Sunday, February 27, 2022

305: උන්මාද චිත්‍රාදෝ මා 37



 Instagram හි දැමූ පින්තූරයට සහ නවතම status update එකට ඒ හරහා ගලාවිත් තිබුනු සුභපැතුම් වැල අතර වැඩිදෙනා රශිඳු හඳුනන අය නොවේ. ජාතික කණ්ඩායමේ මෙවර සංචාරයේ කණ්ඩායම නම්කල සැනින් තමන්ගේ followers ලා ගනන තුන් ගුණයකින් වැඩිවී ඇති බවත් වැඩිදෙනා තරුණියන් බවත් දැක රශිඳු තනිවම සිනාසුනේය. 

මේ තරුණියගේ සම්ප්‍රාප්තිය ඒ නිසාද? ඇයත් ඊට හදවත් reaction එකක් දමා තිබුනු බව වහා සිහියට නැගී නළල රැළි වූයේ ඉබේටමය.

" හායි!"

තාමරසී සිය වලගැසෙන කම්මුල් විදහා සිනාසෙමින් රශිඳුට අත වැනුවාය. 

" හායි... මම ඈතට දැකලා ශුවර් නැතුව ආවෙ... මොකෝ මෙහෙ? මේ වෙලාවෙ?"

Thursday, February 24, 2022

304: උන්මාද චිත්‍රාදෝ මා 36


 

" රශිඳු... කෝ නැගිටින්න.. මේහ් ඉක්මනින්..  අය්යෝ ඉක්මනින් නැගිටින්න… අනේ ... දැන් පිස්සු නැතුව ! පරක්කු වෙනවා"

නිර්මලී දෙවුරෙන් අල්ලා සොලවා වෙහෙසට පත්ව අතට ගත් වතුර අහුර මූණට හැලූ සැනින් යකඩ අත එකවරම දිගහැරී ඇගේ බඳ හරහා ගොස් සයනයේ පෙරලී ගියේ ඈ අතින් මුව වසාගනිද්දීය. පොරෝනාව තරමක් හැකිලී ගිය නිසා රශිඳුගේ නිරුවත් උඩුකය දැක තරමක් කලබල වූ නිර්මලී නැගී සිටින්නට ගියද ඊට ඉඩක් නොවීය.

".. දැන් මම දෙනව දෙකක් රශිඳු නැගිටින්න නේද කිව්වෙ.. ගෙදර මිනිස්සු එහෙ මෙහෙ වෙනකල් ඉඳලා යන්න දැන්වත්.. කෝ ආව්.. මගේ අත රිදෙනවා..."

රශිඳු එක ඇසක් ඇර අපහසුවෙන් හිස ඔසවන්නේ නිර්මලී තමා වෙත ඇදගනිමිනි.

" හ්ම්ම්.. බෑහ්.. මට සීතලයි. කෝ මෙහාට එන්න"

" අතාරින්න විකාරද අපි මේ ඉන්නෙ හිමාල් අය්යගෙ ගෙදර , ඔයා දැන් යන්න ඕනෙ.. ඉක්මනින් ලෑස්ති වෙන්න මම කැබ් එකක් කතාකරන්නම්."

රශිඳු දුන්නක් සේ කෙලින් වී සයනයේ හිඳගත්තේ රිදුම්දෙන හිස මතට වමතේ ඇඟිලි තෙරපමිනි. ඒ ඇසිල්ලෙන් නිර්මලී වහා සයනයෙන් නැගිට යුහුසුළුව ඔහුගේ ඇඳුම් එක දෙක එකතු කරන්නට වූයේ කලබලයෙනි.

"හ්ම්ම්.. ඊයෙ මුකුත් උනේ නෑද?"

නිර්මලීට සිනාවක් ආවද ඈ ඔරවාගෙන බලද්දී දෑස නතරවන්නේ නළලේය. 

" ... මම දැන් දෙනව දෙකක් රශිඳු මගේ යකා අවුස්සන්නෙපා! කොයි වෙලේද ඔයා ඇඳුම් ගැලෙව්වෙ? පිස්සුද මේ full naked නෙ ඔයා ඈ! "

" ආ.. ඒකද? ඒ ඔයා නෙවෙයි ද ආ?? ඒකනෙ මම ඇහුවෙ මුකුත් උනේ නෑද කියලා.. සිරාවට මුකුත් උනේ නෑ??"

"මේ ඇඳුම් ඇඳගන්න රශිඳු පිං සිද්දවෙයි. එහෙම මුකුත් උනේ නෑ. පිස්සු වැඩ කරලා මෙතන විකාර නටන්න හදන්නෙ ?? "

රශිඳු දඟකාර සිනාවක් සමඟ තුවාය ඉන දවටා ගනිමින්ම නිර්මලීගේ අතින් ඇද තමා අසලට ගනිද්දී ඔහුගේ ශක්තියට එරෙහි වන්නට නොහැකිව නිර්මලී දෑස තදින් පියාගෙන හැකිලී ගියාය.

" මුකුත් උනේ නෑ? අපරාදේ නේ! "

"අනේහ් එපා රශිඳු.. ලැජ්ජ නැතුව ඉන්නහැටි විතරක්! එපා මම තරහයි අතාරින්න !"

ගැලවෙන්නට නොහැකි තැන නිර්මලී ඔහුගේ ලයේ දකුණුපස දසන් වලට අල්ලා තද කලාය. 

' යකඩද මන්ද කන්නෙ!'

දඟලන ඈ සිය ශක්තිමත් බාහු යුගල අතර දැඩිසේ තදකොට සිටියා විනා රශිඳු වෙනත් කිසිවක් නොකීවේය. එපමණකි! නිර්මලී සංසුන්ව ඒ ලයේ තුරුලට නතුව තත්පර කිහිපයක් සුසුම් සලමින් සිටියාය. ඉන වටා එතුනු දෑත සෙමින් ඇගේ ඉඟටිය මෘදුව පිරිමදිමින් , නිකට ඇගේ හිස මුදුනට තබාගෙන රශිඳු මේ පුංචි කොච්චි කරල දෙපසට පද්දන්නේ සනසන්නට මෙනි. ඇගේ මේ කලබලය සාමාන්‍ය ස්වභාවය නොවේ.

"මගේ නේද baby girl? හ්ම්ම්ම් ??"

ප්‍රේමණීය හඬ හදවතේ පැත්තක් හිරිවට්ටනවා මෙනි. නිර්මලීගේ සුසුම් ක්‍රමයෙන් වේගවත් වන බව දැනුනු රශිඳු වෙනසක් ඇතිබව ස්ථීර කරගත් නිසා ඈ සිරුරෙන් මෑත්කොට නළල මත හාදුවක් තැබුවේ ප්‍රවේශමෙනි.

"... ගුඩ් නිවුස් එකක් කියන්න හෙව්වට මගේ කෙල්ල ඊයෙ නෑ. ඉතින් මට එහෙම බෑනෙ! දන්නවද... ඊළඟ ටුවර් එකට මාව සිලෙක්ට් උනා India වල ලංකාවේ ටුවර් එක. ඉතින් නැද්ද මුකුත් වාසියක් වත් කොල්ලගෙ මහන්සියට ? ආ??"

නිර්මලීට සැලුනේ සුසුමකි. හැඬෙන්නට එන සිත තදකොට ඈ සිතුවේ මේ මොහොතේ ඔහුගේ සිත රිදවීමට කතාවක් ඇරඹීම නොකටයුතු බවයි. 

"Congratulations! මට හරි සතුටුයි ඉතින්.."

" එච්චරයි??"

 " ඔව් එච්චරයි. තරහයි මම මේ කරපු හිතුවක්කාර වැඩේට! බලාගම්මුකො පස්සෙ! දැන් ලෑස්ති වෙන්න ඉක්මනින් මෙහෙන් යන්න... ගෙදර මිනිස්සු ඔක්කොම උදෙන්ම යන හින්දා හොඳයි. අද ප්‍රැක්ටිස් ‍යන්න කැබ් එකක් දාලා දෙන්නම්.."

ඒ කිසිවක් නෑසූ කන්ව රශිඳු නැඹුරුව නිර්මලීගේ දෙතොල් සිපගත්තේ ආවේගයෙනි. සර්වාගයම පන නැතිව යන ඒ හාදුවට ඇගේ ඉතිරිව තිබුනු ශක්තියද සිඳී ගියාක් මෙන් දැනුනේ විනාඩි කිහිපයක් යනතුරු හෙටක් නැති ලෙස එකිනෙකා සිපගන්නට වූ නිසාය. 

" මගේ කෙල්ල මාව ඩ්‍රොප් කරනව නේද? "

දෙතොල් මුදවාගත් වහා රශිඳු ඇගේ නළලේ වම්පස සිය සුසුමින් උණුසුම් කරමින් පැවසුවේ ඇගේ ඇතුල් හදට අමතමිනි.

" ර...ශිඳු .... මම.."

" ටීම් එකට ආපු ගමන් ටුවර් එකක් සෙට් උනේ මට විතරයි baby girl. මේ ඔක්කොම ඔයා නිසා.. ඔයා තමයි මගේ ලකී ගර්ල්, මගේ මුළු ජීවිතේම හෙව්වෙ ඔයාව.. මගෙත් එක්කම හැමදාම ඉන්නව නේද baby?"

ඊට දෙන්නට පිලිතුරක් හරිහැටි සිතට නොආ බැවින්, රශිඳුගේ දෑස දෙස බැලුනේ ඉබේටමය. ඒ බොරපාට ඇස්වල ඇති බැල්ම ආත්මයක් ගානේ පැමිණි ප්‍රේමයකි. හැරයාමක සේයාවක් හෝ එහි නොමැති අරුමය ඈ පාරවයි.

නේහා කියනා පරිදි රශිඳු සමඟ ඉදිරියක් සිතන්නට සිතීමත් විහිලුවකි. නමුත් මේ බැඳීම තේරුම් කරන්නට හැකි වන්නේ කුමක් ලෙසටද?

කැබ් රථයකට මේ මොහොතේ රශිඳුව කාටත් නොපෙනෙන්නට නැංවිය නොහැකි නිසාත්, හදවතේ විලාපය තරමක් සමනය කරගන්නට කාලය අවැසි නිසාත් නිර්මලී දෑස වසා සුසුමක් හෙලුවාය.

"හ්ම්ම්... ඉක්මනින් ලෑස්ති වෙන්න මම ඩ්‍රොප් කරන්නම්, මෙහෙ ඉඳලා දුරයි"

දඟකාර කොල්ලෙකු සේ රශිඳු ඇස සිහින්කොට බලා ඇගේ කොපුලක් සිපගත්තේ සිනාසෙමිනි. 

අනතුරුව ඔහුව ඇඳුම් සමඟ නාන කාමරයට තල්ලුකොට ඈ එහි තිබෙන සැහැල්ලු ලිනන් කලිසමක් සහ වී හැඩැති කරක් ඇති අලුපාට බ්ලවුස් එකක් හැඳගත්තාය. 

අනතුරුව උදෑසන හොරෙන් සාදාගත් සැන්ඩ්විච් පාර්සලය සහ දහවල් කෑම රහසේම ගෙනගොස් වාහනයට දමා, ජිප්රථය පෝටිකෝව අසලින් ඇතුල් ගරාජයට රිවස් කොට ඇතුලතින් පැමිණි රශිඳු වහා රථයට නංවා ගත්තේ නිවසේ මෙහෙකාරිය එහා මෙහා වනතුරු සිටය.

"මහලොකු චණ්ඩියාට ආපු විදියටම යන්න කියන්න තිබ්බෙ.. "

ගේට්ටුවන් එළියට දැමූ වාහනය ප්‍රධාන මාර්ගයට හරවමින් නිර්මලී රශිඳු වෙත පා කලේ බොරු අමනාපයකි. රශිඳු සිටියේ ඈ දෙස සිය සරාගී බැල්ම දමාගෙනම නිසා නිර්මලී ‍රතුවී ඉවත බලාගත්තාය.

" තාප්පෙන් පනින්න දාපු ගේමත් අපරාදෙ.. නිකන්ම එන්න උනානෙ"

" මහ නරකයි අනේ.. චික්!"

" නරක? මගේ නරක තාම මේ නෝනා දැක්කෙ නෑ!"

දෙදෙනාටම ඊට සිනාය. 

වාහනය බත්තරමුල්ල දෙසින් වේගයෙන් ඇදුනේ රශිඳු ගෝකුලගේ පුහුණුවීම් පැවැත්වෙන ක්‍රීඩාංගණය ඇති මාර්ගය දෙසටයි.

-----------------------------------------------------------

සම්මුඛ පරීක්ෂණය සඳහා වූ කැඳවීම සමග වන්‍යා සිටියේ අධික කලබලයකින් නිසා ඈට ඇඳුමට තෝරාගත් සපත්තු යුවල අමතකව තිබුනු නිසා නව්‍යාගේ සපත්තු ඉල්ලාගන්නට සිදුවිය. 

උදෑසන ලෑස්තියට අමතරව සිය කාමරය පෙරලමින් නොයෙකුත් දේට කරදර කරනා වන්‍යා නිසා, නව්‍යා සිටියේ තරමක් නුරුස්නා හැඟීමෙන් වුවද සිය සොයුරිය ගැන සිතන නිසා අනුකම්පාවෙන් ඉවසුවාය.

" ලයිට් මේකප් එකක් දාන්න.. මට බැරිම දේ මේ ෆ්ලැට් සපත්තු දාගෙන යන එක අප්පා"

නව්‍යා සිය සොයුරිය වෙත හෙලුවේ නොපහන් බැල්මකි. 

" තමුසෙ එතන ගිහින් සැප හොයන්නෙ එහෙම නැ! අපේ මෑම් වගේ නෙවෙයි , රුමෙත් සර් මාර වසයි"

" ඉන්ටවිව් එකේදි එහෙම අහන්නෙ නෑනෙ. සර් මාව දන්න නිසා වැඩේ ගොඩ කියලා මට හිතෙන්නෙ.. මේහ් ඒක නෙවෙයි රුමෙත් සර්ගෙයි ඔයාගෙ මැඩම්ගෙයි පෙම් පලහිලව්වක් තියෙනවා කියලා ආරංචියි "

නව්‍යාට එකවරම සිහි වූයේ අසලංක ලබාදුන් දුරකතන ඇමතුමයි.

" නව්‍යා.. පුතා..මම මේක පුතාට කියන්න හිටපු දෙයක් නෙවෙයි , පුතාම තේරුම් ගනී කියලා බලාගෙන හිටපු දෙයක්. ඒ උනත් දැන් ඔයා මෙතන එන මාසෙ ඉඳලා responsibility ඔක්කොම බාරගන්නවානෙ. 

ඇත්තටම මේක official matter එකක් නෙවෙයි. මෑම් මට මගේ දරුවෙක් වගෙයි. මම ඒ කාලේ මෑම්ගෙ හස්බන්ඩ් ඉන්න කාලෙ ඉඳලා ගොඩක් දේවල් වෙනස් වෙනවා දැකලා තියෙනවා. 

සර් නැති උනත් කවදාවත් තමන්ගේ ආත්මගෞරවය නැති කරගත්තෙ නැති කෙනෙක් මෑම් නිර්මලී කියන්නෙ. එයාට ගොඩක් පිරිමින්ගේ ආකර්ෂණය තියෙද්දිත් තාම සිංගල් ඒ තරම් ඒ සර්ට ආදරේ නිසා. රුමෙත් සර් නරක කෙනෙක් නෙවෙයි, නමුත් හැමවෙලේම මෑම්ගෙ පැත්තෙ හිටගෙන ඉන්න පුතා. 

එහෙම කරන්න ඕනෙ මෑම් අපිට පඩියක් ගෙවන නිසාම නෙවෙයි, සල්ලිම නෙවෙයි , ඒ තරම් හොඳ හාර්ට් එකක් තියෙන මෑම් තනි කරන්න එපා, ඔයාට තේරෙයි මම මේ මොනාද කියන්නෙ කියලා. කවදාවත් මෑම්ව පාවලා දෙන්න එපා , පව්!"

අසලංකගේ දුරකතනය ඇමතුමෙන් පසුව තුශාරා තමන් අසළට පැමිණ පැවසූ දෙයෙහි යටි අරුතක් ඇති බවත්, ඒවා තමන් ප්‍රවේශමෙන් විමසියයුතු බවත් ඒ මොහොතේ හිස සලා පිලිගත් නව්‍යා , වන්‍යාගේ මේ කතාවද සැලකිල්ලෙන් විශ්ලේෂණය කලයුත්තක් සේ දුටුවාය. 

" අපි දන්නෙ නෑ හලෝ ඕවායෙ ඇත්ත නැත්ත.. තමුසේ අනුන්ගේ සීනි කිරන්නෙ නැතුව ඉන්නවා පාඩුවේ. ඔන්න හරි..  ඔය ලිප්ස්ටික් එක ගානට ඇති. කැබ් එකක් දාගන්න මගේ office transport එක එනවා මම යනවා"

නව්‍යා ඉක්මනින් සිය බෑගයද ගෙන කාමරයෙන් එලියට පැමිණි අතර වන්‍යා කුලී රථයක් ලබාගන්නට දුරකතනය ඔබමින් පැමිණියේ ඊට පසුපසිනි. නව්‍යා පාර මාරුවී අනෙක්පසට ගියාය. 

අහේතුකව හිස ඔසවන ඈ එකවරම වන්‍යාගේ ඇස මානයෙන් ඇදී ගිය රේන්ජ් රෝවර් රථයේ ඉදිරි අසුනේ අඩමානයට දකින්නේ තමන් හොඳින් දන්නා රුවකි. 

ඉදිරි වීදුරුව හැරුණුවිට පැති වීදුරුව අඳුරුකර තිබුනු නිසා මුව අයාගත් වන්‍යා තත්පර කීපයක් ගල්ගැසී සිටියාය.

------------------------------------------------

රථයෙන් බසින්නට තත්පරයකට පෙර රශිඳු ගෝකුල එකවරම නිර්මලීගේ දෙතොල් සිපගත්තේ ඈ සිතන්නටත් පෙරය.

" මට හරියට බායි කියන්න ඕනෙ අන්න එහෙම.. හරිද?"

නිර්මලී ඔරවා සිටියද, රශිඳු වහා ඒ බොරපාට ඇස් වලින් ඈ අඩපණ කලේය. 

"... එහෙනම් හවස පහට?"

දඟකාර වැඩ වලත්, හිතුවක්කාර තීරණවලත් කෙලවරක් නැති නිසා නිර්මලී සිතුවෙ මේ දඟකාරයා සමඟ බරපතල ලෙස කතාකරන්නටය. එබැවින් අද සවස ඒ වෙනුවෙන් වෙන්කොට මේ පඹ ගාල ලෙහා නොගතහොත් නේහා නම් තම මිතුරිය තමන්ගේ බොටුව කඩා ලේ උරාබොනු ඇත. ඊටත් වඩා මේ දගකාරයා කරනා වැඩ වලින් තවදුරටත් කාගේ හෝ ඇස නොගැටී සිටීමත් අසීරුය. එසේ වීම තමන්ට තවමත් කළමනාකරණය කරගන්නට නොහැකිය.

නිර්මලීගේ වාහනයෙන් බැස මහා වීරයෙක් මෙන් ආ රශිඳු ඇඳුම් කාමරයට යන්නට හැරෙනු කණ්ඩායමේ උප නායකයා ; තිවංක ; බලා සිට එය තවෙකෙකුට පෙන්වූයේ වැලමිටින් අනිමිනි.

" ඒ උගේ ස්පොන්සර් නේද? "

" ඔව් ඔව්.. ඔක්කොම කවර් කරනව වගෙයි. මිනිහා නෑනෙ."

" ඈ! අර මිසිස් ගමනායක නේ?"

" ඔව් ඉතින් ගමනායක මැරිලා සෑහෙන කල් බං. නිකං ඉන්නෙකේ.. හෙහ් හෙහ්... මුට ජිම්කානා ඇදිලා.. පට්ට කෑල්ලක් බං.. සල්ලිත් තියෙනවා.. මූ හැන්ඩියානෙ.. ඇන්ටිලා බෑ කියයිද?"

තිවංක කීවේ අනුමානයට වුවද අනෙක් සගයා එය අනුමත කලේ එවැනිම අශෝභන සිනාවකිනි. රශිඳුව දුටු සැටියේ ඔහුගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ඔරවා සිටි චාමික ' දඩස්' හඬින් ඔහුගේ බෑගය රශිඳු ඉදිරියේ අතහැරියේය.

" ටුවර්ම යයි තෝ.. ලොක්කාගෙ කනට යන්නෙ නෑ කියලාද හිතාගෙන ඉන්නෙ පොල් බූරුවා! යකෝ.. ටුවර් එක යනකල්වත් තොගේ ඔය අස්ස කුලප්පුව ටිකක් අඩු කරගනින්"

කුටු කුටු ගගා බනිමින් සපත්තු පළඳින චාමික දෙස ලදරු සිනාවක් දැමූ රශිඳුද සපත්තු පළඳින්නට සූදානම්ව බංකුවේ මදක් ආසන්නයේ හිඳගත්තේය.

"ටුවර් එක ගැන කියන්න බං බලාගෙන හිටියේ.. ඒකිට මොකක්ද වැඩක් වැටිලා එහෙ ගිහින්.. අවුලක් නෑ බං ආයෙ බොන්නෙ නෑ"

චාමික සෝපහාසව සිනාවී සපත්තු දැමීම නවතා රශිඳු දෙස බැලුවේය.

"මතක තියාගනින්, ගමනායක කියන්නේ celebrity කෙනෙක්. නොදන්න කෙනෙක් නැති තරම්. උලෙයි පිලෙයි යන්ඩ එපා ඔහොම මේක උඹ හිටපු ඩොටේ නෙවෙයි කොළඹ. උඹ දැන් නැශනල් ටීම් එකේ player කෙනෙක්. ටුවර් එකේ ටීම් එක නම් කරපු නිසා මීඩියා ඉඳී ග්‍රවුන්ඩ් එක වටේට. කල්පනාවෙන්.."

රශිඳුගේ මුහුණේ සිනාව මදක් වියැකී ගොස් කල්පනාබරව ගියේය. අනතුරව ඔහු සපත්තු දැමීම නතරකොට චාමික දෙසට හැරුනේය.

" මචං... මම මේක කරන්නේ ආතල් එකට නෙවෙයි. මට ඒකිව බඳින්න ඕන... "

චාමික තමන්ගේ ක්‍රීඩා මිතුරා ගැන අවංකවම දුක් විය. නමුත් ඔහු කියන්නක් අසා සිටියේ ඉවසීමෙනි.

".. මම ඒකිව අතරමං කරන්නෙ නෑ. ඔව්.. අපි අතරේ physical relationship එකක් තියෙනවා තමයි. ඒකත් අනිත් හැම lovers ලා දෙන්නෙක් අතරේ වගේ සාමාන්‍යයි. ඒ ඔක්කොටම වඩා මම ඒකිට ආදරෙයි. මගේ සැනසීම තියෙන්නෙ ඒකි ගාව... තව.."

ඇඳුම් කාමරටය තවත් කිහිප දෙනෙකුගේ ආගමනයෙන් රශිඳු ඉතිරිය නොකියා සිටියද තරමක් වේදනාවෙන් ඒ කියූ වචන දෙස චාමික බලා සිටියේ මැදහත් සිතිනි.

" මචං.. මස් කෑල්ලට කෙල හලන සත්තු හැසිරෙන්නේ වෙජිටෙරියන් වගේ.. ඒක මතක තියාගනින්.. අපි පස්සෙ කතාකරමු. උඹ මේ ටුවර් එක දෙන්න ඕනෙ දොඹෙන් යන්න.. අන්න එතකොට තරු වලට ගල් ගහන්නෙ බිම ඉඳලානෙ බං"

චාමිකගේ වචනවල තිබුනු අර්ථය රශිඳුට සිය ඇතුලාන්තයටම දැනුනි. ඔහු කියන්නේ සත්‍යකි. නිර්මලී දැනටමත් තරුවකි. ගැහැනියක් නිසා ඈ අරඹයා නැගෙන කතාවට වඩා වෙනස් අර්ථයක් තමන්ට දිය හැකිය. මිනිස්සු තරු වලට ආදරය කරනවා සේම ඔවුන් දවා පුලුස්සා හරින්නට අවස්ථාවක් පැමිණි තත්පරයට, පෙට්‍රෝල් කෑන් කරේ තබාගෙන දිව එති. නිර්මලී ගැනත් අසලංක ගැනත් පැතිරී තිබෙන කතාවල තිබුනේම නිර්මලී කෙරෙහි අනෙකුත් මිනිස්සු දක්වන කෑදර කමත් අසලංක වීරයෙකු සේ දැක්වීමත් නොවේද? 

' මට ඔය බල්ලව පේන්න බැරිත් ඒකයි! මගේ කෙල්ල පව්!! ඌ එදා ඒකිව ගන්න ඇවිත් දාගෙන හිටපු බැල්මෙන්ම පෙරේතයෙක් කියලා පේනව.. '

පුහුණුවීම් ආරම්භවීමත් සමඟම චාමික කියූ ලෙසටම ක්‍රීඩාංගණය වටා තැනින් තැන කැමරා අතින් ගත් මාධ්‍යවේදීන් දක්නට ලැබූ අතර මද විවේකයක් ලැබුනු සැනින් ඉන් තිදෙනෙක් පමණ පැමින නම්කල සංචිතයේ නවමු ක්‍රීඩක රශිඳු ගෝකුල සමඟ කතා කල අතර ඔවුන් අතරින් අයෙක් හැරුනුකොට අනිත් උන්ගේ හොම්බට අනින්නට ආ ආවේගය රශිඳු මැඩගත්තේ අපහසුවෙනි.

ඔවුන් අවශ්‍ය තමන්ගේ දුප්පත්කම විකුණන්නටය; පරණ ගරාවැටුණු නිවසේ පින්තූර ඉල්ලති. තවත් අසන්නේ මියගිය පියා සමඟ ගත් සංවේදී පින්තූර තිබෙනවාද කියාය. අම්මාගේ පින්තූර වලින් ඔවුන් සෑහෙන්නට සූදානම්ය.

" මුන්ද බං අපේ රටේ ක්‍රීඩා මාධ්‍යවේදීන් කියන්නෙ? මුන් හොඳයි දියරෙදි අන්දලා නානතොටට යවන්න"

ඔවුන්ගෙන් ගැලවීගෙන ආ පළමු නිමේශයේම රශිඳුට ඉබේම කියවුනු දෙයට චාමිකට සිනාය.

" කට පරෙස්සමින් බං... අපිව කුලප්පු කරලා අපෙන්ම කුණුහරුප අහගෙන පොතේ ලියාගෙන යන්නෙ උන්... ඒ උනාට කිරි හින්දා අහක දාන්න බෑනෙ බං. ගියපාර අර බෝලර්ගෙ කන්ට්‍රැක් එකේ අවුලක් වෙලේ මිනිහා අවුලෙන් ඉන්නකොට ඇවිත් ඇනලා ඌගෙ කටින් කුණුහරුප අහගෙන, ඒක වීඩියෝ කරලා හතර අතේ චැනල්වල පෙන්නුවේ! නොදකිං!"

රශිඳුට එය මතකය. එතෙක් මහා පෞර්ෂයක් හිමිව තිබුනු ඔහුව සතියක් තිස්සේ මිනිස්සු වටකර පුද්ගලික ප්‍රහාර වලට ලක්වූද, අත්දැකීම් බහුල නිසා මිස වෙන අයෙකු නම් කලකිරී යනු ඇත.

තමන් ඉදිරියේදී පරිවර්තනය විය යුතු චරිතය පිළිබඳව රශිඳු ගෝකුලට පළමු උපදෙස් ලැබෙන්නේ සිය පාසල් පුහුණුකරු වෙතිනි. දහ නවයෙන් පහළ කණ්ඩායමේ සිට වසරේ විශිෂ්ඨතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම්වූ වහාම ඔහු තමා බදා වැලඳගෙන කියූ උපදෙස අදටත් රශිඳුගේ සිතේ ඇත.

"පුතා.. උඹ born star කෙනෙක්. ඒ උනාට තරු හැමදාම අහසේ පිච්චිලා තමයි බබළන්නෙ. උඹට තරුවක් නිසා නැතිවෙන දේවල් තියෙනවා. ලැබෙන දේවල් බාරගන්නවා වගේ ලේසි නෑ ඒක. පර්ෆෙක්ට් නැති උනත් හිතට එකඟව ජීවත් වෙයන්. ජොබ් එක හරියට කරපං"

රටක් නියෝජනය ලේසි නොවන බවත් එතැනදී නොසිතූ හැලහැප්පීම් වලට ලක්වීමට තරම් තමාගේ පිට කටුව ශක්තිමත් විය යුතු බවත් නිතර නිතර තහවුරු වෙයි. වසර ගණනාවක් එවන් තලයක සිටිනා නිර්මලී කෙතරම් පීඩනයක් දරාගෙන ඇතිද?

අවන්හලකට ගියත් ඈ වෙත එල්ලවන දෑස් සියල්ල රූමත්කම නිසාම නොවේ. ඇයි දෙවියනේ ඒ කෙල්ලත් සාමාන්‍ය හැඟීම් තියෙන කෙනෙක් නෙවෙයි ද? 

පුහුණුවීම් නිමවන්නට ආසන්න වන විටදී නැවතත් සිය කණ්ඩායමේ නායකයා වටකරගත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් දැක රශිඳු සිය වතුර බෝතලය අතට ගත්තේය. එහි පුරවා තිබුනේ ජීවනී දැමූ ජලය බව එක උගුරක් මුවට ගනිද්දීම දැනුනු නිසා 'ඈහ්' කියාගෙන ඔහු වතුර උගුර පිටතට විද්දේය.

එකත් එකටම නිර්මලී ජීවනී කවලම්කොට ඇත! ඈක්කා! මොන ජරාවක්ද ඒ? 

" මොකද බං.. දැන් උඹට වතුර වෙනුවට ඕනේ වෙන එව්වද?"

" නෑ බං මේ ජීවනී දාලා.. ඈක්කා.. Baby girl වෙන්න ඇති.. තුහ් විතරක්"

" ඈ ගොනෝ... උඹට බැරිනම් මට දීපං... "

චාමික එසැනින් බෝතලය උදුරා ගෙන කටේ තබා එය බීගෙන බීගෙන ගියේය. 

"... මහලොකු නැශනල් ප්ලෙයර්.. ජීවනී එකක්වත් ගහන්නෙ නෑ"

" ඈක්කා බං.. මට පේන්ඩ බෑ ඔය @&$"

එසේ කියමින් රශිඳු චාමිකගේ බෝතලය ගෙන වතුර බීගෙන ගියේ එක හුස්මටය. නිකමට බැලූ ප්‍රේක්ෂකාගාරයේ වෙනදා නැති පුටුවක හිඳගෙන සිට තමන්ගේ බැල්ම ඒ දෙසට යොමුවූ බව දැනුන සැනින්, සිය.අසුනින් නැගිට අත වනන තරුණිය දැක රශිඳුගේ ඇස් නතර වන්නේ නළලතයි.

" oh sh**!" 

----------------------------------------------------------------

ජානක වාහනයෙන් බැස වරක් ඒ නිවස දෙසට හැරී බලා ආපසු තමන් ආ කාර්‍යයට යන්නට ඉදිරියට පය තැබුවා පමණි.

" සර්.. රශිඳු ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ. "

ජානක තැගැස්සුනේ ඇයිදැයි සුළු නිලධාරියා කල්පනා කලද, ඔහුට ඒ ගැන සිතන්නට කාලයක් නොවීය.

"හ්ම්ම්..  ඒ උනාට වෙලාවට appointment එකට අරගෙන යන්න. වෙලාව වෙනස් කරපු එකක් ඌ දන්නෙ නෑනෙ. "

අනතුරුව ඔහු සිය අවධානය ඒ මොහොතේ එතැනට පැමිණි අනෙත් නිලධාරියාට ලබා දෙමින් ඉවත්ව යන්නේ යලිත් ඒ නිවස දෙස බලමිනි. මාලතී එවිටම රෝද පුටුව කරකවමින් දොර අසළින්ම මතුවූවාය. 

ඈතට වුවද හඳුනාගතහැකිව තිබුනු ඇගේ දිගු වරලස වෙනුවට කොටට කැපූ කොණ්ඩය දැකීමෙන් ජානකගේ සිත සෙලවී ගියේය. අනතුරෙන් ඈගේ ජීවිතය පවා අවිනිශ්චිතව ගොස් මෙතරමින් හෝ සිටීම ඇත්තටම භාග්‍යයකි. සැබැවින්ම ඈ එතරම්ම ශක්තිමත් කාන්තාවකි!

රශිඳු තුල ඇත්තේද ඒ ධෛර්‍යමත් බව වන්නට ඇත. දින කීපයකට පෙර තමන් අමතා රශිඳු කියූ ඉල්ලීම සිහිවී ජානකට නැගුනේ එදා නැගුනු සිනාව නොවේ. 

" සර් මට වෙඩිතියන්න ඉගෙනගන්න ඕන"

ඒ නම් ස්නයිෆර් වෙඩික්කාරයාගේ පුත්‍රයා බවම සපථ කිරීමක් නොවේද? 

" ලස්සන කොල්ලා නේද ජා.. ? මගේ කෙල්ලට ඔරෝනකොට මට හිනත් එක්ක.. දැන් කාලේ කොල්ලන්ගෙ ලොකුකම"

තමන්ගේ බිරිඳ මාලතී ගැනත් රශිඳු ගැනත් දන්නා නිසා පෙර දිනයක නිවසට පැමිණ පිටත්වගිය රශිඳු ගැන කී වචන සිහිවී ඔහුට නැගුනේ සිනාවකි. සිය දියණියගේ ඇස තිබුණේම රශිඳු පසුපසින් බව බිරිඳ පවා නිරීක්ෂණය කොට තිබුන නමුත් ඔරවාගත් රශිඳු සිටියේ තමන් දකින සැමවිටම මවාගත් සිනාවකින් ය.

' පව්.. කොල්ලට සල්ලි අමාරු ඇති.. ටික ටික ගොඩ යයි.. මම උදව්වට ගියොත් මාලතී වැරදියට හිතයි. ඒ තරම් ආඩම්බර ගෑනිනෙ '

එදින සවස මාලතීගේ වෛද්‍යවරයාගේ හමුවට රැගෙන යන්නට හමුදාවේ වාහනයක් පැමිණි අතර මාලතීට දැනුනේ තමන්ගේ පුතා මහා ලොක්කෙකු පරිද්දෙනි. දෑසට කඳුළු නැගුනේ ඔහුගේ පියා සිටියා නම් කෙතරම් ආඩම්බර වනු ඇතිද කියා සිතන විටයි. තමන්ට ලැබෙන්නේ පුතෙකු බව තදින් විස්වාස කල ඔහු අවසාන දින කතාකලවිට පැවසුවේ ඔහු කවදාහරි තමන් මෙන් හමුදානිලධාරියෙකු විය යුතු බවයි. 

" පුතාලා තේ එකක් බීලා යන්න.. "

නිවසට තමන් ඇරලවූ සැනින් මාලතී ඔවුන්ට තේ හදන්නට සේවිකාවට පැවසූ නිසා කොල්ලන් දෙදෙනා සිනාසී හිස සලා එකඟ වූයේ ඇගේ කරුණාවන්තකම ගැන සිතමිනි. 

ඉන් විනාඩි දහයක් යන්නට මත්තෙන් රේන්ජ් රෝවර් රථය ගේට්ටුවෙන් ඇතුල්කොට මිදුලේ ගාල් කර, බිමට බට හිරාන් සිනාසීගෙන නිවසට ඇතුළුවන්නේ ඉස්තෝප්පුව අසල තේ බොමින් සිටි කොල්ලන්ගේ උරයට තට්ටුවක් දමාගෙනය.

" අනේ මටත් තේ ඕනෙ ආන්ටී...  මහන්සි මට හොඳටම!.. මොකද මේ මුන් දෙන්න මේ? හෙට නේද doctor appointment එක?"

තේ හදන්නට උපදෙස් දුන් මාලතී සිනාසීගෙන පැමිණියේ හිරාන් දෙසම යොමුවූ ඇසිනි.

" අනේ නෑ පුතා ඒක අදට දාලා, මේ ළමයි ටික ඇවිත් මාව එක්කගෙන ගියා. මම කරදර කරන්න ගියේ නෑ පුතාත් වාහනේ වැඩේට නේ ගියේ.. මොකද පුතා වැඩේ කෙරුනද? "

හිරාන් පුටුව මතට කඩා වැටුනේ සැහැල්ලුවෙන් දෙපා විහිදුවමිනි.

" ආ.. එහෙමද.. ඔව් ඔව් ආන්ටි.. වැඩේ හරි.. මට හෙට ඉඳලා වෙන ට්‍රන්ස්පෝර්ට් එකක් සෙට් වෙනව. ඒකෙ යනව මට මේ වාහනේ ගෙදර තියලා යන්න පුලුවන්. වනියාගෙ වාහනේ මට පදින්න බෑනෙ"

මාලතී සිය පුත්‍රයාගේ කළ්‍යාණ මිත්‍රයා දෙස බැලුවේ ආදරයෙනි. කුඩා කාලයේදීම දෙමව්පියන් දික්කසාද වීමෙන් සිය මිත්තණිය අසළ හැදී වැඩුනු ඔහු , තමාට මවකට මෙන් සැලකුවේය. ඊටත් වඩා සිය පුතාගේ දුශ්කර ළමා කාලයේ ළඟම මිතුරෙකුව සිටියේ තමන්ට වඩා රශිඳුගේ අගහිඟකම් වලදී ලගින් සිටිමිනි. දඟකාර රශිඳු කුඩා කාලයේදී තමන්ගේ තරවටු වලින් මිදෙන්නට දුවන්නේද හිරාන්ගේ නිවසටයි.

" ජොබ් එක කොහොමද පුතා? තව ටිකෙන් මට ඒකත් අමතක වෙනව"

" හෙට ඉඳලා යන්න පුලුවන් ආන්ටි.. තාම මම දන්නෙ නෑ ඔක්කොම.."

හිරාන් සිනාසී පැවසුවේ තමන් කැමතිම ආකාරයේ දෙයක් කරන්නට ලැබුනු ප්‍රීතිය මෙන්ම අද නිර්මලී සංදිරිගම හමුවීමෙන් ලැබුණු සතුටත් නිසාමය. ඈ හරිම ප්‍රියමනාප චරිතයකි!


සේවිකාව රැගෙන ආ තේ කොප්පය අතට ගනිද්දීම වාගේ හමුදාවේ කොල්ලන් දෙදෙනා නැගී සිටියේ යන්නටය.

" තෑන්ක් කොල්ලනේ.. ලොකු උදව්වක් කලේ.. වාහනේ බ්ලොක් වෙලා නෑනෙ නේද? "

" නෑ සර්.. කිසි ප්‍රශ්නයක් නෑ.. අපි ගිහින් එන්නම් මැඩම්. බෙහෙත් ඔක්කොම ටික මම අර පෙට්ටියට දැම්මා මැඩම්. තෙරපි තියෙන දවසට ආයෙත් එන්නම්කො"

හමුදාවේ වාහනයට නැගී ඔවුන් ආපසු යන්නට පිටත් වූ සැනින් හිරාන්ගේ දුරකතනය නාදවිය.

" හෙලෝ මිස්ට හිරාන් දල්පදාදු?"

" ඔව්?"

" හ්ම්ම් මම මේ කතාකරන්නෙ Gamanayaka group of companies එකෙන්. හෙට කඩුවෙල ඔෆිස් එකට උදේ හත වෙනකොට රිපෝට් කරන්න කියලා මතක් කරන්නයි කතාකලේ"

දුරකථනයෙන් ගලා ආ තරුණියගේ හඬ හිරාන් තරමක් විසිරුවා හැරියේය.

----------------------------------- මතු  සම්බන්ධයි   -----------------------------

Wednesday, February 23, 2022

303: උන්මාද චිත්‍රාදෝ මා 35


 

" ඔහොම ඉන්න මම එනව ඔතනට"

නිර්මලී කියූ කිසිවක් නෑසුනා සේ රශිඳු පුපුරා හැලුනේය. නමුත් සිත තද කරගත් නිර්මලී දුරකතනය විසන්ධි නොකොට සුසුමක් අල්ලා තත්පරයක් නතර විය.

" බබා.. මම ඔෆිස් නෙවෙයි ඉන්නෙත්. දැනටමත් යන්න පිටත් උනා. උදව්වක් ඉල්ලුවම නොකර බෑනෙ. "

"කවුරු කිව්වා? කොහෙද ඔය කියන මනුස්සයාගෙ ගෙදර ? "

" අනුජගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් හිමාල් මොල්ලිගොඩ , එයා ඉන්නෙ බොරලැස්ගමුවෙ. එයාගෙ වයිෆ් ඩෙන්ටිස් කෙනෙක්. බබාලා දෙන්නම මට හරි ආදරෙයි. මට ගොඩක් උදව් කරලා තියෙනවා , ඒ වගේම අනූජටත් සෑහෙන්න හිතවත්. ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මාව එහෙ තියාගෙන සනීප කලේ. ඒ නිසා නොගිහින් බෑ. "

නිර්මලී ප්‍රවේශමෙන් වචන භාවිතා කලේ රශිඳු වෙනුවෙන් සැලෙන හදවත එක මිටකට තදකොට ගනිමිනි. 

Monday, February 21, 2022

302: උන්මාද චිත්‍රාදෝ මා 34

 



අසලංක සිටියේ නිර්මලී තමන්ගේ ඇමතුම් මගහරිනා බව හොඳින් තේරුම් ගනිමිනි. ඔහුගේ සිතේ නොසන්සුන් බව නිසා කාර්‍යාල කාමරයට යාබද අමුත්තන් සඳහා වූ මත්පැන් රාක්ක කොටසට ගොස් ස්කොච් වීදුරුවක් වත්කර ගනිමින් එතැන සෝෆාවේ මදක් දෑස පියාගෙන සිටියේය. 

පෙරදා රාත්‍රියේ රංගගේ නොරිස්සුම්සහගත වචන නිසා එතැනින් ඉවත්ව ගියේ ඒ මොහොතේ නිර්මලී ඉදිරියේ ඔහු හා දබර වන්නට තමන් අකමැති නිසා මිස නිර්මලීට කියන්නට සිතූ සියල්ල කියූ නිසා නොවේ. 

Sunday, February 20, 2022

301: උන්මාද චිත්‍රාදෝ මා 33


 


"...Extremely sorry නිර්.. ඔයාව බයකරන්න කියලා හිතුවෙ නෑ.. තුවාල වෙලා නේද? කෝ එන්න බලන්න"

සියවන වරටත් සමාව අයැද සිටිමින් අසලංක පවසද්දී කකුලේ තුවාල වු ඇඟිල්ල වෙත හෙලූ බැල්ම විතැන් වී ගොස් නැවතුනේ ඇගේ වාත්තුකල දෙපා වලය. නිර්මලීගේ දෑසින් කඳුලක් පැන තිබුණු අතර කම්පනය නිසා ඈ කුඩා මේසයේ පුටුවකට බර වූවාය.

" it's ok Asalanka.. එකපාරටම කතා කලාම මම බය උනා. ඔයා ෆෝන් එකට කතා කලේ නැති උනාමත් බය උනා"

අසලංක බිඳීගිය පිඟන් කටු නිසා හැඩිවී ගිය බිම, කුණු එකතු කරනා dustpan එකට ගෙන කුණු බාල්දිය අසලට කොට කොස්ස ගෙන කුඩා කැබලි අතුගා පසෙකට කලේය.

සිතේ ගල්බෝර දැමුණු කොටසේ හැඩිවීම එසේමය! 

Tuesday, February 15, 2022

300: උන්මාද චිත්‍රාදෝ මා 32


 'Relationship status - in a relationship '

රශිඳු ගෝකුල මෙතෙක් කාලයක් single ලෙස පවත්වාගත් සම්බන්ධතාවය පිලිබඳ මුහුණු පොතේ වූ ස්ථානය එලෙස වෙනස්කලා පමණි.

විනාඩි පහක් යන්නට මත්තෙන් එයට ලයික් අනූවක්ද, හාට් විස්සක්ද, විශ්මය පලකරන ඉමෝජි විස්සක්ද වැටී තිබුනු අතර ඒ කවුදැයි අසමින් කමෙන්ටු දහයක් වැටී තිබින. ඔහු තනිවම සිනාසුනේ සමීප නොවූ මිතුරන් පවා පුද්ගලික පණිවිඩ හරහා ඒ ගැන අසා ඇති ආකාරයයි. 

'මේ පිරිමි ගෑනුන්ට එහා ගෑනු වගේ ඕපදූප ගැන නම්'

නිර්මලී නාන කුටියෙන් පිටතට පැමිණෙද්දී , රශිඳු තවදුරටත් දුරකතනයට දුන් අවධානය ඉවත්කොට ඈ දෙස බලා හිස සලා තමන් අසලට කතා කලේය. නිර්මලී ඇඳෙහි පෙරලී උන් රශිඳු අසලට යත්ම ඔහු ඇගේ බඳෙන් අල්ලා ඔඩොක්කුවේ වාඩි කරගත්තේ දෑස සිහින් කොට අඩ බැල්මක් හෙලමිනි.

Sunday, February 13, 2022

299: උන්මාද චිත්‍රාදෝ මා 31


 

' අසලංකයා ආවොත් ළඟට එහෙම යන්නෙ නෑ! ඌ ඇඟිල්ලක් වත් ගෑව්වොත් මරනවා මම ඕකව'

මේ නම් සුපුරුදු ඉරිසියාකාරයාය. නමුත් නිර්මලීට හීල්ලුනේ පුහුණුවීම් නිමවනවිට තමන් එතැනට ඒවියයි බලා සිටින ඔහුගේ දෑසේ ඇඳෙන ප්‍රේමය සිහිවීමෙනි. 

අහස පුරා ඉගිල්ලෙන්නට තරම් සිතෙනා ප්‍රීතියද, දුරදිග නොසිතා තමන් අතින් සිදුවූ දෙයෙහි ආදීනවයද වශයෙන් ඈ සිටියේ හැගීම් රෝලකෝස්ටරයක යමිනි. 

දහවල් වනවිට තිබුණු කාර්‍යබහුලත්වය අතරේ වුවද වරින්වර පැමිණි කෙටි පණිවිඩ ඈ සිනාසෙමින් කියවනු ඉඳහිට නව්‍යා දුටුවේ , කිහිප වතාවක් ලිපිගොණු අත්සන් කරන්නට පැමිණි මොහොතවල් වලදීය. 

" උදේ රුමෙත් සර් ආවෙත් මූණෙ බල්බ් වැලක් දාගෙන. මොනවාහරි තියෙනවාම තමයි"

Thursday, February 10, 2022

298: උන්මාද චිත්‍රාදෝ මා 30

 



" හෝව් හෝව් මැඩම්..!"

එකවරම හිස පසුපසට ඇදගත් රශිඳු එසේ කියද්දී නිර්මලී ගල්ගැසී ගියාය.

' දෙවියනේ තුවාල උනා නේද? අපොයි මම මොනාද ඒ කලේ? '

මදක් වික්ශිප්තව ගිය නිර්මලී , වේගයෙන් වැටෙන හුස්ම අල්ලා ගත්තේත්, රශිඳු සිය මුව තුලින් චුයින්ගම් එක පිටතට ගත්තේත් එක විටකය. ඔහුගේ යටිතොලේ මැදට වනට රතුපාට වී තිබුණද එය ඔහුට දැනුනේ නැති තරමකි. අනතුරුව අඩ නෙතින් නිර්මලීගේ වෙව්ලන දෙතොල් දෙස බලා ඇසට ඇස යාකොට ගත්තේ නිර්මලී අඩපනව යන පරිද්දෙනි. චුයින්ගම් එක උඩින්ගොස් සින්ක් එකට වැටුනි.

Tuesday, February 8, 2022

297: උන්මාද චිත්‍රාදෝ මා 29

 


කෙතරම් දේ පැවසූවද , රශිඳු නිදි යහනෙන් බිමට ගන්නට ජානක සූරියප්පෙරුමට හැකියාවක් ලැබුනේ නැත. ඔහුට සිනාවක් නැගුනේ අතොරක් නොමැතිව නාදවන දුරකතනයේ පිලිතුරක් නොදුන්නද, පෙනෙන අංකය දක්වන නමයි.

'Malavikare is calling….’

අනිවාර්යයෙන් ඒ නම් කෙල්ලෙකි. මෙවන් තරුණයෙකුට පෙම්වතියක් නැතිනම් එය ලෙඩකි. ඒ කාලයේ මහ ඉහලින් යුද්ධය ඇවිලී යන සමයේ ගුවන් හමුදාවේ කඩවසම් තරුණයෙකු වූ ඔහුගේ පියාට; රොහාන් ගෝකුලට; කෙල්ලන් වහ වැටී සිටියා මතකය. රශිඳු ඔහු වාගේම නොවුනද, මාලතීගේ සෘජු නාසය සමග ආ අමුතුම පෞර්ෂයට හිමිකම් කියයි.

 "මූට බොන්න දෙන්න එහෙම එපා මහ දවාලේ. ඇහැරුනාම කෑම්ප් එකට යවන්න"

Sunday, February 6, 2022

296: උන්මාද චිත්‍රාදෝ මා 28




නිර්මලීට එකවර දැනුනේ හිස් හැඟීමකි. ඇමතුම අවසානයේ මද වෙලාවක් නිශ්චලව ඉදිරියේ පෙනෙන අඳුර දෙස බලා උන් ඈ වෙත පැරණි මතක කිහිපයක් අකුණු සැරයක් මෙන් පෙනුනි. 

එක දිනක් නම් හදිසියේ දැනුන සීතලක් නිසා ඇහැරුනු තුන් අවුරුදු වූ ඈ , රෑ මැදියමේ ඇසුනු කතාබහ ඔස්සේ නැගිට නිවසේ කොණක් දෙස බැලූ මොහොතයි. තමන්ගේ පියා ඒ මොහොතේ උන්නේ තමන් කවරදාවත් මීටපෙර දැක පුරුදු නැති ගැහැණියක හා කුමක් හෝ කරමිනි. පුන්චිකමට ඒ ගැන වැටහීමක් නොමැති වුවද , ඔවුන් මීටපෙර කන්නට ඇතැයි සිතිය හැකි පාන් බාගයක කොටසක් හා තවත් මොනවාදෝ තිබන පිඟාන දෙස තමන්ගේ අවධානය එකවරම යොමුවූ නිසා, පියා කරමින් සිටි දෙයක් ගැන නොතේරී ඈ ඇවිද ගොස් පාන් කැබැල්ල අතට ගත්තේ රාත්‍රී ආහාරයට කිසිවක්ම නොමැතිව ඉබේම නින්ද ගිය නිසාය.

ඒ මොහොතේ ඔවුන්ව බයකල වරදට තාත්තා තදින් පහර දී නිවසින් එලියට දැමූ බව ඈට හොඳින් මතකය. රාත්‍රී අන්ධකාරය නිසා බියටම හැඬූ විනාඩි කිහිපයක් ඇරුනු විට, අතේ ගුලිකරගත් පාන් කැබැල්ලෙන් නිවෙන බඩගින්දර විසින් තමන් නලවා ලූවා නොවේද?

අනෙක් දිනය , නිවසේ පුන්චි සිටියදී සිදුවූ කලබලයකි. පුන්චි එකවරම මාරාවේස වන්නට ඇගේ ගවුමේ තිබුනු රතු පැල්ලම හේතු වූයේ ඇයිදැයි දහතුන් හැවිරිදි නිර්මලී දැන උන්නේ නැත. වැඩිවිය පැමිණීම ගැන වැඩි යමක් දැන උන්නේ නැති තමන් ඒ වනවිට සිතුවේ කැවුම් ඉවීමෙන් සිදුවෙන දෙයක් ලෙසයි. පුන්චි එදින නිවසේ නොසිටි සිය පියාට අතොරක් නොමැතිවත්, තමන්ට සහ තමන්ගේ මවට ඒ අතරත් සාප කරමින් කියා සිටියේ තමන්ට කුමක් හෝ විපතක් වී ඇති බවක් කියා නොවේද ඒ මොහොතේ සිතුනේ?

Related Posts Plugin for WordPress, Blogger...