Thursday, December 23, 2021

288: උන්මාද චිත්‍රාදෝ මා 20

 



නිර්මලී ඒ දෑස දෙස එක එල්ලේ බලා සිටියාය.

"yes  මිස් නිර්මලී?"

නිර්මලී නොසෙල්වී ඒ බැල්ම තුලම ආ සිහින් සිනාවලින් මුව සරසා ගත්තාය.

"මිස් නෙවෙයි.. මිසිස්.. මිසිස් ගමනායක "

නිමන්තිකා තරමක් පසුබා ගියද, කාලයක් තිස්සේ වෘතිය විසින් පරිනතව ගොස් තමන්  ගොඩනගාගත් පෞර්ෂය නිසා සාවඥ සිනාවකින් එය වසාගත්තාය. 

'මේකිට එච්චර ධෛර්යයක්?'

"ඔහ.. yes මිසිස් ගමනායක.. මම දැක්කා පත්තරවල අවෝඩ් එකක් ලැබුනා කියල.. congratulations !"

"thanks.. ඒ ඔක්කොම අනුජට අයිති දේවල්.. තාම මම හිටිය මිසිස් ගමනායකම තමයි "

ඒ වචනවල ගැබ්ව තිබුණු තියුණු කැපුම් පහර නොතේරෙන්නට තරම් බබෙකු නොවේ නිමන්තිකා. නිර්මලී අහිංසක චරිතයක් ලෙස තමා ගොනුකළ වර්ගය තවදුරටත් වලංගු නොවේ යයි ඇයට සැකයක් ඇතිවූවාක් වැනිය. ඒ කවරක් උවද රේසිකා තරම්ම ඈ සැපින්නක නොවන බව නම් ස්ථිරය. කුමක් උවත් ඒ තමන්ගේ සහෝදරයෙකි, ඈ අතින් අගතියට පත්වුයේ.

"... හරිම ලස්සන දේශනයක්... මම අහගෙන හිටියේ හැම දෙයක්ම"

නිමන්තිකා ඇගේ ඉරියව් ඈට නොදැනෙන තරම් සුක්ෂමව නිරීක්ෂණය කරමින් සිහින් සිනාවක් පෑවාය. 

අදදින පැවැත්වුණු ආරම්භක දේශන අතුරින් තමන් සභාව අමතා, ආසියාතික කාන්තාව තුල ඇති හඳුනා නොගත් හැකියාවන් වලට මේ වසරේ තමන්ගේ සංවිධානය වැඩි වශයෙන් ව්‍යපෘති දියත්කරන බව පැවසන අතරතුරදී අහම්බෙන් මෙන් නිර්මලී දැක තමන්ගේ පුහුණු වූ කතාව පැටලී, මද වෙලාවක් යනතුරු ලියාගත් කරුණු කියවූ බව සිහිවී නිමන්තිකාට ඇතිවුයේ තරමක අපහසුවකි. නමුත් නිර්මලී ඒ වචන පැවසුවේ කිසිදු අවඥාවක් ගැබ් නොවන වචන බව ඇයට නොදැනුනා නොවේ.

ආසියාතික බැංකුවෙන් වාර්ෂිකව පවත්වන මේ සැසිය සඳහා මැනිලා නුවරට තමන් පැමිණියේ සිංගප්පුරුවේ සිට බැවින්, සහ අවසාන මොහොතේ වැටුණු හදිසි රාජකාරි ගොන්නක් නිසා ලංකාවෙන් සනභාගි වන්නේ කවුරුන්දැයි තමන්ට බැලීමට අවස්තාවක් නොලැබුන නිසා නිර්මලී එහි දකින්නට ඈ අපේක්ෂා නොකලාය. නැතිනම් , නිර්මලී සන්දිරිගම වසරේ හොඳම නැගී එක ව්‍යවසායිකාවගේ සම්මානය දිනු රාත්‍රියේම රේසිකාගෙන් ලැබුණු ඇමතුම නිමන්තිකාගේ මතකය අවුලවා තිබිණ.

".. ඔයා එදා පිස්සු නැතුව මම කියපුදේ කළා නම්.. අනුජට එහෙම වෙන්නේ නැහැ රේසි"

තමන් ඒ ටික පැවසුවේ තරමක නොරිස්සුමෙන් බව ඇයට මතකය. අනෙක්පස දුරකතනයෙන් පැමිණියේ බරැති සුසුමකි. අනතුරුව වෙනස්ම හඬකි.

"අනුජ අරකිට නොලැබී එක්කෝ මැරුණ එක හොඳයි නිමා... මට උන් දෙන්නා දකිනකොට ඉන්න බෑ "

ගැහැනුන් කෙතරම් රැඩිකල් වුවද , ඔවුන් තුල ඇති සමහර ගැහැණුකම් කිසිදා යටපත් නොවේ. එය තමන්ගේ ප්‍රේමය උසුලාගත් පිරිමියා ගැන ඇති ආත්මාර්ථකාමී බවයි. තමන්ද එය අත්දැක ඇති නිසා රේසිකාගේ මානසිකත්වය තමන්ට තෙරුම්ගතහැකි වුවද නිර්මලී වැටහෙන්නේ නැත.

'... ඔහොම පිරිමි මත්තේ නහින්න ගියාම තමයි උන් අපිව පාගන්නේ. අනුජගේ පස්සෙන් ඔයා ගියේ නැතිනම්...'

තමන් එසේ කියන්නට ගොස් නතර වූ බව පමණක් මතකය. සිය පියාගෙන් ඇරඹි පිරිමින්ගේ අවිශ්වාසය තමන්ගේ වෘතිය හා සමව ගොස් තමන්ගේ ගැහැනුකමින් හිස්වූ ජිවන හිඩැස් වසා දමා ඇති බව තමන් කෙතරම් විශ්වාස කලද, අනුජ සම්බන්ධයෙන් තමන්ගේ දෙසට එල්ලවන ඇඟිල්ල වෙනතක හරවන්නට තමන්ගේ සිත ඉඩක් ලබා නොදෙයි.

'මොකක් උනත් උන් දෙන්නගේ ඒ වෙඩින් පින්තුරේ මාව හෙලෙව්වා. එහෙම ආදරෙන් තමන්ගේ දිහා බලාගෙන ඉන්න පිරිමියෙක් විදියට අනුජ කවදාවත් පරිවර්තනය වෙයි කියලා හිතුවෙම නෑ.. මොකක්දෝ මැජිකල් ටච් එකක් තියෙනවා මුන් දෙන්නගේ'

තමන්ගේ සිත තමන්ට මුමුණන දේවල් ගැන වැඩිපුර කල්පනා නොකරන නිසා එයින් ගැලවී යාගන්නට හැකිවූ අතර විවේක කාලය පුරාම මුහුණේ හැඟීමක් කියවාගත නොහැකි පරිද්දෙන් ඉතා සුහදශීලිව තමන්ට කතාබහ කරන මිනිසුන් හට ප්‍රතිචාර දක්වා සිටින නිර්මලී දෙස නිමන්තිකා වරින් වර බැලුවේ නොයෙකුත් සංවාද තිබියදීය.

"නිර්මලී... can I talk to you for a minute ?"

තවත් ඉවසා සිටිය නොහැකිව ගිය තැන, නිමන්තිකා පැමිණ නිර්මලී එතෙක් කරමින් සිටි කතාබහට සමාව අයැද ඈ දෙසට හැරුණාය. නිර්මලී මදක් විමතියෙන් මුත් කිසිදු හැඟීමක් නොමැති පරිදි එයට එකඟ වූ අතර නිමන්තිකා නිර්මලිගේ අතෙහි පහල කොටසින් අල්ලා ගත්තාය.

"... නිර්මලිට පුලුවන්ද හෙට මැනිලා වල නවතින්න?"

එකවරම නිර්මලිගේ සිහියට පැමිණියේ හිමාල්ගේ වචනයි.

'නිමන්තිකා රේසිකාට උදව් කරලා තියෙනවා'

නමුත් තමන් ඇසු ප්‍රශ්න වලට හිමාල් නොදුන් පිළිතුරු මේ ගැහැණිය විසින් අමුවෙන්ම තමන්ට පවසනු ඇතැයි යන අහේතුක විශ්වාසය එකවරම නිර්මලී තුල මතුව ආයේය. ඔවුන් පැවසුවේ රේසිකා විසින් අනුජගේ ජීවිතය උදුරාගත් බවය. තමන් පුන පුනා ඇසුවේ අනුජට එවැන්නක් කරන්නට තරම් රේසිකා කෝපගැන්වූ හේතුව කුමක්දැයි අසමිනි. හිමාල් ඊට පිළිතුරු දුන්නේ නැත.

දෙවියන්ගෙන් තමන් යැද්දේ යුක්තිය නොවේ අනුජගේ ජීවිතයයි. කිසිවකුට හිරිහැරයක් නොවූ අනුජට එවැනි දෙයක් කරන්නට දෙවියන්ට හැකිනම්, එහින් අදහස් කරන්නේ යුක්තිය කියා යමක් දෙවියන් නොදෙන බව නොවේද? මේ ලොව පාලනය කරන අයෙක් වේද, ඔවුනට පවා නොපෙනෙන අයුක්තියකි එය! යුක්තිය, සාධාරණය සහ ජීවිතය ය සියල්ලම දෙවියන් මත තැබීමේ වරද!

"හ්ම්ම්.. බලන්න ඕනේ නිමන්තිකා... මට... ටිකක් ටයිට් වැඩ වගයක් තියෙනවා"

"ඔහ්.. මට මතක නැති උනානේ.. ලොකු බිස්නස් වුමන් කෙනෙක් කියලා"

නිමන්තිකා එසේ කීවේ නරක අදහසකින් නොවන වග නිර්මලී අනුමාන කොට එයට සිය සුපුරුදු නිහතමානි සිනාව පෑවාය.

"කැමති විදියට බාරගන්න.."

කහපාට චාම් සාරියට ඈ පැළඳ සිටියේ මියුසික් නෝට් එකක් මාල පෙත්තක් වූ සරල රිදී මාලයකි. තාරුණ්‍යයේ පොපියන පැහැපත් රූමත් පෞර්ෂය දෙස අද දවසේ නොබැලු අයෙක් නොමැති තරමකි. තේ වත්තක සිටියායයි කියා කිසිදු සලකුණක් ඉතිරි නොකොට ඈ අනුජ විසින් නිමවන්නට ඇත්තේ මෙලෙස දකින්නට විය හැකිය. සිය අඩ-සහෝදරයා කෙරෙහි තමන්ගේ කවදත් තිබුණු ඊර්ෂ්‍යාව තමන්ට දැන් දැනෙන්නේ වෙනම හැඟීමක් ලෙසටය. සිත පවසන්නේ ස්වයං විවේචනයද?

"මට ඔයත් එක්ක ටිකක් කතාකරන්න ඕනේ.. අනුජ ගැන"

ඈ අවසන් කොටස පැවසුවේ වෙනම වැකියක් ලෙස වෙන්කොට ගලවාගෙනය. නිර්මලී අපහසුවෙන් නගාගත් සිනාව වලකා ගත්තාය. ඒ නම ඇසීමෙන් පවා තමන්ගේ සර්වාංගයම වෙව්ලා , ආත්මයම උණුසුම්වී යන අයුරු!

"හ්ම්ම්... පුළුවන් වෙයි. හැබැයි එක පොරොන්දුවක් මත"

නිමන්තිකාගේ දෑස නළලට ගියේ වැකියේ ඉතිරි කොටස ඇසීමෙනි.

--------------------------------------------------------

අසලංක රවා බැලුවේ සියල්ල දවා හළු කරනා පරිද්දෙනි. ස්කයිප් ඇමතුමේ එහා අන්තයේ උන් සාරා එය නුදුටුවා සේ කියවාගෙන ගියාය.

"මල්ලා මේ... තමුසෙට හරියන්නේ එලිගන්ට් වයිෆ් කෙනෙක්.. තැනකට ගෙනියලා ලස්සනට තියන්න පුළුවන්, සමාජ වැදගත්කමක් තියෙන කෙල්ලෙක් මිසක් ලෝකේ අල්ලන්න හදන ගෑනියෙක් නෙවෙයි. අසේකා කියන්නේ ඒ වගේ වයිෆ් මැටිරියල්.. "

සාරා හුස්මක් ඇල්ලුවේ අසලංකගේ මුහුණේ ඉරියව් පිරික්සමිනි.

"... තමුසේ ඕල්රෙඩි බිස්නස්මන් කෙනෙක්... එහෙම කෙනෙක්ට ඕනේ ගෙවල් බලාගෙන ඉන්න වයිෆ් කෙනෙක් මිසක් තමුසෙත් එක්ක කම්පිට් කරන ගෑනියෙක් නෙවෙයි.."

අසලංක දීගු හුස්මක් හෙලා මේ කන්කරච්චලය අසා සිටියේ පුළුටු කරගත් මුහුණෙන් යුතුවය.

".. මල්ලා.. තමුසේ අහගෙනද ඉන්නේ?"

පෙර දිනයකදී තමන්ගේ කට වැරදීමෙන් නිර්මලිගේ විවාහක බවට පහර දෙන්නට ගොස් අසලංක කෝප ගැන්වූ නිසා සාරා මෙවර අසලංකට පිළිතුරක් දීමට අසීරු අන්දමේ ප්‍රවේශයක් යොදාගත්තාය. අම්මාගෙන් ලැබෙන ආරංචි අනුව අසේකා සමඟ මෑතකදී කුමක් හෝ ආරවුලක් ඇතිවී තිබුනද පෙර දින කිහිපයකදීම අසේකා සමග දහවල් ආහාරයට කිහිප වරක්ම ඔහු ගොස් තිබිණ. එකම එක වරක් පමණක් රාත්‍රී ආහාරයක් සඳහා ඔවුන් දෙදෙනා 'සෙට්' කරන්නට තමන් අසේකාට උපකාර කල සැටි සිහිවී සාරා නොඉවසිල්ලෙන් උඩ පැන්නාය.

"ඔව් ඔව්.. කියෝලා ඉවරද? මට වෙන වැඩ තියෙනවා.."

අසලංක නොරිස්සුමෙන් පැවසුවේ තවදුරටත් සිය සොයුරිය සමග කතා කිරීම පලක් නොවන බව සිතමිනි. ඊටත් වඩා සිත රිදවුයේ පෙරදිනයේ උපන්දින සාදයේදී සිදුවූ සිදුවීම්ය. නිර්මලී යනු මොවුන් සිතනා ආකාරයේ යකඩ ගැහැණියක නොවේ. 

"මගේ කියවිල්ල නෙවෙයි දැන් අම්මට උත්තර දෙන්න වෙයි එදා ඩිනර් එකට ගිහින් වෙච්ච දේවල් ගැන"

සාරා අනුමානයෙන් පැවසු දෙයට අසලංක තරමක් වික්ෂිප්ත වුයේ, එදින සිදුවීම අක්කාගේ හෝ අම්මාගේ කනේ තියන්නට තරම් අසේකා මෝඩ ගැහැණියක්දැයි එකවරම හැඟුණු බැවිනි.

"අසේකා මට මැච් වෙන්නේ නැහැ.. ඒක මම එදා එයාට කිව්වා.. ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද? මුලදීම මම කිව්වට ඔයාල පිළිගත්තේ නෑනේ. කිව්වා ආශ්‍රය කරලා බලන්න කියල. ආශ්‍රයත් කලානේ... ඒත් ගැලපෙන්නේ නැහැ.. ඒක මම කිව්වේ නැතිනම් එයාට කවුද කියන්නේ? අනික කවදා කියන්නද? අසේකා බබෙක් නෙවෙයි.."

"ඔව් ඔව් බබෙක් නෙවෙයි තමයි.. ඒ උනාට ඔයා බබාලන්තේ වගේනේ වැඩ! වැඩේ තියෙන්නේ ඒක කියන්න කලින් දවසේ අර ගෑනිත් එක්ක මෙයාගේ පින්තුර එෆ්බි එකේ තියෙන එකනේ .. ඉතින් අසේකාට තරහ යන්නේ නැද්ද? ඔයා ෆෙයා චාන්ස් එකක් දීලා නෑනේ..  "

උපන්දින සාදයේ තමන් සිතාමතාම නිර්මලී සමඟ සිටි නිසා ටැග් වී ඇති සෑම පින්තුරයකම පාහේ තමන් සමඟ නිර්මලී සිටීම අරුමයක් නොවේ. ඈ සතු රුමත්කම අසේකා ළඟ නොමැතිවද නොවේ. ගැහැණුන්ගේ ඉරිසියාව.

"අක්කේ මේ.. තමුසේ මට කියන්නේ අසේකා උස්සගෙන හොටෙල් ගානේ යන්න කියලද හැමදාම? ඒකිත් එයි... ඒ උනාට මට පිස්සු කියල හිතුවද..? මම දැන් කිව්වේ.. මට ගැලපෙන්නේ නැහැ ඔය වගේ සීනිබෝල කෙල්ලෝ..."

අසලංක හුස්මක් ඇල්ලුවේ අවසන් වචන කියන්නට මෙනි.

"... ඔක්කොටමත් වඩා නිර් ගැන දොඩවන්න එපා ඔච්චර.. නිර්මලී කියන්නේ වැදගත් විදියට ජීවත්වෙන කෙල්ලෙක්... ආයේ එකපාරක් හරි එයාට මොනවාහරි කිව්වොත් මඩුගල්ල නෙවෙයි.. මොන ගල්ල උනත් මම උන්ටත් කෝල් කරලාම කියනවා මොකද මේ දෝනියන්දා මගේ ඇඟේ ගහන්න එන්නේ කියල ... "

අසලංක ඇමතුම විසන්ධි කලේ  ඒ සමඟය.

නිර්මලී නම් තරුණිය තම සොයුරාගේ හදවතේ සිටිනා ස්ථානයට අභියෝග කරන්නට තමන්ට නොහැකි බව සාරා දත්තාය. වැඩිමහලු පිරිමියෙකු සමඟ ජීවත්වූ බව හැරුනුකොට ඈට කියන්නට තරම් වරදක් සොයාගත නොහැකි විය.

'whats the f ***' 

අසලංකගේ සිත පිරුණේ වේදනාවෙනි. නිර්මලී දිනාගැනීමට අපහසු බව දැන දැනත් ඇයටම සිත බැඳී තිබෙන අයුරු පුදුමය. ඇය තමන්ට ඔතරම් අකමැතිවන්නට හේතුව අනුජ කියූ යමක්ද? ඈ අමතක කරන්නට කියා තමන් ලංවූ සියලු තරුණියන්ට තමන් කලේ බලවත් අසාධාරණයක් බව ඔහුට දැන් වැටහේ. එවැන්නක් අසේකා වෙනුවෙන් කරන්නට ඔහුගේ සුදානමක් නැත. තමන්ට අකමැති වන්නට හේතුව නිර්මලී බව කියා ඈ කළහ කරමින් , තමන්ගේ ඇඟේ බලෙන් මෙන් එල්ලී සිපගත් නිසා අසේකාව ඉවතට තල්ලු කල බව ඈ නොකියා සිටිනු ඇතත්, ඉතිරි කතාබහ කියන්නට ඇත.

ඔහුගේ සිත නිර්මලී හමුවූ අවසන් මොහොත වෙත ක්ෂණයෙන් ඇදී ගියේය. සාදයේ ඈ අපහසුවෙන් තනිකරගත් මොහොතේ නිර්මලී සිටියේ නොරුස්නා බැවින් බව තමන්ට නොදැනුනා නොවේ.

"සොරි අසලංක.. මේ විදිය මට හොඳයි. අනුජ මගෙත් එක්ක ඉන්නවා. එයා කවදාවත් මාව දාලා යන්නේ නැහැ. මාව අයිති එයාට විතරයි... "

ඇගේ සිනහව මිදුලේ තිබුණු මන්ද ආලෝකය ඔස්සේ ඈත ඇති රාත්‍රී අඳුර දක්වාම ඔහේ යොමුවී තිබිණ.

"ඔයා ඉන්නේ බොළඳ හීනෙක ළමයෝ... ඇහැරෙන්න.... rescue yourself.. let me help you Nir  "

"ඒ හීනේ අයිති අනුජට.. මාව අයිති අනුජට.. අනුජ මගේ ගාව ඉන්නවා.."

"... මේ ළඟම ඉන්නවා.. එයා ඉන්නවා අසලංක! සොරි... "

"...ගොඩක් ස්තුතියි ඔයාගෙන් ලැබුණු යාළුකමට. මගේ හිත හදපු වෙලාවල් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔයාගේ හිත රිදුනා නම් ඒකටත් සොරි..  "

ඒ වැකි සියල්ලේම තිබුනේ ප්‍රතික්ෂේපය මිස කවරක්ද? නමුත් සිත නොපිළිගන්නා තරම!

"ඔයා වෙනුවෙන්.. ඕනෙම වෙලාවක මම ඉන්නවා කියන එක විතරක් මතකේ තියාගන්න.. "

තවත් එතන රැඳෙන්නට තරම් මානසික තත්වයක් නොමැතිවූ නිසා හිමාල්ට කෙටි පණිවිඩයක් යොමුකොට එතනින් වහාම පිටවී ගියද නිවසට යන්නට සිත හදාගන්නට නොහැකිව මිතුරෙකුගේ නිවසේ ගතකළේය.

-----------------------------------------------------------------------------

Would you dance, if I asked you to dance?
Would you run, and never look back?
Would you cry, if you saw me cryin'?
And would you save my soul tonight?
Would you tremble, if I touched your lips?
Would you laugh?
Oh, please, tell me this
Now, would you die for the one you loved?
Hold me in your arms tonight
I can be your hero, baby
I can kiss away the pain
I will stand by you forever
You can take my very breath away
Would you swear that you'll always be mine?
Or would you lie?
Would you run and hide?
Am I in too deep?
Have I lost my mind?
I don't care, you're here tonight
I can be your hero, baby
I can kiss away the pain
I will stand by you forever
You can take my breath away
Oh, I just wanna hold you
I just want to hold you, oh, yeah
Am I in too deep?
Have I lost my mind?
Well, I don't care, you're here tonight
I can be your hero, baby
I can kiss away the pain, oh, yeah
I will stand by you forever
You can take my breath away
And I can be your hero
I can kiss away the pain
And I will stand by you forever
You can take my breath away
You can take my breath away

කට කොනට නැගුනු දඟකාර සිනාව සමගින් ඕනා නැති බැල්මක් තමාදෙස බලා සිටින අනුජගේ දෑතට යටවී තිබුණු තමන්ගේ ඇඳුම නැවතත් නිර්මලී ඇද්දේ ලැජ්ජාවෙන් රතුවූ මුහුණෙනි. අනුජගේ මේ සුවිශේෂී සිනහව ලැබෙන්නේ මත්වී සිටින ඔහු ඉදිරියේ ඉන්නා ආදරවන්තියට පමණක්ම බව මේ වනවිට නිර්මලී අත්දැකීමෙන් දනී. 

"අනේ.... එපා ඉතින් ඔහොම බලන්න..."

පසුබිමෙන් නැගෙන ගීතය අවසන් වෙත්ම අනුජ ඈ නැවතත් සිය සිරුරට තෙරපා ගත්තේය.

"ඇහුනද ඒ සින්දුව? හ්ම්ම්....?? "

"හ්ම්ම්...."

"මට සින්දු කියන්න, ගිටාර් ගහන්න බෑනේ... දෙකම ඉගෙනගෙන එන්න තරම් වෙලාවත් නැහැ.. ඒ හින්දා මම ඒක ප්ලේ කළා.. ඒක මම ආසම සින්දුවක් "

අනුජ සිය රැවුල්කොට සහිත කම්මුල සෙමෙන් නිර්මලිගේ මුහුණේ ගෙනයමින් පැවසුවේ මත්වූ හඩිනි.

"ඒකට මමත් ආසයි...."

"කෝකටද?"

"සිංදුවට අනේ..."

"ඌයි පිස්සු කෙල්ල කොනිත්තන්න බෑ.. මම දැන් හොඳ වැඩක් කරනවා ඕකට! මාව හුරලා හැමතැනම මරන්නද හදන්නේ ආ.. දැන්ම කපනවා ඔය කොටි නියපොතු! "

අනුජ ඇගේ මෘදු ඇඟිලි තුඩු නොරිදෙන්නට සපනවිට, නිර්මලී ඇඹරෙන්නට වුයේ දැනුනු කිතිය නිසාය. අනුජට පව් සිතුනු බැවින් ඇගේ හිසත්  කොපුලකුත් සිපගෙන දැනුනු හැඟීම් සමනය ගත්තේය.

"... දැන් ඔහොම ඉන්න අනේ හුනේ ගාන්නේ නැතුව.. මේ මෙතනට එන්න.. මෙතනින් ඔලුව තියාගන්න.. හ්ම්ම්"

නිර්මලී හරි බැරි ගැසී අනුජගේ පපුවේ ඈගේ ප්‍රියතම තැනින් හිස තබා ගත්තාය. අනුජ නැවතත් ඇගේ හිසත් නළලත් මත හාදු කිහිපයක් තැබුවේ හිසකෙස් සෙමෙන් අතගාමිනි.

"... ආදරේද මට?"

ඒ වෙනුවට නිර්මලිගේ ප්‍රේමනීය බැල්ම පිළිතුරු සැපයු නිසා සුපුරුදු මනමාල බැල්මෙන් මද වෙලාවක් නිර්මලිගේ වත පුරා සිය දෑස දිවගියේ නිතැතිනි.

".. මම පිස්සෙක් නේද? ඇත්තටම මම පිස්සෙක් වෙලා තමයි.."

නිර්මලී සිනාසෙමින් බලා සිට අනුජට තවත් තුරුලු උනා මිස කිසිවක් පැවසුවේ නැත. 

"... පණ්ඩිත පිස්සු කෙල්ලෙක් මාව පිස්සෙක් කළා.. ආයෙමත් කාටවත් ආදරේ කරන්න බැරි වෙන්නම.. ඔයා දන්නවද බබා..හැමදාම මම ඔයාට අලුතින් ආදරේ වෙනවා. කලින් දවසට වඩා ආදරේ හිතෙනවා. ලස්සන කෙල්ලෝ ඕනෙතරම් මම ආශ්‍රය කරලා තියෙනවා. ඔයා වගේ මට ෆීල් වෙලා නැහැ මැණික.. ඇත්තමයි... මොනවාහරි කියන්නකෝ බබා ඇස්දෙක කරක කරක මාව අවුස්සන්නේ නැතුව.."

"එහෙම නැහැ ඉතින්..."

නිර්මලී දෑස සිහින්කොට ඔහුගේ දෑස දෙසම බලා සිටියාය. අනුජගේ දෑස වෙනස්වන වේගය ඇයට නොතේරෙන්නේ නැත. ඒ නම් හොඳකට නොවේ!

"බබා... ඔයා කවදාහරි මම නැති කාලෙක.. වෙන කෙනෙක් බඳිනවද?"

නිර්මලී විමතියෙන් අනුජ දෙස බැලුවේ ඔහුගේ මුහුණේ ඇඳෙන සිහින් සිනාව තේරුම්ගත නොහැකිවය.

"මොනාද මේ කියන්නේ?? පිස්සු කියවන්නේ නැතුව ඉන්න.. "

නිර්මලී අනුජව තදින් වැළඳගත්තේ හදවත තදින් වේදනා දෙද්දීය.

".. මට වෙන කවුරුත් ඕනේ නැහැ"

අනුජ ඇගේ කොපුලක් මෘදුව පිරිමදිමින් ඇගේ දෑසට එබිගෙනම උන්නේය.

"මම කිව්වේ ඇත්ත.. මම ඔයාට වඩා වැඩිමල්... පොඩ්ඩක් නෙවෙයි ගොඩක්. ඉතින් වෙන මොකක් හරි ලෙඩක් උනේ නැතත් මම ඔයාට කලින් මැරෙයි.. එතකොට ඔයා පව්.."

"අනේ අනුජ.. "

අනුජට මේ කුඩා තරුණිය ගැන ඇතිවුයේ ප්‍රේමයමය. ඔහු සෙමෙන් ඇගේ නිරුවත් පිට අතගෑවේ මෘදු බවිනි. තමන් කෙතරම් ලෝබද කියා දන්නවා නම්...

"ඔයා දන්නවද... ඔයා දන්නේ නැහැ ලිමිට් එකක් එක්ක ආදරේ කරන්න. ඔයා කොච්චර මුරණ්ඩු ළමයෙක් උනත් ඒ රිලේෂන්ශිප් එකට සීයට දෙසීයක් කැපවෙනවා. එහෙම උනාම ඔයා ඔයාගේ ඉලක්ක ; ආස දේවල් ඔක්කොම වෙනස් කරගන්න තත්පරයක්වත් හිතන්නේ නැහැ. එහෙම කැපකිරීමක් හැම කෙල්ලෙක්ම කරන්නේ නැහැ.. ඒක තමයි ඔයාගේ විශේෂත්වය.. ඉතින් ඔයා ඉන්න ඕනේ ඔයාව ඒ විදීයට ඇබ්සොබ් කරන්න පුළුවන් කෙනෙක් ගාව. වැරදි කෙනෙක්ට අහු උනොත්.. පව් ඔයා.."

නිර්මලී බොරුවට රවා අනුජ දෙස බැලුවේ දිලිසෙන දෑසිනි.

'ඇත්ත වෙන්න ඇති... තාත්තා එක්ක ඉන්න කාලේ මම ගුටි කෑවෙම මුරණ්ඩු වෙච්ච හින්දනේ.. අනුජ ගාවදිත් මුලදී මම කොච්චර මුරණ්ඩු වැඩ කලාද.. ඒ උනාට මේ මහත්තයා මාව රවුම් කරලා ගත්තනේ... පුදුමයි එහෙම කොහොමද කලේ?'

"ඔව් ඉතින්.. දණ්ඩ නීති ඔක්කොම දාලා... "

අනුජගේ ඒ දඟකාර සිනාව නිර්මලී අවුලවා දමයි.

"නැතිනම් මේ නෝනා කවුරුහරි ගොබිලෙක් ඩැහැගනීනේ... එහෙම උනානම් මට හුලං තමයි..."

"අනේ යන්න...! මම එහෙම නැහැ හරිද"

" මට හරි ලෝබයි ඉතින්.. ගස්ස ගස්ස ගිහින් පොඩි කොල්ලෙක් අල්ලගනී කියල. ආ බොරුද.. ඉස්කෝලේ ගියත්, ක්ලාස් ගියත් කොහෙන් හරි එකෙක් ඉව අල්ලනවා... ඉතින් ගාඩ් එන නැතිනම් මේ නෝනා යන්න ගිහින්.. එහෙම කොහොමද.. ඔයා මගේනේ... හ්ම්ම්... මැරුණත් මම එයි පෙරේතයෙක් වෙලා මෙන්න මේ වගේ තුරුල් කරගෙන ඉන්න..."

නිර්මලී ගොලුවී ගියාය. අනුජ මදක් ඉහලට එසවී ඇඳ  විට්ටමට හේත්තු වී, සිය දෑතම හිසට පිටුපසින් තබා තමන්ගේ පපුව මත නිකට තබාගෙන තමන් දෙස බලා සිටින නිර්මලී දෙස ඔහුගේ සුවිශේෂී සිනාවෙන් මුව සරසාගෙන බලා සිටියේය.

"... මට යන්න බෑ ඔයාව දාලා.. ඔයා හිතනවද මට වඩා ඉරිසියාකාරයෙක් ඉන්නවා කියල? ආදරේ කියන්නෙම ඉරිසියාවක් තමයි මැණික.. ඒ ආදරේ ඇතුලෙම තියෙන බොන්ඩ් එක තමයි සෙක්ස් කියන්නේ.. කොච්චර ලොකු ටෝක් දුන්නත් ඇත්ත ඒක තමයි. 

කාත් එක්ක සෙක්ස් කලත් අපි නතරවෙන්නේ ඉරිසියාවෙන් ආදරේ කරන කෙනා ගාව. ඇත්තම කිව්වොත් මම මේ හැම දෙයක්ම පරක්කු කලේ ඔයා අතරමං වෙයි කියල. මගේ කියලා කාටවත් දෙන්න බැරුව යනකල්ම ඉවසුවේ ඒකයි. දැන් මට ඔයාව කාටවත් දෙන්න බෑ.. "

පොඩ්ඩ ඇතිනම් තුශාරාගේ ඇඟට ගොඩවෙන, හිමාල් සමඟ සන්ඩුවෙන , පොඩ්ඩක්වත් ඉඩක් නොදී තමන්ට ඕනේ දේම කරන්නට රණ්ඩු කරන අනුජ මෙවන් සියුමැලි චරිතයක් ලෙස දකින්නේ තමන් පමණක් නොවේදැයි නිර්මලිට සිතින. 

"මට ඔයා වගේ කියන්න තේරෙන්නේ නැහැ... ඒ උනාට කවදාවත් මාව දාලා යන්න එපා.. මැරෙයි මම"

'මට ඔයාව කාටවත්ම දෙන්න බෑ .... මට ඔයාව දාලා යන්න බෑ මැණික ..මට ඔයාව කාටවත්ම දෙන්න බෑ ...මට ඔයාව කාටවත්ම දෙන්න බෑ .... මට ඔයාව දාලා යන්න බෑ මැණික '

දෙසවන් තුල දෝංකාර දෙන ඒ ප්‍රේමනීය වචන ප්‍රපාතයක සිටින ඇයට සතර අතින් ඇසෙන්නාක් මෙනි. එකවරම මහා හඩින් නැගෙන තිරිංග හඬකි.

'දඩාන් ' කන් බීරි කරවන තරමේ පිපිරුමක් වැනි ශබ්දයකි.

'අනුජ................... අනේ....................'

මහා හඬින් පුපුරා ගිය යමක් නිසා නිර්මලී සිහින් කෙඳිරියක් නගාගෙන සයනයේ කෙලින් වී හිඳගත්තාය. සර්වාංගයම වෙව්ලන්නේ කම්පනය නිසා බව ඈ දනී. දහදිය දැමු මුහුණේ උඩුතොලට ඉහලින් නැගුන දහදිය බිඳු සිය වමතින් පිසදමු නිර්මලී අසල වූ  බෝතල්කල ජලය උගුරු දෙකක් බිව්වේ හදිස්සියෙන් මෙනි.

කාමරය තුල අඳුර යන්තමින් පරයමින් විවර කල ජනෙල් තිර වලින් සඳේ ආලෝක කදම්බයක් සයනයට වැටී තිබුණු අතර නත්තල් සිරිය නිසා නරගර පුරාම දැල්වෙන විදුලි බුබුළු නිසා ඒ ආලෝකය තවත් වැඩිවී පෙනුනි. 

සිහිනෙන් හෝ දකින අනුජ නොදැක බොහෝ කලක් ගතවී තිබිනද, අද ඔහු සජීවීව තමන්ට දැනුනු සැටි පුදුමය. ඒ සොඳුරු දිනයේ මතකයන් සියල්ලම සැමදාම ඇගේ සිත තුල තිබිණ. 

හාත්පස අහස ආලෝකමත් කරමින් මල්වෙඩි පුපුරා යන්නට වුයේ , නත්තල උදාවුවා යන පණිවිඩයද සමඟය. අද දෙසැම්බර් මස විසි පස්වනදාය!

'Happy birthday my Hero!'

නිර්මලී කඳුළු  පිරෙන දෑස වසමින් සෙමෙන් මිමිණුවාය. වැසුණු දෑස් දෙපියන් වලින් උතුරා ගොස් කම්මුල් ඔස්සේ කඳුළු පාරවල් දෙකක් ඇදී ගොස් ඇතිරිලි වල වැටී අතුරුදහන්ව ගියේය.

එතැන් පටන් නින්දක් නොමැතිව රාත්‍රිය ගෙවූ නිර්මලී උදෑසන අට වනවිට , සිය චිත්ත ධෛර්යය සියල්ල කැටිකොටගෙන හෝටල් පරිශ්‍රයේ භෝජනාගාරයට ඇතුළු වන මොහොතේම, ශාලාවේ කොනක සිටි කතක් අත ඔසවා ඇගේ පැමිණීම සනිටුහන් කරනවා ඇත. 

නිර්මලී කිසිදු චකිතයකින් තොරව නිමන්තිකා සිටි මේසය වෙත ඇවිද ආ අතර, ඇය නොදත් තවත් දෑසක් මේ හමුව දෙස බලාගෙනය.

"හායි නිර්මලී... ගොඩක් ස්තුතියි මගේ ඉල්ලීම පිලි අරගෙන අද නතර වෙච්ච එකට. "

නිර්මලී එයට පිළිතුරු දුන්නේ මද සිනාවකිනි.

-------------------------- මතු සම්බන්ධයි  ----------------------------------

10 comments:

  1. මේක ලියැවුණු හොඳම කොටසක්. ගානට ක්‍රිස්මස් දවසටම අල්ලලා

    ReplyDelete
    Replies
    1. What a co-incident !
      ඔව් නේන්නම්..
      මම කලින් කියලා ඇති අනුජගේ උපන්දිනය තියෙන්නේ නත්තල් දවසේ.
      ගොඩක් ස්තිතියි කමෙන්ට් කරනවට.. [ ඇති යන්තම් එකෙක් හරි කියෝනව]

      Delete
  2. නියමයි. එක පාර කොටස් දෙකක්ම කියෙව්වා. අනේ හැමදාම මෙහෙම දෙක දෙක කියවන්න තිබුන නම් කොච්චර හොඳද.. මන් හිතුවෙ රේසිකා ගේම අත ඇරලා කියල. දැන් ඉතින් නිමන්තිකා සේරම කියයිද මෙයයිට..? මෙයයිට විතරක් නෙවෙයි අපිටත් අනුජ අමතක වෙන්නැති එකනෙ ලෙඩේ. මක් වෙලාද මන්ද. හොල්මනක් හරි වෙලා ඊළඟ කොටසෙන් එයි කියලමයි හිතෙන්නෙ.
    ලියවිල්ල මරු හොඳේ. සුපිරි!

    ReplyDelete
    Replies
    1. එහෙම කියෙව්වේ ඉතින් පරක්කුවෙලා ආපු නිසානේ..
      රේසිකා නේද? නිමන්තිකාත් ඉන්නවනේ ඉතින්... මගෙත් මොළේට සමනල් ගැටේ වැටිලා මේ ගෑනු හසුරවන්න ගිහින්. අනුජ නම් භූතයෙක් වෙලා හරි ගෙන්නගන්න වෙනවා.. හරියන්නේ නැහැ ඉතින්..

      Delete
  3. මංනං දැන් අනාවැකි කියන්නෙ නෑ වෙන දෙයක් වෙද්දෙං කියල බලං ඉන්නව

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා.... දැන් බලන්න ඔයා අසලංකට කෙල්ලව දෙන්න කිව්වා.. ඔන්න එහෙක් කරලා මෙතෙක් කරනකොට ඒක උනා... පොඩි ගෙස් කිරිල්ලක් කරන්න ඉතින් අපතේ යන්නේ නැහැනේ

      Delete
  4. වේරලියද්ද කිව්වාට මං විශ්වාස කලේම නෑ ඒක ඒ තරම්ම ඇත්තක් කියලා ඔබ නිර්මලීව කනවැන්දුම් කරණ තෙක්! "දුකම කොයිතරම් සතුටක්දෝ?

    ReplyDelete
    Replies
    1. වේරලියද්ද කියපු තව දේවල් තියෙනවා.. වැඩිය විස්වාස කරන්ඩ එපා... දුකත් එක්තරා රසයක්.. ඒ විරහ දුක තමයි ගොඩක් මිනිස්සු කවියෝ , රචකයෝ කරන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න ඉතින්

      Delete
  5. ඇත්තටම අනූජ නැති දුක විඳගන්න අපි පුරුදු වෙලා!

    ReplyDelete
    Replies
    1. වෙන්නත් ඇති... ඒ නිසාමද මන්දා අනුජ නෑ කියලා කතාව ඉවර නොවෙන්නේ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...