Friday, May 6, 2022

322: උන්මාද චිත්‍රාදෝ මා 54




 ඔබ කිසිවෙකුට ආදරය කරන්නේ නම්, එය එතරම්ම ඔබව රිදවනවා ඇත. සොබාදහමේ ඒ නීතිය ඔබට වලක්වාගත නොහැක.

වරක් සෙමෙන් සෙමෙන් වුවත් ඉතා ගැඹුරට විහිදීයන ප්‍රේමයක් විඳ අහිමි වූ සද, එහි විහිදීගිය නාලකා වලින් ආතුරව ගිය ජීවිතය ඈ සෙමෙන් සෙමෙන් ගොඩනගා ගත්තේ අනූජගේ මතකයන් සමඟය. 


ඒ මතකයන් තුල ඈ කෙතරම් ගිලී සිටියාද යත් රෂිඳුගේ වේගවත් සහ ජීවී ප්‍රේමය ඈට උසුලාගෙන යා නොහැකි පීඩනයක් එල්ලකොට තිබිණ. ඒ පීඩනය පුපුරා යාමෙන් වූ ව්‍යසනය තවමත් ගණන් හදන්නට නොහැකි හිරෝෂිමාවක් ඇගේ සිත තුල නිර්මාණයකොට තිබේ.

නිර්මලී අත්දකිමින් සිටි සත්‍ය විසින් ඈ නිදි වර්ජිත රාත්‍රියක් ඔස්සේ අසීරු හෝරාවන් කිහිපයක් හරහා ගමන් කරවා තිබින. 

දුරකතනය දෙස නෙත රඳවමින් නිර්මලී නොසිටි වේලාවක් නැත. කොයි මොහිතක හෝ ඔහු තමා අමතනු ඇතැයි සිත කියයි. නමුත් එසේ වූයේ නැත!

වරක් සිදුවූ දරුණු සිත රිදවීමක් හමුවේ රශිඳු තමා ගණනකට නොගෙන සිටියා ඈට මතකය. ඒ ඔස්සේ කල්පනා කරන ඇයට නැගුණු අදහස නිසා එකවරම ක්‍රියාත්මක වූ නිර්මලී ඇඟලාගෙන උන් බාච්චු ඇඳුම සමඟම වාහනයේ යතුර ගෙන පහළ මාලයට ආවේ කොර ගැසීමද අමතකව මෙනි. රශිඳු විසින් කුඩුකල වීදුරුව නිසා ඇගේ යටි පතුලේ තරමක කැපුමක් තිබුණි.

" මිස්?"

සාලය හරහා වේගයෙන් ගමන් කරමින් උන් නිර්මලී දෙස නිවස මධ්‍යයේ පැදුරක් එලාගෙන උන් චම්පා බලන්නේ විමතියට පත්වෙමිනි. නිර්මලී නිරාහාරව සිටිනා නිසා චම්පා ඈ හැර නොයා සාලයේ නිදාගත්තේ හදිසියේ වෙන ශබ්දයක් හෝ නෑසෙන නිසාය. වේලාව රාත්‍රී දොළහා පසුව විනාඩි හතලිස් හතකි. 

' මිස්ගේ ඔලුව නරක් වෙලාද? යකෙක් වත් වැහිලද මේ දෙගොඩහරිජාමේ ?'

" ච.. චම්පා නිදාගන්න. හදිස්සියක් නෑ මම ඉක්මනින් එනව"

නිර්මලී එසේ කීවද චම්පා බිය වූවාය. අවාසනාවට පණිවිඩය කේලමක් ලෙස රශිඳු ගෝකුලගේ කනේ තබන්නට ඇගේ දුරකතනයේ මුදල් තිබුනේ නැත. 

අවසිහියෙන් මෙන් මෙතෙක් උන් සිය ස්වාමි දියණිය රැගත් රේන්ජ් රෝවර් රථය නිවසේ ගේට්ටුවෙන් පිටතට ගොස් අඳුර හා මුසුවනු ඈ බලා සිටියේ වික්ශිප්ත බවකිනි.


-----------------------------------------------------------------

" දැන් අපි මොකද කරන්නෙ හිරාන්?"

නව්‍යාගේ පැණය ඔස්සේ සිතමින් උන් හිරාන් මදක් සිතීම නතර කලේය.

" හ්ම්ම්ම් ඇති යන්තං.. ලොකු දෙයක්!"

නව්‍යා ඒ පිලිතුරට අන්දුන් කුන්දුන් වී ගොස් ඇගේ පැනයේ වරදක් වීදැයි සිතුවාය. තමන් ඇසූ පැනයේ කිසි වරදක් පෙනෙන්නට නැත.

" හා?? ඒ මොකක්ද ලොකු දේ?"

" ලොකු දේ ඉතින් අර මිට්ට කෑල්ල හැලිච්ච එක" 

නව්‍යාට සිනාවක් නැගුන අතර දුරකතනයෙන් නොපෙනුනද, හිරාන් ඊට සැනසුම් සුසුමක් හෙලුවේය. 

" හා හරි හරි... දැන් ඔයා පොඩි කොල්ලෙක් කියලා කියෝලා ඇති වෙලා නැද්ද? මම මේ රැවුල ගිනි අරගෙන ඉන්නව.. මෙයා එනව සුරුට්ටු පත්තුකරන්න"

කොලුකමට කටට එන වචන මදක් නතර කරගත් හිරාන් ඇගේ මුහුණේ ඉරියව් මවාගත්තේය. ඈට ඇත්තේ චාම් රූමත්කමකි. 

" හරි හරි නෝනා.. දැන් මට කියන්ඩකො රැවුලෙ විස්තරේ"

" හිරාන් ඔයාට හැමදේම විහිලු... ඔයාගෙ යාලුවා නේද? පොඩ්ඩක් හොයලා බලන්නකො රශිඳු මොකක් කරගෙනද කියලා.. මට දුකයි මෑම් ගැන... තරහේ බෑ අර මෝඩ මූසලයා එක්ක"

හිරාන් මදක් සිනාසුනේ ඇගේ කෝපයේ වදන් වලට පොලාපනින්නට ඉඩ දෙමිනි.

" රශියා බෙස්ටා තමයි.. ඌ දැන් ඉන්නෙ ඩේ කෙයා දාන වයසෙ නෙවෙයි නේ. අනික ඌ දැන් බිග් ශොට් එකක් එක්කනෙ සෙට් වෙලාත් ඉන්නෙ. ඔය අලි වලි වලදි අපිව චප්ප වෙන හින්දා ඔය බටු ඇටේ ඕක මැද්දට පැනලා නිකං ගුටිකන්නෙ නැතුව ඉන්න"

හිරාන් එලෙස පැවසුවේ ඈ අවුස්සා ගැනීමට බව නොවැටහුනු නව්‍යා කට උල් කරමින් බනින්නට වූවාය.

" හහ්! ඒ මොකක්ද ඒ කතාව? මට කියන්නෙ මේ ඔක්කොම මැද්දට මැදිවෙලා ඉන්න මෑම්ව තනි කරන්න කියලාද? සැලරි එකක් ගෙව්වට මෑම් කියන්නේ පඩියට විතරක් ඉන්න කෙනෙක් නෙවෙයි. මෑම් තමයි මම දැකලා තියෙන ඩිසන්ට්ම ලේඩි. අර මෝඩ මූසලයා මෑම්ගෙ පින්තූර තියාගෙන බ්ලැක්මේල් කරන්න හැදුවට!"

හිරාන්ට අවසන් වැකිය සමඟ තරු විසිවිය. 

" මොන පින්තූර ද?"

නව්‍යාට තමාගේ ඇවිස්සුනු කට ගැන ඇතිවූයේ නොමද පසුතැවිල්ලකි. නමුත් දැන් එය කටින් පැන හමාරය.

" නෑ මේ.. පින්තූර එහෙම ඇතිනෙ.. ඒ දෙන්න කාලයක් තිස්සෙ යාලුවෝ නේ"

හිරාන් එයින් එපිටට විමසන්නට නොගියද වහ වහා සැලසුමක් ඇඳ ගත්තේය. 

" හ්ම්ම්ම් එතකොට අපි මොකද කරන්නෙ ඇහුවෙ? "

" ඒ ඇහුවෙ ඉතින්.. "

නව්‍යාට එකවරම සිහි වූයේ දෙදෙනා අතර මින් පෙර වූ සංවාදයයි. ඇගේ වචන මදක් සිරවී ගියේය. 

" සොරි නව්‍යා..  ඔයාගෙ හිත රිද්දුවට සොරි.. මම එදා හිටියේ ටිකක් අවුලෙන්.. ඔයා ඔච්චර අප්සෙට් යනවා කියලා දන්නව නම් ඔය කතාව එදා කියන්නෙ නෑ"

නව්‍යා ඉහලට ඇල්ලූ හුස්ම අල්ලාගත්වනම සිටියේ හිරාන්ගේ වචනක් පාසා ප්‍රවේශමෙන් ග්‍රහණය කරගන්නට උත්සහ කරමිනි.

"... මම හැදුනේ ආච්චි ගාව. අම්මයි තාත්තයි ඩිවෝස් වෙලා වෙන වෙන පවුල් දෙකක් හදාගෙන ඉන්නෙ. රශියාගෙ අම්මා තමයි මට අම්මෙක් වගේ හිටියේ. ආච්චි මැරුනාට පස්සේ මම මගේම දේවල් හදාගන්න හිතුවා.. ඒ හින්දා මම දැන් ඉන්නේ බිංදුවේ... එහෙම බිංදුවේ ඉඳගෙන මට ඔයා වගේ කෙනෙක්ව අමාරුවේ දාන්න බෑ"

හිරාන්ගේ වචන අවංක බව නව්‍යා දනී. 

" එහෙම අමාරුවේ දාන්නද හිතාගෙන හිටියෙ?"

හිමාල්ගේ සුසුමක් දුරකතනය මත වදින ශබ්දය නව්‍යාට ඇසුනි. 

" අපි මීට් වෙලා කතාකරමු නව්‍යා.. මට ඔයාව දකින්න ඕන. අපිට ආයෙත් යාළුවෝ වත් වෙන්න පුලුවන් නේද? "

" ඔෆිස් එකට එන්න එපා.. "

හිරාන්ගේ මුවඟ ඇඳුනේ මනමාල සිනාවකි. 

--------------------------------------------------------------

සිය වචන අවසානයේ නායකයා රශිඳුගේ මුහුණ බලද්දී රශිඳු සිටියේ වෙන සිහියකින් නිසා ඔහුගේ බැල්ම දැඩි වනවා දැක චාමික වහා රශිඳුගේ ඇලපතට ඇන්නේ ඔහුව වලාකුළු අතරින් බිමට ඇද දමමිනි.

රශිඳුගේ වාසනාවට ඔහුගේ එරවීමක් මිස අන් යමක් නොලැබ පිරිස විසිර ගියේ එදිනට නියමිත කණ්ඩායම් කටයුතු නිමා කරමිනි. නායකයා රශිඳුට තරමක් වැඩි සැලකිලි දක්වන බව කණ්ඩායම තුල ඉඳහිට කතාබහ කෙරෙන බව දන්නා වුවත් ඉතා සුහදශීලී සහ ලොකුකම් නොදක්වන රශිඳු ඉදිරියේ එය පෙන්වන්නට කිසිවෙකුත් ඉදිරිපත් නොවන බව දන්නා චාමික ඒ ගැන වදවිය. 

" උඹ ආපු වෙලේ ඉඳලා ඉන්නෙ අවුලෙන්.. තෝ කොහෙද ගියේ කියපං"

චාමික නැවත වරක් ඇසුවේ හිරාන් විසින් තමන්ට ලබාදුන් දුරකතන ඇමතුම ගැන සිහියේ තබාගෙනය. රශිඳු පැමිණියේ ඉන් අනතුරුව වුවත් ඔහු ඒ ගැන හිරාන්ට නොකියා සිටින්නට තීරණය කලේ හිරාන්ට වඩා රශිඳු තමන්ගේ මිතුරා නිසාය. ඔහුගේ පෙනුම සෑහෙන්න වෙනස්‍ ය!

නැවත ආ රශිඳු තුලින් වෙනදා සිය පෙම්වතිය හමුවී එන සැහැල්ලුව නොතිබීමත්, අත තරමක් තුවාලවී තිබීමත් නිසා කුමක් හෝ අලකලන්චියකට පත්වී ඇති බව වටහාගත්තද හරිහැටි කතා නොකරමින් රශිඳු කට්ටි පැන්නේ චාමිකගේ ඇස් මගහරිමිනි.

තමන්ගේ හෝ වෙනත් කිසිවකුගේ විරෝධයක් නොතකා නිර්මලී ගමනායක හා තදින් බැඳී ගිය රශිඳු වෙත ඇති නොදැමෙන අධිෂ්ඨානය ගැන චාමික හොඳින් දනී. ඒ බැඳීම වඩාත් සරාගී බවක් තිබුණද, එකිනෙකා දෙස බලන බැල්මෙන්ම ජීවී බවෙන් සහ සුන්දර බවෙන් අනූන බව දැකීම ඔහු පුදුම කළේය.  

ආදර සම්බන්දයක් ගැන තමන් දැරූ සමහර මතයන් ඔහු විසින් අභියෝගයකට ලක්කල බවත් ඒ ඔස්සේ යමින් තමා ගැනම යෙදුනු ස්වයං විවේචනය නිසා එතෙක් කලක් සිය පෙම්වතිය හා තිබුණු බැඳීම පවා තමන් ප්‍රශ්න කලා මතකය. ඇත්තටම සිදුවූයේ ආදරය යනු හුදෙක්ම ආකර්ෂණය සහ සන්තර්පනයට වඩා යමක් බව තමන්ගේ මොළයට තදින් දැනීමය. ඒ සියල්ල විසින් රශිඳු ගෝකුල ඔහු තුල ඇතිකොට තිබුනේ ගරුත්වයකි. 

"චඃ.. එහෙම අවුලක් නෑ බං.. මට අද මහන්සි"

" හ්ම්ම් මහන්සි නැතෑ දැන් පැය කීයක් නැද්ද"

චාමිකගේ වචනවල යටි අරුත තේරුනද රශිඳු ඊට ප්‍රතිචාරක් දෙනු වෙනුවට කමිසය ගලවා තුවාය අතට ගත්තේ කල්පනාවට වැටෙමිනි.

" තෝ අවුලෙන් කියලා මට කියන්න දෙයක් නෑ. තොට කියන්න බැරිනම් මට කමක් නෑ.. උඹේ ඔය තුවාලෙ නම් පුතෝ හෙට ඩොකාට අහුවෙනව"

රශිඳු සිය අල්ලේ පසෙක වූ කැපීම දෙස හදිසියේ මෙන් බලා චාමිකගෙන් මුහුණ වසාගෙන ආපසු හැරුණේය. අතේ කැපීම සිදුවූයේ අසලංකගේ කාමරයේ බිඳුනු වීදුරුව තිබියදී ඔහු හා පොරබදන විටදීය. 

"මම අර මිහිඳුකුලසූරියට ගැහුව බං.. ඒ වෙලාවෙ වෙන්න ඇති"

චාමික මදක් තිගැස්සී ගිය නිසා දෑස විසල් කොටගෙන රශිඳු දෙස බැලුවේ ය.

" කාට?"

" අර.. අසලංකයා බං.. @&$ වගේ හිටියෙ.. ගහන්න නෙවෙයි මට ඕනෙ කලේ ඌව මරන්න! ඒ උනාට ඌට එච්චර ලේසියෙන් මැරෙන්න දෙන්න බෑ. ඒ හින්දා අතෑරියේ "

වේගයෙන් වෙනස්වන ඔහුගේ වත නොපෙනෙන නමුත් දත්මිටි කමින් එසේ කියනා රශිඳුගේ අත මිට මෙලවෙනවා චාමිකට හොඳින් පෙනුනේ ය. චාමික පිටුපසින් පැමිණ රශිඳුගේ උරයට තට්ටුවක් දැම්මේ සෙමිනි.

"පරෙස්සමෙන් මචෝ... ඌ මහ කුප්ප වැඩ කරන එකෙක් කියලා තමයි හැමෝම කියන්නෙ.. කරන දෙයක් පරෙස්සමින්. "

දබරයට හේතුවක් හෝ වෙනත් කිසිවක් චාමික විමසුවේ නැත. ඒ ඔහුගේ හැටිය. නිර්මලී සම්බන්ධයෙන් මුලදී විරුද්ධ වුවද කණ්ඩායම තුලදී තමන්ට නොමද ආරක්ෂාවක් ඔහුගෙන් ලැබෙන අතරම එකිනෙකාගේ අදහස් පරස්පර විරෝධී මොහොතවල්වලදී පවා ඒ මිත්‍රත්වය නොනැසී තිබිණ.

රශිඳු ඊට පිලිතුරක් නොදී නින්දට පෙර ස්නානය සඳහා ගිය අතර ඒ සමඟම ඔහුගේ දුරකතනය නාද විය.

ඒ ගැන නොතකා සිටියද දුරකතනය නැවත නැවතත් නාද වූ නිසා චාමික එය ගෙන නාන කාමරය අසළට යද්දී තිරය දකින්නේ අහම්බෙනි. ඔහුට ලැබෙන ඇමතුම චාමික පෙර දිනයේ අනුමාන කර තිබිණ. 

රශිඳු එයට පිලිතුරු දෙනවා ඇසුන නිසා චාමික එතැනින් ඉවත් වූයේ මද සැනසීමකිනි. ඔහුට සිය නායකයාගේත් තේරීම් කමිටුවේ සිටිනා ප්‍රභලයෙකුගේත් අහම්බෙන් ඇසුනු සංවාදය සිහියට නැඟුනි.

'.. ඒක අසාදාරණයි මිස්ට එදිරිමාන්න! එහෙම ආවොත් අපිට රශීව හිර කරන්න බෑනෙ.. නීතියෙන් වත් බෑ'

ඒ හඬ නායකයාගේ බව හඳුනාගත් නිසා තමන්ගේ ගමන එකවරම නතර වූයේ රශිඳුගේ නම ඇසුනු නිසාය.

' නීතිය? නීතිය කියන්නේ අපි කියන දේ කොල්ලා! උඹ තාම ඒක නොදන්නවා වෙන්න බෑ.. කන්ට්‍රැක් එක අපි අලුත් කරන්න ඕන.. නැතිනම් '

' ඊට වඩා ගානකට එහෙනම් තව කෙනෙක්ව ප්‍රයිස් කරන්න.. රශී සයින් නොකලොත්?'

' සයින් නොකලොත් ඉතින් උගේ කැරියර් එක එච්චරයි. මේක ලංකාව.. අනික ඌට කල් තියෙනවා '

ඉක්මනින් ඔහු එතැනින් ඉවත් වන්නේ කවුරුන් හෝ ඇවිද එනු ඇසුනු නිසාය. මේ ගොඩනැගිල්ලේ බිත්ති වලට කන් තිබේ. ඒවාට කතාකල හැකිනම් මීට වඩා පාවාදීම් පවසනු ඇත. 

නායකයා රශිඳු වෙනුවෙන් කතාකල බව දැනුනත් , ඇතුලත ඇතිවී ඇති ගිනියම් බව දන්නා නිසා මේ ඇමතුම රශිඳුගේ ජීවිතය යටිකුරු කරනු ඇත.


----------------------------------------------------------------

ගොඩනැගිල්ලට ඈතින් වාහනය නතරකල නිර්මලී වාහනයෙන් බැස එහි දොර වසා දැම්මේ හාත්පස ඇති නිශ්චල භාවය නොබිඳෙන පරිද්දෙනි. රාත්‍රී එකට ආසන්න වුවද නොනිදන නගරය කහපාට මාර්ග විදුලි බුබුලු වලින් ආලෝකමත්ව තිබුනු අතර ඒ මොහොතේ පෙනෙන තෙක් මානයක කිසිවෙකුත් නොසිටි නිසා සිතට දැනුන බිය ආයාසයෙන් ඈ යටපත්කොට ගත්තාය. 

ගැහෙන හදවතින් ගොඩනැගිල්ල වෙත ඇවිද ගිය ඈ දැනුන සීතල නිසා දෑතම හකුලාගෙන පය ඉක්මන් කලේ ඒ වනවිටත් පොද වැස්සක් ඇදවැටෙමින් තිබුනු නිසාය. ගොඩනැගිල්ලේ වම්පස ගේට්ටුව අසල ඇති කුඩා හිඩැස දුටු වහාම ඈ වටපිට බැලුවේ කිසිවෙකුට හසුවන්නට ඇති බියට වඩා මෙවන් තක්කඩිකම් මින් පෙර කර නොමැති නිසාය. නමුත් මුවට නැගුනේ දඟකාර සිනාවකි. 

කුඩා හිඩැස හරස්කොට තිබුනු ලී පතුර ඉවත්කල නිර්මලී සිය බුහුටි සිරුර ඒ තුලින් ඇතුලට රිංගවාගන්නට සමත් වූවාය. අනතුරුව ඈ හාත්පස බැලුවේ ආරක්ෂක නිලධාරින් සොයමිනි. ඈත ඇති එලියකින් ඈ අනුමාන කලේ ඔවුන් සිටින්නේ ඒ කුටියේ කියාය. ඈ වහා තට්ටු තුනක් වූ ගොඩනැගිල්ලේ පසෙක තිබෙනා පියගැට ඔස්සේ සෙමෙන් සෙමින් ඉහළට නැග්ගේ ගැහෙන හදිනි. 

ඈට මේ ගොඩනැගිල්ල නුහුරු නැත. යා යුත්තේ දෙවන මහළට බව ඈ දනී.

දෙවන මහලේ දකුණු පසට හැරුනු සැනින් කවුරුන් හෝ එහි සඳලු තලයේ සිටිනවා දුටු සැනින් නිර්මලී වහා කෙටි බිත්තියට මුවා වූවාය. අඩ අඳුරේ දුටු රුවින්ම ඒ සිටින්නේ කවුරුන්දැයි හඳුනාගත් නිර්මලී මුවා වූ තැනින් පිටතට පියවරක් තබා සෙමෙන් සෙමෙන් අඳුර තුලින් පිටතට ආවාය. 

ඔහුත් ඇහැරගෙන !

පොද වැස්ස දෙස බලාගෙන, කෙටි කලිසමකින් සැරසී නිරුවත් උඩුකයින් යුතුව ඒ රුව සිටියේ ඈතින් පෙනෙන අඳුරට නෙත තබාගනිමින්, දල්වාගත් දුම්වැටියක් අතැතිවය. අමුත්තක් දැනුන නිසා එකවරම හිස හැරවූ ඔහු දකින්නේ තමා වෙත ඇවිද එමින් සිටිනා නිර්මලී ගමනායකය! 

ඔහුගේ අතින් දුම්වැටිය අතහැරුනු නමුත් ඒ වගක් නොමැතිව තමන් දකිනා සිහිනය ගැන දෑස විවර කරගෙන බලා සිටියේය. ඈ මෙතැනට පැමිණියේ කෙලෙසකද ? දුම්වැටියකින් තමන්ගේ සිහිය විකල්ව ගියාද?

" රශී.."

නැත! මෙය සිහිනයක් නොවේ. වහා ඉදිරියට ආ නිර්මලී , රශිඳු තදින් වැළදගත්තේ ඔහු සිතන්නටත් පෙරය.

" baby girl! ඔයා කොහෙද මේ???"

" රශී... අනේ මාව දාලා යන්න එපා"

නිර්මලී කිටි කිටියේ රශිඳු වැලඳගෙන ඔහුගේ ලය මත මුහුණ හොවාගෙන හඬන්නට වූවාය. එකවරම සිදුවූ දෙයක් නිසා රශිඳුට සිහි එළවාගන්නට තත්පර දෙකක් පමණ ගතවිය. 

' මේ කෙල්ල මේ රෑ කොහොමද මෙහෙ ආවෙ? පිස්සුද මේ කරන වැඩ?'

ගිනිගෙන දැවෙමින් සිටිනා ගිනිගොඩකට අයිස් ජලය පනිට්ටුවක් වත්කලාක් මෙන් මෙතෙක් වේලාවක් පුරා සර්වාගයම දවමින් පැවති වේදනා ගින්න ඒ මොහොතේ කොහේ හෝ අතුරුදහන්ව ගොස් තිබුනේ ඔහු විශ්මයට පත්කරමිනි. ඔහුගේ දෑත් ඉබේම ඒ බඳ වටා එතී ගොස් ඈ තවත් ඔහුගේ සිරුරට තදවී ගියේ ඇගේ හිස මත උණුසුම් හාදුවක් තබමිනි. 

දැක්මෙන් පවා තමා නිවී ගොස් ලය අවුලවන්නට හැකි වෙනත් කිසිවෙක් නොමැත්තේය. කෙතරම් හිත හදාගන්නට තරවටු කලත් ඒ සත්‍යට අභියෝග කරන්නට තමාට නොහැකිය. ආවේගයට ඈට දොස් කියූවත් ඈ විසින් විඳි අනේක දුක් වලින් මෙතරම් දුරට හෝ ඈ තමා වෙතම උන්නා නොවේද? 

ආත්මීය සහකාරිය යනු ඔබව වඩා පරිපූර්ණ කිරීමට ඔබට අභියෝග කරන, ඔබ දුකින් සිටීම ඉවසාගත නොහැකි ; ඔබ වෙත අවංකව නිර්ව්‍යාජව සහ නිර්ලෝභීව කැපවී සිටින අයෙක් ය. ඔබ වෙනුවෙන් ඔබගේ නරක මෙන්ම ඉතා හොඳ කාලවලදීත් එකසේ ඔබේ පසින් සිටිනා ; ඔබ සමඟ වයසට යමින් කෙස් අළු පැහැයට හැරවෙන්නට කැමති අයෙකි. නිර්මලී ගමනායක එලෙසය...! 

අඩ අඳුරේ වුවද සිය ලය මධ්‍යයේ ගුලිවී හඬනා නිර්මලීගේ මුහුණ දෝතින්ම ගත් රශිඳු ඇගේ නෙළුම් පොහොට්ටු වන් නෙත්වල ඇති ඉතිරී ගිය කදුළු පහරවල් මහපට ඇඟිල්ලෙන් පිසදා ඇගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටියේ සිය ආත්මයම විනිවිද යන ඒ බැල්මට කැමැත්තෙන්ම නතු වෙමිනි. පා ඇඟිලි වලින් ඉස්සී ඈ අපහසුවෙන් රශිඳුගේ කනට ලං වූවාය. 

"... මගේ නේද?"

රශිඳුගේ මුව අග ඇඳුනේ ඔහුගේ පෙම්වතිය පමණක් දකිනා ඒ සුවිශේෂී සිනාවය.

ප්‍රථම වතාවට ඈ තමන්ගෙන් එවැනි පැනයක් අසන්නීය!

එලෙසින්ම ඒ සිනාව ඇති රළු දෙතොල් නිර්මලීගේ රෝසපෙති වන් මෘදු දෙතොල් මත සෙමෙන් තැවරුනේ අවට සිරිපොද වැස්ස තරමක සුළඟක් සමඟ දෙදෙනාම හිරිකඩින් නහවා යද්දීය. 

" හැමදාම ඔයාගෙ තමයි baby girl.. "

මෘදු හාදුව සමනය වූ වහාම මත්වූ හඬින් මිමිණූ රශිඳු, නිර්මලීගේ නිකටින් අල්ලා ඇගේ කොපුල සෙමෙන් පිරිමැද්දේ ඈ දෙස බලාගත්වනමය. අවට පරිසරය ගැන හෝ තමන් සිටිනා තැනක් ගැනවත් නිනව්වක් නැති පෙම් යුවල වෙත හිරිකඩ ඉහමින් වැස්ස ඇරඹුනේ අකුණක් පුපුරා පරිසරයම ඒකාලෝක කරවමිනි. 

රශිඳුට එකවරම සිහි වූයේ නිර්මලී සොයාගෙන ඇගේ මහල් නිවාසයට ගිය ගමනය. එලෙසින්ම ඈ සිය පෙම්වතිය ලෙස ක්‍රීඩාංගණය වෙත පැමිණි සහ ලොවක් ඉදිරියේ ක්‍රීඩාගාරය තුල හිඳ කැමරා කාචයෙන් මුළු රටම වෙත දැන්වූ දිනයයි. 

".... මාව දැනෙනවද baby girl?"

" ඔව් රශී... මට දැනෙනවා.. හැමදාම දැනුනා වගේ"

නිරුවත් පපුවේ උණුසුමත්, ශක්තිමත් අත් බාහු වලට තෙරපෙන සිය සිරුරේ සියුම් තැන් වලින් ගලා එන අධිකතර වෝල්ටීයතාවයෙන් යුතු විදුලි ධාරාවත් නිසා නිර්මලී තත්පර ගණනක් වේගයෙන් හුස්ම අල්ලා ගත්තාය. 

"..මාව දාලා යන්න එපා කිකී"

රශිඳු වහා ඈ සිරුරෙන් මෑත්කර ඇගේ මුහුණ දෙස බැලුවේ සිනාසෙමිනි. අඩ අඳුරේ ඇගේ ඇස් තාරුකා මෙන් දිලිසුණි.

" කවුරු?"

" කිකී... ඒ තමයි ඔයාට දාපු නම"

ඈ සිනාසුනේ ලැජ්ජාවෙන් මෙන් යටිතොල සපා ගනිමිනි. ඒ සමඟම උස් හඬින් ඈට නැඟුනු දඟකාර සිනාව රශිඳු වහා අතින් ආවරණය කළේ සිනාසෙමිනි.

"ෂ්... පිස්සි කෑගහන්න එපා!"

 කෙතරම් ජීවයෙන් පිරුනු පෙම්වතියක්ද?

එපමණකි! ඉහළට ඔසවාගත් නිර්මලීට සිය බඳ වටා කකුල් දවටාගන්නට ඉඩදුන් ‍රශිඳු ඈ බිත්තියට තෙරපා ආවේගයෙන් සිපගත්තේ අකුණු ගසමින් ඇවිලී යන වර්ෂාවට පවා නිවී නොයනා අධිකතර ගින්දරකිනි. 

වෙනදාට රශිඳු වෙතින් ලබනා සරාගී පහසට උණුසුම්ව වැගිරෙන නිර්මලී අද ඔහුට අභියෝග කරමින් ආදරණීය ගණුදෙනුව ඇගේ පාලනයට ගත්තේ රශිඳු මදක් නතරවී විමතියෙන් බලා ඔහුගේම ආවේණික සිනාවකින් මුව සරසන විටදීය. 

".. පිස්සි මගේ..."

ඇගේ සවනට මිමිණූ රශිඳු ඈට මදක් ඉඩ දුන්නද, තත්ත්වය තමන්ගේ සීමාවෙන් ඔබ්බට යන්නට ඒ තත්පර කිහිපයම ඇති වූවා සේ විය. ඈ එතරම් වේගවත්!

".. ස්ස්.. ඒයි ඒයි... මොකද කරන්නෙ පිස්සි? හෝව් හෝව්!  පොඩ්ඩක් කතාකරන්න ඕන!"

ඇගේ දෑතින්ම අල්ලා ඉහලට කොට බිත්තියේ තදකල නිර්මලීගේ ඇස්වල ඇති සරාගී පෙනුම දරාගන්නට නොහැකිව ඔහු තදින් යටිතොල සපාගත්තේය.

" අනේහ් !"

" ඇයි මේ මහ රෑ ආවේ? "

සෙමෙන් බිත්තිය ඔස්සේම ඈ බිමින් තැබූ රශිඳු සංවාදයක් සඳහා සිත එකඟ කරගන්නට උත්සහ කළේ සිත සමඟ පොර බදමිනි.

"මට ඔයා නැතුව ඉන්න බෑ.. මම දන්නෙ නෑ... මට ඉන්න බෑ.. "

මෙය ක්‍රීඩාගාරයේ විවේක කාමරවල පොදු සඳලුතලය නොඋනානම්.. 

රශිඳු ඔහුගේ ඇඟිලිවල පිටත පැත්තෙන් ඇගේ කොපුල් වල ඉහල සිට පහළට අත ගෙනගියේ මදක් ඇගෙන් නෙත ඉවතට ගනිමිනි. 

".. මට හුස්ම ගන්න බෑ.. මාව දාලා යන්න එපා රශී.."

" කවුද කිව්වෙ මම දාලා ගියා කියලා ? හ්ම්ම්?"

" එහෙනම් කොහෙද ගියේ? "

වහා වෙනස්වූ රශිඳුගේ වත අඩ අඳුරේ වුවද නිර්මලී හඳුනා ගත්තාය. ඒ සමඟම ඔහුගේ වමත වෙලා තිබුනු වෙලුම් පටි ඇගේ අතට හසුවූ සැනින් නිර්මලී තිගැස්සී රශිඳුගේ මුහුණ දෙස බැලුවේ විමතියෙනි. 

" baby girl... "

" රශී..  මේ මොකද මේ? මොකද උනේ මට කියන්න !"


---------------------------------------- මතු සම්බන්ධයි -----------------------------

8 comments:

  1. ඔයා මෙව්වා බලන පාටක් නැද්ද මන්දා. හැබැයි අපි මැරීගෙන කියවනවා හොඳේ.

    ReplyDelete
    Replies
    1. අනේ සමාවෙන්න මට තාක්ෂණික දෝෂයක් නිසා කමෙන්ට් වලට පිළිතුරු දාන්න බැරිව තිබ්බා.. ඒ උනාට දිගටම කතාව දැම්මේ ඔයාල පව් නිසා.. ගොඩක් ස්තුතියි මම වෙනුවෙන් වචනයක්වත් ලියනවට

      Delete
  2. Replies
    1. අනේ සමාවෙන්න මට තාක්ෂණික දෝෂයක් නිසා කමෙන්ට් වලට පිළිතුරු දාන්න බැරිව තිබ්බා.. ඒ උනාට දිගටම කතාව දැම්මේ ඔයාල පව් නිසා.. ගොඩක් ස්තුතියි මම වෙනුවෙන් වචනයක්වත් ලියනවට

      Delete
  3. අර කිව්වත් වගේ පිස්සුවෙන් මේක කියෝගෙන යනකොට ඔන්න ඔබල තියෙනව නව්‍යගෙයි හිරාන්ගෙයි කෙහෙල්මල් පලහිලව්වක් මැද්දට. සුහදිනියට හොඳවැන් දෙකක් අමතන ගමන් අන්තිම ටික ඉස්සෙල්ල කියෙව්ව. අනේ බොහොම ටැංකිව් හොඳේ අපිගැන අනුකම්පා කරලා කතාව දැම්මට දිගටම. මේ දෙසීය විදෙසීය ප්‍රස්න ටිකකට අමතක වෙනව මේක කියෙව්වම.

    ReplyDelete
    Replies
    1. අප්පා.. එහෙමද.. නව්‍යා සහ හිරාන් කතාවට අදාළ නිසා උන් දෙන්න ගැනත් චුට්ටක් ලිව්වා ඉතින්.... තරහා ගන්න කාරී නෑ ඉතින්.. ඔය ගතිය ඇරිලා යයි

      Delete
  4. මමත් කියවනවා වෙලවක් ආපු හැටියේම.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කතාව කියවනවට. කමෙන්ට් කරන්න විදියක් නැතුව හිටියේ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...