Friday, December 17, 2021

287: උන්මාද චිත්‍රාදෝ මා 19

 



රුපලාවන්‍ය ව්‍යාපාරයට සිය ඉතිරි කාලය වැයකළ නිර්මලිට මීනාගෙන් ලැබුනේ නොමද සහයකි. ඊට අමතරව පළමු වසර අවසානයේ පැතූ තරම් ලාබයක් ලබාගත නොහැකි වුවද අනුජ ඇරඹු හෝටල් ව්‍යාපාරය නිර්මලී අත නොහැරම සිටියාය.

"නෑ අය්යා.. මේක අනුජගේ වැඩක්... අපි තව අවුරුද්දක් බලමු.. මම ලෝන් එකක් බලන්නම් බෑන්ක් එකෙන්"

නිර්මලී එසේ කියමින් උත්සාහය අත්නොහැරම සිටි නිසා, නැවත බැංකු ණයක් ලබාගෙන දෙවන වසර අග වනවිට ඇගේ වෙනස්කම් වලින් පන ගැන්වී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක නවාතැන් දහය අතරේ වැජඹෙන තත්වයට පැමිණීම හිමාල් සතුටින් බලා සිටියේය. 

නිර්මලී කාර්යක්ෂම, බුහුටි පාලිකාවක් ලෙස ඒ සියල්ලම මනා ලෙස හැසිරවුවාය. නැගී එන ව්‍යවසායිකාවන් අතරේ ඇගේ නම ඉඳහිට සඳහන් වන්නට පටන් ගන්නේ එබැවිනි. 

හෝටල් ව්‍යාපාරය හිමාල් සිතුවාට වඩා නිර්මලිගේ පැෂන් එක වී ඇති සැටියකි. වයසින් අඩු නිසාත්, ගැහැනියක් නිසාත් විටෙක ඈට ආ අභියෝගාත්මක අවස්ථාවන් වලදී හිමාල්ගේ උදව් ගත්තද, නිර්මලී ඒ ඒ තැන් වලදී බුද්ධිමත් වුවාය. සංචාරක ප්‍රවර්ධනයට ඇතිවූ පිබිදීම නිසා හිමාල්ගේ හෝටල් පද්ධතියද ඉතා වේගයෙන් සිය ව්‍යාපාර ජාලය විහිදුවමින් සිටි අතර ඔහුට විදෙස් ආයෝජකයින් සිය හෝටල් ජාලයට ආරාධනා කළහ.

අනුජ සිටියානම් නිර්මලිගේ මේ සාර්ථකත්වය ගැන වඩාත්ම සතුටු වනු ඇත්තේ ඔහුයි ! හිමාල්ට එසේ සිතුනු වාර ගණන අනන්තය.

නව වසරක් උදා වුයේ හිමාල් සහ දුලීකා දෙපළ දෙමවුපියන් කරමිනි. ඉතා බුහුටි කුඩා පුතු දුටු මොහොතේම නිර්මලී ඔහු හා තදින් බැඳුණාය. කුඩා අකිත් , නිර්මලී ආන්ටි හා ඒ සාම බැඳී සිටියේය. 

"නිර්.... උඹ තමයි මගේ කොල්ලව නරක්  කරන්නේ !"

දුලීකා සැමදාම එසේ පැවසුවත් , නිර්මලී කුඩා අකිත් කෙරෙහි දක්වන ලැදියාව ගැන දුලීකා සිටියේ සතුටිනි. තම පුතු සුරතල් කරන සෑම මොහොතකම ඇගේ සිත තුල දැවෙමින් පැවතියේ නිර්මලී නොදත් ඒ රහසයි.

"හිමා මේ කෙල්ල පව්.... මගේ පපුව පත්තු වෙනවා අකිත් එක්ක සෙල්ලම් කරනකොට"

දුලීකා එසේ පැවසුවේ පැන්ට්‍රි කොටසට ගොස් අකිත්ගේ කෑම සකස් කරමිනි. නිර්මලී සිටියේ සාලයේ කුඩා අකිත් ඔඩොක්කුවේ තබාගෙන ගීතයක් මුමුනමිනි. හිමාල් හිස හරවා නැවතත් නිර්මලී දෙස බැලුවේ බරවූ සිතිනි.

"තාම පොඩි කෙල්ලනේ... එක අතකට බබෙක් නැතිව ගියපු එක හොඳයි... නැතිනම්.."

හිමාල් කියන්නට ආ දේ ගිලගත්තේය. දුලීකා ඔහුගේ වමතේ එල්ලුනේ ඒ සා වේදනාවකිනි.

"හිමා... මේ කෙල්ලට ගැලපෙන කෙනෙක් හොයලා අපි බන්දලා දෙමු.. පව් දෙවියනේ තාම වයස කීයද ? බබෙක් හම්බුනාම එයාගේ කරදර ඔක්කොම අමතක වෙයි. කිසිම දුකක් කියන්නෙත් නැහැ.. ගහක් ගලක් වහේ කොහොම ඉන්නවද කියලා හිතෙනවා හිමා..."

"බඳින්න.... හ්ම්ම්... බඳින්න නම් කිදෙනෙක් ඇහුවද.. බඳින්න තියා කිසිම කොල්ලෙක් දිහා බලන්නේවත් නැහැනේ."

"නිර්මලී ලස්සනයි... තාම පොඩි කෙල්ල.. එදා පත්තරෙන් ඇවිත් කරපු ඉන්ටවිව් එකෙත් උන් අහන්නේ ඒවා.. "

"චඃ... එහෙම තමයි දුලි.. සින්ගල්වට ඉන්න එක ලේසි නැහැ.. ඊටත් නිර්මලී වගේ කෙල්ලෙක් එහෙම ඉන්නකොට එක එකා කතන්දර කියනවා.."

"ඊයෙත් මම ෆ්ලැට් එකට යනකොට අනුජගේ ඇඳුම් ගොඩේ පෙරලිලා ඉන්නවා.. මම දැක්කේ නැහැ වගේ හිටිය.."

දුලීකා එසේ කියද්දී, හිමාල් සුසුමක් හෙළුවේ සිතාමතාම සිය ලය සැහැල්ලු කරගැනීමටය.

"පුළුවන් නම් කතාකරලා බලන්න දුලි... කෙල්ල තනිවෙනවා... "

"මම දවසක් දෙකක් වචනේ දාලා බැලුව. මේකි තාම අනු මත්තෙමයි.. අනේ මන්ද හිමා"

දුලිකාට පසුගිය දින කිහිපයේ තමන් ආරම්භ කරන්නට උත්සහ කල සංවාද අවස්ථා මතකයට නැගුණි. නිර්මලී එම සංවාද තුට්ටුවකට හෝ මායිම් නොකලාය. 

"දැන් අවුරුදු කීයක් උනාද නංගි... ඔයා තාම පොඩි කෙල්ලෙක්නේ... අනු අපේ යාලුවා තමයි. ඒත් දැන් මොකක් කරන්නද.. ඇත්තට මුහුණ දෙන්න දරුවෝ..."

නිර්මලී කිසිවක් නොකියා ඈ නිරතවෙමින් සිටි කෑම පිඟන් සේදීමේ කාර්යය කරමින් නෑසුණු කන් ඇතිව සිටින්නීය. සතියට අවශ්‍ය භාණ්ඩ රැගෙන එන්නට පොඩිනා වීරසිරි සමඟ පිටතට ගොස් සිටි නිසා සංවාදය කරන්නට බාධාවක් නොවේ. 

දුලීකා පැමිණ නිර්මලී අසලින්ම සිටගත්තේ ඇගේ මුහුණ දෙස කෙලින්ම බලමිනි.

"... ජිවිතේ ඉස්සරහට යන්න ඕනේ නිර්... ඔයා ඔහොම ඉන්නේ හංගගත්ත දුකකින් කියලා මම දන්නවා.. පොඩ්ඩක් අඬන්න නිර්... ඔයාගේ හිතේ තියෙන දුක ටිකක් පිටකරගන්න"

සෝදමින් සිටින භාජනය සින්ක් එකට අතහැරි නිර්මලී මහා හඬින් හඬමින් තමන් බදාගත් විලාසය දුටු දුලිකාගේ නේ තෙත් වී ගියේ නිරායාසයෙනි.

"ම.. මට... මට අනුජ නැතුව ජිවත් වෙන්න දන්නේ නැහැ අක්කා.... මට හුස්ම හිරවෙනවා වෙලාවකට "

එය විලාපයක් ලෙස තමන්ගේ දෙසවන් පුරා රැව්දුන් ආකාරය දුලිකාගේ සිත තවත් සොවින් බර කළේය.

"අර.. අසලංකයා.. මම හිතන්නේ තාමත් නිර්මලී ගැන හිතාගෙනමයි ඉන්නේ.."

හිමාල් සිහිකලේ පෙර දිනයකදී , නිර්මලිගේ හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුත්තක් බාරගත් අසලංකගේ ඉදිකිරීම් ආයතනයේ වැඩ බලන්නට පැමිණ සිටි අසලංක , නිර්මලී දෙස බලාසිටි ආකාරය දැකීමෙනි. ඔහුගේ ඇස තිබුනෙම නිර්මලී පසුපසිනි. ඊටත් ඔහු දින කීපයක්ම එහි පැමිණි බව කළමනාකාරවරයා විසින් සහ තුෂාරා අතින් කියැවිණි. 

අනුජ තරම් පැහැපත් නොවුනත් ඔහුට ඇත්තේ කඩවසම් පෙනුමකි. 

"අසලංක කියන්නේ අර.. රේසිකා.."

"ඔව්.. ඒ දවස්වල ඌ මාර විදියට අප්සට් ගියා රේසිකාගේ ගැටේට අහු උනා කියලා... මගේ ගාව පොඩි එකෙක් වගේ ඇඩුවා වෙච්ච දේට සමාවෙන්න කියල. මම ඔයාට කිව්වේ...  ඌ එහෙම නරක කොල්ලෙක් නෙවෙයි. මේ ළඟදී ගෙයක් හැදුවා පාලිමන්ට් එක ගාව. නිර්මලිට මේ බිස්නස් වලටත් මාර සපෝට් එකක් දෙන්නේ. උන් දෙන්නා මැච් වෙනවා.. කොහොමත් අසලංක ඉස්සර ඉඳලම නිර්මලිට ඉන්ටෙරෙස්ටෙඩ්.."

දුලීකා කල්පනා කළාය.

"ඔය කියන්නේ... ආ.. ඔව්.. මෙයාගේ සිමා බැච් එකේ නේද? ලාස්ට් ටයිම් නේහාගේ බර්ත්ඩේ පාටි එකට ගිහින් මම පික් කරන්න ගියා... ඌ හෙන ලොකු සීන් එක කියලා එතන කෙල්ලෙක් කිව්වා මට ඇහුනා , නිර්මලිව කා එකට බාරදෙන්න ආවෙත් ඌ"

"ඔයා ටිකක් නිර්මලිට කතාකරන්න දුලි... බිස්නස් එකත් දැන් ගානට යනවනේ. අනික... අංකල් උනත් දැන් ඉස්සර වගේ මට කෝල් කර කර වාත කරන්නේ නැහැ... ඇති මේ ගමනායක ඩ්‍රාමා..  නිර්මලිට එයාගෙම ලයිෆ් එකක් ඕනේ.. "

කතාබහ නතර වුවේ නිර්මලී කුඩා අකිත් වඩාගෙන පැන්ට්‍රි එක දෙසට ආ බැවිනි. නිර්මලී අත සිටි අකිත් කිරි බොන්නට පමණකි දුලීකා සොයන්නේ. 

"අක්කි... මම අද වත්තල යනවා තව ටිකකින්... ඒ එක්කම අර ළමා නිවාසේටත් ගිහින් එන්නම්.. අලුතෙන් ඉන්ටවිව් එකෙන් සිලෙක්ට් වෙච්ච ළමයි වගයක් ඉන්නවා.. මට එයාලව බලන්න ඕනේ.. ජීප් එකේ ගිහෑකි "

අකිත් දුලීකා අතට දුන් නිර්මලී එසේ කියා සිය වේදනාත්මක මුහුණ යන්තමින් සඟවා ගන්නට මෙන් ශීතකරණය විවරකර ඇපල් යුෂ බෝතලය අතට ගෙන එය වීදුරුවකට වත්කලාය.

"අද වීරසිරි නෑනේ.. හෙට යන්න නංගි.. මට අද හවස දාගත්ත මිටින් එකක් තියෙනවා ලයන්ස් ක්ලබ් එකේ.. "

පිළිතුර දන්නා නමුත් හිමාල් එලෙස පැවසුවේ නිර්මලිට තනිවම යන්නට ඉඩදිය නොහැකි නිසාය. ඔහු වහා දුරකථනය අතට ගත්තේ කෙටි පණිවිඩයක් යවන්නටය. 

"අද යන්නම ඕනේ අය්යා.. අද මමා ගේ බර්ත්ඩේ එක"

නිර්මලිගේ හුස්ම හිරවනවා සේ දැනුනේ ඇයිදැයි හිමාල් දනී. අනුජගේ මවගේ උපන්දිනයට සහ අවමංගල්‍ය සැමරුමට සැම වසරකදීම නිර්මලී ඇගේ සොහොන අසලට යන්නීය. එය අනුජ සමඟ නොනවත්වා පවත්වාගෙන ආ ක්‍රියාවකි. එසේ යන ඇය දැන් අනුජගේ සොහොන අභියස හිඳ වරුවක්ම හඬා වැලපෙන බව ඔහු දනී.  මේ යන්නේ එලෙස වැලපෙන්නට බව කිවයුතු නොවේ. 

එවන් ගමනක් නිර්මලී තනිවම යවන්නට නොහැකිය. යැවු පණිවිඩයට පැමිණියේ ඇමතුමකි.

"පොඩ්ඩක් මෙයාව පරක්කු කරවන්න.. මම ටක් ගාල එන්නම්"

දුලිකාට රහසෙන් මෙන් කියූ හිමාල් දුරකතනයට ආ ඇමතුමට පිළිතුරු දෙමින් එතනින් ඉවත්ව ගියේය.

"අය්යා.. මොකද්ද සීන් එක?"

දුරකතනයේ අනෙක්පස කටහඬ ඇසුවේ කලබලයෙනි.

--------------------------------------------------------



 ".. තැන්ක්ස් අසා... "

නිර්මලී බරවූ සිය නාසය පිසිමින් , අවුල්වූ සිය කෙස් සකස්කරමින් තරමක් සන්සුන් වීමට උත්සහ කරමින් පැවසුවේ අසලංක දෙස නොබලාමය.

"ඉට්ස් ඕකේ..."

"and sorry for the trouble "

නිර්මලී අපහසුවෙන් සිනාසෙමින් පැවසුවේ තමන්ගේ බොළඳ හැසිරීම ගැන හදිසියේ ඇතිවූ ලැජ්ජාව මැඩගනිමිනි.

"පිස්සුද නිර්... මට කිසි කරදරයක් නැහැ.."

නිරායාසයෙන්ම අසලංකගේ වමත නිර්මලිගේ හිස මුදුනේ රැඳවූණි. අනතුරුව ඔහු වහා එය මුදවා ගත්තේ යමක් සිහිවීමෙන් මෙනි. නිර්මලී නොසන්සුන් වූ වත පසෙකට හරවා ගත්තාය.

".. ඔහොම අඬ අඬ ගිහින් ෆ්ලැට් එකේ තනියෙන් ඉන්නවට මම කැමති නැහැ නිර්.. නැතිනම් අඬන්නේ නැතුව ඉන්න දැන්"

ලයට තදකරගෙන ඇගේ දුක බෙදාගන්නට සිතෙන එකසිය එක්වන වතාවද මැඩගනිමින් අසලංක එලෙස පැවසුවේ නිර්මලිගේ ඉරියව් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරමිනි. 

මිට අඩහෝරාවකට පෙර අනුජගේ සොහොන අභියස බිම පෙරලි ඈ සිටි අයුරු දැක තමන්ට නැගුනේ කවර ආකාරයේ ශෝකයක්දැයි වෙන්කර හඳුනාගත නොහැකි වුවද එය දැකීමෙන් හදවත ගැස්සී ගිය බව සැබෑවකි.

මේසා තමන්ගේ පෙම්වතා වෙනුවෙන් වැලපෙන පෙම්වතියක්? 

හිමාල්ගේ ඉල්ලීමකට තමන් නිර්මලී සමඟ මෙම ගමන එන්නට එහි යනවිටත් නිර්මලී පිටත්ව සිටි නිසා පණිවිඩය ලද සැනින්ම තමන් මෙතැනට පැමිණෙද්දී දෙවරක්ම එන්නට සිදුවුයේ නිර්මලී ගමන අතරමග ළමා නිවාසයට යාම නිසාය. ඇය අනතුරක් කරගෙනද කියා තමන් බයවූ තරමක්!

ඇති තරම් ඇයට හඬන්නට දී පසෙකට වී බැම්මක් මත හිඳගෙන සිටි ඔහුව නිර්මලී දුටුවේ ආපසු නැගිටින මොහොතේය.  

" අසලංක මොකද මෙහෙ ආවේ ?"

නිර්මලිගේ ස්වරයෙන්ම ඇගේ මූඩ් එක වෙනස් වූ බව අසලංක හඳුනා ගත්තේය. ඇයට ඇති අමනාපය , ලැජජාව නිසා වන්නට ඇත. ඇය පිටතින් පෙනෙන තරම් ශක්තිමත් නොමැති බව අසලංක දනී. ඈ දනී-පනී ගා සිටි තැනින් නැගිට හැඳ සිටි ගවුම සකස්කරගෙන බරවූ නහය ඉහලට ඇද්දාය.

"ඔයා තනියෙන් නිසා ආවේ. ඇයි මේ ඩ්‍රයිවර් නැතුව ආවේ? කැබ් එකේ ආවට යන විදියක් හිතුවද?  "

තමන් ඒ මොහොතේ හිතුවක්කාර ලෙස පැමිණි බව දන්නේ හිමාල් හෝ දුලීකා පමණි. එසේ නම් එය අසලංකගේ කනේ තැබුවේ ඔවුන්ද?

"... රෑ වෙලා එහෙ මෙහෙ යනවා නම් ඩ්‍රයිවර් එක්ක හරි කවුරුහරි එක්ක යන්න නිර්මලී.. තනියෙන් එහෙම යන්න එපා... දැන් රෑ වෙලත් එක්ක.. යමු.. මම ඩ්‍රොප් කරන්නම් එහෙනම් ගෙදරට"

ඔහුගේ මෘදු හඬින් පෑරුණු සිතැති නිර්මලී, ඉන්පසුව අලුත් වූ හැඩුමෙන් පසුව කියවන සියල්ලමත් අසමින් පැයක් පමණ ගතවූ පසු, මදක් නිවී යනතුරුම අසලංක ඉවසා සිටියේ කිසිවක්ම නොකියාමය. ඈ මේ සමාව යදින්නේ එනිසා වන්නට ඇත.

ලයපුරා ගත් සුසුමක් පාකර හරිමින් නිර්මලී ඈතක දෑස රැඳෙව්වාය.

"අපි කොෆි එකක් බීලා යමුද?"

"නෑ අසලංක... මම හොඳින්... ගෙදර ගියොත් හොඳයි මම... "

පල්ලිය අසල පාරේ නිර්මලිට ඉස්සර වන්නට සන්කොට , අසලංක ඈට පසෙකින් ඇවිද ගියේ දෑතම සාක්කුවේ රුවාගෙනය. පල්ලියේ සොහොන්කොත් පසුකොට එමින්, පඩිපෙළ බසින කොටසට ආ පසුව නිර්මලී හිස ඔසවා අසලංක දෙස බැලුවාය.

"තැන්ක්ස් ආවට..."

එහි වුයේ අහිංසක ස්තුතියකි. තමන්ගේ සිත ඈ හඳුනනවා නම් ඈ සමඟ කෙතරම් ඒ දුක බෙදාගන්නට තමන් කැමතිද කියා තේරුම් ගන්නවා ඇතැයි අසලංක සිතුවේය. 

සුදුපාට ගවුමක් හැඳ , චාම් සෙරෙප්පු යුවලක් දමාගෙන සිටින නිර්මලිගේ ගෙල පැළඳි සිහින් රිදී චේන් පොට හැඩවී තිබුනේ අනුජ විසින් ලබාදුන් මියුසික් නෝට් එකක් සහිත පෙන්ඩන්ට් එකකිනි. අනුජ ලබාදුන් දියමන්ති මුදුව තවමත් ඇගේ වමතේ වෙදඟිල්ල මත දිලිසේ. මුදු මුදු කොණ්ඩය අනතුරෙන් පසුව කෙටිව වුවද තවමත් ලස්සනය. අසලංක ඉදිරියෙන් ඇවිද යන ඒ රුව නිහඬව වින්දේය.

පඩිපෙළ අවසානයේ අසලංක සිය රථයේ ඉදිරි දොර නිර්මලිට විවර කොට දුන්නේ ඈ වෙත හොරැහින් දෑස රඳවාගෙනය. අනුජ ගැන තමන් තුල තිබුණු ඊර්ෂ්‍යාව තවමත් සිඳී ගොස් නැත. 

නේහා පැවසුවේ ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගෙන සිටියා කියා පමණකි. නමුත් ඊට වඩා තොරතුරු දැනගත් පසුව තමන් විසින් එල්ලකළ අනවශ්‍ය පීඩනය ගැන ඔහු ලැජ්ජාවට පත්ව සිටිමුත්  අහේතුකව සිත ඇගෙන් මිදෙන්නේම නැත.

රථයේ නිර්මලී හිඳගත් පසුව ඔහු අනෙක්පසින් ගොස් රියදුරු අසුනට නගින අතරතුර නිර්මලී සිය දුරකථනය ක්‍රියාත්මක කළාය. හිමාල් සහ දුලිකාගෙන්ද නේහාගෙන්ද ඇමතුම් දුසිමකට වඩා තිබිණ. නිර්මලී ඔවූන්ට කෙටි පණිවිඩයක් ටයිප් කොට යැව්වාය.

'I am on my way' 

අනතුරුව දුරකථනය බෑගයට දමා දෑතම හකුලා ගත්තේ සිසිලසක් දැනුන බැවිනි.

"ඒසී එක වැඩිද?"

රථය මාර්ගයට ගනිමින් අසලංක ඇසුවේ නිර්මලී දෑතම බැඳගෙන හුන් අයුර දැකීමෙනි. නිර්මලී අහිංසකව සිනාසුන නිසා අසලංක වායුසමීකරණය මදක් උෂ්ණත්වය වෙනස් කර වෙනත් පසෙකට හැරෙව්වේය.

"...නිර්... හොටෙල් එකේ වැඩටික කලින් ප්ලෑන් කරපු දවසට සතියක් පරක්කු වෙනවා කිව්වා.. තුෂාරා කිව්වද?"

අසලංක මාතෘකාව වෙනස් කිරීමටත්, සංවාදයක් ඇරඹීමටත් සිතා , තමන් දැනටමත් දන්නා කාරණාවක් මතක් කල නිසා නිර්මලි හිස වනා එය පිළිගත්තාය. 

"තැන්ක්ස් අසලංක... ඔයා හැමදෙයක්ම බැලුවා කියල තුෂාරාත් කිව්වා"

"ඒ හොටෙල් එක හරි ලස්සනයි... මට තුෂාරා කිව්වා ඒවා ඩිසයින් කලේ ඔයා කියල.. ඇත්තද?"

නිර්මලී අපහසුවෙන් මෙන් සිනාසුනාය. අසලංක සිය නෙත් කොනෙන් නිර්මලිගේ රුව වින්දේ හොරෙන් මෙනි.

"නෑ.. අනුජ එක්ක මම සිලෙක්ට් කලේ.. ඒක එයාගේ ඩ්‍රීම් එකක්"

"හ්ම්ම්"

අසලංක මදක් ගොළුව ගිය අතර දුරකථනය නද දුන්නද එය දෙස නොබලාම ඇමතුම විසන්ධි කළේය.

".. එතකොට ඔයාගේ ඩ්‍රීම් එක මොකක්ද නිර්?"

එකවරම නිර්මලී අසලංක දෙස බැලුවේ , අසලංකගේ දෑස හමුවන මොහොතකයි. තත්පරයක් පමණ ගතවී ඔහු නැවතත් පාරට නෙත් යොමුකළේ ඈ වෙත හෙලු බැල්ම වෙනස් නොකරමය.

නිර්මලී ඒ වචන ඔස්සේ සිතන්නට විය. ඇත්තටම මොකක්ද මගේ සිහිනය? එහෙම සිහිනයක් මට නැහැ නේද? නිර්මලී එයට පිළිතුරක් දෙන්නට උනන්දු වුයේ නැත.  අසලංකට පැමිණි ඊළඟ දුරකථන ඇමතුම ඔහුට මගහැරගත නොහැක.

"කියන්න අම්මා?"

අනෙක්පසින් කතාකල අසලංකගේ මව ඔහුට කුමක් හෝ දෙයකට දෙහි කපනවා ඇසුනමුත් නිර්මලී එයට සවන්දෙන්නට ගියේ නැත.  මවගේ ගෝරනාඩුව සිය හෑන්ඩ් ෆ්‍රී එකෙන් පිටතට නොයන බව දන්නවා වුවද, හොරැහින් නිර්මලී දෙස බැලු ඔහු , නිර්මලී අසාගෙන නොසිටින නිසා මදක් සැහැල්ලු වී මෙම සංවාදය ඉක්මනින් නිමකරන්නට යත්න ගත්තේය.

".. හරි අම්මා.. මම ආවහම කතාකරමු.. දැන් මම ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ..."

ඇමතුම විසන්ධි කරගත් සැනින් රථයේ වේගය වෙනස් වූ බව නිර්මලිට වැටහුනේ අසලංක කුමක් හෝ යමකට කලබල වී ඇති බවක් දැනුන නිසාය. 

"මාව කොළඹින් දාන්න.. අසලංකට.."

"පිස්සුද? මම ඔයාව එහෙම මග දාලා යන්නේ නැහැ!"

අසලංකගේ ස්වරයේ තිබුනේ තරමක නොරිස්සුමකි. නිර්මලී නිහඬව විදුරුවෙන් ඉවත බලාගත්තාය. තත්පර කිහිපයක් ගෙවුනේ නිහඬවමය.

"..සොරි... මම කලබලෙන් ඉන්නේ... අම්මා මගේ ඔලුව අවුල් කළා.."

අසලංක සමාව ඉල්ලුවේ මෘදු හඩිනි. 

"it's ok "

නිර්මලී ඒ ගැන විමසන්නට උනන්දුවක් නොමැතිවම කියූ නිසා අසලංක සැලකිල්ලෙන් ඈ දෙස බලන්නේ සංඥා එළි වලට වාහනය නතරවූ මොහොතේය. ඔහුගේ සිත එකවරම දිව යන්නේ අතීතයටයි.

තමන් කෙතරම් නිර්මලිට ප්‍රේම කරනවාද? අනුජට මෙතරම් ප්රෙමකරනවා දැක දැකත්??? සිමා පන්ති තිබෙන දිනවලදී අනුජ ඉඳහිට ප්රානිභුර්තව නිර්මලී රැගෙන යද්දී, ඇගේ මුහුණේ ඇඳෙන ඒ සුවිශේෂී සිනාව... ඊටත් ඈ බුහුටි සහ දක්ෂ තරුණියකි. රුපයටත් වඩා තමන්ගේ සිත ගත්තේ ඇගේ ඒ පෞර්ෂයයි. 

නැවතත් දුරකථනය නාදවද්දී අසලංක නොසන්සුන් වූ නමුත් පිළිතුරු දෙන්නට උත්සුක වුයේ නැත. වාහනයට සම්බන්ධකොට තිබුණු නිසා අහම්බෙන් මෙන් එය ඇස ගැටුන නිර්මලී දුටුවේ එහි ඇති තිරයේ දිස් වු 'අසේකා' යන නමයි. නිර්මලී වහා සිය නෙත් එයින් ඉවත්කොට ගත්තේ ඇයට එය අදාළ නොවන නිසාය.

වාහනය නිවාස සංකීර්ණයට ළඟාවනවිට නිර්මලී සිටියේ මීනා සමඟ වූ ව්‍යාපාර දුරකථන සංවාදයකයි. දුරකථනය කනේ  තබාගෙනම ඈ අසලංකට අභිනයෙන් පැවසුවේ කෝපි බොන්නට පැමිණෙන ලෙසයි. නැතිනම් තමන්ට කල උපකාරයට ප්‍රති උපකාරයක් ලෙසයි එය අශෝභන නිසාය. අසලංක නිහඬව එය අනුමත කර, මදක් පමාව නිර්මලී පසුපසින් වැටි සිය දුරකතනයෙන් මව ඇමතුවේ පොරොන්දු වූ පරිදිය.

"පොඩි පුතා මොනාද මේ කරන විකාර වැඩ? දැන් අර ළමයා ඇවිත් පැයක් වෙනවා.. මොන කෙහෙල්මලක ගියාද හදිස්සියේ? ඔෆිස් එකෙන් කිව්වා දැන් පිටත්වෙලා පැය තුනකට වැඩියි කියල.. ඇත්තටම පොඩිපුතා ඔයා මගේ ඉවසීම ටෙස්ට් කරනවද.. ආ??"

දුරකතනයට පිළිතුරු දුන් වහාම ඔහුගේ මව චට-පට ගාමින් කියවන්නට වුවාය.

"යාලුවෙකුට හදිස්සියක් වෙලා එහෙ ගියා.. මොකද මේ බෙරිහන් දෙන්නේ?"

"බෙරිහන් දෙන්නේ? අමාරුවෙන් හොයාගත්ත මේ කෙල්ලව මෙහෙම රස්තියාදු කලාම මම කොහොමද අර මඩුගල්ලලට ආයේ මුණදෙන්නේ ? ඔයා හිතනවද ගෑනුලමයි ඔයා එනකල් පැය ගණන් බලාගෙන ඉන්නවා කියල? ඒ ළමයාගේ කෝල්ස් වලටවත් ආන්සර් නොකළේ?"

අසලංක තුල නැගී ආවේ තදබල නොරිස්සුමකි.

"පැය ගණන් බලාගෙන ඉන්න බැරිනම් ආපු අතක් බලාගෙන යන්න කියන්න. කෝල්ස් වලට අන්සර් නොකළේ ආන්සර් කරන්න බැරි හින්දා... මම එන්න තව රෑ වෙනවා.. එයාට යන්න කියන්න ගෙදර"

ඇමතුම විසන්ධි කොට ආවේගයෙන් හුස්ම ඇල්ලු අසලංක හිස ඔසවනවිට දුටුවේ තමන් එනතුරු සෝපානය නතර කරගෙන සිටින නිර්මලිය. ඇමතුම විසන්ධි වීමත් සමඟම අසලංකගේ මවගේ හුස්ම හිරවුනාක් මෙනි.

'ආපු අතක් බලාගෙන යන්න කිව්වා?? මේ කොල්ලට දෙවියන්ගේ හාල් කැවිලද? මේ කතාකරන්නේ මඩුගල්ල ගෘප් එකේ එකම දුව අසේකා මඩුගල්ල ගැන නේද? ගෙදර ආපුදෙන්කෝ මම බලාගන්න'

තමන් මෑතකදී සිය මවට කතාකල  නරකම ආකාරය එය නොවේදැයි අසලංකට සිතුනේ තරමක පසුතැවිමක්ද සමඟිනි. නමුත් ඔහු මද සිනාවකින් යුතුව නිර්මලී නවතාගෙන උන් සෝපානයට නැග සයවන මහළ සඳහා වන බොත්තම එබුවේය.

------------------------------------------------------------

අතිශය කාර්යබහුල සති කිහිපයක් ගෙවීගියේ මහත් වේගයෙන් මෙනි. ඒ සතිය අතරතුර කිහිප වතාවක්ම නිර්මලී හමුවුවද , ඒවා සියල්ලම රාජකාරි සහ ඉතා කෙටි හමුවීම් විය. හිමාල් දෙතුන් වරක් කතාකොට ඉදිරියේ එළඹෙන සතියේ යෙදෙන කුඩා අකිත්ගේ පළමු උපන්දින සාදය මතක්කොට සිටි නිසා අසලංක සිය වෙනත් මිතුරියකට කියා සුදුසු තෑග්ගක් පිළියෙළ කරගත්තේය.

මේ වනවිට ඔහුගේ නිවසේ තත්වය සෝචනීය විය. අසේකා මඩුගල්ල සඳහා තමන් ලබාදෙන අවධානය මද බවත් , මේ යෝජනාව ඉහිරවාගතහොත් තමන්ට හොඳ පාඩමක් උගන්වන බවත් කියමින් සිය මව නිවසේ යුද්ධ ප්‍රකාශකොට සිටි නිසා නඩුව අසන්නට සිය සොයුරියට කැනඩාවේ සිට හෝරාවක ඇමතුමක් දෙන්නට සිදුවිය.

"අය්යෝ අක්කා... අම්මට පිස්සු... මට දැන් කෙල්ලෝ වෙනුවෙන් වැයකරන්න කාලේ නැහැ... අනික මට තව හිතන්න ඕනේ"

සිය සොයුරාගේ කරුණු දැක්වීම එලෙසම බාරගන්නට මනාපයක්ද නොවුනත්, ඈ ඉවසීමෙන් මේ අවනඩුව අසාගෙන සිටියේ මේ ඇමතුමෙන් පසුව වහාම සිය මව අමතා තත්ත්ව වාර්තාවක් ඉදිරිපත්කලයුතු නිසාය.

"මල්ලා මේ... මට සුදුලුනු පොඩිකරන්න ඕනේ නැහැ.. තාම අර කෙල්ල නේද ඔලුවේ?"

එයට එකවරම පිළිතුරක් දෙන්නට අසලංක ඉදිරිපත්වුයේ නැත.

"ඔන්න ආයෙත් පටන් ගත්තා... දැන් ඔයා බැඳලද මට තොණ්ඩුව දාන්න හදන්නේ ආ?"

"මම මේ තාම ස්ටඩි කරනවානේ..  අම්මා කැමති උනානේ මම PhD එක ඉවර කරනකල් මට කරදර කරන්නේ නැහැ කියල.. අනික මට දැනටමත් ඩේට් දෙක තුනක් තියෙනවා.. තමුසෙට දැන් තිස් පහයි. කෙල්ලෙක් හොයාගත්තට කමක් නැහැනේ.. ඇත්ත කියනවා... අර කෙල්ල ගැන නේද තාම මේ නහින්නේ?"

අසලංක කුමක් කියන්නදැයි මදක් කල්පනා කලේ , මෙයින් එක්තරා කොටසක් අම්මාගේ කනට යන බව දැනගෙනය.

"එහෙම නැහැ හලෝ... ඒ කෙල්ලට තාම විසි අටයි. තාම ඉන්නේ අප්සෙට් එකේ"

"So ?"

"So කියන්නේ ඉතින් එච්චරයි!

"ඇත්ත කියනවා... මම ඒ කෙල්ලව දැක්කා තමුසෙගෙ යාලුවෙක්ගෙ බර්ත්ඩේ පාටි එකක දාල තිබ්බ එෆ්බි පින්තුරවල.. හැම එකේම තමුසේ ඉන්නේ ඒ කෙල්ල ගාව. දන්නවනේ අපේ අම්මගේ හැටි.. ඒ කෙල්ලට කැමති වෙන්නේ නැහැ හලෝ.. ඕක අතෑරලා අර අසේකා එක්ක කතාබහ කරලා අඳුනගන්නවා පිස්සු නැතුව."

අසලංක එකවරම කිසිවක් නොකියා සුසුමක් පාකර හැරියේය.

".. අනික.. මල්ලා.. තමුසේ අපේ පවුලේ බැක්බෝන් එක වගේ. තාත්තා නැති උනාම අම්මාවයි මාවයි ගොඩදාගෙන මේ ආපු හැටියට, තවත් කොප්ලිකේටඩ් රිලෙෂන්ශිප් එකකට යන්න එපා හලෝ.."

"ඒ උනාට අක්කා.... නිර් තමයි මගේ හාට් එකට දැනුන කෙල්ල.. අමතක කරන්න අමාරුයි"

"ඔහ.. මයි.. ගෝඩ්.. තමුසේ මාව බයකරන්ඩ එපා දැන්... පිස්සු නැතුව අසේකා පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න. තමුසෙට ඕනේ පිස්සු නම් කෙලින්න ලැස්ති වෙන්න එපා බැඳපු ගෑනියෙක් අ.."

"අක්කා....! "

අසලංකගේ හඬ නැගුනේ විධානයක් ලෙසිනි.

"... ඔයත් ගෑනියෙක් නේද? අනික ශික්.. කැනඩාවල නේද ඉන්නෙත්! දන්නේ නැද්ද දැන් ඔය බහුබූත එක්ක මිනිස්සු ජිවත් වෙන්නේ නැහැ කියල"

"මම කැනඩාවල හිටියට තමුසේ ඉන්නේ ලංකාවේ නේ. අනික ඒ කෙල්ල.. ඔ.. සොරි ඒ ගෑනිව තියාගෙන හිටියේ වයසක . මනුස්සයෙක්.අර.. ගමනායක නේද? බැඳපු ගෑනියෙක් ගන්න තරම් මොකද්ද තමුසෙට තියෙන අඩුපාඩුව?"

අසලංකට මේ කතාබහ පිළිකුල්ව ගිය නමුත් අක්කා සමග දබර වන්නට ඔහුට කැමැත්තක් තිබුනේ නැත. ඉතිරි විනාඩි දහය ඇය කියන්නක් අසාගෙන නිහඬවම හිඳ ඇමතුමෙන් ගැලවී ගියේය.

ඉන්පසුව වහාම ඔහු දුරකතනයෙන් කෙටි පණිවිඩයක් යැව්වේය.

'I want to meet you ... top urgent '

--------------------------------------------------------------------------------------

වේදිකාවෙන් බැස එන නිර්මලී දෙස බලාගෙන සිටින අසලංක අවන්කවම පිනායන ප්‍රීතියෙන් යුතුව වේගයෙන් අත්පොළසන් දුන්නේ හිඳගෙන සිටින අසුනෙන් නැගී සිටිමිනි.

නිර්මලී චාරුකා ගමනායක එලෙස සම්මානයට පාත්‍රවුයේ වසරේ හොඳම නැගී එන තරුණ ව්‍යවසායිකාව ලෙසයි. තමන්ගේ වදයට සහ නේහාගේ තේරීමට ඉඩදී, මොණර නිල් පැහැති සාරියකින් සැරසී වේදිකාවට වන් නිර්මලී, හැඟීම්බර නොවූ ඇයට ලබාදුන් නිමේෂයේ මයික්‍රෆෝනය ඉදිරියේ කතාකලේ වචන කිහිපයක් පමණි.

"අනුජ.. මේක ඔයාට... [සුසුමක් හෙලමින්] ගොඩක් ස්තුතියි හිමාල්, දුලීකා, නේහා  සහ අසලංකට"

සම්මානය ඔසවා ඉතා සවිමත් හඬින් පැවසු නිර්මලී මුළු ශාලාව පුරාම දෑස යවා, එදින තමන්ගේ ජයග්‍රහණය සාක්ෂි දරන්නට පැමිණ සිටි අසලංක අසලින් නෙත් නතර කලේ වචනද ඒ සමඟම ගලපමිනි. දෙදෙනාගේ ඇස් එකවරක් එක එල්ලේ පැටලී ගියේ නිරායාසයෙනි.

පසුදින ව්‍යාපාර සඟරා කිහිපයකත් , කාන්තා පත්තර බොහොමයකත් මුල් පිටුව ඇගේ සිනාවෙන් යුතුව  සැරසී තිබිණ. පත්තර වාර්තාකරුවන්ට ලබාදුන් සීමිත සාකච්ජා වලදී ඈ සිය සැමියා වන අනුජ ගමනායක සඳහන්කොට තිබුණ නමුත් ඔහුගේ ජායාරුපයක් පල නොකරන ලෙස ඉල්ලීමක් කොට තිබුණාය. නමුත් සම්මානය ලබාගත් පසුව අසලංක මිහිඳුකුලසුරිය විසින් උණුසුම් ලෙස වැළඳගෙන සුබපතන පින්තුරය නම් පත්තරයේ තිබුනේ අපුරු ශිර්ෂපාඨයක්ද සමඟය.

'warm wishes from a hot man '

ආසියානු සංවර්ධන බැංකුව යටතේ පවත්වන සමුළුවක ආරම්භක දේශනයක් සඳහා ලැබෙන මේ ඇරයුම ඈ පිළිගන්නේ කිහිපවරක් අසලංක පෙරැත්ත කිරීමෙන් අනතුරුවයි. එය යෙදී තිබුනේ කුඩා අකිත්ගේ උපන්දිනයට පසුදිනයේදීය. 

සතියකට වතාවක් පමණ නිර්මලිගේ නිවසට පැමිණ හෝරා දෙකක් පමණ කෝපි කෝප්පයක් තොලගාන්නට ඔහු පුරුදු වන්නේ පෙරදින ඈ සමඟ සම්මාන උළෙලට සහභාගී වීමෙන් පසුවය. ඉඳහිට කාර්යබහුලබව මධ්‍යයේ පවා ඇයට whatsapp පණිවිඩයක් තබන්නට , අලුතින් ඇඳුමක් ගන්නට ගිය විට ඒ අඳින අඳින ඇඳුම පින්තුර වලින් යවා හොඳදැයි අසන්නට පුරුදු වුයේද ඉන් අනතුරුවය. ඒවා සමහරක් නිර්මලී සිනා ගන්වන්නට සමත්ව තිබිණ.

විටෙක ඔහු විකාර කමිසයක් හැඳ පින්තුරයක් එවයි. විටෙක  බලුපැටියෙකුගේ ක්‍රියාවක වීඩියෝවක් එවයි. නිර්මලී සිනාසී ඒවා වින්දේ, අසලංක තමන්වෙත පෙරදාට වඩා වේගයෙන් සමීප වනවා නොවේදැයි කල්පනාවට ලක් නොකරමිනි.

කුඩා අකිත්ගේ උපන්දින සාදයට නිර්මලී යන්නේ වෙනත් ව්‍යාපාර සාකච්ජාවක් නිමවූ වහාම නිසා එහි පිවිසෙන ඇගේ මුහුණ තරමක් විඩාබරව තිබෙන බව එක බැල්මෙන් හඳුනාගත් අසලංක වහාම ඈ ඉදිරියට ආවේ ඔහුගේ දීප්තිමත් සිනහවෙන් මුව සරසාගෙනය.

"හායි... "

නිර්මලී ඔහු දැක ඉබේම ආ සුන්දර සිනාවෙන් යුතුව නැවතුනේ දුලීකා සොයා ඒ මේ අත යන දෑසිනි. නිර්මලිගේ ආගමනය දැක එන්නට ඉදිරියට ගත් පය නතර කරගත් නේහා ඈත සිට දෙදෙනා දෙස බලා සිටියාය. නිර්මලී සිනාසෙමින් අසලංක හා කතාකරමින් සිටිනු දැක නේහා තරංගගේ මුහුණ දෙස බැලුවේ සිනාසෙමිනි.

"අම්මෝ ඇති යන්තම්... දුලි අක්කයි මමයි  කාපු කට්ටක් මුන් දෙන්නව සෙට් කරන්න... නිර්ගේ වැඩ වලට මගෑරලා අන්තිමට ඒවාට අසාව යැව්වා.. අසා වැඩේ ගොඩ දාගෙනද  කොහෙද"

තරංග කට කොනකින් සිනාසුනේ ඔහුට අසලංක ප්‍රියවූ චරිතයක් නොවුණු නිසාය. එසේ වුයේ ඔහු නිර්මලිට ඔත්තු බැලුවායයි කියූ මොහොතේ පටන්මය.

"උගේ ගෙදරින් දෙන්නේ නැහැ නිර්ව මැරී කරන්න... ඒවා මොකක් උනත් මූ අර මඩුගල්ල ගෘප් එකේ අයිතිකාරයාගේ දුව ඩේට් කරනවා.. "

 එය ඇසීමෙන් නේහා වහලයේ වදින තරමට උඩගොස් බිමට වැටෙන්නේ අන්ද මන්දවයි.

"වට් ??"

"වට් තමයි... උන් දෙන්නව මම දැක්කා  හිල්ටන් වෙස්ටන් කුසින් එකේ ඊයේ අපේ ගැදරින් එකට ගිය වෙලාවේ. මට ඔයාට කියන්න බැරි උනා ඊයේ.. රෑ වෙනකොට මට  වැදිලානේ හිටියේ "

නේහාගේ මුහුණ ඇදවී ගියේය. අසලංක ඈ රවටනවාද? අසලංකට අකමැතිවන කෙල්ලෙක් නොමැති තරමකි. එබැවින් එය බොරුවක් වන්නට නොහැකිය. නමුත් නිර්මලීට කෙතරම් ආකර්ෂණයක් තිබුනද ඈ පිහාටු කදුනුනු සමනළියක මෙන් යැයි සිතේ.

නේහා ඔවුන් වෙත  එනවිට අසලංක , නිර්මලී සමඟ නිවස තුලට යන්නට සැරසුණා පමණි.

"නිර්... දැන්ද ආවේ.. කේක් එක කපන්න වෙන්නේ හතට තමයි. අක්කිගෙ ඩොක්ටර්ස් ල ටික එන්නේ ඒ වෙලාවට. කොහෙද මේ දුලීකා අක්කා ඒවා ඔක්කොම පැත්තක තියෙද්දී ෆොටෝ ශුට් එකක් පටන් අරගෙන.. තෑගී ටික ඔතලා ඉවරත් නැහැ.. හෙල්ප් එකක් දෙනවකො."

"ෆොටෝ ශුට්?? ආනේ.. මගේ කොල්ලා බලන්න ඕනේ මට"

නිර්මලී මහත් උද්යෝගයෙන් තමන්ට හුරුපුරුදු හිමාල්ගේ නිවසේ ඇතුල් ගෙමුදුල දෙසට ඇවිද යද්දී කුඩා අකිත්ව බදාගෙන ජායාරුප ශිල්පියා ඉදිරියේ ඒ මේ අත හැරෙමින් සිටියේ දුලිකාය.

"අර බලහල්ලකෝ මල කෝලම.. මට දැන් ගෑනි මාරු කරන්න හිතිලා තියෙන්නේ.. මේකිට මෙච්චර පිස්සු කියල දන්නේ නෑනේ"

හිමාල් නිර්මලී දෙස බලා පවසද්දී ඈට සිනාව වාවාගත නොහැකි වී මුහුණ රතුවී සිනාව පැන්නේය. ඒ අපූරු සිනාව අසලංක දුටුවේ සෑහෙන කලකට පසුවය. 

කුඩා අකිත් සැනින් සියල්ලම අතහැර 'නිරී.. නිරී...' ගාමින් කෑගසන්නට වුයේ නිර්මලී දැකීමෙනි. අසලංක ඈ අසලින් හමනා විලවුන් විඳිමින් සිනාසෙමින් සිටියදී අකිත්ව වඩාගෙන පැමිණි දුලීකා අතින් ඔහු නිර්මලී අතට පැන්නේය.

"එපා එපා... සපත්තු ගලවන්න මඩ ගෑවෙයි.. කපටි කොල්ලා... "

"අනේ කමක් නැහැ අක්කි... මේ ඇඳුම් මාරුකරගන්න ඕනේ.. මගේ ඇඟේ දාඩිය. [අනතුරුව අකිත්ගේ කොපුලක් සිපගනිමින්] හැපී බර්ත්ඩේ මගේ පොඩි කොල්ලා... උම්මා.. ආදරෙයි නිරී ආන්ටි ඔයාට..."

ක්ෂණයෙන් දුලීකා සිය දුරකතනයෙන් පින්තුරයක් සටහන් කරගත්තාය. කුඩා අකිත්ගේ කොපුලක් සිපගන්නා නිර්මලිට පසෙකින් ඈ අසලම සිනාසෙමින් බලා සිටින අසලංක!

'perfect family'

"ඇති ඇති මගේ කොල්ලා ඉම්බා.. දැන් ඉතින් ඉඹින්න කොල්ලෙක් හොයාගෙන ඒ ගැන බලාගන්න"

හිමාල් අසලංක වෙත ඇසක් ඉඟිමරමින් පවසද්දී නිර්මලී අන්දුන් කුන්දුන් වී හිමාල් දෙස බැලුවාය. හිමාල් කට කොනට සිනාසී ඔහුගේ සුපුරුදු බයිට් බැල්මෙන් නිර්මලී දෙස බලා සිටියේය. අසලංක පුදුමයෙන් ගල්ගැසී  සිටියද, නිර්මලිට දැනුනේ අපහසුවකි. 

ඈ එය නෑසුනා සේ මද වෙලාවක් අකිත් සුරතල්කොට දුලීකා අතට දුන්නේ ඇඟ සෝදාගෙන ඇඳුමක් මාරුකරගත යුතු නිසාය.

නිතර යන එන නිවසක් නිසා නිර්මලිට වෙනම කාමරයක් එම නිවසේ වූ අතර එහි කුඩා අල්මාරියක පෙරදිනයේ තමන් ගත් ගවුමක් ඇතිබව මතක් වුනු නිර්මලී ඉහල මාලයට ගොස් නානකාමරයට වැදුනාය. 

අසලංක ඈ යන දෙසම  දෑස යොමාගෙන සිට සිය දුරකතනයෙන් රාජකාරි විද්‍යුත් ලිපි වලට පිළිතුරු සපයන්නට විය. හිමාල්ගේ වචන නිසා ඔහුගේ සිතේ ඇතිවුණු ආනන්දය විසින් සිහින් මන්දස්මිතියක් ඔහුගේ මුහුණේ සටහන්කොට තිබිණ.

"මෙන්න මේ ක්‍රවුන් එක ගෙනිහින් දීපන් නිර්ට... මේ කෙහෙල්මල් තීම් එකක්නේ මොකද්දෝ එකක.. කොල්ලගේ අම්මල ටික ක්‍රවුන් දාන්න ඕනේ.. නිර් ගියා උඩ ඇඳුම් මාරුකරගෙන එන්න.. මේකත් දාගෙන එන්න කියපන්"

හිමාල් රිදී පැහැ ඔටුන්නක් ගෙන අසලංක අතින් තබා ඔහුව ඉහලමාලයට යන පඩිපෙළ අසලට තල්ලු කළේය. අසලංක දෙස බලා නැවතත් ඇසක් ඉඟිමරා හිමාල් පිටත්ව ගියේ වෙනත් වැඩකටය. නේහාද පෙනෙන්නට නැත. 

අසලංක පියගැට නැග ඉහලමාලයට යද්දී මද ආලෝකයක් ඇති කොරිඩෝව සහ ඉතා පිළිවෙල සාලය කොනක ඇති කාමරයක විදුලි බල්බයක් දමා තිබෙනු පෙනුනි. සියලු අමුත්තන් සිටියේ පහල මාලයේ නිසා කිසිවකුත් සිටියේ නැත. ඔහුගේ සිතට නැගුනේ අමුතුම ධෛර්යයකි. නිර්මලී සමඟ අද කතාකල යුතුය. නැතිනම් මේ වනවිට තම නිවසේ ඇති අර්බුධය තවත් උග්‍ර වනු ඇත.

සෙමෙන් පියවර තබමින් ගොස් අඩවල් කොට තිබුණු දොර අසල සිටගත් අතර , අගුලු ලා නොතිබුණද අසලංක එයට තට්ටු කළේය.

"come in "

නිර්මලී කැටපත ඉදිරියේ හිඳ සිය කොණ්ඩය සකස් කරමින් පැවසුවේ පැමිණ ඇත්තේ නේහා කියා  සිතමිනි.නමුත් විවෘත නොවූ දොර නිසා ඈ ආපසු හැරී පැමිණ දොර විවර කරද්දී තරමක් තැති ගත්තාය.

"... අ..ස.. ලංක ?"

"ම.. මේ ක්‍රවුන් එක දාගෙන එන්න කිව්වා"

නිර්මලිගේ රුසපුව විඳිමින් අසලංක පවසන්නේ වචන අතර ඉඩ තබමින් පරෙස්සමිනි. අසලංකගේ බැල්මෙන් ඈ සිටියේ තරමක් කැළඹී ය. අසලංක අතේ තිබුණු ඔටුන්න ගෙන හිස මත තබාගත් ඈ දුටුවනම අසලංකට සිතුනේ ඈ කුඩා දැරියක මෙන් පෙනෙන බවකි. 

ලා නිල්පාට චාම් ගවුමක් ශරීරයේ හැඩයටම එන පරිද්දෙන් දනිස්ස දක්වා හැඳ දැන් ස්නානය කල සිය මුදු කොණ්ඩය විදහාගෙන සිටි ඇගේ ඇසිපිය වේගයෙන් සැලුනේ විසල් නෙත් යුවල බිමට හැරවෙද්දිය.

"ඕක වැටෙයි.. කෝ ඉන්න මම හදන්න"

අසලංක දෑතින්ම ඔටුන්න ගෙන ඇගේ පිම්බිගිය තෙත කොණ්ඩය මත හිස් මුදුනට වන්නට ප්‍රවේසමෙන් තැබුවේ ඈගේ බිමට හැරවුණු  වත දෙසම දෑස රඳවාගෙනය. ස්නානයෙන් පසුව නැගෙන විලවුන් සුවඳ විසින් කැළඹුණු ඔහුගේ උණුසුම් සුසුම් නිර්මලිගේ කොපුල්වල වදින තරමකි.

".. ඔයාගේ ක්‍රවුන් එක හැමදාම මට දාන්න දෙනවද? හ්ම්ම්? මගේ ප්‍රින්සස් වෙලා...?"

සිය සවනට සෙමෙන් අසලංක මිමිණු ඒ වචන පෙලට, නිර්මලිගේ සර්වාංගයම අප්‍රාණිකව යන්නාක් මෙන් දැනුනු නිසා අල්ලාගෙන සිටි දොරට වාරු වුයේ ඉබේටමය.

 "... කවදාවත් ඒ ක්‍රවුන් එක බිම වැටෙන්න දෙන්නේ නැහැ මම"

 නිර්මලී කිසිවක්ම පැවසුවේ නැත. අල්ලා සිය ලයට තුරුල් කරගන්නට සිතෙන තම සිත මැඩගනිමින් අසලංක ඇගේ බිමට බරවූ මුහුණේ ඇති කෙස් රොදක් පසුපසට කලේ ප්‍රවේසමෙනි.

"... මට අනුජගේ තැන ඕනේ නැහැ.. පොඩියට හරි ඉඩක් දෙනවා නම් ඒ ඇති. ඔයා ඔයාගේ හීන දකින්න ඕනේ නිර්මලී.. ඔයා ඔයා වෙනුවෙන් ජිවත් වෙන්න ඕනේ. ඔයා තාම young.. there is  a  whole life ahead of you.. ඔයා මට ගොඩක් ස්පෙෂල් නිර්.. මට.. චාන්ස් එකක් දෙන්න පුලුවන්ද?"

සිය සිරුරට පන සහ  පියවි සිහිය පැමිණි පළමු මොහොතේම පියවරක් පසුපසට තැබූ නිර්මලී ඉවත බලාගත්තාය.

"අසලංක යන්න පහලට.මම තව ටිකකින් එන්නම්"

  

--------------------------------------- මතු සම්බන්ධයි --------------------------------

12 comments:

  1. හ්ම්ම්! මේ ගැන පසුව ලියන්නම්! මට මතක් වෙන්නේ ජෝන් එෆ් කෙනඩිගේ පවුලව!

    ReplyDelete
    Replies
    1. පසුව කියන්නේ මොකට පසුවද දන්නේ නැහැ නේද?

      කෙනඩිගේ පවුල නම් වෙනම හේතුවක්. එයාටත් ඔහොම පොඩ්ඩක් උනාය කියනවනේ. එහෙම තමි පනදාගෙන ආදරේ කලාම, වින්දාම, දුන්නාම...
      'දමා යන්නට නොහැකි මිහිමත නුඹම පමණයි ' තමයි

      Delete
  2. දෙයියෝ සාක්කි මට කීයක් මිස් වෙලාද ? ආපහු එන්නම්

    ReplyDelete
    Replies
    1. ගියා ගියාමයි තාම ආවේ නෑනේ

      Delete
    2. ඌකොම කියෙව්වා. වෙලා තියෙන්නත් එපැයි.//නේහා කැටපත ඉදිරියේ හිඳ සිය කොණ්ඩය සකස් කරමින් පැවසුවේ පැමිණ ඇත්තේ නේහා කියා සිතමිනි// නිර් කියල නෙමේද එන් ඕනේ මුල් හරියේ. මට තියෙන ප්‍රශ්නේ ඇයි අනුජ ඔපමණ වයස්ගතයි කියන්නේ කියල. අනුජ වුරුදු තිස් ගානක කෙනෙක්ලු නේ. නිර් බඳින කාලේ ඒලෙවල් කරලා ඉවරන් එයාට 19. දෙගුණයකට වැඩි එක පොඩ්ඩක් අප්සෙට් තමා. නමුත් අනුජ තිස් ගානක හිටි තරුණයෙක් නේ . දැවෙන ප්‍රශ්න

      Delete
    3. සෝදුපත් බලන්නේ නැතුව දැම්මහම එන වැරදි වලට සමාවෙන්ඩ ඈ

      වයසයි කියන්නේ ගෑනු ළමයාට වඩා දෙගුණයකට ආසන්නයි නේ.. ඉතින් වැඩිමල් වැඩි නැද්ද? අනිත් එක ඌ මෝරපු එකෙක්නෙ.. ඉස්කෝලේ යන පොඩි කෙල්ලෙක් නිර්මලී කියන්නේ.. පොඩ්ඩක් සාධාරණ වෙන්න එපැයි !

      Delete
    4. ඒකත් ඇත්ත. ළමා අපචාර කාරයෙක් නේ. ලංකාවේ බඳින වයස කියාද?ඉස්කෝලේ යනවා කියන්න 18 ට අඩුයිනේ. (යාලුවෙන කාලේ) මම ඉන්න රටේ වැරැද්ද. අවුරුදු 20-25 ගැණු ළමයි අවුරුදු 60-70 තරුණයෝ එක්ක යන්නේ. අවුරු 60 නංගිලා අවුරුදු 20-30 තරුණයෝ එක්ක ලව් එෆෙයාර් .

      Delete
    5. චා චා චා.. 18 වෙනකල් ඉන්න ඕනේ කසාද නම් බඳින්න.... මෙහෙ එහෙමයි... ඒ උනාට අවුරුදු 16 අම්මලත් ඉන්නවා හරිද! ළමා අපචාරයක් නොවී ගොඩදාගත්තා අනුජයා නම්... අනේ...

      බයෙත් බැහැ අජිත් පස්සේ ඇවිල්ල මෙතන මල්ටි බැරල් ගහයි මේ කතාවේ හැටියට නම්

      Delete
    6. අපොයි නැහැ. ඒ ලෙවල් පන්නල නේ :)

      Delete
    7. තව කොටස් ගණනාවක් ඉදිරියට කතාව කියෝලා ඉවරවෙලා ආපහු ඇවිත් බලන්නකෝ මම මේ කිව්වේ මොකක්ද කියල

      Delete
  3. Replies
    1. දැන් ඉතින් හුම් ගාල වැඩක් තියේද.. ඔන්න ඉන්නවා අසලංක , යාලු කරලා දෙන එකයි

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...