Thursday, November 25, 2021

281: උන්මාද චිත්‍රාදෝ මා 14



නිර්මලී ගල් ගැසුනාක් මෙන් එකතැනම නතර වුවාය.  ඇසුණු ඒ වචන වලට එකවරම දියයුතු පිළිතුර නිර්මලිට සිතාගත නොහැකි නිසා නොසිතාම ඒ මුහුණ දෙස දෑස විසල් කරගෙන ඈ සිටියේ පිළිමයක් සේය. මීට වසර ගණනාවකට පෙර දුටුවාට වඩා ඒ රුව කෙට්ටුව වැහැර ගොස් සිටියේය.

හදවත් දඩි බිඩියේ ගැහෙන්නට පටන් ගත්තද හුස්ම සිරවුවා සේ දැනුන නිසා ඈගේ හුස්ම කෙටි සහ වේගවත් වුයේ නිතැතිනි.

ඇසුන වචන නිසා දැනුන පිළිකුල අතිමහත් බැවින් වචනයක් නොකීවද, යන්තම් දෙපා වලට පණ ලැබුණු මොහොතටම , ඈ වේගයෙන් ආපසු හැරී කවුන්ටරය වෙත ඇවිද ගියේ, අනුජ එහි සිටගෙන සිටින බව හෝ නොදැනය. දුරකතනයේ යමක් ඔබමින් සිටි අනුජ නිර්මලී එකවරම දුටුවේ නැත. 

"කෝ ගත්තද?"

අනුජ තමන් පසුකොට වේගයෙන් දුවන නිර්මලී දෙස බලා ඇසුවේ මදක් විමතියෙනි. නිර්මලී අනුජගේ කටහඬ ඇසීමෙන් ඉද්ද ගැසුවා සේ නතර වුවාය.

"න්.. නෑ.. ඕනේ නැතිවෙයි වගේ.. අපි යමු පරක්කු වෙනවා "

"නෑ නෑ පරක්කු නෑ.. ගන්නකො.. එහෙ ගිහිල්ල අව්වට පිච්චෙයි මගේ මේ චුටි බබා.."

මහා කලබලයෙන් තමන් අතින් අදිමින් පිටතට යන්නට උත්සහ කරන නිර්මලී දෙස  අනුජ සිනාසෙමින් පැවසුවේ ඉඟි මරමිනි. නිර්මලී සමඟ පසුපසින් ආ පුද්ගලයා පැමිණි කෝණය අනුව එකවරම අනුජ නොදුටු නිසා තමන් කියූ දෙය නැවතත් පැවසුවේය. කියූ අසික්කිත කතාව අනුජට ඇසුනද, හිස හරවා බලද්දී කිසිවෙකු පෙනෙන්නනට නොවූ නිසාත්, එය නිර්මලිට නොවේ යයි සිතුනු නිසාත් අනුජ එය ගණනකට ගත්තේ නැත.

"නෑ මම ගන්න බ්‍රෑන්ඩ් එක නැහැ මෙතන.. අපි යමු.."

නිර්මලිට අවශ්‍ය වුයේ අනුජ මෙයට පැටලෙන්නට නොදී ඉක්මනින් මෙතනින් පිටවන්නටය. අනුජට වෙනසක් දැනුනද, කිසිවක් නොකියා ඈ සමඟ නැවතත් වාහන අංගනයට ඇවිද යද්දී තමන්ව ඇදගෙන මෙන් වේගයෙන් යන නිර්මලිගේ හැසිරීමේ වෙනස හඳුනා ගත්තේ තියුණු ඇසින් වටපිට බැලුවේ නිර්මලිට නොදැනෙන්නටය.

ඔහු අනුමාන කල පරිද්දෙන්ම අයෙක් නිර්මලී ඔවුන් පසුපසින්ම වාගේ අඩි කිහිපයක් ඈතින් සිටගෙන සිටියේ එක අතක බඩු මල්ලක්ද සහිතවය. අනුජ ඉදිරියෙන් යන නිර්මලී නවතා ගත්තේ ඒ පුද්ගලයා හඳුනමිනි. එකවරම තමන්ට ඇසුණු දේ අනුජගේ හිසට ගියේ ඒ මොහොතේය. ඒ කිව්වේ නිර්මලිටද?

"බබා... ඔහොම ඉන්න!"

"අනේ අනුජ....."

අනුජගේ යකඩ වන් අතක් පැමිණ නිර්මලීගේ අතින් ඇද තමන් වෙත හරවා ගත්තේය. නිර්මලී භීතියෙන් යුතු දෑසින් අනුජ දෙසත් ඈතින් සිටින පුද්ගලයා දෙසත් හෙලා ආයාචනාත්මක මුහුණින් යුතුව අනුජ වෙතින් අවසන් කළාය.

"ඌ මොනවාහරි කිව්වද?"

"අනේ අනුජ.. අපි යමු!"

"මම අහන්නේ ඌ මොනවාහරි කිව්වද?"

දත්මිටි කා කියූ පමණින්ම මේ සිටින්නේ ආලවක යක්ෂයා බව නිර්මලිට වටහා ගන්නට අපහසු නොවූ නිසා සත්‍ය මිස බොරුවක් කියුමෙන් පලක් නොවන බව බුද්ධියෙන් රතු එළියක් නැගුණි.

"මම කතාකලේ නැහැ... අනේ අනුජ අපි යමු... "

එවිටම අනෙක් වාහනයෙන් බට හිමාල් ඇවිද ආවේ කලබලය එතරම් යහපත් නොවූ බැවිනි.

"මොකද මචං ?"

හිමාල්ට කියන්නට ලැබුනේ එපමණකි. අනුජ නිර්මලී දෙස හෙළුවේ තර්ජනාත්මක බැල්මකි.

"මට ඇහුනා මොනාද කිව්වේ කියල! ඌද එහෙම කිව්වේ..? වෙන මොනවද කිව්වේ? මම ආයේ ආයේ අහන්නේ නැහැ බබා! මාව  යකෙක් නොකර කියන්න ඔයාටද ඒ කිව්වේ !"

නිර්මලී 'ඔව්' කියන්නට හිස වැනුවේ වෙන කරන්නට දෙයක් නැති නිසාය. අඩි දෙකට අනුජ ඒ මිනිසා අසල සිටගත්තේ ඔහුද සිතාගන්නටත් පෙරය.

"%$%%^ ! තෝ මොකද්ද ඒ කිව්වේ බල්ලෝ? උඹ හිතුවද මට ඇහුනේ නෑ කියල?? ආ??????"

අනුජගේ ශක්තිමත් බාහුවට හසුවූ දිලිපගේ කමිසයේ කොලරය එසවී ආ අතර අනපේක්ෂිත ක්‍රියාවෙන් ඔහු තරමක් කලබල විය.

"අනේ සර්.. මම දැක්කේ නැහැ"

"දැක්කේ නැහැ? උඹ දැක්කේ නැත්තේ කෙල්ලද? මාවද? කියපං !"

පිළිතුරක් ලැබෙන්නට පෙර එසවුණු කොලරයෙන්ම ඔහුව බිත්තියට තදකර ගත් අනුජ එල්ලකළ පහරින් , ශරීර ප්‍රමාණයෙන් කුඩා දිලිපගේ තොල්පට පැලී ලේ විසිවී ගියේය.

"අනේ අනුජ!"

නිර්මලී අනුජගේ අතේ එල්ලුනේ , හිමාල් එකවරම දෙදෙනා දෙපසට තල්ලු කරද්දීය. වටවූ පිරිස අතරින් ආ ආරක්ෂකයා දෙස බැලු අනුජ දිලීප කඩදාසියක් මෙන් විසිකොට දැමුවේය.

"උඹට එදා දෙන්න බැරිවෙච්ච එක තමයි අද මගෙන් ඉල්ලගත්තේ! ආයේ මගේ ඇස්දෙකටවත් පේන්න එන්න එපා !! මරනවා තෝ !!!"

වෙව්ලන අත දිගුකර තර්ජනාංගුලිය පෙන්වූ අනුජගේ දෑස මිනීමරු පෙනුමක් ගෙන තිබිණ. ලද අවසරයෙන් වරක් නිර්මලී දෙස කේශාන්තයේ සිට බලා දිලීප අඩියට දෙකට පැනගත්තේ මිනිසුන් අතරිනි. 

පහර නිසා තරමක් රිදුනු මිට මෙලවුනු අත ගසා දමා, අනුජ නිර්මලී ඇදගෙන මෙන් වාහනය වෙත යද්දී හිමාල් එතැන තරමක් සන්සුන් කරන්නට කතා කළේය. දුලීකා දිව ආවේ ඒ මොහොතේය.

"මොකද උනේ?.. නංගි ?"

"නෑ අවුලක් නැහැ... මේ මගේ පොඩි කේස් එකක්"

එසේ කියූ අනුජ ඇසින් පැවසුවේ නිර්මලිට වාහනයට නගින ලෙසටය. තත්පරයක්වත් පමා නොවූ නිර්මලී අනුජ කියන්නක්ම කලේ වෙව්ලමින් සිටි බැවිනි. දුලිකාත් හිමාලුත් එකිනෙකා දෙස බලා නිහඬ වුයේ මෙය ඇසීමෙන් පලක් නැති නිසාය.

"දුලී... මෙයාට හොඳ සන් ක්‍රීම් එකක් බලලා අරගෙන එන්න.. "

කිසිවක් නොකී දුලීකා අනුජ දිගුකල කාඩ්පතද නොගෙන නැවත සුපිරි වෙළඳ සැලට ඇතුළු වෙද්දී හිමාල් අනුජ දෙසට හැරුනේය.

"මචන්...නිර්...."

"නෑ ඒක මගේ කේස් එකක්.. "

අනුජගෙන් ඊට වඩා යමක් අසාගන්නට සිදු නොවූනේ ඔහු ජීප් රථයට නැගුනු බැවිනි. ඉදිරි ආසනයේ  නිර්මලී වහා අනුජගේ දකුණත අල්ලා ගත්තාය.

"බබා... ඔයාට තුවාලද?"

කෝපය මදක් පාලනය වී තිබුණු නිසා අනුජ එලෙසම සිය දකුණු අත නිර්මලී වෙත දිගු කළේ කිසිවක් නොකියමිනි. දිලිපගේ දත්වල වැදුණු වේගයට එහි තැල්මක් වැනි සලකුණක් තිබිණ.

"... අනේ...!"

"චඃ... කමක් නැහැ.. මට ඌට ගැහුවා මදි...! ^%$^%$%^ .... "

අනුජ සුක්කානමට තදින් දෑතම ගසා කෑගසද්දී, නිර්මලී ඔහුගේ වමතට බර වුවාය. මේ තරහ නම් සංසිඳුවා ගත යුතුමය.

තත්පර කිහිපයක් කිසිවක්ම නොකියා නිර්මලී ඔහු දෙසම බලා සිටියාය. අනතුරුව කොපුලක් මත හාදුවක් තබා , අතේ ඉහල කොටස සිය ලයට තෙරපා ගත්තාය.

"ඇති බබා දැන්... "

අනුජ දත්මිටි කමින් එකවරම නිර්මලී දෙසට හැරුනේය. ඒ ඇස් සිහින්ව ඇගේ වත පුරා මහා වේගයෙන් ගමන් කරයි.

"බබා ඌ ඔයාව ඇල්ලුවේ නෑ නේද?"

"අනේ නැහැ"

ඒ නම් සුපුරුදු ඉරිසියාකාරයාමය. නිර්මලිට සිනාවක්  සිනාවීමට නොහැකිය.

".. මෙයාගේ සැර ! හ්ම්ම් දැන් ඇති ඔය තරහ ගත්තා.. අපි දැන් ආපු ගමන යමු... අම්මෝ.. තරහ යන තරම! කෝ දැන් හිනාවෙන්න "

නිර්මලී අනුජගේ වම කොපුල සෙමෙන් පිරිමැද , උරහිසට තරමක් බරව ඔහු දෙස බැලුවාය. අනුජ ඈ දෙස බලා අපහසුවෙන් සිනාසෙන්නට වෙර දරමිනි.

දුලීකා කියූ වචන සිහිවී නිර්මලී ඉවසීමෙන් කතාකලේ දෑසම අනුජ වෙතම රඳවමිනි. තවත් අනුජ ගැන ඇති සෙනෙහස මෙන්ම විශාදය විසින් ඔහුගේ සිතේ ස්වභාවයට පත්කර ඇති කැළඹීම ගැන ඈ අන්තර්ජාලයේ කියවූ දෑ විසින් නිර්මලී තරමක පරිවර්තනයකට ලක්කොට තිබිණ. මිනිත්තු කිහිපයකින් යන්තම් ඔහු සන්සුන් කරගන්නට නිර්මලී සමත් වුයේ දුලීකාගේ වචන සිහියේ තබාගෙන අනුජට ඉවසීමෙන් සවන් දුන් බැවිනි. 

ඉක්බිති සිව් දෙනාම රැගත් වාහන දෙක නැවතත් මාර්ගයට පිළිපන්නේ දුර ගමනට අවැසි වේගය ලබා ගනිමිනි 

---------------------------------------------------------

අව් රශ්මිය තිබුනද, මුහුදු සුළඟ විසින් ලබාදෙන සුළං රළ නිසා විඩාවක් දැනුනේ නැති තරමකි. පාසිකුඩා වෙරළේ පෙනෙන මානයේ ඇති ව්‍යාපෘති වැඩබිමට පැමිණ ගතවූ හෝරා තුන පුරාම නිර්මලී හරි හරියට අනුජ සමඟ ඒ මේ අත යමින් වැඩබිමේ කෙරෙමින් පවතින ඉදිකිරීම් වල අධික්ෂණයේ යෙදුනේ, ඈතින් බලාසිටි දුලීකාගේ සතුට වඩමින්ය.

"දුලී... මේ කෙල්ල නම් මාරයිනේ.. මම හිතුවේ ලාමක ටිං ටිං කියලා"

හිමාල් සිගරට්ටුවක් දල්වාගනිමින් තමන් අසල පුටුවට බරවූ දුලීකාට පැවසුවේ ඈතින් සිටින යුවල වෙතම දෑස අලවාගෙනය. 

"ඒකනේ හිමා මම කිව්වේ... අනුජ හරිම ලකී.. ඒ වගේමයි කෙල්ල හරි ආදරෙයි අනුජට.. මට හරි හැපී.. අනුවාට එයාගේ සොල්මේට් හම්බුනා... නිර් හරිම සොෆ්ට් කෙල්ලෙක්"

"අපේ මිනිහා ඉතින් ලෙවකාගෙනනේ ඉන්නෙත්.. මම බයේ හිටියේ නිර් මූව තේරුම් ගන්නේ නැතිවෙයි කියල"

දුම් උගුරක් ඉහලට අදිමින් හිමාල් පැවසුවේ ඈත දිලෙන බැසයන හිරු දෙස බලමිනි.

"පොඩි කෙල්ලෙක්නේ හිමා.. මුලදී බය උනාට, ටික ටික දැන් තේරුම් අරගෙන වැඩ කරන්නේ... හැබැයි අර රේසිකා හම්බෙන එක නම් මම කොච්චර කිව්වත් අහන්නේ නැහැ.. ඕනෙම කියනවා. අනුට කියලත් බැහැ , නොකියත් බැහැ "

"ආයෙත් කිව්වද?"

"ඔව්නේ.. මෙහෙ එන්න පටන් ගත්තමත් ආයේ මතක් කළා... මට හිතෙන්නේ කෙල්ල වෙන පාරකින් යන්න කලින් අපිම ඕක කලොත් හොඳයි කියල.. මට හිතෙන්නේ ඒක ටකල් කරගන්න පුළුවන් නිර් ට "

"හ්ම්ම්ම් දැක්කද, අද වෙච්ච සීන් එකෙනුත් පස්සේ ඌ මම හිතුවට වඩා ඉක්මනට කූල් උනා... මට හිතෙන්නේ රේසිකාට බයවෙන එකක් නැහැ නිර්... ෆොටෝස් ටික තමයි එකම අවුල.. ඒ මොකක් උනත් නිර් මෝඩ කෙල්ලෙක් නෙවෙයි"

"හ්ම්ම්ම් "

තමන් වෙතට ඇවිද එන යුවල නිසා කතාව නැවතී ගියෙන් අවසන් දුම් උගුර ඇද හිමාල් කොටය වැල්ලේ ගසා නිමා දැමුවේය. අනතුරුව එය ගෙන අසල කුණු බාල්දියකට දමා අනුජ දෙස බැලුවේ සිනාසෙමිනි.

"මහන්සියි මචං.. අපි යනවා චේන්ජ් එකක් දාගන්න...අපි කෙලින්ම ඩිනර් එන්නේ...."

අනුජ පැවසුවේ නිර්මලී තමන්ගේ උරහිසට තෙරපා ගනිමිනි.

"හාකෝ හාකෝ.... "

-----------------------------------------------------------------

"මෙහෙ හරිම ලස්සනයි අනුජ.... මාරම ලස්සන විව් එකක්!"

නිර්මලී කබානාවේ පසෙක තිබෙන වේදිකාව මත හිඳගෙන දෙපා පහලට දමාගෙන පැවසුවේ සැහැල්ලු සිතිනි. මුහුදෙන් පැමිණෙන සුළඟ රැගෙන එන ජල බිඳිති ඈ වින්දේ දෑස වසාගෙනය.

අනුජ සිය කමිසය වම් කරේ දමාගෙන අනෙක් අතට ගත් බියර් කෑන් එක සහිතව ඈ අසලට ඇවිද ආවේය. කලින් ලබාගත් රාත්‍රී ආහාරයට පසුව නෑම නිසා වෙහෙස අඩුවී ගතට දැනුනේ සැහැල්ලුවකි. නිර්මලී අසල බිම හිඳගත් අනුජ ක්ෂණයෙන් ඇගේ ඇකගේ හිස තබාගෙන උඩු අතට හැරුනේය. තරමක් ලැජ්ජාවක් දැනුනද, නිර්මලී ඔහුගේ හිසකේ අතරේ ඇඟිලි ගෙනගියේ දෑසම ඔහුගේ මුහුණ පුරා යවමිනි.

"...හරිද දැන්.. ඔක්කොම මිනිස්සුන්ට කෑගහල.. දැන් ඉන්නවා පූස් පැටියා වගේ!"

අනුජ දඟකාර ලෙස සිනාසුනේ නිර්මලී වෙත ඉගියක් කරමිනි.

"හරි තමයි...! මම එහෙම තමයි.... සැරයි හරිද.... මම කියපුවා කලේ නැති උනාම මට කියන්නේ නලවන්න කියලද? තව ඩින්ගෙන් අර කබානා එක ඔක්කොම බිමට සමතලා කරන්න වෙනවා අර බූරුවා නිසා"

"පව් ඒ මනුස්සයා වෙව්ලනවා බයට.. ඔයා හරි නපුරෙක් තමයි"

අනුජ නිර්මලීගේ මුහුණ දෙස කෙලින්ම බලද්දී එකවරම වෙනස් වූ මුහුණ නිර්මලී හඳුනා ගත්තාය.

"අරූ ගැනත් පව් හිතුනද?"

මේ අසන්නේ දිලීප ගැන බව අමුතුවෙන් කිවයුතු නොවේ. 

"බබා.. මොනාද මේ අහන්නේ?"

"නෑ මට ඇත්ත කියන්න... පව් හිතුනද?"

ඒ ඇස්වල ඇති බොළඳ ඉරිසියාව දැක සිපගන්නට ආ හැඟීම මැඩගත් නිර්මලී සෙමෙන් අනුජගේ හිස අතගෑවාය.

"ඒක ප්‍රශ්නයක්ද බබා? හ්ම්ම්ම්? දැන් මේ ඉරිසියාකාරයා මෙච්චර දේවල් වෙලත් හිතන්නේ මම තාමත් එහෙමයි කියලද? එතකොට මම ඒ ප්‍රශ්නෙම ඔයාගෙනුත් අහනවට බබා කැමතිද?"

ඒ වචන දැනුනේ පපුවේ මැදටය. අනුජ දෑස පියාගෙන හිස හරවා , මෘදුව ඇගේ කුස මත දෙතොල් තැබුවේය. දැනුනු උණුසුම් හැඟීම දරාගෙන නිර්මලී ඔහුගේ හිස සෙමෙන් අතගෑවාය. 

"සොරි.... extremely sorry ! මට ඌ කියපු එක ඇහුනාම control එක නැතුව ගියා"

"හරි දැන් ඒක අමතක කරන්න... ආදරෙයිනෙ ඉතින් මම"

සිහින්ව දිලිසෙන දෑසේ ඇති ආලෝකය තරු එළියක් මෙන් අඳුරේ නිර්මලී වෙතම යොමුවෙමිනි. වරින්වර උදරයට දැනෙන මෘදු හාදු ඈ විඳගත්තේ ඉවසිමෙනි.

"මම.. ඔයාට වඩා ගොඩක් වයසයි බබා... ඔයා තාම චූටි කෙල්ලෙක්... හ්ම්ම්... ඉතින්... මට බයයි"

"අනේ... "

"කැම්පස් ගියත්... සිමා ගියත්... කොල්ලෝ ඔයාගේ පස්සෙන් කියලා මම දන්නවා.. ඔයා හරිම ලස්සනයි.. ඉතින් මට බයයි"

"අනේ... මොනාද මේ කියන්නේ? එහෙනම් මම ඒවා නොකර ඉන්නම්"

"එහෙම ඕනේ නැහැ... ඔයා ඉතින් ආඩම්බර කෙල්ල කියල මම දන්නවා... "

"ඉතින් ඔයත් හැන්ඩ්සම් කොල්ලෙක්නේ.. ඔයා දන්නවද.. නේහා ඒ දවස්වල ඔයාට ක්‍රෂ්... මම ඒකි එක්ක රණ්ඩුත් වෙනවා"

අනුජ ඔහුගේ මන්මත්කරවන සිනහව පාකොට හැරියේ ඒ බව ඔහු දන්නා බැවිනි.

"හීනයක් වගේ බබා.. ඔයා මගේ කියලා හිතනකොටත්" 

දුලීකා පැවසු වචන ලෙසටම අඩි හයක් උස මේ දේහදාරී සිරුර තුල සිටින්නේ අවුරුදු දාසයක බොළඳ තරුණයෙකි. ඉරිසියාකාර පෙම්වතෙකි. සැන්දෑ අඳුර සමඟ ඈතින් පෙනෙන වර්ණවත් හිරු බැසයන මනස්කාන්ත දසුන දෙස බලාගෙන දෙදෙනාම දෙදෙනාගේ මෘදු පිරිමැදුම් විඳිමින්  උන්හ. එකවරම පොදයක් සමඟ මුහුදු සුළඟ පැමිණියේ දෙදෙනාම තෙමා දමමිනි. 

"තෙමෙනවා..... කෝ නැගිටින්න "

අනුජ වහා නිර්මලිගේ ඉනෙන් දෑත දෙපසට දමා නැගිටින්නට නොදී තදකොට ගත්තේය.

"ඔව්... තෙමෙනවා තමයි... ඒ උනාට මට මෙහෙම ඉන්න ඕනේ..."

"අනේ ඉතින් මට කිචි.... ඔය එපා... මට කිචිනේ!"

"බොරු කියන්න එපා.. මම මුකුත් කලේ නෑනේ"

"හ්ම්ම්.. තෙමෙනවානේ"

"තෙමෙමු ඉතින්... "

මේ නම් ඕනා නැති වැඩක් බව නිර්මලිට දැනුන නිසා ඈ සිනාසී අනුජගේ කොපුලක් පිරිමැද්දේ රැවුල් කොට ඇනෙද්දී ය.

"එහෙනම් ඔතනින් වාඩිවෙන්න"

"බෑ බෑ ... මට මෙහෙම ඉන්න ඕනේ! දඟලන්න එපා දැන් දෙන්නම මුහුදට වැටෙනවා!"

"ආ.. හරි හරි.. ඉන්නම්කො.. ඔය අත එහෙනම් එහාට ගන්න"

"බෑ !"

"එහෙනම් ඔලුව අතගාන්නෙ නෑ !"

"එච්චරද?"

"ආ? මොකක්ද?"

සිහින්ව ගිය දෑස එතරම් හොඳ කතාවක් නොවන බව දැනුනු නිර්මලිගේ කොපුල් ඉබේම රතුව ගියේය.

"මෙච්චර රොමෑන්ටික් සෙට් අප් එකක , ඔලුව අතගාගා ඉන්න නෙවෙයි ආවේ.. හරිද මැඩම් ?"

"අන්.. නේ.... හරි නරකයි"

"ඔව්.. මං නරකයි තමයි..! "

මත්වූ දෑසින් තමන් වෙත බලා සිටින අනුජගේ බැල්මෙන් මිදෙන්නට තරම් සිහියක් නිර්මලිට නොවීය.

"...අද අපේ දවස බබා.. දෙනවද මට හැමදේම?"

දෑසේ කතාව එතැනින් ඇරඹි, පිනිපොද පරයා ඉසුණු හාදු වැස්ස හාත්පස සියල්ල අමතක කොට දැමුවා වැනිය. ප්‍රේමයේ තත් අතර වැයෙන ඉමිහිරි ගීයක සිතාරය මෙන් වරෙක පෙලෙමින්ද, වරෙක පිරිමදිමින්ද සංගීතමය සුයාමක් මන්ද අඳුර තුල සැඟවිණි.

"...මගේ මැණික.... රිද්දුවද මම හ්ම්ම්??? ආදරෙයි ගොඩාක්.."

සිය පපුව තුල ගිලි මුහුණ වසාගෙන සිටින නිර්මලිගේ හිස මෘදුව අතගා නළලත මත හාදුවක් තැබූ අනුජ, පිළිතුරක් නොදෙන තරුණිය දෙස ආදරයෙන් බලා උණුසුම් ලැම මත යලිත් හිස සඟවා ගිමන් නිවා ගත්තේය.

බිඳුණු තත් මත වැයුණු මියුරු ගීතයේ සංධ්වනියට මුසපත්ව උන් තරුණිය, අනුජ මෙතෙක් කල්ගත් හේතුව වචනයෙන් විස්තර නොහැකි තරමට තේරුම් ගනිමින්, යලි යලිත් ඒ රැකවරණයට තුරුළු වුවාය.

----------------------------------------------------------------

"ඕක හරියන්නේ නැහැ....  අර ටීෂර්ට් එක අඳින්න.... බෙල්ල ගාව රතුපාටවෙලා පේනවා"

අනුජ නිර්මලිගේ ගවුම දැක සිනාසෙමින් කියද්දී නැගුනේ  මනමාල සිනාවකි. නිර්මලිගේ කොපුල් රතුවී ගොස් ඇඹරෙනු දුටු අනුජ ඈ තම ලයට තදකොට ගත්තේය.

"... රතුවෙනකොට තවත් මිරිකන්න හිතෙනවා... මගේ සුරංගනාවී"

අනුජ දෙස ප්‍රේමනීය බැල්මක් හෙලු නිර්මලී සිනාසී බිම බලාගත්තේ පළමුව පැවසිය යුතුදේ සිතාගත නොහැකිවය..

"... මොකද ඇඹරෙන්නේ ආ? දැන් නම් ඒවා හරියන්නේ නැහැ මැඩම්... කෝ දැන් අර මට දාපු චන්ඩි පාට් ?"

ඇගේ රුව විඳිමින් අනුජ පැවසුවේ නිර්මලී තවත් රතුවෙද්දීය. අනුජට දැනුනේ සියලු සතුට තමන්ගේ ලෝකය වටා ඉදිවී දේවදුතයින් විසින් සත්ප්‍රසාද පිරිනමන්නාක් මෙනි.

".. ගොඩක් ආදරෙයි පැටියා... ඔයා මගේ පණ ! මගේ ජිවිතේ මම මෙච්චර සතුටින් හිටපු දවසක් මතක නැහැ. ඔයාට ගොඩක් පිං මට ආදරේ කරනවට... "

"අනුජ... අනේ"

"අනේ? අනේ තමයි කොයි වෙලෙත් කියන්නේ... පිස්සි මගේ... මාව පිස්සු වට්ටලා මෙතැන.. අනේ අනේ ගගා..."

ඇඹරෙමින් සිනාසෙනවා හැරුණුවිට නිර්මලිගේ කතා සියල්ලම රතු වූ වතට සීමාවී තිබිණ. 

 "... බඩගිනි මට.. අපි පරක්කුයි නේද? breakfast වලට අරුන් දෙන්නා බලාගෙන ඇති... අපි යමුද?"

යටිතොල විකාගෙන තරවටුවක් මෙන් ඇරඹුනද , අවසානයේ එය මෘදු හාදුවකින් අවසන් විය.

"හ්ම්ම්"

"කෝ අර ටීෂර්ට් එක දාගන්න.. අපි තව ටීෂර්ට් ටිකක් ගම්මු අද.. යමුද?"

නිර්මලී නිහඬව ටී කමිසට මාරුකරගෙන සෙමෙන් දොර අසලට ඇවිද ආවාය.

"... මම කෑම එක මෙහාට ගෙන්නගන්නද? බබා.. යන්න පුලුවන්ද? මෙතන ඉඳලා මීටර් පනහක් විතර තියෙනවා බුෆේ එකට "

 ඉඟටියෙන් අල්ලා තමන්ගේ ගතට නිර්මලී වාරු කරගෙන අනුජ ඇසුවේ ආදරයෙනි.

"නෑ.. ඕනේ නැහැ.. පුළුවන්"

ඔවුන් දෙදෙනා එහි යද්දී, උදෑසන කෑම නිමකළ දුලිකාත් , හිමාලුත් දෙදෙනාම මන්ද හිරු එළියේ සෞම්‍ය බව විඳිමින් වෙරළ අසල පුටු වලට බරවී සිටියහ.

"... ඇඹරෙන්න එපා පිස්සි... අරුන් මොනවා කිව්වත් දන්නේ නැහැ වගේ ඉන්න හරිද?"

අනුජ ඇගේ කනට කොට පැවසුවේ ඒ වනවිටත් ඇගේ කන්පෙති රතුව ගොස් තිබුණු නිසාය.

"ආ.... දැන්ද එන්නේ... හාකෝ හාකෝ.... "

අනුජ හිමාල්ට අත වනා , නිර්මලී සමඟ බුෆේ කොටසට හැරුනේ කුසගින්න නිසාය.

"...අඩෝ මට උදෙන්ම වැඩක් සෙට් කරලා උඹ  ඉර පස්ස පැත්තට වැටෙනකල් ඉඳල ආවහම හරියනවද යකෝ ? උඹට බයේ අර වීරකෝන් කාරයා උදේ ඉඳලා මට කෝල් කරනවා කෙළවරක් නැහැ.. එක්කෝ උගේ කෝල්ස් වලට ආන්සර් කරන්ඩ එපැයි !"

තමන් දුරකථනය කොහි තැබුවාද කියා අනුජගේ මතකයට ආවේ ඒ මොහොතේය.

"අහ්... ෆෝන් එක සය්ලන්ට් දාලා තිබ්බ බන්.. අවුලක් නැහැ උඹ ඉතින් ටිකක් බලපන්කො ගිහින් ඌ එක්ක"

"හෙලෝ නංගා... මූණත් එක්ක එළිය වෙලා... නින්ද ගියාද හොඳට? අපි ඔයාලා එනකල් ඉඳලා කෑවා අනේ..."

නිර්මලී සිනාසී , හිස සැලුවා මිස කිසිවක් කීවේ නැත. කෑම වලින් එකිනෙක තෝරමින් අනුජගේ සහ තමන්ගේ පිඟානට බෙදන නිර්මලිගේ බැල්ම මොහොතක්වත් අනුජගෙන් ඉවත්ව නොගියේය. අනුජ කෑම තෝරමින් නිර්මලිගේ පිඟානට දැමුවේ බලෙන් මෙනි.

"ඔය ඉතින්.. මාව අවුස්සගන්නේ නැතුව කෑම කන්න බබා... පොඩි ගමනක් යන්න තියෙනවා ඉක්මනින්"

හොරැහින් බලමින් අනුජ කීවේ කෑම මේසයට හිඳගනිමින්ය. නිර්මලී සිනාසුනාය.

"... බබා are you ok ? පැනඩෝල් එකක් දෙන්නද?"

නිර්මලී අපහසුවෙන් මෙන් ඇඹරී 'හා' කියන්නට හිස වැනුවාය. අනුජ වහා ගොස් සේවකයෙකු ලවා පැනඩෝල් ගෙනැවිත් දුන්නේය.

"... ඔය මට්න් ටික කන්න... මම බෙදුවා ටිකක් වැඩියෙන්.. ඉන්න මම රෙඩ්බුල් එකක් අරගෙන එන්නම්"

කෑම සියල්ලම කන තුරුම තමන්ට වදදෙමින් අනුජ සිටීම නිර්මලී වින්දේ සතුටිනි. කෑමෙන් පසුව ඈ සිටි මේසයට දුලීකා පැමිණියේ පත්තරයක්ද අතැතිවය.

"ආ.... මේ තියෙන්නේ මිස්ටර් අනුජ සංදිරිගමගේ බ්‍රේකින් නිවුස්!"

මේසය මත තැබූ පත්තරයේ අතිරේකයක මුල් පිටුවේ අනෙකුත් පින්තුර අතර සිටියේ අනුජ සහ නිර්මලීය. එය පෙර දිනයකදී , සිංහ සමාජයේ හමුවට ගිය මොහොතේ  සටහන් වූ  පින්තුර අතර කැපීපෙනෙන පින්තුරයක් වූයේ , ලබාදී තිබුණු කැප්ෂන් එක නිසාය.

'The most elegant couple in the event - Mr and Mrs Anuja Sandirigama'

"අනේ...... මේ අපි දෙන්නා නේද?"

"වාව්... ඒක නම් එළටම තියෙනවා...! බලන්නකෝ බබා ඔයාගේ ලස්සන "

අනුජ පත්තරය අතට ගෙන , සතුටින් කීවේ නිර්මලිගේ ගෙලට හාදුවක් දෙමිනි.

"සිරියස්ලි... ලස්සනයි.. බලන්නකෝ දාලා තියෙන කැප්ෂන් එක...  මට එදා ශිෆ්ට් එකනේ... එන්න විදියක් තිබ්බෙම නැහැ. හිමාල්ටත් මම කිව්වා මම නැතුවට කමක් නැහැ යන්න කියලා... එයා ගිහින් නැහැ... අනු.... මේක පත්තරේ යවාගන්නමද කොහෙද ගියේ නම්.."

අනුජ සිය දඟකාර සිනාව පාමින් එය අනුමත කළේය.

"නැතුව නැතුව..."

"අඩෝ මේ... අන්න උඹව ටැග් කරලා FB එකේ අංකල්ගේ වෝල් එකේ කට්ටිය විශ් කරලා දාලා මේ පින්තුරෙත් එක්ක... වෙලාවට අන්කල් FB  වැඩිය ඇක්ටිව් නෑ.. යකෝ මේ ලංකාවේ උන්ට පුදුම කුනුකන්දල් පිස්සුවක්නේ තියෙන්නේ. උඹ FB deactivated කියලා අතෑරලා නෑනේ මේ සක්කිලි මිනිස්සු!"

"තාත්තා මට කෝල් කළා මචන්"

ක්ෂණයෙන් දුලිකා සහ හිමාල් එකවරම අනුජ දෙස බැලුවේ තරමක තිගැස්මකිනි.

"මොකද කිව්වේ?"

"කිව්වේ ඉතින් කලින් බයිලා එකම තමයි.. මම බිස්නස් අතාරින්න හිතුවේ ඊට කලින් නේ..  nothing to lose... මම එයාගෙ සතයක්වත් අරගෙන නෑනේ..  "

හිමාල් කිසිවක් නොකියා දුලීකා දෙස බැලුවේය.

"...බබා... ඔයා නැප් එකක් දාන්න ගිහින්... මම සයිට් එකට ගිහින් එන්නම්... දැන් ඔයා රෙස්ට් එකක් ගන්න.. ඕනනම් හවස එන්න. හ්ම්ම්?"

අනුජ නිර්මලී වෙත නැඹුරුව සෙමෙන් පැවසුවේ හිමාල්ට පවා නෑසෙන පරිද්දෙනි. අනතුරුව ඔහු හිමාල් දෙස බැලුවේ වෙනමම බැල්මකි.

".. අද හවස කෝල් එකක් ගන්න ඕනේ නේතන්ට.. ඌ ගියපාර යවපු අප්ඩේට් එක ගැන හැපී නැහැ... මේ වැඩේ මම බැහැලා කරන්නේ මචන්.. මෙයා බලයි සැලෝන් චේන් එක... මම අර ගෑනි හොයාගත්තා. එයාටත් අද මෙයාව introduce කරලා දෙන්න ඕනේ අද.. තාත්තා කැමති දෙයක් එයාගේ ඒවාට කරගත්තාවේ"

ඒ කතාවෙන් ක්ෂණයෙන් නිර්මලිට ඉව වැටුනේ රේසිකා සහ සිය පියාගේ පටලැවිල්ල අනුජ ඔවුනට පවසා නැති බවකි. ඒ ඇයි ? අවිශ්වාසය නිසා නොවන බව ස්ථිර මුත්, එය තරමක වෙනසක් නිර්මලිට දැනුනි. සිය ජිවිතය තුල ඇති සියලු දේ අනුජ තමන් සමඟ බෙදාගන්නවා නොවේද?

"ඔව් මචන්... උඹ එහෙම කරන එක හොඳයි... මම මේ නංගීත් ඉන්න හින්දා කියන්නම්... අර බලු ගෑනි වෙන මොකක් හරි ගේමක් සෙට් කරලා කියලා මට හිතෙනවා. උඹලා දෙන්න පරිස්සම් වෙන්න ඕනේ. නරකද වීරසිරි ගෙන්නගත්තොත්?"

"මම මේ බිස්නස් ලෝකේ ලංකාවේ ඉන්න ලොකුම සල්ලිකාරයා නෙවෙයි මචං... රේසිකා ඒක දන්නවා. මගේ priorities වෙනස්. ඒ ගෑනි මට මොකක් කරන්නද? මගේ ගාව ඒකිගේ මුකුත් නෑ... වැඩිය නටන්න ආවොත් මම දන්නවා මොනාද කරන්න ඕනේ කියල... 

අනුජ මේසය මත තිබුණු නිර්මලිගේ අත ඇඟිලි පහම යනසේ සිය අතට තදකොට ඒ මත හාදුවක් තැබුවේය.

"...මේ චූටි කෙල්ල බය නොකර ඉඳපන්"

"අනේ උඹේ චූටි.... මම ඉතින් කියන්නේ නැහැ....."

එයට නම් අනුජ රතුවී දඟ හිනාවක් සමඟ බැල්මක් නිර්මලී වෙත හුවමාරු වූයේ නිතැතිනි. කුරුළු ජෝඩුවක් වන මේ යුවල දෙස බලා දුලීකා සිතින් අපමණ සතුටක් වින්දාය.

"නංගි.. මම පූල් යනවා.. හවස බීච් යන නිසා පොඩි ස්වීම් එකක් දාමුද?"

"අනේ... මම පීනන්න දන්නේ නෑනේ.."

"ආ..... මූ කියලා දුන්නේ නැද්ද? පුදුමයි... අනිත්වා කියල දීපු වේගෙට මම හිතුවේ මේ වෙනකොට නොදන්නා දෙයක් නැතිවෙයි කියල.."

"අනේ හිමා නිකන් ඉන්නකෝ  පොඩි එකීව බයිට් නොකර.. එන්න නංගි අපි යමු"

නිර්මලී රතුවූ දෙනෙතින් අනුජ දෙස බැලුවේ අවසර පතන්නාක් මෙනි.

"යන්න... ස්වීම් එකක් දැම්මම හරියයි.. හොඳද මැණික.."

ඇගේ නළලත සිප ඈ දුලීකාට ලංකල අනුජ වෙරළේ කොනක් වෙත හිමාල් සමඟ ඇවිද ගියේ දෙදෙනාම එකිනෙකාට කරගත් ඉඟියක් නිසාය.

"මචන්... පොඩි සීන් එකක්.."

"කියපන්"

"නිර්මලිගේ තාත්තා ඇවිත් තියෙනවා උඹේ ඔෆිස් එකට. සික්කා උඹේ ෆෝන් එක වැඩ  නැති නිසා මට උදේ පාන්දර කෝල් එකක් දුන්න"

අනුජගේ මුහුණ වෙනස් වුයේ ක්ෂනයෙනි.

-----------------------------------------------------------------

දිනය ගෙවෙමින් පැවතුනේ සුන්දර මතකයන් අතර සැරිසරමිනි. වැඩබිමේ වැඩ කටයුතු අතරින් පතර පැමිණ ඕනානැති දඟකාරකමක් කරනා අනුජ සිහිවන මොහොතක් පාසා නිර්මලී විලියෙන් රතුව සිටියාය.

"ඔයා හරි ලකී නිර්... මට නම් තරංග කවදාවත් ඔහොම පිස්සුවෙන් වගේ ලව් කරලා නැහැ හලෝ... ඉරිසියත් හිතෙනවා.... "

"තරංගත් දැන් ඉස්සර වගේ රෙක්ලස් නෑනේ නේහා... මට අනුජ කිව්වා ජොබ් එක ඉස්සර වගේ නැතුව හොඳට කරනවා කියලත්.. ඔය දෙන්නත් ඉතින් තව ටික කාලෙකින් මැරී කරන්න"

සෙල්ලක්කාර තරුණයෙකු වූ තරංග කාගෝ ආයතනයක රැකියාවකට දමා දුන්නේ අනුජ විසිනි. එබැවින් නේහාගේ පවුලේ අය විසින් ඔහුට ලබාදුන් ලකුණු ප්‍රමාණය තරමක් ඉහල වූ නිසා ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධයට නිවසින් තිබුණු දැඩි විරෝධය අඩුව ගිය හේතුවෙන් නේහා සැමවිටම අනුජ ගැන කතා කලේ ගරුත්වයෙනි. 

"අර රේසිකා කියන ගෑනිගේ නම්බර් එක තාම හොයාගත්තේ නැද්ද?"

"දුලීකා අක්කා මට එන සතියේ දවසක එයාව මුණගස්සන්න කැමති උනා. මෙතන වෙන මොකක් හරි ලොකු දෙයක් තියෙනවා නේහා. ඒ කියන ගෑනි ගැන අහන ඒවා හරි අමතුයි.. ඒ උනත් මම කොහොමහරි හම්බෙන්න ඕනේ.. මේකේ දෙකෙන් එකක් බලාගන්න.. පව් අනුජ"

"මම මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා නිර්... අනුජ කියන්නේ මම දැකලා තියෙන ග්‍රේට් කොල්ලෙක්.. ඒත් මට හිතෙන්නේ.. මොකක් හරි ලොකු දෙයක් තියෙනවා , ලොකු වීක් පොයින්ට් එකක් "

නිර්මලිගේ සිත ඇවිලී ගියේ ගින්නට ලංවූ පුළුන් රොදක් මෙනි.

-------------------------------------------------------------------------------

"හෙට ක්ලාස් එක කට් කරන්න නේද මේ දැන් කුරු කුරු ගාන්නේ ආ?"

"අන්.. නේ.... එක දවසනේ.."

"අනේ බබා... කට් කරගන්න එපා ක්ලාස්.. අපි ආයෙත් එමුකො ඉතින්... මෙහෙ නෙවෙයි.. තව ලස්සන තැන් තියෙනවා බාලි වල.. කොහොමත් මට ඔයාව කොහෙවත් එක්කගෙන යන්නත් බැරි උනා.. "

අතහරින්නට නොසිතෙන ඈ මිරිකා අල්ලා ගනිමින් අනුජ පැවසුවේ ඇගේ හිස සිඹින අතරය. රවුම් ලොකු ඇස් වලින් බලමින් මේ හදන්නේ ආයෙමත් තමන් අවුලවන්නටය.

".. කෝ දැන් ලැස්ති වෙන්න.. පරක්කු උනොත් රෑ වෙනවා යන්න... "

අනුජගේ දුරකථනය නාදවුයේ ඒ අතරය. නොදන්නා අංකයක් නිසා අනුජ එයට පිළිතුරු දෙන්නට කබානාවේ පසෙක තිබෙන දොරෙන් පිටතට පැමිණියේය.

"හෙලෝ?"

"සර්... මම මේ මීනා කතාකරන්නේ"

"ආ... මීනා ආන්ටි.. මම මේ ඔයාට කෝල් එකක් දෙන්න හිටියේ අද රෑවෙලා... මේ නම්බර් එක මගේ ගාව නෑනේ.."

"ආ.. ඔව් සර්.. මගේ නම්බර් එක මම මාරු කළා අද.. සර්ට කෝල් එකක් දීලම කියන්න හිටියේ. හෙට එහෙනම් මම කෙලින්ම ගෙදර එන්නද සර් අර වැඩ ටික කතාකරගන්න?"

"ආ.. මීනා ආන්ටි.. අපි දැන් එහෙ නෙවෙයි ඉන්නේ... මම ආන්ටිව ගන්න වාහනයක් එවන්නම්. මට ලොකේෂන් එක එවන්නකො. ආ.. ඉන්න.. ආන්ටි දැකලා නෑනේ මගේ වයිෆ්.. ඉන්න මම whatsapp එකක් ගන්න"

එකවරම අනුජ ඇමතුම විසන්ධි කොට නිර්මලී දෙස බලද්දී නිර්මලී ජනේලය අසල සිය හිසින් 'ඇයි' ලෙස විමසුවේ හිසිනි.

".. බබා.. මම අර කිව්වේ මීනා ආන්ටි.. සැලෝන් චේන් එක රන් කරපු මැනේජර්.? එයා කතාකරන්නේ... ඉන්න මම ඔයාට එයාව පෙන්නන්න.. හෙට මම කොහොමත් එන්න කිව්වා අපිට කතාකරන්න. කෝ එන්න මට එයාට ඔයාව පෙන්නන්න ඕනේ!"

whatsapp  තාක්ෂනය ඔස්සේ ඊළඟට ගත් ඇමතුමේ වීඩියෝ ඔන් කල අනුජ දුරකථනය එක අතක තබාගෙන අනෙක් අතින් නිර්මලී තම ලයට තදකොට ගත්තේ මීනාට ඈ දිස්වෙන පරිද්දෙනි. දුරකථනය තිරය මත සිටියේ තම වියපත් කාලය ගතකරන රුවැති ගැහැනියකි. ඇගේ මුහුණ පුරාම තිබුනේ ප්‍රසන්න සිනාවකි.

".. මේ ඉන්නේ මීනා මගේ වයිෆ්... නිර්.. මේ ඉන්නේ මීනා ආන්ටි.. ඔයාගේ සැලෝන් චේන් එකේ මැනේජර්... හෙට ඉඳලා ඔන්න එයා ඔයාට උදව් කරයි මේ හැමදේටම... අපේ මමාගේ දකුණු අත ඉතින්!"

මිනාට ඇසුනේ අනුජ පැවසු මුල කොටස පමණි. ඈ විදාගත් දෑසින් යුතුව අනුජගේ තුරුල්ලට වී සිටින ඒ රූමත් තරුණිය දෙස දෑස නොපියා බලා සිටියේ සිය සර්වාංගයම පණ නැතිවන්නාක් මෙන් දැනෙද්දී ය.

".... මීනා...? මීනා....???"

"ආ.. අ.. සර්?"

අවසිහියෙන් මෙන් උන් මීනාගේ සිහිය ලැබුනේ ඒ මොහොතේය. නමුත් මීනා දෙස ඒ ලෙසම භීතව බලා සිටින නිර්මලී දුටුවනම අනුජට වෙනසක් දැනුනේය.

"බබා..මීනා ආන්ටිව දන්නවද?"

නිර්මලිට එකවරම කතා කරගතහැකි වුයේ නැත.

"... අ... ආ.. ආන්ටිගේ න-ම... මීනා?"

"අනේ මගේ රත්තරන් කෙල්ල...! මේ චාරුකා දුව නේද?"

"අනේ.. අම්මා!!!"

"අනේ මගේ දුවේ...."


----------------------------- මතු සම්බන්ධයි -----------------------------

12 comments:

  1. බුදාම්මෝ! ඒ මොකක්ද ඒ සීන් එක? අනේ කියන තැනකට වඳින්නම් තව පටලවනව එහෙම නෙවෙයි ඔන්න! දැණටත් කථාව නිකං ඉඳි ආප්පයක් වගේ වෙලා! සමා වෙන්න ඉඳි ආප්පයක් කිව්වට ඉඳි ආප්පයක්ම නෙවෙයි ආස්මී එකක් වගේ!

    ReplyDelete
    Replies
    1. අන්තිම ටික කියෙව්වම මට හිතුනෙත් "බුදු අම්මෝ' කියලා.....

      looks like feeling is mutual

      Delete
    2. Thattaya> අනේ ඉතින් එහෙමනේ කතන්දර උනාම... කට්ටියට රෝමෑන්ස් ඇතිවෙලා නේ තිබ්බේ...

      Delete
    3. Nayanathara> ගණන් ගන්න එපා මෙයා ... හරියයි

      Delete
  2. දෙන්න හාෆ් බ්‍රදර් හාෆ් සිස්ටර් සීන් එකක්ද මන්ද

    ReplyDelete
    Replies
    1. තව ටිකක් සැලකිල්ලෙන් කියෙව්වා නම් මීනා කියන්නේ කවුද කියලා කලින් කියලා තිබ්බා

      Delete
  3. Replies
    1. අවුලක් නෑනේ.... නැති උනා නෙවෙයිනේ.. හම්බුනා නේ...

      Delete
  4. පිස්සු හැදිලා ආයිත් හැදුනා.. වෙලාවට මේ කොටස් දෙකම කියවන්න ආවේ එකට. හිටාන් හුටස් ගාල ඊළඟ කෑල්ල කියවලා ඉන්න

    ReplyDelete
    Replies
    1. කමියාට පිස්සු හැදුනා කිව්වේ??? අලුතෙන් ආපු වේරියන්ට් එකක් වෙන්ඩෝන...

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...