Sunday, May 15, 2022

325: උන්මාද චිත්‍රාදෝ මා 57




සයනය මත කෙලින්වී හිඳගත් අසලංක පැති මේසය මත තබා තිබුනු ටිඛිලා පානය ගෙන වීදුරුව කරකවමින් මද වේලාවක් කල්පනාවේ නිග්මනව සිටියේය. 

අත වූ තුවාලයට වඩා ඇදුම් කන්නේ සිතේ තුවාලයයි. වෙලුම්පටි වලට තදවූ තුවාලයේ සුදුපාට මැද්දෙන් අතරින් පතර ලේ පැල්ලම් ඇත්තේ එය පෑරෙන්නට ඇති නිසාය. මුහුණේ තිබෙන තැල්මට වඩා තැල්මට ලක්ව තිබුනු ආත්මය විසින් තමා වෙත විලිස්සාගෙන සිටිනා වියරු බැල්ම වනිඳුගේ දෙනෙත් මෙන් පෙනේ!

" අසා.... Are you ok?"

සිය නිරුවත් පිටට හිස තබාගත් අයෙකුගේ හඬ ඔහු තුල ඇතිකලේ අපුලක් වැනි හැඟීමක් පමණි. මොහොතකට පෙර නිදහස්කල පීඩනය විසින් තමාව සිටියාටත් වඩා දුර්වලව බිම දමා ඇත්තා සේය. පිට ඔස්සේ ඇඳුනු ඒ අත ඉදිරියේ ලය මධ්‍යයට යන්නට පෙර අසලංක ටිඛිලා උගුරක් බී සයනයෙන් නැගී සිටියේ තමා සමඟම අමනාපයෙනි.

" ටැක්සි එකක් දාගන්න.. මට වෙන වැඩක් තියෙනවා "

ආපසු වත් හැරී නොබලා නාන කුටියට වැදුනු අසලංක , දොර තදින් වසා දර්පනයෙන් පෙනෙන තමන්ගේම රුව දෙස ඔරවාගෙන මෙන් බලා සිටියේය.

මේ දින ගණනාව පුරාම නිදි වර්ජිතව සහ අඩ සිහියෙන් මෙන් ගෙවා දැමීමේ ප්‍රථිපලයක් ලෙස පෙරදීත් එතරම් මහතක් නොවූ කම්මුල් වලගැසී හකුපාඩා අමුතුම ලෙසින් ඉලිප්පී තිබේ. මේ දැන් අවුල්වූවාට වඩා හිසකෙස් අවුල්වී ගොසිනි. පෙනුමටත් වඩා හැඩිවී ඇත්තේ තමාගේ ජීවිතයය. ඉල්ලා හඬන්නේ එක් දෙයක් මුත් තමන් බලෙන් මෙන් ලබාදෙන්නේ වෙනත් දෙයකි. 

' නිර්... උඹ මාව ඇත්තටම පිස්සෙක් කරලා.. '

මෙවන් හැඟීමක් පලමු වරට ඔහුට දැනුනේ අසේකා සමඟ විවාහයට පෙර , පසු දින කීපයක් තුලයි. විවාහයට පෙර දින රාත්‍රියේ සමාජ ශාලාවක උන් තමා බලෙන් මෙන් රැගෙන ආවේ හිමාල් විසිනි. 

' මට නිර්ව ගෙනත් දියං හිමාල්... '

කුඩා දරුවෙකු සේ හඬමින් තමා එදා බීමත්ව හිමාල් වැලඳගත්තා අවසිහියෙන් සිටියද ඔහුට මතකය. හිමාල් තමා මොනවා කියා සමනය කලාද කියා මතක නැති මුත් පසුදින විවාහ උත්සවය පුරාම ඔරවාගෙන උන් තමාට අසේකා විසි තිස් වතාවක්ම ඔරවා සිටියා නම් මතකය. 

අනතුරුව සියල්ල සිදුවූයේ නිර්මලීට රිදවන්නට මෙන් තමාගෙන්ම පලිගන්නට මෙනි. තමාගේ රිදවීම ඈට දැනුනාද කියා නිශ්චිත නොමැති වුවද හිමාල් ඔස්සේ ඈ තමා ගැන සොයා බැලූ බවත් නව ව්‍යාපාර ජාලයකට තමන්ව හඳුන්වාදීමත් මගින් ඈ සිය මිතුරුකම ඈතින් වුවද නොවෙනස්ව තබාගෙන සිටියාය. තමන් විඳවූයේ වධකාගාරයක මෙනි.

එපමණද? අසේකා විසින් අතැර ගිය ජේනුකට කිරි මව වී කිසිදු තරහවකින් තොරව ඇගේ ඇකයේ ඉඩක් ලබා දුන් ඇයට.. තමා කුමක්ද කලේ?

' you left me with no other option Nir'

ඔහු සිය ඇතුලාන්තයටම පැවසුවේ දරුණු තුවාලය දැවිල්ල දෙනු වලක්වන්නට මෙනි. ඇත්තටම සිදුවූයේ රශිඳු දැකීමෙන් තමාගේ දුර්වලකම පිටතට ඒම නොවේද? 

අනූජ ගමනායක පෙනුමෙන්, ධනවත් කමින් සහ ප්‍රේමයෙන් ඈ මුසපත්කොට තිබුනු ලෙසටම රශිඳු ගෝකුල විසින් ඈ සම්පූර්ණයෙන් තමාගෙන් ඉවතට ගෙනගොස්‍ ය. රශිඳු යනු තරුණියක් අත්හරිනා අයුරේ පෙම්වතෙක් නම් නොවේ!

වන්‍යා විසින් ලබාදුන් instagram ගිනුමට අනුව රශිඳු වෙත යොමුවූ නින්දිත අදහස් හෝ නිර්මලී වෙත එල්ලවූ මඩ ප්‍රහාර කිසිවකින් වැඩි වෙනසක් වී තිබුනේ නැත. 

ඈ වෙනුවෙන් රශිඳු ගෝකුල තම කාර්‍යාලය තුලට කඩා වැදෙද්දී දැනුනු ලැජ්ජාව වඩ වඩාත් ඔහුව දුර්වල කොට තිබිණ. එතරම් දරුණු පින්තූර හමුවේ පවා නොවෙනස් වූ කොල්ලෙකු? 

ඒ කවරක් වුවද ඔවුන්ට විවාහ වීමට නොහැකිය. එය තනිකරම විහිලුවක් වනු ඇත. රශිඳු වයස විස්සක ජනප්‍රිය තරුවකි. නිර්මලී ලාබාල පෙනුමැති රූමත් ගැහැණියක් වුවද වයස හතලිහකි! නිර්මලීට සිදුවන්නේ ඔහුට පාවිච්චි වන්නට නොවේද?

රශිඳුගේ තර්ජනයට මදක් පසුබා ගියද කියන තරම් යකාට කළු වන්නට නොහැකිය. නිර්මලීගේ සිතේ තමා වෙනුවෙන් soft spot එකක් ඇති බව විස්වාසය. පෙරදින දී තමා කාර්‍යාලයට ගියද ඈ එහි නොවූ නිසා මිසක ඈ තමාගේ අංකය තවමත් අවහිර කොට නැත. 

තර්ජනයට වඩා අනුකම්පාව බර අවියකි!

උණුසුම් ජලයෙන් සිරුරේ වූ දැවිල්ල පහවී නොයතත්, යම් ශාරීරික සැනසිල්ලක් ලබාගෙන අසලංක ඉන් පිටතට එද්දී කාමරය මැද ඈ සිටියේ ඔහුගේ ඇඳුම් කිහිපය එක්කාසු කරමිනි. 

".. තාම මොකද මෙතන? ටැක්සියක් දාගෙන යන්න"

" අසා... ඇයි මේ? මම ඔයාට ලන්ච් හදලා දෙන්නම්.. ඔෆිස් යන්නෙ නැද්ද ඔයා?"

අසලංක ඔරවා බලා ඇගේ අතේ තිබුනු සිය කමිසය උදුරා ගත්තේය.

" නෑ ඕන නෑ! යන්නනේ කිව්වෙ තමුසෙට මම... හුරතල් කරන්න වෙලාවක් නෑ.. You should leave now"

ධාරාගේ සිත රිදුනේ දරුණුම ලෙසිනි. නමුත් කරන්නට දෙයක් නැත. අසලංක මීට පෙරද හැසිරුනේ එලෙසින් බව දැන දැනත් තමා පැමිණියේ මේ ප්‍රතිචාරය බලාපොරොත්තුව නොවේද? 

කිසිදා ලබාගත නොහැකි ගැහැණියක් වෙනුවෙන් සියළු ගැහැණුන්ගෙන් කරනා පලිගැනීමක් !

"අසා.. ඇත්ත ආදරේ කියන්නේ පලි අරගෙන දිනන්න පුලුවන් දෙයක් නෙවෙයි. තමන්ට ආදරේ කරන කෙනෙක්ට ආදරේ කරන්නවත් හිත හදාගන්න. "

ඈ නිවසින් පිටතට පියවර තබා දොර වසන්නට පෙර පැවසුවේ සැබෑම අනුකම්පාවෙනි. 

තමා හමුවට ආ අසලංක සිටියේ සීඝ්‍රගාමී දුම් රියකට හසුවූවාක් මෙන් හදවතේ මරණීය තුවාල ලබාය. තමන් විසින් නිර්මලී ගමනායකට කල පහත් ක්‍රියාව ගැන ඔහු දුක් වෙමින් සිටියද ඔහුට අවශ්‍යව තිබුනේ වෙනත් යමකි. 

----------------------------------------------------------------------

" අම්මටසිරි ! උඹව අල්ලගන්න තියෙන අමාරුවක්!"

පළමු දැක්මෙන්ම නිර්මලී වෙත පා කල ඒ බැල්ම සමඟ කාර්‍යාලයට කඩාවැදුනු නේහා පිලිගන්නට නිර්මලී සිය අසුනෙන් නැගී සිටියාය. 

' නිර්! මොනවා වෙලාද උඹව glow වෙනවා දවසින් දවස!'

වැළඳගැනීමෙන් පසුව තමා දෙස බලා සිටිනා බැල්ම දන්නා නිර්මලී ‍රතුවූ මුහුණ වසාගෙන , දුරකතනයෙන් කෙටි පණිවිඩයක් යැව්වේ අයිතිකාරයාට බව නේහා දුටු නිසා කට පියාගෙන නම් ඉන්නට බැරිවිය.

" අම්මෝ කෙල්ල උඹව මූ කෝවේ දාලා මැකුවද? දැන් ලන්ච් වලට යන ඒවත් මොනිටර් කරනවද ඒපාර ??"

නිර්මලීගේ මුහුණ රශිඳු ගැන කීමෙන්ම වෙනස් වී බැබළෙනු දැක නේහාගේ හදවත කියාගත නොහැකි සහෝදර බැඳීමෙන් තෙත්වී ගියේය. 

" අනේ ඉතින් පව්නෙ මගේ කොල්ලා..  හි හි.. රශී අද ප්ලේ කරනවා හවස.. ලන්ච් වලින් පස්සේ කෙලින්ම මම ග්‍රවුන්ඩ් යන්න ඕන"

නිර්මලී එසේ කියා අනෙක් සියල්ල සූදානම් කොට නව්‍යාට අවශ්‍ය උපදෙස් ලබාදී එන අයුරු නේහා නිහඬව බලා සිටියේ කල්පනාවක නිග්මන වෙමිනි. 

ඒ මොහොතේ නිහඬව නිර්මලීගේ ක්‍රියාවන් ප්‍රවේශමෙන් බලා සිටි ඈ හිස සලා සිනාසී ඈ සමඟ සෝපානයට නගින්නේ දහවල් ආහාරයට කතිකා කරගත් හෝටලය කරා යාමටයි.

තරු පන්තියේ හෝටලයේ, විදෙස් කුසින් එකකට අදාල අවන්හලට ඇතුළු වූ සැනින් නිර්මලී හඳුනන මුහුණු කිහිපයක්ම ඈ වෙත බැල්ම හෙලූ නිසා ඈ ඔවුන්ට සුහද සිනාවක් පෑවද , වෙනදා මෙන් වචනයක් දෙකක් හෝ අමතන්නට ගියේ නැත. එයත් නේහාගේ අවධානයට ලක් වූවද ඈ නිහඬව කෑම සඳහා වූ සුප් බඳුන පුරවාගෙන ගාලුමුවදොර පෙනෙනා වීදුරුව අසළ පුටුවකට බර වූවාය.

නිර්මලී ‍යනු අතිශය කාර්‍යබහුල සහ කැපවුනු ව්‍යාපාර ජාලයක හිමිකාරියකි. ඈ ඒ සමාජය පුරාම ප්‍රසිද්දව සිටින්නේ ආඩම්බරකාර වුවද සුහදශීලී චරිතයක් ලෙසයි. 

හදිසියේම මතකයට ආ අසලංක ගැන කරුණ නිසා නේහා සුසුමක් හෙලුවාය. එවිටම නිර්මලී සිය සුප් බඳුන සමඟ ඈ ඉදිරියේ පුටුවට බර වූයේ මේසය මත දුරකතනය තබමිනි.

"මට විස්වාස කරන්නත් බැරි උනා නිර්.. අපි නම් බයේ හිටියේ. රශියා ඇත්තටම කිව්වෙ නැද්ද...?"

නිර්මලී මුව දෙපසට ඇද්දාක් මෙන් කොට කෘතිම සිනාවක් පා සුප් හැන්ද අතට ගත්තාය.

" මුලින්ම ඇහුනේ නෑ වගේ හිටියා. පස්සේ ' ආ ඔව් ගියා' කියලා ගානක් නැතුව වගේ කිව්ව.. රණ්ඩු උනා කිව්වාට මොකවත්ම කිව්වෙම නෑ... "

" හ්ම්ම්.. ෆෝන් ආන්සර් නොකලාම අපි බය උනා.. එයාගෙ අර ටීම් එකේ යාලුවාවත් කිව්වෙ නෑ ආවා කියලා වත්! ඌත් තකට තක!!"

නිර්මලීගේ මුහුණ මදක් බැරෑරුම් වී ගියේ නිතැතිනි. අත තුවාල වූ ආකාරය ඔහුට මතක තිබුනේ නැත. කාට කියන්නද?

"රශී අසලංක හම්බුන බවක් එතකොට ඇයි ඔයා මට නොකිව්වෙ?"

නේහා බිම බලාගත්තේ කල්පනාබරවය. 

" හිරාන් ඒ ගැන බැලුවා. ඔයාට ඒ ගැන කියලා හිත අවුල් කරන්න මට ඕනකලේ නෑ.. නරක දෙයක් උනා නම් අපි නිකං ඉන්නෙ නෑ නිර්! After all Asalanka is a bastard and he deserved  it.. "

දෙදෙනාටම සුසුමක් සැලුනේ ඉබේටමය.

"... ඊට පස්සේ ඌ කෝල් කලේවත් ආවේ වත් නෑ නේද?"

නිර්මලී ඊට පිලිතුරක් නොදුන්නද හිස බිමට බාගෙන සිටියේ තද කල්පනාවකය. 

".. රශියා මොනාද කිව්වේ? මට ඇත්තටම පුදුමයි ඌ එකවරම විස්වාස කලා කිව්වමත්"

නේහා මේසය මත වූ නිර්මලීගේ අත උණුසුම්ව අල්ලා ගනිමින් අසද්දී ඇගේ වතේ ඇඳෙන වේදනාත්මක කතාවේ ජායාවන් දැක කම්පාවට පත් වූවාය. 

" රශී පව්... ගොඩාරියක් මට ආදරෙයි..  මොනදේ උනත් රශී ගැන මම අහිතක් හිතන්නෙ නෑ නේහා... එයාට තියෙන්නේ ලස්සන ලයිෆ් එකක්. මට ඒ ලයිෆ් එක ruin කරන්න දුකයි. එයා ඉල්ලන්නේ එයාගෙ හැමදේකදිම එයත් එක්ක ඉන්න කියලා විතරයි.. ඒක හරිම අහිංසක තර්ජනයයක් තමයි ඉතින්"

නිර්මලී අපහසුවෙන් මෙන් සිනාසී සුප් කෝප්පය පසෙකින් තැබුවේ කෑමට ඇති උවමනාව තවදුරටත් නොවූ බැවිනි.

' baby girl.. මගේ හැම මැච් එකකටම ඔයා එන්න ඕන! I want you to be my happy pill.. '

ඒ ප්‍රේමාතුර හඬට තමා නතුවන්නේ අනිච්චානුගවමය. අනතුරුව එන්නේ තර්ජනයයි.

'... ආවෙ නැත්තන් මාව ඉතින් නරක මිනිහා කියන්න එපා!'

බොරපාට ඇස්වලින් ඔරවාගෙන මුත් ඔහු එසේ පැවසුවේ ඇගේ ගෙල මත හාදු තවරමිනි. 

' හ්ම්ම්ම්.. එහෙම කරන්නෙ කොහොමද ? එතකොට මගේ ඔෆිස්?'

අවුස්සන්නට බියක් ඇතත් අමුතු ආසාවක්ද දැනෙයි.

' ඔෆිස්?? ඒව මම දන්නෙ නෑ.. මොන ග්‍රවුන්ඩ් එකේ ප්ලේ කලත් පැවිලියන් එකේ ඉන්න ඕනෙ! එච්චරයි!!'

ඒ වචන විහිලුවක් නොවන බව වැටහෙන්නට තරම් ඈ රශිඳු ගෝකුල හොඳින් හඳුනයි.

' හ්ම්ම්ම්... ඒක බලමු.. හරි එතකොට ලංකාවෙන් පිට ටුවර් ආවහම?'

හොරැහින් ඒ මුහුණේ මැවෙන හැඟීම් තේරුම් ගන්නට උත්සහ කරමින් තමා පැවසුවේ ඔහුගේ සිත බලන්නටය.

' ඉතින්?? ඇයි ටිකට් දෙන්නේ ටීම් එකේ අයට.. ඒ නැතත් ඔයා ටිකට් අරගෙන එන්න ඕනෙ යන්න!'

තමන් විශ්මයෙන් මෙන් ඇස් කැරකුවේ එය තරමක් අමුතු දෙයක් නිසාය. ඒ මොහොතේ කිසිවක් නොකීවද හිස තුල රතු එළියක් දැල්වූනා මතකය.

කල්පනාවට වැටී සිටි නිර්මලී දෙස නේහා සැලකිලිමත් ලෙස බලා සිටියාය. ඇගේ මුහුණේ ඇත්තේ ජීවිතයේ වෙනස්ම අභියෝග වලට කැපී තුවාල වී ගොස් ප්‍රේමය විසින් පිලිසකර කල සලකුණුය.

" හප්පා.. උඹට ඔය කෙරුවාව හැමදාම කරන්න පුලුවන්ද නිර්? උඹේ ඔෆිස් වැඩ අස්සේ?"

නිර්මලී කල්පනාවෙන් මිදී නේහා දෙස අවංක බැල්මක් හෙලුවාය.

"පුලුවන් තරම් කරනව නේහා..  I don't want to loose him again "

එහි ඇති වචනාර්ථයට වඩා යමක් දැනුන නිසා නේහා තුල හටගත්තේ දෙගිඩියාවකි. නිර්මලී ‍යනු ප්‍රේමය වෙනුවෙන් සියල්ල කැපකිරීම් කරනා කෙනෙක් වීද ඈට රශිඳු ලබාදෙන්නේ කවර තරමේ අභියෝගයක්ද? ඈ මෙලෙස ලිට්මස් පරීක්ෂණයට ලක්විය යුතුද?

" නිර්.. "

නිර්මලී මේසයට ඇගේ වැලමිට බරකොට ඇගේ නිකට එහි රඳවාගෙන නේහා දෙස බැලුවේ දෙදෙනාගේම දෑස එකිනෙකා වෙතම එල්ල වෙමිනි.

"... රශියා උඹට ආදරෙයි. ඒක මම දන්නව. මට ඒ උනාට උඹ ගැන මාර බය හිතෙනවා නිර්! මම දන්නෙ නෑ ඇයි මට එහෙම හිතෙන්නෙ කියලා"

නේහා නිර්මලීගේ උරහිසට අතක් තබා පවසද්දී ඇගේ නෙත්වල සටහන්වන අමුතු පෙනුම ඈට හොඳින් පෙනුනු මුත් නිර්මලී වහා නෙත් ඉන් මුදවාගෙන ඇගේ අහිංසක සිනාව මුහුණ මත මවා ගත්තාය.

"මගෙත් එක්ක යමුද ග්‍රවුන්ඩ්?"

-----------------------------------------------------------------------------------

නිර්මලී සිය ආසනයෙන් නැගිට අත්පොලසන් දෙද්දී මොහොතකට හැරවුනු කැමරා වලින් උකහාගත් ඇගේ රුව විසල් රූපවාහිනී තිරයේ සටහන් වන්නේ විචාරකයින්ගේ ඇස ඈ වෙත මොහොතකට සොරා ගනිමිනි.

' අදත් අපේ ඉනිමේ තරුවගේ පෙම්වතිය ඉන්නවා'

මයික්‍රොෆෝනයට එලෙස පැවසූ ඔහු ඊට අමතර අදහස සිය සගයින් හට පැවසුවේ මයින්ක්‍රෆෝනය අක්‍රීය කරමිනි. එයට විස්තර විචාරකයින් පමණක් නොව අවට සිටි කිහිප දෙනෙක්ම හඬ නගා සිනාසුණහ.

ඕවර පනහේ තරඟයේ හතරවන කඩුල්ල ලෙස පැමිණි රශිඳු ගෝකුල ඒ වනවිට සිය මංගල තරඟයේදී අර්ධශතකයක් සඳහා එක් ලකුණක් තිබියදී දැවී යන්නේ අනෙක්පස සිටි සිය නායකයා දුවද්දී දැවී යන්නට ඉඩක් නොදී බේරාගන්නට යාමෙනි. 

ඔහුගේ ප්‍රහාරාත්මක පිති හරඹයෙන් ඔද වැඩී උන් ප්‍රේක්ෂකාගාරයේ විලාපය මුළු ක්‍රීඩාංගණය සිසාරා පැතිරෙද්දී , සුපුරුදු පරිදි ප්‍රේක්ෂකාගාරයේ එක අන්තයක් දෙස එසවුනු ඔහුගේ පිත්තද ඒ හා සමව වාතලයෙන් ආ ඒ ආදරය අතේ ගුලිකොට සිය ලයේ වම්පස රඳවාගත් ගැහැණියක් විය.

' පිස්සුවක්!'

නේහාට මෙය විස්වාස කරන්නට නොහැකි සමනල් ප්‍රේමයකි. 

නැවත ආසනයේ හිඳගත් සැනින් නේහා ඇගේ හොඳම මිතුරිය වැළඳගත්තාය.

" නිර්.... අනේ කෙල්ල..  !"

නිර්මලී සිය ඩ්‍රාමා ක්වීන් යෙහෙළිය හඳුනන නිසා මදක් සන්සුන් බවින් මෘදු සිනාවක් පා ඇගේ වැළඳගැනීම ඉවසාගෙන සිටියාය.

"රශීට මම ආදරෙයි නේහා.. මමවත් දන්නෙ නෑ කොහොමද කියලා.. එයා මගේ weakness point  එක.. ඒ වගේම මගේ එකම strength එක.. "

" මට ඒක තේරෙනවා... ඒ ආදරේ උඹට අයිතියි.  හීල් වෙයං... හැමදාම දුකම ඉවසගෙන ඉන්න ඕනෙ නෑ. "

නේහා කඳුලු පිරි දෑසින් ඇගේ මිතුරියගේ දෝතම අල්ලා ගෙන සිටියාය.

".. මම කොච්චරවත් රංගගෙ මැච් වලට ගිහින් තියෙනව.. ඒ මෝඩයා කවදාවත් ගෝල් එකක් ගැහුවාමවත් මගේ දිහා බලලා නැ.. අනේ නිර් රශියා නම්! "

නිර්මලීගේ කන් පෙති රතුවී ගියේ ඒ දිනවල ඈ අනූජ කෙරෙහි වූ ක්‍රශ් එක නිසා වූ ඇබැද්දියක් සිහියට නැගීමෙනි. 

රංග ජාතික කණ්ඩායම නියෝජනය කරන අවධියේ නේහාගේ නිවසින් රංග කෙරෙහි වූ විරෝධය නිසා ඈ සමඟ ඒ තරඟය බලන්නට නිර්මලීට යන්නට සිදුවිය. පැසිපන්දු ගැන මෙලෝ හසරක් නොදන්නා නේහා සිටියේ නිර්මලී ඒ ගැන කියනා දෙයකදී පමණක් ප්‍රතිචාර දක්වමින් ය. 

එකවරම ක්‍රීඩාංගණය පසෙකින් අනූජ මතුවන්නේ කුමක් හෝ යමක් අතැතිවය. තරඟය ගැන අවධානයක් නැති නේහා ඒ මොහිතේ දඬුවම් පහරකට සූදානම් වූ රංග ගැනත් එකවරම නිශ්ශබ්ද වූ ශාලාව ගැනත් මෙලෝ සිහියකින් නොසිටි අතර අනූජගේ අතේ තිබුනු දේ එකවරම හඳුනා ගත්තාය.

" ආනේ... එයා රෙඩ් රෝසස් ගෙනත්!"

ඇල්පෙනිත්තක් හෝ වැටෙනා ශබ්දය ඇසෙන්නට නිහඬව තිබුනු ශාලාව පුරා නේහාගේ හඬ පැතිර ගියේ දෝංකාරයක්ද සමඟිනි. සිද්ධියෙන් පසුව රංග අනූජ හා අමනාප නොවුනද නේහාට ඇති පදමට ඔහු දෙහි කපා තිබුණි. 

" මගේ කොල්ලට එහෙම ක්‍රශ් වෙන්නෙ නෑ ඔන්න! මරනවා දැනගනින්!"

නිර්මලී දෙබැම හකුළුවා පැවසුවේ බොරුවටම නොවන බව ඈ දනී. 

" හුහ්.. ඒව කියන්න බෑ.. ඉන්ස්ටා එකේම කීයක්ද? "

දෙදෙනාටම ඊට සිනාය. අනතුරුව පැමිණි කෙටි පණිවිඩය රශිඳුගෙන් බව නේහා අනුමාන කලේ නිර්මලීගේ මුහුණේ මැවෙන සිනාවෙනි. ඈට මේ ප්‍රේමය දැනෙන්නේ මහා සජීවී බවකි. 

අනූජ මෙන් මේ දඟකාර කේන්තිකාරයා ඉවසිලිවන්ත නොවේ. 

ඉන්දීය පිල පිටියට පිවිසීමත් සමඟ පන්දු රැකීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම, රශිඳුගේ කඩුළු ලබා ගැනීමත් , පන්දු රැකීමත් මත විසල් බලාපොරොත්තු ඇතිව සිටියහ. පළමු තරඟයේදී ලංකාවේ පරාජය නිසාත් රශිඳුගේ ආගමනයෙන් ලත් ජවය නිසාත් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පිට පිට කඩුළු ලබා ගනිමින් රශිඳු ගෝකුල එය සාධාරණ බව ඔප්පුකොට පෙවීය.

 තරඟයේ සිය සෑම ජයග්‍රහණයක් හමුවේම ඒ ප්‍රේමය එකිනෙකාගේ දෑස් වලින් හුවමාරු වූ අතර තියුණු තරඟයකින් පසුව ඉන්දීය පිල පරදවා ලකුණු දහයක ජයග්‍රහණයක් වාර්තා කලේ, ඒ තරඟයේ වීරයා කුසලානය රශිඳු ගෝකුල විසින් අත්පත් කරගනිමිනි.

පිටිය පුරා නැගෙනා ජය ඝෝෂා මෙන්ම ප්‍රේක්ෂකාගාරයේ නිර්මලී සිටි කොටසේ සිටි අය පවා ඒ තියුණු ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වෙමින් සිටි අතර නිර්මලී නාඳුනන චරිතයක් හදිසියේ ඈ ඉදිරියේ සිටගත්තේ ප්‍රසන්න සිනාවක් සහිතවය.

" congratulations ! Is this Rashindus'' fiancee ?"

මදක් ගැස්සී ගියේ එකවරම දැනුනු නුහුර නිසාමය. ආලේපන වලින් බහුල ඈ නවීන විලාසිතාවට කොණ්ඩය කපා, මිල අධික සන්නාම සහිත දේවල් වලින් සර්වාංගයම හැඩකොටගෙන සිටියාය.

" Ah yes.. I'm Nirmalee"

"හායි නිර්මලී.. මම ශෂී..  මුදිත් කරුණාතිලක මගේ හස්බන්ඩ්.. "

ඈ සිය අත නිර්මලී වෙත පෑ නිසා නිර්මලී එයට ප්‍රතිචාර දැක්වූයේ සිය සුපුරුදු සුහදත්වයෙනි. මුදිත් කවුදැයි ඇගේ ඔලුවට පැමිණියේ නැත. 

රූමත් නිර්මලී ප්‍රථම වතාවට සියැසින් දැකගත් ශෂී කරුණාතිලක ඈ වෙත ඇති පෞර්ෂය ; ආකර්ෂණය සහ රූමත්කම සිතුවාට වඩා ප්‍රභල බව එකවරම තෝරා ගත්තාය.

".. මුදිත් මට ඔයා ගැන කියනවා.. රශිඳු ගැන කියනවා වගේම.. රශිඳු කියන්නේ ගොඩක් වටින කෙනෙක්.. Unbelievable !"

ඈ කවුදැයි නොදැන වුවද නිර්මලී ගමනායක වෙතින් පලවූ සුහදත්වය ශෂීගේ සිතගෙන තිබිණ. 

" Hello ladies!"

එකෙනෙහිම ශෂීගේ සහ නිර්මලීගේ අතරින් එකවරම මතුවූ රුව දැක නිර්මලීගේ මුහුණ බලාසිටියදී වෙනස් වී ගියද ඈ ඉක්මනින් එය පිලිසකර කරගන්නවා ශෂීගේ උකුසු ඇස්වලට හසුවෙයි. 

තමා දෙසම නෙත රඳවාගෙන සිටින , කාලාන්තරයක් තිස්සේ තමා හඳුනන මේ පුද්ගලයා වෙතින් වහා නෙත ඉවත් කරගත් නිර්මලී , නේහා දෙස බලා දෑසින් ඉඟියක් කලේ ඈද සිටියේ තෘෂ්නිම්භූත වී නිසාය.

" excuse us for.."

" නෑ 'මිසිස්' ගමනායක.. මම මේ ආවෙම ඔයා ඉන්න හින්ද කතාකරන්න බලාගෙනමයි!"

මිසිස් කොටස ඇසුනේ වෙනමමය.

සිය හිසේ සිට පාදාන්තය දක්වා යන ඒ කෑදර දෑස් වල දැවටෙනවිට දැනෙන පිලිකුල අපහසුවෙන් දරාගෙන නිර්මලී ශෂී වෙත සුහදව සිනාසුනේ මේ දැන් සිදුවන්නට යන්නේ කුමක්දැයි එකවරම නිශ්චය කරගත නොහැකිවය.


------------------------------------ මතු සම්බන්ධයි ---------------------------------------

6 comments:

  1. මම අහල තියෙන්නේ "ටෙකිලා " කියල. ඒ ගමන තව ජලා හුටං කෙනෙක්ද

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම් ඔව් ඉතින්...

      Delete
  2. අර මොකක්ද message එකෙන් මම සෑහෙන්න කලබල උනානේ. 57 දැක්කම පුදුම සතුටක් ඇතිවුනා. මේ අසා මොට්ටයා නේද

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් පොඩි අවුලක් උනා.. දැන් හරි Asa??

      Delete
  3. අපෝ අසලංකයා වැඩේ අතාරින පාටක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. හොඳටම හිතට වැදුන කෙල්ලෙක් එහෙම අතාරින්නෙ නැහැ සමහරු

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...