Thursday, January 6, 2022

292: උන්මාද චිත්‍රාදෝ මා 24


 

සටහන : මේ කොටසේ  සහ ඉදිරි කොටස් කිහිපයකම දින වකවානු ඒ මේ අත යන බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කියවන මෙන් .ඉල්ලා සිටිමි.

තවදුරටත් වර්තමානයේ......

"නිර්මලී... මම ඔයාව දන්නවා.. ඔයා මාව දන්නවා.. "

තමන්ගේ සවන් පුරා දෝංකාර දෙන ඒ කටහඬ අමතක කිරීමට මෙන් නිර්මලී නැවතත් සිය ජංගම දුරකතනයේ කාර්යාල ඊමේල් පිරික්සන්නට වුවාය. හිස කම්මලක් මෙනි. 

හිමාල් පමණක් නොව දුලිකාට පවා තමන් මෙතරම් බේගල් කන්දරාවක් ඇදබා තිබුනේ නැත. තමන් එදින වනිඳු ගෝකුල සමඟ බරකුඩා ගිය බවක් හෝ ඔහු පැවසු කතාව ගැන හෝඩුවාවක් හෝ නොදුන් ඈට හිමාල් දොස් නැගුවේ නේහාගේ නිවසට නොයා ඇගේ මහල් නිවාසයේ ගතකල බවටයි. 

නිර්මලී මෙතරම් හිතුවක්කාර චරිතයක් නොවන බව හිමාල් දනිනත් යන්තමට දුටු ඒ තරුණයා නිර්මලී පස්සෙන් ගිය බව මිස වෙනත් තොරතුරක් ඔහුට ලැබුනේ නැත. ආරංචි කල අයුරට ඈ විසින් එම තරුණයා වැළඳගත් බව කියූ බැවින් මදක් කැළඹුනද , නිර්මලී එලෙස කරන්නේ නැත. ඔහු අනුමාන කලේ නිර්මලී ඒ තරුණයා මගහැර යන්නට ඇති බවයි. නැතිනම් තමන් ඇමතු මොහොතේ ඒ ගැන නොකියා සිටින්නේ නැත.

ජිවිතයේ කවරදා හෝ ඔබ ප්‍රාර්ථනයක් කර තිබෙනවාද? ඉතා අවංකව සහ අතිශය පිරිසිඳු ලෙස? Be careful what you wish for, lest it come true! ලෙස කියමනක් ඇත්තේ එනිසා විය හැකියි. අනුජ වෙනුවෙන් බලාසිටින නිර්මලී ඒ ප්‍රාර්ථනය නොකඩවා ; නොපිරිහෙලා සිදුකලා නොවේද ? දැන් ඇය මේ කුමක්ද කියන්නේ?

'වනිඳු කියන්නේ අනුජ කියලා කිව්වට... එහෙම වෙන්න .පුලුවන්ද? එහෙම උනත් දෙවියනේ...මේක ..විකාරයක්. යාලුවෝ වගේ ඉන්න බෑ.. ඒ ඇස්දිහා බලන්න බෑ.. කොටින්ම ඒ ඉන්නේ අනුජ නෙවෙයි කියලා මටවත් හිතන්න බැහැ දෙවියනේ... නැහැ.. කොහොමටවත් බැහැ ! මට දැන් හතළිහක් වෙන්න යන්නේ... වනිඳුට තාම විස්සයිනේ! '

නිර්මලී එලෙස නොසන්සුන් මනසකින් සිටිනවා මෑතකදී නොදුටු නිසා , තුෂාරා පවා ඈට රිසිසේ ඉන්නට හැර පැමිණි රාජකාරි දුරකථන ඇමතුම් සියල්ලම කළමනාකරණය කළාය. 

නිර්මලී කාර්යාලයේ විදුරුවෙන් මේ බලන්නේ සියවෙනි වතාවට වන්නට ඇත. අද වනිඳුගේ ක්‍රිකට් පුහුණුවීම් ඇති බවත්, එය නිමවන සවස 5 වන මොහොතේ ඈ එතැන නොසිටියහොත් තමන් ඈ සොයා එන බවත් වනිඳු පැවසු නිසා මේ වනවිට පහ පසුවී විනාඩි හතළිස්පහක් ගතවූ තැන එහි නොගිය ඈ සිටියේ නොසන්සුන් මනසකිනි. තමන් ඊයේ මහල් නිවාසයේ දොර අසලින් වනිඳු 'එලවා' ගත්තේ අද එසේ එන බව පවසමිනි.

පුහුණුවීම් ඇත්තේ SSC ක්‍රීඩාංගනයේ ; එනම් ඇගේ කාර්යාලයේ සිට ඇවිදින දුරිනි. නමුත් යන්නට සිත එකලාසයක් කරගන්නට නොහැකිය.

'පොඩ්ඩක් ඉන්න... යන්න හිත හදාගන්න කියන්නේ මම යනවද? නිර්මලී සංදිරිගම පිස්සුද හැබෑටම ?'

නිවසට යන්නටද සිත හදාගන්නට නොහැකිය.  තුන්වන වරට හැඩවූනු දුරකතනයේ අනෙක් අන්තයේ සිටින පුද්ගලයා ගැන තවත් නොසිතාම නිර්මලී පිළිතුරු දුන්නාය.

"කියන්න"

"නිර්... ඔයා ඔෆිස් එකේද?"

"හ්ම්ම්"

"මේ.... අද ඩිනර් කොහොමද?"

නිර්මලිගේ සිත ගැස්සී  ගියේය. එකවරම පිළිතුරක් නොආවෙන් අසලංක  සම්පුර්ණ කළේය.

".. ජේනු ගියා දුලි එක්ක Spider Man බලන්න... මම හිතුවේ... අපිට අද...."

නිර්මලී යමක් කල්පනා කළාය. මහනුවර සිට පැමිණි ගමනේදී අසලංක ගැන තමන්ගේ සිතේ ඇතිවූ අනුකම්පාව තරමක් වැඩිදියුණු වී ඇතිද? 

'ඇයි මම වනිඳුට චාන්ස් එකක් දෙන්නේ? මම පරිනත ගෑනියෙක්. මට ස්වාධින තීරණ ගන්න පුළුවන්. විස්සක තරුණයෙක්ගේ ප්‍රේමාරාධනාවක් කියන්නේ මොනතරම් විහිළුවක්ද? '

ඒ මොහොතේ තමන් මෙතරම් කාලයක් තනිකඩව ගතකල කාලය ගැන පළමුවරට දෙවරක් සිතුවාය. 

'..ඇයි මම අසාට චාන්ස් එකක් නොදුන්නේ..? ඒ නිසාද අසා අද මේ වෙනකොට පොඩි පැටියෙක් එක්ක මෙහෙම තනි උනේ? '

නිර්මලිට දෙවන වරට එම ප්‍රශ්නය තමන්ගෙන්ම ඇසුවාය. පළමු වරට එය ඇසුවේ කුඩා ජේනු වසර දෙකක් සමරන අවුරුද්දේ අසලංකගේ ජිවිතයේ මහා පරලියක් වූ  මොහොතකයි. එදින හිමාල්ගේ මුවින් එකවරම පිටවූ  වචන ගැන සිතු තමන්ට එය දැනුනේ වඩා තදිනි.

"හ්ම්ම්...?"

"ඩිනර් වලට යන්න? මගෙත් එක්ක?"

අසලංක ඇසුවේ අඩමානයටය.

"හ්ම්ම්... වරදක් නැහැ... කීයටද?"

දෙකන් අදහාගත නොහැකිව අසලංක තරමක් හුස්මක් අල්ලා ගත්තේය. නිර්මලී මෑතක සිට අමුතුය. 

'නැහැ.. අමුතු කියන්නේ මට අනුබල දෙනවාම නෙවෙයි. එයාගේ අඩුවක් නෑ වගේ ඇක්ට් කරගෙන අවුරුදු විස්සක් විතර ඉඳල මෑතකදී ඒ අඩුව පෙන්වන්න පටන් අරගෙන. හිමාල් කිව්වා එයා බබෙක් අරගෙන හදාගන්න යනවා කියලත්. නිර්මලී  කියන්නේ කොච්චර ලොකු බබ්බු පිස්සෙක්ද කියන්න අමුතුවෙන් සාක්ෂි ඕනේ කරන්නේ නැහැ. අපේ ඔක්කොම ළමයි නිර්මලී බලාගන්නේ එයාගෙම පැටව් වගේ. නමුත් දරුවෙක් අරගෙන හදාගන්න හිතනකොට ඒකෙ අමුතු බවක් දැනෙනවා..'

අසලංක ගේ සිතට මහා වේගයකින් සිතුවිලි ගලාගෙන එන්නට විය.

"මම ඔයාව පික් කරන්නම් හයට?"

"oh early dinner.. හ්ම්ම් ඒකත් හොඳයි "

නිර්මලී පැවසුවේ මදක් හිනැහෙමිනි. ඇගේ සිනාවේ ගැබ්ව තිබුනේ ආතතිය බව අසලංක නොදත්තේය. ඇයට අවශ්‍ය වුයේ වනිඳු හමුවීමක් වලක්වා ගන්නට නිසාත් මේ මොහොතේ තමන්ට කවුරුන් කෝ කෙනෙක් අවශ්‍ය බව සිතුන නිසාත් ඒ සඳහා අසලංක ආරක්ෂාකාරී තේරීමක් වූ බව නිර්මලිගේ සිත කිවේය.

නමුත් අසලංක ? ඈ ඒ ගැන සිතුවෙම නැත.

හයට මිනිත්තු දෙකක් තිබියදී අසලංකගෙන් ඇමතුමකි. නිර්මලී සිය කාර්යාලයේ වීදුරුවෙන් නැවත වතාවක් පිටත බැලුවේ අනිච්චානුගවමය. වනිඳු පැමිණ නැති හැඩකි.

මහත් සැහැල්ලුවෙන් මෙන් නිර්මලී කාර්යාල කාමරයෙන් එලියට පැමිණියේ තුෂාරා සිටින පිළිගැනීමේ කවුන්ටරය දෙස බලාගෙනමය. නිර්මලී දැක සිය අසුනෙන් නැගිට්ට තුශාරාගේ  ඔස්සේ බලු නිර්මලී දකින්නේ තමන්ගේ පිළිගැනීමේ ලොබියේ සෝෆාවක හිඳගෙන දෑතම බැඳගෙන සිටිනා වනිඳු ගෝකුලය. නිර්මලිට නිරායාසයෙන්ම තුෂාරා දෙස බැලුනේ දෑසම නළලේ රඳවා ගනිමිනි.

"තුෂාරා..... මේ.."

"මෑම් එනකල් ඉන්නවා කිව්වා.. මෑම් එන බව දන්නවාත් කිව්වා.. ඒ නිසා..."

තුශාරාට කියන්නට ලැබුනේ එපමණකි. නිල්පාට ඩෙනිම් කලිසමකින් සහ ශරීරයේ ගානටම අත්ගොබ වලින් තද වූ, තද නිල්පාට ටී කමිසයකින් සැරසි උන් වනිඳු සිටි තැනින් නැගිට පියවරක් ඉදිරියට තැබුවේ නිර්මලී දෙසම බලාගෙනය. ඒ ඇස්වල බැල්ම දරාගන්නට නොහැකිව නිර්මලිගේ හදවත පිටතට පනින්නට තරමට ගැහෙන්නට විය.

"යමුද?"

නිර්මලිගේ දෙපා පැටලෙන්නාක් මෙන් දැනුනු අතර තුෂාරා ඒ වෙනස දුටුවේ අනුජ සංදිරිගම වැනිම මෙම තරුණයා දැක තමන් විශ්මයට පත්වුවාක් ලෙසය. නිර්මලිට මේ මොහොතේ මෙතැන තුශාරාට පෙනෙන්නට නාට්‍යයක් අවශ්‍ය නොවූ නිසා සිය මුහුණේ තිගැස්ම සහ අපහසුතාවය සඟවා ගනිමින් නිහඬව වනිඳු පසුකොට කුඩා කොරිඩෝව ඔස්සේ යමින් සෝපානය වෙත පියමැන්නාය. 

වනිඳු පටු කොරිඩෝවට පිවිසෙන නිර්මලී ඇගේ බඳෙන් අල්ලා බිත්තියට තදකලේ ඈ සිතන්නටත් පෙරමය.

"වනිඳු.. පිස්සුද?"

නමුත් උසින් සහ මහතින් වැඩි වනිඳු ඈ වසා සිටගෙන සිටි අතර ඔහුගේ ඇස් තිබුනේ ඈ හා සෘජුව යාවීය. ඈ කැප්සියුලයක සිරවී මෙන් ඒ මේ අත බැලුවද ගැලවීමක් නැත.

"ඇයි ආවේ නැත්තේ? මම කිව්වනේ අද ආවේ නැතිනම් මම හොයාගෙන එනවා කියලා... "

ලංවී දැනෙන ඒ සුසුමට තමන්ගේ සිරුර පන නැතිව යන්නාක් මෙන් දැනී නිර්මලී ඉවත බලන්නට උත්සහ කලද, වනිඳු ඇගේ නිකටෙන් අල්ලා ඒ මුහුණ තමන් වෙතට හරවාගත්තේ ඇගේ සැලෙන දෙතොල් සහ දිලිසෙන දෑස දෙස මාරුවෙන් මාරුවට බලමිනි. නිර්මලී වහා ඇගේ දෑස මුදාගත්තේ කුඩල්ලෙකු ඇද ගලවන්නා සේය. එලෙසින්ම කුඩල්ලාගේ දල පහරේ වේදනාව එලෙසම දැනෙන්නේ හදවතටය.

"අ... මම... බිසී "

"ඔයා ඊයේ පොරොන්දු උනා"

වනිඳුගේ හඬ ප්‍රේමනීය මිමිණුමකි. එය මත්ද්‍රව්‍යයක් ලෙස සිය ශරීරයට ඇතුල්ව තමන් අඩපණ කරන බව  නිර්මලිට දැනුනි. ඈ හැඳ සිටි බ්ලවුස් එක පසාරු කරගෙන ඔහුගේ රළු අත්ලෙහි උණුසුම ඇගේ බඳ ඔස්සේ දැනෙන්නේ ඇගේ හුස්ම වේගවත් කරමිනි. නිර්මලී වහා බැලුවේ තුෂාරා එනවාද කියාය.  

"විකාර කරන්න එපා වනිඳු... දැන් ඔයා මෙතැනින් යන්න පිස්සු නටන්නේ නැතුව.. !"

"මම පහයි පහළොවේ ඉඳල මෙතැන... හ්ම්ම්... දැන් එහෙනම් ..යමු"

"පොඩ්ඩක් ඉන්න... පිස්සු කරන්න එපා වනිඳු මේක මගේ ඔෆිස් එක.. ඔයා දැන් මෙතනින් යන්න... ඔයා ඇයි මෙහෙම ආවේ.. ? තුෂාරා මගේ සෙකට්‍රි... එයාට තේරුනොත්.."

"මොනවා තේරුනොත්ද? ඉන්න මම එයාට කතාකරන්න..."

නිර්මලිගේ අතින් ඇදගෙන මෙන් තුෂාර සිටින දිසාවට ඇවිද යන්නට සුදානම් වූ වනිඳුගේ අතේ එල්ලී නිර්මලී ආපසු ඇද්දාය.

"හැබෑටම පිස්සුද? ඔලුව නරක් වෙලාද? දැන් කරුණාකරලා මෙතනින් යන්න.. මම වෙන දවසක හම්බෙන්න එන්නම්... අද මම වෙන වැඩක් දාගෙන තියෙන්නේ.."

වනිඳු තමන්ගේ වමතට ඇගේ අතේ පිටි අල්ල සිය ළයට තදකොට ගත්තේ සෘජු බැල්මෙන් සිය පාලනය නිර්මලී වෙත යොමුකරමිනි.

"මොනාද වැඩේ? ආ?..."

නිර්මලී පිළිතුරක් දුන්නේ නැත.

"...baby girl.. ඔයා සිංගල්.. මම ඒක දන්නවා. දැන් මට කියන්න එපා වෙන පිරිමියෙක් එක්ක යන ගමනක් කියල!"

නිර්මලී ක්ෂණික බැල්මක් වනිඳු වෙත හෙළුවේ මවාගත් ආත්ම විශ්වාසයකිනි.

"ඒක එහෙම උනත් ඔයා මොකද කරන්නේ මිස්ටර් වනිඳු..? මම ස්වාධින ගෑනියෙක්.. වයස හතළිහක්.. මම කැමති පිරිමියෙක් එක්ක එහෙම ගමනක් යන්න මට පුළුවන්.. එහෙම ගමනක් විතරක් නෙවෙයි.. ඕනෙම දෙයක් මට කරන්න පුළුවන්. ඔයා අන්න ඒක හිතට ගත්තොත් හොඳයි!"

ඒ ක්ෂණයෙන් වනිඳුගේ ග්‍රහණය ලිහිල් විය. එතරම් ඉක්මණින් ඒ සිහින් බොරපාට ඇස් රතු පැහැයට හැරුනේ කෙසේදැයි සිතාගත නොහැකි වුවද, වනිඳු තමන් බලාපොරොත්තු වුවාට වඩා රිදුනු බව නිර්මලිට ඒ මොහොතේ වැටහුණි. 

"හ්ම්ම්... එහෙමද? අඩුගානේ යන්නේ කොහෙද කියලවත් කියන්න පුලුවන්ද..? මොකද මමත් දවසක date එකකට කතා කරනවා.. එතකොට එහෙමවත් යන්න එයිනේ..."

"හිල්ටන් එකට"

තමන්ට කටට ආ යමක් කියා සිය අත මුදාගෙන හිතක් පපුවක් නැත්තියක සේ නිර්මලී අසලංක ලබාදුන් දුරකථන ඇමතුමට යොමුවුවාය.

"චුට්ටක් ඉන්න අසා.. මම එනවා...!"

එම ඇමතුමේ පිරිමි කටහඬ ඇසුණු නිසාත් නිර්මලී පිළිතුරු දුන් නිසාත් මේ කියන්නේ සත්‍යයක් බව වැටහුණු සැනින් පපුව හරහා ගිය හී පහරකින් වේදනාවට පත් පරෙවියෙකු සේ වනිඳුගේ අතපය ගල්වී ගියේය. නිර්මලී වනිඳු වෙතින් ආපසු හැරී ඉදිරියට අඩියක් තැබුවාය. හිත ගල්කොට ගතයුතුය.

පුදුමයකට මෙන් වනිඳු කිසිවක්ම නොකියා ඈට යන්නට හැරී අතර , සෝපානයේ බොත්තම ඔබා එය පැමිණෙන තුරු සිටියේ බිම බලාගෙනමය. නිර්මලී සෝපානයට අඩිය තබා අඩමානයට මෙන් වනිඳුගේ මුහුණ බැලුවේ බියෙන් මෙනි.

"හ්ම්ම් හිල්ටන්...? මට එච්චර නම් සල්ලි නැහැ"

සෝපානයේ දොර වැසෙන අතරේ වනිඳු පැවසුවේ වේදනාත්මක මුහුණ බිමට හරවාගෙනය. ඈ එතැනම සිහිසුන් වන තරමට ඒ වචන තමන්ගේ හදවත පසාරු කරගෙන ගිය බව ඈට දැනුනි. එවිටම සෝපානයේ දොර වැසීගෙන ගොස් දෙදෙනාගේ එකිනෙකාගේ වෙත යොමුවූ බැල්ම කැපී ගියේය. 

'අනේ දෙවියනේ... කානුවක හිටපු ජිවිතයක් මම! මම අද මෙතන ඉන්නේ අනුජ නිසානේ... දෙවියනේ මේ කොල්ලා ඒ ටික නොකියා මාව මැරුවා නම් මිට හොඳයි'

සෝපානය වාහන අංගනයට පැමිණෙද්දී නිර්මලී සිටියේ අතිශය සෝචනීය ලෙස නොසන්සුන් වෙමිනි. සෝපානයෙන් බසිනා නිර්මලී පිළිගන්නට අසලංක එතැනම සිටගෙන සිටියේ නොඉවසිල්ලෙනි.

"නිර්... are you ok ?"

රතුවූ මුහුණින් සහ දහදිය දමන නළලින් පෙනුනේ නිර්මලී තදබල අසනීපයක් දරාගෙන සිටිනවාක් මෙනි. අසලංක සෝපානයේ කවුරුන් හෝ සිටීදැයි විමසිලිමත් වන්නේ නිර්මලිගෙන් පිළිතුරක් .ලැබෙන්නට ප්‍රථමය.

"න.. නෑ .. ප්‍රශ්නයක් නැහැ.. මට ටිකක් හිසරදේ වගේ අද.. ඒකයි "

නිර්මලී ඉක්මනින් මුහුණ වෙනස් කරගන්නට උත්සහ කරමින් වමතින් නළල පිරිමැද ගත්තාය. ඇගේ සුදුමැලි ගතිය ගැන වැඩිපුර ප්‍රශ්න කරන්නට අසලංක එදා සිටම බියය. ඈ සැමවිටම තමන් සමඟ පවත්වාගෙන යන්නට උත්සහ කරන පරතරය පෙරදින නුවර ගමනේදී තරමක් ලිහිල් වූ නමුදු ඉක්මන් වන්නට අසලංක කැමති වුයේ නැත.

සිය වාහනයේ ඉදිරිදොර විවර කොට නිර්මලී එයට නගින තුරු හිඳ දොර වසන්නට පෙර ඔහු ඇසුවේ නිර්මලී බලාපොරොත්තු නොවූම දෙයකි.

"හිල්ටන් යමුද?"

-------------------------------------------------------------------------

නිර්මලිගේ සිත කෙතරම් සැනසුවත් සන්සුන් වුයේ නැත. අසලංක සමඟ ඉක්මනින් රාත්‍රී ආහාරය ගෙන එන්නට ඈට තිබුණු හදිස්සිය හිසරදයකින් මුවා කරගන්නට උත්සහ කලත් අසලංක ඒ ගැන වදවන ප්‍රමාණය නිසා ඈ තවත් නොසන්සුන් වුවාය.

අවසානයේ අසලංක ඈ නිවසට ඇරලවා ගියේ එතරම් හිත හොඳකින් නොවන බව නිර්මලිට වැටහුනත් ඈට කළහැකි යමක් නොවිය. 

'අනේ දෙවියනේ වනිඳු එහෙම කිව්වහම පපුව පැලුනේ නැති ටික විතරයි'

ඈ මද වෙලාවක් බැල්කනියේ ඒ මේ අත ඇවිද්දේ ආවේගයෙනි. රාත්‍රී ආහාරය ඈ ඇත්තටම ගත්තේ නැති තරමකි. බඩගින්නක් දැනුනේද නැත. හිස පුරාම තමන් දුන් වේදනාව ගැන ආඩපාලි පිරි ඉතිරි ගොස් අවසානයේ නිර්මලී බැල්කනියේ බිම දණගසා ගත්තේ මහා හඬින් හඬමිනි. විනාඩියක් පමණ විලාපයෙන් හැඬු ඈ  ඉන් පසුව හකුලාගත් දෙකකුල් මත හිස තබාගෙන තරමක් සන්සුන් වන්නට උත්සහ කළාය.

'මේ ඔක්කොම මගේ දේවල් නෙවෙයි... ඔක්කොම අනුජ මම වෙනුවෙන් කරපු දේවල්.. මේ වාහන.. මගේ ඉගෙනීම.. මේ අපාර්ට්මන්ට් එක.. මේ සමාජ තත්වය. මේ බිස්නස්.. ඔක්කොම අනුජගේ... වනිඳු කියන්නේ මගේ අනුජ  නම්... මම ඒ කියපු කතාවෙන් එයාට කොච්චර රිදෙන්න ඇතිද? හිමාල් කිව්වේ වනිඳු දුප්පත් කියලා... පව් දෙවියනේ මම එහෙම කිව්වේ ඇයි ??'

වහා සිතට නැගී සිතුවිල්ලක් නිසා ඉන් නැගීසිටි නිර්මලී සිය දුරකථනය අතට ගෙන පෙර දින බලෙන් මෙන් සිය දුරකතනයේ ගබඩාකල වනිඳුගේ දුරකථන අංකය තිරයට ගෙන එය ක්‍රියාත්මක කළාය. 

'දැන් වෙලාවට එකොළහත් වෙලා.. එයා නිදි ඇති..'

එසේ සිතු නිර්මලී පළමු වරට නද දුන් වහාම ඇමතුම විසන්ධි කළාය. තරමක් වෙලා නැවතත් කල්පනා කලේ වනිඳු අවදියෙන් වන්නට හැකි බවයි. නමුත් එවරද ඇමතුම විසන්ධි කලේ මේ මහා රාත්‍රියේ එසේ ඇමතීම යහපත් නොවන බව වැටහිමෙනි. ඇමතුම දැක වනිඳු ආපසු කතාකරයිද? හදවත මහා ශබ්දයෙන් ගැහෙන්නට වුයේ කොයි මොහොතක හෝ වනිඳු ඈ අමතනු ඇතැයි සිතුමෙනි. නමුත් පුදුමයක මහත ! වනිඳුගෙන් ඇමතුමක් පැමිණියේ නැත.


මේ අතර.......

ගාලු මුවදොර පිට්ටනියේ ඉහල පඩිපෙළේ හිඳ සිගරට්ටුවක් දල්වාගෙන උන් වනිඳු ගෝකුල සිය දුරකතනයේ ඇමතුමක් සටහන් වන්නේ විසල් දුම් උගුරක් වා තලයට යොමුකරද්දීය. දුරකථනය අතට ගන්නා විට තිරයේ සඳහන් වුයේ 'baby girl is calling ' වශයෙනි.

හදවත තුවාල වී ලේ වහනය වන්නාක් මෙන් දැනුන බැවින් වනිඳු ඒ ඇමතුම එසැනින් විසන්ධි වනතුරු ඒ දෙස ඔහේ බලා සිටියේය. නැවතත් ඇමතුමකි. එයටද පිළිතුරු පසයන්නට තරම් තමන්ට ශක්තියක් නැතිවාක් මෙන් දැනුන නිසා එයත් ඉබේම එක වරක් නාදවි විසන්ධි වන තුරු ඔහු ඔහේ බලාගෙන සිටියේ අවසන් සිගරට්ටුව උරා ඉතිරිය එතැන බැම්මේ තබා තද කරමිනි.

මිට මාස ගණනකට පෙර සිය මවට පොරොන්දු වී නතර කල දුම් බිම අද දින ඇරඹෙන්නේ තමන් විසින් තමාටම කරගන්නා පළිගැනීමක් ලෙසද? ඈ තමන්ට ලංවිය නොහැකි තරම් සමාජ තලයක බව තමන්ට නොදැනුනේ ඇයි? නැත.. තමන්ට දැනුනේ මෙතෙක් කාලයක් සොයමින් සිටි තමන්ගේ අඩු කොටස (missing piece ) දුටුවාක් මෙන් දැනුනු හැගීම පමණක්මය. සැමදාම තමන්ට දැනුනේ එම කොටස නොමැතිව අසම්පුර්ණ බව නොවේද? කුඩා කල වූ මතකයන් ඔස්සේ තමන් ආශ්‍රය කල; ප්‍රේම සම්බන්ධතා ගොඩනගාගත් තරුණියන් සියල්ලම තුලින් තමන් සෙව්වේ ඒ අඩු කොටසයි. 

'නෑ.. ඇත්තටම නිර්මලී කියන්නේ අඩු කොටස විතරක් නෙවෙයි. මගේ ඔක්කොම.. මගේ හුස්ම.. එදා අනුජ කියලා මගේ  අත බදාගත්ත මොහොතේම අඳුනගත්තා ඒ ස්පර්ශය! මම හැම කෙල්ලෙක්ගෙන්ම හෙව්වේ ඒක ! මට එය ඒ මොහොතේම දැනුනා... නිර්මලී කියන්නේ මගේ ඇඟේ නහරවැල් පුරාම දුවන රුධිරය වගේ... '

' ඒ උනාට මට එයාව එයාගේ වටේ ඉන්න පිරිමි ගෙනියන තැන් වලට ගෙනියන්න බැහැ. එයා කැමති වෙන්නේ නැහැනේ මගේ ලෙවල් එකට බහින්න. නිර්මලී සංදිරිගම කියන්නේ කොච්චර ලොකු බිස්නස් ලේඩි කෙනෙක්ද කියලා ඇතිවෙන්න මට එදා චාමිකයා කියලා දුන්නනේ.. ඌ ඕක කලින්ම කිව්වා. නිර්මලී වගේ ලොකු අත්තක් ලංවෙන්න අමාරුයි කියල.. '

වනිඳු  හිස්වූ බියර් කෑන් එක ගෙන තලා , තාප්පය මතින් නැගී සිටිද්දී නැවතත් දුරකථනය නාදවිය. එවර චාමික බැවින් ඔහු පිළිතුරු දුන්නේ ඔහු තමන් ගැන වදවෙන නිසාය.

"අඩෝ..  උඹ කොහෙද යකෝ අතුරුදහන් උනේ?"

පොඩි වූ කෑන් එක කුණු බාල්දියට දමමින් වනිඳු දුම්වැටිය අනෙක් අතට මාරු කළේය.

".. කොහෙද යකෝ ඉන්නේ?"

"හ්ම්ම් පොඩ්ඩක් මුහුදු හුළඟ වදින්න ආව බන්.."

චාමික මදක් කල්පනා කළේය.

"තෝ ඉන්නේ අර සංදිරිගම මැඩම් එක්ක නෙවෙයිනේ?"

"නෑ බන්... she turned me down.. මම ඉන්නේ තනියෙන්"

"යකෝ...! turned down කිව්වා? මගෙන් කුණුහරප අහන්නේ ඉතින්.. දැන් රෑ එකොළහත් පහුවෙලා.. හෙට උදෙන් ප්‍රැක්ටිස් යන්නේ කොහොමද.. උඹ බොනවද ඔතැන ?"

"ආ.. අවුලක් නැහැ බන්.. බියර් එකක් විතරයි"

චාමිකට වෙනසක් දැනුනේ ක්ෂනයෙනි.

"කුඩුවේ ලගින්නද හදන්නේ ඔතන බොන්න දෙන්නේ නැහැ... ඉඳපන් මම උඹව ගන්න එන්නම්. කොහෙවත් නොයා ඔතනම හිටපන්"

වනිඳුට පිළිතුරක් දෙන්නට ඉඩ නොතබා ඇමතුම විසන්ධි කල චාමික , දන්නා ශිල්ප සියල්ලම දමා ක්‍රීඩා නේවාසිකාගාරයෙන් එලියට පැන්නේ මිතුරු ආරක්ෂකයාගේ මෝටර් බයිසිකලයද සමඟිනි. හැකි උපරිමයෙන් පැමිණෙද්දී වනිඳු සිටියේ ගාලු මුවදොර බරකුඩා අවන්හල ආසන්නයේ බිම තිබුණු පඩියක හිඳගෙන දුම් වැටියක් උරමිනි. ආ වේගයෙන්ම ඔහුගේ අතින් දුම්වැටිය උදුරාගත් චාමික එය විසිකොට දැමුවෙන් , වනිඳු මදක් පුදුමයෙන් මෙන් චාමිකගේ මුහුණ බැලුවේය. ඔහුගේ ඇස බියර් මතට වෙනස්ම පැහැයක් ගෙන තිබේ.

"වරෙන් යන්න මෙතන පාරවල් ගානේ බිබී නටන්නේ!"

 -----------------------------------------------------------------------------------------

කාර්යාලයට පය තැබූ මොහොතේම නිර්මලිගේ නිදීවර්ජිත බවත් අවුල්වී ගිය මූඩ් එකත් තුෂාරා හැඳින්නාය. පෙරදින ආ තරුණයා සමඟ නිර්මලී තරමක වාග් ප්‍රහාරයක් ගිය බවත් එකවරම පැමිණි ඔහු තමන්ගෙන් නිර්මලිගේ මිතුරියක වන නේහාගේ අංකය ඉල්ලු ආකාරයෙන් කුමක් හෝ බරපතල දෙයක් සිදුවී ඇතැයි අනුමාන කළාය.

"සොරි සර්.. මට මිස්ගෙන් අහන්නේ නැතුව එහෙම..."

තමන් දෙසම  සිටින ඒ අනුජ වැනිම පෙනුමක් තිබුණු තරුණයා දෙස බලාගෙන තමන් පැවසුවේ තරමක් වෙව්ලමිනි.

'දෙවියනේ ඒ නම් මිස්ටර් අනුජ වගේමයි! ඇරපු අතක් නැහැ.. කළුයි.. එච්චරයි වෙනස!! නිර්මලී මිස් මෙයා එක්ක...?? වෙන්න බැහැ මේ කොල්ලා පොඩි එකෙක් මම හිතන්නේ'

වේගයෙන් කාර්යාල දොරෙන් පිටත් වූ තරුණයා දෙස මද වලාවක් බලාසිටි තුෂාරාගේ සිතේ කුමක්  හෝ අමුත්තක් ඇතිවිය. ඇමතුම පැමිණියේ නිර්මලිගේ කාර්යාල දුරකථනයෙනි.

"තුෂාරා.... අද උදේට ඔක්කොම මිටින් ටික reschedule කරන්න... අද හවස මට වැඩක් තියෙනවා"

නිර්මලී පැවසුවේ වේගයෙනි.

"අර අලුත් කබානා ටික බලන්න මිස්ටර් මිහිඳුකුලසුරිය එනවා කියල..."

"නෑ නෑ.. එයා අදට ඕනේ නැහැ... ඒ ටික සුදේශ් බලාගනී.. අලුත් සැලෝන් ලෝන්ච් එක සතියක් එහාට දාන්න.. මම මේ සතියේ අවුට්ස්ටේෂන් යනවා... හ්ම්ම් තව එකක්.... රාමනායක මෝටර්ස් එකට කතාකරලා... මට කෝටේෂන් එකක් ගන්න බ්‍රෑන්ඩ් නිව් ජීප් වල.. ගෙනාපුවා හතරක් විතර තියෙනවා කිව්වානේ හොටෙල් එකට එකක් ගන්න ගිය සතියේ කතා කලාම..  "

"ඕකේ මිස්... හොටෙල් එකට මම දාපු request එක අලුත් කරන්නම්.."

"නෑ.. මේක හොටෙල් එකට නෙවෙයි... මට!"

තුශාරාට පුදුම  සිතුනි.නිර්මලී පාවිච්චි කරන්නේ රේන්ජ් රෝවර් පමණි. අනුජගෙන් ලද වාහනය තවමත් ඈ සතුව තිබුනද නව වාහනයක් ගන්නට සිතුනේ දැන්ද ?

"... මට ෆොටෝස් ටික දාන්න කියන්න... අදම කෙරෙන්න ඕනේ ඒක! තවත් එකක්... හ්ම්ම්.. ම්ම්..."

නිර්මලී තටමන්නට වුවාය.

".. පොඩ්ඩක් ඔෆිස් එක ඇතුලට එන්නකෝ"

තුශාරාට දැනුන අමුත්ත නොදැනුනා සේ වහා දොර විවර කරගෙන ඇගේ කාර්යාලයට යද්දී නිර්මලී සිටියේ කාර්යාලයේ ඇගේ මේසයට පිටුපසින් ඒ මේ ඇත වේගයෙන් ඇවිදිමිනි.

"මෑම් ?"

නිර්මලී තිගැස්සුනේ තුෂාරා තමන් අසලට එනවාවත් නොදැනුන නිසාය.

"අ.. අ.. මේ අර... අපි ස්පොන්සර් කලේ.. ළඟදී best schoolboy cricketer එකට... අන්න.. ඒකෙ ඒ බෝයිට කෑෂ් ඩොනේෂන් එකක් දෙනවා... ලක්ෂ විසි පහක් දාන්න අදම.. චෙක් එක මම ලියලා දෙන්නම්.. තුෂාරා ඒ සල්ලි දාන්න ඕනේ කෑෂ්.. transaction එකක් විදියට නෙවෙයි.. තේරුනාද?"

තුශාරාගේ බැල්මෙන් දෑස සඟවා ගනිමින් නිර්මලී එසේ කියද්දී ඇගේ දෑත් වෙව්ලනු තුෂාරා දුටුවාය.

"ඕකේ මෑම් "

තවත් යමක් පවසාවි යයි සිතමින් සිටියද නිර්මලී කලබලයෙන් ඒ මේ අත  ගියේ තුෂාරා ගැන වගක් හෝ නොමැතිව මෙනි.

".. මම... යන්නද මෑම් "

"ආහ.. ආ.. ඔව්.. හරි.. එච්චරයි....."

තමන්ට පසුපසින් දොර වසාගෙන යන තුශාරාට අසුනේ නිර්මලී දුරකථන ඇමතුමක් ගන්නා ශබ්දයයි.


----------------------- මතු සම්බන්ධයි -----------------------------

 කියවූ බව, ඔබ මේ කියවන්නට කැමති බව තව තවත් දැනෙන්නට හරින්න

14 comments:

  1. කියෙව්වා. කොල්ලව සල්ලි වලට ගන්න හදන්නේ. අපි ඒවාට ඉඩ දෙන්නේ නෑ :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත... කෙලින්ම නැගී සිටින්න

      Delete
  2. අම්මටසිලි දැන් ඉතින් මේක චිරා සමී පෙම් කතාව වගේ එකක් වී ගෙනද කොහෙද යන්නෙ.දැන් ඉතින් නිර්ට අනුජ කරපු සේරම නිර් මේ කොල්ලා ට කරලා තැනකට ගන්නෙ නැතෑ..හ්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. චිරා සමී මතක් උනාද? හ්ම්ම් හ්ම්ම්ම්
      Age is just a number කියනවනේ.. ඒ උනත් බලමුකෝ මේක යන විදිය

      Delete
  3. කිව්වත් වගේ වනිදු ඕව ටික ගත්තේ නැත්නම් හොඳයි. සකලන්කමාලේ පවු නේ? අද නම් මොනව කියන්නද මන්ද. බැරිද මේ වනිඳුවත් පොඩ්ඩක් වයසට යවලා ගන්න ?

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා මට අවංකවම දුකයි සකලංකේ ගැන ඒකාව බැඳලා මේ හොම්මනට පාඩුවේ ඉන්න තිබුනනේ

      Delete
    2. පූ >> හ්ම්ම් හ්ම්ම්ම් සමහර දේවල් වලට කෙටි ක්‍රම සහ හොඳම දේ කියල එකක් නැහැ... හිතට දැනෙන දේ තමයි ඉතින් එකම දේ. නිර්මලිගේ තත්වයේ හිටියා නම් ඔයා මොකෝ කරන්නේ? අන්න එහෙම හිතලා බලන්න...
      අසලංක ගැන තව ඉදිරියට ලියවෙන්න නියමිත නිසා ඒ ගැන කිසිවක් නොකියමි. වයසට යැවිල්ල කෙසේ වෙතත් මට ගුටි කන්න නම් වෙයි

      Delete
    3. සොසා >> හෝව් හෝව්... Be careful what you wish for කියනවනේ... අනික තාම ඔයා දන්නේ නැහැනේ දරුවාගේ අම්මා කවුද කියලත්.. තව ඉදිරියට එයාගේ තරම පෙනෙයි

      Delete
  4. අම්මට සිරි! හිතාගන්නවත් බෑ මේ අඹරන ඇඹරිළි!
    ඒ කොහොම වෙතත් මේ කථාවේ සමහර තැන් තමන්ගේ ජීවිතයට සමීපයි කියා හිතෙන්නේ මට විතරද?
    ඉතාමත්ම සුන්දර රචනාවක්!
    ඒත් දැනෙන්නේ නම් සතුටක් නම් නොවේ!
    ඔබ අපව තව තවත් දුකට පත් කරමින්!

    ReplyDelete
    Replies
    1. අපේ අප්පේ... කොහේ ද අතුරුදහන් වෙලා හිටියේ.... ඔක්කොම කියෝලා එක කොමෙන්ට් එකක් දැමීම හෙලා දකිමි. ඒ ඒ කොටස් වලට ඒ ඒ කමෙන්ට්ස් උරුමයි නේද?
      හැබැටම එහෙම සමීප ඒවත් තියෙනවද? මළා ! දුකත් එක රසයක්.. නව නළු රසය තව ඉදිරියට
      [පුළුවන් විදියට පැටලෙව්වා ඉතින්... බැරි වදමනේ ඉතින් අතගහන්නේ කොච්චර කිව්වත්]

      Delete
  5. අනේ මන්දා මෙවා කොහෙන් කෙළවර වෙයි ද කියල...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම් ඇත්තටම බොන්ඩ ඕනේ ප්‍රශ්නයක් තමයි...
      ජිවිතේ අපි ගන්නා තීරණ සමහරක් හදවත වේදනාවට පත්කළත් බුද්ධිමත්... ඒත් සමහර බුද්ධිමත් තීරණ නිසා අපේ හදවත කෑලි වලට කැඩිලා යනවා ආයෙත් පිළිසකර කරන්න බැරිවෙන තරමට.
      අන්නා එතැනදී අපි හදවතින් ගන්නා තීරණයක් වෙනුවෙන් අවංකව සටන් කලයුතුයි. මම නම් කියන්නේ එයයි

      Delete
  6. කොයි අනේ කතාව.....????

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...