක පසුතැවුනි. නමුත් වෙනත් යමක් සිහියට නැඟී ඉතිරිය එදිරිමාන්න සමඟ වහ වහා සැලසුම් වූයේ සතුරාගේ මිතුරා තමාගේ මිතුරා ලෙස සිතමිනි.

රශිඳු ගෝකුල තරුවකි! ඉන්දීය ක්‍රිකට් වල බැල්ම වැටුනු සියල්ල මුදල්‍ බව එදිරිමාන්න හොඳින් දනී. නිකන්ම මුදල් නොවේ බිලියන ගණන් ඩොලර්වලින් වන නිසා සියල්ල ස්ථීරසාර බව සහතික කරගත යුතුය. කුරුල්ලා නිදහස් කලයුත්තේ තටුවල අවශ්‍ය සැත්කම් වලින් පසුව බව පෙර අත්දැකීමෙන් එදිරිමාන්න දනී. නාහෙට අහන කුරුල්ලාට මීට පෙර තමාගෙන් බේරුනු කිසිවකුට මෙන් මුදල් බලයක් නැත.

' දුප්පත් හිටපු  හිඟන හමුදාකාරයෙක්ගෙ පුතෙක්!'

ඔහුට තොරතුරු පැමිණියේත් එලෙසය. දුර්වලකම ඇත්තේද වාසි සහගත සතුරෙක් සමඟිනි. ඒ දිනවල තමන්ට ලං වන්නට නොහැකි වු ඒ ගැහැනිය අසළ සිටි ඇඹලයා පසෙකට විසිවී ඇත. පුදුමය නම් එදා ඈ රකින්නට තමාගේ මග හරස්කොට ගත් පිරිමියා අද වනවිට තමාගේ චෙස් ක්‍රීඩාවේ නයිට්වරයෙකි.

ඉතින් මීට වඩා ලස්සන තණතිල්ලක් කොයින්ද , වඩා ප්‍රහාරාත්මක හයේ පාරවල් වලට?

'හිතං ඉන්නෙ එක්‍ටැම් ගේක ඉන්න කුමාරිකාවක් කියලා වෙන්න ඇති.. උඹ වටේ තියෙන එක එක වැටවල් මම කඩනවා මිසිස් ගමනායක ! හිමාල් කියන ඒ හිවලා ඉවරයි. ඊළඟට මිහිඳුකුලසූරිය... උඹේ ප්ලේ බෝයි දණ ගහනවා... උඹ ගිහින් වැටෙන්නේ පල්ලමක.. වරෙන් දණගාගෙන.. උඹ එදා කම්මුල්පාර දුන්නේ වැරදි මිනිහට..! මේ එදිරිමාන්න ගැන උඹ underestimate කලා.'



මේ අතර....

" මම කියන දේ අහන්න පොඩ්ඩක් රශි.. උන්ට ඕනේ ඔයාගෙ කැරියර් එක නැතිකරගන්න. මේ වෙලාවේ step back කරන්න.. දිමුත් කියන කතාව හරි"

නිර්මලී රශිඳුගේ ඉත්තෑකූරු කොණ්ඩය අතරින් සිය ඇඟිලිතුඩු යවමින් පැවසුවේ මෘදු හඬිනි. එතෙක් වෙලා සනීපයට වසා සිටි දෑස එකවරම විවෘත වී වේගයෙන් ඇසිපිය සලන්නට වූයේ ඔහුගේ වේගයෙන් හෙලන සුසුම් හා යාවෙමිනි.

" මට රට පාවලා දෙන්න බෑ baby girl"

" ඒක දිමුත් දන්නවනෙ. එයානෙ කැප්ටන්.. ඔයාව ටීම් එකේ තියාගන්න කියලා එයාට බල කරන්න පුලුවන්.. "

" ඔයා දන්නවනෙ.. මම එහෙම buyers වලට කැමති නෑ කියලා !"

ඔන්න ඉතින් කොච්චි මිරිස් සද්දේ!

" හරි.. ඉතින් ඔයා දැනටත් හොඳට perform කරලා තියෙනවා නේ! IPL වලට යනකොට මේවා වෙනස් වෙලා තියෙයි.. "

නමුත් හිතුවක්කාර කොල්ලා තවමත් ඔරවාගෙනය.

"... ඔයා ඉතින් වැඩ්ඩානේ.."

නිර්මලී හිස පහත්කොට ඔහුගේ නාසය දසන් අතරට තදකලේ ඔහුව සැහැල්ලු කරන්නට අවශ්‍ය නිසාමය. 

" ඌයි.. ඒයි! දෙනව දෙකක් මම!! කෝ එහාට යන්න... මට බැල්කනි එකට යන්න ඕන"

ඔහුට දුම්වැටියක අවශ්‍යතාවය තදින් දැනුනි. නිර්මලී එය තේරුම් ගත් සැනින් ඇගේ මුවේ ඇඳුනේ දඟකාර සිනාවකි. ඇගේ අත සිය උකුලෙහි හිස හොවාගෙන සිටිනා රශිඳු ගෝකුලගේ කමිසයේ ඉන අසල හිඩසින් ඇතුලට යන්නේ ඔහුගේ දෑස් ඉබේම ඈ වෙත පා කරමිනි.

" බැල්කනි? ස්මෝක් කරන්න නේද? ඒවා හඳේ හරිද! .. ට්‍රීට් එකේ තව ඉතුරු තියෙනවා සර්!"

රශිඳුගේ අඳුරු මුහුණට යන්තම් එළියක් වැටුන මුත් ඔහු නිර්මලීගේ ටී කමිසය ඔසවා ඇගේ බටර් පාට මෘදු කුසට මුහුණ ඔබා ගත්තේ සුසුමක් හෙලා සැහැල්ලු වීමටය.

"එහෙනං මට ඉන්න දීපං මගුලක් කරන්නෙ නැතුව! ඔලුව අවුල් වෙලා තියෙන වෙලාවෙ"

"හ්ම්ම් එතකොට මොකද අර අත්.. මේ අත් මොකද මෙතන කරන්නෙ?"

නිර්මලී ඒ ඉත්තෑකූරු කෙස් වලින් අල්ලා ඇද්දේ ඉවසා සිටිය නොහැකි නිසාය.

" මට මෙහෙම ඉන්නෝන... මේ මැඩම්ට ඕනෙ දේවල් පස්සෙ.. ඉන්න දීපං මට පාඩුවෙ"

" රශි මේ... ඒව හරියන්නෙ නෑ හරිද! මැච් ගැහුවා.. මහන්සි ඒව මේව කියාගෙන එන්න ගත්තද ඒපාර... මට දැන් ඒ කතා හරියන්නෙ නෑ. බැරිනම් කියන්න මට වෙන මොකක් හරි කරගන්න බැරි කමක් නෑ හරිද?"

" වට්??"

ඈ පෙරලා ගන්නට ඒ හොඳටම ඇතිය. නිර්මලී පොඩි එකියක සේ සිනාසුනාය. 

' යකෝ මේකි!'

"ඇයි ඇහුනෙ නැද්ද? මහ ලොකුවට කට විතරයි.."

" කට විතරක් නෙවෙයි මැඩම් ලොකු.. ඇයි බලන්න ඕනද? ගූගල් කරල හරියන්නෙ නෑ ඒවට!"

ඉන් මතුව රශිඳුට එතෙක් සිටි පීඩනයක් සිහියට පැමිණියේ නම් නැත. ඈ මෙතරම් වේගයෙන් සහ බුහුටි ලෙස ඔහුටම කැපෙනා ආකාරයේ ආදරවන්තියක් වූයේ කෙලෙසකද? 



ඉන් හෝරාවකට පසුව මෙහෙතාගේ දුරකතනය නාද වන්නේ වෙලාව රාත්‍රී හතේ කණිසම සටහන් වෙද්දී ‍ය. ඔහු එකවරක් නාද වන සැනින් එයට සම්බන්ධ වූයේ එතරම්ම ඒ ඇමතුම බලාපොරොත්තුව සිටි නිසාටත් වඩා මෙතරම් කලින් එය ලැබීමේ කුතුහලය නිසාමය. 

" කියන්න මිස්ට "

අනෙක්පසින් ලැබුණු පිලිතුර නිසා ඔහු රාත්‍රී ආහාරයට හිඳගෙන උන් තැනින් නැගී සිටියේ හෝටල් සංකීර්ණයේ පසෙක පෙනෙන අඩ අඳුරට නෙත යොමමිනි. 

".. සයින් නොකර? හ්ම්ම් එවිඩන්ස් ඕනෙ නෑ තමයි. අපි ඔබව විස්වාස කිරීමට හැකි බවට සහතිකය මොකක්ද ?"

එහා පසින් ඉතා කෙටි පිලිතුරක් ලැබුනේ මෙහෙතාගේ මුවේ සිනාවක් පොපියන ලෙසිනි.

".. ඕකේ.. ගොඩක් සතුටුයි! තව පැයකින් ඔබට උත්තර ලැබෙයි!!"

ඇමතුම විසන්ධි කල වහාම මෙහෙතාගේ දුරකතන තිරය මතින් ඔහු වෙනත් අංකයක් ලබාගත්තේය.

" වැඩේ හරි.. පැයකින් ප්‍රෙස් වලට දෙන්න. ඩිමුත්ව බලාගන්නෙක ඔබතුමාගෙ වැඩක් එහෙනම්.  ජයවේවා! හෙට හවස මිනිස්ටර්ගෙ පාටියේ ටෝස්ට් කරමු.. "

එපමණකි. සියල්ල චෙස් ඉත්තන් සේ තමන්ට අදාල ස්ථානවල ස්ථාපිත වූයේ එලෙසිනි.

--------------------------------------------

දින කීපය ගෙවී ගියේ බොහෝ දේ සිදුවෙමිනි. 

රශිඳු IPL සඳහා නම්කල ක්‍රීඩකයෙකු වූයේ ඔහු සමඟ වූ දිමුත්ද ඒ සඳහා එක්වෙමිනි. පත්තර පිටු පුරා ලියා තිබුනු එම පුවතත් සමඟ රශිඳු පසුපස වැඩි වැඩියෙන් සමාජ මාධ්‍යත් මුද්‍රිත මාධ්‍යත් යන දෙකම සීරුවෙන් සිටි නිසා යුවලගේ සාමාන්‍ය නිදහස ඇහිරී ගියේය.

සෑමවිටම තමන් අසළට වී සිටින්නට කියා නිර්මලීට ගෙරෙව්වද එය එතරම් ප්‍රායෝගික නොවන බව ඔහු විසින්ම තේරුම්ගෙන තිබිණ. එබැවින් නිර්මලීට ටෙස්ට් තරඟ නිමවනතුරු සිය ව්‍යාපාර වැඩ වලට හිත යොදවන්නට හැකිවිය.

ඔහුගේ රුවින් හැඩ කල පත්තර අතිරේක මුල්පිටු , සඟරා ආදිය චම්පා  විසින් කාර්‍යාල කාමරයේ නිර්මලී ලබාදුන් සුදුපාට කබඩ් එකක ප්‍රවේශමෙන් රැස්කළ නමුදු රශිඳු ඒ ගැන දැනගත්තේ නැත. වෙළඳ දැන්වීම් රැසකට ආ ආරාධනා අතුරින් ඔහු බාරගෙන තිබුනේ කිහිපයක් පමණි. 

ටෙස්ට් තරඟවල නිමාවත් සමඟ IPL සඳහා වරම් ලැබූ රශිඳුට සහ දිමුත්ට එදිරිමාන්න විසින් සාදයක් පැවැත්වූ නමුත් නිර්මලී එදිනට යොදාගත් පාසිකුඩා විවෘතකිරීම නිසා එයට සගභාගි වන්නට හැකිවූයේ නැත. ඈ පාන්දරම පිටත් වූයේ දහවල් උත්සවයටම එහි ළඟාවෙමිනි.

' miss you baby girl'

සාදයට පිටත්වන්නට පෙර තමා වෙත පින්තූරයක් එවා , එහි යන්නට ඇතැයි සිතෙන වේලවටම රශිඳුගේ නමින් සිය දුරකතනයේ සටහන් වූ කෙටි පණිවිඩය දැක නිර්මලීගේ මුහුණේ ඇඳුනේ රමණීය සිනාවකි. ඈටද පාසිකුඩා හෝටලයේ දහසකුත් එකක් වැඩ අතරේ දැනුනේ පාළුවකි. මේ ගමන එක්තරා අන්දමක ජීවිතයේ සන්ධිස්ථානයක් බව ඈ නැවත සිය සිතට මතක්කොට දුන්නාය.

වේලාව සවස හය පසුවූවා පමණක් වූ අතර විවෘතකිරීමේ උත්සවය අති සාර්ථකව නිමවී ගතවූයේ අඩ හෝරාවක් පමණි. 

'ඔව්.. මේක ඔයාගෙ හීනයක්.. මගේ අනූජ... ඔන්න ඔයාගෙ මැණික ඔයාගෙ අන්තිම ආසාවත් ඉශ්ඨ කලා.. මගෙන් මගෑරුනේ එකම එකයි.. ඒක කවදාවත් ඉශ්ඨ වෙන එකක් නෑ.. ඔයාට දරුවෙක් දෙන්න මට බැරි උනා.. මට ඒකට සමාවෙන්න... මේක ඉටු කරන්න මට කල්ගියාට සමාවෙන්න අනූජ..  

මට දැන් අවසරයි නේද, රශිඳු වෙනුවෙන් මගේ හිත පුරෝගන්න? මාව බැන්ඳේ නැති උනත්, මගේ හැමදේම රශි වෙනුවෙන්; රශිගෙ ආදරේ වෙනුවෙන් මම අද ඒ හැම දෙයක්ම අතාරිනවා අනූජ.. ඒකට ඕන ඔක්කොම දේවල් ලෑස්ති කලා.. මම දැන් රශිගෙ... මට අවසර දෙනව නේද?'

අවසන් ටේප් රෙකෝඩරයේ අවසන් හඬ පටය පටිගත කළ නිර්මලී , නිරායාසයෙන් දෑසින් වැටෙනා කඳුළු ගුලි වලට නිදහසේ වැටෙන්නට ඉඩ ලබාදී , හඬ පට තැන්පත් කරනා පෙට්ටියේ එය දිනයත් සමඟ සුරක්ෂිතව ඇසිරුවාය.

 ඒ වනවිටත් තානපති ඇතුළු සම්භාවනීය අමුත්තන් පැමිණ ඒ ඒ විවේකාගාරයන් වෙත යොමුකරමින් නව්‍යා වඩා යුහුසුළුව ඒ මේ අත දුවමින් සිටි නිසා ඈ පැමිණියේ ආපසු යන්නට සැහැල්ලු ඇඳුමක් ඇඟලාගන්නටත් සිය අවසන් හඬ පටය නිම කරන්නටත් ය. 

ඈට දැනුනේ අමුතුම සැහැල්ලුවකි.

'miss you more Kiki'

ඒ පිලිතුර ඒ ලෙසම සිනාවක් රශිඳුගේ මුවේද සටහන් වෙද්දී දිමුත් සිය සගයාගේ දෙස යොමුවූ ඇස ඉවතට නොගෙනම අත වූ ස්කොච් වීදුරුවට ප්‍රථම වඩිය පුරවා ගත්තේය. එදිරිමාන්න ඔවුන්ට තරමක් ඈතක දුරකතන සංවාදයකය.

එන්නට පෙරම අසූ කෝටියක් නීති දැමූ මොහොතේ ' හාකො ඉතිං' කියා පිලිගත්තද, රශිඳුට ඈ එය ඉනටත් අත්දෙක තබාගෙන කියූ ආකාරයට සිනාය.

' බොන්නෙ එහෙම නෑ වෙරි වෙන්න අල්ලල ගානව කටේ මිරිස් !'

' ඩ්‍රයිව් කරන්න තහනම්, මගේ ඩ්‍රයිවර් එක්ක යන්න ඕනෙ! '

' සිගරට් නම් ඕනෙම නම් එකක් බිව්වට කමක් නෑ , කොටේ ගෙනත් පෙන්නන්න ඕනෙ!'

' කෙල්ලො දිහා බලල අහු වෙන්න එපා රශි..  මම $&&@&! දිමුත් මට ඔක්කොම කියනව කිව්ව..'

රශිඳුගේ දෙබැම එසවුනේ මේ රෝසපාට තොල් වලින් නොසරුප් වචන කියනා බුහුටිකමටමය.

' කෙල්ල උඹ දැන් ගානට වැඩී! '

ඒ සිටින්නේ නම් තමාගේ සියළු සන්තකය නොවේද? එසේ සිතුවද පිලිතුර වූයේ එක වැකියකි.

' හාකො.. අනිත් එක්කෙනා අද රෑම නාවොත් ඒකත් බලාගම්මු හරිද?'

රශිඳු රාත්‍රී ආහාරයට සූදානම් වනවිට එහි පැමිණි තවත් පිරිස නිසා එදිරිමාන්න ඔවුන් හා දොඩමළු වන්නට මදක් එහා මෙහා විය. ඔවුන් අතර වූ මෙහෙතා දුටුවත් ඔහු රශිඳු නාඳුනන ලෙස සිටි නිසා ;එදිරිමාන්න ඔහුව හඳුන්වා දෙද්දී අළුතෙන්ම හඳුනාගත් කෙනෙක් ලෙස රශිඳු හිස සැලුවා පමණි.

කෑම සඳහා සූදානම් වන විටම දුරකතනයට එබී නිර්මලී වෙත පණිවිඩයක් යැවු රශිඳු අසළින් සිටගත් දිමුත් මෙතෙක් වේලා සිතේ තදවූ පැනය ඇසීය.

" ඇත්තටම බං.. උඹ නිර්මලී එක්ක මොකක්ද ඔය කරන්නෙ?"

රශිඳු ඔහු දෙස එකවරම බැලුවේ සිහින් කරගත් දෑසිනි.

" මොකක්ද අය්යා?"

" මම ආයෙත් අහන්නම්කො එහෙනම්.. උඹ ඔය නිර්මලී එක්ක සිරාවටද ඔය affair කරන්නෙ?"

රශිඳුගේ මැර පෙනුම නැගී ආවද ඔහු ඒ වනවිට පරිණත වී සිටියේය. හිතට නැගුනේ දඟකාර සිනාවකි.

ශෂී - නිර්මලී මිතුදම සතියක් වුවද, මාසයකටත් වඩා වැඩි දිමුත් - රශිඳු මිත්‍රත්වයට වඩා සරුවට දළුලා වැඩී තිබුනේ නිර්මලීටත් වඩා ශෂී විසින් නිර්මලී ගැන සිදුවූ පැහැදීම නිසාය. නිර්මලී පැවසුවේ චාමික මෙන්ම දිමුත් හොඳ මිතුරෙකු වන බව වුවද, රශිඳු පුරුදු මිත්‍රත්වයට වඩා ලංවන්නට කුමක් හෝ අකමැත්තක් තිබිණ.

" ඇයි අය්යා? Nirmali is the best thing happened to me ! She's love of my life.. Beautiful soul! "

දිමුත් සිය සගයා දිරිමත් කරනා බැල්මක් හෙලුවේ ය. 

" මම ඒක දන්නව .. උඹ තෝරගත්ත පාර ලේසි නෑ.. කෙල්ලව උඹ නිකට යට තියාගෙන රැකපං මචං.. "

දිමුත් රශිඳුගේ උරයට තට්ටුවක් දැමුවේය. විටෙක නිර්මලී කියන්නක් උත්සහ කළ යුතුය! එබැවින් රශිඳු ක්ෂණිකව යමක් තීරණය කළේය.

" I'm going to propose her tomorrow "

වහා වටපිට බලා රශිඳු සිය උඩු සාක්කුවෙන් මෙතෙක් සඟවාගෙන සිටි මුදුව ගෙන දිමුත්ට පෙන්වා වහා සිය සාක්කුවේ දමා ගත්තේ එදිරිමාන්න ඔවුන් වෙත එනු දැකීමෙනි.

දිමුත්ගේ මුව විවර වී දෙනෙත් නළලේ රැඳුනි. නමුත් ඔහුට යමක් කියන්නට අවකාශයක් නොවුන මුත් පසුව ඉඩක් ලද සැනින් දිමුත් හඬ අවධි කලේය. ඒ වනවිටත් මේ පණිවිඩය ඔහු කෙටි පණිවිඩයයකින් ශෂී වෙත ලබාදුන්නේ ඉවසාගෙන සිටීමට ඇති අපහසුව නිසාමය.

' අන්නා.. හරි ස්වීට් !' ඈ එවා තිබිණ.

" මොකද බං රිංග් එක ගෙනාවෙ? උඹට පිස්සුද?"

 රශිඳු කතා කලේ රහසිනි.

“ Nervous මම! කවදාවත් ප්‍රොපෝස් කරලා නෑ බං. රිංග් එක නැතිවෙයි කියලා බයයි... ප්‍රපෝස් කරන විදියක් ඊයේ දවසම ගූගල් කලා.. හිතට හරියන විදියක් සෙට් උනේම නෑ"

දිමුත්ට සිනාය. මේ තරුණයා කෙතරම් ඈ කෙරෙහි බැඳී ඇතිදැයි කියා සිතනවිට 'පව්' කියා ශෂී මැරෙන්න හැදීම පුදුමයක් නොවේ. 

ඉන් අනතුරුව එදිරිමාන්න හා සංවාදය අතරතුර රශිඳු කෙටි පණිවිඩයක් බැගින් යවමින් ඈ යාවත්කාලීන කලේ එන්නට පෙර ලබාදුන් කෝටියක් සංවරශීල ප්‍රතිඥාව නිසාමය.


ඈ පාඩිකුඩා වෙතින් නික්මුණු බවත් විවේකයක් ලද වහාම නැවත ලියන බවත් කියූ නිසා රශිඳු හදවතක් ලෙස වූ ස්ටිකර් එකක් යවා දුරකතනය සාක්කුවේ රුවා ගත්තේය. නමුත් මේ රාත්‍රියේ එලෙස එන්නට කීම ගැන තමාට දොස් කියාගත්තද, හෙටදින සැලසුම්කල පරිදි එලෙස කරන්නේ ඉන් පසුව ඇති දේවල් එකින් එක පෙලගස්වා තිබෙන නිසාය. ඈ දකිනා තුරු ඇත්තේ නොඉවසිල්ලකි.

නිර්මලී එන්නට නියමිතව තිබුනේ රියදුරු සහ නව්‍යා සමඟ නිසා මදක් සැනසෙන්නට හැකි වුවද කුමක් හෝ හේතුවකට රශිඳුගේ සිත වද වන්නට විය. ඔහු නැවතත් දුරකතනය ගෙන ඇමතුමක් ගත්තද ඇගේ දුරකතනය ආවරණ කලාපයේ නොවිනි. 

' දුර පාරෙන් එන්න එපා.. ඉක්මනින් දකින්න ඕන'

ඔහු කෙටි පණිවිඩය අගට සරාගී වැකියක් ලියා යැව්වේ තනිවම සිනාසෙමින් යටිතොල සපාගනිමිනි. රශිඳුගේ මේ විකාර දෙස කිහිප දෙනෙක්ගේම අවධානය යොමු වුවත් රශිඳු සිටියේ වෙනම ලොවකය.

" අඩෝ! මල් ගහලා වගේ ඉන්න එපා යකෝ.. දැන් කී වතාවක් උඹට එදිරිමාන්න කතා කලාද? වරෙං යන්න ඔතන පඳුරු අස්සේ කළුවරේ රිංගගෙන ඉන්නෙ!"

දිමුත් එසේ කියමින් රශිඳු රැගෙන ගොස් එදිරිමාන්න ඇතුලු කවයේ සිටුවා තැබුවේය. හිස එසවූ සැනින් ඔහුගේ දෑස ඉදිරියේ වීදුරුවකට පුරවන ලද ස්කොච් පානයද අතැතිව සිටි මිනිසා දැකීමෙන් තිගැස්සෙන්නේ තමන් සිටින්නේ කොහිදැයි පවා අමතක කරවමිනි.

".. අහ්.. මිස්ටර් මිහිඳුකුලසූරිය.. Meet Rashindu.. Rashindu Gokula , star of the season !"

මවාගත් මුහුණෙන් යුතුව එදිරිමාන්න එසේ පැවසුවේත් ; සිය දුශ්ඨ කපටි සිනාවෙන් මුව සරසාගත් අසලංක මිහිඳුකුලසූරිය සිය දකුණත ඉදිරියට දිගුකලේත් එක විටෙකය.

" හෙලෝ 'මිස්ට' රශිඳු!"

වොට් දස දහස් ගණනාවක ට්‍රාන්ස්ෆෝමරයකින් කාන්දුවන අකුණක් ලෙසින් රශිඳුගේ දෑසින් ගිනි පුළිඟු පිටවෙද්දී , දිමුත් මේ අවසිහියෙන් සිටිනා තරණයාගේ ඇලපතට වැලමිටෙන් ඇන්නේ මේ කීර්තිමත් ව්‍යාපාරිකයා පනපිටින් අනුභව කරන්නට මෙන් බලා සිටිනා නාහෙට නාහන මේ දඩබ්බරයා සිහි එලවන්නටය.

' වල් කැ& €ල්ලා! උඹ ?????? උඹ මේ කරපු කුප්ප වැඩේ පිටිපස්සෙ ඉන්නවද? උඹට ලැජ්ජාවක් නැද්ද $රියා!'

රශිඳුගේ සිත ආවේගයෙන් මුරගාද්දී, ඇස්වලින් පිටවන ගිනියම් පුළිඟු සමඟින්ම ඔහු අසලංක වෙතින් ආ අත අල්ලා මිරිකුවේ ඇටකටු කැඩී යන්නට තරමටය. ඒ දඬු අඬුවක් වන් අතට හසුවී කෙතරම් වේදනාවක් දැනුනද අසලංකද සිය මුහුණේ වූ සිනාව වෙනස් නොකොටම තබා ගත්තේය. 

දිමුත් සිටියේ මේ සිදුවීම නිසා මදක් වික්ශිප්තව මුත් වහා රශිඳුගේ අතින් අසලංකගේ අත මුදවාගෙන ඔහු පසෙකට ගෙනගියේ මෙහෙතා දක්වමිනි.

තමා වෙතින් ඉවතට ඇදගෙන යන රශිඳු දෙස දත්මිටි කමින් අසලංක අත තිබුනු ස්කොච් වීදුරුව එක හුස්මට හිස් කලේ එදිරිමාන්න ඔහුගේ උරයට අත තබද්දීය.

" යකෝ උගේ මූණෙ හැටි! උඹව දෙකට කඩලා කාගෙන කාගෙන යන සයිස්!! මොකද අසා.. උඹ කලින්ම ගේමක් සෙට් කරගෙන වගේ"

එදිරිමාන්න සිනාසී එසේ කියද්දී අසලංක එතැනින් වහා ඉවත්ව යන්නේ හදිසියේ ගත් තීරණයක් නිසාය.

------------------------------------------------------

රාත්‍රියේ අඳුර කපාගෙන රථය වේගයෙන් ඉදිරියට ඇදුනේ නිර්මලීගේ සිතේ ඉපිලීමට නොදෙවෙනි ලෙසටය. අද අනූජගෙන් තමාගේ සිත යුතුකම් සියල්ල මුදවා ගත්තේ මේ සැහැල්ලුව සඳහාමද? 

' අමතක කරනවා කියලා නෙවෙයි අනූජ.. මම මෙච්චර දවසක් බැඳුනු ඒ පොරොන්දුව අද සම්පූර්ණ කරපු නිසා මගේ හිත සැහැල්ලුයි. ඔයා තමයි මට ආදරේ කියලා දුන්නෙ.. ආදරේ ඇත්තටම විඳින්නෙ රශිඳුගෙන්! බලන්න.. අපි දෙන්නාගෙ ආදරේ මැරෙන්නේ නෑ.. '

ඒ වනවිට රාත්‍රී ආහාරයට හබරන වූ තරු පන්තියේ හෝටලයකින් නතරකොට, මහත් අපහසුවෙන් රියදුරුගෙන් පැදවීමට රිය ලබාගත්තේ ඔහුටද විවේකයක් අවශ්‍ය නිසාය. උදෑසන ඔහු මහත් වැර වෑයමෙන් සහ නොනිදාම නිර්මලී වෙලාවටම පාසිකුඩා හෝටලයට ඇරලුවේ රශිඳුගේ ගෙරවිල්ලට බියටමය. 

' සර් කිව්ව වෙන කාවවත් නග්ගගන්න දෙන්න එපා කියලා'

අමතරව සිටි සේවිකාවක් නංවාගන්නට හදද්දී ඔහු හරස්වී සිටි නිසා නිර්මලී මහ හඬින් සිනාසුනාය. 

'.. මෑම් එහෙම කිව්වට සර් මට බනීවි'

රියදුරුගේ පෙනුමට නැවතත් නිර්මලී කුඩා කෙල්ලක සේ නව්‍යා සමඟ එක්ව සිනාසුනද හිස සලා මේ ආඥාපති ගේ අණට කීකරු වූහ. හෝටලයට ගියද රියදුරුට සිතූ තරම් විවේකයක් නොලැබුනු නිසා ආපසු එන්නට ඇරඹූ මොහිතේ ඔහුට එය ලබාදුන් නිර්මලී , රාත්‍රී ආහාරයට පසුව සුක්කානම අතට ගත්තාය.

" මෑම්.. ඔය ශෝට්කට් එකේ රෑට අලි ඉන්නව.. අපි යමු වටේ පාරෙන්.. ටිකක් දුර උනත් පරෙස්සම් නේ"

නිර්මලී සුක්කානම අතට ගනිද්දී ඔහු පැවසූ නිසා නිර්මලී හිස සලා ඊට එකඟ වූ අතර, නව්‍යා සිටි පසුපස ආසනය වෙත බැල්මක් හෙලුවාය.

" නව්‍යා ඔයාට මහන්සි නම් නිදාගන්න.. මට මේ පාර පුරුදුයි, නේද සෝමසිරි? "

ඉදිරි ආසනයේ උන් රියදුරු නිර්මලී වෙත සුහද සිනාවක් පෑවේ එය අනුමත කරමින් මෙනි. 

" නෑ මෑම්.. මට මහන්සි නෑ.. මෑම්නෙ මේ උදේ ඇවිත් සෑහෙන්න මහන්සි උනෙත්.. "

" හැමදේම ලස්සනට උනා නව්‍යා.. ඕක මගේ හිතේ තිබ්බ හීනයක්.. මගේ ලොකු ටාගට් එකක් අද achieve උනා. ඔයාට ගොඩක් තෑන්ක්ස් ඉවෙන්ට් එක එච්චර ලස්සනට organize කරලා තිබ්බට.. ඔයා මැරි කරපු දවසට මගේ ගානේ මම මෙහෙ හනිමූන් නයිට් එක දෙනවා.  හරිද?"

නව්‍යාගේ රතුවූ මුහුණ දෙස පසුපස කණ්නාඩියෙන් බැලූ නිර්මලී අවංකවම ඈ ගැන පැහැදුනාය. දුප්පත් වුවද ඈ ධෛර්‍යමත් තරුණියකි. 

" අනේ මෑම්! මොනව කියනවද මන්ද"

නිර්මලී ඊට සිනාසී වාහනයේ වේගය මදක් වැඩි කරමින් ඉදිරිය බලද්දී දකින්නේ වාහනයේ ඉදිරි දොරට හේත්තු වී තද නින්දක වැටී සිටි රියදුරුය. 

'පව්!'

ඈට අනතුරුව එකවරම සිහි වන්නේ රශිඳු විසින් ඈට එවූ අවසන් කෙටි පණිවිඩයයි. 

' අනේ පව් මගේ පන.. බලාගෙන ඇති මම එනකල්.. එතනට ගිහිල්ලත් මොකක් හරි බාල්දියක් පෙරළගෙන එයිද මන්දා.. එදිරිමාන්නනේ ඉන්නෙ! නෑහ්.. දිමුත් ඉන්නවනෙ'

ඒ සමඟම ඈ කෙටි මාර්ගය වෙත හරවන්නේ රශිඳු සිහිවීමෙන් ඉබේම නැගුනු මන්දහාසයද සමඟිනි. ඒ අතරේ නිර්මලීට පෙනෙන්නේ නව්‍යා එන ඇමතුම් කිහිපයක්ම විසන්ධි කරනවාය.

" මොකෝ නව්‍යා? හිරාන් එක්ක තරහ වෙලාද? ඇයි කතාකරන්නේ නැත්තෙ?"

නව්‍යා ගැස්සී මෙන් ඉදිරි ආසනයේ සිටිනා නිර්මලී දෙස බලා අවිහිංසක ලෙස සිනාසුනේ කියන්නට යමක් නැති නිසාය. මේ අමතන්නේ හිරාන් නොවන බව ඈට කියන්නේ කෙලෙසද?

" නෑ මෑම් එහෙම නෑ."

"හ්ම්ම්... ඉන්නකො මම අල්ලගන්න"

නිර්මලී මදක් පසුපස ආසනයට සිය බැල්ම පාකරමින් කියා කණ්නාඩියෙන් බලා සිනාසුනාය.

නව්‍යා හිස ඔසවන්නේ ඊට පිලිතුරක් ලෙස සිනාසෙමින් වුවද එකවරම දකින දර්ශනය නිසා යටි ගිරියෙන් කෑගසන්නේ ආසනයේ පසුපසට ඇලෙමිනි.

" මෑ.... ම්! අ..ලි යා....හ්......!!"

ප්‍රමාද වූවා වැඩිය! 

මහත් වේගයෙන් පාරේ පසෙක සිටි දැවැන්ත හස්ථි රාජයාගේ හොඬවැල වැදුනු රථය අඩි ගණනාවක් ඉහලට එසවී , විසිවී ගොස් මාර්ගයයේ දෙතුන් වරක්ම රෝල් වී බිම පතිත වූයේ මහා විලාපයක් සමඟිනි.


----------------------- මතු සම්බන්ධයි -----------------------------

7 comments:

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...