Sunday, January 23, 2022

293: උන්මාද චිත්‍රාදෝ මා 25


 


සටහන : මේ කොටසේ  සහ ඉදිරි කොටස් කිහිපයකම දින වකවානු ඒ මේ අත යන බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කියවන මෙන් ඉල්ලා සිටිමි.



"... වනිඳු....... ෆෝකස් මනුස්සයෝ!"

තමන් වෙත පැමිණි තුන්වන බෝලයද මගහැරී වනිඳු දෙස බලා චාමික දත්මිටි කමින් පැවසුවේ මුව තරමක් ආවරණය කරගනිමිනි. පුහුණුකරු දැන් දැන් වනිඳුට දෙහිකපන බව චාමික හොඳටම දන්නේ ඔහු කිහිප වරක් වනිඳු දෙස ඔරවාගෙන බලාසිටි නිසාය. 

වනිඳු හිස ආවරණය ගලවා අතටගෙන , සිය නළලත නැගුනු දහදිය පිසිමින් පැමිණ විවේක ගන්නා කොටසේ හිඳගත්තේ බිමට බරවූ මුහුණෙනි. උදෑසන සිටම පුහුණුවීම් අතරතුර වෙනදාට වඩා සිදුවූ අතපසුවීම් ගැන ඔහුටද දැනෙන්නේ වරදකාරී බවකි. ඔහුට පසුව පන්දුවට පහරදෙන අනෙත් ක්‍රීඩකයා දෙස බලමින් සිටියදී ඔහුගේ සිත අතීතයට දිව යන්නේ සැනෙකිනි. 

මීට අවුරුදු දෙකකට පෙර සිය මව කටුවාපිටිය බෝම්බයට හසුව ගතවූ ඉතාම අපහසු කාලයේ , පුහුණුවීම් සඳහා තමන් පැමිණියේ ඈ අසළ බිම එලාගත්  පැදුරක රැය පහන් කිරීමෙන් පසුව වුවත් මෙතරම් කඩාවැටී සිටියේ නැත. රෑ තිස්සේ චාමික විසින් කියූ බණ අසා ඔහුගේ සිත තවත් පෑරී තිබිණ.

'එහෙම අමතක කරන්න පුලුවන්ද? මුන්ට තේරෙන්නේ නැහැ... '

නිර්මලී දකින්නට පෙරම තමන් ඇයට ආදරය කල බව, ඇගේ ප්‍රේමය තමාට හිමි බව , ඈ සම්පුර්ණයෙන්ම තමා සතු වස්තුවක් බව, ඒ ආදරය සියලු නහරවැල් පුරාම ගොස් සර්වාංගයම නතුකොට ඇති බව පිළිගන්නට චාමික සුදානම් නැත. 

චාමික පමණක් නොවේ තමන් වටා සිටිනා කිසිවෙකුට එය වැටහෙන්නේ නැත. ඔවුන් සිතන්නේ ඒ කියනා සියල්ල වැල් බයිලා බවත්, තමන්ට ඇත්තේ වයසින් වැඩි ධනවත් ගැහැණියක් හා යහන්ගතවන්නට ඇති ආසාවක් කියා පමණකි. ඈ දකින මුල් මොහොතේම තමන්ට අහිමිව තිබුණු අර්ධයක් ලැබුනාක් මෙන් දැනෙන්නේ කෙලෙසද කියාවත් වටහාදිය හැකිද? ජිවිතයේ එක වරක්හෝ එම අත්දැකීම ලද අයෙක් හැරුණුවිට එය අකුරු කළහැකි හෝ හැඟීමක් නොවේ.

වඩාත්ම වනිඳු වේදනාවට පත්කළේ තමන්ගේ හදවතේ  අන්තයටම දැනෙන මේ හැඟීම, නිර්මලිට නොදැනීමයි. ඇය නොසිතා හෝ හිතාමතා තමන්ට පෙනෙන්නට අසලංක මිහිඳුකුලසුරිය කියනා මිනිසා සමඟ එදින රාත්‍රී ආහාරයට යාම තමාගේ හදවතට මුගුරකින් පහ දුන්නාක් මෙන් හැඟීම.. ඇයට නොදැනෙන්නේ කෙලෙසකද? 

'ඒක එහෙම උනත් ඔයා මොකද කරන්නේ මිස්ටර් වනිඳු..? මම ස්වාධින ගෑනියෙක්.. වයස හතළිහක්.. මම කැමති පිරිමියෙක් එක්ක එහෙම ගමනක් යන්න මට පුළුවන්.. එහෙම ගමනක් විතරක් නෙවෙයි.. ඕනෙම දෙයක් මට කරන්න පුළුවන්. ඔයා අන්න ඒක හිතට ගත්තොත් හොඳයි!'

ඒ වචනවල තිබුණු අධි වොල්ටීයතාවයට තමන්ගේ සර්වාංගයම පන නැතිව ගියා නොවේද? ඔවුන් පසුපස ගොස් හිල්ටන් අවන්හලේ ඔවුන් අසුන් ගන්නාතුරු ඈතට වී බලා සිටියේ වේදනාවෙන් තෙරපෙන හදවත තදින් මිරිකාගෙනය.

'නිර්මලී මගේ... දෙන්න බෑ මට .. කාටවත්! වයස යකාට ගියාවේ.. .මගේ මුළු ආත්මයෙන්ම මම නිර්මලිට ආදරෙයි.. '

අසලංක මිහිඳුකුලසුරිය ගැන  සොයාබැලිය යුතු බව වනිඳු සිතුවේ තණනිල්ලේ තරමක් දිගාවී අහස දෙස බලාගෙන සිටිමිනි.

"අඩෝ! දවල් තරු බලනවද?.. පලයන් දැන් බෝලින් කොච් බලාගෙන.."

චාමිකගේ හඬට වනිඳු සිය ඉරියව්ව වෙනස්කොට නැගී සිටියේය. ලොකු සුසුමක් හෙලු වනිඳු ගැන ඇතිවූ  අනුකම්පාව නිසා චාමික ඔහුගේ උරයකට තට්ටුවක් දැමුවේ මිතුරු සිනාවක් සමඟිනි.

"චිල් වෙයන් බන්... අද උදේ ඉඳල උඹේ කෙල්ල කෝල් කර කර මට කරදර කරනවා.. ප්‍රැක්ටිස් ඉවර උනාම කෝල් එකක් දියන්.."

"චඃ"

වනිඳුට ආවේ කෝපයකි. කොතරම් කිව්වත් ඈ කරන්නේ එක ඇමතුමකට පිළිතුරු නොදුන් වහාම තමන්ගේ සියලු මිතුරන්ට නොනවත්වා ඇමතීමයි. දළදා මාලිගාවට ගිය දිනයේ හවස තමන් හා ඇතිවූ මද අමනාපය බහින්බස්වීම දක්වා ගියේ නිර්මලී හමුවූ දිනයට පසුවදාය. ප්‍රේම සම්බන්ධයට තිත තබන්නට අවශ්‍ය බව කීවීට , ඇය පුපුරා හැලුනේ තමන් කියන දෙයක් කනට නොගනිමිනි. 

'වනිඳු... ඒ මොකටද ඒ?'

'මට දැන් මේක break up වෙන්න ඕනේ.. තමුසෙට තේරෙනවද මම මේ කියන සිංහල?'

වනිඳු අවසානයේ එසේ කියා ඇමතුම විසන්ධි කල පසුව ආ කිසිදු ඇමතුමකට ඔහු පිළිතුරු දුන්නේ නැත. වන්‍යාට එසේ පැවසීමට තරම් තමන් නරුමයෙක් වුවේ කෙසේද? මෑතක සිට තමන්ගේ තරහ තවත් පාලනයෙන් තොරය.

"... ඊයේ වගේ මැන්ටල් වැඩ කරන්න එපා මීට පස්සේ. උඹට මතකනේ කොච් ධර්මසිරි මෙහෙට උඹව බාරදෙනකොට කිව්ව කතාව? උඹට ලේසි ගමනක් නෙවෙයි මචන් ටීම් එකේ තියෙන්නේ. ඒ හින්දා පිස්සු නටන්නේ නැතුව වැඩකරපන් "

ඔහු නැගිට ගොස් පුහුණුවීම් වලට සහභාගී වන්නට ප්‍රථම චාමික කියූ දේ නිසා තරමක් සන්සුන් වන්නට උත්සහ කරමින් පන්දු යැවීමේ පුහුණුවීම්වල නිරත වුයේ අඩු වැරදි ප්‍රමාණයක් කරමිනි. තුන් ඉරියව්වෙන් දස්කම් පාන වනිඳු ගෝකුල අඩු වයසින්ම ජාතික ක්‍රිකට් සංචිතයට එකතුවීම පෙරදිනයේ පුවතක් මැවූ නිසා සංචිතයේ පුහුණුවීම් කැමරාකරණය කරන්නට කුමක්හෝ පුවත්පතකින් පැමිණ සිටියද වනිඳු ඒ කිසිවක් ගැන උනන්දුවක් පලකලේ නැත.

පුහුණුවීම් අවසාන වන්නට ආසන්නයේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විසින් නවක ක්‍රීඩකයින් වන වනිඳු සහ චාමිකට විනාඩි පහක පමණ දේශනයක් ලබාදුන්නේ දවසේ සමාලෝචනය වශයෙනි. කවදාවත් නැති තරමට වනිඳු වෙතින් දකින්නට ලැබෙන නොසන්සුන්තාවය ගැන පවසද්දී ඔහුගේ දෑස වනිඳු වෙත යොමුවූ ආකාරයෙන්ම තමන් සිටින්නේ භායනක අඩියක බව වනිඳු තේරුම් ගත්තේය.

"හොඳයි.. boys.. see you tomorrow ..!"

අල්ලාගෙන සිටි හුස්ම පහලට හෙලමින් වනිඳු චාමික දෙස බලා ආපසු ක්‍රීඩාගාරය දෙසට යන්නට හිස හරවනවාත් සමඟම දකින්නේ තමන් කිසිවිටෙක නොසිතු දර්ශනයකි.

ලා නිල්පාට ඩෙනිම් කලිසමට, සුදුපාට කොට ටී කමිසයක් හැඳ සිටි, නිර්මලී සංදිරිගම සිය අවුකණ්නාඩි යුවල ගලවා හිඳගෙන සිටි ආසනයෙන් නැගී සිටියේත් , ඔවුන් දෙදෙනාගේ දෑස එකිනෙක ලොක් වන්නේත් එකවිටකය. කුඩා කෙල්ලකගේ ඇති රුමත්බව ඈ තුලින් වෑහෙන්නේ නිරායාසයෙන් නොවේද? ඇගේ අක්බඹරු කොණ්ඩය සුළඟට ලෙලදුන්නේ බටර් පැහැති ඒ සුන්දර මුහුණ පුරා ගමන් කරමිනි.

"baby girl ?"

වනිඳුගේ සර්වාංගයම ප්‍රීතියෙන් කුල්මත්ව ගියේය. ඈ දකින මොහොතක් පාසා සිය ශරීරය පුරා ඇදීයන වොට්  බර ගානක විදුලි දහරාවෙන් තමන්ගේ ගත වෙව්ලා යනවාක් මෙන් ඔහුට දැනුනේ. ඉබේම පියවර වේගවත් විය.

නැත... ඈ පැවසුවේ තමන් පරිනත ගැහැනියක් නිසා කැමති පිරිමියෙකු සමඟ කැමති දෙයක් කළහැකි බවයි. ඊටත් , ඇය ඊයේ පැහැදිලිවම පෙන්නුම් කලේ තමන්ට ළඟාවිය නොහැකි සමාජ තලයක ඈ සිටින බවයි. ඒ මතට අද දිනයේ සිදුවුණු තවත් යමක් එකතුව තිබුණි. 

වනිඳු ඉබේම ඒ පසට තැබුණු පියවර වහා අනෙක් පැත්තට හැරෙව්වේත්, නිර්මලිගේ මුහුණේ සිනාව එකවරම වියලි ගියෙත් ඒ ක්ෂනයේය. චාමික මේ සියල්ල දෙසම බලා සිටියේ දෙදෙනාගේම ඉරියව් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරමිනි.

'මේ ගෑනි මේ මොකාටද එන්නේ?'

තමන් දෙසට තැබූ පියවර වෙනස් වෙද්දී  වහා සිය දෙපා පොලවේ තිබෙන තැන හැදුනු විවරයකින් තමා ඇතුලට කිඳාබසින බවක් නිර්මලිට දැනුනි. එය ආඩම්බරකම නොවේ. ඒ ඔහුගේ වේදනාවය. 

'දැන් කරන්නට දෙයක් නැහැ නිර්මලී සංදිරිගම... සමාව ගන්න දණගහන්නම වෙනව'

නිර්මලී සිටියේ පුහුණුවීම් කරන පිටියේ පසෙක අටවා තිබෙන ටෙන්ට් එකක් අසල නිසා , ඈ සෙමෙන් පියවර කිහිපයක් ඉදිරියට පැමිණියද වනිඳු පියවර රැසක් ඈ වෙතින් ඉවතට ගමන්කොට තිබිණ. පියවර ඇගෙන් ඉවත්ව  ගියද,වනින්දුගේ සිත තද රැහැනකින් අදින්නාක් මෙනි. චාමික වරක් හැරී නිර්මලිට රවා වනිඳු දෙස බලා ඔහුගේ උරහිසට තට්ටුවක් දැමුවේය.

"වනිඳු..."

ඇසෙන නෑසෙන තරමට ඇසුණු නිර්මලිගේ හඬට වනිඳුගේ කකුල් ඉබේම නැවතුණි. ඔහුගේ මුහුණ බිමට බරවී, නළල රැලි ගැන්වී තිබුනේ තරමක ආවේගයක් නිසා බව නිර්මලිට වැටහුණි. ඇය පියවර දෙකක් ඉදිරියට එද්දී චාමික රවා බැලුවෙත් වනිඳු ආපසු හැරුනේත් එකම මොහොතේය.

"ඇයි ?"

ඒ ඇස්වල තිබුණු වේදනාත්මක බැල්ම දරාගැනීමට නොහැකිව නිර්මලිට නිරායාසයෙන් බිම බැලුණි. ඔහු දෙස බලන මොහොතක් පාසා තමන්ට තමා අහිමිවන බව පිළිගැනීමට නිර්මලිට සිදුව තිබේ. කල්පයක් තරම් කාලයක් දන්නා බවක්!

"ම.. මට.. පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද?"

දෑසේ නැගෙන බැල්ම වසාගන්නට මෙන් සිය අවුකණ්නාඩි යුවල ඉක්මනින් දමාගත් නිර්මලී පැවසුවේ මෘදු හඬිනි. චාමික යමක් කියන්නට උත්සහ කළේය.

"උඹ පලයන් මචං.. මම ටක් ගාලා එන්නම්.."

වනිඳුගේ දෑස තවමත් තමන්ගේ සර්වාංගය පුරාම පුළුස්සා දමමින් ගමන් කරනා ගිනිපෙල්ලක් වැනි බව දැනී නිර්මලී හතර අතට ඇඹරෙන්නට වුවාය.

".. what is it ? මට පරක්කු වෙනවා"

එයනම් කවරදාවත් වනිඳු කියුවක් වන්නට නොහැකි නිසා නිර්මලී තිගැස්සී ගියාය. අනිච්චානුගව රිදුනා නොවේද? 

තදනිල්පාට ක්‍රීඩා ඇඳුම දහදියෙන් පෙඟී ඔහුගේ උඩුකයට ඇලි තිබුණු අතර ඉත්තාකූරු කොණ්ඩය අවුල්ව වනිඳු වෙතින් පලකලේ තදබල ආකර්ෂණයකි. ඊටත් ඒ තරහව?? ඔරෝගෙන ඉන්න හැටි? ඒ කොණ්ඩය අල්ලන්නටම සිතෙන හැටි? දහදිය වැකුණු පපුවේ උණුසුම තමන්ට දැනෙන්නාක් මෙනි.

'මේ මොනාද මම මේ හිතන්නේ?? අනේ දෙවියනේ.. මට මොනාද මේ වෙන්නේ?'

තමන් විසින් තනාගෙන සිටින බලකොටුවේ මහා පවුර පුපුරා එකිනෙක ගල් බිමට වැටෙන්නාක් මෙන් ඇතුලාන්තයෙන් මහා කැළඹීමක් දැනුනේ නිර්මලිගේ පාලනයෙන් තොරවමය. වැඩිපුර සිටියයුතු නොවේ. ඉක්මනින් මෙතැනින් යා යුතුය.

"extremely sorry . මම ඊයේ...... අර... අරෙහෙම කිව්වාට..."

ඒ ඇස්වල තියුණු බැල්ම තමන්වෙත එල්ලකරගෙන සිටිනා අසිපතක් වැනිය. විසි අවුරුදු කොල්ලෙකු ඉදිරියේ තමන් මේතරම් වෙව්ලන්නේ මොන විකාරයක්ද? ඈ සිය අවුකණ්නාඩිය ගලවා අතට ගත්තේ වෙව්ලන අතිනි.

"හ්ම්ම්..."

එපමණකි. නැවතත් ඒ දෑස නිර්මලිගේ දෑස හා ලොක්වී ගොස් දෙදෙනාම සිටියේ නිහඬව එකිනෙකා දෙස බලාගෙනය.

ඒ මොහොතේ තමන්ගේ ආත්මය පුරාම ගලායන කුමක් හෝ විදුලියක් විසින් තමන් සිටිනා තැනින්  හෝ පාවී යන්නාක් මෙන් දැනුන නිසා නිර්මලී සිටියේ අඩ සිහියෙනි.

".. එච්චරයි?"

නිර්මලී නිරුත්තර වුවාය. නමුත් හදවත මහා වේගයෙන් ගැහෙන්නට වුයේ පාසල් දැරියක පරිද්දෙනි. වනිඳු පියවර කිහිපයකින්ම වහා ලංවී නිර්මලී අසලින්ම සිටගත්තේ ඇගේ වත වෙතින් එකවරම දෑස ඉවත් කරගෙනය. නමුත් නොසිතු ලෙස ඔහු නිර්මලිගේ වම් බාහුවේ ඉහලින් තරයේ අල්ලා ගත්තේ ඈ දෙස සිය බොරපාට ඇස් වලින් ඔරවමිනි.

"... මෑම්.. මට ඔයාගේ සල්ලි ඕනේ නැහැ... දාපු ලක්ෂ විසිපහ මම හෙට ලැබෙන්න සලස්වන්නම්.. මට ඒ සල්ලි ඕන නැහැ.. සල්ලිවලට පස්සෙන් එන්න තත්වේ කොල්ලෙක් නෙවෙයි මේ වනිඳු කියන්නේ.. And you can't buy me ! තේරුනාද?"

ඒ ක්ෂණයෙන් ඈ අතහැරි වනිඳු නැවත හැරී නොබලාම ක්‍රීඩාගාරයට ඇවිද ගියේ වෙඩි කෑ වල් ඌරෙකු පරිද්දෙන් පිඹිමිනි. සියලු වදන් ගිලිහි ගොස් නිර්මලී වික්ෂිප්තව ඒ දෙස බලා සිටියේ සිහියක් නැත්තාක් ලෙසයට.

---------------------------------------------------------------------------

කුලී රථයෙන් බිමට බට නිර්මලී සිය බෑගයට අත තබත්ම තමන්ට වූ අතපසුවිම සිහිවී දහවල් තරු පෙනුනි. නිවසේ යතුර අමතකව එය වාහනයේ දමා ඇවිත් බවත් , අද දින සර්විස් කිරීමට දැමු වාහනය තිබුණු තැනට නැවත යන්නට මෙම පාසල් වෙලාවේ තව හෝරා දෙකක් පමණ ගතවන බවත් වැටහී හිස අවුල්ව ගියේය. වෙනදාට වාහනය සර්විස් කිරීමට දමන්නේ හෝටලයේ සේවකයෙකු වුවත් , අද දින එය තමන් විසින්ම සිදුකලේ වාහනය දමා , පැමිණි පණිවිඩයට අනුව ජිප්රථ පරික්ෂා කොට නැවතත් මහල් නිවාසයට එන්නට අවකාශයක් ගන්නට නිසාය. 

තමන්ගේ සිහිය මෙතරම්ම අවුල්ව ගිය සතියක් නැතිවාක් මෙනි. මේ සතියට වාහනයේ යතුර නැතිකරගත් එකත්, පාට දෙකකින් සපත්තු දමාගෙන කාර්‍යාලයට  යන එකත්, එකම වැඩයට දෙතුන් වරක්  අමතා එකිනෙකට වෙනස් තීරණ පැවසීමත් නිසා තුෂාරා කිහිප වරක්ම තමන් දෙස ඇස්ගෙඩි ලොකු කොට බැලු සැටි ඇයට සිහිවේ. 

'ඒ මදිවාට මම දැන් යතුර දාලා ආව කියල කියන්නද?'

නිර්මලී මදක් කල්පනා කර සෙමෙන් සිය දුරකථනය අතට ගෙන අංකයක් වෙත ඇමතුමක් දුන්නාය.

"ඇයි නිර්?"

දෙවරක් එය නාදවත්ම එහා පසින් පිළිතුරු නැගුනේ කලබලයෙන් මෙනි.

"නෑ අසා... මේ... මට මේ ගෙදර කී එක අමතක උනා... ඔයාලගේ ගෙදර ඇරලද?"

එකම නිවාස සංකීර්ණයේ වෙනස් මහලක තිබෙන අසලංකගේ නිවස දවල් දවසේ සිටින්නේ මෙහෙකාරිය පමණක් නිසා ඇයට එහි යාහැකි බව සිතුනේ අහම්බෙන් මෙනි. අසලංක එකවරම පිළිතුරක් දුන්නේ නැත.

"ම්ම්ම්... ඔව්..."

"මම ගියාට කමක් නැද්ද? වාහනේ සර්විස්  දැම්ම.."

"කමක් නැහැ"

අනතුරුව නිර්මලී අසලංකගේ මහලට අදාළ බොත්තම ඔබා සෝපානයේ දොරටුව වසන බොත්තම එබුවා පමණි. ඇමතුමක් පැමිණියේ තුෂාරා ගෙනි.සෝපානය තුල සිග්නල් නොමැති නිසා නිර්මලී එයට පිළිතුරු දෙන්නේ සෝපානයෙන් පිටතට පැමිණ අසලංකගේ  දොරකඩ අසලදීය.

"මෑම්.. අපි අර.... දීපු ඩොනේෂන් එක...  කෑෂ් වලින් ගෙනත් දීලා ගියා"

නිර්මලිට දැනුනේ තදබල අතුල් පහරක් තමන්ගේ කම්මුලට වැදුනාක් මෙනි. වනිඳු කී ලෙසටම මුදල් ආපසු එවා ඇත. වේදනාව හදවතේ කුටීර කැපිගෙන යන පිහි පාරක් වැනිය.

'එච්චර තරහක්? දෙවියනේ.... මම එච්චර රිද්දුවද?

තුෂාරා ප්‍රතිචාරයක් නැති නිර්මලිගේ දුරකතනයේ තවදුරටත් ඈ රැඳෙනවාද කියා ඉවසීමෙන් බලා සිටියාය. පෙර දිනයේදී වනිඳු ගෝකුල හෙවත් මේ කියන තරුණයාගේ ගිණුමට මුදල් බැර කරන්නට කියද්දී දුටුවේ ඔහු ජාතික කණ්ඩායමට තෝරාගත් ; පෙර දිනයකදී නිර්මලිගේ කාර්යාලයේ තරමක බහින්බස්වීමක් ඇතිකරගත් තරුණයා බවයි. 

තුෂාරා තරමක් කල්පනාකොට පසුව නිර්මලිට නිදහසේ කතාකරන්නට ඉටා ගත්තේ මේ මොහොතේ යමක් ඇසීම එතරම් යහපත් නොවනු ඇතැයි  සිතාය. කවරක් වුවද තමන්ගේ ස්වාමි දියණිය , අනුජ සංදිරිගමට අගරුවක් නොකරන බව ඇයට විශ්වාසය.

"හ්ම්ම්... මම අද බ්‍රේක් එකක් ගන්නවා තුෂාරා.. මට ටිකක් සනීප නැහැ වගේ. මම කෝල්ස් ඔක්කොම ඔයාට ෆොර්වර්ඩ් දානවා. චුට්ටක් බලන්න"

"ඕකේ මෑම් "

අසලංකගේ නිවසේ දොර විවර වූ අතර නිර්මලී පුදුමයට පත්කරමින් අසලංක දොර අසල සිටගෙන සිටියේය. 

'මෙයා මොකද මේ ගෙදර? ඉර අනික් පැත්තෙන් පායයි'

"එන්න නිර්.."

කටට ආ පැනය ගිලගත් නිර්මලී අසලංකගේ ඇමතුමෙන් නිවසට දෑස යොමන්නේ තරමක් චකිතයෙනි. සාමාන්‍යයෙන් ඉතා පිළිවෙල චරිතයක් වන අසලංක මිහිඳුකුලසුරිය වෙතින් දකින්නට නොලැබෙන තරමේ අපිළිවෙල සාලයකට නිර්මලී පා තබන්නේ ඈ තරමක් වික්ෂිප්ත කරමිනි. 

"you don't look ok Nir !"

තමන් අතෙහි තිබෙන ස්කොච් වීදුරුව දෙස සමච්චල් සිනාවක් පාමින් අසලංක පැවසුවේ සමච්චලයට නොවන  බව නිර්මලිට වැටහුණි. නිර්මලිටද දැනුනේ අමුතු දුකකි. ඈ සුසුමක් හෙලා ගෙට ඇතුළුවනවාත් සමඟම අසලංක දොර වසා දැමුවේය. 

"කෝ සෙල්වී ?"

මෙහෙකාරිය තමන්ගේ කටහඬ ඇසි පැමිණියේ නැති නිසා නිර්මලී අඩමානයෙන් මෙන් අසමින් සෝෆාවට බර වුයේ කෝපි මේසය දෙස බලමිනි. එහි අඩක් අවසන්කළ ස්කොච් බෝතලයක් සහ කුමක් හෝ ලිපිගොනු කිහිපයක්ද, අසලංකගේ ලැප්ටොප් පරිඝනකයද තිබිණ.

"ආ... එයා ගමේ ගියා... "

"ගමේ ගියා...?? හදිස්සියේ...? එතකොට.. එතකොට ජේනු ?"

නිර්මලිට ඇසුනේ ඉබේටමය. අසලංක නිර්මලිට විරුද්ධව තිබුණු සෝෆා පුටුවේ හිඳගෙන අතෙහි තිබුණු වීදුරුව දෙස බැලුවේ කල්පනාවක නිග්මන වෙමිනි.

"ජේනු... ආච්චිගේ ගෙදර.. නිර් මොනවද බොන්නේ? මම අද working from home "

අසලංක අවසාන කොටස පැවසු ආකාරය වෙනස් වුවද නිර්මලී සිටි කැළඹිලි ස්වභාවය නිසා අමුත්තක් වැටහුනේ නැත..

"මට.. මුකුත් එපා අසා..."

තමන් මෙහි ආ එක ගැන නිර්මලී එවර දෙවරක් සිතුවේ මේ මොහොතේ අසලංක පමණක් සිටින නිසා වුවද ඔහුගේ තත්වය අනුව තමන්ට මගහැර යා නොහැකි බවක් දැනුන නිසා අපහසුතාවය නොතකා ඈ මේසය මත තිබුණු ස්කොච් බෝතලය අතට ගනිද්දී අසලංක එය වලක්වන්නට උත්සහ කලත් ඔහුගේ ජංගම දුරකථනය නාද වූ බැවින් ඔහු ඒ ඇමතුමට යොමු වෙමින් ඔහු වහා බැල්කනිය දෙසට ඇවිද ගියේය.

නිර්මලී අඩක් හිස්වූ බෝතලය පැන්ට්‍රි කොටසේ ඇතුලතින් තබා ශීතකරණය හැර එහි තිබුණු දොඩම් යුෂ පානයකින් වීදුරුවක් පුරවා ගත්තාය. ඇයට මේ නිවස වසර ගණනාවක් තිස්සේ පුරුදුය. පැන්ට්‍රි කොටස අවුලට පත්ව තිබේ. ඈ ඒ මොහොතේ ඒ ගැන වදනොවී ඉන්නට සිතුවේ සිතේ ඇති ආගන්තුක පිඩාව නිසාය.

හිත මහා පෙරලියක් කරන්නේ තුෂාරා ලබාදුන් තොරතුර ඔස්සේ බව නිර්මලිට නොරහසකි. වනිඳු ගෝකුල.... කිසිදු දිනයක මෙතෙක් කිසිවකු මේ අයුරෙන් තමන්ට නොකළ අභියෝගයක් එල්ලකොට ඇත. එම ප්‍රතික්ෂේපය විසින් කියාපාන කුමක් හෝ අමුතු හැඟීමක් විසින් තමන් දෙසට එල්ලවුණු චෝදනාත්මක රැවුමක් තිබෙනවාක් මෙන් දැනෙන්නේ ඇයි ?

හදිසියේ සිතට නැගුනු හැඟීමක් නිසා සිය ජංගම දුරකතනයෙන් වනිඳු ගෝකුල යන නම සොයා, එයට ඇමතුමක් ගත්තේ දෙවරක් නොසිතාමය. වරක් නාදවූ සැනින් ඇමතුමට පිළිතුරු ලැබුනේ ඇය අපේක්ෂා නොකළ අයුරින් නිසා තමන් ගොලුවී ගියාක් මෙන් දැනී උගුර වියලි ගියේය. 

වනිඳු ගෝකුලගේ බරැති සුසුම තමන්ගේ කන අසල ළඟ ළඟම ඇසෙන්නේ කුමක් හෝ විදුලි සැරයක් පරිද්දෙනි. සැලීමක් පෙන්නුම් කරන්නට අවශ්‍ය නැත. 

'සාමාන්‍ය ය වෙයන් නිර්මලී!'

"හේ.. හෙලෝ..?"

"..." පිළිතුරක් නැත.

"වනිඳු... මගෙන් පලිගන්න එපා.. මගේ අතින් වැරදිලා කියවෙච්ච දේට... වෙරි සොරි.... මම..."

අනෙක්පස නිර්මලිගේ කටහඬේ ඇති වේදනාව නොහඳුනන තරමට සිත රිදී තිබුණු වනිඳු ; වහා ක්‍රීඩාගාරයෙන් පිටතට පැමිණියේ වේගයෙනි.

"අද ප්‍රැක්ටිස් ඉවර වෙනකොට ග්‍රවුන්ඩ් එන්න... හරියටම පහයි විස්සට!"

ඇමතුම විසන්ධිව ගියේ නිර්මලිට තවත් යමක් කියන්නට පෙරය. 

'පුදුම ලොකුකමක් දෙවියනේ..! මෙහෙමත් මාව කන්ට්‍රෝල් කරන්න හදන්නේ? බෑ මම මොකටද එහෙම surrender වෙන්නේ? අනික මේ පොඩි කොල්ලෙක්... ඊටත් හිතේ වෙන බහුබූත හිතේ තියෙන එකෙක්!'

නමුත් දුරකථනය පොලවේ ගසන්නට තරම් සිතෙන කුමක් හෝ හැඟීමකි.

"නිර්... are you ok ?"

අසලංකගේ හඬින් තිගැස්සී පියවි සිහියට පැමිණි නිර්මලී බීම වීදුරුවට තවත් යුෂ ටිකක් පුරවාගෙන ඉතිරිය ශීතකරණයේ තබනා ආකාරය අසලංක ප්‍රවේශමෙන් බලා සිටියේ මුහුණේ මැවෙන මද හසරැල්ලක්ද සමඟිනි. 

"හ්ම්ම්... මට... අද ටිකක් මහන්සියි වගේ... අසලංක අද මේ.. ගෙදර මොකෝ?"

නිර්මලී හැකි පමණ සාමාන්‍ය වන්නට උත්සහ කරමින් විමසුවේ අසලංකගේ විමසිලිමත් දෑසින් මිදෙන්නට තැත්කරමිනි. අසලංක එයට පිළිතුරු දෙනු වෙනුවට නිර්මලී දෙසම බලාගෙන සිටියේ ඈ තරමක් අපහසුවෙන් ඒ මේ අත ඇඹරෙද්දීය.

පැන්ට්‍රි කොටසේ කොනක බිම වැටී තිබෙන යමක් නිර්මලිගේ ඇස ගැටෙන්නේ ඒ මොහොතේය. බිම වැටීමෙන් බිඳී යන්නට ඇතැයි අනුමාන කල හැකි අසලංකගේ මංගල ජායාරුපය දුටු සැනින් නිර්මලී වහා අසලංක දෙස බැලුවේ විමතියෙන් මෙනි.

"අ..හ්හ්... ඕක.. කොහොමත් කැඩිච්ච එකනේ... අද උනේ ඒක මට කුණු බාල්දියට දාන්න මතක් වෙච්ච එක"

එසේ කියමින් අසලංක කොස්ස අතට ගෙන විදුරු කටු එක්කාසු කරන්නට විය. නිර්මලිට අසලංක ගැන ඇතිවුයේ දයාර්ධ අනුකම්පාවකි. එකවරම අසලංකගේ මව විසින් තමන් වෙත එල්ලකළ චෝදනාවේ දෝංකාරය නිර්මලිගේ සවන් හරහා හමා ගියේ ක්ෂනයෙනි.

"... තමුන් තමයි මගේ පුතාට වෙච්ච දේවල් වලට වගකියන්න ඕන.. හැටහතර මායම් දාලා මගේ කොල්ලව අනාථ කළා! දැන්වත් මගේ කොල්ලට මගේ පාඩුවේ ඉන්න දෙනවද?"

එම වාග් ප්‍රහාරය හමුවේ තමන් නිරුත්තර වුවද , අසලංකගෙන් දුරස්වීම හැර වෙන යම් පිලියමක් සොයන්නට  නොවුනේ තමන් නිරවද්‍ය නිසාමද?

"අසලංක.."

පින්තුරයත් , විදුරු කැබලිත් කුණු බාල්දියට දමා අසලංක ආපසු හැරුනෙම වේදනාත්මක සිනාවක් සමඟිනි.

"ඔයා හොඳින් නෙවෙයි නිර්... මොකක්ද අවුල?"

නිර්මලී කුමක් කියන්නදැයි සිතමින් මද වෙලාවක් බිම බලාගත්තාය. දෑසට කඳුළු නැගුනේ ඉබේටමය. අසලංක පියවරක් ඉදිරියට විත් නිර්මලිගේ නිකට යටින් සිය දබර ඇඟිල්ල තබා ඇගේ මුහුණ තමා වෙත හරවා ගත්තේය.

"....ඔයා දන්නේ නැහැ මම අනුජ සංදිරිගමට කොච්චර ඉරිසියා කරනවද කියල!"

නිර්මලී අපහසුවෙන් මෙන් සිනාසුනේ අසලංක එලෙස කියන කීවෙනි වතාවදැයි සිහිවීමෙනි. ඈ පියවරක්  පසුපසට තැබුවේ අසලංකගෙන් මිදෙන්නටය. නමුත් ක්ෂණිකව අසලංක ඇගේ වමතේ මැණික්කටුව ආසන්නයෙන් තදින් අල්ලා ගත්තේ  ඈ සිතන්නටත් පෙරය.

".. ඔයා ඔහොම දුකෙන් ඉන්න ඕනේ කෙනෙක් නෙවෙයි නිර්... රැජිනක් වගේ ඉන්න ඕනේ.. දුකෙන් ඉන්න එපා.. "

තිගැස්ම සමඟ නිර්මලී අසලංක දෙස හෙළුවේ දැඩි බැල්මකි. එකෙනෙහිම අසලංක ඇගේ අත අතහැරි නිසා නිර්මලී වහා පසුපසට වුවාය.

"අනුජ කියන්නේ මගේ ජිවිතේ... මම සංසාරේ පතාගෙන ආපු මගේ ආදරේ. ඒක හැමදාමත් එහෙමයි. අසලංක මම ගැන වැරදියට හිතන්න එපා.. මම දැන් යන්න ඕනේ"

හදිසියේ සිහිවූ යමක් නිසා නිර්මලී එසේ පවසා ආපසු හැරෙන විටම නිර්මලී අසලින්ම  අසලංකගේ හඬ නැගී ආවේ කෙඳිරුමක්  ලෙසටය.

"නිර්... පොඩ්ඩක් වාඩිවෙන්න.. මට.. මට ඔයාට ටිකක් කතාකරන්න ඕනේ"

".. අසා.. ඔයාට වෙරි.."

"මට වෙරි නෑ... මම ඉන්නේ හොඳ සිහියෙන්... නිර්... "

නිර්මලී මෘදු බැල්මක් හෙලු නිසා අසලංක සිය අතේ තිබුණු ස්කොච් වීදුරුව මේසය මත දමා ගසා මෙන් තබා ඉදිරියට නැමුණේ සුසුම් නිර්මලිගේ මුහුණේ වදින තරමටයි.

".. මට කතාකරන්න ඕනේ... හැමදාම ඔයා කලේ  මගෑරලා යන එක විතරයි.. ප්‍රශ්නෙන් පැනලා ගියාට උත්තරේ එතන නෑ නිර්... "

නිර්මලී බිමට යොමුව තිබුණු දෑස මදක් ඔසවා සාලයේ ඉමක රඳවා ගත්තේ වේගයෙන් ඇසිපිය සලමිනි.

"අසේකා එක්ක සෙට්ල් වෙන්න අසා. ජේනු වෙනුවෙන්වත්"

අසලංකට නැගුනේ වියරු සිනාවකි. නිර්මලී මදක් තිගැස්සුනද , කල්පනා බරිතව සිටියේ තමන්ගේ මානසික තත්වය එතරම් යහපත් නොවූ නිසා තමන්ගේ මුවින් මොනවා පිටවේදැයි නිශ්චිත නොවන බැවිනි.

"... ගෑනියෙක්ට හිතින් ආදරේ කරන ගමන් වෙන ගෑනියෙක් එක්ක නිදාගන්න එක පිරිමින්ට එතරම් අමාරුයි කියලා විස්වාස කරන්නේ නැහැ එකෙක්වත්. ඒක තමයි මට උනේ.. ඊටත්, ඉරිසියාව නිසා රේසිකා කියන ගෑනිව විස්වාස කරලා ඔයාගේ ජිවිතේ දුකකට දැම්මට.. මට ලැබුණු දඬුවම සැර වැඩි උනත්... මම ඒක බාරගත්තා.. ආදරේ  කියන්නේ බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.. ඒක මටත් අසේකාටත් පොදුයි. මම පරාජය බාරගන්නවා නිර්..."

නිර්මලිට තමන් වරදකරු බව නොදැනුනා නොවේ. අහේතුකව වනිඳුගේ මුහුණ එකවරම හිත තුල මැවී මැකී ගියේ ක්ෂනයෙනි. 

"මට.. සමාවෙන්න අසා.."

"සමාවක් ගන්න අවශ්‍ය නැහැ. මට ඔයාගේ හිත තේරෙනවා. මම ආදරේ හිඟාකන්නේ නැහැ.. මම ඒ ජාතියේ මිනිහෙක් නෙවෙයි.  "

අසලංක නිර්මලිගේ උරහිසින් අල්ලා තමා වෙත හරවා ගත්තද නිර්මලී සිටියේ බිම බලාගෙනමය. තදින් පියවි ඇති ඇගේ දෙතොල් සැලෙන අයුරු අසලංක බලා සිටියේ නිහඬවමය. අනතුරුව ඈ සෙමෙන් සිය සිරුරට ලංකොට ගත්තේ හිස මත යන්තමට දෙතොල තබා මෘදුව සිපගනිමිනි. ඔහුගේ වම'ත නිර්මලිගේ උරහිස හරහා ගොස් සිරුරේ පැත්තක් පමණක් උරහිසට වාරුව තිබිණ.

"... ඔයා වීක් වෙලා.. මට ඒක තේරෙනවා. ඔච්චර ලොකු effort එකක් දාලා නවත්තන්න හදන්නේ මොනාද නිර්?"

නිර්මලී නොදැනුවත්වම දෑසින් කඳුළු ගුලි දෙකක් කඩාගෙන වැටුනේ අසලංකගේ කමිසය මතටය. 

"මට දවස් ටිකක් දෙන්න අසා.. දැනට ප්‍රශ්න කරන්න එපා.. මම මෝඩ ගෑනියෙක් වෙන්න ඇති.. ඇත්තම කිව්වොත් මට හිත හදාගන්න ඕනෙත් නැහැ. මම ඉන්න විදිය මට හොඳයි.. මම හිතුවේ ඔය වගේ දේවල් කියලා මාව pressurize කරන එක මිට අවුරුදු ගානකට කලින් හැමෝම නතර කරලා ඇති කියල. අනික ඔයාත් එහෙම.."

නිර්මලිගේ කතාවට බාධා කරමින් අසලංක සිනාසුනේය. එහි තිබුනෙම පෙර පරිදිම වියරුවකි.

"අනුජ ඔයාව ඔහොම අච්චුවකට කොහොමද දැම්මේ? මගේ තිබ්බ වෙරිත් හිඳුනද කොහෙද"

නිර්මලිට යන්තම් සිනාවක් නැගුනේ අසලංක කියූ කරුණ ඔස්සේ නැගුනු මතකයක් නිසාය. 

බාල බොළඳ තරුණියක්ව සිටි තමන් සිය පියාපත් වලින් සුරැකිව තබාගෙන ඈත අහසේ නොබියව සරණ රාජාලියෙකු කලේ , කිසිදු හැඩයක් නැති ගලකින් ලියවැල් මැවූ ගල්වැඩ කරුවෙකු පරිද්දෙනි. මිය යන්නට මොහොතකට පෙර තමන් දෙස බලාගෙන සිටි ඒ බැල්මෙන්ම ලබාදුන් පොරොන්දුව වනිඳු ඔහුගේ මතකයෙන් පැවසු මොහොතේ තමන්ගේ හිස බඹරයක් සේ කරකවා දැමුවා අද මෙන් මතකය.

"සොරි අසා... අද මගෙත් නරක දවසක් "

අසලංකගෙන් මෑත් වෙමින් නිර්මලී පැවසුවේ ඉබේටම වුවත් අසලංක වහා එහි අග කොටස අල්ලා ගත්තේ ඔහු සතු සහජ  හැකියාවෙනි.නමුත් ඒ ගැන විමසන්නට නොසිතුවේ එයට සුදුසු වෙලාව නොවන බැවිනි.

"හ්ම්ම්.. මම දැන් එලියට යනවා නිර්.. ඔයා යනකොට කී එක security එකට දීගෙන යන්න"

තරමක් ගැස්සුනා සිත නිවාගන්නට , අසලංක නිර්මලිගෙන් මුහුණ සඟවාගෙන මෙන් පවසා මේසය මත තිබෙන ඔහුගේ දුරකථනය අතට ගත්තේ නිර්මලී වෙත යන්තමින් බලමිනි. අතමානයේම තිබියදී නෙලාගන්නට නොහැකි ඈ ඔහුට දැනෙන්නේ පරසතු මලක් ලෙසටමය.

එකවරම පසුගිය මතකයක් ඔහු වෙතින් හමා ගියේ  ක්ෂනිකවමය.වසර එකහමාරක විවාහය තුලදී තමන්ගෙන් ප්‍රේමයක් නොලද අසේකා අවසානයේ අසලංකත් දරුවාත් යන දෙදෙනාම හැරදා සිය පෙම්වතා සමඟ කැනඩාව බලා පිටත්ව ගිය මොහොතේ පවා නොදැනෙන අහිමිවීමක් තමන් දැන් අත්විඳින බව ඔහු නිශ්චිතවම දනී. තමන් යහපත් සැමියෙකු පමණක් නොව යහපත් පියෙකුද නොවන බව ඔහු පිළිගන්නා බව සත්‍යකි.

'උඹ නිර්මලී අතාරින්නෙ නෑ.. නිර්මලී අනුජව අතාරින්නෙ නැහැ. උඹල දෙන්නටම පිස්සු '

 හිමාල් කෝපයෙන් කියූ වචන ඔහුගේ සිත හරහා ගමන්කර තරමක කැපුමක් පාරවා දැමුවේය.

තමන්ට පැමිණි දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින් නිවසින් පිටව යන අසලංක සමඟින් වැසීයන දොර දෙස බලාගෙන සිටි නිර්මලිගේ හිස නැවතත් අවුල්ව ගියේ ඒ වනවිට නේහාගෙන් ලැබුණු කෙටි පණිවිඩය දුටු වහාමය.  

----------------------------------------------------------------

"මචන් මම බයික් එක ගන්නවා.."

චාමික දෙබැම හකුලවා බැලුවේ පළමු හෙල්මට් එක අතට ගත් වනිඳු,  දකින්නේ අමතර හෙල්මට් එකට අත තබනා ආකාරයයි. 

".. උඹ මගේ ක්‍රිකට් බඩුයි බෑග් එකයි හොස්ටල් ගෙනියපන් හරිද? අද උඹේ කාඩ් එක යුස් කරනවා මචන්.. වැඩියෙන් ගියාට පැනික් වෙන්න එපා... "

වනිඳු දෙස දෑතම ඉනෙහි රඳවාගෙන තරවටු බැල්මෙන් බලා සිටින චාමික ඇස කොනෙන් දැක නොදැක්කා සේ හැසිරුනේ ඊළඟට එන වාග් ප්‍රහාරය දන්නා නිසාය.

"කර්නල් ජානක සූරියප්පෙරුම සර් පණිවිඩයක් එවලා... උඹ කෝල් එකක් දියන් !"

වනිඳුගේ ඉරියව් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරමින් චාමික පැවසුවේ ඔරවාගත් මුහුණෙනි. වනිඳු කිසිවක් නොකියා හෙල්මට් එක අතට ගෙන විවේකාගාරයෙක් පිටත් වන්නට සුදානම් වන විටම චාමික මග හරස් කළේය.

".. ඔහොම හිටපන්... තෝ කොහෙද යන්නේ? දැන් උඹේ අම්මා කතාකලාම මොකක් කියලද කියන්නේ? ඇයි උඹේ අර කෙල්ල? ඒකිට මම මොකද කියන්නේ?"

වනිඳු දඟකාර සිනාවක් පෑවේ කට අඹරවමිනි. 

"අම්මට මම කෝල් කළා.. ඒ ගැන අවුලක් නැහැ... ආ.... අරකිත් එක්ක එක ඉවරයි... ආයේ මොනවා කියන්නද ? උඹ දන්නේ නැහැ කියපන්.. චැප්ටර් එක ක්ලෝස්! "

චාමිකගේ මුහුණ බලන්නට බැරි තරම් චප්පවී ගියේය.

"ඇත්තටම උඹට පිස්සුද? වනියා උඹට අමු කැවිලද? දන්නවද ඔය ගෑ... ඔය කවුද කියල?"

පනින්නට ආ වචනයත් කෝපයත් යන දෙකම පාලනය කරමින් චාමික පැවසුවේ වනිඳුගේ මුහුණ දෙස කෙලින්ම බලමිනි.

"මචන්... මම බබෙක් නෙවෙයි.. .මම දන්නවා මම මොනවද කරන්නේ කියලා... මේක කම්ප්ලිකේටඩ් කතාවක්.. උඹට මම පුළුවන් උනොත් අද රෑට කියන්නම්. උඹ විස්වාස කරනවා නම් විස්වාස කරපන්.. ඒ ඉන්නේ මගේ කෙල්ල.. මට ලෝකේ මිනිස්සුන්ගේ බයිලා  වැඩක් නැහැ. ඒ කෙල්ල කවුද කියල උඹලා කාටත් වඩා මම දන්නවා.. යන්නම් මචන්"

වනිඳු චාමිකගේ උරයට තට්ටුවක් දමමින් ඔහු පසුකොට ඉක්මන් අඩි තබා ක්‍රීඩාංගනයේ පසෙක  විවේක කොටසට යනවිටදී නිර්මලී සිටියේ මේ මොහොතේ මේ ස්ථානයේ තමන් කුමන පිස්සුවක් කරනවාදැයි තමන්ටම දෙස් දෙවොල් තබමින් සහ , වේගයෙන් නියපොතු කමිනි. 

කහපාට ටී කමිසයට ,නිල්පාට ඩෙනිම් කලිසමක් ඇඳ , අක්බඹරු කොණ්ඩය  හදිසියේ මෙන් ගුලියක් කොට ගැටගසා , එකසිය ගානට නියපොතු හපමින් සිටිනා නිර්මලී දුටුවනම වනිඳුට නැගුනේ කට කොනට මනමාල සිනාවකි. එය වහා සඟවාගෙන බැරෑරුම් බවකින්  නිර්මලී පසෙකින් සිටගත්තේ ඈ තිගස්සමිනි.

"හ්ම්ම්ම් මේක දාගන්න... යමු"

නිර්මලී වික්ෂිප්තව මෙන් වනිඳු දෙසත්, ඔහු දිගුකරගෙන සිටිනා හෙල්මට් එක දෙසත් බැලුවාය.

"ම්ම්... මට කොහෙවත් යන්න බැහැ "

එය නෑසුනා සේ නිර්මලිගේ හිස මතට හෙල්මට් එක තබා තදකොට වනිඳු නැමී එහි ගාන්චුව දමන්නට වුයේ ඈ වෙත නැඹුරු වෙමිනි. අනතුරුව ඇගේ අතේ ඉහල කොටසින් අල්ලා ඈ නැගිට්ටවා ගත්තේ ඈ දෙස සෘජුව බලමිනි. 

එහි ඇත්තේ මත්ද්‍රව්‍යක් ශරීර ගතවන මත්විමකි. බොරපාට තීව්‍ර ඇස්වල ගිලි තමන් කොහේ හෝ වෙනත් සමාන්තර විශ්වයකට ඇදී යන්නාක් මෙන් දැනී දෙපා අවසඟව යන සෙයක් වැටහුණි.

"යමු මගේ එක්ක.. බයික් එකේ !"

නිර්මලී ගිනිකන වැටුණු හාවෙකු පරිස්සෙන් ඒ දෑසේ පැටලී සිට යන්තම් වචනයක් මිමිණුවාය.

"ම.. මම බයික්වල ගිහින නෑනේ!"

වනිඳුට සිනාවක් පැන්නේ වලක්වාගත නොහැකි තරමකිනි. ඒ දෑස එවර නිර්මලිගේ කිසිදු ආලේපනයක් නැති මුහුණේ කමල් ඔස්සේ දෙතොල් වෙතද, අනතුරුව නැවතත් කම්මුල් ඔස්සේ දෑස දෙසටද මහත් වේගයෙන් දෙතුන් වරක් සැරිසරන්නට වූ අතර රෝසපාට කොපුල් අසලින් අවසන් විය.

"ඉතින් අද යමු.."

වනිඳු ඈ ඇදගෙන යන වේගයට ගියා මිස නිර්මලී සිටියේ නිර්වින්දනයෙන් ඇවිදින්නාක් මෙනි. එකම ප්‍රශ්නය සිය දහස් වරක් හිත තුල භ්‍රමණය වුවද, නිර්මලිට එයට පිළිතුරක් දෙන්නට වත් සිහියක් තිබුනේ නැත.

'නිර්මලී සංදිරිගම.. තමුන් මොකද මෙතන කරන්නේ, පිස්සුද?'

බයිසිකලය නවතා තිබුණු තැනට ආ වනිඳු නිර්මලී එතැන සිටුවා, එයට නැගි සයිකලය කෙලින්කොට නිර්මලී දෙස හිසින් බලා පැවසුවේ ඔහුට පසුපසින් නගිනා ලෙසය.

"වනිඳු... අනේ මම මේ ආවේ..."

නිකට කොටස ආවරණය වූ හෙල්මට් එක නිසා නිර්මලී පෙනුනේ ඔලුබක්කෙකු පරිද්දෙනි. ඇගේ සෙලවෙන මුව පවා නොපෙනන බැවින් හෝ වෙනත් හේතුවක් නිසා වනිඳු ඈ කියනා දෙයක් කනකට නොගෙන නැවතත් බයිසිකලයට නගින්නට කියා හිස සැලූවේ ඔරවමිනි. 

ඒ එරවිල්ලට සියල්ලම ඔටෝ පයිලට් විය. නිර්මලී ඒ මේ අත ඇඹරෙමින් බයිසිකලයට නගින්නට දඟලද්දී වනිඳුට කෝපයටත් වඩා දැනුනේ සිනාවකි. 

'කවදාවත් බයිසිකලයකවත් ගිලිල්ලා නැති බිග් ෂොට් කෙල්ල මගේ!'

ඉතින් ඔහුට සිදුවුයේ සයිකලය නවා, තවත් නොයෙකුත් විකාර රැසක් කිරීමෙන් අනතුරුව පසුපස අසුනට ඈ දමාගන්නටය.

"වැටෙයි... මාව අල්ලගන්න... මට හොරි නෑ .. උරහිසෙන් නෙවෙයි ඉනෙන් අල්ලගන්න දැන් නැතිනම් යනකොට පාරේ මැද්දේ ඉඳි මේ මැඩම් !"

"අන්නේ..."

කනට මිහිරිවටම දැනෙන්නේ ඇගේ ඒ 'අන්නේ' එකයි! වහා සිය ලයට තුරුල් කරගන්නට සිතෙන තරමේ ආවේගයකි එය!

බලෙන් මෙන් සිය බඳ වටා දෑත දමාගත්තද , නිර්මලී එය බුරුල්වට තබාගෙන බියෙන් ගැහෙමින් උන්නේ වනිඳුගේ සිරුරේ නොගෑවෙන්නටමය. 

රථය මහා මාර්ගයට ආ සැනින් තිරිංගය පෑගු ක්ෂණයෙන් , නිර්මලී කිටි කිටියේ සිය දෑත වනිඳුගේ බඳ හරහා තදකලේත්, වනිඳුගේ මුවේ නොසන්ඩාල සිනාව ඇඳුනේත් එකම මොහොතේය. 

එපමණකි! තදින් තමාට තුරුලුව සිටින නිර්මලී තරමක් වෙව්ලන බව දැන දැනත්, තද සිතල සුළං පහර කපාගෙන  වනිඳුත්,නිර්මලිත් රැගත් මෝටර් බයිසිකලය අනෙකුත් වාහන අතුරින් වෝඩ් පෙදෙස ඔස්සේ ඇදුනේ මහත් වේගයෙනි .


--------------------------------- මතු සම්බන්ධයි --------------------------


ප.ලි. ප්‍රමාද උනාට සමාවෙන්න. අඩුපාඩු ඇති බොහොම වේගයෙන් ලියු නිසා. කියවූ බව ලියන්න පුළුවන් නම් සතුටක්. 

18 comments:

  1. අප්පට සිරි! මාර සීන්ස් එකක් නේ!? දෙයියනේ මුන් දෙන්නා එකට මැරෙයි වත්ද?

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් බැරි.... මරන්නමයි හදන්නේ

      Delete
    2. එකට මැරිලා ආයි ඉපදෙයි. ඒනිසා බය වෙන්න දෙයක් නැහැ. ඕස්ට්‍රේලියාවේ වගේ ඉපදුනොත්

      Delete
    3. නිකමට හිතන්න මේ ඉපදෙන තැනට appointment දෙන තැන කොහොම බිසී ඇතිද කියල... සුහද මාරු එහෙමත් යනවා ඇති නේද?

      Delete
  2. off road ගියත් සීට් බෙල්ට් දාගනෙයි කියන්න විදිහක් නෑ බයිසිකොලයක් නිසා..
    ඔන්ට මේ කොටහත් කියෙව්වා

    ReplyDelete
  3. Replies
    1. ඒකනෙ. දුකේ බෑ මටත්. පව් අසරණය. මේ කතාව ඉවර වෙන්න කලින් අසලන්කටත් සාධාරණයක් වෙයි කියල තමයි හිත හදන ඉන්නෙ.

      Delete
    2. මේ සොසා එක්කනේ බැරි.... ආයෙමත් එහෙනම් අසලංකට දෙනවා... එහෙමත් එපාලු...

      Delete
    3. විනීත: දුකම කොයිතරම් සතුටක්දෝ තමයි

      Delete
    4. මට වෙලාවකට මේ නිර්මලියට අතපය දිගඇරලා දෙකක් කියන්න හිතෙනවා ..පස්සෙ මට ටාර් ගාලා මතක් වෙනව අප්පටසිරි මමත් ස්ත්‍රී පරාණයක් නේද කියල.😅🤗

      Delete
    5. අසලංක ලව්වා කියෝමු! මොකද කියන්නේ? ඔයා ලියන්න මෙතන.. මම අසලංකට කියන්නම් කියවලා පාඩම් කරගන්න කියල. කොහෙද මේ නිර්මලියා අනුජ මත්තෙම නහින්න හදනවානේ. අසලංකත් ඉතින් ඒකි ගැනම හිතනවා... ඉඳල හිටලා හරි තමන් ස්ත්‍රී පරාණයක් කියලා හිතෙන එකත් හොඳයි එහෙනම්!

      Delete
  4. වේගයෙන් ලියනකොටද කොහෙද හොඳටම ලියන්නේ. අද නියමයි. ඔය ගැම්මටම ලියල දාන්නකෝ අනේ ඉතුරු ටිකත්. ආසයි දිගටම කියවන්න. මේ හොල්මන් දෙක මොකක් කරගනීද දන්නෑනෙ.

    ReplyDelete
    Replies
    1. හි හි... වෙන්නත් පුළුවන්. මට ඕනේ වේගෙට ලියවෙන්නේ නැහැ සිංහල.. ඉතින් එපා වෙනවා ලියවිල්ල. බලමු බලමු.. ඉක්මනින් ලියන්න

      Delete
    2. unicode ටයිප් කරන්න ඇහැකි සොප්ට්එයාර් තියෙනවා නෙව. ඉංගිරිස් තාලෙට සින්ගල කෙටෙන කොරමේ

      Delete
  5. කතාව නම් පිලිවෙලක් වේගෙන එනවා..... කලබලෙන් හරි අපි වෙනුවෙන් ලියනවාට ස්තූතියි.....

    Sorry for the late reply... was sick !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට... හුඟ දවසකින් දැක්කේ
      Hope everything is ok by now..

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...