Sunday, December 5, 2021

284: උන්මාද චිත්‍රාදෝ මා 16

 


දැඩිසත්කාර ඒකකයේ යන්ත්‍ර වලින් ඇසෙන බීප් හඬ හැරුණුවිට , කාමරයේ ඇසුනේ කලබලයෙන් එහෙ මෙහෙ දුවන හෙදියන් සහ වෛද්‍යවරයින් තිදෙනාගේ මුණුමුනුව පමණි. දොර අසළ වූ බංකුවේ දෑතම හිසේ ගසාගෙන දණහිසට බරව උන් හිමාල් අසලින් , දුලීකා අවසිහියෙන් මෙන් බිත්තියේ හිස ගසාගෙන සිටියේ ඉදිමුණු දෑසිනි.

කොරිඩෝවේ තවත් දෙතුන් දෙනෙකු කරකියාගත හැකි දෙයක් නොමැතිව උන්හ.

සාකච්ජාව නිමකළ වෛද්‍යවරයින් අතරින් අයෙක් දොර විවර කරගෙන පිටතට එත්ම, හිමාල් ඉද්ද ගැසුවා සේ කෙලින්ව සිටගත්තේය.

"ඩොක්ටර්..!"

"හ්ම්ම්ම්... මිස්ටර් හිමාල්... අපි උපරිම හැමදේම කරනවා... ගේනකොටත් සෑහෙන්න බ්ලීඩ් වෙලානේ"

හිමාල්ගේ පපුවේ වම් පැත්ත රිදුම් දෙන්නාක් මෙන් දැනුනි. 

"අනේ ඩොක්ටර්... කීය ගියත් කමක් නැහැ.. ලංකාවේ බැරිනම් මම වෙන රටකට හරි ගෙනියනවා... මට ඇත්ත කියන්න ඩොක්ටර් "

හිමාල්ගේ මුහුණ දෙස මද වෙලාවක් බලාසිටි ප්‍රධාන වෛද්‍යවරයා ඔහුගේ උරහිස අල්ලා ගත්තේය.

"මිස්ටර් හිමාල්.. අපි ටිකක් ඉවසීමෙන් බලමු.. කන්ඩිෂන් එක අනුව තාම මුකුත් කියන්න ඉක්මන් වෙන්නේ නැහැ මම.. ඒ ගර්ල්ගේ සිට් බෙල්ට් එක තිබ්බ නිසා damage එක ටිකක් අඩුයි. මිස්ටර් ගමනායක ටිකක් ක්‍රිටිකල් කන්ඩිෂන් එකක ඉන්නේ.. අපි අපේ උපරිමේ උත්සහ කරනවා. පොඩ්ඩක්වත් ඒ ගැන සැකයක් තියාගන්න එපා"

"ඩොක්ටර්.. ඒ මගේ බෙස්ටා ඩොක්ටර්.. ඌ වෙනුවෙන් මම ජිවිතේ උනත් දෙනවා.. අනේ ඩොක්ටර්... ඌව බේරලා දෙන්න... එයාගේ වයිෆ් තමයි අනිත් එක්කෙනා... කාටවත් වැරැද්දක් කරලා නෑ උන් දෙන්නා"

"මට තේරෙනවා මිස්ටර් හිමාල්... damages වැඩි නිසා හැමදේම අවිනිශ්චිතයි.. මුලින්ම අපි මිස්ටර් ගමනායක dangerous zone එකෙන් එළියට ගන්න ඕනේ.. අපි ටීම් එක අපේ උපරිමේ කරනවා.. ඒකට කලබල වෙලා බැහැ "

හිමාල්ගේ පිරිමි කඳුළු දැක සහකම්පනයෙන් වෛද්‍යවරයා පැවසුවේ කරුණාවන්ත හඬිනි. අනතුරට පත් තරුණ යුවල දුටු මොහොතේ ඔහුගේ වෛද්‍ය සිතද තරමක් කම්පිතව ගියේ, අනතුරේ දරුණුකම නිසාත් අනුජ ගමනායක හඳුනාගත් නිසාත්ය. රෝහලට ගෙනෙන විට දෙදෙනාටම සිහිය තිබුනේ නැත. ගෙනෙන මොහොතේ හදවත නතරවන්නට ආසන්නව තිබුණු අනුජ , යලි පණගන්වා ගන්නට වෙද-හෙද කණ්ඩායම දැරූ උත්සාහය අපතේ ගියේ නැත.

නමුත්, අනුජ සිටියේ බරපතල තත්වයකය. 

පැමිණ සිටි පොලිස් නිලධාරීන්ට පිළිතුරු දෙන්නට තරම් මානසික තත්වයක් නැතත්, හිමාල් සිටියේ පිටතින් මවාගත් ශක්තිමත් බවකිනි.

".. ඔෆිසර්.. ඕගොල්ලෝ මට කියන්නේ නිකංම පාරේ තිබ්බ ටිපර් එකක බ්‍රේක් නැතිවෙලා , ඉබේම මෙහෙම ආව කියලද? ආ?? "

"ඒ ලොරිය හැමදාම එතන නතර කරලා තියෙන එකක්."

"මේක එහෙම අහම්බයක් වෙන්න බෑ ඔෆිසර්... මට සැකයි... මට මේ ගැන පැමිණිලි කරන්න ඕනේ"

අපහසුවෙන් සිය කෝපය පාලනය කරගනිමින් හිමාල් කීවේ අතපය විසි කරමිනි.

"ඕකේ සර්... අපි පැමිණිල්ලක් දාමු. එතැන එදා CCTV වැඩ කරලත් නැහැ. අපි ඊට මෙහා කැමරා වල චෙක් කරනවා.. දැනට කවුරුහරි සැකද ?"

"ඔව්..."

පොලිස් නිලධාරියා හිමාල් දෙස බැලුවේ සෘජුවමය.

" හ්ම්ම්... ?"

"රේසිකා මාකඳුර.. මට සැකයි ඒ ගෑනිව"

හිමාල් ගත් කටටම පැවසුවේ දත්මිටි කමිනි. ඔහුගේ අත මිට මෙලවී තිබුනේ ආවේගය නිසාමය. අනුජ පසුපසින් ඇගේ අඳුරු සෙවනැළි සරණ බවට තමන් අනුජට අනතුරු හැඟවුවා නොවේද? අනුජ එය ගණනකට ගත්තේ නැත!

පොලව නුහුලන මේ අපරාධය , අනතුරක් නොව මිනීමැරීමට තැත්කිරීමක් බව හිමාල් තරයේ විස්වාස කළේය.

"හොඳයි සර්... අපි පැමිණිල්ලක් දාමු. කවුද මේ රේසිකා කියන්නේ?"

"අනුජගේ එක්ස්... රේසිකා කියන්නේ එයාගේ කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ්."

--------------------------------------------------------------

ඇමතුම විසන්ධි වීමත් සමඟම අපරාධ විමර්ශන අංශයේ ජේෂ්ඨ නිලධාරියා මදක් කල්පනා කළේය.

අනතුරුව සිය දුරකතනයට එවා තිබුණු පින්තුර දෙස නැවත වරක් අවධානය යොමුකළේය.

'පොඩි කෙල්ලෙක්... අනුජ ගමනායක මෙච්චර චූටි කෙල්ලෙක් බැන්දේ?.. කෙල්ල නම් ලස්සනයි. සල්ලි වලට ඉතින් ඔක්කොම යටයිනේ'

ඔහු සිය දුරකථනය මත ඇඟිලි විහිදුවා නිර්මලිගේ සිනාසෙන පින්තූරය තවත් ලංකොට ඒ දෙස වඩා සැලකිල්ලෙන් යලිත් බැලුවේය. අනුජ ගමනායක වැනි සල්ලිකාරයින් සාමාන්‍ය යුවතියක් විවාහ කරගන්නට නොහැකිය. එක්කෝ ඈ සුරූපී විය යුතුය, නැතිනම් ඔහු වැනිම දේපල හෝ බලයක් හිමි තරුණියක් විය යුතුය. නිර්මලී ගමනායක.... ඈ තවමත් සරසවි ප්‍රවේශය අභිමුව සිටින තරුණියක් බව ඔහුට ලැබුණු මුලික තොරතුරු සහිත ලිපිගොනුවේ සඳහන්ව පැවතුනි.

'එච්චර පොඩි කෙල්ලෙක්! මේ මනුස්සයට තිස් ගානක් නේද?'

මොහොතකින් ඇසෙන නාදවෙන දුරකථනය , තවත් තොරතුරක් බව ඔහු දනී.

"යේස්... ඔෆිසර් විනෝද් හියර්.."

"සර්.. රිපෝර්ට් ටික බැලුවා. ඒ මනුස්සය බීලා ඉඳලා තියෙන්නේ. "

"හ්ම්ම් හරි පීසී.. රිපොර්ට්ස් ටික එවන්න කැබ් එකේ දවල් වෙනකොට. වටේ තියෙන CCTV footages ටිකත් ගන්න. මම එවලා ඇති ඕනේ ලියකියවිලි ටික."

දුරකථන තිරයේ සිනාසෙන සුරූපී තරුණිය දෙස බලාගත්වනම ඇමතුම විසන්ධි කල ඔහු නැවතත් ලිපිගොනුව දිගහැර ගත්තේය.

------------------------------------------------------------

 සවස් වනවිට තත්වය නරක අතට හැරුණි. අනුජගේ යන්ත්‍ර සුත්‍ර නොයෙකුත් හඬින් මොර දුන්නේ ඔහුගේ හදවත නතර වන්නට ආසන්න වූ බව කියමිනි.

දුලීකා සිය ජිවිතයේ කිසිදිනෙක හිමාල් එතරම් හඬනු දැක තිබුනේ නැත. හැඩිදැඩි පුරුෂයෙකු වූ හිමාල් සිය හිස බිත්තියේ ගසමින් සිය වේදනාව පාකර හරින්නට උත්සහ කලේ, මේ මොහොතේ වෙනත් කරන්නට යමක් නැති නිසාම වන්නට ඇත. 

ඊට මදක් ඈතින්, මේ කිසිවක් නොදැන තවමත් සිහිසුන්ව නිර්මලී වැතිර සිටියේ බීප් හඬ නංවන යන්ත්‍ර වලට සිය සුසුම පාලනය ලබාදෙමිනි. මිට අඩ පැයකට පෙර ඇගේ ඔක්සිජන් සැපයුම තරමක් පාලනය කලේ, ඒ වනවිට හුස්ම ගැනීම ඇගේ පෙනහළු මගින් බාරගන්නට කැමැත්තක් පලකල බැවිනි. 

පැයක පමණ මෙහෙයුමකින් , අනුජ සවිකළ යන්ත්‍ර වල තිබුණු බීප් හඬ නැවත ගෙන ඒමට වෛද්‍ය කණ්ඩායම සමත් වූ නිසා කලබලය තරමක් පාලනය විය. 

හිමාල්ගේ දුරකථනය හැඩවුනේ ඒ මොහොතේය. දුලීකා එයට පිළිතුරු දුන්නේ , whatsapp මගින් ඒ අමතන්නේ අනුජගේ පියා බව දැනගෙනය.

"කියන්න අංකල් "

"මගේ සන්ට කොහොමද?"

ඒ හඬේ ඇති වෙව්ලීම දුලීකාට තෝරාගත හැකිය. එකවරම යමක් කියන්නට නොහැකිය.

"අංකල්... අංකල් කොහෙද ඉන්නේ?"

"එයාපෝට් එකේ ඉන්නේ පුතා.. තව ටිකකින් ෆ්ලයිට් එකට නගිනවා.. මම කෙලින්ම එන්නේ හොස්පිටල් නේද?"

අනුජ සිටින්නේ අතිශය අවදානම් තත්වයකය. ඒ බව කියන්නේ කෙලෙසද? අනුජගේ පියා පහසුවෙන් සැලෙන චරිතයක් නොවන මුත් මේ මොහොතේ ඇති තත්වය පියෙකුට දුරක සිට පැවසිය හැක්කක් නොවේ.

"ඔව් අංකල්... ආසිරි සර්ජිකල් හොස්පිටල් එන්න , ආවහම කෝල් කරන්නකෝ."

අනතුරුව දෙදෙනාම ගොළුව ගියහ.

"පුතා...."

"................ අංකල් ?"

"අනුජට.. ගොඩක් අමාරුද ?"

එය පියෙකුගේ වෙව්ලන  වචන පෙළකි. දුලීකා කුමක් කියන්නදැයි නොදැන වික්ෂිප්තව ගොත ගැසුවාය.

"අංකල් පරෙස්සමෙන් එන්නකෝ... අපි ඇවිත් බලමු"

බලෙන් මෙන් ඈ ඇමතුම විසන්ධි කරද්දී, හිමාල් ඈ දෙස බලාගෙනම සිටියේය.

"දුලී... ඔයා ගෙදර යන්න දැන්... ගිහින් පොඩ්ඩක් රෙස්ට් කරන්න. අනුවාගේ ඉස්කෝලේ යාලුවෝ ටික ඉන්නවනේ"

දුලීකා මෘදු සිනාවකින් මුව සරසාගෙන හිමාල්ගේ හිස අතගෑවාය.

"මට නෙවෙයි.. ඔයාට තමයි රෙස්ට් එකක් ඕනේ.."

"මට මෙතනින් යන්න බෑ ... "

දුලීකා එය දනී. ඈට ඉබේටම හෙලුනේ සුසුමකි. මේ සිටින්නේ ඔහුගේ ප්‍රාණ සම මිතුරාය.

"මුන් දෙන්නට ඇස්වහ වැදුනා වගේ මහී. මටත් වාවන්නේ නෑ . කවුද මේ වගේ දෙයක් වෙයි කියලා හිතුවේ ??"

 "ජීප් එක වැදුන නම් ඔච්චර චප්ප වෙන්නේ නැහැ. අනික.... මේක නිකන් ඇක්සිඩන්ට් එකෙක් නෙවෙයි දුලී.. අර %$# බැල්ලි මට ෂුවර් නැහැ.. ඕකි ඉන්නේ ලංකාවේ... මම කෝල් කලාට ෆෝන් නම්බර් එක බ්ලොක් කරලද කොහෙද.. නැතිනම් ලයිට්වත් නැතුව වැලි පුරෝපු ලොරියක් , කලුවරේම ඇවිත් හැප්පුනා කියන්නේ මාර සුරංගනා කතාවක්නේ! හෙන ගහන්න ඕනේ මේ කරපුදේට! මම මේක අරින්නේ නැහැ ලේසියෙන්..."

"රේසිකා... අනුජව මරන්න තරම්??"

"නෑ දුලී... මට හිතෙන්නේ කා එක නිර්මලිගේ.. මේක නිර්මලී ටාගට් කරපු දෙයක්.. නැතිනම් අනුජව ටාගට් කළා නම්, ජීප් එක හප්පන්න ඕනේ. "

"රේසිකා එච්චර එහෙම කෙනෙක්ද? අනුජගේ දේපල වලට ඔච්චර කෑදර වෙන්නේ? අර පත්තරේ ගියපු පින්තුර වලින්ද මේ ඔක්කොම ඇවිලුනේ?"

එකවරම සිතට ආ වචන හිමාල් ගිලගත්තේය.

"වෙන්නත් පුළුවන්.. අනුජ ඒ උනාට මෝඩ වැඩ කරන එකෙක් නෙවෙයි. ඌ එහෙම නිර්මලිව කටුවෙන් එළියට ගන්න ලොකු හේතුවක් තියෙන්න ඕනේ දුලී. ඔහොම danger එකක් තියෙනවා නම්... කීයටවත් ඌ පිස්සුවක් කෙලින්නේ නැහැ.."

හිමාල්ගේ හඬ බිඳී ගියේය.

එවිටම අනුජගේ මිතුරෙකු පැමිණි හිමාල්ට කතාකලේ පොලිස් පරීක්ෂණ වලට අවශ්‍ය අනෙකුත් කාරනා තීරණය කරන්නටය. දුලීකා නැගිට ගොස් අනෙක්පස සයනයේ කිසිදු හැලහොල්මනක් නොමැතිව වැතිරී සිටින නිර්මලී දෙස විනිවිද පෙනෙන වීදුරුව ඔස්සේ බලා සිටියේ හදවත වේගයෙන් කම්පා වෙමිනි.

'අනේ නිර්මලී... අනුජ වෙනුවෙන් ජිවත් වෙන්න...'

ඇගේ ගැහැණු හදවත නොපෙනෙන දෙවියන් යදිමින් කියා සිටියේ එයයි.

"මිස්... ගිහින් ටිකක් රෙස්ට් එකක් අරගෙන එන්න.. අපි මෙතැන ඉන්නවනේ"

අනුජගේ ආයතන සේවකයින් අතුරෙන් අයෙකු පැමිණ කරුණාවන්තව පැවසුවේ දුලීකා දෙසට හිස ඇල කරමිනි.

"නෑ මම තව ටිකක් ඉන්නවා... පොඩ්ඩක් අර සර් ගැන බලන්න.. උදේටවත් තාම කාලා නැහැ..."

ඒ පැවසුවේ හිමාල් ගැනය.

මීනා සහ තුෂාරා පැමිණ සිටියේ තද කම්පනයකට පත්වය. සයනයක් මත හැලහොල්මනක් නොමැතිව සිටින සිය දියණිය දැක මීනා දෙවරක්ම සිහිසුන් වූවාය. පොලිසිය තුශාරාගෙන් ප්‍රකාශයක් ලබාගත්තේ සිය සැමියාගේ විරෝධය පවා නොතකා ඈ ඒ සඳහා කැමැත්තෙන් ඉදිරිපත් වූ නිසාය. සිය ස්වාමියාට සිදුවී ඇති කරදරය ඈට අදහාගත නොහැකි තරමකි. ඊටත් අර අහිංසකි ?

පිරිස වැඩිවූ නිසාත්, මෙතන රැඳීමෙන් ඇති වැඩක් නැති නිසාත් හිමාල් අවශ්‍ය උපදෙස් ලබාදී දෙදෙනාටම යන්නට පැවසුවේය. ඒ වන විටත් උප පරීක්ෂකවරයෙකු වන තුශාරාගේ සොයුරා පොලිසියේ වැඩකටයුතු වලට මැදිහත්ව සිටියේය.

සියල්ලම උඩු යටිකුරු වී පැය විසි හතරකට ආසන්නව ගොස්ය. අනුජගේ සතුටුදායක තත්වයක් නැත. නිර්මලී පමණක් තරමක් බලාපොරොත්තුවක් ඇතිකොට තිබිණ. 

"මේ පොලිසියේ උන්ගේ හොම්බට අනින්න හිතෙනවා මට"

"තරහා ගන්න එපා හිමා.. ඇයි මොකද උනේ?"

"උන් මේ අනුවා පොඩි කෙල්ලෙක් මැරී කරපු එකක් කියෝනව.. අරෙහෙ පත්තර කාරයෝ ඒක උඩ දානවා"

දුලිකාගේ සිතද බරවුයේ සන්තාපයෙනි. මුහුණුපොත පුරාම දෙදෙනාගේ පින්තුර සමඟ බුකි විද්වතුන් මහා කලකෝලාහල කරමිනි. 

සමහරුන් අනුජට නාකි මනමාලයා කියති. සමහරු කවි ලියති. තවත් සමහරු සුරූපී තරුණියන් විසින් රවටාගත් පෝසතුන් ගැන ලිපි ලියති. වැඩිමනත් ඒවා කියවන්නට පිළිකුල්ය. අතරින් පතර දෙදෙනාට සුවවෙන්නට කියා පින්තූර ෂෙයාර් කරන්නැයි ඉල්ලීමකි. ලයික් කරන්නට කියාද කියති.

ඒවා දැකීමෙන් රිදුනු ඈ මුහුණුපොත දෙස නොබලාම අතහැර දැමුවාය. අනුජ තමන්ට වඩා සෑහෙන ලාබාල තරුණියක් විවාහ කරගෙන සිටීම ගැන මෙතරම් ජුගුබ්සාජනක ලෙස කෙනෙකුට ලියන්නට හැකිද?

".. ඒකත් නෙවෙයි දැන්.. මට එතැන ඔෆිසර් කෝල් කළා...අනූ එදා ෂොට් එකක් දාලා ඉඳල තියෙන්නෙත්.. ඒක වැඩේට අවාසියි.."

"අනේ හිමා.... ඔයා මිස්ටර් දාබරේට කතා කලාද?"

"ඔව්... මිනිහා පොලීසියට ගියා.. ඉන්වෙස්ටිගේෂන් යන විදිය බලයි. මිස්ටර් දාබරේ කිව්වා නිමන්තිකා එතැන හිටියා කියල. මට සැකයි ඔය ගෑනි ඇති ඕක පිටිපස්සේ. රේසිකා.... මම අතාරින්නෙ නෑ ඔය ගෑනිව."

"මේ ගෑනුන්ට පිස්සුද මන්ද, රේසිකා නම්...... මට හිතාගන්න බෑ !"

"ඔයා දැකල තියෙනවනේ දුලී ඒ ගෑනි කලින්පාර හැසුරුණු විදිය. නිර්මලී කොච්චර අහිංසක ළමයෙක්ද? කිසි දෙයක් දන්නෙත් නැතුව අනුජව විස්වාස කලානේ. මට හිතුනේ අන්තිමට ඒ ගෑනිට වීසා එකට වඩා අනුජව ඕනේ උනේ. අෆෙයාර් එක නැති උනාට ඒ ගෑනි අනුජ පස්සෙන්මයි. පුදුම ඉවසිල්ලක් ඉවසුවේ මු... අංකල් මේ මොකවත් දන්නේ නෑ.. මූ කිව්වෙත් නැහැ.. අනුජ කැමති උනේ නැහැ ඒ ගෑනිව එහෙම සවුත්තු කරන්නත්. මට නම් මාර තරහයි.. "

"මම කිව්වේ හිමා මේ දෙන්න පව් දෙවියනේ.. මට පිස්සු වගේ... මට නිර්මලී ඔහොම ඉන්නවා දැක්කහම වාවන්නෙම නැහැ.. හරිම අහිංසක කෙල්ල... අනුජගේ ඇඟේමයි... අනුජ පව්... කාටවත් වැරැද්දක් කලේ නෑනේ... ඔයා විහිළු කලාට කුරුළු ජෝඩුව වගේ තුරුල්වෙලා කොච්චර ආදරෙන්ද හිටියේ...? "

දුලිකාගේ වචන අවසානයේ විලාපයක් දක්වාම ගියේ නිරායාසයෙනි.

"අඩලා වැඩක් නැහැ දුලී...."

ඒ මොහොතේ කොරිඩෝවේ කොනෙන් මතුවූ තරුණයෙකි. ඔහුගේ මුහුණ බලන්නට නොහැකි තරම් වේදනාවෙන් පිරි තිබිණ. මේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සැමතැනම සිටින මිනිසුන්ගේ මුහුණු ඇත්තේ එලෙසම වන්නට ඇත. තවත් සමහරු තත්වයට හැඩගැසීම නිසාදෝ සුදුමැලි මුහුණේ කිසිදු හැඟීමක් නැත්තාක් මෙන් වෙනස්ව ගොස්ය.

තරුණයා පසුකරගෙන ආවේ කෙට්ටු, නමුත් තරමක් උස තරුණියකි. ඒ සමඟම තවත් කාලවර්ණ තරුණයෙකි. 

"නි-ර්ම-ලී...."

ගොතගැසෙන වචන වලින් හුස්ම අල්ලමින් නැවතුනු තරුණිය දුලීකා දෙස බැලුවාය.

".. ම.. මම නේහා... අනේ කෝ නිර්?"

දුලීකා තරුණයන්  දෙදෙනා අතරින් තලෙළු පුද්ගලයා දෙස බැලු අතර හිසින් පෙන්වුයේ වීදුරුවෙන් පෙනෙන නිර්මලීගේ සයනයයි. 

"අනේ.... අය්යෝ...! තරංග....! මේ ?මොනාද මේ උනේ?"

සිහිසුන් වන්නට ආසන්න සිය පෙම්වතිය වාරු කරගත් තලෙළු තරුණයා හිමාල් වෙත හැරුණි.

"අය්යා.. මොකද උනේ?"

"නිර්මලිගේ කා එක හැප්පුනා.. ඊයේ..."

පැහැපත් තරුණයා ගේ මුවින් පිටවුයේ හිමාල් අපේක්ෂා කල වචනයක් නොවේ.

"බැල්ලි ! මිනීමරු බැල්ලි!!"

අසලංක රාමනායකගේ දෑස් වලින්  පුලිඟු පිටවනවාත් සමඟම, දෑසේ තිබුණු කඳුළු ගුලියක් සිතල පොලව මත වැටුනේ හිමාල් වෙතම යොමුවූ ලෙසිනි.

---------------------------------------------------------

මේ වැටෙන්නේ බරැති පිරිමි කඳුළුය. තමන්ට අහිමි පෙම්වතිය අන්සතු බව දැනගත් මොහොතක පවා නොවැටුණු ඒ කඳුල විසින් අසලංක කුඩා දරුවෙකු බවට පත්කොට තිබිණ. නේහා මුව අයාගෙන අසා සිටියේ මේ  කතාවය. නමුත් දෑසේ තිබුනේ කෝපයකි.

"මම දැනගෙන හිටියේ නැහැ මෙහෙම කරදරයක් කරයි කියලා.. මට පෙන්නපු පින්තුර එක්ක මම හිතුවේ නිර් මේ මනුස්සයට රැවටිලා කියල"

"තමුසේ.... තමුසේ නිර් ට ඔත්තු බැලුවා කියලද මේ දැන් කියන්නේ ආ??"

නේහා සිය මිටිකල අතින් අසලංකගේ පපුවට පහර පිට පහර එල්ල කලේ තරංග පැන ඈ වලක්වන තෙක්ය.

"මට ඒ ගෑනි කිව්වේ , ඒ මොහොතේ ඒ ගෑනි සිනමන් ග්‍රෑන්ඩ් එකේ අනුජ එක්ක ඉන්නවා කියලා. අනුජ නිර් ට චීට් කරනවා කියල.. මම... මම... කීයටවත් හිතුවේ නැහැ...."

අසලංකගේ හුස්ම හිරවෙන්නට ආ බැවින් හුස්ම ඇල්ලුවේය.

"..මගෙන් කා එකේද ආවේ කියලා ඇහුවා..."

තරංග ඉදිරියට පැන අසලංකගේ කොලරයෙන් අල්ලා ගත්තද, අසලංක බේරෙන්නට කිසිවක් කලේ නැත. 

".. ගහපන් මචං... මට ගහපන්... නිර්ට මේ වගේ දෙයක් වෙනවා කියලා දන්නවා නම් මම කීයටවත් එහෙම උදව් කරන්නේ නැහැ මචං"

තරංග අසලංක තල්ලුකොට දැමුවේ පිළිකුලෙනි.

"බල්ලෙක් උඹ... !" 

"මට පින්තුර වගයක් පෙන්නුවා.. වීඩියෝ එකක් පෙන්නුවා... කොටින්ම එදා සිනමන් ග්‍රෑන්ඩ් එකේ ඉන්නවා කියලා පින්තුරයක් එව්වා... හැබැයි ඒකෙ නම් අනුජ හිටියේ අහක බලාගෙන.. ඒ උනාට "

හිමාල් තිගැස්සුනද , එය නොපෙන්නා සිටියේය. එසේනම් ඈ ඒ දහදුරා වැඩේ කර තිබේ!

"මොනාද වීඩියෝ?"

නේහා කෝපයෙන් වෙව්ලමින් ඇසුවාය.

"ඒවා මගේ ගාව නැහැ... මට පෙන්නුවා.. ඒවා ඔයාට බලන්න පුළුවන් ඒවා නෙවෙයි නේහා.. මෙන්න මේ පින්තුරේ නම් මට එව්වේ ඊයේ"

අසලංක සිය ජංගම දුරකථනය විවෘත කර, එහි තිබෙන පින්තුරයක් දක්වා සිටියේය. සුරූපී තරුණියක්, බා ස්ටෑන්ඩ් එකේ සිටින අනුජට පිටදී ගත් පින්තුරයකි. අනුජ සිටින්නේ පසෙකට හැරීය. නේහා දුරකතනයට එබී බලත්ම ඈට යමක් මතක් විය.

"මට මෙයා මතකයි.. මට කා පාක් එකේදී හම්බෙලා තියෙනවානේ.. කවුද මේ?"

නිර්මලිගේ මෙන් අහිංසක පෙනුමක් නොව, ඈට ඇත්තේ උමතු කරවන තරම් සරාගී පෙනුමකි. පෙනුමෙන් නිළියක් තරමටම ලතාවන් ඇති ඈ සිටියේ රතුපාට පටි සහිත කෙටි ගවුමකින් සැරසිගෙනය.

"මට කිව්වේ අනුජගේ එක්ස් කියලා.. දෙන්නගේ ලොකු අෆෙයාර් එකක් තිබිලා තියෙනවා. මට ඒ පින්තුර ඔක්කොම පෙන්නුවා.. වීඩියෝ තුන හතරකුත් පෙන්නුවා... අනුජ එයාව රවට්ටලා , ලංකාවට ආවා කියල මට කිව්වේ. අනුජ ගැන තරහින් කතාකලේ. නිර් පව්, එයාව බේරගන්න කියලා කිව්වා අනුජගෙන්..."

අනතුරුව ඔහු තරංග දෙස බැලුවේ අසරණ ලෙසටය. හිමාල් කිසිවක්ම නොකියා මේ සියල්ල අසාගෙන සිටියේය.

"... කෙල්ල ගැන පුදුම අනුකම්පාවකින් ඒ ගෑනි කතාකලේ... ඉතින් මට සැකයක් හිතුනෙම නැහැ.. නැතිනම්.. මම කීයටවත්....!"

ඔහුගේ හඬ බිඳී ගියේය.

"...මම.. මම සිරාවටම නිර්ට ආදරෙයි ..." 

"මොන බූරු කතාවක්ද ඒ? තමුසේ මාර මනුස්සයෙක්නේ...  අනික... අනික කොහොමද ඔයාව අල්ලාගත්තේ......."

"මට එදා අනුජ කතාකරන්න ආපු දවසේ... ම.. මම නිර් ගැන අයිඩියා එකකින් ඉන්නවා කියලා නිර් කියලා වෙන්න ඇති..  අනුජ ආවානේ  මාව හම්බෙන්න.. එදා අනුජ පිටවෙලා යනවත් එක්කම මට මෙයා ඇවිත් කතාකලා.. "

රේසිකා කපටි ගැහැනියක් බව දන්නා හිමාල් ඇගේ සැලසුම සිතාගත්තේය. ඈ තෝරාගෙන ඇත්තේ දුර්වලම පුරුකයි. මේ සියල්ලෙන්ම, එක් දෙයක් හැර, අනෙක් සියල්ලම පැහැදිලිය. තමන් හිරවෙන්නේ ඈ ළඟ තිබෙන පින්තූර සහ වීඩියෝ පට නිසාය. මේ සියල්ලම අතර එය පිටතට ඒම , තවත් බරපතල කාරණාවක් වන්නට හැකිය.

---------------------------------------------------------------------------------------

"එක නම්බර් එකක්වත් වැඩකරන්නේ නැහැ සර්.. මුන් කියන කතාව ඇත්තක්ද?"

කොස්තාපල්වරයා ලිපිගොනුව මේසය මත දිගහැර එයින් දුරකථන නොම්මර ලියු කොලය ගෙන මේසය මත තැබුවේය. රේසිකා නමින් තිබුණු සිම්පත් කිසිවක් වැඩකරන්නේ නැත.

"හ්ම්ම්.. ඇත්ත වෙන්නත් පුළුවන්.. බොරු වෙන්නත් පුළුවන්.. මටත් මේ ඇක්සිඩන්ට් එක සැකයි පීසී. ටිපර් එකේ බ්‍රේක් නැතුව ගියපු එක, එතැන හැමදාම නතර කරලා තිබ්බ එක අහම්බයක් නෙවෙයි. අයිතිකාරයා කියනවා බ්‍රේක් නැති නිසාලු පටෝපු ලෝඩ් එක ගෙනියන්නේ නැතුව එතන ලොරිය නතර කලේ. 

හැබැයි ඌ දන්නේ නැහැ බ්‍රේක් නැති විත්තිය උදේ වාහනේට නගිනකල්. අනික... ඌ තිබ්බාය කියන ගලත් නෑ... කවුරුහරි හෑන්ඩ් බ්‍රේක් අයින් කරලා තියෙනවා. නතර කරපු වාහනයක බ්‍රේක් නැතිනම් , එහෙම හෑන්ඩ් බ්‍රේක් පාත දාන්නේ නෑනේ... ඒක මට සැකයි.. අනික මේ මනුස්සයා බීලා ඉඳලා තියෙන්නේ... ඒ වගේම අර හිමාල්ද කවුද කියන එකා... මොනවාහරි හංගනවා.."

විනෝද් දුණුකාර මේසය මත තිබෙන බරුවක් ගෙන වමතින් දකුණතට මාරු කරමින් පැවසුවේ විශ්ලේෂනාත්මකවය.

" මොකක් හරි ගෑනු හුටපටයක් වෙන්න ඇති මේ මනුස්සයාගේ.. මේ පොඩි කෙල්ලට වඩා , ඔය පෙන්නපු ගෑනි ලස්සනයිනේ සර්.. හැබැයි මරන්න තරම්?"

"කොල්ලා ළඟදී ෆැමිලි බිස්නස් අතෑරලා , අලුත් එකක් පටන් ගත්තා. මේ කෙල්ලට බිස්නස් අයිතියි.. ඒකත් කොල්ලගේ අම්මගෙන්.. බඳින්න කලින් පවරලා තියෙන්නේ... ඒ කියන්නේ බැන්දම ලැබෙනවට වඩා දෙයක් එතැන තියෙනවා..  බැලුවහම කොල්ලාට අයිති , වෙන ලොකු දේපලක් නෑ.. මේක අපරාධයක් නම්... කොල්ලාව ටාගට් කරපු එකක්ද?"

කොස්තාපල්වරයාද කල්පනාවට වැටුනේය.

"සර්... ඒ කෙල්ලගේ එෆ්බී එකේ තියෙන්නේ කොල්ලගේ පින්තුරයක්.. උන් දෙන්නා එදා මේ සිද්ධිය වෙන්න කලින් , සිනමන් ග්‍රෑන්ඩ් එකේ ඉඳල තියෙනව. හැබැයි කොල්ලා ආවේ ඒ ගෑනි හම්බෙන්න වෙන්නත් බැහැ.. කොන්ෆරන්ස් එකක් තිබුනා පොඩි හෝල් එකේ. 

මම එතනයි අනෙක් තැන්වලයි footages ගත්තා. කොන්ෆරන්ස් ඉවරවෙලා කොල්ලා බා එකට යනවා.. එතනට තමයි මේ ගෑනි එන්නේ.. මුලින්ම කොල්ලා දකින්න කලින් මේ කෙල්ල සෙල්ෆියක් ගන්නවා.. ඊට පස්සේ  මොකක් හරි එකකට දෙන්නා බැනගන්නවා.. පේන විදියට ෆෝන් එකත් උදුරනවා... එතන තිබ්බ ගෑරුප්පුවක් හරි, මොකක් හරි උළුක් කරලා කොල්ලා මොනවාහරි කියනවා..  

පස්සේ මේකි පසුබැහැලා වගේ යනවා.. ඊටත්  පස්සේ කොල්ල ටිකක් අවුලෙන් වගේ බොනවා... කාටහරි කෝල් කරනවා... එතන කොතැනවත් ලොකු කේස් එකක් මට පේන්නේ නැහැනේ සර්...."

"මැසේජස් ටික බැලුවා මම.. ඔය රේසිකා කියන කෙනාගෙ කිසි නම්බර් එකකින් කෝල් ඇවිත් නැහැ.. "

අනුජ විසින් භාවිතාකල අනෙක් අංකය ඔවුන් අත නොමැති බැවින් අනුජගේ පියාගේ පින්තුරය ඔවුන්ට මගහැරී තිබිණ.

මේ අතර ඊට කිලෝමීටර් ගණනාවක් ඈත වූ එක්තරා තැනක ඇති මේසයක් වටා තිදෙනෙක් රැස්ව සිටියදී එක් දුරකතනයක් නද දෙයි.

"හෙලොව්... ?"

".........................."

"එහෙමද? බීලා නම් ඉතින් අහන්නත් දෙයක්ද? අනික මම ඒ ලොරියේ අයිතිකාරයා එක්කත් කතාකලා. ඒ මනුස්සයාට කරන්න දෙයක් නැහැ. හිතාමතා කරපු දෙයක් නෙවෙයිනේ ඔෆිසර්"

"....................................."

"ඔව් ඔෆිසර්.. මම හෙට උසාවි යන්න කලින් එනවා. ඒ වගේ පරණ කතාවක් මෙතන අදින්න ඕනේ නැහැනේ ඔෆිසර්. අනික මම ඔය කියන ලේඩි ගැන එහෙම දන්නේ නැහැ.. මට ඕනේ යුක්තිය ඉෂ්ඨ කරන්න. මිස්ටර් දාබරේ වගේ රට පටලවාගන්න මම ආසා නැහැ. මේකට උනත් මම ඉන්වොල්ව් උනේ ලොරියේ අයිතිකාරයා වගකීමක් ගන්න බෑ කිව්වහම ඒ ඩ්‍රයිවර් මනුස්සයා වෙනුවෙන් අපේ ෆවුන්ඩේෂන් එක ඉදිරිපත් උන නිසා... අපි ලේඩිස්ලා විතරක් නෙවෙයි.. අසරණ ඕනෙම කෙනෙක්ට නීති උපදෙස් දෙනවනේ"

"................"

"ඕකේ ඔෆිසර්.. මටත් මෙතන කිසි කේස් එකක් පේන්න නෑ.. මේක අනතුරක්.. 

--------------------------------------------------------------------------------------- 

"... නිර්මලී ... අපි කියන දේ ඇහෙනවද? නිර්මලී " 

නිර්මලීගේ වේගයෙන් ගැහෙන ඇසිපිය වලින් පෙනුනේ ඇයට ඇසෙනා බව දැනගත් හෙදිය සැනසුම් සුසුමක් හෙළුවාය. ඈ කරුණාවන්ත ලෙස සිනාසෙමින් නිර්මලීගේ සේලයින් බෝතලය පරික්ෂා කොට ඇඳ පාමුල වූ සටහන් පොත මත සිය සටහන තැබුවාය.

".. බයවෙන්න එපා මිස්.. කතාකරන්න දඟලන්න එපා දැන්ම.. "

හෙදියගේ කරුණාබර වචන නිර්මලිට ඇසුනද ඇඟට දැනෙන අපහසුතාවයත් හිසේ බර ගතියත් නිසා තවමත් පියවි සිහියකට එන්නට ප්‍රමාණවත් නොවිය.

"...හෙමින් හෙමින් කතාකරමු හ්ම්ම්?"

'හ්ම්ම්...!' කියා ඇසෙත්ම නිර්මලීගේ හුස්ම වැටෙන්නට පටන් ගත්තාක් මෙනි.

'හ්ම්ම්ම් කියන්නේ.... අනුජ! අනේ.... කෝ මගේ අනුජ!!' නිර්මලීගේ වමත වෙව්ලන්නට වුයේ දෑස නිරායාසයෙන් කඳුලින් වසාගනිමිනි.

'... අපි.. අපි කොහෙද ගියේ... ගෙදර... අපි... අපිට මොනාද උනේ...අපි ගියපු වාහනේ මොනාද උනා... මොනාද නෙවෙයි... හැප්පුනා නේද? කෝ මගේ අනුජ?? අනේ කෝ එයා?' ඒවා කිසිවක් වචනයෙන් පිටතට පැමිණියේ නැත. ඒ වෙනුවට දෑසින් කඳුළු බේරෙන්නට විය.

හෙදිය විසින් දන්වන ලදුව, වෛද්‍යවරයා පැමිණ නිර්මලී පරික්ෂා කොට සේලයින් සහ වෙනත් බෙහෙත්වල වෙනසක් කිරීමට උපදෙස් ලබාදී ගියේය.

"මිස්... ඔයාගේ යාළුවට සිහිය ආවා.. "

----------------------------------------------------------------------------

"අනේ ළමයෝ.. අඬන්න එපා දැන් ආයෙත් අමාරු වෙනවා.... දැන් අපිට බනිවී මෙයාලා"

දුලීකා නිර්මලිගේ හිස අතගාමින් පැවසුවේ කරුණාවෙනි. 

දුලීකා හෝරාවකට වඩා පැවසුවේ එකම වචන වූවාට , නිර්මලිගේ කඳුළු නවතන්නට එය ප්‍රමාණවත් වුයේ නැත. දෙදෙනාගේ බැඳීම දැන උන් දුලිකාගේ දෑසද මේ නොනවත්වා කරන ඉල්ලීමෙන් තෙත්ව ගොසිනි. ඒත් කුමක් කරන්නද? මේ තත්වයෙන් අනුජ පෙන්වන්නට නොහැකිය.

අනතුරෙන් වූ කම්පනය නිසා මිස අනුජට තරම් දරුණු හානියක් නිර්මලිට නොවීය. ආසන පටියට තදවීමෙන් අක්මාවට තරමක් හානිවී තිබුනද ඇයට සිහිය ආ බැවින් යම් සහනයක් ලැබුණි. නමුත් සිහිය ආ මොහොතේ පටන් ඈ හඬමින් අනුජ දකින්නට ඉල්ලන්නේ කිසිවෙකුට කන් නොදෙමිනි.

අවසානයේ දෙදෙනා අතර වූ තිරය ඉවත්කොට අනුජ සිටිනා සයනය පෙන්වන්නට ඔවුනට සිදුවිය.

'අනේ මගේ අනුජ!'

කතාකරගත නොහැකි නිර්මලී පත්වුයේ කියාගත නොහැකි අසරණ තත්වකයටය. නම නොදන්නා යන්ත්‍ර රැසක් වටකොට ගත් අනුජ, ඒවා අතරින් ඈට පෙනුනේ යන්තමිනි. අනේ තමන් අනන්ත වාරයක් තුරුළුව සිටි ඒ පපුව පුරාම තිබුනේ වයරය. තමන් එල්ලී සිටි ටැටූ අත පුරාම කටු වලින් සිදුරුව ගොස්ය. තමන් වෙතම යොමුවූ දෑස් පියවී , මුහුණ ඉහළට හැරවි තිබිණ. මෙය විය නොහැකිය! 

'අනුජ.... මගේ පණ ! ඔයා කොහොමද පැටියෝ මගේ දිහා බලන්නේ නැතුව ඉන්නේ... කොහොමද පිස්සි කියලා කතා නොකර ඉන්නේ.... කොහොමද ඔහොම අහක බලාගෙන ඉන්නේ.. පැටියෝ මම මෙතැන.. මේ බලන්නකෝ.. අනේ මගේ පණ මගේ දිහා බලන්නකෝ..'

නිර්මලිගේ හදවත මහා විලාපයක් නගමිනි.

'.... මේ බලන්න... මම ඔයාට ඕනේ ශක්තිමත් කෙල්ල නේද? මේ මම ඉන්නේ.. ඔයාට බැහැ මාව දාලා යන්න! ඔයා කොහොමද එහෙම කරන්නේ.. ඔයාට එහෙම යන්න බැහැ.. නිර්මලීව දාලා යන්න බැහැ! මේ බලන්න.. මම අඬන්නේ නැහැ... කෝ මගේ දිහා බලන්න එක වතාවක්.. අනේ මගේ පණ.. ඇති දැන් නිදාගත්තා'

වචනය හරිහැටි පිට නොවුනත්, නිර්මලී මිමිණුවාය. හිස හරවා පැය ගණනාවක් බලාගෙනම සිටියාය.උදැසන අවදිවූ මොහොතේ සිට, බෙහෙත්වල බලයෙන් නින්දට යනතුරුම ඈ එකම ලෙසින් මුමුණමින් ; දෑස ඉවතට නොගෙනම අනුජට කතාකලාය. තිරය නැවත දමන්නට ඈ ඉඩක් නොදුන්නේ පෙරලි කරමිනි. අවසානයේ හෙදියන්, වෛද්‍යවරුන් කිසිවකුත් එයට බාධාවක් නොකළේ, නිර්මලී මදින් මද යහපත් දෙසට හැරෙමින් පැවතුන නිසාත්, අනුජගේ තත්වය අමුතුවෙන් නරක අතට හැරීමක් සිදුවුයේ නැති නිසාත්ය.

"ඩොක්ටර්... අනුජට..?"

"තාම මුකුත් කියන්න අමාරුයි හිමාල්... තාම ඉන්නේ danger zone , හැබැයි.. කෝමා එක වෙනසක් නැහැ... අපි බලමු.. සමහර වෙලාවට එයාගේ වයිෆ්ට පුළුවන් අපිට උදව් කරන්න"

දෙසතියක් ගෙවීගියේ මේ ලෙසිනි. ඒ අතරතුර එක වරකදී අනුජ බලන්නට නිමන්තිකා පැමිණ සිටියාය. ඈ හැසිරුනේ දන්නා කෙනෙකු දකින්න පැමිණි යහළුවෙක් පරිද්දෙනි. හිමාල්ට මෙය අමුත්තක් නොවේ. නමුත් අනුජ දකින්නට ඈට හිමාල් ඉඩක් නොදුන්නේ හිතාමතාමය.

"මොනවාහරි උදව්වක් ඕනේ නම් කියන්න මිස්ටර් හිමාල්"

හිමාල් එයට ලබාදුන්නේ සාවඥ සිනාවක් පමණි.

අනුජගේ පියා සිටියේ සෑහෙන කම්පනයකින් නිසා හැකි සැමවිටම හිමාල් ඔහු නිවසට පිටත්කොට හැරියේය. හෝටල් සංකීර්ණයේ වැඩ කටයුතු සියල්ලම තුෂාරා සිය අධීක්ෂණය යටතේ ඉදිරියට ගෙනයන්නට උපදෙස් ලබාදුන් ඔහුට ඊළඟට ඇසුනේ තරමක් කම්පිත පුවතකි.

"අරකි අන්න ලොකු සර් එක්ක ඒ ගෙදර "

"වට් ?"

"ඔව්... ඒ ගෙදර ඉන්නේ.."

"අංකල්ට පිස්සුද මේ අනුජ මරන්න හදපු ඒ හැපින්නි ගේ අස්සේ දාගෙන මොනාද කරන්නේ.. ඉන්න මම..."

"එපා සර්... මට හිතෙන්නේ... මේ.... "

ඉන්පසුව හිමාල්ට ඇසුනේ අසන්නට අප්‍රසන්නම පුවතයි.

"... they are together "

"what the F *** !"

ඔහුට එකවරම සිහිපත් වුයේ අනුජ කියූ දෙයකි.

'තාත්තා කැමති කෙනෙක්ට මේවා දුන්නදෙන්.. මට මගේ ජිවිතේ ආපහු ඕනේ.. මගේ කෙල්ල වෙනුවෙන් මම ආයෙත් ජිවත් වෙන්න ඕනේ'

ඒ කියන්නේ අනුජ මෙය දැන සිටියාද?

අනුජගේ පියා කෙතරම් දක්ෂ ව්‍යාපාරිකයෙක් වුවද, එතරම් හොඳ පියෙක් නොවේ. සැමවිටම අනුජට අනවශ්‍ය ලෙස බලපෑම් කිරීම නිසා අනුජ සිටියේ ඔහු සමඟ අමනාපයෙනි. ඔහු කවදාවත් සිය පුතා ගැන පැහැදීමකින් සිටියේම නැති තරමකි. රේසිකා සමඟ වූ පටලැවිල්ල ඔතරම් දුරදිග යන්නට හේතුවත් එයමය. අනුජගෙන් පළිගන්නට නම් ඔහුගේ පියා ප්‍රභල ආයුධයක් බව රේසිකා නොදන්නවා විය නොහැකිය. අනුජගේත් රේසිකාගේත් අධිවේගී ගමන ගැන අනුජ කිසිවෙකුත් සමඟ නොකිව්වේ එය අමනුස්ස වැඩක් නිසා බව හිමාල් දන්නා නමුදු රේසිකා වැනි ගැහැණියක් සම්බන්ධයෙන් අනුජට වැරදුනු තැන එයම වූ බව හිමාල් වහා සිතුවේය.

'මේ ගෑනි අනුජගෙන් නරකම විදියට පළිගන්නවා'

අනුජගේ පින්තුර සහ වීඩියෝ වලට අමතරව පත්තර වලට රස කරන්නට තවත් යමක් ඇත! හිමාල්ගේ සිත තරමක් පසුබා ගියේ , මේ සියල්ල සමග යුක්තියක් ලබාගැනීම එතරම් පහසුවක් නොවන නිසාමය.

-------------------------------------------------------------------------

පැය ගණනාවක් සිදුකල අක්මාවේ සැත්කමට පසුව නිර්මලිට සිහිය පැමිණියේ කාගේත් සිත් තරමක් සැනසිල්ලකට පත්කරමි. එවර නිර්මලී කතාකලාය.

"අ.. නු.. ජ "

දුලීකා නිර්මලීගේ වමතින් අල්ලාගෙන එය සියුම්ලෙස පිරිමැද්දාය.

"නංගි.. එයා තාම ඉන්නේ ICU එකේ... ඔයාව රූම් එකට දැම්මානේ... දැන් මගේ කෙල්ලට හොඳ වේගනනේ..."

"බෑ .. බෑ .. ම-ට... ඒ-යා ගාව..."

"අනේ නංගි පැටියා...."

"බෑ ... බෑ..."

එතැන් පටන් නිර්මලී කළහ කරන්නට වූ නිසා අමතරව ගෙවා ඈ අනුජ අසලම ඇඳකට මාරුකර යවන්නට සිදුවුයේ, වෙන කිසිම ලෙසකින් ඈව සන්සුන් කරන්නට නොහැකි වූ නිසාමය. සයනයෙන් බැසීමට නොහැකි වුවද, පෙර පරිදිම ඈ සිටියේ මුළු දිනය පුරාම අනුජට කතාකරමිනි.

"බබා.. කෝ.. ඔයා අහගෙනද ඉන්නේ? මගේ දිහා බලන්නකෝ..."

"අනුජ... මට ආදරෙයි නේද? ආදරෙයි කියන්නකෝ.."

"අද නම් මට නිදිමතයි... ඔයා ඇහැරුණු ගමන් මට කතාකරන්න හරිද?..." 

නිර්මලී නොනවත්වා ඔහුට කතාකරමින් සිටියේ ඇසින් එකදු කඳුලක් හෝ නොවට්ටමිනි.

"බලන්න මම අඬන්නේ නැහැ... ඔයාට පේනවා නේද? මම ටැප් එක ඇරගෙන නැහැ.. මේ!.."

මෙය අසාගෙන  සිටීමට තරම් ශක්තියක් දුලීකාට නොවුනද, ඔවුන් බිය වුයේ නිර්මලිගේ මානසික තත්වය ගැනයි. ඇය උන්මන්තක වෙමින් යනවාද?

"එයාට එහෙම ඉන්න දෙන්න... ඒක මානසික සහනයක් වෙයි. "

වෛද්‍යවරයා එසේ පැවසුවේ නිර්මලී සිටින මානසික තත්වය ගැන සිතමිනි. වෛද්‍ය විද්‍යාවේ නොමැති සමහර හාස්කම් වැනි දේ ලෝකයේ කොතෙකුත් සිදුවේ. වෛද්‍ය නාමල් සතරසිංහ කුමක් හෝ හේතුවකට මේ දිරිමත් තරුණියගේ ආදරයේ ඇති ශක්තිය සෑහෙන තරමකට විස්වාස කළේය.

"ඩොක්ටර්... මට අනුජගේ බෙඩ් එක ගාවටම යන්න ඕනේ.. අනේ මට එයාගේ අත අල්ලාගෙන ඉන්න දෙන්න.. අනේ.. ප්ලීස්... මට මට.... එයාගේ අතින් අල්ලාගෙන ඉන්න.....ප්ලීස්.. මට එයාව දැනෙන්න ඕනේ.. මගේ අනුජ මාව අඳුනනවා... මම වෙන මොනවත් ඉල්ලන්නේ නැහැ.. ප්ලීස්"

තමන්ගේ සැමියා ඉල්ලා සිටින මේ තරුණිය විසින් නාමල් සතරසිංහ නම් වෛද්‍යවරයා පුදුමයට පත්කොට තිබුනේ, ඈ ජිවත් වන්නට කරන සටනට අමතරව, සිය සැමියා වෙත දක්වන මේ අමුතු ඉල්ලීම් නිසාය.

'හරියට නිකන්... ඒ මනුස්සයාට යන්න දෙන්නේ නැහැ වගේ... '

"නිර්මලී... ඔයා මාව පුදුම කරවනවා... ඔයා හරිම බ්‍රේව් ගර්ල් කෙනෙක්.... ඔය විදියටම ඉක්මනින් හොඳ වෙන්න ඕනේ"

"අනේ ඩොක්ටර්... ප්ලීස් මාව එයා ගාවට දාන්න.. මම.... අනේ.. මම  කරදර කරන්නේ නැහැ.. ප්ලීස්"

"නිර්මලී දන්නවනේ.. අනුජ ඉන්නේ ඔයා වඩා ටිකක් විතර වෙනස් කන්ඩිෂන් එකක... ඒ හින්දා.. ඔයා අපිට උදව් කරන්න ඕනේ... බොහොම පරෙස්සමෙන් තමයි"

"ඔව් ඩොක්ටර්... මම පොරොන්දු වෙන්නම්... මට ඕනේ චුට්ටක් අතින් අල්ලන්න විතරයි... ප්ලීස්..."

එදින සවස හෙදියන්ට ඔහු උපදෙස් ලබාදුන්නේ , නිර්මලිගේ නිදහස් අත මානයට එන පරිද්දෙන් අනුජගේ සයනයට ලංකර තබන්නටය. එසේ වූ වහාම ඉතා පරෙස්සමෙන් කටු ඇමිණුන අනුජගේ අත ඇල්ලු නිර්මලී වළකාගත් ඉකියෙන් ඔහු දෙසම බලා සිටියාය.

"බබා... මාව ඇහෙනවා නේද?.. මාව දැනෙනවා නේද පැටියා....?"

"හරි සනීපයි ඔයාගේ අත.. රිදෙන්නේ නැහැ නේද? මම රිද්දුවද?.."

"මේ බලන්න මම ඔයාගේ ළඟම ඉන්නේ... බබා.. දැන් ඇහැරෙන්න... ඔයාගේ පිස්සි මේ ඉන්නේ..."

ඒ පිරිමැදුම සෙමෙන් මුමුණන වදන් වලට ප්‍රේමය කැවීමක්ම විය. 

"... මට පාළුයි බබා... නැගිටින්න.... පාළුයි මට..."

නින්ද යාමට ලැබුණු බෙහෙත් වලට ඉබේම නින්ද ළඟාවන මොහොතේ ඇගේ මුවින් ගිලිහුනේ ඒ වචන ටිකයි. ඇගේ අත අනුජගේ අත මත මෘදුව ස්පර්ශව තිබිණ.

"ඩොක්ටර්.... පේෂන්ට්ට සිහිය ආවා!"

පසුදින උදෑසන , වෛද්‍ය නාමල් සතරසිංහට එම ඇමතුම ලැබුනේ ඔහුගේ මුහුණෙහි සිනාවක් නංවමිනි.

'මේ කෙල්ල නම් මිරැකල් එකක්!'

---------------------------------------------------  මතු සම්බන්ධයි  ------------------------------------------------

12 comments:

  1. හුම්ම්.... මිරැකල්.. ❤️

    ReplyDelete
  2. අනුජයාව මරලා එහෙම අහුවෙන්ට එපා ඕං

    ReplyDelete
    Replies
    1. අන්නේකයි. කතා කරන්න සන්දවතියෙ...අපි මේ අසාධාරණේ හෙළා දකින්න ඕන.

      Delete
    2. සොඳුරු සඳවතී >> ඔන්න ඔන්න .. ඕකනේ වැඩේ... ටිකක් ඉන්ඩකෝ ( ඔයාගේ කෑම එකක් කාලම මැරුනාවේ එහෙනම් )

      Delete
    3. විනීත පූ>> මුන් දෙන්නගේ දඟර වැඩි කියල සංස්කෘතික පොලිසියෙන් නොතිසි තිබ්බා... ඒ හින්දා ඉතින්....

      Delete
    4. එහෙමයි කියල මරලා හරියනවද???

      සංස්කෘතික පොලීසියේ අප විසින් නොදැනුවත්කම නිසා දැමූ පැමිණිල්ල වහා ඉල්ලා අස් කර ගනිමු..... සිදුවූ අපහසුතාවය පිළිබඳව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර.......

      ඔය කොල්ලාගේ අතක් පයක් නොකඩා, මතක නැහැ වගේ ලෙඩක් හදවන්නෙත් නැතුව සුපුරුදු අනුජ බබා කරල ගන්න මෙයා ප්ලීස්......

      අයේ නම් අඟර දඟර නෙමෙයි සරුංගෝල උනත් කම්බි කූරු බෝල මාල උනත් මම නම් නෙමෙයි කටක් අරින්නේ.......

      Delete
    5. ඊළඟ කොටසක් දැම්මා.. බලන්නකෝ

      Delete
  3. පේෂන්ට්ට සිහිය ආවා!" හ්ම්.......

    ReplyDelete
  4. /තමුසේ නිර් ට ඔත්තු බැලුවා කියලද // නිර් ගැනඔත්තු බැලුවා නෙමෙයිද ? ගලාගෙන යනවා හොඳට

    ReplyDelete
    Replies
    1. සමාවෙන්ට අප්පා... හරියට සෝදුපත් බලන්න තියෙන කම්මැලිකම

      හදන්නම් හදන්නම්

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...