Friday, January 28, 2022

294: උන්මාද චිත්‍රාදෝ මා 26




වනිඳුගේ එක එල්ලේ තිබන බැල්ම මගහරිමින් නිර්මලී මෑත ඉමක  සිය බැල්ම රඳවා ගත්තාය. සතියේ දිනයක් වූ නිසාමදෝ උපාලිස් අවන්හලේ එතරම් සෙනඟ ගැවසුණේ නැති බැවින්, ඔවුන්ගේ මේසය තිබුනේ හුදකලාවක මෙන්ය. අවන්හල වෙත ඇදෙන කිසිවෙකුටත් මේ යුවලගේ දර්ශනය එතරම් ප්‍රකට නොවුයේ ,එය බොහෝ මේස අතුරින් වෙන්ව පිහිටි නිසාත් ; වඩා අඳුරු නිසාත්ය.

අනුජ සංදිරිගම ඈට හමුවූ ආකාරය නොකීවද, නිර්මලී කුඩා දැරියක ලෙස උන් තමන් වෙත අනුජ විසින් සියල්ලම ලබාදුන් ආකාරය ප්‍රවේශමෙන් සහ සුසුම් සලමින් පවසන අයුරු වනිඳු බලා සිටියේ මෘදු සිනාවක් මුහුණේ රඳවාගෙනය. ඇගේ මුහුණේ ඇඳෙන භක්තිය ; ප්‍රේමය ; දුක ; වියෝව මුහුණේ විවිධ අන්තයෙන් බලමින් වනිඳු ඒ රුව රසවින්දේ වැඩි කතාබහකින් තොරවය. ඈ මෙතරම් ලස්සනට කතාකරන හැටි?

කිසිලෙසකටවත් ඈ හතලිස් හැවිරිදි බව නම් කියන්නට නොහැකිය. අනුජ ගැන පවසන විට ඇගේ වතේ ඇඳෙන ඒ ආකර්ශනීය ; දුර්ලභ සිනාව වරින්වර අතුරුදන් වන ආකාරය වනිඳු උකහා ගත්තේ ලෝබකමිනි.

"... මට මේ කිසිම දෙයක් අයිති නැහැ වනිඳු. මේ ඔක්කොම අනුජ සංදිරිගමගේ... මම කාණුපල්ලකින් ආපු  දුප්පත් බයගුළු කෙල්ලෙක්. ඒ හින්දා මට ඔයාට එහෙම කියන්න අයිතියක් නෑ "

නිර්මලී අවසාන වශයෙන් පවසා හුස්මක් ඉහලට ගනිද්දී මෙතෙක් වේලාවක් ඇස තුල පොරකෑ කඳුළු ගුලි දෙකක්  මේසය මත පතිත විය. නිර්මලී වහා මේසය මත වූ කඳුළු පැල්ලම පළමුවත් , දෙවනුව සිය දෑසත් පිලිවෙලින් පිසදමනා ආකාරය වනිඳුගේ ඇසට හොඳින් නිරීක්ෂණය විය. පුටුවේ පසුපසට හේත්තුව ඔහු සිටියේ සැහැල්ලු ඉරියව්වකින් නිසා ඒ බැල්මේ ඇති තීව්‍ර බව අඩුව ගොස් මෙනි.

වරින්වර අනුජගේම බැල්ම තමන් වෙත යොමමින් සිටිනා වනිඳු දෙස ප්‍රවේශමෙන් නොබලා සිටියද , නිර්මලී සිටියේ එතරම් සන්සුන් මනසකින් නොවේ.

මදක් ඉදිරියට නැවුණු ඔහු, සිය අතෙහි තිබුණු පලතුරු යුෂ  වීදුරුව මේසය මත තබා හිස ඇලකොට දඟකාර සිනාවක් පෑවේය. 

"පොෂ් කෙල්ල මගේ... හ්ම්ම්... ඒ කියන්නේ හොටෙල් එකක්.. ප්‍රසිද්ධ සැලෝන් දුසිමක්, ස්පෙයාර් පාර්ට්ස් ගෙන්නන ඒජන්සියක්.. ඔක්කොම බිස්නස් රන් කරන්නේ මේ පුංචි කෙල්ලද? හම්මෝ මගේ කෙල්ල මහා පෝසත් නේ!"

නිර්මලී විමතියෙන් මෙන් වනිඳු දෙස බැලුවේ ඔහුගේ හිස අවුල්වී ඇතිදැයි නිශ්චය කරගැනීමට මෙනි. මෙපමණ වේලා අනුජ විසින් තමන්ට කල කි දෑ සියල්ලම පවසා අවසානයේ තමන් කීවේ එයද?

"වනිඳු... මම කිව්වේ.."

වනිඳු මේසය මත තිබුණු නිර්මලිගේ වමතෙහි අල්ල කොටස වහා තදකොට මේසයට තබා අල්ලා ගත්තේ දෑසට එබෙමිනි.

"ඔයාට මුකුත් දැනෙන්නේ නැද්ද  baby girl ?"

තමන්ගේ ජීවිතය එක පිඬක් කොට ගෙන එකවරම අහසට ව්සිකලාක් මෙන් පාවිමක් සහ සිරුර අප්‍රාණික වීමක් දැනී නිර්මලී ගල්ගැසුණාය. වනිඳුගේ අතට සිරවූ සිය අතෙන් කුමක් හෝ විදුලි කාන්දුවක් සිරුර පුරාම ගමන් කලේ ක්ෂනයෙනි.

"... මට මේ පපුවට දැනෙන දේ දැනෙන්නේ මට විතරද මගේ සුරංගනාවී.. හ්ම්ම්?..."

' සුරංගනාවී.. අනේ දෙවියනේ අනුජ මට වාහනේට නැගලා අන්තිමට කිව්වේ සුරංගනාවී කියල.. මගේ අනුජ... මුළු ආත්මෙන්ම මගේ වෙච්ච අනුජ! වෙන්න බැහැ මේක හීනයක්... මේක විකාරයක්..'

"ම.. මට ... "

වනිඳුගේ වමත, සෙමෙන් ගොස් නිර්මලිගේ සීතල කොපුලත් සවන්පත්වල පසුපසත් වදින පරිද්දෙන් නතර වුනේ නිර්මලී හුස්මත් අල්ලාගෙන ගල්ගැසී බලා සිටියදීය.

"... උඹ මගේ.. දෙන්නේ නැහැ කාටවත් මම.. මට ඇත්තටම කියන්න... ඇත්තටම මාව දැනෙන්නේ නැද්ද baby girl ?"

"වනිඳු ප්ලීස්..!"

නිර්මලී සෙමෙන් වනින්දුගේ වමත කම්මුලෙන් ඉවත්කොට මේසය මත තබා , සිය අනෙක් අත වසා ඇති දකුණත නිදහස් කරන්නට සුදානම් වුවද , ඒ තියුණු බැල්මෙන් අඩපණව ගොස් වේගයෙන් හුස්ම අල්ලන්නට වුවාය.

".. අපි... මෙහෙම... "

"Yes ද? No  ද?"

කඩයිම් පැනයක් මෙන් තමන්වෙත එල්ලවී ඇති වනිඳුගේ බැල්මෙන් තමන්ගේ හුස්ම හිරවෙන්නට එන නිසා නිර්මලී කෙල පිඬක් ගිල්ලේ අපහසුවෙනි. 

"..Yes ද? No  ද?"

නැවත නැවතත් අසන පැනයේ තිව්‍රතාවය තරමක් වෙනස් වේගන යන ආකාරයෙන් තත්වය වඩාත් නරක අතට හැරෙන්නට පෙර තමන් යමක් කිවයුතු බව නිර්මලිට වැටහී තිබිණ. මේ දඩබ්බර තරුණයාගේ කෝපය ගැන තමන් ඇසු කාරනා වලින් ඊළඟට සිදුවන්නට යන දේ අනුමාන කරන්නට හැකි අයුරකි.

"No"

නිර්මලී මිමිනිමක් වැනි අයුරෙන් කියා දැමුවේ දෑස් පියන් තදකොට වසාගෙනය. වනිඳුට දැනුනේ එකවරම පැමිණි උණ්ඩයකින් සිය ලය සිදුරුවී , තමන්ගේ හදවත පසෙකින් රුධිරය වෑස්සෙන්නාක් මෙනි. හුස්ම මදකට අමතකව ගිය ඔහුගේ වේදනාවට ඉබේම නිර්මලිගේ අත තරයේ මිරිකිනි.

" මගේ දිහා බලන්න... "

නිර්මලී ඒ ඇස් මගහැරියාය. අල්ලාගෙන සිටින අත සමඟ වනිඳු වෙව්ලන බව ඈට හොඳින් දැනේ.

"වනිඳු ප්ලීස්.. මම .. මම අද ආවේ මගෙන් වෙච්ච වැරැද්දට සමාව ඉල්ලන්න මිසක්... වෙන දේකට නෙවෙයි.. අපි.. අපි එහෙම.. මේ විදියටම නතරවෙමු.. ඔයා තාම පොඩි කොල්ලෙක්.. ඔයාගේ ෆෝකස් එක ස්පෝර්ට්ස්.. මගේ ෆෝකස් එක , අරමුණු වෙනස්.. අපි.. අපි දෙන්නා වෙනස් දෙන්නෙක් වනිඳු... ඔයා... අනුජ නෙ-වෙ-යි"

ඉර්මලිගේ උගුර ඉතිරි වචන පිටවන්නට පෙරම සිරවී ගියේය. තදින් මිරිකා එකවරම නිර්මලිගේ අල්ල අතහැරි වනිඳු හුස්ම අල්ලමින් පුටුවේ පසුපසට හේත්තු වුයේ දෑස පියාගෙන නළල දබර ඇඟිල්ලෙන් පිරිමිදිමිනි. සිය හදවත පුපුරා හැලෙන්නට මෙන් මහත් වේදනාවෙන් මිරිකී යනවාක් මෙන් දැනුන නිසා නිර්මලී තදින් සිය යටිතොල සපාගෙන බිම බලාගත්තාය.

කුමක් හෝ ප්‍රපාතයකින් වටුනාක් මෙන් අවසානයක් දනී වනිඳු හතිලන්නට වුයේත් උන්මන්තක බවක් දැනී අවසිහියකින් මෙන් නිර්මලී ඔහේ බලාගෙන ඉන්නට වුයේත් එක විටෙකය. විනාඩි කිහිපයක්ම කිසිදු කතාබහක් නොමැතිවම ගෙවී ගියේය. අවන්හළේ සේවකයා පැමිණ විමසු විට , වනිඳු සිය පසුම්බියෙන් චාමිකගේ කාඩ්පත ගෙන තවත් මොනවාදෝ පවසා පිටත්කොට හැරියේය.

"පොඩ්ඩක් ඉන්න මම වොෂ්රුම් ගිහින් එන්නම්"

මැලවුනු වතින් පැවසු වනිඳු මේසයෙන් නැගිට යත්ම ඔහුගේ පසුම්බිය බිමට වැටුනද, එය නොදැකම වනිඳු යන්නට ගියේය. බිමට වැටුණු පසුම්බිය ගන්නට නැමුණු නිර්මලී දකින්නේ , බිමට වැටීමෙන් දෙපලු විවෘත වූ එහි පසෙක තිබෙන කුඩා පින්තුර දෙකකි. එකක් ඔහුගේ මව යයි සිතියහැකි මුහුණුවරක් සහිත තරමක් තලත්තෑනි ගැහැනියකි. අනෙක තමන් පළමු වරට වනිඳු හමුවූ දවසේ බරකුඩා අවන්හලේ සිටින තමන්ගේ ජායාරුපයකි. ඊට අමතරව පසුම්බියේ තිබුනේ රුපියල් සියයේ කොළ දෙකක් පමණි! 

කෙනෙකුගේ පුද්ගලිකත්වයට එබී බැලීම නොහොබිනා නිසාත් ඒ දැක්මෙන් තමන් සසලවු බව වැටහුණු නිසාත් නිර්මලී නිහඬවම පසුම්බිය මේසය මත තබා විනාඩි කිහිපයක් හුස්ම පාලනය කරමින් සන්සුන් වන්නට උත්සහ කළාය. රුපියල් සියයේ කොළ දෙක නිර්මලී වේදනාවට පත්කොට තිබිණ. 

'එකපාරක් මම සල්ලි දෙන්න ගිහින් අහගත්තනේ. මට එයාව සල්ලිවලට ගන්න ඕනේ නැහැ. මොකටද මම එහෙම කරන්නේ? ඊටත්.. අපි ආයේ හම්බෙන්න ඕනෙත් නැහැ.. වනිඳු වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් මම ස්පොන්සර්ෂිප් එක හරහා ඇරුනාම නොකර ඉන්නවා. එච්චරයි'

දුරකථනය නාද වුයේ නේහාගේ නම පෙන්වමිනි. නිර්මලී තරමක් කල්පනා කලේ පිළිතුරු සැපයීම ප්‍රමාද කරමිනි. ආ දුරකථනය අතැතිව අවන්හලේ පිටවීමේ දොරටුව අසලට සෙමෙන් ඇවිද ආවාය. ඒ සමඟම වනිඳු ඇවිද එනු පෙනුන නිසා නිර්මලී ඇමතුම නිශ්ශබ්දකොට දමා දුරකථනය සිය අතෙහි ගුලිකරගත්තාය.

ඈත සිටම නිර්මලී වෙතම යොමුවූ දෑසින් පැමිණි වනිඳුගේ බැල්ම බිඳුනේ එතනට පැමිණි අවන්හලේ සේවකයාගේ බිල්පත ගන්නටය. නිර්මලී නැගී සිටියේ දුරකතනයෙන් කැබ් රථයක ඇනවුම් කරන ඇප් එක මත සිය වෙව්ලන ඇඟිල්ල තබමිනි.

"ම.. මම කැබ් එකක් දාගන්නම් වනිඳු.. ඔයා යන්න"

තමන් වෙත වනිඳු හෙළුවේ තනිකරම මැර බැල්මක් බව පෙනී පෙනීම නිර්මලී එය ගණනකට නොගෙන සිය දුරකථනය වෙත අවධානය යොමුකලාය. එකවරම වනිඳු දුරකථනය උදුරා ගත්තේය.

"මම ගෙනිහින් දාන්නම්... "

එය විධානයක් මෙනි.

"වනිඳු.... පිස්සු නෙවෙයි මට මගේ ෆෝන් එක දෙන්න! මම කැබ් එකක යන්නම්"

"මමනේ එක්කගෙන ආවේ.. මට පුළුවන් පරෙස්සමෙන් ගෙනිහින් දාන්න මිසිස් සංදිරිගම"

ඒ ඇමතීමෙන් නිර්මලී වෙනදා ලබන ප්‍රීතිය වෙනුවට දැනුනේ තුඩු පහරක වේදනාවකි. ඈ හිතාමතාම ඔහු දෙස නොබලා සිටියාය. මෙතන දබර කරගැනීමෙන් පලක් නොවේ. එයින් සිදුවන්නේ මිනිසුන්ගේ අනවශ්‍ය අවධානයකට ලක්වීම පමණකි. මේ වනවිටත් තමන් නමින් හඳුනන දෙතුන් දෙනෙකු දෙවරක් තමන් දෙස බැලු බව වැටහුණු නිසා නිර්මලිට අවශ්‍යව තිබුනේ හැකි ඉක්මනින් මෙතැනින් පලා යාමටය.

"ඕනේ නැහැ.. වැඩි දුරක් .නැහැනේ."

නිර්මලිට කියැවිණි. එසැනින්ම කුමක් හෝ හේතුවක් නිසා හිස එසවූ ඇගේ දෑස වනින්දුගේ දෑස හා පැටලී ගොස් ලොක් වී ගියේ තත්පර කිහිපයකටය. වනිඳු ගෝකුල සිය ආත්මය විසින්ම පවසන ආදරය දෙස බලා සිටියේ එකම බැල්මකීනි. ඇයගේ දෑස පවසන්නේ තමන් ලෙසටම ඈට තමාව දැනෙනවා කියා නොවේද? ඈ පවසන්නේ පට්ටපල් බොරුවකි.

නද දුන් දුරකතනයක් නිසා දෙදෙනාම තිගැස්සී එකිනෙකාගෙන් දෑස ඉවත් කරගත් අතර නිර්මලිගේ ඒ නදදුන් දුරකථනය සිය අතේ තිබී නිර්මලී වෙත ලබාදෙද්දී දුරකථනය තිරයේ සඳහන් නම දුටුවේ අහම්බෙනි.

'Asalanka is calling..'

වනිඳුගේ අමුතු වූ මුහුණ ගැන නොතකා , නිර්මලී ඇමතුමට සම්බන්ධ වුයේ වනිඳුට පිටුපා මද දුරක් ඇවිද ගොස් සිටගනිමිනි.

"කියන්න අසලංක "

"හ්ම්ම්.. ඔයා හොඳින්ද අහන්න කතාකලේ... එවපු මැසේජස් එකකටවත් උත්තර නෑනේ.."

"ආ... ම මේ... මම චුට්ටක් එලියට ආවා"

"එළියට ? තනියෙන්? කොහෙද ඉන්නේ? නිර් ඔයා හොඳින් නේද?"

ප්‍රශ්න අසනා වේගයට නිර්මලිට තරමක සිනාවක් පැමිණියේත් වනිඳු ඔරවාගෙන සිටිනා අතර අවන්හලේ සේවකයා ඔහු අතට ඔහුගේ ඇනවුම ගෙනත් දුන්නේත් එක විටමය.

"උපාලිස් එකේ ඉන්නේ.."

"ඉන්න මම මේ ඔඩෙල් එකෙන් එලියට ආව විතරයි. මම ඔයාව ගන්නම්"

නිර්මලී යමක් කියන්නට පෙරම ඇමතුම විසන්ධි වුයේ මාර්ගයේ ඒ මොහොතේ පොලිස් නිලධාරින් සිටින නිසා බව නිර්මලී නොදත්තාය. 

ඔඩෙල් නිමි ඇඳුම් සාප්පුව සහ උපාලිස් අතර ඇතිතේ තත්පර කිහිපයක දුරක් නිසා නිර්මලී එකවරම තැතිගත්තාය. ඈ ආපසු හැරෙද්දී තමන් දෙස අනුභව කරන්නට මෙන් බලා සිටිනා වනිඳු ගෝකුල ඇස ගැටෙන්නේ හදවත තරමක් රිදුම් දෙමිනි. ඔහුගේ අතෙහි තිබුනේ bacardi බෝතලයකි. 

එකවරම තමන්ගේ මුවට පැමිණි වචන ගිලගත් නිර්මලී , වනිඳු ගොකුලට බලපෑමක් සිදුකිරීම කල නොහැකි බව තමන්ටම තරවටු කරමින් සිතට ගත්තාය.

"තැන්ක්ස් මම කියන දේවල් අහගෙන හිටියට... තැන්ක්ස් මට.. මගේ.. හිතේ තිබ්බ පසුතැවිල්ල නැතිකරගන්න උදව් කලාට"

කිසිදු පිළිතුරක් නොදුන් වනිඳු එක එල්ලේ ඇගේ දෑස දෙස බලා සිටියදී නිර්මලි කම්මුල් රතුවී නොසන්සුන් වුවාය. එකෙනෙහිම අසලංක පදවාගෙන පැමිණි නවීනතම බෙන්ස් රථය දොරටුව අභියස නතරවිය. ආපසු හැරුණු නිර්මලී සෙමෙන් ඇවිද ගොස් එහි ඉදිරිපස ආසනයට නගින ආකාරය වනිඳු බලා සිටියේ එකම බැල්මකිනි. 

සිය රථයට බිම බලාගෙන ඇවිදගෙන එන  නිර්මලී දෙසම නෙත රඳවාගෙන සිටින වනිඳු ගෝකුල , කිසිදු සැකයකින් තොරවම අසලංකගේ දර්ශන පථයට හසු වුවත් , ආරක්ෂකයෙකු විසින් විවරකල දොරෙන් ඇතුල්වී ඉදිරි ආසනයෙන් හිඳගන්නා නිර්මලී දෙස සිනාසී බැලු අසලංක ඇගේ වෙහෙසකර මුහුණේ තිබුණු වෙනස්වීම සැනෙකින් හඳුනා ගෙන ,රථය ඉදිරියට පදවන්නට විය.


--------------------------------------------------------

එළඹුණු සතිය අධික කාර්යබහුල බවින් ඉතිරීගිය නිසා නිර්මලී සිටියේ නොයෙකුත් ආකාරයෙන් ඒ මේ අත දුවමිනි. පළමුවෙන්ම තිබුනේ පාසිකුඩාහි පැවැත්වෙන සිංහසමාජ හමුවයි. එහි සම්පත් දායකයින් ලෙස මෙවර නොයෙකුත් ක්ෂත්‍ර වල හඳුනාගත් වැදගත් චරිත වලට ආරාධනා කර තිබුණු අතර නිර්මලී එහි මුලාසනය හොබවන නිසා සියල්ලේම අනුමැතිය ඈ සිදුකල යුතුය.

"මෑම් පාසස් ඔක්කොම මම දීලා ඉවරයි. VVIP අයට තව දෙකක් ඕනේ කියනවා. මොකද කරන්නේ?"

"මෑම් මේ දවස්වල අපිට සප්ලයි කරන කොස්මටික්ස් වල තිබ්බ ටැක්ස් එක වැඩි කරපු නිසා ෆයිනෑන්ස් එකෙන් සැලෝන් එකේ ප්‍රයිසස් රිවයිස් කරන්න ඉල්ලනවා"

"අර කස්ටම් එකේ හිරවෙලා තියෙන අනිත් වාහන ක්ලියර් කරගන්න දුලිප් සර් උදව් කරන්නම් කිව්වා. මම කෝල් කරනම් කිව්වා මෑම්ගෙන් අහල.. "

නව්‍යා නොනවත්වා නාදවෙන දුරකතනයෙන් නොයෙකුත් දේවල් මතක් කරමින් කියයි. තරමක් වියපත් නිසා තුෂාරා මේ මස අගදී විශ්‍රාම යන්නට නියමිතය. මේ වනවිට විදෙස්ගතව අධ්‍යාපනය ලබන ඇගේ දරුවන් තිදෙනාගෙන් එක් අයෙකුගේ අසලට යන්නට ඇය ඇගේ සැමියා සමඟ සුදානම් වන නිසාත් නව තනතුරේ පෙරහුරුවක් අවශ්‍ය නිසාත් දැන් ඈ අමතන්නේ නව්‍යා විසිනි. නව තනතුරේ වැඩ ඉක්මනින් අල්ලාගත් නව්‍යා වේගයෙන් නිර්මලිගේ වැඩකරන ක්‍රමයට සහ වේගයට අනුගත වෙමින් සිටියාය.

"නව්‍යා අපි next week end එකේ තියෙන Lions club event එකට එන්න ගෙදර කවුරුත් එක්ක හරි. මැරිඩ් නැති නිසා ගෙදරින් එන්න දෙන්නේ නැහැ කියලා මට තුෂාරා කිව්වා"

කාර්යාලයට පිවිසීමට පෙර පිළිගැනීමේ කවුන්ටරය අසල නැවතී නිර්මලී නව්‍යා වෙත සුහදශීලි සිනාවක් පාකරමින් පැවසුවේ , පෙර දිනයකදී තුෂාර වෙතින් ලැබුණු ආරංචිය නිසාමය. නව්‍යා සිනාසුනේ හදවතින්මය. 

තුෂාරා කිහිපවරක්ම මේ ගැන සන්දිරිගම මහත්මිය සමඟ කතාකරන්නට කියා පැවසුවද, තමන් එසේ නොකළේ ඈ ගැන තිබුණු ගරුත්වය නිසාමය. තුෂාර පැවසුවාටත් වඩා ඈ කරුණාවන්තය. ඉඳහිට කෝප වුවත් ඉක්මනින් නිවෙන ඈ සමඟ වැඩකිරීම පහසු බව මෙනෙහි කරමින් නව්‍යා තමන්ගේ නව රකියාවට තව තවත්  කපවුවාය.ඇයට අවශ්‍යව තිබුනේ තුෂාර මිස් මෙන් කාර්යක්‍ෂම සහ අවංක සේවිකාවක වන්නටයි.

"මම එහෙනම් නංගි එක්කගෙන එන්නද මිස්?"

කිහිප වරක් ඇසීමෙන් පසුව නව්‍යා එලෙස පැවසු සැනින් අනෙක් අතට සිය සොයුරියට ඇමතුමක් දුන්නේ සිතින් උදම් අනමිනි.

".. ඒ හොටෙල් එක මාර ලස්සනයි හලෝ....පාසිකුඩා තියෙන්නේ. තමුසේ එනවා සිකුරාදා හවස වෙනකොට නැන්දලාගේ ගෙදරට. ට්‍රාන්ස්පෝර්ට් එකක් දාලා තියෙන්නේ "

"ඇති ඇති තමුසෙගෙ ඔෆිස් එකේ වරුණාව... කොයි වෙලේ බැලුවත් මැඩම්ගෙයි , ඔෆිස් එකෙයි ලොකුකම"

සිය සොයුරිය සිනාසෙමින් පවසන්නේ සරදමට බව නව්‍යා දනී. 

"ලොකුකම තමයි! ආවහම බලනවකො.. මැඩම් ඉටිරුපයක් වගේ ලස්සනයි... මම හිතන්නේ තිහක්වත් නැහැ.. මෙච්චර තැනකට එන්ඩ නම් ඉතින් අවුරුදු තිහක්වත් වෙන්න එපැයි...  තිහක් කියලාවත් කියන්ඩ බැහැ හලෝ.. ගිය සතියෙත් අර බිස්නස් මැගසින් එකේ කවර් පේජ් එකේ හිටියා... දැක්කද? මාර හොඳයි හලෝ... තමුසෙව එක්කගෙන එන්න කියලා කැමැත්තත් දුන්නා... ඔක්කොම ෆ්‍රී හලෝ..."

සොයුරියන් දෙදෙනා දෙපස සිට උඩපනින්නට වුහ. අනතුරුව තවත් තොරතුරු සඳහා පසුවට කල් තබන්නට සිදුවුයේ කාර්යාලයේ වැඩකටයුතු වලට අවධානය යොමුකරන්නට සිදුවූ නිසාය. 

උදෑසන සිට දහවල් ආහාරයට පිටතට යන්නට සිතාගෙන සිටියද නිර්මලී සිටියේ අධික වැඩ කන්දක් මත සිරවිගෙනය. සිතට දැනෙන්නේ වෙහෙසකි. එය ඈ බලාපොරොත්තු වූ කාර්යබහුලකමකි. ඒ ක්ෂණයෙන් වනිඳුගේ බොරපාට ඇස් ඇගේ මනසේ මැවී ගියේ සුසුමකින් එය පාකරමිනි.

දහවල් පැවතී ප්‍රගති සමාලෝචන රැස්වීමට අනුව මෙවර රුපලාවන්‍ය ජාලයේ ලාබය ඉතා සතුටුදායකය. ඇය ඒ ලාබය සේවිකාවන්ට වේතනයට එකතු කරන්නට කියා ගිණුම්කරණ අංශයට උපදෙස් දෙද්දී එහි සිටි නවක සේවිකාවක් කියූ කාරණය සිහියට නැගී නැගුනේ සිනාවකි.

".. මිස්... අපිට පුළුවන් ඊළඟ මාසෙට මේ ටාගට් එක ඩබල් කලොත් එයාලට බෝනස් එකක් දෙන්න.. ඔය නිවාසවල ඉන්න කෙල්ලෝ ඔය සල්ලි වලින් කරන්නෙම නාස්තිය"

තමන් ඉදිරියේ එවැන්නක් කියූ ප්‍රථමයා ඇය නොවන නිසා නිර්මලිට එය පුරුදුය.

"ඇත්තකුත් නැත්තේ නැහැ මාලිකා.. ඒ ළමයි තරුණයි. කවුරුත් ආසයි තමන්ට ආසා දේවල් කරන්න. ඔය වයසට නොකරන දේවල් නාකිවෙලා කරන්නද.. වඩාම වැදගත්දේ තමයි ඒ ළමයින්ට මග පෙන්වන්න වැඩිහිටියෙක් නැති එක. මේ මාසේ සැලරි එකට මම දෙන්න හිතුවේ කීප දෙනෙක්ම බඳින්න ඉන්න නිසා. මුදල් පාලනය ගැන ආයෙමත් අපි වැඩමුළුවක් තියන්න ඕනේ, අලුතින් අය ගොඩක් ඇවිත්, සමහරු අස්වෙලාත් ගිහින්නේ.. මොන රස්සාව කලත් එයාලට අපි ඒ දැනුම දෙන්න ඕනේ"

නිර්මලිට සුසුමක් නැගුනේ මුදල් පාලනය තමන් උගත්තේ අනුජගෙන් නිසාය. එය එකින් එක ගෙත්තමක් සේ කියා දෙන ආකාරයෙන් තමන්ටද නොදැනෙන්නට කරන්නට අනුජ සමත්වී තිබිණ. ඒ අතරම ඇගේ මනසේ මැවුනේ වසර ගණනාවකට පෙර සන්දිරිගම මහතා තමන්ට සම්මුඛ වූ ඒ තීරණාත්මක දිනයයි. 

"... මේ ඔක්කොම බලාගන්න ඩෝටර්.. සමාවෙන්න මගේ අතින් වෙච්ච දේවල් වලට"

යන්ත්‍රයකට සවිකරනලද ඇඳක වැතිරී, ඒ බොරපාට මහලු ඇස්වල තිබුණු කඳුළු අතර තිබෙන දුක්බර කතාව තමන් දැනගත්තේ සන්දිරිගම මහතා දකින්නට හෝරා කිහිපයකට පෙර නිසා ඒ මොහොතේ තමන්ට කියන්නට යමක් සිහි නොවීම පුදුමයක් නොවේ.

".. මගේ අතින් මගේ සන්ට වෙච්ච අඩුපාඩු ගැනත් සමාවෙන්න"

කොපුල් හරහා ගලන කඳුළු ඔස්සේ ඔහු තවදුරටත් පැවසුවද ඒ මොනවාදැයි නිර්මලී හරි ආකාරව දැන සිටියේ නැත. ඒ හමුවෙන් මාස දෙකක්  ඉක්මෙන්නට ප්‍රථමව සංදිරිගම මහතා මිය යන්නේ ඔහුගේ නමට ඇති කෝටි ගණනාවක දේපළ සහ පන අදිමින් සිටින සංචාරක ඒජන්සි ව්‍යාපාරය සිය පුතාගේ වැන්දඹු බිරිඳ වන නිර්මලී සංදිරිගම වෙත පවරමින්ය.

ජිවිතයේ දෙවන වතාවට රේසිකා තමන්ට හමුවන්නේ එම අවමංගල උත්සවයට පැමිණි මොහොතේය. ඒ වනවිට යුරෝපයේ පැවැත්වෙන වැදගත් සම්මේලනයකට සහභාගී වෙමින් සිටි නිමන්තිකාට එය මගහැරුනත් , රේසිකා සිය රෝද පුටුවේ සිට දේහය ආදාහනය කරනා තෙක්ම රැඳීසිට එකවරම අතුරුදහන් වුවාය.

එකවරම නිර්මලිට සිහිවුයේ තමන් දැනට මසකට පමණ පෙරසිට යන්නට  සිටිනා ගමනකි. වහා අභ්‍යන්තර දුරකථනය ගත් ඈ නව්‍යා අමතා සිටියාය.

"නව්‍යා...  හෙට හවස මගේ මිටින් ඔක්කොම reschedule කරන්න.  හත පහු වෙනකල් මම නැතිවෙයි. නවයෙන් පස්සේ දාන මිටින් එකක් දාන්න.."

"ඕකේ මෑම් "

නිර්මලී ගැඹුරු හුස්මක් අල්ලාගෙන සිට නිදහස් කලේ පසුදින සැලසුම් කරගත් ගමන ගැන බරවූ සිතිනි.


------------------------------------------------------------------

 ජානක සුරියප්පෙරුම සිය  තරුණයා දෙස බලා විචිත්‍රවත් සිනාවක් පෑවේ , තමන් නෙලාගත් අස්වැන්නක් දැක සැනසෙන ගොවියෙකු පරිද්දෙනි. ඇත්තටම වනිඳු ගෝකුල යනු සිය අස්වැන්නයි. මිට අවුරුදු ගණනාවට පෙර ක්‍රිකට් පිටියේ දස්කම් පාන කුඩා ; හැඩකාර කොලුවෙකු ගැන පුහුණුකරු සඳහන් කරද්දී ඒ වනිඳු බව ඔහු දැන සිටියේ නැත. 

දුටුමතින්ම වනිඳු හඳුනාගන්නට තමන්ට හැකිවුයේ වනිඳු ඉපදුනු මොහොතේ ඔහු මුලින්ම දෝතට ගත පස්දෙනා අතර තමන් සිටි නිසා වන්නට ඇත. ඒ අන් කවරකුත් නොව තම අතිජාත මිත්‍රයා වූ රොහාන් ගෝකුල නිසාමය. සටන් බිමේ එක බත්පත බෙදාගෙන කෑ රොහාන් ඉන් ඔබටත් තමන්ට ප්‍රාණසම මිත්‍රයෙකු වුවත් අවාසනාවට දෙදෙනා අතුරින් මාලති දිනාගත්තේ රොහාන් වීම තමන් කෙතරම් කම්පනයකට පත්කලාද? ඔවුන්ගේ විවාහයට පවා සහභාගී නොවෙන්නට තරම් එය කම්පනයක් වුවත් සියල්ලම කඩා වැටෙන්නේ දරු ගැබට මස හතක් තිබියදී අවාසනාවන්ත ලෙස රොහාන් ගෝකුල යුද්ධයේ සාපරාධි ගොදුරක්ව යාමෙන්ය. 

ඉන් අනතුරුව තමන් කෙලින්ම පැමිණ මාලති විවාහ කරගන්නට යෝජනා කලද ඈ එයට එකහෙලා විරුද්ධ වුවාය. අනතුරුව අනපේක්ෂිත පරිද්දෙන් මානවහිමිකම් නඩුවක චුදිතයෙක් වී රොහාන් ගෝකුල යන නාමය අතිශය නිර්ධය ලෙස අසාධාරනකම් වලට ලක්වීමේ ප්‍රතිපලයක් ලෙස මාලතිට , රෝහාන්ගෙන් ලැබෙන විශ්‍රාම වැටුප් සහ වෙනත් දීමනා සියල්ලම අහිමිව ගිය බවක් තමන් දැනගත්තේ තමන්ගේ විදෙස්ගත පුහුණුවීම් නිමකොට ලංකාවට පැමිණත් සෑහෙන කාලයක් ගතවීමෙන් අනතුරුවයි. පුහුණුකරු විසින් වනිඳු පෙන්වූ දිනයේ ඔහුව පුහුණුවීම් වලින් ගන්නට පැමිණ සිටි මාලති දැක්මෙන්ම ඔහුගේ සිතේ තිබුණු සැකය වියැකී ගියේ මොහොතින් සියල්ලම යලි සැලසුම් කරමිනි. ඒ අනුව තමන් වනිඳු ගොකුලගේ අධ්‍යාපනය සම්බන්ධව සහ ක්‍රීඩාව සම්බන්ධව සියලු වියදම් පාසල හරහා කැපකරුවෙක් ලෙස අනුග්‍රහ දක්වන්නට වහා සැලසුම් කලේ, එය දැනගැනීමෙන් මාලති එය ප්‍රතික්ෂේප කරන බව ඉඳුරාම දන්නා නිසාය.

අද තමන්ගේ අග්‍රපලය දැක ජානක සුරියප්පෙරුම වින්දේ අවංක සතුටකි. අද ඔහු නම ගිය ක්‍රීඩකයෙක් වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන තරුවකි. ඊට අමතරව, අද දින ඉතිරියද සම්පුර්ණ කරමින් ඔහු හමුදාවට බඳවාගන්නට අවශ්‍ය සියල්ලම නිමකොට හමාරය. හමුදාවට වන් මොහොතේ පටන් ලැබෙන වැටුප මගින් මින් පසුව වනිඳු තවදුරටත් තමන්ගේ උපකාරයන් නොව සිය දෙපයින් නැගිටින තරුවක් වනු ඇත.

වනිඳු ගෝකුල කෘතඥතාපූර්ව බැල්මකින් සිය කැපකරු පියා දෙස බලා සිනාසුනේ හදවතිනි.

"ගොඩක් ස්තුතියි කර්නල්... මෙච්චර කාලයක් සර්ට කරදර කරන්න උනාට මට කණ..."

"පිස්සුද පුතා! මොන කරදරයක්ද? පුතා මගේම පුතෙක් වගේ..."

ඔහුගේ හදවතේ ඒ වචන ප්‍රතිරාව විය. සැබෑවටම ඔහුගේ මව තමන්ගේ ප්‍රථම ප්‍රේමයයි; තමන්ගේ අතිජාත මිත්‍රයාගේ එකම පුත්‍ර රත්නයයි. ඊටත් තමන්ට පුතෙක් නොමැති අඩුවට හැමදාම තමන් වනිඳු සුරතල් කලේ හදවතින්ම මිස එහි කිසිදු කිලුටක් තිබුනේ නැත.

".. මට ඉන්නෙම කෙල්ලෝ තුනක්. හැමදාම මම හිතුවේ මගේ පුතා උඹයි කියලා කොල්ලෝ.. උඹ අද මේ ඉන්න තැන මට හරි ආඩම්බරයක්.. උඹට කවදාවත් වරදින්නේ නැහැ කොල්ලෝ.."

ජානක වනිඳුගේ පිටට තට්ටුවක් දමා පැවසුවේ අවංකවමය. රොහාන් ජිවතුන් අතර සිටියා නම් සිය පුතා ගැන උදම් අනනු ඇත. ඒ දිනවල මාලති හා ඉඳහිට ගන්නා ඇමතුමෙන් පසුව විනාඩි කිහිපයක් කඳුළු සලන රොහාන් අවසානයේ පවසන්නේ එකම වැකියකි.

".. බඩේ ඉන්නේ කොල්ලෙක් බං.. මට ඒක විශ්වාසයි... "

ඔහුගේ මරණය අසා කම්පිතව උන් මාලතිගේ දරුගැබ සතියක් පමණම නිසොල්මනේ සිටීමෙන් සියල්ලෝම අනුමාන කලේ දරුවා මියගොස් ඇති බවයි. නමුත් මාලතිගේ දිරිමත් සිත ඈ සිතුවාට වඩා ශක්තිමත් කරගෙන සිටියේ සැමදෙනාම විශ්මයට පත්කරමිනි. ඉන් මසක අවෑමෙන් පුතා උපන් පසුව හමුදා රෝහලේ සිය බලතල යොදාගෙන දරුවා මොහොතකට අතට ගත් මොහොතේ දුනු හැඟීම තමන්ට සිය ප්‍රථම දරුවා ලැබුණු දිනකදිවත් නොදැනුන බව ඔහු අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. මාලතිගේ දෑස මානයේ රැඳෙමින්, ඈට නොදැනෙන්නට  තමන් ඔවුන් ගැන විපරම් කරමින් සිටියද පුහුණුවීම් වලට විදෙස්ගත වන්නට වූ නිසා ඉක්මන් විවාහයකට ගිය තමන්ගේ සිත තවමත් මාලති කෙරෙහි උණුවන බව ජානක දනී. 

දෛවය එලෙසය. ප්‍රේමය සැමවිටම විවාහ බන්ධනයෙන් සැරසිය හැකි සුරුවමක් නොවේ. නමුත් අතනොහැරෙන ; දුරින් හිඳ කරනා අකලංක ප්‍රේමය වඩා හිතට දැනෙන්නේ එහි ඇති මායාකාරී විඳීම් නිසාමය. 

"සර් අදවත් පොරොන්දු වෙන්න ඕනේ අපේ ගෙවල් පැත්තේ යන්න එනවා  කියල.. අම්මා හැමදාම දොස් කියනවා මෙච්චර උදව් කරන සර්ගේ නමවත් හරියට කියන්නේ නැහැ ; අපේ ගෙදර එක්කගෙන ඇවිල්ලා නැහැ කියල..."

"ආ.. ඒක නම් බැරිය කොල්ලෝ... මේ සතියේ ගෙදර යනවද උඹ?"

"ඔව් සර්.. අම්මව ස්කෑන් එකකට එක්කගෙන යන්න තියෙනවා.."

"අම්මව මෙහේ ක්වාටස් වලට ගෙනෙන්... එහෙ තනියෙන් ඉන්නවට වඩා හොඳයි. දැන් මානවහිමිකම් නඩුවත් ඩිස්මිස් උන නිසා තාත්තාගේ පෙන්ෂන් එක හදාගන්න පුළුවන්. ලොකු ගානක් ලැබෙයි"

වනිඳු අපහසුවෙන් සිනාසුනේ අවසාන කොටසටය.

"පෙන්ෂන් ඕනේ නැහැ සර්... අම්මා හරියට දුක් උනා අපේ තාත්තාට එහෙම චෝදනාවක් ආපු එකට. තාත්තා එහෙම මිනිමරුවෙක් නෙවෙයි"

ජානක අභ්‍යන්තරයෙන් ඒ ගැන හඬාවැටුනේය.

'උඹට වඩා මම ඒක දන්නවා කොල්ලෝ'

"මම වාහනයක් යවන්නම් බඩියෝ ටිකකුත් එක්ක...  අනික්වා ලැස්ති කරන්නත් එහෙන් කට්ටිය දෙන්නම් අම්මට. දැන් උඹ කොහොමත් ආමි ඔෆිසර් කෙනෙක් බන්... මේ සතියේ එහෙ නෙවෙයි වෙන ගමනක් තියෙනවා උඹ මගෙත් එක්ක යන්න ඕනේ"

"ඒ මොකක්ද?"

වනිඳු කිසිවක් අනුමාන කරගත නොහැකිව කල්පනා කරන්නට විය.

"ඒක මම පස්සේ කියන්නම්... හෙට ප්‍රැක්ටිස් ඉවරවෙලා මම උඹව ගන්න එන්නම්කෝ..."

"හරි සර්"

 

--------------------------------- මතු  සම්බන්ධයි ------------------------------

10 comments:

  1. අඩේ.. ලිහෙයි ලිහෙයි කියල බලන් ඉන්නකොට මෙයා තව පටලනවා නෙව. ඒ ගමන මොකාටද මේ එන්න හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලිහනවා කියන්නේ මොකද්ද? :-D හි හි හි

      Delete
  2. Replies
    1. ඇයි නේ මේ සුසුම්ලන්නේ... ටිකක් හිනාවෙනා ඉන්ඩකෝ

      Delete
  3. මේක හරියන්නෑ.
    ගනිං අර පොල්ලක්.. හොයං යන්ට මේක ලියන නෝන මහත්තැංව.. 😃😃😃

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්ඩ.. ඉඳල ඉඳල ඔහොම කමෙන්ට් දානවද? පොල්ලක් හම්බුනාම කියන්ඩ

      Delete
  4. ගැට ගැට ගැට කොහෙ බැලුවත් ගැට ..ඇයි අනේ ඔයා අපිට මෙහෙම කරන්නේ 😌🤔

    ReplyDelete
    Replies
    1. ගැට තිබෙන්නේ ලෙහන්නයි. හැබෑටම මොකද්ද දාපු ගැටේ? ලෙහුවානේ තිබ්බ එක.. නිර්මලී බෑ කිව්වා.. ඉතින් එච්චර සරලව විසඳුනා නේ!

      Delete
  5. කතාව සුන්දරව ගලා යනවා! ලස්සනයි!~

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්ඩ ඔබතුමා විතරයි මේ වගේ කමෙන්ට් එකක් දැම්මේ.. මුන් ඔක්කොම මට ගහන්ඩ බලාගෙන ඉන්නවා.. බලන්න මම පිස්තෝල ගැන ලියපු කතාවේ වත් මෙහෙම මැර තර්ජන .. එක්කෝ මෙතනටත් පිස්තෝලයක් බස්සන්න ඕනේ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...