Monday, November 22, 2021

280: උන්මාද චිත්‍රාදෝ මා 13



අමුත්තා පිටවී ගිය පසුව මහා හඬින් දොර වසා දැමු අනුජ, මහා කලබලයකින් මේසයේ යටම කොටසක තිබී දුම්වැටි පැකට්ටුව සොයාගත් අතර, දල්වාගත් දුම්වැටියට පසුව තවත් දුම්වැටියක් උරමින් , ඒ මේ අත ඇවිදිමින් සිටියදී තුෂාරා දොරට තට්ටු කළාය.

"කම් ඉන්"

"සර්...මේ ඉන්වොඉස් එක...."

 තුෂාරා කියන්නට ගිය දෙය එකවරම නවතා අනුජගේ පරණ පුරුද්ද දෙස තත්පර දෙකක් බලාසිට , අතෙහි තිබුණු ජායා පිටපත් සහිත කොලය මේසය මත තැබුවාය. අනුජගේ වෙනස්ව ගිය මුහුණත්, වෙව්ලන දෑතත් කියූ කතාව තුෂාරා කහ්ස්නයෙන් හැඳින්නාය.

ඒ සැනින් අනුජට නිර්මලිගේ දෑස පෙනී නොපෙනී ගිය නිසා, අඩක් නිමවූ දුම්වැටිය එකවරම මේසය මත තබා පොඩිකර දැම්මේය.

"තුෂාරා මට.... අර දවල් කියපු පණිවිඩේ... ආයෙමත් බලන්න.. මට එයා ඉන්න තැනක් කොහොමහරි හොයාගන්න ඕනේ.. අදම! මේ දැන්ම!!"

"ඕකේ සර්.."

---------------------------------------------------------------

දුලීකා කිසිවක් නොකියා නිර්මලී දෙස බලා සිටියේ කිසිදු හැඟීමක් නොපෙන්වමිනි. හිමාල් නිවසේ නැති බව වාසනාවක් යයි ඈට සිතින. සිටියා නම් එවෙලේම අනුජගේ පලු අරිනු ඇත.

"නංගි... දැන් ඇති ළමයෝ...."

නිර්මලීගේ හැඩීම නතරව තිබුණු නිසා දුලීකා ඈ අසල හිඳගෙන නිර්මලිගේ උරහිසට සිය අතක් තැබුවාය. නිර්මලිට බරැති සුසුමක් පිටවුයේ ඉබේටමය.

"... ඔයාට ඔය ටික දරාගන්න බැරිවෙන නිසා තමයි අනුජ ඔච්චර කල් නොකියා හිටියේ... නැතුව අනුජ කියපු කිසිම දෙයක් බොරු නෙවෙයි"

නිර්මලිගේ පෑරුණු සිතට දෙන්නට ඊට වඩා පිළිතුරක් ඈ සතු නොවීය. නිර්මලී සම්බන්ධයෙන් දුලීකා දැරුවේද එම මතයමය. ලාබාල නිර්මලී අනුජ හා ඇති බැඳීම කෙතරම් ගැඹුරු වුවද , එතරම්ම බොළඳ ලෝබ කමකින් යුක්තය.

"රේ..සි..කා කොහොම කෙනෙක්ද අක්කා?"

 දෙන්නට පිළිතුරක් දුලීකා සුදනම්කොට තිබුනේ නැති බැවින් තත්පර කිහිපයක් කල් ගත්තේ මුලින්ම කිවයුත්ත ඈ ප්‍රවේශමෙන් තෝරා ගත්තාය.

"එයා කොහොම කෙනෙක් උනත් ,අනුජ ඉන්නකල් ඒ ගැන වදවෙන්න එපා ළමයෝ. අනුජගේ හිතේ කොතනකවත් ඒ ගෑනි නෑ "

 "ඒක මගේ ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයිනේ අක්කි. මට කියන්න.... !"

නිර්මලී මුරණ්ඩු තරුණියක නොවේ. නමුත් ඇගේ සිත ශක්තිමත් බව දුලීකා සිතුවාය.

"එයා හොඳ කෙනෙක් නෙවෙයි නංගි... අනුජගේ විධිය නෙවෙයි පොඩ්ඩක්වත්. අනුජව පවුලෙන් ඈත් කළා ඒ ගෑනි. ආන්ටිත් ඒ අස්සේ නැති උනා.. මෙහෙ ගෙනත් මමයි හිමාලුයි සෑහෙන්න ගේම් එකක් දීලා හරිගස්සා ගත්තේ. අනුජට හරියට තරහත් යනවනේ.. කාටවත් කන්ට්‍රෝල් නැහැ.. "

නිර්මලී කල්පනාවෙන්ම උන්නා මිස කිසිවක් පැවසුවේ නැත.

"... අනුජ හරි ඔනස්ට් කොල්ලෙක්, හැබැයි මෝඩයෙක් නෙවෙයි. ඒ ගෑනි මිස්යුස් කරන්න හැදුවේ ඒ හැමදේම.. අනුජ මාර ඉවසීමක් ඉවසුවේ. ඔක්කොම එලි උනාම අනුජ තව ඩින්ගෙන් එහෙදි මැරෙනවා.. ඔයා දන්නේ නැහැ.. සති ගානක් කාමරේට වෙලා බිබී නාස්ති උනා. හම්මෝ යුද්ධයක් වගේ ඒ ටික දවස"

"අනේ මට.. මට එයාගේ පින්තුරයක් පෙන්නන්න"

 මුහුණු පොතෙන් ගත් පින්තුරවල සිටි තරුණ රූමත් රුව කිසි තැනක ඇගේ සම්පුර්ණ පින්තුරයක් නොතිබීමත්, කිහිප තැනකදීම ඈ එල්ලී සිටි අතේ මුහුණ නොපෙනුනද , ටැටූ එක පෙනීමත් නිසා නිර්මලී සිටියේ වේදනාවෙනි.

"නංගි... මට හිතෙන්නේ ඔයා එහෙම පින්තුර බලලා කරගන්නේ අනවශ්‍ය කරදරයක් කියල. මමත් දැක්කා ඒ ගෑනි අනුජ එක්ක ගත්ත පින්තුර තාමත් එෆ්බි එකේ තියාගෙන ඉන්නවා කියල. එහෙම කරන්නේ ඒ ගෑනිට අනුජගෙන් රිවේන්ජ් එකක් ගන්න ඕනේ නිසා වෙන්නත් ඇති... අනුජ සමාවක් දුන්නේ නැහැ එයාට...."

නිර්මලී දෝතින්ම මුහුණ වසාගත්තේ කරන්නට යමක් සිතාගත නොහැකි නිසාය.

".....දරුවෝ බොරුවට හිත රිද්දගන්න එපා"

"මට බයයි අක්කි"

"මට එක දෙයක් කියන්න පුළුවන් වෙන මොනවත් නෙවෙයි, නංගි.. අනුජ ඔයාට පුදුම ආදරයක් ළමයෝ... රේසිකාට ඒක ලැබුනේ නැහැ.. ඒ ගෑනි හෙව්වේ වෙන දෙයක්.. ටාගට් එක තිබ්බේ අනුජගේ පොකට් එකටයි එයාගේ වීසා එකටයි විතරයි... ඒ ගෑනිට ඕනේ අනුජව හර්ට් කරන්න.. පුළුවන් නම් නැත්තටම නැති කරන්න. අනුජ අහු නොවුනාම එයා ආදරේ කරන දේවල් වලට තමයි ඇටැක් කරන්නේ.. ඒ අතරින් පළවෙනියා ඔයා... අනුජ ඔතරම් ඔයාව ආරක්ෂා කරන්නේ ඒකයි "

"නෑ අක්කි.. මම බය ඒකට නෙවෙයි... මම බය අනුජ ගැන.. මොකක්දෝ දෙයක්... අපි දෙන්නා අතරේ තියෙනවා... මට ඒ ගැප් එක දරාගන්න බැහැ අක්කි..."

දුලීකා මදක් කල්පනා කළාය. 

"අනුජ අපිත් එක්කත් කියන්නේ නැති දේවල් තියෙන බව මම දන්නවා. මට ඒකට හරියටම උත්තර දෙන්න බැහැ නංගි... ඇත්තටම ඔයාලා මූව් අවුට් කරපු එක හොඳයි.. ඕක අපි කිව්වේ ඔයාලා මැරී කරපු වෙලාවෙමයි. "

දුලීකා සන්සුන් හඬින් පවසද්දී, නිර්මලී සැලකිල්ලෙන් අසා සිටියාය.

".... ඩිප්රේෂන් වලින් පස්සේ එයා ඉස්සර වගේ ඕපන් නැහැ.. මම ඩෙන්ටිස්ට් කෙනෙක් උනාට මට මිනිස්සුන් හැරෙනකොට කියන්න බැහැ.. මම හිතන්නේ රේසිකාගේ සිද්ධියෙන් පස්සේ අනුජ හරියටම මිනිස්සු කියෝනව.. ඒ වගේම තරහ ගන්නවා... ඒ ඔක්කොටමත් වඩා ඔයාව ඕවර් ප්‍රොටෙක්ට් කරනවා.. පොඩ්ඩක් අනුජට කල් දෙන්න.. එයාම ඔයාට කියයි හැමදේම. ඒත් ඔයාට පුළුවන් අනුජව බැලන්ස් කරන්න"

"මම..."

"නංගි... මට තේරෙනවා ඔයාගේ හිතේ තියෙන දේ.... මම ඒකට උත්තරයක් දෙන්නම් මෙහෙම... අනුජ වෙනුවෙන් ඒ පියවර ගන්න ඕනේ ඔයා.. ඒ ගැප් එක ඔයා අයින් කරගන්න.. ඔයාල මූව් අවුට් වෙච්ච එක හොඳයි කිව්වේ ඒකයි මම... තේරුනාද?"

නිර්මලිගේ සිත උණුසුම්ව ගිය බැවින් දෙකන්පෙති තරමක් ලේ පුරා රෝස පැහැයට හැරුණි. දෙතොලේ ඇඳුනු මන්දහාසය දුලීකා තුල ඇතිකළේ තරමක සැනසීමකි.

"අනුජට මම ආදරෙයි අක්කි.... පොඩ්ඩක් නෙවෙයි මටත් වඩා.. ඒ උනාට"

"අනුජ ඔය මහා ලොකුවට හිටියට මහා හුඟක් ආදරේ ඕනෙ... ඔය බොරුවට ගෙම්බර් දැම්මට ඕනෙම ඔයා අස්සෙම ඉන්න.. දැක්කහම හරි ආසා හිතෙනවා නංගි ඔය දෙන්නා , ඇත්තමයි ඇස්වහක් නම් වදින්න එපා... ගිය පාරත් මතකනේ.. රට  ගියාට ගිය අතට ආයෙමත් එනවා. ඒ ටිකේම මට කනක් ඇහිලා ඉන්න නැහැ ඔයාව බලන්න එක දවසක් ගියේ නැහැ කියල.. එයාගේ මුළු ජීවිතේම ඔයා.. පිස්සුවක් වගේ වෙලාවකට.. ඔයා පොඩි කෙල්ලෙක් කියලා විහිළු කරාම පුම්බගෙන ඉන්නවා... දන්නවනේ ඉතින් හිමාල්ගේ කට! "

නිර්මලිගේ උරහිසට අත තබා ඈ තමන් වෙත හරවාගත් දුලීකා , නිර්මලිගේ අහිංසක පෙනුම දෙස බලා සිටියාය.

"... හිමාල් එක්ක හොටෙල් චේන් එකට ජොයින් වෙනකොටත් , ඒක ඔයාට ඕනේ විදියට කරන්න ඕනේ කිව්වා... ඔයාගේ ස්ටඩිස් හින්දා මිසක්... "

"මම.. සැලෝන් චේන් එක ගන්න වැඩි කැමැත්තක් තිබ්බේ නැහැ. ඒත් එයාගේ අම්මා.."

"නංගි.. මම තව දෙයක් කියන්නම්.. අනුජ එයාගේ අම්මා ගැන සෑහෙන්න දුක් උනා.. එයාට වැඩිය කල්පනාවක් තිබ්බෙත් නැහැ ෆියුනරල් එකේදී උනත්. ආන්ටිගේ හිතේ තිබ්බෙම, අනුජ බඳින ගෑනු ළමයාට ඕක දෙන්නයි... ඕක අපි කොච්චර කිව්වත් අනුජ ඔලුවේ තියාගෙන ඉන්නේ. නංගිට පුළුවන් නම්..  "

"ඔව් අක්කි... මම ඒ ගැන හිතුව... මම කැමතියි ඒ වැඩ වලට ජොයින් වෙන්න.. කැම්පස් එන මාසේ පටන් ගන්නවා.. කැම්පස් තිබ්බත් මට පුළුවන්"

"That's my girl !"

"ඒත් මට... අක්කිගෙන් මට උදව්වක් ඕනේ අක්කි"

"මොකක්ද?"

"මට රේසිකාව හම්බෙන්න ඕනේ!"

දුලීකා ඒ දෑසේ ඇති ස්ථිරසාර පෙනුම දැක, ඉල්ලීමේ බරපතලකම වටහා ගත්තාය.

--------------------------------------------------------------------------------

නිවසින් ගත් පොත්පත් සහ ඇඳුම් සියල්ලම අසුරා තිබුණු පෙට්ටිත්, නිවසට අලුතෙන් ගත් භාණ්ඩ වල පෙට්ටිත් ලෙහා ,  ඒවා ඒ ඒ තැන්වල තබා අහුරමින් නිර්මලී ප්‍රබෝධයෙන් ඒ මේ අත දුවන අයුරු අනුජ බලා සිටියේ තෘප්තියෙනි. 

අනුජගේ කාර්යාල කාමරයේ තිබුණු දේවල්වල පෙට්ටි ලෙසම එක කාමරයකට ගොනුකළ නිර්මලී එහි කාර්යාලය සකසන්නටත්, එහිම කොටසක තමන්ගේ පාඩම් මේසය තබන්නටත් තීරණය කළාය.

සියල්ලටම සේවකයින් සිටි නිසා නිර්මලිට තිබුනේ ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නට පමණි.

ඒ අතරතුර, අනුජ සන්දිරිගම , වාහන අමතර කොටස් විකුණන ව්‍යාපාරය සතියක් ඇතුලත සිය වගකීමෙන් ඉවත්කර ගත්තේය. සිය පියා සමඟ ඇතිවූ බහින්බස්වීම් සියල්ලම , නිර්මලී අසා සිටියද ඇගෙන් වසන් කරන්නට යමක් ඔහුට තිබුනේ නැත.

"තාත්තා.. මගේ බාරගත්ත ඩියුටිය දැන් ඉවරයි. දැන් ඔයා කැමති දෙයක් කරගන්න.... මට මගේ පාඩුවේ ඉන්න ඕනේ"

අනුජ පැවසුවේ එපමණකි. අනෙක් කිසිවක් ගැන ඔහු කතාකරන සංවාදයක් අනුජ ඉදිරියට ගෙනගියේද නැත.

කෙතරම් කරුණු කියුවද, සේවකයින් කිසිවකුට රැකියාවෙන් ඉවත්වීමට අනුජ ඉඩක් දුන්නේ නැත.

'මට දීපු සපෝට් එක, ඊළඟට එන කෙනාටත් දෙන්න ඕනේ. කොහොමත් මේක මගේ බිස්නස් එක නෙවෙයිනේ'

නමුත්, තුශාරාට අනුජ ලබාදුන් අලුත් හෝටල් ව්‍යාපාරයේ සම්බන්ධිකරණ තනතුර නිසා හිස්වූ පුටුවට සිය පියාගේද අනුදැනුම ඇතිව ඇගේ විශ්වාසවන්ත , දක්ෂ තරුණියක නිර්දේශ කළාය. 

පෙර දිනයේ තාත්තාට යැවු විද්‍යුත් ලිපියේ පැහැදිලිව සඳහන්කර තිබුණු කරුණු ගැන තවදුරටත් කණගාටුවක් අනුජට තිබුනේ නැත. දාබරේ මහතා හමුවේ අත්සන්කොට තමන් සතු සියලු කොටස් විකුණා දැමුවේ නිමන්තිකා සංදිරිගමටය.

-------------------------------------------------------------------------

"අනුජ..."

"හ්ම්ම්ම්?"

"මේ රිපෝට්ස් ටික නම් ඉවරයි... මේ හොටෙල් වල ඩිසයින්ද මේ තියෙන්නේ?"

"ආ.. ඔව් බබා... මම මේ ඔයාට පෙන්නන්න කියලා ගෙනාවේ... ඔතන ඇති ඒවායේ ස්කෙචස් එක්කම.. ඒ ටික බලන්නකෝ... "

"හ්ම්ම්ම් බැලුව... ටිකක් නම් හරිම ඩල් වගේ නේද.... මොනාද ගන්න පාටවල්?"

අනුජ මද සිනාවෙන් යුතුව නිර්මලී දෙස බලා කරමින් සිටි ව්‍යායාමයේ ඉරියව්ව වෙනස් කළේය. නිර්මලී හොර බැල්මකින් අනුජ දෙස බලමිනි.

"මේක කබානා ටයිප්... ඩිසයින් ටික නම් කලේ හිමාගේ යාළුවෙක්.. මමත් ඒවාට වැඩිය කැමති උනේ නම් නෑ බබා... තියෙන ඒවා අඩුවෙන් කඩලා හදන්න තමයි හිමා නම් කියන්නේ... මොකද හිතන්නේ?"

අනුජ නිර්මලී වැඩකරමින් සිටින මේසය අසලට පැමිණ ඈට පසෙකින් සිටගෙන නිර්මලී බලමින් සිටින පින්තුර දෙස බැලුවේය. ඔහුගේ දහදිය වල කැවුණු විලවුන් සුවඳ නිර්මලී සෙමෙන්  ආග්‍රහණය කළාය.

"...ඔන්න ඉතින් පීසා කුළුන වගේ ඇලවෙනවා "

සෙමෙන් ඔහු වෙතට ඇලවෙන නිර්මලීගේ හිස් මුදුනෙන් අල්ලා අනුජ කීවේ සිනාසෙමිනි.

".. දාඩිය බබා... කෝ...එපා දැන්... ආ.. මේ මොකක්ද මේ ඇඳගෙන ඉන්නේ? මේ මගේ ටීෂර්ට් එකක් නේද? මම මේක හෙව්වා !"

නිර්මලී දඟකාර ලෙස සිනාසී ඔහුට විරිත්තා සිටියාය.

"අන්නේ... මේක මම ආසයි... "

"ඕක මම එදා සැටඩේ ඇඳන් හිටපු එකනේ... කිළුටුයි.. "

"ඒ උනාට මට හොඳයි... "

අල්ලා මිරිකන්නට හිතුන මුත්, අනුජ එය වලක්වා ගත්තේ සිය සුපුරුදු සිනාවෙන් ඈ වශී කරමිනි.

"...කෝ දැන් ආපු වැඩේ කරන්න දෙන්නකෝ... මෙන්න මේ කබානා එක වගේ විව් එක බ්ලොක් වෙන්නේ නැතිවෙන්න අනිත් කණු ටික වෙනස් කරන්න බැරිද?"

"හ්ම්ම් කතාකරලා බලන්න ඕනේ.. කොහොමත් structural engineer කෙනෙක්ට කතාකරන්න ඕනේ... මම කියන්නද... අපි යමු වෙලාවක එහෙ.."

නිර්මලීගේ දෑස දැල්වුණි. අනුජ සමඟ ගමනක් යන්නට වන්නේ කලාතුරකිනි. වැඩිපුරම යෙදෙන්නේ හිමාල්ගේ නිවසට යාම පමණි. හා දත් පෙන්නමින් සිනාවෙන නිර්මලී දැක අනුජට සිතුනේම දඟකාර වැඩක් කරන්නටමය.

නමුත් ඔහු නැවත ඩම්බෙල් ඇති තැනට ගොස් ඒවා අතට ගත්තේ නිර්මලිට පිටුපා සිටගෙනය.

"අනුජ...."

"හ්ම්ම්...?"

"දැන්.... මේ... හෙට ඉඳලා... පොඩිනා එහෙම?"

"පොඩිනා මෙහෙ හිටපුවාවේ..."

අනුජ තමන් කරමින් සිටි බර එසවීමේ ව්‍යායාම උපකරණය පසෙක තබමින් කියා දෑතම තුවායෙන් පිසගත්තේ නිර්මලී දෙස නොබලාමය. නිර්මලීගේ සිත තරමක් සතුටින් පොපියන්නට පටන් ගෙනය. තමන්ට අනුජට කෑම උයා දිය හැකිය! ඔවුන් නිවස හැරයන බව දැනගත් පොඩිනා කඳුළු සැලූ සිටි සිහියට නැගී නිර්මලිගේ සිතට තරමක දුකක් දැනුණි.

මේ නිවසට පැමිණි දා සිට, තමන්ගේ නොමනා ක්‍රියාද ඉවසමින් , වෙනසක් නොමැතිව තමන්ගේ ඕනා එපාකම් සොයා බලු පොඩිනා කෙරෙහි නිර්මලී සිත තුල තරමක ලෙන්ගතුකමක් විය. අනුජට ඈ බොහෝම ආදරේ බව නිර්මලී දනී. 

කල්පනාව අතරතුර ඈ පාඩම් කාමරයේ වීදුරුව තුලින් අනුජ දෙස බලාගෙන සිටියේ දහදිය බේරෙන ගෙලත්, පපුවත් දෙසයි.

".. මොකද හොරෙන් බලන්නේ ආ?"

වහා ඉවත බලාගත් නිර්මලී පාඩම් පොත බොරුවට පෙරලන්නට පටන් ගත්තේ ලැජ්ජාව නිසාමය. ලැජ්ජාවට කියන්නට දෙයක් නැත.

"...එදා අමතක වෙච්ච පොත් ටික පැක් කළා නේද ? ඉතිරි ඇඳුම් ටික බෑග් වලට දාලා දෙයි පොඩිනා. ඔයා බැලුවද කාමර ඇරෙන්ජ් කරන විදිය? එකක් ඔෆිස් රූම් එකක් කරන්න ඕනේ.. හෙට උදෙන් ගියාම ලේසි , හවස මට වැඩක් තියෙනවා..."

නිර්මලී කතාකලේ නැත. ඒ නම් හොට දික්වී ඇති සෙයකි.

"...බබා.. ඔය වතුර බෝතලේ දෙන්නකෝ "

කියවමින් සිටි අනුජගේ අවසන් වචන නිසා හිස ඔසවා බලා, මේසය මත ඇති ලොකු ජල බෝතලය ගෙන නැගිට්ටේ අනුජ දෙස නොබලමිනි. එය දකින අනුජට නැගුනේ සිනාවකි.

'පුදුම මායම් මේ කෙල්ලට තියෙන්නේ'

ජල බෝතලය අතට ගනිද්දී අනුජ ඇගේ අතින් අල්ලා ගත්තේ තදිනි. මැණික් කටුව අසලින් ඇල්ලු අත නිසා නිර්මලී ඔරවා මෙන් අනුජ දෙස බැලුවේය.

".. මොකද උත්තර නැත්තේ? මම ප්‍රශ්න ඇහුවා..."

"හරි හරි මම බලන්නම්... මට එපා මම තරහයි"

"ඒ මොකද ඒ?"

" කොයි වෙලෙත් මාව බයිට් කරනවා"

"ඒ ඉතින් ආදරේටනේ පැටියා"

"යන්න.. බොරු! "

"බොරු නෙවෙයි... "

දෙදෙනාගේ දෑස මදකට එකිනෙකා හා පැටලුණි. 

"....මගේ ජිවිතේ මම වැඩියෙන්ම ආදරේ ඔයාට බබා"

අනුජගේ සෙමෙන් සිහින් වූ දෑස දෙසම ඇලි උන් නිර්මලී තත්පර කිහිපයකට පසුව අනුජගේ පපුවට තුරුළු වුවාය. ඈට නැවත නැවතත් අසන්නට අවශ්‍ය වුයේ ඒ වචන ටිකය.

"...දාඩියයි බබා.. එපා... ගඳයි මගේ ගාව.. කෝ.. පොඩ්ඩක් ඉන්න... මම වොෂ් දාගෙන එන්නම්"

"එපා.. මට සුවඳයි.... මට මෙහෙම ඉන්න ඕනේ"

දාතම ඇගේ බඳ වටා යවා, අනුජ ඈ ලයට තදකොට හිස මත ඔහුගේ සුපුරුදු හාදුව තැබුවේ සුසුමක්ද සමඟිනි.

"දුලී ඔයා එහෙ ගියා කියලා මට කියනකොටම මම දැනගත්ත... එහෙ ගියේ නිකන්ම නෙවෙයි කියල... තව මොනවාහරි මගෙන් දැනගන්න තියෙනවද මැණික ?"

නිර්මලී මෙලෙස හොරගල් අහුලමින් තමන් වටා කැරකෙන්නේ කවර වෙලාවල් වලදීද කියා අනුජ දනී. නිර්මලිගේ සර්වාංගයම පන නැතිව ගියාක් මෙන් දැනුනි. අනුජට ඇත්තේ පුදුම ඉවකි.

".. ගොඩක් දේවල් මම ඔයාට කියන්න පරක්කු කළා.. ඒ ඇත්තටම මගේ සෙල්ෆිෂ් කමට, ඔයා නැතිවෙයි කියන බයට මම ඒ දේවල් කිව්වේ නෑ... මට ඔයාව නැතිකරගන්න බැහැ බබා.. වැරැද්ද මගේ. සමාව දෙනවද ඒකට ?"

"අන්නේ....."

"දුලීගෙන් ඇහුවට කිසි ප්‍රශ්නයක් නැහැ. දුලීගෙන් විතරක් නෙවෙයි, ඕනේ කෙනෙක්ගෙන් අහන්න.. ඒත් හිත ස්ට්‍රොන්ග් කරගන්න..."

අනුජගේ මුහුණේ සිනාව මදකට වියැකී ගියේය. 

"චූටි දෙයක් තියෙනවා.... කියන්නද?"

"හ්ම්ම්ම්"

"...මගේ තාත්තා , අම්මව මැරී කරන්න කලින් මැරී කරලා හිටියේ අම්මගේ ලොකු අක්කාව. ලොකු අම්මා බබා හම්බෙන්න ගිහින් මැරුණා. ඒ බබාට අම්මා වෙන්න තමයි අපේ තාත්තා , අම්මාව බඳින්නේ. ඔයා දවස් කීපයක් මගෙන් අහලා මම හරියට උත්තරයක් දුන්නේ නැති ඒ ෆැමිලි පින්තුරේ ඉන්නේ ඒ මගේ අක්කා, නිමන්තිකා... නිමන්තිකා කෝරලගේ... එයාගේ ඇත්ත නම නිමන්තිකා සංදිරිගම.. "

"නිමන්තිකා කෝරළගේ ...? අර... ෆවුන්ඩේෂන් එකේ?"

නිර්මලී පුදුමයෙන් ඇසුවේ අනුජගේ මුහුණ බලමිනි. නිමන්තිකා කෝරළගේ නම නොදන්නා කෙනෙක් නැති තරමය. නමුත් නිර්මලී ඈ රූපයෙන් හඳුනා නොගත්තේ, මෑතකදී කොණ්ඩය කොටටම කපාදමා තිබුණු නිසා වන්නට ඇත.

"හ්ම්ම්.. එයා තමයි... එයා පාවිච්චි කලේ අම්මලාගේ සර්නෙම් එක. වුමන් රයිට්ස් වෙනුවෙන් කෑගැහුවට, එයා නිසා මගේ අම්මා සෑහෙන්න ගෙදර වද වින්දා. එයා ගෙදරින් ගියේ අවුරුදු දාසයේදී වගේ... තාත්තා ඊට පස්සේ එයාව පවුලෙන් අතෑරියා. ඒ ඔක්කොම දිග කතා.. දැන් කියන්න කම්මැලි.. "

අනුජ පහත්වී , නිර්මලිගේ නළල මත හාදුවක් තැබුවේය. කතන්දරයක් අහන ළදැරියක මෙන්, අනුජග තුරුල් වූ නිර්මලී සිය කොපුලක් ඔහුගේ පපුවට තද කළාය.

"....එයාත් කවදාවත් අපේ පවුලේ කෙනෙක් විදියට කාටවත් කියන්නේ නැහැ. අම්මා නැති උනාම මෙයා මාව හොයාගෙන ආවා. ෆියුනරල් දවස් නම් මට මතකයක් නැහැ.. බලනකොට එයා රේසිකාට උදව් කරලා තියෙනවා එහෙදි. මම එක දැනගත්තේ මේ ලඟදි. ඒ හින්දා මම දැනගත්තා කොයි මොහොතේ හරි එයා ආයෙමත් මාව හොයාගෙන එනවා කියල.. 

එයාට ඕනේ සල්ලි.. එයාගේ චැරිටි වැඩ වලට බැක් කරන්න.. ඉතින් මම මගේ ශේයාර්ස් ටික එයාට දුන්නා.. නිකන් නෙවෙයි තමයි... එදා මෙහෙ ගෙදර ඇවිල්ලා හිටියේ ඒකට"

ඒ ගමන මේ නිවසටම ගෙන්වා ගත්තේ හේතු ඇතුවය. තමන්ගේ විසල් මංගල ජායාරුපය දැක දැකත්, නිමන්තිකා සංදිරිගම ඒ ගැන වචනයක් හෝ ඔහුගෙන් නොවිමසීම අනුජ සිහිකලේ සාවඥ හැඟීමෙනි. 

'ඈ එතරම්ම සැලකිලිමත්!'

නිර්මලිගේ සිතට දැනුනේ අමුතු හැඟීමකි. නිවසට පැමිණි එම ගැහැණිය සිටියේ විකාර ඇඳුමකින් සැරසී නිසාත් අනුජ සමඟ පහත ස්වරයෙන් කතා කල නිසාත් , ඉහල මාලයේ සිට තමන් සිටි ගිනිගොඩ මෙනෙහිකල නිර්මලී තේරුම් ගත්තේ ඒ මොහොතේ අනුජ එය නොකී එක යහපත් බවය. 

නැතිනම් එතැනද රේසිකාගේ කතාවක් ඇදෙන්නට ඉඩ තිබිණ. ඊටත් තමන් ඒ කතාවන් වලදී දුලීකා සමඟ සංවාදයේ යෙදීමෙන් පසුව ලද සංවරය නොමැතිකමින්ම මොනවා හෝ වැරැද්දක් කරනු ඇත. කොටින්ම ඈ සිටියේ රේසිකා නම ඇසු පමණින් පරලවන තත්වයකයි.

තමන් මීටවඩා පැසුණු බුද්ධියෙන් සිටිය යුතු නොවේද? අනුජ සිය දෑතම තදකොට නිර්මලී තවත් තුරුල් කර ගත්තේ සිතට නැගුනු දුකක් වැනි හැඟීමක් නිසාමය.

".... ඔයා ඉන්නේ රේසිකා එක්ක තරහින්. මට ඒක තේරෙනවා. අපේ එක මිස්ටේක් එකකින් පුළුවන් අපිට කරදරයක් කරන තැනක් ඕපන් වෙන්න. රේසිකා වගේ නෙවෙයි නිමන්තිකා... ගෑනි ලෝයර් කෙනෙක්. ඔයා මා ගාව බව ගෑනි දන්නවා.. කොටින්ම ගෑනි අපි දෙන්නා ලීගලි මැරිඩ්ද කියලා පවා හොයාගෙන... වෙලාවට මම මේ පිස්සු කෝච්චිය බැඳලා හිටියේ.."

"අනේ.... හරි නරකයි"

"ඌ..! හපන්න එපා.. ඈයි දාඩියත් එක්ක... පිස්සුද කෙල්ල?"

නිර්මලී ඇස් කරකවමින් සිනාසෙනවිට, අනුජ ඇගේ කොපුලක් මෘදුව ස්පර්ශ කලේ ආදරයෙනි.

"... කොහොමත් තාත්තාගේ බිස්නස් නැතුව මගේම දෙයක් කරන්න මම හැමදාම ආසාවෙන් හිටියේ... හිමාල් එක්ක ඒ ගැන මම කාලයක් තිස්සේ ප්ලෑන් කලේ... අපිට ඒක හොඳටම ඇති.. මගේ ප්ලෑන් එකට ඉංග්ලන්ඩ් වල මගේ හිටපු බොස් ෆිෆ්ටි ෆිෆ්ටි දානවා... ඔක්කොම construction cost දරන්නේ මිනිහා.. මට තියෙන්නේ පලවෙනි අවුරුද්දේ ප්‍රොෆිට් එක පෙන්නලා, දෙවෙනි අවුරුද්දේ ඉඳලා අළුත් deal එකක් ගහන්න... දැනටමත් මට බිස්නස් තියෙනවා.. ඉන්නකෝ මම ඔක්කොම ඔයාට පෙන්නන්න... "

නිර්මලී ප්‍රීතිමත් දෑස් දිලිසවමින් අනුජ දෙසම බලා සිටියාය.

"....සැලෝන් චේන් එක.... ඔයා කැමති නැතිනම්..."

"මම... මම කැමතියි අනුජ... මට වැඩ කියලා දෙන්න.. මම ඒක බලන්නම්"

අනුජ පුදුමයෙන් මෙන් නිර්මලිගේ මුහුණ දෙස බැලුවේය.

"මගේ බ්‍රේව් කෙල්ල! මෙච්චර යුද්ධෙකට ඔයාව ඇදලා දාන්න කැමති උනේ නැහැ මම... ඒ උනාට.."

"ඒක ඔයාගේ මමාගේ... අපි ඒක කරමු... දැනටමත් මම ඒකෙ financials handle කරනවානේ... ඇයි අමතකද?"

"ඔව්.. ඔව්.. පණ්ඩිත ආච්චි කියලා මතක නැති උනානේ... "

"ඔයාට ඉතින් ඒවා මතක නෑනේ... හුම්.... මහා ලොකුවට කියවන්නේ අර දුමිනා ඇන්ටි ගැනනේ"

'ඇන්ටි' කියූ සැනින් දෙදෙනාටම සිනාවක් පැන්නේ අනායාසයෙනි.

"මට හරි පුදුමයි, සතුටුයි....!"

අනුජ නිර්මලිගේ කොපුල මෘදුව සිපගනිමින් පැවසුවේ මන්දස්මිතියකිනි.


-----------------------------------------------------------------------------------

"හ්ම්ම්ම් මේ මොකක්ද මේ?"

"මේ මොකද්ද අහන්නේ? ඇයි පේන්නේ නැද්ද ආ?"

නිර්මලී කිසිවක් නොදන්නාක් මෙන් සිය තෙත කොණ්ඩය වටා ඔතා තිබුණු තුවාය ඉවත්කොට කණ්ණාඩියෙන් සිය පිළිබිඹුව දෙස බැලුවේ හොරහිනි. ඈට පිටුපසින් දෑතම බැඳගෙන , අනුජ උන්නේ සිනාසෙමිනි. නිර්මලී ඇස්වලින් ඇසුවේ 'මොකද?' කියා මුත් අනුජ දෑසින් 'මුකුත් නෑ' වැනි පිළිතුරක් දුන්නේය.

"....කෝපි බොනවද?"

නිර්මලී හොරැහින් බලමින් ඇසුවේ කම්මුල් රෝස පැහැ වද්දීය.

"හ්ම්ම්ම්.. හ්ම්ම්... "

නිර්මලී ආපසු හැරී  කාමරයේ දොර වෙත පියමන් කරද්දී අනුජ දෑස නෑරම ඈ දෙස බලාගෙනය. දෙදෙනාම හොරැහින් සිනාසෙමිනි.

"කෝපි ඕනේ නම් පැන්ට්‍රි එන්න ඉතින්"

එලෙස කියාගෙන නිර්මලී කුස්සිය වෙත ගියේද සිනාසෙමිනි. මද වෙලාවකින් කෝපි සුවඳ විසින් අනුජ එහි ගෙන්වා ගද්දි, නිර්මලී පැන්ට්‍රිය අසල කුඩා මේසයට පිටුපා ඇති කොටසේ සිට භාණ්ඩ අස් කරමින් සිටියාය.

"හරි නිදහස් බබා...."

නිර්මලී අනුජගේ වදන් වලට සතුටින් සිනාසී ආපසු හැරුණාය. අනුජ පැමිණ නිර්මලීගේ පසුපසින් ඈ වැළඳගෙන සිය නිකට ඇගේ උරහිසේ තැබුවේ මෘදු හාදුවක්ද සමඟිනි.

"....සුවඳයි.."

"හෙට ඉඳලා මම තමයි උයන්නේ... "

"වෙලාවට මම හොටෙල් එකට වැඩට යන්නේ... අඩුම ගානේ කෑම ටික.. "

"ආ.. ඒ මොකක්ද ඒ කතාව?"

"ඔයා දැන් හෙට උයනවා කිව්වේ...?"

"ආ... ඇයි මට උයන්න බැරිද?"

"හ්ම්ම්ම්....මොකද බැරි... සුවඳයි.."

"ඉන්නකෝ මම හදල දෙන්නම් හෙට වොෆ්ල්ස්... මම දුලීකා අක්කාගෙන් ගත්තා හොඳ රෙසිපියක්.. "

"සුවඳයි...."

ගවුම් කරෙන් ඇතුලට යන අත තදකොට මිරිකාගත් නිර්මලී හිස හරවා අනුජ උරහිසට තබාගෙන සිටින මුහුණ දෙස බොරුවට ඔරවා මෙන් බැලුවාය. ඒ අඩවන් දෑස නම් වෙනමම කතාවකි.

"... සනීපයි.... ඔයා ගාව සනීපයි බබා"

නිර්මලිගේ කන්වලට ලේ පුරා , ඉබේම මුහුණ බිමට නැමුණි.

".... මට බෑ තවත් මෙහෙම ඉන්න... එක්කෝ ඔයා යන්නකෝ කැම්පස් එකට චූටි බන්ඩියකුත් එක්කම!"

නිර්මලී උඩගොස් බිම වැටුනේ අනුජ එය කියූ පරිද්දටය. නෙලුම් පොහොට්ටු වැනි දෑස විසල් කරගෙන , රතුවූ වතින් යුතුව බලා සිටින නිර්මලී දකිත්ම , අනුජ ඈ තවත් තදකොට මිරිකා ගත්තේය.

"... මොකද ඇස් කරකවන්නේ දැන්? කිව්වනේ මගේ ටීෂර්ට් අඳින්න එපා කියල... ආ...! ඒ මදිවට මේකේ කොට!! "

නිර්මලී හිකි හිකි ගාමින් සිනාසුනේ රතුවූ වතිණි.

"... මූඩ් එක කන්න එපා මැට්ටි... රවනකොට නම් පොඩි හොට් ගතියක් තියෙනවා.. පොඩි නෙවෙයි ඉතින්..."

"අ.. න්.. නේ... හරි නරකයි ඔයා"

"දැන් මමද නරක? මේක පැහිලා ඔක්කොටම වඩා... හ්ම්ම්ම් කෝ මගේ කෝපි එක ආ?"

"ඉන්නකෝ ඉතින්.. මම හදල දෙන්න.. කෝ.."

"ඉතින් හදන එකනේ තියෙන්නේ.. අත්දෙක මම අල්ලාගෙන නෑනේ..."

"අන්නේ.... ඔය ඉතින්... උණුවතුරත් හැලෙනවා දැන්!"

ඉක්බිතිව තිත්ත කෝපිවල රසයෙන් මත්වූ ලවන් යුග යුවලක් , අතිශය වර්ණවත් රාත්‍රියක සලකුණු තබා සෙමෙන් සෙමෙන් සඳ හා බැස ගියේ රහසින්මය.

-----------------------------------------------------------------------

නිර්මලී , දෑස දල්වා බලා සිටියේ විමතියෙන් මෙනි.

"මොකද ඇස් කරකවන්නේ? දැන් ෂොපින් යන්න ඕනේ කියලා නම් කියන්න එපා.. මම එදා අර එමරල්ඩ් ග්‍රීන් ගවුම ගෙනාවේ ඒකට තමයි... ඒක ඩිසයිනර් ක්‍රියේෂන් එකක්. මම තව පැයකින් මාලිකාට ගෙදරට එන්න කිව්වා ඩ්‍රස් කරන්න."

අනුජ ගණනක් නැතිවාක් මෙන් කියා සඟරාවෙන් මුහුණ වසාගෙන මනමාල සිනාව නිර්මලිගෙන් වසන් කරගත්තේය. නිර්මලී දෑතම බැඳගෙන ඔරවාගෙනය.

".. මොකද දැන් මට ඔරවන්නේ?"

" මට බෑ යන්න !"

සඟරාව දෙස නෙත යොමුකරගෙනම සිනාවක් පැන්නේ  පුංචි කැරලිකාරියගේ මුහුණේ තියෙනවා යයි සිතෙන උල් වූ කට සිහිවීමෙනි.

"එහෙනම් ඉතින් දුමිනා තමයි එක්කගෙන යන්නේ..."

"ආ!"

නිර්මලී අතට හසුවූ පුටු කොට්ටයෙන් අනුජට දමා  ගසන්නට ඔසවා ගත්තාය. අනුජ පැන ඈ වැළඳ ගත්තේ එය තමන්ගේ සිරුරේ වදින්නට ප්‍රථමය. ඈට කොට්ටය අතහැරුනි.

"අල්ලලා දෙකට කඩනවා දන්නවද... බටු ඇටේ වගේ ඉඳගෙන.... මොකද බෑ කියන්නේ? පාටිය තියෙන්නේ වෝටර්ස් එජ් එකේනේ... ඔයා ආසම ලොකේෂන් එක "

නිර්මලී ඇගේ තියුණු බැල්මෙන් අනුජ පිස්සු වට්ටමිනි.

"මොකද මේ හැමවෙලේම මට නීති දාගෙන ඉන්නේ?"

"ආ... ඒකද මේ කෙල්ල මට සද්දේ දාන්නේ?"

"ඔව්... ! මමත් දානවා රූල්ස් දෙක තුනක්"

"හ්ම්ම්... දෙකක් තුනක් නේද? හිතලා බලන්න පුළුවන් ඉතින්"

"හිතලා බලන්න නෙවෙයි...! කරන්න ඕනේ..."

"ඒක බලමු පස්සේ.. හදිස්සියේ? දැන් මොනාද ඔය කියන නීති?"

"හ්ම්ම්ම්.. අංක එක... හෙට... හෙට මම තනියෙන් යන්නේ ක්ලාස්! වීරසිරිත් නෑනේ... "

"අ.... ආ...."

"ඔන්න බෑ කියන්න බෑ"

"ඒක බලමුකෝ  හෙට... තව පැයකින් මාලිකා එනවා... ඉක්මනට ගිහින් ඔය හඩු ටික මකාගන්න... අද ඩේට් එක විනාස කරන්න එපා ගඳ ගගහා ඇවිල්ල "

සිතින් පිනුම් ගසමින් ඈ කාමරයට පැනගත්තේ , සැනින් දුරකථනය අතට ගනිමිනි. පළමු ඇමතුම නේහා ටය.

"වා.....ට් ?? ඔය ඇත්තමද? හම්මේ මට හිතාගන්න පුළුවන් උඹ වහලේ උඩ නගින තරමට උඩපනින්නේ කියලා.. පලයන් පලයන්... ඕකටනේ ඔච්චරකල් චුරු චුරු ගෑවේ"

නේහාගේ වචන සිහි කරමින්, තනිවම සිනාසෙමින් ඒ මේ අත දුවන තරුණිය හැඩගන්වන්නට රුපලාවන්‍යාගාරයේ මාලිකා නම් තරුණිය පැමිණි අතර , අනුජ සුදානම් වී එනවිට කාමරයේ කලබලය ඇසුනේ දොර අසලදීය.

".. අනේ.... අක්කි එපා.. රතු වැඩි අනේ..   දැන් මට බනී.."

"නෑ නෑ හරි ලස්සනයි... බලන්න වාව් ඔයා නම් පිස්සු හැදෙනවා නංගි"

මාලිකාගේ හඬ එකවරම නතර වුයේ අනුජගේ හඬ සමඟමය.

"බබා... මේකප් තලියක් ගාන්නේ එහෙම නෑ...."

ඒ හඬට මාලිකාත් නිර්මලිත් එකිනෙකා දෙස බලාගත්හ. මාලිකා තැතිගත් නිර්මලීව සංසුන් කල අතර අනුජ දොර අසලට පැමිණ දොර යන්තමට තල්ලු කළේය. නිර්මලී සිටියේ ඔහුට පිටුපාගෙන කණ්නාඩි මේසය ඉදිරියේ වූ බංකුව මතය. 

එකවරම අනුජගේ දෑස  සිහින්ව ගොස් ලොක්  වුයේ දර්පණයෙන්  පෙනෙන නිර්මලිගේ රුව වෙතයි. එහි ආලේපන නොතිබුණු තරමටම , අමුතු ලස්සනක් විය. අත්දිග කමිසයේ මැණික් කටුව අසල බොත්තම පියවමින් අනුජ සෙමෙන් සෙමෙන් ඇවිද විත් නිර්මලී පසුපසින් සිටගත්තේය. ඒ දෑස  මොහොතක් වත් ඇගේ දර්පනයේ පෙනෙන රුවින් ඉවත් වුයේ නැති බැවින් නිර්මලී ලැජ්ජාවෙන් රතුවී බිම බලාගත්තාය. තත්පර ඇගේ ඒ රුව දෑසින්ම රසවින්දේය.

එකවරම සිහිය එලවාගත් අනුජ මාලිකා දෙස බැලු නිසා මෙතෙක් සිනාසෙමින් උන් ඈ සැනින් සිනාව වලකා ගත්තේ බියටමය. 'අම්මෝ බොස්ගේ මනමාල බැල්ම!'

"හ්ම්ම්... හොඳයි... මාලිකාට කැබ් එකක් දාලා තියෙන්නේ. ඒක එයි දැන්.... මේ බඩු ටික තියලා යන්න"

අනුජ මහා හදිස්සියකින් මෙන් කියූ නිසා මාලිකා හිස වනා කාමරයෙන් පිටවී ගියාය. දෑස නටවමින් නිර්මලී නැගී සිටියේ අනුජ වෙත යමක් කියන්නට වුවද, ඇයට ඊට අවසරයක් ලැබුනේ නැත.

ඇගේ ඉනෙන් අල්ලා තමන් වෙත තදකරගත්  අනුජ ඇගේ රතුපාටින් පින්තාරු කර තිබුණු දෙතොල් සිපගත්තේ උමතුවෙන් මෙනි. 

"ස්ස්..... පිස්සු හදනවා බබා ඔයා මට!"

අනපේක්ෂිත සිදුවීමෙන් සහ ක්‍රියාවෙන් අඩපණව ගිය නිර්මලිගේ නළලට, සිය නළල තබා මදක් සන්සුන් වූ අනුජ දෑස වසාගෙන සන්සුන් වෙමින් මිමිණුවේය. පින්තාරු කල තොල් ආලේපන සියල්ලම බොඳවී, විසිරී ගොස්ය.

".. මගේ සුරංගනාවී.... හරි ලස්සනයි...."

අනතුරුව මෘදුව කම්මුලක් අතගා ඉදිරියට නැමී  මේසය මත තිබෙන ටිෂු කඩදාසි පෙට්ටියෙන් ලේන්සුවක් ගෙන ආපසු හැරුණු අනුජ සිය මුව පිසදා ගත්තේ නිර්මලී 'හිකිස්' ගා සිනාසෙද්දීය.

"ලා පාට ලිප්ස්ටික් ටිකක් ගාන්න.. අරක හරි නැහැ"

පහත මාලයට බසින්නට විදුලි සෝපානය අසල යමින් උන් මාලිකාට එසේ කියාගෙන අනුජ සියා කාර්යාල කාමරයට යනවිට මාලිකා උඩබිම බලමින් උන්නාය.

-------------------------------------------------------------

අනුජ සංදිරිගම සමඟ අතේ එල්ලී ශාලාවට පිවිසුණු බුහුටි සුරුපිනිය සැමගේ දෑස අලවා ගත්තාක් මෙනි. කම්මුල් රතුකරගෙන සිටින නිර්මලී අතේ පටලවාගෙන අනුජ  සිටියේ සිය මනමාල සිනාවද සමඟිනි.

"හෙල්ලෝ... පුතා කොහොමද? ගොඩ කාලෙකින් නේ දැක්කේ... ගියපාර ගැදරින් එකට ආවේ නෑ නේද?"

තමන් ඉදිරියට ආ පියාගේ මිතුරා වෙත සුහද සිනාවක් පා අතට අත දුන් අනුජ දෙස වරක් බැලු ඔහුගේ දෑස ඉන්පසුව නිර්මලී ළඟය.

"ඔව් අංකල්... මේපාර සෙරමනි එක නිසා එන්න කියලා තිබ්බා.. අංකල්ගේ අවුට්ලට් එකක් ගිනිගත්තා කියලා ආරංචි උනා"

"ඔව් පුතා... ඉන්ෂුවරන්ස් එකෙන් දුන්නෙත් නැහැ.. අතින් පාඩුයි"

"ආ... එහෙමද? අංකල්.. මීට් මයි වයිෆ් නිර්මලී... "

"අඃ "

ඔහුගේ උගුර සිරවී ගියාක් මෙන් දැනුනද නිර්මලී දෙස බලා සුහද සිනාවක් පෑවේය.

".. පුතා මැරි කළා කියලා ආරංචි වත් උනේ නැහැනේ.. හදිස්සියේද?"

"නෑ අංකල්.. හදිස්සියේ නෙවෙයි.. එයා සිමා කරනවා, ඒ හින්දා ෆන්ක්ෂන් ගත්තේ නැහැ... අංකල් තනියෙන්ද ආවේ?"

පසුව තවත් ආගිය තොරතුරු කතාබහ කරනතුරු නිර්මලී වටපිට බලද්දී, තමන් වෙත එකා දෙන්නා බලනු හොඳින් නිරීක්ෂණය විය. අනුජ සන්දිරිගම ප්‍රසිද්ධ සාදයකට නිර්මලී සමඟ පෙනීසිටි ප්‍රථම අවස්තාව මෙය නිසාත් ඇගේ තිබුණු රූසපුව නිසාත් ශාලාවේ අවධානය මේ යුවල ඒ වනවිට දිනාගෙන තිබිණ.

මේ පැමිණ සිටින්නේ අනුජගේ සිංහ සමාජය විසින් පවත්වන වාර්ෂික හමුවීම් සැසියයි. දිවයිනේ නන්දෙසින් පැමිණෙන අලෙවිකරුවන් පැමිණෙන මෙතැනට නිර්මලී රැගෙන එන්නට අනුජ පිඹුරුපත් සකසන්නේ නිමන්තිකා සංදිරිගමගේ ආගමනයත් සමඟය. නිර්මලී තමන්ගේ බිරිඳ බව ගමක් ගිනිතියන්නා සේ කියන්නට සුදුසුම ස්ථානය මෙයයි.

".. අර ඉන්නේ එක්සයිඩ් එකේ කන්ට්‍රි මැනේජර්.. එහා පැත්තේ ඉන්නේ ඉමාරා ට්‍රේඩර්ස් එකේ අයිතිකාරයාගේ පුතා... එතකොට අර ඔයා දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ අපි කතාකරපු අංකල්ගේ දෙවෙනි වයිෆ්... "

අනුජ ඒ මේ අත හැරී නිර්මලීට සමහර මිනිසුන් පෙන්වමින් හඳුන්වා දුන්නේය. එතෙක් වේලා ඔවුන් දෙස ඈතසිට දෑස නොදල්වා බලාසිටි දෙනෙතක් ඒ වනවිට අනෙක්පස හැරී තිබිණ.

එකිනෙකාගේ ආසන වලට ආසන්නයේ හිඳගෙන සිටි අනුජ නිර්මලී ඉඟටියෙන් අල්ලා ඔහු වෙත ලංකොට සිටියේය.

"... අද ඔක්කොම බලන්නේ මගේ ලස්සන වයිෆ් දිහානේ... අපරාදේ අද නම් මට කෙල්ලෙක් වත් සෙට් වෙන එකක් නැහැ"

නිර්මලී ඔහුගේ බාහුවේ ඉහල යකඩ වැනි අත්ගොබය කෙනිත්තුවාය. ඇත්තටම සුරූපී කෙල්ලන් කිහිප දෙනෙක්ම පැමිණ අනුජ හා කතාබහ කල අතර තවත් ඇස් රැසක් කඩවසම් ඔහු දෙස සහ නිර්මලී වෙත යොමුව තිබුණා නිර්මලිට දැනුනි.

"කෙල්ලෙක්....? ආසා ඇති නේද?"

අනුජ සිය යටිතොල සපා නිර්මලිගේ මුහණ පුරා බැල්ම ඒ මේ අත ගෙන ගියේය.

"හ්ම්ම්... ආසයි තමයි...! වෙලාවට ලිප්ස්ටික් එක වෙනස් කලේ.. ඒ උනාට ඔය පාටත් හ්ම්ම් හ්ම්ම්ම් "

සිද්ධිය මතක් වී නිර්මලී රතුවී ගියාය.

"මොනාද ඇත්තට ඒ කලේ ආ.. මට මාලිකාට දෙන්න උත්තරයක් තිබ්බෙත් නැහැ. "

"ආ... හරි වැඩක්නේ... මගේ වයිෆ් මම කිස් කලේ.. මට ඕනේ දේවල් , මට ඕනේ තමයි.."

"හ්ම්ම් හ්ම්ම් දන්නවා දන්නවා මෙයාගේ තරම!"

"අද ඔයා හරි ලස්සනයි බබා... ආයෙත් බඳින්න හිතෙනවා..."

නිර්මලී දෑස සිහින්කොට සිනාසුනේ ඔහුගේ උරහිසට බරවෙමිනි. උත්සවයේ කටයුතු ආරම්භ වීමත් සමඟම නොයෙකුත් කතා, අතුරු කතා ආදිය නිසා එකිනෙකාට තුරුල්ව සිටි කුරුළු ජෝඩුව කැමරා කාචයන් කිහිපයකම සටහන් වන බව දැක දැකත් අනුජ එය වින්දේ සතුටිනි.

ගතවුයේ පැය බාගයකි. ඔහු බලාපොරොත්තු වූ ඇමතුම පැමිණියේ එංගලන්තයේ අංකයකිනි.

--------------------------  මතු සම්බන්ධයි  ----------------------------


10 comments:

  1. රෙසිකා වගේ දෙන්නෙක් තුන්දෙනෙක් මෙහෙ ඉන්නවා . එක්කෙනෙක් බැන්ද එකාගේ ගේත් ඉස්සුවා. හේ හේ

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව්... මෙහෙම අය ඉන්නවා... ගැහැනුන් විතරක් නෙවෙයි, පිරිමි අයත් ඉන්නවා.. ස්තුතියි මේ කමෙන්ට් එකට

      Delete
  2. කථාව ටිකෙන් ටික ෆුල් සීරියල් වෙන පාටක් පෙනේ! කමිං කලර් නොට් ගුඩ්ය! කෙසේ වුවත් ඔබ කථා රචනයේ දක්ශයෙකි! අමට මුල මැද අග සොයා ගැනීමට කමියාගේ පිහිට පැතීමට සිදුනොකරණ්න!

    ReplyDelete
    Replies
    1. එහෙමද? හාකෝ ඉතින්.. ස්තුතියි

      Delete
  3. අහ.. තැන්ක්යූ නිමන්තිකාව අඳුන්වල දුන්නට මේ එපිසෝඩ් එකෙන්ම.. මොළේ එන්න එන්න ගැට වැටෙනවා ඒත්.. මොකද අඳුන්වල දෙන දෙන එකා ගේම් කාරයෙක්නේ.. ඊළඟට මොන විජ්ජුම්බරයක් කරයිද හිතා ගන්න බෑ.. :)))))))

    ReplyDelete
    Replies
    1. කමියා කියපු හින්දම ඔන්න ලෝයර් නෝනා බැස්සුවා... කමක් නෑනේ?

      Delete
  4. ඇත්තටම දැන් නම් එක්ටැම් ගේක තමයි තියන්න වෙන්නෙ. තරහකාරයොත්වැඩි වෙනවා. අනුජ බොස් ගේ ඉරිසියාවයි ලෝබකමයිත් එන්න එන්නම වැඩි වෙනවා. ඇඳුම එයැයිට ඕන හැටියට. මේකප් එක එයැයිට ඕන හැටියට. ඉගන ගන්නෙ එයැයිට ඕන හැටියට. ඔය කිව්වට තනියෙන් යවන එකක් නෑ ක්ලාස් එකටවත්. හිරකාරියක් වගේ ඉන්න වෙන්නේ. ඕකට කියන්නේ ආදරේ නෙවෙයි කෑදරේ. විහිලුවට කිව්වේ හොඳේ. මරු කතාව. ඊ ළඟ කොටස එනකන් මග බලාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. අන්න තේරුනා..!
      යමක් කමක් තේරෙනවා නේද? හි හි බලමුකෝ ඉස්සරහට

      Delete
  5. චෑ චෑ හරිම සාම්ප්‍රදායිකයිනෙ මේ අනුජයා...ඉතින් මං ඕකනෙ අර සකලංකමාලෙට නිර්මලීව සෙට් කරන්න හදන්බෙ

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නං... ඒ මාලේ ට දෙමු ඊළඟ කොටසෙන් වත්

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...