Tuesday, December 7, 2021

285: උන්මාද චිත්‍රාදෝ මා 17

 



"මට ඇත්ත කියන්න අයියා..."

නිර්මලිගේ හඬ ප්‍රභල නොවුනද ඒ බැල්ම හිමාල් විනිවිද යන තරමකි. තවමත් මේ සිදුවන  සියලු දේ පිළිබඳව ඈට පවසන්නට තරම් ආරංචි යහපත් නොවේ. ශාරීරික ශක්තිමත් භාවයට වඩා නිර්මලිගේ තිබුනේ මානසික පෙළඹවීමකි. අනුජට පෙනෙන්නට ඈ සිනාසෙමින්;  සුව වෙමින් සිටියාය.

නිර්මලී මෘදුව අනුජගේ අත අතගෑවේය. බෙහෙත් නිසා ඔහු සිටියේ අඩ නින්දකය. යන්තමින් සැලෙන ඒ අත හැරුණුවිට අනුජගේ වෙනත් හැලහොල්මනක් තිබුනේ නැතිවද, නිර්මලී ඒවා සිතුවේ නැත. 

"නංගි ... මේ වෙලාවේ ඕව කතාකරලා වැඩක් නැහැ.. ඉක්මනින් සනීපවෙන්න බලන්න. මම..."

 දහ

සකුත් කාරනා වසන්කොට එසේ පැවසුවද නිර්මලිට ඒ කිසිවක් ඇසුනේ නැති තරමකි. 

"අයියා.. මට අනුජගේ පින්තුරයක් අරන් දෙන්න.. මට එයාව බලන්න ඕනේ.. මෙතන ඉන්නකොට හරියට පේන්නේ නැහැ.."

කෙතරම් කරුණු කිව්වද, නිර්මලී එයින් සැලුනේ නැත. අවසානයේ ඔහු  දුරකතනයෙන් අනුජ සයනයේ සිටින අයුරින් පින්තූරයක් ගෙන දුන්නේය.

"අනේ.... ලස්සන කොණ්ඩේ කපලා.... අනේ.. අත රිදෙනවා ඇති.. පව්..."

හිසේ තිබුණු තුවාල නිසා අනුජගේ කාලවර්ණ ඉත්තෑකූරු කොණ්ඩය බූගා තිබිණ. නිර්මලීට තමන් විසින් තෙල්ගා සම්බාහනය කල ඒ කාලවර්ණ කෙස්වල පහස ඇඟිලි තුඩට දැනෙන්නාක් මෙනි.  

'අනේ අනුජ.... මගේ පණ... මම ඔයාගේ හෙඩ් මසාජ් එක ආයෙත් කරනවා... මතකද මම ආදරෙයි කිව්වෙත් ඒ වගේ දවසක... කොච්චර ලස්සන දවසක්ද ඒක ?'

නිර්මලී තනිවම සිනාසෙයි. හිමාල්ට මේවා දරාගන්නට අපහසුවක් මෙන් දැනුනි. මේසා උමතුවකින් මෙන් අනුජ වෙතම බැඳුනු ඈ ! ඒ සමඟින් පෙරදිනයේ අනුජගේ පියා කියූ වචන සිහිවී සිතට නැගුන අප්‍රසාදය අතිමහත්ය.

"කොහෙන්ද යන අනාථ කෙල්ලෙක් නේද මේ හොයාගෙන තියෙන්නේ? සන්ට පිස්සු! ඇපල් ගෙඩියක් කන්න වත්තක් සල්ලිවලට ගන්නවද?"

පිළිකුලෙන් මෙන් කියූ ඒ වචන වලට තමන් ඒ මොහොතේ ඔහු තවත් කෝප කරවන්නට නොගියේ, මේ මොහොතේ අනුජට කරන්නේ කුමක්ද යන්නට වඩාත්ම අයිතිය ඇත්තේ ඔහුට නිසාය. අනුජ මෙලෙසම ඇගෙන් වෙන්කොට ගෙනියන්නට ඔහුට සිතුනහොත්? 

'එහෙම ගෙනිච්චොත් මේකි මැරෙයි!'

අනාථ කෙල්ලෙක්,  දුප්පත් කුණුගොඩක් සහ මෝඩ ගොඩේ කෙල්ලෙක් ලෙස සන්දිරිගම මහතා විසින් නිර්මලී හඳුන්වනු ලබන්නේ කවර හේතුවක් නිසාද යයි හිමාල් දනී. ඒ කිසිවකු නොදන්නේ ඒ තරුණිය කෙතරම් අනුජගේ රුධිරයේ සිටිනවාද යන්නයි.

අනුජගේ මහල් නිවාසය ගැන හෝ වෙනත් කිසිවක් ගැන හරිහැටි ගමනායක මහතාට තොරතුරක් ලබා නොදෙන්නට ඔහු ප්‍රවේශම් වූ අතර, ඔහුද රේසිකා ගැන කිසිම විටෙක සඳහන් කලේද නැත. අනුජගේ පියා ගැන පෙරදා ඇතිවූ අප්‍රසාදය, මේ වනවිට පිළිකුල සහ බලවත් කෝපයක් ලෙස වර්ධනය වී ඇති බව හිමාල්ට දැනුනි. 

රේසිකා ගමනායක මහතාගේ නිවසේ සිටින බව පොලිසියට කියන්නේ කෙලෙසද? ඒ මොන කුණුහරප කතාවක් වනු ඇතිද? මුලින්ම ගමනායක මහතා මේ කියන්න පිළිගත යුතුය. නමුත් ඔහු බොහෝ අසංවේදී වී ඇත. හිමාල්ට සිහිවුයේ අනුජගේ මවගේ මරණයේදී සිදුවූයේද මෙවන්ම දෙයක් බවයි. අනුජව ඔහු සැමවිටම නොසලකා හැරියේය.

වරින්වර සිහිය එමින් - යමින් සිටි අනුජට නොනවත්වා කතාකරමින් සිටි නිර්මලී අසළ නේහා සහ දුලීකා මාරුවෙන් මාරුවට ගැවසුණහ. අසලංක දිනකට වරක් බැගින් පැමිණි නමුත් නිර්මලීට මුහුණ දෙන්නට ගියේ නැත. මීනා සහ තුෂාරා ද තුෂාරගේ සොහොයුරාද හිමාල්ටත් දුලිකාටත් මොනදව සහය වුයේ මේ මොහොතේ මානසික ශක්තිය මුදල් වලට වඩා වටිනා නිසාය.

ඒ වචන;සිදුවීම් සියල්ලටම වඩා වඩාත් කම්පිත පුවත උදෑසන ඇසු නමුත්, තවමත් නිර්මලී ඒ ගැන දන්නේ නැත. වෛද්‍යවරයා පැවසුවේ, එය කෙතරම් අවාසනාවන්ත පුවතක් වුවද, රෝගියා දැනගතයුතු බවයි. ඈතින් ඇවිද එනු පෙනෙන දුලීකා දුටු වහාම හිමාල්ට එය වඩාත්ම බරට දැනුනි. දෙදෙනාගේ දෑස හමුවූ මොහොතේම කියාගත් ඉඟියකි.

'දැන් තමයි වෙලාව'

තමන් ගෙනා ධෛර්යය ඒ සැනින් දුලීකාගේ සිතින් ලෙහා වැටුණි.

"අනේ හිමා.. අපි නොකියා ඉම්මු... මේකී පව්!"

දුලීකාගේ අසරණ මුහුණ දෙස බලාගෙන හිමාල් සුසුමක් හෙළුවේ, අවසන් බැල්ම සිය ප්‍රාණසම මිත්‍රයාගෙන් කෙලවර කරමිනි. අනුජ දන්නේ නම් පොලවේ හැපෙනු ඇත!

'මචං.... මට ශක්තියක් නැහැ බං මේවා උහුලාගෙන ඉන්න... '

හිමාල් හිස් අහසට සුසුමක් පා කරමින් පැවසුවේ දෑසේකඳුළු පුරවා ගනිමිනි. නිර්මලී සෙමෙන් අනුජගේ අත අතාගමින් සිටිනු පෙනෙද්දී වේදනාව තවත් වැඩිවේ.

"බබා.... අත රිදෙන්නේ නැහැ  නේද? මම හෙමින් අතගාන්නම් හොඳද..."

නිර්මලීගේ හඬ දුලීකා හඬවන නිසා ඈ එය නෑසෙන ලෙසට ඇවිද ගියේ නිර්මලීට පෙනෙන්නට හැඩිය නොහැකි නිසාම නොවේ.

-----------------------------------------------------------------------------

දින , සති වලට සෙමෙන් පරිවර්තනය වෙමිනි. අක්මාවේ සැත්කමින් පසුව නිර්මලී සෙමෙන් සුව වන බවට ලකුණු පහලවූ අතර හිමාල් සැමවිටම පත්තරකාරයින්ගෙන් ඔවුන් ආරක්ෂා කලද පොලිසිය විසින් පවත්වන පරීක්ෂණවල තොරතුරු වසන්කල නොහැකි විය. 

එදින විනෝද් දුණුකාර පැමිණ තිබුනේ නිර්මල්ගෙන් ප්‍රකාශයක් ලබාගන්නටය. තමන් පැමිණි කාරණය පවසන විට මදක් හෝ නොසැලී තමන් දෙස බලා සිටි මේ තරුණිය ඔහු තුල ඇතිකළේ වෙනස්ම හැඟීමකි.

'පින්තුරයේ ඉන්නවට වඩා ලස්සන කෙල්ලෙක්! පුදුම වෙන්න දේකුත් නැහැ'

ඔහුට වචන නොවූ සිතුවිලි විසින් ඇතිකළේ මන්දස්මිතියකි. මෙවන් සිදුවීම් වලට විශේෂයෙන් පුහුණුව සිටින විනෝද්ගේ මුහුණෙන් ඒ කිසිවක් ලබාගත නොහැකිය. මුල් ප්‍රශ්න වලට කිසිදු උනන්දුවකින් තොරව පිළිතුරු දුන් නිර්මලී, එකවරම ඔහු දෙස තද බැල්මක් හෙලුවේය.

".. රේසිකා ලංකාවේ නේද සර්? මට එයාව හම්බෙන්න ඕනේ!"

විනෝද් එකවරම නිර්මලී දෙස බැලුවේ ඇගේ හැඟීම් හඳුනාගන්නට මෙනි. නිර්මලිගේ වමත අනුජගේ දකුණතේ ඇඟිලි සමග මෘදුව ගෑවී තිබෙනු ඒ ඇසිල්ලේ ඔහු දුටුවේය.

"මිස් එතකොට..."

"පරීක්ෂණයක් ඕනේ නැහැ සර්... මගේ හස්බන්ඩ් විතරයි මට ඕනේ..."

විනොද්ට නැගුනේ සෝපහාස සිනාවකි.

තවත් ප්‍රශ්න කිහිපයකට අකමැත්තෙන් මෙන් පිළිතුරු ලබාදුන් නිර්මලී වෙතින් විනෝද් දුණුකාර පිටත්ව යන්නට පෙර දුලීකා වෙත පැමිණියේ අමනාපයෙන් මෙනි.

"මිස්... මිසිස් ගමනායක පරීක්ෂණය නතර කරන්න කියනවා. අපේ වෙලාව නාස්ති නොකර කරන දෙයක් ඉක්මනට කරන්න. මටත් මෙතන වෙන වැඩ නැතුව නෙවෙයි, අර මිලින්ද මහත්තයාගේ වචනේ අහක දාන්න බැරි හින්දා මිසක්.."

මිලින්ද යනු තුෂාරාගේ සොයුරාය. දුලීකාගේ දෑස රැඳුනේ නලළේය.

'පරීක්ෂණයක් එපා කියනවා???? '

"... අනික ඩොක්ටර්.. අපි දන්නේ නැහැනේ මිසිස් ගමනායකගේ උනත් වෙන වෙන හුටපට තියෙනවද කියල..."

දුලීකාගේ මුහුණ කළුවී ගියේ කෝපයටම වන්නට ඇත. මේ වනවිට පරීක්ෂණ වලට ලබාදුන් නිර්මලීගේ දුරකථනය වෙතින් අසලංක නම් තරුණයකු විසින් එවනලද කෙටි පණිවිඩය ගැන හාන්කවිස්සියක් නොදත් දුලීකා එලෙස පරලවිම පුදුමයක් නොවේ. නමුත් පොලිස් පරීක්ෂණ වල ස්වභාවය දත් දුලීකා නැගී ආ කෝපය මැඩගත්තේ අපහසුවෙනි. 

"මිසිස් ගමනායක ගැන එහෙම කතා පතුරවන්න නම් කාටත් පුළුවන්.  ඒ අහිංසකිට ඕනේ එයාගේ හන්බන්ඩ් බේරගන්න. හරි ඔෆිසර්..  ඔෆිසර් උනත් කරන්නේ රාජකාරියනේ. අපි ඉක්මනින් දන්වන්නම්..."

වෛද්‍යවරයා විසින් පැවසුවේ නිර්මලී වෙත කිසිදු පීඩනයක් එල්ල නොකරන ලෙස නිසා දුලීකා ඒ ගැන අසන්නට ගියේ නැත. වඩාත් පීඩාකාරී පුවත කියාගන්නට නොහැකිව ඈ සිටියේ ශෝකයෙන් ඇලලීගත්වනමය.

අක්මාවේ සිදුකල සැත්කම සඳහා කරනලද වෛද්‍ය පරීක්ෂණ වලට පෙර හා පසුව ලබාගත් වෛද්‍ය වාර්තා වලට අනුව, නිර්මලී තුල අනුජගේ නමින් පන ගැසුණ අයෙක් සිටි බවත් අනතුරෙන් ලද කම්පනය සහ ලබාදුන් ඖෂධ නිසා එය නික්ම ගියේ සැත්කම අතරතුර බවත් නිර්මලිට පවසන්නට තරම් ධෛර්යයක් දුලීකාට නොවූ නිසා දෙදෙනාම ඒ ගැන කිසිදා නොකියා සිටින්නට අවසානයේ තීරණය කළෝය.

"නිර්... දැන් ටිකක් නිදාගන්න.. ඇති ඔය කියෙව්වා..."

නේහා නිර්මලී කෙරෙහි උපන් කරුණාවෙන් පැවසුවේ නොනවත්වා අනුජ අමතමින් සිටීම නිසා නිර්මලී විඩාවට පත්වනු ඇතැයි ඇතිවූ බිය නිසාය.

ඈට තිබුනේ නිතරම අනුජව සිය ජංගම දුරකතනයෙන් පින්තුර ලෙස ගෙන නිර්මලිට පෙන්වන්නටයි.

"අද අනුජ තාම ඇස් ඇරියේ නැහැනේ නේහා...මගෙත් කොන්ද රිදෙනවා අද වැඩියෙන්.. "

"උඹේ කන්කරච්චලේ වැඩි හින්දා නිදාගෙන වගේ ඇත්තේ හි හි"

නේහා සිය යෙහෙළිය දෙස බලා සිනාසුනේ ආදරයෙනි. 

"එයාට මම නැතුව බෑ... මම ඒක දන්නවා.. "

අනතුරුව නින්දට වැටුණු නිර්මලී අහම්බෙන් මෙන් ඇහැරුනේ කලබලයක් නිසාය. තමන් කෙතරම් වෙලාවක් නිදාගෙන සිටියාද කියා නිනව්වක් නැත. නමුත්......

නිර්මලිගේ ඇඳ තිබුනේ ඈතට තල්ලු වී ගොස්ය. අනුජ වටා හෙදියන් සහ තවත් කවුරුන් හෝ පොරකමින් ; ඒ මේ අත දුවමින් සිටිති. නිර්මලී  දෙබැම හකුළුවා බැලුවේ තමන් දකින්නේ සිහිනයක්ද කියාය.

අනුජගේ සම්බන්ධිත යන්ත්‍ර සියල්ලම හඬ නගමින් සිටින බවත් මේ කලබලය ඒ නිසා බවත් වැටහුණු සැනින් නිර්මලිගේ දෑත දෙපා අවසඟව ගියාක් මෙනි.

"අනේ... අනේ... අනේ අනුජ..... ඔයාට බැහැ එහෙම යන්න.... මාව දාලා යන්න බෑ ..... අනුජ.... ඔයා මගේ නේද? මාව දාලා යන්නේ නැහැ නේද??????? "

තොලකට වියලි ගොස් තිබුණු නිසා නිර්මලිගේ වචන මිමිනිමක් මිස හඬක් නැගුවේ නැත. නමුත්.... අනුජට එය ඇසුනි... 

විවර කරගත නොහැකි දෑසත්... අවසඟ දෙතොලත් නිසා ඔහු අසරණව ගිය තරමක්! 

ඔහුගේ දෑසින් ඉබේම කඳුළු පිටතට පැමිණියේ අනාරාධිතවමය. එසේ වුයේ ඔහුගේ නතර වන්නට තතනන හදවත යලි පණගන්වන්නට කියා අනේක විධ ක්‍රම වලින් ලැබෙන වේදනාව නිසාම නොවේ.

'මාව දාලා යන්න බැහැ ඔයාට.... අනුජ...'

මේ සියල්ල අතරේ ඔහුට නැවත නැවතත් එය ඇසුනි.

'ඔව් බබා... මට ඔයාව දාලා යන්න බෑ මැණික '

පැහැදිලි කටහඬින් අනුජ තමන්ගේ කනට මිමිණුවා නිර්මලිට හොඳටම ඇසුනි.


එපමණකි...


උත්සාහයන් සියල්ල අපතේ යවමින්, අනුජ ගමනායක නමින් ගැහුණු හදවත, ඒ මොහොතේ නතරව ගියේය. නිර්මලී සිටියේ අවසිහියෙන් කොඳුරමිනි.

වීදුරුවට එපිටින් සිටි හිමාල් දෝතින්ම හිස අල්ලාගෙන එතනම හිඳගත්තේ තමන්ගේ ප්‍රාණසම මිත්‍රයා බේරාගත නොහැකිවූ කම්පනයෙන් මොරදෙමිනි.


----------------------------------------------------------------

"මට බෑ !"

සිව්වන වරට සිහිය පැමිණි මොහොතේ නිර්මලී පැවසුවේ රුදුරු බැල්මක් අහසට පා කර හරිමිනි. බැල්ම කාටවත් යොමුව නැත. 

'මේ මුන්ට පිස්සුද? අනුජ අඳුනගන්න බැරිද මට? මේ ඉන්නේ මගේ අනුජ නෙවෙයි... මගේ අනුජ කොච්චර ලස්සනද? මෙහෙම මුණ කළු නෑ... තට්ටේ නෙවෙයි... ලස්සන කොණ්ඩයක් තිබ්බා.. මේ මොකද තඩියට ඔලුව  ඔතලා? මම මෙයාව අඳුනන්නේ නැහැ.. ඒ ලස්සන කොන්ඩේ... මම කොච්චර ආසාවෙන් මසාජ් කරනවද?'

නිර්මලිගේ විලාසය දැක දුලීකාට හැඩුම වාවාගත නොහැකිව ඈ නිදාසිටි සයනයට පිටුපා  අනෙක් පසට හැරී සෙමෙන් ඉකිබින්දාය. 

අවසානයේ හිමාල්,  ගමනායක මහතා දෙස බලද්දී උතුරායන කෝපයෙන් බුබුළු දමන ගිනිකන්දක ලාවා මෙන් නටන ඔහුගේ මුහුණේ මස්පිඩුත් , අවසිහියෙන් සිටින නිර්මලී දෙස හෙලාගෙන සිටින මිනීමරු බැල්මෙනුත් තැති ගත්තේය.

"මේ ගෑනි....!"

ඔහුට ඉදිරියට එන්නට හිමාල් ඉඩක් දුන්නේ නැත.

"අංකල්... මගෙත් එක්ක තරහ වෙන්න එපා... නිර්මලිට අතකවත් තියන්න එපා.. ! අංකල් කරුණාකරලා මෙතනින් යන්න මේවා තවත් අවුල් කරන්නේ නැතුව....  අනුජ ගැන හැමෝටම වඩා අයිතියක් මෙයාට තියෙනවා... මේ ඉන්නේ අනුජගේ වයිෆ්"

සන්දිරිගම මහතා හිමාල් දවා යන බැල්මක් හෙලුවේය. 

"එහෙමද?"

" ඔව් එහෙම තමයි... !"

හිමාල් වෙව්ලන සිය දෑත පාලනය  ගනිමින් පැවසුවේ දත්මිටි කමිනි. 

මේ සියල්ලම සුනුවිසුනු කර දමන්නට අවශ්‍ය වුවද, තවමත් අවසිහියෙන් සිටිනා ; අනුජගේ මරණයක් ගැන විස්වාස නොකරනා මේ යුවතිය වෙනුවෙන් ඉවසිය යුතුය.

සියල්ලම සිදුවුයේ කලබලයෙන් සහ වේගයෙනි. නමුත් නිර්මලී පමණක් වෙනම ලොවකය. ඇයට අනුජ මියගොස් නැත!

අවමගුල් උත්සවය තිබුනේ අනුජගේ පියාගේ නිවසේය. පොඩිනා , බාලා සහ වීරසිරි කම්පනයෙන් ඇලලී ගොස් සිටියෝය. ඔවුන් තිදෙනා නිර්මලිට වූ විපත ගැන හදවතින්ම කම්පාවන බව හිමාල් දනී. නමුත් සියලු දෙනාම අසරණය!

"ඇයි බං අපේ රත්තරන් මහත්තයාව අපිට පරෙස්සම් කරගන්න බැරි උනේ?"

ජිවිතයේ මතක ඇති කාලයකදී හඬා නැති වීරසිරි වැළපෙනු දැක , පොඩිනා සිය කඳුළු අලුත් කරගත්තාය.

"අනේ අර පුංචි නෝනා.... මට වාවන්නේ නැහැ බන් මේ දුක.. ලොකු නෝනාත් අපිට නැති උනා... මේ මොන විපතකද දෙවියනේ? කාටවත් කරදරයක් නැති පුංචි මහත්තයා... අනේ...."

මේ විලාප කිසිවක් අසන්නට අනුජ සිටියේ නැත. ගමනායක මහතා රූකඩයක් ලෙස දිස් වියේ සියල්ලම රේසිකාගේ අණින් ක්‍රියාත්මක වූ නිසාය.

මැඩගත් කෝපය දරාගෙන හිමාල් අවශ්‍ය කටයුතු වලට අපහසුවෙන් වුවද සහය දුන් අතර, පුදුමයකට මෙන් වරක් දෙවරක්ම රේසිකා හඬනු දුලීකාගේත් ඇස ගැටී තිබිණ.

අව සිහියෙන් සිටි නිර්මලී අවමංගල උත්සවයට සහභාගී වුයේ නැත. රේසිකාගේ ඇසට හෝ ඇස් මානයට නිර්මලී ගෙන නොඑන්නට හිමාල් තීරණය කර තිබුණු අතර ඔහුගේ  සිත වෙනම සැලසුමක් ක්‍රියාත්මක කරන්නට සැරසෙමිනි. 

අනුජ මියගොස් නැති බව කියූ  නිර්මලී සිටියේ ඔහු සමග නොනවතින සංවාදායකයි.

"අනුජ.... මගේ අත පොඩ්ඩක් රිදෙනවා.. අතාගන්නකෝ..."

අවමංගල උත්සවය නිමවනවාත් සමඟ හිමාල්  ආදාහනාගාරයෙන් පිටව ගියේ ඇසිල්ලකිනි. එයට විනාඩි පහලොවකට පසුව නිර්මලී ප්‍රතිකාර ලබමින් සිටි රෝහලේ, ඇගේ ඇඳ අසල මතුවූ රුවකි.

නමුත් ඒ ඇඳ හිස්ය.

"මිස්.. අර... නිර්මලී ගමනායක කියලා පේෂන්ට් කෙනෙක්?"

මෙවන් පැනයක් බලාපොරොත්තුව උන් හෙදිය , මේ සුරූපී ගැහැණිය දෙස වරක් සැලකිල්ලෙන් බැලුවාය.

"එයා සිංගප්පුරුවේ හොස්පිටල් එකකට මාරු කළා.. කල්පනාව හොඳ නැහැනේ.."

එයින් එහාට කිසිදු තොරතුරක් ලබාගැනීමට නොහැකිවූ නිසා , ආපසු හැරුණු රේසිකාගේ මුහුණ යක්ශාරූඩ වී තිබිණ. 

"We missed her. But she's out of the game now"

ඇමතුමක් ගත් රේසිකා එය අවසානයේ දුරකථන අංකය මකා දැමුවාය.

----------------------------- මතු සම්බන්ධයි  --------------------------------------------

16 comments:

  1. අපොයි දෙවියනේ...මේ මොනවැයි කරලා තියෙන්නේ නපුරියේ...

    ReplyDelete
    Replies
    1. මම නෙවෙයි.. පොලිස් පරීක්ෂණ පැවැත්වේ

      Delete
  2. Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම්!

      Delete
  3. හ්ම්ම්ම්!
    ඊළඟට නිර්මලීවත් මරමු! එතකොට කතාව ඉවරයි. අවුලක් ඇත්තේම නෑ!

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ අදහස.. හැබැයි එයාට මැරෙන්න තරම් අමාරු උනේ නැහැනේ

      Delete
  4. ඔබ ලියන්නේ ඔබේ පෑනෙනි! එය ඔබගේය! තීන්තත් ඔබගේය!! කඩදාසි කොලෙත් ඔබගේය!!! කොන්ත නෝනාගේ මොකක්ද එක කොන්ත නෝනාට ඕනෑ ලෙසට කියා කියමනක්ද ඇත! ඒ නිසා ඔබ කැමති ලෙසකට කථාව ලියාගෙන යාම පිළිබඳව අපගේ හිතේ තිබුනු කහට; මුදිතා ගුණයෙන් සෝදා හැරියෙමි!
    මොකද "හොරර් ෆිල්ම්" කියලා ජාතියකුත් මේ ලෝකේ තියෙනවා නොවැ!? සල්ලි දී බය වෙන්න ඕනෑ අය ඇවිත් ඔය පෝලිමේ ඉඳලා බලන්නේ!?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න...
      මගෙන් යාලුව්ක් ඉන්නවා.. උනදාට ඕනේ හැටියට නොවුනොත් ඇති සල්ලි ගෙවාගෙන ඇවිල්ලා බැනලම යනවා. පස්සේ සොරි කියනවා.

      කතාවේ නම බලන්න මහත්මයා... ශෝකය, බය වගේම රසයක් තමයි ප්‍රේමය කියන්නෙත්. ඉවසලා ඉන්ඩ

      Delete
  5. කියන්න වචන නැහැ මටත්...... ඔයාගේ කැමැත්තක්.....

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ තට්ට මහත්මයාගේ තදබල අනුගාමිකයෙක්... හ්ම්ම් හ්ම්ම් කමක් නැහැ බැනපල්ලා... බනින්න හරි එන එකනේ වටින්නේ

      Delete
  6. ඔය කොරලා තියෙන්නේ...හාපූ සංසාරේ.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් බලන්ඩකෝ

      Delete
  7. මම කියන්නේ අනුජ මැරිලා නැහැ. වලලන්න ගෙනිච්චම කට්ටියක් සෙට් වෙලා ආපහු ගොඩ ගන්නවා. මේක අනුජගේම ගේම් එකක්. (එහමවත් කියමු.)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම් හින්දි ෆිල්ම් බලනවා වැඩිද මන්ද.. බලමුකෝ ඉස්සරහට

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...