Monday, May 16, 2022

326: උන්මාද චිත්‍රාදෝ මා 58

" Oh.. You guys know each other before ?"

( ඔබලා දෙදෙනා මීට කලින් අඳුනනවද?)

ශෂී එලෙස පවසන්නේ අඩමානයට වුවද නිර්මලී දෙසම නෙත් යොමාගෙන සිටින මිනිසාගේ මුවේ ඇඳෙන්නේ සෝපහාස සිනාවකි.

" අපෝ ඔව් ඔව්..  මිසිස් ගමනායක මම දන්නේ අවුරුදු විස්සකට කලින් ඉඳලානෙ.. මිස්ට ගමනායක ඉන්න කාලෙ ඉඳලා.. ඒ කාලෙ නම් ඉගෙනගන්නවානෙ.  නේද?"

මිනිසාගේ ගිජුලිහිනි ඇස්වල ලියවී තිබුනේම වෙනත් පණිවිඩයකි. නේහා නිර්මලීගේ අත හොරැහින් මිරිකුවේ නැගුනු කෝපය නිසාමය. 

' මේ කුපාඩියා මොනාද මේ කියන්නෙ නිර්ට?'

නමුත් නිර්මලීගේ මුහුණේ කිසිදු හැඟීමක් තිබුනේ නැත. ඈ සිය නිකට ඔසවා මිනිසා දෙස සෘජුව බැලුවාය.

" ආ.. ඔව් තමයි මිස්ටර් එදිරිමාන්න! මගේ හස්බන්ඩ්ගෙ බිස්නස් වලටත් ඒ දවස්වල ඉඳලාම involved නේ"

ශෂීගේ දෑස්වල පලවූයේ මද විමතියකි. 

හස්බන්ඩ්? ඈ රශිඳුව විවාහ කරගෙනද? නැතිනම් රශිඳු ව්‍යාපාරිකයෙක්ද? නිර්මලී ගමනායක යනු සාර්ථක ව්‍යාපාරිකාවක බවත් ඈ ඉතා උගත් සහ රූමත් අයෙක් බවත් දිමුත් පැවසුවද මේ අපබ්‍රංසය ඈට වැටහුනේ නැත. ඊටත් මීට අවුරුදු විස්සකට පෙර ඈ පාසල් යනවා කීම තරමක් අමුතුය.

".. මිස්ට එදිරිමාන ඇයි මේ දැන් මාව හොයන්නෙ? බිස්නස් වැඩකටනම් වෙන්න බෑ.. බෝඩ් එකේ ඉඳලා බිස්නස් කරන්නත් අවසර නෑනෙ.. "

ඉලක්කය අල්ලා තමාට ගැසූ කනේ පහර ගැන සිය සිරුර ඇතුලේ සිටි ගෝනුස්සා වහා වල්ගය ඔසවා පුප්පා සිටිනු දැනුනද, අවාසනාවට ඊට දියයුතු පිලිතුර ශෂී ඉදිරියේ ලබාදීම අවාසිසහගතය. වෘත්තීය නිපුණතාවයෙන් ලබාගත් කපටි පසුබැසීමත් දුර්වලකමට පහරදීමත් අපතේ නොයයි.

" නෑ... එහෙම නෑ.. ටීම් කැප්ටන්ගේ වයිෆ්ට කතාකරලා එහෙම ඉන්නෙක හොදයි තමයි. බිස්නස් වුමන් කෙනෙක් විදියට නිර්මලී ඉතින් රශිඳු ගෝකුලගේ ස්පොන්සර් උනේ නිකංම නෙවෙයි නේ. නරකම නෑ friends with benifits"

ඔහු සොයන නිලය නිර්මලී තේරුම් ගත්තද ඈ සිය සිනාවෙන් වසාගත්තේ වේදනාවය. ශෂී මේ වචන හරඹය මැද බලා සිටියේ ප්‍රශ්නාර්ථයෙනි. මොවුන් දෙදෙනා එකිනෙකා නුරුස්සන බවත් නිර්මලී ගමනායක එලෙසින්ම යම් අනතුරකට මැදිවන්නට ආසන්න බව පමණක් ඈ අත්දැකීමෙන් තේරුම් ගත්තාය.

‘Friends with benefits??’

" අහ්.. නිර්මලී මට අදමයි හම්බුනේ මිස්ටර් එදිරිමාන්න.. අද මැච් එක දිමුත්ට සෑහෙන්න වැදගත් ! මම මේ කිය කිය හිටියේ රශිඳු කියන්නේ සීරියස්ලි අපේ ටීම් එකට ලොකු ඇසට් එකක් කියලා"

කතාව ඇදීයන දිසාව වහා වෙනස් කරමින් ශෂී පවසද්දී නිර්මලීගේ දුරකතනය නාදවූ නිසා ඈ එතැනින් ඉවත්වී යන්නේ ශෂීගෙන් අවසර පතමිනි. ඈ පසුපසින් නේහා නොගිය නිසා ඇගේ සවන් මත වැකි කිහිපයක් පතිතවන්නේ ඒ සමඟමය.

"ශෂී වගේ ඩීසන්ට් ලේඩිස්ලට ඒ වගේ කම්පැනි එකක් ගැලපෙන්නෙ නෑ. දිමුත්ටත් මම එදා වෝන් කලා. ශෂී ඉතින් දන්නවනෙ මෙතන වැඩ වෙන පිලිවෙලක් තියෙනවා කියලා. පරෙස්සමින් ඔය ගෑනි ලෝකෙ කාලා වතුර බීපු slate කෙනෙක්.. රශිඳු ගෝකුලගෙ mistress තමයි ඒ"

-----------------------------------------------------

ඕවර පනහේ තරඟාවලියේ තුනට දෙකක් ලෙස ඉන්දීය පිල ජයග්‍රහණය කොට තිබුණද , ඒ තරඟ පුරාම රශිඳු ගෝකුල තරුවක් බව අවිවාදයෙන් පිලිගන්නට සිදුවූ අතර තරඟ වලදී හොඳම පිතිකරණයට සහ හොඳම පන්දු යැවීමට ඔහු තෝරාගන්නට සිදුවිය. ක්‍රීඩා පුවත්පත් පමණක් නොව , සාමාන්‍ය පුවත්පත්වල අතිරේක පවා රශිඳු ගෝකුලගේ කඩවසම් රුවින් හැඩවී තිබිණ.

ඒ සෑම තරඟයකම නිර්මලී ගමනායක විසින් හිස් නොකල ආසනය ගැන සැමගේ කසුකුසුව තවදුරටත් මන්ත්‍රණයක් නොවූ මුත් අළුත් මිතුරිය වූ ශෂී ඇගේ තනියට සිටීම නිසා නිර්මලීගේ මුහුණට පැවසීමට තරම් අවස්ථාවක් නොවීය. 

' නිර්මලී කියන්නේ හරි අහිංසක කැරැක්ටර් එකක් දිමූ... පොඩ්ඩක්වත් ලොකුකමක් නෑ.'

ඈ වරක් නිර්මලී ගැන සඳහන් කරමින් සිය සැමියා දිමුත්ට පවසන්නීය. නමුත් නිර්මලී පසුපස නිතර ගැවසෙන එදිරිමාන්න ගැන ඇයට කළහැකි යමක් නොවිනි.

එදිරිමාන්න මහතා යනු ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රභල කණුවක් බවත්, සිය ව්‍යාපාරික සවියට අමතරව දේශපාලන බලයක්ද ඔහු සතු බවත් තේරුම් ගත් නිර්මලී , රශිඳු වෙනුවෙන් ඔහු මඟහැර සිටින්නට සෑමවිටෙකම උත්සහ කළාය. නමුත් එය පහසු දෙයක් නොවේ!

මීට වසර ගණනාවට පෙර අහම්බෙන් මෙන් සිංහ සමාජයේදී හඳුනාගත් ඔහු, ඒ වනවිට අශ්වයින් ඔට්ටු අල්ලන රේස් බුකි කිහිපයක හිමිකාරයෙක් විය. අනූජගේ මරණයෙන් නිර්මලී ගමනායක නම් රූමත් වැන්දඹුව පසුපස ඔහු වැටෙන්නේ ඉන් අනතුරුවය. 

කෙතරම් ව්‍යාපාර ලාබයන් ලබාගතහැකිව තිබුණද නිර්මලී , එදිරිමාන්න හා කිසිදු ව්‍යාපාරයක් හෝ ඇයිහොඳැය්යක් පවත්වාගෙන යන්නට කැමති වුයේ නැති නිසා ඔහු සිටියේ නිර්මලී සමඟ සඟවාගත් අමනාපයකිනි. ප්‍රසිද්ධ නිළියක සමඟ විවාහ වූ ඔහු ක්‍රිකට් තේර්‍රිම් කාරක මණ්ඩලයට පැමිණි බවක් නිර්මලීට මතකයේවත් තිබුනේ නැත. එදින ඔහු දකිනා තුරුම!

" මොකද ඔරවන්නෙ?"

නිර්මලීගේ බැල්ම ගණන් නොගෙන රශිඳු ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සිය පින්තූරය යාවත්කාලීන කරමින් ඇසුවේ වාහනයේ ඉදිරි ආසනයේ උන් නිර්මලී දෙසවත් නොබලාය. 

"ෆෝන් එකේ ඉන්න බෑ මම ඉන්න වෙලාවට!"

නිර්මලීගේ ගෙරවිල්ලට රශිඳුට සිනා නැගුනි. ඔන්න අදත් පොඩි එකා වගේ රණ්ඩුවක් !

" පොඩ්ඩක් ඉන්න baby girl.. මගේ ෆොටෝ එකක් දානකල්.."

" අනේහ්.. වැඩේම instagram එකේ! පින්තූර දානවා.. විකාරයක්. ඔයා මම කියන ඒවා ගණන් ගන්නෙම නෑ.. ඔයාට ඕනෙ දෙයක්නම් මෙතන ගොරෝලා එහෙනම්!"

ඒ ඉතින් සුපුරුදු ඉරිසියාකාරියයි! 

' කෙල්ලො අනී අනී රශි ගගා මැරෙන්න හදනව! උස්සල ගහනව දැන් එකියක් දෙකක් මම පොලවේ!'

රශිඳු දුරකතනය පසෙක තබා නිර්මලී දෙස විමසිලිමත් බැල්මක් හෙලුවේය. ඇත්තටම ඈ අමනාපයෙනි. ඔහු වහා නිර්මලී කෑගසද්දි ඇගේ ආසනයෙන් ඇද සිය ඇකය මතට ගෙන තදින් කොපුල් සිපගත්තේය. 

" ඔව්! මම එහෙම තමයි.. මට ඕන හැටියට තිබ්බෙ නැත්තං මේ නෝනා අල්ලලා රෝස කැලේට දානව"

" එහෙම බෑ.. ! හිතුව මදි මාව එහෙම ගෙනිහින් දාන්න!! මෙයාගෙ ගෙරවිල්ලට මම බය නෑ.."

"ආ එතකොට මැච් එක බලන්න ආවෙ ?"

" ඒක ඉතින් ශෂී හින්දා.. "

රශිඳු ඇගේ කම්මුලක් සිය දසන් වලට තදකලේ ඈ කෑගසද්දීය. 

" බොරුකාරි! මෙහෙම හිටියට මම දන්නව මෙයාගෙ ලොකුකම.."

පන්දුවාර පනහේ තරඟ නිමවීමෙන් පසුව, ජාත්‍යන්තර ටෙස්ට් වරම් තවම නොලද රශිඳුට දවස් කිහිපයක විරාමයක් ලැබී තිබුනු නිසා , කණ්ඩායම් නායක දිමුත්ගේ අවසරයෙන් රශිඳු අද දිනයේ සිය පෙම්වතිය සමඟ පිටතට පැමිණියේ මේ රණ්ඩුවට වඩා වැඩි යමක් සඳහාය. 

ඒ ඇස්වල වෙනස්වීම හඳුනන නිර්මලී සිය දකුණතින් වහා ඒ ඇස් මුවා කලේ රශිඳුගේ බූල් බූල් අත වමතින් නතර කරගනිමිනි.

" ඒයි මේ! මේක කා පාක් එක හරිද?"

" ඉතින්.. කා පාක් එක තමයි! "

දෑස වැසූ අත ගෙන සිය තොල් මත තබා තදකල රශිඳු කට කොනෙන් නැගෙන ඒ සිනාවෙන්ම ඈ අඩපන කරගත්තේය. 

"... මාව distract කරන්න එපා! අද හවස වෙනකල් තියෙනවා මට!! මේ... කෝ දැන් ගෙනාවද ඔයා front page ඉන්න magazine එක? ආ?? මම ඊයෙත් කිව්ව!"

නිර්මලී ඇස කරකවා සිනාසුනේ කුඩා කෙල්ලක පරිද්දෙනි. 

"ආ.. ඒක මම.. කිව්වා චම්පාට..."

" ආ??? චම්පාට මොකටද ඒක? Baby girl මේ.. මගේ යකා අවුස්සන්නෙපා එකපාරක් කිව්වහම.. මම කිව්වනෙ මට මුලින්ම බලන්න ඕනෙ කියලා..! "

මේ ගෙරවිල්ල නම් කවදාවත් වෙනස් වෙන්නේ නැත. එබැවින් ඈ කට වසාගෙන ඉන් පසුව ඇසෙනා ලුණු ඇඹුල් සහිත කියවිල්ල අසාගෙන සිටියේ කන් පාත් කොටගෙනය.

' මහ ලොක්කි නේද උඹ? හාවා වගේ මූ ගාව surrender වෙලා ඉන්නෙ! ඇත්තටම නිර් මට උඹ ගැන පුදුමයි '

නේහාගේ වචන ඇගේ දෙසවනේ දෝංකාර දුන්නද ඈ එය දර්පනයක පිනි මත ඇඳි දෙයක් ලෙස මකා දැම්මාය. 

නිර්මලී ! සැමවිටම ඇගේ ප්‍රේමය අන් සියල්ලට ඉදිරියේ තබා ගත්තා නොවේද? සමහරවිට හැඟීම් පවා තරකොට මිරිකා මැඩගත් ඈට රශිඳු විසින් දිගුකරනා දෑත අන් සියල්ල අභිබවා ගොස්ද?

ප්‍රේමය... ආදරය... සෙනෙහස.. මේ සියල්ලම වෙන්කල නොහැකි තන්තු මුල් මෙන් එකිනෙක බදා සිටින්නේ ආකර්ෂණය විසින් නොවේද? රාගය ලෙසින් පෙනෙනා ඒ හැඟීම් තමන්ට විඳිය නොහැකිද?

තමන් ගණිකාවක් වී , රශිඳු සිරා කොල්ලෙකු වන්නේ එලෙසිනි. මෙලොවට එන්නට පමාවූ බව නිසාම ඒ ආදරයට එවන් සැලකුමක් ලැබෙන්නේ ඇයි? වනිඳු ගෝකුල යනු සිය මියගිය සැමියාගේ නැවත ඉපදීම නොවුනා නම්... තමන්ට මෙය කවදාවත් පනින්නට හැකි කඩුල්ලක් නොවනු ඇත.

' කෙල්ල... මට විස්වාස කරන්නත් අමාරුයි.. ! ඔයා කොහොමද මෙච්චර presure එකක් දරාගන්නෙ? ඒ මොකක් උනත් ඔයා හරි brave and lucky. රශිඳු ඔයාට ගොඩක් ආදරෙයි.'

එදිරිමාන්නගේ හමුවීමෙන් ගතවූ දෙවන දිනයේදී ශෂීට තමන්ගේ සැබෑ වයස පැවසූ පසුව ඇරඹුනු සංවාදයේ අගදී ඈ එසේ කියන්නේ නිර්මලීගේ දෑතම අල්ලාගෙනය. කණ්ඩායමේ සිටිනා අනෙකුත් සාමාජිකයින්ගේ බිරින්දෑවරුන් සහ පෙම්වතියන් ඈ දෙස බලමින් කුටු කුටු ගානා බව නිර්මලී දන්නා කරුණකි. 

නමුත් ශෂී ඊට වඩා වෙනස් ගැහැණියක් වූ අතර වේගයෙන් නිර්මලී සිය ආසන්නම යෙහෙළියන්ගේ කවයට සමීප කරගනිමින් සිටියාය. ඈ ඉන් පසුව සෑමවිටෙකම පැවසූ තවත් යමක් විය.

' කෙල්ල... ඔය ඔතන ඉන්න පොත්ත සුදු පුයර බබ්බු වගේ නෙවෙයි , ඔයා educated successful business women කෙනෙක්. උන් ඔයාට jelous'

නිර්මලී ඒ සියල්ලටම සුහදව සිනාසුනා මිස පිලිතුරක් ලබා දුන්නේ නැත. කාර්‍යාලයට ‍යන්නට නොහැකි නිසා අතොරක් නැතිව නාදවන දුරකතනය සමඟින් පවා නිර්මලී රශිඳුගේ තරඟය පුරාම රැඳී සිටියාය.

"Baby girl.. තව නිවුස් එකක් තියෙනවා.."

" හ්ම්ම්ම්?"

" මට.. ඔෆර් එකක් හම්බුනා.. "

නිර්මලී එවර හොඳින්ම රශිඳුගේ මුහුණ දෙස බැලුවාය. රශිඳුගේ මුහුණේ තිබුනේ නම් සතුට මුසු බැරෑරුම් බවකි. 

" හ්ම්ම්?"

" IPL වලට... මට මෙහෙ බෝඩ් එකෙනුත් පර්මිශන් ලැබෙයි.. ඒක කියන්නෙ හෙට.."

නිර්මලීගේ දෑස විශ්මයෙන් විවරව ගියේය. ඈ සැනින් රශිඳුගේ ගෙලේ එල්ලුනාය.

" අනේ කිකී! මට හරිම සතුටුයි ! කියන්න බැරි තරම් සතුටුයි!! "

රශිඳු ඈ තවත් ආදරයෙන් වැළඳ ගත් අතර සිය මවගේ මුහුණ ඔහුගේ දෑස ඉදිරියේ මැවී ගිය නිසා සුසුමක් හෙලුනි. 

ඔහුගේ ලෝකයේ වඩාත්ම ආදරය කරන ගැහැණුන් දෙදෙනා ඇයත් නිර්මලීත්‍ ය. ඇයට පෙර දින රාත්‍රියේ දුරකතනය ඔස්සේ මේ ගැන පැවසීමත් සමඟම ඈ නොනවත්වා කඳුළු සලන්නට වූයේ අහේතුකව නොවුනද රශිඳුට එය වැටහුනේ නැත. 

අනතුරුව ඔවුන් දෙදෙනා එය සමරනු වස් නිර්මලීගේ කරදරය නිසාම වෙනදා යන උපාලීස් අවන්හලට නොගොස් ගාළු මුවදොර පෙනෙන මානයේ ඇති තරු පන්තියේ හෝටලයක අවන්හලට ගොඩවූහ. 

" අද ඔන්න මගේ ගානෙ.."

රශිඳු ඊට හිස සලා එකඟ වූ නිසා දෙදෙනාම දහවල් ආහාරයට  එහි ඇති ප්‍රසිද්ධ අවන්හලට ඇතුල් වනවාත් සමඟ එම අවන්හලේ කොනක සිටිනා විශේෂ අයෙකුගේ අවධානය වහාම ඔවුන් දෙදෙනා වෙත යොමුවූ අතර ඒ තැනැත්තාගේ ඇස් ඉබේම නළල මත නතර විය. 

කාලවර්ණ හැඩිදැඩි ඔහුගේ සිරුරටම ඇලෙන අළුපැහැ ටී කමිසයට ඔහු ඇඳ සිටි කාගෝ කලිසම නිසා රශිඳු පෙනුනේ ක්‍රියාදාම චිත්‍රපටයක සිටිනා නළුවෙකු මෙනි. ඔහු අසළින්ම ඒ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය සේ සිටිනා මලක් වන් රූමත් තරුණියකි. ඔවුන්ගේ හැසිරීමෙන්ම දෙදෙනා අතර ඇත්තේ නම් තදබල පෙම් පලහිලව්වකි. විනාඩියට දෙතුන් වතාවක් රශිඳුගේ තොල් තරුණියගේ හිස මත රැඳෙයි. ඈ ඔහුගේ කමිසය සකසන්නීය. ඒ අතරේ එකිනෙකා දෙස සුවිශේෂී බැල්මන් පා කරමින් සිනාසෙති.

මදක් සිහි එළවාගන්නට මෙන් ජානක සූරියප්පෙරුම ජනේලයෙන් පිටත බලත්ම එකවරම සිහියට නැගුනේ සිය වැඩිමල් දියණියයි. 

' අම්මි.. එයා මාර හොට්! ඔයාට ඔයාගෙ තරුණ කාලෙ එහෙම කොල්ලෙක් හම්බුනොත් අතාරිනවද ආ?'

දියණිය සමඟ කාමරයේ සිය බිරිද කරමින් සිටි කතාබහ අහම්බෙන් ඇසුනද ඒ කියන්නේ රශිඳු ගෝකුල ගැන බව ඔහු දැන සිටියේ ඉන් දින කීපයකට පසුව ඈ තමාට ඉදිරිපත්කල ඉල්ලීමක් නිසාය. 

රශිඳුට වඩා වසරක් බාල ඈ ඒ වනවිටත් සිය මිතුරියන් හා රශිඳුගේත් සිය පියාගේත් සමීප ඇසුර ගැන වහසිබස් කියා තිබීම බිරිඳත් ඔහුත් විසින් කියා සිනාසුනා මතක මුත්... අද දකින මේ දසුන හදවතේ කොගේ හෝ ඇති තන්තුවක් ඉතා තදින් ඇද්දාක් මෙන් වේදනාවක් දනවයි.

' කොල්ලා උඹ මේ මොනාද කරන්නේ? මමද උඹව එදා ඒ හොටෙල් එකට ගෙනිහින් මේ ගෑනිව මුලිච්චි කලේ? '

ඊටත් වඩා ඔහුගේ හදවත සිය දියණියගේ අනාගත වේදනාව ගැන දුකින් පිරී ගොස් පියෙකුගේ භූමිකාවට අදාල වූ නොයෙකුත් අපබ්‍රංස වලින් ඇහිරී ගියේය. 

කල්පනවට වැටී සිටි ඔහුගේ දර්ශන පථයට තවදුරටත් හසුවන්නේ රශිඳු හඳුනාගත් කිහිප දෙනෙකු ඔහු සමඟ කතා කරනවාත්, සැමදෙනාම පාහේ ඔහුත් සමඟ සෙල්ෆි ජායාරූප වලට සිටිනවාත්‍ ය. ඒ සැම විටකම මදක් පැකිලී පසෙකට වන්නට යන නිර්මලී ගමනායක කිසිදු පැකිලීමක් නැතිව ඇද තමා අසලට ගන්නට උත්සුකවන රශිඳු දෙස සූරියප්පෙරුම බලා සිටියේ ප්‍රවේශමෙනි.

' උඹ උඹේ අහිංසක අම්මට දෙන්න හදන්නෙ සුළුපටු ගින්දරක් නෙවෙයි කොල්ලා.. '

එදින පාඩිකුඩාහි පිහිටි එම හෝටලයට ඔහු රැගෙන ගියේ තමන්‍ය. මේ හුටපටයට තමනුත් දායක වූවා නොවේද?

යුවල ආහාර බඳුන් සමඟ වඩා නිදහස් වූ පෙදෙසක් වෙත ඇවිද ගිය නිසා ජානක සූරියප්පෙරුමගේ නෙත් මානයෙන් ඉවත්වී ගියද එසේ ගියේ ඔහුගේ මනස අවුල් වියවුල් කරමිනි. 

" මාව ඉතින් දැන් අවුස්සන්නෙ නැතුව ඉන්නවද මැඩම්? ආව මෙතන ! දෙන්න කිව්වෙ ඔය ෆෝන් එක"

සැනින් නිර්මලීගේ දුරකතනය අතට ගත් රශිඳු වහා instagram ගිණුමක් හදන්නට වූයේ සිය රළු අතැගිලි වල කඩිසර බව දෙස බලා සිටිනා ඈ ගැන වගක්වත් නැතුවා මෙනි. 

" ..  ආ! දැන් හරි නමින් මාව ෆලෝ කරන්න මෙන්න මේ වගේ.. හ්ම්ම්.  මේ පින්තූරේ එහෙම මාරු කරන්නෙ නෑ මරනව මම! මම දාන පින්තූර ඔක්කොටම ලයික් දාන්න ඕනෙ.  හරිද?"

කෙලවරක් නැති නීති රැසකි. නිර්මලී ඇද කරමින් බලා සිටියේ ඔහුට රිසි දෙයක් කරගන්නට හරිමිනි. නිර්මලීගේ instagram ගිණුමේ සියල්ල සිදුකොට ඈ අතට දුරකතනය දෙන්නට පෙර අනවසරයෙන් මෙන් ඇගේ ජායාරූපයක් කාචයේ සටහන් කරගත් රශිඳු එය දෙස බැලුවේ ලෝබකමිනි.

' love of my life'

ජායාරූපය වඩා ලංකොට, තමා උමතු කරවන ඇගේ දෑසත් ඒ ඔස්සේ පහලට යමින් ඇගේ දෙතොලත් ලංකොට දෙතුන් වරක් බලා මදක් ඈත් කල සැනින් රශිඳුගේ මුහුණ වෙනස් වී ගියේ සටහන් වූ ජායාරූපයේ ඈට පිටුපසින් සටහන්වී ඇති මිනිසා දැකීමෙනි.


------------------------------------------------ මතු සම්බන්ධයි ----------------------------------------

6 comments:

  1. එදිරිමාන්නයෙක් මගේ මතකේ නම් නැහැ ....හිටියද......අලුත්ද.....

    ReplyDelete
    Replies
    1. විනීත පූ ට මතකයි... ඔව්. ඒ එදිරිමාන්න තමයි

      Delete
  2. එදිරිමාන්න කියන්නේ අර දුලීකා අක්කගේ සීන් එකේ හිටිය එක්කෙනා වගේ මට මතකයි. දැන් ඔය ඇවිල්ල ඉන්නේ නිර්ගෙන් අල්ලසක් ගන්න වෙන්නැති වනිඳු ටීම් එකේ තියාගන්න. මොනව කරන්නද ඉතින් හැම තැනම අරක් ගෙන ඉන්නේ ඔය වගේ අපතයෝ තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් එයා තමයි... බලමු නේද මොකාටද එන්නේ කියල..

      Delete
  3. කිකී කියන්නේ අපේ පූසි ගේ නම , ළමයි ඒක දැම්මේ ජැපනීස් ඇනිමේ එකක් බලල

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...