Sunday, November 28, 2021

283: රතුපාට මල් - 10





රතුපාට මල් - 9 

පාසල් ගොඩනැගිලි අතරින් පැමිණ පන්තියේ පිවිසුමට යොමුවෙද්දී මා දෙස වැඩි දෙනෙක් හිස හරවා බැලීමෙන් තරමක නොරිස්සුමක් මට ඇතිවිය. එය මා වෙතම යොමුවුවක් නොවේ, නමුත් මම එය හිතට ගෙන ඇති බවකි.

හැරුණු මුහුණු අතරින් එකවරම මට විකුම්ගේ මුහුණ පෙනෙද්දී මම තරමක වෙව්ලා ගියෙමි. 

මම එතරම් සැලෙන්නේ ඇයි ? ගිය සති දෙක තුන තුල මම මෙතරම් පිරිමින්ගේ ඇල්ම-බැල්මට හසුවූයේ අනාරක්ෂිත හන්ගොල්ලියක පරිද්දෙනි. මට දැනුනේ අමුතු පපුවේ දැවිල්ලකි.

මම පන්තිය ආරම්භ වනතුරු  තිබුණු විනාඩි දහතුන අතරේ මා හා සිටි කණ්ඩායම සුහද කතාබහක යොමුවූ අතර තිලක් හැරුණුවිට සියලු දෙනා මගේ නොපැමිණීම ගැන විමසු බැවින් ඔවුන්ට 'ගමනක්' තිබුණු බව සැහැල්ලු ලෙස කියා දැම්මෙමි. විකුම් දෑසින් මා දෙස එය නොපිළිගන්නා බව කීවද, මට එය අදාළ නොවීය. 

එදා තාජ් හෝටලයේ සිටි  විකුම්ට වඩා සැහැල්ලු ටී කමිසයට ඩෙනිම් කලිසමක් දමාගෙන උන් සිසුවා මම වහා නොසලකා හැරියෙමි. තිලක් සිටියේ පුම්බාගෙනය. එදා මම ඔහුගෙන් ලද ලිෆ්ට් එක නොතකා හැරීම මම ගණන් නොගෙන සිටියෙමි.

පන්තිය ආරම්භ වනවිටම පැමිණි කාශ්‍යප මායාදුන්නේ පන්තිය පුරාම දෑස යොමා, අනතුරුව එකවරම මා දෙස බැලුවේය. මට කුමක් වුවාදැයි නිනව්වක් නොවිණි. සන්සුන් ලෙස මම පොත වෙතට ඇස හරවා තත්පර කිහිපයකින් හුස්මක්  බලනවිට ඔහු මේසය මත තිබුණු යමකට අවධානයෙන් සිටියේය.

"අද අපේ ප්‍රැක්ටිකල් එක කලින් කරනවා... මට ඕනේ වොලන්ටියර් කෙනෙක්"

එලෙස කියද්දී සිසු සිසුවියන් සියල්ලෝම නැගිට්ටේ ඇයිදැයි නොදැන මම කලබලව  උන්නෙමි.ඔවුන් සිය බැංකු එහෙ මෙහෙ කරමින් පන්තිය පමණකට වෙනස් කරමිනි. සති දෙකක් නොපැමිණි මම එතැන ආගන්තුකයෙක් වැන්න.

මම ඒ මේ අත බලද්දී තිලක් පැමිණ මගේ පුටුව ගෙන වටකුරුව සෑදෙන පන්තියේ කොනකට කොට මට උපකාර කළේය.

"තෑන්ක්ස් "

තිලක් මා දෙස වරක්වත් ඔහු බැලුවේ නැත. නමුත් ඒ සමඟම විකුම් මා අසලින්ම දකුණු පසින්  සිටගත්තේ ඔහුට අනෙක්පස වූ තරුණියක් සමඟ උනන්දුවෙන් සංවාදායක යෙදෙමින්මය. තරුණිය මොනවාදෝ ඔහුට මිමිණු අතර විකුම් ඊට හිස සලා සිනාසුනේ දඟකාර ලෙසය.

තරුණිය විකුම්ගේ බඩට තට්ටුවක් දැම්මාය. මම ඉවත බලාගත්තෙමි.

අප පුටු තබා වටකුරුවට සාදන ලද පන්තිය මධ්‍යයේ පුටු දෙකක් සහ කුඩා මේසය දෙකක් එක්කොට තිබුණු තරමක සයනයක් වැනි යමක් විය. 

"අද මම කැමතියි..... පිරිමි ළමයෙක් එනවා නම්.."

පන්තියේ වෙනත් තැනකින් තරමක උසින් යුතු තරුණයක් ඉදිරියට පැමිණියේය. ගුරුතුමා ඔහු පුටුවේ වාඩිකරවා අපට තරමක අවවාද දුන් අතර, මම නොපැමිණි දින වලදී පුහුණුකළ දේවල් යොදාගනිමින් ඔහු ඉතා සාර්ථක ලෙස නිද්‍රාවට පත්කළේ වාඩිවී සිටියදීමය. 

වෙනදා මෙන් මම සෝපහාසයෙන් සිනා නොවුවද මෙම මෝහන නාඩගම තවමත්  විස්වාස නොකලෙමි. ගුරුතුමා ඔහුව කෙමෙන් කෙමෙන් නිද්‍රාවෙන් සිය ළමා කාලය වෙත ගෙනගිය අතර සිසුවා කුඩා දරුවකු සේ සිනාසෙන්නට සහ හඬන්නට විය.

මෙය වියහැක්කක්ද? අප සමාන්තර ලෝකයක් ගැන කියයි, මේ ඉන්නේ තවත් මානයක වන්නට හැකිය. අපගේම ශරීරය දරන වෙනත් අයෙක්? අපගේම කාල අවකාශයේ වෙනත් මානකය සිටිනවා විය හැකිද? නැතිනම් මේ දෘශ්‍ය මායාව, අපගේ මායාව තුලම බිහිවුනු තවත් එක අන්තයක්ද?

නවීන විද්‍යාව මෙතරම් දියුණුවට පත්ව සිටිනා කාලයක මිනිසුන් මේ තොවිල් පවිල් සහ මන්තර සමඟ කාලය මරනවාදයි මම සිතින් සිතමින් සිටියෙමි.

",, නේද මිස් කුන්චනා.."

මම උඩගොස්  වැටුනේ කාශ්‍යප මායාදුන්නේ  මගේ නම කියනවා ඇසීමෙනි.  පිරිසක් මැද නිරුවත් වුවා සේ මට දැනුනේ, සියලු දෙනාගේ ඇස් තිබුනේ මා වෙත නිසාය.

ගුරුවරයා ඇසුවේ කුමක්දැයි කියාවත් සිහියක් නැති මම වෙතින් ඉක්මනින් අවධානය ඉවත්කළ මායාදුන්නේ ගුරුතුමා නිද්‍රාවට පත්කළ තරුණයා ඉන් මුදවා, සියල්ලන්ටම විනාඩි විස්සක විවේකයක් දුන්නේය.

"මිස්... සර් ටිකකට කතාකරනවා"

කාශ්‍යප මායාදුන්නේගේ ගෝලයෙකු ලෙස සිටින තරුණයෙක් මා පැමිණ කියද්දී මට ඉබේම කාශ්‍යප මායාදුන්නේ වාඩිවී සිටි පුටුව දෙස බැලිනි. ඔහු එහි නොවීය. මම පණිවිඩය ගෙනා සිසුවා දෙස හෙළුවේ මිශ්‍ර හැඟීමක් සහිත බැල්මකි.

"... සර් ඉන්නේ අනික් ක්ලාස් රූම් එකේ"

පැරණි ක්‍රමයට ඉදිකොට ඇති පංති සහිත මෙම පාසල් ගොඩනැගිල්ලේ ' අනෙක්' පංතිකාමරය පිහිටියේ බිත්තියෙන් එහාපසය.

මම තරමක් චකිතයෙන් මුත් , වීරකමක් මවාගත් මුහුණෙන් යුතුව එහාපස ඇති පංතිකාමරය  නැගී සිටියෙමි. මා පසුපස විකුම්ගේ තියුණු බැල්ම යොමුව තිබෙනවා දැක දැකත් , එය නොදුටුවා ; නොහැඟුනා සේ මම දිගටම ඇවිද ගොස්, ඒ කියනා පන්ති කාමරය ආරම්භ වන බිත්ති කොටස අභියස සිටගත්තෙමි.

පලා කොළපාට , අත්දිග කුර්තා කමිසයට සුදුපාට කපු කලිසමක් හැඳ සිටි මායාදුන්නේ, මා එසේ එබෙන විට  කුමක් හෝ ලියවිල්ලක්  කියවමින් සිටියේය. මම දුටුවනම ඔහු මා වෙත හෙලු ඒ බැල්ම ඊතලයක් සේ හදවත විනිවිද ගියේ මා අඩපන කරමිනි.

"ආ.. මිස් කුන්චනා.. එන්න... පොඩ්ඩක් මෙතනින් වාඩිවෙමු.."

මම සෙමෙන් ඇවිද ගොස් ඔහු මට පනවා තිබුණු ආසනයේ හිඳගත්තේ තරමක් පසෙකට හැරීමෙනි.

"මට එන්න කිව්වේ?"

සංවාදය මා වෙත දිනාගැනීමේ පළමු අඩිතාලම දමමින් මම කතාව ඇරඹුවේ , මායාදුන්නේ දෙස වරක් බලා නෙත් එහිම රඳවා ගනිමිනි. ගුප්ත ඔහුගේ දෑස අමුතු ආලෝකයකින් මෙන් දැල්වුනේය. එළිය වැදී , කඩුපත් වලින් නැගෙනා මෙන් කුමක්දෝ අධිපතිවාදී බලයක් එහි ඇත්තාක් මෙන් මට දැනුනි.

"මම මේක මෙහෙම අහනවට මිස් කුන්චනා මගෙත් එක්ක අමනාප වෙන්න ..එපා.."

"නෑ මිස්ටර් මායාදුන්නේ.. මම අහගෙන ඉන්නේ"

" හොදයි එහෙනම් මම කෙලින්ම අහන්නම්කො... මිස්ගෙයි මිස්ටර් තිලක් ගෙයි තියෙන යාළුකම මොකක්ද?"

මම අන්දුන් - කුන්දුන් වී ගියෙමි. මේ අහන්නේ කුමන හරුපයක්ද?

"pardon... සමාවෙන්න මායාදුන්නේ මහත්මයා.. මට ඔබතුමා කියන දේ හරියට තේරුනේ නැහැ"

මායාදුන්නේ මා වෙත හෙලාගෙන සිටියේ ආත්මය පවා විනිවිද ය ආකාරයේ බැල්මකි. මා එයින් කුමක් හෝ අඩපණ වීමකට ලක්වී ගිය බව දැනුනේ මගේ ශරීරයම වෙව්ලා ගිය නිසා වන්නට ඇත.

"මිස් ඉන්නේ සෑහෙන මානසික පීඩාවකින් ..නේ? ගිය සතියේ අපි රිලක්සින් වගයක් කළා. මම හිතන්නේ මිස්ට උදව් කරන්න මට පුළුවන්"

මේ කියන්නේ කුමක්දැයි තවමත් මට තෝරාගත නොහැකිය. නමුත් මම දෙවැනි වර ඔහු කියූ දෙස සිත තුලින් කියවා , මදක් නුරුස්නා ලෙස ඉවත බලාගත්තේ, ඒ බැල්මේ නොවෙනස්වනසුලු ආධිපත්‍ය නිසා බව මම දනිමි.

"මට එහෙම ප්‍රශ්නයක්.... න.. නැ හැ... මොකද්ද මේ තිලක් ගේ කතාව?"

"හ්ම්ම්ම්.... තිලක්... තිලක් රණවිර එක්ක හිනොටයිස් වෙන්න කැමතිද මිස්? මම මේ කියන්නේ ක්ලාස් එකෙන් පස්සේ?"

කුමක් හෝ හේතුවක් නිසා එකවරම මම ඒ නම ඇසීමෙන් තිගැස්සී ගියෙමි. තිලක් රණවිර යන නම ප්‍රථම වතාවට ඇසුවා සේ මම වෙව්ලා ගියෙමි. ඒ නම තුලම යම් ගුප්ත, මායාකාරී සහ වේදනාත්මක බවක් මට දැනුනි.

අපහසුවෙන් මුත් මට මායාදුන්නේගේ මුහුණ බලන්නට සිදුවිය. එය ශාන්ත ස්වභාවයක් ගත් මුත් දෑස්වල තිබුනේ කුමක් හෝ ආකාරයක බන්ධනමය හැකියාවකි. නොසිතාම මට 'ඔව්' කියැවිණි.

ඉන් පසුව සිදුවූ කිසි දෙයකට මට වගකීමක් ගන්නට නොහැකියයි මම කිවහොත් එය අතිශෝක්තියක් නොවේ. මම නැවත පන්තියට පැමිණියාත් , අනතුරුව විකුම් මා දෙස නොයෙක්වර බලමින් සිටියාත් බවට යන්තම් මතකයක් තිබේ.

පන්තියේ ඉතිරි වෙලාව මම කෙසේ ගතකලාද කියා මටම නිනව්වක් තිබුනේ නැත. නමුත් අවසානයේ පංතිය නිමවී සිසු සිසුවියන් එකා දෙන්නා පිටව යන විට, මම පාවෙමින් මෙන් ඔහේ බලාගෙන සිටියෙමි. හිස හරවා බැලු මට තිලක් රණවිර මට වම්පස  බංකුවක සිට ම දෙස බලාගෙනය. කිසිම මොහොතක නොදැනුනු මහා වියෝවක් සමඟ තිලක් රණවීරගේ ඒ හිවල් දෑස් වලින් මා වෙත එල්ලවුණු බැල්මට එකතු වූ ගුප්තමය හඬක් මා කන අසල යම් තානයකින් 'ලබ් -ඩබ් ' හඬක් නැගුවේය. එය හදවතින් ආ ශබ්දයක්ද?

දුරකථනය නාදවිය. නොදන්නා අංකයක් නිසා මොහොතින් මම එයට පිළිතුරු සැපයුවෙමි.

"කුංචි.. are you ok ? "

ඒ හඬ විකුම්ගේය. ඔහු කෙලෙස මගේ අංකය සොයාගත්තාදැයි මට ඒ මොහොතේ සිතට පැමිණියේ නැත. 

"yes I'm good "

මම එලෙස කියා ඇමතුම විසන්ධි කරද්දීම, මායාදුන්නේ මා අසලය ඇවිද එනු මට පෙනුනි.

*************************************************

පටු කොරිඩෝව වඩා පැහැදිලිය. මම මෙතැන හඳුනමි. කොරිඩෝව කෙලවර ඇත්තේ මගේ නිදන කාමරයයි. ඔහ් ! මගේ නොවේ.. එය අපේ ලෙස නිවැරදි විය යුතුය. මම කොරිඩෝව ඔස්සේ යමින් සිටියේ මා හැඳගෙන උන් ඔසරියේ පොට මදකට අල්ලාගෙනය. එය මට නුහුරු ගමනක් නොවේ. 

මැද මිදුල මධ්‍යයේ තිබුනේ කදිමට වැඩුණු සේපාලිකා ගසකි. එය වටා සුදුපාට වැලි අතුරා , ලස්සන ගල් පොත්තක් තබා හැඩකල බංකුවකි. ඒ සියල්ලම පිරිසිඳුය , පිළිවෙලය.

නිරුවත් මගේ දෙපා වලින් නැගෙන සිසිල , හොඳින් ඔපදැමූ සිමෙන්ති පොළවත්, අතරින් පතර නන් පැහැයෙන් වැඩ දැමු පිඟන්මැටි කැබලි එබ්බවූ රටාවන් නිසාමය.

මට දැනෙන්නේ අමුතු ජවයකි. මම දුවනවාද?

"සුදු මැණික..... "

සර්වාංගයම මහා ප්‍රේමනීය බවකින් මත්වී ගියේ ඒ ඇමතීමෙනි. කන්දෙකට ලේ පුරා ගෙල ඔස්සේ එන අමුතු ලැජ්ජාවක් විසින් මා හිරිවට්ටා මෙනි. මගේ ගමන නතර වුයේ මට කියා නොවේ. උණුහුම් දෑතක් මා බඳ වටා ගොස්, විසල් පපුතුරකට මගේ පිට හේත්තුව ගියා දැනුණි.

'නම මතක් වෙන්නේ නැහැ.. නමුත් මම ඒ උණුහුම අඳුනනවා...'

මගේ සිත කියයි. නමුත් ක්ෂණයෙන් ඒ දෑතත්, පපුවට දැනුන උනුහුමත් එකවරම අතුරුදහන් විය.

"...අනේ....!"

මට ඉබේටම මගේ පපුව ඇල්ලුනි. එහි යම් තෙත ගතියකි. හාත්පස එකවරම අඳුරකින් වැසී ගියේ එකවරම ආවරණයක් දැමුවාක් මෙනි. මගේ දෙපා වලට දැනුනේ දහවල් කාලයේ ගිනියම් අව්වට කරවූ තාර වල උණුහමයි.

කෙඳිරියක් ඇසේ , මම ඒ මේ අත මගේ දෑත් වනුවේ කිසිවක් හසුවනතුරුය. අඳුරට යන්තමට  ඇස  හුරුවනවිටම මගේ අත තද යමක  ගැටුනේ,එය මිනිසෙකු බව පසක් කරමිනි.

"සුදු මැණිකේ.... මාව බේරගන්න.... සුදු මැණිකේ....."

"අනේ..."

මම මහා හඬින් මොර දුන්නෙමි. උගුර කැඩෙන්නට තරම් බලවත් ඒ කෑගැසීම අඳුර තුල කොතරම් දුර ගියද කියා නොදනිතත්, දොන්කාරයක් සේ මා වෙතම පැමිණියේ තත්පර කිහිපයකිනි.

".. කවුරුත් නැද්දෝ...... උදව් කරන්න කවුරුත් නැද්දෝ....."

මගේ ඒ මිනිසාගේ පපුව හසුවිය. පුරුදු උණුසුමයි.... අනෙක් අත ඔහුගේ අතට තදින් හසුව තිබිණ. සර්වාංගයම වෙව්ලා යමින් සීතල සුළඟක් හැමුවේ මහා කුණාටුවක මෙන් ශබ්දයක් නගමිනි.

"මැණිකේ..... මට මැරෙන්න බෑ මැණිකේ.... "

මිනිසා යදින්නේ මගෙනි. මගේ පපුව තුලින් ආ දැවිල්ල නිසා මම විලාප තැබුවෙමි.

".. මගේ ලස්සන ඇස් තියෙන කෙල්ල.... මගේ සුදු මැණික.... මට යන්න බෑ... "

"අනේ මගේ දෙය්යා..... මුකුත් වෙන්නේ නැහැ... ඉන්ට මම උදව් ගේන්න මගේ දෙය්යා.... ඉවසන්න.."

මම මහා අඩුවක් වන් ඒ අත  බලෙන් මෙන් ගසා දමා නැගී සිටියෙමි. සතර අත තිත්ත කරුවලය. නමුත් ඉතාම මෑත තිබෙන චප්පවී ගිය වාහනක එළියෙන් මට පෙනුන යමක් තිබිණ. ඒ මා අසල බිම වැතිරී සිටි පිරිමියෙකි. ඔහු සිටියේ ලේ විලකය. වාහනය වැදී තිබුනේ සැතපුම් කණුවක වූ අතර, එය පහළට වැටෙන්නට ඔන්න මෙන්න ලෙස අසමතුලිත අරගලයක යෙදෙමිනි. මම ඔහුව ඉන් පිටතට ඇද ආවා මතකය.

මම ලේ වතින් තෙත් වුනු සාරිය පරයා මාර්ගයේ ඉදිරියට දිව්වෙමි. කුමක් හෝ හේතුවකට, මගේ කකුල් සෙලවුනේ නැත.

"බද්‍රා....."

ඇස්වලට වැටුන ආලෝකයෙන් මම ගිණිකන වැටුනෙමි. ඉබේටම නැගුනේ කෙඳිරියකි. කිසිවක් නොපෙනේ.

".. බද්‍රා.... ඔයාට මාව ඇහෙනවද? "

මම හිස සෙලෙව්වේ 'ඔව්' කියන්නටය. මගේ නළලත රැඳුනු දෙතොලක්; පිරිමි දෙතොලක් ; සහ ඉන් පසු හිස අතගෑමක් දැනෙද්දී මගේ දෑස තරමක් මට පැහැදිලි පින්තූර ලබාදුනි. මගේ මුහුණට ඉහලින් සිටියේ සිනාසෙන පිරිමි මුහුණකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේහදාරී, කඩවසම් තරුණයා දැක මම සර්පයෙකු දුටුවාක් මෙන් අපුලෙන් වෙව්ලා ගියෙමි.

"ත.. තමුසේ!?"

"සුදු මැණිකේ? මැණිකේට දැන් සනීපයි.. බයවෙන්න දෙයක් නැහැ"

මම ඔහුව තල්ලු කලෙමි. ඒ සමඟම වැතිරී සිටි තැනින් කෙලින් වී හිඳගත්තෙමි. මම සිටියේ ඉතා පිරිසිඳු  සුදු ඇතිරිලි දමා සකස්කළ, වෙද ගෙදරක මෙන් පෙනුමක් ඇති කාමරයකය. ඉහලට ඇල්ලු හුස්මට සවන්දරා මුල් සුවඳක් දැනුණි.

කෙලින් වූ සැනින් මගේ ලය වසා දමා තිබුණු ඇතිරිල්ල ගිලිහි මගේ පියයුරු නිරාවරණය වුවා මතකය. ඒ මිනිසා වහා එය වසා දැමුවත්, ඒ ඇතිරිල්ල අල්ලාගත් මම ඔහුට ඒ වෙනුවට වම් කම්මුල හරහා තද කම්මුල් පහරක් ගැසුවෙමි.

ඒ බැල්ම.... ඒ දෑස..... අද මේ දැන් දුටුවාට වඩා පැහැදිලිය.... දෑස අමතකම නොවෙන තරමට සමානය. ඒ සිටියේ සුපුන්ය!

*********************************************************

තිලක් සිටියේ මා දෙස බලාගෙනය. මම සිටියේ ඉවතට හැරවූ වතෙනි. පුදුමයකට මට දුකක් , කෝපයක් තබා සතුටක්වත් දැනුනේ නැත. මම තවදුරටත් මට අයිති නොවේ යයි මට සිතුනි.

"රේකොඩින් එක ගෙනියනවද මිස්?"

මායාදුන්නේ ගේ ගෝලයා දෙස මම බැලුවේ හැඟීම් විරහිතවය. අනතුරුව රුදුරු බැල්මක් මායාදුන්නේ වෙත හෙලුවෙමි.

"මිස්ටර් මායාදුන්නේ මම ලැබ් රැට් කෙනෙක් කියල හිතුවද?"

තිලක් යමක් කියන්නට යද්දී මම ඔහුටද ඒ බැල්ම හෙලුවෙමි. ඒ ඇස් මා අඩපණ කළේය. 

"නෑ  මිස්... සමහර දේවල් විස්වාස නොකලා කියලා ඒ දේවල් වෙනස් වෙන්නේ නැහැ.."

"කුන්චනා... "

මම දෑතින්ම දෙකන් වසා ගත්තෙමි. එය සුදු මැණිකේ තරම්ම ආදරණිය වීමටත් වඩා මා වටා නැගෙන ගුමුගුමුව විසින් මා උන්මන්තකයෙකු කරන්නාක් මෙන් දැනුන නිසාය.

"මිස්.. මේ සියල්ලම ගණුදෙනු.. සසර ගණුදෙනු.. කලින් ණයක් වෙලා ආවා නම්, ඒ ණය අපි ගෙවන්න වෙනවා. මේ වතාවේ ණය උනොත් පස්සේ ගෙවන්න වෙනවා"

මම එතැන තිබුණු පුටුවක් මතට කඩා වැටුනෙමි. හුස්ම සිරවන්නට එයි. තිලක් රණවිර මෝහනය වන විට වෙනස් වූ හඬ විසින් මා කුමක්දෝ වෙනසකට පත්කොට තිබිණ.

"I need to leave "

වහාම බෑගය අතට ගත් මම, ක්ෂණයෙන් එතනින් පිටතට පැමිණියේ විදුලි වේගයෙනි. මාර්ගයට පැමිණෙන්නටත් පෙර , අවසානයට මට පැමිණි අංකයට ඇමතුමක් ගත්තේ මොහොතක්වත් නොසිතාය.


************************* මතු සම්බන්ධයි  *******************************

12 comments:

  1. දැන් ඉතින් ආයෙත් මෙතෙක් කතාව කියවල එන්න වෙනවා මේක තෙරුම් ගන්න.....

    ReplyDelete
    Replies
    1. ආ.. මේක මේ කාලයක් තිස්සේ ලියාගෙන ආවේ (කලින් ආත්මේ ඉඳලද මන්ද.. හි හි) ලියලා තිබ්බ එකේ සෝදුපත් බැලුවේ ඊයේ. අපරාදේ කලින් කතාව ඉවර වෙනකල් මේක නොදා ඉන්නම්.. නැතිනම් දෙක අවුල් වෙනවා

      Delete
    2. හ්ම්ම් හ්ම්ම්. මාත් මේ අහන්න හිටියේ මේ කතා කියෝන අපි ලැබ් රැට්ස් ලා කියල හිතලාවත්ද කියලා... ඇයි අනේ අරහේ අනුජ අයියා ICU දාල අපිට රෑට කන්න පිරියකුත් නැති තත්වෙක ඉද්දි මෙයා මෙහෙ මෝහනය කරනවා. මොලේ කොලොප්පම් නොවී බේරුනේ ලෝක අමාරුවෙන්. අනිච්චේ. දුක්කේ.

      එක්කෝ කමකුත් නෑ ලියලා තියෙන එකක් ඔන්නොහේ දාමු. ඒකෙත් පොඩි ගතියක් හෑව්.

      Delete
    3. ආ... මේකයි උනේ... උන්මාද කතාවේ ඒ දෙන්නා ICU දානකල් මට නින්ද ගියේ නෑනේ.. ඒ හින්දා මේක ලිය උනේම නෑ.. උන් දෙන්නා චප්ප කළා විතරයි සැනසිල්ලයි...

      උන්මාදේ ඉවර කරන්න ඕනේ ඉක්මනට... බලමු බලමු

      Delete
  2. මේක අර බ්‍රයන් වයිස් ගේ කතා වගෙයි (past life regression)

    ReplyDelete
    Replies
    1. අපොයි... මම දන්නේ නැහැ.. මම ඉතින් ඔහේ ලියනවා

      Delete
  3. Replies
    1. ඔහේ කිව්වට ඉතින් මේ කතාව නම් ඔහේම ලියන්නත් බැහැ...

      සමහර කතා නම් ඔහේ ලිව්වම තමයි ලස්සන ලොකු බරක් එකතු නොකර. ගොඩක් ස්තුතියි මේ කමෙන්ට් එකට.. (කතාව ගැන කියන්න මුකුත්ම නැද්ද?)

      Delete
  4. මේ සියල්ලම ගණුදෙනු.. - හ්ම් බැඳීම් හා ගනුදෙනු නේ

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...